'රාණි' චිත්‍රපටය නැරැඹීමට ගියේ ඒ කාලයේ යූඇන්පී පවුලක හැදී වැඩුණු පසුව ම දන්නා ප්‍රගතිශීලී ලෙස සිතන පතන කෙනෙකු සමගය . චිත්‍රපටය නරඹා එද්දී ඒ ගැන අදහස විමසුවෙමි . "ඇත්තටම හොඳයි. මම නොදැන හිටිය දෙයක් " . මට දැනුනේ ඉතා කලාත්මක චිත්‍රපටයක් නැරඹීමෙන් පසුව ඇතිවන හෘදයංගම හැඟීමකි . මම ඒ චිත්‍රපටය නැරඹීමට ගියේ ඉන්පසු හඬා වැළපෙන්නට නොවේ . නමුත් මට පෙනුනේ බොහෝ අය චිත්‍රපටය නරඹා ඇත්තේ පූර්ව විනිශ්චයකින් බවය.
පසුගිය වසරේ දිනෙක මම ගාමිණී මුතුකුමාරණ සොයුරාගේ ඇරයුමින් වාර්තා චිත්‍රපටයක් නැරඹීමට ගියෙමි . එය අධ්‍යක්ෂණය කර තිබුනේ ආචාර්ය උදාන් ප්‍රනාන්දුය . නැගෙනහිර ටිමෝරය ඉන්දුනීසියාවෙන් මිදීමේ නිදහස් සටන වෙනුවෙන් කරන ලද ඒ වාර්තා චිත්‍රපටය නැරඹීමට ඒ රටේ ඇමති කෙනෙකු හෝ හමුදා ලොක්කෙකු පැමිණි අතර එය පෙන්වා අවසානයේ ෆ්‍රෙඩි ගමගේ සහෝදරයා ට, නැගෙනහිර ටිමෝරයේ නිදහස උදෙසා වෙහෙසෙමින්, ශ්‍රී ලංකාව තුලද බොහෝ උද්ඝෝෂණ ව්‍යාපාර මෙහෙයවීම වෙනුවෙන් සම්මානයක්ද පිරී නමන ලදී. චිත්‍රපටයේ ඇත්තේ උදාන් විසින් නැගෙනහිර ටිමෝරයේ පදිංචි නොයෙකුත් ශ්‍රී ලාංකිකයන් / සිංහලයන් සමග සම්මුඛ සාකච්චා කරන අයුරු සහ පොදුවේ ඔවුන්ගේ එහි ජීවිතය ගැන කරන කථනයකි. ඔවුන් සියල්ලෝම පාහේ එහි පැමිණ ඇත්තේ "නිකන්" ජොලියටය. ඔවුන් කියූ පරිදි, ඔවුන්ට ලංකාවේ කිසිම ප්‍රශ්නයක් නැතිව හොඳින් දිවි ගෙවන්නට පුළුවන්කම තිබියදීත්, ගරිල්ලා යුද්ධයක් තිබෙන ආර්ථිකය ගාටමින් ඇදෙන ටිමෝරයට පැමිණ පදිංචි වී බිස්නස් එකක් කරගෙන ආවාහ විවාහ වී ජීවත් වෙති .
මේ මොන විකාර චිත්‍රපටයක් දැයි මම ගාමිණී ට කීවෙමි. නමුත් එක ප්‍රේක්ෂිකාවක් චිත්‍රපටය අවසානයේ පැවසුවේ "කවුරු මොනවා කීවත් අපේ රාජපක්ෂ ජනාධිපති තුමා යුද්ධය අවසන් කර රටට සාමය ගෙනා බවකි". ඇය එසේ කීවේ ඇයිදැයි මම කල්පනා කෙරුවෙමි. චිත්‍රපටයේ කිසිවෙකු එවැන්නක් ගැන , ලංකාවේ ජන වාර්ගික යුද්ධයක් තිබූ බවක් වත් සඳහන් කරනු මට මතක නැත.
පසුගිය දවසක ජනාධිපතිවරණයට පෙර මට හදිසියේම ආචාර්ය උදාන් ප්‍රනාන්දු හා මහාචාර්ය නිර්මාල් දේවසිරි අතර පොඩි ෆේස්බුක් සංවාදයක් දුටුවෙමි. උදාන් ප්‍රනාන්දු, නිර්මාල් දේවසිරි ජාතික ජන බලවේගයට සහය දීම ගැන ප්‍රශ්නකරන්නේ ජවිපෙ එම යුදයට මුලිකව රාජපක්ෂලාට දුන් සහයෝගය සිහිපත් කරමිනි. හදිසියේම මට වැටහුනේ උදාන් චිත්‍රපටියේ කලේ අලියා කාමරයේ සිටිද්දී බිත්ති ගැන කතා කල බවය. එයින් ඔහු සිංහලයන්ගේ දෙබිඩි පිළිවෙත උලුප්පා පෙන්වුයේය. අර කාන්තාව අරවැනි ප්‍රශ්නයක් ඇසුවේද එහෙයිනි. මට මුලින් ඇතිවූ කෝපය වෙනුවට උදාන් ගේ තර්කොව්ස්කි නිමේෂය ගැන පැහැදීමක් ඇතිවිය.
රාණි චිත්‍රපටය පිලිබඳ විචාර හා විවේචන බොහොමයක් කියවූයෙමි. තර්කොව්ස්කි ගේ ස්ටෝකර් Stalker පිළිබඳ අමුතුම අන්දමේ විකාර විචාරයක් කල මලින්ත විතානගේ ගේ සිට (එයට පිළිතුරක් මේ බ්ලොග් ලිපියේ ලියා ඇත
තර්කොව්ස්කි ගේ ස්ටෝකර් ) ලංකා ඊනිව්ස් සිනමා විචාරක අජිත් ගලප්පත්ති දක්වා අමුතුම අන්දමේ පුරුෂෝත්තම වාදී සිනමා විචාරයන් කර ඇත .
ගලප්පත්ති හඳගම ගැන ලියන්නේ මෙසේය . - " ලයනල් වෙන්ඩ්ට් හෙළුවැල්ලෙන් වැල්ලේ දුවවන ඔහු පැබ්ලෝ නෙරුදා ස්ත්‍රී දූෂකයකු ලෙස දක්වමින් සක්කිලි ගැහැණියක හඹා දුවවා සිය පරාම විකාරය ප්‍රදර්ශනය කළේය.ඒ සඳහා එම චරිතයට වඩා යෝධ චරිත, ප්‍රේමදාස වැනි ජනාධිපතිවරු, මංගල, මහින්ද වැනි ඇමතිවරු, රිචඩ් වැනි ලෝප්‍රකට මාධ්‍යවේදීන්, ප්‍රේමකීර්ති වැනි කවීන්, නිර්මලා වැනි බිරින්දෑවරු, රොනී වැනි පොලිස් ලොක්කන් තුට්ටු දෙකට දමා අපහාසාත්මකව නිරූපනය කරන්නට සිනමාකරුවකුට සිදුවිය හැක. -
ලංකා ඊ නිව්ස් " පැබ්ලෝ නෙරුදා විප්ලවවාදී කවියෙකු ලෙස අප ඔහුට කැමති බව සැබෑය . නමුත් නෙරුදා තමන් විසින්ම පිළිගත් දුෂණය ගැන හඳගම වැරදි කරුවෙකු වන්නේ කෙසේද ? මෙහිදී ගලප්පත්ති ගේ පුරුෂෝත්තම වාදය මැනවින් ප්‍රදර්ශනය වේ .
එසේම පොෂ් අක්කලා හඬන විට ගලප්පත්ති ලේන්සුව දෙයි . "ඇය නළලත මත තැබුවේ ස්වර්ණා තබන ස්ටිකර් පොට්ටු නොව පව්ඩර් පොට්ටුය. ඇය තම නිවසෙහි මත්පැන් තබාගෙන සිටියේ නැත. ඇය සිය මෙහෙකරුවන්ද සමග මත්පැන් පානය කළ බේබදු කාන්තාවක නොවේ." ඒ ලියූ කාන්තාව මනෝරාණි දැන සිටියේ එසේ විය හැකිය . නමුත් පුතා පැහැර ගත් රාණි නමැති මව කෙසේ ක්‍රියා කරන්නේ දැයි ඒ ලියන කාන්තාව හෝ ගලප්පත්ති දන්නේ කෙසේද?
මෙහි පුරුෂෝත්තමවාදී කතාව නම් විස්කි උගුරක් බොන ගැහැණිය හෝ සිගරට්ටුවක් උරණ ගැහැණිය අවඥාවේ හෙලා කතා කිරීමයි . ඇය පටන් ගනිද්දී යල් පැන ගිය කාන්තාවක් වන්නට ඇත . එහෙත් මව්වරුන්ගේ පෙරමුණකට නායකත්වය දුන් කාන්තාවක් ඊට වඩා දැඩි අයෙකි . ගලප්පත්තිට මෙන්ම අනෙකුත් විචාරකයන්ට අවශ්‍ය වී ඇත්තේ සියුමැලි , සුකොමල , ලාලිනියක වූ මනෝරාණිය.තම පුත්‍රයා රාජ්‍යයට සම්බන්ධ වුවන් විසින් පැහැරගෙන ගොස් මරා දමන ලද්දාවූ රාණි නොවේ .
ලංකාවේදී මට ආචාර්ය සිසිර කුමාර බණ්ඩාරගම විසින් පරිවර්තනය කරන ලද අන්ද්‍රෙයි තර්කොව්ස්කි නම් විශිෂ්ට සිනමාකරුගේ දේශන අඩංගු පොතක් හමුවුණි . සතුටට කරුණ නම් එහි පුර්විකාව ලියා ඇත්තේ හඳගම වීමය . තර්කොව්ස්කි ගේ ඔහු වඩාත්ම කැමති චිත්‍රපටය "කැඩපත" බව (රුසියන් සෙර්කලා) කියා මෙසේ ලියයි.
"චිත්‍රපටය නරඹන බොහෝ දෙනෙකුට, හඳුනා ගන්න ලැබෙන තවත් සුවිශේෂ ලක්ෂනයක් විය හැක්කේ ඒ රූප රාමු එකක් පසු පස එකක් ගලාගෙන යන රිද්මය. එය සංගීතානුකූල ගලා යමක් . " (පිටුව 15)
තවදුරටත් හඳගම මෙසේ ලියයි . "ඔහුගේ (තර්කොව්ස්කි) චිත්‍රපට, මා කලින් සඳහන් කලාක් මෙන් එක් එක් නරඹන්නා තුල තම තමන්ගේ අත්දැකීම් හා කියවීම් වලට සාපේක්ෂව ස්වාධීනව අරුත් හා හැඟීම් මවන්නට සමත් ඒවා . තමන් තුලම පවා ඒවා නරඹන වාරයක් පාසා වෙනත් හැඟීම් දැන්විය හැකි කෘතීන් . චිත්‍රපට මෙන්ම චිත්‍රපට පිලිබඳ කෙනෙකුගේ එක මොහොතක කියවීම පවා චලිතයක් . " හඳගම - පි . 16
මා පොත කියවූවේ ලංකාවේදී "රාණි" බැලීමෙන් පසුවය. මට සිතෙන්නේ රාණි නිර්මාණය කරන ලද්දේද මෙලෙසම බවයි . උදාන් ප්‍රනාන්දු ගේ වාර්තා චිත්‍රපටය මෙන්ම මෙහිද වඩාත් ඉස්මතුව පෙනෙන "කාමරයේ අලියා " හෙවත් රිචඩ් ගැන වැඩිපුර කතා කරන්නේ නැත . සුමනා විජේරත්න මෙන්ම තවත් එක අයෙකු ද රාණි ගේ චිත්‍රපටයේ ඇය විස්කි බීම ගැනත්, රාණි තවත් කෙනෙකු සමග නාට්‍ය කළ හැටි ගැනත් ලියා තිබුණි . ඒවා ලිවිම හොඳය . ගලපත්ති ගේ හා මලින්ත ගේ ප්‍රහාරද හොඳය . ඉන් චිත්‍රපටයේ කතාව සම්පූර්ණ වෙයි .
ඔවුන් දන්නා රාණි මෙහෙකරුවෙකුට විස්කි දී නැත . ඒ ලියපු අයගේ උසස් සමාජ තත්වය පෙන්නුම් කරන්නට "මෙහෙකරුවා" යන්න උලුප්පා දක්වයි . මෙහෙකරුවා යන්න වර්තමාන සමාජයේ අනවශ්‍ය ලෙස කෙනෙකු පහත් කරන්නට හා තමන් උසස් කරන්නට කරන යෙදුමකි . රාණි ගැන නොදන්නා වුවද ඈ ගැන කියවීමෙන් පසු මට හැඟෙන්නේ රාණි යනු තමන්ට වැඩ කරන්නන් ට පහත් කර සලකන අයෙකු විය නොහැකි බවයි . ඒ අනුව අත් උදව් කරු , තමන්ගේ "බට්ලර්" ට විස්කි ටිකක් දෙන උසස්, කරුණාවන්ත කාන්තාවක් මගේ මනසේ සංකේතවත් වේ.
"කලාකරු යනු කව්ද යන්න පිලිබඳ තර්කොව්ස්කි වරක් මෙලෙස ප්‍රකාශ කළේය .
-කලාකරු කියන්නේ ණය කාරයෙක්. ඔහු නිතර උත්සාහ කරනවා තමාට ලැබී ඇති මේ දායාදය වෙනුවෙන් ඔහු විසින් ගෙවිය යුතු ණය ගෙවා දමන්න. ඔහු දන්නවා - තමාට ලැබී තිබෙන මේ විශ්මයජනක දායාදය ලෝකයට, ලෝක වාසීන්ට දීමෙන් පමණයි ඔහුට මේ ණය ගෙවා නිම කළ හැක්කේ කියා. ඒ නිසා, කලාකරුවෙකුගේ විශිෂ්ඨත්වය මිනිය හැකි වන්නේ ඔහුගේ නිර්මාණ තුලින් නොවෙයි. ඔහු ඒ නිර්මාණ එලි දැක්වීම සඳහා ගන්න උත්සාහය/වෑයම තුලින්. ඒ නිසා කලාකරුවෙකු ගේ උසස් බව මනින මිනුම් දණ්ඩ විය යුත්තේ ඔහු කලාව නම් වූ උන්මාදයට කල කැප කිරීමයි. " පිටුව 40. -අන්ද්‍රේයි තර්කොව්ස්කි - සිනමා දේශනා - පරිවර්තක -සිසිර කුමාර බණ්ඩාරගම
තර්කොව්ස්කි තවත් දේශනයක මෙසේ කියයි . "උසස් ගණයේ කල කෘතියක් කිසිවිටෙක තම ප්‍රේක්ෂකයා තුල කුමන ආකාරයක ප්‍රතිචාරයක් ඇති කරනවාද යන්න පිළිබඳව සැළකිලිමත් වන්නේ නැහැ . සමහර විචාරකයන් සිනමා නිර්මාණ ගැන කියන අභූත කතාමා මවිතයට පත් කරනවා. මේ චිත්‍රපටය ජිවිතයට කිසිම සම්බන්ධයක් නැහැ . චිත්‍රපටයේ කියන කතාව තේරුම් ගැනීමට අමාරුයි."
කලකට ඉහත මිය ගිය තර්කොව්ස්කි රාණි චිත්‍රපටය පිලිබඳ සමහර විචාරකයන් ගේ විචාර ගැන අනාවැකි කියා ඇත .
"කලා නිර්මාණයක් තුලින් ඒ නිර්මාණයේ 'පරමාර්ථය ' නැතිනම් 'අර්ථය ' එළිදරව් නොවිය යුතුයි. කලා නිර්මාණයෙන් නිර්මාණකරු අපේක්ෂා කලේ කුමක්ද යන්න ඉවත් විය යුතුයි. වෙනත් වචන වලින් කියනවා නම් කලා නිර්මාණයේ පියවි සිහිය /ප්‍රකෘතිය ඒ නිර්මාණයෙන් ඉවත් වූ විට පමණයි, ඒ නිර්මාණයේ නියම ජිවය උපදින්නේ . " හෙලිදරව් නොවන අර්ථය ගැන එසේ කියන තර්කොව්ස්කි මෙසේද පවසයි.
"හොඳ කලා නිර්මාණයක් තුල ඇත්තේ තර්කානුකුල බව නොවෙයි . එක එල්ලේ හඳුනා ගත නොහැකි, අවබෝධ කර ගත නොහැකි හැඟීම් සමුදායක්. කලාව යනු පියවිය හා මනස්කල්පිතය අතර සමතුලිතතාව සෙවීමේ ප්‍රයත්නයක් . " පිටු 68-69
මටනම් හඳගම "රාණි " තුලින් ඒ සමතුලිතතාව හඳුනාගෙන ඇත. ගලප්පත්ති කියන්නේ හඳගමට තමාගේ නිර්මාණය ගැන කතා කල නොහැකි බවයි . නිර්මාණය කල පසු එය තමන්ට අයත් නොවන නිසාලු . නිර්මාණය ඉදිරිපත් කල පසු එය අයිති ලෝකයට බව සැබවිය . එහෙත් නිර්මාණකරුට ඒ ගැන කතා කරන්නට නොහැකිය කීම මුග්ධ කතාවකි. තමන්ගේම නිර්මාණ විවෙච්නය කරන ග්‍රන්ථ හා නාට්‍යකරුවන් ඕනෑ තරම් සිටිති. තර්කොව්ස්කිම තමන්ගේ චිත්‍රපට දේශනා වලදී උදාහරණයට ගනී .
"සිනමාකරු ප්‍රේක්ෂකයාට වැටහෙන ආකාරයට කතා කියන්න උත්සහ කරනවා යනු ඔහු ප්‍රේක්ෂකයාගේ වුවමනා එපාකම් සපුරාලන්න උත්සාහ කිරීමයි. ප්‍රේක්ෂකයා සතුටු කිරීමට උත්සහ කිරීමයි . මෙය කලාකරුවෙකුගේ හෝ කලා නිර්මාණයක කාර්යයක් කියා මා කිසිසේත්ම විශ්වාස කරන්නේ නැහැ . එසේ සිතීම ලොකු රැවටිල්ලක් . " තර්කොව්ස්කි - පි . 78
හඳගම ගේ ප්‍රශ්නය වී ඇත්තේද මෙයයි . ඔහු අතිශයින් කලාත්මක නිර්මාණයක් ඉදිරිපත් කල අතර ස්වර්ණා මල්ලවාරච්චි සහ සෙසු නළු නිලියන් හැකි හැම පමණින් එයට දායක වී ඇත . එය සකල දේශපාලන ප්‍රේක්ෂක සමුහයා සතුටු කරන්නට කල කළා නිර්මාණයක් නොවන බව විචාර හා සමාජ ජාල වැළපීම් මගින් පෙනී යයි .
"ඉනි අවන්" ගැන විචාරයක් ලියන දීප්ති ගුණරත්න මෙසේ කියයි .
"නමුත් 'අක්ෂරයට' පසු අශෝක හඳගම විසින් තමන් එතෙක් සිනමාව තුල මහා අනෙකා වෙනුවෙන් රංග දක්වන ලද ආශාවේ මානය විපරිත ස්ථාවරයේ සිට හිස්ටරික ස්ථාවරයක් දක්වා විස්ථාපනය කරන ලදී. මෙම විස්ථාපනය ආත්මීය කරුණකි . එනිසාම එම හැරවුම මගින් ඔහු ආචාරාත්මක ක්‍රියාවක් කරයි. එනම් විපරිත ආත්මමූලිකත්වයක සිට (විනෝදය අනෙකට දීම ) හිස්ටෙරික ආත්මමුලිකත්වය කර විතැන් වීමයි . මේ සඳහා ඉදිරිපත් කල හැකි බාහිර සියලු හේතුන් පසු ආවර්තිත බව සිහි තබා ගත යුතුය . මෙම ෆැන්ටසිකරණය නිසා අශෝක හඳගමගේ දේශපාලන ප්‍රේක්ෂක කැළ ඔහුට හිමි විය. ඔවුන්ගේ මුඛ්‍ය චෝදනාව වන්නේ ඔවුන්ගේ ෆැන්ටසි යථාර්තය හඳගම විසින් නොපෙන්වන බවයි . එය ද්‍රෝහී ක්‍රියාවකි . " පිටුව 26 - 'මා අබියස ඔබ නෙළුම නොවේ. - දීප්ති කුමාර ගුණරත්න
එසේනම් සිදුවී ඇත්තේ හරිම අවාසනාවකි . "රාණි චිත්‍රපටයෙන් ඉතිරිව සිටි දේශපාලන ප්‍රේක්ෂක කැලද හඳගමට එසේනම් අහිමි වී ඇත. ඔහු ද්‍රෝහියෙකු ලෙස සලකා විචාර ලියවෙන්නේද , පවුලේ ය රිචඩ් ව තව වරක් මැරූ ලෙස වැලපෙන්නේද එබැවිනි . චිත්‍රපටය කලාත්මක නිර්මාණයක් මිස රිචඩ් ද සොයිස ගේ මරණය ගැන නන්දන විරරත්න ලියන ගවේෂණාත්මක ලිපියක් නොවේ . මේ දේශපාලන ප්‍රේක්ෂක රැලට හසුව නොමැති යථාර්තය මෙයයි . ඔවුන් චිත්‍රපටය නරඹන්නට ගොස් ඇත්තේ පූර්ව විනිශ්චයකිනි . ඇතැමෙක් ගොස් ඇත්තේ එහි රිචඩ් හා තමන් කල නාට්‍ය ගැන ඇතැයි සිතාය . ඇතැමෙක් සිතා ඇත්තේ ඇය තමන්ට කල වෙද කමක් ගැන එහි ඇති කියාය . ඇතැමෙක් දේවතාවියක ගේ කතාවක් බලාපොරොත්තු වී තිබේ . ඉන්දියාවේ කාට හරි කීවා නම් එවැනි චිත්‍රපටයක් සාදා දෙනු ඇත . ඇතැමෙකු බලාපොරොත්තු වී ඇත්තේ රිචඩ් ගේ ඝාතකයා හෙළි දරව් කරනු ඇතැයි කියාය .
මා මිත්‍ර හිටපු මහාචාර්ය ප්‍රදීප් ජෙගනාදන් මුහුණු පොතේ මට ලින්කුවක් දමා තිබුණි. ඒ ඔහු හා මා මිත්‍ර නන්දන වීරරත්න රාණි චිත්‍රපටය ගැන කළ කතා ගැනය . මා ජෙගනාදන් දන්නේ රාජකීය විද්‍යාලයේ මට කලින් වසරේ සිටි උගත් දක්ෂ සිසුවෙකු ලෙසය . ඔහු හා මම සාමාන්‍ය දැනීමේ තරඟ කණ්ඩායමකට අයත්ව සිටියෙමු . සන්සුන් ජෙගනාදන් ශිෂ්‍යත්වයක් ලැබ ඇමෙරිකා ගියේය. දුප්පත් මම සෝවියට් ශිෂ්‍යත්වයක් ලැබ රුසියාවට ගියෙමි. ඇමෙරිකාවේදී ජෙගනාදන් බොන්නට ඇතැයි මට නොසිතේ . රුසියාවේදී මට නොබී බැරිවිය . ඒ ගැන කවුරුත් දනිති. නමුත් චිත්‍රපටයේ බොන බවක් නොපෙනුන විනීතව මෙන් හැසිරුණ (මටනම් එසේ නොපෙනුණි ) කණ්ඩායමක් රිචඩ් පැහැර ගන්නට පැමිණි බව ජෙගනාදන් කියයි . එම කණ්ඩායම ඉන්පසු පෙන්වන්නේ ජීප් රථයේ හොඳට බොන බවත් ඉන්පසු ඔවුන්ම තීරණය කර රිචඩ් පැහැර ගැනීමට යන බවත් ජෙගනාදන් නිරික්ෂනය කරයි . ඔහුට අනුව මෙහි ඇත්තේ පරස්පර විරෝධතාවයකි . විනීත පැහැරගන්නන් හා බීමත් කණ්ඩායම.
ජෙගනාදන් මිතුර, ඔබ හොඳට බිව් අයෙකු ලෙස මට නොපෙනුණි . එනිසා මට එය වැටහේ . අදටද වොඩ්කා හෝ විස්කි බෝතලයකින් බාගයක් බී මට තවම කෙලින් සිට ගන්නට පුළුවන්ය . එසේම එසේ බී වාහන පදවන අයද මම දනිමි . මා එයට සහමුලින්ම විරුද්ද නිසා එසේ නොකරමි. ඔබට කලින් කතාව කල නන්දන වීරරත්න ගෙන් ඇසුවා නම් කියා දෙනු ඇත . ආරක්ෂක අංශයේ අය බීවාට ඒ ගැන සඟවමින් ඔවුන් ක්‍රියා කරන බවට බොහෝ අය සාක්ෂි දෙනු ඇත . ඔවුන් සරම් උස්සාගෙන හොරු අල්ලන්න යන්නේ නැත . බීමත්ව නම් යති . එනිසා ඔබේ තර්කය බොල් පදනමක් නැති එකකි.
ලන්ඩනයේදී අප බියර් එකක් බොන්නට හමුවූ අවස්ථාවක මහාචාර්ය ජෙගනාදන් ඔහු පලකල පර්යේෂණ පත්‍රිකාවක් ගැන කීවා මතකය . බෞද්ධාගම අවිහිංසක ආගමක් නොවන බවය ඒ . ඒ ගැන ලියන්නට සිතා සිටි මුත් මට එය අතපසු වුනි . ඔබ තර්ක කලේ ගලබොඩ අත්තේ ඥානසාර දබර ඇඟිල්ල දිගු කර තර්ජනය කරන බවත් බුදුන් වහන්සේද එසේ ඇඟිල්ල ඉදිරියට දිගු කල බවත්ය . බුදුන් වහන්සේ ගේ හස්ත මුද්‍රා හැර වෙනත් තනි ඇඟිල්ලකින් කරන තර්ජනයක් මම නොදනිමි . එසේම බුදුන් වහන්සේ යක්ෂයන් දමනය කිරීම ප්‍රචණ්ඩත්වයක් (violence) ලෙස ඔහු දකී. බුදුන් ලංකාවට වැඩියාද කිය නොදන්නා නිසා මා ඒ ගැන ප්‍රශ්න නොකරමි.
බෞද්ධාගම ප්‍රචණ්ඩ නොවූ නිසා බංගලි දේශය , පකිස්ථානය , මැලේසියාව, ඇෆ්ගනිස්ථානය , ඉන්දුනීසියාව අද බෞද්ධ රටවල් නොවේ යයි තර්කයක් ද ඇත . එහෙත් මානව විද්‍යා මහාචාර්යවරයෙකු ලෙස එවැනි පත්‍රිකාවක් ඔහුට එවැනි අදහසක් ගොනු කිරීමට හා පල කිරීමට පූර්ණ නිදහසක් ඇත . හඳගමට තමන්ට අවශ්‍ය ආකාරයට "රාණි " නිර්මාණය කරගන්නා සේය.
ජෙගනාදන් ගේ මෙන්ම බොහෝ අයගේ තවත් තර්කයක් නම් චිත්‍රපටයේ රිචඩ් ගේ ඝාතකයා හෙළි දරව් නොකරන බවයි . එසේම පොලිස් කණ්ඩායම ජීප් රථයේ බොන අතරේ එම තීරණය කණ්ඩායම ගත් බවයි . ජෙගනාදන් , ඔබ හොඳ මාෆියා චිත්‍රපටයක් නරඹන්න. මාරියෝ ෆුසෝ ගේ "ගෝඩ් ෆාදර්", ඩොනි බ්රැස්කෝ මෙන්ම නෙට් ෆ්ලික්ස් හි ඕනා තරම් මාෆියා චිත්‍රපට ඇත . කිසිම මාෆියා බොස් කෙනෙකු හෝ දේශපාලකයෙකු කෙනෙකු මරන්නට කෙලින් අණ දෙන්නේ නැත . ඒ වෙනුවට "අරයා මා දිහා අමුතු විධිහට බැලුව . ""දැක්කද අරූ හැසිරිච්ච විධිහ " "අරූ අපට උගන්වන්න එන්නේ " "අපිව නැති කරන්න කලින් නැති වෙන්න ඕනේ අය ඉන්නව " වගේ හැඟවුමක් දෙනු මිස කෙලින් කියා තමන්ව කොටු වෙන්නට ඉඩ හරින්නේ නැත. ඇමෙරිකානු එෆ් බී අයි ආයතනයට ඇමෙරිකාවේ ඉතාලියානු මාෆියාවේ බොස් ලා හරි හැටි කොටු කරගන්නට අවුරුදු දහයකට වඩා ගියේ එබැවිනි . මෑත කාලයේ එක්තර දේශපාලකයෙකු " ගහලා දාන්න " කියනු යයි මා අසා තිබේ.
"ලොක්ක අරූ ට කැමති නැහැ නේද " කියා චිත්‍රපටයේ කියනවා ඇසුනේ නැත්ද? ඒ ඔවුන්ට දී තිබූ අණයි. පාතාලයන් සේ, ඝාතන කණ්ඩායම් සේ වැඩ කල අයට ඒ හොඳටම ඇතිය .
එසේම රිචඩ් ද සොයිසා ගේ ඝාතනයට වග කියන කවුරුන් හෝ නීති මාර්ගයෙන් සොයා නැති තත්වයක් තුල චිත්‍රපටයට ඇඟිල්ල දිගු කළ නොහැකිය . නන්දන වීරරත්න ටතම කතාවේදී පවසන්නේ රිචඩ් ගැන සොයන්නට හා කියන්නට අවශ්‍ය නම් වෙනත් චිත්‍රපටයක් අකරණ ලෙසය . ඒ කතාව වඩාත් සාධාරණ එකකි .
රඟපෑම් ගැන කියනවානම් ස්වර්ණා මල්ලව "රාණි" ගැන නොදැන සිටියා නම් වඩා හොඳය . සිනමා නිර්මාණයේ තම නිර්මාණය කරන චරිතයේ සියලු තොරතුරු නළුවා හෝ නිළිය දනී නම් ඇයට ඒ චරිතය නිසි ආකාරයට ගොඩනැඟිය නොහැකි යයි තර්කොව්ස්කි පවසයි. බොහෝ විචාර වලට අනුව ස්වර්ණා "රාණි " ගැන දන්නේ නැත . එහෙනම් ඒ හොඳය . ඇගෙන් චිත්‍රපටයට සාධාරණය ඉටුවී ඇත . එම චිත්‍රපටයේ මැවෙන්නේ ඔබ දන්නා රාණි නොව මව්වරුන්ගේ පෙරමුණේ රාණිය. තම දරුවා බලෙන් පැහැරගෙන ගිය, දවා හලුවී තැන නොදන්නා දහසකුත් එකක්, සිංහල , දෙමළ , මුස්ලිම් මව්වරුන්ගේ එකියකි .
එසේම කිසියම් පිටපතක් ලියන සැමියකු පැහැර ගැනීමක් පෙන්වයි . ඔහුගේ බිරිඳ රාණි හමුවීමට පැමිණ ඇය හා පෙරමුණටද එක්වෙයි / මේ කියවෙන්නේ ලක්ෂමන් පෙරේරා ගැනද ? අහවල් නාට්‍යය ගැනද?
හඳගම චිත්‍රපටයේ අසල්වැසියන් එන වෙලාව මතකද . "රාණි " ඔවුන ගේ සහය ප්‍රතික්ෂේප කරන්නේ "රිචඩ් පැහැරගත් වෙලාවේ ඔබල කොහෙද හිටියේ " යයි අසමිනි . රිචඩ් ගේ දැන් කෑ ගසන නෑදෑ පරම්පරාවද එසේ සිටින්නට ඇත . තනිව සිටි ඇයට අරමුණක් දුන්නේ මංගල හා මහින්දය. ඒ වංචාකාරී ලෙස ඇයව යොදාගෙන චන්ද්‍රිකා රජ කරන්නටය . ඒ ගැන පෙන්වීම වරදක්ද? සිදු වුනේ එය නොවේද? "රාණි" හි පෙන්වන්නේ මව්වරුන්ගේ පෙරමුණේ සටන් වැදුණු මව්වරුන්ගෙන් එකියක් මිස පොෂ් පන්තයේ වෛද්‍යවරියක් ගැන නොවේ .
හඳගමගේ මේ විශිෂ්ට කලාත්මක නිර්මාණය දෙවන වර නරඹන්නට ලන්ඩනයට ගෙන එනු ඇතැයි සිතමි . ස්තුතියි අශෝක හඳගම .
- කොළඹ ගමයා -10/04/2025
තර්කොව්ස්කි ගේ කැඩපත
වධහිංසා කිරීමේ කලාව ! | ප්‍රදීප් ජෙගනාදන් දේශනය - යූටියුබ්
සිනමාවක් නොවන විචාරයක්. - නන්දන වීරරත්න
මුලාශ්‍ර -අන්ද්‍රේයි තර්කොව්ස්කි සිනමා දේශනා - පරිවර්තනය - සිසිර කුමාර බණ්ඩාරගම
මා අබියස ඔබ නෙළුම නොවේ - ඉනි අවන් - දීප්ති කුමාර ගුණරත්න
ජලයෙන් යටවූ ලින්ච් ගේ ලෝකය - පුෂ්පජිත් නිරෝෂණ ජයසිංහ
මගේ අනෙකුත් චිත්‍රපට විචාර ලිපි: