Thursday, 29 January 2026

පින්ලන්ත ගමන 4 - හමීන්ලිනා





මේ නගරය මා මුලින් හැඳින්වූයේ හමින්ලින්නා කියාය .  හෙමින් යන ලීනා යනුවෙන් මතක තබා ගැනීමට ලෙහෙසිය.  හමීන්ලිනා  ලෙස වර නැගිය  යුතු යයි යූටියුබ් වීඩියෝවක  තිබේ .  (Hämeenlinna )  මගේ සොයුරියගේ දියණිය පවනි ජිවත් වන්නේ ඒ නගරයේ නිසා ෆින්ලන්තයට පැමිණි තෙවැනි දිනයේ එනම් ගිය අවුරුද්දේ (2025) සැප්තැම්බර් නම වෙනිදා අපි දුම්රියෙන් හමීන්ලිනා බලා ගියෙමු. කැන්ටා හේමේ  නම් පළාතේ අග නගරය වන හමීන්ලිනා දකුණු ෆින්ලන්තයේ වනයවෙසි නම් විශාල විල  අසල පිහිටි නගරයකි .   ලීනා (හෝ ලින්නා) යන බලකොටුව යන අර්ථය දේ යැයි කලින් ලීවෙමි .  හෙමේ යන මේ නගරයේ තිබෙන මධ්‍යතන   යුගයට අයත් විශාල බලකොටුවයි . ලංකාවේ සමහරු නම් කුණුහරපයක් ලෙස මේ නම කියනවා ඇසුවෙමි.

ෆින්ලන්තය 1809-197 දක්වා අයත්ව තිබුනේ රුසියානු අධිරාජ්‍යයට බව කලින් ලීවෙමි. රුසියානු විප්ලයෙන් 1918 දක්වා ෆින්ලන්ත සිවිල් යුද්ධය පැවැති  අතර හෙමෙන්ලිනා නගරය මුලින් සතු කරගත්තේ සෝවියට් රතු හමුදාවය .  නමුත් එම වසරේම  ජර්මන් හමුදා සහය ඇතිව සුදු හමුදා නගරය යටත් කර ගත්හ. දෙදාහකට අධික   බොහෝ රතු හමුදා භටයන් පොල්ටිනහෝ හමුදා බැරැක්කයේ තුල වූ දරුණු හා මර්දනකාරී සිර ගෙය තුල මියගියහ .     

(පහත  කොටස ගූගල් සෙවුම් මගින් ලබා ගතිමි . )
****************************************
හමීන්ලිනා සහ ෆින්ලන්ත ඉතිහාසය

පොල්ටිනහෝ බැරැක්ක (Poltinaho Barracks): හමීන්ලිනාහි පිහිටි මෙම සිර කඳවුර යුද්ධයෙන් පසු පැවති විශාලතම සහ වඩාත්ම කුප්‍රකට සිර කඳවුරුවලින් එකකි. ඓතිහාසික වාර්තා පෙන්වා දෙන්නේ සිරකරුවන් 2,500කට ආසන්න පිරිසක් එහිදී මියගිය බවයි. ඔවුන්ගෙන් බහුතරයක් මියගියේ සෘජුවම මරා දැමීම නිසා නොව, ස්පාඤ්ඤ උණ වැනි රෝගාබාධ සහ කුසගින්න හේතුවෙනි.

 වසර සියයකට පෙර මෙවැනි බිහිසුණු ඉතිහාසයක් තිබූ නගරයක්, අද වන විට මෙතරම් සාමකාමී නගරයක් බවට පත්ව තිබීම ඇත්තෙන්ම ප්‍රබල වෙනසකි.

රුසියානු යුගය කෙටියෙන් (1809–1917)

එය විදේශීය පාලනයකට යටත්ව තිබූ කාලයක් වුවද, නූතන ෆින්ලන්ත අනන්‍යතාවය ගොඩනැගුණේ ද මෙම කාලවකවානුවේදීය.

රුසියානු අධිරාජ්‍යයේ අනෙකුත් ප්‍රදේශ මෙන් නොව, ෆින්ලන්තය "මහා ආදිපාද රාජ්‍යයක්" (Grand Duchy) ලෙස පැවතුණි. මෙයින් අදහස් කළේ ඔවුන්ට තමන්ගේම නීති, ආගම සහ අවසානයේ තමන්ගේම මුදල් ඒකකයක් (මර්කා - markka) පවා පවත්වාගෙන යාමට අවසර තිබූ බවයි. ස්වීඩන් බලපෑමෙන් ඈත් කර රුසියාවේ ශාන්ත පීටර්ස්බර්ග් නගරයට සමීප කරවීම සඳහා, රුසියාව විසින් 1812 දී අගනුවර ටර්කු (Turku) සිට හෙල්සින්කි දක්වා මාරු කරන ලදී.

රුසියානු පාලනයේ අවසාන කාලයේදී (1899-1917), රුසියානු භාෂාව සහ නීති බලහත්කාරයෙන් පටවමින් ෆින්ලන්තය "රුසියානුකරණය" කිරීමට උත්සාහ කළහ. මෙය අවසානයේදී ඔවුන් 1917 දී ලෙනින් ගෙන් ලබාගත් නිදහස (ස්වයං නිර්ණන අයිතිය ) කෙරෙහි වූ දැඩි උනන්දුවට මග පෑදීය.

***************************************************

ෆින්ලන්තයේ දුම්රිය සුදු සහ කොළ පැහැතිය .  බොහෝ ඒවා සමහර  ජර්මන් දුම්රිය වලට සමාන වන අතර එලෙසම තට්ටු දෙකක් දැකිය හැකිය. අප හමීන්ලීනා යද්දී දුටු සුම්රිය ස්ථාන නැවතත් මා අතීතයට රැගෙන ගියේ සෝවියට් රුසියාවේ දැක පුරුදු දුම්රිය නැවතුම්පළවල් ලෙස මෙහි සමහර දුම්රිය ස්ථාන නිර්මාණය කර තිබීමය .
ෆින්ලන්ත රජයේ දුම්රිය සේවය (VR), පරිසර හිතකාමී වීමට ඔවුන් දක්වන කැපවීම සංකේතවත් කිරීම සඳහා මීට වසර 10කට පමණ පෙර ඔවුන්ගේ දුම්රියවල වර්ණ රටාව රතු සහ සුදු පැහැයේ සිට මෙම කොළ සහ සුදු පැහැයට වෙනස් කරන ලද බව දැන ගන්නට ලැබුණි . 

 ෆින්ලන්තයේ අප පසු කර ගිය ප්‍රදේශ භූගෝලීය වශයෙන් පැතලි,   රුසියාව හා පෝලන්තයට සමාන දේශ ගුණික ලක්ෂණ වලින් යුක්ත බවක් දුටුවෙමි. භූගෝලීය වශයෙන් ගත් කල, ෆින්ලන්තය පිහිටා ඇත්තේ රුසියාවේ සමහර කොටස්වලට සමාන වූ 'බෝල්ටික් පලිහ' (Baltic Shield) ලෙස හැඳින්වෙන භූ තැටිය මතය. එහි උස් කඳු වැටි නොමැති නිසා, රුසියාවේ වයඹ දෙසින් හෝ පෝලන්තයේ තැනිතලා ප්‍රදේශවල දැකිය හැකි විශාල, පැතලි, වනාන්තර සහ වැව්වලින් පිරුණු ස්වභාවික පෙනුම මෙහිදී ද දැකගත හැකිය.


දුම්රිය ගමනේ ඉතා කෙටි වීඩියෝ මගේ යූ ටියුබ් චැනලයේ දැකිය හැකිය. 


         
හෙමේ බලකොටුව පිහිටා ඇත්තේ වනයවෙසි විල අසලය .  ඒ අසලින් දුම්රියක් ගමන් කරන පියකරු වීඩියෝ ගන්නට මට හැකි විය .  

මේ නගරයේ ඉතිහාසය වයිකින් සමය දක්වා දිව යයි.  මේ බලකොටුව සාදා ඇත්තේ දහතුන්වන සියවසේ  බිර්ගර් යාල් නම් ස්වීඩනයේ සිටි ප්‍රාදේශීය පාලකයකු විසිනි .  එම පාලකයා ස්ටොක්හෝම් නගරය සැදුවේ යයිද මතයක් පවතී . . අප ගිය දවසේ බලකොටුව වසා තිබුණු හෙයින් එතුලට ගොස් බලන්නට හැකි වුනේ නැත .  අවට ගත් පින්තූර කිහිපයක් ස්ලයිඩ් එකට ඇතුළු කලෙමි . 

     

ඊලඟ දිනයේ අපි ෆින්ලන්තයේ මධ්‍යයේ පිහිටි ඕලු බලා ගියෙමු. ඒ ගැන වෙනම ලියන්නට සිතා සිටිමි .  ඕලු වලින් නැවත හෙමෙන්ලිනා පැමිණි පසු දවසේ අපි  අවුලන්කෝ නැමති නගරයෙන් මදක් එපිට කැලෑ බද ප්‍රදේශයේ ගත කළෙමු .  මෙය හමීන්ලිනාහි පිහිටි ඉතා ප්‍රසිද්ධ ස්වභාවික රක්ෂිතයකි. එය එහි ඇති සුන්දර "ඉංග්‍රීසි පන්නයේ" උද්‍යානය සහ නිරීක්ෂණ කුළුණු (lookout towers) නිසා බෙහෙවින් ප්‍රචලිතය.  ෆින්ලන්ත ගමක මල් පිපිණු වෘක්ෂ කිහිපයක පින්තූර ගත් මට පෙනුනේ ලංකාවේ ඒ කාලයේ තිබුණු අයුරින් තැනූ අම්බලමකි .  මෙහි ඇති විල මෙට්සාලම්පි හෙවත් කැලෑ විල නමින් හඳුන්වයි .  අම්බලම ඇති පෙදෙස රුසලක්සෝ නමින් හැඳින්වේ .  



ඉන්පසු අප ගියේ "අවුලන්ගොන් අළු" නමැති කන්දකටය .  වසර දහසකට පමණ පෙර මෙහි මුදුනේ සාදා ඇති බලකොටුව නිසා  සතුරන් ගේ ආක්‍රමණ කලින් දැන ගැනීමට හැකි විය .  එහි  ප්‍රදීපාගාරයක් වැනි වූ මීටර් 33 ක්  උස කුළුණක් සාදා ඇත .  පඩි පෙළවල් 215 පම තිබෙන එහි ඇතුලින් උද මුදුනටම යා හැකිය . එහි ඇතුළත සහ පහල වැවේ පින්තූරද කුළුණ ඇතුලේ ඡායාරුප කිහිපයක්ද  ස්ලයිඩ් එකෙන් බැලිය හැකිය . 
*******************************


කුලුනේ අනිත් පැත්තෙන් පහලට බසින විට විශාල වලස් පවුලක ප්‍රතිමාවක් තිබේ.  මේ ප්‍රදේශයේ වළසුන් කලින් ජිවත්ව සිටියත් මිනිසුන් ගේ ආගමනයත් සමග ඔවුන් අතුරුදහන් වී ගොස්ය. එම සුප්‍රකට ලෝකඩ ප්‍රතිමාව 1906 වසරේදී රොබට් ස්ටිගෙල් (Robert Stigell) නම් මූර්ති ශිල්පියා විසින් නිර්මාණය කරන ලද්දකි. එය අවුලන්කෝ හි ඡායාරූප ගැනීමට ඉතා ජනප්‍රිය ස්ථානයකි. දැනට නගර ආශ්‍රිතව වලසුන් දැකීම දුර්ලභ වුවද, ෆින්ලන්තයේ උතුරු සහ නැගෙනහිර දෙසට වන්නට පිහිටි ඝන වනාන්තරවල තවමත් විශාල වශයෙන් දුඹුරු වලසුන් ජීවත් වෙති.  කැලෑවේ නොයෙකුත් වර්ණවත් එහෙත් විෂ සහිත හතු වර්ග  දුටුවෙමු .  එසේම ෆින්ලන්තයේ ඉතා ලස්සන හතු වර්ග රාශියක් ඇත. සුරංගනා කතාවක දකින අයුරින් දිස්වන, තද රතු පැහැති 'ෆ්ලයි ඇගරික්' (Fly Agaric ) හතු වර්ගය මෙයට කදිම උදාහරණයකි. එය බැලීමට ඉතා අලංකාර වුවද ඇත්තෙන්ම විස සහිතය.





කුලුනේ පහලට බසින විට තිබුන පොඩි කැෆේ එකේ නැවතී අපි තේ බිව්වෙමු .  නිවසක සාදන ලද රසවත් මාදං වැනි පලතුරු  ජාතියක් දමා හැදු රසවත් කේක් කෑල්ලක රස වින්දේ අවට නිහැඬියාව ට එක් වෙමිනි . මේ දං ජාතිය බිල්බෙරි නමින් හඳුන්වන බව පසුව දැන ගතිමි.   යන්තම් පොද වැස්සක් වැටුණද ප්‍රදේශයේ ඇවිදීමට තරමක සෙනගක් සියහ . 

නැවත හෙල්සින්කි පැමිණීමට කලින් පවනි දුව අප විශේෂ ආපනශාලාවකට කැඳවා ගෙන ගියාය .  මාත් බිරිඳත් කලින් මාසයේ ජපානයේ කල සංචාරයෙන් පසු ජපන් ආහාර ගැන දක්වන දැඩි උනන්දුව දැන සිටි ඇය අප රැගෙන ගියේ අජිටෝ නමැති (Ajito & Sushi Ravintola) නමැති නගර මධ්‍යයේ තිබුණු ආපන ශාලාවටය .  එහි කෑම බෆේ (ප්‍රංශ - බුෆේ Buffet )  ක්‍රමයට  සකසා  තිබුණි .  සෑම ආහාර වර්ගයක්ම වාගේ ඉතා ප්‍රණීත ලෙස පිස හෝ නිමවා තිබුණි . සුෂී වර්ග සියල්ල ජපානයේ රසටම ඒ ආකාරයටම පිලියෙල කර තිබෙන බව ඒ සෑම වර්ගයකම රස බැලූ අපට දැනුනි .  








වැදගත්ම කාරණය නම් මෙහි සුෂි ශෙෆ් චමිල ජයසිංහ ශ්‍රී ලාංකික තරුණයෙකු බව දැන ගන්නට ලැබීමයි .  මා ඔහු සමග කතා කිරීමේදී දැන ගත්තේ සෑහෙන කාලයක් ජපානයේ ජීවත් වී ආහාර පිසීම ඉගෙන ගෙන එංගලන්තයේද කාලයක් ජීවත් වී දැන් ෆින්ලන්තයේ ජීවත්වෙන බවයි .  ඔහුටද සුභ පතා අපි එතනින් සතුටින් නික්මුනෙමු . 

ඔබ හමීන්ලීනා යන්නේ නම් මේ අවන්හලට ගොඩ වැදීමට අමතක නොකරන්න .  මුදලාට් සරිලන ප්‍රණීත ජපන් සහ චීන කෑම වේලක් ඔබට ලැබෙනු ඇත . 

(ඊලඟ ලිපිය ඕලු නගරයේ දෙදිනක් )  

කොළඹ ගමයා -29/01/2026 

No comments:

Post a Comment

සියලු හිමිකම් අජිත් ධර්මකීර්ති (Ajith Dharmakeerthi) සතුය. කොළඹ ගමයා බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ අජිත් ධර්මකීර්ති යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ.
මෙහි පලවන ලිපි සහ දේශපාලන අදහස් මගේ පෞද්ගලික අදහස් පමණි.
ඔබේ ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. නමුත් වෙනත් කෙනෙකුට සාධාරණ හේතුවක් නැතුව පහර ගසන අශිලාචාර අන්දමේ ප්‍රතිචාර පමණක් පල නොකෙරේ. බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ස්තූතියි .