දෙවන කොටස
තුන්වන කොටස
අපට පාඨමාලා ප්‍රශ්න පත්‍ර විසඳීමට තිබුණි. සමහර ඒවා වල ගණිතමය ප්‍රශ්න විසඳීම ඉතාමත් අපහසුය. විෂයට අදාළ කරුණු දැන ගත්තත් ප්‍රශ්නය හරි හැටි නොතේරීමේ අවදානම තිබුණි. වෙලාව ඇති සිසුන්, ඒ සඳහා දේශන කල ගුරුවරු සංවිධානය කල උපකාරක පන්ති වලට ගියත් රැකියා කරන අපට එසේ කිරීමට නොහැකිය. ඒ නිසා රෝලන්ඩ්, මා සහ තවත් සිසුන් දෙදෙනෙකු සෙනසුරාදා උදය දිනවල පුස්තකාලයේ රැස්වී එකතුව කෝර්ස් වර්ක් කිරීමට සිතා ගත්තෙමු. පළමුවන දිනය ප්‍රශ්නයක් නැතිව ගෙවී ගියේය. සියාමා ට අසනීප ගතියක් හේතුවෙන් එයට පැමිණීමට නොහැකි විනි. දෙවන්නට සියාමා ද එක් වුවාය. ඇය සාමාන්‍යයෙන් බටහිර ඇඳුම් පැළඳ සිටියත් එදා ආවේ ඉන්දීය ඇඳුමකින් සරසි ගෙනය. සල්වාරය සමග රත් පැහැති ඔවුන්ගේ බාච්චු වැනි සිල්ක් කලිසමකින් හා කහ පාට සිල්ක් උඩුකය වැසුණු ඇඳුමකින් සැරසී සිටි ඇය ඉතාමත් පියකරුව පෙනුනි.
දෙදෙනෙකුට එදා ඒමට නොහැකි වුනු අතර රෝලන්ඩ් හා අප දෙදෙනා පමණක් හැකි ආකාරයෙන් ප්‍රශ්න කීපයකට විසඳුම් සොයා ගතිමු. දවල් වන විට නිවෙස් බලා යාමට සුදානම් වීමු. රෝලන්ඩ් ඔහුට උත්සවයකට යාමට ඇති බව කියා කලින්ම සමු ගත්තේය. අප දෙදෙනා පුරුදු පරිදි මයිලෙන්ඩ් උද්‍යානය අසල බුෆේ ක්‍රමයට ආහාර තිබු ඉන්දීය ආපන ශාලාවකින් දහවල ආහාරය ගතිමු.
ඉන් පසු අප කලේ උද්‍යානය තුලින් ගමන් කිරීමයි. උද්‍යානය අසල ග්‍රොව් මාවත අසලින් කෙලින්ම ගිය විට වික්ටෝරියා උද්‍යානය නමැති අක්කර 200 පමණ විශාල නැගෙනහිර ලන්ඩනයේ පිහිටි සුන්දර උද්‍යාන යටද පිවිසිය හැකිය. කොළඹ නගරයේ පිහිටි විහාර මහා දේවි උද්‍යානය යටත් විජිත සමයේ නම් කර තිබුනේ වික්ටෝරියා උද්‍යානය නමිනි. මෙය ඉංග්‍රීසින් විසින් නිම කරන ලද්දේ නැගෙනහිර ලන්ඩනයේ වික්ටෝරියා උද්‍යානය අනුව යයි මතයක් පවතී. කුඩා කල මව සහ සහෝදර සහෝදරියන් සමග "වික්ටෝරියා පාක් " එකට ගිය විට ලිස්සන ඔරුවේ පහළට රූටා ඒම, සීසෝ පැදීම, ගසක් උඩ සාදා තිබු ලී නිවස ට නැගීම අඩිය මගේ සෙල්ලම් අතර විය. ඒ මතකය නිසාදෝ ලන්ඩනයේ වික්ටෝරියා උද්‍යානයට මම පවුලත් සමග නිතර යාමට පුරුදුව සිටියෙමි.
වික්ටෝරිය උද්‍යානයට ඇතුළු වීමට ප්‍රසිද්ධ ගේට්ටු 19ක් එය වටේටම පිහිටා ඇත. සියාමාත් මමත් ක්‍රවුන් ගේට්ටුවෙන් ඇතුලට පිය මැන්නෙමු. එහි ඇති පැවිලියන් එකඅසල සුන්දර දිය පොකුණක් ඇත. සෙනසුරාදා නිසා පවුල් කිහිපයක්ද විය. අපි එහි සෙනග නැති පැත්තක බංකුවක වාඩිවී පොකුණ දෙස බලා සිටියෙමු. ඈතින් ඇසෙන ළමුන්ගේ හඬවල් කීපයක් ඇරෙන්නට වටපිටාවේ සන්සුන් සහ නිශ්චල ගතියක් තිබිණි.
එක්වරම, අසල ඇවිද ගෙන යන ආසියාතික රටක යයි කිව හැකි යුවලක ගේ කුඩා පුතාගේ බෝලයක් අප දෙසට පැමිණියේය. මම වහා නැගිට එය පොකුණට නොවැටෙන ලෙස කකුලින් රඳවා ගෙන ඔවුන් දෙසට නැවත යොමු කලෙමි. කුඩා කොලු පැටවා සුරතල් ලෙස මට ස්තූති කළේය. යුවළද අත් වනා මට ස්තුති කර අප පසු කල ගමන් කළහ.
මා නැවත බැංකුවේ ඉඳ ගත් විට සියාමා ගේ දෑස් කඳුලින් පිරි තිබෙනු දුටිමි.
"මට මල්ලි මතක් වුණා "
"මල්ලි ඉන්නේ නැන්දා ගාවද" මම ඇසුවෙමි.
"මම ඔයාට කිව්වේ නැහැනේ. ඔයා දේශන වලට යන එක නවත්වන්න මට ඕනේ වුනේ නැහැ. "
"එහෙම එකක් නැහැ. මං ඕන තරම් වෙලාවක් ඔයා ගාව ඉඳගෙන ඉන්නම් ඔයා කැමති නම්" මම කීවෙමි.
දැහනකට සම වැදුනාක් මෙන් මොහොතක් නිසලව සිටි ඈ කතාව පටන් ගත්තාය.
"එදා අක්ක ගේ අළු ගඟේ පා කරලා ආපු සතියම හරිම කාලකන්නි එකක්. මගේ මිලාඩ් උත්සවය ගන්න විධිහක් තිබ්බෙත් නැහැ. අම්මයි තාත්තයි මට දාගන්න සළුව විතරක් දුන්න. අක්කා නැතිව මට කිසි දෙයක ඕන කමක් තිබ්බේ නැහැ. තාත්ත වැඩට යන්නේ නැතුව තැන තැන ගියා. අක්ක මැරූ අයට දඬුවම් කරන්න සාක්කි හොය හොයා. හැමෝම සාක්කි දෙන්න බයයි. ජමත් - අල් ....පක්ෂය ඒ තරමට ඒ පැත්තේ බලවත්. ඩකා වලින් සිද්දිය දැනගෙන වාර්තා කරන්න ආපු වාර්තාකාරයෝ දෙන්නෙකුට හොඳටම ගහල ඔවුන් ආපු රථය ගිනි බත් කරලා තිබුන. ඉතින් මේක පුවත් පත්වල වාර්තා වුනාද කියලවත් අපි දන්නේ නැහැ. අම්මයි තාත්තයි කතා කල ඒවා විතරයි මම දන්නේ. "
මම නිහඬව සිටියෙමි. පොකුණේ ඈත සුදු හංසයෙක් දෙදෙනෙක් පාවී පාවී උන්හ.
"අම්ම කිව්වා මට ඉස්කෝලේ යන්න කියල. මට කොහෙත්ම යන්න ඕනේ වුනේ නැහැ. නමුත් මම ගියා. ඒක මහා වධයක්. කවුරුත් මාත් එක්ක කතා කලේ නැහැ. මගේ යාළුවොත් හොරෙන් කතා කලේ. තස්ලීම්, පාතිමා හෙම කවුරුත් නැති වෙලාවට ඉස්සර වගේ පුංචි රස කැවිලි හෙම මාත් එක්ක බෙදාගෙන කාල අත මිරිකලා යනවා. මම නිකන් වසංගතයක් වගේ. කොල්ලෝ හෙම අයින් වුනා මම එනකොට. උන්ගේ අම්මල කියල මම අවාසනාවන්තයි කියල. උන් කියන විධිහට මගේ අක්කට හැම දේම වෙලා තියෙන්නේ මගේ වැරැද්දෙන්."
"සමාවෙන්න මෙහෙම කියනවට. මම දන්න විධිහට සැබෑ ඉස්ලාම් දහමේ ඔය මිත්‍යා විශ්වාස නැහැ. දෙවියන් විශ්වාස කරන එක ඇරුනහම. හුඟක් ආගම්වල සර්වබලධාරී දෙවියන් හිටිය වුනත් හින්දු, චීන, සමහර කතෝලික අය නැකත් වගේ දේ විශ්වාස කරනවා. බෞද්ධ අය නොකළ යුතු වුනත් ලංකාවේ ඔවුන්ට තමා වැඩියෙන්ම මිථ්‍යා විශ්වාස තියෙන්නේ ඒ අයට. ඉස්ලාම් දහමේ ඕක නම් නැහැ." මම පැවසුවෙමි.
"ඒක ඇත්ත. නමුත් අපේ ගම්වල මිනිස්සු ඔය වගේ දේ හරියට විශ්වාස කරනවා. සුමාන එකහමාරකට පස්සෙත් අපේ ගෙදරට තිබ්බ පීඩනය අඩුවෙලා තිබුනේ නැහැ. එදා මම ඉස්කෝලේ ඉන්නකොට පාතිමා යි තව යාළුවෙකුයි දුවන් ආව. හුස්ම අල්ලමින් ඔවුන් කෑ ගැහුවා මට. ඉක්මනට යන්න මාකට් එක ගාව කැළේට ඔයාගේ තාත්ත ....... "
"අනේ මම දිව්වා හුස්ම අල්ලන්නේ නැතුව. මගේ අහිංසක තාත්තාව එල්ලලා තිබ්බ කකුල් දෙකෙන් ගහක.
තාත්තට අක්බල් හම්බ වෙලා මාකට් එකේදී. රණ්ඩුවක් ඇදිලා. තාත්තා අක්බල් ට කියලා පලිය ගන්නවා කියල. අක්බාල් ඔච්චම් කරලා අක්කා හිටිය විධිහක් ගැන කියල කුණුහරපයකින්. තාත්තා අක්බල්ට ළඟ තිබුන පිහියකින් දෙතුන් පාරක් ඇනල. අක්බාල් ළඟ හිටපු උන් තාත්තට හොඳටම ගහලා. මම යනකොටත් කකුල් දෙකෙන් එල්ලලා ගල් වලින් ගහනවා. මිනිස්සු වට වෙලා . මම තාත්ත ගාවට දිව්වා මගේ ඔලුවටත් ගල් වැදිලා මම වැටුන. කවුරු හරි මාව ඇදල ගත්ත. අරගෙන මිනිස්සුන්ගෙන් එලියට තල්ලු කලා. දන්නේ නෑ කවුද කියල. අපේ හිතවතෙක් වෙන්න ඇති. මම ඊට පස්සේ දිව්වා ගෙදර අම්මට කියන්න. "
සියාමා කතා කලේ හුස්මක් පවා නොගනිමින් එක දිගටය. මම ඇගේ සුරත් තරයේ අල්ලා ගතිමි.
දැන් ඇගේ නෙතින් කඳුළු කඩා හැලෙන්නට පටන් ගෙනය. මේ අවස්ථාව බලාපොරොත්තුවෙන් සිටියෙමි.
"එතකොටත් කවුද අපේ ගෙට ගිනි තියල හුඟක් දේ දැවිල ගිහින් ඉවරයි. මම කෑ ගහගෙන ඇතුලට දිව්වා පිළිස්සුනු ගේ කබලට . අම්මයි මල්ලියි......................"දිග හුස්මක් ගත් ඈ "අම්මයි මල්ලියි බාගෙට වගේ පිච්චිලා. දෙන්නම ජිවතුන් අතර නැහැ . මම අම්මා ගාවින් කෑ ගහගෙන ඇලවුනා. මටත් ඕන වුනේ මැරෙන්න. මම ළමයෙක්. මැරෙන්නේ කොහොමද කියලවත් මට අවබෝධයක් නැහැ." තව දුරටත් අසා සිටීමට නොහැකි තත්වයක මම සිටියෙමි. මේ සුන්දර පුංචි ගැහැනියකට දරා ගත හැකි දෙයක්ද යන්න මගේ සිතේ මතු වුන හැඟීම යයි සිතමි.
"මං පැය කියක් හිටියද මතක නැහැ. කවුරුත් කතා කරන්න ආවේ නැහැ. ආච්චි කොහෙද කියල නැහැ. එතකොට තමයි උන් ආවේ." මම කවුදැයි නොඇසීමි.
"උන් මගේ ඔළුවට කොට්ට උරයක් දාල ගැට ගැහුවා. අත්දෙකත් එක්ක කඹේකින් බැන්ද වගේ දැනුන. ඊට පස්සේ උස්සන් ගිහින් මොකක් හරි වාහනේකට දැම්ම."
සියාමා යටි ගිරියෙන් කිසියම් ශබ්දයක් පිට කලාය. ඇය හඬන බවත් හුස්ම ගැනීමට ඇයට අපහසු බවත් මට සිතිනි. මෙවැනි අවස්ථාවක පිටට ගැසූ විට හුස්ම ගැනීම පහසු වේ යයි කුඩා කළ මව විසින් උගන්නා තිබු පුරුද්දට මම ඇගේ පිටට තට්ටු කලෙමි. දැඩි වේදනාවකින් පෙළෙමින් සිටි ඈ මගේ අතකුත් අල්ලා ගෙනම හඬන්නට වූවාය. අ ...අ...අ... ආ වැනි ශබ්දයකින් යටි ගිරියෙන් සිහින් විලාපයක් වැනි හඬක්ද නිකුත් විනි. ඈත පික්නික් (විනෝද ගමන්) මේස වල සිටි පවුල් දෙක තුනක් කලබල වනු මම දුටිමි. ඔවුන් මම ඇයට හුස්ම ගැනීම පහසු වෙන්නට ඇගේ පිටට ගැසීම වරදවා වටහා ගන්නටද ඇත. එසේම එතනින් ඇවිද යන කීප දෙනෙකුද නැවතී බලා සිටියහ. කවුරුන් හෝ පොලිසියට කතා කර ඇත්දැයි මට සිතුනි. මා සිතුවා හරිය. ග්‍රොව් මාර්ගයේ නැවැත්වූ පොලිස් කාරයකින් කාන්තා නිලධාරිනියක හා පිරිමි නිලධරයෙකු අප දෙසට පියමනිනු දුටුවෙමි. එතෙක් සියාමා ගේ දෑතින් අල්ලාගෙන සිටි මා ඇගේ දෑත අත හැරීමට තැත් කලත් ඇය එයට ඉඩ නුදුන්නාය.
"පොලිසියෙන් එනවා. ඔයාගේ දෙමාපියන් මිය ගියේ අදයි කියල කියන්න " මම ඉක්මනින් පැවසුවෙමි.
පොලිස් නිලධරයා "ප්ලීස් ස්ටෙප් අසයිඩ් ෆ්‍රොම් ද ලේඩි සර් ". මහත්මයා කරුණාකර මහත්මියගෙන් ඉවතට යන්න කියා කිවේය. මම ඉවතට ගියෙමි. මා අසලට පැමිණි ඔහු "අපට පුරවැසියෙක් (member of public) ගෘහස්ථ හිංසනයක් පිලිබඳ ඇමතීමක් කර තිබෙනවා. ඔබට කියන්නට කිසිවක් තිබෙනවාද" කියා විමසීය.
ඇගේ නම සියාමා බවත් අප එක විශ්ව විද්‍යාලයේ ඉගෙන ගන්නා මිතුරන් බවත් ඔහුට කී මම සියාමා ගේ දෙමාපියන් මිය ගිය දිනය අද වන නිසා ඇය අපහසුතාවයකින් පෙලෙන බවත් දැනුම් දුන්නෙමි.
මේ අවස්ථාවේදී සියාමා සමග කතා කරමින් සිටි පොලිස් නිලධාරිනිය අතින් සන් කල නිලධාරියාට කතා කලාය. ඔවුන් දෙදෙනා සුළු වෙලාවක් එකිනෙකා සමග කතා කල පසු මටත් එතනට එන්නට කීහ. මද සිනහවකින් මා ඇමැතූ නිලධාරිනිය අවශ්‍ය නම් සියාමා ඔවුන්ගේ පොලිස් රථයෙන් ගෙදර ගෙන යා හැකි බවද දැන්වූවාය. මේ වනවිට සන්සුන්ව සිටි සියාමා එය අවශ්‍ය නැති බවත් අප දෙදෙනා එතනින් යන බවත් අවට පිරිසට කරදරයක් වීම ගැන සමාව අයදින බවත් කීවාය. ඔබට අවශ්‍ය දෙයක් කරන්න යයි කිවූ ඔවුන් මා දෙසට හැරී ඔබේ මිතුරිය හොඳින් බලා ගන්න යයි කියා ආචාර කර පිටත්ව ගියහ.
ඔවුන්ට කීවේ කුමක් දැයි මම ඇසුවෙමි. ඇගේ දෙමාපියන් මිය ගිය දිනය එදින බවත් ඇයට වේදනාව උසුලා ගත නොහැකි වුන බවත්, ඇගේ හොඳම මිතුරා වන මම ඇයට උදව්වට එතැන සිටි බවත් ඇය ඔවුන්ට පවසා තිබිණි. මා ඇගේ හොඳම මිතුරා වීම ගැන ඇයට ස්තූති කලෙමි.
එතන සිටි අය අප දෙස බලා සිටියදී අපි එතනින් හෙමිහිට ඉවත් වීමු.
වික්ටෝරියා උද්‍යානයේ ඇවිදීමට සාදා තිබෙන මංතීරු හැම පැත්තටම තිබේ. බොහෝ විට ව්‍යායාම කරන්නන් මෙහි දුවනු දැකිය හැකිය. අපි ඉන් එකක අනිත් පැත්තට ඇවිදගෙන ගියෙමු. අනිත් පැත්තේද කුඩා ජල පොකුණක් තිබේ. සියාමා ඇවිද්දේ කිසියම් අපහසුවකින් මෙනි. එතන ඇති විශාල ගස් සෙවනක් යටට ගිය අපි එහි වාඩි ගත්තෙමු. ඇගේ විඩාබර මුහුණේ ශෝකී ස්වභාවයත් හඬා වැටුණු නිසා ඉදිමුණු දෑස්නුත් දුටු මගේ හදවත කඩා වැටිණි. එතන හිඳගත් මම ඇයට ඉඳගන්නට සන් කලෙමි. මා අසලින් හිඳගත් ඇයගේ හිස මගේ උරහිසට තුරුළු කර ගත්තෙමි. මද වෙලාවකින් පුංචි දැරිවියක මෙන් උරහිසට හිස
තබාගෙන සිටි ඈ, නිදා සිටින බව මට පෙනිණි. මම සෙමින් ඇය ගේ හිස දෝතට ගෙන නිදා ගැනීමට ඉඩ හලෙමි. පෙම්වතියක නොව දියණියක හෝ බාල සොයුරියක් ආරක්ෂාව සොයාගෙන මා තුරුලේ සිටින්නාක් වැනි අමුතු හැඟීමකින් මගේ සිත පිරි තිබුණි.
හෙමින් සීරුවේ මල්ලෙන් පොතක් රැගෙන කියවන්නට පටන් ගතිමි.
බොහෝ වෙලාවක් නිදා සිටි ඈ නැගිට්ටාය.
"අනේ ඔයා මාත් එක්කම හිටියද?"
"මම ඔයත් එක්කනේ මෙතනට ආවේ " හදිසියේ නින්දෙන් නැගිටි නිසා ඇය මෙසේ කියන්නට ඇතැයි සිතුවෙමි. ඇය නිවසේදී මතකයන් අතරේ ගිලි හරි හැටි නින්දක නොලබනවා විය හැක.
"අපි යමු " ඇය කීවාය.
"මම ගෙදරටම ඇරලවන්නද "
"නැහැ එපා "
ඇය බසයට නගින තෙක් සිටි මම නිවස බලා ගියෙමි.
ඉන්පසු අප හමුවූ දිනවල ඇගේ අතීතය ගැන කිසිම විධිහකින් සඳහන් කිරීමට පැකිලුනෙමි. අනවශ්‍ය හිත පෑරීම් වලින් ඇය මානසිකව අසනීප වේ යයි මට සිතුනි. නමුත් ඇගේ දෙමාපියන් හදිසි අනතුරකින් නැතිවී
ඇති බව කැරන්ට හා රෝලන්ඩ් ට පැවසුවෙමි. ඔවුන් අනිත් සිසුන්ටද එය පවසා ඇති බව මට තේරුනේ ඔවුන් බොහෝ විට සියාමා ට කතා කිරීමටත් ඇගේ වැඩ ගැන සෙවීමටත් ප්‍රශ්න උත්තර පත්‍ර බෙදා ගැනීමටත් පෙළඹීම තුලිනි. එසේම ඇන්ඩ්රු වැනි අය ඉඳහිට බෝඩ් ලෑල්ල අසලට ගොස් විහිළු කතා කියා පන්තිය හිනැස්සීමට පටන් ගති. ඔවුන් එය කරන්නේ ඇය වෙනුවෙන් බව මම දැන සිටියෙමි. සියාමා ද එවැනි අවස්ථාවල හඬ නගමින් සිනා සි ප්‍රීති වුවාය.
නමුත් ඇයගේ ජීවිතය ගැන මා සමග කතා කිරීමට අප දෙදෙනා තනිව ගමන් කරන සැම විටම ඇය උත්සාහ ගත් බව මට දැනුනි. අන්තිමේදී එයට ඉඩ දෙන්නට තීරණය කලෙමි.
(මෙය ප්‍රබන්ධයකි. නම් ගම් සියල්ල මනඃකල්පිතය.)
සිත් පරවන සිද්ධියක්...රසවත් ලෙස ගැලප ඉදිරිපත් කිරීම ගැන සතුටුයි...හිතගන්න පුළුවන් බංග්ලා දේශයේ මුස්ලිම් අන්තවාදීන් ගේ කෙරුවාව..කෙතරම් අමානුශෝකද කියා..මම ඔබෙන් ඉල්ලීමක් කරනවා......ඔය ඉස්ලාම් ඉගැන්වීම් අනුව මෙවන් කුරිරු දේවල් මුස්ලිම් ය කරනවා..කියා මතයක් තියෙනවා.....මුස්ලිම් අසල්වැසියන්ගෙන් අහන කොට කියනවා එහෙම නැහැ කියා..නමුත් මුස්ලිම් ලෝකය පුරාම පමණක් නොව මුස්ලිම් ජනතාව පදිංචි බටහිර රටවල් වල පවා.අන්තවාදී ප්‍රවනතාවයක් පේනවා....මෙමෙ විෂබීජය ගැන ලීවොත් නරකද....
ReplyDeleteඕනෑම අන්තවාදී ප්‍රවනතාවයක් මතවාදීව පරාජය කල යුතුයි.
ReplyDeleteකොටස් ටික ඔක්කොම දැම්මම ආයිම එක දිගට කියවන්න ඕනි. ඔයා හරි අපරාදයක් ලොක්ක කරේ මේ වගේ කලින් ලියන්නේ නැතුව..
ReplyDeleteහැම දේටම ඒකට අදාළ වෙලාවක් තිබෙනවා නේ . //ඔයා හරි අපරාදයක් ලොක්ක කරේ මේ වගේ කලින් ලියන්නේ නැතුව..//අගය කිරීමක් කලේ කියල හිතනවා කල්‍යාණ මිත්‍ර. .
Delete:)
Deleteහෙවනැල්ල වගේ යන එන තැන
ReplyDeleteඑන්න මගේ...
පිසලන්න මගේ තනි නොතනිය
හෙවන වගේ...
නේක ජාති සංසාරේ......
නේක ජාති සංසාරේ...
ගරා වැටුණු නගර කොනේ
හඬා වැටුණු මට නුඹගේ....//
සිනා පොදින් දැනුණු සුවේ
ජාති ජාති සංසාරේ......
ජාති ජාති සංසාරේ...
හිතේ ඉඩට පාර බැඳන්
කුමක් කරම් කොටු වුණු මං....//
හමුවෙන්නැයි පතනු මිසක
ජාති ජාති සංසාරේ...
ජාති ජාති සංසාරේ......
පද රචනය : ප්‍රේමකීර්ති ද අල්විස්
තනුව සංගීතය සහ ගායනය : වික්ටර් රත්නායක
මම අහල නැති සින්දුවක් සින්දු විශ්වකෝෂයෙන්. :)
Deleteආදරයට සීමා මායිම් නෑ නේද? මේක ප්‍රබන්ධයක් නෙවෙයි කියලා දැන් ඔප්පු වෙනවා
ReplyDeleteකොහොමද?
Deleteහිතාගන්නවත් බැරිතරම් සංවේදීයි. දෙවන කොටසින් පසු යූටියුබ් වීඩියෝව දැක්කාම මම හිතුවේ කතාව එතැනින් ඉවරයි, කතාව මේ වීඩියෝවට පූර්විකාවක් වෙන්න ඇති කියලා. බලාගෙන ගියාම ඒ වන කොට කතාව පටන් අරගෙනත් නෑ. සියමාගේ කතාව අවසන් වුණත් අවාසනාවකට සියාමාලාගේ කතා සම්පූර්ණයෙන් අවසන් වන වටාපිටාවක් හැදෙනතුරු තව කලක් බලා ඉන්න වෙයි වගේ.
ReplyDeleteතව කොටස් 3 කින් ඉවර කරන්න හිතන් ඉන්නේ. වැඩ වැඩියි.
Delete2,3,4 එක දිගටම කියෙවුවා.එහෙම කියවන කොට මගඇරුන එක හොදයි කියලත් හිතුනා.ඒ නිසානේ එක හුස්මට ඔක්කොම කියවන්න පුළුවන්වුනේ.
ReplyDeleteඅර අනිත් කොටස්වල තිබුන කමෙන්ට් වල තිබුනා වගේ අපේ රටේනම් මේ විදිහට නෑ කියලා හිත සනසගන්නනම් මට බෑ.සාපේක්ශ වශයෙන්නම් නෑ.ඒත් සම්පූර්ණයෙන් නෙමෙයි.මම බක්කරේ කෙනෙක් වෙන්න ඉගනගන්න අවදියේ අපේ පංතියේ හිටපු එකම ගෑණුළමයා මුස්ලිම් තරුණියෙක්.ගෝනි බිල්ලා ඇදුම ඇදගන පංතියට ආපු ඇය අවසාන මාස කීපයේ මගේ හොඳම යාලුවෙක් වුනා.ඉතාමත් ධනවත් රටම දන්නා හෝටල් ජාලයක හිමිකාරීත්වය හිමි පවුලක සාමාජිකාවක් වුන ඇය මාත් සමග පැවසූ සමහර දේවල් අනූව ඇගේ මව සහ ඇය ගෙවන ජීවිතයත් මේ තරම් නොවුනත් මාහට අදහගන්න බැරිතරම් අස්වාභාවිකයි,ආගමික අන්තවාදය නිසාම.ඒවගේ පවුල් අපේ රටෙත් ඇති ඕන තරම්.ඒත් අපේ රටේ ඒවා කතාකරන්න තරම් මුස්ලිම් සාහිත්‍යක් කොහේද තියෙන්නේ?
අර ඉංග්‍රීසි ගැට ගගහ කියවන කාලේ නෝර්මා කූරී කියලා ජෝර්දාන් කතුවරියකගේ "ෆෝර්බිඩ්න් ලවු" කියලා පොතක් කියවලා ඇතිවුන හැඟීම මට තාම මතකයි.ඒ ඇතිවුන හැඟීමට වඩා 10 ගුණයක හැඟීමක් මේක කියවලා ඇතුවුනා.
ඔබතුමා මෙච්චර කල් මොන මගුලක්ද කලේ......?
ජීවිතය අත් වින්ද.
Deleteස්තූතියි කියන්න අමතක වුණා . ස්තූතියි කටුස්සා.//ඒ ඇතිවුන හැඟීමට වඩා 10 ගුණයක හැඟීමක් මේක කියවලා ඇතුවුනා.// :)
Deleteමේක ප්‍රබන්ධයක්නම් සතුටුයි එක්කෙනෙක් හරි මේ ව්‍යසනයෙන් බේරිලානෙ කියලා.
ReplyDeleteපස්සේ උත්තරයක් දෙන්නම්.
Deleteහැබෑටම මේවා තමා ප්‍රබන්ධ කියන්නේ.. සාර්ථකයි ලොක්කා.. සියාමා ගැන ලොකු ආඩම්බරයක් ඇති උනා..
ReplyDeleteඉතිරි කොටස් දෙකෙන් පස්සේ ඔබ මොනවා කියයිද කියල කල්පනා කලේ.
Deleteමේක ප්‍රබන්ධයක්ය කීවට මට නම් එහෙම දැනෙන්නෙ නෑ. මොකද කතාව ගලා යාම යථාවට සාපේක්ෂවම සමානයි
ReplyDeleteමොනා වුණත් එකක් ක්‍රියාවකට පසු ඇතිවන ප්‍රතික්‍රියාව ක් ඇති හනද වැරදි කරපු අයට කොයිම විදියකින් හරි දඩුවම් ලැබෙන එක නම් සහතිකයි.
ඉතුරු ටිකත් කියවන්න බලං ඉන්නෙ
කර්මය කියන දේවල් එහෙමං වෙනවා හරි කියල කොහ එහරි දැකලා තියෙනවද?
Delete//ක්‍රියාවකට පසු ඇතිවන ප්‍රතික්‍රියාව ක්// - වෙන්නේ භෞතික විද්‍යාවේ විතරයි. එක සමාජයේ වෙන්න නම් ඒකට උත්ප්‍රේරකයක් ඕනේ.
එල ද බ්‍රා
ReplyDelete