ශානිකා ගේ කවිපොත ලැබිල හුඟක් කල්. ලියන්න හිටියට වෙන වෙන දේවල් හදිසි මාතෘකා එනකොට කල් යනව. ශානිකා කියන්නේ අපේ බ්ලොග් ලෝකේ හිටි සම්මාන පිට සම්මාන ගත්ත කිවිඳියක් . එයා හිටි ගමන් කවි පොතුත් ගහනව . කවිපොත් කියන්නෙත් ඉතින් ලංකාවේ හුඟක් විකිණෙන පොත් කියල මට හිතෙන්නේ නැහැ . අපේ නවකතා පොත් වගේම තමයි . නමක් හදාගෙන නැත්නම් හොඳ මාකටින් කම්පැනි එකක් නැත්නම් තමන්ගේ හිතේ සතුටට පොත් ලියල මුද්‍රණය කිරීමක් තමා කවි පොත් වලටත් වෙලා තියෙන්නේ . ඉතින් එහෙම පසුබිමක් යටතේ මේ වගේ පොත් ප්‍රකාශ කිරීමම අගයන්න ඕනේ.
නිසඳැස් හතලිස් දෙකක්ම තියනව. ඔක්කොම කියෙව්වා .
රතු වයින් නුරාවක් . මම රතු වයින් වලට කැමැතියි. රතු වයින් වල මදක් තිත්ත මිදී රසය බිව්වහම පැණි රහක් වෙනවා යන්තමට. ආදරය වගේ තමා .
පත් හැලෙන වසන්තෙක
හිනාවෙන වෙන මේපල් පතක්
නිල්ල නිලනා නිම්නයක
මීදුම් මන්දරයක්
කියවන්නාගේ හිතේ චිත්‍රයක් මවන්න පුළුවන් කියන්න ඒ කවි පෙළ සාර්ථකයි කියන එක .
දෙවෙනි නිසඳස ලංකාවේ උපන් හෝ ජීවත්වෙන අපට වඩා ළඟ මාතෘකාවක් . අපි ඉන්දියානුන්ට වඩා වෙනස් වෙන තැන අපි රාවණා ට ආදරේ කරන නිසා . රජා ඇත්තට ම හිටියද නැත්ද කියාවත් අපි දන්නේ නැහැ . ඒත් සීතා රාමාට නොව රාවණා ට ආදරය කළා කියන්න අපි කැමතියි . මම කැමතියි මේ දෙවෙනි නිසඳස ට.
කුදලාගෙන ගොස් තබා වන මැද
අතින්වත් අත නෑල්ලූ
නුඹේ ළඟ මගෙ ගෑනුකම නෑ
උනේ කිසිවිට හෑල්ලූ
මට යසෝදරා වෙන්නට නම් බෑ - කවි පෙළත් සම්ප්‍රදායට එරෙහිව ලියූවක්ම කියන්නත් අමාරුයි . සැමියා මහන වෙන්න ගියාද වෙන අඹුවක් හොරෙන් පැනල ගිහින්ද කියල හිතා ගන්න අමාරුයි .
අබිනික්මන් කලේ කුස එනකොටයි නෙරා
වරින් වරේ උඹ සිහියට එන හදවත දවමි
පය පැටලී නුඹට නිවන මග හැරෙන්න පතමී
යසෝදරා දෙවි වුනත් එහෙම හිතුවද දන්නේ නැහැ නේද? නතාෂා එදිස්සූරිය නිදහස් වුනනිසා බය නැතිව ලිව්වේ.
ශානිකා ගේ කවි පොත 'අරයල ' කියවල නැත්ද කොහෙද? නඩුවක් වැටෙන්න තිබ්බ . කවිපොත් කියවන්න ඕනේ කියන්නේ ඒකයි.
ගල්කිස්සේ ප්‍රේමයක් ගැන කියන හතර වෙනි කවි පෙලම හිතට වදිනවා .
රැල්ල වෙරළට ඇවිත් ආදරෙන් සිම්බාම
සුන්දරයි ක්ෂිතිජයේ ඉර ගිලෙන වේලාව
ලැවිනියා හෝටලෙත් පසුබිමින් ඇන්දාම
ලස්සනයි අපි නැතත් වෙරළ ඉම හැන්දෑව
ඒ පෙම්වතියගේ හිත රිදුම හදට දැනෙනවා නේද ?
අංක හතට තියෙන 'ඇය දිවි නසා ගත්තාය' කියන පබැඳුම අපි හුඟක් දන්න කතාවක් . ඇත්තම එහෙම වෙච්චි සිදුවීම් දෙකක්ම මම දන්නවා . නගර දෙකක . ශෂීප්‍රියා මේ දුක්බිත කතාව ගෙත්තම් කරල තියනවා හිතට වදින්නම.
රට දෙල් ගහේ අප්පා එල්ලී ඉද්දී
අම්ම විකල්ලෙන් අංගොඩටම වෙච්චී
මිතුරන් චාන්ස් එක ඉල්ලා වද දෙද්දී
එකෙක් මරා අයියා වැලිකඩ පොච්චී
ඊළඟ කවියෙන් පාඨක ප්රේක්ෂකට කනගාටුවෙන් වුනත් මවා ගන්න පුලුවන් උන අපරාධය .
ඉටි රුපයක් වගේ ලස්සන කෙල්ලෙක්ගේ
මිනියක් ගොඩ ගහල තියනවා අද වැල්ලේ
මේ අර ලීක් කරගත් බඩුවගෙ වාගේ
තලු හඬ ඇසෙනවා ලංවුණ හිවලෙක්ගේ
සමාජ මාධ්‍ය වලින් කෙනෙක් ගේ ජිවිතයක් විනාශ කරන්න පුළුවන් අසුරු සැණෙන්. තද හමක් තිබ්බේ නැත්නම් හුඟක් අමාරුයි මේ කාලේ. ලීක් කරන, මඩ ගහන කිසි කෙනෙකුට දඬුවමක් ලැබෙන්නේත් නැති නිසා. ලීක් කරන ඒවා ඉන්බොක්ස් ආවොත් අපිත් බලනවා. බලන එක වරදක්ද , එවන එකා ගේ වරදක් ද කියන්න බැහැ. නමුත් ඒකෙන් ජිවිතයක් විනාශ වෙන්න පුළුවන් කියල බලන වෙලාවට හිතන්නේ නැහැ. වීඩියෝ කරන්න දෙන්න එපා ෂුවර් නැත්නම් . ඒක තමයි දෙන්න ඉතුරු වෙලා තියෙන අවවාදය.
ප්‍රේමය කියන්නෙම අහිමිවීමට ....කියල ශානිකා කියනවා . මටනම් ඒක පිලි ගන්න බැහැ. ඒ කියන්නේ එකතු වුනොත්,විවාහ වුනොත් ප්‍රේමය අහිමි වෙනවා කියන එකද ? හ්ම් , වෙන්නත් පුළුවන් .
නුරාවී , කියන හයිකු ලෙවල් එකට හයිකු නොවන කවියත් ලස්සනයි .
හීතලට ගුලි වීම
නෑ දැන්ම යුතු..!
සුන්දරම ගින්දරක
ඇවිලීම අප සතු.. --
හප්පේ. වයසට ගිහින් කියල දැනෙනවා අපේ හාන්දුරුවනේ .. 😆
ආයෙත් ඉතින් රාවණා හොයාන යනව - "රාමාට මං පැරදුනේ නෑ" නිසඳැසින් . මට හිතෙන්නේ ශානිකා රහසින් රාවණා ගේන්න හදනවද කොහෙද ? රාවණා විජයගේ හොර ආක්‍රමණය කාලෙ හිටපු යක්ක පරපුරේද කියල අපි දන්නේ නැහැ . මොකද රාවණා ගේ කාලයක් තිබුනානම් ඒ රාජධානියේ වෙන ගෝත්‍ර ඕන තරම් තියෙන්න තිබ්බා . කවියක් නේ ඉතින්. මග ඇරල යමුද ?
ඊලඟ ට තියෙන පද වැල් ඔක්කොම වගේ විරහ ගායනා.
අදත් නෙතු පියද්දී
ඇවිස්සෙන ඒ මතක
හද කවුළු පියස්සෙන්
හමන්නෙම ඔය සුවඳ
විරහවට ආස අයට පිටු කිහිපයක් වෙන් කරලා , ඔව් අපි ආයෙත් යමු රාවණා වෙතට .
රංකඳ රාවණා --
රාමා තාමත් දන්නේ නෑ
අප්පච්චි නුඹ බව සීත ගේ
මේක ටිකක් අවුල් මටනම් කියවන කොට . ආදරවන්තයටත් අප්පච්චි කියනව , රටේ පාලකයටත් කාලයක් අප්පච්චි කිව්වා. අප්පච්චි කියන්නේ නුවර පැත්තේ තාත්තා හෙවත් පියා කියන එකනේ . තාත්තා - දුව ආදරයක් ගැන නෙමේනේ මේ කියන්නේ . මේක මේ මෙහෙ එංගලන්තේ ඩැඩි ප්‍රශ්නේ වගේ. ඒක අවුල් . ලංකාවේ අය කසාද බැඳලා මෙහෙ ඇවිත් ඉන්නව . හස්බන්ඩ් ට කියන්නේ අයියා කියල . හස්බන්ඩ බිරිඳට කියන්න නංගි කියල . සිංහල පරපුර පටන් ගත්ත කතාව සිරාවටම විශ්වාස කරනවා වගේ . අවුල්ම අවුල් .
ඉතිං කණගාටුයි කියන්න , රාවණා ට නැගිටින්න කියනවා ආයෙත්.
නැගිටින්න! ඇති නිදන් උන්නා
තවත්වී නොව පමාවක්
ඇත්ත හංගපු නැත්ත වපුරපු
ඉතිහාසයම හරි මුලාවක් ..
වාල්මිකී ගේ රාමායණය, ඉලියඩ් ගේ මහා කාව්‍ය දෙක වගේ කතාවක්. අපි තවම දන්නේ නැහැ ඇත්තද කියල. කතා දෙකේම බිසවක් උස්සන් යනවා. යුද්දේ පටන් ගන්නවා . දෙවිවරු පැති ගන්නවා . ග්‍රීම් කතා වගේ ලෝකේ වටේ ගිය කතාවක් . රාවණා දිනුවද පැරදුනද කියල දන්නෙත් නැහැ.
අපි බලාගෙන ඉඳිමු පුරාවිද්‍යාව දිහා. හැබැයි ඓතිහාසික දත්ත නොයෙක් තැන් වලින් හම්බ වෙනවා තමා. නමුත් ඒවා වලින් තවම සාධාරණ තර්කයක් ගොඩ නගන්න අමාරුයි. කවියට සීමා වී සැනහෙන්න කියල තමා
කියන්න වෙන්නේ .
සුයාමය , පත්තිනි සලුවත් හොඳයි . නමුත් මගේ ඇස ගැටුනේ - "ගෙදර බුදුන්ට ". මව් කෙනෙක් මල් කඩන්න ගිහින් දියේ ගිලී දිවි හැර යාම අකුරු කරලා.
පුංචි කාලෙත් අහල තියෙනවා
උන්නු බව දිය රකුස්සෝ
ඉරත් නැති මගෙ හඳත් ඩහැගෙන
ගියා නම් උන් නරුමයෝ
ආයේ එනව රාමා සීතා කතාවට . එයාට හිතෙන්නෙම සීතා රාවණ සමග පෙමින් බැඳුන කියල.
එකම එක රැයක්වත් නුඹේ ඔය සද්දන්ත
පපුතුරේ කොහේ හරි සීතලට ගුලි වෙන්න
ඉඩක් නොතියාම ඉතින් සිහගිරට ගිනි තිබ්බ
උන් දන්නවද නුඹේ පිරිමිකම මං දැක්ක
සීතා කියන්නේ ලොකු හිස්ටරික ඇරියස් එකක් තිබ්බ ගැහැනියක්ද ? ප්‍රශ්නේ කියන්නේ ඔය හිස්ටිරියා තියරිය දැන් කවුරුත් ගණන් ගන්නේ නැහැ . වඩාත්ම මේක ස්ටොක්හෝම් සින්ඩ්‍රොම් එක වගේ . ඒ කියන්නේ පැහැරගත් කෙනාට ආදරය කීරීම හෝ සම්බන්ද කමක් ඇති කර ගැනීම . ඒක එක්තරා විධියක ජිවිතේ පවත්වා ගන්න කරන උපායක්. ඕක තමා වෙන්න ඇත්තේ .
අංක තිස් අටට තියෙන කවි පෙලේ අන්තිම එක හුඟක් තාර්කිකයි . රාමා ඒ කියපු කතාවෙන් තමයි මේ මුළු රාමායණය ම ඇද වැටෙන්නේ මටත්.
රුදුරු විස අහි තුඩින් විද ළය මරා දැම්මත් රාවණ
ඉරිසියාවෙන් ලෙඩ වුණා හිත ඔහු බලන්නට ඇති දෝ 'රස'
අග්නියට පැන පෙන්නපන් මට දැන් නුඹේ පිරිසිදු කම
කියූ දින දන්නවා නුඹ මරන්නට ඇති අපේ පෙම
ඒකට එකඟයි . කොහොමත් රාමා සීතාව ගිනි ගොඩට තල්ලු කරලා මරල තියනව . ඒකයි ඇත්ත කතාව මටනම් හිතෙන්නේ. ගින්නට පැන්නම ආයේ මේ ලොවෙත් බේරෙන්නේ නැහැනේ .
අන්තිම කවි පෙළ සංවේදී දුකක් සහ කෝපයක් දන්වන එකක් .
පාරිශුද්ධමය සහතිකේ මම ඇයට කලියෙන් නුඹට දුන්නේ
ජයමගුල් ගී නැතුවයි රතු රෝස මල් පෙති රිදුම් දුන්නේ
බොහෝ කල් සුව වින්ද පසුවයි නුඹට මම පර මලක් වෙන්නේ
ඊට පස්සෙයි නෑඹුලේ කුළ කුමරියක අත සරණ යන්නේ
රතු රෝස මල් පෙති රිදුම් දුන්නේ - හරි ලස්සන යෙදුමක් . මේ සිද්ධිය හුඟක් තැන්වල කියැවෙන කතාවක් ලංකාවේ . කණගාටුදායකයි මෙහෙම ඒවා තවමත් වෙන එක. ඕකා මත්තේ නැහෙන්නේ නැතිව ජිවිතේ ලස්සන කරගනින් කියන අවවාදයයි දෙන්න ඕනේ.
මේක නෙමේ --
ඔබේ මධුසම කලාපෙට මම එද්දී මගේ හිත මරාලන්නම්
මට මේ පරාජිත කවි අල්ලන්නේ නැත්ද මන්ද.
ඔන් මම සංක්‍රාන්ති කවියෙන් මේක හමාර කරනවා .
සියලු සංකා දෝමනස්ස
ජැක් ඩැනියෙල් වඩියකට
ලතාවට සැන්ඩි කොට
මදි පාඩුවට කංසා දුමක් උරයි . .....
සාමාන්‍යයෙන් ජැක් ඩැනියෙල් බොන්නේ නැහැ. සිංගල් මෝල්ට් ෂැන්ඩි කරන්නේ වතුර ටිකක් එක්ක විතරයි. කිසි අවුලක් නැහැ බොන්න නම් ඕනේ. ඔයාල බීල ෆන් එකක් ගන්න. පොතත් ගන්න .
ඉඳ හිට හරි කවියක් නිසඳැසක් කියවන එකත් කංසා දුමක් වගේ තමා මට හිතෙන්නේ . මම නම් සුරුට්ටු බොන්නේ.
සුබ පැතුම් ශානිකා ශෂීප්‍රියා
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
කොළඹ ගමයා 22/02/2026
ශානිකා කියන්නේ අපේ බ්ලොග් ලෝකේ හිටි??
ReplyDeleteඇයි දැන් නැද්ද?🤔
මතක හිටින කවි පන්ති ලිව්වා වගේ මතකයි. වෙහෙසකාරී, ඒකාකාරී "ඩේලි කොමියුට්" ගැන ලියපු කවි පෙලක මෙහෙම තිබ්බා:
මතක මල්ලත් අරන්
මගින් බැස ගිය තැන් එමට
ඉන්නවා නෑ වගේ 🙃
Deleteඅනේ රාවණා වගේ හිටි ගමන් එනවා නෑ
Deleteයකු , බසු තුමාගේ මතකය මරු නේ
Deleteඒ හැටිම හොඳ නෑ. ඩිමෙන්ෂියා නොහැදී ඉන්න ප්‍රැක්ටිස් කරනවා.😋
Deleteඅපේ ප්‍රසන්න තුමයි බසු තුමයි එක ලෙවල් එකට තත්ත්වයක් තියෙන්නේ
Deleteමට පේන්නේ දෙන්නම් ලින්ක් ටික තියන් ඉන්නව වගේ අවශ්‍ය තැන්වල භාවිතා කරන්න
Deleteමාත් කාලෙකට කලින් හිතාගෙන හිටියේ ප්‍රසන්න අයියා හැම බ්ලොග් එකකම ලින්ක් එක තැනක අලෝගෙන ඉන්නවා කියලා 😆😆😆
DeleteThis comment has been removed by the author.
ReplyDeleteඅඩේ මේ කොළඹ ගමයනෙ. ඒ නමින් නැතුව අජිත් කියල දාපුවම මං බැලුව කවුද කියල. ඒ කාලෙ ඔයාගෙ නම හොඳට හිට් නමක්නෙ. හැබැයි මං වැඩියෙ මේ පැත්තෙ ඇවිත් ගිහිං නෑ කියන එක නං හැබෑවක්..
Deleteහා ආතර් මල්ලිත් ඇවිත් . ඒක මරු වැඩේ ,. බ්ලොග් එකට මොකද්ද වුනා ඒ කාලේ ම වගේ . කවුරුහරි හැක් කරන්න ගිහින් හරි මොකක් හරි . පස්සේ මගේ අනික් ජීමේල් එක වන අජිත් ධර්ම නම තියෙන එකට රිකවරි කළා . දැන් කොළඹ ගමයා ඊමේල් එකෙන් වෙන බ්ලොග් එකක් තියනවා
Deleteජැක් ඩැනියෙල්නම් too harsh.
ReplyDeleteඒත් ඉතාම රස bourbon තියනවා
https://www.buffalotracedistillery.com/our-brands/van-winkle/?srsltid=AfmBOoop8O4vUE_lrDmzWFdmCnSHEi613dEV9FhG0jckfr9sIWcR5VZj
අපිටනම් ඉතාම කලාතුරකින් Van Winkle රස විඳින්න ලැබෙන්නෙ. ඒත් අජිත්ට පුලුවන් නෙ.
අම්මට් සිරි බීලම නැහැ . බර්බන් නම් ඉඳ හිට බොනවා. වින්කල් එක බිල තියනව පැණි රහයි නේ ටිකක් . . මේ දවස් වල බඩේ ඇසිඩ් . ඒ නිසා වයින් වලට බැහැල ඉන්නේ .
Deletemmm interesting 😁😁😁😆
Delete😂😂😂
Deleteඅඩේ ස්තූතියි අයියේ මටත් මං කවි ලියනවා කියල අමතක වෙලා තියෙන වෙලාවක මෙහෙම එකක් ලිව්වට.හිනාවෙවී කියවන්න පුලුවන් මේක.බ්ලොග් පැත්ත පලාතෙත් කාලෙකින් ආවේ නැති නිසා තව පොඩ්ඩෙන් මේක මඟහැරෙනවා.ස්තූතියි ආයෙමත් මෙව්ව කියෙව්වම ආපහු කවි ලියන්න හිතෙනවා
ReplyDeleteඒකනේ , අපි මේවා ලියනවා ඔයාල බ්ලොග් වලින් ගිහින්
Deleteවැඩිපුර නොකියවමි නිසඳැස් පේළි පද
ReplyDeleteඒත් ලියන අයටත් නොම කරමි ඇද
අතින් කකා ගවයන් රැක ගන්න ලෙද
කවි පොත් ගහන අය රැක දෙනු සුරිඳ කඳ
කඩෙන් කකා බ්ලොග් ලිව්වට ඔන්න
Deleteහද පිරි බැතිය, පුදනෙමි එය පිලිගන්න
චිරත් කාලයක් නිදුකින් වැජඹෙන්න
හතර වරං දෙවියනි, මුං රැකදෙන්න
කවි පොතක් ගහන්නට ඉන්නවා කෙනෙක් නම්
Deleteදන්නෙමි එයා හැම තැනකම ප්‍රසිද්ධ දැන්
යන යන තැන කවි පිළිතුරු දේවි ඉතින්
කවි පොත ලියන්නේ කවදද නිදි මහතුන්
අජිත් මැතිඳුනේ තරහක් නෑ නේද
Deleteකවි පොත් ලියවන්න හැදුවේ ඒකයිද
ප්රසිද්දයිද 'කු'යන්නකුත් තියෙනවද
වරම් දෙවිවරුනි අප රැක දෙනවාද
මෙපමණ කවි ලියන නිදි මැති සඳ
Deleteපොතක් ගහන්නට අකැමැති මන්ද
වරම් දෙවි වරුන්ට කියමුද කුද ගහ ගන්ට
බස්සා එක්ක ලිව්වත් හෙම හොඳ නැත්ද
පොතක් ගහනවා කිව්වම වැඩ ගොඩකි
Deleteබිස්නස්කාරයන්හට ගැලපෙන දෙයකි
ගෙදරින් පිටට යාමත් දැන් ඇත වැළකි
බස්සෝ ඔබේ අදහස කිව්වොත් යෙහෙකි
සමහරු පොත් ලියන්නේ නම පවතින්න
Deleteට්රම්පුව නම දාන්නේ අජරාමර වෙන්න
මහ පොලොවට බරක් නොවී ඉමු ඔන්න
හැංගිලා ඉඳලා චුස් ගාලා චුත වෙන්න
ආන්න ජංසන් බස්සෝ ඔබ හරිය
Deleteපොළොවට බරක් නොම වී හිඳුමත් හොඳය
බලෙන් ගන්න නම පවතින්නේ නැතිය
මං නං චුත වෙලා යන්නත් ළඟ වගෙය
+++++++++++
ReplyDeleteස්තූතියි නංගි
Deleteපොත් අරන් නම් කියවලා නැහැ කවි. පත්තර පිටු වලින් සඟරාවලින් හැර.ඉරිදා දිවයිනේ කවි පිටුව නම් බොහොම ජනප්‍රියයි.
ReplyDeleteමම නම් බ්ලොග් ලියපු අයගේ කවි පොත් ගත්ත ඉතින් . මම ශ්‍රී සඟරා කාලේ ඉඳන් කුමාරි පත්තරේ දක්වා කවි නිසඳැස් බලපු කෙනෙක්
Deleteකාලයක් තියෙනවා කවි පොත්විතරක් ගත්ත. ඊට පස්සේ කවි එපාවෙන සිදුවීම් වුනා. ක කවි පොත් ගන්න එක වගේම කවි ලියන එකත් එපා වුනා. ඒවා වෙනම කතා. මේක වෙනම කතාවක්නේ.
ReplyDeleteමේ පොත නම් ගන්නව කියල හිතාගෙන හිටියේ මොකද බ්ලොග් ලියන අය ලියපු හුඟක් පොත් මං ගත්ත නිසා කියෙව්වා හෝ නොකිව්වා ඒ පොත් ගන්නවා අනුග්‍රහයක් විදිහට හරි සැමරුමක් විදිහට හරි. මේක කොයිවෙලේ හරි මං ගනියි අරගෙන කියවලා මේ වගේ review එකක් නම් මට ලියන්න බැරි වෙයි. බලමු.
ඔය රාවණා කතාව නැගලා එන්න ලොකුම හේතුව මිරැන්ඩෝ ඔබේසේකර මව්බිම පත්තරෙත් එක්ක එකතු වෙලා මිත්‍යාව කියන එක බරටම වැපිරුවා. ඒ අතර රාවණා ප්‍රවාදෙත් පණ පිහිටෙව්වා ඒකේ අතුරු කතා විදිහට බුකිය පුරා එක පේජ් හැදුනා. ඔය වර්ගපූර්ණිකාවත් රාවණා ප්‍රවාදයත් බුකියේ ප්‍රචලිත වෙන්න ඔබේසේකර තරම්ම වර්ග පූර්ණිකාවත් ලොකු බැකප් එකක් දුන්නා. දැන් ඒ කතාව රිවස් කරන්න බැරි තත්වෙට ඇවිල්ලා. රාමායනය කියන්නේ වාල්මිකීගේ ගේ ඔළුවේ මැවුන චිත්‍රයක් මිසක් වෙන දෙයක් නෙවෙයි කියලා තව අවුරුදු දහයකින් විතර කවුරු හරි කිව්වොත් පිස්සෙක් කියලා අංගොඩ යවන තත්ත්වයක් තියෙන්නේ
වෙන්නත් ඇහැකි නෙවෙන්නත් ඇහැකි. අර ආකාසෙට පේන ලංකා-ඉන්දියා ගල් වැටිය වගේ එව්වත් තියනවා. තව ගාල්ලෙ රූමස්සල කන්දෙ, වෙන කොහේවත් නැති බේත් ජාති තියනවලු. තව සීතාගෙ නමට සම්බන්ධ තැන්. බාගදා යම් බාගෙට ඇත්ත මත පදනම් වුනු අතිශයොක්ති වෙන්ටෑ. දඞුමොනර, වායුවිමාන, නැතිවූ තාක්ශණය වගේ දේ ගැන නම් විස්වාසයක් නෑ. මම වඳුරො වඳින්නෙත් නෑ, දෙයියො වඳින්නෙත් නෑ. ඒත් ජනකතා විදිහට මේව රසවිඳිනවා, එච්චරයි.
Deleteමම අර ග්‍රීක සංචාරය ට ගිය වෙලේ ඇතන්ස් වල මියුසියම් එකක් ක්යුරේටර් කෙනෙක් හම්බවුනා . මිනිහ ලංකාවේ හෙළ කතාව , රාවණා කතාව ඔක්කොම දන්නවා . අපි ඔය මිනොවන් වරුන්ගේ ශිෂ්ටාචාරය බලන්න යන කොට මියුසියම් කිහිපයකට යන්න උපදෙස් දුන්න . මම ඒවා ලියල රසික සුරියාරච්හි හෙම උපහාස කතා ලියල තිබ්බ . ප්‍රශ්නේ උන් ආපහු ඉතිහා සය හාරන් යනවා . සුද්දෝ කියපු එක වැරදි කියල. ඌ මාර කතාවක් කිව්ව්ව . "අපි දැන් සුදු වුනාට අපේ පරණ ශිෂ්ටාචාරය හදපු මිනිස්සු උඹල වගේ දුඹුරු පාටයි, බටහිර සුද්දෝ ඒක පිලි ගත්තේ . උන්ට එක අදහගන්න බැරිවුනා නිසා ඒ කාලේ කියල . " හැබැයි මිනොවන් ශිෂ්ටාචාර බලල තමා ඕල්කට් නුයි අර පරම විඥාර්ථ එකේ රුසියානු කාන්තාවයි ඉන්දියාවට සහ ලංකාවට ආවේ . (වරද්දාගෙන වෙන්න පුළුවන් ) . ඒකා අපට වැඩිය රාවනා ව විශ්වාස කරනව . හේ හේ මේ තියෙන්නේ ලිපි බැලුවේ නැත්නම් . -https://kolambagamaya.blogspot.com/2023/07/blog-post_5.html
Deleteමොනවා උනත් ඒවා දැන් ප්‍රතික්ෂේප කරන්න බැරි තැනකට කිඳා බැහැලා තියෙන්නේ. ඉතින් ඉස්සරහට රාවණා ඉස්කෝලේ පෙළපොතට ඇතුල් වෙන්නත් ඉඩ තියෙනවා සමහරවිට දැම්මම ඇවිල්ලද දන්නෙත් නෑ.
Deleteඒ ලිපිය කියෙව්වා. ඒකෙ තියෙන සමහර දේවල් මරු.
අර පයිතගරස් කෝප්පෙ වෙන්නේ ඕනවට වැඩිය පිරුණොත් තියෙන සියලුම දියර එළියට ඇදිලා යනවා. ඒ කියන්නේ කෝප්ප හිස් වෙනවා. වැඩි ටික විතරක් නෙවෙයි.
//අර පයිතගරස් කෝප්පෙ වෙන්නේ ඕනවට වැඩිය පිරුණොත් තියෙන සියලුම දියර එළියට ඇදිලා යනවා. ඒ කියන්නේ කෝප්ප හිස් වෙනවා. වැඩි ටික විතරක් නෙවෙයි.// නැහැ අපි දැක්ක . එහෙම වෙන්නේ නැහැ
Delete