ශ්‍රී ලංකාවේ සිටියදී මම ඉතිහාසය හැදෑරීම ගැන බොහෝ උනන්දුවක් තිබූ සිසුවෙක් වීමි. මා බොහෝවිට පුරා විද්‍යාව සහ ඉතිහාසය පොත් වැඩිපුර කියවා ඇතැයි යන්න ඒ කාලය සමග සසඳන විට නිවැරදිය. වසර කිහිපයකට ඉහතදී පුරාණ දේවාලයක් ගැන ලියන පෙමාස් ගුණසිංහ මහතාගේ බ්ලොග් ලිපි මෙන්ම ශ්‍රී ලංකාවේ සංචාරක බ්ලොග් කිහිපයක් කියවීමෙන්ද මේ උනන්දුව නැවත ඇතිවිය. මගේ පිය ඇඹෙනිය ද පුරා විද්‍යාත්මක කරුණු ගැන මෙන්ම එම ස්ථාන සොයා යන සංචාර වලටද කැමැත්තක් දක්වන්නිය. ළඟදී අප කල ග්‍රීක සංචාරයද එවැන්නකි. ශ්‍රී ලංකාවේ රජවරුන් ගේ නාමාවලියක් අප නිවසේ ඒ කාලයේ තිබු අතර මෙවර මට එය නැවතත් හමු විය.
මේ උනන්දුව නිසාම ආනන්ද කුමාරස්වාමි මහතාගේ "මධ්‍යකාලින සිංහල කලා" පොත නැවත කියැවීමට ඇත්නම් මැනව යයි සිතුනි. කලකට පෙර ශ්‍රී ලංකාවේ ඉතිහාසය පිලිබඳ පොත සොයමින් ගිය වෙලේ ඒ සඳහා ලංකාවේ පුස්තකාල ගානේ මා සමග රස්තියාදු වූ සබැඳීයෙකු වූ ප්‍රදීප් ජයතුංග ගෙන් ඒ ඉල්ලීම කලෙමි. මට අවශ්‍ය වුයේ ගෙදර අයටත් කියැවිය හැකි පොතේ ඉංග්‍රීසි පිටපතයි. ප්‍රදීප් ඒ ඇසිල්ලේම මට පොත සොයා එංගලන්තයට එවීය.
මටත් වඩා උනන්දුවෙන් පොත පරිහරණය කළේ අපේ කණිටු දියණියයි. පොත තබාගෙන ඒ ගැන නොකිව්වේ යයි ඇය මට චෝදනාවක් ද කළාය. මා ලංකාව ගැන ලියන බොහෝ අවස්ථාවල ඇතැමුන් කරන චෝදනාවක් නම් "රට ගියානම් ඒ රටේ වැඩක් බලාගෙන ඉඳපන්, අප ගැන ලියන්නේ නැතිව" යන්නය. සමහරු ඊටත් එහා ගොස් පරිභව කරති. එසේ වන්නේ අප කිසියම් අන්දමේ විවේචනයක් කලහොත් පමණක් නොවේ. ඇතැම් දාර්ශනිකයෙක් ද වරක් එවැනිම කතාවක් කීවේය. ලන්ඩනයේ ලියා පළ කළ තැනක් හදා ගන්නවා මිස මොන මගුලකට ඔහු ලියන ඒවා ගැන විවේචනය ලියන්නේද යන්නට ඔහු කනස්සල්ල පළ කර තිබුණි. ෂෙහාන් කරුණාතිලක එසේ කළත් ඔහුටද විවේචන එල්ල වී තිබේ. ඒ අර අයගෙන්ම විය හැකිය.
මගේ දුවණියට මේ පොත ගැන උනන්දු වන්නට හේතුවක් නැත. ඇයට අවශ්‍ය තරම් මේ රටේ ලිවිය, කියවිය හැකි අතර ඇයට ඇත්තේ ජර්මන් ශ්‍රී ලංකා මිශ්‍ර ජන්මයකි. ඇයට ඉංග්‍රීසි සහ ජර්මන් භාෂා ව්‍යක්ත ලෙස කතා කළ හැකිය. නමුත්ඇ යට අප යන අනිකුත් රටවල් සේම ශ්‍රී ලංකාවේ ඉතිහාසය පිළිබඳ කුතුහලයක් සහ හැදෑරීමට ආශාවක් තිබේ. මා ශ්‍රී ලංකාවේ ඉපදීම හෝ මගේ ශ්‍රී ලංකා මිතුරන් සිටීම හෝ මා සිංහලෙන් කතා කිරීම පමණක්ම එයට හේතුව නොවේ. ඇය ආකර්ෂණය වී ඇත්තේ අතිශයින්ම පොහොසත් වූ අතීතයක් පැවතීම සහ ඒ ගැන අපමණ සාක්ෂි සහිත වූ පොහොසත් කලාවක්, සංස්කෘතියක් හා නටබුන් පැවතීමය.
ඒ අතරේදී ආනන්ද කුමාරස්වාමි මහතාගේ නම ඇති මාවතේ නම වෙනස් කර වෙනත් නමක් දමා ඇති බව මම ඒ දිනවල ඇයට පැවසුවෙමි. ඇය ඒ පිළිබඳව විමසු අවස්ථාවේ මා කිවේ ඔහු සමහරවිට මිශ්‍ර ජන්මයක් ඇත්තෙකු මෙන්ම දෙමළ වීම නිසාම එසේ කරන්නට ඉඩක් ඇති බවයි. ශ්‍රී ලංකාවේ කිසියම් අන්දමක ජාතික පුනරුදයක් වෙනුවට වඩා ජාතිවාදී පුනරුදයක් ඇතිවී තිබේ යයිද මම ඇයට පැවසුවෙමි. අප දෙදෙනාම ඒ ගැන කණගාටු වූයේ ඉතිහාසය වෙනස් කර ලීවද නැවත ඉස්මතු වෙන්නට අවස්ථා ඕනෑ තරම් මතුවේ යයි සිත් සනසා ගනිමිනි.
ඒ සනසා ගැනීම සනාථ කරවමින් මට "ප්‍රේමානිශංස" ඇස ගැටුනේ ලංකාදීප මාධ්‍යවේදිනියක වන පද්මිණි මාතරගේ සොඳුරු මිතුරිය සමග මරදානේ සරසවි පොත් හළට ගොඩවූ අවස්ථාවේදීය. එම ග්රන්ථයට ස්වර්ණ පුස්තක සම්මානය ලැබුණු බව දැන සිටියද පොතේ අන්තර්ගතය දැන නොසිටියෙමි. පොතේ පිටු කිහිපයක් පෙරළද්දී "කලාභවන දරා සිටි "ආනන්ද කුමාරස්වාමි මාවත " - නෙලුම් පොකුණ මාවත " ලෙස වෙනස්කරන විට ලංකා භුමි තලය කම්පා වී දැයි මට සිතුනි. " කලභවනත්, රාජකීය ආසියාතික සමිතියත් දෙවුරින් දරා සිටි ආනන්ද කුමාරස්වාමි මාවත එක රැයෙන් නෙළුම් පොකුණ මාවත විය." යන වැකි පෙළ මගේ නෙත ගැටුණි. මම පොත මිලදී ගතිමි.
ඉන්පසු පුරා දෙතුන් දිනක්ම නිරූ සහ සයුරු සමගින් ඔවුන්ගේ ගමනට එක් වූයෙමි. ඒ ගමන ලෙහෙසි පහසු එකක් නොවේ. සමහර පොත් කියවද්දී අපට අපේ ජිවිත වල අත්දැකීම් ද මතකයට නැගේ. ඕවෙල් ගේ 1984, බ්‍රොන්ටේ ගේ වදරින් හයිට්ස්, බුල්ගකොව් ගේ මාස්ටර් සහ මර්ගරිටා වැනි කියැවීමේදී ද එය එසේම විය.
මම මගේ මව ඉන්දියාවේ වන්දනාවක රැගෙන ගියේ 2004 දීය. ඇය දෙවරක්ම ලන්ඩනයට පැමිණියද ඇගේ මතකයේ රැඳී ඇත්තේ හා ඇය මට පින් දෙන්නේ ඉන්දියාවට රැගෙන ගිය ගමනය. අමාරුකම් තිබුනද ගමන එතරම් විසිතුරුය. මම ඉන්දියානු සංචාරයේ සුන්දර පැත්ත ගැන මම නොලීවෙමි. මට දැන් හදිසියේ මන්දාකිණි ගංගාවට සමාන්තරව කෙදර්නාත් පෙදෙසේ යාමට ආශාවක් පහළවී තිබේ. හිමාචල් ප්‍රදේශයට ගොස් ධර්මශාලා වේ සතියක් දෙකක් නැවතී දලයි ලාමා තුමන් බැහැ දැකීමටද සිත් වී තිබේ.
"අපි තිබ්බතයට යමුද , ලාසා නගරයට" මම බිරිඳගෙන් ඇසුවෙමි. "නැහැ අපි නේපාලයට යමු ලබන අවුරුද්දේ. තිබ්බතයට අපි දෙන්නටම යන්න බැහැ. ඔයා දන්නවානේ මට කොහොමත් හුස්ම ගන්න අමාරුයි". ඈ පිළිතුරු දුන්නාය. "ඔයා ඔය කියවන පොතේ ඒ ගැන තියෙනවද? සමාවෙන්න ඒ ගමන් කරන්න වෙන්නේ නැහැ ". මම හිස වැනුවෙමි. ඒ ගැන කියවා සැනසීම මිස කරන්නට දෙයක් නැත. පොතේ ජීවත් වෙන නිරූ එහි ගියේ ඔක්සිජන් බෑගයක් ද සමගය.
මම බොහෝ සිහළ වදන් උගත්තේ මහාචාර්ය සුචරිත ගම්ලතුන් ගේ ලිපි කියැවීමෙනි. එතුමා ලියූ සැළ ලිහිණි සංදේශය ගැන කළ විචාරයක මෙසේ ලියා තිබේ.
"මෙනයින් මේ වර්ණනය ස්වභාව ධර්මයේ පවත්නා රූප , ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ යන මේවායේ එකමුතුව අපට සිහි ගන්වා අපගේ වින්දනය තියුණු කරයි; අපගේ පංචේන්ද්‍රියන් සියුම් කොට ස්වභාවධර්මයෙන් ඒවාට ලැබිය හැකි වින්දනය පෘථුල ද ගැඹුරු ද කරයි. මෙලෙස අපගේ වින්දන ශක්තිය පෘථුල හා ගැඹුරු කිරීම සාහිත්‍යයේ එක අරමුණකි. " (උපුටා ගැනීම මගේය).
ප්‍රේමානිශංස පොත කියැවීමෙන් පසු මට දැනුනේ ද එවැන්නකි. පොතේ ඇත්තේ සංචාර හෝ ස්වභාව ධර්මයා ගේ සුන්දර බව ගැන පමණක් යයි වරදවා වටහා නොගත යුතුය. සිංහලේ රජ බ්‍රිතාන්‍යයන්ට පාවා දුන් වංශවත් කුල පරපුරක, පසු කාලීනව ලංකා ඉතිහාසයට වශීව පොත් ලියූ මිශ්‍ර සම්භවයක් ඇති බ්‍රිතාන්‍ය දෙමළ වංශවතෙකු ගේ මිණිපිරියක හා තවත් එවැනිම බ්‍රිතාන්‍යයන්ට සමීප ව රේන්ද බලපත්‍ර ගෙන අරක්කු විකුණා පොහොසත් වූ ධනවත් පවුලක පුතෙකු අතර ප්‍රේමණීය කතාවක් අතරට ගොනු කෙරුණු සංචාරයක කතාවක්ද මන්දාකිණි ගඟ කෙදර්නාත් පාරට සමාන්තරව යන්නාක් මෙන් සමාන්තරව දිවෙයි.
මට පොතාන ගුහාවට මෙන්ම නොඇසූ ඉබ්බන්කටුව සුසාන භූමියට යාමට වරෙක සිතෙයි. ඒ අතරේ මුවට සිනහවක් නැගෙන්නේ අපි දුමක් ගහනවා හෝ මලක් අදිනවා යයි කියන ක්‍රියාකාර කම කතුවරයා සුන්දර ලෙස "මල් කෙමියක් " විඳින බවට හඳුන්වා දෙද්දීය.
"කෙවින් පැමිණ මා සමීපයේ වාඩිවෙමින් මලිකෙමිය මවෙත පිරි නැමීය. විවර වී ඇති චිත්ත මාවත දිගේ ගමන් කිරීමට එය කදිම යානයකි. " (පි. 232)
කෙවින් නමැති සමලිංගික පුරුෂයා කෙරෙහි සයුරු ගේ දැක්ම වෙනස් වූයේ නිරූ ගේ විවෘත භාවයද සමගිනි. "කෙවින්ලා අයත් සමාජභාවය පිලිබඳ මසිත වූ සම්ප්‍රදායික විචිකිච්චාව යලි නොඑන්නටම අතුරුදන්ව ගොසිනි"
මගේ තිබුණු එවැනි විචිකිච්චාවක් අතුරුදහන් වුයේ මගේ ජර්මානු බිරිඳගේ යහළුවන් දෙදෙදෙනෙකු දස වසකට පමණ ඉහතදී රාත්‍රී භෝජනයකට පැමිණි වෙලේය. එය සම්පුර්ණයෙන්ම පහව ගියේ ලන්ඩනයේදී ජීවත්වීම නිසා වුවත් ඒ ගැන නිදහසේ කතා කරන්නට හැකි වන්නේ නිදි ගේ පංච තන්ත්රය ලියන නිමල් දිසානායක නිසා යයි සිතේ.
අපූර්ව වූ ප්‍රේමය පිළිබඳ අන්දරය නිරූ හා සයුරු ගේ පරම්පරාවන් අතර ගැටුම ත් සයුරු ගේ පියාගේ විරෝධයත් කුල ප්‍රශ්නත් හමුවේ වියැකී යන්නේ නැත. එය ජීවය ලබන්නේ ඒ ප්රතිවිරෝධයන් තුළමය.
"මේ සොඳුරු අඳුරත්, අතීතයේ සිට ගල එන තලතෙල් පිළිස්සෙන සුවඳත්, නිරූ ගේ මුත්තාවරුන් ගයන වේද ගීතිකා හඬත්, මට මෙන්ම නිරූටත් දැනෙන්නට, ඇසෙන්නට ඇති. ඒ සියල්ලෙන් මුසපත් වූ අපි අකස්මිකව එකට ළං වූයෙමු." (පි. 177)
කිලිනොච්චි යන ගමනේදී නිරූ මෙසේ කියයි.
"බුද්ධාගම නම් ලංකාවේ දී ගොඩ යන එකක් නෑ හලෝ " චෛත්‍යය දුටු විගසම කීවාය. මවෙත නැති විඩාවක් නිරූ ගේ මුහුණේ සටහන් ව ඇත." (පි 145.) ඉදිරියට එන නායකයෙකු මිනිසුන්ට රැකියා අවස්ථා හදනවා වෙනුවට චෛත්‍ය දහසක් හදන්නට පොරොන්දු වෙන කාලයක සිටින අපට ඒ වදන් නිවැරදි බව හැඟේ.
පොතේ මුල හරියේ දළඳා මාළිගාවට ගිය යුවළට මෙසේ සිතෙයි. "යාපනේ ලයිබ්‍රරියට ගිනි තියපු එක සිංහලයන්ටත්, ලංකාවේ දේශපාලකයන්ටත් වෙච්ච අගෞරවයක් කියල හිතුව නම් මේවා මිට වඩා ආරක්ෂා කරගන්න පාලකයෝ හිතයි. " යනුවෙන් සයුරු කියද්දී,
"කාලිංග මාඝ කාලේ වෙහෙර විහාර වැනසීමට දෙවෙනි නෑ මේ වැඩේ" බෝම්බයෙන් දෙදරා ගිය බිත්තියේ (දළඳා මාළිගාවේ) නටබුන් දැක නිරූ අකම්පාල වූවාය. " (පි. 116)
අප විසින් ජනතාවට ඉදිරිපත් කළ යුත්තේ මේ අවබෝධයයි. ලංකාවේ පොදු ජනතාව අතර නැත්තේද මේ අවබෝධයයි. කතුවරයා සූක්ෂම ලෙස ජාතික ප්රශ්නයේ කොනක්ද , කුල මල නිසා සමාජයේ ඇති පීඩනය ද පොතට රිංගවා සාකච්චා කරන්නේ එය නොදැනෙන එහෙත් සිතට කාවදින ලෙසටය.
එසේම මට හැම පරිච්ඡේදයකම මුල කතුවරයා එබ්බවූ භගවද් ගීතා වේ වදන්ද සිතන්නට යමක් ඉතිරි කරන්නේ යයි සිතේ. භගවද් ගීතාව කිහිප වරක් අතට ගෙන මදක් කියවා එහි ඇති පුරුෂෝත්තම වාදී, බ්‍රාහ්මික වදන් වලට උරණව පසෙක තැබූ අයෙකු ලෙස මේ ලියා ඇති දේ මට විස්මය දන්වයි. (ඒවා කතුවරයාගේ නොවේ).
"තද සුළඟ විසින් යාත්‍රාවක් දිය මත පා කරන්නාක් මෙන්, නිදැල්ලේ සැරිසරන හැඟුම් විසින් බුද්ධිය ඉවතට රැගෙන යයි. - භගවද් ගීතා 2.67" (පි. 269). එය නැවත කියවිය යුතුය.
නිරූ පශ්චාත් නූතනවාදී (post modernist) පිළිඹිබුවක් බවත් සයුරු පශ්චාත් යටත් විජිතවාදී බවත් (post colonialist) ප්රමේයගත කළහොත් ගයත්‍රී ස්පිවැක් ඩෙරීඩා ගේ විසන්යෝජනයේ අවශ්‍ය පමණ පශ්චාත් යටත්විජිත වාදය අඩංගු නොවීම සීමාවක් යයි ලියූ බව මට මතක් විය. කුලහීන කාන්තාවන් ගේ පීඩනය සූරාකෑම පිලිබඳ මද අවධානය ගැන ඇය ලියා ඇත. නිරූ කුලහීන කාන්තාවක් නොවන බව සැබෑ මුත් ඇය දෙමළ සම්භවයක වීම සයුරුගේ පියා තුල ඇගේ වංශවත් කම අභිබවා යයි. කතුවරයා දැනුවත්ව හෝ නොදැනුවත්ව හෝ මේ දර්ශනවාදී තල දෙක ස්පර්ශ කර ඇති බව මට සිතේ. නමුත් ඒ ගැන සංවාදය අපට වෙනත් දිනකට කල් තැබිය හැකිය.
ප්‍රේමානිශංසය අවසන් වන්නේ මේ පරම්පරා ගැටුමේ හා වංශවත් දෙමල සිංහල පවුල් දෙකකට සම්බන්ධ යුවලකගේ දරුවා ගේ ඉරණම සමගිනි. මම ඔබට එය නොකියමි. මා පොත කියවා ලැබූ ආහ්ලාදය, ප්‍රීතිය මෙන්ම ශෝකයද ඔබත් විඳිය යුතු යයි සිතමි. කියවා ලබන දැනුමක් වේ නම් එය ඔබටද , කියවන්නාට හිමි විය යුතුය. මගේ සංචාරයන්ගෙන් මා ලබන්නේද එවැනි දැනුමකි. එවැනි චිත්ත ප්රතියකි. ඒ චිත්ත ප්‍රීතියම මට පොතක් කියවීමෙන් ද ලැබිය හැකිය.
ඒ ගැන කතුවරයාට ස්තුති වන්ත වෙමි.
පොතෙහි දෙමළ පරිවර්තනයක් ඉදිරියේදී පළවන බව දැන ගතිමි. එහි ඉංග්‍රීසි පරිවර්තනයක් ද කෙරෙන්නේ නම් මැනවිය.
ප්‍රේමානිශංස සරසවි ප්රකාශනයකි. චන්ද්‍රරත්න බණ්ඩාරයන් ගේ කෘතියකි. ඔබට ලැබෙන්නේ මිලට එහා ගිය තෘප්තියකි.
~~~ අජිත් ධර්මකීර්ති