Monday 6 August 2018

ප්‍රථම ප්‍රේමය ඔබ නොවේ (33) - අපි නවත්තමුද

ප්‍රථම ප්‍රේමය ඔබ නොවේ (32)  - අමනාපයක් ඇති වුනිද නැවතත්

ඉරිමා උදයේ තාන්යා හමුවීමට ගිය ගිහාන් ට දොර හැරියේ තඩිස්සි වී ගිය  කෝපය හා ශෝකය මුසු මුහුණකින් යුත් යුවතියකි.
තාන්යා ලෙහෙසියන් හඬන කෙල්ලක නොවේ.  ඇය හඬා වැළපුනා වත්ද ?
"රුසියන් ගැහැණු  ලෙහෙසියෙන් අඬන්නේ නැහැ මල්ලි. " වරක් ජ්‍යෙෂ්ඨ සිසුවෙක් පැවසුවේය.

"ඉතිහාසය පුරාම ඉස්සෙලම ජෙන්ගිස් ඛාන් ගේ හමුදාවෙන් බැට කාල , ඊට පස්සේ තවත් නොයෙකුත් ආක්‍රමණ වලින් බැට කාල , රුසියන් අධිරාජ්‍යය  පිහිටුවන්න පිරිමි යුද්දෙට ගියහම ළමයි එක්ක ගම් බිම්  බේරාගෙන ගොවි බිම් වල දාඩිය වගුරුවල, විප්ලව කාලේ බැට කාල ඉන්නේ උන්.  පළමුවෙනි හා දෙවෙනි ලෝක යුද්ධ දෙකෙන්ම  වැඩියෙන්ම බැට කෑවෙත් ඔය  ගැහැණු. ඔය හැම කාලෙම  කුසගින්නේ ඉඳල , ඒ මුළු දුක් කන්දරාවම විඳගෙන දරාගෙන  පන්නරය  ගත්ත ගෑණු . මුන් ලේසියෙන් අඬන්නේ නැහැ. මුන් ගේ හිත්  හෙන තදයි " ඔහු බැරෑරුම් බවක් පාමින් ප්‍රකාශයක් කළේය.

කාමරයේ කෙල්ලන් තිදෙනා ගිහාන් ගේ මුහුණ මග හරින  බවක් පෙනුනි.

තාන්යා කාමරයෙන් එලියට පැමිණ කොරිඩෝරයේ මැද පඩි පෙළ අසල ඇන්දට හේත්තු වුනාය.

"අපි දෙන්න පොඩි විවේකයක් ගමු. මට මුලින් ඔයත් එක්ක කොහෙවත් යන්න ඕනේ කමක් තිබ්බේ නැහැ. ආශාවක් තිබ්බ ඔයත් එක්ක ඉන්න, ඒක පස්සේ ආදරයකට පෙරලුන. ඔයාලගේ රටේ සමහර මිනිස්සු හිතන විධිහ වෙනස් කියල මට කාලෙක ඉඳන්  තේරිලා තියෙන්නේ. මගේ බබුෂ්කා  කියන්නෙත් හරියන වැඩක් නෙමේ කියල. බබුෂ්ක කියන දේ මම හුඟක් අහනවා. අම්මට තාත්තට වැඩිය මට එයා සමීපයි. අපි දැන්ම වෙන් වුනහම දෙන්නටම ලෙහෙසියි නේද?"

"තානි" ගිහාන් පළමු වරට ඇයට කෙටි නමින් ආමන්ත්‍රණය කළේය. එය වඩා සහෘද හා ආදරයෙන්  පිරී ඇති බවක් ඔහුට සිතුනි.

"ඊයේ එක්කෙනක් කීව කතාව තව දහ දෙනෙක්  කියයිද සිය දෙනෙක් කියයිද කියන එක මට ප්‍රශ්නයක් නෙමේ. ජිවත් වෙන්නේ අපි දෙන්න.  මම ඔයාටහුඟක් ආදරෙයි. ඒක එක දවසින් ඇති වුනේ නැහැ. ඔයා ඒක දන්නව හොඳටම. අපි සංස්කෘතීන් දෙකක් නිසා අපට ප්‍රශ්න එයි. නමුත් අපි දෙන්නට අවබෝධයෙන් ඒවා විසඳ ගන්න පුළුවන්."

දෙදෙනා පළමුවතාවට   දීර්ඝ වෙලාවක් වාද කළහ.

අවසානයේදී තාන්යා සිතට වද  දිදී තිබූ බෝම්බය අත හැරියාය.
"මට අර ටැක්සි එකේ රියදුරා එන්න කීව අද ඇවිදින්න යන්න"

"මොකක්, ඔයාට පිස්සුද , අපි අතරේ තවම ප්‍රශ්නයක් ඇති වුනේ නැහැනේ ඔයාට එහෙම කරන්න. මම ඔයාව ලංකාවට එක්කන් යන්නේ නැහැයි කීවෙත් නැහැනේ. මට මෙහෙ ඉන්න බැරි එක විතරයි  කිවේ. අර පොත් පරිවර්තනය කරන කතුවරයයි, තානාපති කාර්යාලයේ වැඩ කරන කිහිප දෙනෙකුයි ඉන්නවා මෙහෙ රුසියානු පෙම්වතියන් කසාද බැඳගෙන නතර වෙලා. මට එහෙම කරන්න බැහැ  කියල විතරයි කිවේ. අනික මේ ගොර්බා ගේ පෙරේස්ට්‍රොයිකා නිසා මොනවා වෙයිද  ඉස්සරහට කියල කවුරුත් දන්නේ නැහැනේ තාන්යා. ඉක්මන් වෙන්න එපා."

 "මුකුත් වෙන්නේ නැහැ. මට ටිකක් ඇවිදින්න යන්න ඕනේ. ඒ නිසා මම ගෙනාදී එක්ක යනවා. එයා කොහොමත් තව ටිකකින් ඒවි"  සිත තද කරගෙන කී තාන්යා ඔවුන් ගේ  කාමරයට ගියාය.

ගිහාන් තුෂ්ණිම්භූතව නිසොල්මනේ සිටි තැනම මොහොතක් සිටියේය.

දොර හැරගෙන ඉන්ගා එලියට පැමිණියාය.
"ගිහාන් ඔයා කලබල වෙන්න එපා. අපිත් උඹට ආදරෙයි. තාන්යා ඔය දෙතුන් දෙනෙක් කියන කීමවල් ඔක්කොම අහල අවුල් වෙලා. නමුත් අපි දන්නවා ඒකි උඹට කොච්චර  ආදරේද කියල. අර කොට්ටෙන් ඔලුව වහගෙන නිදි. උඹ කලබල වෙන්න එපා. ලබන සතියේ ආයෙත් වරෙන්. අපි ඒකිට කතා කරන්නම්. උඹ දැන් පලයන් "

ඔහුගේ උරහිසට අතක් තබාගෙන දුක්මුසුව වුවද තිර හඬින් කීවාය.

 "ඒත් අර ටැක්සි කාරයා ගෙනාදී ..."ගිහාන් මිමුණුවේය.

"ගෙනාදී ඊයේ කෙල්ලගේ හිත ඇවිලිලා තිබ්බ නිසා ඒකෙන් ප්‍රයෝජනයක් ගන්න  හිතනවා ඇති. අපි තාන්යා ගැන දන්නවා. උඹ නේවාසිකාගාරයට පලයන් බය නැතිව. " පැවසූ ඉන්ගා කාමරයට ගියාය.

කුමක් කරන්නේද යයි සිතා  ගත නොහැකිව ගිහාන් කාමරයට පැමිණ ඇලවුණේය . තමන් හරියට පත්ව ඇත්තේ ගොළු හදවතේ සුගත්  ගේ තත්වයට ද? නැත, මේ එතනින්  බොහෝ දුරට ගිය සම්බන්ධතාවයකි.

ඔහු කාමරයේ තිබූ මිල්ටන් මල්ලවාරච්චි ගේ කැසට් පටය රෙකෝඩරය ට ඔබා  ඇඳේ ඇලවුනේය.

මිල්ටන් ගේ පැරණි ගීතයක් වූ "සංසාර  සෙවනැල්ල " ඔහුගේ සවන් පුරා ඉතිරි ගියේය.

" බොළඳ ප්‍රේමවන්තයෙක් වගේ මමත් මිල්ටන් ගේ විරහ ගී අහනවා. මට මෙහෙම වෙයි කියල හිතුනද "

සන්සාර සෙවනැල්ල ලෙස පතා ආව කියල විශ්වාස කරන්න පුලුවන්ද?තාන්යා  හිටියනම් තේරුම කියා දෙන්න තිබ්බ. "මා මද සුළඟයි ඔබ මුදු සුවඳයි  " මාර උපමාව ඒක.  ඔහු ගේ  සිත සම්පුර්ණයෙන් ම  අවුල් වී ඇත.



සුහදයා කාමරයට කඩා වැදුනේය.
"ඒයි මොකද බං, කෝ තාන්යා මොකද මේ විරහ ගී දාගෙන "

"කෙළ උනා බං. මේක ඉවර කරමුලු. දෙන්නටම හොඳයිලු. අර ටැක්සි කාරයා එන්න කීවලු ඇවිදින්න යන්න. මම  ආව එන්න. මේ මිල්ටනය කියන සින්දු වලටත් පිස්සු හැදෙනවා බං. බලපන් කෝ, ඔබේ නිල්  නුවන් තලාවේ සැලේ කඳුළු මිදිලා , මට ඒ මැදින් පෙනෙන්නේ අපේ මතක මැවිලා කියන කොට කොහොමද ඉන්නේ කියල."

"යකෝ සිරාවටම උඹ අර බොළඳ ප්‍රේමවන්තය වෙලාද. "

"මටත්  එහම හිතුන බං. ඒත් මචන් මම ඇත්තටම ඒකිට ලව්. මට තාන්යා බඳින්නත් ඕනේ ලංකාවට එක්ක යන්නත් ඕනේ. "

"ගිහාන්, " සුහද හුස්මක් ගත්තේය.

"තාන්යා හොඳ කෙල්ල  බං. නමුත් සමහර විට එහෙම වෙන එකත් උඹට හොඳයි. උඹ ඉවර කරල යද්දී ඒකි මොස්කව් ඉන්න  ඕනේ උපාධිය ඉවර කරන්න. ඒකිගේ අදහස් විතරක් නෙමයි උඹෙත් වෙනස් වෙයි. ඔය කාලය ඇතුළත. වෙනස් වුනේ නැත්නම් බලපන්."

"මගේ අදහස් වෙනස් වෙන්නේ නැහැ  බං. තාන්යා බබුෂ්කගේ පටන් හැමෝම කියන එක අහනවා. ඊට පස්සේ අවුල් වෙනවා."

"වරෙන් යන්න.  උඩ කාමරේ බෝතලේ කට සෙට් වෙනවා කිව්වා, ප්‍රියාන් ලත් එනවලු. ගුණදාස කපුගේ ගේ විරහ  ගී ටිකක් කිව්වම හරි යයි."

"මම එච්චර  ප්‍රබුද්ධ නැහැ බං. මිල්ටන් හොඳයි. "

"ප්‍රබුද්ධ කතාවක් නෙමෙයි බං. උඹ දෑස නිලුපුල් තෙමා හෙම අහල තියනවද? උඹට හරියන්නේ අර උන්මාද සිතුවම් සෙට් එකේ තියෙන මංමුලාවී කියන සින්දුව "

"ඒ කියන්නේ "

"ඇයි බං ඒකෙ කියන්නේ මං මුලා වෙච්ච  දෙන්නෙක් ගැන නේ "

"පල යන්න "

ඔවුන් උඩ කාමරේ කට්ටියට එකතු වන විටත් වොඩ්කා වලින් උණුසුම් වූ දේශපාලන සංවාදයක් ඇදී යමින් පැවතුනි.

"ගොර්බට පිස්සු. ගොඩක් පක්ෂ සමිති වල වුන් ඉල්ලා අස්  වෙනවා හිටු කියල.කාර්මික නිෂ්පාදනය වැඩි වෙලා නැහැ අඩු  වෙලා  " ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයට හිතැති සිසුවෙක් පැවසීය.

"පිස්සු නම් නෙමේ. කරන්නේ මොකක්ද කියල දන්නේ නැහැ. අපේ දර්ශනවාදය හා විද්‍යාත්මක කොමියුනිස්ට්වාදය  උගන්වන ගුරා කෙලින්ම කියවනේ ඒක. භය නැතුවම " ප්‍රියාන් කීවේය.

"දැන් මොකද වෙන්නේ බං . රුස්සට පිට යන්න පුලුවන් ලුද  " ගිහාන් ඇසීය.

"උඹගේ නංගිව  නම් දැම්ම ගෙනියන්න බැරි වෙයි " කොල්ලන් සියල්ලෝම සිනා සුනහ.

 "මචන් ගොර්බා  කියන්නේ  අර ලෙනින් යුද්ධ සමාජවාදෙන් පස්සේ ගෙනාපු නව ආර්ථික පිළිවෙත කියල කුඩා කම්හල් හිමියන්ට, ගොවියන්ට නිදහස දීපු ඒක  නැවත කරන්න කියලනේ. ඒ කාලේ නිෂ්පාදනේ  වැඩි වුණා. ආර්ථිකය දියුණු වුණා තමයි. නමුත් දැන් ඒක ක්‍රියාත්මක කරලා  මොකද වෙලා තියෙන්නේ . මොස්කව් වල පොඩි පෙට්ටි කඩ දාල හැම  තැනම. විකාරයක් වෙලා. චෙච්නියා, ආර්මේනියා ජෝර්ජියා වගේ පැති  වලින් ආපු මාෆියා කාරයෝ ඒවා අල්ලාගෙන, මුන්ගේ මධ්‍යම කාරක සභාව විකාර  කතා කර කර ඉන්නව තවම. යෙල්ට්සින් කියන එකා මොස්කව් වල  ගොඩනැගිලි හදන එවුන් හොරකම්  කරනවා කියල ඒවා නවත්වල. " ප්‍රියාන් දිග දේශනයක්  කළේය. ඔහු පැවසුවේ  මේ දිනවල  සිදුවන වෙනස් කම් ගැනය.

"එකදාස් නමසිය විසි ගණන් වල කරපුව දැන් හරියන්නේ කොහොමද බං. දැන් කරන්න  ඕනේ අර චීනා වගේ බටහිරින් ආයෝජන ගේන්න. නැත්නම් මේ තියෙන කම්හල් ප්‍රති සංවිධානය කරන්න. පාඩු ලබන ඒවා වහල දාන්න " ප්‍රියාන්  නැවතත් කීය.

 ඒ දිනවල දුන් නිදහසට කියෝස්ක් නමැති පුවත්පත් විකුණන කුඩා පෙට්ටි කඩ වලට අමතරව පෞද්ගලික අයිතිකරුවන් ඇති කඩ රාශියක් බිහිවිය. ඒවායේ විකිනුනේ ෆැන්ටා, පෙප්සි කෝලා , චොකලට් වර්ග, චුවින්ගම් වන දේ හා අරුමෝසම් සිගරට් වර්ගය. තාන්යා සමග දෙතුන් තැනකම මොනවා හෝ කා පෙප්සි බීම ගිහාන් ගේ ද පුරුද්දක් විය.

"මෙන්න මූ  ද්‍රෝහියෙක් වෙලා. උඹ දන්නවද ලංකාවේ  මේ දවස් වල කලබල. ඉන්දියා හමුදාවට  විරුද්ධව උද්ඝෝෂණ. ලංකාවේ ආණ්ඩුව කොල්ලෝ මරනවා පාරවල "

"මේ රටේ ප්‍රතිසංස්කරණ කරන්න හදද්දී ලංකාවේ සමාජවාදයට ෆයිට් කරනවද බං තවම"

"එහමත් නෙමේ. නිදහස් අධ්‍යාපනය බේරා ගන්න  සටන් කරපු එකට, ඉන්දියන් විරෝධයත් ඇවිත්.  ගොඩක් කොමියුනිස්ට් පක්ෂේ හා වාමාංශික එවුන් මරල දේශප්‍රේමී ව්‍යාපාරය කියල එකකින්, හමුදාවේ අය මරන්න අණ දීල , ආණ්ඩුව හිටු කියල එක එක කණ්ඩායම් හරහා මරනවලු ශිෂ්‍යයන් ව.  මේ මුන් සෝවියට් දේශය කෙලින්ම සපෝර්ට් ඉන්දියාවට නේද? "

"ඔය ජේවීපී එකේ විජේවීර මචන් චීනේ පරණ ක්‍රමයට ඒ කියන්නේ මාඕ , ස්ටාලින් ගේ ක්‍රමයට පක්ෂ පොරක්. ඒක නිසා මෙහෙ වෙන දේ උන්ට අදාල නැහැ. මෙහෙ කොහොමත් ධනවාදයට යනවා කියල පොර කිව්වලු නේ. මුන් ඉන්දියාවට තමයි සපෝර්ට්. දෙමළ  ප්‍රශ්නෙදි ඉන්නෙත් ඉන්දියාව එක්ක.  "

"මොන බොරුද  ලංකාවේ වාමාන්ශිකයෝ ඔක්කොම වගේ මෙහෙයි, කියුබාවයි හොඳයි කියල කියන්නේ. නමුත් මෙහෙ එවුන්ට ඕනේ බටහිර වගේ වෙන්න. විජේවීරලා උනත් තමන්  මාක්ස් ලෙනින් වාදී කියලනේ  කියන්නේ " තවෙකෙක් වාද කළේය.

"ඒ උනාට නිදහස් අධ්‍යාපනය නැත්නම් අපේ මෙහෙ එන්නෙත් නැහැනේ බං. ඒක නැති කරනවට නම් මමත් විරුද්ධයි " සුහද කීවේය.

"හ‍රි බං මිනී  මරා ගන්නේ නැතිව ඕව කරන්න විධිහක්  ඇත්තෙම නැත්ද. ජිවත් වෙන්න ඕනේ නැත්ද මිනිසුන්ට " ගිහාන් සුහද දෙසද ප්‍රියාන් දෙසද විටින් විට බැලීය.

"උඹේ ලව් එක ආත්මාර්ථකාමී එකක්. උඹට විතරයි ජොලිය ඒකෙ . ඉතින් උඹට  ඕනේ නැහැ ඔය කරදර. අනිත් එවුන්ට එහෙම නැහැ. උන් බලන්නේ හැමෝටම  හොඳ දෙයක් ගැන" ප්‍රියාන් ඔලොක්කුවට මෙන් කීවේය.

"ඔන්නොහෙ ඔය වාදේ නවත්වලා සින්දුවක් කියමු. ගිහාන් දැනට රුස්සන්ට  ෆින්ලන්තයට, පෝලන්තය, හංගේරි වගේ කලින් යන්න නොදුන් ඒවාට යන්න  දෙනවලු. මොස්කව්වල ගිය එවුන් කිහිප දෙනෙක් හම්බ වුනා. අනික ඉන්විටේෂන් තියනවා නම් වෙන රටවලටත් යන්න පුළුවන් ලු. බලා පොරොත්තු තියා ගනින්. " කී ප්‍රථම වෛද්‍ය  විද්‍යාලයේ කුමාර කපුගේ ගේ විරහ ගීයක් ගයන්නට  පටන් ගත්තේය.

සුහද ගේ විශේෂ ඉල්ලීම පරිදි කොල්ලන් මේස වලට, පිගන් වලට ගසමින් ගුණදාස  කපුගේ හා මිල්ටන් මල්ලව ආරච්චි  ගායකයන් ගේ විරහ ගී ගායනා  කරන්නට පටන් ගති.

ගිහාන් ඔහේ සින්දු අසාගෙන සිටියා විනා කියන්නට ගියේ නැත. ඔහු සිටියේ සින්දු කියන මානසිකත්වයකින් නොවේ. ඊර්ෂ්‍යාව, කෝපය  හා ආදරය මිශ්‍ර වූ හැඟීමකින් ඔහු පෙළුණේය .

"ඇය රුසියානුවා සමග හවස කොහේ සිටිනු ඇත්ද ? "
ජලයේ ඔබන්නට තැත්  කරනා ප්ලාස්ටික් බෝලයක් මෙන් ඔහුගේ සිතේ දිගින් දිගටම මතුවූ  පැනය එයයි. 
~~ මතු සම්බන්ධයි


16 comments:

  1. අම්මටසිරි...හෙණ ගැහුව වගේනෙ බං. කොහොම උනත් හැම ගෑනු හිතකම ගලක් වගේ තද, මරුමුස් මුඩ් එකක් තියනව. ඒකට මූඩ් එක මාරු උනොත් බඩුම තමා... අපිට රිද්දන්න ඔනදෙයක් කරයි

    ReplyDelete
    Replies
    1. හරියටම තේරුම් අරන් තියනවා. :)

      Delete
  2. හුටා! බඩුම තමා.

    අර ටැක්සිකාරයගෙ භූමිකාව එච්චර පැහැදිලි නෑ. මිනිහා මොකාටද අඳින්න හදන්නෙ?

    ReplyDelete
    Replies
    1. උපමා ගොඩක් තියනව - හොද්ද බොර වෙච්ච වෙලාවට රස බැලීමට ඇඟිල්ල දැමීම (අනිකට කෙලවෙනකන් බලාසිට තමන්ගේ වාසනාව උරගා බැලීම )

      Delete
  3. උෟ ඉවරයි
    හොද වැඩේ ගහල අතෑෑෑෑෑෑරියෙ නැතිවට




    ප.ලි ෙකෝබං අනික ආද අයින් කරාද

    ReplyDelete
    Replies
    1. //උෟ ඉවරයි හොද වැඩේ ගහල අතෑෑෑෑෑෑරියෙ නැතිවට//ශිකේ මද්ද ඔය ජාතියේ කියල ලොවෙත් හිතුවේ නැහැ
      //ප.ලි ෙකෝබං අනික ආද අයින් කරාද// ?? මොකක්ද

      Delete
  4. සෝවියට් රුසියාවේ ඉන්ජිනේරු වයිද්‍ය වගේ උපාධි කරන්න ආපු විදේශික සිසුන්ට මුල් අවුරුද්දේ දේශපාලනයත් ඉගැන්නුවද? indoctrination වගේ

    ReplyDelete
    Replies
    1. indoctrination ඒ මොකක්ද එහම ඒවත් කරනවද
      මෙහමයි පළමු අවුරුද්දේ - සෝවියට් දේශයේ ඉතිහාසය , දෙවෙනි අවුරුද්ද කොමියුනිස්ට් පක්ෂයේ ඉතිහාසය , දර්ශනවාදය, දේශපලන විද්‍යාව , විද්‍යාත්මක කොමියුනිස්ට්වාදය

      Delete
    2. Got it. With all that some of you escaped being indoctrinated !

      Delete
    3. any knowledge is good knowledge pra

      Delete
  5. මා සමුගෙන නෑ ඔබගේ සෙවණෙන්
    ඔබ සමුගත්තත් මාගේ සෙවණෙන්
    තව සිත වාවනු බෑනෙ....
    මට ඔබ විතරයි ඕනෙ....

    ReplyDelete
    Replies
    1. මේ ගිහාන් කියන කවියක්ද , දැන් තියෙන සින්දුවක්ද

      Delete
  6. [අර පොත් පරිවර්තනය කරන කතුවරයයි]
    මේ කියන්නේ දැදිගම වී රිද්‍රිගු මහත්මය ගැන වෙන්ඩ ඇති නේද?

    ReplyDelete
  7. මීට කලින් කොටසේ කතාව තරමක් අප්‍රභංශ වුණා
    මේ කොටස ඊට කලින් තමයි කියවන්න තිබුනේ

    ReplyDelete
    Replies
    1. ඒක වුනේ මට වැරදීමකින් 33 වෙනුවට 34 පබ්ලිෂ් කරපු නිසා. දැන් සම්පුර්නයෙන්ම කොපි කරල අලුතෙන් එකක් හැටියට දැම්මොත් මිසක් 33, 34 මාරු වෙලා වැටිලා තියෙන්නේ. නොම්මර දාල තියන නිසා කියවන්න පුලුවන්නේ

      Delete

සියලු හිමිකම් අජිත් ධර්මකීර්ති (Ajith Dharmakeerthi) සතුය. කොළඹ ගමයා බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ අජිත් ධර්මකීර්ති යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ.
මෙහි පලවන ලිපි සහ දේශපාලන අදහස් මගේ පෞද්ගලික අදහස් පමණි.
ඔබේ ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. නමුත් වෙනත් කෙනෙකුට සාධාරණ හේතුවක් නැතුව පහර ගසන අශිලාචාර අන්දමේ ප්‍රතිචාර පමණක් පල නොකෙරේ. බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ස්තූතියි .