Sunday, 15 March 2026

මාක්ස්වාදියෙකු ගේ අව්‍යාජ ප්‍රේමයද , අපයෝජිත තරුණියකගේ ශෝකාලාපය ද

 

බොහෝ කලකට පසු ලියා ප්‍රකාශයට පත්කළ ඉතා කෙටි නවකතාවක් මා අතට පත්විය. ඒ  තිලිණා  වීරසිංහ ගේ  'ආදරණිය දෙවියන් වහන්සේ හා අන්ධකාර රාත්‍රිය' නැමති කුඩා පොතය . ඇගේ නිර්මාණ  වලට  ශ්‍රී ලාංකික පොත් කියවන හා විචාරය කරන සමාජයේ ඇල්මැරුණු ප්‍රතිචාරයක් තිබේ යි දැන ගන්නට ලැබුණි.  වරෙක සියමා පොත දෙමළට පරිවර්තනය කිරීමට එක්තරා යෙහෙළියකට අවශ්‍ය වුවද එහි අන්තර්ගතය කියවීමෙන් පසු ඇය එය ප්‍රතික්ෂේප කලේ 'මට යහළුවන් සිටිනවා'  යයි කියමිනි.  ප්‍රශ්නය ඇත්තේ එතැනය. ඒ කියන්නේ අප ස්පර්ශ කරන මාතෘකාව ශ්‍රී ලාංකික සමාජයට මතභේදාත්මකය.  

නොබෙල් ත්‍යාගලාභී දකුණු අප්‍රිකානු ලේඛිකා නඩින් ගෝර්ඩිමර්ගේ  'ගෞරවනීය  අමුත්තා' "A Guest of Honour" නැමැති  දේශපාලනික ප්‍රබන්ධයක් තිබේ. මෙය ගෝඩිමර්ගේ  දීර්ඝතම නවකතාව වන අතර එය සම්පූර්ණයෙන්ම දකුණු අප්‍රිකාවෙන් බැහැර පරිසරයක නිර්මාණය වූ ඇයගේ එකම කෘතිය ද වේ. මෙහි පසුබිම වන්නේ අලුතින් නිදහස ලැබූ ප්‍රබන්ධ අප්‍රිකානු රාජ්‍යයකි

එහි  ප්‍රධාන චරිතය වන්නේ ජේම්ස් බ්‍රේ ය. කර්නල් ජේම්ස් බ්‍රේ එම රටේ යටත් විජිත පරිපාලකයෙකු ලෙස කටයුතු කළ අයෙකි. ඔහු දැඩි සමාජවාදී/මාක්ස්වාදී අදහස් ඇති හිටපු බ්‍රිතාන්‍ය යටත් විජිත පාලකයෙකි. ඔහු   එරට නිදහස් අරගලයට ඔහු දැක්වූ සහයෝගය නිසා ඔහුව නැවත එංගලන්තයට කැඳවනු ලබයි.  නමුත් ඔහු එරට නිදහස සැමරීම සඳහා, එහි වත්මන්  ජනාධිපතිවරයා වන ම්වේටා නම් තම  මිතුරාගේ ගෞරවනීය අමුත්තෙකු ලෙස නැවත පැමිණේ. එසේම නව රජයේ අධ්‍යාපන උපදේශකයෙකු ලෙස කටයුතු කිරීමට ද ඔහුට ආරාධනා කෙරේ.  එහිදී ඔහුගේ පැරණි මිතුරු ජනාධිපතිවරයා විසින් මෙහෙයවන නව රජය  සහ වර්ධනය වන විප්ලවවාදී කණ්ඩායමක් අතර මතවාදීව  සිරවෙයි.

අවාසනාවකට මෙන්, ජනාධිපති ම්වේටා  සහ ඔහුගේ හිටපු දකුණු අත වැනි සහායකයා වූ එඩ්වඩ් ෂින්සා අතර ආරවුලක් හටගනී. බ්‍රේ මොවුන් දෙදෙනාවම හොඳින් හඳුනන්නෙකි. ම්වේටා විදේශ ආයෝජන මගින් ආර්ථිකය පුළුල් කිරීමට උත්සාහ කරන අතර, ෂින්සා ජනතාවට සෙත සැලසීමේ මතවාදයේම රැඳී සිටින බව බ්‍රේ වටහා ගනී. වැඩි කල් නොගොස් ම්වේටා ද අනෙකුත් අප්‍රිකානු නායකයන් මෙන් ජනතාවගේ ජීවන තත්ත්වය නංවාලීම වෙනුවට ආර්ථිකයේ පූර්ණ පාලනය තමන් නතු කරගැනීමේ මාවතට යොමු වේ. ජනතාව යටත් විජිත පාලනය යටතේ සිටියාට වඩා යහපත් තත්ත්වයකට පත් නොවන අතර, ජනාධිපතිවරයා සහ ඔහුගේ හිතවතුන් පමණක් සශ්‍රීක වේ.  බ්‍රේ රජයට එරෙහි කැරලිකාර නායකයෙකු වූ ශින්ෂා  සමඟ එකතු වීමට තීරණය කරයි

මේ අතර, බ්‍රේ තමාගේ කම්මැලි එංගලන්ත විශ්‍රාමික ජීවිතයට වඩා අප්‍රිකාවේ සිටීම ගැන සතුටු වේ. ක්‍රමයෙන් ඔහු ෂින්සාගේ මතවාදය දෙසට නැඹුරු වේ. නිදහස ලැබූ රටක් ක්‍රමයෙන් මර්දනකාරී රාජ්‍යයක් බවට පත්වන ආකාරයත්, එහි කළු ජාතික ප්‍රභූ පැළැන්තිය හුදෙක් සමේ වර්ණයෙන් පමණක් තම සුදු ජාතික පූර්වගාමීන්ගෙන් වෙනස් වන ආකාරයත් ගෝඩිමර් ඉතා විශිෂ්ට ලෙස විස්තර කරයි. මෙය ඇයගේ හොඳම නවකතාවලින් එකක් වන අතර, මෙය දකුණු අප්‍රිකාව ගැන නොවුණද, නිදහසින් පසු බොහෝ අප්‍රිකානු රටවලට පොදු තත්ත්වයකි.  

මේ ලිපියට මට අවශ්‍ය බ්‍රේගේ චරිත නිරූපණය ද මෙම පොත සුවිශේෂී වීමට හේතු වේ. පොත ආරම්භයේ ඇය උපුටා දක්වන ඉවාන් ටර්ගිනිව්ගේ කියමනකට අනුව, "ගෞරවනීය මිනිසෙකු අවසානයේ තමා ජීවත් විය යුත්තේ කොහේදැයි නොදන්නා තත්ත්වයකට පත්වේ."

බ්‍රේ එංගලන්තයේ සිටින ඔලිවියා සමඟ විවාහ වී සිටියද, ඔහු සැඟවී සිටින කාලය තුළ රෙබෙකා  නම් කාන්තාව සමඟ සම්බන්ධතාවයක් පවත්වයි. එම තරුණිය "කැමැත්තෙන් එය කළාද" යන්න පිළිබඳ සැකය විචාරකයින් මතු කරයි. ගෝර්ඩිමර් මෙම ලිංගික සබඳතා හරහා දේශපාලන බලය නිරූපණය කරන බව ඔවුහු පවසති. උසස් දේශපාලන තනතුරක් දරන පිරිමියෙකු සහ ඔහු රැකබලා ගන්නා කාන්තාවක අතර ඇති මෙම බල පරතරය බරපතල ස්ත්‍රීවාදී විවේචනයට ලක් වේ.

 කැරලිකරුවන්ට උදව් කිරීමට යන අතරතුර, ඔහුට දුරස්ථ ප්‍රදේශයක නැවතී සිටීමට සිදු වේ.රෙබෙකා සමඟ ඔහුට සම්බන්ධතාවයක් ඇති වන්නේ මෙහිදීය. ඇය ඔහුට වඩා බෙහෙවින් බාලය. ඇගේ කාර්යය වන්නේ ඔහුට ආහාර පිසීම සහ ලිංගික සුවය ලබා දීමයි. බ්‍රේ තමන් "විමුක්තිදායකයෙකු" ලෙස සිතුවද, රෙබෙකා සමඟ ඔහුගේ සබඳතාවය ඉතා ඉහළ-පහළ උස් - මිටි මට්ටමක පවතී.

බ්‍රේ කැරලිකරුවන් හමුවීමට යන අතරතුර පිරිසක් විසින් ඔහුට පහර දෙනු ලැබේ. ඔහු බේරා ගැනීමට උත්සාහ කරන "පීඩිත ජනතාවම" ඔහුව මරා දමන්නේ ඔහු තවත් එක් සුදු ජාතික යටත්විජිතවාදියෙකු යැයි සිතමිනි. ඔහුගේ මරණයෙන් පසු, ඔහු පාවා දුන් රජයම ඔහුව "වීරයෙකු" ලෙස හංවඩු ගසමින් තමන්ගේ ප්‍රචාරක කටයුතු සඳහා යොදා ගනී.

විචාරකයින් පවසන්නේ බ්‍රේ වැනි පුද්ගලයින් "මනුෂ්‍යත්වය" (මානව වර්ගයා) ගැන උදම් ඇනුවද, තමා අසල සිටින සැබෑ මනුෂ්‍යයන්ට (විශේෂයෙන් කාන්තාවන්ට) ගරු කිරීමට අපොහොසත් වන බවයි. රෙබෙකා ට  මෙම පොතේ තමන්ගේම "හඬක්" නැත. ඇය විප්ලවවාදියාගේ අවශ්‍යතා සපුරාලන ලාභ "සම්පතක්" මිස සහකරුවෙකු නොවේ. බ්‍රේ පීඩනයෙන් ජනතාව නිදහස් කිරීමට කැපවී සිටින බව පැවසුවද, ඔහු තමාගේ පෞද්ගලික ජීවිතයේදී කාන්තාවක පහත් මට්ටමක තබා ගනී.

මට මේ පොතේ  රෙබෙකා වැනි කාන්තාවන්ගේ "කැමැත්ත" ඉතාමත් සැක සහිතය. මන්ද ඇගේ අසරණ තත්ත්වය සහ බ්‍රේගේ ඉහළ සමාජ තත්ත්වය හමුවේ ඇයට "එපා" යැයි කීමට සැබෑ අවස්ථාවක් නොතිබූ බැවිනි.

දැන් අපි තිළිනා ගේ පොතට යමු . මාරියා දිළිඳු  පවුලක උපන් දැරියකි .  තම මව පියා හමුවේ විඳින වධ, ඔහුගේ දුෂණ කිරීම් කුඩා කාලයේම අත්  දුටු ඇයගේ ළඳරු හා ග්ටවර ජීවිතය ගෙවුනේ බියෙන් සැඟවී ගෙන දෙවියන් වහන්සේ කෙනෙකුට ඇයව බේරා ගන්නට යාඥා කරමිනි. වැඩි විය පත්වන ඇගේ සොහොයුරා මවට හා ඔවුන්ට පහර දෙන, වධ දෙන පියා වැනි ඵර්ඩිනස් එළවා දමයි. මාරියා කන්‍යාරාමයක ඉගෙනීමට නැවතෙන අතර තුර  සොයුරු රමේෂ් රැකියාවකට යයි.  අධ්‍යාපනයෙන් පසු දෙවියන් වහන්සේ පසෙක ලා සිවිල්  යුධයෙන් ගිනිගෙන දැවෙන ලංකාවේ අග නුවර කරා රැකියාවක් සොයා ගැනීමට ඇදෙයි. සරසවි සිසුන්, පිටත  තරුණ තරුණියන් ඝාතනය වන,  දේශප්‍රේමින් අතින් විරුද්ධ වාදීන් ඝාතනය වන,  දෙමළ සටන්කාමීන් එකිනෙකා මරා ගනිමින් මහා ජාතියට සිය දිවි නසා ගන්නවුන් එවන භීම  සමයකි එය.        

මහා මාක්ස්වාදියා  සිටියේ සැඟවී ගෙනය.  රමේෂ්, සැඟවී සිටින ඒ  නුවණැති,  සකල ලොව නිර්ධනින් ට හා පෑගෙන සුළුතර ජනතාවට ප්‍රේම කරන, මානව ප්‍රේමී ,  සමාජවාදී මාක්ස්වාදියාට උයා පිහා  දීමට,  නිවස පිරිසිදු කිරීමට හා රැක බලා ගැනීමට තම සොයුරිය මාරියා ගෙනැවිත් නවතයි. දැන් ඔබට නදීන් ගේ නවකතාවේ හා තිළිණා ගේ කතාවේ සමානකම් හා අසමානකම් දැකීමට හැකි වනු ඇත . 
   
ප්‍රශ්නය එන්නේ පිටුව 48 දී ය .  
"ඒ අදිසි  උණුසුම ඔහුට අමතක විය හැකිය .  එහෙත් මරියා ට .. සිය සිරුරෙහි උණුසුම පවතින තාක් ..මරියාගේ හදවත් ආදරයෙන් අවදිකර වූ ඔහුගේ පළමු ආගමනය අමතක නොවේ .  "  මරියා සැබෑ චරිතයක් වූයේ නම් මේ අත්දැකීම් සත්‍ය නම් එය සිදුවිය හැකිද? එසේ නැතිනම් තිළිනා වීරසිංහට සමහර විට  තම මාක්ස්වාදී පාක්ෂිකත්වය මත වෙනස් අන්දමකට සිතීමට  නොහැකි වීද?

 ඒ කාලයට සාපේක්ෂව වෙනම රටක් තරමට වූ ප්‍රදේශයක සිට පැමිණෙන ස්ත්‍රීවාදිනිය ට රස මසවුලින් සංග්‍රහ කරන්නේ මරියාය. නිවසේ සංයුතිය වටහා ගන්නා ස්ත්‍රීවාදිනිය තම ජිවිතයට පැමිණ ඇති මරණීය තර්ජනයද  නොතකා ඒ වියවුල් නිවසින් පලා යන්නීය.සටන්කාමීන් අතින් මරුමුවට පත්වන්නට තරම්  තර්ජනයක් ඇති ඇය පලා ගියේ ඇයි? ස්ත්‍රීවාදීනියකට  එවැනි අපයෝජනයක් දරා  ගැනීමට නොහැකි වීමක් විය නොහැකිද? 
 
පැබ්ලෝ නෙරුඩා අප හඳුනන්නේ විප්ලවවාදී සොඳුරු කවියෙකු ලෙසය .  නමුත් චිලි රටේ සන්තියාගෝ  ප්‍රධාන ගුවන් තොටුපල  ඔහුගේ නමින් හැඳින්වීමට එරෙහිව  ප්‍රබල විරෝධතාවයක් ස්ත්‍රීවාදී සහ මානව අයිතිවාසිකම් සංවිධාන වලින් පල විය.  චිලි රජය එම අදහස ඉල්ලා අස් කර ගත්තේය .  හේතුව පහත්  කුලයක දෙමළ කතක් නෙරුඩා විසින් දූෂණය කිරීමය.  ඇය කිසිවක් නොකර නිහඬව සිටියේ රැකියාව අහිමි වීමට බියෙන් බව පැහැදිලිය. නෙරුඩා මෙහිදී බලය ඇති තැනැත්තාය .  ඒ නිසා එතන පැහැදිලි ලෙසම බලය අපහරණයක් සිදුව ඇත . . අසෝක හඳගම ගේ  ඇල්බොරදා සිනමා කෘතියේ පවසන්නේ මේ කතාවයි .  කාලය විසින්  අතික්‍රමනය කල කතාවක කුලහීන කාන්තාවට සාධාරණය ඉෂ්ඨ කිරීමක්  හඳගම අතින් හා චිලියේ ස්ත්‍රීවාදී සංවිධාන අතින් සිදුව ඇත .  
නන්දන වීරරත්න ගේ  'සලෙලු වරම '  කෘතියට විවේචන ගෙන එන්නවුන් පවසන්නේ  එය පරණ කුණු කන්දල් ඇවිස්සීමක් ලෙසය.  නමුත් නන්දන විරරත්න කර ඇත්තේද හඳගම මෙන්ම  කටහඬ අහිමි වූ අයට ඒ හඬ යලි ලබා දීමයි.  කල් පහුවී හෝ  අප අතින් සිදුවිය යුතු ලෙස සාධාරණය ඉෂ්ට කර දීමකි  එය. 

නමුත් කතුවරිය අපට කියන්නේ මාරියා ගේ කැමැත්තෙන්  සියල්ල සිදුවූ බවය . මේ ඒකපාක්ෂික රඟ දැක්වීම ඇත්තේ 54 වන පිටුවේය .  
"ඒ අන්ධකාර රාත්‍රියෙහි ඔහුගේ කුටියට ඇතුළු වීමට . ...මාරියා ගේ හදවතට ..දෙපාවලට දැනෙමින් තිබුණි . " 
මේ තර්කාන්විත නොවන ප්‍රබන්ධය කතුවරිය ගොඩ නගන්නේ ඇයි?

අපි පොතේ මුල් පිටු නැවත මතක් කර ගතහොත්, ඒ මෙසේය . 

"ඇගේ ඇඳුම් සියල්ල විසිරී තිබුණි. ඒ නිසා ඇය සිටියේ නිරුවතිනි ,  දෑත් හා දෙපා දෙපසට විහිදා කුරුසියක ඇණ ගැසූ කලක මෙන් වේදනාබරිත ස්වරූපයකින් . ..' පිටුව 30

.."උඩුබැල්ලෙන් බිම වැතිර සිටි ඉසබෙල් ගේ පැත්තේ එල්ලී වැටී තිබුණු සුදු පැහැති  පියයුරු මත ෆර්ඩිනස් ගේ පයක් පතිත විය .  " පි 33. 

ඉසබෙල් යනු මාරියා ගේ මවය.  මාරියා මව විඳි  දුක් ගැහැට, වධ වේදනා ඇසින් දුටුවාය . එවැන්නියක්, ආසියාතික රටක වෙසෙන්නියක්,  ස්ව  කැමැත්තෙන් තවත් නොදන්නා  මිනිසෙකු සමීපයට රාත්‍රී යාමයේ,   ඇදේ යයි සිතිය නොහැකිය. වධ වේදනා පමණක් දන්නා එවන්නියක්,  එක්කෝ එවන් සිදුවීම් මග හැර  දිවයන්නීය.  නොඑසේනම් මහා පාරට ඇදවැටී අකමැත්තෙන් නගර ශෝභිනියක් වන්නීය. එවැනි සැබෑ කතා අපට බොහෝ විට පසුගිය කාලය තුලම අසන්නට දකින්නට ලැබුණි .   

ධර්මසිරි බණ්ඩාරනායක මහතාගේ 'තුන්වැනි යාමය '  චිත්‍රපටය මතකද ?  කුඩා කල ඇතිවුණු බිහිසුණු බියකරු මතකයන් වැඩිමහල් වූ  කළ සිත් තුල  විෂාදයෙන් ඇති කරන බව එහි පෙන්වා දෙයි . 

තිළිණා වීරසිංහ සොහොයුරිය මේ පප්‍රබන්ධය  කරන්නේ  1991 දීය.  අද දවසේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ, ලිංගික අධ්‍යාපනය හා ස්ත්‍රීවාදී කතිකාවතට විරුද්ධත්වය පාන්නේ සිවුරු හා ලෝගු  වැරදීමකින්  පොරවාගත් වනචාරීන් වැනි පිරිසකි.  අද 2026 දී මෙසේ නම්  1991 තත්වය  මීටත් වඩා ගෝත්‍රික විය යුතුය .  ඒ නිසාම කතුවරිය, සුළු ජාතික ප්‍රජාව හා සම්බන්ධ යුදයක් රටේ  පවතින වකවානුවක තම දේශපාලන පිල කෙරෙහි වඩා සනුකම්පාවකින් දැක්මක් ඇති කර ගැනීම ස්වභාවිකය .   
  
මේ පොත ලිවීමේදී නදින් ගොර්ඩිමර් ලෙසින් ඒ කාලය තුල දේශපාලන තත්වය,  එහි අසීරු බව,  කාලයේ බිහිසුණු බව ගැන මීට  වඩා  ගවේෂණාත්මක හා විශ්ලේෂණාත්මක ලෙස ලියන්නට තිබුනා යයි මට සිතේ. නදින් විසින් කළු මුල් ජාතිකයන් අප්‍රිකන් රට භාර ගැනීමෙන් පසු රටේ ඇතිවන වෙනස්කම් හා ඔවුන් විසින් තම සුදු පාලකයන් අනුගමනය කිරීමද ගැන විවේචනාත්මක ලෙස ලියා තබයි .  එය දේශපාලනික වන්නේ එහයිනි .    නදීන් ගේ පොතේ බ්‍රේ ගේ පාවාදීමේ හා ස්ත්‍රී  අපයෝජනයේ භූමිකාව ස්ත්‍රීවාදිනියකට හෝ මානව අයිතිවාසිකම් සඳහා සටන් කරන්නියකට  සම්මුඛ වන්නේ එලෙසය .   තිලිනා ඒ කොටස මග හැර ගොස් ඇත්තේ යන්තම් සඳහන් කිරීම් කිහිපයක් කරමිනි. (පුවත්පත්  කලාවේදියෙකු ගේ මල සිරුර මුහුදෙන් ගොඩ ගැසීම වැනි ) 
         
තිලිනා ගේ  කතාවේ අනිත් ශෝකාන්තය එය පමණක් නොවේ.  මාරියා ඉන්පසු අතින් අත යෑමය. එසේ නැත්නම් 'බඩුවක්'  වීමය.  ඒ වනාහි සිව්වන ජාත්‍යන්තරයේ සමාජවාදී සහජීවනය විය යුතුය. බ්‍රිතාන්‍යයේ සමාජවාදී කම්කරු පක්ෂය ස්ත්‍රී දුෂණ චෝදනාවලින් අනූව දශකයේ විවේචනයට ලක්වුණු අන්දම මතකයට නැගේ .  

කතුවරිය,  මාරියා ගේ පාර්ශ්වයෙන් කතාව  අරඹන  අතර සිව්වන ජාත්‍යන්තරය බේරා ගැනීමටද අනවරත සටනක් කරන්නීය.  නමුත් මාරියා 'ඔවුන් '  අත්හැර ගිය පසු මාරියා 'පව්කාර ස්ත්‍රියක්  ' වීම ගැන අනුකම්පාවෙන් සැලුනාය .  දෙවියන් වහන්සේ නිහඬව බලා සිටිද්දී "සියල්ලෝම ඈ  වෙත ගල් ගැසුවෝය." පි .  82

 සමාජවාදී ,  මාක්ස්වාදී කියා ගන්නා බොහෝ අය තම නිවසේදී  සමානාත්මතාවය අමතක කරලති. සබඳතා වලදී අමතක කරලති.  ඒවා තිබෙන්නේ පොදු මහා ජනතාවට අනුගමනය කරන්නටය .  ස්පා එකකට ගෙවා ගනුදෙනුවක් කර ගන්නා ඊට වඩා ගෞරවනීය නැත්ද? ඔහු කරන්නේ සමහර විට  රැකියාවක් නැති කෙනෙකුට රැකියාවක් සපයා දීමය .  මේවට පොලිසිවලින් පනින්නේ ඇයිදැයි මම නොදනිමි .    

පාරට වැටීම එනුවට මාරියා ට රාජ්‍ය නොවන  සංවිධානයක  රැකවරණ ලැබී තිබුණි. ඒවා තුන්වන ලෝකයට සමාන රටවල පිහිටුවා තිබෙන්නේ දේවල්  'ෆික්ස්' කරන්නය. 
  
මට කල්ප කාලයකට  පසූ මා ලිවූ 'සියාමා' පොත මුණ ගැසුණි .  ඒ අසූ පස් වැනි පිටුවේදීය.

"මාරියා ගේ දෑස් ඇගේ දෑස් සමග රහසිගත ආදරයක පැටලුණි . ................ඇගේ දෑස්  හමුවෙහි මාරියා ගේ සිරගත වූ ආත්මය නිදහස්  වූවාය. " ඒ වනාහි සැබෑ අපයෝජනයකට ලක්වන බොහෝ චරිත නිදහස සොයා යාමේදී ඇතුළුවන පෞද්ගික ගුහාය.     අවසානයේදී කතුවරිය නැවතත් මාරියා ගේ පාර්ශවය ගන්නේ ඒ ලෙසිනි.

එසේම මේ කුඩා පොත මගේ සිත කළඹන ලද්දේද  එලෙසිනි. නදින් ට ඇගේ සාහිත්‍ය කෘති වලට නොබෙල් ත්‍යාගය ලැබුනේ ඇගේ දීර්ඝ කෘති මගින් ඈ  විසින් වර්නවාදී දකුණු පරිකව හා අප්‍රිකාවේ වර්නවාදී සුදු පාලකයන් පිලිබඳ සාහිත්‍යකරණය නිසාය .  ඒ ලෙසටම ඇය තම 'පාර්ශ්වය '  දෙසද ඒ ලෙසින්ම බැලීම නතර කරන්නේ නැත .  තිළිණා වීරසිංහට අමතකවූ පැත්ත එය විය හැකිය .  නමුත් ඇගේ පොත යම් පමණකින් සාර්ථක වන්නේ මාරියා පිලිබඳ කතාව අපට පැවැසූ හෙයිනි . 

ඇගේ අනිත් ග්‍රන්ථ ද කොළඹ ගමයා තුලින් හමුවෙමු.

අජිත් ධර්මකීර්ති -15/03/2026    




No comments:

Post a Comment

සියලු හිමිකම් අජිත් ධර්මකීර්ති (Ajith Dharmakeerthi) සතුය. කොළඹ ගමයා බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ අජිත් ධර්මකීර්ති යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ.
මෙහි පලවන ලිපි සහ දේශපාලන අදහස් මගේ පෞද්ගලික අදහස් පමණි.
ඔබේ ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. නමුත් වෙනත් කෙනෙකුට සාධාරණ හේතුවක් නැතුව පහර ගසන අශිලාචාර අන්දමේ ප්‍රතිචාර පමණක් පල නොකෙරේ. බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ස්තූතියි .