Wednesday 24 February 2016

පුවත්පත් කලාවේ අඳුරු අනාගතය හා බ්ලොග් කරුවන්ගේ සොඳුරු අනාගතය

බ්ලොග් සම්මාන උලෙල්ලේ සම්මාන දෙන බ්ලොග් කරුවන් නිර්දේශ කරන වැඩ මෙන්ම වෙනත් වැඩ කීපයක් ගොඩ ගැසී තිබෙන අතරේදී මෙවන් ලිපියක් ලියන්නට සිත් වූයේ බ්ලොග් කරුවන් අනාගතයට නොව අතීතයට පා තබනා සෙයක් දකින්නට ලැබෙන බැවිනි. උඩුවා විසින් කරන ලද කොමෙන්ටුවකදී කියවුනේ රාමචන්ද්‍රගේ බ්ලොග් ලිපි පුවත්පතක කොලමකට සුදුසු බවයි. මෙයට විවාදයකින් තොරව එකඟ වෙමි. නමුත් මුද්‍රණාලයක පල කරන පුවත් පතකට වඩා අන්තර්ජාලයේ පල කරන පුවත්පතක නම් වඩා හොඳය. මා උඩුවාගේ බ්ලොගයේ දුටු තවත් ප්‍රවෘත්තියක් නම් අප දන්නා ජනප්‍රිය බ්ලොග්කරුවකු වන රසිකලොජි සහ බ්ලොග්කාරියක වන බස්සි රාවය පුවත් පතට ලියන බවයි.

මා දන්නා පරිදි රාවය පුවත්පත වැසෙන්නට ඔන්න මෙන්න කියා තිබු එකකි. මගේ හොඳම යහළුවකුද එනගලන්තයේ රාවය පුවත්පත වැසි යාමට දුකින් වෙනුවෙන් ආධාර එකතු කල බව දනිමි. මගේ අදහස වුයේ මිනිසුන් මිලදී නොගන්නේ එය වැසි යාමට ඉඩ දීම මිස බලෙන් ඇදගෙන යාම නොකළ යුතු බවයි. මගේ මිතුරාගේ අදහස වූයේ මිනිසුන්ට ගැනීමට මුදල් නැති කම නිසා මිස ඔවුන් රාවය බලන බව හා එය ජනප්‍රිය පුවත්පතක් බවයි.

රාවයේ යන ලිපි ගැන මගේ අකමැත්තක් නැත. රාවයේ පලවන ලිපි මා කැමැත්තෙන් කියවන අතර ලංකාවේ සිටින විට මා මිලදී ගන්නා එක් පුවත්පතක් වන්නේද රාවයයි .

මේ තර්කයම ජනරළ පුවත් පතටද ද ගෙන එන ලදී. එනිසා මූල්ය ආධාරයක් දීමෙන් හා පුවත්පත මිලදී ගැනීමෙන් උදව් කරන්නට සිතුවෙමි. සෑහෙන කාලයක් එය මිලදී ගත් මුත් ඉඳහිට පලවන සුමිත් චාමින්දගේ ලිපි හැර පුවත්පතේ පලවන සමහර ගතානුගතික අදහස් කියවීමට කාලය වැය කිරීම අපරාධයක් ලෙස සිතුවෙමි. එනිසා නොවැම්බරයේ පුවත් පත මිලදී ගැනීම නවත්වන්නට තීරණය කලෙමි. උඩුවා ගෙන් දැන ගන්නට ලැබුනේ පුවත් පත නවතා ඇති බවය.

 දැන් නැවතත් අපේ බ්ලොග් කරුවන්ට හැරෙමු. බස්සි, රසික ඇතුළු අනිකුත් බ්ලොග්කරුවන්ට රාවයේ මෙන්ම වෙනත් පුවත්පත් වලද කොලම් ලියන්නට ලැබීම හොඳය. එයින් ඔවුන්ට කිසියම් ආදායමක් ලැබෙනවා නම් තවත් හොඳය. මම නම් හිතන්නේ රසික වැන්නවුන් නොමිලයේ ලියනවා කියාය. ඔවුන්ගේ ලිපි කියවන පාඨක ප්‍රමාණය වැඩි වීම ඕනෑම මාධ්‍යවේදියෙකුට හෝ බ්ලොග් කරුවෙකුට ප්‍රීතිය උපදවන කරුණකි.

කෙසේ නමුත් ප්‍රශ්නය ඇත්තේද මෙතනමය. ඔවුන් තමන්ගේ බ්ලොග් හා අන්තර්ජාල පාඨක පිරිසට වඩා මෙය තත්වයෙන් ඉහල වීමක් ලෙස සිතීමක් මා දුටුවෙමි. මෙහිදී මා වරදවා වටහා ගත්තා වෙන්නටත් පුළුවන. එසේම මා මහත් වික්ෂිප්ත භාවයට පත් වුයේද මෙහිදීය. උඩුවා සිතන අන්දමට පුවපතක කොලමකට කතා කිරීම බ්ලොගයට පිලි ගැනීමක් ලැබීමකි. මට සිතෙන්නේ මෙහි අනිත් පැත්තය. බ්ලොග් වලින් විශේෂයෙන්ම බස්සි වැනි අයගේ විසිතුරු ලිපි වලින් පුවත්පතේ තත්වය ඉහල යන බ අවය. ජනප්‍රිය හා ඉතා පැරණි බ්ලොග් කරුවෙකු වන රසිකට තමන්ගේම පතක සංක්‍යාවක් සිටී. ඒ ඔහු තවම ලිවීමේ ශක්තියෙන්ම ගොඩ නගා ගත තත්වයකි.

මමත් මගේ බ්ලොගයේ පලවූ ලිපි පොතක් වශයෙන් පල කරන්නට තීරණය කර තිබුනත් එය තවම සිදු වුනේ නැත. එය ඊ ෆෝර්මැට් හෙවත් පිඩිඑෆ් එකක් ලෙස දැනට තිබේ. එයට හේතුව බ්ලොග් නොබලන අය අතට පත් වීමට ඉඩ සැලසීම සහ ග්‍රන්ථයක් ලෙස පල කිරීමට ඇති "පොඩි එකාගේ " ආශාවයි. පොත් කියවන ඉතා විශාල පාඨක පිරිසක් ශ්‍රී ලංකාවේ සිටි. බස්සි, රසික, තිලකසිත ආදී බ්ලොග් කරුවන් මේ මාර්ගයේ දැනට දුර ගමන් කර තිබේ. බ්ලොග් ලියන හෙන්රි වර්ණකුලසුරිය ගේ ඉතා සාර්ථක පොත් දෙකක් ඊයේ පෙරේද කියවා අවසන් කලෙමි. කින්ඩල් එකකින් හෝ ටැබ් එකකින් පොත් කියවන විශාල පාඨක ප්‍රමාණයක් නැති රටක පොතක් පල කිරීමට තවම අවකාශය තිබේ.

නමුත් පුවත්පත්වල තත්වය මෙය නොවේ. එංගලන්තයේ ඉන්ඩිපෙන්ඩන්ට් පුවත් පත වසා දැමුවේ මේ නොබෝදාය. එහි අයිති කරු වන රුසියන් දස ලක්ෂපතියකු වන ඇලෙක්සැන්ඩර් (සාෂා) ලෙබෙදෙව් පැවසුවේ තව දුරටත් ජනතාව මිලදී නොගන්නා පුවත්පතක් පල කිරීමේ තේරුමක් නැති බවයි. මින් කියවෙන්නේ ඉන්ඩිපෙන්ඩන්ට් පුවත්පතේ කියවන පාඨක පිරිසේ තදබල අඩුවීමක් සිදුවුන බවයි. මාද ඇතුළු බොහෝ අය කියවන්නේ වෙබ් එඩිෂන් එක හෙවත් අන්තර්ජාල පුවත්පතය. රහස ඇත්තේ එතනය. ලේබෙදෙව් ට තිබෙන මුදල් ප්‍රමාණයේ හැටියට ඔහුට අවශ්‍ය නම් පුවත්පත පාඩු පිට හෝ සමහර ලංකාවේ පුවත්පත් මෙන් "නමට" පමණක් පවත්වා ගෙන යා හැකිව තිබුණි. නමුත් එය ඔහුට අවශ්‍ය වුයේ නැත. ඒ වෙනුවට අන්තර්ජාල පුවත් පත වඩා මුදල් ආයෝජනය කර දියුණු කරන බව ඔහු පැවසිය. බොහෝ පුවත්පත් කලාවේදීන්ට තමන්ගේම බ්ලොග් අඩවි තිබෙන අතර බොහෝ අය තම ලිපි අන්තර්ජාල පුවත්පත් වලට විකුණති. නැත්නම් තම මුල් රැකියාවම තබාගෙන ලිපි ලියති.

එංගලන්තයේ ගාර්ඩියන් පුවත්පතේ තත්වය මෙයට දෙවෙනි නැත. එහි පාඨක සමාජයේ සිටින මට මේ දිනවල නිතර දෙවේලේ ඊමේල් ලැබේ. එහි ඇත්තේ පුර්ණ සාමාජිකත්වයට මුදල් ගෙවා පැමිණ පුවත් පත ලබා ගන්න ලෙසය. අන්තර්ජාලයෙන් කියවන නිසා මට එහි අවශ්‍යතාවයක් නැත. ගාඩියන් මාධ්‍යවේදීන් මෙන්ම ටයිම්ස් පුවත්පතේ මාධ්‍යවේදීන් ද බ්ලොග් අඩවි පවත්වාගෙන යති. ඒවා අන්තර් ජාල පුවත්පතට සම්බන්ධ කොට තිබේ. ගාඩියන් පුවත්පතද හෙට අනිද්දා වැසී යනු ඇත. දක්ෂිණාංශික ටැබ්ලොයිඩ් එකක් වන සන් පුවත්පත මෙතරම් කලක් පවත්වාගෙන ගියේ තුන්වන පිටුවේ උඩුකය නිරුවත් තරුණියන්ගේ ඡායාරූප පල කිරීමෙනි. දැන් එයටද තිත තබා ඇති නිසා එම පුවත්පතේ අලෙවිය සිඝ්‍රයෙන් පහත වැටී ඇත. නමුත් එහි අන්තර්ජාල මුද්‍රණය කියවන පාඨක පිරිස වැඩි වී ඇත.

අන්තර්ජාලයේ කෙරෙන වෙළඳාම බලමු. පසුගිය නත්තල් කාලයේ එංගලන්තයේ පළමුවරට ඔක්ස්ෆර්ඩ් විදියේ තිබෙන බොහෝ සාප්පු සංකීරණ වල පාරිභෝගික ජනයා රැඳුනේ නැත. එම සාප්පු ලැබූ ලාභයන්ද අඩුය. ඒ වෙනුවට අන්තර්ජාලයේ ඇති ඔන්ලයින් කඩ වලින් නත්තල් තෑගී මිලදී ගන්නා සංඛ්‍යාව දෙගුණ තෙගුණ වී තිබුණි. අන්තර්ජාලයේ තමන්ගේ වෙබ් අඩවි ඇති නෙක්ස්ට්, ජෝන් ලුවිස් වැනි සාප්පු සංකීර්ණ වල වෙළඳාම අන්තර්ජාලය හරහා ඉහල ගොස් තිබුණි.

ශ්‍රී ලංකාවේ අන්තර්ජාලය භාවිතා කරන අය බටහිරට සාපේක්ෂව අඩුය. නමුත් මේ සංඛ්‍යාව දිනපතා වැඩිවේ. සිංගර් වැනි වෙබ් අඩවි වලින් මම භාණ්ඩ මිලදී ගෙන ඇත්තෙමි. ඒවා නිසි ලෙස බෙදා හරිනු ලැබේ. ක්‍රෙඩිට් කාර්ඩ් වලින් ගෙවා අන්තර්ජාල කඩ වලින් භාණ්ඩ මිලදී ගැනීම අද එතරම් සිදු වන්නේ නැති වුවද මේ තත්වය සීග්‍රයෙන් වෙනස් වේ. මොබයිල් වලින් මෙන්ම ටැබ් වලින්ද වෙබ් අඩවි වලට පිවිසෙන සංඛ්‍යාව වැඩි වී ඇත. අන්තර්ජාල පහසුකම් හා වයිෆයි පහසුකම් වැඩිවීම අනිවාර්ය වන අතර මේ නිසාම අන්තර් ජලයේ ඇති ප්‍රවෘත්ති මෙන්ම වෙනත් ලිපි ලේඛන කියවන සංඛ්‍යාව නිරන්තරයෙන් වැඩි වේ.

මේ නිසා මම බ්ලොග්කරුවන්ට යෝජනා කරන්නේ අනාගතය ඇත්තේ බ්ලොග් තුල බවය. තමන් ගේ බ්ලොග් ලිපි අන්තර්ජාල පුවත් පත් වල පල කරන්නට මෙන්ම අන්තර්ජාල පුවත්පත් වල කොලම් ලියන්නටත් එකඟ වන්න. මුද්‍රණය වී බෙදා හරින පුවත් පතක පල කරීම හොඳ දෙයක් වුවත් අනාගතයේ මේ පුවත්පත් බොහෝ විට වැසි යනු ඇත. ජනතාව මිලදී නොගන්නා පුවත්පත් අතේ වියදමින් පල කිරීමේ තේරුමක් නැත. අන්තර්ජාල පුවත්පත් වලට පුරුදු වෙන්න. අනාගතය ඇත්තේ එතනය. ටැබ් වලින්, කින්ඩල් වලින් මෙන්ම ලැප් එකෙන් කියවන්නන් වැඩි වනු මිස අඩු වන්නේ නැත. ඔබේ පාඨකයන් රැස් වෙන්නේ එතනය. තව දුරටත් සංවාද ඇති වන්නේ බ්ලොග් අඩවි වල මිස පත්තර කිහිල්ලේ ගසා ගෙන ගමේ කෝපි කඩේ හෝ කොම්පඤඤ විදියේ සුරා සැලේ නොවේ.

79 comments:

  1. රූපවාහිනිය නිසා චිත්‍රපටි කර්මාන්තය නැතිවන බවට අනාවැකි තිබුණත් එය වුණේ නැහැ නේද? දැන් වෙනදාටත් වඩා වැඩි වියදමකින් චිත්‍රපටි නිශ්පාදනය වෙනවා. පුවත්පත් වැසීයාමට හේතුව ප්‍රවෘත්ති වඩා ඉක්මනින් ලබාදෙන මාධ්‍ය බිහිවීම යැයි මම සිතනවා. බ්ලොග් වල අනාගතය පුවත් පත් වැසීයාමෙන් වඩා හොඳ වෙනවා යැයි මට නම් සිතන්නට අපහසුයි. ප්‍රචාරණ දැන්වීම් යන පාර දෙස බැලුවොත් ෆේස්බුක් ට්විටර් වැනි සමාජ අඩවි වඩාත් දියුණු වීමට ඉඩ තිබෙන බව මගේ හැඟීමයි. බ්ලොග් යනු එවැනි සමාජ අඩවි හරහා බෙදී යාමට ලිපි ගබඩා කරන තැනක් පමණක් වනු ඇතැයි මගේ හැඟීමයි.

    ReplyDelete
    Replies
    1. //බ්ලොග් වල අනාගතය පුවත් පත් වැසීයාමෙන් වඩා හොඳ වෙනවා යැයි මට නම් සිතන්නට අපහසුයි.// මම එහෙම දෙයක් නොවේ කිව්වේ ඉයන්. බ්ලොග් වල අනාගතය පුවත් පත් තිබ්බත් නැතත් හොඳයි. පුවත් පත් වෙබ් මාධ්‍ය නිසා වැසි යනවා කියලයි මම කිව්වේ. ඒ නිසා පුවත්පත් දැන් අන්තර් ජාලයට පිවිසෙනවා. //රූපවාහිනිය නිසා චිත්‍රපටි කර්මාන්තය නැතිවන බවට අනාවැකි තිබුණත් එය වුණේ නැහැ නේද? // මේ උදාහරණය මෙතනට ගන්න බහ. රුපවාහිනී නිසා අනවශ්‍ය චිත්‍රපට නිෂ්පාදන නැවතුනා වෙන්න පුළුවන්. අන්තර්ජාලයෙන් බාගෙන බලන්න හරි චිත්‍රපටි නිෂ්පාදනය වෙන්න ඕනේ. ඒක බිමේ වෙන දෙයක්. පුවත් පත් අන්තර්ජාලයෙන් බලන්න පුලුවන්නම් අච්චු ගහල වැඩක් නැහැ කියන එකයි මම කියන්නේ.

      Delete
  2. එකඟයි. මමත් දැන් පුවත් කියවන්නේ අන්තර්ජාලය හරහායි. මගේ රාජකාරියේ ස්වභාවය අනුව එය ඉතා පහසුයි

    ReplyDelete
    Replies
    1. මමත් සම්පුර්නයෙන්ම වගේ අන්තර්ජාලයේ කියවන්නේ.

      Delete
  3. යථාර්ථය තමා පුවත්පත් කියවන ප්‍රමාණ අතිශය සිඝ්‍රගාමි ලෙස අඩුව තිබීම.. ඒකයි ඇත්ත..

    ReplyDelete
    Replies
    1. වෙබ් නිව්ස් කියවන අය සිඝ්‍රගාමිව වැඩිවේ. මේ කෙහෙල් මල් ගූගල් බ්රව්සරය නිසා පත්තරක් මිලදී ගමි.

      Delete
  4. කොහොමත් අනාගතය ඇත්තේ ඉලෙක්ට්‍රොනික් මාධ්‍යය තුල බව නම් පැහැදිලිය , රසික සහ බස්සි ට ආරාධනා ලැබෙන්නට ඇත්තේ ඔවුන්ගේ බ්ලොග් අඩවියේ ඇති සාර්ථක භාවය නිසාය . ඒ නිසා පුවත්පතට හොඳ සරුසාර කෙත්බිම් හමුවී තිබේ .

    ReplyDelete
    Replies
    1. මාත් ඒකම තමා හිතන්නේ. සාර්ථක බ්ලොග් කරුවෝ තම බ්ලොග් අතහැර යන්නේ නැත්නම් හොඳයි.

      Delete
  5. මම ඇත්තටම බොහෝ කාරණා එක්ක එකඟයි...
    උඩුවා කියන්නේ පුවත්පත් වලින් ඇවිත් බ්ලොග් වෙතට පා තිබ්බ කෙනෙක්. අනිවාර්යයෙන්ම මේ පුවත්පත් වැසී යාම හා අනාගතයේ බ්ලොග් සඳහා තියෙන අවකාශය පිළිගන්නවා. උඩුවා උත්සාහ කරනවා ඒකට සූදානම් වෙන්න.
    ඒත් ලංකාවේ මේ මොහොතේ සහ තවත් යම් කාලයක් ( ලොකු කාලයක් නෙවෙයි) ගතවන තුරු පුවත්පත් වලට තැන තියේවි. අනාගතයට සූදානම් වීම යහපත් වගේම වර්තමානයට මුහුණ දීමත් වැදගත් කියලා මම හිතනවා.
    අපි අන්තර්ජාලය හා සමාජ මාධ්‍ය එක්ක මුසුවුණ සමාජය දැක්කාට තවමත් සැලකිය යුතු දෙනෙක් අන්තර්ජාලයට යන්න් කියවන්න තරම් පහසුකම් සහිත ඩිවයිස් වලින් නෙවෙයි.
    අපේ ගමේ ගොඩක් අය පුංචි තිරයක් සහිත ප්‍රාථමික මට්ටමේ ස්මාර්ට් ෆෝන් එකකින් අන්තර්ජාලයට ගියාට එ්කෙන් කියවන්නෙ නැහැ.
    ඇත්තටම ලංකාවේ විජය ආයතනය හා යම්තාක් දුරකට උපාලි පුවත්පත් හැරුණුකොට අනෙක් පුවත්පත් දැනටමත් වැසී යන්න නියමිතයි. ඒ කියවන්නන්ගේ සීඝ්‍ර අඩුවීම හා සොහොන් ලකුනු නිසා.
    මම තවමත් විශ්වාස කරනවා කෙනෙක්ට පුවත්පතක කොලමක් ලිවීමට ආරාධනා ලැබීම ගොරවයක් කියා.
    අනිවාර්යයෙන්ම කෙනෙක්ට පුවත්පතක කොලමක් ලියන්නට ආරාධනා කරන්නේ ඔහුගේ ලිවීම පුවත්පතට ගෞරවයක් නිසා තමයි. ඒක ඉහළින්ම පිළිගන්නවා.
    මේවා වෙනස් ට්‍රැක් වල යන්න ඉඩ තියෙනවා. තවමත් මේ දේවල් ගැන අඩු වැඩි වශයෙන් සමබරව හිතන්න වෙනවා.
    කෙසේ හෝ මේ සටහන මට යමක් වැඩිපුර හිතන්න ඉඩ විවෘතකළ ආලෝකමත් ලිපියක්.
    අවසානයේ කියන්න ඕන රසික සූරියආරච්චි හෝ යශෝධා සම්මානි රාවයේ කොලම් නොලියන බව. ඔවුන්ගේ ලිපි අපේ ඉල්ලීම මත එවලා ඒවා පළවුණා පමණයි.

    ReplyDelete
    Replies
    1. උඩුවා ගේ බ්ලොගයේ ලියන බොහොමයක් දේ ගැන මගේ අදහසත් එයයි. බ්ලොගය ලිවිම නිසා මට උඩුවා දන හඳුනා ගන්න ලැබුන. ඉයන් ගේ අඩවියේ වගේම හොඳ සංවාද යන තැනක්. මම මෙහිදී උත්සාහ කරන්නේ පුවත්පත් වලට ලියන්න නමුත් බ්ලොග් හැර යන්න එපා කියන පණිවිඩය දෙන්නයි.දැනට ලංකාවේ අන්තර්ජාල භාවිතය සීමිත ඇති. නමුත් තත්වය තව අවුරුද්දකින් දෙකකින් සිඝ්‍රයෙන් වෙනස් වන්නට නියමිතයි කියා මා හිතනවා.

      Delete
  6. තව දුරටත් සංවාද ඇති වන්නේ බ්ලොග් අඩවි වල මිස පත්තර කිහිල්ලේ ගසා ගෙන ගමේ කෝපි කඩේ හෝ කොම්පඤඤ විදියේ සුරා සැලේ නොවේ.

    කතාව ඇත්ත. නමුත් පොඩි කොපි කඩේක නැත්නම් සිංහලෙන් කියනවනම් coffee shop එකක අමුතු ගතියක් තියෙනවා. මම නම් කොච්චර online shopping තිබුනත් shopping centre එකේ රවුමක් ගහල මොනවා හරි snack අරන් කාල drink එකක් බීල shopping කරන්න තමයි තාම කැමති. But completely agree where you're coming from.

    ReplyDelete
    Replies
    1. ඒක හරි. මම කෝපි කඩ වලට යනවා. ඔය වගේම. කතා බහ කරන්න. සංවාද කරන්න හොඳ තැනක් නිසා. කවුරුත් නැත්නම් කොපි හෝ බීර වීදුරුවක් අරන් ටැබ් එක ඇරලා බ්ලොගක් හෝ වෙබ් නිව්ස් එකක් කියවනවා. නැත්නම් පොතක්.

      Delete
  7. මෙම ලිපියට එකග විය නොහැක. රචකයා පුවත්පත් සමග ඇති අරෝව නිසා ඒවාට පහර ගසමින් ලියන බව හොදටම පැහැදිලිය. අජිත් ධර්මකීර්ති යනු වික්‍රමසිංහ අගමැතිවරයාගේ චක්‍ ගෝලයෙකි. අගමැතිවරයාද ජනමාධ්‍යට තග දමනා විට ඔහුගේ ගෝලයන් ජනමාධ්‍ය පහත්කොට ලිපි ලියයි.

    අජිත් ධර්මකීර්ති ඉහත ලියා ඇති ලිපියට අපගේ බරපතර විරෝධය මෙයින් දක්වා සිටිමු.

    ස්තුතියි.

    ReplyDelete
    Replies
    1. හා හා ස්තූතියි.

      Delete
    2. මා ජනරලේ හොඳ පාඨකයෙක් ව සිටි අයෙකි. රාවය වෙබ් සංස්කරණය නිතර කියවන්නේක්මි.
      එසේම ඔබ කියන අයුරිනම් රනිල්ගේ චක් ගෝලයෙක්ද විය හැක. එකොනමැට්ටගේ රනිල්ට සම්බන්ධ ලිපියේ "රනිල් ගොනා ගොනා පත්‍රිකාව ගෙනා ගෙනා " හෙඩිමට විරුද්ධව තර්ජනයක් පැමිණි නිසා එය වෙනස් කරන්නට සිදු විය. අද ලංකානිව්ස්වෙබ් බලන්න. ඒ ලිපිය අඩුම ගණනේ රනිල්ට විරුද්ධ එකක් වත් නොවේ. රාජපක්ෂ නැති වුණා වගේම රනිල් නැති වන්නේත් මෙවන්කඩු අතින් ගත වවඳුරන් ගෙනි.

      Delete
  8. හික් හික්. කතාව ඇත්ත...

    රාවය වැහෙන්නේ නැතුව තියෙන්නේ මිනිස්සු ගන්න නිසාද නැත්නම් දේශපාලන අවශ්‍යතාවය අනුවද...?
    මම හිතන්නේ ජනරළ පත්තරේ තමන්ට පැවරුණු කාර්යභාරය අවසන් උනා කියල තීරණය කලාට පස්සේ තව දුරටත් තියාගෙන ඉන්න ඕනේ නැහැ කියල හිතන්න ඇති කියලයි...

    ReplyDelete
    Replies
    1. ගෙනියන්න විධිහක් නැති වුණා කියල මම නම් හිතන්නේ.

      Delete
    2. සම්ප්‍රදායික දේශපාලන ලිපි පුරවාගත් ජනරළ පත්තරයේ ආකෘතිය පවා පෞරාණිකයි. පක්ෂ විසින් පවත්වාගෙන යන පුවත්පත්වලට ඉල්ලුමක් නැත්තේ, ලිපි සහ අන්තර්ගතය තීරනය වෙන්නේ පක්ෂ න්‍යාය සහ උවමනාව මත නිසා,Aru.

      Delete
  9. බ්ලොග්කරුවන් මුද්‍රිත පුවත්පත්වලට ලිවීම මම නම් පෞද්ගලිකව අගයන දෙයක්. දන්නා කියන බ්ලොග් කරුවෙකුගේ ලිපියක් යම් පුවත්පතක පලවෙනවා යනු මටනම් එම පුවත්පත මිලදී ගැනීමට උත්තේජනයක් වෙනවා. මෙතන මම දකින වැදගත්ම දේ තමයි බ්ලොග්කරුවන් අතින් ලියවෙන වැදගත් විචිත්‍රවත් ලිපි වැඩි පාඨක පිරිසක් වෙත ගලා යෑම. රවී, ඩුඩ් වැනි බ්ලොග්කරුවන්ට මම කිහිපවරක් කියා තිබෙනවා හැකිනම් ඔවුන්ගේ ලිපි පුවත්පතක පළකරන ලෙස.

    ලංකාවේ තවමත් ඉන්නේ මුද්‍රිත මාධ්‍යයෙන් වැඩිපුර කියවන පිරිසක්. අප බලාපොරොත්තු වන වේගයෙන් බටහිර තරම් ඉක්මනින් ඔවුන් විද්‍යුත් මාධ්‍යයට හැරෙන්නේ නෑ. පෞද්ගලිකව ගත්තත් මම වඩාත් කැමති මුද්‍රිත මාධ්‍යට. හාන්සි පුටුවේ ඇල වෙලා අලුත් පොතක්, පුවත්පතක් තීන්ත සුවඳත් සමග කියවීමෙන් ලැබෙන මිහිර මටනම් තවමත් ටැබ් එකෙන් ගන්න බැරිවුණා. මම දන්නා මුද්‍රිත සහ විද්‍යුත් මාධ්‍ය දෙකම භාවිතා කරන බොහෝ අය ඉන්නේත් මේ මතයේමයි.

    තව වසර 10කට වත් ලංකාව තුල මේ තත්වය ලොකු වෙනසක් වෙන්නේ නෑ. ඒනිසා හැකි සෑමවිටම පොත්, සඟරා සහ පුවත්පත් මගින් බ්ලොග්කරුවන්ගේ දැනුම බෙදාහැරීම ශ්‍රී ලංකික පාඨකයන්ට කරන ලොකු මෙහෙවරක් විදියටයි මම නම් දකින්නේ.

    වැදගත් ලිපියක්! ජය වේවා !!!

    ReplyDelete
    Replies
    1. ඔව් දෙපැත්තම තිබෙනවා. මමත් කැමතියි එහෙම වෙනවා නම්. මම තවමත් පොත් මිලට ගන්නවා. මේ සැරේ අවහම සියලුම බ්ලොග් කරුවන්ගේ පොත් ටික අරන් යන්න ඉන්නේ. නමුත් මම කින්ඩල් එකේ සහ ටැබ් එකෙත් කියවනවා. විශේෂයෙන් ගානක් යනකොට, නිවාඩුවක් යනකොට ටැබ් එක ගෙනි යන එක ලේසියි. පොත් සීයක් විතර තිබෙනවා. ලංකාවේ තත්වය සීග්‍රයෙන් වෙනස් වෙනවා. මුද්රිත් පුවත්පත් ගන්න අය අඩු වේගන යනව.

      Delete
  10. මම කිසිදු මැලිකමකින් තොරව මිලදී ගන්නා එකම පුවත්පත රාවය යි. රාවයත් යම් මුදලක් ගෙවා සාමාජිකත්වය ගැනීමෙන් පසු (මාසික හෝ වාර්ෂික සාමාජිකත්වයක්.) ඔන්ලයින් කියවන්නට ලැබෙනවානම් මම වඩාත් සතුටුයි.

    නමුත් අජිත් ඔය කියනවාට වඩා ලංකාවේ තත්වය බොහොම වෙනස්. ළඟදී දවසක 'කවි සංවාදයකට' සහභාගි වූ අවස්ථාවේ එතැන සිටි බොහොම දෙනෙක් මාව හඳුනාගත්තෙ 'යං ටැබලොයිඩයේ බස්සි' නමින්. ඔවුන් පුවත්පත කියැවීමෙන් පසුවයි බ්ලොග් අඩවිය ගැන දැනගන්නේ. පුවත්පත් ලිපි ලියන්නට ලැබීම මම සලකන්නේ අන්තර්ජාලය ඔස්සේ ලඟා විය නොහැකි වෙනම පාඨක ප්‍රජාවක් වෙත පිවිසෙන්නටත්, ඔවුන්ව බ්ලොග් අඩවිය වෙත යොමු කරගන්නටත් ලැබෙන අවස්ථාවක් ලෙසයි.

    මේක තවමත් 'ඩිජිටල්' කියන වචනයේ තේරුම නොදන්නා ඩිජිටල් කටයුතු භාර ඇමැතිවරයෙක් ඉන්නා ලංකාව.

    ReplyDelete
    Replies
    1. //මේක තවමත් 'ඩිජිටල්' කියන වචනයේ තේරුම නොදන්නා ඩිජිටල් කටයුතු භාර ඇමැතිවරයෙක් ඉන්නා ලංකාව.// මේක ඇත්ත බස්සි. ඒ වගේම මම හැම වෙලෙමේ සුභ පැතුම එක් කරනවා ඔයාලට. පුවත්පතේ ලියන එක හොඳයි. නමුත් මම කියන්නේ බ්ලොග් ලෝකයේ ඔබේ තැන රඳවා ගන්න හා වෙබ් මාධ්‍ය approch කරන්න කියලයි. මට හිතෙන්නේ අනාගතය ඇත්තේ එතැන කියා.

      Delete
    2. බස්C...ඔව්...ලංකාවේ තවමත් වැඩිපුරම ලේඛකයා පාඨකයා තුලට යන්නේ මුද්‍රිත මාධ්‍ය හරහා තමයි. ඒ නිසාම තමයි අපි "පත්තර කාරයෝ" කියන පඩිය උඩ සමහරු නැගලා ඉන්නේ. මාධ්‍ය ගැන නම් වෙනම කතා කල යුතුයි. ඒ තත්වය දකුණු ආසියාවේ සහ සමහරක් අප්‍රිකානු රටවලත් පවතින බව කියනවා. තාක්ශනය පැතිරි නොයාම හේතුවයි. Aru.

      Delete
  11. අජිත් අයියා...............

    හොද විග්‍රහයක් කියලා දැනුනා. ඇත්තට ම රාවය වැහෙනවා කියලා මුදල් එකතු කරන්න පටන් අරන් දැන් බර කාලයක් වෙනවා. මට මතක විදිහට අපි කැම්පස් අවුට් වෙලා කොළඹ රස්සා කරන කාලෙත් ඔය වැඩේ ඇදලා යනවා. ඒ කාලේ මං වැඩ කරපු තැන හිටපු ජනරංජන මහතා පසු කාලෙක රාවය ප්‍රධාන කතෘ වෙලා ගියා. අපි සුභපැතුවත් මතකයි. ඒ අතර ම මං දන්න තවත් දෙයක් තමා රාවයට ලියන රාජ්‍ය නොවන සංවිධාන ගණනාවක් තිබුණා. ඔවුන් පත්තරයේ පිටු මුදලට අරන් තමයි ලිව්වේ. මේ විදිහට තමා පත්තරය රැකුණේ..

    බ්ලොග්කරණය ගැන ඔබේ අනාගත දැක්ම ගැනනං ඇත්තට ම සතුටුයි. අපිත් ඒ මතයේම තමා ඉන්නේ. අනාගතය තියෙන්නේ පත්තර වල නෙමෙයි අන්තර්ජාලයේ... ගමනක් යන ගමන් බසයක් තුළ ඔන් වෙන ටැබ් එකකින්, කවුරුන් හෝ එනතුරු ඉන්නා ටික වෙලාවෙදි අන්තර්ජාලයට යන දුරකථනයකින් වගේ දේකින් තමා අනාගතයේ පුවත් සහ අනෙකුත් දේවල් හොයා ගන්නේ. අදටත් බොහෝ දෙනෙක් බුකියෙන් නිවුස් කියවන්න හුරු වෙලා. ඒවා ගොසිප් කියලා දැන දැනත් කියවනවා. ඒ ගොසිප් අස්සේ ප්‍රින්ට් වෙලා එන නිවුස් වලට වඩා ඉක්මන් යමක් ඔවුන් හොයනවා. ඉතින් අනාගත ලෝකය පත්තර ප්‍රින්ට් වෙනකල් ඉදීද.....????????? මේ අතින් බැලුවා ම බ්ලොග් කියන්නේ අනාගතය..... ඇත්ත ඒකයි....

    ReplyDelete
    Replies
    1. ස්තුතියි කුරුටු. අපේ අදහස ස්වාධීනව පත්තර අයිතිකාරයන්ගේ හා වෙබ් ධනවතුන්ගේ බලපෑමෙන් තොරව ඉදිරිපත් කරන්න පුළුවන් මාධ්‍යයක් නේ මේක. ඉදිරියට ලංකාවේ අන්තර්ජාල භාවිතය වැඩි වෙනවා මිසක් අඩුවෙන්නේ නැහැ.

      Delete
  12. අන්තර්ජාලය හමුවේ පුවත්පත් කලාවට සිදුවීමට නියමිතව තියෙන්නේ දුරකථන සන්නිවේදනයේ දියුණුව හමුවේ තැපැල් සේවයට සිදු වුන දෙයමයි. කාලයත් සමඟ සිද්ද වෙන දේවල්. මං හිතන්නේ වත්මන් ලෝකයේ තවමත් පුවත්පත් කියවන්නේ වැඩිපුරම වැඩිහිටි පරම්පරාවේ අයයි. ඔවුන්ගෙන් පසු පුවත්පත් භාවිත කිරීම තව තවත් අඩුවේවි. අජිත් කිව්වා වගේ අනාගතය තියෙන්නේ අන්තර්ජාලයේ.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ජේමිස් බණ්ඩා. ඔබේ බ්ලොගයේ ලියන සමහර අදහස් ලංකාවේ සම්ප්‍රදායික පුවත් පතකට දිරවා ගන්නට බැහැ කියල මම හිතන්නේ. ඒ නිසා එවැනි සම්ප්‍රදායික පුවත්පත් වැසී යනවාට මගේ දුකක් නැහැ. කාලයත් සමග එන වෙනස් කම් වලට අනුගත විය යුතුයි කියන අදහස තමා ඉදිරිපත් කලේ.

      Delete
  13. ලංකාවේ පත්තර සතිපතා මැදපෙරදිග සහ යුරෝපය, කොරියාව වැනි රටවලට හොන්ඩර ගනන් පැටෙව්ව යුගයක් තිබුනා. මෑතක් වෙනතුරු ලන්ඩනයේ සෑම එකකම සතිඅන්ත සිංහල\දෙමල\ඉංග්‍රීසි ජාතික පුවත්පත් විකුනුවා සහ හොඳ ඉල්ලුමක් තිබුනා. අද ඒ කඩවල්වල දකින්න තියෙන්නේ එංගලන්තයේ පලකර නොමිලයේ බෙදාහරින අපේ (ලාංකීය තොරතුරු සහිත ) පත්තර විතරයි. මැද පෙරදිග රටවල මල් පත්තරවලටත් පට්ට ඩිමාන්ඩ් එකක් තිබුනා. සයිබරය තුලින් පත්තර කියවීම මෙයට හේතුවයි. හැබැයි අජිත්...මේ රටවල්වල පවා බ්ලොග්ස් කියවන ලාංකිකයෝ කීයෙන් කීදෙනාද ඉන්නේ? හැබැයි සයිබරය තුලින් පුවත්පත් හැමෝම කියවනවා.

    සඳුන් සෙවන බ්ලොගය ලියන චන්දන ගුණසේකර ලන්ඩනයේ පලවන ලාංකික මුද්‍රිත පුවත්පතකට ලියනවා.Aru.

    ReplyDelete
  14. චන්දන ගේ ලිපි හොඳයි. ඒත් අරූ ලංකා විත්ති පවා වැහිලා ගියා නේද ?

    ReplyDelete
    Replies
    1. ලංකා විත්ති නම් වහන්න වුනේ දයා ආනන්ද රණසිංහ මයාට ඒක තනියෙන් ඇදගෙන යන්න බැරිනිසා වෙන්න ඇති බං. හැබැයි 2000 කාලයත් එක්ක ගත්තාම ලංකා නිව්ස් සහ ලංකා විත්ති වලට අමතරව දැන් ඒ වගේ පත්තර 10-15ක් විතර තියෙනවා.

      Delete
    2. ඔය අර නිකන් දෙන පත්තර තුන හතරනේ. ඒවායේ කියවන්නේ අර වෙළඳ දැන්වීම් විතරනේ බන්. ඊළඟ සින්දු සන්ධ්‍යාව තියෙන්නේ කොහෙද , ලනක්වේ විධිහට කන් තියෙන්නේ කොහෙද වගේ වල් පල්. දැන් සිලෝන් ටුඩේ එකත් නිකන් දෙනවා. උඹ ගන්නවද? උනුත් දැන් වෙබ් එකට බැහැල ඊමේල් නේ එවන්නේ.

      Delete
  15. ඔන්න ඕකනෙ මම පත්තර වලට ලියන්නේ නැත්තේ.. නිකං මොකටද ස්ටේටස් බස්සා ගන්නේ.. නැත්නං දවසකට කි දෙනෙක් කියලා කතා කරනවද පත්තරවල කොලම් ලියන්නය කියල.. හැක හැක..

    ReplyDelete
  16. බස්සා ගැන කතා කරලා බස්සිට තරහ යයි.

    ReplyDelete
  17. ඇත්තම ඇත්ත කියනවානම් වයසක අපි තවමත් කැමති පොත් පත්තර කියවන්න. අපේ වයසේ ඉන්න අයගෙන් සිංහලෙන් බ්ලොග් ලියන්නේ අතලොස්සයි. නමුත් අනාගතයේදී එහෙම ලියන අය වැඩිවෙන බව දැනෙනවා. කොහොම වුනත් උදේට කන ගමන් පත්තරයක් බලන එක තරම් වින්දනයක් උදේට කන ගමන් බ්ලොග් බැලීමෙන් සිදුවෙන්නේ නැහැ. (කෑම කන ගමන් බ්ලොග් බලන්න අමාරුයි)

    ReplyDelete
    Replies
    1. /* නමුත් අනාගතයේදී එහෙම ලියන අය වැඩිවෙන බව දැනෙනවා. */

      ඔව් ඒ කියන්නේ අජිත් ධර්මලා අත විචාරක ගේ වයසට ලඟාවෙන විට!

      Delete
    2. මෙහි පළවෙන හොඳම සිංහල මාසික සඟරාමය පුවත්පතක් තමයි සන්නස. එහි දස වසරක පැරණි කලාප මෙහිදී ද කියවිය හැකියි.
      http://sannasa.sinhalajukebox.org/

      Delete
    3. මම සිංහල බ්ලෝග පොඩ්ඩක් නවත්වල ඉංග්‍රීසි වලට බහින්න හිතන් ඉන්නේ. රසිකල බස්සිලා යන පාරේ ගිහින්. ඔය සන්නස වගේ සයිට් වල හොඳ කමත් ඕකමයි. පරණ ලිපි පවා කියවනං පුළුවන්. සිංහල ජූක් බොක්ස් එකේ මගේ සින්දු ලිස්ට් තිබ්බ.තවම තියනවද දන්නේ. අවුරුදු ගානකට කලින් සිංහල සින්දු අහන්න හොඳ සේවයක් කල අඩවියක්. රසිකලද කලේ.

      Delete
    4. විචාරක මහතා ලියන්නේ රැඩිකල් ඒවා වුනොත් වැඩ කරන්නේ සම්ප්‍රදායික විධිහට වගේ. මගේ බිරින්දෑ උදේට කෑම මේසෙට ඇරියට පස්සේ මම එනම් මනම් කියවනවට කැමති නැහැ. එයට ඕනේ සංවාද කරන්න. ඔය බිරිඳ මේසෙට කෑම ඇරලා තේක හදල දුන්නට පස්සේ පත්තරේ බලන එක මේ පැත්තේ හුඟක්ම වයසක කට්ටිය විතරයි කරන්නේ. මැදිවියේ හා තරුණ පවුල් වල ඕක නැහැ. අනික ඉස්සරාහට් ගූගල් වීදුරුව හෝ මොබයිල් ප්‍රක්ෂේපනය ආපුවහම බිත්තියේ නිව්ස් බලන්න පුළුවන්. පුවත් පත් වැඩක් නැහැ.

      Delete
  18. මේ් ලිපිය උදේ කියවූවත් මගේ නම ද සඳහන් නිසා විස්තරාත්මක ප්‍රතිචාරයක් ලිවීම සඳහා කල් ගත්තා.

    පුවත්පත්වල අවගමනය ඇරඹී දැන් ටිකක් කල්. සිඩ්නි මෙල්බර්න් වැනි නගරවල දිනපතා පුවත්පත් දෙකයි තියෙන්නේ. ඊට වඩා පැවැත්මතක් නෑ. ඉන් ප්‍රධාන පුවත්පතත් දැන් අභාවයට යමින් තියෙනවා.

    ලංකාවේ දිනපතා/ඉරිදා පුවත්පත් සංඛ්‍යාව වැඩි බවයි මගේ අදහස. ඒ සේරම දැන්වීම් මගින් පවත්වාගෙන යන්නේ පොදු ජනතාවයි බදු මුදල්, භාණ්ඩ හා සේවා හරහා. එය විශාල බරක්.

    පරණ පිරිස වියෝවීමත් සමග මුද්‍රිත පුවත්පත් නැත්තටම නැති වී යාවි.

    ලංකාවෙන් පිටවී විසි වසරක් වෙන මා මුලින් ඩේලි නිවුස් පසුව සන්ඩේ ටයිම්ස් සහ ඉන් පසු දිවයින බලන්නට පුූරුදු වුණා. පුවත්පත් මිළදී ගැනීමක් දැන් නෑ. මුල් දශකය තුල කෙසේ වෙතත් දැන් ලංකාවට ගියත් පත්තර බලන්න හිතෙන්නේ අන්තර්ජාලයේ තමයි.

    රාවය සහ යුක්තිය 1990 සිටම පමණ කියවූවත් ඒවාට ලිපි ලියන්නට කවදාකවත් හිතුවේ නෑ. මං මුලින්ම ලිපි ලිව්වේ ඉරිදා ලක්බිමටයි. නමුත් ඒ මූලිකවම විශ්ව විද්‍යාල ජීවිතය ගැන කතා. ඒවාත් 2011 ජනවාරියේ පමණ අවසාන වුනා. රාවයට ලිපි දෙකක් යොමු කලේ උඩුවා ගේ කීම නිසා සහ ඊටත් වැඩියෙන් මගේ සුවිශේෂී අවශ්‍යතාවයන් නිසායි.

    මාධ්‍යයක් ලෙස සිංහල බ්ලොග් ජනප්‍රිය කරවීමට නම් මීට වඩා ප්‍රචාරයක් අවශ්‍යයි. බ්ලොග් ලියු අජිත් පෙරේරා ලා, කරුණාරත්න පරණවිතානලා ඇමතිවරු වී සිටයත් බ්ලොග් ගැන පාර්ලිමේන්තුවේ වචනයක් හෝ කියවුණා යැයි මා සිතන්නේ නෑ.

    ලංකාවේ වැඩියෙන්ම කියවන්නේ ගොසිප් අඩවි මිස බ්ලොග් නොවෙයි. මෛත්‍රීපාල සිරිසේන පවා කතා කරන්නේ ගොසිප් සයිට් ගැනයි.

    චානුක වත්තේගම (ලක්බිම) සහ නලීන් දිල්රුක්‍ෂ (දිණමිණ) සිංහල බ්ලොග් සම්ප්‍රදායානුකූල පුවත්පත් පාඨකයින් අතරට ගෙනි යන්නට වැඩ කොටසක් කළා. රචින්ත ජයවෝඩනත් තරුණයා හි බ්ළොග් ප්‍රවර්ධනය කළ බව ආරංචියි. තවත් අය ඇති.

    බ්ලොග් ලිපියක් ලියා පළ කිරීමේ වැදගත්කම් දෙකක් මා දකිනවා.

    එකක් එහි ජීවිත කාලය බත්මුල එතිමෙන් අවසන් නොවීමයි.

    දෙක පාඨක ප්‍රතිචාර කෙටිකාලයක් තුල ලැබීම.

    නෙළුම් යාය තරගයට මුද්‍රිත පුවත්පතක මාධ්‍ය අනුග්‍රහය ලබා ගත හැකි නම් අගෙයි!

    ReplyDelete
    Replies
    1. //එකක් එහි ජීවිත කාලය බත්මුල එතිමෙන් අවසන් නොවීමයි.

      දෙක පාඨක ප්‍රතිචාර කෙටිකාලයක් තුල ලැබීම.// මේ වාක්‍ය දෙකට හා සමස්තයක් වශයෙන් ඔබේ ලිපියට මා එකඟයි . මගේ ලිපියට පාදක වුනේ උඩුවාගේ කොමෙන්ට් කීපයක්. පරණවිතාන මහතා නිසා තමා ගිය අවුරුද්දේ හා මේ අවුරුද්දේ බ්ලොග් උළෙලේ පවත්වන්න ශාලාව ආදිය ලැබෙන්නේ. මෙතනින් එහාට යන්න නම් බ්ලොග් ලෝකයේ ව=දැවැන්තයන් වන ඔබලත් එක් විය යුතුයි. චානුක, නලින් ල මෙන්ම සිංහල බ්ලොග් කියවනය , ටැබූ ල හෙමත් සෑහෙන සේවයක් කලා කියල මම හිතනවා. නෙළුම් යාය කරන්න හදන්නෙත් ඒකමයි වෙන මාර්ගයක් අරගෙන. මුද්‍රිත මාධ්‍ය අනුග්‍රහය ගැන නම් සිතුවේ නැහැ. ඔන්ලයින් ම තමා යන්න කල්පනාව.

      Delete
  19. Especially for those who reside outside Sri Lanka.

    මෙහි (Australia) පළවෙන හොඳම සිංහල මාසික සඟරාමය පුවත්පතක් තමයි සන්නස. එහි දස වසරක පැරණි කලාප මෙහිදී ද කියවිය හැකියි.
    http://sannasa.sinhalajukebox.org/

    ReplyDelete
    Replies
    1. ස්තූතියි. මේකට ප්‍රසිද්ධියක් දිය යුතුයි. සිංහල ජූක්බොක්ස් එකනම් වසර ගානක් සිට සින්දු අහන්න මම භාවිතා කරන සයිට් එකක්.

      Delete
  20. බ්ලොග් කියවන පුවත්පත් කර්තෘවරුන් කොපමණ ඉන්නවාදැයි මා හරියටම දන්නේ නැහැ.
    එහෙත් විශේෂයෙන් කියන්න ඕන රාවයේ කර්තෘවරයා බොහොම කැමැත්තෙන් බ්ලොග් කියවනවා. ඔහු ඇතැමි අවස්ථාවල බ්ලොග් ලිපි පුවත්පත් වලට උපුටාගත් අවස්ථා තියෙනවා

    ReplyDelete
    Replies
    1. ඔහු අනාගතය දකින්නෙක්.

      Delete
    2. නාලක ගේ සිව්මන්සල කොලු ගැටයා සමහර වෙලාවට මම කියවන්නේ රාවයේ.

      Delete
  21. බ්ලොග් ගැන අනෙක් උන් හිතන හැටි කරූ ගිය සැරේ නෙළුම් යායෙදි කිව්වා.. මම පෞදගලිකවම මේල් යවලා තියෙනවා පුවත් පත් කතෘවරුන්ට ඒ වගේම පුවත් පත් වලට ලියන ප්‍රසිද්ධ අයට ඒ ළිපිම දාලා බ්ලිග් එකක් කරන්න කියලා.. ඒත් ප්තිචාරයක් දැක් වූවෙත් ගාමිණි වියන්ගොඩ විතරයි.

    ඇත්ත කතාව එයාල බ්ලොග් වලට බයයි. විවේච්නයට බයයි. කොමෙන්ට්ස් වලට බයයි. එයාලා හිතන්නේ එයාලගේ මතය හැමෝම පිලිගන්න ඕන කියලා.

    බ්ලොග් ඉදිරියට යන්න නම් කාලින දේ ගැන ලියන බ්ලොග් වැඩි වෙන්න ඕන . ටැබූ, බියෝන්ඩ් ෆ්‍රේම් ජනප්‍රිය උනේ ඒ නිසයි. ඒවා නවත්තන්න උනෙත් ඒ නිසයි. එයාලා ඒ කාළේ ගොස්සිප් වෙබ් අඩවි වලට වඩා ජනප්‍රියයි. අපි බ්ලොග් ලියන්න එන්නේත් ඒ නිසා.

    ගොස්සිප් අඩවි වලට තියෙන තැන බ්ලොග් වලට ගන්න නම් කලින් කිව්වා වගේ කාලින දේ ගැන ලියවෙන බ්ලොග් වැඩිවෙන්න ඕන.

    රාවය විවේචනය කරලා එක ළිපියයි යැව්වේ. එදා පටන් කවියක්වත් පත්තරේ දැම්මේ නෑ.. හැබයි උඩුවා එන්න ගොඩාක් කලකට කලින්.

    ReplyDelete
    Replies
    1. //ඇත්ත කතාව එයාල බ්ලොග් වලට බයයි. විවේච්නයට බයයි. කොමෙන්ට්ස් වලට බයයි. එයාලා හිතන්නේ එයාලගේ මතය හැමෝම පිලිගන්න ඕන කියලා. // සම්පුර්ණයෙන්ම ඇත්ත. ලංකා නිව්ස් වෙබ් වගේ වෙබ් අඩවි වල පවා එහෙම සෙට් එකක් හැදීගෙන එනවා. රාවයේ එහෙම දේවල් තිබ්බ කියල මමත් අහල තිබෙනවා. නමුත් සමස්තයක් වශයෙන් රාවය කියන්නේ තවමත් කිසියම් විධිහක (මම ප්‍රබුද්ධ කියන වචනය ඕනෑ කමින් ඇත හරිනවා මෙතන ) කාලීන සංවාදයක් ගෙනයන ඉදිරියෙන් සිටින විකල්ප පත්තරයක් කියල මට හිතෙන්නේ. කාලින දේ ගැන ලියවෙන බ්ලොග් ගොඩක් තියනවා මාතලන්. ඔය සම්මාන දෙන බ්ලොග් අඩවි පවා තෝරන්න අමාරු තරමට හින්ද ගුණාත්මක බ්ලොග් තියනවා කියල මම හිතන්නේ.

      Delete
  22. පුවත්පත්වල අනාගතය ගැන අජිත්ගේ මතය/ අනාවැකිය හරි කියල තමයි හිතෙන්නේ. Punch අන්තිමටම වැහුවයි කියල 2002 දැනගත්තහම දුක හිතුන. ඒත් ඒක මැගසින් මිසක් "පුවත්"පතක් නෙමෙයිනෙ.
    හුඟක් අය මට කින්ඩ්ල් ගන්න කියනව. ඒත් මට පොත් කියන දෙය විශේෂ දෙයක්. කඩදාසිවල විවිධ සුවඳටත් ආසයිනෙ. තාම අලුත් පොතක සුවඳ එනකොට ඒ සුවඳම තිබුන දශක 2-3 කට ඉස්සර කියවපු පොතක් මතක් වෙනව
    උස්සන් යන්න තියන අපහසුව නම් කරදරයක් කිලෝ දහයක පොත් අරගෙන මං ලඟදි වැටුන අමාරුව !!!

    ReplyDelete
    Replies
    1. ඒ කිලෝ දහයේ කොටසක් තවම ගෙයි මුල්ලක. මටත් මටත් වැඩි වුනොත් ගේන්නේ නෑ ඔන්න. නැවේ තමයි. බනින්න එපා. මාත් පොත් වලට ආසයි . දැක්කනේ අපේ ගෙදර බැනුම් අහගෙන තියන් ඉන්න හැටි. ඒ පොත් සීයක් දෙසීයක් චැරිටි වලට දීල ඉතුරු වෙච්ච.

      Delete
  23. රාවය කාලයක් බැලුවා. පස්සේ අතැරලා දැම්මා, ඔබ කියන දේ හරි, අනාගතය තියෙන්නේ පත්තර වල නොවේ බ්ලොග් වලයි.

    ReplyDelete
    Replies
    1. ඒක තමා අනාගතයට යමු කොහොම හරි. ගොඩක් බ්ලොග් ලියන පුරෝගාමීන් වැඩේ නැවැත්වුවා වැඩක් නැහැ කියල. මන් හිතන්නේ ඒ අය ඉක්මන් වැඩි වුන කියල. මේකේ වෙන විධි කීපයක් තියනවා. අර සමහර බ්ලොග් තියනවා විවිධ විෂයන් ගැන ලියන.

      Delete
  24. දවසින් දවස මුද්‍රිත මාද්‍ය අතහැරලා සයිබරය වෙත ඇදෙන ජනතාව වැඩිවෙන නිසා මුද්‍රිත මාද්‍යය දවසින් දවස වලපල්ලට යන එක නිසා රාවය පත්තරේ නවත්වන්න සිද්දවුනා කියන එක මම පිළිගන්නේ නැහැ.

    ඒ ගැන මගේ අදහස මෙහෙමයි.. ලංකාවේ දේශපාලන ප්‍රවාහයේ ඉන්න උදවිය පක්ෂ දේශපාලනේ සහ පාට දේශපාලයේ අගක් මුලක් හොයාගන්න බැරිවෙන්නම ගිලිලා ගිහින් ඉවරයි. බහුතරය පක්ෂ දේශපාලනයේ නිරතවෙලා ඉන්න නිසා ඒ බහුතරය නිරන්තරයෙන් කියවන්න අහන්න දකින්න උත්සහ කරන්නේ තමුන් නියෝජනය කරන පක්ෂයට පක්ෂ පුවත්පත, රේඩියෝව හෝ රූපවාහිනිය. ඒත් විකල්ප පුවත්පතක් විදිහට රාවය මිලදී අරන් කියවන්න හිටියේ විකල්ප අදහස් මත දරනා පිරිස විතරයි. ඒ සුලුතරයාගේ ඉල්ලුමෙන් රාවය දුවාගන්න බැරිවීම තමයි රාවය වැහෙන්න හේතුව විදිහට මම දකින්නේ.

    අපේ රටේ විකල්ප හොයන අනාගතය සහ වටපිටාව ගැන විචාරවත් විදිහට විමසිල්ලෙන් ඉන්න මිනිස්සු බොහොම අඩු වීම තමයි රාවය වැහෙන්න හේතුව. විකල්ප පුවත්පතක විකිණීම වැඩි වෙන්න නම් රටේ මිනිස්සුන්ට දැනෙන්න ඕන ජනතාවට විකල්පයක් උවමනා බව. එත් 88/89 න් පස්සේ තාම සාමාන්‍ය ජනතාවට දැනුනේ නැහැ රටට විකල්පයක් උවමනා බව. වෙනස් විදිහකට කියනවනම් රටේ මිනිස්සු මේ දවස්වල රඟදක්වන්නේ පක්ෂ දෙකක් විසින් මාරුවෙන් මාරුවට රත් කරන්නාවූ දිය හැළියක දිය කෙලින කකුළුවන්ගේ චරිතයන්. දිය හැලිය රත්වෙන බව දැනුන දවසට රාවය ආයෙත් කරලියට ඒවි කියලයි මගේ අදහස.

    ReplyDelete
    Replies
    1. රාවය නතර වුනේ මිනිසුන් සයිබරය වෙත යාම වැඩි වුන නිසා කියන අදහස මේ ලිපියේ කොතැනක වත් නැහැ. එය වහන්නට නොදී ගෙනයන්න මුදල් එකතු කල මගේ යහළුව වුනත් එහෙම දෙයක් කිවේ නැහැ. මිනිස්සු පත්තරේ ගත්තේ නැහැ. එක්කෝ සල්ලි නැති නිසා. නැත්නම් දැන්වීම් තියෙන වෙන ලංකාදීප වගේ එකක් හොඳයි කියල හිතන නිසා වෙන්න පුළුවන්.
      මේ ලිපියේ කියන්නේ එංගලන්තයේ ඉන්ඩිපෙන්ඩන්ට් අයිති කරු මුද්‍රිත පුවත්පත වස දමා එය සයිබරයට ගෙන යාමට තීරණය කල බව. ඔහු රුසියානු බිලියනර් කෙනෙකු නිසා අතින් ගෙවා ගෙන වුනත් පත්තරේ ගෙනි යන්න පුළුවන් කම තිබුන. නමුත් අනාගතය වැඩ හොඳින් දකින ධනපතියෙක් වශයෙන් ඔහු ගත්ත ප්‍රතිපත්තිමය තීරණයක්. ගාර්ඩියන් පුවත්පත වැහෙන්නෙත් සයිබරය නිසා. එනගලන්තේ මිනිස්සුන්ට ගන්න සල්ලි තිබෙනවා. මෙන්න මේ තත්වය මේ විධිහටම ලංකාවේ එනවා ඒ නිසා බ්ලොග් අතහැර , වෙබ් අඩවි අතහැර යන්න එපා අමාරුවෙන් හරි රැඳී සිටින්න කියන එක තමා කියන්න ඕනේ වුනේ.

      Delete
    2. //එත් 88/89 න් පස්සේ තාම සාමාන්‍ය ජනතාවට දැනුනේ නැහැ රටට විකල්පයක් උවමනා බව. // 88-89 විකල්පය නම් එපා. එහනම් දැන් පෙරටුගාමී සමාජවාදී පක්ෂය "ඔය දෙකම වැරදියි" ක්‍රමය වෙනස් කරමු කියල එකක කුමාර් නුත් ඇවිත් අරන් ගියේ. චන්ද හා දාහකින් ශක්තිමත් වුණා කියා කියන්නේ ඒ මතය. ඒ දහදාහ ජන රල ගත්ත නම් ජනරළ පත්තරේ විකල්ප එකක් හැටියට ගෙනි යන්න තිබ්බනේ. ඒ ගොල්ල ලංකාවිව්ස් එකට වුනත් වැඩි තැනක් දුන්නේ නැහැ. ගිය අවුරුද්දේ අග භාගේ ඔන්න අළු ගසා දළ , ඒ අඩවිය සහ පවුර වැනි කීපයක් එලියට දාල තිබෙනවා වෙබ් අඩවි. පමාවී හරි ඇහැරෙන එක හොඳයි. අනිත් පැත්තෙන් විකල්ප වගේ වෙබ් අඩවි කතා කරන්නේ ඉතා සුළු පිරිසකට. ඒවා හුඟක් කට්ටිවාදියි.
      මහින්දට විරුද්ධ විකල්පය ගෙනාවේ පත්තර වලින් නෙමෙයි. ඒකෙ අයිතිය එක එකා දැන් අරගත්තත් පෞද්ගලික වාසිය තකා , වෙබ් අඩවි බුකිය සහ බ්ලොග් ලොකු වැඩක් කලා . හැම දිනුමටම ගොඩක් පියවරු ඉන්න වනේ . ඒකට කමක් නැහැ. ඔබ ඔය කියන විකල්පය එන්නේ රාවය පත්තරෙන් නෙමෙයි. රාවය වෙබ් අඩවියෙන් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් රාවය, ලංකානිව්ස්වෙබ් හා මෙකි නොකී වෙබ් අඩවිත් බ්ලොග් සමුහයත් එකතුව කරන පෙරළියකින්. එදාට මේ ලිපියට නැවත එන්න.

      Delete
    3. ඕක නෙමේ මචෝ හේතුව. රාවයත් මහින්දට අම්බානක බය උනා. ඔය රුහුණුගේ ඉතරක් මක්කා හරි නොදැනෙන්න ලිව්වා... මම නම් ගන්නේ පුරුද්දක් හැටියට.. මැත කාළේ කියෙව්වේ විමලෙගේ කොළමයි නාලකගේ ළිපියයි තවත් ළිපි කීපයකුයි විතරයි. දැන් නම් පත්තරේ ආයෙත් වැඩක් ඇත්තෙම නෑ.. විකල්ප පත්තර ලෙස ජනරළ හා ලංකා ඊට වඩා ඉදිරියෙන් ඉන්නවා..

      අනික අම්බලන්ගොඩ කියනවා වා ගේ විකල්ප පත්තර වලට ඇති වැදගත් කමක් නෑ.. අඩු ගානේ ඉස්සර සිළුමිණේ තිබුනා වගේ ශාස්ත්‍රීය සංග්‍රහයක් වගේ දේකට යන්න තිබුනා. පත්තරේ කළු සුදු වලින් එහාට ගෙනියන්න බෑ කියන්නෙම එතනෙ තියෙනවා වෙනස් වෙන්න කැමති නෑ වගේ ගතියක්. උඹට මතක නේ ඔපෙර එකේ කේස් එක. රාවය ගැන කතා කලාම සමාජයෙන් එන්නේ ඕපෙරා වලට එන විවේච්නයම තමයි.. රාවය හොඳයි.. හැබයි ටිකයි..

      වෙනස් වෙන්න බැරි මොකාට උනත් අත් වෙන සෙතේ ඕකයි...

      Delete
    4. ඒක හරි. පුවත්පත් කියන්නේ ඩයිනසෝර වගේ වඳ වෙලා යන ජාතියක් නෙමේ. එතනින් පරිණාමය වෙලා අලුත් තැනකට එන්න ඕනේ කියන එකයි. අනික ලංකාදීප වෙබ් අඩවිය ඔච්චර ජනප්‍රිය විකල්ප එකක් නිසා නෙමේනේ. අපි එතනට අක්රමය කරලා යන්න ඕනේ. ඒ පාඨක ජනතාව විකල්ප වෙබ් හා බ්ලොග් අඩවි භාවිතයට ගන්න ඕනේ. ඔන්න මාතලන් - ඔය විකල්පය කියන වෙබ් අඩවි වල කට්ටිවාදී කම නිසා තම අපි නෙලුම් යාය පටන් ගත්තේ. ඔය ජනතාවාදී කියල කියන හැම වෙබ් හා පත්තරයක්ම අම්බලන්ගොඩ කියනවා වගේ තමාගේ දේශපාලනයට පක්ෂයි. කොටින්ම කට්ටිවාදී බව වැඩියි. තමන්ගේ එවුන්ගේ ඒවා විතරක් දාල තමාගේ ඒවා කියව ගන්න කොටසක් හදා ගෙනනේ ඉන්නේ . උඹ දන්නවනේ මම සරසා ගේ බ්ලොග් අඩවියත් කියවනවා. මාරයාගේ අඩවියත් අසාවෙන් කියවනවා. උඹේ එකත් කියවනවා. රාමචන්ද්‍රගේ එකත් කියවනවා. අපි එකඟ වෙනවද නැත්ද කියන එක වෙනම කාරණාවක්..

      Delete
    5. මමත් ඔය සියල්ලම කියවනවා... ඒ වගේම කොමෙන්ට් කරනවා...

      බ්ලොග් කියන්නේ ඒකයි.. ඕන එකෙකුට ඕන දෙයක් කියන්න ඉඩ තියෙන්න ඕන..

      Delete
    6. රාවය වැහෙන්න එක හේතුවක් බ්ලොග්. මොකද ඒකෙ තියෙන දේවල් ඊටත් වඩා අමුවෙන් බ්ලොග් වල තියෙනවා, ගොසිප් සයිට් වල තියෙනවා. මෙහෙම කිව්වට මගේ එජාප මිතුරන් තරහ වෙන එකක් නෑ කියලා හිතනවා. වැඩියෙන් ගැලරි ටෝක් වලට කැමති කොටස ඉන්නේ එජාප පාක්ෂිකයින් කියන දේ මම කුඩා කාලේ ඉඳන් දැකපු දෙයක්. ඒ වගේම මඩටත් කැමතියි. ෆේස්බුක් එකේ බැලුවත් මේක ඇත්ත. ශ්‍රී ලංකා කාරයෝ මඩ වලට කැමති නෑ. ජවිපෙ අය උපහාසයට කැමතියි. මේකට අධ්‍යාපන මට්ටම බපානවද කියලා මම දන්නේ නෑ. ඒත් කොළඹ සරසවියේ මහාචාර්ය කෙනෙක් කරපු පර්යේෂණයකට අනුව ඒ ඒ පක්ෂ වල අධ්‍යාපන මට්ටම් දාලා තිබුණා, ඒ වගේම රැකියා තත්ත්ව දාලාත් තිබුණා. අඩු අධ්‍යාපන මට්ටමක් ඇති වැඩිම කොටසක් එජාප, සාමාන්‍ය පෙළ, උසස් පෙළ දක්වා අධ්‍යාපනය ලබපු අය වැඩි කොටසක් ශ්‍රී ලංකා, උපාධිදාරීන්ගෙන් වැඩි කොටස ජවිපෙ. ඉතිං අධ්‍යාපන ක්‍රමය එහෙමම තිබුණාම මේ ඉලක්කම් වෙනස් වෙන්නේ නෑ.

      Delete
    7. බෙදෙන කටහ්වක් මල්ලි ලියල තියෙන්නේ. ම දන්නා හොඳ යුඇන්පී කාරයෝ ඉන්නවා ඉගෙන ගත්ත. ඒ වගේම අමු මාර්ටි ජේවීපී කට්ටියත් දැකල තියෙනවා. ශ්‍රී ලංකා එකේ ඔය දෙපැත්තම ඇති. ඕක ඔහොම සරල බෙදන්න පුලුවන් දෙයක් නෙමයි. ඔය සමහර වමේ පක්ෂ වල ය හා ඒ අය ලියන බ්ලොග් වලට ගිහින් කොමෙන්ට් එකක් දැම්මත් බනින්නවා අපේ වගේ උසස් ඒවාට එන්න එපා මද බෙදන ඒවාට ගිහින් කතා කරපන් කියල. දේශපාලනයට හා සංවාදයට මේ හැම ශෛලියම අවශ්‍යයි. තමන් විතරක් පරිකල්පනයෙන් උසස් අනිත් අය ඔක්කොම මෝඩයෝ කියල හිතන් මානසිකත්වය තියෙන්නේ නිහතමානී කම කියන එක නැති අයගේ.

      Delete
  25. ලංකාවේ ගොඩක් අය ලඟ සිංහලෙන් කියවන්න පුලුවන් ඇන්ඩ්‍රොයිඩ් ඩිවයිස් තියෙනවා. නමුත් ඔවුන් ඒවා පාවිච්චි කරන්නේ කෝල් ගන්නයි, ෆොටෝ ගන්නයි විතරයි. අපේ ඔෆිස් එකේ ලොකු නෝනා ගාවත් අඟල් පහේ විතර ඇන්ඩ්‍රොයිඩ් එකක් තියෙනවා . ඒත් ඩේටා කනෙක්ෂන් එකක් නෑ. එයා ඒක ගත්තෙ ඩුවල් සිම් හින්දලු. ඒකටත් වඩා හොඳ එකක් ඔෆිස් එකේ පියන් ගාව තියෙනවා. ඌ ඒක ගත්තෙ ෆොටෝ ගහන්නලු. ඉතිං කොහොමද රටක් දියුණු වෙන්නේ

    ReplyDelete
    Replies
    1. එයාලා දන්නේ නැතුව ඇත යාන් හෑල්ල වගේ බ්ලොග් එකක් තියනව කියල.

      Delete
  26. බ්ලොග් කියන්නේ මොකක්ද කියන දේ නොදන්නා ගොඩක් අය තවමත් අපේ රටේ ඉන්නවානේ.ඉහතින් රසිකත් කියා තිබෙන පරිදි "බ්ලොග්"කියන්නේ ගොසිප් වෙබ් එකක් කියලා තමයි ගොඩක් අය හිතන්නේ.

    අනික් අතට "බ්ලොග්"ලංකාව තුල පිළිගත් මාධ්‍යක් විදියටත් නැහැනේ.මට මතකයි රසික කලකට පෙර කියා තිබුනා ඔසී රටේ පවා බ්ලොග්කරුවන් මාධ්‍යවේදීන් ලෙස පිළිනොගන්නා බවක්.

    අනික් අතට දැන් පත්තර ලංකාවේ සල්ලි දීලා ගන්න ඕනේ නැති තත්වයකුත් තියෙනවානේ.උදේට හැම රුපවාහිනී නාලිකාවකම වගේ පත්තර සිරස්තල විතරක් නෙමේ මුළු පුවතම කියවනවා තමන්ගේ අදහසුත් එක්කම.ඉතින් මොකටද සල්ලි දීලා පත්තර ගන්නේ නිවුස් බලන්න.එත් ඉතින් ඔය බත් ඔතන්න වගේ අවශේෂ වැඩ වලට ඕනේ නිසා පත්තර ගන්න පිරිසකුත් ඉන්නවා.

    ReplyDelete
    Replies
    1. බ්ලොග් කියන්නේ මොකක්ද කියල නොදන්නා ය හැම රටකම හුඟක් ඉන්නවා. බ්ලොග් කියන්නේ පිළිගත් මාධ්‍යක් නෙමේ වෙන්නේ පුළුවන් ලනක්වේ දැනට. වෙන රටවල් බ්ලොග් සහ වෙබ් අඩවි වල කිසියම් එකතුවක් තිබෙනවා. නමුත් එංගලන්තයේ හා ඇමෙරිකාවේ මේ තත්වය වෙනස්. මාධවේදීන් තම බ්ලොග්කරුවන් වෙලා ඉන්නේ. ඒ නිසා රසික ඔය කලකට පෙරේ කිව්වා කියන කතාව වැරදි එකක් දැන්. ඉස්සරහට හෙවත් අනාගතයට වෙනේ දෙයක් සඳහා දැන්ම සිටම සුදානම් වීමක් තමා අවශ්‍ය. මම අද දැක්කා ඉයන් ගේ අඩවියේ ප්‍රින්ට් ඩොට් ඔර්ග් කියල අදාවියක් දාල තියනවා. බ්ලොග් ලියන් එන්න, ඒ ගොල්ලෝ සම්මාන දෙනවා දවසට මාසෙට එහෙම. වෙනස් කරන්නත් පුළුවන් කියල. මම කියන්නේ නැහැ අපියි පටන් ගත්තේ කියල. අපිට කලිනුත් බ්ලොග් සම්මාන දෙන කට්ටිය හිටිය. නමුත් මම කියනවා ඔවුන් වටහාගෙන කියල අනාගතය.

      Delete
  27. බ්ලොග් කියන්නේ පුරවැසි මාධ්‍යකරණය. ඉතිං කාලීන සිදුවීම් ලියන්න නම් මේ තරම් හොඳ මාධ්‍යක් නෑ. නමුත් කාලීන ලිපි ලිව්වොත් බ්ලොග් එකට දිගුකාලීන ජනප්‍රියත්වයක් නෑ. එහෙම ඕනෙනම් කොටි වලිගෙ අල්ල ගත්තා වගේ දිගටම ලියන්න ඕනේ(අඩුම ගානේ මාතලන් ගේ වේගයෙන්).

    බ්ලොග් සහ පත්තර අතර ප්‍රධාන වෙනස තමයි බ්ලොග් අසංක්ෂිප්ත සහ පත්තර සංක්ෂිප්ත වීම. පත්තර වලදී එයාලගේ ඉඩ ප්‍රමාණයට ගැලපෙන විදියට කපනවා. මට ඔය වැඩේ වෙලා තියෙනවා. උන් කපන්නේ අපි ලියපු ලස්සනම කෑල්ල. තරහින් කරනවද කියලා වෙලාවකට හිතෙනවා. මේ ළඟදී මට පත්තරේකට ලියන්න අවස්තාවක ආවා. මම ලියලා දීපු එක දිග වැඩියි කිව්වා. ඉතිං මම සද්ද නැතිව නිකන් හිටියා. අපි, හැලපෙලා අයිති පඳුරු තලන කණ්ඩායමටනේ. ඒක අපේ ක්‍රමය, ඒක වෙනස් කලොත් වැඩක් නෑ. ඊට අමතරව බ්ලොග් වල තියෙන ඒවා තරුණයා පත්තරය උපුටාගැනීම් සමගම දානවා(මම හිතන්නේ පැතුම් පුංචිහේවා තමයි කරන්නේ- ඔහු අයිති උභය කුලයට පත්තර සහ බ්ලොග්). මගේ පොස්ට් එකක් හෝ දෙකක් එහෙම ගියා. මාතෘකාව පොඩ්ඩක් වෙනස් කරලා. හැබැයි කෙටි ඒවා. එකෙන් පේනවා එතැනත් ඉඩත් එක්ක සටනක් තියෙනවා කියලා. ඊට අමතරව නාසා වීඩියෝවක් මම පරිවර්තනය කරපු ලිපියක් ගෙඩිය පිටින් "අද" කියන පත්තරේ ගියා. එක වචනෙක ඇලපිල්ලක් විතරයි වෙනස් කලේ. එයාලා එතැනට ආවා කියන්නේ අජිත් කියන තැනට වැටිලා කියන එක. මේක අර ලෝක විනාසෙට බයේ හිටපු කාලේ වුණු දෙයක්. ඒ ලිපියත් ඒ ගැනමයි. සමහරු ඒ වගේ බාල විදියට ගොඩ යනවා. නමුත් බ්ලොග් කාරයා දිනුම් කියන සතුට මට තියෙනවා.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මචෝ. මේ කියන එක ඉස්සරහට එනවා කියල මට හොඳ හැඟීමක් තියනවා. මම දැක්ක තව කවුදත් බ්ලොග් එකතු කරලා දාන එකක් හදල සම්මානත් දෙනවා කියල. print ඔර්ග් කියල. එතකොට එහෙම තව එකක් එනවා කියන්නේ අපට විකල්පයට තව සම්මාන උළෙලක් වුනත් එයි. ඒ කියන්නේ රැල්ල මිනිසුන්ට හමයි. අපේ වැඩේ කලා කියල අපට එතකොට අයින් වෙන්න පුළුවන්. අපි පරණ බ්ලොග් කරුවෝ කවුරුත් අමතක කරන්නේ නැහැ. උඹල ඔක්කොමල මොන දේශපාලන අදහස් තිබුනත් මේක තේරුම අරන් ඉන්නවා කියන එක සතුටක්.

      Delete
  28. එකග වෙන්න පුලුවන් ලිපියක්. රාවය පුවත්පත ලන්කාවේ සබ්යත්වයක් තියෙන පුවත් පතක් ඒක නිසා මේක මිලදී ගන්න ප්‍රමානය අඩුයි.
    සමහරු මගේ මූනටම කියපුවා,
    පිටු අඩු නිසා.
    වර්නවත් පින්තූර නොමැති වීම,
    අකුරුවල ස්වභාවය,
    ඔන්න ඔය වගේ හේතු නිසත් ගන්නේ නැති අය ඉන්නවා... හැබැයි රාවය කියවන හොද පුවත් පතක්

    ReplyDelete
    Replies
    1. ඔව්. රාවය පිලිබඳ විවාදයක් නැහැ. නමුත් ඒ ගොල්ලෝ වෙබ් අඩවියක් හැටියට ඉස්සරහට එනවා නම් හොඳයි.

      Delete
  29. මාධය ආයතන(පත්තර හා විද්‍යුත්) කාටවත් කඩේ යන්න්නැතුව ක්‍රියාකරනවනන්.....පිරියක් ඇතුව පත්තර කියවන්ඩත් පුලුවන්....ටීවී බලන්ඩත් පුලුවන්......රේඩියෝ අහන්ඩත් පුලුවන්....

    මොකක් උනත් අයිය පත්තර කියවන එකේ පොඩි ලල් එකක් තියනව

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත. හම්බ වුනොත් මාත් කියවනවා .

      Delete
  30. //ගමේ කෝපි කඩේ හෝ කොම්පඤඤ විදියේ සුරා සැලේ නොවේ.
    හෑහ් !! අර පිංච් පොයින්ට් හාදයා එහෙනම් කොයිල් වෙන්න ලියල තිබ්බේ වීදුරුවෙන් නමාගනිමින් කියල ලියල තිබ්බේ කුමන්ත්‍රණයක් එහෙනං

    ReplyDelete
    Replies
    1. මොකක්ද ඒ. දැක්කේ නැහැ.

      Delete
    2. http://pinchpoints.blogspot.com/2016/03/2.html

      Delete
  31. බ්ලොග් ලොව ගැන විවේචනය කරන්නට තරම් හසල මට නැති බව සැබෑය. පුවත් පතකට යවන ලිපියක් හෝ කවියක් පල්වෙන්නේ ඉතා කලාතුරකිනි. එය නිර්මානයේ වැරැද්දද විය හැකිය. කවුරුත් දන්න පරිදි මම මූනුපොතේ නිර්මාණ ඉදිරිපත් කළේ බ්ලොග් එකක් පටන් ගන්නට පෙරය. කවදත් කියනව වගේ එහි පේජස් 5ක් පවත්වගෙන ගියෙමි. ෆ්ලොව්(ර්)ස් ල 4392 කි. එහි ඉන්නා අයගෙ බුද්ධියට නොගරහමි. නමුත් වඩා ජනප්‍රිය්වන්නේ ලස්සන පින්තූරයක් + සරල කෙටි වැකි කීපයක් ලියන ඒවාට පමණි. කමෙන්ට් ලැබෙන තෘප්තියනම් අගනේමය. බ්ලොග් කරුවන් රැවටිය නොහැකිය. අන්තර්ගතය කතා කරන්න තරම් දෙයක් නැතිනම් ඔව්නු ඒවා කියවන්නෙ හෝ කමෙට් කරන්නෙ නැති තරමි. මා හඳුනන මා දකින බ්ලොග්ස් හා බ්ලොග්කරුවන් මිත්‍රශීලිය.එක්නෙකාට විහිළු කරගන්න ආකාරය සහ කමෙන්ට් වලින් දෙන සහයෝගය එකම පවුලක සමාජිකාවක වැනි හැඟීමක් ඇතිවේ. බ්ලොග් එක නිසි අයුරින් පවත්වාගෙනයාමට මට දුන් උපදෙස් හා සහයෝගය අති මහත්ය.පත්තරයකට ලියනවාට වඩා/ මූනු පොතේ යමක් ලියනවාට වඩා හිතයිශීබවක් ලෙන්ගතු බවක් මට හැඟේ.
    මගේ වචනයන් කියනවා නම් බ්ලොගි ලිවීම "එලස්" ය

    ReplyDelete
    Replies
    1. පත්තර වල අඅඳුනන්නේ නැත්නම්, තමන්ගේ කණ්ඩායමේ, ගෝත්‍රයේ, පක්ෂයේ නැත්නම් පල කරන්නේ නැති එහෙකුත් තියනවනේ නංගි. බ්ලොග් ලෝකේ කාගෙන්වත් අහන්න ඕනේ නෑ . බ්ලොග් එකක් හැදුව පල කලා . නියම ප්‍රජාතන්ත්‍රවාදය මෙතන තියෙන්නේ.

      Delete
  32. අවුරුදු 6 තිස්සේ බ්ලොග් ලියුවෙමි, වෙනස්ම අත්දැකීම් ගොන්නක් සහිතව කතන්දර ලීවෙමි. නමුත් අපේ රටේ වැඩිහිටි පරම්පරාව අතරේ වඩා ප්‍රචලිත මුද්‍රන මාධයයි. පොත් දෙකකුත් ලීවෙමි. මීට අමතරව නේෂන් පුවත්පතේ ඉංග්‍රිසි කොලමක් ද ලීවෙමි. (පත්‍රය මුද්‍රණය නවතන තෙක්ම) මට හිතෙන්නේ තවමත් අපේ රටේ වැඩි ඉඩ මුද්‍රන මාධ්‍ය වෙතයි කියා. සයිබර් අවකාශයේ ලියන දේට ඇසිල්ලකින් ප්‍රතිචාර ලැබෙනවා. නමුත් මුද්‍රිත දේවලට එසේ නොවේ...

    ReplyDelete
    Replies
    1. මුද්‍රිත මාධ්‍ය බැහැලා යනවා අනිත්කොන. ඔබේ බ්ලොගයේ වැටෙන දේවල් අපි නෙලුම් යායේ දාන්නේ නැත්තේ ඒක බ්ලොක් කරලා තියෙන නිසා. ඔයා මගේ බ්ලොගයට ආවේ නැතත් මම ඒකත් එල්ල ගෙන ඉන්නේ. දොස්තර වරියක වශයෙන් ඔබේ අත්දැකීම් සමාජයට කොහොම ගියත් කමක් නැහැ. ඔබේ පොත් නුත් මම කාටදෝ කීව එවැන්න කියල . ලැබුනේ නැහැ. නේෂන් නැවතුනේ මිනිස්සු ඒක නොගත් නිසා. අනික මාලින්දට පොඩි විවේචනයක් කලත් තරහ යන කෙනෙක්. මම අත් දැකීමෙන් දන්නේ. ඔය නොදන්නවට මම දන්නවා හුඟක් පත්තර විකිනෙන මුදලට වඩා "දාන" මුදලින් රන් වෙන්නේ කියල. ලංකාදීප හැර.පොත් ගැහුවට විකිනෙන්නේ ටිකයි. හොඳ ඇඩ් පාරක් දැම්මේ නර්ත්නම් අනාථයි. නමුත් මම පොත් මිලදී ගන්න හරි කැමතියි. ඒක නොනැසී තියෙනවා නම් හොඳයි. දැනට තත්වය ගැන නෙමේ මම කියන්නේ. තව අවුරුදු කීපයකින් මේ තත්වය ගොඩක් වෙනස් වෙනවා. එංගලන්තේ ඒක වෙනස් වෙලා. බ්ලොග් කරුවන්ට කියන්නේ මේක අත් හැරලා යන්න එපා. මේකට ප්‍රධාන තැන දෙන ගමන් මුද්රිත් මාධ්‍ය වලටත් සම්බන්ධ වෙන්න. නමුත් මෙතන අනාගතය වෙනස් වෙනවා සීග්‍රයෙන්.

      Delete

සියලු හිමිකම් අජිත් ධර්මකීර්ති (Ajith Dharmakeerthi) සතුය. කොළඹ ගමයා බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ අජිත් ධර්මකීර්ති යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ.
මෙහි පලවන ලිපි සහ දේශපාලන අදහස් මගේ පෞද්ගලික අදහස් පමණි.
ඔබේ ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. නමුත් වෙනත් කෙනෙකුට සාධාරණ හේතුවක් නැතුව පහර ගසන අශිලාචාර අන්දමේ ප්‍රතිචාර පමණක් පල නොකෙරේ. බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ස්තූතියි .