Saturday, 25 April 2020

සුජනන විද්‍යාව හෙවත් එයුජෙනික්ස්


සුජනන විද්‍යාව eugenics කියන්නේ මොකක්ද? කෝවිඩ් 19 වෛරසයට ලෝකයේ රටවල් මුහුණ දෙන අතරේ මේ ගැන ලිවීමේ වැදගත් කමක් ඇති සිතමි. මගේ කලින් ලිපියක වඩා ප්‍රබලයා රැකීමේ ප්‍රතිපත්තියකට බටහිර රටවල් සැරසෙන බව කීවෙමි. හරියට ඉතාලියේ සිට එය එසේම ක්‍රියාත්මක වෙමින් පවතී. මානව පරිණාමයට සම්බන්ධ මෙම "කෑලෑ නීතිය " වර්තමාන ශිෂ්ඨ සම්පන්න සමාජයට උචිතද යන්න ප්‍රශ්න කලෙමි. මහාචාර්ය ගම්ලතුන්ගේ ශබ්ද කෝෂයේ සුජනන විද්‍යාව හෙවත් එයුජෙනික්ස් අර්ථ ගන්වන්නේ "වර්ගයක ආවේනික ගුණ වර්ධනය කිරීම පිලිබඳ විද්‍යාව " යනුවෙනි.

එනම් කිසියම් ජන වර්ගයක ගේ විශ්වාසයන්, ප්‍රවේණිගත පුරුදු මෙන්ම ජාන විද්‍යාව පිළිබඳව හැදෑරීම යනුවෙනි. ප්ලේටෝ ගේ කාලයේ සිට වර්තමානය දක්වා තෝරා ගෙන උත්පාද කිරීම "selective breeding " නමැති සංකල්පයක් ක්‍රියාත්මක විය. එනම් වඩා හොඳ ප්‍රවේණිගත ජාන ඇති පවුල් තෝරා ඔවුන් ප්‍රවර්ධනය කිරීමයි.
සත්ව ගොවිපළවල මේ ක්‍රමය අදටත් ක්‍රියාත්මක වේ. නවසීලන්තයෙන් හොඳ පිරිමි ගවයන් (bull) ගෙන්වා හොඳ කේප්ප වැස්සියන් ගැබ් ගන්වන්නේ එබැවිනි.
නමුත් මේ අද සංකල්පය ගැනෙන්නේ විද්‍යාත්මක ජාතිවාදයක් (scientific racism)හෝ සුදුජාතික මහජාතිවාදය යටතටය.

ග්‍රීසියේ බොහෝ පුරාණ කාලයේ අනුගමනය කල මෙම සංකල්පය විසි වන ශත වර්ෂයේ බ්‍රිතාන්‍යය, ඇමෙරිකා එක්සත් ජනපදය කැනඩාව ආදී රටවල පැතිර ගියේය. මේ සංකල්පය භාවිතා කරමින් නොයෙකුත් ප්‍රතිපත්ති සම්පාදනය විය. ජනගහනය තුල වඩා "හොඳ ජාන හිමි " ශක්තිමත්, සුන්දර ජනයා තෝරා ඔවුන්ට පමණක් ප්‍රජනනය කිරීමට අවසර දීම කරන ලදී. එසේම ආබාධිත තත්ව ඇති අයට , දුර්වල හෝ ප්‍රජනන ක්‍රියාවලියට "නුසුදුසු" යයි සිතන අය බලහත්කාරයෙන් වන්ධ්‍යාකරණයට ලක් කරන ලදී. මානසික හා කායික දුර්වලතා ඇති ගැහැනුන් සහ පිරිමින් නොයකුත් දැනුම සොයන ප්‍රශ්නාවලි (IQ test) වලින් අසමත් වන්නන් ද , අපරාධ වලට හසුවූ වන්ද මෙසේ බලහත්කාර වන්ධ්‍යකරණයන් ට ලක් කරන ලදී.
එක්සත් ජනපදයේ මෙවැනි සුජාණන විද්‍යා ප්‍රතිපත්තීන් සඳහා වූ ව්‍යාපාරයන් ගොඩ නැගුනේ 1880 පමණ කාලයේ සිටය. ශ්‍රීමත් ෆ්‍රැන්සිස් ගල්ටන් ගේ ජීව විද්‍යාත්මක නිර්ණය කිරීමේ න්‍යායට අනුව මෙම eugenics නමැති වචනය මුල් වරට භාවිතා කරන ලදී. මේ න්‍යායට අනුව මිනිසාගේ හැසිරීම කෙලින්ම පාලනය වන්නේ ඔහුගේ ජාන අනුව හෝ කායිකවිද්‍යාව (physiology) මත යන්නය. එක්සත් ජනපදයේ සුජාණන විද්‍යා මතයන්ට වඩාත් උත්තේජනයක් සැපයුවේ ජෝර්ජ් මෙන්දෙල් ගේ ජීව විද්‍යාත්මක උරුමය පිලිබඳ න්‍යායගත කිරීමයි.

එක්සත් ජනපදයේ සුජනන අදහස් වල ප්‍රභවය වන්නේ එම න්‍යාය පමණක් නොවේ. ගැල්ටන් විසින් බ්‍රිතාන්‍යයේ ඉහල පන්තියේ ජනයා පිළිබඳ හැදෑරීමක් කර ඔවුන්ගේ සමාජිය උසස් තත්වය ඔවුන්ගේ උසස් ජාන මත පදනම්ව ඇති බව ප්‍රකාශ කළේය. එසේම මෙවැන්නන් විශ්වාස කලේ එංගලන්තයට මුල් පදිංචි කරුවන් වන නෝර්ඩික් , ජර්මනික් හා ඇන්ග්ලෝ සැක්සන් වරුන් වඩා උසස් ජාතීන් බවයි.

මේ එයුජෙනික්ස් ව්‍යාපාරයට මුදලින් ආධාර කළෝ කවරහුද? ඒ නම් කානගි ආයතනය, රොකෆෙලර් පදනම , කිලෝග් නමැති ධනවතා සහ දුම්රිය ව්‍යාපාර වලින් ධනවත් වුනු හැරිමන් ය.

මේ ව්‍යාපාරය කෙමෙන් ඇමෙරිකා එක්සත් ජනපදයේ ජනතාව අතර විවේචනයට ලක්වන්නට වූ අතර "අනුවණ මිනිසුන් ", ආබාධිත වුවන් හෝ සුළු අපරාධකරුවන් වන්ධ්‍යකරණය කිරීම අමානුෂික බවට අදහස් පල වන්නටත් විරෝධතා ගොනු වන්නටත් විය.

මෙමෙ න්‍යාය ඊළඟට උපත ලැබුවේ නාසි ජර්මනියේය. හිට්ලර් තම අදහස් මූලිකව සොරා ගත්තේ ඇමෙරිකාවේ එයුජෙනික්ස් ව්‍යාපාරයෙන් හා ජෝර්ජ් මෙන්දෙල් ගෙන් බව කියවේ. නිල් ඇස් හා රන්වන් කොණ්ඩය සහිත ආර්ය මිනිසුන් පමණක් ජීවත් විය යුතු යයි ඇදහූ ඔහු එම ජනතාවගේ සංඛ්‍යාව වැඩි කරන්නට ගැහැනුන් සහ මිනිසුන් ට නිදහසේ කාම සම්භෝගය කරන්නටද අනුබල නාසි ජර්මනියේ අනුබල දුන්නේය. මින් ඉපදුනු අවජාතක දරුවන් නාසි රජය භාරයට ගැනුනි. ඔවුන් හැදින්වුයේ "ආදරයේ දරුවන් liebenkinde " නමිනි. එසේම යුදෙව් ජාතිය, ජිප්සී ජාතිය, ආභාධිත ජනතාව හා රටකට "අනවශ්‍ය " ජනතාව මරා දැමීමට වධ කඳවුරු පිහිටවුනේද මේ න්‍යායට අනුවය. සුජාණන විද්‍යාවප්‍රයෝගික කළ අඳුරුම සමය ලෙස ඉතිහාසගත වන්නේ මේ කාලයයි.

ඔස්ට්‍රේලියාව අබෝරිජින් දරුවන් ඔවුන්ගේ මවුපියන්ගෙන් උදුරා ගනිමින් සුදු ජාතික නිවාස වල හා පල්ලි වල රඳවා සමාජ ගත කරන්නට දැරූ වෑයම ද මේ ව්‍යාපාරයේම අතුරු ප්‍රතිපලයකි. ඉන් බොහෝ අබෝරිජින් දරුවන් මිය ගියහ.

අද කෝවිඩ් 19 වෛරසය වැළඳී බරපතල ලෙස ආසාදිත වුනු මහලු රෝගීන් අත්හැර තරුණ රෝගීන් හා ජිවත් වන්නට ඉඩක් ඇති රෝගීන් තෝරා ගන්නට ඉතාලියේ හා ස්පාඤ්ඤ යේ රෝහල් පාලනයන් කටයුතු කරති. ඇමෙරිකා එක්සත් ජනපදයේ වැඩි වශයෙන් ආසාදනයට ලක්ව මිය යන්නේ විශාල ගෙවල් වල එකිනෙකාට ඈතින් ජීවත්වන සුදු ජාතිකයන් හා පොහොසත් වැසියන් නොව වඩා දුප්පත් ප්‍රදේශ වල ජනයා බහුල ප්‍රදේශ වලය. ඒ වැඩිපුරම කළු ජාතිකයන්, ආදී වාසි අමෙරිකනුන් ආදීන් යැයි කියවේ. පරිණාමවාදයේ දී උගන්වන්නේ වඩා පරිසරයට වඩා සුදුසු ජීවී වර්ගය ඉදිරියට පරිණාමය වන බවය. එහෙත් ඒ අදහස එලෙසින්ම මනුෂ්‍ය වර්ගයාට ආදේශ කළ හැකිද?




4 comments:

  1. සමහර කරුණුවලදී නම් වාරණයක් පවත්වා ගැනීම හොඳයි කියලත් හිතෙනවා. සර්වජන ඡන්ද බලය කොහොමද රටට බලපාලා තියෙන්නේ, කියලා හිතද්දියි වැඩියත්ම එහෙම හිතෙන්නේ.

    ReplyDelete
    Replies
    1. අනේ මන්ද , වෙලාවකට

      Delete
  2. https://en.wikipedia.org/wiki/Gangs_of_New_York

    ReplyDelete

සියලු හිමිකම් අජිත් ධර්මකීර්ති (Ajith Dharmakeerthi) සතුය. කොළඹ ගමයා බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ අජිත් ධර්මකීර්ති යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ.
මෙහි පලවන ලිපි සහ දේශපාලන අදහස් මගේ පෞද්ගලික අදහස් පමණි.
ඔබේ ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. නමුත් වෙනත් කෙනෙකුට සාධාරණ හේතුවක් නැතුව පහර ගසන අශිලාචාර අන්දමේ ප්‍රතිචාර පමණක් පල නොකෙරේ. බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ස්තූතියි .