Tuesday, 20 January 2026

නිර්මාණ සංවාද කුලකය ,බ්‍රෙෂ්ට් සහ මාවෝගේ සංස්කෘතික විප්ලවය


පරණ මහජන පුස්තකාලය  තිබ්බේ විහාර මහා දේවි පාක් එකෙන් අනිත් පැත්තේ පාරේ එඩින්බරෝ චන්ද්‍රවංකයේ පිහිටි "සිරිනිවස" නම්  විශාල  ඉංග්‍රීසි පන්නයේ වලව්වකය .   එහි මුල් අයිතිකරු  මුඩ්ලියාර් චන්ද්‍රසේකරය.  මට මතක විධිහට එහි ඇතුල අඳුරුය .  (දැන් නගරාධිපතිගේ නිල නිවාසයය ) .    ඒ නිසා නව  මහජන  පුස්තකාලය හැදීම ගැන මම ඇතුළු සමහර යහළුවන් ඒ දිනවල  ජේ ආර් ජයවර්ධන මහතාට පින් දුන්නෙමු.  ජේ ආර් අලුත් සංස්කෘතික මිනිසෙක් හදන්නට යන්නේය.
  
නමුත් 1983 ජුලි කලබලය ඒ සියල්ල වෙනස් කළේය. මහාචාර්ය  සරත්චන්ද්‍ර කාණුවකට වැටුනේය . ජේ ආර් එදිරිවීර සරච්චන්ද්‍රට කුණු කාණුවට දමා පහර දෙන්නට සලස්වමින් සංස්කෘතිය කන්න දැයි ඇසූ කාලයේ අපි සංස්කෘතික මිනිසෙකු නිර්මාණය විය යුතු යයි ඇදහුවෙමු .   

 නවීන පුස්තකාලයේ කැන්ටිම ඇත්තේ පහත මාලයේ පිටි පස්සේ ය.  විහාරමහා දේවි උද්‍යානයට  මායිම් වෙන්නටය . නන්දන  වීරරත්න ජේ ආර් ආණ්ඩුව විසින් හැදූ දු නව මහජන පුස්තකාලයට එන්නේ සරම කැහැපට ගසාගෙනය. ඒ එනවිට වඩේ සහ ප්ලේන්ටිය (වෙන දේවල්  ගන්නට ඒ කාලයේ සල්ලි නැත ) බොන අය හෙමින් ඉවත් වෙති.  නැත්නම් ඒකට බලෙන් වග කියන්නේ නන්දනය.     

අසූ තුනෙන් පසු  දේශපාලන දේශන, කලා  විචාර  අසන්නට අපි බොහෝ තැන්වලට ගියෙමු .  නන්දනලා,   අනෝමා රාජකරුණා ,  සිරිමල් විජේසිංහ (මලා ), සුදත් රෝහණ  ආදීන් සමග නිර්මාණ සංවාද කුලකය හැදුවේ ඒ කාලයේය.  සඳරුවන් සේනාධිර (ලංකා ඊ නිව්ස් )   ආදීන්ද එහි සිටිය බව මලා හා නන්දන කීවත්  සඳරුවන් හෝ අනිත් අය ඒ කාලයේ මම හඳුනන්නේ නැත .  එසේම බොහෝ අයට තිබුනේ සැබෑ නම් නොවේ. මහාචාර්ය සුචරිත ගම්ලත් කලා විචාරයන් වලට පැමිනෙනු මට මතකය .  ඒ දිනවල  වල ඔහුගේ 'දෙඤ්ඤම් බැටේ ' කලා   විචාර දිවයින පුවත්පතේ  කියවන නිසා  ඔහු අප අතර ජනප්‍රිය චරිතයක් විය .  

මේ ඒ ගැන ලියවුනු බ්ලොග් සටහනකි . 
//සරසවියෙන් එළවා දැමුවද නිර්මාණ සංවාද කුලකය, කොළඹ කවය ආදී 80-90 දශකයන්හි තිබූ බුද්ධි පිපාසයෙන් පෙළුනු තරුණයන්ගේ සංවිධානයන් ට මග පෙන්වූ ගම්ලත් පඬිතුමා එම සංවිධාන වල සිටි තරුණයන්ගේ අසහාය ගුරුවරයෙකු විය. සරසවියෙන් එළවා දමා සිටියදී වුව තම දේශන සඳහා නුවර සිට කොළඹ පැමිණි ඔහු තම ගමන් වියදම් හැර කිසිදු මුදලක් ඒ වෙනුවෙන් අය නොකළ බව කිවහොත් අද සිටින බොහෝ දෙනෙකු විශ්වාස නොකරනු ඇත.

අන්තර්ජාලය නොතිබුණු ඒ කාලයේ මහජන පුස්තකාලයේ පොත පත ,  සෝවියට් සංස්කෘතික මන්දිරයේ පොත පත හා නොමිලයේ පෙන්වන සිනමා, බ්‍රිටිෂ් කවුන්සිලය ආදිය දැනුම සොයා ගිය තරුණ තරුණියන්ගේ කෙටි නවාතැන් විය . මර්වින්  සිල්වා කර්තෘ පදවියේ සිටි  ගාඩියන් සඟරාව හැකි විට ගත්තෙමු. නසසප වැනි  නොයෙකුත් පක්ෂ කාර්යාල වල පුවත්පත් ද දැනුම ලබා ගැනීමෙහිලා උපකාරී විය .   

කොම්පඤ්ඤ වීදිය  පැත්තේ සිට එන අපේ කණ්ඩායමට සෙට් වුනු තවත් මුස්ලිම් තරුණයන් දෙදෙනෙක් සිටියහ.  එක් අයකුගේ නම මොහමඩ් හෝ ෆස්ලිය . මුහුණ පුරා රැවුල වවාගෙන සිටි  ඔහු  කොම්පඤ්ඤ වීදිය පැත්තේ තට්ටු නිවාසයක සිට පැමිණි  බවට යන්තමට මතකයක් තිබේ .  ඔහු මගේ සිහියට එන්නේ ඉරානයේ විප්ලවය ගැන අපට කල තෙල බෙදීම නිසාය. කුලකයේ රැස්වීමක් හමාරවූ අවස්ථාවක හෝ දයාන් ජයතිලක ගේ ලතින් ඇමෙරිකානු විප්ලව ගැන ඒ  කාලයේ කල දේශනා අහවර වූ පසු ,  විහාරමහා දේවි උද්‍යානයේ දෙවන ලෝක යුද්ධ සැමරුම අසල  හෝ උද්‍යානයේ තාප්පයක් මත මේ කතා ඇසුවෙමු.  ඒ දවස් වලම අදේවවාදියෙකු වූ මට ඉරාන ආගමික විප්ලවය ඇල්ලුවේ නැත. ඒ  ෂා රජුට ඇති කැමැත්තකින් නොවේ .  නමුත් ෆස්ලි නම් ඒ පිළිබඳව මහත් උද්යෝගයකින් කතා කළේය.අපට  ඒ දිනවල ප්‍රශ්නයක් වූයේ ඔහු මේ සියලු විස්තර දන්නේ කෙසේද යන්නය? ඔහු ඉරාන ඔත්තුකරුවෙකු යයි කියාද සැක කෙරුවෙමු.  ජවිපෙ තහනමත් බොහෝ අය සැඟව වැඩ කිරීමත් නිසා හෝ වෙනයම් හේතූන් නිසා  නිර්මාණ සංවාද කුලකය  හදිසියේ නතරවුණු   අතර මම සෝවියට් ශිෂ්‍යත්වයක් ලැබ මොස්කව් වල ඉගෙනීමට ගියෙමි.

1987 ජුලි මාසයේ මම නිවාඩුවට ලංකාවට පැමිණ සිටියෙමි . ඉන්දු ලංකා ගිවිසුමට විරුද්ධව පිටකොටුවේ බෝ ගහ  අසල තිබු ජවිපෙ (දේ . ජ ව්‍යාපාරය )  හා ශ්‍රීලනිප සංවිධානය කල උද්ඝෝෂණය නැරඹීමට හා ඡායාරුප ගැනීමට මම ද ගියෙමි .මා ළඟ තිබුනේ රුසියාවෙන් ගත්  හොඳ සෙනිත් කැමරාවකි. පාරෙන් අනිත් පැත්තේ කොටුව දුම්රියපල  හා බස් නැවතුම් පල අසල උද්ඝෝෂන දරුණු වුනු අතර බසයක් හෝ තවත් යමකට ගිනි තබා තිබුණි .  මා ඡායාරුප ගන්නා විට පත්තරෙන් ද නැත්නම් ආණ්ඩුවෙන්ද  වැනි කණුකුනුවක් සමහරක් ගෙන්  ඇසුනි. මේ වෙලේ මා අසලට පැමිණි අයෙක් "ඔයා මෙතැන ඉන්න එපා.  අනතුරුදායකයි.  කැමරාවත්  රැගෙන යන්න " යයි කීවේය. .මා පැකිලෙනු දැක  මගේ අතින් අල්ලාගෙන වෙළඳපළවල් ඉදිරියෙන් කොටුව දුම්රිය පසුවන තෙක්  මා සමග පැමිණියේය .  මා සිතුවේ ඔහු පොලිසියෙන් කියාය .  ඔහුට ස්තූති කර කොම්පඤ්ඤ වීදිය පොලිසියේ ද කියා ඇසුවෙමි. ඔහු මා දෙස බලා 'ෆස්ලි බං (හෝ මචං)" වැන්නක් කියා ආපසු හැරී ගියේය. ඔහු ගැන මට හරියටම මතක් වුනේ ටිකක් දුර ඇවිද්ද පසුය . ඉරාන විප්ලවය ගැන ඔහුගේ අදහස වැරදි බව කියන්නට නොහැකි වීම ගැන කණගාටු වුනෙමි .  මොස්කව්  වල මගේ පන්තියේම ඉරාන ශිෂ්‍යාවක් සිටි අතර කුමෙයිනි පැමිණීමෙන් පසු විප්ලවයට සහය දුන් බොහෝ  වාමාංශිකයන් , නිදහස් මතධාරීන්  හා කොමියුනිස්ට් පක්ෂ සාමාජිකයන් සිර ගත කිරීම්  හා මරා දැමීම් කල බව ඈ  පැවසුවාය. ඈ ඇතුළු අනෙක් පිරිස දිවි ගලවාගෙන රුසියාවට පැන තිබුණි .   
***************************************************
රොහාන් පෙරේරා යනු කවුදැයි මා දන්නේ නැත. දීප්ති කුමාර ගුණරත්න ඒ කාලයේ සේල්ස් රෙප් කෙනෙකු බවත් සිනමාවට ලැදි බවත් කුලකයේ රැස්වීම් වලට ආ ගිය  බවත් නන්දන පැවසීය. රොහාන් පෙරේරා අසූ -අට අසූ නමය කාලය තුලදී කිසියම් මුදල් කොල්ලයකට සම්බන්ධ වූ බව අසන්නට  ලැබුණි. එසේම විවාහය වැනි යල් පැනගිය මත ඉවත දැමු බවද  වයසින් ලාබාල තරුණියන්  දෙදෙනෙකු සම්බන්ධයක් තිබු බවද අසා ඇත්තෙමි.  ස්ටාලින් මෙන් විවාහය පූජනිය ලෙස සලකන දීප්ති  සහ  ට්‍රොට්ස්කි  වැනි අයෙකු සේ හැසිරුණු රොහාන් කෙසේ පෑහුනා දැයි නොදනිමි.

එක්ස් කණ්ඩායමේ බොහෝ පොතපත මට ලැබී තිබුනේ අනිල් හරහාය .  කුලකයෙන් පසු තව බොහෝ වාද විවාද සංස්කෘතිය සහ කලාව පිළිබඳව යන්නට ඇතත් ඔවුන්ගේ පොත පත අනුව මේ සංස්කෘතික මිනිසා  නිර්මාණය කිරීමේ කාර්යභාරය සඳහා  පශ්චාත් නූතන වාදයේ  දැනුම්  සම්භාරයක් එක්ස් කණ්ඩායම විසින් ඉදිරිපත් කල බව සිතමි.  
ගිය වසරේ දීප්ති ගුණරත්න මහතා ඔහු ලියූ "X යනු කුමක්ද" පොත මට කියවීමට දුන්නේය .  ඒ සඳහා මට යමක් ලිවීමට අවශ්‍ය වුවත් මා  පෙරවදන  කියැවීමෙන් එහාට නොගියේ ඔහු නාමල් රාජපක්ෂ ඇතුළු පරාජිත විපක්ෂයට දේශනයක් කරනු දැකීමෙනි .  කිසිවෙක් ඔහු වාමාංශික විප්ලවාදියෙකු වශයෙන් එම පොතේ  හඳුන්වා දී තිබුණි .  විප්ලවවාදියෙකු පරාජිත දකුණ ගොඩ නැගීමට තැත්  කරන්නේ මොන විප්ලවවාදී න්‍යායකට අනුව දැයි මම නොදනිමි.  සමහර විට මහාචාර්ය  නිර්මාල් දේවසිරි ඇතුළු පිරිස රජයට සහය දෙන නිසා 'X ' කණ්ඩායම බිඳීමේ වේදනාවෙන් තවමත් ඔහු පරලව  සිටින  නිසා එසේ කරනවා විය හැකිය .  නමුත් ඒ අතීතය තුල  ගැලී සිටීම ඒ තුල ඔහු අවලංගු වී යනු ඇත.  වර්තමාන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ දියත් කිරීමට  සමබිම පක්ෂයේ සහය අගය කරමි. ඔවුන් මෙපමන කල් දේශනා කලදේ ඔවුන්ම  විශ්වාස කරන්නේ නම්  දීප්තිලා ගේ  කණ්ඩායම  සිටිය යුත්තේ  වර්තමාන ජාතික  ජන බලවේග ආණ්ඩුවට සහය දෙන ස්ථාවරයක බව මගේ අදහසය. 

ලන්ඩනයේදී කලාව පිලිබඳ සංවාද ,  ග්‍රන්ථ විචාර ආදියට ට සහභාගි වුයෙමි.  බොහෝ ඒවා අගෝරා  නමැති කළා කවය විසින් සංවිධනය කරන ලද ඒවාය .  නමුත් කණගාටුදායක  කරුණ නම් පසු කලෙක එහි   මෙහෙයවීම කරන ලද්දේ දේශපාලන  පක්ෂයක් විසිනි .  එනිසා එයින් ඈත් වුනෙමි. බ්‍රිතාන්‍යයේ සිටින  ශ්‍රී ලංකා ඩයස්පෝරාව බොහෝ විට ලංකාවේ චිත්‍රපට ගෙන්වා ප්‍රදර්ශනය අතර ලංකාවේ ගායකයන් ගෙන්වා  සංගීත සංදර්ශනද පවත්වති .  නාට්‍ය පු හුණු වී පෙන්වති.  නමුත් සංවාදයන් කෙරෙන්නේ අඩුවෙනි .  බොහෝවිට පටු දේශපාලනය හා කුහකත්වය විසින්  සීමා පැනවී  තිබේ . 

විජිත ගුණරත්න මහතාගේ වලාපටලය චිත්‍රපටය  පෙන්වූ දවසේ නන්දන වීරරත්න පැවසුවේ සිනමා පටයේ සෞන්දර්යය නැතිවීම අඩුවක් බවයි .  මේ මා විසින් ලියු ලිපියේ කොටසකි .  
//
එපික් නාට්‍යය ක්‍රමයේ දී කියවෙන්නේ නාට්‍යය විසින් ප්‍රේක්ෂකයාට,   නාට්‍යයේ චරිත සමග භාවාත්මක ලෙස බැඳීමට  (තදාත්මිකව) අනුබල නොදිය යුතුය යන්නය. ඒ වෙනුවට තර්කාන්විත ස්වයං ප්‍රත්‍යාවේක්ෂණයක් හා වේදිකාවේ රංගනයන් කෙරෙහි විවේචණාත්මක දැක්මක්   ඇති කර ගැනීමට ප්‍රේක්ෂකයා සමත් විය යුතුය.

මෙහිදී විජිත ගුණරත්නයන්ගේ  අදහසට අනුව හෙන්රි ජයසේන වැනි ප්‍රතිභාපුර්ණ කලාකරුවන් වුවද කලේ බ්‍රෙෂ්ට් සෞන්දර්යාත්මක කිරීමයි. බ්‍රෙෂ්ට් ගේ නාට්‍යවල මෙය දැකිය නොහැකිය.  තවත් කෙටි චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙකු වන නන්දන වීරරත්න එදා පැවසුවේ කිසියම් අන්දමකින් සෞන්දර්ය රසයක් ඉස්මතු  නොවන තැන නීරස ගතියක් මතුවන බවයි. බ්ලොග් ලියන අරුණ පෙරේරා මහතාගේ අදහස වූයේ වළා පටල වාර්තාමය චිත්‍රපටයක් විනා  වැඩි යමක් නොවන බවයි.

වලා පටල චිත්‍රපටියක් මිස වේදිකා නාට්‍යයක් නොවේ. බ්‍රෙෂ්ට්ගේ "එපික්" ක්‍රමය ඒ ආකාරයෙන්ම ගොඩ නැංවීමක් සිනමාව තුල කිරීම අපහසුය. නමුත් නොකළ හැක්කක් නොවේ. චිත්‍රපටය නරඹන අතරතුර  "වලා පටල  "  යථාර්තවාදී (realism )  සිනමා කෘතියක ඉදිරිපත් කිරීමක්  බව සිතුණි. මෙහිදී යථාර්තය යනු ඔබ හා මා අද දවසේ අත්විදින යථාර්තය නොවිය හැකිය..//
  
ශ්‍රී ලංකාවේ කලාව සහ  සංස්කෘතිය සම්බන්ධ කතිකාව  ආරම්භ වී බොහෝ කල්ය. ඒ සඳහා මාඕ ගේ සංස්කෘතික  විප්ලවය පිලිබඳ අදහස උපයෝගී නොවූයේ මන්ද යන්න ලොකු රහසක් නොවේ .   මේ මා විසින්  ලියූ -සෝවියට් සාහිත්‍යය හා ලංකාවේ වම 4 - කොර්චාගින්,  බ්‍රෙෂ්ට් හා සාක්කිය - ලිපියේ  කොටසකි . 

//ස්ටාලින් තමන්ගේ" great purge" හෙවත් පක්ෂය හා රට "සුද්ධ කිරීම" ආරම්භ කලේ ලෙනින් ද මියගොස් වසරකට පසුය.  එසේම මාඕ තමන්ගේ සංස්කෘතික විප්ලවය දියත් කලේ බලය ලබාගෙන කාලයකට පසුවය. මේ දෙදෙනාම තමන්ගේ පැරණි විප්ලවකාරී සගයන් සහ උගතුන් (intelligencia)  විනාශ කළහ.  //

අප හැත්තෑව දශකයේ සිට දන්නේ කොමියුනිස්ට් පක්ෂයේ  ගුණදාස ලියනගේ ආදීන් දියත් කල 'සමාජ සත්තා යථාර්ථ වාදය ' ගැනය .  සෝවියට් දේශයෙන් ඇරඹුණු මේ ස්ථාවරය  වූයේ සිනමා, කළා,    පොත පත ආදී සෑම නිර්මාණයකම  සමාජ යථාර්තය හා පන්ති  අරගලය පිළිඹිබු විය යුතු බවය.  එය ඉතාම අසාර්ථක වූයේ නිර්මාණ ප්‍රචාරණවාදී  ස්වරූපයක් ගැනීම නිසාය. සෝවියට් ලේඛක  සමුළුව හා සිනමා සංගමය ආදී ආයතන වලින් නිර්මාණ මෙහෙයවීමම විහිළුවක් විය .   මේවා දෙස  මිහයිල්  බුල්ගාකොව්  වැනි ලේඛකයන්, ව්ලදිමිර්  විසෝස්කි වැනි ගායකයන්, තර්කොව්ස්කි  වැනි සිනමා අධ්‍යක්ෂකවරුන් උපහාසයෙන් බැලූ අතර, මේ නිර්මාණ ඒකාධිකාරයට විරුද්ධව තවත් අයගේ ග්‍රන්ථ  (සොල්ශේනිට්සින් වැනි )  රහසේ මුද්‍රණය කර පිටරට පටවන ලදී.   
   බ්‍රෙෂ්ට් ගේ නිසඳැසක්   "ඔටුන්නක බර බලාපල්ලා"   නමින් පරිවර්තන කොට  කතිකාව ඔන්ලයින් සඟරාවේ පලවී තිබේ .  හැකිනම් එය කියවන්න .  එසේම එම සඟරාවේම අලාන් ෆින්කල්ක්‍රෝත් (The Defeat of the Mind)   "මනසේ පරාජය" කෘතියේ කොටසක් "බහුසංස්කෘතික සමාජයක් කරා" යනුවෙන් පරිවර්තනය කර තිබේ . මෙහි සංස්කෘතික සාපේක්ෂතාවාදය ගැන සඳහන් තිබෙන අතර (පුද්ගලයකුගේ සංස්කෘතික චර්යාවන් මැනිය යුත්තේ ඔහුට හෝ  ඇයට අනන්‍යවූ සංස්කෘතිය සමග මිස  වෙනකක් සමග නොවේ යයයි සඳහන් වේ )  බහුසංස්කෘතික වාදය ගැන ලියා ඇත්තේ මෙසේය.

 //අනෙකාට අනෙකා වීමට නිදහස ලබා දෙන අතරම, බහුසංස්කෘතිකවාදීහු තම ජාතියේ අද්වීතියත්වය වෙත ආපසු පැමිණෙති; ඔවුහු අන් අය කරන්නාක් මෙන්, තම ජනයාගේ අද්විතීය ආත්මය දෙස බලති. ප්‍රංශය (සහ දිගුවක් ලෙස් යුරෝපය)එහි සංස්කෘතිය මගින් නිර්වචනය කරමින්, ඔවුන් සමාජය තුළ සංස්කෘතිය සතු කේන්ද්‍රීය ස්ථානය තවදුරටත් පිළි නොගනිති. ඔවුන් තම ජනයාට විශද ලක්ෂණ ඇති බව විස්තර කරති, නමුත් උග්‍ර අධිෂ්ඨානයෙන් යුතුව පෙන්නුම් කරන්නේ, ඔවුන් තමන් වෙනස්වන  ආකාර පිළිබඳ ඔවුන් ආඩම්බර වන්නේ කෙසේද යන්නයි.//
  
මා  ඉහත කී  අතීත විස්තරයක්  සඳහන් කරන ලද්දේ සුමනා විජේරත්න ගේ 'තිමිර විනිවිද මාඕ පොත පිළිබඳව ප්‍රවේශයක් ගැනීම සඳහාය.


මාඕ ගේ සංස්කෘතික විප්ලවය ගැන අනතර්ජාලයේ ඕනෑ  තරම් විස්තර ඇති හෙයින් ඒ ගැන කියන්නට වෙහෙස නොවෙමි . 
මේ ගාඩියන් පුවත් පතේ පලවූ ලිපියකි . 
මගේ අදහස නම් සංස්කෘතික  විප්ලවයක් අවශ්‍ය වූයේ මාඕවාදය ස්ථාපිත කිරීම සඳහා යන්නය .   

හැටේ සහ හැත්තෑව දශකයේ සාහිත්‍ය පිබිදීම ගැන පොතේ විස්තරයක් ඇතත් කොළඹ යුගයේ සාහිත්‍ය සංවාද සහ සරච්චන්ද්‍ර ගේ සිට නිව්ටන් ගුණසිංහ දක්වාත් අසූවේ  දශකයේ සංස්කෘතික පිබිදීම සහ අනූව දශකයේ සිට අද දක්වාත් සිදුවූ විපර්යසයන් සහ පුද්ගලයන් සුමනාට මග හැරුනේ ඇයි ? 

මගේ මූලික අදහස  වූයේ සුමනා විජේරත්න ශ්‍රී ලංකාවේ කලාව හා සංස්කෘතිය පිලිබඳ වාමාංශයේ කතිකාව මුළුමනින්ම බැහැර කර ඇති බවය.  මේ සංවාද බොහෝවිට කොළඹ  කේන්ද්‍ර කරගෙන  සිදුවූ නිසා වත්ද යයි සිතන්නට වීමි.  ඇය අනුරාධපුරයේ සිට පැමිණ  කොළඹ දෙස බලමින් කැනඩාවට කෙලින්ම පියාසර කෙරුවාක් වැනි හැඟීමක් මට ඇති වූයේ මන්ද? එසේම සෝවියට් දේශයේ සංස්කෘතික විප්ලවයෙන්  පසු කාලීනව නිමවූ පොත් පත් හා සිනමාව නීරස බවක් ගත් බවත් සීමා කිරීමට  එරෙහිව කලාකරුවන් සංවිධානය වූ අයුරුත් ඇයට නොපෙනුනේ මන්ද ?  මෙයට හේතුව ලෙස මට වැටහුනේ ඇය පශ්චාත් නුතනවාදය සහ බටහිර චින්තනය මුළුමනින්ම පසෙකලා පෙරදිග චින්තනය ඇසුරින්,  බුද්ධාගම ඇසුරින් සංස්කෘතික මිනිසෙකු  නිර්මාණය කිරීමට යෝජනා කරන බවය. 

අවසාන වශයෙන් සෝවියට් ප්‍රචාරකවාදී සිනමා පටයක් ඔබට බලන්නට යෝජනා කරමි .  මොස්ෆිල්ම් මගින් කරන ලද මේ සිනමා පටය 'කොමියුනිස්ට්' නමින් හැඳින්වේ .  අවංක කොමියුනිස්ට් වාදියෙකු පශ්චාත් විප්ලව සමයේ දිළිඳු සෝවියට් දේශය ගොඩ නැංවීමට ජීවිතය පුදන  අයුරු පෙන්වන කතාවකි .  ඉංග්‍රීසියෙන් සබ්ස් ඇත. චිත්‍රපටය  පොතට අදාල වෙන්නේ  කෙසේද යන්න  ඊලඟ ලිපියෙන් සාකච්චා  කරමු.
 


 
 
~ මතු සම්බන්ධයි 

මූලාශ්‍ර ලිපි : 

මහාචාර්ය සුචරිත ගම්ලත් ගුණ සමර - මහාචාර්ය කේ එන් ඕ ධර්මදාස 
  





- අජිත් ධර්ම 20/01/2026

23 comments:

  1. ලස්සනට ලියල තියනවා. කියන්න දේවල් තියනවා. ආයෙ එන්නම්.👌💐🙏

    ReplyDelete
    Replies
    1. ස්තූතියි බසු තුමනි . (තුඅනි කියල ලියන කොටම චාමර සම්පත් මතක් වුනා) 😀

      Delete
  2. අද රේඩියෝ එකේ එක්කෙනෙක් (නුවන් ලියනගේ ?) කිව්වා සෝවියට් රුසියාවෙ ඉගනගත්ත කෙනෙක් කිව්වලු ඒ කාලෙත් සමහර රුසියන් ශිෂ්‍යයන් හිටිය කියල ගෝර්කි කවුද කියල දන්නෙ නැති. එයා කියනව ලංකාවෙ තරම් ගෝර්කි රුසියාවෙ ජනප්‍රිය නැතුව ඇතියි කියලා.

    මම ඒ ගැන දන්නෙ නෑ. ඒත් එකක් කියන්න තියනව. මම ඉස්කෝලෙයන කාලෙ රුසියන් පරිවර්ථන කියවල රසවින්ද. ඒත් මටත් තේරුනා ඒ පොත්වල බොල්ෂෙවික්/කොමියුනිස්ට්/සෝවියට් දේවල් අතිශයෝක්තියෙන් උත්කර්ෂයට නැංවුන ප්‍රොපගන්ඩා තියනව කියල. කොහොමවෙතත් මම කැමතිවුනේ රුසියන් කෑම්ප් එකට වඩා බටහිර පැත්තට. ඒකට ඒකාලෙ තිබුන ලංකා ආණ්ඩුවේ සමාජවාදී unpopular ප්‍රතිපත්ති / රුසියන් පොත්වල ප්‍රොගගන්ඩා ස්වාභාවය සහ මම කියවපු western පොත් (ඊනිඩ් බ්ලයිට්න්, විලාර්ඩ් ප්‍රයිස්, වගේ කතෘන්ගෙ ඉන්ග්‍රීසි ලමා කතා පොත් හා වෙනත් ඒවායේ සිංහල පරිවර්ථන, කොමික්ස්) දායක වෙන්න ඇති.

    අනිත් අය "අම්මා" "වානේ පන්නරය"ට ආසවුනාට මං දෙතුන් පාරක් කියවපු සෝවියට් පොතවුනේ දෙවනි ලෝක යුද්ධෙ ඊස්ටර්න් ෆ්‍රන්ට් එකේ ටෑංක් බැට්ල්ස් ගැන පොත (නම මතක නෑනෙ ;-D . සෝවියට් T යුද්ධ ටැංකි, කත්යූෂා රොකට්, ජර්මන් ටයිගර් සහ පැන්සර් යුද්ධ ටැංකි, ප්‍රධාන චරිතය සෝවියට් Armoured රෙජිමන්ට් එකක ලුතිනන් කෙනෙක්), දෙවනියට ආසවුනේ "සැබෑ මිනිසෙක්ගේ .......". වානේ පන්නරයේ ප්‍රියතම කෑලි සෙම්යොන් බුඩියොනීගෙ cavalry එක ගැන. ඒකෙ දේශපාලන කෑලි මට දැනුනෙ ප්‍රොපගන්ඩා වගේ.
    මගේ වැඩියෙන්ම කැමති රුසියන් පොතවුනේ "මගේ හපන්කම්".

    මම මේ කමෙන්ට් එක දැම්මෙ ඒකාලෙ ලංකාවෙ තරම් ගෝර්කි රුසියන් ශිෂ්‍යයන් අතර දන්න කතෘ කෙනෙක් නෙමෙයිද කියලත් අහන්න.

    ReplyDelete
    Replies
    1. ඒ කතාව ටිකක් පිලි ගන්න අමාරු කතාවක්. සමහර විට ඔය ඉතා ඈත වෙනත් චෙචේනියා වගේ රිපබ්ලික් එකකින් ආව කෙනෙක් වුනොත් ඇරෙන්න , ගෝර්කි ගැන, ටොල්ස්ටෝයි ගැන පාසල් වල විෂය නිර්දේශ වලට ඉගැන්නුවා. දැන්නම් නම් රුසියාවෙත් ඇති මොකද පුටින් ගොර්කිල , නිකොලයි ඔස්ට්රෝව්ස්කි ල ඔක්කොම අයින් කරලා. කියල දන්නේ.සර් ගේ කාලේ රුසියානු සාහිත්‍යය විතරයි උගන් වන්නේ. හැබැයි ගෝර්කි තවම ජනප්‍රියයි රුසියාවේ . මම පොත් දෙවර්ගයම කියවපු කෙනෙක් විශේෂයක් නැතිව. බටහිර සහ සෝවියට්. බ්‍රිතාන්‍ය සාහිත්‍යය - ඩිකන්ස්, බ්‍රොන්ටේ හෙම ඒ කාලෙම කියෙව්ව. අම්මා පොතට මම හෙන කැමතියි. වානේ පන්නරය පලමුපොතට විතරක්. දෙවැනි එක ප්‍රචාරණ වාදී වැඩි නිශ අනිරස ගතියක් දැනුනා . සැබෑ මිනිසෙකුගේ කතාවක්, මිනිසෙකුගේ ඉරණම හෙම තවම මතකයි.

      Delete
    2. https://archive.org/details/yuri-bondarev-the-hot-snow-progress-1971

      Delete
  3. අපූරු ලිපියක්. පැති කීපයකටම මාන කීපයකටම ඇදෙනවා.මහජන පුස්තකාලය ලංකාවේ කාලයක් ඔය සංකෘතික සංවාද වල කේන්ද්‍රස්ථානය. 90 මුල මමත් ඔය කොළඹ පුස්තකාලයෙන් දැනුම හෙව්වා. ලිපිය සංස්කෘතිය ගැන හිතලා මූලිකව ලියවුනා කියලා හිතෙනවා. මාවෝ ගේ සංස්කෘතික විප්ලවය වගේම බහු සංකෘතික රාජ්‍ය සංකල්පයත් සංකෘතියේ ඊළඟ පිම්මට හරියන්නේ නැහැ.දෙකම අසාර්ථක සංකල්ප කියලයි මට හිතෙන්නේ. චිත්‍රපටියත් බලලා ලිපියත් තව දෙපාරක්වත් කියවන්න ඕනේ.

    ReplyDelete
    Replies
    1. ලිපිය ලිව්වේ සුමනා විජේරත්න ගේ 'තිමිර විනිවිද මාඕ ' පොත ගැන ලියන්න ප්‍රවේශයක් ලියන්න . ඊළඟ ලිපිය ඔයාලට නීරස වෙයි හුඟක් වෙලාවට . ඒ සංකල්ප අසාර්ථක වුනු බව ඇත්ත . එකඟයි

      Delete
  4. රොහාන් පෙරේරා සහ දීප්ති කුමාර ගුණරත්න දෙන්නා ගැනම Wiki පිටු තියනවා. ඒත් මහාචාර්ය සුචරිත ගම්ලත් ගැන තිබ්බෙ නෑ. ඔහුට ජීවිකාව ගෙනි යන්න ඉංග්‍රීසී ටියුෂන් දෙන්න වුනා කියල දැක්කාම කණගාටු හිතුනා. JR, ට්‍රම්පුච්චා වගේම බලයෙන් හිස උදම්ම ගෙන, බලය අනිසි ලෙස පාවිච්චි කරලා ප්‍රජාතන්ත්‍රවාදය සහ ජන ජීවිත විනාස කරපු නරුමයෙක් කියන එකයි මගේ හැඟීම.

    ඒත් පැරණි වමේ පක්ෂ ගැන මගේ කොහොමවත් පැහදීමක් නෑ. අර මහින්දට ප්ලග් වෙච්ච කුණුහරපයා වගේ එවුන්නෙ ඕව වල හිටියෙ?

    ReplyDelete
    Replies
    1. මාර්ටින් වික්‍රමසිංහ මෝඩයෙක් කියලා ළමයින්ට කියලා දෙන CHEගුරා කියලා රසායන විද්‍යා ගුරුවරයෙක් ගැන වීඩියෝවක් දැක්කා. සාහිත්‍ය කන්නද කියලා අහපු දේශපාලකයෝ හිටියා. මේ හැමදේම අහම්බයක් නෙවෙයි. රටක හිතුවිලි හැඩගසන්න කාලෙන් කාලෙට මතුවෙන දේවල්.මාර්ටින් වික්‍රමසිංහ මෝඩයෙක් ගානට දාන්න පුළුවන් පරිසරයක් නිර්මාණය වෙලා.

      දීප්ති කියන්නේ ස්වයං අධ්‍යනයකින් දැනුම හොයපු කෙනෙක් නේද ?. විශ්වවිද්‍යාලයකට නොගිහින් අවිධිමත් ලෙස දැනුම ලබාගෙන ඇකඩමියාව අතික්‍රමණය කිරීම ගැන නම් සතුටුයි.නිර්මාල් ගැන නම් ඉතිං කතා කරන්නවත් දෙයක් නැහැ.ඔහු බුද්ධි කවවල ඉන්නේ ලංකාවේ තියන රික්තකයක් නිසා.X කණ්ඩායම තමන්ගේ පශ්චාත් නුතන දැක්ම තමන්ගේ identity එක කරගෙන ඒකට විරුද්ධ මත සහ එකඟ නොවී ඉවත්ව යන අයට වෛර කරලා මඩ අවලාද බොරු වලින් ගැහුවනෙ? අවසානයේ බුද්ධි කවය සටන් කව වුනා කියලත් කියවලා තියනවා.

      පැරණි වමේ වාසුටත් වඩා බාහු තමයි මටනම් දිරවන්නේ නැත්තේ. මහපොළවේ පැලනොවෙන න්‍යාය ඔලුවේ තියාගෙන පිස්සු කියෙව්වා.

      සුචරිත ගම්ලත් ඉංග්‍රීසි සිංහල ශබ්ධකෝෂයක් සංස්කරණය කරා.

      Delete
    2. @බසු සුචරිත ගම්ලත් නුවර ඉඳන් ලෙක්චර් එකකට පුස්තකාලේට එනකොට ගෙන අපු රබර් සෙරෙප්පු දෙකින් එකක් කැඩිලා . අතේ එල්ලගෙන ආව. ආණ්ඩුව රස්සාව නැති කරලා . එහෙම ප්‍රාඥයෙක් ව අගයන්න් අපේ මිනිස්සු දන්නේ නැහැ .

      Delete
    3. නිහඬ පාල මහතා - ඔව් //.X කණ්ඩායම තමන්ගේ පශ්චාත් නුතන දැක්ම තමන්ගේ identity එක කරගෙන ඒකට විරුද්ධ මත සහ එකඟ නොවී ඉවත්ව යන අයට වෛර කරලා මඩ අවලාද බොරු වලින් ගැහුවනෙ?// ඒක හරි. කෙළවුණේ ඒකයි හුඟක් දුරට . දැන් අපහු ටිකක් ඉස්සරහට ඇවිත් සමබිම පක්ෂය හරහා. අර ටියුෂන් ගුරාව නම් තහනම් කරන්න ඕනේ . මටත් හුඟක් තරහ ගියා ඒක දැකල . ගම්ලත් ගේ ශබ්ධකෝෂය දෙකම මම ගත්ත උපුල් සන්න්සස්ගල ගෙන්

      Delete
    4. ජේ ආර් කියපු දේවල් එක කෝණයකින් අල්ලාගෙන තන්ට වාසි දෙන අර්ථකථන දෙන එක බොහොම ප්‍රසිද්ධ දෙයක්. අද කලා උපාධි කරලා ආණ්ඩුවේ රසාවල් දියව් කියාගෙන පාරේ ඇවිදින අය ඉන්නේ ඔය වගේ හිතන අය නිසයි. 'සාහිත්‍ය කන්නද?' කියන එකේ තේරුම ඒකෙන් ජීවිකාවක් කරගන්න පුළුවන්ද කියල අහන එකයි. උදාහරණයකට අජිත් තාක්ෂණික විෂයයක උපාධියක් ගැනීම පස්සක තියලා සාහිත්‍යය සහ කලාව පමණක් කලා නම් ඒකෙන් ජීවත් වෙන්න පුළුවන්ද? විශේශයෙන්ම කලාව වගේ දේවල් මානසික සහනයට, දියුණුවට අවශ්‍යයි. නමුත් කලාව ජීවිකාව කරගන්න පුළුවන් වෙන්නේ බොහොම සුළු පිරිසකට. ඒ අදහස පැත්තක තියලා සාහිත්‍ය අවශ්‍ය නොවන දෙයක් කියල කිව්ව කියන එය දේශපාලනිකව වාසියි. අර තමන්ගේ ආරක්ෂාව තමන්ම සපයාගන්න කියපු එක කිවේ, ලංකාවෙ බෝම්බ පුපුරන්න පටන් ගත්ත මුල් කාලෙ. අද වගේ කාර්‍යාල වගේ තැන්වල ආරක්ශකයො එන්න ඉස්සෙල්ලා. හරියටම ඔබරෝයි බෝම්බෙ පුපුරපු වෙලාවේ. සැක සහිත දේවල් ගැන හැමෝම සෝදිස්සියෙන් ඉන්න කියන එක තමයි ඒකේ අදහස. එහෙම නැතුව රජයේ ආරක්ෂක අංශ වලින් කලයුතු දේවල් නොකරනව කියන එක නෙවෙයි.

      Delete
  5. මගෙත් අතීතේ කොටසක්
    මතක් වුණා කියවද්දී
    ඒ කාලේ දැනුම හෙවූ
    දැනුම බෙදූ අය අද කොහි?

    අජිත් මහත්තයෝ- x කණ්ඩායමේ, මහාචාර්ය සුචරිත ගම්ලත් මහතාගෙ වගේම තවත් බොහෝ රැඩිකල් උදවියගේ පොත්පත් රැසක්ම මුද්‍රණය කෙරුණේ මුද්‍රණ කළමනාකරු ලෙස මා සේවය කළ පියසිරියේ. ඒ වැඩවලදී ඒ ගොඩක් දෙනෙකු හමු වෙන්නටත්- කතාබහ කරන්නටත් වාසනාව මට උදා වුණා.

    ReplyDelete
    Replies
    1. ඒක හින්ද තමා නිදි ටිකක් අර ගෝර්කි වගේ ලියන්නේ . ගෝර්කි කීවනේ මගේ විශ්ව විද්‍යාලය මාවතය කියල . ඒ කිව්වේ එයට හමුවූ මිනිස්සු ගෙන් එය ගොඩක් ඉගෙන ගත්ත කියාලා

      Delete
  6. කෙලින්ම මේ ලිපියට අදාල නෑ, ඒත් මේක ඔබ කොහේදී හෝ ලියු දෙයක්. ප්‍රභූ පැලැන්තියකින් පැවත් එන ටෝල්ස්ටෝයි ලියූ දෙයක් ගැන:ඒ කාලෙ රුසියන් තරුණ සිටුවරුන්ගේ "මෝල්" ගායට, දුප්පත් ගෙදරකින් බිල්ලක් දෙන චාරිත්‍රයක් තිබ්බ බව. මේකත් ඒකට අදාලයි කියල හිතුනා ( අපිට අතීතය අමතක නොවෙන්න)

    පොහොට්ටුවෙන් චන්දෙ ඉල්ලන නාමල්ගේ මිතුරිය

    ReplyDelete
    Replies
    1. ඒ මගේ ප්‍රථම ප්‍රේමය ඔබ නොවේ පොතේ . පොත බ්ලොග් එකේ ලියන කාලේ . ඒ ගැහැණු ළමය කැමැත්තෙන් නේ ස්පෙයාර් වීල් එක වෙලා හිටියේ

      Delete
  7. Sumana Wijeratne
    ඔබ හරියටම හරි, මගෙ ආඛ්‍යානයයත් ජේ ආර් ලිබරල් කරණයට කොක්ක ගැසූ කුළුණු තුනෙන් එකක (UDA) පැටලී සිටි වාමාංශික 90 දශකයේ චන්ද්‍රාකා ගේ මානුෂීය වෙස් මුහුණේ පැල් රැකපු මට සහ ඉරිදා පොලේ යාර තුන 100 ට රෙදි විකුණන්න පිටකොටුවට ලොරියක එල්ලී කොළඹ ආපු මගෙ මලයලාට, කොළඹ තවත් එක්තරා පැතිකඩක ගිගුම් දුන් පශ්චාත් නූතනවාදී කතිකාව මග හැරුණේ කෙසේ ද? යන්න යි. ඔබේ ආරම්භය කදිමයි.

    ReplyDelete
  8. Gamini Muthukumarana
    අජිත්ගේ මේ මතකාවර්ජන... 80 දශකයේ මහජන පුස්තකාල කැන්ටිමේ ප්ලේන්ටියක් සහ වඩේ එකක් අතරින් මතු වූ නිකම්ම නිකං සංවාදයක් නෙවි. ඒ කාලෙ හැටියට ඒක බුද්ධිමය සංවාදයක් කියලයි මම හිතන්නෙ. මේ මතකාවර්ජනය අපේ රටේ විප්ලවවාදී දේශපාලනය සහ “සංස්කෘතික මිනිසා“ පිළිබඳ සංකල්පය අතර පැවති ඓන්ද්‍රීය සබඳතාවය පසුව සෝවියට් රුසියාවේ ශාස්ත්‍රීය ලෝකය දක්වා ගෙන යනවා. අජිත් මේ ලිපිය මගින් ඉදිරිපත් කරණ කරුණු ඉතාමත් වැදගත් වෙනව සුමනා විජේරත්න සහෝදරීගෙ “තිමිර විනිවිද මාඕ“ කෘතිය පිළිබඳ සංවාදයකට මග පාදන්න.
    මිනිසෙකුගේ සංස්කෘතික ජීවිතය කියන්නෙ පරම්පරා ගණනාවක් තිස්සේ ඔහු අත්පත් කරගත් ආගමික, සාහිත්‍යමය සහ සිරිත් විරිත්වල එකතුවක්. චීනයේ පමණක් නෙවි, එවකට සෝවියට් දේශයේ සහ තවත් බොහෝ සමාජවාදී රටවල් අසාර්ථක වෙන්න මේ “සංස්කෘතිය රාජ්‍ය නියෝග මගින් වෙනස් කළ හැකිය“ යන වැරදි උපකල්පනය බලපෑවා කියලයි මම හිතන්නෙ. විප්ලවයක් තුලින් මිනිසුන්ගේ අතීත සංස්කෘතික උරුමයන් බලහත්කාරයෙන් අතුගා දැමීමට තැත් කිරීම තුළ සිදු වුනේ මනුෂ්‍යයා යන්ත්‍ර බවට පත් කිරීමක්. සංස්කෘතික මිනිසෙකු බිහි කරන්න පුලුවන් වන්නෙ මිනිසුන් දැනුවත් කරමින්, ඔවුන්ගේ ස්වයං කැමැත්ත සහ අවබෝධය මත පදනම් වූ දීර්ඝකාලීන ක්‍රියාවලියක් මගින් පමණයි. චීන සංස්කෘතික විප්ලවය අතරතුර ජනතාව මත පැටවුණු ඒකාධිපති ස්වරූපය අවසානයේ නතර වූයේ බරපතල මානුෂීය ඛේදවාචකයක වලින්.
    අජිත් පෙන්වා දෙන පරිදි, බ්‍රෙෂ්ට්ගේ “එපික්“ ක්‍රමය හෝ සෝවියට් “සමාජ සත්තා යථාර්ථවාදය“ පවා ප්‍රචාරණවාදී උපකරණ බවට පත් වෙලා කලාකරුවාගේ නිදහස අහිමි වුනු අවස්ථා තියෙනව. නමුත් ඒක චීන සංස්කෘතික විප්ලවය තරම්ම අසාර්ථක වුනේ නැහැ. “සමාජ සත්තා යථාර්ථවාදය“ තුළින් එදා සෝවියට් රුසියාව තුල ජන මනස අවදි කරන්නට බලපෑ සාදනීය කරුණු අපිට බැහැර කරන්න බැහැ. කොහොම වුනත් සුමනා විජේරත්න සහෝදරීගෙ “තිමිර විනිවිද මාඕ“ කෘතිය පුළුල් වාමාංශික කතිකාව සහ පශ්චාත් නූතනවාදී බලපෑම් මඟහැර යමින්, පෙරදිග හෝ බෞද්ධ චින්තනයෙන් පමණක් සංස්කෘතික මිනිසා හඳුනා ගැනීමට තැත් කිරීම අජිත්ගේ විචාරයට බඳුන් වෙන එක වැදත් වේවි කියලයි මගේ අදහස.
    සැබෑ සංස්කෘතික මිනිසා යනු හුදු දේශපාලන සටන් පාඨයක් හැටියට ගන්න බැහැ. මේ සංස්කෘතික මිනිසා කියන්නෙ විශ්වීය මානව දයාවෙන් සහ තර්කානුකූල බුද්ධියෙන් සන්නද්ධ වූ අයෙක්. අජිත් ගෙ මෙම ලිපිය, ඒ සංස්කෘතික ජීවිතය සොයා යන අපට නැවතත් අපේම ඉතිහාසය සහ ලෝක දේශපාලන ප්‍රවණතා දෙස විවේචනාත්මකව බලන්නට කරන ආරාධනාවක් හැටියටයි මම හිතන්නෙ.

    ReplyDelete
  9. @ඉයන් - එතන රිප්ලයි බට්න් එක වැඩ කරන්නේ නැහැ . , දැන් මට සාහිත්‍ය කරන්න තිබ්බනම් මම ලංකාවේ ආර්ට් කරන්න ගියේ ඉතාම අඩු ලකුණු තියෙන අය . ඉයන් ඕක දන්නවනේ . මගේ ලකුණු වලට මට එන්ජිනියරින් හෝ ඊට අඩු විද්‍යා සබ්ජෙක්ට් වලට යන්න පුළුවන් . අපි වගේ දුප්පතුන්ට මාර්ගය ඒකනේ ඉයන්ට එහෙම නොවුනට . අනිත් එක තමා එංගලන්තේ ඉන්න දෙමල සිංහල අයත් තමන්ගේ ලමයි ඒ සබ්ජෙක්ට් වලට තමා දන්නේ . ඒ අපේ හැටි . අපි ලොකු දුව දාන්න ග්‍රැමර් පාසලකට ගිය වෙලේ ඒකෙ විදුහල්පති (වැඩිපුර හිටියේ ආසියානු අය ) අප හැමෝගෙන්ම ඉල්ලීමක් කළා , අනේ ඔයාල ළමයින්ට ඉංග්‍රීසි භාහ්සව , සාහිත්‍යා එහෙමත් ඉඑගන් ගන්න කියන්න . අපට ටීචර්ස් ලා නැහැ , සිවිල් සර්වන්ට්ස් ල නැහැ . හැමෝම ඉංජිනේරුවෝ , දොස්තර ල සහ විද්‍යාඥයෝ කරන්න එපා කියල . කින්ඩියට කිව්වද මන්ද

    ReplyDelete
  10. @ඉයන් දෙවෙනි කාර්යය කෙනක් සාහිත්‍යා උගන්වන්නේ හෝ ඉගෙන ගන්නේ රස්සාවක් කරන්න නෙමෙයි . හොඳ සංවේදී මිනිහෙක්/ගැහැණියෙක් හදන්න. ජේ ආර් කිව්ව එකේ ප්‍රශ්නේ වුනේ ඇත්තටම එතන .

    ReplyDelete
  11. //දෙවෙනි කාර්යය කෙනක් සාහිත්‍යා උගන්වන්නේ හෝ ඉගෙන ගන්නේ රස්සාවක් කරන්න නෙමෙයි . හොඳ සංවේදී මිනිහෙක්ගැහැණියෙක් හදන්න. ජේ ආර් කිව්ව එකේ ප්‍රශ්නේ වුනේ ඇත්තටම එතන// මේ අදහසම තමයි මටත් තියෙන්නේ. JR මොනවා කිව්වත් ලංකාවේ අධ්‍යාපනයේ තිබුණ ලෝහ වැඩ වඩුවැඩ වගේ ඒවත් අභාවයට යැව්වා. ඒවා කිසිම විදිහක පරිවර්තනයක් වුනෙත් නැහැ.කාර්මික විද්‍යාල ටිකත් තිබ්බ තත්ත්වයෙනුත් පහලට ගියා. කලා උපාධි අඩුවුනෙත් නැහැ. අන්තිමට සාහිත්‍ය ඉතිහාසය ඉගෙනගත්තෙත් නැහැ. සාහිත්‍ය ඉතිහාසයේ කෑලි සිංහල සහ සමාජ අධ්‍යනයට දාලා උගන්නපු විදිහ නම් කිසිම කැමැත්තක් ඇතිකරේ නැහැ.ඉතිහාසය රසට කියල දුන්නේ ජැක්සන් ඇන්තනී.

    ReplyDelete
  12. ආණ්ඩු බලය රාජ්‍ය බලයට පරිවර්ථනය උනාම අපටත් සංස්කෘතික විප්ලවයක් ලැබෙයි වගේ.

    ReplyDelete
  13. රසවත් ලිපියක්. මුලින්ම දමල තියෙන පින්තුරය දැක්කහම නම් මගේ හිත ඈත අතීතයට දුවගියා. හැමෝටම රසවත් පොත් ලැබෙනවා වගේ මට මගේ ජිවිතේ ලැබුනෙත් එතනින් මයි.

    ReplyDelete

සියලු හිමිකම් අජිත් ධර්මකීර්ති (Ajith Dharmakeerthi) සතුය. කොළඹ ගමයා බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ අජිත් ධර්මකීර්ති යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ.
මෙහි පලවන ලිපි සහ දේශපාලන අදහස් මගේ පෞද්ගලික අදහස් පමණි.
ඔබේ ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. නමුත් වෙනත් කෙනෙකුට සාධාරණ හේතුවක් නැතුව පහර ගසන අශිලාචාර අන්දමේ ප්‍රතිචාර පමණක් පල නොකෙරේ. බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ස්තූතියි .