Tuesday, 20 January 2026

නිර්මාණ සංවාද කුලකය ,බ්‍රෙෂ්ට් සහ මාවෝගේ සංස්කෘතික විප්ලවය


පරණ මහජන පුස්තකාලය  තිබ්බේ විහාර මහා දේවි පාක් එකෙන් අනිත් පැත්තේ පාරේ එඩින්බරෝ චන්ද්‍රවංකයේ පිහිටි "සිරිනිවස" නම්  විශාල  ඉංග්‍රීසි පන්නයේ වලව්වකය .   එහි මුල් අයිතිකරු  මුඩ්ලියාර් චන්ද්‍රසේකරය  මට මතක විධිහට එහි ඇතුල අඳුරුය .  (දැන් නගරාධිපතිගේ නිල නිවාසයය ) .    ඒ නිසා නව  මහජන  පුස්තකාලය හැදීම ගැන මම ඇතුළු සමහර යහළුවන් ඒ දිනවල  ජේ ආර් ජයවර්ධන මහතාට පින් දුන්නෙමු.  ජේ ආර් අලුත් සංස්කෘතික මිනිසෙක් හදන්නට යන්නේය .  
නමුත් 1983 ජුලි කලබලය ඒ සියල්ල වෙනස් කළේය. මහාචාර්ය  සරත්චන්ද්‍ර කාණුවකට වැටුනේය . ජේ ආර් එදිරිවීර සරච්චන්ද්‍රට කුණු කාණුවට දමා පහර දෙන්නට සලස්වමින් සංස්කෘතිය කන්න දැයි ඇසූ කාලයේ අපි සංස්කෘතික මිනිසෙකු නිර්මාණය විය යුතු යයි ඇදහුවෙමු .   

 නවීන පුස්තකාලයේ කැන්ටිම ඇත්තේ පහත මාලයේ පිටි පස්සේ ය.  විහාරමහා දේවි උද්‍යානයට  මායිම් වෙන්නටය . නන්දන  වීරරත්න ජේ ආර් ආණ්ඩුව විසින් හැදූ දු නව මහජන පුස්තකාලයට එන්නේ සරම කැහැපට ගසාගෙනය. ඒ එනවිට වඩේ සහ ප්ලේන්ටිය (වෙන දේවල්  ගන්නට සල්ලි ඒ කාලයේ නැත ) බොන අය හෙමින් ඉවත් වෙති.  නැත්නම් ඒකට බලෙන් වග කියන්නේ නන්දනය.     

අසූ තුනෙන් පසු  දේශපාලන දේශන, කලා  විචාර  අසන්නට අපි බොහෝ තැන්වලට ගියෙමු .  නන්දනලා,   අනෝමා රාජකරුණා ,  සිරිමල් විජේසිංහ (මලා ), සුදත් රෝහණ  ආදීන් සමග නිර්මාණ සංවාද කුලකය හැදුවේ ඒ කාලයේය.  සඳරුවන් සේනාධිර (ලංකා ඊ නිව්ස් )   ආදීන්ද එහි සිටිය බව මලා හා නන්දන කීවත්  සඳරුවන් හෝ අනිත් අය ඒ කාලයේ මම හඳුනන්නේ නැත .  එසේම බොහෝ අයට තිබුනේ සැබෑ නම් නොවේ. මහාචාර්ය සුචරිත ගම්ලත් කලා විචාරයන් වලට පැමිනෙනු මට මතකය .  ඒ දිනවල  වල ඔහුගේ 'දෙඤ්ඤම් බැටේ ' කලා   විචාර දිවයින පුවත්පතේ  කියවන නිසා  ඔහු අප අතර ජනප්‍රිය චරිතයක් විය .  

මේ ඒ ගැන ලියවුනු බ්ලොග් සටහනකි . 
//සරසවියෙන් එළවා දැමුවද නිර්මාණ සංවාද කුලකය, කොළඹ කවය ආදී 80-90 දශකයන්හි තිබූ බුද්ධි පිපාසයෙන් පෙළුනු තරුණයන්ගේ සංවිධානයන් ට මග පෙන්වූ ගම්ලත් පඬිතුමා එම සංවිධාන වල සිටි තරුණයන්ගේ අසහාය ගුරුවරයෙකු විය. සරසවියෙන් එළවා දමා සිටියදී වුව තම දේශන සඳහා නුවර සිට කොළඹ පැමිණි ඔහු තම ගමන් වියදම් හැර කිසිදු මුදලක් ඒ වෙනුවෙන් අය නොකළ බව කිවහොත් අද සිටින බොහෝ දෙනෙකු විශ්වාස නොකරනු ඇත.

අන්තර්ජාලය නොතිබුණු ඒ කාලයේ මහජන පුස්තකාලයේ පොත පත ,  සෝවියට් සංස්කෘතික මන්දිරයේ පොත පත හා නොමිලයේ පෙන්වන සිනමා, බ්‍රිටිෂ් කවුන්සිලය ආදිය දැනුම සොයා ගිය තරුණ තරුණියන්ගේ කෙටි නවාතැන් විය . මර්වින්  සිල්වා කර්තෘ පදවියේ සිටි  ගාඩියන් සඟරාව හැකි විට ගත්තෙමු .  ඉල්නගට නොයෙකුත් පක්ෂ කාර්යාල වල පුවත්පත් ද දැනුම ලබා ගැනීමෙහිලා උපකාරී විය .   

කොම්පඤ්ඤ වීදිය  පැත්තේ සිට එන අපේ කණ්ඩායමට සෙට් වුනු තවත් මුස්ලිම් තරුණයන් දෙදෙනෙක් සිටියහ.  එක් අයකුගේ නම මොහමඩ් හෝ ෆස්ලිය . මුහුණ පුරා රැවුල වවාගෙන සිටි  ඔහු  කොම්පඤ්ඤ වීදිය පැත්තේ තට්ටු නිවාසයක සිට පැමිණි  බවට යන්තමට මතකයක් තිබේ .  ඔහු මගේ සිහියට එන්නේ ඉරානයේ විප්ලවය ගැන අපට කල තෙල බෙදීම නිසාය .  කුලකයේ රැස්වීමක් හමාරවූ අවස්ථාවක හෝ දයාන් ජයතිලක ගේ ලතින් ඇමෙරිකානු විප්ලව ගැනඒ  කාලයේ කල දේශනා අහවර වූ පසු ,  විහාරමහා දේවි උද්‍යානයේ දෙවන ලෝක යුද්ධ සැමරුම අසල  හෝ උද්‍යානයේ තාප්පයක් මත මේ කතා ඇසුවෙමු.  ඒ දවස් වලම අදේවවාදියෙකු වූ මට ඉරාන ආගමික විප්ලවය  ඇල්ලුවේ නැත. ඒ  ෂා රජුට ඇති කැමැත්තකින් නොවේ .  නමුත් ෆස්ලි නම් ඒ පිළිබඳව මහත් උද්යෝගයකින් කතා කළේය.අපට  ඒ දිනවල ප්‍රශ්නයක් වූයේ ඔහු මේ සියලු විස්තර දන්නේ කෙසේද යන්නය? ඔහු ඉරාන ඔත්තුකරුවෙකු යයි කියාද සැක කෙරුවෙමු .   ජවිපෙ තහනමත් බොහෝ අය සැඟව වැඩ කිරීමත් නිසා හෝ වෙනයම් හේතූන් නිසා  නිර්මාණ සංවාද කුලකය  හදිසියේ නතරවුණු   අතර මම සෝවියට් ශිෂ්‍යත්වයක් ලැබ මොස්කව් වල ඉගෙනීමට ගියෙමි.

1987 ජුලි මාසයේ මම නිවාඩුවට ලංකාවට පැමිණ සිටියෙමි . ඉන්දු ලංකා ගිවිසුමට විරුද්ධව පිටකොටුවේ බෝ ගහ  අසල තිබු ජවිපෙ (දේ . ජ ව්‍යාපාරය )  හා ශ්‍රීලනිප සංවිධානය කල උද්ඝෝෂණය නැරඹීමට හා ඡායාරුප ගැනීමට මම ද ගියෙමි .මා ළඟ රුසියාවෙන් ගත්  හොඳ තිබුනේ සෙනිත් කැමරාවකි. පාරෙන් අනිත් පැත්තේ කොටුව දුම්රියපල  හා බස් නැවතුම් පල අසල උද්ඝෝෂන දරුණු වුනු අතර බසයක් හෝ තවත් යමකට ගිනි තබා තිබුණි .  මා ඡායාරුප ගන්නා විට පත්තරෙන් ද නැත්නම් ආණ්ඩුවෙන්ද  වැනි කණුකුනුවක් ඇසුනි. මේ වෙලේ මා අසලට පැමිණි අයෙක් "ඔයා මෙතැන ඉන්න එපා.  අනතුරුදායකයි.  කැමරාවත්  රැගෙන යන්න " යයි කීවේය. .මා පැකිලෙනු දැක  මගේ අතින් අල්ලාගෙන වෙළඳපළවල් ඉදිරියෙන් කොටුව දුම්රිය පසුවන තෙක්  මා සමග පැමිණියේය .  මා සිතුවේ ඔහු පොලිසියෙන් කියාය .  ඔහුට ස්තූති කර කොම්පඤ්ඤ වීදිය පොලිසියේ ද කියා ඇසුවෙමි. ඔහු මා දෙස බලා 'ෆස්ලි බං (හෝ මචං)" වැන්නක් කියා ආපසු හැරී ගියේය. ඔහු ගැන මට හරියටම මතක් වුනේ ටිකක් දුර ඇවිද්ද පසුය . ඉරාන විප්ලවය ගැන ඔහුගේ අදහස වැරදි බව කියන්නට නොහැකි වීම ගැන කණගාටු වුනෙමි .  මොස්කව්  වල මගේ පන්තියේම ඉරාන ශිෂ්‍යාවක් සිටි අතර කුමෙයිනි පැමිණීමෙන් පසු විප්ලවයට සහය දුන් බොහෝ  වාමාංශිකයන් , නිදහස් මතධාරීන්  හා කොමියුනිස්ට් පක්ෂ සාමාජිකයන් සිර ගත කිරීම්  හා මරා දැමීම් කල බව ඈ  පැවසුවාය. ඈ ඇතුළු අනෙක් පිරිස දිවි ගලවාගෙන රුසියාවට පැන තිබුණි .   
***************************************************
රොහාන් පෙරේරා යනු කවුදැයි මා දන්නේ නැත. දීප්ති කුමාර ගුණරත්න ඒ කාලයේ සේල්ස් රෙප් කෙනෙකු බවත් සිනමාවට ලැදි බවත් කුලකයේ රැස්වීම් වලට ආ ගිය  බවත් නන්දන පැවසීය. රොහාන් පෙරේරා අසූ -අට අසූ නමය කාලය තුලදී කිසියම් මුදල් කොල්ලයකට සම්බන්ධ වූ බව අසන්නට  ලැබුණි. එසේම විවාහය වැනි යල් පැනගිය මත ඉවත දැමු බවද  වයසින් ලාබාල තරුණියන්  දෙදෙනෙකු සම්බන්ධයක් තිබු බවද අසා ඇත්තෙමි.  ස්ටාලින් මෙන් විවාහය පූජනිය ලෙස සලකන දීප්ති  සහ  ට්‍රොට්ස්කි  වැනි අයෙකු සේ හැසිරුණු රොහාන් කෙසේ පෑහුනා දැයි නොදනිමි.

එක්ස් කණ්ඩායමේ බොහෝ පොතපත මට ලැබී තිබුනේ අනිල් හරහාය .  කුලකයෙන් පසු තව බොහෝ වාද විවාද සංස්කෘතිය සහ කලාව පිළිබඳව යන්නට ඇතත් ඔවුන්ගේ පොත පත අනුව මේ සංස්කෘතික මිනිසා  නිර්මාණය කිරීමේ කාර්යභාරය සඳහා  පශ්චාත් නූතන වාදයේ  දැනුම්  සම්භාරයක් එක්ස් කණ්ඩායම විසින් ඉදිරිපත් කල බව සිතමි.  
ගිය වසරේ දීප්ති ගුණරතන මහතා ඔහු ලියූ "X යනු කුමක්ද" පොත මට කියවීමට දුන්නේය .  ඒ සඳහා මට යමක් ලිවීමට අවශ්‍ය වුවත් මා  පෙරවදන  කියැවීමෙන් එහාට නොගියේ ඔහු නාමල් රාජපක්ෂ, සජිත් ඇතුළු පරාජිත විපක්ෂයට දේශනයක් කරනු දැකීමෙනි .  කිසිවෙක් ඔහු වාමාංශික විප්ලවාදියෙකු වශයෙන් එම පොතේ  හඳුන්වා දී තිබුණි .  විප්ලවවාදියෙකු පරාජිත දකුණ ගොඩ නැගීමට තැත්  කරන්නේ මොන විප්ලවවාදී න්‍යායකට අනුවයි මම නොදනිමි.  සමහර විටමහාචාර්ය  නිර්මාල් දේවසිරි ඇතුළු පිරිස රජයට සහය දෙන නිසා 'X ' කණ්ඩායම බිඳීමේ වේදනාවෙන් තවමත් ඔහු පරලව  සිටින  නිසා එසේ කරනවා විය හැකිය .  නමුත් ඒ අතීතය තුල  ගැලී සිටීම තුලම  ඔහු අවලංගු වී යනු ඇත .  නමුත් වර්තමාන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ දියත් කිරීමට  සමබිම පක්ෂයේ සහය අගය කරමි. මගේ අදහස නම් දීප්තිලා කණ්ඩායම  සිටිය යුත්තේ  වර්තමාන ජාතික  ජන බලවේග ආණ්ඩුවට සහය දෙන ස්ථාවරයක   බවය.

ලන්ඩනයේදී කලාව පිලිබඳ සංවාද ,  ග්‍රන්ථ විචාර ආදියට ට සහභාගි වුයෙමි.  බොහෝ ඒවා අගෝරා  නමැති කළා කවය විසින් සංවිධනය කරන ලද ඒවාය .  නමුත් කණගාටුදායක  කරුණ නම් පසු කලෙක එහි   මෙහෙයවීම කරන ලද්දේ දේශපාලන  පක්ෂයක් විසිනි .  එනිසා එයින් ඈත් වුනෙමි. බ්‍රිතාන්‍යයේ සිටින  ශ්‍රී ලංකා ඩයස්පෝරාව බොහෝ විට ලංකාවේ චිත්‍රපට ගෙන්වා ප්‍රදර්ශනය අතර ලංකාවේ ගායකයන් ගෙන්වා  සංගීත සංදර්ශනද පවත්වති .  නාට්‍ය ඔඋහුණු වී පෙන්වති.  නමුත් සංවාදයන් කෙරෙන්නේ අඩුවෙනි .  බොහෝවිට පටු දේශපාලනය හා කුහකත්වය විසින්  සීමා පැනවී  තිබේ . 

විජිත ගුණරත්න මහතාගේ වලාපටලය චිත්‍රපටය  පෙන්වූ දවසේ නන්දන වීරරත්න පැවසුවේ සිනමා පටයේ සෞන්දර්යය නැතිවීම අඩුවක් බවයි .  මේ මා විසින් ලියු ලිපියේ කොටසකි .  
//
එපික් නාට්‍යය ක්‍රමයේ දී කියවෙන්නේ නාට්‍යය විසින් ප්‍රේක්ෂකයාට,   නාට්‍යයේ චරිත සමග භාවාත්මක ලෙස බැඳීමට  (තදාත්මිකව) අනුබල නොදිය යුතුය යන්නය. ඒ වෙනුවට තර්කාන්විත ස්වයං ප්‍රත්‍යාවේක්ෂණයක් හා වේදිකාවේ රංගනයන් කෙරෙහි විවේචණාත්මක දැක්මක්   ඇති කර ගැනීමට ප්‍රේක්ෂකයා සමත් විය යුතුය.

මෙහිදී විජිත ගුණරත්නයන්ගේ  අදහසට අනුව හෙන්රි ජයසේන වැනි ප්‍රතිභාපුර්ණ කලාකරුවන් වුවද කලේ බ්‍රෙෂ්ට් සෞන්දර්යාත්මක කිරීමයි. බ්‍රෙෂ්ට් ගේ නාට්‍යවල මෙය දැකිය නොහැකිය.  තවත් කෙටි චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙකු වන නන්දන වීරරත්න එදා පැවසුවේ කිසියම් අන්දමකින් සෞන්දර්ය රසයක් ඉස්මතු  නොවන තැන නීරස ගතියක් මතුවන බවයි. බ්ලොග් ලියන අරුණ පෙරේරා මහතාගේ අදහස වූයේ වළා පටල වාර්තාමය චිත්‍රපටයක් විනා  වැඩි යමක් නොවන බවයි.

වලා පටල චිත්‍රපටියක් මිස වේදිකා නාට්‍යයක් නොවේ. බ්‍රෙෂ්ට්ගේ "එපික්" ක්‍රමය ඒ ආකාරයෙන්ම ගොඩ නැංවීමක් සිනමාව තුල කිරීම අපහසුය. නමුත් නොකළ හැක්කක් නොවේ. චිත්‍රපටය නරඹන අතරතුර  "වලා පටල  "  යථාර්තවාදී (realism )  සිනමා කෘතියක ඉදිරිපත් කිරීමක්  බව සිතුණි. මෙහිදී යථාර්තය යනු ඔබ හා මා අද දවසේ අත්විදින යථාර්තය නොවිය හැකිය..//
  
ශ්‍රී ලංකාවේ කලාව සහ  සංස්කෘතිය සම්බන්ධ කතිකාව  ආරම්භ වී බොහෝ කල්ය. ඒ සඳහා මාඕ ගේ සංස්කෘතික  විප්ලවය පිලිබඳ අදහස උපයෝගී නොවූයේ මන්ද යන්න ලොකු රහසක් නොවේ .   මේ මා විසින්  ලියූ -සෝවියට් සාහිත්‍යය හා ලංකාවේ වම 4 - කොර්චාගින්,  බ්‍රෙෂ්ට් හා සාක්කිය - ලිපියේ  කොටසකි . 

//ස්ටාලින් තමන්ගේ" great purge" හෙවත් පක්ෂය හා රට "සුද්ධ කිරීම" ආරම්භ කලේ ලෙනින් ද මියගොස් වසරකට පසුය.  එසේම මාඕ තමන්ගේ සංස්කෘතික විප්ලවය දියත් කලේ බලය ලබාගෙන කාලයකට පසුවය. මේ දෙදෙනාම තමන්ගේ පැරණි විප්ලවකාරී සගයන් සහ උගතුන් (intelligencia)  විනාශ කළහ.  //

අප හැත්තෑව දශකයේ සිට දන්නේ කොමියුනිස්ට් පක්ෂයේ  ගුණදාස ලියනගේ ආදීන් දියත් කල 'සමාජ සත්තා යථාර්ථ වාදය ' ගැනය .  සෝවියට් දේශයෙන් ඇරඹුණු මේ ස්ථාවරය  වූයේ සිනමා , කළා   පොත පත ආදී සෑම නිර්මාණයකම  සමාජ යථාර්තය හා පන්ති  අරගලය පිළිඹිබු විය යුතු බවය.  එය ඉතාම අසාර්ථක වූයේ නිර්මාණ ප්‍රචාරණවාදී  ස්වරූපයක් ගැනීම නිසාය. සෝවියට් ලේඛක  සමුළුව හා සිනමා සංගමය ආදී ආයතන වලින් නිර්මාණ මෙහෙයවී මම විහිළුවක් විය .   මේවාදෙස  මිහයිල්  බුල්ගාකොව්  වැනි ලේඛකයන් ව්ලදිමිර්  විසෝස්කි වැනි ගායකයන්, තර්කොව්ස්කි  වැනි සිනමා අධ්‍යක්ෂකවරුන් උපහාසයෙන් බැලූ අතර, මේ නිර්මාණ ඒකාධිකාරයට විරුද්ධව   තවත් අයගේ ග්‍රන්ථ  (සොල්ශේනිට්සින් වැනි )  රහසේ මුද්‍රණය කර පිටරට පටවන ලදී.   

   බ්‍රෙෂ්ට් ගේ නිසඳැසක්   "ඔටුන්නක බර බලාපල්ලා"   නමින් පරිවර්තන කොට  කතිකාව ඔන්ලයින් සඟරාවේ පලවී තිබේ .  හැකිනම් එය කියවන්න .  එසේම එම සඟරාවේම අලාන් ෆින්කල්ක්‍රෝත් (The Defeat of the Mind)   "මනසේ පරාජය" කෘතියේ කොටසක් "බහුසංස්කෘතික සමාජයක් කරා" යනුවෙන් පරිවර්තනය කර තිබේ . මෙහි සංස්කෘතික සාපේක්ෂතාවාදය ගැන සඳහන් තිබෙන තර (පුද්ගලයකුගේ සංස්කෘතික චර්යාවන් මැනිය යුත්තේ ඔහුට හෝ  ඇයට අනන්‍යවූ සංස්කෘතිය සමග මිස  වෙනකක් සමග නොවේ යයයි සඳහන් වේ )  බහුසංස්කෘතික වාදය ගැන ලියා ඇත්තේ මෙසේය.

 //අනෙකාට අනෙකා වීමට නිදහස ලබා දෙන අතරම, බහුසංස්කෘතිකවාදීහු තම ජාතියේ අද්වීතියත්වය වෙත ආපසු පැමිණෙති; ඔවුහු අන් අය කරන්නාක් මෙන්, තම ජනයාගේ අද්විතීය ආත්මය දෙස බලති. ප්‍රංශය (සහ දිගුවක් ලෙස් යුරෝපය)එහි සංස්කෘතිය මගින් නිර්වචනය කරමින්, ඔවුන් සමාජය තුළ සංස්කෘතිය සතු කේන්ද්‍රීය ස්ථානය තවදුරටත් පිළි නොගනිති. ඔවුන් තම ජනයාට විශද ලක්ෂණ ඇති බව විස්තර කරති, නමුත් උග්‍ර අධිෂ්ඨානයෙන් යුතුව පෙන්නුම් කරන්නේ, ඔවුන් තමන් වෙනස්වන  ආකාර පිළිබඳ ඔවුන් ආඩම්බර වන්නේ කෙසේද යන්නයි.//
  
මා  ඉහත කී  අතීත විස්තරයක්  සඳහන් කරන ලද්දේ සුමනා විජේරත්න ගේ 'තිමිර විනිවිද මාඕ පොත පිළිබඳව ප්‍රවේශයක් ගැනීම සඳහාය.


මාඕ ගේ සංස්කෘතික විප්ලවය ගැන අනතර්ජාලයේ ඕනෑ  තරම් විස්තර ඇති හෙයින් ඒ ගැන කියන්නට වෙහෙසා නොවෙමි . 
මේ ගාඩියන් පුවත් පතේ පලවූ ලිපියකි . 
මගේ අදහස නම් සන්ස්කුර්තික  විප්ලවයක් අවශ්‍ය වූයේ මාඕවාදය ස්ථාපිත කිරීම සඳහාය .   

හැටේ සහ හැත්තෑව දශකයේ සාහිත්‍ය පිබිදීම ගැන පොතේ විස්තරයක් ඇතත් කොළඹ යුගයේ සාහිත්‍ය සංවාද සහ සරච්චන්ද්‍ර ගේ සිට නිව්ටන් ගුණසිංහ දක්වාත් ඇසුවේ දශකයේ සංස්කෘතික පිබිදීම සහ අනූව දශකයේ සිට අද දක්වාත් සිදුවූ විපර්යසයන් සහ පුද්ගලයන් සුමනාට මග හැරුනේ ඇයි ? 

මගේ මූලික අදහස  වූයේ සුමනා විජේරත්න ශ්‍රී ලංකාවේ කලාව හා සංස්කෘතිය පිලිබඳ වාමාංශයේ කතිකාව මුළුමනින්ම බැහැර කර ඇති බවය .  මේ සංවාද බොහෝවිට කොළඹ  කේන්ද්‍ර කරගෙන  සිදුවූ නිසා වත්ද යයි සිතන්නට වීමි.  ඇය  අනුරාධපුරයේ සිට පැමිණ  කොළඹ දෙස බලමින් කැනඩාවට කෙලින්ම පියාසර කෙරුවාක් වැනි හැඟීමක් මට ඇති වූයේ මන්ද? එසේම සෝවියට් දේශයේ සංස්කෘතික විප්ලවයෙන්  පසු කාලීනව නිමවූ පොත් පත් හා සිනමාව නීරස බවක් ගත බවත් සීමා කිරීමට  එරෙහිව කලාකරුවන් සංවිධනය වූ අයුරුත් ඇයට නොපෙනුනේ මන්ද ?  මෙයට හේතුව ලෙස මට වැටහුනේ ඇය පශ්චාත් නුතනවාදය සහ බටහිර චින්තනය මුළුමනින් ම පසෙකලා පෙරදිග චින්තනය ඇසුරින්,  බුද්ධාගම ඇසුරින් සංස්කෘතික මිනිසෙකු  නිර්මාණය කිරීමට යෝජනා කරන බවය. 

අවසාන වශයෙන් සෝවියට් ප්‍රචාරකවාදී සිනමා පටයක් ඔබට බලන්නට යෝජනා කරමි .  මොස්ෆිල්ම් මගින් කරන ලද මේ සිනමා පටය 'කොමියුනිස්ට්' නමින් හැඳින්වේ .  අවංක කොමියුනිස්ට් වාදියෙකු පශ්චාත් විප්ලව සමයේ දිළිඳු සෝවියට් දේශය ගොඩ නැංවීමට ජීවිතය පුදන  අයුරු පෙන්වන කතාවකි .  ඉංග්‍රීසියෙන් සබ්ස් ඇත. චිත්‍රපටය  පොතට අදාල වෙන්නේ  කෙසේද යන්න  ඊලඟ ලිපියෙන් සාකච්චා  කරමු.
 


 
 
~ මතු සම්බන්ධයි 
මහාචාර්ය සුචරිත ගම්ලත් ගුණ සමර - මහාචාර්ය කේ එන් ඕ ධර්මදාස 
  





- අජිත් ධර්ම 20/01/2026

No comments:

Post a Comment

සියලු හිමිකම් අජිත් ධර්මකීර්ති (Ajith Dharmakeerthi) සතුය. කොළඹ ගමයා බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ අජිත් ධර්මකීර්ති යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ.
මෙහි පලවන ලිපි සහ දේශපාලන අදහස් මගේ පෞද්ගලික අදහස් පමණි.
ඔබේ ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. නමුත් වෙනත් කෙනෙකුට සාධාරණ හේතුවක් නැතුව පහර ගසන අශිලාචාර අන්දමේ ප්‍රතිචාර පමණක් පල නොකෙරේ. බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ස්තූතියි .