Friday, 17 July 2015

සියාමා 9 - හෝර්ස් චෙස්ට්නට් ගස යට කොන්කර්ස් එකතු කරමු

පළමුවන කොටස.
දෙවන කොටස 
තුන්වන කොටස 
සිව්වන කොටස 
පස්වන කොටස 
සයවන කොටස
සත්වන කොටස 
අටවන කොටස

ෆුලැම් වලට උමං දුම්රියෙන් ගිය අප දෙදෙනා රෝයල් මාර්ස්ඩන් රෝහලට පිය නැගුවෙමු. ඇය ඇගේ රැකියාවෙන් ලබාදෙන පුද්ගලික රක්ෂණය භාවිතා කරන නිසා තමන්ගේ ම පෞද්ගලික කාමරයක සිටින බව ඇනා කීවාය. පෞද්ගලික වාට්ටුව පිහිටි ගර්නාර්ඩ් නිවස වෙතට ගිය අපි දෙවන තට්ටුවේ කෙළවර කාමරයට ගියෙමු. දොරට තට්ටු කළ ඇනා ඇතුලට පිවිසියාය.

සියාමා "හාහ් " කියා සුසුමක් පිට කරමින් දුබල හඬින්  "හලෝ ඇනා " කීවාය.
මම ඇනා පිටුපසින් කාමරයට ඇතුළු වීමි. ඈ මදෙස බලා  සිටි ආකාරයෙන් මට සිතුනේ අප ඇයට දන්වා ආවා නම් හොඳ බවය.

කුඩා සුරු බුහුටි තරුණියක වූ සියාමා ඉතාමත් කෙට්ටු වී තිබුණි. රෝහල් ඇඳුමට ඇය තවත් සිහින් ලෙස පෙනුනි. ඇගේ මනරම් කේශ කලාපය තනිකරම බූගා තිබුණි. දීප්තිමත් දෙඇස් යට ගිලී තිබු ඒ මුහුණ දුටු මගේ හදවත කඩා හැලිනි.
"කොච්චර වුනත් ඔයා ආපහු මට හම්බ වෙයි කියල මට හිතුන. " ඇය ඉතා සෙමින් මිමිණුවාය. ඇය හඬන්නට ලංව ඇති සෙයක් මට පෙනුණි. මම වහා ඇගේ ලඟට ගොස් ඇඳේ පැත්තකින් ඉඳගෙන අගේ අතක් අල්ලා ගතිමි. ඒවා ඉතා සිහින්ව පෙනුනි.
"අඬන්න නම් එපා සියාමා. එක සැරයක් මතකද පොලිසියත් ආවා." සියාමා මගේ පැත්තට බර වූවාය.

ඔයා එදා ගියාට පස්සේ ආයි මට කතා කලේම නැහැ. ඔය අසනීපෙන් රෝහලේ විත්තිය වත් මම දන්නේ නැහැ.  " මම කීවෙමි.
"මම හිතුවේ නැහැ ආයි ඔයාව හමු වෙන්න. අසනීපෙ ගැන ඔයාට කියල කරදර කරන්න හරි ඕනේ නැහැ කියල හිතුන. ඔයා මාව බලන්න එයි එතකොට. ඔයාට තීසිස් එක කරන්නත් තියනවා. "
"ඒත් මම හිතෙන් කොච්චර කරදර වුනාද ඔයාට මොකද වුනේ කියල. ඉතින් පවුලත් එක්ක හරි මම එනවනේ. "

"තව කාටවත් මම වෙනුවෙන් කරදර කරන්න මට ඕනේ නැහැ. කොහොමත් මට ජිවත් වෙන්න ඕනත් නැහැ." එවර නම් ඇය ඉකි ගැසුවාය. කඳුළු වියලුනු  මුහුණ දණහිස් අතර රුවා ගත් ඇගේ ඉකි ගැසීම පමණක් දෑසට හමුවුණි.  මම ඇගේ උරහිස වටා අත යවා මදක් උරහිසට ලං කර ගත්තෙමි. ඇනා අනිත් පසින් වාඩිවී අප දෙදෙනාම හසුවන පරිද්දෙන් ඇගේ දෑත අප වටා යවා තද කරමින් වැළඳ ගත්තාය.

"සියාමා ඔයා සනීප වෙනවා. මට හොඳටම සහතිකයි." ඇනා මිමිණුවාය.

අප දෙදෙනාව මදක් ඈත් කළ සියාමා ජනෙල් කණ්ඩිය  වෙතට අත දිගු කළාය.  එහි කොන්කර්ස් ගෙඩි දැමූ  කුඩා පියකරු  පෙට්ටියක්  තිබිණි. හෝර්ස් චෙස්ට්නට් නමැති ගසේ පළතුර ආහාර  වලට නොගනී. බැද කෑ හැක්කේ අනිත් ප්‍රණීත චෙස්ට්නට් ගසේ පළතුරයි. කුඩා ළමයි මෙන්ම වැඩිහිටියෝද මේ කොන්කර්ස් එකතු කර සෙල්ලම් කරති. වෙනම ක්‍රීඩාවක් ද එනමින් තිබේ. මෙය බොහෝ විට ලංකාවේ කැකුණ ගස් වල කැකුණ ගෙඩි මෙනි. කැකුණ ගෙඩි එකතු කර මමද ක්‍රීඩා කර තිබේ.

"ඔයාට මතකද එදා පොලිසිය ආපු දවසේ අපි උද්‍යානයේ වෙන තැනක ඉඳ ගත්ත. මම නිදා ගත්තේ ඔයා ගාව. මට හරි සැනසීමක් දැනුන එදා. එතන හෝර්ස් චෙස්ට්නට් ගහක් තියනවා. මම ගෙඩි දෙකක් දාගත්ත බෑග් එකට අපි දෙන්න මතක් වෙන්න. මම ඊට පස්සෙත් ආපහු  ගියා. එතැන ඉඳ ගෙන ඉන්න තනියම. හරි සැනසීමක් දැනුන එතකොට. මම තව ඒවා අහුලාගෙන ආවා. අපි හැමෝටම. "

මම ඇයට චෙස්ට්නට් පෙට්ටිය දුනිමි. ඇය ඉන් දෙකක් මට දුන්නාය.
"එයාටයි ඔයාටයි. " ඇය එය කී ආකාරයට තේරුනේ ඇය සතු මුළු වස්තුව බෙදන්නාක්  මෙනි. එකක් ඇනාට  දුන් ඇය තව දෙකක් තබා ගත්තාය.
"මටයි නැන්දටයි". තව දුරටත් එය උහුලා ගත නොහැකි වූ ඇනා මදක් හැඬුවාය.
"ඔය ගොල්ල අඬන  එකමයි වැඩේ. පොඩ්ඩක් හිනා වෙන්නකෝ. " මම කීවෙමි.
"අපි ගැහැණු නේ ප්‍රියාන්. ටිකක් ඇත්තන් කඳුළු එනවා. " ඇනා මදක් සිනා සුනාය.

අපි චෙස්ට්නට් ගෙඩි අතර රැඳෙද්දී සියාමා කාටදෝ කතා කරගෙන ගියාය.

"මම ඔයාට කිව්වනේ. ඔයා  මට බැන්නා බැඳපු මිනිස්සු පස්සේ යනවා කියල. දැන් දැක්කනේ. දැන් මොකද කියන්නේ"
ඇය  සැරෙන් කතා කරන්නේ කාට  දැයි මම හැරී  බැලුවෙමි.
මැදිවියේ තරමක් ආසියානු  සම්භවයක්  සහිත කාන්තාවක් මුව ආයා  දොර අසල බලා සිටින්නීය. ඇය සම්ප්‍රදායික සල්වාර් කමීස් ඇඳුමෙන් සැරසී හිස එහිම වේලයෙන් වසා ගෙන සිටියාය. ඇය සියාමා ගේ නැන්දණිය බව වටහා ගතිමි.
"මේ පරියාන්" ඇනා මාව හඳුන්වා දුන්නාය. සියාමාට බකස් ගා  හිනා ගියේය.
"ප්‍රියාන්" ඇය කීවාය.
හෙමින් ඇවිදගෙන ආ නැන්දණිය මගේ අතක් බදා ගත්තාය. ඇය වැළඳ ගෙන හලෝ කීමට සිතුනත් ඒ අදහස් අත්හැරිය   මම "හලෝ මම ප්‍රියාන් , බොහොම සතුටුයි හඳුනා ගන්න ලැබුනට" කීවෙමි.
"මගේ සහෝදරයා වගේමයි."  මගේ මුහුණ අත ගාමින්  නැන්දනිය පැවසුවාය. ඇගේ ඇසින්ද කඳුලක් වැටෙනු දුටුවෙමි.


********************************************
සුවපත් වූ සියාමා යුරෝපීය  රටක යලිත්  සිය  නම වෙනස් කරගෙන පදින්චියට ගියාය. ඇයට ඇත්තේ බොරු කොණ්ඩයකි. විටින් විට එහි පැහැයද වෙනස් කළාය. අක්බාල් ගේ අන්තවාදී නෑදෑයන් ලන්ඩනයේද සිටිති.

***********************************************
ඇනාගේ බ්‍රසල්ස් නුවර ආසන්නයේ නිවසට වරක් ගිය විටදී ඇගේ  දෙමාපියන්ගේ බාබෙකිව් සාදයකට සහභාගී වන්නට සිදු වුනි. එකම ප්‍රශ්නය වුයේ ඔවුන් උපන් ඇඳුමෙන් සිටීමත් මම පිහිනීමට අඳින ඇඳුමෙන් සිටීමට දැරූ තදබල උත්සාහයත්ය. අවසානයේදී ඔවුන් මට කරදර කිරීම අත්  හැර පලහන ලද මස් කමින් බීර බොමින් විනෝද  වූහ.
"කෝ ඔයාට කිසි සතුටක් නැහැනේ ඔහොම ඉඳල. ඕක ගලවල වතුරට පනින්න " මා අසලට පැමිණි ඇනා කීවාය .
"මොකද නැත්තේ මම මගේ ඇස්  දෙකින් හොඳට විනෝද වෙනවා. මෙහෙම අවස්ථාවක් ආයි  කවද ලැබෙන්නද ?".
 අසල සිටි සුරූපිනියන්  පෙන්වමින් මම කීවෙමි. " මගේ ඔළුවට පහරක් සෙමින් ගැසූ ඈ  සිනාසී ගෙන ඉවත ගියාය. සියාමා  ඒ උත්සවයට සහභාගී වීම එක හෙළා  ප්‍රතික්ෂේප කල නිසා ඇය  සිටියේ නැත.

***********************************************************
මට තවත් සහෝදරියක හමුවී තිබේ. සියාමාගේ නැන්දා බ... දේශයේ ඉතා රසවත් ආහාර  අපට හඳුන්වා  දුන්නාය. ඔවුන් වඩා  ආහාරයට ගන්නේ මාළු  බව ඇය අපට පහදා  දුන්නාය.  බෝඅල්, මිර්කා, කටෝල්, තිලාපියා  ආදී නොයෙක් නමින් හඳුන්වන මිරිදිය හා මුහුදු මාළු  ඉතා ප්‍රණීත  ලෙස සකස් කර  මාසයකට දෙකකට වතාවක් අපට ආහාර  වේලක් පිළිගැන්වීම ඇගේ  සිරිතය. ප්‍රශ්නයකට ඇත්තේ ඇය  ඉඳහිට මගේ මුහුණ අත  ගෑමත්, සියාමා  හා ඇය අතර සහෝදරයා කවුද යන්නට වාදයක්  ඇති වීමත්ය.
********************************************

සියාමා මාගල් වැනි ඊමේල ලියමින් ඇය  කියවන පොත් ගැන විස්තර ලිව්වාය. ඇයට දියණියක් අරන් හදා ගැනීමට සිතෙන බව දන්වා  එව්වාය. ඇයට  දරුවන් වැදීමට නොහැකිය. ඉතා තරුණ වියේ ඇය බඳුන් වුනු දරුණු හිංසනයත්, පිලිකාවත් නිසා විය හැක.
මට පොතක් ගන්න ගියත්, කෝපි එකක් බොන්න ගියත්, ඇඳුමක් ගන්න ගියත් ඔයාගෙන් කතා කරලා අහන්න හිතනවා.  ඔයා  මොනවා කියයිද දැන්  කියල. ඇය විටෙක ලීවාය.
වැසිකිලි යන වෙලාවට ඇරෙන්න අනිත් වෙලාවට අහන්න. දුරකතනයේ හිටියොත් කියන්නම්.  මම ලියා  යැව්වෙමි. බොරු තරහක් පෙන්වමින් කට කැඩිච්ච කතා කියන මට නැවත ඊමේල් නොලියන බව කියමින් තර්ජනය කරන සියාමා ඉන්පසු  සතියේ නැවතත් මාගලක පමණ ලිපියක් ලිව්වාය .
මට ලංකාවට යන්න හරි ආසයි. මේ ලඟදී රූපවාහිනියේ වැඩ සටහනක් ගියා. හරි ලස්සනයි. ඔයත් එක්ක යන්න විධිහක් නැහැනේ.

අපිත් එක්ක යමු. මම ලියා යැවීමි.

************************
ගංගාවක් ගලන්නේ හැල හැප්පීම් මධ්‍යයේය. ගංගාවක් ජීවිතය වැනි යයි කවුදෝ කොහේදෝ ලියා තිබිණි. ඔබට හැකිනම් කැමති තොටුපලකින් මගදී බැසිය හැකිය. නැතිනම් ගමනාන්තය දක්වා හැල හැප්පීම් මධ්‍යයේ වුවද ගිය හැකිය.  මහා සයුරට එකතුවුණු පසු අනිත් සෑම  ගංගාවන් සමගම ගිමන් නිවිය හැකිය.

ඇයට ජීවිතය වෙහෙසකර බව සියාමා ලියා එව්වාය. මම ඇයට ගංගාව ගැන ලියා යැවීමි.

ගණිතය අංශයෙන් ලද උසස් සමාර්ථය නිසා ලැබුණු රැකියාවක් වන ඉතා ප්‍රසිද්ධ බැංකුවක මුල්‍ය විශ්ලේෂකවරියක ලෙස රැකියාව කල සියාමා ට මුදලින් අග හිඟයක්  නොතිබිණි.



සියාමා ගේ ලිපි නැවතිණි.


"ගේ වහලා දාල කොහේදෝ ගිහිල්ල. මට කිව්වෙත් නැහැ. " ඇනා ලියා එව්වාය.

මම නැන්දණිය හමුවීමට ගියෙමි. ඇය හැඬු කඳුලිනි.
"මට මුකුත් කියන්නේ නැහැ. ඔයාගෙන් තමා ඔක්කොම අහලා කරන්නේ. ඒත් ඔයා එපයි කියන බයට ඔයාටත් ලියන්නේ නැතුව ගිහින්. කොහේ යන්නද. මං විතරනේ එයාට ඉන්නේ." මම ඇය අස්වසා පිටත්ව ආවෙමි.

ප්‍රියා සුර්යසේනගේ මා කැමතිම ගීයක මෙසේ ලියවෙයි.


.........................මොහොතින් ඇඳී ..සැනෙකින් මැකී ...ඉඳු දුන්න සේ ඈ ගියා .................
ඔබ කැමති අවසානයක් තෝරා  ගන්න.
+++++++++++++++++++++++++++++++++++++++++++++++++
අවසානය 1 :සියාමා ගේ ලිපි නැවතිණි.


"ගේ වහලා දාල කොහේදෝ ගිහිල්ල. මට කිව්වෙත් නැහැ. " ඇනා ලියා එව්වාය.

මම නැන්දණිය හමුවීමට ගියෙමි. ඇය හැඬු කඳුලිනි.
"මට මුකුත් කියන්නේ නැහැ. ඔයාගෙන් තමා ඔක්කොම අහලා කරන්නේ. ඒත් ඔයා එපයි කියන බයට ඔයාටත් ලියන්නේ නැතුව ගිහින්. කොහේ යන්නද. මං විතරනේ එයාට ඉන්නේ." මම ඇය අස්වසා පිටත්ව ආවෙමි.

ප්‍රියා සුර්යසේනගේ මා කැමතිම ගීයක මෙසේ ලියවෙයි.


.........................මොහොතින් ඇඳී ..සැනෙකින් මැකී ...ඉඳු දුන්න සේ ඈ ගියා .................

*****************************************

මගේ මිතුරකු විසින් සංවිධානය කරන අන්තර් ජාලය  සඳහා වන  සම්මාන උළෙලක් සඳහා සහභාගී වීමට මම ශ්‍රී ලංකාව බලා පිටත්ව ගියෙමි.

බණ්ඩාරනායක ජාත්‍යන්තර  ගුවන් තොටුපලේ ආගමන විගමන අංශයට යාමට ඇති දීර්ඝ කොරිඩෝවේ ගමන් කරමින් සිටියෙමි. පිටත්ව යන මගින් ගේ පැත්තේ සිහින් රුවක් ඇති කොණ්ඩය කොටට කැපූ මට දැක පුරුදු යයි කිව හැකි සුරු බුහුටි  කන්තාවක් මා  එන දෙසට ගමන් කරමින් සිටියාය. ඇගේ මුහුණේ සුවඳ විලවුන් සහ පාට බොහොමයක් තිබුණි.

මදක් දුර ආ ඇය එක් වරම වමට හැරුණාය. ඒ හැරීමද හුරු පුරුදුය.

ඇය ගුවන් හමුදා භටයන් හා ආරක්ෂක අංශය භාණ්ඩ පරික්ෂා කරන තැන පෝලිමේ මොහොතක් රැඳී සිටියාය.

මම දොරටුව උඩ බැලීමි.

ශ්‍රී ලන්කන් ගුවන් ගමන් අංක 2951 සියා INTL බංග්ලාදේශ් (DAC).

ඩැකා හි  සියා ජාත්‍යන්තර ගුවන් තොටුපල ගමනාන්තය සේ දැක්වෙන ශ්‍රී ලන්කන් ගුවන් යානයට මගීන් භාර ගනී.

මම හිටි තැනම ගල් වුනෙමි.

ඇය දෙස කවුරුන්දෝ බලන බව හැඟුණු ඇය මදක් හැරී  බැලුවාය.

හුරු පුරුදු ඒ දීප්තිමත් නෙත් සඟල පැහැදිලිව දුටුවෙමි.

පරික්ෂාව අවසානයේ ඇය වමට හැරී නැවතීමේ ශාලාව වෙත ගමන් කාලය. නෙත් කොනින් මා දෙස බැලූ බව මට විශ්වාසය.
- ඉවරයි.
*****************************************************************
ඔබට අවශ්‍ය නම් ඉහත අවසානයෙන් සැනහී  නිදා ගත හැකිය. නැතිනම් මෙය කියවිය හැකිය. (ඉංග්‍රීසියෙන් ලියු කොටසේ අවසානය)
අවසානය 2:

සියාමා ගේ ලිපි නැවතිණි.

 පිළිකාව නැවත ඇය කරා  හඹා ආවේය .

ලා  රත් පැහැ ගත් අහසේ දේදුන්නක් පායා තිබුණි සැන්දාවක සියාමා අප අතහැර ගියාය. දෙමාපියන් සොයුරිය හා සොයුරා  නැවත හමු වීමේ සතුටට දෝ ඒ ශෝකී මුහුණේ සුන්දර මදහසක් ගැබ්ව තිබිණි.

අළු බඳුන ගත් දා අපි ඇගේ ගෙවත්තේ සිටියෙමු. සඳ නැති තරු පිරි  අහස ශෝකී ස්වභාවයක් සැඟව ගත්තේය.

"අපි දිව්‍යලෝකයක් ගැන විශ්වාස කලා නම් සියාමා අර උඩ අහසේ දිව්‍ය  ලෝකේ ඉන්නව කියල කියන්න  තිබුන. . නැත්නම් අර ඈත පෙනෙන තරුවක් කියල හිතන්න තිබුන " ඇනා මතුලාය. ඇගේ ඇසේ කඳුලක් දිලිසෙනු මඳ ආලෝකයට මම දුටිමි.

"නැවත  ඉපදීමක් විශ්වාස කරනවා නම් අර කුරුල්ලා හරි කිරිල්ලිය හරි වෙලා ඉපදිල කියලත් හිතුව හැකි. " මම ගසක කුරුළු යුවලක් පෙන්වමින් කීවෙමි.

"එයා  අපේ හිත්  වල තරුවක් වගේ".
 මම නැවතත් කීවෙමි.
ඇනා මගේ අතක් තදකර අල්ලා ගත්තාය. ඒ මොහොතේ අප දෙදෙනාම සිතමින් සිටියේ එක අයෙක් ගැන පමණි. විශ්වයම නිසල වුනු ඒ රාත්‍රියේ අප දෙදෙනා නිහඬව තරු පිරුණු අහස දෙස බලා  සිටියෙමු.


- අවසානය.



Rodrigo Vieria - ටර්කොව්ස්කි 
 මා  සමග මෙතෙක් දවස් සියාමා ගේ කතාව  කියවූ ඔබ සැමට ස්තුතියි.


31 comments:

  1. පිස්සු හැදෙයි. අන්තිමට වාර්තා චිත්තරපටියක් කර නේ මේකා..

    ලෝභ කං අතෑරපං අයියා. ඒක දුකක්...

    ReplyDelete
    Replies
    1. අවසානය මගෙන් උදුරා ගන්නා ලදී.

      Delete
    2. ඇයට අවශ්‍ය වූයේ ජීවිතය හැර යාමටය. ඇගේ මිතුරන්ට අවශ්‍ය ඇය අමරණිය කිරීමටය. අහිංසක මා කුමක් කරන්නද ?

      Delete
    3. දේශකයා සමහර විට හිතන් හිටිය අවසානය වෙනත් දෙයක් වෙන්න ඇති. මෙය තවත් අඳුරු ශෝකාන්තයකින් කෙළවර කරීමට ලියා තිබුනේ. නමුත් මගේ බිරිඳත් දියණියන් දෙදෙනාත් කතාව පුරා විමසිල්ලෙන් හිටියේ සිංහල නොතේරුණත්. පොඩි දුව ශෝකන්තයෙන් ඉවර කිරීමට කැමති වුනත් ලොකු දුවත් බිරිඳත් ශෝකාන්තයෙන් ඉවර වෙනවට කැමති නැහැ. සියාමා ජිවිතයෙන් පරදිනවට ඔවුන් කැමති නැහැ. ඔවුන්ට එය දරා ගන්න බැහැ. අන්තිමේදී අද උදේ අවසානය වෙනස් වුනා. ලොකු වාදයකින් පස්සේ.

      Delete
    4. මම හිතුවේ සියාම ශෝකාන්තයක්ම කියලයි...

      Delete
    5. ඔබ හරි. ලිපි නැවතුනේ ඇයි කියල හිතා ගත්ත හැකිනේ.

      Delete
    6. දේශකයා කැමති අවසානයක් තෝර ගන්න.

      Delete
    7. ඔයැයිත් ෙවඩ්ඩ වෙග් ෙවලා ෙනව..

      Delete
    8. මං කැමතියි අවසානයට..

      Delete
    9. වෙඩ්ඩා කියන්නේ සිරා පොරක්නේ. පිස්සු පීකුදු.

      Delete
    10. මොන අවසානයටද?

      Delete
  2. ඒ කියන්නෙ සියාමා ලංකාවට ඇවිත්ද? දැන් ඉතිං හොයාගන්න ලේසිනෙ.

    ReplyDelete
    Replies
    1. මට පේන්නේ ගිහිල්ල වගේ.

      Delete
  3. ඔය විදිහට ඉවර කරපු එක හොඳයි. ශෝකාන්තයකින් ඉවර කරනවට වඩා බැලන්ස්. ඊළඟට නැන්දගේ කතාවද? සමහර විට ඇනාට වුනත් ඇති කියන්ඩ කතාවක්...

    ReplyDelete
    Replies
    1. ඇනාගේ කතාව තව මාසෙකින් විතර පටන් ගන්නව. ආසියානු පසු ගැමි සමාජය හදුනා තරුණියක් මුහුණ දෙන කටුක යථාර්තයට එරෙහිව යුරෝපයේ නිදහසේ වැඩෙන කෙල්ලෙකුගේ කතාව.

      Delete
  4. කෝක වුණත් ඇත්තටම සියාම ට වුණේ මොකද්ද කියල ලියනව හොදයි
    මේක දරුණු තගක් ඈ.

    හැබැයි මේක මේම ඉවර වෙයි කියල නං ලොවෙත් හිතුවෙ නෑ. ෆූ

    ReplyDelete
    Replies
    1. කැමති අවසානයක් තෝර ගන්න. දෙකක්ම දාල තියනවා.

      Delete
  5. එහෙනම් සියාමා සටන අත්හැරියා...!?
    ජීවිතයෙන් හෙම්බත් උනාම කන කූං ගානවා.. වටේ කිසි දෙයක් තේරෙන්නෑ..

    ReplyDelete
    Replies
    1. කැමති අවසානයක් තෝර ගන්න.

      Delete
  6. තරු අතර සැඟව ගිය
    සොයමි ඔබෙ නෙතු යුග
    නිවි නිවී දැලවෙන
    අර ලස්සන පුංචි තරුව ළඟ
    ඔබ සිටින බව දනිමි....
    නුදුටු සේ යළි යළිත්
    මම සොයමි මුළු අහස පුරාවට
    ආයෙමත් හැංගෙනවා
    එහෙම නොවෙයි ඔන්න....

    ReplyDelete
    Replies
    1. ලස්සන නිසඳැසක්

      Delete
    2. මං මේ දැන් නේ ඔයාගේ පින්තුරේ දිහා බැලුවේ. සියාමා වගේනේ ටිකක්.

      Delete
    3. http://nelumyaya.com/?p=3688

      Delete
  7. ඔක්කොම ඉවර වෙනකං හිටියෙ කොමෙන්ට් කරන්න ....
    ඒ ඒ අය තමන්ගෙ අද්දැකීම් විඳ ගන්න්නෙ ඒ ඒ අයට අවශ්‍ය විදිහට ....
    ඒක අපිට අවශ්‍ය විදිහට කවදාවත් වෙන්නෙ නෑ ..
    කැමති අවසානයක් තෝරගන්ඩ නැතුව බ්ලෑන්ක් තිබ්බනං හොඳයි ..
    එතකොට අපි අපේම අවසානයක් හදා ගන්නව ......
    ෆිල්ම් එකකට මරු කතාව .....
    මේ වගේ හැංගිච්ච කතා තව කොච්චර ඇද්ද ..??

    ReplyDelete
    Replies
    1. දැන් මෙහෙම හිතමු. කතා නායිකාව කියනවා මම අලුත් ජිවිතයක් පටන් ගන්නවා. අලුත් නමකින්. මගේ අතීතය මැරිලා. ඒ නිසා මම දැන් අලුත් කෙනෙක්. මගේ පරණ කතාවේ මම මිය ගිහින්.
      එයා ගැන දන්න තවත් කෙනෙක් කියනවා නැහැ ඔයා අපට වීරවරියක්. අපට ඔයාට මැරෙන්න දෙන්න බැහැ .විරවරියෝ වීරයෝ මැරෙන්නේ නැහැ.
      එතකොට කතුවරයා කියනවා. - ඔන්නොහෙ ඕන එකක්.
      කොමෙන්ටුවට ස්තුතියි.

      Delete
  8. මේ අවසානය ඉදිරිපත් කරලා තියෙන විදියට මම මාර කැමතියි. එකිනෙකට වෙනස් අවසානයන්, එතකොට අපිටම කැමති අවසානයක් තෝරගන්න පුලුවනි.

    මම කැමතියි පළවෙනි අවසානයට. ඒක හිතට සහනයක්.

    ඒත් දෙවැනි අවසානය කියෙව්වට පස්සෙ, භව්‍ය සිදුවීම ඒක බව හිතට තදින්ම දැනෙන එකත්, ඒ අවසානය ඇතුලෙ පාඨකයා ගිලී යන එකත් වලක්වන්න බැහැ.

    ReplyDelete
    Replies
    1. දෙවන අවසානය තමා මුල ඉඳන්ම ලියන්න හිතන් හිටි එක.

      Delete
  9. මේ කමෙන්ටුව ඔබට පමණයි. පළකිරීම අවශ්‍ය නැත

    සියාමා ගේ ලිපි නැවතිණි.
    දුරකතනයද ප්‍රතිචාර නොදැක්වීය.
    වසරක් ගතවිය. දිනක් හදිස්සියේ නිවසේ දුරකථනය නාද විය. "ප්‍රියාන් " දැයි කැඩුණු ඉංග්‍රීසියෙන් ඇසුවේ නාදුනන පිරිමි කටහඬකිනි. "ඔව්, කතා කරනවා" යයි පිළිතුරු දුන් කල දුරකථනය වෙනෙකෙකු විසින් උදුරා ගත් බවක් තේරුණේය.
    තටු කැඩුණු කළු සමනලී (broken black butterfly) වාර්තා චිත්‍රපටිය සමග මගේ ඇති සම්බන්ධය කුමක්දැයි එහා කෙළෙවරින් ඇසුවේ පැහැදිලි ඉංග්‍රීසියෙනි. ඒ ගැන අසාවත් නැති බව දැන්වූ විට ඒ බව නොපිළිගෙන තව තවත් හරස් ප්‍රශ්න අසන ලදී. ඉවසීම හමාර වූ මම ඇමතුම විසන්දි කලෙමි
    අදාළ චිත්‍රපටය අන්තර්ජාලයේවත් සොයා ගැනීමට නොහැකි විය.
    අඩමසක් ගෙවුණු තැන අදාළ සලරුව මා කරා පියඹා ආවේ තැපෑලෙනි. එවූ තැනැත්තා ගැන සඳහනක් නොවුනත් චිත්‍රපටයේ අධ්‍යක්ෂක වරයා ඊට සතියකට පෙර මරා දැමු බවත්, එයට සහබාගි වූ සියල්ලෝම මරණ තර්ජන හේතුවෙන් සැගවී සිටින බවත් කෙටි සටහනක් විය.
    රහස හෙලිවුයේ චිත්‍රපටය අවසානයේය. එහි විශේෂ සඳහනක් යටතේ " සමනලිට නැවත හුස්ම ගන්නට කියාදුන්, තටු නැතුව පියබන්නට කියා දුන් ආදරණිය ප්‍රියාන්ව සිහිපත් කරමි" යන්න දැක්වුනේය.
    චිත්‍රපටය කෙසේහෝ කරලියට ආවේය. සංවිධාන රාශියක් සමනලිට අත හිත දෙන්නට ඉදිරිපත් උවද, සමනලී එලියට පැමිණියේම නැත. සම්මාන පිරිනැමිණි. ඒවාට පැමිණියේ මියගිය අධ්‍යක්ෂක වරයාගේ බිරිඳය. සමනලී නැත
    මෙසේ සය මසක් ගෙවිනි. සුඛෝපබෝගී හෝටලයක අමානුෂික ලෙස අවයව කපා මරා දමා තිබූ ආසියාතික සංචාරයෙකු පිළිබඳ දැන ගැනීමට ලැබුනේ රුපවාහිනියෙනි.
    "මම ඒක කළා" ඊළඟ දිනයේ සමනලිගෙන් මට ඊයක් ලැබී තිබිණි

    මම කැමති අවසාන මෙන්න මේ වගේය. දැන දැන වැරද්දක් කරපු එකා දඩුවම ලැබිය යුතුමය. මා කෙතරම් ගෝත්රවාදිදැයි මා දන්නේ නැත.

    ReplyDelete
    Replies
    1. මේක මම පළකළා. තවත් විධිහක් නිසා. අර ගුවන් තොටුපළෙන් කතාව ඉවර කලේ මේ හා සමාන එකකකට යන්න. හැබැයි එක කොච්චර සාර්ථක වෙයිද දන්නේ නැහැ. හිතේ සැකයක් තියනවා. කොහොමත් ඇනාගේ කතාව ඉවර වෙලා තමා බලන්න වෙන්නේ. ඇනාගේ කතාවට ගොඩක් අය බනී කියල තමා දැනට මගේ අදහස. මොකද ලිංගික කරුණු පැත්තෙන් ගොඩක් ලියවෙනවා. එතනට යනවද නොයනවද කියන දෙගිඩියාවෙන් තමා ඉන්නේ. මට pervert ලේබලය වදිනවට කැමති නැහැ. නමුත් සමහර වෙලාවට කිව යුතු දේ කිව යුතුයි කියලත් හිතෙනවා.

      Delete
  10. මම මේ කතාව වින්දා අයියන්ඩි.
    එල ද බ්‍රා

    ReplyDelete

සියලු හිමිකම් අජිත් ධර්මකීර්ති (Ajith Dharmakeerthi) සතුය. කොළඹ ගමයා බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ අජිත් ධර්මකීර්ති යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ.
මෙහි පලවන ලිපි සහ දේශපාලන අදහස් මගේ පෞද්ගලික අදහස් පමණි.
ඔබේ ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. නමුත් වෙනත් කෙනෙකුට සාධාරණ හේතුවක් නැතුව පහර ගසන අශිලාචාර අන්දමේ ප්‍රතිචාර පමණක් පල නොකෙරේ. බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ස්තූතියි .