Tuesday 19 January 2021

කළු මුහුදු වෙරළේ තහනම් නිවාඩුව


මතකද අර තාරාවෝ ඉගිලෙති එකේ සින්දුවක් තිබ්බ. "යාළුවෝ මාළුවෝ යාළුවෝ " කියල. මේ ඒවගේ යාලු කම් ගැන නෙමේ කියන්න හදන්නේ. "මිතුරු තුමෝ දුක සැප දෙකෙහිම පැවතී" කියල කවියක් පටන් ගන්නවා නේද සැළ ළිහිණි සංදේශයේ. "බිතු සිතුවම් රූ මෙන්  පිටු නොපාවති" ඔන්න ඔහොම. අන්න ඒ වගේ මිතුරෙක් ගැන. 

මම සියාමා පොත ලිව්ව කාලේ හැමෝම අහන්න ගත්ත ඒක අත්දැකීමක්ද  නැත්ද කියල. මට හිතාගන්න බැහැ දැන් ඔය ප්‍රසිද්ධ සම්මානනීය නවකතාකරුවන් පොත් පලකරද්දීත් ඒ අයගෙනුත් ඔය ප්‍රශ්නය අහනවද කියල?  " ඔබගේ මේ සම්මාන දිනූ  නවකතාව අත්දැකීමක්ද?" . 

මම ඒ පොත ලිව්වේ උත්තම පුරුෂයෙන්. කතා නායකයා "මම" වන අතරේ කථා නායිකාව "සියාම". 

ඉතින් ඔය හින්දම මම ප්‍රථම පුරුෂයෙන් තමා ඊළඟ පොත  "ප්‍රථම ප්‍රේමය ඔබ නොවේ " ලිව්වේ. මේ ප්‍රථම පුරුෂයෙන් ලියන එක ගැන  හෙවත් තෙවන පාර්ශවයෙන් ලිවීම ගැන හරියට දැන ගන්න මම ඇහුවේ විජිත ගුණරත්න ගෙන්. විජිත, සුමංගල හාමුදුරුවන් ගේ ශබ්ද කෝෂය බලල වැඩි හොඳට ඒ පිටුවෙ පින්තුරෙකුත් එව්වා. විජිතව සම්මානනීය නාට්‍ය කරුවෙකු ලෙස දැනන් හිටියත් අඳුර ගත්තේ ලන්ඩන් වල අගෝර කට්ටියගෙන්. එදා ඉඳන් අදටත් හොඳ යාලුවෙක්.


ඒත් ඉතින් ඒ පොත ගැනත් අර වගේ අත්දැකීමක් නේද කියන ප්‍රශ්නය එන්න ගත්ත.  "සියාමා" එක වගේ නෙමේ මේ පොත ගැන උත්තර දෙන්න අමාරුයි. ඇයි ඉතින් සෝවියට් දේශයේ හිටියනේ.  වැඩේ කියන්නේ ඔය ප්‍රශ්නේ අහන ඇතැම් අය ඒ දවස් වල මට හිටියා කියා හිතන යහළුවන් ගෙන් පවා විමසීම් කරල තිබුන.නිකන් හරියට  මම යාළුවන්ට කියලම තමයි  මගේ හැම වැඩක්ම කළේ වගේ. අනිත් එක මම උන්ට කීවත්  මගේ යාළුවෝ එහෙම කියයිද?

 ඒ වගේ යාලුවෝ හිටිය මටත්. එක්කෙනෙක් තමා ජනක ලක්මාල්. ලක්මාල් ඉගෙන ගත්තේ ජෝර්ජියාවේ ට්බිලිසි කියන නගරයේ. ලක්මාල් ඇතුළත් වුනේ  කොම්පියුටර්  එන්ජිනියරින් පාඨමාලාවට. ලංකාවට ඇවිත් ජෝන් කීල්ස් එකේ  වැඩ කරලා දැන් කිසියම් රජයට අර්ධ ලෙස සම්බන්ධයක් ඇති ආයතනයක  නියෝජ්‍ය සාමාන්‍යධිකාරීවරයෙක්. උඩ පින්තුරෙ ඉන්නේ එයා. 

ලක්මාල් ඉගෙන ගන්න කාලේ එක පාරක් ලන්ඩන් ඉඳන් එනගමන් ආව අපේ ශිෂ්‍ය නවාතැනට මොස්කව් වල විදුලිබල හා බලශක්ති සරසවියේ . මට ලන්ඩන් ඉඳන් එනකොට හොඳ පුල්ඕවර් එකක් (ජර්සියක්) ගේන්න අමතක වුනා. ලක්මාලය නියම හොඳ උණුසුම් ජර්සියක් මිලයට අරන් ඇඳන් හිටිය.  ඕක මට දීපන් බන්, මට නියමයි ඒක කියල මම කිව්ව.ලක්මාල්  එහෙම්ම  ඒක ගලවල මට දුන්න. අන්න ඒ වගේ බොක්කක්. මමත් ලංකාවට යනකොට පුළුවන් වුනොත් වොඩ්කා එකක්වත් අරන් යනවා ලක්මල්ට.  

ඒ කාලේ වීසා එකක් නැත්නම් අපට සෝවියට් දේශයේ නගරයකින්  නගරයකට යන්න බැහැ. ලංකාවට හෝ වෙන රටකට යන්න ගන්න  වීසා එකට තමයි හුඟක් ශිෂ්‍යයෝ මොස්කව් එන්නේ.  මම වීසා අරන් ගිහින් තියෙන්නේ දෙකකට විතරයි. ක්‍රස්නදාර් වලටයි සෆරෝෂි (Zaporizhzhia) වලටයි. සෆරෝෂි වලදී වෛද්‍ය ශ්‍යාමලී කොට්ටහච්චි ඇතුළු යාළුවෝ කට්ටියක් එක්ක  ජල විදුලි බලාගාරය බලන්න ගියා  ද්නීපර් නදිය ගාව. මං හිතන්නේ අපි බෝට්ටු චාරිකාවකුත් ගියා.

මම ට්බිලිසි යන්න සැලසුම් කළා  කෙනෙක් එක්ක. හොරෙන් යන්න තමයි ප්ලෑන් එක. හැබැයි ඇත්ත ගමනාන්තය ට්බිලිසි නෙමේ. එහෙන් සුඛුමි  කියන මුහුදු  වෙරළ පැත්තේ නගරයට සහ එතනින් කළු මුහුදු වෙරළට යන්න නිවාඩුවකට. මේවා ඔක්කොම තහනම් ගමන්. සුඛුමි කියන්නේ ඓතිහාසික නගරයක්. අභාසියා රාජධානියෙන් ජෝර්ජියන් වරු අල්ලගෙන එතනින් රුසියානු අධිරාජ්‍යයට අයිති වෙලා තිබිල ඊට පස්සේ සෝවියට්
 දේශයට ඇතුළත් වුනු කොටසක්. කොමියුනිස්ට් පක්ෂ නිලධාරින් හෙම නිතර යන්නේ ඒ අසල තියෙන සෝචි කියන මුහුදුබඩ  නගරයට නිවාඩුවට. ඒ දවස් වල ස්ටාලින්ට මාලිගාවක් වගේ නිවසක් තිබුන සෝචි වෙරළේ විවේක ගන්න. දැන් ජනාධිපති පුටින්ට තියෙනවා  ඒ වගේම මාළිගාවක් ඒ පැත්තේම.

 ඔය ගමනට රුසියානුනියක් හරහා ගත්ත ටිකට් දෙකින්, හතළිහක් විතර යන්න පුළුවන් පොඩි එයාරෝෆ්ලොට් ගුවන් යානයක  තමයි ට්බිලිසි වලට ගියේ. මට ටිකට් ගන්න බැහැ වීසා නැති නිසා.  හොරෙන් යන්නේ කොහොමද? යාලුවෝ ඒකත් කියල දුන්න. මොන ෆ්ලයිට්  එකද බුක් කරන්නේ, ස්ටුඩන්ට් කාඩ් එක ඇතුලට සල්ලි දාල කාටද දෙන්නේ වගේ ඒවාට නියමිත උපදෙස් ලැබුන. නැත්නම් ඉතින්  වීස නැතිව  යන්න බැහැ.   ගුවන් යානයේ ගමන අවුලක් නැතිව කෙරුණා.
  
ඔන්න ඉතින් ට්බිලිසි වලටත් ගියා. ලක්මාල් ගේ ශිෂ්‍ය නේවාසිකාගාරයේ තමයි  නවාතැන් ගත්තේ. මටයි තව කෙනෙකුටයි කාමරේ ඉන්න දීල ලකී ගියා වෙන කාමරේකට. චම්පා (දැන් කුරුණෑගල වෛද්‍ය අධ්‍යක්ෂ), නිරූපා හා අත්තනායක (නවසීලන්තයේ ඉංජිනේරුවෝ දෙදෙනෙක්), වාසල බණ්ඩාර (ඇමෙරිකාවේ වෙසෙන සීනියර් පරිගණක ඉංජිනේරුවෙක්) හෙම ඔය ගමනේදී කෑම බීම දීල, නගරය පෙන්වන්න  එක්ක ගිය හොඳ  යාළුවෝ යෙහෙළියෝ තමයි.  අද වුනත් මේ ගමන ගැන කෙළ බිඳක් හෙලනවා මට ආරංචි වෙලා නැහැ.
  
මතක තියෙන අපහසුතාවක් ඇතිවුණු සිද්ධි තමයි මදක්  ජාතිවාදී ලෙස හැසිරුණු ජෝර්ජියන් පිරිමි කිහිප දෙනෙක් අප සමග ගිය  කාන්තා පාර්ශ්වයේ කෙනෙක්ව කාරයකට  ඇද ගන්න තැත් කිරීම. ඒ වගේම අමුතු වැඩක් වුනා ට්බිලිසි ඕසෙරා හෙවත් ට්බිලිසි මුහුද කියන කෘතීම වැවට නාන්න ගිය වෙලාවේ. ජෝර්ජියන් කාරයෙක් බඩගාගෙන සංදර්ශනයක් දැම්ම.  විදේශිකයෙක් උන්ගේ තරුණියක් වගේ පේන කෙනෙක් එක්ක යනවට මේ පිරිමි කැමති නැතිලු.  මම නම් නෑවේ නැහැ. හැබැයි එතැන හරිම ලස්සනයි ඈතින් පෙනෙන මනරම් කඳු වළල්ල නිසා. පස්සේ කාලෙක දැන් අප අතර නැති යාළුවෙක් වෙන වෛද්‍ය සංජය සිගේරා රූමත් ජෝර්ජියානු කාන්තාවක් වන ඇනා විවාහ කරගත් වෙලේ මම ඔය කතාව කියල, අපි දෙන්නම  බඩ පැලෙන කල් හිනාවුනා. 


ට්බිලිසි වල නගරය  මැදින් යන කේබල් කාරෙකෙත් ගියා මතකයි. ඔය පින්තූරේ තියෙන්නේ ඒක තමයි. ට්බිලිසි  ඇත්තටම සුන්දර නගරයක්, කඳු වලින් වටවෙලා තිබෙන මිටියාවතක. පරණ බයිසැන්ටයින් අධිරාජ්‍යයේ (රෝමන්),ජෝර්ජියන්,  අර්මේනියන්, ග්‍රීක ගෘහ නිර්මාණ ශිල්පයන් ගෙන් හැදුනු රමණීය ගොඩනැගිලි දකින්න පුළුවන් මේ මිටියාවත හා ජෝර්ජියාව පුරාවට. 

ඒ අතරේම මම රුසියානු කෑම වලට කැමතියි වගේම  ජෝර්ජියානු කෑම දැක්කහමත් පිස්සු වැටුන.  හචිපුරි (චීස් පුරවපු අතින් හදපු පාන් එක උඩට බිත්තරයක් බැදල දාල), කින්කලි (ටිකක් පිල්මෙනි වගේ), කාචෝ (මස් ඉස්ටුවක් වගේ එකක්) හා සලියංක  එක හෙම (සොල්යන්ක සුප් එක නොවේ) ලක්මාල් ගේ නවාතැන පහලම වගේ ස්තලොවයා (කැන්ටිමක)  තිබුන. ජෝර්ජියන් වයින් නම් අමතක කරන්න බැහැ. බොහොම මධ්‍යධරණි රිච් ගතිය තිබෙන ස්පාඤ්ඤ වයින් වගේ. 

අර තමන්ගේ තරුණියන් වෙන අය එක්ක යනවට අකමැති සම්ප්‍රදායික බව හැරුනම ජෝර්ජියන් වරු ආසියානු සිසුන්ට හොඳට සංග්‍රහශීලිව සලකන බව ශිෂ්‍යයෝ හැමෝම වගේ කියන දෙයක්.  සමහරු සිකුරාදාට තමන්ගේ මිත්‍ර විදේශික ශිෂ්‍යයෝ නගරයෙන් පිටත මිටියාවතේ ලස්සන උද්‍යාන සහිත නිවෙස් වලට අරන් ගිහින් සංග්‍රහ කරන බවත් සිරිතක්ලු. එහිදී චාචා කියන ජෝර්ජියන් පලහාපු මස් සමග වයින් සහ නර්තන වලින් සමන්විත සන්ධ්‍යාවන්  ගත කරපු අය ඉන්නවා. 



දක්ෂයෙක් නම් පහල පින්තූරයෙන් මාව හොයාගන්න.


 ලක්මාල් අපිව දුම්රිය ස්ථානයට ගිහින් ඇරලුව කළු මුහුදේ නිවාඩුවට යන්න.  කළු මුහුදත් අමුතුම එකක්. ජෝර්ජියාව, රුසියාව, උක්රයිනය, රුමේනියාව, බල්ගේරියාව, තුර්කිය යන රටවල් ගානකින් වටවෙච්ච සංවෘත මුහුදක්. ඉතා ආදී කල්පික සමයක ලොකු විලක්.  නාවිකමය බලය අතින් රුසියාව තමා එය පාලනය කරන්නේ සෙවස්තෝපල් කියන මුහුදුබඩ නගරයේ නාවික කඳවුර හරහා. ඩැනියුබ්, ද්නිපර් සහ දොන් නදීන් සියල්ල අවසන් වෙන්නේ ඒකෙන්.   අත්ලාන්තික සාගරයට සම්බන්ධ වෙන්නේ ඒජියන් මුහුද පැත්තෙන්. 
 අපි කළු මුහුදේ නිවාඩු නිකේතනයට කරදරයක් නැතිව රමණීය දුම්රිය ගමනකින් පස්සේ ආව. ඒ යන  ගමනේ සුඛුමි පැත්තේ තේ වත්තක් බලන්න ගිහින් හරිම ලස්සන ස්වභාවික විලකත් නෑව. (පින්තූර දාන්න විධිහක් නැහැ. අවුරුදු 18 අඩු අය බැලුවොත් එහෙම) 

සෝවියට් දේශයේ ගෙවල් හෝ කාමර කුලියට දෙන්න තහනම් පෞද්ගලික අයට. නමුත් එහෙම දෙන අය ඉන්නවා. ඒකට පොඩි නෙට්වර්ක් එකක් තියනවා. ඒ කියන්නේ මොස්කව් වල අරයගෙ යාළුව ,එයාගේ අර,අරයගෙ යාළුවට සම්බන්ධකමක්  තියනවා කළු මුහුද පැත්තේ. එයා එයාගේ යාලුව හරහා දුරකථන නොම්මරයක්  හොයාගෙන අර ලයින් එක දිගේ මොස්කව් වල ඒක හොයන කෙනාට ලැබෙන්න සලස්වනවා. බලධාරීන්ට හොයන්න බැරිවෙන්න.  අපි අපේ තට්ටු නිවාසය හෙවත් එපාර්ට්මන්ට් එක  හොයා ගත්තේ එහෙම.  එතනට ගිහිල්ල සල්ලි දුන්නහම ඒ ගෙදර ගෑනු කෙනා ෆ්ලැට් එකේ යතුර අපිට දීල වෙන තැනකට ගියා. සල්ලි දෙන්නේ අන්තිම දවසේ. අපි හිටිය තැන ඔය පල්ලහ පින්තුරේ තියෙන්නේ. සෝවියට් දේශය දුප්පත් ගුහාවක් වගේ තිබ්බ කියල හිතන් හිටි අයටත් යමක් කල්පනා කරන්න පුළුවන්.  අසූවේ දශකයේ අග සෝවියට් දේශය. 



කළු මුහුදේ නාපු  තැනක් තමා ඔය තියෙන්නේ. ඔතන රුසියානු භාෂාවෙන් ලියල තියෙන දැන්වීමේ තියෙන්නේ ළමයින්ට නෑමට සුදුසුයි කියල. මම ඉතින් උසේ ප්‍රශ්නය නිසා රුස්සන්ගේ ළමයින් ගේ උසට තමයි වැටෙන්නේ. ඉතින් එතැන කිසි කරදරයක් නැතිව මුහුදු වතුරේ බැහැල හිටිය.  



දැන් අපේ විශ්ව විද්‍යාලවල හිටිය උපකුලපතිට පමණක් දෙවෙනි වන ප්‍රොරෙක්ටර් කියල විදේශික සිසුන්ට අදාල කාර්යයන් සඳහා පමණක් වන නියෝජ්‍ය උපකුලපති කෙනෙක්. එයට හැමෝම  කිව්වේ කේජීබී කාරය කියල. හිතා ගන්න පුළුවන්නේ කාර්යභාරය. වීසා නැතිව ගියොත් හුඟක් වෙලාවට දඬුවමක් ලැබෙනවා. පන්ති තහනම, වසරක පන්ති  තහනම හෝ ගෙදර යැවීම. ගියේ තමන්ගේම රටේ යාළුවෙක් හම්බ වෙන්න නම් දඬුවම සුළු එකක්. ඒ කාලේ කළු මුහුදු වෙරළ කියන්නේ විදේශික රහස් ඔත්තුකරුවො පිරිච්ච තැනක්. එනිසාම කේජිබී නිලධාරින් වැහි වැහැල.  මොක ද පක්ෂයේ උසස් නිලධාරීන් විවේක ගන්න එනවා. ඔවුන්ව අල්ල ගන්න ලෙසයි. හොර බඩු  හුවමාරුව පැත්තකින් වෙනවා. වෙනම  රටක් වගේ ඒ කොටස. අවසර නැතිව එතනට ගියා කියල අහුවුනා නම්  දඬුවම බරපතලයි.

එතකොට කාට හරි ප්‍රශ්නයක් එන්න පුළුවන් ඇයි අපිව අහුවුනේ නැත්තේ  කියල. අර නිලධාරීන් වැඩිය යන්නේ නැති පැත්තක් තියනව. ඒවා ගැන විස්තර කලින් හොයාගෙන  තමා ඔයවගේ ගමනක් යන්න ඕනේ.  මාත් එක්ක ගිය රුසියානුණිය ඒවා කලින්ම කේජිබි සම්බන්ධයක් හරහා හොයාගෙන තිබුනේ.  එහෙම දේවල් දන්නේ නැති අපේ දෙන්නෙක් බතුමි කියන කළු මුහුද අසල නගරයට ගිහින් තිබුන. අර මම ගිය විධිහටම වීසා නැතිව. ගිහිල්ල කේ ජී බී එකට අහුවුනා. ඒක වුනේ දැන් ඕස්ට්‍රේලියාවේ ඉන්න එමිල්ට  සහ ලන්ඩන් වල ඉන්න විපුලට . කතාව ඒ ගොල්ල දවසක් ලීවොත් කියන්නම් වෙනත් දවසක. 

ඔය නිවාඩුවෙන් පස්සේ ආපහු මොස්කව් ඇවිත් සඳුදා දවසක, මම එනවා ඇවිදගෙන අපේ විශ්ව විද්‍යාලයේ ප්‍රධාන ගොඩනැගිල්ලේ තුන්වෙනි තට්ටුවේ කොරිඩෝරය දිගේ. අර නියෝජ්‍ය උපකුලපති ගේ ඔෆිස් එක තියෙන්නේ එතන.  'තුමා මං  ඉස්සරහ නැවතුන. නැවතිලා ඇහැක් පුංචි කරලා ඇහුවා "ට්බිලිසි කොහොමද " කියල. මම කිව්වා මුකුත් නොදන්න ගානට  "හරිම ලස්සන නගරයක් " කියල. මම හෙමිජ්ජ වගේ එතැනින් ඇවිදලා ගියා. මෑන් ඔෆිස් එකේ දොර අරින ගමනුත් මං දිහා බලාගෙන කියල දැක්ක කොරිඩෝරෙන් හැරිලා පියගැට පෙළ බහින්න යද්දී.

කිව්ව කෙනා විස්තරේ භාගයයි  කියල තියෙන්නේ. මගේ යාලුවෝ එකෙක්වත් මාව පාවා දීල නැහැ.  ඒ දවස් වල, යාලුවෝ කිහිපදෙනෙක් හිටිය දනියෙස්ත්ක් කියන යුක්‍රේනයේ නගරයේ ඉඳන් හොරෙන් මොස්කව් එන.  උන් හොරෙන් එන වාරයක් ගානේ දෙකානත් හෙවත් ශිෂ්‍ය කාර්යාලයට කේලම කියන එවුන් ඉඳල තියනවා. සමහර එවුන් වීස හදන කෙල්ලට මොනවා හරි දීල ඕක කරගන්නවා. හැමදාම කරන්න පුළුවන් දෙයක් යැ හොර ගමන් යන හැම සැරේටම. ෆේස් බුක් එකට ලියන ල්වෝව් වල ඉගෙන ගත් ලාල්  විජේසිරිවර්ධන එහෙම වීසා නැතිව කරක්  ගැහුව දනියෙත්ස්ක් සිසුවෙක්  ගැන ලිපි පෙලකුත් ලිව්වා මතකයි.

ඔය වැඩ වලින්  මම තව දෙයක් දැන ගත්ත. කේජිබි යකා කියන තරම් දරුණු නැහැ කියන එක. ඒක මායාවක් විතරයි. එයාලට කෙනෙක්ව හොයන්න අමාරුයි හදිසියේ අහුවුනේ නැත්නම්. කෙලින්ම රටට එන විදේශිකයන් හා තානාපති කාර්යාල සේවකයෝ පස්සේ තමයි වැඩිපුර  දිව්වේ. නැත්නම් බිරියෝස්කා කියන විදේශීය භාණ්ඩ විකුණන කඩ ළඟ තමයි ඉන්නේ වැඩිපුරම. අනිත් හුඟක් වෙලාවට එයාල බලාපොරොත්තු වුනේ පවුලේ අය, ලඟම  යාලුවෝ,  අසල්වාසීන් කේලාම් කියයි කියල.  ස්ටාලින් ගේ කාලේ හැමෝම ඒ විධිහට වැඩ කළත් අසූව දශකය වෙනකොට ඒවාට හුඟක් මිනිස්සු තිත තියල ඉවරයි.  

   පොත ගැන කීවොත් ලන්ඩන් ගෙනාපු පිටපත් බොහොමයක් එහෙම්ම  තියනවා. කෝවිඩ්  වසංගතය නිසා හිතාගෙන සිටිය එළිදැක්ම කරන්න බැරිවුනා.  ඇණවුම් භාර ගන්නවා තවම. 

ලක්මල්ට සෙල්ෆි ගහන්න ඉස්සෙල්ලම කියල දුන්නේ මම. බොරුනම් අහල බලන්න.



මේ පින්තූර ලක්මල්ගේ. අපි කලින් හිටිය තැන දැන් හොඳ සංචාරක හෝටලයක්. 




කෙල්ලෝ රෑනක් නිදහසේ 



පරණ නගරය 




අර කියපු ආහාර වර්ග දෙකක් 




 




Sunday 10 January 2021

ගිනි පුපුරේ අප වෙත එන්න

හා පුරා කියල පිරිසක් ඉදිරියේ නැතිවුනත් පිරිසකට බලන්න ගිටාර් ගහපු වීඩියෝ එක මෙතන. යුරී විස්බර් ගේ ගීතය මෙතන.  මේක  ප්‍රසිද්ධ ගීතයක්. එළිමහණෙ හෙම නිතර ගායනා කරන. මේ දෙවන ගීතය  සෝවියට් දේශයේ ඉගෙන ගත් හුඟක් සිසුන්  වුනත් නොදන්න එකක්. ඒකට හේතුව අසූවේ දශකයේ  දෙවන කාර්තුවේ අප ඉගෙන ගන්නා කාලයේ  ඒ කාලයේ මේ ගීතය තහනම් එකක් වීම වෙන්න ඕන. පෙරිස්ත්‍රෝයිකා (ප්‍රතිසංස්කරණය) හා ග්ලාස්නස්ත් (විනිවිද දැකීම හෙවත් විවේචනය) වලට අවසර දුන්  කාලේ එහෙම  දෙයක් කරයිද ? මම අහපු විධිහට මේක ඊට  ටිකක් කලින් තහනම් වෙලා තියෙන්නේ.

ගීතය මට ගිටාර් කෝඩ් සමග  ලියා දුන්නේ අපේ පන්තියේ හිටපු ලූදා. එයාව මම මේ ලිපියෙත් මතක් කරලා තියනවා.  

මේ  තියෙන්නේ ලූදා ගේ අත් අකුරින් ලියපු ගීතය. ඒ දවස් වල මියුසික් නෝට් ලියපු කහ ගැහිච්ච කොලයක් තමා   පසු බිමින් තියෙන්නේ. ඒවා තවම මගේ ළඟ තියෙන්නේ ඇයි වගේ අනවශ්‍ය ප්‍රශ්න අහන්න එපා. ෆයිල් එක්ක නිකං ඔහේ තිබුන. 
ලුද ගේ අත් අකුරු

දැන් මේ ගීතය ඇත්තටම තහනම් වෙලා තිබුනද කියන්න මම දන්නේ නැහැ. මම පස්සේ සින්දුව යූ ටියුබ් එකේ හෙව්වා. සින්දුව කියන්නේ ඇලෙක්සැන්ඩර් රෝසේන්බෞම් කියන රුසියානු ගායකයා. එයාගේ වීඩියෝවක් තියනවා 2012 ගහපු. ඊට කලින් ඒවා නැහැ. ඒ කියන්නේ තහනම් වෙලා තියෙන්න ඇති. ලුද ඕක ඉගැන්නුවෙත් හොරෙන්  වගේ වෙන කවුරුත් නැති වෙලාවට. ලූද නංගි කිව්ව හේතුව අන්තිමට කියන්නම්.
කියවන අයටත් පුලුවන්නම් කල්පනා කරන්න ඇයි සින්දුව ඇත්තටම  තහනම් කලේ කියල. (පින්තූරේ ඉන්නේ ලුද්මිලා)


මුල් කොටසේ කියවෙන්නේ මෙහෙම.

සහදිත්යේ ක් නම් නා අගන්යොක්  
පෙලා ස්ක්‍රිප්කා ලාස්කව ඉ තක් නේශ්නා 
ඒතත් වේචර් යා තක් අදිනෝක් 
යා තක් ප්‍රොමොක් , නලෙයි සිනොක් 

එන්න අප වෙත ගිනි පුපුර 
වයලීනය මුදු මියුරු හඩින් වැයෙන සඳ  
මේ සැන්දෑවේ මා  හුදෙකලාවේ 
මම   හොඳටම තෙතයි, වක්කරපං කොල්ලෝ  

(එන්න අප වෙත ගිනි පුපුර
වයලීනය මුදු මියුරු හඩින් වැයෙන සඳ  
මේ සැදෑවේ මා  හුදෙකලාවේ 
ආදරෙන් මත්වෙලා
මධුවිතක් තොලගාමු )

මිහායිල් ගොර්බචෝව් ජනාධිපති  සහ  කොමියුනිස්ට් පක්ෂ ලේකම්  ලෙස 1985 දී පත් වුනහම රුසියානුවන් ගේ බිම නවත්වන්න උත්සාහ  කරා. මම "ප්‍රථම ප්‍රේමය ඔබ නොවේ " පොතේ පරිච්චේදයක මේ ගැන ලියල තිබෙනවා. ඒ දිනවල යුරෝපයේ මත්පැන්  බිම වැඩිම රට වුනෙත් බිමෙන්  පිරිමින් මිය යාම වැඩිම රට වුනෙත් සෝවියට් දේශය. ගොර්බචොව්  රටේ  වොඩ්කා නිෂ්පාදනය එක පාරම   අඩු කළා. ගොර්බා අමද්‍යප ව්‍යාපාරය ගෙනිච්චේ එහෙම. ජනතා විමුක්ති පෙරමුණේ හිටපු නායක විජේවීර සහෝදරයා  පක්ෂයේ අයට බොන්න තහනම් කළා කියල මම අහල තිබෙනවා. අප්‍රසිද්ධියේ බිමත් තහනම් කලාද කියල දන්නේ නැහැ. හැබයි ගොර්බ ගේ  ඒ වැඩෙන්  වුනේ  රුසියන් හොර කසිප්පු (සමගොන්කි කියල කියන්නේ)  නිෂ්පාදනය වැඩි වීමයි, රුසියානුව ඕඩි කොලෝන් වගේ සුවඳ විලවුන් වර්ග පවා බීමට ඇබ්බැහි වීමයි විතරයි. රජයට අදායම අඩු වෙනකොට ටික කාලෙකින් ආපහු  වොඩ්කා නිෂ්පාදනය යථා තත්වයට ආව. කරන්න පුළුවන් වැඩද මං අහන්නේ.

 මේ සින්දුවේ මුල්  කොටසේ  අන්තිම පද දෙක - නලෙයි සිනොක් කියන එක තේරුම වක්කරපං පුතා කියන එක . මෙතැන  පුතා කියන්නේ තමන්ගේ පුතාට නෙමේ , එකට බොන තමන්ට වඩා  බාල යහළුවාට "වක්කරපන් පුතා කියන්නේ  වක්කරපං අඩියක් කොල්ලෝ නැත්නම්  වක්කරපන් අඩියක් මචන් " කියන එක. ඉතින් ඕක  ගොර්බගේ අමද්‍යප ව්‍යාපාරයට පටහැනියි. අර බ්ලොග් ලියන අපේ නිමල් දිසානායක  හෙම හිටියනම් ඔය ව්‍යාපාරේ කරන හරියට කරන හැටි ගැන   ගොර්බට  කියල දෙනවා.  ඉතින් ඕනෑවට වැඩිය උඩ පනින පක්ෂ නිලධාරියෙක් තහනම් කරන්න ඇති කියන එකයි මගේ අදහස වුනේ.

හැබැයි ලූදා ඇහැක් ගහල කිව්වේ , එයා  නම් හිතන්නේ අර තෙත කතාවට කියල. අන්තිම ලයින් එකේ. මොකද කොමියුනිස්ට් තරුණ සම්මේලනයේ වැඩ වලදී එහෙම ඒවා කතා කරන්න  තහනම්ලු.

එතකොට දෙවෙනි පද පේලිය 

දෝමා ශ්ද්යොත් හලද්නයා පස්තෙල් 
ප්යානයා සසේද්කා ව් ග්ලසාක්(හ) පෝහත් 
ස්ද්‍රස්ත්වුයි ස්තාරි දෘග් , මෙට්‍රොදත්යෙල් 
මදමුසේල් , ප්‍රිව්යෙත් රෂෙල් 

ගෙදරදී හමුවන්නේ  සීතල ඇඳ ඇතිරිලි 
එහා ගෙදර බීමත් නඟා ගේ  දඩයම්කාරී නෙත්  
ආයුබෝවන් පරණ යාළුවා,  ප්‍රධාන වේටර් 
මැඩාම් , හලෝ රෂෙල් !

මේකේ පළමු  වාක්‍යය වෙන විධිහකටත් කිව්ව හැකි. ප්‍රියම්බිකාවක් නැති නිසා නිවසේ තමන් එනතුරු බලා සිටින්නේ සිතල ඇඳ  ඇතිරිලි. ඒ එක්කම මෙයා නිතරම බොන කෙනෙක්. හැබැයි අල්ලපු ගෙදර බීමත්  නංගි එයාව දඩයම් කරන්න එන නිසාද කොහෙද  තැබෑරුම ට  යනවා.  ගියහම ප්‍රධාන වේටර් ට කතා කරනවා. අහල පහල දන්නා අය ඉන්නේ, මැඩම් ලා , රෂෙල් ලා.   

ඊළඟට පද දෙකක් තිබෙනවා. අපේ අමද්‍යප නොවන යාළුවන්ට  හොඳට හැඟෙන.

සෙවොද්න්යා බෝලෙන් යා දුශෝයි 
තාක් විප්යෝම් ශේ දෘස්යා සම්නොයි 

අද මගේ ආත්මයට හොඳටම අමාරුයි 
එනිසා බොමු යාළුවනේ මා එක්ක 

(මගේ අදහස තහවරු වෙනව මෙතැන  නම්. ගොර්බා ගේ අමද්‍යප ව්‍යාපාරයට කෙලින්ම පහර දෙනවා) 

ඊලඟ පද පෙළ යන්නේ මෙහෙම. අපේ වෙරි වුන යාළුවා පියානෝ වාදකයා දෙසට හැරෙනවා. 

ස්යාදෙම් උ තපෙරා සා ස්පිනොයි 
පස්මත්‍රිත්යේ , ලූදී, නා එවෝ රුකී 
 නු, දවයි සිග්‍රායි , මොයි සලතෝයි 
ති ශ්තෝ ෂ් තාකොයි , සව්ස්යෙම් සෙදොයි 

ඉඳගමු  එහෙනම් පියානෝ වාදකයා ළඟ    
බලහල්ලා මිනිසුනේ  ඔහුගේ දෑත දිහා 
කෝ , වාදනය කරන්න , මගේ රත්තරන් 
මොකද ඔහෙට වෙලා තියෙන්නේ , කොණ්ඩෙත් සුදුවෙලා 

ඔහු ඊලඟට කතා කරන්නේ  ගායිකාවට 

මා වෙනුවෙන් ගීයක් ගයාපන්, කෙල්ලේ ගයාපන් 
මගේ අහිමි වූ ආදරය ගැන
ජනේලය පැත්තෙන් ඇහෙන රැල්ලේ සද්දේ 
යමන් මාත් එක්ක මගේ නිවසට 

සින්දුව අන්තිම කොටසත් වැදගත්. මේ ඒ පද පේලි දෙක 

වොස්ම්යෝම් කොන්ෆෙට් , ඉ අනනාස් 
ඉ ද්වියේ බුතිල්කි ද්ල්‍යා නාස් 

අරගමු රස කැවිලි, අන්නාසි 
සමග බෝතල්  දෙකක් අපි දෙන්නට 

මේ කොටස  ආයෙත් ගයනවා. 
(අද මගේ ආත්මයට හොඳටම අමාරුයි 
එනිසා බොමු යාළුවනේ මා එක්ක )

දැන් මම දන්නා එක යහළුවෙක් ( ලංකාවේ හුඟක් එයාව දන්නා අය එයාව සැලකුවේ බොහිමියානුවෙක් හැටියට) මට කිව්වේ ඔය සින්දුව තහනම් කළේ අන්නාසි කතාවට  කියල.  එයාගෙන් ආයිත් අහන්න විධිහක් නැහැ එයා වඩා හොඳ තැනකට  ගිහිල්ල අපටත් නොකියම. මම තවත් යහළුවෙක් වන තේනුවර ගෙන් ඇහුවා එයට මතක නැහැ එහෙම දෙයක්. තේනු කීව තව යාළුවෙක් ගෙන් අහන්න කීව. මේල් එකක් දැම්මට උත්තරයක් නැහැ.

ඉතින් මමම හේතුව කියන්නම්. දැන් සාමාන්‍යයෙන් තරුණියකට හෝ විශ්ව විද්‍යාලයේ හිත ගිය කෙල්ලකුට අරාධනා කරන්න  චොකලට් එකක් හෙම ගන්නවනේ.  රුසියාවේ ඕක ටිකක් වෙනස්. පිටරට චොකලට්, හොඳ පිටරට බීම එකක් ( විදේශික ශිෂ්‍යයෝ නම්) නැත්නම් ඉතින් වොඩ්කා , හොඳ කල්බසා (සොස්ජස්) එකක් වගේ දේනේ ගන්නේ. මේ ගීතයේ  කියනවා ටොෆී එක්ක අන්නාසි. සෝවියට් දේශය අන්නාසි හැදෙන රටක් නෙමෙයිනේ. එනිසා  අන්නාසි  සුඛෝපභෝගී පළතුරක් (භාණ්ඩයක්) . මට මතකයි  අපේ සමහර යාලුවෝ අන්නාසි ගෙඩිය පිටින් ලංකාවෙන්  අරන් එනව. ටීචර්ලට, යාළුවන්ට , යාළුවෙලා ඉන්න රුසියන් සුන්දරියන්ට පෙන්වන්න. අහුවුනොත් ශේරෙමිතොවා කියන මොස්කව් ගුවන් තොටුපලේ රේගුවෙන් අර ගන්නවා. පළතුරු  ගෙන්න තහනම්  නිසා.

සින්දුවේ කියන්නේ නම්  ටින් වල දාපු අන්නාසි ගැන. ඒකේ පෙති හයක් විතර තමා තියෙන්නේ. කියුබාවෙන් හරි ඔය ලතින් ඇමෙරිකන් රටකින් එන එකක්. ඕක ආණ්ඩුවේ සුපර්මාකට් එකට දාල පැයෙන්  යනවා. මිනිස්සු පෝලිමේ  ඉඳන් අරන් යන නිසා  ලෙහෙසියෙන් ගන්න පුළුවන් දෙයක් නෙමේ. නැත්නම් ඉතින් ඔය විකුණන තැනක කවුරුහරි යාලු කරගෙන ඉන්න ඕනේ.

සින්දුව තහනම් කරන්නේ සෝවියට් දේශයේ භාණ්ඩ හිඟයක්  ගැන කියන නිසා කියල තමයි යාලුවා කිව්වේ.

ඔයාලත් කල්පනා කරලා  බලන්න.
  
ගීතය ටිකක් වෙනස් කළා මේ විධිහට :

එන්න අප වෙත ගිනි පුපුර
වයලීනය මුදු මියුරු හඩින් වැයෙන සඳ  
මේ සැදෑවේ මා  හුදෙකලාවේ 
ආදරෙන් මත්වෙලා
මධුවිතක් තොලගාමු 
 
ආත්මය දෙදරලා 
එනිසා මධුවිතට එකතු වෙමු  
ගාන්ධර්වයා  අසල     
බලන්න දෙඅත් ඔහුගේ 
වයන්න, මගේ රත්තරන් 
ඔබට අපහසුද වයස්ගත බව දැනේ  
ගයන්න ගීයක් මා වෙනුවෙන් සොඳුරියේ 
අහිමි වූ ඒ ආදරය ගැන
මුහුදු රළ හමා එයි මහා හඬින්  
යමු මගේ නිවෙස වෙත 
රසකැවිලි හා අන්නාසි 
මධුවිතත් සමගින්  



සින්දුවේ කෝඩ් ලූද ලියල තිබ්බට හරියට මතක නැහැ. එනිසා ආයෙත් බැලුව. මම හොඳට මේක ගැයුවා  කියල හිතෙන්නේ  නැහැ. රුස්සෝ  නම් හොඳට දාගත්ත වෙලාවට කියන ගීතයක් තමා. 



සින්දුව රුසියානු භාෂාවෙන් 
— Заходите к нам на огонек, —
Пела скрипка ласково и так нежно.
В этот вечер я так одинок,
Я так промок, налей, сынок.

Дома ждет холодная постель,
Пьяная соседка, а в глазах — похоть.
Здравствуй, старый друг, метрдотель,
Мадемуазель, привет, Рашель!

Сегодня болен я душой,
Так выпьем же, друзья, со мной.

Сядем у тапера за спиной.
Посмотрите, люди, на его руки.
Ну, давай сыграй, мой золотой.
Ты что ж такой, совсем седой?

Спой мне песню, девочка, ну спой,
Про мою любовь, которой нет больше.
Как шумит за окнами прибой…
Пойдем со мной ко мне домой.

Возьмем конфет, и ананас,
И две бутылочки для нас.

Сегодня болен я душой,
Так выпьем же, друзья, со мной.

Saturday 9 January 2021

රේඩියෝ රන් ලංකා සමග පිළිසඳරක්



මම  තාරකා භෞතික විද්‍යාව ලිපි පෙළ ලියල  සෑහෙන කාලයක්. මේ ලඟදි ඒ ලිපි සියල්ලම එකතු කරලා  තාරකා භෞතික විද්‍යාව (astrophysics) ලෙසින් නම්කර පිටුවක්  හැදුව.  මේ පිටුව හැදුවේ  බ්ලොග් එක වෙනස් කරන්න හිතාගෙන.  ලිපි ලිවීම නම් නතර වුනේ "සියාමා" සහ "ප්‍රථම ප්‍රේමය ඔබ නොවේ " පොත් දෙක ලියන්න ගත්ත නිසා ඒ කාලෙම වගේ. 

රේඩියෝ රන් ලංකා කියන සිංහල වෙබ් ගුවන් විදුලියේ  ප්‍රියංග  ප්‍රේමරත්න මල්ලි ගිය දෙසැම්බරයේ  ෆේස්බුක් එක හරහා  පණිවිඩයක් එවල තිබුන  කතා කරන්න කැමතියි කියල. ඔහුට අවශ්‍ය වුනේ මම තාරකා භෞතික විද්‍යා  විෂයට සම්බන්ධ වුනේ කොහොමද කියල දැන ගන්න. මම ඒක ඉගෙන ගත්තේ සහ ඉගෙන ගන්නේ විනෝදාංශයක් වශයෙන් කීවම මම හිතන්නේ ඔහු පුදුම වෙන්නත්  ඇති. 

මම "භෞතිකවාදියෙකු (Materialist), අධි මානසික විද්‍යාවන් හා (paranormal)  මරණයෙන් පසු ජීවිතය ගැන සෙවූ  හැටි" කියල ලිපි පෙළකුත් 2016 විතර  ලීවා. ඒ ලිපි ලීවේ  මළවුන්  ගෙන්වන අය සමග සාකච්ඡා  කරලා. මම ඔය දෙපැත්තම එක වරම බැහැර කරන්නේ නැහැ.  අධි මානසික විද්‍යාවන් තියෙන්න පුළුවන් වගේම සමාන්තර විශ්වයන් තියෙන්නත් පුළුවන්.

ඉතින් ඒ කරුණු ගැන ප්‍රියංග ප්‍රේමරත්න සමග කළ පිළිසඳර තමයි මේ.




Sunday 3 January 2021

කෝවිඩ් 19 වෛරසයේ පැවතීම, වර්ගයා බෝ කිරීම සහ පැතිරීම අතර වෙනස

විද්‍යාවයත්  අවිද්‍යාවත්  අතර වෙනස සෙවීමට තැත් කරන්නන් සඳහා විශේෂයෙනුත්, මේ ප්‍රශ්නය දඩ මීමාකරගෙන එක්තරා සුළු ජන කොටසකට  එරෙහිවන ජාතිවාදින්ටත්, ප්‍රශ්නයට දේශපාලනය ඇදගෙන දේශපාලන හේතු මත තම ස්ථාවරය වෙනස් කරන්නන් සඳහාත් ලියමි.

කෝවිඩ් 19 වෛරසයේ හෝ වෙනත් වෛරස් වල පැවතීම (live virus)  සහ පැතිරීම (trasnmission) යනු දෙකකි. මේ වෙනස එක්කෝ මේ අයට  නොතේරේ. නැතිනම් තේරුනත් බොරු වචන හරඹයක් කරමින් "මෙන්න අවිද්‍යාවට ලැදි අය වෛරස් වතුරෙන් බෝවෙනවා කියනවා" කියමින් ගේමක් ගෙනියති. 
මෙම කෝවිඩ් 19 වයිරසය ජලයෙන් බෝවෙනවා යයි කවුරුහරි කී  බවක් මම කොහේවත් කියවා නැත.  

මේ පහත  ලියන සියල්ල  මේ දක්වා විවිධ රටවල විද්‍යාගාර සහ රෝහල් වල කරන ලද පර්යේෂණ වාර්තා  මත පදනම්ව ලියන්නකි. 
 
කොවිඩ් 19 වෛරසයේ සීඝ්‍ර  පැතිරීම - මිනිසුන් ගෙන් මිනිසුන්ට සහ සතුන්ගෙන් මිනිසුන්ට (කහිනා විට, කතා කරන විට කිවිසුම් යන විට ආදී ලෙසින්) බෝවීමට හැකිය. මෙයට ප්‍රධාන පැතිරීමේ ක්‍රමය කියා (main form of transmission) වෛද්‍යවරුන් හා විද්‍යාඥයන් නිශ්චිතවම කියා තිබේ. 

වයිරසය වැඩිවීමට (multiply or reproduce) නැතිනම්  වර්ගයා බෝ කිරීමට නම් ජීවී ධාරක සෛලයන් අවශ්‍යමය. 

(ජලය ගැන අවසානයට ලියා ඇත)
කොවිඩ් 19 වෛරසයේ පැවතීම -   පර්යේෂණ වලින් සොයාගත් කරුණු අනුව පෘෂ්ඨ වල පවතින කාලය 
දොර යතුරු,ආභරණ , හැඳි ගෑරුප්පු - දවස් 5
පත්තර - දවස් 5 
වීදුරු, පිඟන්, කෝප්ප  - දවස් 5 
ලී බඩු, ඩෙක් - දවස් 4
ප්ලාස්ටික් - කිරි දමන ප්ලාස්ටික් බෝතල්, බස් සහ සුම්රිය සීට්, බෑග්, ලිෆ්ට් වල බොත්තම දවස් 2-3
වානේ (ශීතකරණ, කෑම උයන භාජන, සින්ක්) - දවස් 2-3
කාඩ්බෝඩ් - පැය 24
තඹ පෘෂ්ඨ - පැය 2 සිට 8 
ඉහත පෘෂ්ඨ ඩේටොල් වැනි විෂබීජ නාශක , මත්පැන්, බ්ලීච් ආදියෙන්  සෝදන්නට කියන්නේ එබැවිනි. ඒ මේවායින් වෛරස් සංක්‍රමණයක් වීමේ සම්භාවිතාවක් ඇති බැවිනි.

ජලය -බොන වතුර -  යුරෝපයේ හා ඇමෙරිකාවේ බොන වතුර ඉතා පිරිසිදු කර එවන නිසා වෛරසය ඒවායේ නැත. (ටැප් වතුර ඉතා සුරක්ෂිතය ) 
පිහිනුම් තටාක - ක්ලෝරීන් සාන්ද්‍රණය වැඩි නිසා මෙන්ම වෛරසය  ජලයේ පැතිර යන නිසා පැවතිය හැකි වුවත් බෝවන්නට තරම් වෛරස් සාන්ද්‍රණයක් නැත. මිනිසුන් තටාක භාවිතා කරනවා නම් පමණක් සම්ප්‍රේෂණයේ සම්භාවිතාවක් තිබිය හැක. පිහිනුම් තටාක වසා ඇත්තේ එබැවිනි.

ස්වභාවික වැව් ආදිය - වෛරසය දින  5 සිට සති කිහිපයක්  දක්වා පැවතිය. වෛරස් සාන්ද්‍රණය ඉතා අඩු නිසා මිනිසුන්ට බෝවීමේ හැකියාව අවමය. ස්නානය කරන්නේ  නම් සබන් භාවිතා කිරීම  නිසා වෛරස ලෙඩක් සෑදීමේ සම්භාවිතාව ඉතා අඩුය.

මළපහ ආදිය මුසුවන කුණු කානු, හෝ මළාපවාහන පද්ධති - දවස් 5 සිට දවස් 25 දක්වා පැවතිය හැකිය.

 දැන් මිනිසුන් ගෙන් මිනිසෙකුට පමණක් බෝවනවා නම් පෘෂ්ඨ ශුද්ධ කරන්නේ ඇයි? එම පෘෂ්ඨ වෛරසය තිබෙද්දී අතින් ස්පර්ශ කර පසුව   නාසය, ඇස හෝ මුව ඇල්ලීමෙන් බෝවීමේ සම්භාවිතාවක් තිබේ. මේ තත්වයම අප ජලයටත් තිබිය හැකිය. එය එසේ නොවේ යයි කිසිදු පරීක්ෂණයකින් කියා නැත. 

මියගිය තැනැත්තෙකුගේ ශරීරයේ වයිරසය කොපමණ කල් තිබේදැයි තවමත් කිසිවෙකු හරියටම සොයා බලා නැත. සාමාන්‍ය පිලි ගැනීම නම්  පැය හතරේ සිට  දිනකින් දෙකකින් වයිරස විනාශ වනු ඇත කියාය. එහෙත් වියලි නොවන පෘෂ්ඨයක හෝ වියලි නොවන පසුබිමක වෛරසය ට පැවතීමේ හැකියාවක් ඇත. මතක තබා ගත යුත්තේ  බෝවෙන්නට හෝ වර්ගයා බෝ කරන්නට නොව පැවතීමට හැකියාවක් ඇත යන්නය. මේ දින 5 ක සිට 25 දක්වා වියහැක. එම වෛරසයට ජීවී සෛලයක් විනාශ වීමට කලින් මුණ ගැසුනොත් සංක්‍රමණය සිදු නොවන්නේ යයි අපට තර්ක කළ හැකිද? 

මහාචාර්ය මලික් පීරිස් මහතා  ගේ පර්යේෂණ වාර්තාවේ වයිරසා සම්ප්‍රේෂණය හෝ  සංක්‍රමණය (transmission)  වන ආකාර ගැන හොඳ පැහැදිලි කිරීමක් කර ඇත.(ලිපිය අංක 5) 

භූමදානය හෝ ආදාහනය අතර ප්‍රශ්නය සඳහා මගේ අදහස නම් ඉහත කි වෛරසය දින කිහිපයකට පැවතීමට අවකාශ නොමැති ඕනෑම තැනක භූමදානයකට ප්‍රශ්නයක් නොමැති බවය. 
එසේම  සෞඛ්‍ය බලධාරීන් සහ විද්‍යාඥයන්, වෛද්‍යවරුන් (දේශපාලුවන් නොවේ) කිසියම් ජලාශ්‍රිත පෙදෙස් පිලිබඳ අවදානමක් ඇතියයි  සිතන්නේ නම් ඔවුන්ගේ අවවාද පිළිපැදිය යුතු බවය. 



මූලාශ්‍ර:  


Friday 1 January 2021

සම්ප්‍රදායික ජර්මන් කෑම වේලක්

සම්ප්‍රදායික ජර්මන් කෑම වේලක් 
**********************************
(ඔබ මස් නොකන අයෙකුනම් මේ ලිපිය කියවන්න එපා.)
මේ අවුරුද්දේ මුල්ම බ්ලොග් පෝස්ට් එක කෑම ගැන ලියන්න වෙන් කළා. වැඩිය ලියල නැති මාතෘකාවක්. බිරින්දෑ ගැනත් ලියනවා කියල පොරොන්දු වුන නිසා මේකෙන්ම පටන් ගත්ත. නැත්නම් දැන් එන්න එන්නම වෙලාව හොයා ගන්න අමාරුයි. ඇයි පහුගිය මාස දහයම ගෙදර ඉඳන් වැඩ කළ නිසා වෙලාව හරියන කොට කෑ ගහනව. "දැන් වැඩ ඉවරයි නේද. තවත් ඉන්න ඕනෙද කොම්පියුටරේ ලැග ගෙන කියල". මම කරන්නේ ඉතින් ඔෆිස් එකෙන් ගෙදර එකට  මාරු වෙන එක විතරයිනේ. 

 සාමාන්‍යයෙන් අවුරුද්දේ අන්තිමට ජර්මනියට ගියහම රෙස්ටුරන්ට් දෙක තුනකට යන එක සිරිතක්. හේතුව මේකයි. මේ සීත කාලෙට ගොඩක් තැන්වල කන්න දෙන්නේ මස් වර්ග විතරයි.සීත සමයේ  බැවේරියාවේ ආපන ශාලා වල් පාත්තයෝ (wild geese) , (ෆාම් වල හදන්නේ හොඳ පාත්තයෝ), වල් ගෝන්නු (wild stags) සහ වල් ඌරෝ (wild boar) තමා කෑමට තියෙන්නේ වැඩිපුරම. ඒව තමා ජනප්‍රිය. මාළු කන අයට ටිකක් අපලයි මේ කාලේ. අවුරුදු දෙක තුනකට කලින් අපි ගිය එක ආපන ශාලාවක තිබ්බේ එකම එක මාළු වර්ගයයි. ඒකත් කිරි මිශ්‍ර සෝස් එකක් එක්ක .මට කොහොමටවත් කන්න බැහැ.  වෙජිටේරියන් කට්ටියටත් ගෙදර තමයි කෑම හදන්න වෙන්නේ. 

ලන්ඩන් වල ක්‍රිස්මස් එකට කළුකුම් මස් (turkey) තමා හදන්නේ. කන්න නම් ටිකක් අමාරුයි. ලොකු රහක් නැහැ. මේ අවුරුද්දේ කෝවිඩ් නිසා ඔෆිස් පාටි එකත් නැහැ.      
ඉතින් ක්‍රිස්මස් දවසට කලින් දවසේ බිරිඳ සාමාන්‍යයෙන් හදන්නේ මාළු. මොකක් හරි සම්බන්ධයක් තියනවා ජේසු කතාවට. ක්‍රිස්මස් දවසට කළුකුම් හෝ කුකුළු මස්. නැත්නම් ෆාම් වල හැදුනු කීකරු පාත්තයෙක්. නමුත් මේ සැරේ අල්ලපු ගෙදරත් එක්ක මස් පලහාපු නිසා පාත්තයා සෙට් වුනේ පරණ අවුරුද්දේ රෑ ඒ කියන්නේ 31 රෑට.








 පාත්තයා රෝස්ට් කර ගන්නේ හිස කරපු මැදට ඇපල්, වියලි අප්රිකොට් ආදිය දාල. ලුණු, ගම්මිරිස් අතුරලා සමහර විට සොයි සෝස් වටේට ගානවා. පැය දෙකක් විතර අවන් එකේ තියල ගන්නේ. බෝංචි ඇට වර්ගයක් සහ කෝන් වලින් හදපු කෑමක් තිබෙනවා. 
එසේම මේ ආහාර වෙලට්  රතු ගෝවා ( කැබේජ්) සයිඩ් එකෙන් තියෙන්නම  ඕනේ. රතු කීවට ඒවා ඇත්තටම දම් පාටයි. රතු   ගෝව බැදලා ඊට පස්සේ උයල තියෙන්නේ වයින් සෝස්  දාල. ඒකට වේලිච්ච මිදිත් දානවා. 

බත් වෙනුවට තියෙන්නේ අල ඩම්ප්ලින්ස් (dumplings). කර්ටෝෆෙල්ක්ලුසෙ කියල ජර්මන් වලින් කියන්නේ.  ඒවා හදන්නේ අල පොඩි කරලා, කෝන් පිටි ටිකක්, බිත්තරයක් හෙම දාල ඊට පස්සේ තම්බල අරගෙන. අර පාත්තයා බැදුණු වතුරෙන්ම සෝස් එකකුත් හදනව. ඔපමණයි. 

මේ පින්තුරේ තියෙන්නේ අල්ලපු ගෙදර උදවියගේ කෑම. ඔවුන් ඉතාලියන්/ඇමෙරිකන් සහ බ්‍රසීල යුවලක්. වැඩිපුරම මස් පලහා කෑම තමා කරන්නේ. මම ඉතින් කරි හැදුවම හෝ කරියක් ලැබුනොත් එයාලටත් දෙනවා. ඒකට සෑහෙන්න පෙරේතයි. මෑන්ස් හදන්නෙම හරක් මස්  සහ ඌරු මස්. 
මම නම් මේ අවුරුද්දේ ඉඳන් මස් කෑම අඩු කරලා තියෙන්නේ. මොකද ඒක අවශ්‍යම නැති නිසා. එළවලු තමයි වැඩි පුරාම කන්නේ. ඒත් ඉතින් මේ වගේ දවසක අනුගත වෙන්න වෙනවා. උයල දෙන දේ එපැයි කන්න. මේ කෑම කිසි දෙයක් තුනපහ දැම්මේ නැහැ කියල මටනම් රසින් අඩුවක් නැහැ. 

සාමාන්‍යයෙන් ලංකාවට කතා කළාම අම්ම අහනවා මොනවාද කෑවේ කියල. හැබැයි මේ කෑම වේල ගැන  අපේ අම්මට කීවහම කියන්නේ 
"අනේ මේ දරුවට හරියට කන්නත් නැහැනේ." කියල.  මට ඉතින් හොල්මන්. මේ තියෙන්නේ  කන්න නෙමෙයිද? අම්මගේ අදහස බත් තිබ්බේ නැත්නම්, අර පාත්තයට මිරිස් තුනපහ දාල තිබ්බේ නැත්නම් මම බඩ ගින්නේ කියල. 
චිකන් ඵහිටා


එක පාරක් අම්ම එක්ක ගියා  චිකිටෝ  කියන මෙක්සිකන් රෙස්ටුරන්ට්  එකට. එයා චිකන් විතරයි කන්නේ. ඉතින් අරන් දුන්න ෆහිටා එකක් ටෝටිලා එක්ක. (මෙක්සිකන් රොටි)
අපේ  මව්තුමී චිකන් කෑල්ලක් කෑව , රොටියෙන් කෑල්ලක් කෑව. චිකන් හරියට හදල නැහැ අමුයි, රොටිය හරියට දාල නැහැ, එළවලු හැදිලා නැහැ කීව. 
මටයි ඉනෙස් ටයි කියනව  "ඇයි ළමයෝ ඔය අමුවට උයපුව කාල බඩේ අමාරුව හැදෙන්නේ නැත්ද කියල. තුනපහ පෙන්නලාවත් නැහැනේ." මම කිව්වා  මෙක්සිකන් කාරයන්ට ඒ කාලේ තුනපහ තිබ්බේ නැහැ කියල.  ඉන්දියන් තැනකට ගියොත් මිසක්  ඊට පස්සේ නම් කන්න ගියේ නැහැ වෙන තැන්වලට.  

ඉතින් මේ තමයි 31 දා අපි අනුභව කරපු ජර්මන් කෑම වේල. 

ඉතින් මේ බ්ලොගයට පටන්ගත් දවසේ ඉඳන් ගොඩ වෙච්ච ඔබ හැම දෙනාටම සුභ නව වසරක්. කොවිඩ් ප්‍රශ්නය අවසන් වී ,ඒ එන්නත් ලැබී, රැකියා වලට  යාමට ලැබී , රැකියා නොමැති අයට රැකියාවන් ලැබී වඩා සුභ පල ගෙන දෙන සෞඛ්‍ය සම්පන්න   නව වසරක් වෙන්නය කියලත්  පතනවා. 



Thursday 17 December 2020

විසි වසරකට පෙර




විසි වසරකට පෙර 
අද වැනි දිනක 
වැවක් අසබඩ 
අතිනත ගතිමු 

බිඳුණු හදක් 
සුවපත් කර ගන්නට 
නොහැකි යයි
මා නිබඳ සිතුවත් 
ඔබේ ඉවසුම 

ඔබේ සිනහව 
ඔබේ කරුණාව 
ඔබේ තරහව 
ඔබේ දැඩි කම 

ඒ සියල්ල අමතක කර 
ජීවිතය නැවතත් 
අරඹන්නට 
නව මගක් යන්නට 

ආලෝකයක්ම විය 

ඔයා  කවදද අපේ කතාව 
ලියන්නේ සිංහලෙන් හරි 
ඔබ නිතර ඇසුවත් 
මට තවමත් හිතෙන්නේ 
ඒ කතාව හිතේ තිබුනම 
ඇති 




Sunday 6 December 2020

කියුබාව, සත්‍යය සහ කැමරාකරු

Cuban Houses
ළඟකදී මා සමග එකට සෝවියට් දේශයේ උගත් කියුබානු මිතුරන් හතර දෙනෙකු නැවත සොයා ගැනීමට හැකි වුනි. ඒ සඳහා උපකාර  කලේ රතනපාල නමැති මහතෙකි. ඔහු කියුබාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ සේවය කළ අයෙකි. 
මා සමග උගත් කියුබන් යහළුවන් ගැන වසර පහකට පමණ ඉහතදී මගේ බ්ලොගයේ ලියා තිබුනු බව  සමහර පාඨකයන්ට මතකයේ තිබෙන්නට පුළුවන. මේ ඒ ලිපි වලින් දෙකකි..

They still have these carts like in Eastern Europe

මේ ලිපි මාලාවේ දෙවන ලිපියේ සඳහන් එචේවාරියා අරියෙල්, කස්තියෝ, ඔස්වල්ඩෝ ඔලිවා ආදීන් නැවත  හමුවීමත් සමග ඔවුන්ගෙන් ලත් තොරුතුරු මත,  කියුබාව පත්වූ  තත්වය ගැන ලිවිම මේ ලිපියේ අරමුණයි. මම සැමවිටම ලැබෙන තොරතුරු සොයා බලන අතර මගේ අදහස්ද යාවත්කාලීන කර ගන්නා අයෙක්මි. මගේ පරණ ලිපි හා නව ලිපි කියවන විට ඒ බව වැටහෙනු ඇති.   

කියුබාව ගැන මගේ සිතේ කොහොමත් තිබුනේ මෘදු අදහසකි. එක හේතුවක් නම් අපේ  තරුණ වියේදී අප විසින් රොමැන්තිකරණය කරගත්  කියුබානු විප්ලවයයි. දෙවන හේතුව වූයේ එය මෙහෙයවූ චාම්, එහෙත් වීරත්වය මුසු නායකයන් දෙපල වූ චේ ගෙවාරා හා පිදෙල් කස්ත්‍රෝය. අපේ පාරිශුද්ධ වූ පරමාදර්ශී සිහින ලෝකයේ කියුබාව සමාජවාදී පාරාදීසයක් නම් සෝවියට් දේශය  සමාජවාදී දෙව්ලොව විය. 

මගේ මහත් පුදුමයට හේතුවක් වූයේ කියුබාව සමාජවාදී රටකට තිබෙන හොඳම මොඩලය ලෙස බ්‍රිතාන්‍ය  කම්කරු පක්ෂයේ ඇතැම්  සාමාජිකයන් සළකන බව දැන ගැනීමයි. වසර කිහිපයකට පෙරාතුව, කෝබින් ගේ අවධියේ දී සමහරු කියුබාවට ගොස් ජීවත් වීමට පවා කැමැත්තෙන් සිටියහ. නමුත් ඒ දිනවලදීම මගේ සිතට නැගුනු සිතිවිල්ලක් නම් සම්පූර්ණ බටහිර මාධ්‍ය ජාලා සමූහයම කියුබාවේ නොයෙකුත් හිඟකම් , පසුගාමී භාවයන් පෙන්වද්දීම  ඔවුන් එසේ සිතන්නේ ඇයිද යන්නය. බටහිරදී ඔබට ඔබේ දේශපාලකයා තෝරා ගැනීමට ඡන්දය දිය හැකි අතර ජීවිතය කියුබාවේ තරමටම අපහසු නොවන සුඛෝපභෝගී එකකි. (සැමටම සුඛෝපභෝගී නොවන බවද සැබෑවැකි). මේ  ටෝරි පාලනය හැර එක්සත් රාජධානියේ ඇති ප්‍රශ්නය කුමක්ද? එය ධනවාදී රටක් බව සැබෑය . එහෙත් ඔබට නොමිලේ ප්‍රතිකාර ගැනීමට නිදහස් සෞඛ්‍ය සේවයක් තිබේ. ඔබ රැකියා විරහිතයෙක් නම් රජය ඔබට සහනාධාර මුදලක් ලබා දෙයි. ඔබේ නිවසේ කුලිය ගෙවයි. දරුවන්ට ආහාර කූපන් පත් ලබා දෙයි. ඇඳුම් කූපන් ලබා දෙයි. නොමිලේ දන්ත වෛද්‍ය පහසුකම් ලබා දෙයි. නොමිලේ ඇස් කණ්නාඩි  සහ බෙහෙත් ලබා දෙයි. ලබා දෙන තට්ටු ගෙවල් අති සුඛෝපභෝගී ඒවා නොවුවත් කියුබාව හෝ ලංකාව වැනි රටවල ඇති සමහර නිවාස වලට වඩා ඒවා හොඳය. (මේ ලංකාවේ පොහොසත් මධ්‍යම පන්තිකයන් ගැන කියන්නක් නොවන නිසා කලබල නොවන්න) 

මා කිසි දිනක කියුබාවට නොගියද සමාජවාදී සෝවියට් දේශයේ උගත්තෙක්මි. මා ඉතා ඉක්මනින් වටහා ගත්  දෙය නම් සෝවියට් දේශය එහි වැසියන්ට සමාජවාදී දෙව්ලොවක් නොවන බවයි. ඒ එසේ වුවද සෝවියට් දේශය සමග ඉමහත් සොඳුරු බැඳියාවක් අපට තිබුණි. සමහර විට ඒ පියකරු රුසියානු කෙල්ලන් නිසාද නැතහොත් ආසියානු රටකදී, නිවසකදී නොලැබෙන තරමේ නිදහසක් යුරෝපීය රටක විඳින  නිසාද යන්න නොදනිමි. නමුත් සෝවියට් දේශය එදවස අසූව දශකයේ ශ්‍රී ලංකාවට  වඩා නම් දියුණු රටක් විය.   ඔවුන් අපට ඉතා සංග්‍රහ ශීලි වූ අතර නොමිලේ විශ්ව විද්‍යාල අධ්‍යාපනයද ලබා දුනි. එය එක්තරා ආකාරයකට විශේෂිත වූ රටක් විය. දූපත් රටක් වූ ශ්‍රී ලංකාවෙන් පැමිණි මට ලෝකයට   අභිමුඛ වීමට දෑස් විවර කර දුන්නේ සෝවියට් දේශයයි.  

එක්සත් රාජධානියේ ජීවිතය අපට දියුණු වීමට හා මුදල් උපයා ගැනීමට අවස්ථාවක් ලබා දුනි. සෝවියට් දේශයේ උගත් අනිකුත් බොහෝ විදේශීය උපාධිධරයන්ද ඇමෙරිකා එක්සත් ජනපදය, ඔස්ට්‍රේලියාව, කැනඩාව, නවසීලන්තය හා යුරෝපීය රටවල් වලට සංක්‍රමණයව පදිංචි වුනි. ඔවුන්ගේ ජිවන තත්වයන්ද වඩා යහපත් ඒවා බව සැඟවිය නොහැකිය. එසේම ඉන්  බොහෝ දෙනා වැඩිදුර ඉගෙන අධ්‍යාපනඥයන්, විද්‍යාඥයන් සහ තම ක්ෂේත්‍ර වල ප්‍රවීණයන් බවටද පත්වූහ. බටහිර රටවලින් ජිවිත දියුණුවට ලැබුණු අවස්‌ථාවන් ගෙන් උපරිම ප්‍රයෝජනයක් ගැනීමට ඔවුහු දක්ෂයන් වූහ.    එහෙත්  සමාජවාදී සෝවියට් සමූහාණ්ඩුවේ ගතකල ජීවිතය පිළිබඳ නොස්ටල්ජියාව සහ බැඳීම ඔවුනතර තවමත් නොවෙනස්ව පවතී. 

මගේ කියුබානු මිතුරන් කොහේ වෙසෙනු ඇත්ද යන්න  ගැන මම නිතරම සිතුවෙමි. විශ්ව විද්‍යාල සමය තුලදී ඔවුහු මට නිතරම පාපන්දු ක්‍රීඩා කිරීමට යාමට ආරාධනය කළහ. රුසියාවේ දරුණු ශීත සමය තුල පවා අපි පාපන්දු ක්‍රීඩා කළෙමු. ෆේස්බුක් හරහා නැවත  හඳුනා ගන්නට ලැබුනේ මට ඉන් හතර දෙනෙකි . ෆේස්බුක් ගිණුම තවමත් රැගෙන යන්නට එයත් හොඳ හේතුවකි.  බොහෝ  මිතුරන් වඩා හොඳ ජිවන තත්වයන් උදෙසා කියුබාවෙන් ඉවතට පියාඹා ගොස් තිබුණි. මම ඔවුන්ගේ වරදක් නොදකිමි. අප කළේද එයමය. මා හඳුනා ගත්තේ එචේවරියා අරියෙල්, රූබෙන්, ඔස්වල්දෝ ඔලිවා සහ උදෙය් රමිරස් මෝසා ය.   උදේයි සහ අරියෙල් තවමත් සතුටින් ජීවත් වන්නේ කියුබාවේය. උදෙයි තමන්ගේ විවාහක පවුල මෙන්ම මව, සහෝදරිය හා නෑදෑයන් සමග ජිවත් වෙයි. ඔස්වල්දෝ රැකියාව කරන්නේ ටෙනරිෆ් වලය. රූබෙන් රැකියාව කරන්නේ ආර්ජන්ටිනාවේය. අරියෙල් කියුබාවේ රාජ්‍ය විදුලි බල සමාගමක අධ්‍යක්ෂකවරයෙකි. 

අරියෙල් පැවසුවේ සෝවියට් දේශය බිඳ වැටුණු පසු කියුබාවේ ජීවිතය ඉතා දුෂ්කර එකක් වූ බවයි. එය කියුබානු සමාජවාදී ආණ්ඩුවටඉතා අපහසු වූ  කාලයක් බව මම දැන සිටියෙමි. සෝවියට් දේශය කියුබාවේ සීනි සහ අනිකුත් නිෂ්පාදන වල ප්‍රධාන ගැනුම්කරුවා වූවා  පමණක් නොව යුධ ආධාර සපයන්නා ද, අඩු මිලට ඛනිජ තෙල් සැපයුම් කරුවාද   විය. එසේම සමාජවාදී රටවල් සමූහය සමගම කියුබාව හොඳ ආර්ථික සම්බන්ධතාවයක්ද වෙළඳාමක්ද  පවත්වා ගෙන ගියේය. සමාජවාදී රටවල බිඳ වැටීමත් සමග මේ සියල්ල නතර විය. කියුබාවට එදිරිව එක්දාස් නමසිය හැට ගණන් වල සිට පවත්වාගෙන එන ඇමෙරිකානු සම්බාධක නිසා තත්වය තව තවත් දරුණු විය.  

කියුබාව පිළිබඳව එකිනෙකට ප්‍රතිවිරෝධී මතයන් දෙකක් සැමදාමත් පැවතුනි. සමාජවාදීන් පවසන්නේ කියුබාව සීග්‍රයෙන් දියුණු වන, තෙවැනි ලෝකයේ නොවන රටක් බව හා, ඇමරිකානු සම්බාධක නොමැති වූවා නම් වඩාත් දියුණු රටක් විය හැකිව තිබෙන බවයි.   ප්‍රතිවිරුද්ධ මතවාදීන් පවසන්නේ එය තෙවන ලෝකයේ, සාමාන්‍යයෙන්  "බනානා රිපබ්ලික්" ලෙස උපහාසයෙන් හඳුන්වන, මානව හිමිකම් නොමැති අපායක් බවයි. අප දැන් දන්නේ කියුබාව විදේශ සංචාරකයන්ට රට විවෘත කිරීමත්  සමග සෑහෙන දියුණුවක් ලබා ඇති බවයි. එසේනම් මේ දෙපසටම පක්ෂාපාතී නොවන මතයක් අපට සොයා ගත හැකිද?   

පසුගිය දිනෙකදී මම විශිෂ්ඨ යයි කිවහැකි වාර්තා චිත්‍රපටයක්  නැරඹුවෙමි. මා අසා ඇති පරිදි ෆිදෙල් කස්ත්‍රෝ කිසි දිනෙක ඇමෙරිකානු ජනතාවට දොස්නගා,  විවේචන කර නොමැත. ඔහුගේ දරුණු විවේචන නිතර එල්ල වූයේ ඇමෙරිකානු විදෙස් පිළිවෙතට හා ඇමෙරිකානු රජයටය. ඔහු කිසිදු දිනෙක ඇමෙරිකාව විසින් අත්කරගත් විද්‍යාත්මක ක්ෂේත්‍රයන් හි  ජයග්‍රහණ මෙන්ම සංගීතය හා වෙනත් ක්ෂේත්‍රයන් හි ජයග්‍රහනද හෙලා නොදුටු බව මෙම වාර්තා චිත්‍රපටය ඔප්පු කර පෙන්වයි.   නමුත් එක්සත් ජාතින් ගේ සංවිධානය  ඇමතීමට පළමුවරට එක්සත් ජනපදයට ගොඩ බට වෙලේ ඇමෙරිකානු ආගමන විගමන නිලධරයන් ජනාධිපතිවරයෙකුට සුදුසු ලෙසට කස්ත්‍රෝට  සැලකුවේ නැත. ඔහු එයද සිනාමුසු මුහුණින් භාර ගත්තේය. ඔහුගේ එදා රැස්ව සිටි ලෝක නායකයන් ගෙන් විනාඩි ගණනක අත්පොළසන් නාදයක් ලැබුණි.   

චිත්‍රපටයේ තිර රචනය ලියා, නිෂ්පාදනය  සහ අධ්‍යක්ෂණය ද කරන ලද්දේ ජෝන් ඇල්පට් විසිනි. ඔහු කියුබාවට යාම් ඊම් පටන් ගත්තේ හැත්තෑ දශකයේ මුල සිටය. කියුබානු ඉතිහාසය හා දේශපාලනය හැදෑරීම ඔහුගේ එක අභිලාශයක් විය. භාණ්ඩ හිඟකම් පැවතුනත් කියුබාව තම හොඳම කාලය ගත කලේ හැත්තෑව, අසූව දශකයන්හිදීය.  මිනිසුන් ගේ සාපේක්ෂව කරදරයකින් තොර, සෞඛ්‍ය ආරක්ෂාව ඇති ජීවිත ගත කළහ. මේ කියන්නේ දියුණු බටහිර රටකට සාපේක්ෂව නොවේ. තෙවැනි ලෝකයේ රටකට සාපේක්ෂවය. නමුත් 1992 වනවිට සම්පුර්ණ වූ සෝවියට් දේශය ප්‍රමුඛ  සමාජවාදී කඳවුරේ නාය යාමත්  සමග කියුබානු ආර්ථිකයේ බිඳ වැටීම ඇරඹුණි.  ඒ වනතුරුම  අතිශයින්ම සෘජු රාජ්‍ය  මැදිහත්වීමක් සහිත ආර්ථිකයට ගසා තිබූ සෝවියට් මුක්කු ශක්තිමත්ව තිබුණි.

ජෝන් ඇල්පට් මේ අතිශය සංවේදී කාලය වාර්තාගත කරන්නේ ඉතා සංයමයෙනි. ඔහු නිතර  හමුවී රූපගත කළ පවුලක ගොවින් තිදෙනෙක් සහ ඔවුන්ගේ සහෝදරියද සතුටින් විසීය. නමුත් ආර්ථිකය කඩා වැටුණු අවධියේ කිසිම මසක් සොයා ගැනීමට අපහසු විය. මස් ග්‍රෑම් පන්සියක් සතියට වරක් කූපන් වලින් දෙනු ලැබේ. අහල පහල අසල්වැසියන් මේ ගොවීන්ගේ ගවයින් දෙදෙනා සොරකම් කළහ. ඔවුන්ට ගොවිතැන් කිරීමට ගවයන් නොමැතිව අසරණ විය. ජෝන් සොරකම් කල පාර්ශ්වයන්  විවේචනය කලේ නැත. ඔහු එදෙස බැලුවේ සානුකම්පිතවය.  ඉන් එක ගොවියෙකුට උගුරේ පිළිකාවකින්  කතා කල නොහැකි වූ විට අමෙරිකාවෙන් ගෙනෙන කෘතීම ශබ්ද යන්ත්‍රයක් සවි කර ගැනීමට ජෝන් මුදලින් උපකාර කළේය. දෙදාස් ගණන් වල දී ඔහු කලින් දැන සිටි පවුල් කිහිපයක්ම කියුබාවෙන් වෙනත් රටවලට ගොස් තිබුණි. මගේ මිතුරන්ට මෙන්ම ඔවුන්ගේද ඉවසීමේ සීමාව  ඉක්මවා ගොස් තිබුණි. කියුබාවෙන් ඉවතට සංක්‍රමණය බොහෝ අයට දරුවන් සිටියහ. ඔවුන්ට තම දරුවනට හරි යමක් කෑමට බිමට දීමේ නොහැකියාව  එවැනි තීරණයක් ගැනීමට බල පාන්නට ඇත.  

මේ සමහර පවුල් වලට මුලින් තිබූ වැසිකිලි පහසුකම් පවා තිබුනේ නැත. හේතුව ඒවා කැඩී බිඳී ගිය විට අලුත්වැඩියා කිරීමට රජයේ ආයතන නොපැමිණීමයි. ඒවාට මුදල් නොතිබුණි. 

ටෙනරිෆ් හි රැකියාව  කරන ඔස්වල්ඩෝ නිවාඩුවට ගමට යන්න ඉතා ප්‍රීතියෙනි. ඔහු මට කියන්නේ ටෙනරිෆ් හි රැකියාව කළද ඔහු කියුබාවේ තමන්ගේ ගමේ ජීවත් වීමට කැමති බවයි. ටෙනරිෆ් හි රැකියාවෙන් ලැබෙන මුදල ජිවත් වීමට සෑහේ. ශ්‍රී ලංකාවේ සිට රැකියා කිරීමට මැද පෙරදිග, දකුණු කොරියාව ආදී රට වලට යන්නක් මෙනි. ඔස්වල්දෝ සිතන්නේ කියුබාවට අවශ්‍ය බහුපාක්ෂික දේශපාලන ක්‍රමයක්  හා එම පක්ෂ වලට බලයට ඒමට නිදහස් මැතිවරණයක් බවයි. එහි වැරදි තිබිය හැකි බව ඔහු පිළිගනී. නමුත් ඒක පාක්ෂික ක්‍රමයේ ඊට වඩා වැරදි ඇතැයි ඔහු විශ්වාස කරයි.

උදේයි ගේ අදහස  ඊට හාත්පසින්ම වෙනස් ය. ඔහු තවමත් කියුබාවේම ජිවත් වේ. තමන්ගේ ජිවිතයෙන් තරමක සෑහීමකට පත්වන්නේ යයි පවසන ඔහු ඒක පාක්ෂික ක්‍රමයට විරුද්ධ නොවේ. නමුත් ඔහුද පවසන්නේ කියුබාවට ආර්ථික ප්‍රතිසංස්කරණ අවශ්‍ය බවයි. ජීවිතය ගෙනයාමට අපහසු බව ඔහුද පිලි ගනී. මට පෙනෙන්නේ ඔහුගේ කැමැත්ත ඇත්තේ චීන ක්‍රමයට  බවයි. බහු පාක්ෂික ක්‍රමයෙන් කියුබාවේ ප්‍රශ්න විසඳිය නොහැකි බව ඔහු තරයේ පවසයි. ආර්ථික ක්‍රම උඩු යටිකුරු කල යුතු බවට ඔහුද පිළි  ගනී.     

බහු පාක්ෂික ක්‍රමයේ වැරදි නැත්තේ නොවේ. ඇමෙරිකා එක්සත් ජනපදයේ "ඉක්මනින්ම හිටපු ජනාධිපති වීමට නියමිත ට්‍රම්ප් දෙස   බලන්න.  ඔහු ලෝකයේ බලවත්ම ජනාධිපති පදවිය විහිළුවක් කරගෙන  තිබේ. ශ්‍රී ලංකාව, ඉන්දියාව, පකිස්ථානය, බංගලා දේශය වැනි බහු පාක්ෂික ප්‍රජාතන්ත්‍රවාදී රටවල් දෙස බලන්න. බලය ලබා ගත් සෑම පක්ෂයකම දුෂිත දේශපාලකයන් ගෙන් පිරී ඇති  ඒවායේ පාලනයේ ප්‍රශ්න බොහොමයක් තිබේ. නමුත් අද වන විට බටහිර දේශපාලනය වඩාත් ඉදිරියට ගොස් තිබේ. දරුණු වංචා දූෂණ කිරීමට දේශපාලකයන්ට ඉඩක් නැත. ඒවායේ බහුජන සංවිධාන හා නීතිය ඉතා ශක්තිමත්ය. ආර්ථික වශයෙන්  බටහිර ලෝකයද නමින් පමණක් සමාජවාදය ඇති, ධනවාදී අර්ථ ක්‍රමයක් ඇති මහජන චීනයද තවමත්  ශක්තිමත්ය. (කොරෝනා වසංගතයේ අනිසි ප්‍රතිඵල නොසලකා හැර)

(ඉහත පින්තුරය 1985 හෝ 1986 දී මොස්කව් විදුලිබල හා තාක්ෂණික විශ්ව විද්‍යාලයේදී (මාද උගත්) ගත්තකි. ඉදිරි පෙලේ  රූබෙන් හා උදේයි ද පසු පෙලේ හුඑටස්, ජෝර්ජ් බෙනිටෙස් , බදියා හා ඕමාර් සිටී. )

ජෝන් ඇල්පට් ගේ චිත්‍රපටය පුරා රැඳෙන ඔහුගේ ප්‍රබල කථනය මගින් කියුබාවේ සමාජවාදී ප්‍රයත්නය දියවෙමින් යන ආකාරය සියුම්ව පැහැදිලි කරයි. අවසානයේදී සමාජවාදී ආර්ථිකයේ පිහිටට එන්නේ චේ ගේ ප්‍රසිද්ධියෙන් කොටසක් උකහා ගන්නට පැමිණෙන බටහිර සංචාරකයන් ගෙනි. ඇමෙරිකාවේ වෙසෙන කියුබානුන් ගේ නෑදෑයන්ටද මුදල් එවීමට, භාණ්ඩ එවීමට, ඇවිත් යන්නට අවසර දී තිබේ. කියුබාව සමාජවාදය අපනයනය කිරීම අත් හිටුවා ඇත. දැන් ඇත්තේ කලාපීය වාමාංශික රජයන් සමග සහයෝගිතාවයක් පමණකි. තමන්ගේ අසීරු බව යටපත් කරගෙන වෙනිසියුලාව තවමත් ඉතා අඩු මිලකට කියුබාවට  ඛනිජ තෙල් සපයන්නේ එහෙයිනි.  ෆිදෙල් ගේ සොහොයුරු රාවුල් කස්ත්‍රෝ ඉතා සෙමින් වුව කියුබානු ආර්ථිකය ලිහිල් කරමින් යයි. සීමිත වෙළඳ කටයුතු සඳහා අවසර තිබේ. සමාජවාදී පොදු දේපල අයිතිය ඉවත් වෙමින්  තමන්ගේ නිවසක් සාදා ගැනීමට, මිලදී ගැනීමට මෙන්ම  විකිණිමටද අවසර තිබේ. එසේම දක්ෂයන්ට මෙන්ම විශේෂිත ක්ෂේත්‍ර වල යෙදෙන වැසියන්ට තම දක්ෂතා වෙළඳ පොලේ විකිණිය හැකිය. ඒ කියන්නේ පෞද්ගලිකව  කොණ්ඩා කපන්නට, වඩු වැඩ වලට, ගොවිතැනට, කුඩා ආපන ශාලා වලට, ඉංජිනේරු කාර්යයන්ට අවසර තිබේ.  ඔස්වල්ඩෝ වැනි අයට  ටෙනරිෆ් වැනි බටහිර යුරෝපයට අයත් රටවල රැකියාව කිරීමට  හැකිය. ඔහුගේ සීයා පැමිණියේ ස්පාඤයෙන් බැවිනි.       

කියුබානු වෛද්‍යවරුන් වෙන රටවල ජාත්‍යන්තර සේවයට යන බව සැබෑය. ඔවුන්ගේ සෞඛ්‍ය සේවාව තවමත් ඉතා උසස් තත්වයෙන් පවතින බවද සැබෑය. එහෙත් කියුබානු සමාජවාදය අසමත්ව ඇති බවත් ඔවුන් තමන්ගේ ආර්ථික පිළිවෙත  දැඩි ලෙස වෙනස් කල යුතු බවත් මගේ හැඟීමයි. ඔස්වල්ඩෝ හා රූබෙන් මෙන්ම කියුබාවේ සිටීමට කැමති උදෙයි ගේද අදහසත් එයයි. කොතරම් අමිහිරි හා හදවතට එකඟ නොවුනද තර්කානුකූලව පිළිගත යුතු සත්‍යයද  එයයි. ජෝන් ඇල්පට් ගේ "කියුබාව සහ කැමරාකරු " චිත්‍රපටය පෙන්වා දුන්නේද  එයයි. 

සමාජවාදී කඳවුරේ හා සෝවියට් දේශයේ බිඳ වැටීමෙන් පසු  කියුබාව කොතරම් අගාධයකට වැටී තිබුනේද යන්න මා දුටුවේ මේ වාර්තා චිත්‍රපටියෙනි.   

Director John Alpert on Making the Documentary 

ප.ලි.  ඉතා සරල දිවි පෙවෙතක් ඇති වැඩි අවශ්‍යතා නැති අයට කියුබාවේ ජිවත් වීම ඉතා පහසුය. 

පින්තූර ඔස්වල්දෝ ඔලිවා ගේය.


Thursday 3 December 2020

අලුත් පැණිය ගැන

සාමාන්‍යයෙන්වෛ රසයෙකින් හැදෙන ලෙඩක් ශරීරයේ ඊට විරුද්ධව ප්‍රතිදේහ හැදුනම ඉබේම සනීප වෙනවා. (herd immunity එන්නෙත් එහෙමනේ) දැන් මේ බුකියේ සහ බ්ලොග් ලෝකයේ ඉන්න අපේ මිත්‍ර වෛද්‍යවරු ඒක නැහැ කියනවද? එහමනම් බටහිර වෛද්‍ය විද්‍යාව ගැන සාමාන්‍ය පෙළ ඉඳන් උගන්වපුව , අපි දැන් කියවන ලිපි බොරු වෙන්න ඕනේ නේද?

දැන් මේ පැණියෙන් ඔය සනීප වුනා කියන කට්ටිය එහෙම ඉබේ සනීප වුනු අය වෙන්න බැරිද?

කලින් PCR පරීක්ෂණ සහ ඊට පස්සේ නැවත පරීක්ෂණ කළාද?
කොරෝන වෛරසය ඉවත් වුනා කියල නැත්නම් නිගමනය කරන්නේ කොහොමද?
අඩුම ගානේ හැදුන 100 කට හා ප්ලැසිබෝ අය 50 කටවත් දීල තියනවද?

මම සාමාන්‍යයෙන් ආයුර්වේද වෙදකම් වලට විරුද්ධ කෙනෙක් නෙමේ. නමුත් හොඳට හොයා බලල , විධිමත් පරීක්ෂණ නැතිව මේවා එළියට දාන එක නිවැරදිද කියන ප්‍රශ්නය එනවා.
මම හිතන්නේ චීනෙන් සල්ලි දීලා හරි එන්නතක් ලබා ගන්න එක වඩා දියුණු පියවරක් කියල.

මේ වගේ ප්‍රවෘත්ති දාල මහජනයාට එකවරටම බලාපොරොත්තු දෙන එක හරිද?

Friday 13 November 2020

ඉල් මහා සමරුව - චූලානන්ද සමරනායක


මගේ මිතුරු චූලානන්ද සමරනායක මේ ලිපිය ලියල තිබුන. '71 කැරැල්ලේ පොඩි කොල්ලෝ ටින් බෝම්බ අරන් පොලිසියට ගහන්න එනවා මම දැකල තියනවා . බ්ලොග් එකේ ලිපියක මතන ලියල තියනවා

88-89 මම ලංකාවේ  හිටියේ නැහැ.  හැබැයි  ලංකාවේ  උන්නු 1983-84 කාලෙම විජේවීර ගැන මගේ තිබ්බේ මදක් නොපහන් හැඟීමක්. මට හිතුනේ එයා ජාතිවාදී කියල. ඒක මාක්ස්වාදයෙන් වහගෙන කියල.  ඒ පක්ෂේ නායක කෙනෙකුට මම  කිව්වා මචන් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට එරෙහි  ප්‍රශ්නය සාධාරණයි කියමු. නමුත් උඹල යන පාර වැරදියි කියල.  උඹල යන්නේ විනාශයට පාර කපාගෙන කියල. ඒ 1987 ඉන්දියාව එක්ක හමුදාව ගේන්න ගිවිසුම ගහන කාලේ. හෝ ඊට මස කිහිපයකට පසු. එතකොට මම සෝවියට් දේශයේ ඉගෙන ගන්නවා. ඌ මට කිව්වේ උඹ සුළු ධනේෂ්වර පිස්සෙක් කියල. සෝවියට් දේශය උඹේ ඔලුව කුරුවල් කරලා කියල. දැන් ඌ හොඳ ධනවතෙක්.
 මම මේක දාන්නේ මම එදා ජවිපෙ ක්‍රියා මාර්ගයට අකමැති වුනත් අජිත් පැරකුම් ගේ, ධර්මන් වික්‍රමරත්න පොත්  හෙම කියවල එක්කරගත් දැනුමින්. ඒ මර්ධනය අතිශයින් වැරදියි. අතිශයින් දරුණුයි. රජයක් වශයෙන් නොකළ යුතුව තිබුන දෙයක්. ආණ්ඩුව ට ගන්න තිබ්බ ක්‍රියා මාර්ග ගොඩක් තිබුන. ජවිපෙ විසින් දියත් කළ තකතීරු , පක්ෂග්‍රාහී භීෂණය වැරදියි කියල අපි හැමෝම කියන නිසා නැවත කියන්නේ නැහැ. ඒකට සහභාගී වුනු අය ඒක කලේ අනිත් උන්ට හොඳක් කරන්න යනව කියන සාධනීය හැඟීමෙන්. අද අපට හමුවන චූලානන්ද ල අජිත් පැරකුම් ල දිහා බැලුවහම ඒක පේනවා. මේ හොඳ සුන්දර මිනිස්සු තමා එතැන හිටියේ .

   සෝවියට් දේශය (මට ඉගැන්වූ ගුරවරු) ලංකාවේ  කැරලි දෙකම අනුමත කළේ නැහැ. ඔවුන් කීවේ ඒවා "අති වාමාන්ශයේ ළඳරු වලිප්පු ". ඒක ලෙනින් ගේ කියමනක්. මට අදත් මතක් වෙන්නේ  අපේ ඒ වයසක ගුරුවරු ඒවා හරියට දැක්ක  නේද කියල. 

- මෙතන පෙරටුගාමී කියල ලියල තියෙන්නේ   පෙරටුගාමී  සමාජවාදී පක්ෂයට (ශ්‍රී ලංකා පෙරටුගාමී පක්ෂයට නොවේ) 
*****************************************************************
තවත් ඉල් මහ සමරුවක් අතීතයට එක්වෙමින් යයි. තව දින කිහිපයකින් තාප්ප මත ඇලවුණු පෝස්ටර් සහ විවිධ මාධ්යයන්හී පලවූ සටහන්ද වියැකී යනු ඇත. 1989 වසරේ මුහුණ දුන් දරුණු මර්ධනයෙනක් පසු දශක තුනක් ඉක්ම ගොසිනි. මේ දශක තුන තුළ පමණක් නොව ජීවිතය ගෙවෙන තුරාවට මට නොවැම්බර් කටුක මතකයන් සමගින් සිහිපත් වන තවත් මතකයකි.
ඉතාම බිහිසුණු මර්ධනයක කූටප්රාප්තිය සනිටුහන් කරමින් විජේවීර ගමනායක ඇතුළු සහෝදරවරුන්  අත්අඩංගුවට පත් පුවත ප්ර සිද්ධ කළ මොහොතට පසුදින ගාලු පාරේ රත්මලාන බෙලෙක් කඩේ හන්දිය ආසන්නයෙහි මට අප කලාපයෙහි නායක සහෝදරයා හමුවිණි. ඉතාම අනතුරුදායක තත්වයක් යටතේ එහි පැමිණි ඔහු විජේවීර සහෝදරයා අත්අඩංගුවට පත්වීමේ පුවත තහවුරු කළේය.  එදා ඒ මොහොතෙහිදී ඔහු මට පැවසූ වදන් මගේ මතකයෙහි සදතනිකව සටහන්ව තිබේ. 'සහෝදරයා, අපි දැන් නටන්නෙ දැලක් උඩ. කොයි මොහොතෙ දැල ගැස්සුවත් අපි කවුරු හරි ඇතුලෙ." අප මුහුණ පා සිටි තත්වය විග්රහ කිරීමට ඊට වඩා වදන් අනවශ්‍යය. ඉදින් ලද උපදෙස් පරිදි කමිටු විසුරුවා හැර සීමිත අත්‍යවශ්‍යවම්  සබඳකම් පවත්වා ගැනීමට උපදෙස් ලැබිණි. වෙන්ව යාමට පෙර ඔහු මට මෙවන් පියවරක් යෝජනා කර සිටියේය. 'ඔහේ ඉන්නෙ බරපතල අනතුරක. ඒ නිසා ඔහෙව අම්පාර පැත්තට යවන්න හිතා ඉන්නවා." මම එවේලේ ඔහුට මෙසේ කීමි.' අපි ඉන්නෙ දැල උඩ නං කොහේ ගියත් ඒකේ වෙනසක් නෑ. එන තත්වයකට මුහුණ දෙමු." එසේ අපි වෙන්ව ගියෙමු. මම ඉන්පසු කෙදිනක හෝ මේ මිනිසා නොදුටිමි. ජපුර සරසවියෙහි භික්ෂු අංශයෙන් දේශපාලනය අරඹා දැවැන්ත චරිතයක් බවට පත් හල්වල ඉන්ද්රුසාර නම් තරුණ භික්ෂුව අසූ නමය අග යළි මට එසේ හමුවන්නේ උපැවිදිව නිශ්ශංක  නම් නාමයෙනි. ඔහු කී පරිදිම අසූනමයේ දෙසැම්බර් මස දැල යළිත් ගැස්සිණි, මම ඇතුලට වැටුණෙමි. තෙවරක් විලංගු මැද ගෙවුන අසීරු සමයකින් පසු 1993 මාර්තු මස එළියට පැමිනෙන විට නිශ්ශංක නම් මිනිසාද ඇතුළුව තවත් බොහෝ  සහෝදර සහෝදරියන් පිලිබ‍ඳව ඉතුරුව පැවතියේ අරගල සමයෙක විශ්වාසය සහ සහෝදරත්වය මත පා තබා ගිය ගමනක මතකයන් පමණි. 'සහෝදරයට අහවල් තැනදි සහෝදරයෙක්/සහෝදරියක් මුණගැහෙයි. ලැබෙන පණිවුඩේ අනුව වැඩ කරන්න." ඒ හොඳටම ප්රමාණවත්ය. එහි වූවේ අමිල විශ්වාසයයි. ඒ මොහොතේදී හඳුනාගැනීමට ලැබුණ පුද්ගලයන් සමග පවා අප බොහෝදුර ගමන් කළේ ඒ විශ්වාසයේ මහිමයෙනි. ගෝනි බිල්ලන් සරද්දී, ඇතැම් අවස්ථාවල අත්අඩංගුවට පත් සහෝදරවරුන් හන්දිවල තබාගත් රැකවලුන් සිටිද්දී ඒ සහෝදරයන් ඉදිරියෙන් පවා යන්නට අපට ශක්තිය ලැබුණේ ඒ විශ්වාසයේම මහිමයෙනි. 

අසූනමයෙහි සලකුණු වූයේ දේශපාලන වශයෙන් අප පරාජයය යයි මම විශ්වාස නොකරමි. එයට අදාල නම  'මර්ධනයට ලක්වීම'යි. හැත්තෑ එකේදී පළමු වරට ලද මර්ධනයේ කටුක අත්දැකීම දෙවන වරද ලැබීමයි. එසේම එය දේශපාලන ව්යානපාරයක් ලෙස අපට අලුතින් සිතන්නට යෝජනා කළ මොහොතයි. විජේවීර සහෝදරයා යෝජනා කළ පරිදිම අලුත් මං සෙවීමට අවස්ථාවයි. එය පරාජය නොව අලුතින් නැගෙන්නට ප්රදවේශය බව හොඳින්ම පැහැදිලි වූවේ ඉතා කෙටි කලක් තුළ නැවත පාර්ලිමේන්තු අසුනක්ද දිනාගනිමින් නැගී සිටින්නට ජවිපෙ ලද ශක්තියයි. 

මා දකිනා පරිදි නම් අපේ දේශපාලන අරගලය පරාජයේ ලකුණු දකින්නේ අනූ හතරේදී කමල් දේශප්‍රිය  (සෙනෙවි) සහෝදරයා ඇතුළු කණ්ඩායමේ නික්ම යාමත් සමගිනි. එදා ජවිපෙ අහිමි කරගත්තේ වැටුණ ව්යාාපාරයක් නැවත නගා සිටුවන්නට දැවැන්තම කැපවීම් කළ කාඩර්වරුන් පිරිසකි. අසූ පහේදී හොරණ පුද්ගලික පංතියක සුගත් අශෝකද සිල්වා නම් කොළඹ වෛද්ය පීඨයේ සුන්දර සගයකු සමගින් මට හමුවූ කමල් යනු අපූර්ව චරිතයකි. පසුව එය මගේම පාසල් සගයකු වූ මහින්ද සෙනරත් කැළණිය සරසවියේ වික්රම ඇතුළු තවත් සහෝදරවරුන් ගණනාවක දැඩි බැම්මක් දක්වා වර්ධනය වූවේ දේශපාලන අරගල බිම තුළය. මේ කණ්ඩායම අතර සිටි තවත් ප්රතිභාසම්පන්න චරිතයක් ලෙස විමල් වීරවංශට ඒ යුගය වෙනුවෙන් අදාල ගෞරවය දිය යුතුය. මර්ධනයේ හස්තය ඉතා ලං ලංව එසවෙද්දී, සුගත් සහෝදරයාගේ සහෝදරියගේ නිවෙස පිටුපස කොරටුවක කානුවක කළුවරේ පොලිතින් කැබැල්ලක් මත වැතිර තරු දිදුලමින් පැවති අහසක් යට පොදු අරමුණක් උදෙසා කැපවන සුන්දර අනාගතයක් පිලිබඳ අප අසිරිමත්ම සිහින දුටු අවස්ථාව ජීවිතයේ එවන් මතකයන් අතර එකක් පමණි. පසුව සුගත් මාතරදී මරාදමනු ලැබිණි. 

දේශපාලන ව්‍යාපාරය  යළි බරපතලම ප්‍රහාරයකට ලක්වනුයේ විමල් වීරවංශගේ නික්ම යාමත් සමගිනි. එය එක් අතකින් ජවිපෙ සිය දේශපාලන දැක්ම පිලිබඳව බරපතල ලෙස කල්පනා කළ යුකු අවස්ථාවකැයි මම සිතමි. මාක්ස්වාදයත්, ජාතිකවාදයත් එකට මුහු කර දියත් කරන්නට තැත් දරන ලද ව්‍යාපාරයකට  මෙය නැවත සිතන්නට අනගි අවස්ථාවක් විවර කළේ යයි මම සිතමි. විමල් හට පුද්ගලික විවේචන කිරීමට වඩා වැදගත් වන්නේ මේ දෘෂ්ටියෙහි පිරිපහදුව ගැන අවධානය යොමු කිරීම යයි මම තවමත් කල්පනා කරමි.
විමල් ජවිපෙ හැර දමා සිය දේශපාලන අනාගතයෙහි ස්වයං විනාශය නම් මාවතට පිලිපන් දින රාත්‍රී  මම කමල් හමුවීමට ඔහු එවක විසූ කුලී නිවෙසේ උඩු මහලට ගියෙමි. ඇති වෙමින් පවත්නා වෙනස ගැන කතා කිරීමට ඇවැසි යයි මගේ අත් අල්ලාගෙන කී ඔහුට මම මෙසේ පවසා පිටව ආවෙමි. 'උඹ තියන්න හදන්නෙ වැරදි පියවරක්. මෙතන ඉඳල මං උඹේ දේශපාලනය එක්ක නෑ." මම පිටව ආවෙමි. එහෙත් පිලිකාවට ගොදුරුව අපෙන් වේදනාබර අයුරින් වෙන්ව යනතුරුම මම ඔහුගේ මිතුරකු ලෙස සිටියෙමි. දේශපාලන මතවාද සම්බන්ධයෙන් විවිධ අවස්ථාවල ගැටුණෙමි. එදා එක මගෙක ගොස් අද විවිධ ස්ථානයන්හී සිටියද බොහෝ සහෝදරවරුන් සමග අදටත් අපේ සම්බන්ධය එසේය. දේශපාලනයෙහිදී අපි ගැටෙමු. එහෙත් මිනිස් සබඳකම් නොබිඳී පවත්වා ගනිමු. විමල් සමග එක්වූ බොහෝ අය ඉක්මනින්ම යළි අපට පිටතදී හමුවන්නට පටන් ගැණිනි. 
යළි ජවිපෙ දේශපාලන ව්යාපාරයට දරුණුතම පහර වදින්නේ පෙරටුගාමී ලෙස විශාලතම පිරිස වෙන්ව යාමත් සමගිනි. අද ඒ නිසා ඉල් මහ සමරු දෙකකි. එසේම මේ කණ්ඩායම් දෙකටම සම්බන්ධ නොවී නිහඩව සිටිනා විසල් පිරිසකි. එහෙත් මේ නිහඩව සිටින්නේ යයි සිතනා පිරිසෙන් අති බහුතරයක් තවමත් සමාජවාදී ලෝකයක සිහිනය දකින බව නම් මම දනිමි. හැත්තෑ එකේ සහෝදරවරුන් වැඩි පිරිසක් මේවන විට දිවි ගමන නිමා කරමින් සිටිති. අද අහවල් සහෝදරයගෙ මලගෙදර යයි කලු රංජි සහෝරදයා ඒ සෑම නික්ම යාමක් ගැනම පවසන විට ඒ කිණිසි පහරකි. ඒ අතර අපිද අපේ පරම්පරාවේ සගයන්ට නිහඩව සමුදෙමින් සිටිමු. ජවිපේ වෙත හැත්තෑ එකේ සහ අසූනමයේ ක්රිපයාකාරකම් මත රට වැනසුවායයි චෝදනා කරනා බොහෝ ශුද්ධවන්තයෝ නිදහස ලදැයි කියනා 48 සිට සම්ප්ර දායික දේශපාලන පක්ෂ, මාරුවෙන් මාරුවට මේ රටට කළ විනාශය ජවිපෙ හා සසඳන විට කෙතරම් බරපතලදැයි අපට නොපවසති. ඒ වෙනුවට වර්තමානය වනවිට අපේ රට ලෝක බල දේශපාලනයෙහි නග්න ගොදුර බවට පත් කරන්නට අමුඩ තද කරති. 
දශක තුනකට පසුව දේශපාලන ව්යාිපාරයක් ලෙස අප පරාජයට පත් කර ඇතැයි මම අද කල්පනා කරමි. එහෙත් ඒ නිකම් පරාජය භාරගෙන සිටිනා අදහසින් නොවේ. ඒ පරාජය අප පාඩම උගත යුතු පරාජයකි. දේශපාලන ව්යාපාරයක් ලෙස අපේ අතීත ක්රියාකාරකම් පිලිබඳව අපේ අවංක විවේචනයක් තිබිය යුතු යයි මම විශ්වාස කරමි. සතුරා විවේචනය කිරීමට පෙර අපට අපේ පය ලිස්සා ගිය ස්ථාන ගැන නිවැරදි තක්සේරුවක් තිබිය යුතුය.
අප අසමත්ව ඇති බරපතලම ස්ථානය මනුෂ්යය සම්බන්ධතා පවත්වාගැනීම යයි මම සිතමි. බෙදී වෙන්ව ගිය සහෝදරවරුන් එකිනෙකා දරුණු සතුරන් ලෙස දැකීමේ අයහපත් සම්ප්ර දාය විසින් අප දේශපාලන විවේචනයේ මගින් ඉවතට ඇද දමා තිබේ. මේ අයහපත් භාවිතාව නිසා අපට බොහෝ විට පංති සතුරාට පෙර අපෙන් වෙන්ව ගිය සගයා සතුරා බවට පත්වෙයි. මෙය ජවිපේ සිටි, සිටින, වෙන්ව ගිය, පෙරටුගාමී මෙන්ම වෙනත් බොහෝ පාර්ශවයන් කල්පනා කළ යුතු තත්වයකැයි මම විශ්වාස කරමි. මේ වෙන්ව ගිය සගයා අනෙකා කරගැනීමේ භාවිතාව විසින් සමස්ත දේශපාලන කඳවුරටම අහිමි කරගෙන ඇති පිරිස් දැනට ජවිපේ සහ පෙරටුගාමී දෙකොටසෙහිම ඓක්යයට වඩා වැඩි බව මම දනිමි. මේ අතරින් වැඩි පිරිස මේවන විට පරිණත මිනිස්සු බවට පත්වී විවිධ අංශයන්හී කැපී පෙනෙනා වගකීම් දරනා අය වෙති. එසේම ඔවුහු තවමත් සිය හෘද සාක්ෂිය රැකගෙන සිටින්නෝ වෙති. නින්ද බිඳී යන රෑ මැදියමක නොවැලැක්විය හැකි ලෙසම සිතට පිවිසෙන, එදා අපෙන් වෙන්ව ගිය සහෝදර සහෝදරියන්ගේ අදිටන්සහගත දෑස්හී බැල්ම අප දෙවුර තවත් බර කරයි. 

ලෙනින් වරෙක කළ යුත්තේ කුමක්ද යනුවෙන් දේශපාලන ලියවිල්ලක් සම්පාදනය කළේය. අප දැන් ඊට පෙර නොකල යුත්තේ කුමක්දැයි සාමුහිකව කල්පනා කළ යුතු යයි මම සිතමි. ලෝකයම අලුතින් සංවිධානය විය යුතු මොහොතක් කරා ගමන් කරමින් තිබේ. ධනවාදය පරාජය වී නැතද, එය අපරාජිත නොවන බව නම් මේවන විට හොඳින්ම පැහැදිලිය. එසේම පැවති සමාජවාදයද නිවැරදි නොවන නමුදු  එය අනාගත සමාජවාදයේ ගමන් මගට කදිම පාඩමක් බවද ඒ සමගම ඉතා හොඳින් පැහැදිලිය. ජාතිකවාදයේ නාමයෙන් ජාතිවාදය අරඹා ඇති ගමනටද සොහොන්පලක් හිමිබව නොපෙනෙන්නේ වහලුන්ටම පමණි. ඇමරිකාවට පායන්නේ ට්රිම්ප්ගේ හිරුද, බයිඩන්ගේ හිරුද නැතිනම් වෙන කාගේ හිරුද යන්නට වඩා අපට වැදගත් වන්නේ ධනවාදය මේ කාගේ කරපිටිනුත් යන ගමන ගැන පමණි. ඇමරිකාවට චීනයේ රාජ්යහ ධනවාදයට අභියෝගයක් වීමට ඇවැසි නම් ඒ සඳහා මාවත ඇත්තේ ලිබරල් ධනවාදයේ හෝ ජාතිකවාදයේ මග නොව සැබෑ සමාජවාදය බව ඇමරිකානුවන්ටද වටහාගැනීමට සිදුවන දිනක් එනු ඇත. ඒ සමග අපද රාජ්ය ධනවාදය යනු සමාජවාදය නොවන බව වටහා ගත යුතුව ඇත. 
සහෘදයිනි, අනාගතය අයිති නිර්මාණශීලී මිනිසුන්ටය. අප ඒ සඳහා මනුෂ්ය  සම්බන්ධකම් වගාදිගා කරගත යුතුය. දේශපාලන දැක්මේ පිරිපහදුව ගැන බරපතල ලෙස කල්පනා කළ යුතුය. ඇමීබාකරණය යනු කෙතරම් හානිකරදැයි වටහාගත යුතුය. පොදු විශ්වාසය දිනාගත හැක්කේ සාමූහිකව සිටින්නට සමත් නිවැරදි දැක්මක් සහිත දේශපාලන ව්යාපාරයකට පමණි. අපට බත් කටක් කන්නට දීමත් ටයරයක යාමට තරම් වරදක් බව දැන දැනම අපට සහෝදරත්වයේ දෑත් දිගුකළ මිනිස්සු බොහෝ වෙති. අප ඒ මිනිසුන්ගේද අපෙන් වෙන්ව ගිය මිනිසුන්ගේද විශ්වාසයට වගකිව යුතුය. අවම තරමින් අපේ මිනීවල මත පස් වැටෙනා මොහොත දක්වා හෘදසාක්ෂිය බිලි නොදී සිටීමට අප අදිටන් සහගත විය යුතුය. ගමන ඇරඹිය හැක්කේ ගුහාගත වීමෙන් නොව  කවුළු විවර කිරීමෙන් පමණි. අසූනමයට සාධාරණය ඉෂ්ඨ කළ හැක්කේ සමරු පැවැත්වීමෙන් නොවේ. අපටද වැරදුන තැන් වටහාගෙන,  ඉදිරියේදී දෑස් හී බැඳි තිමිර පටලයන් ඉරා දමමින් ආලෝකය සොයන්නට වෙර දරන්නට නියමිත මිනිසුන්ට සෙවණක් නිර්මාණය කිරීමෙනි. එය අපේ ජීවිත කාලය තුළ වුවද නොවූවද අප කළ යුතුව ඇත්තේ ඊට ඇවැසි පස සකස් කිරීමය. කාල් මාක්ස් වයස දහහතේදී 'අනාගත වෘත්තියක් තෝරාගැනීමේදී කල්පනා කළ යුතු දෑ' යනුවෙන් ලියූ සිය ලිපියෙහි සටහන් කළාක් මෙන් අපේ සොහොන් මත උණු කඳුළු වැටෙනු ඇත්තේ අප ඊට සමත් නම් පමණි.

-චූලානන්ද සමරනායක 
*************************************************************
පින්තූරය - විකිපෙඩියා 

Wednesday 11 November 2020

ෆේස්බුක් පන්දාහ හා යාළු නොයාළු


මම ලඟදි දැක්ක යහළුවෝ කිහිප දෙනෙක්ම පන්දාහ සමරනවා, පෞද්ගලික දේවල් දමන්නේ නැතිව හුදී ජනයා කෙරෙහි අනුකම්පාවෙන්  ලියන කියන දේවල් විතරක් දානවා නම් පන්දාහේ  අවුලක් නැති බවයි මගේ හැඟීම. මොකද පන්දහ තියන කොට අනිත් අය පෝස්ට් කරන ඒවා පේනවා බොහොම  අඩුයි.  තමන් පෝස්ට් කරන එක විතරයි  වැඩිපුරම පේන්නේ. හරියට දේශපාලන කණ්ඩායම් වලට තමන්ගේ පක්ෂේ අය දාන පෝස්ට් විතරක් පේනවා වගේ.

මේ ඊයේ පෙරේද   උන දෙයක් තමයි ෆේස්බුක් එක අලුත් කරපු එක. ක්ලැසික් එක අයින් වුනහම මම follow කරපු යාලුවෝ ඔක්කොම ඉබේම unfollow වෙලා. (පස්සෙන් ගිය අය කියල ලියන්න බැරි නිසා ඉංග්‍රීසි වචනේ දානවා 😀- අනුගමනය කරන කියලත් කියත හැකි ඉතින්. නමුත් හරි තේරුම එන්නේ නැහැ. .)  ඉතින් දැන් හම්බ  වෙන වෙලාවට ආයි එයාලව follow කරගෙන යනවා.

  මම ෆේස්බුක් ආපු කාලේ ඒ කියන්නේ 2006 විතර දිගට හරහට යාළුවන්ට ෆ්‍රෙන්ඩ් රික්වෙස්ට් යැව්ව. අවුරුද්දකට පස්සේ වැඩේ නැවැත්වුවා. මොකද මට තේරුණා අනිත් අය මට එවන නිසා මම යවන්න ඕනේ නැහැ කියල.

පස්සේ කාලෙක තේරුණා මට ඕන දේශපාලන අදහස් හෙම ලියන්න බැහැ  ඔෆිස් එකේ  බුවාලා ටික ඉන්න කොට කියල. ඒ ගමන ඔෆිස් එකේ එවුන්ව නොයාළු (unfriend) කරලා දැම්ම. සන්නස්ගලගේ තැප්‍රෝබේන් ගිහින් ගත්ත මහැදුරු ගම්ලත් ගේ ශබ්ද කෝෂයේ තියෙන්නේ පසමිතුරු, අමිතුරා කියල ඕකට. ඉතින් මම කල්පනා කළා "නොයාළු " කියන වචනේ හොඳයි කියල. සමහර ඔෆිස් එකේ එවුන් තවමත් මට නෝක්කාඩු  කියනවා ඩ්‍රින්ක් එකක් දාන්න ගිය වෙලාවට . 
"උඹ මාව නොයාළු කළා නේද අජිත් " කියල. මම උන්ට කියන්නේ මම ෆේස්බුක් එකේ නොයාළු කල නිසා තමයි මම තවම  මෙතැන වැඩ කරන්නේ. උඹල තවම මගේ එක්ක වැඩ කරන්නේ කියල.

ඔහොම ඉන්න කොට යාළුවෝ ප්‍රමාණය දෙදහකට  වඩා  වැඩි වුනා. ඊට පස්සේ නිවාඩු කාලෙක කළේ එක්දාස් පන්සියක් විතර නොයාළු කරල දැමීම.
 
අර සම්මාන උළෙල කරන කාලේ එක එක ඒවා පල කරන්න ගිය වෙලේ ආයි වැඩි වුනා. ඒ පාර තුන්දාහක් විතර. ඊට පස්සේ ආයි දාහක් විතර නොයාළු කළා. තරහකට නෙමේ. මට යාළුවන්ගේ නෑදෑයන්ගේ පෝස්ට් පේන්නේ නැතිව ගිය නිසා. ඊට පස්සේ පොත් ලිවිම හෙම කරන්න පටන් ගත්තට පස්සේ ආයේ වැඩි වෙන්න ගත්ත යාළු ඉල්ලීම් . දැන් ඉල්ලීමක් කලහම නොපිළිගෙනත් බැහැනේ .ආඩම්බරේට කියල හිතයි අනුමත කළේ නැත්නම්.  පස්සේ මම හැදුව ගෘප් . ගොඩක් පෞද්ගලික දේවල්  ළඟම යාලුවෝ සහ නෑදෑ ගෘප් එකට. අනිත් ඒවා ඉතින්  ඔක්කොටම බලන්න හරි පේන්න හරි. සිංහල ගෘප් එක සිංහල කතා කරන අයට විතරයි. බ්ලොග් ගෘප් එක බ්ලොග් ලියන අයට විතරයි. ඉංග්‍රීසි පෝස්ට් එකක් නම්  ඔක්කොටම පේන්න දානවා. එනිසා මම දාන පොස්ට් ෂෙයාර් කරන්න බැහැ. පබ්ලික් දාන්නේ නැති නිසා.

මේ අතරේ මතක් වෙන සිද්ධි දෙක තුනක් තියනවා. මේවා මේ ඇරියස් කවර කරන්න ලියන ඒවා නෙමයි ඔන්න. යාලුවෝ දෙන්නෙක් හිටිය. ඩ්‍රින්ක් එකක්  දාගෙන ඉඳියප්පයක් කාගෙන විහිළුවක් කරගෙන ඉන්න පුළුවන් දෙන්නෙක් විධිහට දැනන් හිටියේ. සෝවියට් රුසියාවේ ඉගෙන ගත්ත අර ෂැම්පේන් සමාජවාදී තාලේ දෙන්නෙක් හැබැයි. වමේ වගේ ඒත් වමේ නොවේ ඉන්න. මම ඉතින් ෆේස්බුක් දාන හුඟක් දේශපාලන  විහිළු පෝස්ට් වලට  හිනා වෙන එකෙක් නේ. සමර වෙලාවට ඕකට යන්නෙත් හිනා වෙන්න. පොඩි වලියක් ඇදගෙන ඉතින් ආයි හිනාවෙන්න.  එතකොට ඒකට යාවජීව රනිල්ද, 'ස' ද, පුතානෝද විමල්ද කියන එක අදාළ නැහැ.   මම  එකපාරක් මොකක් හරි ලිව්ව අපේ විමල් වීරවංශ ඇමති තුමා ගැන. එයා අර එයාගේ ළමයි අදාල කරගෙන දාපු පොලිටිකල් සීන් එකක් ගැන. අර යාලුවෝ දෙන්නට තද වුනා මාත් එක්ක. විමල්ට හිනා වුනා කියල. මේ දෙන්නම තද රාජපක්ෂ වාදීන් කියලත් මට තේරිලා තිබ්බේ. අවුලක් නැහැ නොව. දෙන්නම මෙසේජ් එව්වා.  අපි ඔයාව නොයාළු කරනවා. "සෝවියට් දේශයේ ඉඳලත් මේ වගේ හැසිරෙන එක ගැන අපට කණගාටුයි." මට ඔය කොනෙක්ෂන් එක තේරුනෙම නැහැ. විමල් නුයි සෝවියට් දේශයයි. ජවිපෙ හිටි නිසාද? තවම දන්නේ නැහැ. මම ඉතින් හා කිව්වා. යකෝ මම මේ දාහ දෙදාහ නොයාළු කරන  මිනිහට  ඕක මොකක්ද?
 
අවුරුදු  ගාණකට පස්සේ, මට ඒ දෙන්නව හදිසියේ මතක් වුනා. මට දැන් කල්පනා වෙනවා විමල් ඇමති තුමා වැඩි සද්දයක් නැහැනේ ඉතින්. විස්සට සපෝර්ට්. ද්විත්වෙට සපෝර්ට්. මාත් සපෝර්ට් විමල්  වගේම.  පොම්පියෝ ඇවිත් ගියා. MCC එකට මොනවා වෙනවද දන්නේ නැහැ. මෙයා ල දෙන්න  රාජපක්ෂ මහත්වරුන්ව නොයාලු කරලද දන්නේ නෑ  නේද . විමල් මැතිඳු තියාගෙන.  

හැබැයි ඒ දෙන්න වගේම දේශපාලන අදහස් තියෙන අය ගොඩක් මගේ ෆ්‍රෙන්ඩ් ලිස්ට් එකේ ඉන්නවා. මම හිතන්නේ ඒ අය අවබෝධයෙන් ඉන්නේ දේශපාලන අදහස් වෙනස් වෙච්ච  පලියට මම යාළුවන්ට වෙනස් කම් කරන්නේ නැහැ කියල. 

ඔන්න තව කෙනෙක් හිටිය. ඒ පැත්තෙන්ම තමයි. වෙදැදුරෙක්. මම පොස්ට් එකක් දැම්ම මේ මේ,  මුස්ලිම් ජනයා ගැන. අන්තවාදීන්ට විරුද්ධ වෙන්න. මුස්ලිම් ජනතාවට හිරිහැර නොකරන්න තාලයේ එකක්. මෙයාට මාත් එක්ක දැන් මල පැනලා . බැනගෙන බැන  ගෙන ගියා මට. අර ඒ කාලේ ජනප්‍රිය වුන  ජනගහන කතාවත් දාල. ඒවා ඇත්ත වෙන්නත් පුළුවන්. හුඟක් වෙලාවට එහෙම ජනගහනය වැඩි වෙන්නෙත් නැහැ හැබැයි. 

නමුත් මට ඉතින් හැම  ජාතියේම යාලුවෝ ඉන්නව. මුස්ලිම් කියල වෙනසක් කරන්න මම ලෑස්ති නැහැ. මෙයත් රාජපක්ෂවාදී තමයි. නමුත් මට හිතෙන්නේ එයා ඒ මහත්වරුන් ව හරියට අඳුන ගෙන නැහැ. රාජපක්ෂලා කියන්නේ ජාතිවාදීන් නෙමෙයි, ආගම්වාදීනුත් නෙමෙයි. පවුලේ සංයුතියෙන්ම ඒක තේරෙනවා.  ඒක  ඒ දවස්වලම මට වැටහිච්ච  දෙයක්. හැබැයි ජාතිවාදය වාසියට භාවිතා කරන එක නම් එයාල කරනවා. ජේ ආර් සහ  ප්‍රේමදාසත් කරානේ. මට ඒ පාරනම් පොඩ්ඩක් තරහ ගිහින් මෑන් ව නොයාළු කරලා දැම්ම.

අනේ ඉතින් මේ දවස් වල මට හිතෙනවා අර නොයාළු කරල දාපු යාළුවා ගැන. මුස්ලිම් මන්ත්‍රී ල ගෙඩි පිටින් හතක්ම ආණ්ඩුවට චන්දෙ දීල 20 ගොඩ දාගන්න. ඒ මදිවට අලි සබ්රි කියල මුස්ලිම් මහත්මයෙක් නේ  අධිකරණ ඇමති. තව දිගට ලිස්ට් එක ගෙනිච්ච හැකියි. ඒත් ඉතින් මම ජාතිවාදී නැති නිසා ඕවා අදින්න කැමති නැහැ. නමුත් අර නොයාළු කරපු යාළුවා ගැන පව් දෙයියනේ කියල හිතෙනවා. මට බැනපු බැනුන් මුස්ලිම් මිනිසුන්ට කත් අදිනවා කියල. එයා මොනවා කරනවා ඇත්ද? ෆේස්බුක් වහල ගෙදර ඉඳන් අඬනවද, කලිසම නැතිව වැඩට යනවද දන්නේ නැහැ කියල හිතෙන කොට පපුව වාවන්නේ නැහැ.  දේශපාලනේ නැත්නම් හොඳ මනුස්සයෙක්. ඒකෙ දෙකක් නැහැ.

ආ, තව ටිකෙන් අමතක වෙනවා. මම අර කොරෝනා හැදිලා කන්දකාඩු  යවපු  ඉතාලි කට්ටියට අනුකම්පා කරලා  දාපු කොමෙන්ට් එකකට හිත රිදුනු බ්ලොග් නංගියෙක්  සහ යාළුවෙක් ඒක තමන්ගේ වෝල් වල දාගෙන නැටුවනේ.  ඔන්නොහෙ එයාල දෙන්නවත්  නොයාළු කරලා දැම්ම. මොන මිත්තණියගේ රෙද්දද කියල. මට දැන් වාවන්නේ නැහැ. කොරෝනා පැතිරෙන  ලැයිස්තුව දැකල. ඒ දෙන්න මොනවා කරනවා ඇත්ද?  

ඉතින් ඔන්න ඔහොමයි. ඇත්තටම ජීවිතේටම දන්නෙවත් නැති අය  යාලුවෙක් යෙහෙලියක් කර ගන්න එකයි  නොයාළු කරන එකයි කියන දෙක අතරේ ලොකු වෙනසක් නැහැ. එයාලට ප්‍රශ්නෙකුත් නෙමෙයි. මට ප්‍රශ්නෙකුත් නෙමෙයි.


ඉතින්  ඊයේ පෙරේද හාරදහ පිරුන වෙලේ දෙසීයක් විතර නොයාළු කරල දැම්ම. කිසි හේතුවක් නෑ මට මාරාන්තික බයක් තියෙන්නේ පන්දාහට යන්න. 

ඒත් දැන් ආයෙත් යාළු ඉල්ලීම් (friend request ) එනව. පෙරේද බලනකොට හතලිස් දෙකක්ද කොහෙද? ඇක්සෙප්ට් නොකලොත් කවදාවත් නොදන්න නොදැකපු මේ අය තරහ වෙයිද? මම ආඩම්බරකාරයෙක් කියල හිතයි ද? හිතුවත් මොකෝ ඉතින් . මම දන්න කෙනෙක්ය? ඒත් ඉතින් අනිත් පැත්තට හිතනවා කොච්චර උනත් අඳුරන්නේ නැතිව හරි ෆ්‍රෙන්ඩ් රික්වෙස්ට් එකක් එව්වනේ කියල. 

මුදල් ආධාර සහ , කටින් පින්කම් වලට දායක  වෙන්න එවන ඒවත් තියනව. මම දන්නා කෙනෙකුට ඇරෙන්න එහෙම  උදව් කරන්නේ නැති නිසා ඒවා වලට නම් කණගාටුවෙන් වුනත් කරන්න දෙයක් නැහැ. 
   
දැන් මම මේ කල්පනා කර කර ඉන්නේ  හදනව තව ගෘප් දෙකක් කියල.

 අඳුනන්නේ නැති යාළුවෝ ගෘප් එක. නොයාළු කිරීමට ඉඩ තිබේ ගෘප් එක.
  පන්දාහට නම් මේ කපේට යන්නේ නැහැ කියල හිත හදා ගෙන ඉන්නේ. ඊළඟ නිවාඩුවට තුන්දාහක් විතර නොයාළු කරන්න තමා බලන්නේ. වැරදිලා හරි නොයාළු වුනොත් තරහ වෙන්න එපා ඔන්න. ඔයාව හරි එයාව හරි දන්නේ නැහැ කියල හිතල කරන දෙයක් මිසක් අමනාපයකට නෙමෙයි.