ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව එක්සත් ජනපදයේ පළමු රෝගියා වාර්තා වන්නේ ජනවාරි විසි දෙවන දාය. ජනවාරි මස විසිහයේ සිට තිහ දක්වා පස් දෙනෙකු ආසාදිත බවට වාර්තා වූ අතර පෙබරවාරි දෙවනදා වනවිට එය දෙකෙන් වැඩිවී එකොළහක් වුනි.
දින දහයකට පසු පෙබරවාරි දොළොස්වනදා දින එම ගණන දහහතරකි. සුළු වැඩි වීමකි. කෝවිඩ් 19 වෛරසයේ බීජෞෂණ දින ගණන දින දෙකේ සිට දහ හතර දක්වාය. පෙබරවාරි විසි පහ මේ ගණන පනස් තුනක් වී මාර්තු තුන නැවත දෙගුණයක්ව එකසිය අටක් ලෙස වාර්තා වෙයි. ඇමෙරිකාවේ ප්‍රථම මරණය මේ දිනයේදීය. ඉන්පසු සෑම දවසක් හැර දවසක්ම අසාදිත සංඛ්‍යාව දෙගුණ වන අතර මරණ සංඛ්‍යාව ද ඊට සමානුපාතිකව ඉහල යයි. මාර්තු හයදා වනවිට ආසාදිත සංඛ්‍යාව දෙසිය දහ තුනකි. මාර්තු නම වනදා නැවතත් එය දෙගුණයක්ව 472 ක් වී එකොලොස් වනදා ආසාදිතයන් නවසිය අසූ හතක් වන විට මරණ ගණන විසි නමයට ඉහල නගී .
ඉන්පසු දින තුනකට වතාවක් දෙගුණ වෙන ආසාදිතයන් සංඛ්‍යාව දහ නම වැනිදා දස දහස ඉක්මවයි. මරණ සංඛ්‍යාව එකසිය පනහකි. මාර්තු දහ නම වනදා සිට පැතිරීම වඩාත් සීඝ්‍රවත්ය.
මාර්තු විසි දෙක දෙගුණ වන අගය මාර්තු විසි පහ 68,334ක් වෙයි. ලක්ෂය පනින්නේ මාර්තු 29 දාය. මරණ සංඛ්‍යාව 1668 කි. ලොක් ඩවුන් කිරීම සහ රෝග පරික්ෂා කිරීම නිසා මරණ සංඛ්‍යාව 1.6% ක අඩු අගයක් ගන්නා බවක් පෙනුනි. අප්‍රේල් පහ වනවිට ඇමෙරිකා එක්සත් ජනපදයේ මරණ සංඛ්‍යාව 9558 ක් වන අතර අසාදිත සංඛ්‍යාව ලක්ෂ තුන පනී. අප්‍රේල් 7 වනදා වන විට එක්සත් ජනපදයේ මරණ ප්‍රතිශතය 3.23% කි. මරණ සංඛ්‍යාව 12795කි. අද වන විට ආසාදිත සංඛ්‍යාව ලක්ෂ හතකට ආසන්නය. මරණ සංඛ්‍යාව තිස් පන් දහසකි . එනම් 5.1% කි. මෙය අනිවාර්යයෙන්ම ඉදිරියේදී 7%-9% ක ප්‍රතිශතයක් වන බව පෙනේ.
අනාදිමත් කාලයක සිට බඩ ගින්නේ මැරෙන මිනිසුන් බේරා ගැනීමට සමාජවාදීන් විසින් විප්ලව දියත් කළහ. ලංකාවේ 1971, 88-89 අරගල වලින් මුලින් විසි දහසක්ද ඉන්පසු හැට දහසක් ද මියගිය බව කියවේ. කාම්බෝජයේ කුසගින්න නිවීමට පැමිණි පොල්පොට් රජය විසින් මිලියන් 1.5 ත් දෙකත් අතර වැසියන් ගණනක් මරා දැමූහ. මින් බොහොමයක් බලෙන් ඇති කල සාගින්නෙන් මිය ගියහ. ස්ටාලින් නිසා උක්රයිනයේ වැසියන් මිලියනයක් පමණ මිය ගියහ. සමහර විට බටහිර රටවල අධි පරිභෝජනය නවතා දැමීමට ආයුධ විරහිත සටනක් ගෙනයාම වඩා හොඳ විය හැකිය.
අන්තවාදී දක්ෂිණාංශිකයන්ගේ තර්කය: මේ තර්කය අර තර්කයට සමගාමීව ඉදිරියට එන්නකි. එනම් සාමාන්‍ය සෙම් ප්‍රතිශ්‍යා වෛරස හා නිවුමෝනියාව මෙන්ම පිළිකා වැනි රෝග වලින්ද මැලේරියා වසංගතය ආදියෙන්ද ඩෙංගු වසංගතයෙන් ද මේ හා සමාන හෝ ඊට වැඩි මිනිසුන් ප්‍රමාණයක් මිය යන බවයි. මැලේරියාව තවමත් ඇත්තේ අප්‍රිකාවේ සහ සමහර ආසියානු රටවලය. මැලේරියාවට බෙහෙත් සොයාගෙන තිබේ. ශ්‍රී ලංකාව වැනි නිදහස් සෞඛ්‍ය සේවයක් මෙන්ම හොඳ වසංගත මර්දන ක්‍රමයක් ඇති රටවල මැලේරියාව සදහටම වාගේ තුරන් කර දමා තිබේ. මැලේරියා පෙති බී සංචාරය කළ හැකිය. මැලේරියාව තව දුරටත් ලෝක තර්ජනයක් නොවේ. මේ අන්ත දක්ෂිණාංශික මස් වැද්දන් ඒවා කියන්නේ නැත.
බ්‍රිතාන්‍යයේ මෙන්ම ඇමෙරිකා එක්සත් ජනපදයේ ඇත්තේ අන්ත දක්ෂිණාංශික න්ට මුලින්ම කන්දෙන ආණ්ඩු දෙකකි. ට්‍රම්ප් හා ජොන්සන් දෙදෙනා ගේම මූලික ප්‍රතිචාරය වූයේ චීනයට හැදුනාට වසංගත තත්වය එක්සත් ජනපදයට හා බ්‍රිතාන්‍යයට එතරම් බල නොපාන බවයි. ඕනෑ තරම් සාක්ෂි තිබෙද්දිත් වෛරසයේ ප්‍රභේද පැතිරෙන බව පෙනී පෙනීත් ඉතාලියත්, එක්සත් රාජධානිය සහ ට්‍රම්ප් ගේ දක්ෂිණාංශික රජයන් ඒවා සැලකුවේ නැත. මා මුලින් ලියු බ්ලොග් ලිපියක මරණ සංඛ්‍යාව වැඩි විය හැකි බව හා චීනයේ මෙන් ලොක් ඩවුන් කිරීමක් අවශ්‍ය විය හැකි බව කිවූ පසු මගේ කාර්යාලයේ කිහිප දෙනෙක් ඒ පිළිබඳව උසුලු විසුළු කළහ. ඔවුන් බොහෝ අය පසුගිය මැතිවරණයේදී යුරෝපා සංගමයෙන් වෙන්වීමට චන්දය දුන් අය වීම මගින් පෙන්වන්නේ එවැනි වසංගත තත්වය පසුපස එන ආර්ථික කඩා වැටීම ගැන ඔවුන්ට තිබූ බරපතල අනවබෝධයයි.
අද චීනයට කෝවිඩ් 19 මරණ ප්‍රමාණය සැඟවූ බවට චෝදනා කරන බ්‍රිතාන්‍යයේ වැඩිහිටි නිවාස දෙදහසක පමණ කෝවිඩ් 19 ආසාදිතයන් සිටින අතරම බොහොමයක් මරණ සිදුවීත් බ්‍රිතාන්‍ය රජය ඒ අය වාර්තා ගත කර නැත. ඒ වෙනුවට නිදහස් සෞඛ්‍ය සේවයට අනුබද්ධ වැඩිහිටි නවස 90 ක රෝගීන් පමණක් වාර්තා කරති. ඊට අමතරව චීනයේ මෙන්ම නිවෙස් වල මිය යන පුද්ගලයන් වාර්තාගත කරන්නේ නැත. ඔවුන් කෝවිඩ් -19 වලින්ද සාමාන්‍ය රෝග වලින් මිය ගියාද යන්න කිසිවෙක් නොදනිති. මේ අනුව බලන් කල සමනය මරණ අගයට තවත් දෙදහසක් පමණ අප්‍රේල් 4 වන විට එකතු කළ යුතුව තිබුණි.
මේ වසංගත තත්වය පුරසාරමකට හරවා ගන්නා අය දකුණේ හා වම දෙපැත්තේම සිටිති. උදාහරණයක් වශයෙන් කියුබාව කල හොඳ දේවල් කිහිපයක්ම තිබේ. එකක් වෛද්‍යවරු පිරිසක් ඉතාලියට එවීමයි. අනික වයිරස ආසාදිත ලෙඩුන් සහිත අනිකුත් රටවල් ප්‍රතික්ෂේප කල බ්‍රිතාන්‍ය මගී නැවකට නැවතීමට ඉඩ දීමයි. කියුබාවේ නිදහස් සෞඛ්‍ය සේවයක් සහ වැඩි වෛද්‍යවරු ප්‍රමාණයක් සිටිති. ඒ ගැන විවාදයක් නැත.
ඒ අතර යන පුරසාරම කියුබාව බෙහෙතක් සොයා ගත් බවයි. ඔවුන් බෙහෙත පරික්ෂා කලත් ඉන් සම්පුර්ණ සුව වීමක් ඇත්දැයි තවම කවුරුත් දන්නේ නැත. ඊට අමතරව කියුබාව සමාජවාදී නිසා කොරෝන වයිරස් රෝගී තත්වය සාර්ථකව මැඩ පවත්වා තිබේ. මෙය මේ වසංගතය පැතිරීම ගැන හරි හැටි නොදන්නාකමට කියන අඳබාල කතාවකි. එහි තවම රෝගය හරි හැටි පැතිරී නොමැත. අද වනවි රෝගීන් 862 දෙනෙකු ඇති අතර විසි හත් දෙනෙකු මිය ගොස් ඇත. කියුබාවේ ජනතාව විසිරි ඇති පළාත්වල රෝගය පැතිරීම අඩු අතර චීනය වැනිම වූ මධ්‍යගත පාලනයක් ඇති රටක් වශයෙන් රෝගය පාලනය ලෙහෙසි විය හැකිය. එපමණකි.
තවත් අය සමාජවාදී රටක් වශයෙන් රුසියාවද ඒ ගොඩටම දමති. රුසියාවේ සමාජවාදය අවසන් වුයේ 1991 දීය . සෝවියට් දේශයේ කාලයේ සාදන ලද පොලික්ලිනික් සහ රෝහල් නොවන්නට පූටින් ටද අමාරු වන්නේය. ඔහු ලහි ලහියේ මොස්කව් නගරයේ තාවකාලික රෝහලක් සාදන්නේ එබැවිනි. රුසියාවේ විසි හත් දහසකට රෝගය වැළඳී ඇති අතර දෙසිය තිහකට වැඩි ගණනක් දැනට ජිවිතයට සමු දී ඇත.
නිවැරදිව රෝගය පාලනය කරන රටවල් අතර දැනට ඇත්තේ චීනය, දකුණු කොරියාව, තායිවානය සහ ජර්මනියයි. චීනය හැර අනිකුත් රටවල් ඇඳිරි නීතිය භාවිතා නොකළහ. ජර්මනියේ කිසිම නගරයකින් වෙනත් නගරයකට යෑම තහනම් කර ඇති අතර රෝග ලක්ෂණ ඇති සියලු දෙන පරික්ෂණයට භාජනය කරති. ජර්මනියේ සෞඛ්‍ය සේවා හා රෝහල් නොමිළයේ සේවා සපයති. ජර්මනියේ ඇත්තේ ද දක්ෂිණාංශික රජයකි. එහෙත් ඔවුන් මුල් කාලයේම ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනතුරු ඇඟවීම් සහ ඔවුන්ගේ විද්‍යාඥයන් ගේ අදහස් පිලි ගත්හ.
ශ්‍රී ලංකාවද මේ ගොනුවටම එකතු කිරීමට මම කැමති මුත් මා ගණනය කළ ආකාරයට ශ්‍රී ලංකාවේ දෙදහසක පමණ ආසාදිතයන් පරිසක් දැනටමත් සිටිය යුතුය. නමුත් ඇඳිරි නීතිය පැනවීම නිසා හා දිස්ත්‍රික්කයෙන් දිස්ත්‍රික්කයට යා නොහැකි නිසා ඔවුන් වසංගතය මනාව පාලනය කරන බවක් පෙනේ. ශ්‍රී ලංකා රජයෙන් කරන තවත් අගනා ක්‍රියාවක් නම් ආසාදිතයන් ගැවසුණු තැන් සොයා ඔවුන් සමග සම්බන්ධකම් තිබූ අය නිරෝධනයට ලක් කිරීමයි. ජර්මනියේද මේ ක්‍රමය භාවිතා කරයි.
ඊට අමතරව ශ්‍රී ලංකාවේ බලධාරීන්ට මුහුණ පෑමට ඇති ප්‍රශ්නයක් නම් ආසාදිතයන් ඒ බව පිලි ගැනීමට අකමැත්තක් දැක්වීමයි.
එසේම ඇඳිරි නීතිය ඉවත් කරන දිනවල මිනිසුන් වෙළඳ ශාලා වල එකට පොදිකනු දැකිය හැකිය. එයට වරදක් කිව නොහැක්කේ ඔවුන්ද ජිවත් විය යුතු හෙයිනි. මේ නිසා තවමත් ශ්‍රී ලංකාවේ ආසාදිතයන් සෑහෙන සංඛ්‍යාවක් සිටින බව මට සිතේ. නමුත් ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවන්, ආරක්ෂක හමුදා හා රාජ්‍ය නිලධාරීන් ඉහත කී රටවල් හතරේ මෙන්ම වසංගතය මැඩ පැවැත්වීමේ ලා ප්‍රසංශනිය කාර්ය භාවයක් ඉටු කරන බව පිළිගත යුතුය.
ඉතාමත් කණගාටුවට කරුණක් වන්නේ බ්‍රිතාන්‍යයේ ජාතික සෞඛ්‍ය සේවය (NHS ) කෙතරම් සාධනීය වැඩ කොටසක් ඉටු කරත් පැවති කොන්සර්වේටිව් රජයන් එයට නියමිත ප්‍රතිපාදන නිතර කප්පාදු කිරීම නිසා වෛද්‍ය, හෙදි හිඟයක් මෙන්ම සෞඛ්‍ය සේවා උපකරණ වලද හිඟයක්ද පැවතීමයි. එසේම අගමැති බොරිස් ජොන්සන් ලොක් ඩවුන් ක්‍රියා දාමය පටන් ගත්තේ බොහෝ පමා වීය. එසේම ඔහුට අවවාද දුන් විද්‍යාඥයන් මුලින් කියා සිටියේ ප්‍රතිශක්ති එන්නත් වලින් තොර සමූහ ප්‍රතිශක්තිකරණය ගැනය. (මේ ගැන මුල් බ්ලොග් මා ලිපි වල ලියා තිබේ.)
ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් දිගින් දිගටම වසංගත තත්වයක් නැතිය කියා ප්‍රතික්ෂේප කල අතර පරීක්ෂණ පටන් ගත්තේද බොහෝ පමා වීගෙනය. දැන් ඔහු ලෝක සෞඛ්‍ය සංවිධානයට හා චීනයට චෝදනා කරයි. ඔහුගේ ආරක්ෂක සේවා චීනය මුළු මරණ සංඛ්‍යාව වසන් කරන බවක් කලින් කීවේ නැත්ද? අප වැනි බ්ලොග් ලියන්නන්ට පවා ගණනය කිරීමේදී පැහැදිලිව පෙනුණු කරුණක් ඇමෙරිකානු ආරක්ෂක සේවා නොදැන සිටියා යයි කිව නොහැකිය. එකම හේතුව නම් මේ මුග්ධ අහංකාර පරවශ මිනිසා ඒවා විශ්වාස නොකිරීමය.
මේ හේතුව නිසාම ට්‍රම්ප් විසින් ඇමෙරිකානු ආරක්ෂක හමුදා අනතුරේ හෙලා ඇත. මෙය හොඳ තත්වයක් නොවන බව ඕනෑම කෙනෙකුට පෙනෙන, එහෙත් නොකියන කරුණකි.
මම ඇමෙරිකා එක්සත් ජනපද රජයේ ක්‍රියා කලාපය විවේචනය කරන්නේ ඒ රට වැටිලා කියා සතුටු වීමකට නොවේ . එවැනි රටක් වසංගතයක් නිසා ඇද වැටෙන්නේ නැත. එහෙත් වසංගතයක් පැතිරීමේදී බොහෝ වැසියන්ට රැකියා කිරීමට නොහැකි තත්වයක් උදාවී ආර්ථිකය අඩාල වීමක් කොහොමත් සිදුවිය හැකිය. ඒ නිසා නිසි පියවර කලින්ම ගැනීමෙන් එවැනි තත්වයක් වලකා ගැනීම රජයේ කාර්යභාරයයි. ට්‍රම්ප් ගේ රජය නොකළේද එයයි.
ජනාධිපති බැරක් ඔබාමා ඉදිරියේ එන වසංගත තත්වයට මුහුණු දිය යුතු අන්දම පවසන වීඩියෝ වක් දුටිමි. එවැනි දූරදර්ශී නායකත්වයක් තිබුණු රටක් අසාර්ථක මුදලාලි කෙනෙකු විසින් අනතුරේ හෙලා තිබෙන පෙනී යයි.
අගමැති බොරිස් ජොන්සන් සහ ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් මුලින් ගන්නා ලද වැරදි දේශපාලන තීරණ නිසා නිසා නිදහස් ලෝකය ලෝක ජනතාව ඉදිරියේ අපවාදයට බඳුන් වී ඇත. ඒ වෙනුවට ඒකාධිපති ආණ්ඩු ප්‍රසාදයට පත්වී ඇත.
ඉහත පින්තූරයේ කියා ඇත්තේ මෙවැනි දෙයකි.
ඩොනල්ඩ් ට්‍රම්ප් වැනි ඉබ්බෙකු උස කුළුණක් මුදුනට ගොස් ඇත. ඔහු එතනට ගොස් ඇත්තේ කෙසේද කියා ඉබ්බා නොදනී. එතැන ඔහුට අයත් තැනක් නොවේ. කුළුන මුදුනේ සිටියදී එතන සිට කල යුත්තේ කුමක්ද කියා ඔහු නොදනී. ඔහුව ඔසවා තබා ඇත්තේ ඔහුගේ සීමිත දැනුමෙන් යමක් කරන්නට හැකි තැනකට නොවේ. අපට පුදුම මොන මෝඩයෙක් ඔහු එවැනි උස තැනක තිබ්බාද කියාය.
දැන් ඇමෙරිකා එක්සත් ජනපදය හොඳින් කරන්නේ කුමක්දැයි විමසා බලමු. සෞඛ්‍ය වෘත්තිකයන් විසින් මිලියන් තුනකට වැඩි ප්‍රමාණයක් පරික්ෂා (3,304,125) කර තිබේ. මුළු ආසාදිත සංඛ්‍යාව ලක්ෂ හතක පමණ වන නිසා වන නිසා මෙය හොඳ තත්වයකි. එසේම ඇමෙරිකා එක්සත් ජනපදය හෝ බ්‍රිතාන්‍යය, ශ්‍රී ලංකාව හෝ චීනය කරන අන්දමට ඇඳිරි නීතිය දමා පාලනය කල හැකි රටවල් නොවේ. පෞද්ගලික නිදහස මහත් සේ අගයන එම නිදහස රැක ගැනීමට ආයුධ ගැනීමට පසුබට නොවෙන ජනතාවක් හැසිරවීම අපහසු බව ඩොනල්ඩ් ට්‍රම්ප් හොඳින් දනී.
එසේම ශ්‍රී ලංකාවේ ඇතැමුන් සිතන පරිදි මේ රටවල් දෙක ආර්ථිකය පසුබෑමකට ලක් වූවත් ඇද වැටී ඇතැයි සිතුවත් මේ අවපාතය දරා ගැනීමට ඔවුන් ශක්තිමත්ය.
නමුත් චීනයේ නිපදවන බොහෝ දේ මිලදී ගන්නේ යුරෝපය හා, ජපානය හා ඇමෙරිකා එක්සත් ජනපදයයි. ඔවුන් එම භාණ්ඩ මිලදී ගැනීම ප්‍රතික්ෂේප කළහොත් චීනයට වන්නේ කුමක්ද?
යුරෝපය හා මැද පෙරදිග රටවල් වල රැකියා කරන ශ්‍රී ලාංකිකයන් එවන මුදල ශ්‍රී ලංකාවේ දළ ජාතික නිෂ්පාදනයෙන් 8-9% අතර ප්‍රමාණයකි. එනම් ඩොලර් බිලියන් 6 ත් 7ත් අතර ප්‍රමාණයකි. ශ්‍රී ලංකාවේ වෙළඳ ශේෂය අඩු කිරීමට මේ මුදල භාවිතා වේ. ඉදිරියේදී මේ මුදල අඩුවීමට නියමිතය. ඒ යුරෝපයේ හා මැද පෙරදිග ආර්ථික අවපාතයකට මුහුණ දීමට ඉඩ ඇති හෙයිනි. එසේම ශ්‍රී ලංකාවේ අපනයන භාණ්ඩ වැඩිපුරම මිලදී ගන්නේ ඇමෙරිකා එක්සත් ජනපදය හා යුරෝපයයි. ඔවුන්ද ඒ මිලදී ගැනීම් කපා හැරීමට ඉඩකඩ තිබේ. ඒ නිසා මේ රටවල තත්වයට සිනා සෙමින් අපහාස උපහාස කරනු වෙනුවට ශ්‍රීලංකාවේ වැසියන් ආර්ථිකය බේරා ගැනීමේ ඊළඟ පියවර ගැන සැලකිලිමත් විය යුතුය.
විමසිල්ලෙන් හිඳිමු අජිත් මහත්තයෝ. තවමත් අපේ රටේ වෙන්නේ ගෙයි කුණු ටික කුල්ලෙන් වහලා තියාගන්නවා වගේ වැඩක්ද කියලා මට සැකයකුත් උපදිනවා.
ReplyDeleteඊයේ හැන්දෑවේ සිදුවුණු දෙයක් නිසා අපේ ලෙන් එකේ අය 119 එකට කතා කළා. මාත්. එකම වතාවයි ඉස්සුවේ. තවමත් පැය 14 ක් ගිහිල්ලත් කවුරුන්වත් ආවේ නැහැ.
අපි හැමෝම ග්‍රාම සේවකියට කතා කළා. ෆෝන් එක උස්සන්නේ නැහැ. PHI මහත්තයාට කතා කළා. එයා බොරැල්ලට ගිහින්ලු. දහ-පහළොස් වතාවක් දත කාලා පොලීසියට ගත්තා. විස්තර අහගත්තා. 'එන්නම්. හැබැයි හෙට උදේ තමයි' දහයමාරට විතරයි එහෙම කිව්වේ. තවම අපි බලාගෙන ඉන්නවා.
ඇඳිරි නීති අස්සේ හොරෙන්ම සංක්‍රමණය වුනු පවුලක් නිසයි මේ කලබගෑනිය. එහෙම වෙලාවක මෙහෙම හොරෙන්ම එන්න පුලුවනිද? අසල්වැසියන් පරීක්ෂාවෙන් ඉඳිද්දී.... එයාලා කොරෝනා ආසාදිතයන්ද? අපි මේවා කියන්නේ කාටද? එයාල කොරෝනා පොසිටිව් නම් අපට වෙන්නේ මොකක්ද?
මෙහෙම මන්දගාමී- බිහිරි විදිහටද කොරෝනා මැඩීම සාර්ථකය කියන්නේ? අද හෙටම අපිටත් නිරෝධායන මධ්‍යස්තානයකට යන්න නොවුනෝතින් මේ ගැන ලියන්න මම කරුණු එකතු කරමින් ඉන්නේ.
ඔන්න ඔතන දෙයක් තියනව, උදාහරණයක් වශයෙන් මම ෆේස් බුක් එකේ නොලියන ඒවා .
Deleteඑක තැනක මෘත ශරීරයක් හොරෙන් වත්තේ වලලද්දී අහුවෙලා පොලිසියෙන් ගෙනත්. ඒක ගැන විස්තරයක් නැහැ. කළුතර නාගොඩ පැත්තේ කෙනෙක් මැරිලා පාරේ. උණ තිබ්බලු. කතාවක් නැහැ.ග්‍රෑන්ඩ් පාස් එහෙම වැහුවේ ඒ පැත්තේ පැතිරිලා නිසා නොවේ නිරෝධායනයට කියල කියනව. ඇත්ත වෙන්න පුළුවනි. ඒ නිසා සහතිකයක් දෙන්න කලින් මම තව ටිකක බලන් ඉන්න කැමතියි.
ඇමරිකා එක්සත් ජනපදය කටයුතු කරනා ආකාරය ඉතාම ප්‍රසංසනීය බව එහි වෙසෙනා ඉකොනෝමැට්ටා මහතා මෙම දින කිහිපයම බ්ලොග් පොස්ට් මගින් පෙන්වා දී ඇත. එම නිසා අජිත් ධර්ම මහතා ඇමරිකාව සම්බන්ධයෙන් ප්‍රකාශ කරනා දෑ පිළිගැනීමට නොහැක. අජිත් ධර්ම මහතා මහා බ්‍රිතාන්‍ය හෝ ජර්මනියේ කොරෝනා රෝගීන් ගැන ලියන්නේ නම් ඒවා පිළිගැනීමට හැක.
ReplyDeleteඇමෙරිකාව ගැන විස්තර පුවත්පත් හා වෙබ් අඩවි වලින් ඕනෑ කෙනෙකුට කියවා ගත හැක. ඇමෙරිකාව චීනය මෙන් සඟවන්නේ නැත. ට්‍රම්ප් වුවත් එය කරන්නේ නැත. මගේ අකැමැත්ත ට්‍රම්ප් ගේ ක්‍රියා කලාපය ගැන පමණි. ඇමෙරිකා එක්සත් ජනපදය හා එහි වැසියන් ගැන මගේ කිසිම ආරෝවක් නැත.
Deleteලංකාවෙ තත්වය ගැන නම් සැකයි,මොකද ලංකාව කියන්නෙ,ප්‍රස්න යට ගහපු රටක් මිසක් ඒව විසඳපු රටක් නම් නෙමේ.
ReplyDeleteඔය ඉහතින් නිදි කිව්වා වගේ අතුගාල අයින් කරාද කියන පැනයත් තිබෙනවා නම් තමයි
Delete