Wednesday 1 April 2015

අන්තරේට කඳුළු ගෑස් ගහන්න කිවූ යහපාලන පිස්සු හුටං කවුද?

ඊයේ අන්තරේ පෞද්ගලික විශ්ව විද්‍යාල වලට විරුද්ධව නැවතත් පෙළපාලි ගියේය. මේ පෙළපාලි අපි පුංචි කාලෙත් ගිය ඒවාය. වීරසුරිය සහෝදරයාට වෙඩි තැබූ වේලේ අපි පන්ති වර්ජනයකට සහභාගී වන්නට තරමට  ලොකු ළමයි නොවුවත් අපි හැකි අයුරින්  සහය දුන්නෙමු.

මගේ අදහස නම් ඊයේ කල යුතුව තිබුනේ  මේ සිසුන්ට කදුළු  ගෑස් ගැසීම නොවේ. ඔවුන්ට නිදහසේ තම ගමනාන්තය කරා යාමට ඉඩදී පෙත්සම භාර ගැනීමය. ඔවුන්ගේ ඉල්ලීම් බොහොමයක් විප්ලව කරන්නට රජය පෙරලන්නට කරන ඉල්ලීම් නොව අධ්‍යාපනය උදෙසා කරන සාධාරණ ඉල්ලීම්ය. නැවතත් එස් බී වන්නකුට ඇමති කමක් දුන් ආණ්ඩුවකට මේ සිසු ප්‍රශ්න වලට  පිළිතුරු දීමට යුතුකමක් තිබේ. විශ්ව විද්‍යාල සිසුන් ඉගෙන ගැනීමට අමතරව පෙළපාලි කිරීම, සංවාද කිරීම ආදිය කිරීම සාමාන්‍ය දෙයකි. එසේ නිදහස සඳහා සටන් කරන්නේ නැත්නම්, අසාධාරණය සඳහා  පෙනී සිටින්නේ නැත්නම් ඒවා විශ්ව විද්‍යාල නොවේ. 
විශ්ව විද්‍යාල යනු සංවාද කරන , මතවාදී ව ගැටෙන , නිර්මාණයන් බිහි වෙන නිදහසේ තෝතැනි විය යුතුය. දැන්වත්  රජයන් මේ කඳුළු ගෑස් ගැසීම් නවතා පෙළපාලි වලට, සාධාරණ සංවාද , විරෝධතා වලට ඉඩ දිය යුතුය. පොලිසිය යෙදවිය යුත්තේ සිසුන් මහජන දේපල හා පුද්ගලික දේපල වලට  වලට හානි කරන්නේ නම් පමණි. (බස් ගිනි තැබීම, වාහන වලට ගැසීම, රජෙ දේපල වලට හානි කිරීම,  ට්‍රාන්ස්ෆොමර පිච්චීම  වැනි)

එතෙක් මෙතෙක් පැවති මේ විශ්ව විද්‍යාල අරගල වලදී බොහෝ අය මිය ගියහ. ත්‍රිමා විතාන එහි මුල් තැනක් ගනී. පසුගිය රජය සමයේ පැවති අධ්‍යාපනයට  6% ක් ඉල්ලා විශ්ව විද්‍යාල ආචාර්ය සංගමයේ මෙහෙයවීමෙන් කල පෙළපාලියේදී සිසුන් දෙදෙනෙකු මිය ගියහ. ඔවුන්  ඒ රජයේ  මෙහෙයවීමෙන් මරා දැමුවාද එසේත් නැත්නම් රිය අනතුරකින් මැරුණාද යන්න අදත් ප්‍රශ්නයකි.
එම මරණ දෙකත් දැන් මරණ සංවත්සර වලට සීමා වී ඇත. මුලදී අන්තරේ බලය තිබු ජවිපෙ මගින් මුලින් මියගිය ශිෂ්‍යන් සමරුවත් දැන් මිය යන ශිෂ්‍යයන් සමරන්නේ පෙරටුගාමී සමාජවාදීන් ය. ඒ දැන් අන්තරේ බලය ඇත්තේ ඔවුන් අත  බැවිනි.
අන්තරේ නජිත් ඉන්දික තමන් විශ්ව විද්‍යාලයේ  ඉගෙනීම අත්හැර (full timer) දේශපාලනයට මුළු කාලය යොදවන බව කාලයකට ඉහතදී පැවසිය. එයට විවේචනයක් වශයෙන් මෙය ලියුවෙමි. (යොමුවට යන්න)
මේ ලිපියට ලැබුන කොමෙන්ට් තුනක් මෙහි පල කරමි.

මෙහි පළමු කොමෙන්ටුව දැනට ලංකාවේ විශ්ව විද්‍යාලයක් හමාර කර වෙනත් රටක විද්‍යා පර්යේෂකයෙකු වන බ්ලොග් කරුවෙකු ගෙනි. (දසයා)
//දේශපාලනය කරන්න ගිහින් ඉගැනීම කඩාකප්පල් කර ගන්න එකනම් හරිම අපරාදයක්. මොරටුවේ අපේ බැචෙක් හිටිය, හරිම හිතහොඳ කොල්ල. දුප්පත් පවුලකින් ආපු කොල්ල දේශපාලනේ නිසා ඩිග්රි එක ගත්තෙ අපි හැමෝටම වඩා අවුරුදු තුන හතරකට පස්සේ. ජේවීපී එකේ එක්ස් කණ්ඩායමේ පෙරටුගාමී සෙට් එකේ හැමතැනම පරමාදර්ශී දේශපාලනයක් හොයන් ගිහිල්ල මොනම හෝ හේතුවක් නිසා කොල්ල සියදිවි නසාගත්ත. අසරණ දරුවෙකුයි කෙල්ලෙකුයි අම්මකෙනෙකුයි අනාථ උනා. ඌව දේශපාලනේට ඇදල ගත්තු උන්ගෙන් කොටසකට අද දේශපාලනේ මතකත් නෑ. චපාන් එකේ ජීවිතේ ගෙවනව.//

දෙවන කොමෙන්ටුව ඇනෝ කෙනෙකු ගෙනි:
//පුද්ගලික විශ්ව විද්‍යාල විරෝධී අරගලයේදී පාලකයන් ගේ දරුණු මර්ධනය විසින් පද්මසිරි ත‍්‍රීමා විතාන, වෙනුර එදිරිසිංහ, අතුල සේනාරත්න, සරත් කොල්ලූරේ යන සිසුන් මරා දැමූහ​. අද දිනයේ මෙලෙස අවාසනාවන්ත ලෙස මිය ගිය මේ සිසුන් සිසු විරුවන් ද නැතහොත් අවස්ථාවාදී රැඩිකල් දේශපාලනයේ බිලි බෝයිස්ලා වීද යන්න පිලිබඳව බරපතල කුකුසක් මතුවේ. මෙම පුද්ගලික විශ්ව විද්‍යාල විරෝධී අරගල සහ උද්ඝෝෂන පසුපස සිටි නායකයන් ගේ වර්තමාන ක්‍රියා කලාපය පිලිබඳව සලකා බලන විට මේ සැකය මතුවීම සාධාරණය. පුද්ගලික විශ්ව විද්‍යාල විරෝධී අරගලයේදී වර්තමාන ජවිපේ නායක සෝමවන්ස අමරසිංහ විශාල වැඩ කොටසක් කලේය​. පුද්ගලික විශ්ව විද්‍යාල විරෝධී සෝමවන්ස අමරසිංහගේ පුතා අද දිනයේ ඉගෙනුම ලබන්නේ එංගලන්තයේ පුද්ගලික විශ්ව විද්‍යාලයකය​. සරසවි සිසුන් පාරට බස්සවා සන්නද්ධ වියාපාරයකට ඔවුන්ව යොමු කල කුමාර් ගුනරත්නම් එවකට කර්නල්වරයෙකු වූ සරත් ෆොන්සේකාට සියල්ල වමාරා ඕස්ට්‍රේලියාවට පලා ගියේය​. ඔහුගේ දරුවන් දෙදෙනා තව නොබෝ කාලයකින් ඕස්ට්‍රේලියාවේ විශ්ව විද්‍යාලයක ඉගෙනුම ආරම්භ කරනු ඇත​. ඒ කාලයේ මේ විරෝධාතා වලට තිරය යට සිට සහය දුන් එස්. බී දිසානායක ඔහුගේ පුතුන් දෙදෙනා උසස් අධ්‍යාපනය සඳහා යැව්වේ ඕස්ට්‍රේලියාවේ මොනෑශ් විශ්ව විද්‍යාලයටය​. මෙවැනි අරගල වීදි සටන් වලට සැමදා ආවඩන හිටපු ක්‍රම විරෝධියෙකු මෙන්ම අධිරාජ්‍යවාදී විරොධීයෙකු වූ වාසු තමගේ පුතා අධ්‍යපනය සඳහා යොමු කලේ ඇමරිකාවේ පුද්ගලික විශ්ව විද්‍යාලයකටය​. පද්මසිරි ත‍්‍රීමා විතාන, වෙනුර එදිරිසිංහ, අතුල සේනාරත්න, සරත් කොල්ලූරේ යන සිසුන් ෆෝම් කරවා ඔවුන්ව මර්ධනකාරී වෘකයන් වෙත ගොදුරු පිණිස දැමූ දේශපාලකයන් හා සිසු නායකයන් අද දිනයේ ක්‍රම සහ විධි වලින් යහමින් මුදල් උපයන බඩ තඩි මුදලාලිලා බවට පත් වී තිබේ. ස්වයංවරදකාරී බවින් මිදීමට මොවුන් බොරුවට වසරකට වරක් මේ බිලි බෝයිස්ලා අනුස්මරණයට ඉටිපන්දමක් දල්වා ලේ රත් වන කතාවක් කොට විසිර ගොස් යලි ලබන වසරේ අනුස්මරණ දිනයක් එන තෙක් හුරු පුරුදු ජාවරම් වල යෙදී සිටිති. සිසු නායකයන් ගොඩ ගියේය​. අවසාන විග්‍රහයේදී වැරදුනේ කාටද ? මේ බිලි බෝයිස්ලා සහ ඔවුන් ගේ දෙමාපිය සහෝදරයන්ට පමණි.//

තුන්වන කොමෙන්ටුව කිර්ති විජේබාහු ගෙනි. (තවත් ඇනෝ කෙනෙක්)
//ආරම්භයේදීම පොඩි සුලුධනේශ්වර කෝචෝක් එකක් හරහා අරබන අජිත් මහතාගේ ලිපිය අවසාන වන්නේ ඉතාම ප්‍රතිගාමී මතයකින් නිසාම යම් අදහසක් එකතු කල යුතුයයි සිතුනි. එමන්දයත්, සවිඥානිකව හෝ අවිඥානිකව සිදුකරන ඔහුගේ පුරාජේරුව සහ පොඩි "පොර වීමට" තැත් කිරීමට අමතරව, ඔහු විසින් ලියන ලිපිය අවසාන වන්නේ ඉතාමත් කුහක සහ සුලුධනේශ්වර මතවාදයකින් සහ ලෝක සමාජවාදී විප්ලවයේ දැවැන්තයන් ගේ කර්තව්‍යයන් අවමානයකට හෝ අඩු තක්සේරුවකට ලකරමින් වන නිසාය (සමහර විට මාක්ස්, ලෙනින් සහ අනෙකුත් කිහිපදෙනෙකුගේ අද්යාපන පසුබිම හැර අනෙක් විප්ලවාදීන් පිළිබඳව ඔහුගේ නොදැනුවත්කම නිසා වන්නට පිළිවන). 

එසේම, ලෙනින්ගේ සහෝදරයා (උල්යනොව්), මාක්ස්, ලෙනින්, Materialism, නරෝද්නික්වරු ගැන වැල්වටාරම් ලියන ඔහු, අවසානයේ නජිත් සහෝදරයට අවවාද කරන්නේ අද්‍යාපනය නිමකොට තමන්ට ගලපෙනවානම් ඉඩ ඇති කල්හි "හොබියකට" දේශපාලනය කරන ලෙසය. එනයින් පිළිබිඹු වන්නේ සමාජ විප්ලවය පිලිබඳ ඔබගේ විශ්වාසයේ දිග පළලය. දෙවනුව ගම්‍යවන්නේ, විප්ලවවාදීන් විවිධ දේශපාලන ධරාවන්වතුල පෝෂණය වෙමින් සහ තම මතවාදයන් දියුනුකරමින් සහ හදාරමින්, සමාජවාදය නිර්මාණය කිරීම වෙනුවෙන් වූ අභ්‍යාස පසෙකලා, ධනපති රාමුව තුල තම දරුපවුල රැකීමට අජිත් මහතා සේ "වැඩ පෙන්වීමට" උත්සාහ කරන ලෙසත්, වුර්තිය විප්ලවාදින්විමෙන් ප්‍රතිපල රහිත බවත්ය. තෙවැනි හාස්‍යජනක කරුණ නම්, තාරක විද්‍යාව පිලිබඳ ලියන ඔබට, සපෙක්ෂතවාදයේ පියා වන ඇල්බර්ට් අයින්ස්ටයින්ටවත් ඔබ නදිතට සම්පුර්ණ කරන්නටයි කියන නිල අද්යාපන රටාව තුල මුල්කාලයේ තැනක් නොතිබූන බව අමතක වීමය.

ඔබ නොකියන හෝ නොදකින එක දෙයක් කිව යුතුය, ඉතාහාසය පුරාවට සමාජ විප්ලවය වෙනුවෙන් තම ජීවිතය පරදුවට තබා , ඉතිහාසයක් නිර්මාණය කල ඒ උදාර මිනිසුන් සහ ගැහැනුන් ධනපති රාජ්‍යයේ අද්යාපන රාමුව කෙරෙහි ඔබතරම් විශ්වාසයක් තැබුවේ නැත. එමන්දයත්, ධනපති අද්යාපන රාමුව නිර්මාණය කරන්නේ වඩා හොඳ "කම්කරුවන්" වීමත්, "බුද්ධිය" සහ "දැනුම" අතර වන වෙනස ඔවුන් වටහාගෙන තිබීමත් නිසාය. ඉදින් , නජිත් ඉන්දික සහෝදරයට උපදෙස් දෙන්නට ඔබවැනි සුලුධනේශ්වර විප්ලවවාදි මහතෙකුට අපහසු එබැවිනි. 

අවසාන ලෙස කිවයුත්තේ, ඔබගේ මතවාදී අපගමනයට හෙතුවලෙස දකින්නේ මාක්ස්වාදී විශ්ලේෂනාත්මක ක්‍රමවේදය (Marxist Epistemology ) වටහා ගැනීමේ ගැටලුක් මත වල්මත් වීම මිස, ඔබ ප්‍රතිගාමියෙක් නොවන බව මාගේ හැගීමය බවයි.//

මෙයට මා  දුන් පිළිතුර මෙයයි.
//**************************************************************************/
කිර්ති විජයබහුලාත් කොමෙන්ට් වලට පැමිනිමම ජයග්‍රහණයකි. මට ප්‍රශ්නය වන්නේ 87-88 දේජාවියේ අනසක මෙහෙයවූ සමන් පියසිරිගේ අනුවර්ත නාමය ගැනීම මගින් මට තර්ජනයක් කරන්නේද යන්නයි. මොකද විවේචනයට ආ නන්දන මාරසිංහ සහෝදරයාට සිදුවූ දේ මා දන්නා බැවිනි. කිර්ති විජේබාහු ආරුඪ නාමය ගෙන කරන්නේ තර්ජනයක් නම් අලුත් බෝතලයේ ඇත්තේ පරණ වතුරමය යන්න මා කල නිගමනය එතැනින්ම සනාථවී ඇති හෙයිනි. 
මෙහිදී ඔබට මතක් කල යුතු පළමු කරුණ වන්නේ මා බ්ලොග් ලියන්නේ හා කතා කරන්නේ මගේ නමින් බවයි. බොහෝ විවේචන කල ඒ කාලයේ අයද එසේ කලේ සැඟව නොවේ. 
ඔබගේ නොදනුමේ තරම හෙළිවන්නේ මෙහිය.
 //ඔහු විසින් ලියන ලිපිය අවසාන වන්නේ ඉතාමත් කුහක සහ සුලුධනේශ්වර මතවාදයකින් සහ ලෝක සමාජවාදී විප්ලවයේ දැවැන්තයන් ගේ කර්තව්‍යයන් අවමානයකට හෝ අඩු තක්සේරුවකට ලකරමින් වන නිසාය// කුහක සුළු ධනෂ්වර මතවාදය කුමක්ද? වරුනට, මහින්දට, සිරිසේනට, පෙසැප පන්නයේ පන්ති අරගලයට ජයවේවා කියා ඇත්තේ ඔලොක්කුවට බවවත් වටහා ගැනීමට නොහැකිවීම ඔබේ අවාසනාවකි. මගේ නොවේ. 
ඊළඟ කාරණය යමක් හරියට කියවා උත්තර දෙන ලෙසය. මා හඳුනන සරද මහතා ඉහත කොමෙන්ටුවක කල වැරදීමම ඔබත් කර තිබේ. 
//, අවසානයේ නජිත් සහෝදරයට අවවාද කරන්නේ අද්‍යාපනය නිමකොට තමන්ට ගලපෙනවානම් ඉඩ ඇති කල්හි "හොබියකට" දේශපාලනය කරන ලෙසය.// 
මිස්‌ටර් විජෙබාහු මා ලියා ඇත්තේ මෙයයි.
**** ඉගෙන ගන්නා ගමන් තමන්ගේ ඉඩ ඇති වෙලාවට දේශපාලනයේ යෙදෙන්න. කියවන්න ඉගෙන ගන්න. නැත්නම් ඔබලාටත් සිදු වන්නේ සිගිරි නොගිය හේතුවෙන් උණු කඳුළු හෙලමින් දක්ෂිණාංශික දේශපාලකයෙකුගේ තුරුල්ලට පැන ආත්මය වනසා ගන්නටය.***********මෙහි සඳහන් දක්ෂිණාංශික දේශපාලකයා කවුද යන්නත් පැන්නේ  කවුද යන්නත් ඔබ දන්නවා ඇත. ඔහු ඔබටත් වඩා හොඳට භාවිතාවක් තිබුවකු වන්නට ඇත. (හිරු කරන කාලයේ)  මා මෙහිදී අදහස් කරන්නේ අන්තරය හා පෙසප ක්‍රියාමාර්ගය වෙනස් කළ යුතු බවයි. 2000 ට පහල rating තිබ්බ ධනපති විශ්ව විද්‍යාල වේවා ඒවා හට තරඟයක් දී තේරුණ පසු ඒවා වල උපාධිය අවසන් කල යුතු බවටත්, ඒවායේ උපාධිය අවසන් කිරීමට අනිත් සිසුන්ට උදව් කල යුතු බවටත් ඒ අතර වාරයේ දේශපාලනයේ, නිදහස් සංවාදයේ, කියවීමේ සහ අරගලයේ යෙදිය යුතු බවටත්ය. එයට හේතුව ශිෂ්‍ය දේශපාලනය අරගලයක පෙර ගමන් කරුවෙකු හෝ මුලිකත්වය ගන්නකු වුවත් එය එහි ගාමක බලවේගය නොවන නිසාය. පෙසපයේ ශෝචනීය තත්වය අන්තරේ නයුවකු වූ නාගමුව ජනාධිපතිවරණ අපේක්ෂකයකු ලෙස ගැනීමෙන්ම පෙනේ. උනුත් එකයි මුනුත් එකයි කියා කතා කර වැඩ කරන ජනතාවක් නොමැතිව අන්තරේ සිසුන් කීප දෙනෙකු අල්ලාගෙන කරන අරගලය නැවතත් ඛේදවාචයකින් කෙළවර වීම වැළැක්වීමට ඇතුලෙන් කතා කල නොහැකි තැන එලියට පැමිණ කතා කිරීමකි මෙය. මෙය තවම ඉවර නැත. ඊළඟට 
//දෙවනුව ගම්‍යවන්නේ, විප්ලවවාදීන් විවිධ දේශපාලන ධරාවන්වතුල පෝෂණය වෙමින් සහ තම මතවාදයන් දියුනුකරමින් සහ හදාරමින්, සමාජවාදය නිර්මාණය කිරීම වෙනුවෙන් වූ අභ්‍යාස පසෙකලා,//
සමාජවාදය ගැන මම කරන අභ්‍යාස ඔබ දන්නේ කොහොමද? එසේම මෙය
 //විප්ලවවාදීන් විවිධ දේශපාලන ධරාවන්වතුල පෝෂණය වෙමින් සහ තම මතවාදයන් දියුනුකරමින් සහ හදාරමින්// 
වැඩ හොඳට කරන්නේ මට පෙනෙන විධිහට සමාජවාදී සමානතා පක්ෂය හා ශ්‍රී ලංකා පෙරටුගාමී පක්ෂය වැනි ඒවායි. මෙය අවුරුදු එකහමාරක නිරීක්ෂණයකින් කියන දෙයකි.. ඔබලා හෝ ජවිපෙ විසින් එහෙය්යන් රැලක් බිහි කරනු මිස එවැන්නක් කරනු මට නම් නොපෙනේ.
 //ධනපති රාමුව තුල තම දරුපවුල රැකීමට අජිත් මහතා සේ "වැඩ පෙන්වීමට" උත්සාහ කරන ලෙසත්// 
මෙය මගේ වැඩ පෙන්වීමක් වන්නේ කෙසේද යන්න මම නොදනිමි. නමුත් ඔහෙලා හදන සමාජවාදී සමාජයේ දරු පවුල් නැත්ද? එසේ දරු පවුල් නැති එකෙක් හැදු සමාජවදයෙක් මම දනිමි. ඒ පොල්පොට්‍ ය. පොල්පොට්ගේ පක්ෂය දරුවන්ට කිවේ අම්මත් තාත්තාත් පක්ෂය බවයි. ඉන්පසු ළමයි තමන්ගේ දෙමාපියන් පවා පාන් කෑල්ලට පාවා දුන්හ. ඒ දෙමාපියන් පොල්පොට් භාවිතාවෙන් උසස් නිර්ධන පන්ති විප්ලවාදින් අතින් මැරුම් කෑහ.
අනික මෙහෙම කතාවක් මගේ බ්ලොග් ලිපියේ ලියා නැත. 
//වුර්තිය විප්ලවාදින්විමෙන් ප්‍රතිපල රහිත බවත්ය// 
මා කොමෙන්ටුවක් කියා ඇත්තේ මා රැකියාව කරන ගමන් උදව් කරන බවකි. රැකියාවක් සොයා ගන්නේ නම් වඩාත් හොඳින් උදව් කල හැකි බවකි. පක්ෂයක කිසියම් ප්‍රමානයක් වෘත්තීය විප්ලවවාදීන් සිටින බව මම දනිමි. ඒ අයට උදව් කරන්නේ රැකියාව කරන අපිය. නැත්නම් පක්ෂයක් වැඩ කර මුදල් උපයා  ගනී. ඒ ධනපති සමාජයේම ධනපති ක්‍රමයම උපයෝගී කර ගනිමිනි. ඒ නිසා නජිත ලා මෝඩ ආදර්ශ සිසුන්ට දීමටත්, සිසු දෙමාපියන් හා ජනතාවන් අන්තරයෙන් ඈත් කරන කතාත් නොකර සිටින්නේ නම් වඩාත් හොඳය.  පාවෙල් කොර්චගින්ලා කම්හල් වල වැඩ කරන මිනිසුන් අතර ගැවසුන අයයි.

//තෙවැනි හාස්‍යජනක කරුණ නම්, තාරක විද්‍යාව පිලිබඳ ලියන ඔබට, සපෙක්ෂතවාදයේ පියා වන ඇල්බර්ට් අයින්ස්ටයින්ටවත් ඔබ නදිතට සම්පුර්ණ කරන්නටයි කියන නිල අද්යාපන රටාව තුල මුල්කාලයේ තැනක් නොතිබූන බව අමතක වීමය.// මෙහි හාස්‍ය ජනක කාරණය අයින්ස්ටයින් ප්‍රශ්න කලේ තද නීති රීති වලින් යුත් Luitpold Gymnasium නමැති ඔහුගේ ප්‍රථමික හා ද්විතියික අධ්‍යාපන ක්‍රමය බවට ඔබේ ඇති නොදැනීමයි . ඔහු ස්විස් පොලිටෙක්නික් එකේ ඇතුළු වීමේ විභාගයෙන් අසමත් විය. නමුත් ඔහුගේ භෞතික විද්යාව හා ගණිතය හොඳ නිසා එහි විදුහල්පති ඔහුව අර්ගොවියන් විදුහලට යොමු කල අතර ඔහු එය අවසන් කළේය. ඉන්පසු නැවත සුරික් පොලිටෙක්නික් එකට ඇතුල්වී එය අවසන් කළේය. භෞතික විද්යාව හා ගණිතය ඉගෙනීම ඔහුගේ තෝරා ගැනීමයි .මහත්මයා තව ටිකක් කියවා පැමිණෙන්න. http://en.wikipedia.org/wiki/Albert_Einstein
http://www.einstein-website.de/z_biography/biography.html

අවසන් වශයෙන් මාක්ස්වාදී විශ්ලේෂනාත්මක ක්‍රමවේදය (Marxist Epistemology ) මා නොදන්නේ නම් මට කියා දෙන්න. මා හැම වෙලේම නොදන්නා දේ නිහතමානිව ඉගෙන ගන්නා අයෙකි. කිසිම දවසක සෑම දෙයක්ම දන්නා බවක් අඟවා නැත.

// ඉතාහාසය පුරාවට සමාජ විප්ලවය වෙනුවෙන් තම ජීවිතය පරදුවට තබා , ඉතිහාසයක් නිර්මාණය කල ඒ උදාර මිනිසුන් සහ ගැහැනුන් ධනපති රාජ්‍යයේ අද්යාපන රාමුව කෙරෙහි ඔබතරම් විශ්වාසයක් තැබුවේ නැත. එමන්දයත්, ධනපති අද්යාපන රාමුව නිර්මාණය කරන්නේ වඩා හොඳ "කම්කරුවන්" වීමත්, "බුද්ධිය" සහ "දැනුම" අතර වන වෙනස ඔවුන් වටහාගෙන තිබීමත් නිසාය. //
 මාත් හොඳ කම්කරුවෙකි. රැකියාව කර පඩියක් ගන්නෙකි. මා වැඩ කරන්නේ ධනපති රටක ධනපති කොම්පැනියකට බවට මට අවබෝධයක් ඇත. මහත්මයා  ලියන්න කියන්න ඔබ ඉගෙන ගත්තේ සමාජවාදී රටකද? නැත්නම් ශ්‍රී ලංකාවෙදිද? එසේ නැත්නම් ශ්‍රී  ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජය සමාජවාදය පිහිටුවා ඇති යයි සිතනවද? ඔබ ඔය කියන ජිවිත පරදුවට තැබූ හැම එකාම එකීම ඉගෙන ගත්තේ ධනපති ක්‍රමය තුලයි. චේ තමන්ගේ ඉගෙනීම ඉවතට දමා මුලින්ම ගියේ ලෝකය බලන්නටය. ඉන් දුටු දෙයින් පසුවයි ඔහු ව්‍යාපාරයට බැඳුනේ. 
//ඉදින් , නජිත් ඉන්දික සහෝදරයට උපදෙස් දෙන්නට ඔබවැනි සුලුධනේශ්වර විප්ලවවාදි මහතෙකුට අපහසු එබැවිනි.// මට මිට කලින් මේ කතාව මේ විධිහටම තව එකෙක් කියා තිබේ. ඒ 1987 කොළඹ විශ්ව විද්‍යාලයේ කැන්ටිමේදිය. 87 ජවිපෙ ක්‍රියා මාර්ගය විවේචනය කරන විටදී මේ නායකයා මට මේ වදන් මෙලෙසම කිවේය. සුළු ධනෙෂ්වර මතවාදී උඹට මට උගන්වන්න බැහැ. ඉන්පසු ජවිපෙ ආණ්ඩුවට ගිය පිහිටෙන් මේ ප්‍රබල විප්ලවවාදියා චන්ද්‍රිකා රජයේ ඇමතිකම් තිබු තැනක ලේකම් රස්සාවක් කර දැන් ඊටත් වඩා හොඳ තැනක පවුලත් බලාගෙන වැජඹෙමින් සිටි.
 නජිත් ඉන්දික වැනි පුංචි මල්ලියෙකුට උපදෙස් දෙන්නට මට ඕනෑ තරම් අත්දැකීම් තිබේ. මොකද නජිත්ලට සන්ජිවලාට හා තවත් අයට මර්දනය එනවිට කෑ ගහන්නට ඉතුරු වෙන්නෙත් අප විතරක් බැවිනි.

/*****************************************************************************/

මේ ලිපියත් කොමෙන්ටුත් වැටුනේ ජනවාරි 6 දාය. පෙරටුගාමී සමාජවාදී පක්ෂය ක්‍රම දෙකම වෙනස් කරන්නට ජනාධිපති චන්දයට ගියහ. අන්තරේ සිසුන් වත් ඔවුන්ට චන්දය දුන්නේ දැයි සැක සහිතය.
දැන් තිබෙන දේශපාලන තත්වය අනුව ඔවුන් හා ඔවුන් මෙහෙයවන අන්තරය සිටිය යුත්තේ තනිව නොව වඩා පුළුල් මහජන වේදිකාවකය.  ජාතිවාදය නැවත හිස එසවීමට විරුද්ධ තැනකය.
මා  දන්නා රැකියාවක් නොකර පක්ෂ වල පුර්ණ කාලීනව වැඩ කරන අය බොහෝ සිටිති. මේ ඔවුන්ට කරන විවේචනයක් නොවේ. ඔවුන් වාමාංශික පක්ෂ දේශපාලනයේ අවශ්‍යතත්වයකි. විශ්ව විද්‍යාල  වල අධ්‍යාපනය අතහැර දේශපාලනය කරනවාට  වඩා ඉගෙනීම කරන ගමන් දේශපාලනය  කරන්නටත්, දුර්වලවී ඇති පහත වැටී ඇති ලංකාවේ විශ්ව විද්‍යාල අධ්‍යාපනය ඉහලට එසවීම සඳහා පෙරමුණ ගැනීමටත් සිසුන්ට කරන ආයාචනයකි.

රජයන් වෙනස් වනවා සේම අරගල ක්‍රමද වෙනස් විය යුතුය.

ඊයේ අන්තරයට එරෙහිව කඳුළු ගෑස්  ගැසීම හෙළා දකිමින් මේ සිදුවීමේදී අන්තරයේ හා සිසුන්ගේ නිදහස වෙනුවෙන් පෙනී සිටිමු. 



44 comments:

  1. පෞද්ගලික විශ්ව විද්‍යාල වලට එරෙහිව විරෝධතා කිරීම අමන විහිළුවකි.....එය මාගේ මතයයි...මේ කොලු පැංචන් පාරට ගන්නා අනාත වමනේ කාරයන්ගේ ලමයින් ඉගෙන ගන්නෙ කොහේද කියා සොයා බලන්න...තමාට ලැබුන අවස්තාව එය නොලැබූ අයවලුන්ගෙ ඇස් දෙකෙන් බලන්න ඉගෙන ගන්න අවුරුදු හතරක උපාදි කාලයෙන් ඔබ්බට ගිහින් තමාගේම ලමයෙකුට එම අවස්තාව නොලැබෙන විටදී දැනී පමනක් මදි නේද....
    පව් මේ කොල්ලන්...
    වීරසූරිය වෙනුවෙන් පෙලපාලි ගොස් පොලීසියට බැන වැදී ගෙදර ආ මට තාත්තා කිව්වේ උඹට කන්න දෙන තාත්තා පොලිස් බල්ලා නේදැයි කියා...
    ඇස් ඇරුනේ එවිටයි...

    ReplyDelete
  2. අන්තිමට ඒවා ආවනේ. අර අමාරුන අපේ කොල්ලන්ට පව්. අවුරුද්දකට සැරයක් පානක් පත්තු කරනවා. ඒ අම්මල දුක් කඳුළු බොනවා. අපේ තාත්තා පොලසියේ හිටියත් බැන්නේ නැහැ. ළමයි පව් කියල කීව විතරයි. හැබැයි ඒ වචන දෙකේ ගොඩක් දේවල් සැඟවිලා තිබ්බ.

    ReplyDelete
  3. පව් අහිංසක ළමයි.තියන ආවේගෙට ඔහේ යනවා.ඇත්තටම මුළු ලෝකෙම තියෙන පෞද්ගලික විශ්ව විද්‍යාල මේ රටේ එපා කියන එක හොඳම විහිළුවක් නේද?හැබැයි ගහපු ඒක නං වැරදියි එන්න ඇරලා කියන දෙයක් අහන්නයි තිබුනෙ.

    ReplyDelete
    Replies
    1. හැලපේ මචන් මම නම් හැම වෙලේම හිතන්නේ අධ්‍යාපනය නොමිලේ දිය යුතුයි කියල. මේ රටේ (එංගලන්තයේ) විශ්ව විද්යාල වලට ගාන වැඩි කරා පවුම් 8000ක් දැන්. අපි කොහොමද ළමයි යවන්නේ. යුරෝපයේ ගාන අඩුයි. ජර්මනියේ යුරෝ 500. ඒ නිසා එහෙ යවන්න ඕනේ . නැත්නම් සල්ලි ඉතුරු කරන්න ඕනේ. ඒ නිසා වෙලා තියෙන්නේ ලංකාව වගේ රටවල් ඉගෙන ගත් අය මෙහාට අද්දන එක. ඒ නිසා අධ්‍යාපනය නොමිලයේ විය යුතුයි කියන අදහසට මම මෙහෙත් පෙනී හිටිනවා.

      Delete
  4. (මෙය කොමෙන්ටුවකින් උපුටා ගන්නා ලද්දකි. බටහිර රටවල විශ්ව විද්‍යාල වලට යන ලාංකික සිසුන් අන්තරය සහ ලංකාවේ විශ්ව විද්‍යාල ගැන පවසන්නේ මෙසේය )
    අපි නම් මේ අන්තරයේ කැඳවුම්කරුවාට සහ අන්තරයට හරි කැමතියි. මේ අය නිසා බටහිර සංවර්ධිත විශ්ව විද්‍යාල වල ඉගන ගන්න අපි වගේ අයගේ වටිනාකම් වැඩි වෙනවා. අන්තරයේ කැඳවුම්කරුවන් සහ අන්තරය නිසා ලංකාවේ විශ්ව විද්යාල අධ්‍යාපනිකව වැටිලා. ලෝක ශ්‍රේණිගත කිරීම අනුව ලංකාවේ විශ්වවිද්‍යාල ඉන්නේ ඉතාම පහල මට්ටමක. අප්‍රිකාවේ අසාර්ථක රාජ්‍ය පවා ලංකාවේ විශ්වවිද්‍යාල පරද්දවල්ලා ලංකාවේ විශ්වවිද්‍යාල උපාධියට ලෝකයේ තියන තැන නැතිවේගෙන එන්නේ. අපි නම් බටහිර සංවර්ධිත විශ්ව විද්‍යාල වලට ගියා. අපේ උපාධි වලට දේශීයව සහ අන්තර්ජාතිකව විශාල පිළිගැනීමක් තියනවා. අපි නැවත ලංකාවට එනකොට රාජ්‍ය සහ පුද්ගලික අංශය අපිට රැකියා දෙන්න පොරකනවා. එත් දිස්ත්‍රික් කෝටා එකට අඩු උසස්පෙළ ලකුණු වලින් ලංකාවේ විශ්ව විද්‍යාල වලට ගිය අය ගැන නම් දුකයි. ඒ අයට අනාගතයක් නැහැ. අන්තරේ මේ අයව පාරවල් වල දක්කන්නවා , මේ අයට ඉංග්‍රීසි බැහැ , පරිගණක හැකියා නැහැ , කළමනාකරණය දන්නේ නැහැ . අන්තරේ මේ අයට උගන්වන්නේ පෝස්ටර් අඳින්න, පෝස්ටර් අලවන්න, කැට හොල්ලන්න , මහා පාරේ වේලෙන්න. ඉතින් ඉංග්‍රීසි දන්න, පරිගණක , කළමනාකරණ හැකියා තියන බටහිර සංවර්ධිත විශ්ව විද්‍යාල වල ඉගන ගත්ත අපි ලංකාවට ආවාම අන්තරේ කාබාසිනියා කරපු ලංකාවේ විශ්ව විද්‍යාල වලින් පිටවන සෝම්බිවරුන්ට අපි වගේ අයත් එක්ක හැරෙන්නවත් පුලුවන්ද? ඉතින් ඕනෑම ආයතනයක තැන තියෙන්නේ උඩට යන්නේ අපි. අපි ඉංග්‍රීසියෙන් වචන දෙක තුනක් දාපුවම, කම්පුටර් එකෙන් ප්‍රොජෙක්ට් එකක් ඩිසයින් කලාම අන්තරේ විසින් කැට හොල්ලන්න , පෝස්ටර් ගහන්න මහා පාරේ උද්ඝෝෂණය කරන්න විතරක් පුරුදු කරපු නුපුහුණු ලංකාවේ විශ්ව විද්‍යාල උපාධිකාරයෝ වෙව්ලනවා ඉතින් අපි තමයි වැඩකාරයෝ . අපි ලන්ඩන් ,පැරිස් නිව්යෝක්, සිඩ්නි ගැන කතා කරනකොට අන්තරේ මොළ හෝදපු දේශීය උපධිකාරයා කතා කරන්නේ ගලහ හන්දියේ , කැලණියේ , හැව්ලොක් පාරේ කරපු උද්ඝෝෂණ , උපාවස, පොලිසියෙන් ගුටි කාපු ඒවා . ඉතින් මේ අය ඉබේම කොන් වෙනවා. අපි බැබලෙනවා අපිට සදහටම ඉහලින් බැබලෙන්න ක්‍රමය හදල දුන්නේ අන්තරය නිසා අපි අන්තරයට හරිම කැමැතියි. අන්තරයට ජය වේවා.
    https://www.facebook.com/permalink.php?story_fbid=265170027024844&id=262197223988791

    ReplyDelete
    Replies


    1. නිශ්පාදනයට අදාල නැති මෙහෙම උපාධි තියනවට මුන් හරි ආසයි. මේ ව වෙනස් කරන්න දෙන්නෙ නෑ. උන් කියන්නෙ උපාධිවලට ගැලපෙන සේ සංවර්ධන ක්‍රියාවලිය සිදුනොවීමලු අර්බුදය. ඒක නොවෙයි මේ විශය මාලා යාවත්කාලීන නොවීම.

      ඉංග්‍රීසිත් බැරි කොම්පියුටරුත් බැරි අලුත් විදියට හිතන්නත් බැරි ඔෆිස් එකකකට ගිහින් වැඩකරන්නත් බැරි පිකටින් කරන්න විතරක් පුළුවන් ජේවීපී කාලකන්නියෙක් බිහිවෙනව.ඒකයි මේ අධ්‍යාපනයෙන් වෙන්නෙ.

      // අපි ඉංග්‍රීසියෙන් වචන දෙක තුනක් දාපුවම, කම්පුටර් එකෙන් ප්‍රොජෙක්ට් එකක් ඩිසයින් කලාම අන්තරේ විසින් කැට හොල්ලන්න , පෝස්ටර් ගහන්න මහා පාරේ උද්ඝෝෂණය කරන්න විතරක් පුරුදු කරපු නුපුහුණු ලංකාවේ විශ්ව විද්‍යාල උපාධිකාරයෝ වෙව්ලනවා ඉතින් අපි තමයි වැඩකාරයෝ . අපි ලන්ඩන් ,පැරිස් නිව්යෝක්, සිඩ්නි ගැන කතා කරනකොට අන්තරේ මොළ හෝදපු දේශීය උපධිකාරයා කතා කරන්නේ ගලහ හන්දියේ , කැලණියේ , හැව්ලොක් පාරේ කරපු උද්ඝෝෂණ , උපාවස, පොලිසියෙන් ගුටි කාපු ඒවා . ඉතින් මේ අය ඉබේම කොන් වෙනවා. අපි බැබලෙනවා අපිට සදහටම ඉහලින් බැබලෙන්න ක්‍රමය හදල දුන්නේ අන්තරය නිසා අපි අන්තරයට හරිම කැමැතියි. අන්තරයට ජය වේවා.//

      +++++++++++++++++++++++++++++++++++++++++++++ කතාව සහතික ඇත්ත.

      Delete
    2. මේ කොමෙන්ටුව කලින් ලිපියෙන් උපුටා ගෙන දමන්නේ. සරද කියා මගේ මිත්‍රයෙක් ලියුවක්:
      //ඒ දවස්වල අපේ අම්ම කීවේ : හොදට ඉගෙනගෙන, උපාධි ගහල, කාර් බාර් අරගෙන, කසාද බැදල, වතුර බීල, හොදට නාල, පොලේ ගිහිල්ල වෙලාව තිබ්බොත් දේශපාලනය කරන්න කියල.
      මේ දවස්වල මගේ බිරිද කියන්නේ: ගෙයක් හදල, සල්ලි හොයල, ස්විස් බැංකුවක දාල, බඩ පිරෙන්න කාල, කොන්ඩේ කපල, වඩේ කාල, ජෝගින් කරල වෙලාව තිබුනොත් දේශපාලනය, කලාව වගේ අනම් මනම් කරන්න කියල
      අජිත් උදුල්ටයි විජේවිරටයි කියන්නේ: ඉගෙනගෙන ඉවරවෙලා , දෙයියන්ට පඩුරක් ගැටගහල, කාලගුණය බලල, හොදට අව්ව තියෙන දවසක, මල් පිපෙනකම් ඉදල දේශපාලනය කරන්න කියල.

      materialism මාරයි නේද !// බුන්දියට ලියන සරද සමරසිංහ මහතා විසින් ලියුවක්.

      Delete
    3. මෙතන වරදවා වටහා ගැනීමම පේනවා. මම කියන්නෙත් ඔය කොමෙන්ටුවේ කියන කතාවම තමයි. අන්තරේ දේශපාලනය කරනන් ඉගෙන ගන්න ගමන්. ජරාව හරි කමක් න උපාධිය ඉවර කරන්න. ඒ අතරේ අපි එකතු වෙලා ලංකාවේ අධ්‍යාපන ක්‍රමය නංවමු සටන් කරලා. මේ අරගල කාරයෝ කරන්නේ වෙනම විකාරයක්. - එංගලන්තයේ හා අනිත් රටවල ඉන්න මේ පක්ෂ වලට සහය දෙන අයගේ ළමයි හොඳින් ඉගෙන ගන්නවනේ.

      Delete
  5. මේ ආන්ඩුවද සාම්ප්‍රදායි ගොන් තකතීරු ගොබ්බ මෝඩ ආන්ඩුවකි. උන් ඉටුකරන්නේ විරෝධතා කරුවන්ගේ මන දිල පිනවීමයි. පොලෝසියේද කිසි වෙනසක් නැත. ඔය පිස්සු යක්කුන්ට එන තැනකට ඇවිත්, පෙස්සම හරි සංදේසේ හරි බාර දීලා යන්න දෙන්න ඕන. එහෙම කලාම.. ජනතාවම මුන්ට ගල් වලින් ගහන කාලයක් එනවා. මුන්ට ඒ මොළේ නෑ..

    ReplyDelete
    Replies
    1. පොලීසියෙන් ගැහුව කිවවම ජවිපෙට රජමගුල් ඇති. වෙන්දේසි කරන්න පුළුවන්නෙ. අපරාදෙ එකෙක්වත් මැරුවෙ නැද්ද කියල දුක් වෙනව ඇති. මැරුවනම් හෙට ඉදන් කැම්පේන් එක කරන්න පුළුවන්නෙ. ඉටිපන්දම් පත්තුකරන්න , විමුක්ති ගී ගයන්න වැඩ කෝටියයි.

      එක දවසක් පිටකොටුවෙ බස් එකකට නැග්ග ඔහොම එකෙක්. මේ මොහොතෙ ආණ්ඩුව නිදහස් අධ්‍යාපනය විකුණන්න පිඹුරුපත් හදනව කිය කිය කියවගෙන ආව. බස් එකේ හිටපු මිනිස්සු කිව්ව මුන් තමා රටම පිස්සු වට්ටන්නෙ කියල මූණටම. මුන්ට ඕන මොනවහරි කලබලයක් කරන්න .ඒක උන්ට ආතල් එකක්. ඒකටම හරියන පොලීසියක්නෙ තියෙන්නෙ .උන් හිතෙන්නෙ උන් නීතිය රකින අය නොවෙයි ලයිසන් චන්ඩි කියල.ජේවීපී එක දන්නව මේක. ඒ නිසා පුළුවන් තරම් පොලීසිය අවුස්සනව.

      Delete
    2. පොලිසියෙන් ගහ ගන්න කියලයි ගියේ වගේ පේන්නේ. පොලිසියත් ගහන්න හිටිය වගෙයි පේන්නේ. හයියෝ.

      Delete
  6. ළමයි පව්! දක්කනවා තමා. මාත් කියන්නේ යන්න දෙන්න ඕනි දේපල හා ජීවිත වලට තර්ජනයක් නොවන තාක්.

    ReplyDelete
    Replies
    1. මට තියන ප්‍රශ්නෙ මේකයි. ඉස්සර ජවිපෙනුත් දැන් පෙරටුගාමීනුත් මෙහෙම දක්කනව. මේ දැක්කීමට මහා සමාජයට කරන්න දෙයක් නැද්ද

      Delete
    2. යන්න දුන්නම ආයි වලියක් නැහැනේ. ගහන්න ගියාම කාට හරි තුවාල වෙනවා. ඒක වෙන්දේසි වෙනවා ඊට පස්සේ.

      Delete
  7. මුනුත් හරක්... උනුත් හරක්...
    ඒ කිව්වේ පෙළපාලි යන ළමයි සහ උන්ව වලක්වන්න හදන ආණ්ඩු (පොලිසිය ඒකට යොමු වෙන්නේ පොලිටික්කෝ කියන නිසා මිසක් උන්ගේ මොළේ අමාරුකම් නිසා නොවිය හැක)

    අපි කැම්පස් යන කාලේ අපේ යුනියන් එක දේශපාලනයක් කලේ නැහැ, ඒ වගේම ජෙප්පන්ට සහ අන්තරේට කැම්පස් ඇතුලේ ක්‍රියාකාරකම් කිරීමත් සපුරා තහනම්...

    ReplyDelete
    Replies
    1. මම කැම්පස් ඇතුලේ දේශපාලනය කරනවට විරුද්ධ නැහැ. යම් සීමාවක් තුල. එංගලන්තයේ මම සහභාගී වන ශිෂ්‍ය සංවිධාන තිබෙනවා. උන් එකෙක් වත් ඉගෙනීම නවත්ත ගෙන ඔය මුකුත් කරන්නේ නැහැ.

      Delete
    2. ලංකාවේ කැම්පස් ඇතුලේ දේශපාලනය කියන්නේ පාරට බහින එක, උද්ඝෝෂණ කරන එක.
      ඒකෙන් ළමයින්ට සහ මිනිස්සුන්ට ලොකු හානියක් වෙනවා...
      ළමයි පිකටින් කරලා ගහ මරාගෙන කැම්පස් වැහුවම උන්ට කවදාවත් පුළුවන්ද අවුරුදු හතරෙන් (හෝ තුනෙන්) තමන් ආපු පාඨමාලාව ඉවරයක් කරගෙන එළියට එන්න.
      එහෙම උනාම ඊළඟට එන්න ඉන්න බැච් වලටත් ඒ ප්‍රමාදය බල පානවා. ඒ බලපෑම රටේ දියුණුවට කෙළින්ම බල පානවා.
      පාරවල් බ්ලොක් කරගෙන පිස්සු නටද්දී වාහන දහස් ගාණක් පාරවල් වල නිකරුණේ පැය ගණන් රස්තියාදු වෙනවා.
      ඒ වාහන වල ඉන්න මිනිස්සු දහස් ගාණක් නිකරුනේ ඉන්ධන පුච්චගෙන හිරවෙලා දුක් විඳිනවා.
      ඒ නාස්තිවෙන සල්ලි ප්‍රමාණය කාටවත් නැහැ. ඒ නාස්ති වෙන්නේ රටේ ධනය. කැම්පස් වල කෝස් එකක් ඉවරවෙලා ළමයි එළියට යන්න ප්‍රමාද වෙන එකෙනුත් නැති වෙන්නේ රටේ අනාගතය.

      අපේ රටේ දේශපාලන මට්ටම ගත්තම මම තාමත් ඉන්නේ JVP එකට කඩේ යන අන්තරේ නිසා මුළු ලංකාවේම අනාගතය අඳුරු වෙනවා කියල.

      දැන් අරලිය ගහ මන්දිරේ කවුරුවත් නැහැ. එහෙව් එකේ අර ළමයි ටික ඇයි ගාළු පාර බ්ලොක් කරගෙන පිකටින් කරන්නේ...
      එයාලව දේශපාලනේ විසින් තමන්ගේ අරමුණු උදෙසා කඩේ යවනවා නෙමෙයිද...

      Delete
    3. විශ්ව විද්‍යාල ශිෂ්‍යයන් දේශපාලනය කරන්න ඕනේ. නැත්නම් ඒක විශ්ව විද්‍යාලයක් වෙනෙන් නැහැනේ. නමුත් පහුගිය අවුරුදු 30 තුල දේශපාලනය මේ තත්වය අනාථ කරලා තියෙන්නේ .

      Delete
  8. ජවිපෙ පෙරටුගාමීන් වගෙ අය හිතන්නෙ ඌණිතවාදීව. තමන්ගෙ මතය පමණක් හරි අනෙක් මත දරණ අය විනාශ කළ යුතුයි කියල. මේ වගෙ පක්ෂවලට බලය දෙන එක භයානක ඒ නිසයි.ඒ ඌණිතවාදය නිසා තම බල පිරමිඩයේ මුදුනේ සිටින කෙනා දේවත්වයට නැංවෙනවා. අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදයක් නැහැ.

    ඕව පස්සෙ යන අය නිකම් නාස්තිවෙනවා. නායකයො ගානට ශේප් වෙනව. පොඩි එවුන් බිල්ලට දීල ජවිපෙ නායකයො අන්තිම මොහොතෙ හිතුවෙ බේරෙන්න. හැබැයි ප්‍රේමදාස පොඩි එවුන්ට දුන්න සම්බුව ලොකු එවුන්ටත් දුන්න. හමුදාව පොලීසිය ඉස්සරහට කිසිම පුහුණුවක් නැති සිසුන් දාල මරවගෙන මිනී වෙන්දේසිකරන ජවිපෙ දේශපාලනය නින්දිතයි.

    ජවිපෙ කියන පරමාදර්ශී සමාජය මීට වඩා වෙනස් නෑ.දැන් යන්නෙ ධනවාදය එක්කනෙ. ඒ කියන්නෙ හොරුත් ඉදියි. දැන්වගේම සුබසාධන වැඩ කෙරෙයි. වෙන එකම දේ නිදහස හා බහුපක්ෂ ප්‍රජාතන්ත්‍රවාදෙ නැතිවෙන එක.
    ප්‍රශ්නයක් දෙස බලන්න ඕන විවිධ එළඹුම් තුලින්.

    ReplyDelete
    Replies
    1. මේක නම් ඇත්ත නේද? //භ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදයක් නැහැ.//

      Delete
  9. හැමෝම ඉන්නෙ බොක්ස් එකක.
    ශිෂ්‍යයො ඉන්නෙ උද්ඝෝෂණය කරන්න බලාගෙන
    පාලකයො ඉන්නෙ මර්ධනය කරන්න බලාගෙන
    පොලිසිය ඉන්නෙ ගහන්න බලාගෙන
    කමෙන්ට් කාරයො ඉන්නෙ ඉහත කියපු කුමක් හෝ මතයක් දරාගෙන
    'සාමකාමීව ප්‍රශ්න විසඳන්න' කාටවත් ඕන නෑ. ක්‍රමය‍ට ඇබ්බැහි වෙලා.

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත. බොක්ස් එකෙන් පිට ඉඳගෙන කවුරුත් බලන්නේ නැහැ.

      Delete
  10. //රජයන් වෙනස් වනවා සේම අරගල ක්‍රමද වෙනස් විය යුතුය.//

    සපුරා එකඟ වෙමි.

    එලෙස කඳුලු ගෑස් ගැසීම ගැන මමනම් පුදුම නොවන්නෙමි. මක් නිසාඩ්ජ යත් කංදුලු ගෑස් සංස්කෘතිය සහ මර්දන කලාව ජාතියට දායාද කලේද මොවුන්ම වන හෙයිනි. බලය ගැනීමේ කෑදරයක් මිස තොල් මතුරපු යහපාලනය ගැන ඔවුන්ගේ යටිසිත්වල සතේක තරම්වත් හැඟීමක් තිබී නොමැත.

    ReplyDelete
  11. අයියණ්ඩී මං ඔයාට මේල් එකක් දැම්මා.

    ReplyDelete
  12. මේ පහරදීම ගැන අග්‍රමාත්‍ය කාර්යාලය පැහැදිළි කිරීමක් කරලා තියෙනවා.
    නිදහස් අධ්‍යාපනය දිගටම පවතින්න ඕනේ.අධ්‍යාපනය තමයි හොඳම අවිය ඕනෙම දෙයකට.ඒ වගේම ශිෂ්‍ය නායකයෝත් පටු දේශපාලන අරමුණු වලින් බැහැරට වෙලා කටයුතු කරනවා නම් මේ ගැටළු බොහෝමයක් සුබවාදීව විසඳගන්න තිබ්බා.

    ReplyDelete
  13. මෙහෙමයි .................... අාණ්ඩු මාරුවීම නවතින්නේත් නැත.... සිසුන් පෙළපාලි යෑම නවතින්නේත් නැත... ජවිපෙ අාණ්ඩු පෙරලීමට තැතනීම නවතින්නේත් නැත... පොලීසිය කදුලු ගෑස් වතුර ගැසීම නවතින්නේත් නැත..... බ්ලොග්කරුවන්ගේ බ්ලොග් ලිවීම නවතින්නේත් නැත.... අපි කමෙන්ටු දැමීම නවතින්නේත් නැත..... මේක තමයි ලෝකය...

    ReplyDelete
    Replies
    1. යථාර්තවාදී වෙලා වගේ කුරුටු.

      Delete
  14. හම්මේ ආවා.. කියෙව්වා.. මට මෙන්ඩාගේ කොමෙන්ට් එකක් මතක් වෙනවා.. 'අපි පොඩි ළමයි' හැක්.. සමාජවාදය හා වාමංශික ව්‍යාපාර ගැන මුල සිට ඉගෙනගත් දවසක කොමෙන්ටෙකක් දාන්නම්..

    ReplyDelete
    Replies
    1. උඹ අපේ බ්ලොග් සංසදේ බලාන ඉඳපන්. මේ අනම් මනම් ඕනේ නැහැ.

      Delete
  15. සරසවි සිසුන් වූ කාලයේ අපිත් නොදැනුවත්වම නොයෙක් දේශපාලන න්‍යාය පත්‍රවලට අනුව වැඩකරලා තියෙනවා. සමහර දේවල් වල තියෙන අනර්ථකාරී බව වැටහෙන්න ප්‍රමාදවෙලා. නමුත් නිදහස් අධ්‍යාපනය කියන දේ මෙත්රමින් හරි රැකිලා තියෙන්නේ සරසවි සිසුන් නිසා. නමුත් විචක්ෂනශීලී සරසවි සිසුවා කියන චරිතයෙන් දැන් සිසුන් අපගමනය වෙනවාද කියාත් සිතෙනවා .

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත මල්ලි. එත් මේ චක්‍රය කරකැවෙන විධිහ වැරදියි වගේ කියල හිතෙන්නේ නැත්ද? සරසවි සිසුන් නිසා තමා මේක රැකුණේ. මම පෙළපාලි යන්න සංවාද තියන්න නොකියනවා නෙමේ. ඒවත් කරන්න. ඉගෙන ගන්න. ඉගෙනීමේ තත්වය උසස් කරන්න දෙපැත්තම ඕනේ.

      Delete
  16. නිදහස් අධ්‍යාපනේ වටිනාකම නොතේරෙන්නේ නිදහස් අධ්‍යාපනෙන් ඉගෙන ගන්න අයටම වීම තමයි මට නම් තියෙන අවුල. රැක ගන්න හදනවා කියල කරන්නේ තනිකරම විනාශ වෙන වැඩ .. අර ඇනෝ දාල තියෙන කොමෙන්ට් එකේ කතා මම ප්‍රායෝගිකව අත්දකිනවා මේ වැඩ කරද්දී ..

    ReplyDelete
    Replies
    1. ඛේදවාචකය තම අපහු හරවන්නේ කොහොමද කියන එක? සමාජවාදී සමාජයක් හෙට ගොඩ නැගෙන්නේ නැහැනේ.

      Delete
  17. ශිෂ්‍යයින්ට පහරදෙන ආණ්ඩුව සහ පහර කෑමේ පරම අභිලාෂයෙන් මොළ සේදූ ශිෂ්‍යයන් පොලිසිය ඉදිරියට තල්ලුකරන අවස්ථාවාදී දේශපාලුවන් භංග වේවා!!!

    ReplyDelete
  18. ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාල යනු පිස් පෝච්චිය​. මේ ආයතන වල දැන් කිසිදු අධ්‍යාපන ගුණාත්මක භාව යක් නොමැත​. අන්තර්ජාතික අධ්‍යාපනික මට්ටම් අනුව ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාල යනු හරක් ගාල් වේ. මේ ආයතන වලට යමක් කමක් තිබෙන වැද ගතුන් යන්නේ නැත​. උන් යන්නේ දියුණු ශිෂ්ට රට වල උසස් විශ්ව විද්‍යාල වලටය​. ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාල දැන් යන්නේ දුගී දුප්පත් අසරණ මිනිසුන් ගේ දරුවන්‍ වෙති. හිඟන්නාට කෙලින්නේ තවත් හිඟන්නෙකි යන කියමන සනාථ කරමින් දුගී අසරණයන් යන ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාල මරු භූමි බවට පත් කරගෙන සිටින්නේද මේ අසරණ දුගී පන්තියෙන් පැමිණි හීනමානයෙන් පෙලන හිඟන්නන් කොටසක් විසිනි. අන්තරය , මහා ශිෂ්‍ය සංගමය වැනි නානාප්‍රකාර නම් වලින් පෙනී සිටින මෙම හීනමාන හිඟන්නන් තමන්ගේ පන්තියෙන් එන අනෙකුත් අසරණයන්ට මෝල් ගස් ප්‍රහාර දී පර පීඩක ආතල් එකක් ලබති. නමුත් මේ හීනමාන හිඟන්නන් ධනවත් පවුල් වල ඔස්ට්‍රේලියාවේ, ඇමරිකාවේ , එඞලන්තයේ , කැනඩාවේ විශ්ව විද්‍යාල වලට යන බේබිලා දුටු විට මෝල් ගස් අකුලා ගනිති. බේබිලා දකින විට මොවුන්ට සුළු දිය පහවේ.

    http://www.hotandfastnews.com/2014/02/blog-post_16.html

    ReplyDelete
    Replies
    1. දරුණු කථාවක්. මේකට මම උත්තර දෙනවට වඩා ඔබ හිඟන්නන් යයි කියන හීනමානයෙන් පෙලෙන බව කියන පැත්තෙන්ම පිළිතුරක් අවොත් තමා හොඳ. ඔවුන් රටේ දේශපාලනයට හා ධනවත් පන්තියට කරන දේශපාලන අහියෝගය සුළුකොට තකන්න බැහැ . නමුත් මට මේ යන විධිහ ගැන පෙනෙන්නේම වැරදියි වගේ .

      Delete
  19. හැමදාම වගේ ශිෂ්‍යන්ව ඉස්සරහට දාලා ඔය දේශපාලනය කරන සමහර ඇත්තෝ ප්‍රයෝජන අර ගන්නවා.. අනික ආන්ඬු වෙනස් උනා කියලත් මර්ධනයේ වෙනසක් වෙලා නෑ කියලා මේකෙන් තේරුම් ගන්න පුළුවන්..

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත . ආණ්ඩු වෙනස් වුන කියා මර්දනයේ වෙනසක් වෙන්නේ නැත්නම් මර්දනය බලෙන් කැඳවා ගන්න ඕනේ නැහැ. සාධාරණ ප්‍රශ්න වලට ශිෂ්‍ය අරගල තිබිය යුතුමයි නමුත් වඩා පළල් දේශපාලන අවකාශයක් තුඅල.

      Delete
  20. කතාකරලා විසඳගන්න පුළුවන් ඇහුම්කන්දීලා විසඳගන්න පුළුවන් ප්‍රශ්න තමන්ගේ බලය රැකගැනීමට වවාගන කනවා.පෙලපාලි නොයා ගැටළු විසදගන්න අන්තරේ කැමති නෑ.කඳුළු ගෑස් ගහලා මඩ වතුර ගහලා පොලිසියෙන් ගුටිකන තරමට තමයි අන්තරේ සාර්ථකත්වය තීරණය වෙන්නේ.එහෙම සිදුවීමක් නොවෙනවානම් ඒ උද්ගෝශනය සාර්ථක නෑ.ඕකෙදි තියන ජරාම වැඩේ තමයි අළුතින් කැම්පස් එන ශිෂ්‍යන්ව බලෙන්ම මේ උද්ගෝශන වලට එකතුකරගන්න එක.
    ඕකේ අනික් පැත්තත් එහෙම්මම තමයි.පාලකයොත් කවදාවත් ශිෂ්‍යන්ට ඇහුම්කන්න දුන්නේ නෑ.ශිෂ්‍යන්ව ඔය තත්වයට පත්කලේ,කොටින්ම කිවුවොත් අන්තරේ ඔච්චර උඩ යැවුවේ පාලකයොමයි.විශ්වවිද්‍යාල ශිෂ්‍යන් නැත්තන් මේ රටේ අධ්‍යාපනය වලපල්ලට ගිහින් ගොඩක්කල්.
    බලයට තියන කෑදරකම නිසා දුක්විදින්නේ නිදහස් අධ්‍යාපනයට පිං සිද්දවෙන්න ඉගනගත්තු ඒ අහිංසක තරුණ පරපුරයි උන්ගේ හෙට දවසගැන බලාපොරොත්තු පොදිබැඳගන ඉන්න දෙමවුපියනුයි විතරයි.

    ReplyDelete
    Replies
    1. කටුස්ස හරියටම මේක විශ්ලේෂණය කරලා තියනවා. ඔන්න ඔය පති දෙක තමා තේරුම් ගන්න ඕනේ. දෙගොල්ලටම කියන්නේ අපි දන්නවා ගේම් එක. දැන් මේක වෙනස් කරන්න කල් කියල.

      Delete

සියලු හිමිකම් අජිත් ධර්මකීර්ති (Ajith Dharmakeerthi) සතුය. කොළඹ ගමයා බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ අජිත් ධර්මකීර්ති යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ.
මෙහි පලවන ලිපි සහ දේශපාලන අදහස් මගේ පෞද්ගලික අදහස් පමණි.
ඔබේ ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. නමුත් වෙනත් කෙනෙකුට සාධාරණ හේතුවක් නැතුව පහර ගසන අශිලාචාර අන්දමේ ප්‍රතිචාර පමණක් පල නොකෙරේ. බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ස්තූතියි .