Saturday 2 May 2020

කොරෝනා වසංගතයට කළ යුත්තේ කුමක්ද? කුමක්ද ලෙනින්

ඇත්තටම කියනවනම් මමත්  දන්නේ නැහැ හරියටම මොකද්ද කරන්න ඕනේ කියල. ඒව කරන එක  විශේෂාංඥයන්ට භාර දෙමු. අලුත් තත්වයක් නිසා වැරදීම් වෙන්න පුළුවන්. ලෙනින් ගේ නම දැම්මේ ඒක මේ දවස් වල ආකර්ශනීය නිසා. මැයි පළවෙනිදනේ. 

 කොරෝනා වෛරසය වන  කෝවිඩ් 19 පැතිරීම පිළිබඳ මම ලිපි කිහිපයක්ම ලිව්වා. ඒවායේ යොමු  පහල ඇති. අප්‍රේල් 23   මා ලීවේ මෙලෙස . //ප්‍රති  ජනන අගය ලෙස 1.3 ගතහොත් 494 ක මුළු  ආසාදිතයන් ප්‍රමාණයක් ඒ අනුව සිටිය යුතු අතර ඒ හැමගෙන්ම තවදුරටත් බෝවී ඇත්නම් අද වනවිට හඳුනා නොගත් අයද ඇතුළුව රට පුරාම අවම වශයෙන් 5700 ක් පමණ ආසාදිතයන් සිටිය යුතුය//  ඒ වනවිට ආසාදිතයන් වශයෙන් හඳුනා ගෙන සිටි ගණන  වූයේ  327.

එතකොට අද මැයි පළ වෙනිද. ලියා  පදිංචි වෙලා තියෙන නැත්නම් හඳුනාගත් රෝගීන් ගණන 690ක්.  ඒ කියන්නේ දෙගුණ වෙන්න දවස් 7 ක් ගිහින්.   දැන් අපි බලමු ප්‍රතිජනන අගය 1.3 නම් සැබවින් බීජෞෂණ සමයේ හෝ එය පසු කරමින් සිටින ගණන විය යුත්තේ 894 ක් (නමසීයක් පමණ ). ( මම මේවා ලියන්නේ  ගණිතමය පැත්තෙන් බලල මිසක් වෛද්‍ය පැත්තෙන් බලල නෙමෙයි.) එතකොට රෝගය හැදෙමින් හෝ දෙවන රැල්ලට ලක්වෙමින් සිටිය යුතු ගණන වෙන්නේ 11069 ක්. (එකොලොස්දාහක් පමණ) . දැන්  අපි හිතමු මේ ප්‍රතිජනන අගය 1.5 කියල.  (ඒ කියන්නේ වසංගතය වැඩිවෙමින් යන ආකාරය ගණනය කිරීමට යොදා ගන්නා අගය)  එහෙම නම් සිටිය  යුතු ආසාදිතයන් (පොලිසියට අහුවෙන්නේ නැතිව කට්ටි පනින  අය එක්ක) ගණන 1032 යි. ලංකාව පුරා  දෙවන රැල්ලට අහුවෙන ගණන 12112 ක් නැතනම් දොළොස්දාහක් පමණ. 
දැන් එතකොට පොකුරු නිමුව කියන්නේ මොකක්ද? ඒ කියන්නේ එක අයෙකුගෙන් කෝවිඩ් 19 හැදිලා එයාගෙන් පැතිරෙන ඔක්කොම අය හොයා ගත්ත කියන එක. ඒ කියන්නේ අවසාන ආසාදිතය දක්වා. හැබැයි සමහර විට නොහඳුනන දෙතුන් දෙනක් ඔය හැම එක්කම ඉන්නත් පුළුවන්. 

ඒ කියන්නේ නමසීයත් දාහත් අතර ආසාදිත වූ ප්‍රමාණයක් දැනට ඉන්න ඕනේ. දැන් 690 ට වැඩිවෙමින් යන මධ්‍ය  අගය  වන 30 ක් එකතු කරගෙන ගියොත් 900 එන්නේ මැයි අට වනදාට.    ඒ කියන්නේ පොලිසියට/සෞඛ්‍ය සේවයට  900 හොයාගන්න පුළුවන් වෙන්නේ මැයි අට. ඇඳිරි නීතිය වගේ තත්වයක් නිසා එහම් වෙන්න පුළුවන්. හැබැයි දෙවන රැල්ලේ අය හමුනොවීම  සුවය ලබන්නත්  පුළුවන්. ඒ කියන්නේ අර එකොලොස්දාහක් විතර වෙන කට්ටිය ගැන. 

මරණ සංඛ්‍යාව ගැන නම් මගේ හිතේ තිබෙන්නේ විචිකිච්චාවක්. මට ලැබුන , කියවපු ආරංචි අනුව අනුමාන කරන්නේ ඒ ගණන 15 ක් විතර කියල.මේ අතරට  කෝවිඩ් වගේ හිතෙන මරණත් සාමාන්‍ය  විධිහට භූමදාන කරන්න පෙළඹිලා කියලහිතෙනවා.  ඇතැම් පවුල් ලෝකයාගේ කතා අහන්න බයේ  නිහඬවම භූමදාන හෝ ආදාහන කරනවා  කියල අදහසක් තියනවා. පාරේ වැටිලා මියගිය දෙන්නත් මේ ගොඩටම වැටෙනවා ඇත්තටම. අනික කෝවිඩ් 19 හැදුනම  ඒනිසා අතුරු ආබාධයක් උත්සන්න වෙලා මැරෙන්නත් පුළුවන්. බ්‍රිතාන්‍යයේ ඒ මරණත් කෝවිඩ්  19 අතරටමයි එකතු කරන්නේ. 

මිට කලින් මම ලිපියක් ලිව්වා   මිනිසුන් ස්ව කැමැත්තෙන් නිරෝධායනයට යොමු වෙනවද? කියල. එහිදී අර මගේ කලිසම් ඔලුවෙන් ගලවනවා කියල කිව්ව කෙනෙකුත් හිටිය බුකියේ.  හේතුව තමා නිරෝධායනයට බයේ මිනිස්සු එන්නේ නැහැ,  මොකද හැමෝම  එකට (එක පේළියේ ඇඳන් වල දාල) නිසා අනිත් අයටත් බෝවෙනවා කියන බයට කියල කීම. ඕක ලිව්වා එකට ෆේස්බුක් එකේ ආණ්ඩුවට  සහයෝගය දෙන  අය වෙන්න ඕනේ මරාගෙන මැරෙන්න එනවා. මොකක් හරි  ප්‍රශ්නයක් වැරැද්දක් තියනවනවම් ඒක හදනව වෙනුවට මේ බයි රාලලා රාලිලාගේ තියෙන දඩබ්බර හැසිරීම නිසා සංවාදය නැති වෙලා යනවා. මේ ගොල්ල මේ බයිබෝස් දාන්නේ  ෆේස්බුක් එකේ. 

ඉතින්  එදා මම කිව එක වැරදි  නම් මේ නාවික හමුදාවේ සහෝදරවරුන් දිගින් දිගටම ආසාදිත වෙන්නේ ඇයි?

දැන් අර නාවික හමුදාවේ සෙබලෙකුගේ පියාට පහර දුන් හරක් රැල තමා  මේ කට්ටියගෙ භුමියේ හමුදාව . ඇයි නාවික හමුදාවේ අය ලෙඩ හදා ගත්තේ  බලෙන්ද? මුන්ව බේරා  ගන්න ගිහිල්ලනේ. දැන් තේරෙනවද මේ හැසිරීමේ  වැරැද්ද?
 
නමුත් හොඳ අය ඉන්නවා සංවාදශීලීව සංයමයෙන් වරදක් වුනත් පෙන්වල කතා කරන යහළුවෝ සහ බ්ලොග් මිතුරෝ . තමන් කවුද කියල ඒ අය දන්න නිසා නම් වශයෙන් කියන්න යන්නේ නැහැ.   

රජයේ ක්‍රියා පිළිවෙත ගැන කියනවනම් විවේචනය කරන්නන් වාලේ විවේචනය කරන්න  මම කැමති නැහැ. විපක්ෂය ආවයි කියල මිට වැඩිය දෙයක් කරයි කියල හිතන්නත් බැහැ. සමහරවිට අර දෙන්නගේ බල අරගලය නිසා මිට වැඩිය චොර  වෙන්න තිබුන. 
   
අසනීප වුනු කෙනෙක් හමුවුණු ගමන් කෙලින්ම ගිහිල්ල  ඒ අහල පහළ අය  එක්කම නිරෝධායනය  කාරක  එක (රෝගීන් වෙනම වෙන් කරලා ) හොඳ වැඩක් හැබැයි ටෙස්ට් කරලා.  
 එසේම  හමුදා සාමාජිකයන්  අය ලෙඩේට මුහුණ දෙන්න දාපු එකේ ප්‍රශ්නයක් තියනවා. ඒ අය සෞඛ්‍ය ය සේවකයන් මෙන් පුහුණු වූ අයද? ආරක්‍ෂිත ඇඳුම් අවශ්‍ය ප්‍රමාණයට තිබුනද ? 
 
ඇඳිරි නිතිය පිළිබඳවත් කියන්න තියෙන්න ඒක . මම මුල ඉඳලම  කීවේ එක දිගට ඇඳිරි නීතිය දාල  පලක් නැහැ. එකපාර දවසක් ඇරියම මිනිස්සු බඩු ගන්න පොර කන එක වලක්වන්න බැහැ. වෛරසය පැතිරෙන්න දෙතුන් දෙනෙක් හිටියත් ඇති.
 
දැන් ප්‍රතිපත්තිය වෙනස් වෙනවා කියල ආරංචියි. ඒක හොඳයි. අත්‍යවශ්‍ය බඩු විකුණන වෙළඳ සල් ඇරලා , කට්ටිය බහුලව අවශ්‍ය  නොවෙන රැකියාවන  කරන්න ඉඩ දීල , පොදු ප්‍රවාහන   සේවා සහ  රථ වාහන ගමනා ගමනය පවා පටන් ගන්නෙක හොඳයි. මිනිසුන්ට ක්‍රමානුකුලව නගරයට ඒමට ඉඩ දුනොත්, වෙළඳ හල්වලට යන්න ඉඩ දුන්නොත් යම් ප්‍රමාණයකට වෛරසය පැතිරීම වලක්වෙනවා. 
සමහර මරණ වෙන්න පුළුවන් . ඒක කාටවත් වලක්වන්න පුළුවන් දෙයක් නෙමෙයි බෙහෙතක් හොයා ගත්තේ නැතිනම්. 

හැබැයි ලොක් ඩවුන් එකක් ක්‍රියාත්මක වෙන්න ඕනේ. නගරයෙන් නගරයට, ගමින් ගමට  යාම වලක්වල දැන් වගේම. ආසාදිතයන් ටෙස්ට් කරන එක වැඩි කරලා. 

ශ්‍රී ලංකාව මේ වසන්ගතයෙන් හැකි ඉක්මනින් මිදේවා කියල හිතමු. 

පෙර ලිපි 




Thursday 30 April 2020

සමුදුන් අතීතයක මිහිරක්

************
*********************
අමාරුවෙන්  සමු දුන්න අතීතයක් . එහෙම දෙයක් අපි හැමෝටම තියනවනේ. 
ඒ සමු දුන්න මතක වල මිහිර වත්, වේදනාවන්  වත් කාටවත් උදුරා ගන්න බැහැ. 
මොකද, ඒවා සදාතනිකව හිතේ කොනක තැන්පත් වෙලා අගුලු දාල වහල තියෙන නිසා. 
එලියට එන්නේ ඉඳල  හිටලා හිත ගැස්සුනහම ඒ අගුල එහා මෙහාවෙන නිසා.

ඕනෑතරම් අය දින වකවානු කියාවී 
ඒ මිහිර තමන් වින්ද කියාවි  
ඒ හින්ද මටත් කවියක් ලියැවෙනවා කියාවි
එහෙම වෙන්නත් ඇති 
ඔයා  වගේම තවත් සොඳුරු අය ඕන තරම් ඉන්න ඇති 
සුදු හිම තලා වල ඇවිද ගිය  

ඒ උනාට ලෝකේ මිනිස්සු එක වගේ නැහැ 
දෙන්නෙකුගේ ගැලපීමත් 
ඒ  මොහොත විඳීමත් 
සුවිශේෂ ඒ දෙන්නට විතරයි  

ඒ කවුරු මොනව කීවත් මිහිරාවි 
 ඒ හැඟීම දැනගෙන හිටියේ  අපි දෙන්න විතරනේ  
ඒ ජිවිතය දැනගෙන හිටියෙත්  අපි දෙන්න විතරයි
ඒ රහස් තිබුනේ අපි දෙන්න අතර විතරමයි 

ඒවා කාටවත් උදුරා ගන්න බැහැ 
ඒ ගොල්ල ඒවා උදුරාගෙන 
ලියල මලවල  මොනව කළත් 
ඔයා  ඉන්නේ මගේ හිතේනේ 
මේ සින්දුව ඔයාට මතකද 

 මට ආයි ඒක අහන්න හිතුන 
මම සමු දීල ඉන්න අතීත මතකය විඳින්න 
මම දැන් ඉන්නේ ප්‍රීතියකින් 
නිරාමිස ප්‍රීතියකින් 

හොඳින්  ඉන්නකොට 
අතීතය ආවර්ජනය කරන්නේ ඇයි 
කියල සමහරු අහනවා 
මට නම් වර්තමානය ලස්සන වෙලා තියෙන්නේ 
අර නිරාමිස ප්‍රීතිය නිසා 

ඔයාගෙන් තමා මම ඉගෙන ගත්තේ 
ලස්සනම ලස්සන සින්දු අහන්න 
මෙන්න ඔයා කැමති වෙලා හිටිය 
සින්දුවක්   


Joe Dassin - Et Si Tu N'Existais Pas

"ඔබ  ඇත්තටම  නැත්නම් 
කියන්න මට මම ඉන්න ඕනේ ඇයි 
ඔබ නැතිව අමාරුවෙන් ඇදගෙන යන්න මේ ජිවිතේ  
බලාපොරොත්තුවක් නැතිව 
දුකක් නැතිව 
ඔබේ ජීවමාන  නැත්නම් 
මම ආදරය කියන එක නිර්මාණය කරාවි 
සිත්තරෙක් තමන්ගේ ඇඟිලි තුඩු අතරින් 
දවසේ වර්ණ උපදිනවා දකිනවා වගේ 
එයින්  පුදුම වෙමින් 

ඔබ  ඇත්තටම ජීවමාන නොවීනම් 
කියන්න මට මම ඉන්න ඕනේ ඇයි 
පහු වෙලා ගිය යුවතියන් 
මගේ අතේ එල්ලිලා 
මම කවදාවත් ආදරේ කරන්නේ නැති 
ඔබ නැත්නම් 
මම තවත් තිතක් පමණයි
එන යන , මේ ලෝකෙට 
මම අනාථයි කියා දැනේවි  
මට ඔබ ඕනෑ වේවි   

ඔබ  ඇත්තටම හිටියේ නැත්නම් 
කියන්න මට ඇයි මම (ඉන්නේ)
මම රඟපාන්නම් මා වෙන්න  
නමුත් ඒ ඇත්ත නෙමේනේ 
ඔබ  ඇත්තටම හිටියේ නැත්නම් 
සමහරවිට මම හොයා ගනී 
 ජිවත් වීමේ රහස , ඇයි අපි 
ඔබව මවන්න විතරක්
ඔබ දිහා බලන් ඉන්න  

ඔබ  ඇත්තටම මේ ලෝකේ හිටියේ නැත්නම් 
කියන්න මට මම ඉන්න ඕනේ ඇයි 
ඔබ නැතිව අමාරුවෙන් ඇදගෙන යන්න මේ ජිවිතේ 
බලාපොරොත්තුවක් නැතිව 
දුකක් නැතිව 
ඔබ හිටියේ නැත්නම් 
මම ආදරය නිර්මාණය කරාවි 
සිත්තරෙක් ඇඟිලි තුඩු අතරින් 
දවසේ වර්ණ උපදිනවා දකිනවා වගේ 
එයින්  පුදුම වෙමින් "

Tuesday 28 April 2020

ටයරයක කතාවක්


අපේ නිවෙස  ඉදිරිපිට කුඩා  තණකොළ පිට්ටැන්නක්  ඇත. ලන්ඩනය  වැනි ස්ථානයක ඕනෑම විවෘත අවකාශයක් ඉතා වටී. එන්ෆීල්ඩ් හි නගර සභාව  විසින් අප නිවෙස් වල වාසීන්  වෙනුවෙන් තණකොළ කපා, කුණු, රොඩු ආදිය ඉවත් කර පිරිසිදුව පවත්වාගෙන   යනු ලබන මෙම විවෘත අවකාශය වටා කුඩා මාර්ග හතරක් ඇති අතර එනිසාම එය කුඩා චතුරශ්‍රයක්  බවට පත් වේ. අපේ නිවෙස්  මේ කුඩා චතුරශ්‍රය වටා ඇත. එහි දෙපස කුඩා  තණකොළ කඳු දෙකක්ද  තිබේ.  ඊට අමතරව විශාල  චෙරි ගසක් ඇතුළු තවත් ගස් කිහිපයක් ඇත.

කොරෝනා වෛරසය නිසා වූ  අගුලු දැමීමේදී, අවට ඇති බොහොමයක් උද්‍යාන වසා  දමා  හෝ ඒවාට ජනතාව යන්නේ නැත. ඒ නිසා වැඩිපුර  කිහිප දෙනෙක් මෙම චතුරශ්‍රයට පැමිණෙන බව මට නිරීක්ෂණය විය. සමහරු  තමන්ගේම  පින්තූර නැත්නම් සෙල්ෆි ගන්නා  අතර  සමහරු තම දරුවන් සමගද පින්තූර ගනිති. . බොහෝ විට  අනුමාන කළ හැක්කේ මේවා  සමාජ මාධ්‍යවල පළ කිරීමට ගන්නා බවයි.

 සමහරු කැමරාව ඉදිරිපිට නටති. ඒ බොහෝවිට  විට ටික්-ටොක් වල පළ කිරීමට විය හැක. සමහර පවුල් පැමිණ ඔවුන්ගේ කුඩා දරුවන් අප විසින් ගසේ  එල්ලා ඇති ටයර ඔන්චිල්ලාව මත තබා පද්දති. තැන පිටියේ හිඉන්ද හිරු එලිය  භුක්ති විඳින අතර,   ඡායාරූප ගැනීම සහ වීඩියෝ ගත කිරීමද කරති. සමහර යෞවන, යෞවනියන් ටයරයේ එල්ලී හෝ ගසේ නැගී පින්තූර ගනිති.

 දශක එකහමාරකට පමණ පෙර, යමෙක් ටයරය සොරකම් කළේය, නැතහොත් සමහර විට ඔලු උදුම්මාගත් නගර සභා නිලධාරින් එය  ඉවත් කරන්නට  ඇත.

 මට වයස අවුරුදු 8 ක් හෝ 9 ක් වන විට මම ජීවත් වූයේ ශ්‍රී ලංකාවේ ලුනුගල නම් කුඩා ගම්මානයකය. මගේ පාසැල් මිතුරකු සහ මම සමහර විට සුදු වැල්ල පාර නමින් යුත් පාරක් දිගේ ටයරයක් තල්ලු කළෙමු. දිග පැල්ලමක් සහිත එම මාවත   කුඩා දිය පහරකටඋඩින්  ගොස් නැවත කන්දකට නගී . ටයරය පහලට තල්ලු අකර බලා  සිටීම කුඩා අපට ඉමහත් විනෝදය ගෙන දෙන ක්‍රියාවක් විය. 

 මම මේ කතාව මගේ අසල්වැසි බ්‍රයන්ට වරෙක කීවෙමි.

 ඔහු බ්‍රිතාන්‍ය ප්‍රවාහන පොලිසියේ විශ්‍රාමික පොලිස් රථවාහන සැරයන්වරයෙකි. ඔහු දැඩි  ලෙස  බ්‍රිතාන්‍යයේ දක්ෂිණාංශික  ටෝරි (කොන්සවටිව්) පක්ෂයට සහය දැක්වූවෙක් විය. මම අර්ධ  ලෙස කම්කරු පක්ෂයට සහය දැක්වූවෙක් වීමි. අප අතර බොහෝ වාද විවාද ඇතිවුනේ ,  බ්‍රයන් ඔහුගේ   සුරුට්ටුව සහ විස්කි වීදුරුව සමඟත් , මම මගේ වොඩ්කා වීදුරුව සමඟත් අප නිවෙස් පිටුපස කුඩා  ගාඩ්න් වල හවස් යාමයේ දෙපැත්තේ  හිඳ ගෙනය..මේ  උණුසුම් සාකච්ඡාවල ප්‍රතිපලය  කුමක් වුවත්, අපි සෑම විටම හැකි තරම් මිත්‍රශීලීව සිටියෙමු. ඔහු මට හොඳ අසල්වැසියෙක් සහ හොඳ මිතුරෙක් විය. ඒ වෙනුවට මම ඔහුට දිය හැකි ඕනෑම උදව්වක් දුන්නෙමි. මගේ බිරිඳ සැදූ  ජර්මානු කේක් මෙන්ම  ඉඳහිට මවිසින්  සෑදු ආසියාතික  ව්‍යංජනත් ඔහු සමඟ බෙදගතිමු. ඔහු වරක් අපේ බොයිලේරු වේ ප්‍රශ්නයක් ඇතිවී එය සවි කර දුන්නේය. ඒ  පොලිසියෙන් විශ්‍රාම ගත්  පසු බොයිලර් සවි කරන්නෙකු ලෙස නැවත පුහුණු වී තිබු හෙයිනි.

 නැවත ටයරයේ කතාවට යමු.

මගේ කතාව ඇසීමෙන් පසු බ්‍රයන් යෝජනා කළේ අපි තවත් ටයරයක් ගසේ එම  අත්තේම  එල්ලන්නටය. ටයරයක් කොහෙන්දෝ සොයා ගත්  බ්‍රයන් එය අත්තේ එල්ලූ  අතර බොහෝ ළමයින් (මගේ ද ඇතුළුව) සතුටින් එහි ඔන්චිල්ලා පැද්දහ. බ්‍රයන් මීට වසර කිහිපයකට පෙර අභාවප්‍රාප්ත වූ අතර අපට දැන් නව අසල්වැසියන් සිටී. 

තෙවසරකට පෙර කවුරුන්හෝ  නැවතත් ටයරය සොරකම් කළහ. මෙම ටයරය එල්ලා තැබුවේ බ්‍රයන් සහ මා  බව දැනසිටි  රොබට් නම් තවත් අසල්වැසියෙක් ඒ බව මට පවසා ඔහුම සොයාගත්  ටයරයක් නැවතත් ගසේ එල්ලීය.
 
රොබට් ද මීට දෙවසරකට පෙර හදිසියේ මිය ගියේය. 
එහෙත්   වුන්ගේ කාරුණික අභිනය තවමත් එළියේ පිට්ටැන්නේ තිබේ.  වැඩිහිටියන් හා දරුවන් ටයර ඔන්චිල්ලාව අසල ප්‍රීතිමත් වෙති. . සමහර යෞවන,  යෞවනයන්  සමහර විට ටයරය අසල පැද්දෙමින් ඔවුන්ට උරුම  ජන්ජාල කරමින් සතුටු වෙති. පින්තුර ගනිති. පිට්ටනිය මැදින්  ඇති අඩි පාර   දිගේ ඇවිදින අයද මෙතනට ඇතැම් විට පැමිණේ. 


සමහර විට, මේ ජීවිතය  තුල වැදගත් එපමණකි. අනුන්ට ප්‍රීතිමත්  වන්නට ඉවත් කර යන වැදගත්ද නොවන පුංචි  යමක්.





Saturday 25 April 2020

ශ්‍රී ලංකාවෙන් ලැබුණු සනාථ කොට ගත නොහැකි ආරංචියක්


කො***** ප්‍රදේශයේ අත්‍යවශ්‍ය  සේවා සපයන ළඳකට කොරෝනා වෛරසය වැළඳී ඇත. පොලිසිය සහ රාජ්‍ය බුද්ධි අංශ තරුණිය ඇසුරු කළ අය සොයා ගැනීමට ඉමහත් මහන්සියක් දරති. අවාසනාවට මෙන් අදාළ  තරුණිය දන්නේ ඉහත සතිය තුළ  ඇය ඇසුරු කළ සියල්ලන්ගේ හැඩරුව හා මුල් නම පමණකි. බුද්ධි අංශ මහජන සහාය පතයි.

තරුණිය විසින් හෙළි කල තොරතුරු වලට මේ නම් ලැයිස්තුව බ්ලොග්  (සමාජ ජාලා) ගත කර තිබේ.
සැම්සන් අයියා, සුදු කෙට්ටු අයියා , හන්දියේ වසන්ත , පාන් කඩේ මුදලාලි, චතුරි ට හොරෙන් එන හස්බන්ඩ් ,නිකන් එන පොලිසියේ කෙට්ටු රාළහාමි, 
පොලිසියේ මහත  රාළහාමි , 1** බස් එකේ කොන්දොස්තර මල්ලි, උඩ දතක් නැති අයියා, චන්දරේ , රන් මාලේ දාපු වරකාපොළ එක්කෙනා , දකුණු කළවේ පච්චේ තියන මාළු කඩේ එක්කෙනා, අල්ලපු වත්තේ සැර මල්ලි,  ඩප්පි සර්, කුඩු විකුණන මල්ලි,  ට්‍රැෆික් සර්, **** *** මන්ත්‍රී  සර්,  මන්ත්‍රී සර් ගේ ලේකම් 

ඉහත සඳහන් අය සහ ඔවුන් ඇසුරු කරන අය වේනම් වහා ස්වයං  නිරෝධානයනයට ලක් වෙන ලෙසට බුද්ධි අංශ විසින් කාරුණික ඉල්ලීමක් කර තිබේ.     

--මේ ආරංචියේ නිරවද්‍යතාවය තහවුරු කිරීමට මාගේ මූලාශ්‍රය අපොහොසත් බව කරුණාවෙන් සළකන්න 

අවවාදය - රජය , බුද්ධි අංශ, හමුදාව, සෞඛ්‍ය සේවය, බොරුවට කෑ ගහන විපක්ෂය   මොනවා කළත් කෝවිඩ් -19 රෝගය පැතිරීම වැළැක්වීමේ අවශ්‍යම කාර්‍යභාරය පැටවී ඇත්තේ තම තමන් මතය.

සුජනන විද්‍යාව හෙවත් එයුජෙනික්ස්


සුජනන විද්‍යාව eugenics කියන්නේ මොකක්ද? කෝවිඩ් 19 වෛරසයට ලෝකයේ රටවල් මුහුණ දෙන අතරේ මේ ගැන ලිවීමේ වැදගත් කමක් ඇති සිතමි. මගේ කලින් ලිපියක වඩා ප්‍රබලයා රැකීමේ ප්‍රතිපත්තියකට බටහිර රටවල් සැරසෙන බව කීවෙමි. හරියට ඉතාලියේ සිට එය එසේම ක්‍රියාත්මක වෙමින් පවතී. මානව පරිණාමයට සම්බන්ධ මෙම "කෑලෑ නීතිය " වර්තමාන ශිෂ්ඨ සම්පන්න සමාජයට උචිතද යන්න ප්‍රශ්න කලෙමි. මහාචාර්ය ගම්ලතුන්ගේ ශබ්ද කෝෂයේ සුජනන විද්‍යාව හෙවත් එයුජෙනික්ස් අර්ථ ගන්වන්නේ "වර්ගයක ආවේනික ගුණ වර්ධනය කිරීම පිලිබඳ විද්‍යාව " යනුවෙනි.

එනම් කිසියම් ජන වර්ගයක ගේ විශ්වාසයන්, ප්‍රවේණිගත පුරුදු මෙන්ම ජාන විද්‍යාව පිළිබඳව හැදෑරීම යනුවෙනි. ප්ලේටෝ ගේ කාලයේ සිට වර්තමානය දක්වා තෝරා ගෙන උත්පාද කිරීම "selective breeding " නමැති සංකල්පයක් ක්‍රියාත්මක විය. එනම් වඩා හොඳ ප්‍රවේණිගත ජාන ඇති පවුල් තෝරා ඔවුන් ප්‍රවර්ධනය කිරීමයි.
සත්ව ගොවිපළවල මේ ක්‍රමය අදටත් ක්‍රියාත්මක වේ. නවසීලන්තයෙන් හොඳ පිරිමි ගවයන් (bull) ගෙන්වා හොඳ කේප්ප වැස්සියන් ගැබ් ගන්වන්නේ එබැවිනි.
නමුත් මේ අද සංකල්පය ගැනෙන්නේ විද්‍යාත්මක ජාතිවාදයක් (scientific racism)හෝ සුදුජාතික මහජාතිවාදය යටතටය.

ග්‍රීසියේ බොහෝ පුරාණ කාලයේ අනුගමනය කල මෙම සංකල්පය විසි වන ශත වර්ෂයේ බ්‍රිතාන්‍යය, ඇමෙරිකා එක්සත් ජනපදය කැනඩාව ආදී රටවල පැතිර ගියේය. මේ සංකල්පය භාවිතා කරමින් නොයෙකුත් ප්‍රතිපත්ති සම්පාදනය විය. ජනගහනය තුල වඩා "හොඳ ජාන හිමි " ශක්තිමත්, සුන්දර ජනයා තෝරා ඔවුන්ට පමණක් ප්‍රජනනය කිරීමට අවසර දීම කරන ලදී. එසේම ආබාධිත තත්ව ඇති අයට , දුර්වල හෝ ප්‍රජනන ක්‍රියාවලියට "නුසුදුසු" යයි සිතන අය බලහත්කාරයෙන් වන්ධ්‍යාකරණයට ලක් කරන ලදී. මානසික හා කායික දුර්වලතා ඇති ගැහැනුන් සහ පිරිමින් නොයකුත් දැනුම සොයන ප්‍රශ්නාවලි (IQ test) වලින් අසමත් වන්නන් ද , අපරාධ වලට හසුවූ වන්ද මෙසේ බලහත්කාර වන්ධ්‍යකරණයන් ට ලක් කරන ලදී.
එක්සත් ජනපදයේ මෙවැනි සුජාණන විද්‍යා ප්‍රතිපත්තීන් සඳහා වූ ව්‍යාපාරයන් ගොඩ නැගුනේ 1880 පමණ කාලයේ සිටය. ශ්‍රීමත් ෆ්‍රැන්සිස් ගල්ටන් ගේ ජීව විද්‍යාත්මක නිර්ණය කිරීමේ න්‍යායට අනුව මෙම eugenics නමැති වචනය මුල් වරට භාවිතා කරන ලදී. මේ න්‍යායට අනුව මිනිසාගේ හැසිරීම කෙලින්ම පාලනය වන්නේ ඔහුගේ ජාන අනුව හෝ කායිකවිද්‍යාව (physiology) මත යන්නය. එක්සත් ජනපදයේ සුජාණන විද්‍යා මතයන්ට වඩාත් උත්තේජනයක් සැපයුවේ ජෝර්ජ් මෙන්දෙල් ගේ ජීව විද්‍යාත්මක උරුමය පිලිබඳ න්‍යායගත කිරීමයි.

එක්සත් ජනපදයේ සුජනන අදහස් වල ප්‍රභවය වන්නේ එම න්‍යාය පමණක් නොවේ. ගැල්ටන් විසින් බ්‍රිතාන්‍යයේ ඉහල පන්තියේ ජනයා පිළිබඳ හැදෑරීමක් කර ඔවුන්ගේ සමාජිය උසස් තත්වය ඔවුන්ගේ උසස් ජාන මත පදනම්ව ඇති බව ප්‍රකාශ කළේය. එසේම මෙවැන්නන් විශ්වාස කලේ එංගලන්තයට මුල් පදිංචි කරුවන් වන නෝර්ඩික් , ජර්මනික් හා ඇන්ග්ලෝ සැක්සන් වරුන් වඩා උසස් ජාතීන් බවයි.

මේ එයුජෙනික්ස් ව්‍යාපාරයට මුදලින් ආධාර කළෝ කවරහුද? ඒ නම් කානගි ආයතනය, රොකෆෙලර් පදනම , කිලෝග් නමැති ධනවතා සහ දුම්රිය ව්‍යාපාර වලින් ධනවත් වුනු හැරිමන් ය.

මේ ව්‍යාපාරය කෙමෙන් ඇමෙරිකා එක්සත් ජනපදයේ ජනතාව අතර විවේචනයට ලක්වන්නට වූ අතර "අනුවණ මිනිසුන් ", ආබාධිත වුවන් හෝ සුළු අපරාධකරුවන් වන්ධ්‍යකරණය කිරීම අමානුෂික බවට අදහස් පල වන්නටත් විරෝධතා ගොනු වන්නටත් විය.

මෙමෙ න්‍යාය ඊළඟට උපත ලැබුවේ නාසි ජර්මනියේය. හිට්ලර් තම අදහස් මූලිකව සොරා ගත්තේ ඇමෙරිකාවේ එයුජෙනික්ස් ව්‍යාපාරයෙන් හා ජෝර්ජ් මෙන්දෙල් ගෙන් බව කියවේ. නිල් ඇස් හා රන්වන් කොණ්ඩය සහිත ආර්ය මිනිසුන් පමණක් ජීවත් විය යුතු යයි ඇදහූ ඔහු එම ජනතාවගේ සංඛ්‍යාව වැඩි කරන්නට ගැහැනුන් සහ මිනිසුන් ට නිදහසේ කාම සම්භෝගය කරන්නටද අනුබල නාසි ජර්මනියේ අනුබල දුන්නේය. මින් ඉපදුනු අවජාතක දරුවන් නාසි රජය භාරයට ගැනුනි. ඔවුන් හැදින්වුයේ "ආදරයේ දරුවන් liebenkinde " නමිනි. එසේම යුදෙව් ජාතිය, ජිප්සී ජාතිය, ආභාධිත ජනතාව හා රටකට "අනවශ්‍ය " ජනතාව මරා දැමීමට වධ කඳවුරු පිහිටවුනේද මේ න්‍යායට අනුවය. සුජාණන විද්‍යාවප්‍රයෝගික කළ අඳුරුම සමය ලෙස ඉතිහාසගත වන්නේ මේ කාලයයි.

ඔස්ට්‍රේලියාව අබෝරිජින් දරුවන් ඔවුන්ගේ මවුපියන්ගෙන් උදුරා ගනිමින් සුදු ජාතික නිවාස වල හා පල්ලි වල රඳවා සමාජ ගත කරන්නට දැරූ වෑයම ද මේ ව්‍යාපාරයේම අතුරු ප්‍රතිපලයකි. ඉන් බොහෝ අබෝරිජින් දරුවන් මිය ගියහ.

අද කෝවිඩ් 19 වෛරසය වැළඳී බරපතල ලෙස ආසාදිත වුනු මහලු රෝගීන් අත්හැර තරුණ රෝගීන් හා ජිවත් වන්නට ඉඩක් ඇති රෝගීන් තෝරා ගන්නට ඉතාලියේ හා ස්පාඤ්ඤ යේ රෝහල් පාලනයන් කටයුතු කරති. ඇමෙරිකා එක්සත් ජනපදයේ වැඩි වශයෙන් ආසාදනයට ලක්ව මිය යන්නේ විශාල ගෙවල් වල එකිනෙකාට ඈතින් ජීවත්වන සුදු ජාතිකයන් හා පොහොසත් වැසියන් නොව වඩා දුප්පත් ප්‍රදේශ වල ජනයා බහුල ප්‍රදේශ වලය. ඒ වැඩිපුරම කළු ජාතිකයන්, ආදී වාසි අමෙරිකනුන් ආදීන් යැයි කියවේ. පරිණාමවාදයේ දී උගන්වන්නේ වඩා පරිසරයට වඩා සුදුසු ජීවී වර්ගය ඉදිරියට පරිණාමය වන බවය. එහෙත් ඒ අදහස එලෙසින්ම මනුෂ්‍ය වර්ගයාට ආදේශ කළ හැකිද?




Thursday 23 April 2020

කෝවිඩ් -19 වයිරසය නැවැත්වීමට වෛරස් බොට්ල්නෙක්

ශ්‍රී ලංකාවේ කොරෝනා වයිරසය කෝවිඩ් -19 ආසාදිතයන් සංඛ්‍යාව ඉතා සෙමින් ඉහල යන බව පෙනේ. මා ඉහත  ලියු බ්ලොග් ලිපි කිහිපයකම  මේ පැතිරෙන ප්‍රමාණය ගණනය කළෙමි. එසේ කළේ ඇඳිරි නීතිය හෝ ලොක් ඩවුන් කිරීමක් නොමැති තත්වයක  හා ප්‍රති ජනන අගය 2,2, 1,5 හා 1 ට අඩු වශයෙන් රැගෙනය.  

එහිදී ඇඳිරි නීතිය  හෝ  ලොක් ඩවුන්  නොමැතිව ආසාදිතයන් සංඛ්‍යාව 1අප්‍රේල් 5 වනවිට 27,000 පමණ  වන බවත් අඩු අගයකදී 1126 වනබවත් ලීවෙමි. දෙවන ලිපියේදී ඇඳිරි නීතිය නිසා මේ අගය 275 ත් 620 අතර වනු ඇතැයි ද ලීවෙමි. (අප්‍රේල් 2 හා 4 අතර ) සමහරු කීවේ මෙය විය නොහැකි බවයි.  අප්‍රේල් 15 වනවිට මේ අගය 1700 පමණ වුනු ඇතැයි ලීවෙමි.
 
අද (අප්‍රේල් 21) වන විට සත්‍ය වශයෙන්ම සොයා ගෙන ඇත්තේ 327 කි. නොඑසේ නම් පරික්ෂා නොකරන ලද අය කී  දෙනෙකුන්  සිටිය හැකිද? මා සැලකුවේ අවදානම වැඩිම අගයක් ගෙනය. ඒ කියන්නේ ආසාදිතයන් 1700 ක් සිටිය යුතුය. මින් බොහෝ අයට සාමාන්‍ය රෝග ලක්ෂණ ඇත්නම් (උණ, හිසේ රදය ආදිය හා දින හතකින් සුවය ලැබීම) ඉන් දහසක් පමණවත් දැනටමත් සුවය ලබා සිටිය යුතුය. 
අප්‍රේල් 22 වන විට වගු ගත කරන ලද ආසාදිතයන් ප්‍රමාණය 328 කි.   ප්‍රති  ජනන අගය ලෙස 1.3 ගතහොත් 494 ක මුළු  ආසාදිතයන් ප්‍රමාණයක් ඒ අනුව සිටිය යුතු අතර ඒ හැමගෙන්ම තවදුරටත් බෝවී ඇත්නම් අද වනවිට හඳුනා නොගත් අයද ඇතුළුව රට පුරාම අවම වශයෙන් 5700 ක් පමණ ආසාදිතයන් සිටිය යුතුය.
  
 ඉහත කොටස ලීවේ ඊයේ වන අතර අද අප්‍රේල් 23 දා වගු ගත කරන ලද ආසාදිතයන් ප්‍රමාණය 368 ක්  යයි දැන ගන්නට ලැබුණි.

මේ අනුව අද  නැවත ගණනය කලෙමි.  වැඩිවුණ  ආසාදිතයන් ප්‍රමාණය ඒ අනුව විය යුත්තේ  551 කි. (ප්‍රති ජනන අගය 1.5 ලෙස ) . ඒ අනුව මුළු රට පුරා  අවම වශයෙන් 6170 ක් වත්  රෝගය වැළදුන අය සිටිය යුතුය.   මේ අතරට  සුව වූවන්ද ඇතුළත් වන  බව කරුණාවෙන් සලකන්න. එසේම මෙම අගය  අවම අගයක් ලෙස සිතමි.

එසේ අඩු අගයක් වන්නේ ඇඳිරි නීතිය  නිසා හා හමුදා හා බුද්ධි අංශ විසින් රෝග ලක්ෂණ ඇති  අයත් ඊට සම්බන්ධ අයත් වහ වහා නිරෝධායනයට යොමු කරන හෙයිනි. 

මගේ බ්ලොග් මිතුරෙකු වන දිල්රුක් ඇසුවේ එසේ නම් මිය යන ප්‍රමාණය අඩු ඇයිද යන්නය. 

මේ වාර්තාගත මරණ ප්‍රමානය වන හත පිලිබඳ කිසියම් ප්‍රශ්නාර්ථ ලකුණක් තිබේ. කටුකුරුන්ද, කළුතර මහ මග අසබඩ මියගිය පුද්ගලයා කෙසේ මිය ගියේද යන්න තවම හෙළි දරව් වී නැත. එසේම ශ්‍රී ලංකාවේ අනිකුත් හදිසි මරණ කීයක් වාර්තා වී ඇත්ද? සාමාන්‍ය වෙනත් හේතු සිදු වූ මරණ  කීයක් වාර්තා වී ඇත්ද? ඒ අතරින් කොරෝනා අසාදිත යයි සැක  කල හැකි මරණ නැත්ද?

මගේ මේ ප්‍රශ්න වලට  හේතුව පැහැදිලි කරමි. එංගලන්තයේ වැඩිහිටි නිවාස  සහ පෞද්ගලික නිවාස  වල මියගිය අය ලහි ලහියේ භූමදාන හෝ ආදාහන කර ඇති අතර දැන් හෙළිවී තිබෙන්නේ ඉන් හාර දහසක පමණ ප්‍රමාණයක් කොරෝනා ආසාදිත තත්වයේ සිටි අය  බවයි.  එනිසා  මුලින් දී තිබූ අගයන් වැරදි බව ජාතික දත්ත සකසන ආයතන පෙන්වා දී ඇත.

ශ්‍රී ලංකාවේ මරණ සාපේක්ෂව අඩුවීමට තවත්  හේතු කිහිපයක් මම දකිමි. 

1. බිසීජී එන්නත ශ්‍රී ලංකාවේ හැමෝටම  පාහේ ලැබී තිබීම. ක්ෂය රෝගයට දෙන මෙම එන්නත කොරෝනා වෛරසය අසාදනය වීම වැළැක්වීමේ කාර්යයක් ඉටු කරන බව පෙනී යන්නේ එන්නතය ලැබූ අයගේ මරණ හෝ අසාදනය වීම ඉතා අඩු හෙයිනි. (එංගලන්තයේ මෙම එන්නත අනිවාර්ය නැත. අපිනම් දරුවන්ට එය ලබා දුන්නෙමු)
මට ඇති ප්‍රශ්නයක් වන්නේ බීසිජි එන්නටත් ලබා දෙන්නේ ටියුබෝකියුලොසිස් බැසිලස් නමැති බැක්ටීරියාව නිසා හැදෙන ක්ෂය රෝගය මර්දනයට. බැක්ටීරියා මර්දන එන්නතක් ලැබූවකු වෛරස් ආසාදනයකින් බේරෙන්නේ කෙසේද යන්න ගැන මට වැටහීමක් නැත. නමුත් එංගලන්තයේ බීසිජි එන්නත  අනිවාර්ය නැති රටවලින් පැමිණි වැසියන්ට එනම්  සෝමාලියාව, ඉතියෝපියාව ආදී රටවල අයට කෝවිඩ් 19 රෝගය ආසාදනය වීම ඉක්මන්ය.

2. ශ්‍රී ලංකාවේ බොහොමයක් වැසියන් ස්ථුල අය නොවීම. බ්‍රිතාන්‍යයේ හා ජර්මනියේ මිය ගිය අයගෙන් වැඩි හරියක් මහත ශරීර ඇති අය බවට වාර්තාවක සඳහන් වේ. (ශ්‍රී ලංකාවේ හිටපු 225 දෙනාගෙන් කිහිප දෙනෙකු හැර අනිකුත්  අය සැඟවී සිටීමේ හේතුව ද මෙය විය හැකිනිසා පාර්ලිමේන්තුව නැවත කැඳවීමට තැත් දරන අය  ඒ වීරයන්ගේ ජිවිත අනතුරේ දැමීමට ක්‍රියා කිරීම හෙළා දැකිය යුතුය .:) )

3.බ්‍රිතාන්‍යය ,ඉතාලිය , ඇමෙරිකා එක්සත් ජනපදය ආදී රටවලට සාපේක්ෂව අඩු ජනගහනය 

4.බොහෝ වැඩිහිටියන් වැඩිහිටි නිවාස  වල නොව තමන්ගේම නිවෙස් වල හෝ නෑදෑයන් සමග ජිවත් වීම (එනිසා ආරක්ෂාවද වැඩිය)

මේ මම කලින් ලියූ ලිපි දෙකයි.
 

කෝවිඩ් -19 වයිරසය නැවැත්වීමට වෛරස් බොට්ල්නෙක් 

දින කිහිපයකට  ප්‍රථම ඉංග්‍රීසියෙන් මගේ ඉංග්‍රීසි බ්ලොගයේ  ලියූ ලිපියක පරිවර්තනයක් ද මේ ලිපියටම ඈඳමි.
 
 බොහෝවිට මේ සාකච්ඡා කරන අදහස ඒ ගැන දන්නා අයට කියවීමට පහසු  වනු ඇත.

 ඩියුටීරියම් බොට්ල්නෙක් නමැති සංසිද්ධියක් බිග් බැන් මොඩලය පිළිබඳ ඉගැන්වීම් වලදී කියවේ. 
ඩියුටීරියම් යනු හයිඩ්‍රජන් පරමාණුවේ අයිසොටොප් එකකි. එහි න්‍යෂ්ටියේ එක ප්‍රෝටෝනයක් සහ එක නියුට්‍රෝනයක් ඇත. බිග්බැන් හෙවත් විශ්වයේ ඇරඹීම පිලිබඳ "මහා පිපුරුම" මොඩලය බොහෝ අය අසා ඇතිවාට සැක   නැත. පහල ඇති යොමුවෙන් ඒ ගැන අවබෝධයක් ලබා ගත හැකිය.   එම මොඩලයේ න්‍යෂ්ටික සංශ්ලේෂණ ක්‍රියාවලියේ මුලදී හීලියම් 4 නමැති මූලික  පරමාණුව නිපදවනු ලබයි. මේ ක්‍රියාවලිය සඳහා අවශ්‍ය ඩියුටීරියම් න්‍යෂ්ටික විලයන ක්‍රියාවලියකදී නිපදවේ. (ප්‍රෝටෝන හා ප්‍රෝටෝන ගැටීමෙන් ) නමුත් බිග්බැන් මුල් අවධියේ ඇති අධික උෂ්ණත්වය නිසා ඩියුටීරියම් නිපදවුණු වහාම විනාශ වී යයි. එනිසා  හීලියම් නිපදවීමද ඇන හිටී. නැවත  එය සිදු  වන්නට නම් විශ්වය තව තවත් සිහිල් විය යුතුය. මෙසේ අවශ්‍ය තරම් ඩියුටීරියම් නැති නිසා ක්‍රියාවලිය නතරවීම ඩියුටිරියම් බොට්ල්නෙක් නමින් හැඳින්වේ. ඒ කියන්නේ බෝතලයේ මුව විට හිරවීමෙන් ඇතුලේ තිබෙන සාරය  එළියට ඒම නැවතීම හඳුන්වන පදයකි. නැත්නම් මාර්ගයේ ඉතා පටු  කුඩා හැරවීමක් ඇති තැන රථ වාහන ගමන අඩාල  වීමද මෙසේ හැඳින්වේ.

තවත් උදාහරණයක් නම් මැලේරියා  මර්දනයේදී භාවිතා වන The Plasmodium bottleneck යන්නය. ඒ කියන්නේ මැලේරියා සාදන මදුරු පරපෝෂිතයාට වාහක මදුරුවා හෝ වාහකයා   නොමැතිව මර්දනය  වීමයි. ශ්‍රී ලංකාවේ මැලේරියා මර්දනය අති  සාර්ථකව කරන ලද්දේ මේ මගින් යයි සිතමි. (The Plasmodium bottleneckmalaria parasite losses in the mosquito vector -Wiki))

අපි දැන් එක්තරා ගමක දහසක පමණ ජනගහනයක් වෙසෙනවා යයි සිතමු. කෝවිඩ් 19 සඳහා ප්‍රති  ජනන අගය එහි මධ්‍ය අගය වන (mean value ) 2.2 ලෙස ගනිමු.  පළමුවන දවසේ ආසාදනය වූයේ එක අයෙකුට යයි සිතමු. එසේම දවසක් පාසා තවත් පුදගලයන් 2.2 කට වෛරසය අසාදනය වන්නේ යයි සිතමු. දැන් අපිට  දෙවන දිනය වන විට  ආසාදිත මුළු සංඛ්‍යාව හැටියට ලැබෙන්නේ 3.3 කි. මේ ලෙස ගණනය  කළහොත් දවස් නමයකදී ආසාදිත රෝගීන් ගේ ගණන 1005 ක් වේ. මේ අනුව දවස් දහයක් ඇතුළත මුළු ගමටම රෝගය වැළඳේ.
නමුත් වෛරසයේ බීජෞෂණ කාලය දින දෙකේ සිට දින දහ හතරකි. එනිසා හැම දෙනාම රෝග ලක්ෂණ පෙන්වන්නේ නැත.
    

පහල තිබෙන වගුවේ මූලික අගය  2, 4,8,32  ආදී ලෙස වැඩිවෙන ආකාරයට ගණනය කර ඇත. පහල නිල් රේඛාවෙන් පෙන්වන්නේ එයයි. කහ පාට රේඛාවෙන්  පෙන්වන්නේ ආසාදිතයන් වැඩිවන ආකාරයයි.


දැන් අපි ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ලබාදුන් ප්‍රතිජනන අගයේ අවමයට යමු. එය  R0 = 1.5 ය. (උඩ මුලින්ම තිබෙන වගුව ) මේ අගයට අනුව මුළු ගමේ දහසක් දෙනා  රෝගී භාවයට පත්වන්නේ දින 18ක් ඇතුලතදීය . 

ඊයේ වනවිට මුළු ලෝකයේම කෝවිඩ් 19 මරණ අනුපාතය  සියයට 7ක් පමණය. එනම් අපේ දහසක ජනගහනයක් ඇති ගමේ හැත්තෑ දෙනෙකු ජිවිත අවසන් කළ යුතුය.  දැන් බීජෞෂණ සමය දින දෙකේ සිට 14 නිසා අපි දින පහේදී මුළු ගමම ලොක් ඩවුන් කළා යයි සිතමු. එසේම ඇඳිරි නීතිය ද පනවා කිසිවෙකුට නිවසින් එලියට යාමට නොහැකි වූවා යයි සිතමු.

මෙහිදී දින පහෙන් පසුව  ප්‍රති ජනන අගය 2.2 දී හතළිහක් පමණක් ආසාදනය වී නවතින අතර ප්‍රති ජනන අගය 1.5 දී දහතුන් දෙනෙකු පමණක් ආසාදනය වී නැවතේ.  මෙන්න මෙතැනදී වෛරසය බොට්ල්නෙක් එකකට හෙවත් හිර වීමකට ලක්වෙයි. එය ඉන්පසු පැතිරෙන්නේ නැත. නමුත් මේ වසා  දැමීම  හරියටම දින 14ත් දින 18ත් අතර ප්‍රමාණයක් පැවතිය යුතුය. සමහර විට වැඩි හොඳට  දින 20ක් වත් ගෙන යා යුතුය. ඉන්පසු ගම නැවත විවෘත කිරීමට හැකිය.

හැබැයි මේ කිසිම අවස්ථාවක කිසිවකු අර හතලිස් දෙනා හෝ අවම අගය වන දොළොස් දෙනා  මුණ නොගැසිය  යුතුය. දැන් ලොක්‌ ඩවුන් හෝ ඇඳිරි නීතිය සලකන්නේ නැති අයෙකු හෝ දෙදෙනෙකු නිවසකින්  පිටවූවා යයි සිතමු. නැතිනම් ඇඳිරි නීතිය මුදාහළ මොහොතක මේ එක අයෙකු අනිත් අය සමග ගැටුනා යයි සිතමු. එසේත් නැතිනම් වෙනත් ගමකින් හදිසියේ ආසාදිතයෙකු  පැමිණියා යයි සිතමු.

එවිට නැවතත් අර චක්‍රය පිලි පදින්නට අපට සිදුවේ. නැවත  ලොක් ඩවුන් කාලය හෝ ඇඳිරි නීතිය  දීර්ඝ කළ යුතුය. වයිරසය පැතිරීම නතර කිරීමට අප අපොහොසත් වූ හෙයිනි.

නමුත් අප ලොක් ඩවුන් කිරීම හෝ ඇඳිරි නීතිය   හොඳට පිලි පැද්දොත්  මුළු දහසටම එක අයෙකු හෝ දෙදෙනෙකුට වඩා ගණනක්  ජිවිතයට සමු දෙන්නේ නැත.

මෙහිදී වැදගත්ම කාරණයක් වන්නේ කිසිවෙකු තමන් ආසාදිත බවට සැඟවීම නොකළ යුතු බවයි.  මේ අනුව  සියලු දෙනාටම සෑදී වුවත් සියයට 93ක් (930)  හෝ  සියයට 98ක් (998) පමණ සුවවී මරණයෙන් බේරීමට හැකිවනු ඇත.   

මේ මොඩලයම ලක්ෂයක් පමණ ජනතාවක්  සිටින නගරයකට ආදේශ කරමු. සම්පූර්ණ ලොක් ඩවුන් එකකදී (ඇඳිරි නීතිය දැමීම වැනි දැඩි ලෙස) ක්‍රියාත්මක කළහොත් දහසකට  එක් අයෙකු හෝ දෙදෙනෙකු මිය යන අතර මුළු ලක්ෂයටම  සියයක් පමණ ජිවිතයට සමු දෙනු  ඇත. ඉතිරි අය සුවවනු ඇත. මෙහිදී මිලියනයක ජනතාවක් නම් දහසක් හෝ දෙදහසක් පමණ නැතිවනු ඇත.
 
නමුත් ලොක් ඩවුන් ලිහිල් කිරීමකදී හා මුළු නගරයටම අසාදනය පැතිරුනොත් ලක්ෂයක් ජනතාවක්  වෙසෙන නගරයක මරණ සංඛ්‍යාව අනිවාර්යයෙන්ම ඉහල අගයක් ගනී.  අවම වශයෙන් දවස් විසි අටක වත් දැඩි නීති රීති යටතේ ජනතාවකට  ජිවත් වීමට සිදුවේ. බ්‍රිතාන්‍යය හා එක්සත් ජනපදය වැනි රටවල ජනතාව මෙයට කැමති නැත. ඔවුන් තමන්ට  සංචාරයට ඇති නිදහස වඩා හොඳ යයි සලකති. එනිසා ලක්ෂයකට හත් දහසක් පමණ මියයති.

නවසීලන්තය, වියට්නාමය, දකුණු කොරියාව මේ ක්‍රමය හොදින් අනුගමනය කර ඇත. ජර්මනියද ඒ ආසන්නයේ සිටින මුත් ඔවුන්ට තවමත් හරියටම වළකා ගැනීමට නොහැකිව ඇත්තේ විශාල නගරවල ජන අනුපාතය වැඩි හෙයිනි. ස්වීඩනයේ රට අති විශාල වන අතර ජන අනුපාතය වර්ග කිලෝමීටරයට ඉතා අඩුය. එනිසා ඔවුනට ලොක් ඩවුන් කිරීමක් අවශ්‍ය නැත. ශ්‍රී ලංකාවේ තත්වය අවිනිශ්චිතය. සෞඛ්‍ය සේවා සහ හමුදාව හොඳ උත්සාහයක්  දරති. එහෙත් ජනතාවගෙන් වැඩි හරියක් ආසාදිත තත්වයන් සඟවන බවක් පෙනේ. මේ නිසා ඔවුන්ගෙන් තවත් අයට බෝවේ.  වැළැක්විය යුත්තේ එයයි.

මොඩලය සඳහා යොදාගත් සමීකරණය -((1-R0n)/(1-R0)) මෙහි n යනු දිනයයි 

Formula used - ((1-R0n)/(1-R0)) , n is the day 

(සහයෝගය - ශකීරා ධර්ම ගෙන් )


Wednesday 22 April 2020

ආයුර්වේද බෙහෙතක් හොයාගෙනලු

දැන් මේ වීඩියෝ එක එව්වා යහළුවෝ කිහිප දෙනෙක්ම. ප්‍රශ්න  කීපයක් ආවා ඔළුවට. 
 මේකේ කියනවා බටහිර වෛද්‍ය ක්‍රමයේ වෛරස් වලට බෙහෙත් හොයාගෙන  නැහැ කියල. මේක වැරදි කතාවක් . එහෙනම් ඕගොල්ලන්ට  පොඩිකාලේ ත්‍රිත්ව එන්නත (MMR ) (එන්නත් තුනක් එකට)  හෝ වෙන වෙනම  ගැහැව්වේ මොකටද කියල හොයල බලන්න. වෛරස  වලින් හැදෙන සරම්ප, ජර්මන්  සරම්ප සහ කම්මුල්ගාය ට තමා . 

ත්‍රිත්ව එන්නත ගැන මමත් සැකෙන් හිටි කාලයක් තිබුනා අර එංගලන්ත වෛද්‍යවරයෙක් නිසා. බ්ලොග් ලිපියකුත් ලිව්වා ඒ ගැන. මගේ දරුවන්ට වෙන වෙන වෙනම  එන්නත් ලබා දුන්නේ. ඒ කොහොම වෙතත් ඒවා වෛරස රෝග වලට දෙන එන්නත්.

ඊළඟට පැපොල කියන්නේ වෛරසයකින් හැදෙන රෝගයක් chicken pox කියන්නේ එකට. හදන වයිරසය varicella zoster . ඒකටත් එන්නතක් තියනවා. 

නැත්තේ කෝවිඩ් 19 එකට විතරයි මේ වෙලාවේ. ඉතින් බැයිද  මේ කියන බෙහෙත තියනවනම්  රසායනාගාර පරීක්ෂණයක් මගින් තහවුරු කරලා පෙත්තක් නිපදවන්න. පේටන්ට් එක අරගෙන විකුණුවානම් බිලියන ගානක් විදේශ විනිමය ගේන්න පුළුවන්නේ. මේ වීඩියෝවක් ගහනවට වැඩිය ඒකනේ කරන්න ඕනේ. 


Friday 17 April 2020

ඉතාලිය වෙනුවෙන්

මම 80 දශකයේ සෝවියට් සංගමයේ ඉගෙනුම ලබන විට බොහෝ රුසියානු  ,සහ ඉංග්‍රීසි  ගීත වලට අමතරව වෙනත්  විදේශීය රටවල් වල  සංගීතයද   ඉතා ජනප්‍රිය විය.  ඇත්තටම වෙනත් රටවල ගීත ඇසීමට මා පුරුදු වුනේද මේ කාලයේය. විවිධ යුරෝපීය  සංගීත ශානරයන් අතර ඉතා ජනප්‍රිය වුයේ ඉතාලි හා ස්පාඤ්ඤ සංගීතයයි.  ඒවා බොහෝ විට මොස්කව් ඩිස්කෝ සහ බාර් වල වාදනය විය. සෝවියට් සමාජවාදී සමූහාණ්ඩුවේ නිෂ්පාදිත සංගීත තැටි බහුලව මිලදී ගැනීමට තිබුණි. රුසියාවේ  සුප්‍රසිද්ධ ඉතාලි ගායකයින් අතර ඇඩ්‍රියානෝ සෙලෙන්ටානෝ, රිචී සහ  පොවේරි සහ ටෝටෝ කුටුග්නෝ  (මගේ  ප්‍රියතම ඉතාලියානු සංගීතඥයෙක් ) ද  විය. 

අපි 2015 දී ඉතාලියට ගියෙමු. ඉතාලියානුවන් ඉතා මිත්‍රශීලීයි ජාතියකි.  අපි  ඉතාලි කෑම වලට ආදරය කරන පවුලකි.  අපි විවිධ වර්ගයේ පැස්ටා, දේශීය වැනීසියානු අවන්හල්වල විශාල තුනී පීසා රස වින්දෙමු.පි බොටාර්ගා, ලසානියා , රයිබොලිටා, කාබොනාරා වැනි ආහාර අත්හදා බැලුවෙමු. දූවරුන් දෙදෙනා ඇතැම් ආහාර ප්‍රත්ක්ෂේප කරන අවස්ථාවක  , පීසා හෝ ස්පැගටි වලට ඔවුන් කිසි විටෙක අකැමත්ත දැක්වුයේ නැත.

 ඉතාලියේ ප්‍රසිද්ධ එහි  විශිෂ්ට හා ප්‍රසිද්ධ ආහාර වර්ග වලට  පමණක් නොවේ. ඔවුන්ගේ අතිශයින් වර්ණවත් හා පොහොසත් ඉතිහාසය වෙරෝනා, වැනීසිය සහ පීසා යන ආකර්ශනීය නගර සමඟ සංයුක්ත විය; සුප්‍රසිද්ධ වතිකානුව; පිනොචියෝ කතාන්දරය සහ දිගු කළු හිසකෙස් ඇති රූමත් කාන්තාවන්  අපව සැමවිටම ඉතාලියට බැඳ තබයි.
 මේ වන විට ඉතාලිය සෙසු යුරෝපයට සමගාමීව දුෂ්කර කාල පරිච්ඡේදයක් පසුකරමින් සිටී. කෙසේ වෙතත්, කොවිඩ් -19 හි මරණ සංඛ්‍යාව අඩු වන බවත් එහි ප්‍රස්ථාරයේ වක්‍රය පහළට නැමීමට පටන් ගෙන ඇති බවත් අපට පෙනේ. ඉතාලිය දැන් එහි උච්චතම අවස්ථාව පසු කර ඇති බවත්, මේ සුන්දර රට ඉතා ඉක්මනින් ආපසු යතා ටයට පැමිණෙනු ඇතැයි මම අවංකවම බලාපොරොත්තු වෙමි. 
මට නම්, ටෝටෝ කුටුග්නෝගේ "ලා ඉටාලියානෝ" ගීතය ඉතාලි ආත්මය නිරූපණය කරයි.
 වීවා ඉතාලියා


Thursday 16 April 2020

ඇමෙරිකා එක්සත් ජනපදයේ කොරෝනා පැතිරීම, දක්ෂිණාංශික හා වාමාංශික අන්තවාදය

ඉතා අරුම පුදුම ලිපි කිහිපයක් ඇමෙරිකා එක්සත් ජනපදයේ කෝවිඩ් 19 පැතිරීම පිළිබඳව කියවන්නට ලැබුණි.  රෝගය ඉතා සීග්‍රයෙන් පැතිරෙන මම බ්ලොග් ලිපි කිහිපයකින්ම පැහැදිලි කලෙමි.  ඇමෙරිකාවේ ජිවත්වන ඇතැමුන්  තත්වය තවමත් හොඳ බව, ට්‍රම්ප් ගේ වසංගත පාලන ක්‍රියා මාර්ග නිවැරදි පෙන්වීමට තැතනුවත්  සත්‍යය නම් ඒවා බොහෝවිට ලංකාව වැනි රටවල ඇතැම් ජාතිවාදී පිස්සන් හා සමාජවාදී ලෙස හඳුන්වන නරුමයන් ගේ විකාර වලට දෙන දුබල පිළිතුරු බව පෙනී යයි. ඒ නිසා සත්‍යය  වැදගත්ය.

ජනාධිපති ඩොනල්  ට්‍රම්ප් මුලදී චීන වෛරසය කියමින් ඩෙඟා නැටුවද ඔහු පසුව වෛරසය පැතිරෙන  බව පිලි ගත්තේය . ඒ එසේ නොකලොත් ඇමෙරිකානු ප්‍රාන්ත ඔහුට එරෙහිව යන බව පැහැදිලි ව පෙනුනි බැවිනි. කෙසේ වතුදු වෛරසය පැතිරෙන  වේගය අනුව ඊට එරෙහි එන්නත්  නිපදවීම ප්‍රමාද වීම සහ  ඇමෙරිකානු සෞඛ්‍යය සේවකයන්ට අවශ්‍ය තරම් ආරක්ෂක ආවරණ නැති බවත් වාර්තා වන  හෙයින් ඩොනල්ඩ් ට්‍රම්ප්  නැවතත්  ආර්ථිකය බේරා ගැනීමේ මුවාවෙන් දුබලයන් (මා  මෙහි දුබලයන් කියන්නේ වයස්ගත පුද්ගලයන්, වෙනත් රෝග ඇත්තවුන් වැනි වෛරසයේ ප්‍රධාන ගොදුරුය)  මරණයට දැක්කීම සඳහා කැසපට කවයි.   

 එයට සහයෝගය දෙන්නේ අන්ත දක්ෂිනාංශයයි. ඒ කෙසේද ?
     
ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව එක්සත් ජනපදයේ පළමු රෝගියා වාර්තා වන්නේ ජනවාරි විසි දෙවන දාය. ජනවාරි මස විසිහයේ සිට තිහ දක්වා පස් දෙනෙකු ආසාදිත බවට වාර්තා වූ අතර  පෙබරවාරි දෙවනදා  වනවිට එය දෙකෙන් වැඩිවී එකොළහක් වුනි.
 දින දහයකට පසු පෙබරවාරි දොළොස්වනදා දින එම ගණන දහහතරකි. සුළු වැඩි වීමකි. කෝවිඩ් 19 වෛරසයේ බීජෞෂණ දින ගණන දින දෙකේ සිට දහ හතර  දක්වාය. පෙබරවාරි විසි පහ  මේ ගණන පනස් තුනක් වී  මාර්තු තුන නැවත  දෙගුණයක්ව  එකසිය අටක් ලෙස  වාර්තා වෙයි. ඇමෙරිකාවේ  ප්‍රථම මරණය මේ දිනයේදීය.  ඉන්පසු සෑම දවසක් හැර දවසක්ම අසාදිත සංඛ්‍යාව දෙගුණ වන අතර මරණ සංඛ්‍යාව ද ඊට සමානුපාතිකව ඉහල යයි. මාර්තු හයදා වනවිට  ආසාදිත සංඛ්‍යාව දෙසිය දහ තුනකි. මාර්තු නම වනදා  නැවතත් එය දෙගුණයක්ව  472 ක් වී එකොලොස් වනදා ආසාදිතයන් නවසිය අසූ හතක්  වන විට  මරණ  ගණන  විසි නමයට ඉහල නගී . 

ඉන්පසු දින තුනකට වතාවක් දෙගුණ වෙන ආසාදිතයන් සංඛ්‍යාව දහ නම වැනිදා දස දහස ඉක්මවයි.  මරණ සංඛ්‍යාව එකසිය පනහකි. මාර්තු දහ නම වනදා    සිට පැතිරීම වඩාත් සීඝ්‍රවත්ය. 
  
 මාර්තු විසි දෙක දෙගුණ වන අගය මාර්තු විසි පහ 68,334ක් වෙයි. ලක්ෂය පනින්නේ මාර්තු 29 දාය. මරණ සංඛ්‍යාව 1668 කි. ලොක් ඩවුන් කිරීම සහ රෝග පරික්ෂා කිරීම  නිසා මරණ සංඛ්‍යාව 1.6% ක අඩු අගයක් ගන්නා  බවක් පෙනුනි. අප්‍රේල් පහ  වනවිට ඇමෙරිකා  එක්සත් ජනපදයේ මරණ සංඛ්‍යාව 9558 ක් වන අතර අසාදිත සංඛ්‍යාව ලක්ෂ තුන පනී.  අප්‍රේල් 7 වනදා වන විට එක්සත් ජනපදයේ මරණ ප්‍රතිශතය 3.23% කි. මරණ සංඛ්‍යාව 12795කි. අද වන විට ආසාදිත සංඛ්‍යාව ලක්ෂ හතකට ආසන්නය. මරණ සංඛ්‍යාව තිස් පන් දහසකි . එනම් 5.1% කි. මෙය අනිවාර්යයෙන්ම ඉදිරියේදී 7%-9% ක  ප්‍රතිශතයක් වන බව පෙනේ. 

අන්තවාදී සමාජවාදීන් ගේ තර්කය : මා ඔවුන්ට අන්තවාදීන් යයි කියන්නේ දිනකට ලෝකයේ බඩ  ගින්නේ මැරෙන සංඛ්‍යාව විසිපන්දහසක්  බව  ඔවුන් නිතර පවසන බැවිනි. එය සත්‍යයකි. බඩගින්න සහ එයට සම්බන්ධ ලෙඩ රෝග වලින් දිනකට එතරම් ප්‍රමාණයක් මිය යන බව පර්යේෂකයන්  පවසති. හැබැයි ඒ මිය යන්නේ එකවර නොවේ. එකම සතියකද  නෙමේ.  දවස් ගණන් , සති ගණන්, අවුරුදු ගණන් හාමතයේ සිටිමිනි. 
අනාදිමත් කාලයක සිට බඩ ගින්නේ මැරෙන මිනිසුන් බේරා ගැනීමට සමාජවාදීන් විසින් විප්ලව දියත් කළහ. ලංකාවේ 1971, 88-89 අරගල වලින් මුලින් විසි දහසක්ද ඉන්පසු හැට දහසක් ද මියගිය බව කියවේ. කාම්බෝජයේ කුසගින්න නිවීමට පැමිණි පොල්පොට් රජය විසින් මිලියන් 1.5 ත් දෙකත් අතර වැසියන් ගණනක් මරා දැමූහ. මින් බොහොමයක් බලෙන් ඇති කල සාගින්නෙන් මිය ගියහ. ස්ටාලින්   නිසා උක්රයිනයේ වැසියන් මිලියනයක් පමණ මිය ගියහ. සමහර විට බටහිර රටවල අධි පරිභෝජනය නවතා දැමීමට ආයුධ විරහිත සටනක්  ගෙනයාම වඩා හොඳ විය හැකිය.

අන්තවාදී දක්ෂිණාංශිකයන්ගේ තර්කය: මේ තර්කය අර තර්කයට සමගාමීව ඉදිරියට එන්නකි.  එනම් සාමාන්‍ය සෙම් ප්‍රතිශ්‍යා වෛරස හා නිවුමෝනියාව මෙන්ම පිළිකා වැනි රෝග වලින්ද මැලේරියා වසංගතය ආදියෙන්ද ඩෙංගු වසංගතයෙන් ද මේ හා සමාන හෝ ඊට වැඩි මිනිසුන් ප්‍රමාණයක් මිය යන බවයි.   මැලේරියාව තවමත් ඇත්තේ අප්‍රිකාවේ සහ සමහර ආසියානු රටවලය. මැලේරියාවට බෙහෙත් සොයාගෙන තිබේ. ශ්‍රී ලංකාව වැනි නිදහස් සෞඛ්‍ය සේවයක් මෙන්ම හොඳ වසංගත මර්දන ක්‍රමයක් ඇති රටවල මැලේරියාව සදහටම වාගේ තුරන් කර දමා තිබේ. මැලේරියා පෙති බී සංචාරය කළ හැකිය.  මැලේරියාව තව දුරටත් ලෝක තර්ජනයක් නොවේ. මේ අන්ත දක්ෂිණාංශික  මස් වැද්දන් ඒවා කියන්නේ නැත.

බ්‍රිතාන්‍යයේ මෙන්ම ඇමෙරිකා  එක්සත් ජනපදයේ ඇත්තේ අන්ත දක්ෂිණාංශික න්ට මුලින්ම කන්දෙන  ආණ්ඩු දෙකකි. ට්‍රම්ප් හා ජොන්සන් දෙදෙනා ගේම මූලික ප්‍රතිචාරය වූයේ චීනයට හැදුනාට වසංගත තත්වය එක්සත් ජනපදයට හා බ්‍රිතාන්‍යයට එතරම්  බල නොපාන බවයි. ඕනෑ තරම් සාක්ෂි තිබෙද්දිත් වෛරසයේ ප්‍රභේද පැතිරෙන බව පෙනී පෙනීත් ඉතාලියත්, එක්සත් රාජධානිය  සහ ට්‍රම්ප් ගේ දක්ෂිණාංශික රජයන්  ඒවා සැලකුවේ නැත. මා මුලින් ලියු බ්ලොග් ලිපියක මරණ සංඛ්‍යාව වැඩි විය හැකි බව හා චීනයේ මෙන්  ලොක් ඩවුන් කිරීමක් අවශ්‍ය විය හැකි බව කිවූ පසු  මගේ කාර්යාලයේ කිහිප දෙනෙක් ඒ පිළිබඳව උසුලු විසුළු කළහ. ඔවුන් බොහෝ අය පසුගිය මැතිවරණයේදී යුරෝපා සංගමයෙන් වෙන්වීමට චන්දය දුන් අය වීම මගින් පෙන්වන්නේ එවැනි වසංගත තත්වය පසුපස එන ආර්ථික කඩා වැටීම ගැන ඔවුන්ට තිබූ බරපතල අනවබෝධයයි. 

අද චීනයට කෝවිඩ් 19 මරණ ප්‍රමාණය සැඟවූ  බවට චෝදනා කරන බ්‍රිතාන්‍යයේ වැඩිහිටි නිවාස  දෙදහසක පමණ කෝවිඩ් 19 ආසාදිතයන් සිටින අතරම බොහොමයක් මරණ සිදුවීත් බ්‍රිතාන්‍ය  රජය ඒ අය වාර්තා ගත කර නැත. ඒ වෙනුවට නිදහස් සෞඛ්‍ය සේවයට අනුබද්ධ වැඩිහිටි නවස 90 ක රෝගීන් පමණක් වාර්තා කරති. ඊට අමතරව  චීනයේ මෙන්ම නිවෙස් වල මිය යන පුද්ගලයන්   වාර්තාගත කරන්නේ නැත. ඔවුන් කෝවිඩ් -19 වලින්ද සාමාන්‍ය රෝග වලින් මිය ගියාද යන්න කිසිවෙක් නොදනිති. මේ අනුව බලන් කල සමනය මරණ අගයට තවත් දෙදහසක් පමණ අප්‍රේල් 4 වන විට එකතු කළ යුතුව තිබුණි.
 
මේ වසංගත තත්වය පුරසාරමකට හරවා ගන්නා අය දකුණේ හා වම දෙපැත්තේම සිටිති. උදාහරණයක් වශයෙන් කියුබාව කල හොඳ දේවල් කිහිපයක්ම තිබේ. එකක් වෛද්‍යවරු පිරිසක් ඉතාලියට එවීමයි. අනික වයිරස ආසාදිත ලෙඩුන් සහිත අනිකුත් රටවල් ප්‍රතික්ෂේප කල බ්‍රිතාන්‍ය මගී නැවකට නැවතීමට ඉඩ දීමයි.  කියුබාවේ නිදහස් සෞඛ්‍ය සේවයක් සහ වැඩි වෛද්‍යවරු ප්‍රමාණයක් සිටිති. ඒ ගැන විවාදයක් නැත.

ඒ අතර යන පුරසාරම කියුබාව බෙහෙතක් සොයා ගත්  බවයි. ඔවුන් බෙහෙත පරික්ෂා කලත් ඉන් සම්පුර්ණ සුව වීමක් ඇත්දැයි තවම කවුරුත් දන්නේ නැත. ඊට  අමතරව කියුබාව සමාජවාදී නිසා කොරෝන වයිරස් රෝගී තත්වය සාර්ථකව මැඩ පවත්වා තිබේ. මෙය මේ වසංගතය පැතිරීම ගැන හරි හැටි නොදන්නාකමට කියන අඳබාල කතාවකි. එහි තවම රෝගය හරි හැටි පැතිරී නොමැත. අද වනවි රෝගීන් 862 දෙනෙකු ඇති අතර විසි හත්   දෙනෙකු මිය ගොස් ඇත. කියුබාවේ ජනතාව විසිරි ඇති පළාත්වල  රෝගය පැතිරීම අඩු අතර චීනය වැනිම වූ  මධ්‍යගත පාලනයක් ඇති රටක් වශයෙන් රෝගය පාලනය ලෙහෙසි විය හැකිය. එපමණකි.

තවත් අය සමාජවාදී රටක් වශයෙන් රුසියාවද ඒ ගොඩටම දමති.  රුසියාවේ සමාජවාදය අවසන් වුයේ 1991 දීය . සෝවියට් දේශයේ කාලයේ සාදන ලද පොලික්ලිනික් සහ රෝහල් නොවන්නට පූටින් ටද අමාරු වන්නේය. ඔහු ලහි ලහියේ මොස්කව් නගරයේ  තාවකාලික රෝහලක් සාදන්නේ එබැවිනි. රුසියාවේ  විසි හත් දහසකට රෝගය වැළඳී ඇති අතර දෙසිය තිහකට වැඩි ගණනක් දැනට ජිවිතයට සමු දී ඇත.

නිවැරදිව  රෝගය පාලනය කරන රටවල් අතර දැනට ඇත්තේ චීනය, දකුණු කොරියාව, තායිවානය  සහ ජර්මනියයි. චීනය හැර අනිකුත් රටවල් ඇඳිරි නීතිය භාවිතා නොකළහ. ජර්මනියේ කිසිම නගරයකින් වෙනත් නගරයකට යෑම තහනම් කර ඇති අතර රෝග ලක්ෂණ ඇති සියලු දෙන පරික්ෂණයට භාජනය කරති. ජර්මනියේ සෞඛ්‍ය සේවා හා රෝහල් නොමිළයේ සේවා සපයති. ජර්මනියේ ඇත්තේ ද දක්ෂිණාංශික රජයකි.  එහෙත් ඔවුන් මුල් කාලයේම ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනතුරු ඇඟවීම් සහ ඔවුන්ගේ විද්‍යාඥයන් ගේ අදහස් පිලි ගත්හ.

ශ්‍රී ලංකාවද මේ ගොනුවටම එකතු කිරීමට  මම කැමති මුත් මා ගණනය කළ ආකාරයට ශ්‍රී ලංකාවේ දෙදහසක පමණ ආසාදිතයන් පරිසක් දැනටමත්   සිටිය යුතුය. නමුත් ඇඳිරි නීතිය පැනවීම නිසා හා දිස්ත්‍රික්කයෙන් දිස්ත්‍රික්කයට යා නොහැකි නිසා ඔවුන් වසංගතය  මනාව පාලනය කරන බවක් පෙනේ.  ශ්‍රී ලංකා රජයෙන් කරන තවත් අගනා  ක්‍රියාවක්  නම් ආසාදිතයන් ගැවසුණු  තැන් සොයා ඔවුන් සමග සම්බන්ධකම් තිබූ අය නිරෝධනයට ලක් කිරීමයි. ජර්මනියේද මේ ක්‍රමය භාවිතා කරයි.   

ඊට අමතරව ශ්‍රී ලංකාවේ  බලධාරීන්ට මුහුණ පෑමට ඇති  ප්‍රශ්නයක් නම් ආසාදිතයන් ඒ බව පිලි ගැනීමට අකමැත්තක් දැක්වීමයි. 
එසේම  ඇඳිරි නීතිය ඉවත් කරන දිනවල මිනිසුන් වෙළඳ ශාලා වල  එකට පොදිකනු දැකිය හැකිය. එයට වරදක් කිව නොහැක්කේ ඔවුන්ද ජිවත් විය යුතු  හෙයිනි. මේ නිසා තවමත් ශ්‍රී ලංකාවේ ආසාදිතයන් සෑහෙන සංඛ්‍යාවක් සිටින බව මට සිතේ. නමුත් ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවන්, ආරක්ෂක හමුදා හා රාජ්‍ය නිලධාරීන් ඉහත කී රටවල් හතරේ මෙන්ම වසංගතය මැඩ පැවැත්වීමේ ලා ප්‍රසංශනිය කාර්ය භාවයක් ඉටු  කරන බව පිළිගත යුතුය. 

ඉතාමත් කණගාටුවට කරුණක් වන්නේ බ්‍රිතාන්‍යයේ ජාතික සෞඛ්‍ය සේවය (NHS ) කෙතරම් සාධනීය වැඩ කොටසක් ඉටු කරත් පැවති කොන්සර්වේටිව්  රජයන් එයට නියමිත ප්‍රතිපාදන නිතර කප්පාදු කිරීම  නිසා වෛද්‍ය, හෙදි හිඟයක් මෙන්ම සෞඛ්‍ය සේවා උපකරණ  වලද   හිඟයක්ද පැවතීමයි. එසේම අගමැති බොරිස් ජොන්සන් ලොක්  ඩවුන් ක්‍රියා දාමය පටන් ගත්තේ බොහෝ පමා වීය.  එසේම ඔහුට අවවාද දුන් විද්‍යාඥයන් මුලින් කියා සිටියේ ප්‍රතිශක්ති එන්නත් වලින් තොර සමූහ ප්‍රතිශක්තිකරණය ගැනය. (මේ ගැන මුල් බ්ලොග් මා ලිපි වල ලියා   තිබේ.)

ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් දිගින් දිගටම වසංගත තත්වයක්  නැතිය කියා ප්‍රතික්ෂේප කල අතර පරීක්ෂණ පටන් ගත්තේද  බොහෝ පමා වීගෙනය. දැන් ඔහු ලෝක සෞඛ්‍ය සංවිධානයට හා චීනයට චෝදනා කරයි. ඔහුගේ ආරක්ෂක සේවා චීනය මුළු මරණ සංඛ්‍යාව වසන් කරන බවක් කලින් කීවේ නැත්ද? අප වැනි බ්ලොග් ලියන්නන්ට පවා ගණනය කිරීමේදී පැහැදිලිව පෙනුණු කරුණක් ඇමෙරිකානු ආරක්ෂක සේවා නොදැන සිටියා යයි කිව නොහැකිය. එකම හේතුව නම් මේ මුග්ධ අහංකාර පරවශ මිනිසා ඒවා විශ්වාස නොකිරීමය.

මේ හේතුව නිසාම ට්‍රම්ප් විසින් ඇමෙරිකානු ආරක්ෂක හමුදා අනතුරේ හෙලා ඇත. මෙය හොඳ තත්වයක් නොවන බව ඕනෑම කෙනෙකුට පෙනෙන, එහෙත්  නොකියන  කරුණකි.

මම ඇමෙරිකා  එක්සත් ජනපද රජයේ ක්‍රියා කලාපය විවේචනය කරන්නේ ඒ රට වැටිලා කියා සතුටු වීමකට නොවේ . එවැනි රටක් වසංගතයක් නිසා ඇද වැටෙන්නේ නැත. එහෙත් වසංගතයක් පැතිරීමේදී  බොහෝ වැසියන්ට රැකියා කිරීමට නොහැකි තත්වයක් උදාවී ආර්ථිකය අඩාල වීමක් කොහොමත් සිදුවිය හැකිය. ඒ නිසා නිසි පියවර කලින්ම  ගැනීමෙන් එවැනි තත්වයක් වලකා ගැනීම රජයේ කාර්යභාරයයි. ට්‍රම්ප් ගේ රජය නොකළේද එයයි. 

ජනාධිපති බැරක් ඔබාමා ඉදිරියේ එන වසංගත තත්වයට මුහුණු දිය යුතු අන්දම පවසන වීඩියෝ  වක් දුටිමි. එවැනි දූරදර්ශී නායකත්වයක් තිබුණු රටක් අසාර්ථක මුදලාලි කෙනෙකු විසින් අනතුරේ හෙලා තිබෙන පෙනී යයි.
 
අගමැති  බොරිස් ජොන්සන් සහ ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් මුලින් ගන්නා  ලද වැරදි දේශපාලන තීරණ නිසා  නිසා නිදහස් ලෝකය ලෝක ජනතාව ඉදිරියේ අපවාදයට බඳුන් වී ඇත. ඒ වෙනුවට ඒකාධිපති ආණ්ඩු ප්‍රසාදයට පත්වී ඇත.
 
ඉහත පින්තූරයේ කියා ඇත්තේ මෙවැනි  දෙයකි.

ඩොනල්ඩ් ට්‍රම්ප් වැනි ඉබ්බෙකු උස කුළුණක් මුදුනට  ගොස් ඇත. ඔහු එතනට ගොස් ඇත්තේ කෙසේද කියා ඉබ්බා නොදනී. එතැන ඔහුට අයත් තැනක් නොවේ.  කුළුන මුදුනේ සිටියදී එතන සිට කල යුත්තේ කුමක්ද කියා ඔහු නොදනී. ඔහුව ඔසවා තබා ඇත්තේ ඔහුගේ සීමිත දැනුමෙන් යමක් කරන්නට හැකි තැනකට නොවේ. අපට පුදුම මොන මෝඩයෙක්  ඔහු එවැනි උස තැනක  තිබ්බාද කියාය. 
 
දැන් ඇමෙරිකා එක්සත් ජනපදය හොඳින් කරන්නේ කුමක්දැයි විමසා බලමු. සෞඛ්‍ය වෘත්තිකයන් විසින් මිලියන් තුනකට වැඩි ප්‍රමාණයක් පරික්ෂා (3,304,125) කර තිබේ. මුළු ආසාදිත සංඛ්‍යාව ලක්ෂ හතක පමණ වන  නිසා  වන නිසා මෙය හොඳ තත්වයකි.    එසේම ඇමෙරිකා  එක්සත් ජනපදය හෝ බ්‍රිතාන්‍යය, ශ්‍රී ලංකාව හෝ චීනය කරන අන්දමට ඇඳිරි නීතිය  දමා පාලනය කල හැකි රටවල්  නොවේ.  පෞද්ගලික නිදහස මහත් සේ අගයන එම නිදහස රැක  ගැනීමට ආයුධ ගැනීමට පසුබට නොවෙන ජනතාවක් හැසිරවීම අපහසු බව  ඩොනල්ඩ් ට්‍රම්ප් හොඳින් දනී.

එසේම ශ්‍රී ලංකාවේ ඇතැමුන් සිතන පරිදි මේ රටවල් දෙක ආර්ථිකය පසුබෑමකට ලක් වූවත් ඇද වැටී ඇතැයි සිතුවත් මේ අවපාතය දරා ගැනීමට ඔවුන් ශක්තිමත්ය.

නමුත් චීනයේ නිපදවන බොහෝ දේ මිලදී ගන්නේ යුරෝපය හා, ජපානය හා ඇමෙරිකා  එක්සත් ජනපදයයි. ඔවුන් එම භාණ්ඩ මිලදී ගැනීම ප්‍රතික්ෂේප කළහොත් චීනයට වන්නේ කුමක්ද?   

යුරෝපය හා මැද පෙරදිග රටවල් වල රැකියා කරන ශ්‍රී ලාංකිකයන් එවන මුදල ශ්‍රී ලංකාවේ දළ  ජාතික නිෂ්පාදනයෙන් 8-9% අතර ප්‍රමාණයකි. එනම් ඩොලර් බිලියන් 6 ත් 7ත් අතර ප්‍රමාණයකි.  ශ්‍රී ලංකාවේ වෙළඳ ශේෂය අඩු කිරීමට මේ මුදල භාවිතා වේ.  ඉදිරියේදී මේ මුදල අඩුවීමට නියමිතය. ඒ යුරෝපයේ හා මැද පෙරදිග ආර්ථික අවපාතයකට මුහුණ දීමට ඉඩ ඇති හෙයිනි. එසේම ශ්‍රී  ලංකාවේ අපනයන භාණ්ඩ  වැඩිපුරම මිලදී ගන්නේ ඇමෙරිකා එක්සත් ජනපදය හා යුරෝපයයි. ඔවුන්ද ඒ මිලදී ගැනීම් කපා හැරීමට ඉඩකඩ තිබේ.  ඒ නිසා මේ රටවල තත්වයට සිනා සෙමින් අපහාස උපහාස කරනු වෙනුවට ශ්‍රීලංකාවේ වැසියන් ආර්ථිකය බේරා ගැනීමේ ඊළඟ පියවර ගැන සැලකිලිමත් විය යුතුය


       


      


Friday 10 April 2020

නාඳුනනා ඔබට


අපේ පුංචි ගෙවත්තේ 
චෙරි මල් නැවතත් පිපිලා 
පුංචි පුංචි 
මල් කිනිති ගහ පුරා

සොබා දහම නැහැ කවදත් 
නැවතුනේ ජීවය දෙන්නට
වෙන ඕනෑම දවසක 
මගේ හදවත සතුටෙන් පිරෙයි
 
ඒත් අද, ශුභ පාස්කු සිකුරාදා
හය දහසකුත් එක්ක තව සිය ගණනක්ම 
නාඳුනනා රැසක්, දිවි ලද්දවුන්ගේ 
ලෝකය  හැර ගොස්ය 
ආදරණීයයන්  අසලක නොයිඳම 

උපත  හා මරණය 
හැමට උරුමයි 
ජීවිතය යන 
නිමේෂය සමග 

මට කළ හැකි එකම දෙය 
මේ පුංචි චෙරි ගහේ  
බක් මහේ පිපුන සුදු මල් 
පුදන්නට නාඳුනනා ඔබට    


--Ajith

Sunday 5 April 2020

මිනිසුන් ස්ව කැමැත්තෙන් නිරෝධායනයට යොමු වෙනවද?

දැන් මගේ බ්ලොගයේ ගණනය කිරීම් වලට අනුව ශ්‍රී ලංකාවේ අද වන විට කොරෝනා රෝගීන් 220 ත් 400 අතර සිටිය යුතුය. නමුත් සොයා ගෙන ඇත්තේ 177කි. මා කිව්වේ අප්‍රේල් 8 වන විට 1700 ක් වනු ඇති කියාය.  (එක්කෝ රජය සඟවනවා විය යුතුය. නැතිනම් ආසාදිතයන් සැඟවී සිටිනවා විය යුතුය. )
 මා ලීවේ මෙසේය. //ප්‍රතිජනන  අගය R0 =1.5 ලෙස ගනිමු. ඒ කියන්නේ මේ සංඛ්‍යාවේ අවම අගයයි. එහිදී අප්‍රේල් 2 හා 4 අතර අගයන් වන්නේ 220 සිට 400 කි. අප්‍රියෙල් 8 වනවිට මුළු ආසාදිතයන් ගණන වන්නේ 1700 කි.  
//
මිනිසුන් (විශේෂයෙන් ඉතාලියෙන් පැමිණි අය ) නිරෝධායනයට එන්නේ නැත්තේ ඔවුන් රෝගය ගැන සැක කරන අය සමග එකට දමා තිබීමක් විය හැකි නිසා යයි වෙනෙකෙකු ගේ පෝස්ට් එකක සති දෙකකට කලින් ලීවෙමි. එම තැනැත්තියත් මිතුරනුත් (මා දන්නා අයෙකුත්) ඉතා නරක විධිහට සැරෙන් ප්‍රතිචාර දුනි. එනිසාම එම දෙදෙනා මිතුරු ලැයිස්තුවෙනුත් ඉවත් කලෙමි. මා ලීවේ වෙනතකින් ලැබුණු ආරංචියක් පමණි. මේවා සන්සුන්ව සංවාද කර විසඳා ගතයුතු දේ මිස ෆේස්බුක් මිම් දමමින් හෝ අවන්ඥාසහගත ලෙස පහර ගසින් විසඳිය යුතු ඒවා නොවේ.
දැන් මේ පින්තූරයෙන් පෙනෙන්නේ අසාදිත යැයි සැක කරන, නොකරන සියල්ල එකට දමා මදුරු දැල් වලින් පමණක් කවර් කර තිබෙන තැනකි. එනයින් බලන කල නිරෝගීව හිටි අයෙකුට පසුව රෝගය වැළඳී අවසන් ගමන් ගිය බවක් පෙනේ. එසේ නැත්නම් මේ පින්තුරය වටහා ගන්නේ කෙසේද? මට බැණ වැදුණු අය කීවේ එය එසේ නොවන බවයි. එසේ නම් ඒ බව රූපවාහිනී මගින් හෝ පෙන්වා දිය යුතුය.
දැන් පැහැදිලි වන්නේ මිනිසුන් බයට නොපැමිණ සැඟවී සිටින බවයි.

මේ නිරෝගිව හිටි ඉතාලියෙන් පැමිණි සහෝදරයා ට රෝගය සෑදී මිය ගියා නම් සුවය ලැබීයයි කියා නිවෙස් වලට පිටත් කල අයද නැවත රැගෙන විත් පරික්ෂා කලොත් නරකද? හේතුව නම් ඇතැම් ප්‍රභේදයක රෝග ලක්ෂණ මතු වෙන්නේ දින 14න් යයිද තවත් ප්‍රභේදයක දින 49 කින් යයිද කියති. වෙන වෙනම පොඩි කුටි වැනි දේ කර්ටන් වලින් හෝ හමුදා රෙදි වලින් සෑදිය හැකිය.

මගේ අදහස නම් මේ කියන 177 සංඛ්‍යාවට වඩා වැඩි හරියක් රෝගය වැළඳී නිහඬව සිටින බවයි. ඉතාලියෙන් පමණක් නොව, ඉන්දියාවේ සිට පැමිණි අයද ඇමෙරිකා එක්සත් ජනපදයේ සිට පැමිණි අයද මේ සංඛ්‍යාව තුල තවමත් නිදැල්ලේ සිටිති.

මේ භය කරන්නට ලියන් දෙයක් නොවේ. ඔලුවෙන් කල්පනා කර බලා කටයුතු කරන අවස්ථාවකි මෙය. . සන්සුන් සංවාදයකට විවෘතය. විශේෂයෙන් මගේ මිතුරු වෛද්‍යවරුන් ගේ අදහස් ද අගයමි.

ෆේස්බුක් එකේ අපේ යාළුවන්ද කතා කරන්නේ මරා ගන්නට මෙනි. කල යුතුව තිබෙන්නේ බැණ වැදීම , ෆේස්බුක් විරුවන්ගේ මීම් හැදීම නොව කරුණාවන්තව ඉවසීමෙන් කරුණු පහදා දී මේ අයව රෝහල් වලට ගෙන යාමය . එසේ එන්නේ නැතිනම් නිත්‍යානුකුලව අත් අඩංගුවට ගැනීමය. ෆේස්බුක් එකෙන් බැන්නා කියා මුකුත් වෙන්නේ නැත. ඉන් වෙන්නේ ඔවුන් තවත් සැඟවී සිටීම පමණි.

මේ මගේ බ්ලොගයට කලින් ලැබුණු ප්‍රතිචාරයකි. ඒ අනුව බ්‍රිතාන්‍යයේ මෙන් රෝගය වැළඳුනා යයි සැක කරන අය රෝහල් වලින් භාර ගන්නේ නැති බවක් පෙනී යන්නේ නැතිද? 
/අද මම ගියා කොරෝනා රෝගීන් ඇතුලත් කරගන්න ආන්ඩුවේ ඉස්පිරිතාලෙකට . දවස් හතරක් උන සහ කැස්ස. මම කිව්වා කොරෝනා ටෙස්ට් එක කරගන්න ආවේ කියලා. OPD දොස්තර මහත්තයා මගේ විස්තර අහලා " මේකයි' ඔයා high risk කැටගරියක නෑ. අපි ලේ බලමු කියලා Full blood count එකක් කලා. ඒක බලලා සාමාන්‍ය වෛරස් එකක් වගේ කියලා බේත් දුන්නා. හොඳ උනේ නැත්නම් ආයේ එන්නලු.මට තියෙන මානසික පීඩනය ගැන අමුතුවෙන් කියන්න ඕන ද ? ඇයි මාව ටෙස්ට් නොකලේ ? සීමිත පහසුකම් නිසාවත් ද ?
//
මේ ඇත්තේ සති  තුනකට කලින් ඉතාලියෙන් පැමිණි අය නිරෝධායනයට නොපැමිණීම ගැන  මම ෆේස්බුක් හි දැමූ කොමෙන්ටුවකි.

//ඇත්තටම මේ දකුණු කොරියාවේ , ඉතාලියේ ඉන්න අයට  ඔලුව හොඳ නැත්ද ලංකාවට යන්නේ ආපහු. එකක් ලංකාවේ ඉන්න ඒ මිනිස්සුන්ට ලෙඩේ  හැදෙනවා. එදා වේල හොයා ගන්න වැඩ කරන මිනිහෙකුට කොච්චර  අමාරු වෙනවද  එක  එක ආයතන වහන්න ගත්තම? ඒ මිනිස්සු සල්ලි හොයා ගන්නේ කොහොමද? ඔයාල  ඉඳල යයි අපහු ඉතාලියට , කොරියාවට, අර මිනිසුන්ගේ නේ ජොබ් නැති වෙන්නේ , මැරෙන්නේ .  අනික තමන්ගේම පවුල් වලට අයට වුනත් හැදෙයි නේද? හුඟක් මිනිස්සු ආත්මාර්ථකාමීයි. හැමෝම තමන්ගේ ජිවිතයට ආදරෙයි නේ. ඔය ඉන්න තැනකට වෙලා ගෙදර දොර හරි ඉන්න  කාමරේ හරි වහගෙන ඉන්නවාල. ඉතාලියේ නම් ගෙදරටම කෑම බඩු ත් ගෙනත් දෙනවලු අසනීප නම්.  //

දැන් එදා වේල සොයා ගන්නට බැරිව බඩගින්නේ මැරෙන අය ගැන සිතිය යුතු වන්නේ ඇඳිරි නීතිය  දින නියමයක් නැතිව දමා ඇති නිසාය. 

Thursday 2 April 2020

සැබෑ ප්‍රශ්නය හකීම් නොවේ COVIDIOT කෝවිඩියට් වරුනි , මේ වෙලාවේ ජීවිතය රැක ගැනීමයි

සම්පුර්න කෝවිඩ් 19 මුහුණු  ආවරණයක්
 

මම දිගින් දිගටම කොරෝනා වයිරසය පැතිරීම ගැන දත්ත ඇසුරින් විශ්ලේෂණය කලද මා නොබැලූ පැත්තක් ගැන නොයෙක් ප්‍රතිචාර බ්ලොගයට ලැබුණි.  ඒවායින් ප්‍රතිචාර දෙකක් මෙහි පල කරමි.

ප්‍රතිචාරය 1- //මහත්තයා අපි දැන් දවස් ගානක් ඉදං කුසට හරියට කෑමක් ගත්තේ නැහැ. ඇඳිරි නිතිය නිසා එලියට යන්නත් බැහැ. වෙළෙන්දෙක් එළවලු අරන් ආවා. ඒ උනාට අතේ සල්ලි නැති නිසා ගන්න උනෙත් නැහැ. ඒවායේ මිලත් වැඩියි. නන්දසේන ජනාධිපතිතුමා අපිව හාමතේ මරන්නවත්ද සර් යන්නේ. ආණ්ඩුවෙන් දීලා තියෙන නොම්බර වැඩ කරන්නේ නැහැ. ඇල් වතුර බෝතලයක් පුරවාගෙන ඒක බිබී තමයි ඉන්නේ දැන් දවල් ඉදං. 6 වෙනිදලු ඇඳිරි නිතිය අයින් කරන්නේ.//

මගේ පිළිතුර:
මහත්මයා , මම ජනතා විමුක්ති පෙරමුණේ රතු තරුව, හා අලුත් පියාපත් යන සංවිධාන දෙකටත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ සහෝදර පියාපත් එකටත් කැමති මේ නිසයි. අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයත්, තෙවරප්පෙරුම මන්ත්‍රීවරයාත්  ආධාර බෙදනවලු. අනිත් දේශපාලන පක්ෂත් තම තමන් ගේ තරුණ පෙරමුණු හරහා එක්වී වැඩකළ යුතුයි. මෙය හැම මිනිහෙකුගේම ප්‍රශ්නයක්, ජාතික ආපදාවක්. පොහොට්ටුවේ  සහ එජාපයේ තරුණ පෙරමුණු නැත්ද? 
මේ එක විධිහක් උදව් කරන්න.
අනික තමා ආණ්ඩුවෙන් හැමෝටම සහනාධාර මුදලක් දෙන එක (දැන් දෙනව කියල කියනව) 
ඊළඟ එක අර නන්දන විරරතන සහෝ ලිව්ව විධිහට සමූපකාර ක්‍රමයක් හරහා ආධාර බෙදන එක. යටත් විජිතආණ්ඩුව මැලේරියා වසංගත  කාලයේ කරපු එක.  හමුදාව ඒවාට යොදවන එක . මානුෂීය හමුදාව කියලනේ කියන්නේ. ඒක කරන්න පුළුවන් දෙයක් නේ.
මම පෞද්ගලිකවම නම් සපෝර්ට් ලොක්‌ ඩවුන් කරනවට , ඇඳිරි නීතියට නෙමේ. මෙය පැතිරීම  පාලනය කරගෙනම  වැඩට යන්න දීම.
 සමහර ආහාර කඩ හැර තැබීම. 
ගොවිතැන් වගේ මිනිසුන් ගැවසෙන්න අවශ්‍ය නනැති  රැකියා  වලට ඉඩ දීම. (මිනිසුන් එක් රැස්  නොවන තැන් වල )
මෙවැනි  යෝජනා ටිකක් හදල හැමෝම සමාජ ජාල වල ප්‍රචලිත කරලා බල කරන්න බැරිද

ප්‍රතිචාරය 2- 

24 වෙනිදා සිට අපට දිගටම ඇඳිරි නීතිය. මහරගම පමුණුව පාරට මෙතෙක් කිසිම බලකායක සැපයුම් රියක් ආවේ නැත. පරිප්පු දෙසීයට, පොල්තෙල් බෝතලය 400/ට ගන්නටය වෙලා තියෙන්නේ. ඒකටත් ඇඳිරි නීතිය නොතකා යන්න වෙයි. 
ජනාධිපති මාධ්‍ය ඒකකයේ නොම්මර හමුවී අපේ ගැටලුව කියන්නට ගිය විට වුනු දේ එහි ප්‍රධානී සුගීශ්වර බණ්ඩාර මහතාගේ fb එකට කමෙන්ට් එකක් විදිහට දැම්මේ වෙන කල යුතු දෙයක් නැතිම තැනයි. (ඒ පෝස්ටුවේය ඒකකය පැය 24ම් වැඩය කියලා අංකත් දමා තිබුනේ, මාර්තු 30 රාත්‍රී 10.47 ට)

මේකය මා යැව්වේ.
‘Nimal Diaanayake ආයුබෝවන්. මම නිමල් දිසානායක. ඉන්නේ මහරගම පමුණුව පාරේ. මෙතෙක් කාර්ය සාධක බලකාය හා එක්ව එවනවා කී කිසිම සැපයුම් රියක් තියා අත් කරත්තයක්වත් තවම මෙහාට ආවේ නැහැ. පුද්ගලික ලොරියක් විතරයි ආවේ, පොල් හා බිත්තර අරගෙන. ඇඳිරි නීතිය නොතකා පාරේ යන වාහන, පුද්ගලයන් අනුගමනය කරන්නද අපට වෙන්නේ? මේ තත්ත්වය ගැන කියන්න 0112 354 354 ට කතා කළා. මහත්මයෙක් මගේ කතාව 0114 055 927 ට කියන්නැයි කීවා. කිව්වාම 0112 860 003 ට කතා කරන්නට උපදෙස් දුන්නා. එතැනින් කීවේ සතොස- 0112 436 301 හෝ කෝප් සිටි-0773 689 460 ට කතා කරන්න. සතොස සතොසේ ටෙලිෆෝනය උස්සන්නේ නැහැ. කෝප් සිටියෙන් අංගනාවක් කිව්වා 0112 354 354 ට අරන් මහජන සම්බන්ධතා අංශයට කියන්න කියලා. වටම ගිහින් ගෙටම ඇවිත්..., දැන් ඒ නොම්මරේ ගත්තාමත් ටෙලිෆෝනය උස්සන්නේ නැහැ. කරුණාකර කියන්නකෝ, තව කාටද කිව යුතු කියලා.’

තවම උත්තර නැත. 

තුන්වෙනි ප්‍රශ්නය: වැඩිහිටි ජනතාව  තම ගමට  හෝ වෙනත් තමන්ට ආරක්ෂාකාරී තැන්වලට ගොසිනි. ඔවුන්ගේ විශ්‍රාම වැටුප ගන්නට ඒ තැන්වල සිට එන්නට බැරිය. ඒ නිසා නිවසේ කවුරුන් හෝ එවූ විට තැපැල් කාර්යාල මුදල් නොදෙති. ඔවුන් කියන්නේ මුලින් ප්‍රාදේශීය  කාර්යාලයට යන ලෙසය. එයින් ලියුමක් රැගෙන ඉන් ADO හෝ මොකක්දෝ එකකට කියා එතැන ලේකම් ගෙන් ලියුමට අවසරය  රැගෙන පැමිණිය යුතුය.  ඉන්පසු තැපැල් කාර්යාලය මුදල් දෙනු ඇත. වංචා කිරීම  වැළැක්වීමට මෙය කරන්නේ යයි සිතාමු. රියදුරු බලපත්‍රය හා විශාමික තැනැත්තාගේ වෙනත් උපන් දින සහතිකය වැනි දෙයක් තබාගෙන මුදල් දෙන්නට බැරිද?

කොපමන අප බ්‍රිතාන්‍යට බැන්නත් ඔවුන් ඒ සහනාධාර ගෙවීම  පිළිවෙලකට කරති. විශාමික මුදල් ගෙවන්නේ බැංකුවටය, ඉන් ඕනෑම වෙලාවක මුදල් ගත හැකිය. තැපැල් කාර්යාලයෙන්ද එවන් අයෙකු අදාල අයගේ ලිපියක් හා හැඳුනුම්  පතක් රැගෙන්පැමිණ ගත හැකිය. ඉහත කී අතේ මුදල් නැති  මේ මිනිසුන් ජිවත් වන්නේ කොහොමද?

ලොක්ඩවුන් කිරීම  මේ අවස්ථාවේ හොඳ යයි කියන්නේ මේ නිසාය. හමුදාව හා පොලිසිය යොදවා රෝගය පැතිරීම වැඩි ස්ථාන පමණක් වසා තැබිය හැකිය. එසේ නැත්නම් මෙසේ අසරණ වී සිටින මින්සුන්ට උපකාර කිරීමට වෙනත් ක්‍රම වේදයක් සැලසිය යුතුය.

පරික්ෂා කර කොරෝනා වැළඳී සුව වූ හෝ නැති අයට පොලිස් සහතිකයක් නිකුත් කල නැවත රැකියාකිරීමට  ඉඩ සැලසිය යුතුය.
නිවෙස් වල සිට ස්වයං රැකියා කරන අයට ඒ සඳහා අවකාශය සහ සහයෝගය  දිය  යුතුය. 

රටේ විපක්ෂ නායකය සැඟවී  සිටින්නේ කොහේද ? මේ ඔහුගේ කාර්යභාරයයි. මොන දේශපාලන පක්ෂයක හෝ වේවා මේ මිනිසුන් මුහුණ දෙන ප්‍රශ්න  ගැන රජයට දැනුම් දී සාකච්ඡා කිරීම  ඔහුගේ යුතුකමක් පමණක් නොව රාජකාරියයි. 

හකීම් ගැන - මම ඔහුගේ ප්‍රකාශය සලකන්නේ හෙලිකොප්ටරයෙන්   පිරිත් පැන් වතුර ඉහීම , කුරුසය රැගෙන පියාසර කිරීම ආදිය ගනනටමය. හකීම් ට තිබුනේ දේශපාලන  ලකුණු රැස් කිරීම වෙනුවට විපක්ෂ නායකවරයා හරහා ඒ ගැන රජය සමග හීන්  සීරුවේ සාකච්ඡා කරන්නටය. ගින්නට හුළං ගැසීම නොවේ.   ඉදිරියේදී පාංශ කූලය දීම පිළිබඳවද ප්‍රශ්න ඇතිවිය හැකිය. විපක්ෂ නායක කෝ? 

-කොළඹ ගමයා 
වෙනත්  කොරෝනා ලිපි :



.

Tuesday 31 March 2020

ශ්‍රී ලංකාවේ කොරෝනා වයිරස් COVID -19 තත්වය - 2



ඔබ මේ සංඛ්‍යා බලා කලබල වෙන හෝ ආවේගී වන අයෙකු නම් මෙය කියවීම නොකළ යුතුය.

මගේ මුල් ලිපිය බ්ලොගයෙන්  බලන්න. ශ්‍රී ලංකාවේ කොරෝනාවයිරස් තත්වය

එම මුල් ලිපියේ  මා සඳහන් කළ අගයන් මේවාය .

//මේ නිසා ශ්‍රී ලංකාවේ එකවරම රෝගීන් වැඩිවීමේ අවදානමක් ඇත්තේ අප්‍රේල් 2 හා 4 අතරය. එනම් බොහෝ විට රෝගීන් සංඛ්‍යාව  1126 සිට 4198 දක්වා වැඩිවිය  හැකිය.
මේ ගණනට  එනවිට හතළිහක පමණ පිරිසකට එය මාරාන්තික විය හැකිය.මතක තබාගන්න මේවා ගණිතමය වශයෙන් එන සංඛ්‍යා මිස රටේ ඇඳිරි නිතිය පැවතීම වැනි සාධක සලකා බලා කරන පුරෝකථන  නොවේ.ඒ කියන්නේ ශ්‍රී ලංකාව හා එහි වැසියන් ගන්නා ක්‍රියා මාර්ග මත වාසනාවන්ත ලෙස එසේ සිදු නොවීමට ඉඩකඩ තිබේ. 
බ්‍රිතාන්‍ය හෝ ඉතාලිය වැනි රටවල මෙන්  වසංගත තත්වය ගැන  නොසලකා හිටියොත් අවුරුදු සමය වනවිට මේ  රෝගීන් සංඛ්‍යාව අටදහස දක්වා වැඩිවිය හැකිය.  මරණ සංඛ්‍යාවද සීයත් දෙසීයත් අතර වනු ඇත.
.//

ශ්‍රී ලංකාවේ රජයේත් , සෞඛ්‍ය  සේවාවන්ගේ ත් ජනතාව විසින් covid-19 සම්බන්ධ නීති රීති පිලි පැදීමත් නිසා මේ අගය අඩුවී ඇති බව පැහැදිලිවම පෙනේ. 

එම නිසා නැවත ගණනය කිරීමක් කරන ලදී. මේ අනුව අප්‍රියෙල් 2 හා 4 අතර  ආසාදිතයන් ගේ ගණන 275 (1126 වෙනුවට )  සහ 620 අතර වනු ඇත (ඇඳිරි නිතිය නොසලකා හැර ගණනය කර ඇත).,  ප්‍රතිජනන  අගය 2.2 ලෙස ගණනය කල හෙයින්  මෙය සාධනීය අගයකි.  නමුත් මේ අගයන් අනුව පුරෝකථනය කළහොත් නැවතත් අප්‍රේල් 8 වනවිටආසාදිතයන් ගණන  හය දහසක් දක්වා වැඩිවේ. අප්‍රේල් 15 වනවිට එය ඉතා ඉහල අගයක් ගනී. ඒ ගණන මම නොලියමි. එයට හේතුව ඇඳිරි නීතිය  හා වෙනත් ක්‍රියා  මාර්ගද සමාජීය පරතරය තබා ගැනීම වැනි ක්‍රියා මාර්ගද ශ්‍රී ලංකාව විසින් අනුගමනය කරන බැවිනි. එසේම  එවැනි ගණනක් ගැන මට සිතීමටද  නොහැකිය. ඒ  එය ලක්ෂ හයකට ආසන්න වීමය. පැතිරීමට බලපාන සියලු කරුණු සලකා බැලුවහොත් එවැනි ආසාදිතයන් ගණනක් ඇති වීමට සම්භාවතාවක් නැත.  

දැන් අපි ප්‍රතිජනන  අගය R0 =1.5 ලෙස ගනිමු. ඒ කියන්නේ මේ සංඛ්‍යාවේ අවම අගයයි. එහිදී අප්‍රේල් 2 හා 4 අතර අගයන් වන්නේ 220 සිට 400 කි. අප්‍රියෙල් 8 වනවිට මුළු ආසාදිතයන් ගණන වන්නේ 1700 කි.   මා මුල් ලිපියෙන් කීවේ  අවුරුදු සමය වනවිට රෝගින් ගණන අටදහසකින් වැඩි වෙතියි කියාය.මේ ගණනයට අනුවද එය එසේමය. එනිසා අප්‍රේල් 15 වනවිට මුළු ආසාදිතයන් ගණන වනුයේ 27000 කි.
 
මේ අප්‍රියෙල් 15 දක්වා ගණනය කළහොත්  ලැබෙන අංක  දෙක අතර ඇත්තේ (ප්‍රතිජනන අගය 2.2 ලෙස ගෙන හා එම අගය 1.5 ලෙස ගෙන ) අති විශාල වෙනසකි. 

එනිසා  මම  ලංකාවේ තත්වය ජර්මනියට සමාන කලෙමි. එයට හේතුව  ශ්‍රී ලංකාවේ මෙන් ජර්මනියේ  ද සෑම  රෝගියෙකුම  පරීක්ෂණයට ලක් කරන අතර ඒ හැම අයෙකුම  වෙන් කර ප්‍රතිකාර කරනු ලැබේ. 
ආසාදිතයන් හා මරණ අඩුවීමට මෙය ප්‍රධානම සාධකයක් බව පෙනේ.

ජර්මනියේ මෙන් ශ්‍රී ලංකාවේද වෙනත් නගර වලට යාමට අවසර නොමැත. ප්‍රශ්නය වන්නේ ශ්‍රී ලංකාව තවම ඇත්තේ මෙම වසංගතයේ මූලික අවධියේ වීමයි. එනිසා මේ සංඛ්‍යා සැබවින්ම එලෙස වීමේ සම්භාවිතාව වන්නේ අඩු අගයකි.
ජර්මනියේ  ආසාදිතයන්  ගණන   100 සිට මුල් දින දහයට 1296 දක්වා වැඩිවීමක්ද ඊළඟ දින 10 තුල 18,323 දක්වා වැඩිවීමක්ද තිබුණි. ඊළඟ  එළඹෙන දින 11 තුල එය71,000 දක්වා වැඩිවුණි.

ශ්‍රී ලංකාවේ 31 දා වනවිට ආසාදිතයන්  ගණන 143 කි. ප්‍රතිජනන  අගය 2.2 නම් ඊළඟ  දින දහයේදී  (අප්‍රේල් 10) එය 21,000 දක්වා වැඩිවේ. ප්‍රතිජනන අගය 1.5 නම් එය 1210 කි. එනම් ජර්මනියේ සංඛ්‍යාවට සමානය. ඊළඟ දින දහයේදී එනම් අප්‍රේල් 20 වනවිට ප්‍රතිජනන අගය 2.2 නම් අසම්භාව්‍ය ලෙස වැඩිවෙන අගයක් ලැබේ (මුළු ශ්‍රී ලංකාවේම ජනගහනය). එය විය හැක්කක් නොවේ.  එහෙත් ප්‍රතිජනන  අගය   1.5 නම්     මේ ගණන ලක්ෂ දෙකකට සීමා  වේ. නමුත් ඔබ බැලිය යුත්තේ ජර්මනිය දෙසය. දින විස්සේදී ජර්මනියේ එම ආසාදිතයන් ප්‍රමාණය  හැත්තෑදහසක් පමණ වේ.  ශ්‍රී ලංකාවේ එය අසූදහසත් අනූ දහසත් අතර අගයක් වනු ඇත. ජර්මනියේ මේ ආසාදිතයන් ගණනට සාපේක්ෂව  මියගිය ප්‍රමාණය  682 කි. මේ අනුව ප්‍රතිජනන  අගය 1.5ටත් වඩා අඩු අගයකි. පහත සඳහන් ඉම්පීරියල් කොලේජ් වාර්තාවෙන් කියවෙන්නේ යයි. එනම් ප්‍රතිජනන අගය, රටක් ගන්නා ක්‍රියා මාර්ග අනුව අවම  අගය වන 1.5 ටත් වඩා අඩුවිය හැකිය.

ශ්‍රී ලංකාවේ ආසාදිතයන් ප්‍රමාණයද අප්‍රේල් 20 වනවිට ජර්මනියේ  දැනට ඇති ප්‍රමාණය ට වඩා දාහක හෝ දෙදාහකට  වැඩි අගයක් ගනු ඇතැයි සිතිය හැකිය.

(එංගලන්තයේ දැනට කිසිම ලෙඩ රෝගයක් කලින් නොතිබූ වයස 19 සිට 45 දක්වා වූ රෝගීන් 13ක් මිය ගොස් ඇත, එක අයෙක් මා හඳුනන අයෙකි.) 

මගේ යෝජනාව  නම් ශ්‍රී ලංකාව ඉන්දියාවට, මාල  දිවයින සහ බංගලා දේශයට දොර වැසිය  යුතු බවයි.  (සංචාරකයන්ට) දෙවන රැල්ල එන්නේ ඒ පැති වලිනි. ශ්‍රී ලංකා නාවික  හමුදාවේ සයුර යාත්‍රාව ආසාදිතයන්ට ප්‍රතිකාර කිරීම  සඳහා යොදා ගත හැකිය. බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාව ආදිය ඉක්මනින් ඇඳන් යොදා පිළියෙළ කළ හැකිය. එසේ නොමැති  නම් පන්සල් සහ පල්ලි වල ඇති ශාලා රජයට පවරා ගත යුතුය.   

මේ දේශපාලන භේද , ආගම්  භේද නොතකා එක්වියයුතු අවස්ථාවකි.  

එසේම මේ තත්වයට එන්නට නොදී නිවසේ සිටිමින් වෛරසය පැතිරීම  වලකා ගත්තොත් මේ කිසිවක් සිදු කිරීමේ අවශ්‍යතාවයක් එළඹෙන්නේ ද නැත.

මේ ලිපිය සකස් කිරීමේදී  මුලික  ලිපි දෙකක් උපයෝගී කර ගතිමි. ඉන් එකක් බේසියන් මොඩලය යොදාගත්  ලන්ඩන් ඉම්පීරියල් කොල්ජ් වාර්තාවකි.  මේ ලිපි දෙකම මෙහි තිබේ.




-කොළඹ ගමයා