Saturday, 25 September 2021

බ්‍රිතාන්‍යයේ පෙට්‍රල් ඩීසල් ප්‍රශ්නය





අපේ ගෙවල් පාර ඒ කියන්නේ හාට්ෆඩ් (Hertford) මාවත දැන් දවස් ගානක ඉඳන් බ්ලොක් වෙලා. පෙට්‍රල්, ඩීසල් ගහ ගන්න කාර් පෝලිම. බොරිස් ජොන්සන් ගේ කොන්සවේටිව් ආණ්ඩුව සහ මගේ සමහර බ්‍රෙක්සිට් යාලුවෝ කියන්නේ මේක ජන මාධ්‍ය  වලින් ඇති කරන බයක් කියල. ඒක මට පිළිගන්න අමාරුයි. පත්තර වලින් පෙන්වන්නේ පෙට්‍රල් නැති බව. හේතුව තමයි බරවාහන (ලොරි හා කන්ටේනර්  ) පදවන  රියදුරන් නැති කම. ආණ්ඩුව ඒ ගොල්ලන්ගේ පඩි වැඩි කරන්න කියල සමාගම් වලට දැන් වුවා. පත්තර වල තිබෙන  අන්දමට රියදුරන් ගේ පඩිය දැන් අවුරුද්දකට පවුම් 75000 සිට 100000 දක්වා වැඩි  කරලලු. ඒ කියන්නේ මාසෙට පවුම් 6250 - 8300 දක්වා (ශ්‍රී  ලංකා රුපියල් වලින් ලක්ෂ 18 සිට ලක්ෂ 24 දක්වා ) මම නම් හිතන්නේ එපමණම වැඩි කරලා නැහැ. දන්නා විධිහට අවුරුද්දට 40000 - 60000 වගේ තමා ලැබෙන්නේ. (මසකට පවුම් 3000- 5000 -ලක්ෂ 10- 15 පමණ) 

මගේ අදහස නම් මේ බ්‍රෙක්සිට් එක නිසා ඇති වෙච්ච තත්වයක්, මෙපමණ කල් හිටිය රුමේනියන්, ඇල්බේනියන්, චෙක්, පෝලන්ත සහ දකුණු අයර්ලන්ත රියදුරන් නැහැ. ඊට අමතරව  යුරෝපයේ  ඉඳන් මෙහෙට බඩු අරන් එන බර වාහන වලට  දේශ සිමාවේ දිග පෝලිමක ඉන්න ඕනේ. ඒ නිසා රියැදුරන් එන්න කැමතිත් නැහැ.

මේ නිසාම බ්‍රිතාන්‍ය ආණ්ඩුව ලොරි රියදුරන් ට තියෙන පාඨමාලාව මාස තුනකට අඩු කළා. ඒත් තවම අවශ්‍ය  කරන රියදුරන් ප්‍රමාණය නැහැ. ඒ නිසා දැන් විදේශික රියදුරන් 5000 විතර ගෙන්න ගන්න අවසර දෙන්න යනවා. රියදුරන් නැති නිසාම දැන් චිකන් එහෙමත් සුපර්මාකට් වල අඩුයි. ගෙනෙන්න  කෙනෙක් නැති නිසා.

මේ අර්බුදය අපේ වාමාංශික යාළුවෝ  විස්තර කරගන්නේ කොහොමද  කියන්න දන්නේ නැහැ. හැබැයි තවම  දොස්තර, නර්ස්, විදුලි කාර්මික, පයිප්ප වැඩ කරන නළ කැමියන් ආදීන්ගේත් අඩුවක් තවම තියනව. තොරතුරු තාක්ෂණය පැත්තෙන් රස්සා ඕන තරම් තිබ්බත් ඒවා පිට රටවලට (ඉන්දියාව, මැලේසියාව ශ්‍රී ලංකාව )  outsource කරන නිසා ප්‍රශ්නය තරමක් සමනය  වෙලා තියෙන්නේ. නමුත් ඉහත කී රස්සාවලට එහෙම කරන්න බැහැනේ. බ්‍රෙක්සිට් එක නිසා රැකියා රාශියක් මෙහෙ ඉතිරි වුන බව ඇත්ත. නමුත් ඒවා කරන්න අවශ්‍ය දක්ෂතා (skills) තියෙන අය අඩුයි.  

ආර්ථිකය වර්ධන වේගය 2.1%.  වසංගතය පටන් ගන්නට කලින් ප්‍රමාණයට තවම ඇවිත් නැහැ.  GDP එකනම් 3.6% කින්  වර්ධනය වෙලා. 

 

Wednesday, 22 September 2021

බ්ලොග් කියන්නේ ..


 
දැන් අපි නැවතත් බ්ලොග්කරණයට යොමු වෙමින් පවතිනවා. ෆේස්බුක් එකේ "යාළුවෝ" වැඩියි. පන්දාහට ලංවුනත් ලියන දෙයක් කී  දෙනෙක් කියවනවද  කියලවත්  හොයා ගන්න බැහැ.  හැමෝම ලයික් දාන්නේ නැහැනේ. නිකන් තියෙන ලයික් දාන්න, ෂෙයාර් කොරාන්න කොමෙන්ට් කොරාන්න කියල අපි උම්මා දෙන්න යන්නේ නැහැනේ. ඒ නිසා මම තවම බ්ලොග් එක ලියාගෙන  යනවා. 😏

අහස්  ගව්ව බ්ලොගය කරන ඒ වගේම රූපන කියන රූපවාහිනි නාලිකාවත්  මෙහෙයවන අනුරුද්ධ වැලිගමගේ සොයුරා  ඇහුවා බ්ලොග් ගැන කතා කරන්න පුළුවන්ද කියල තිලකසිත බ්ලොගය  ලියන තිලකසිරි ඒකනායක සමග. ඒ වැඩ සටහන සෙනසුරාදා ප්‍රචාරය වෙන්න නියමිතයි. මම මේ ලියන්න යන්නේ සාකච්චාවේදී  නොකීව කාරණාවක් ගැන.

මේ ලඟදි දැන ගන්න ලැබුන "මගේ කීචි" බ්ලොගය ලියපු මල්ලි  ලෝකයට සමු දී නික්ම ගිහින් කියල. අමිල ඔබට සුභ ගමන්.  ඔහු වලල්ලාවිට පාසැලට බ්ලොග් මිතුරන් ගෙන්  ආධාර රැගෙන  හරහා විදුලිය දෙන්න කටයුතු කළා.   එවැනි සමාජ සත්කාර  හුඟක් කරපු කෙනෙක්.

ඒ නිසාම ඉහත සාකච්චාවේදී මට අනුරුද්ධට මතක් කරලා දෙන්න බැරිවුණ දෙයක් තමයි අප කළ ඒ සමාජ වැඩ. සුමිත් කලනසිරි, ප්‍රසන්න, දිමුතු  (කටුස්සා ) ආදීන් වතුකරයේ පාසැලකට උදව් කරපු හැටි. ඉන්දික සහ අනෙත් අයගේ දායකත්වයෙන් සුමිත් කලනසිරි ඇතුළු පිරිස මොණරාගල  පාසැලකට වතුර දීපු හැටි. විදානේ, සුරංග ලියනගේ තවත් බ්ලොග් කරුවන් සමග   බදුල්ලේ,   රත්නපුරයේ සහ තවත් පාසැල් කිහිපයකට ම එවැනි උදව් කරපු හැටි. ඒවා කට්ටිය එකතුවෙලා බොහොම කැමැත්තෙන් කරපු වැඩ. මුදලින් දායක වුනු බොහෝ  අය ඉන්නවා. රසික සුරියආරච්චි, ලුඩ් ෆෙර්නාන්දු , ඉවාන් පව්ලුෂා, පැතුම් හේරත්, ඉන්දික , මෙත්මලි, පෙමාස් ගුණසිංහ මහතාගේ බ්ලොගයේ අය , රත්නපුරේ කැටපත් පවුරේ අය සහ   මමත් දායක වුනා,

අපි පෞද්ගලික මුදලින් (කොටින්ම අපේ සාක්කුවෙන්) රුපියල් දහසක මුදලක මාසෙකට වරක් හොඳම බ්ලොගයට දුන්න සම්මානයක්  වශයෙන්.  කැමති දෙයක් ඒකෙන් කරන්න. ඩේටා කාඩ් එක්ක ගන්න. අහේතුවකට  පැමිණි විරෝධයක්  නිසා ඒක නැවතුනා.  අද ආණ්ඩුව කෝවිඩ් ආධාර කියල දෙන්නෙත් රුපියල් දෙදාහක්. මට මතකයි එකට එකතු වෙලා බ්ලොග් එකක් ලියපු  කණ්ඩායමක් ඒ මුදලට තව මුදලක් එකතු කරල උසස්  පෙළ  පොත් කිහිපයක් සිසුවෙකුට අරන් දුන්න. ඉතින් ඒවගේ සොඳුරු වැඩත්අ පි කළා. 

ඒ නිසා ඒ කාලය ගැන  කිසිම දුකක් හිතේ නැහැ. සෑහෙන්න කාලය , ශ්‍රමය , ධනය වැය වුනා තමයි. කණගාටුවක් නැහැ සතුටක් මිසක්. ඉතින් අපි තවම බ්ලොග් ලියමින් සිටිනවා. මම 2013 බ්ලොග් ලියන්න පටන් ගන්නකොට බ්ලොග් කරුවෝ, බ්ලොග් කාරියෝ සහ වෙබ් එකට ලියන අය හුඟක් හිටිය.  කොටස් වශයෙන් පළවෙන  නවකතා ගියා සිංහල වෙබ් අඩවි වල. බෝධිනී සමරතුංග ඒ වල ලීව කෙනෙක්.  මට MSN ගෘප් එකක් තිබුන අනූ ගනන් වල අග භාගයේ ඉඳල. ගූගල් ගෘප් එකක් තිබුණ මම ඇඩ්මින් වෙලා  හිටිය. ඒවල  අපි ලීව . ඒ බ්ලොග් වලට කලින්.  අනිත්කොනේ බෝධිනී , ඇටමැස්සා,  කකා හෙවත් කතන්දර කාරයා (රසික), මාතලන්, අජිත් පැරකුම් ජයසිංහ, අරුණි ශපීරෝ, දිනිති දීපිකා සහ නම් අමතක වුනු බොහෝ අයගේ බ්ලොග් වල මම රසිකයෙක් වෙලා හිටිය.  අජිත් කුමාරගේ බ්ලොග් සින්ඩිය හා අටම්පහුව සින්ඩියත් මතක් කරන්න ඕනේ. ඉතින් ඒ හැමෝටම ස්තූතියි. මටනම් මම ප්‍රවීණයෙක් කියල හිතෙන්නේ නැහැ. බ්ලොගය ට තවම ගොඩ වැදිලා තියෙන්නේ හාර  ලක්ෂයකට ටිකක් වැඩි වෙන්න පිරිසක්. ඉතින් අපි තවම ලියනවා. ලියන්න තියෙන දේවල් තවම ඉවර නැහැ. ගොඩ වැදිලා යන්න එන්න.  


Sunday, 19 September 2021

මගේ පළමු සහ අන්තිම රොටිය

අද උදේ මට රොටී කෑමේ සිතක් පහල විය. එහෙම අදහස් ඉඳහිට  මේ පිස්සු ඔළුවට එන්නේය. දෙමළ කඩේ frozen (අධි ශීතකරණ කරන ලද) රොටි පහේ පැකට්ටුවේ ගණන  පවුම් 3 සිට හයයි පනහ දක්වා වැඩිවී ඇත. ඒ කියන්නේ එක රොටියක් පවුම් 1.30  හෙවත් ලංකාවේ දැන් රේට් එකට රුපියල්ම 385 කි. ඒ රොටියේ විෂ්කම්භය සෙන්ටි මීටර් ම පහකි.  කවුරුත් නොදන්නවා උනාට අපේ නිවසේ රොටි, තෝසේ , ඉඳි ආප්ප , ආප්ප  මෙන්ම පරිප්පු හදන්නේද අනිකුත් කරි වර්ග හදන්නේද මගේ ජර්මන්  ජාතික බිරිඳ වන ඉනේස්ය.  ඉනෙස්  ඉඳියප්ප හදන්නේ සාමාන්‍ය විධිහට නොවේ. ඉනෙස්  හදන්නේ ඉඳියප්ප කෝච්චිය. ඒ ගැන වෙනම දවසක කිව යුතුය.

ඊයේ පෙරේදා  යමුනා ගේ පනස් වැනි උපන්දිනයේ දී කවිකාර සුරංගගේ පියම්බිකාව  වන රමණි ආප්ප හදද්දී, ඉනේස්ද ආප්ප ආදිය හදන බව කී  විට ඔවුන් එය විශ්වාස කලේ නැත, අන්තිමේදී තමන් ආප්ප හදන්නේ කෙසේද, පරිප්පු හදන්නේ කෙසේද යන්න ගැන ඉනේස්ම විස්තර කළාය.

 රුසියාවේදී මට චිකන් කරිය උයන්නට ඉගැන්වූ ලොකු වඩ්ඩා නමැති සොඳුරු සීනියර් අයියා කී පරිදි අතට අහුවෙන තුනපහ, මිරිස්, කහ, ගම්මිරිස් ආදිය ඔක්කොම එකට දමා ළඟ තියෙන සෝස් ඔක්කොමද දමා හදන කරිය  ඉනෙස් මුලදී කෑවත් අපේ අම්මා ලන්ඩන් පැමිණි වෙලේ උයන දෙස හොඳින් බලා සිටි ඇයට මගේ මෝල් කම අතටම හසුවුනේය. මම හැම කරියටම එකම දේවල් දමන බව කී ඇය සිංහල හෝ දෙමල කෑම උයන්නේ ඒ ලෙස නොවන බව කියා මා කුස්සියෙන් එලෙව්වාය. ඇය පරිප්පු උයන්නට උගත්තේ එහෙමය.
මේ ලඟදි තවත් යහළුවෙකු වන ටෙක්ලා ඉනෙස් ගේ පරිප්පු රස බව කීවාය. තිස්ස ජනනායක අනුගාමිකයෙකු වන ටෙක්ලා ඒ කිව්වේ ඇත්තට ද බොරුවටද කියා මට ෂුවර් නැත. අම්මා  මෙන්ම ඉනේස්ද පරිප්පු වලට තුනපහ දමන්නේ නැත.  මම උයන පරිප්පු කෑවා නම් ටෙක්ලා ලඟත් නොහිට  දුවනු ඇත.  ඒකට චිකන් එකට මෙන් ළඟ තිබෙන අඩුවැඩිය සියල්ල දමා අඩුපාඩුවට කිරිද දමා එන පරිප්පුවට අන්තිමට පෙරී පෙරී සෝස්, චෛනිස් ස්වීට් චිලි සෝස් හා අඳුරු සෝයා සෝස් (dark soya sause හරිය) දමන බැවිනි.

ඉතින් මට රොටී  ඕනේ කිව් නිසා ඉනෙස් නැගිට ගියත් කොහෙන්දෝ පැමිණි කෝල් එකක් නිසා ඇයට පැය භාගයක් පමණ කතා කර රොටිය  අමතක වී ඇය වැඩට ගොස් ඇත. ඒ දවස් වල රොටිය බබා කියා බ්ලොග් එකක් තිබුන බව මතක් වී හොයා බැලුවත් ඒකෙ රොටි ගැන ඇර අනිත් දේවල් ගැන ලියා තිබේ.  ඉනෙස් රොටි හදන්නට පිටි ජාති දෙකක් මැන සලාද බඳුනට දමා ගොස් තිබුනු නිසා මම එයට උණු වතුර ටිකක් දමා බැලුවෙමි. ඉන්පසු අනන විට අතේ ඇලෙන්නට වූ නිසා සෝයා කිරි දැමුවෙමි. හරි ගියේ නැත. ඉන්පසු පිළිවෙලින් ඕට් කිරිද ඉන්පසු නැවතත් උණු කල වතුරද දැමුවෙමි, ඒ ගමන තලප මෙන් පිටි ගුලියක් හදා ගත හැකිවිය. ඒත් හොඳටම  ඇලෙයි. 

අත හෝදාගෙන ඔලිව් තෙල් බෝතලෙයන් හැඳි දෙක තුනක් හලා ඉන්පසු අතේද ඔලිව් තෙල් ගා ගතිමි. 
ඒත් මේ ආච්චිගේ වස්ත්‍රයේ පිටි ගුලිය අතෙහි ඇලෙන්නේමය. කොටින්ම  රොටියක් රවුම් කර හදාගන්නට බැරිය. තෙල් දමා ඒ උඩට පිටි දැම්මත් ගුලිය අතෙහිම ඇලෙයි. අම්මා රොටී හදනවිට බලා නොසිටීමේ පාපය ගෙවන්නේ දැන්ය. 
 
අන්තිමට මම සාමාන්‍යයෙන් දවල් දොළහ  දොළහ වෙනකන් නිදා ගන්න පොඩි දුව ඇහැරුවෙමි. ඇය මව ගෙන් මේවා ඉගෙන ගන්නා බව දන්නා හෙයිනි.  දුව නිදිමතේම පටන් ගත්තේම "ෆොර් ගෝඩ්සේක් ඩෑඩ් " කියාගෙනය, "දෙවියන්ට ඔප්පු වෙච්චාවේ තාත්තේ , පිටි, පිටි, තියෙනවනේ ලෑල්ල උඩට දාන්න " කියා අනිත්  පැත්ත හැරී නිදා ගත්තාය.

මේ මොන මගුලක්ද?  පිටි වලින් හදන රොටි වලට ආයෙත් පිටි දමන්නේ මොකටද කියා කල්පනා කෙරුවෙමි. ඇලෙන්නේ නැති වෙන්න පිටි දැම්මහම ඒකත් රොටියටම නේ යන්නේ. මොන විකාරයක්ද? කොහොමත් පොඩ්ඩි බොරු  කියන්නේ නැත. ට්‍රයි කර බැලිය යුතුය.

  මස් කපන ලෑල්ලට පිටි හලා අත් දෙකේද පිටි හලා ගත්තෙමි. යන්තමින් අතේ ඇලෙන එක නතර වුනේය. අර රොටී  රවුමට හදන්නේ කොහොමද කියා මට නම්  හිතා ගන්නට බැරිය. ඒවා  හැදුනේ විවිධාකාර ලෙසටය.
පළමුවෙනි එක රවුම් කර ගන්නට කොහෙත්ම බැරි විය. ඒක වැරදියට ගහපු චපාතියක් වගේය. නැත්නම් පැතලි වී වැටුණු උල්කාවක් දැයි කියාත් හිතුනි.


සෙන්ටි මීටර් දහයකට වඩා පැත්තක් දිග එකක් හැදුනි. මට ඒක පෙනුනේ ඔස්ට්‍රේලියාව වගේය

ඊළඟ රොටිය හැදුනේ හඳේ හාවා වගේය. හඳේ හාවා රවුම් වුනේම නැත. ඔන්නොහේ  තාච්චියට  දැමුවෙමි. 

ඊළඟ රොටිය ඇමිබාවක් අන්වීක්ෂයෙන් බලන විට වගේය. මේක රවුමට නොව එලිප්සයක් වගේ යයිද සිතු නිසා සමහරවිට ග්‍රහ ලෝකයක බලපෑමක් වෙන්නටද පුලුවුන. ළඟදීම හඳහන බලා ගන්නට හෝඩුවාවක් වත්ද? පෘතුවියේ  එළිප්සයාකර ගමනට සමාන වගේ යයිද සිතුනි.

අන්තිම රොටිය කෙලින්ම සෙනසුරුගේ බැල්ම වැටී රවුම් වෙන්නට ගොස්  එලිප්සයක් විය. අවංකවම කියනවනම් විශ්වයේ cosmic microwave background - CMB  (හෙවත් විශ්වීය මයික්‍රෝවේව් පසුතලය??) එහෙම නැත්නම් විකිරණ බලය විසිරී  තිබෙන ආකාරය පිලිබඳ ප්ලෑන්ක් චන්ද්‍රිකාවෙන් ගත්ත  පින්තුරයත් මේ වගේමය.

මේ තියෙන්නේ ඒ CMB පින්තූරයයි .


පින්තූරය : Planck Maps the Microwave Background


විශ්වයේ විකිරණ බැක්ග්‍රවුන්ඩ් රොටියෙන් පසු මම වැඩේ නතර කෙළෙමි. හුටා ය. ඇඳුම්  පුරාත් මූණෙත් අත් දෙකේත්, බිමත්  හැම තැනම පිටිය. ඒ ටික සුද්ද කල වෙන ඇඳුමක් ද ඇන්ද පසු මට රොටී හදන්නට පැයකටත් වඩා ගතවී ඇත.  ඒ නිසා මේ හදන  අන්තිම රොටී හැදීම යයි මම නාථ දෙවිඳුන්ට අන්තිම විශ්ව රොටිය පුදා  සපථ  කලෙමි.



Saturday, 11 September 2021

නිකොලායි බෞමන් , පක්ෂ අභ්‍යන්තරයේ ලිංගික ප්‍රශ්න


දීප්ති කුමාර ගුණරත්න ලියූ "ඕපපාතික බුද්ධිමතුන්" නමැති ලිපියේ  සුමිත් චාමින්ද මහතා පිලිබඳ සඳහනකට මම ත්‍රිමාණ වෙබ් අඩවියට ප්‍රතිචාරයක් එක් කෙළෙමි. දීප්ති සහෝදරයා චිසින් මගේ ප්‍රශ්නයට දැන් න්‍යායික පිළිතුරක් දී තිබේ. ඔහු කියන්නේ තමන් සදාචාරවාදියෙකු  හෝ ගතානුගතිකවාදියෙකු නොවන බව මා  දන්නේය යන්නයි.

දීප්ති ගුණරත්න සහෝදරයාගේ පිළිතුර  "ඔබේ ගවුම කුමක්ද " යන ලිපියයි. 

දීප්ති අසන්නේ ‘සුමිත්ගේ ලිංගික ගැටලුව පිළිබඳ දීප්ති ඔයාගේ න්‍යායික අදහස කියන්න’ යනුවෙන් මා නොඇසූ බවයි. හේතුව මගේ ප්‍රතිචාරයේ තිබේ.  මා ලියුවේ  " සුමිත්, වසන්ත සහ වසන්තගේ පෙම්වතිය යන තිදෙනාම වැඩිහිටි අය යි. ගැටලුව ඒ හින්දා සුමිත්ගේ සදාචාරය පිළිබඳ ප්‍රශ්නයක් වෙන්න පුළුවන්". මෙහිදී දීප්ති සදාචාරවාදියෙකුද නැත්ද යන ප්‍රශ්නය අදාල නැත. නමුත් දීප්ති ගතානුගතිකවාදී ස්ටලින්වාදියෙකු නම් විය හැකිය. ඒ මෙසේය.

  සෝවියට් දේශයේ මොස්කව් හි මා  උගත් විශ්ව විද්‍යාලය පිහිටි අවියමතෝර්නයා ප්‍රදේශයට යාබදව පිහිටියේ බෞමන්ස්කයා නම් ප්‍රදේශයයි. බෞමන්ස්කයා හි මෙට්‍රෝ උමන් දුම්රිය පලෙහි  නමද   බෞමන්ස්කයාය. එහි සෝවියට් දේශයේ පිහිටි තවත් උසස් විශ්ව විද්‍යාලයක් ද වේ.  එම විශ්ව විද්‍යාලය ලොමොනොසොව් රාජ්‍ය විශ්ව විද්‍යාලයට පසුව පිහිටුවන ලද මොස්කව්හි දෙවන පැරණිතම විශ්ව විද්‍යාලයයි. එය 1763 දී පිහිටුවන ලද්දේ  දෙවන කැතරින් අධිරාජිනිය විසින් මොස්කව් හි  ජර්මන් කොටසේය.  1917 ඔක්තෝබර්  විප්ලවයෙන් පසු එය බෞමන් විශ්ව විද්‍යාලය යනුවෙන් නම් කරන ලද්දේ බොල්ෂෙවික්වි ප්ලවාදියෙකු වන නිකොලායි බෞමන් ට උපහාරයක් වශයෙනි.

මේ විශ්ව විද්‍යාලය ගැන මම "චෙර්නොබිල්" ගැන ලියද්දි ලීවෙමි. ලෝකයේ ප්‍රථම න්‍යෂ්ටික විදුලි බලාගාරය වන රුසියානු සමුහාණ්ඩුවේ ඔබ්නින්ස්ක් න්‍යෂ්ටික විදුලි බලාගාරය 1954 දී ගොඩ නගන්නට මුලික වූ  න්‍යෂ්ටික භෞතික  විද්‍යාඥ නිකොලායි දොලෙෂල් උගත්තේ මෙහිය.  නමුත් මට ලිවීමට අවශ්‍ය නිකොලායි බෞමන් ගැනය. නිකොලයි එර්නේස්ටෝවිච් බෞමන්,  ලෙනින් සමග ස්විට්සර්ලන්තයේ පිටුවහළේ සිටි රුසියානු සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ  (පසුව බොල්ෂෙවික්  පක්ෂය) සාමාජිකයෙකි. ඔහු ලෙනින් සමග ඉස්ක්‍රා (ගිනි පුපුර) පුවත්පතට සම්බන්ධව වැඩ කටුතු කලේ රුසියනු මාක්ස්වාදයේ පියා  ලෙස සැලකෙන  ප්ලෙහනොව් සමග ජිනීවා නගරයට පිටුවහල් වීමෙනි.

නිකොලායි ඉතා දක්ෂ  පක්ෂ සංවිධායකයෙකු වූ අතර ඉස්ක්‍රා පුවත්පත බෙදා හැරීමෙහි ලා පුරෝගාමියෙකුද විය. පිටුවහලට හේතු  වුයේ සාර් පාලනයට එරෙහිව ශිෂ්‍යයන් හා කම්කරුවන් අතර උද්ඝෝෂණ සංවිධානය කල බැවිනි. ඔහු කිහිප වරක්ම සාර්  ගේ සිරගෙවල් වලද ලැග්ගේද  එම නිසාමය.

පිටුවහල්ව සිටියදී සහෝදර විප්ලවවාදියෙකු ගේ බිරිඳ සමග ඔහු අනිසි සබඳතාවයක් ඇතිකරගත් අතර ඔහු  නිසා ඇය ගැබ් ගත්තාය. ඔහු  එය නොපිළිගත් අතර ඇය හා ඇගේ සැමියා ගැන විකට චිත්‍ර (කන්‍යා මරියා තුමිය  දරුවෙකු වඩා සිටිනා අන්දම ඇඳ)  ඔහු ඇය ව අනුන් ඉදිරියේ නින්දාවට භාජනය කළේය. මේ කාන්තාවද ඉස්ක්‍රා පුවත්පත බෙදා  හැරීමෙහි නියුතුව සිටි විප්ලවවාදී ක්‍රියාකාරිනියකි. ඇය ඉස්ක්‍රා පුවත් පතේ  කතෘ මඩුල්ලට හා රුසියානු සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයට මේ ගැන ලියා බෞමන් පක්ෂයෙන් නෙරපා දමන ලෙස ඉල්ලා සිටියාය.   ඉස්ක්‍රා  කතු මඩුල්ලේ මර්ටෝව්, පට්‍රෙසොව් සහ ට්සාසුලිච් අපයෝජනය වූ  කාන්තාවට පක්ෂව කතා කළහ. ප්ලෙහනොව් සහ ට්‍රොට්ස්කිද කතු මඩුල්ලේ සිටියත් ගත්තේ නිහඬව සිටීමේ ස්ථාවරයකි.

ලෙනින්ට තිබුනේ වෙනත් අදහසකි. පක්ෂයට  හොඳ සංවිධායක වරයෙක් අහිමි කර ගැනීමට ලෙනින් සූදානම් වුයේ නැත. ඔහු කිවේ තමන් හා පක්ෂයේ අභිප්‍රාය සාර් පාලනය පෙරළා දැමීම බවයි. ඒ සඳහා අවශ්‍ය ඕනෑම දෙයක් කිරීමටද   ඔහු පසුබට නොවන බවයි. මර්ටෝව් ට තම මිතුරාගේ තිරණය අදහා ගත නොහැකි එකක් විය. ජනතාවගේ නිදහස සඳහා සටන් කළ පක්ෂයක් අගතියට පත් කාන්තාව ගේ  පැත්ත නොගැනීම ඔහු නිර්දයව විවේචනය කළේය. 
 
ඉස්ක්‍රා කතු මඩුල්ල අවම වශයෙන් බෞමන් කැඳවා නිදහසට කරුණු විමසීමක් වත් නොකළහ. කාන්තාව සිය දිවි නසා ගත්තාය. 

පසු කලෙක මර්ටෝව් පක්ෂයන් ඉවත්වීමත්ටත්  මෙන්ශේවික් හා බෝල්ෂෙවික්  වශයෙන් පක්ෂය දෙකඩ වීමටත් බලපෑ  එක හේතුවක්  වූයේද මේ බෞමන් සිද්ධියයි.  

මේ සිද්ධිය අද වූවානම් meToo වැනි ව්‍යාපාර බලවත් මේ කාලයේ ලෙනින්ට ,නිකොලායි  බෞමන් සමග අකුලාගෙන ගෙදර යන්නට සිදුවනු නොඅනුමානය .

 ශ්‍රී ලංකාවේ බොහෝ වාමාංශික පක්ෂ මාක්ස්/ලෙනින්/ට්‍රොට්ස්කිවාදී හෝ මාක්ස්/ලෙනින්/ස්ටාලින්වාදී හෝ මාක්ස්/ලෙනින්/මාඕ වාදී ඒවාය. දීප්ති කුමාර ගුණරත්න ද ලෙනින්වාදියෙකු බව ඔහුගේ අදහස් වලින් පැහැදිලිය.  මේ අනුව සුමිත් චාමින්දට, දීප්ති සහෝදරයා කරන චෝදනාව නිවැරදිද?

ලෙනින් පවුල පිලිබඳ සංකල්පයට විරුද්ධ නොවූ ෆැමිලි මෑන් කෙනෙකු වූවද ඔහු හැසිරුනේ වඩා නිදහස් ලෙසයි. පවුල, සමාජවාදී සෝවියට් දේශයේ  සාමාජිය වර්ධනයේ මූලික ඒකකයක් (යුනිට්  එකක්) කලේ ස්ටාලින් ය. මම මේ පිළිබඳව මිට පෙර "සෝවියට් විවාහ හා ජෙහාන් ට්‍රොට්ස්කි - 1" නම් ලිපි පෙලේ (1,2,3,4) ලියා තිබේ.  ලෙනින්ට ඉනේස්සා අර්මන්ඩ් ට අමතරව ප්‍රංශ ප්‍රභූ කාන්තවක සමගද සම්බන්ධයක් තිබු බවද (එලිසවෙතා කේ.) හෙළිදරව් වී ඇත. ලෙනින් එම සම්බන්ධයට තිත තිබ්බේ රුසියානු විප්ලවය සම්බන්ධව  ඇගේ සහයෝගයක් නොතිබූ බැවිනි. තම බිරිඳ කෘප්ස්කයා සහ පෙම්වතිය  අර්මන්ඩ් සමග ලෙනින් එකට නිවාඩුවකට ගිය බවද අද නොරහසකි. එහිදී පක්ෂ වැඩ කටයුතු වලද නිරත වෙන්නට ඇත. කොටින්ම රුසියානු විප්ලවය තම ජිවිතයේ එකම අභිප්‍රාය කරගත් ලෙනින්ට පෞද්ගලික ජීවිතයේ කරන දේ  එතරම් අදාල වූයේ නැත.   

ලන්ඩනයේ පිරමීඩ සම්බන්ධ වෙළඳාමකට හවුල් වූ එක්තරා වාමාංශික පක්ෂයක සාමාජිකයෙකු ගැන මට දැන ගන්නට ලැබුණි. පක්ෂ අභ්‍යන්තරයේ එම ප්‍රශ්නය කතාකරගෙන විසඳා ගත් බවටද මට දැන ගන්නට ලැබුණි. තමන්ට භක්තිමත්ව සේවය කරන  හොඳ සාමාජිකයෙකු නැති කරගන්නට පක්ෂයක් අකැමති බවට හොඳ  උදාහරණයකි එය. පක්ෂයට පරිබාහිරව සිටින හිතවතුන්, පුද්ගලයන් මොනවා කීවත් පක්ෂය තම ප්‍රධාන අරමුණට හානි කරගන්නේ නැත. ලෙනින් කලේද එයයි. සමහරවිට ලෙනින් එම පුද්ගලයාට  එමගින් emotional blackmail (සිංහල වචනයක් නොදනිමි - ආවේගී කප්පමක් , බල කිරීමක්) එකක් කරන්නට ඇත. වරදක් කළ නිසා බෞමන්ඒ  පිළිබඳව පසුව පශ්චත්තාප වී පක්ෂයට හොඳින් වැඩ කරන්නට ඇත. නිකොලායි  බෞමන් 1905 දී  රාජාණ්ඩුවාදීන් සමග ගැටුමකදී  මිය ගියේය. විප්ලවයට දිවි දුන්නෙකු ලෙස සලකා ඔහු ගේ නමට ප්‍රදේශයක් හා කීර්තිමත් විශ්ව විද්‍යාලයක් නම් කර  සදාතනික කර ඇත්තේ ඒ නිසාය. 

එසේනම් දීප්ති, චාමින්ද සිද්ධියේදී ක්‍රියාකර ඇත්තේ ස්ටලින්වාදියෙකු ලෙසද? මට හිතෙන්නේ දීප්ති වර්තමානය සමග ජිවත්වන නිසා අනුගත වන්නේ වර්තමාන දියුණු ධනවාදී සමාජයක සාරයට බවයි. දීප්තිට තම පක්ෂය (එක්ස් හෝ පරණ පෙරටුගාමී හෝ සමබිම පක්ෂය)  විප්ලවයක් දක්වා රැගෙන ගොස් රාජ්‍ය බලය ලබා ගැනීමට අදහසක් ඇත්නම් ඔහු ක්‍රියා කල යුතුව තිබුනේ ලෙනින් ක්‍රියා කළ ලෙසටය. නමුත් අද එය වැරදි ක්‍රියාවක් වන්නට හොඳටම ඉඩ තිබේ. මේ නිසා දීප්තිට බලය ලබා ගැනීමේ කිසිදු උවමනාවක් නැති බව  ඉන් අදහස් කළ හැකිය.

ගවුම ගැන කතා කලහොත් ඉරාජ් නැමති ගායකයා ගවුම ඇන්දේ අපහාසයක් ලෙසය. ඔහු ඉන් බොහෝවිට අපහාස කරන්නට අදහස කර  ඇත්තේ මංගලට හා රනිල්ට විය හැකිය. (සමාජයේ එම දේශපාලකයන්  දෙදෙනා  ගැන ඇති මතයට අනුව). එසේම එනයින් ඉරාජ් ගැහැණු වර්ගයා ටද  අපහාසයක් කරයි. ගැහැණු අඳින ඇඳුමක් අපහාසාත්මක සංකේතයක් යොදා ගැනීම නිසාය. 

 දීප්ති "ගවුම " ලිපියෙන් පලකරන න්‍යායාත්මක අදහස් වලින් පැහැදිලි කරන්නේ  අප එම ප්‍රශ්නය දෙස බැලිය යුත්තේ වර්තමාන දර්ශනවාදීන් අනුසාරයෙන් බවයි. ඒ අනුව දීප්ති කර ඇත්තේ සදාචාරයට පක්ෂ වීමක් හෝ  ගතානුගතිකත්වයට පත්  වීමක්  නොවුවත් ස්ටාලින්ලිවාදී පවුල් ආකෘතියක් වර්තමාන "ප්‍රගතිශීලි ධනවාදී " සමාජයට ආදේශ කිරීමකි. 

මා දන්නා පරිදි සුමිත්  චාමින්ද ලිංගික අපහාසයක් කර නැත. ලෙනින්ට අනුව දීප්තිට පක්ෂය හෝ (එක්ස් කණ්ඩායම ) බේරාගෙන නිහඬව සිටින්නට හැකියාව තිබුණි.  චාමින්ද ලිංගික අපයෝජනයක් (abuse)  කර තිබුණා නම් වර්තමාන නීතිය  යටතේ හෝ ඔහුට ගැලවීමක් නැත. නමුත් එම චෝදනාව මුලිකව පැමිණිය යුත්තේ වින්දිතයාගේ පාර්ශ්වයෙනි. එවැන්නක්ද  දක්නට නැත. 

බ්‍රිතාන්‍ය වාමාංශික පක්ෂවල සමහර  නායකයන් පසුගිය කාලයේ ඇද වැටුනේ  මේ වැනි චෝදනා පැමිණීම හා ඒ අනුව ක්‍රියා නොකිරීම නිසාය. අද ඒ පක්ෂ වල සාමාජික සංඛ්‍යාව  අතිශයින් සීමිත වී ඇත.  එනිසා ඒ දිනවල දීප්ති කණ්ඩායම බේරා ගැනීම සඳහා කිසියම් ක්‍රියා මාර්ගයක් ගත්තා නම් එය නිවැරදි විය හැක. මා දීප්තිට  ලෙනින් අනුගමනය කරන්නට කියන්නේ නැත. ලෙනින් ක්‍රියා කළ ආකාරය වර්තමාන තත්වයන්ට කොහෙත්ම ගැලපෙන්නේද  නැත.   නමුත් මගේ අදහස නම් දැන් දීප්ති කුමාර ගුණරත්න  මේ ගවුම බිම තබා පක්ෂය කරට ගතයුතු බවය. 


Monday, 6 September 2021

මංගල සහ සුනිල්



යහළුවෝ දෙතුන් දෙනෙක්ම ඇහුව මොකද මචන් මංගල ගැන මුකුත් නොලියන්නේ කියල.  මං ඒත් ඇහුව මංගල ගැන එයාව  දන්න ගොඩක් අය ලියල  තියෙද්දී මම මොනව ලියන්නද කියල.

මංගල ගැන ලියපු අය දෙවර්ගයක් ඉන්නව. හොඳ  කියපු ගොඩක් අය  අතරේ වැඩිපුර ඉන්නේ මංගල ගෙන් මොකක් හරි සේවයක්, උදව්වක්  ගත්ත අය කියල මට හිතුනේ. එක්කෝ වෙබ් අඩවි වලට දැන්වීම් ලබාගෙන, පත්තර, සඟරා කරන්න උදව් ලබාගෙන, ජන මාධ්‍ය අමාත්යංශය, විදේශ සේවය වගේ මංගල හිටි අමාත්‍යංශ වල රැකියා ගත්ත අය හා වෙනත් උදව් ගත්ත ඔය. මන්ගල හොඳ  මනුස්සයෙක් ඒ පැත්තෙන්. 

මහින්ද  රාජපක්ෂ මහත්මයා ජනාධිපති කමට ඉල්ලන කොට එයාගේ ප්‍රචාරක ලේකම්. ඉතින් මහින්ද මහත්මයා අනිවාර්යයෙන් හොඳ කියල ප්‍රකාශයක් නිකුත් කරන්න ඕනේ. චන්ද්‍රිකා ගේන්නත් ඉස්සරහින්ම හිටිය මංගල. අනික චන්ද්‍රිකා මංගල කියන්නේ හොඳ යාලුවෝ.

ඇයි විමල්? විමල් ජවිපෙත් එක්කම පරිවාස ආණ්ඩුවට ගේන්න මංගල ලොකු වැඩක් කළා.  ඒ වගේම විමල් සහ තවත් මාතර දේශපාලනඥයෙකු ගේ ඉල්ලීම් වලටත් කන්දීලා මන්ගල මාතර පැත්තේ අයට රැකියා දුන්නලු. ඉතින් ඒ අය හොඳ කියන්න  ඕනෙම   නේ.

මාතර බස් ස්ටෑන්ඩ් එක හොඳටම  හැදුවේ මංගල ගේ ප්ලෑන් වලටලු. සල්ලි වෙන් කලේ එයාලු. විවෘත කලේ වෙන කවුරුවත් ලු. එහෙම දේවල් වෙනවා නේ ලංකාවේ.   

අනිත් පැත්තට - මංගල සුදු නෙලුම හරහා ජාතිවාදයට එරෙහිව වැඩ කළාලු. ඒ එක්කම ඊට  කලින් විමල් එක්ක හිටියේ වෙන පැත්තක. රනිල් වික්‍රමසිංහ, අර කරුණ ගෙනල්ල කොටි සංවිධානය දෙකඩ කරන්න උදව් වෙච්ච රනිල්, කොටිය කළෙත් මංගලම තමා.

 මංගල ජාතිවාදී පිලේ ඉඳන් ඒ දේශපාලනයේම අනිත් පැත්තට ආව කෙනෙක්. සමහර හාමුදුරුවරුන්ට විරුද්ධව ප්‍රකාශ දුන්නත් මංගල බෞද්ධාගමට විරුද්ධ කෙනෙක් කියල මම හිතන්නේ නැහැ. ලංකාවේ සමහර සිවුර පොරවා ගත් අය කරන කියන වැඩ දැක්කහම කතා නොකර බැරි අවස්ථා එනවා. ඒ කෙලින්කමට මම කැමතියි. 

මංගල  චිනේ ගැන කීව  අවංක කතා වලට සමහර වාමාංශික යන්ට රිදෙන්න ඇති. මංගල කීවේ කොමියුනිස්ට් පක්ෂය තිබ්බට චීනේ දියුණු උනේ විවෘත ආර්ථිකය නිසා කියල. විදේශ ආයෝජන ගලාගෙන ආව. චීන කම්කරුවෝ ඉතා අඩු පඩියට ශ්‍රමය වික්කා . හැබැයි චීනේ දියුණුයි දැන්. කොමියුනිස්ට් කියන්නේ මංගල කීව වගේ  බෝඩ් එකක් විතරයි දැනට.   ඇත්තනේ ඉතින්.   වෙනිසියුවෙලාව වගේ රටවල් ගැනත් මංගල විවේචනය කරා ලිබරල්වාදියෙකු වශයෙන්. ගොඩක් අයට මංගල දිරෙව්වෙ නැති තැනක්. 

රමිඳු ලක්ඛිත පෙරේරා  ඒ පැත්තෙනුත් , මංගල ගේ දේශපාලන  ජීවිතය ගැන නන්දන වීරරත්නත්  හොඳ  ලිපි දෙකක් ලියල තියෙනවා . ඒ ගොල්ලන්ගේ ෆේස්බුක් බිත්ති වල ගිහින් බලන්න. රමිඳු ට කියන්න තියෙන්නේ රමින්දු ගේ පටන්  , මංගල ඇතුළු බොහෝ අය වරෙක ප්‍රතිගාමී දේශපාලනයේත් වරෙක ප්‍රගතිශීලි දේශපාලනයේත් යෙදුන කට්ටිය කියල. කෙලින් ඉරක් ඇඳලා වෙන් කරන්න අමාරුයි.  දේශපාලනයේ දී දැනට රාජපක්ෂ කඩේ ෆුල් ටයිම් වැඩ කරන මාතලන් නුත් පක්ෂ භේදයක් නැතිව හොඳ ලිපියක් දාල තිබ්බ.
 

ශ්‍රී ලංකා එකේ ඉඳල යූඇන්පිය ට පැනලා රජුන් තනන්න උදව් වෙලා අන්තිමට  "අනේ මමත් මේකට වග කියන්න ඕනේ නේ " කියල කල කිරිල අයින් වුනා කියල මට හිතෙන්නේ.

මංගල ඒ මොනවා වුනත් ජිවිතේ හරියට විඳි එකෙක්. 

දේශපාලනයේදී  ලංකාවට ගැලපෙන හොඳ ගේම් කාරයෙක්.

ජිප්සීස් සුනිල් පෙරේරාත් ටිකක් මංගල වගේම තමා.  

ඕලෙවල් කරන කාලේ මම ප්‍රබුද්ධ ගොඩේ හිටියට, ඒ ලෙවල් කරන කොට ජෝතිපාල, ජිප්සීස් අහන තැනට පත් වෙලා හිටියේ. මම ඩ්‍රින්ක් දාන වෙලාවට සුරුට්ටුවක් බිල බජව් දාන එකෙක්. ගුණදාස කපුගේ වගේම වික්ටර්නුත්, නන්ද මාලිනි ගේ සින්දුත් නිහාල් නෙල්සන්නුත් ජිප්සීස් නුත් මට අහන්න පුළුවන් භේදයක් නැතිව. කොහොමත් මම වෙන රටවල සින්දුත් අහන කෙනෙක්. ඉංග්‍රීසි, රුසියන්, ස්පැනිෂ්  ඔය ඔක්කොම. මොකටද අපි සීමාවල් තියා ගන්නේ.

අපේ ළමයි උදිත සංජය ගේ  "ආදරේ හිතනවා දැක්කම" රිමික්ස් එකට නටනවා. ඒක මාර සින්දුවක්. මම හිතනවා ඒ අයට පාර හැදුවේ සුනිල් කියල.   මගේ සිංහල නොදන්නා බිරිඳ කියන්නේ "හෙට උදේට කන්නට මට ඉඳියප්පන්  නෝනේ "කියල.  කොච්චර  කීවත් සින්දුවේ කියන්නේ "ඕනේ" කියල එයාට ඒක තේරෙන්නේ නැහැ. එයාගේ කැමතිම ගීයක්. මොකද එයා  ඉඳියාප්ප කන්න කැමතියි. හදන්නත් පුළුවන්. හැබැයි ඔක්කොම ඉඳියාප්ප එකට දාල ඉඳියාප්ප කෝච්චියක් හදන වෙලාවලුත් තියනව. කපල තමයි කන්න ඕනේ එතකොට. කොටින්ම  සුනිල් ගේ සින්දුවෙන් තමයි ඉඳියාප්ප කන්න හදන්න ඕනේ  වුනේ. ඒ වගේ සරල සින්දුවක් කියල දෙන්නත් ලේසියි. හැබැයි කවුද විචාරකයෙක් ලංකාවේ පුරුෂාධිපත්‍ය ට අභියෝග කරපු සින්දුවක් කියල ලියල තිබ්බ. බලාගෙන යනකොට අපි නොදන්නවා  වුනාට සුනිල් ප්‍රබුද්ධ ගී කියල තියනවා.
 
ගෙදර ඔක්කොම අහන අනිත් සුනිල් ගේ සින්දුව තමයි කොත්තමල්ලි.  ඇත්තමයි කියන්නේ අපි පොඩි කාලේ ළමයින්ට කොත්තමල්ලි හදල බොන්න දුන්නට සින්දුවෙන් පස්සේ මේ ගොල්ල ඒක තේ එකක් වගේ බොන්න ගත්ත. දැනුත් හිටපු ගමන් කොත්තමල්ල හදල තේ වෙනුවට බොනවා. උණට නෙමේ. තේ වෙනුවට.  

ඒ ඇරෙන්න අවංකවම කියනව නම් අපි  ජිප්සීස් වැඩිය අහන්නේ නැහැ පාටි  වලදී . සිංහල බයිලා පැත්තෙන් හෙම සුනිල් පෙරේරා පරයන නටන්න හැකි  හොඳ සින්දු සෑහෙන්න තියනව.

සුනිල් පෙරේරා කියන්නේ වෙනසක් කරපු මනුස්සයෙක්. 

බජාර් එකේ බොක්ක හොඳ පොරක්. ලංකාවේ  සංගීත සීන් එකේ හොඳ ගේම් කාරයෙක්. 

මේ දෙන්නම ටිකක් එක වගේද මන්ද? දෙන්නම එකට කතා වෙලා ගියා වත්ද? කොරෝනා ඔයා මාරයි. 

මම මේ දෙන්නටම කැමති තව හේතුවක් තියනව. අර සෙට් එකක් කියනවා නේද බුද්ධාගමට ට කරපු අපහාසෙට මේ දෙන්නට දඬුවම් ලැබිල කියල.  ඒ කියන්නේ උන්ගේ අර හිංගල මොකද්ද  බුද්ධාගමට. අපි අදහන එකට නෙමේ. මේ දෙන්නම ඉන්න කාලේ හොඳින් ජොලියේ හිටියා. චුත වෙලා යන්න ගියා. කර්මය පල දෙනවනම් හොඳ වැඩක් කරලා තියෙන්නේ. ගිය තැනක ඔය දෙන්නම  සොමියේ ඉඳියි බජව්වක් දාගෙන.

දුක් වෙන්න දෙයක් නැහැ. ඔය දෙන්නම හොඳ පණිවුඩ ටිකක් මෑත කාලයේ දීලා යන්න ගියා. 

(ප.ලි. හැබැයි කොවිඩ් හැදිලා සුව වෙලා ඊට පස්සේ හෘදයාබාධ හැදිලා ජීවිතය අවසන් කල නිසා මේ  දෙන්න පොඩි පණිවිඩයකුත් දීලා ගිහින් .   කෝවිඩ්  හැදුනොත් සුව වුනොත් මාස පහ හයක් යනකන් අනතුරුදායකයි. Covid after care හෙවත් ඊට පස්සේ හොඳින් බලා ගණන් ඕනේ.  ඉතාමත් පරිස්සමින් ඉන්න ඕනේ කාලයක්. කෝවිඩ් 19 හැදිලා  සනීප වෙලත් එංගලන්තේ වෛද්‍යවරු අගමැති බොරිස් ජොන්සන් ව තව දවස් පහ හයක් රෝහලේ  තියා  ගත්ත විතරක් නෙමේ. ඊට පස්සෙත් සෑහෙන විමසිල්ලෙන් හිටිය. අනිත් කෝවිඩ් හැදී සුව වුනු  රෝගීන්ටත් එහෙමයි. )

(නැ.ප.ලි. - කෙනෙක් ලියල තිබ්බ සුනිල් පෙරේරා ගුණදාස කපුගේ ගේ මරණය වෙලාවේ සංගීත ෂෝ එකක් කළා කියල. ගෞරවයක් නැතිව. එයාට ඒක කැන්සල් කරන බැරිය කියල. ප්‍රශ්නයක් නැහැනේ. සුනිල් පෙරේරා පස්සේ ජවිපෙ වේදිකාවට නැග්ග. ඒ කියන්නේ ගුණදාස  කපුගේ මැරුනේ නැහැ කියන එක නෙමේද . )

Friday, 3 September 2021

මගේ පළමු ඔරලෝසුව - 2


මේ කතාව ලියන්නේ "නිදහස් සිතුවිලි" බ්ලොගයේ රවි ලීව එකක් මතක් වෙලා.  ඒ ලිපියේ නම මගේ පළමු ඔරලෝසුව. ඉතින් මගේ ලිපියේ මාතෘකාව හැටියට  පළමු ඔර්ලොසුව  -2 කියල දැම්මේ ඒකයි.

මම ඕලෙවල් කරන කාලේ අපට බොහොම අමාරු කාලයක්. කොළඹ ජිවන වියදම වැඩියි. රාජකීය, විශාඛා , සෙන්ට් ඇන්තනිස්, සහ සෙන්ට් මයිකල් ගිය වැඩෙන ළමයි හතර දෙනෙක් ඉන්න පවුලක්. නිදහස් අධ්‍යාපනය කියල කොපමණ කීවත් ඔය පාසල් වලින් එන අමතර වියදම් තියෙනවා. ඉතින් අපට ලැබෙන දෙයින් සතුටු වෙලා ඉගෙන ගන්නවා මිසක් දැන් ළමයින්ට තියෙන පාරිභෝගික  වස්තූන් ගන්න "සිහින" අපට තිබුනේ නැහැ.



මම අපොස සාමාන්‍ය පෙළ ව්භාගය සමත් වුනේ විශිෂ්ඨ සම්මාන හයයි සම්මාන දෙකක් එක්ක.  ඉතින් අම්ම මට අරන් දුන්න ඔරලෝසුවක්. ඒක තමයි මගේ පළමු ඔරලෝසුව. ඒක මොන්ඩියා එකක්. ඉතින් ඒ දවස් වල රියල්
මොන්ඩියා ගන්න අපට සල්ලි නැති නිසා මම හිතන්නේ ඕක කොපියක්. හැබැයි හැබෑ මොන්ඩියා එකේ වගේ ක්වාර්ට්ස් වගේ ගල් ජාතියක්  අල්ලල තිබෙනවා ලස්සනට ඩයලය වටේට.  මමත්  ඕක බොහොම උජාරුවෙන් දාගෙන එහෙ මෙහෙ ගියේ.

 අපේ ඒ ලෙවල් පන්ති වල බංකු මේස තියෙන්නේ පේලියට උඩට යන්න. ඔය  උඩ පේලියක ඉන්න පන්තියේ බ්‍රයිටෙක් ගෙන් යමක් අහගන්න මම උඩ පේලියට ගියා. එයා ගාව ඉඳගන්න එක ඩයල් එකක්  මම දන්න විධිහට අමාත්‍යංශ ලේකම් කෙනෙක් ගේ පුතෙක්. ප්‍රශ්නේ අහලා යනකොට මෑන්ස්  මගේ ඔරලෝසුව දැකලා  ඒක ඉල්ලාගත්ත බලන්න.  පොර කියනවා දැන්.

"ශා මේක මර ඔරලෝසුවක් නේ. මොන්ඩියා නේද? ක්වාර්ට්ස් ද ඩයමන්ඩ් ද  ඔබ්බලා  තියෙන්නේ? "

දැන් මට අවුල්. මට හොඳටම ෂුවර් මූ මට හිනා වෙනවා කියල.  

මම කිව්වා "නෑ නිකන් වීදුරු ගල් වෙන්න ඕනේ ." කියල.

දැන් මෙයා ඔරලෝසුව අල්ලනවා ඉර එළියට.
"පිස්සුද මේ ඉර එළියට දිළිසෙන්නේ. මාර ගානක් ඇති නේද මේක. කොහෙන්ද  ගත්තේ"  දැන් මට මාර ජුවල්. මට දාන සවුත්තුවට.

"මම දන්නේ නැහැ . අපේ අම්ම ගෙනත් දුන්නේ "

මට යන්තමට වගේ මතකයි  මෑන්ස් ඇහුවා කියල. "අම්ම ස්විට්සර්ලන්තේ ගියාද කියලත්." 

මම මුකුත් නොකියා ඔරලෝසුවත් අරගෙන පල්ලන් බැස්ස මගේ පේළියට.
ඊට පසේ මම ඔය ඔරලෝසුව පන්තියේ වැඩිය පෙන්නන්න ගියේ නැහැ. එක්කෝ සාක්කුවේ. නැත්නම් අතින් වහ ගන්නවා. 

හැබැයි මට දැන් ෂුවර් නැත්තේ මේ මනුස්සයා මට ඔලොක්කුවට කීවද ඇත්තටම විශ්වාස කලාද කියල මේක රියල් මොන්ඩියා එකක් කියල.

සෝවියට් දේශයේදී නම් මම මේ ඔරලෝසුව පැළඳගෙන හිටිය. රුස්සන්ට ඒ කාලේ වෙනසක් තේරෙන්නේ විධිහක් නැහැනේ.
පස්සේ ඉතින් ලන්ඩන් ගිය ගිය වෙලාවට කැසියෝ ආදී ඒ කාලෙට ජනප්‍රිය වෙන  ඔරලෝසු එක එක ජාතියේ ඒවා ගත්ත. සමහර ඒවා රුස්සෝ ඉල්ලන කොට වික්ක. ඒවල එච්චර වටිනාකමක් මට තිබ්බේ නැහැ අර අම්ම දීපු ඔරලෝසුවට  වඩා ගණන් වැඩි වුනත්.


ඊට පස්සේ කාලෙක මම යාළු  වෙලා හිටිය රුසියානු පෙම්වතිය අරන් දුන්න ඔය පල්යොට් කියන ඔරලෝසුව. ඒ කාලේ හැටියට ලොකු ගාණක්. එයා වැඩ කරලා හොයපු සල්ලි වලින්.     ඒකත් දැන් රුස්සෝම ඉල්ලනවා ලොකු ගණන් වළට. පවුම් 200ට එහා . සෝවියට් දේශයේ ගහපු හොඳම ඔරලෝසු වලින් එකක් කියල. වෙනම ඇන්ටික් වටිනාකමක් තියෙනවලු. දැන් ඔය වෙන පටියක් දාල තියෙන්නේ. ඔරිජිනල් එක කැඩුන මගේ අතින්.
 
 ඔරලෝසු දෙකම දැන් හැඟීම්බර වෙන වස්තූන් දෙකක්. සෙන්ටිමෙන්ටල් අයිටම්ස්.

පලවෙනි ඔරලෝසුව ගිය සැරේ ලංකාවට ආපු වෙලේ මල්ලිගේ ලාච්චුවේ තිබිල ඉස්සුවා. 

"අඩෝ මේක මගේ ඩෝ" කියල. ඒ මනුස්සය ඒක මෙපමණ  කල් තියන් හිටිය එකටවත් ස්තුති කළේවත්  නැහැ.

දෙවෙනි එක දුන් කෙනා ජිවතුන් අතර නැහැ කියල තමා දන්නේ.
 

 

Thursday, 2 September 2021

සමන් අමරසිංහ සර්


අද වේදනාත්මක පුවතක් ආරංචි වුනා පිටරට වෙසෙන ආදී රාජකීයයන් සඳහා වූ වට්ස්අප්‍ කණ්ඩායමක් හරහා. ඒ සමන් අමරසිංහ ගුරුතුමා කොවිඩ් 19 වැළඳී අසාධ්‍ය වීමෙන් පසු මෙලොව හැර ගිය වග. ඔහු අසනීප වී සිටි බව දැන  සිටියත් එතුමාට  මෙතරම් අසාධ්‍ය වේ යයි මා සිතුවේ නැහැ. ජීවිතය කියන්නේ තණ අග පිණි බින්දුවක් කියන්නේ ඇත්තක්.

මේ ලිපිය ලියන්න මම උදේම ඇහැරුණා. දැන් වෙලාව උදේ හයයි. කවදාවත් ඔය වෙලාවට නැගිටින කෙනෙක් නෙමේ මම. 

සමන් අමරසිංහ රාජකීය විද්‍යාලයේ ඉගැන්වූ ගුරු මහතෙක්. ඔහු ප්‍රාථමික විදුහලින් පැමිණියකු  නිසා රාජකීය විදුහලේදී ඔහු මට වැඩිපුර සම්මුඛ වූයේ නැහැ දෙතුන් වරකට  වඩා. නමුත් ඔහු මට වෙනත් තැනකදී හමුවෙලා මම ඔහුගෙන් ඉගෙන ගෙන තියනවා. ඒ ඡායාරූපකරණය පිළිබඳව.  
සමන් අමරසිංහ රාජකීය විදුහලේම ඉගෙන එහි ශිෂ්‍ය නායකයෙකුද වී පසුව ගුරුවරයකුද වුනා. අප සිටිය කාලයේ අන්තර්වි දුහල් ක්‍රිකට් ශුරතාවයන් සඳහා වූ සංවිධානයක  නිලතල දැරූ ඔහු පසුව ශ්‍රී ලංකා  ක්‍රිකට් විනිසුරුවරුන්ගේ සංගමයක සභාපති පදවියක් ද දරුවා.

ඒ කාලයේ නැවතී තිබු රාජකීය ආනන්ද අන්තර් පාසැල් ක්‍රිකට්  තරඟයද නැවත පටන් ගන්නට ඔහු හා රන්ජන් මඩුගල්ල මුල්වූ බවක් මා අසා තිබෙනවා. 

එසේම සභාපති, ජනාධිපති ක්‍රීඩා සම්මාන , හිටපු ප්‍රධාන ලේකම් ,ශ්‍රී ලංකා පැසිපන්දු සම්මේලනය සහ ශ්‍රී ලංකා පාසැල් පැසිපන්දු සම්මේලනය යන තනතුරුත් දරා තිබෙනවා. ඔහුගේ වර්ණවත් ජීවිතය එවැනි සංගම් රාශියක නිලතල දරා රටවල් ගණනාවක සංචාරය කළ අයෙක්.

රාජකීය විද්‍යාලයේම උගැන්වූ ගුරුතුමියක් හා විවාහ වී සිටි ඔහුට දියණියක් හා පුතෙකු සිටිනවා. දරු දෙදෙනාගේ ජයග්‍රහණ ගැන ප්‍රීතියට පත්ව ඔහු ෆේස්බුක් සමාජ ජාලය හරහා අප සමග කිහිප වරක්ම ඒවා බෙදා හදාගෙන තිබුනා.

පාසල් වලින් සංවිධානය කෙරෙන එඩින්බරෝ ආදිපාදවරයාගේ පාගමන් සම්මාන සඳහා වූ අවස්ථාවකට ලන්ඩනයට පැමිණි ඔහු නැසීගිය එම ආදිපාදවරයාද හමුවී තිබුනා. මේ සියලු තනතුරු මැදත් ඔහු නිහතමානී අයෙක්. මා රාජකීය විද්‍යාලයේ උගත් බව දැනගෙන ෆේස්බුක් සමාජ ජාලයෙන් හමුවූ මොහොතක ඔහුගේ ඡායාරූපකරණය පිළිබඳ පාඨමාලාවකට සහභාගී වූ බව මම ඔහුට පැවසුවා. ඔහු ඉන් ඉතා ප්‍රීතියට පත්වූ බව මතකයි.

මට මතක විධිහට අසූව දශකයේ මුල මම උසස් පෙළ කරන කාලයේ ජාතික තරුණ සේවා සභාව (national youth council) මගින් පැවැත්වූ ජායාරූපකරණය පිලිබඳ පාඨමාලාවකට සහභාගී වුනා. ඒ මම අයත්ව සිටි බාලදක්ෂ කණ්ඩායම හරහා. එය බම්බලපිටියේ පිහිටි එම මූලස්ථානයක පැවතුන එකක්. ප්‍රධාන දේශකයා වූයේ සමන් සර්. ඔහු හැමවිටම සිනාමුසු මුහුණින් ඉගැන්වූ අයෙක්. පාඨමාලාවට මා රැගෙන ගියේ පරණ පෙට්ටි කැමරාවක් (box camera). එය මගේ මහප්පා දුන් එකක්. අසූව දශකයේ මුල හොඳ කැමරාවල මිල ඉතා අධිකයි. රට විවෘත ආර්ථිකයට යොමු කළ අලුත. ඒත් පාඨමාලාවට පැමිණි සමහරු හොඳ SLR කැමරා රැගෙන පැමිණි බව මතකයි. ඉතින් මට පරණ බොක්ස් කැමරාව පෙන්වීමට ලැජ්ජාවෙන් එය බෑගය තුල සඟවාගෙන සිටියේ. සමන් සර් ට මෙය තේරුනා විය හැකියි. ඔහු වරක් මා අමතා කීවේ ඔහුද එවැනි පෙට්ටි කැමරාවකින් මුල් කාලයේ ඡායාරූප ගත් බවයි. ඉන් මගේ ලැජ්ජාව මග හැරුනා.

ඔහු අපව මීගමුවේ වෙරළට ඡායාරුප ගැනීම සඳහා වරක් රැගෙන ගියා. එසේම ශ්‍රී ලංකා පොලිසියේ ඡායාරුප ශිල්පියෙකුද ප්‍රසිද්ධ කවියෙකුද වූ විල්සන් හෑගොඩ මහතාණන් ගේ නිවසටද රැගෙන ගොස් එතුමා (විල්සන් හෑගොඩ) ගත් සම්මාන දිනූ ඡායාරූප රාශියක් පෙන්වමින් ඒවා ගැන ඉගැන්වූ බවත් මතකයි.

එම පාඨමාලාවේ මුස්ලිම් සම්භවයක් ඇති ගැසෙලා නමින් යුවතියක් සිටියා. ඇය මගේ උස පමණ වූ සුන්දර කෙල්ලක්. මා ඇය දෙස නිතර නෙත් යොමනවා සමන් සර් දකින්න ඇති. ගුරුවරුන්ට ඒවා දේශනා වලදී පෙනෙනවා ඇති නේ. සමන් සර් වරෙක හිමින් සීරුවේ සිනාමුසුව උරහිසට අත තබා කීවේ ඒ ළමයාට යහළුවෙකු සිටින බවයි. ඒ ගැහැණු ළමයා පසුව මගේ සමරු පොතේ (ඒ දවස් වල ඒවත් තිබුනා) සටහනක් දැම්මා. සමන් සර් ගේත් අත්සනක් එහි තිබුනා. හැබැයි ඒ පොත් නම් දැන් නැහැ.
ඔහු ගුරුවරයකු නොව වැඩිමහල් යහළුවෙකු ලෙස පාඨමාලාව තුල හැසිරුනේ. තරුණ තරුණියන් එක්ව කරන කතා බස් වලට ඔහු තහංචි දමන්න ගියෙත් නැහැ. ඔහුත් තරුණ වියේ සිටි නිසා වෙන්න පුළුවන්. එසේම රාජකීය විදුහලේ දී උනත් ඔහු කිසියම් සිසුවෙකුට තර්ජනය කරනවා හෝ පහර දී තිබුනා කියා කවදාවත් අසා නැහැ. ඔහු එතරම්ම ප්‍රියමනාප ගුරුවරයෙක්.

පාඨමාලාව අවසානයේ සහතික දෙන්නට විභාගයක් පැවැත්වුනා. ලියන කොටසක් සහ ප්‍රයෝගික පරීක්ෂණයක් පැවැත්වුණා. මම ලියන විභාගයට ලකුණු සීයට අනූවකට වඩා ගෙන තිබුණත් ප්‍රයෝගික පරීක්ෂණයේදී අකරතැබ්බයක් සිදුවුනා. පරණ පෙට්ටි කැමරාව තුල ෆිල්ම් රෝල හිරවී අඳුරු කාමරය තුලදී එලියට ආවේ නැහැ. එනිසා කාමරයේ එය ඇතුලට දමා රෝල එලියට ගන්නට තිබෙන අඳුරු කළ පෙට්ටියෙන් ද ඉවතට රැගෙන විවෘත කල නිසා බොහෝ ඡායාරුප වැඩි එළියට නිරාවරණය (over exposed ) වී තිබුණා. ඉතින් පින්තූර හරියට ආවේ නැහැ.
මම ලෝකයම එපාවී පැත්තකට වී ඉඳගෙන හිටින විට සමන් සර් මගේ ළඟට පැමිණියා. "ගණන් ගන්න එපා. ප්‍රයෝගික පරීක්ෂණය හරියට කළ හුඟක් අය කලින් අත්දැකීම් තිබෙන අය. ඔයාගේ පළමුවෙනි වතාව නේ . ඔයා හරියට ෆිල්ම් රෝල සාන්ද්‍රණ වලට දැමු බව මම දන්නවා. එස්එල්ආර් කැමරාවක් ගත් දවසක ඔය ප්‍රශ්නය එන එකක් නැහැ." ඔහු මා විභාගයෙන් සමත් කර තිබුනා.
ඉන් පසු සෝවියට් දේශයට ඉගෙනීමට ගිය මම සෙනිත් කැමරාවක් මුලින්ම ගත්තේ. ඊට පස්සේ ජර්මන් ප්‍රැක්ටීකා එකක්. අවුරුදු විස්සක් පරණ ඒ 35mm කැමරාව නම් තවම නිවෙසේ තිබෙනවා. තවමත් පින්තූර ගනිද්දී සර් කියා දුන් සමහර දේවල් මතකයි. සමහර දර්ශන ගනිද්දී අපගන්නා වස්තුව (focusing object) හැම වෙලේම පින්තුරයේ මැද තබන්න එපා කියා ඔහු උපදෙසක් දුන්න වරක්. පින්තූර ගැනීම මගේ විනෝදාංශයක්. දැන් තිබෙන්නේ නිකොන් කැමරාවක්. ෆේස්බුක් එකේ මා දමන සමහර පින්තූර වලට සර්ගෙන් ප්‍රතිචාර ලැබි තිබුන මෑත කාලයේදීත්.

සමන් අමරසිංහ සර්, ඔබට පැතූ නිවනක් අත්වේවා.

ඔබට සුභ ගමන්.