බොහෝ කලකට පසු ලියා ප්‍රකාශයට පත්කළ ඉතා කෙටි නවකතාවක් මා අතට පත්විය. ඒ තිලිණා වීරසිංහ ගේ 'ආදරණිය දෙවියන් වහන්සේ හා අන්ධකාර රාත්‍රිය' නැමති කුඩා පොතය . ඇගේ නිර්මාණ වලට ශ්‍රී ලාංකික පොත් කියවන හා විචාරය කරන සමාජයේ ඇල්මැරුණු ප්‍රතිචාරයක් තිබේ යි දැන ගන්නට ලැබුණි. වරෙක සියමා පොත දෙමළට පරිවර්තනය කිරීමට එක්තරා යෙහෙළියකට අවශ්‍ය වුවද එහි අන්තර්ගතය කියවීමෙන් පසු ඇය එය ප්‍රතික්ෂේප කලේ 'මට යහළුවන් සිටිනවා' යයි කියමිනි. ප්‍රශ්නය ඇත්තේ එතැනය. ඒ කියන්නේ අප ස්පර්ශ කරන මාතෘකාව ශ්‍රී ලාංකික සමාජයට මතභේදාත්මකය.
නොබෙල් ත්‍යාගලාභී දකුණු අප්‍රිකානු ලේඛිකා නඩින් ගෝර්ඩිමර්ගේ 'ගෞරවනීය අමුත්තා' "A Guest of Honour" නැමැති දේශපාලනික ප්‍රබන්ධයක් තිබේ. මෙය ගෝඩිමර්ගේ දීර්ඝතම නවකතාව වන අතර එය සම්පූර්ණයෙන්ම දකුණු අප්‍රිකාවෙන් බැහැර පරිසරයක නිර්මාණය වූ ඇයගේ එකම කෘතිය ද වේ. මෙහි පසුබිම වන්නේ අලුතින් නිදහස ලැබූ ප්‍රබන්ධ අප්‍රිකානු රාජ්‍යයකි
එහි ප්‍රධාන චරිතය වන්නේ ජේම්ස් බ්‍රේ ය. කර්නල් ජේම්ස් බ්‍රේ එම රටේ යටත් විජිත පරිපාලකයෙකු ලෙස කටයුතු කළ අයෙකි. ඔහු දැඩි සමාජවාදී/මාක්ස්වාදී අදහස් ඇති හිටපු බ්‍රිතාන්‍ය යටත් විජිත පාලකයෙකි. ඔහු එරට නිදහස් අරගලයට ඔහු දැක්වූ සහයෝගය නිසා ඔහුව නැවත එංගලන්තයට කැඳවනු ලබයි. නමුත් ඔහු එරට නිදහස සැමරීම සඳහා, එහි වත්මන් ජනාධිපතිවරයා වන ම්වේටා නම් තම මිතුරාගේ ගෞරවනීය අමුත්තෙකු ලෙස නැවත පැමිණේ. එසේම නව රජයේ අධ්‍යාපන උපදේශකයෙකු ලෙස කටයුතු කිරීමට ද ඔහුට ආරාධනා කෙරේ. එහිදී ඔහුගේ පැරණි මිතුරු ජනාධිපතිවරයා විසින් මෙහෙයවන නව රජය සහ වර්ධනය වන විප්ලවවාදී කණ්ඩායමක් අතර මතවාදීව සිරවෙයි.
අවාසනාවකට මෙන්, ජනාධිපති ම්වේටා සහ ඔහුගේ හිටපු දකුණු අත වැනි සහායකයා වූ එඩ්වඩ් ෂින්සා අතර ආරවුලක් හටගනී. බ්‍රේ මොවුන් දෙදෙනාවම හොඳින් හඳුනන්නෙකි. ම්වේටා විදේශ ආයෝජන මගින් ආර්ථිකය පුළුල් කිරීමට උත්සාහ කරන අතර, ෂින්සා ජනතාවට සෙත සැලසීමේ මතවාදයේම රැඳී සිටින බව බ්‍රේ වටහා ගනී. වැඩි කල් නොගොස් ම්වේටා ද අනෙකුත් අප්‍රිකානු නායකයන් මෙන් ජනතාවගේ ජීවන තත්ත්වය නංවාලීම වෙනුවට ආර්ථිකයේ පූර්ණ පාලනය තමන් නතු කරගැනීමේ මාවතට යොමු වේ. ජනතාව යටත් විජිත පාලනය යටතේ සිටියාට වඩා යහපත් තත්ත්වයකට පත් නොවන අතර, ජනාධිපතිවරයා සහ ඔහුගේ හිතවතුන් පමණක් සශ්‍රීක වේ. බ්‍රේ රජයට එරෙහි කැරලිකාර නායකයෙකු වූ ශින්ෂා සමඟ එකතු වීමට තීරණය කරයි
මේ අතර, බ්‍රේ තමාගේ කම්මැලි එංගලන්ත විශ්‍රාමික ජීවිතයට වඩා අප්‍රිකාවේ සිටීම ගැන සතුටු වේ. ක්‍රමයෙන් ඔහු ෂින්සාගේ මතවාදය දෙසට නැඹුරු වේ. නිදහස ලැබූ රටක් ක්‍රමයෙන් මර්දනකාරී රාජ්‍යයක් බවට පත්වන ආකාරයත්, එහි කළු ජාතික ප්‍රභූ පැළැන්තිය හුදෙක් සමේ වර්ණයෙන් පමණක් තම සුදු ජාතික පූර්වගාමීන්ගෙන් වෙනස් වන ආකාරයත් ගෝඩිමර් ඉතා විශිෂ්ට ලෙස විස්තර කරයි. මෙය ඇයගේ හොඳම නවකතාවලින් එකක් වන අතර, මෙය දකුණු අප්‍රිකාව ගැන නොවුණද, නිදහසින් පසු බොහෝ අප්‍රිකානු රටවලට පොදු තත්ත්වයකි.
මේ ලිපියට මට අවශ්‍ය බ්‍රේගේ චරිත නිරූපණය ද මෙම පොත සුවිශේෂී වීමට හේතු වේ. පොත ආරම්භයේ ඇය උපුටා දක්වන ඉවාන් ටර්ගිනිව්ගේ කියමනකට අනුව, "ගෞරවනීය මිනිසෙකු අවසානයේ තමා ජීවත් විය යුත්තේ කොහේදැයි නොදන්නා තත්ත්වයකට පත්වේ."
බ්‍රේ එංගලන්තයේ සිටින ඔලිවියා සමඟ විවාහ වී සිටියද, ඔහු සැඟවී සිටින කාලය තුළ රෙබෙකා නම් කාන්තාව සමඟ සම්බන්ධතාවයක් පවත්වයි. එම තරුණිය "කැමැත්තෙන් එය කළාද" යන්න පිළිබඳ සැකය විචාරකයින් මතු කරයි. ගෝර්ඩිමර් මෙම ලිංගික සබඳතා හරහා දේශපාලන බලය නිරූපණය කරන බව ඔවුහු පවසති. උසස් දේශපාලන තනතුරක් දරන පිරිමියෙකු සහ ඔහු රැකබලා ගන්නා කාන්තාවක අතර ඇති මෙම බල පරතරය බරපතල ස්ත්‍රීවාදී විවේචනයට ලක් වේ.
කැරලිකරුවන්ට උදව් කිරීමට යන අතරතුර, ඔහුට දුරස්ථ ප්‍රදේශයක නැවතී සිටීමට සිදු වේ.රෙබෙකා සමඟ ඔහුට සම්බන්ධතාවයක් ඇති වන්නේ මෙහිදීය. ඇය ඔහුට වඩා බෙහෙවින් බාලය. ඇගේ කාර්යය වන්නේ ඔහුට ආහාර පිසීම සහ ලිංගික සුවය ලබා දීමයි. බ්‍රේ තමන් "විමුක්තිදායකයෙකු" ලෙස සිතුවද, රෙබෙකා සමඟ ඔහුගේ සබඳතාවය ඉතා ඉහළ-පහළ උස් - මිටි මට්ටමක පවතී.
බ්‍රේ කැරලිකරුවන් හමුවීමට යන අතරතුර පිරිසක් විසින් ඔහුට පහර දෙනු ලැබේ. ඔහු බේරා ගැනීමට උත්සාහ කරන "පීඩිත ජනතාවම" ඔහුව මරා දමන්නේ ඔහු තවත් එක් සුදු ජාතික යටත්විජිතවාදියෙකු යැයි සිතමිනි. ඔහුගේ මරණයෙන් පසු, ඔහු පාවා දුන් රජයම ඔහුව "වීරයෙකු" ලෙස හංවඩු ගසමින් තමන්ගේ ප්‍රචාරක කටයුතු සඳහා යොදා ගනී.
විචාරකයින් පවසන්නේ බ්‍රේ වැනි පුද්ගලයින් "මනුෂ්‍යත්වය" (මානව වර්ගයා) ගැන උදම් ඇනුවද, තමා අසල සිටින සැබෑ මනුෂ්‍යයන්ට (විශේෂයෙන් කාන්තාවන්ට) ගරු කිරීමට අපොහොසත් වන බවයි. රෙබෙකා ට මෙම පොතේ තමන්ගේම "හඬක්" නැත. ඇය විප්ලවවාදියාගේ අවශ්‍යතා සපුරාලන ලාභ "සම්පතක්" මිස සහකරුවෙකු නොවේ. බ්‍රේ පීඩනයෙන් ජනතාව නිදහස් කිරීමට කැපවී සිටින බව පැවසුවද, ඔහු තමාගේ පෞද්ගලික ජීවිතයේදී කාන්තාවක පහත් මට්ටමක තබා ගනී.
මට මේ පොතේ රෙබෙකා වැනි කාන්තාවන්ගේ "කැමැත්ත" ඉතාමත් සැක සහිතය. මන්ද ඇගේ අසරණ තත්ත්වය සහ බ්‍රේගේ ඉහළ සමාජ තත්ත්වය හමුවේ ඇයට "එපා" යැයි කීමට සැබෑ අවස්ථාවක් නොතිබූ බැවිනි.
දැන් අපි තිළිනා ගේ පොතට යමු . මාරියා දිළිඳු පවුලක උපන් දැරියකි . තම මව පියා හමුවේ විඳින වධ, ඔහුගේ දුෂණ කිරීම් කුඩා කාලයේම අත් දුටු ඇයගේ ළඳරු හා ග්ටවර ජීවිතය ගෙවුනේ බියෙන් සැඟවී ගෙන දෙවියන් වහන්සේ කෙනෙකුට ඇයව බේරා ගන්නට යාඥා කරමිනි. වැඩි විය පත්වන ඇගේ සොහොයුරා මවට හා ඔවුන්ට පහර දෙන, වධ දෙන පියා වැනි ඵර්ඩිනස් එළවා දමයි. මාරියා කන්‍යාරාමයක ඉගෙනීමට නැවතෙන අතර තුර සොයුරු රමේෂ් රැකියාවකට යයි. අධ්‍යාපනයෙන් පසු දෙවියන් වහන්සේ පසෙක ලා සිවිල් යුධයෙන් ගිනිගෙන දැවෙන ලංකාවේ අග නුවර කරා රැකියාවක් සොයා ගැනීමට ඇදෙයි. සරසවි සිසුන්, පිටත තරුණ තරුණියන් ඝාතනය වන, දේශප්‍රේමින් අතින් විරුද්ධ වාදීන් ඝාතනය වන, දෙමළ සටන්කාමීන් එකිනෙකා මරා ගනිමින් මහා ජාතියට සිය දිවි නසා ගන්නවුන් එවන භීම සමයකි එය.
මහා මාක්ස්වාදියා සිටියේ සැඟවී ගෙනය. රමේෂ්, සැඟවී සිටින ඒ නුවණැති, සකල ලොව නිර්ධනින් ට හා පෑගෙන සුළුතර ජනතාවට ප්‍රේම කරන, මානව ප්‍රේමී , සමාජවාදී මාක්ස්වාදියාට උයා පිහා දීමට, නිවස පිරිසිදු කිරීමට හා රැක බලා ගැනීමට තම සොයුරිය මාරියා ගෙනැවිත් නවතයි. දැන් ඔබට නදීන් ගේ නවකතාවේ හා තිළිණා ගේ කතාවේ සමානකම් හා අසමානකම් දැකීමට හැකි වනු ඇත .
ප්‍රශ්නය එන්නේ පිටුව 48 දී ය .
"ඒ අදිසි උණුසුම ඔහුට අමතක විය හැකිය . එහෙත් මරියා ට .. සිය සිරුරෙහි උණුසුම පවතින තාක් ..මරියාගේ හදවත් ආදරයෙන් අවදිකර වූ ඔහුගේ පළමු ආගමනය අමතක නොවේ . " මරියා සැබෑ චරිතයක් වූයේ නම් මේ අත්දැකීම් සත්‍ය නම් එය සිදුවිය හැකිද? එසේ නැතිනම් තිළිනා වීරසිංහට සමහර විට තම මාක්ස්වාදී පාක්ෂිකත්වය මත වෙනස් අන්දමකට සිතීමට නොහැකි වීද?
ඒ කාලයට සාපේක්ෂව වෙනම රටක් තරමට වූ ප්‍රදේශයක සිට පැමිණෙන ස්ත්‍රීවාදිනිය ට රස මසවුලින් සංග්‍රහ කරන්නේ මරියාය. නිවසේ සංයුතිය වටහා ගන්නා ස්ත්‍රීවාදිනිය තම ජිවිතයට පැමිණ ඇති මරණීය තර්ජනයද නොතකා ඒ වියවුල් නිවසින් පලා යන්නීය.සටන්කාමීන් අතින් මරුමුවට පත්වන්නට තරම් තර්ජනයක් ඇති ඇය පලා ගියේ ඇයි? ස්ත්‍රීවාදීනියකට එවැනි අපයෝජනයක් දරා ගැනීමට නොහැකි වීමක් විය නොහැකිද?
පැබ්ලෝ නෙරුඩා අප හඳුනන්නේ විප්ලවවාදී සොඳුරු කවියෙකු ලෙසය . නමුත් චිලි රටේ සන්තියාගෝ ප්‍රධාන ගුවන් තොටුපල ඔහුගේ නමින් හැඳින්වීමට එරෙහිව ප්‍රබල විරෝධතාවයක් ස්ත්‍රීවාදී සහ මානව අයිතිවාසිකම් සංවිධාන වලින් පල විය. චිලි රජය එම අදහස ඉල්ලා අස් කර ගත්තේය . හේතුව පහත් කුලයක දෙමළ කතක් නෙරුඩා විසින් දූෂණය කිරීමය. ඇය කිසිවක් නොකර නිහඬව සිටියේ රැකියාව අහිමි වීමට බියෙන් බව පැහැදිලිය. නෙරුඩා මෙහිදී බලය ඇති තැනැත්තාය .
ඒ නිසා එතන පැහැදිලි ලෙසම බලය අපහරණයක් සිදුව ඇත . . අසෝක හඳගම ගේ ඇල්බොරදා සිනමා කෘතියේ පවසන්නේ මේ කතාවයි . කාලය විසින් අතික්‍රමනය කල කතාවක කුලහීන කාන්තාවට සාධාරණය ඉෂ්ඨ කිරීමක් හඳගම අතින් හා චිලියේ ස්ත්‍රීවාදී සංවිධාන අතින් සිදුව ඇත .
නන්දන වීරරත්න ගේ 'සලෙලු වරම ' කෘතියට විවේචන ගෙන එන්නවුන් පවසන්නේ එය පරණ කුණු කන්දල් ඇවිස්සීමක් ලෙසය. නමුත් නන්දන විරරත්න කර ඇත්තේද හඳගම මෙන්ම කටහඬ අහිමි වූ අයට ඒ හඬ යලි ලබා දීමයි. කල් පහුවී හෝ අප අතින් සිදුවිය යුතු ලෙස සාධාරණය ඉෂ්ට කර දීමකි එය.
නමුත් කතුවරිය අපට කියන්නේ මාරියා ගේ කැමැත්තෙන් සියල්ල සිදුවූ බවය . මේ ඒකපාක්ෂික රඟ දැක්වීම ඇත්තේ 54 වන පිටුවේය .
"ඒ අන්ධකාර රාත්‍රියෙහි ඔහුගේ කුටියට ඇතුළු වීමට . ...මාරියා ගේ හදවතට ..දෙපාවලට දැනෙමින් තිබුණි . "
මේ තර්කාන්විත නොවන ප්‍රබන්ධය කතුවරිය ගොඩ නගන්නේ ඇයි?
අපි පොතේ මුල් පිටු නැවත මතක් කර ගතහොත්, ඒ මෙසේය .
"ඇගේ ඇඳුම් සියල්ල විසිරී තිබුණි. ඒ නිසා ඇය සිටියේ නිරුවතිනි , දෑත් හා දෙපා දෙපසට විහිදා කුරුසියක ඇණ ගැසූ කලක මෙන් වේදනාබරිත ස්වරූපයකින් . ..' පිටුව 30
.."උඩුබැල්ලෙන් බිම වැතිර සිටි ඉසබෙල් ගේ පැත්තේ එල්ලී වැටී තිබුණු සුදු පැහැති පියයුරු මත ෆර්ඩිනස් ගේ පයක් පතිත විය . " පි 33.
ඉසබෙල් යනු මාරියා ගේ මවය. මාරියා මව විඳි දුක් ගැහැට, වධ වේදනා ඇසින් දුටුවාය . එවැන්නියක්, ආසියාතික රටක වෙසෙන්නියක්, ස්ව කැමැත්තෙන් තවත් නොදන්නා මිනිසෙකු සමීපයට රාත්‍රී යාමයේ, ඇදේ යයි සිතිය නොහැකිය. වධ වේදනා පමණක් දන්නා එවන්නියක්, එක්කෝ එවන් සිදුවීම් මග හැර දිවයන්නීය. නොඑසේනම් මහා පාරට ඇදවැටී අකමැත්තෙන් නගර ශෝභිනියක් වන්නීය. එවැනි සැබෑ කතා අපට බොහෝ විට පසුගිය කාලය තුලම අසන්නට දකින්නට ලැබුණි .
ධර්මසිරි බණ්ඩාරනායක මහතාගේ 'තුන්වැනි යාමය ' චිත්‍රපටය මතකද ? කුඩා කල ඇතිවුණු බිහිසුණු බියකරු මතකයන් වැඩිමහල් වූ කළ සිත් තුල විෂාදයෙන් ඇති කරන බව එහි පෙන්වා දෙයි .
තිළිණා වීරසිංහ සොහොයුරිය මේ පප්‍රබන්ධය කරන්නේ 1999 දීය. අද දවසේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ, ලිංගික අධ්‍යාපනය හා ස්ත්‍රීවාදී කතිකාවතට විරුද්ධත්වය පාන්නේ සිවුරු හා ලෝගු වැරදීමකින් පොරවාගත් වනචාරීන් වැනි පිරිසකි. අද 2026 දී මෙසේ නම් 1999 තත්වය මීටත් වඩා ගෝත්‍රික විය යුතුය . ඒ නිසාම කතුවරිය, සුළු ජාතික ප්‍රජාව හා සම්බන්ධ යුදයක් රටේ පවතින වකවානුවක තම දේශපාලන පිල කෙරෙහි වඩා සනුකම්පාවකින් දැක්මක් ඇති කර ගැනීම ස්වභාවිකය .
මේ පොත ලිවීමේදී නදින් ගොර්ඩිමර් ලෙසින් ඒ කාලය තුල දේශපාලන තත්වය, එහි අසීරු බව, කාලයේ බිහිසුණු බව ගැන මීට වඩා ගවේෂණාත්මක හා විශ්ලේෂණාත්මක ලෙස ලියන්නට තිබුනා යයි මට සිතේ. නදින් විසින් කළු මුල් ජාතිකයන් අප්‍රිකන් රට භාර ගැනීමෙන් පසු රටේ ඇතිවන වෙනස්කම් හා ඔවුන් විසින් තම සුදු පාලකයන් අනුගමනය කිරීමද ගැන විවේචනාත්මක ලෙස ලියා තබයි . එය දේශපාලනික වන්නේ එහයිනි . නදීන් ගේ පොතේ බ්‍රේ ගේ පාවාදීමේ හා ස්ත්‍රී අපයෝජනයේ භූමිකාව ස්ත්‍රීවාදිනියකට හෝ මානව අයිතිවාසිකම් සඳහා සටන් කරන්නියකට සම්මුඛ වන්නේ එලෙසය . තිලිනා ඒ කොටස මග හැර ගොස් ඇත්තේ යන්තම් සඳහන් කිරීම් කිහිපයක් කරමිනි. (පුවත්පත් කලාවේදියෙකු ගේ මල සිරුර මුහුදෙන් ගොඩ ගැසීම වැනි )
තිලිනා ගේ කතාවේ අනිත් ශෝකාන්තය එය පමණක් නොවේ. මාරියා ඉන්පසු අතින් අත යෑමය. එසේ නැත්නම් 'බඩුවක්' වීමය. ඒ වනාහි සිව්වන ජාත්‍යන්තරයේ සමාජවාදී සහජීවනය විය යුතුය. බ්
රිතාන්‍යයේ සමාජවාදී කම්කරු පක්ෂය ස්ත්‍රී දුෂණ චෝදනාවලින් අනූව දශකයේ විවේචනයට ලක්වුණු අන්දම මතකයට නැගේ .
කතුවරිය, මාරියා ගේ පාර්ශ්වයෙන් කතාව අරඹන අතර සිව්වන ජාත්‍යන්තරය බේරා ගැනීමටද අනවරත සටනක් කරන්නීය. නමුත් මාරියා 'ඔවුන් ' අත්හැර ගිය පසු මාරියා 'පව්කාර ස්ත්‍රියක් ' වීම ගැන අනුකම්පාවෙන් සැලුනාය . දෙවියන් වහන්සේ නිහඬව බලා සිටිද්දී "සියල්ලෝම ඈ වෙත ගල් ගැසුවෝය." පි . 82
සමාජවාදී , මාක්ස්වාදී කියා ගන්නා බොහෝ අය තම නිවසේදී සමානාත්මතාවය අමතක කරලති. සබඳතා වලදී අමතක කරලති. ඒවා තිබෙන්නේ පොදු මහා ජනතාවට අනුගමනය කරන්නටය . ස්පා එකකට ගෙවා ගනුදෙනුවක් කර ගන්නා ඊට වඩා ගෞරවනීය නැත්ද? ඔහු කරන්නේ සමහර විට රැකියාවක් නැති කෙනෙකුට රැකියාවක් සපයා දීමය . මේවට පොලිසිවලින් පනින්නේ ඇයිදැයි මම නොදනිමි .
පාරට වැටීම එනුවට මාරියා ට රාජ්‍ය නොවන සංවිධානයක රැකවරණ ලැබී තිබුණි. ඒවා තුන්වන ලෝකයට සමාන රටවල පිහිටුවා තිබෙන්නේ දේවල් 'ෆික්ස්' කරන්නය.
මට කල්ප කාලයකට පසූ මා ලිවූ 'සියාමා' පොත මුණ ගැසුණි . ඒ අසූ පස් වැනි පිටුවේදීය.
"මාරියා ගේ දෑස් ඇගේ දෑස් සමග රහසිගත ආදරයක පැටලුණි . ................ඇගේ දෑස් හමුවෙහි මාරියා ගේ සිරගත වූ ආත්මය නිදහස් වූවාය. " ඒ වනාහි සැබෑ අපයෝජනයකට ලක්වන බොහෝ චරිත නිදහස සොයා යාමේදී ඇතුළුවන පෞද්ගික ගුහාය. අවසානයේදී කතුවරිය නැවතත් මාරියා ගේ පාර්ශවය ගන්නේ ඒ ලෙසිනි.
එසේම මේ කුඩා පොත මගේ සිත කළඹන ලද්දේද එලෙසිනි. නදින් ට ඇගේ සාහිත්‍ය කෘති වලට නොබෙල් ත්‍යාගය ලැබුනේ ඇගේ දීර්ඝ කෘති මගින් ඈ විසින් වර්නවාදී දකුණු අප්‍රිකාව හා අප්‍රිකාවේ වර්නවාදී සුදු පාලකයන් පිලිබඳ දැඩි විවේචනාත්මක සාහිත්‍යකරණය නිසාය . ඒ ලෙසටම ඇය තම 'පාර්ශ්වය ' දෙසද ඒ ලෙසින්ම බැලීම නතර කරන්නේ නැත . තිළිණා වීරසිංහට අමතකවූ පැත්ත එය විය හැකිය . නමුත් ඇගේ පොත යම් පමණකින් සාර්ථක වන්නේ මාරියා පිලිබඳ කතාව අපට පැවැසූ හෙයිනි .
"මේ වගේ කාලෙක ඝාතනය කරපු මිනිසුන්ගේ ගණන් හිලව් කවදාවත් හදන්න බැහැ....
ෆර්ඩිනස්ලා... විප්ලවවාදීන් ..මානව හිමිකම්වේදීන්... මාධ්‍යවේදීන්... මේ අය අතින් සදාකාලයටම විනාශ වන ජීවිත ගැන හොයන්න කවුද කොමිසම් පත් පත් කරන්නේ" පි . 85.
ආදරණීය තිලිනා ඔබ මේ පොතින් තැත් දරන්නේ අපයෝජකයා බේරා ගැනීමට බව ඔබට වැටහෙන්නේ නැත්ද ? මී ටූ ව්‍යාපාරයක් ලංකාවේ ආරම්භ නොවන්නෙම ඒ නිසාය.
ඇගේ අනිත් ග්‍රන්ථ ද කොළඹ ගමයා තුලින් හමුවෙමු.
අජිත් ධර්මකීර්ති -15/03/2026
කියවනවට වැඩියෙන් පොත්
ReplyDeleteපෙරලන්නයි ගොඩක් සමත්
කියවන්නට addict වුණොත්
තමයි කෙනෙක් වෙන්නෙ සමත්
අපි පෙරලන්නේ පොත් නෙමේය
Deleteඅපි අදින්නේ කුණු ඇපල් ය
පිළිතුර නොව අප හොයන්නේ
වින්දිත යාගේ මනසය
කියෙව්වා. එකඟයි. හොඳ විචාරයක්. ඔබ පෙන්නා දෙන, මේ විමුක්තිවාදීන්ගේ සැඟවුන වනචාරිත්වය සාකච්චාවට ගේන එක වැදගත්.
ReplyDeleteවිමුක්තිවාදීන් කියල පොදුවේ කිව්වට, මම වාමාංෂික අය විතරක් අදහස් කලේ නෑ. පූජ්‍ය, ඊලොන්/ගේට් වගේ ටෙක් ජීසස්ලා සහ බෙල්ලෙ කුරුසෙ, ඉනේ පිස්තෝලෙ බැඳන් ඉරිදට පල්ලි උනුත් මේකටම අයිතියි.
Delete++++++++++++++++++++
DeleteAny extremist of any religion or ideology
ඔව් එකඟයි . මම එප්ස්ටින් ගැන ලියන්නත් හිතල ලිව්වේ නැහැ මොකද එතකොට ළමා අපයෝජනය පැත්තට කතාව ඇදෙන නිසා . මෙතන එල්බොරදා එකේ වගේ වැඩිහිටි හෝ තරුණ කාන්තාවක් ගැන කියැවෙන නිසා
Deleteඇත්ත. ඔය මොන කුලකය ඇතුලෙත් ඉන්නේ මිනිස්සු. අනිකාට වඩා මේකා හොඳ වෙන්නේ කුලකය හින්දා නෙමෙයි. සිවුරු අස්සෙත් ලෝගු අස්සෙත් ඉන්නේ මිනිස්සු. අපි ඕවා දිහා බලන විදිහත් අපූරුයි. හොරු අල්ලපු සන්ජන් අය්යා කාන්තාවන් සම්බන්දයෙන් කටයුතු කරනකොට ටිකක් පොරක් වගේ උස්සලා තිබ්බා. ඌ "පොර" කියලා. ගෑණු ටික "බඩු" වුණා .වෙන කෙනෙක් කරපුවහම ඌ වළත්තයා. වනචාරින් එළියට එන්නේ දේශපාලනයේ විරුද්ධ පැත්තට පැන්නහම. එතකන් මහා මහේන්ද්‍ර. ඔව්වා ඔහොම තමයි.
Delete//හොරු අල්ලපු සන්ජන් අය්යා// ඒ කවුද ? ඒක තමයි. අපි දෙපැත්තටම විරුද්ධයි. එක පැත්තකට විතරක් විවේචනය යොමු කරන්නේ නැහැ
Deleteආඃ රන්ජන් රාමනායක ද ? ඔයා වරද්දාගෙන නැත්ද මෙතන ? රන්ජන් කොහේ හරි තැනක බලෙන් කරලා කියල චෝදනාවක් තියෙනවද ? එහෙම නම් වැරදියි ? පෞද්ගලිකව නම් කවදාවත් කැමති වෙච්චි නළුවෙක් නම් නෙමේ
Deleteකතුවරියන්ගෙන් ප්‍රතිචාරයක් : අජිත් බොහොමත් ස්තූතියි ආදරණිය දෙවියන්වහන්සේ සහ අන්ධකාර රාත්‍රිය ඔබේ කියවීම ගැන අදහස් පළ කිරීම..
ReplyDeleteමට ඔබේ කියවීමට අදහස් කීපයක් එක් කරන්න සිතුණා යළි සිතා බැලීමට..
මේ අත්දැකීම් ලියවෙන්නෙ 1999දී.(1991දී නෙමයි)
මාරියා කැමැත්තෙන් විප්ලවවාදියා සමග එක්වීම..පියකුගේ ආදරය නොලද මාරියා තම පියාට ආසන්න වයසේ පසු වන පිරිමියකු වෙත තුරුලු වෙනවා.ඇය මුලින් විශ්වාස කරනුයේ ඔහු ආදරණිය අයකු බවයි.එය සියාමා කතාවේ සියල්ල අහිමි වූ සියාමා ප්‍රියාන්ට මනසින් ආදරය කිරීම වගේ දෙයක්..මෙහි කතා නායිකාව මට කියා සිටියේ ඇය කැමැත්තෙන් ඔහුට තුරුලු වූ බවයි
.ලාංකික සමාජ දේශපාලනය තුළ බලය හිමි බොහෝ පිරිමින් සමග යම් ආකාරයක නිදහසක් භුක්ති විදිමින් සිටි ගැහැනුන් ස්ව කැමැත්තෙන් එක් වීම 1990,2000 දශකයන්හි මා අත් දුටුවා.ඒ තුළ වාමාංශික නායකයන් මේ ගැහැනුන් ලිංගිකව හා තම දේශපාලන රැකවරණය ..අරමුණු හා තම සමාජ බලය ගොඩ නැංවීමට අනිසි ලෙස භාවිතා කරන අයුරු මා දුටුවා.එය මේ තුළ ඉතා සංක්ෂිප්තව ඉස්මතු කරනවා.
එසේම වෙරළට ආ මාධ්‍ය වේදියාගේ මළ සිරුර සේම සමකාලීන සිදුවීම් කිහිපයක් හා එවකට පැවැති භීෂණය පිටු 20කට එහා කැටිකර විදහා දක්වන්න මෙහි වෑයම් කර තිබෙනවා.කෙටියෙන් සාකච්ජා කිරීම මගේ ලේඛන විලාසයයි.
අවසන මාරියාලා මේ සමාජ දේශපාලන සංස්කෘතිය තුළ පීඩනයක ගොදුරු බවට පත්ව හුදකලාව සිටීම පිළිබද නිරූපණය කරමින් හුදු නිදහස් චර්‍යාවක් තිබූ පමණින් ගැහැනිය මේ පුරුෂ මූලික දේශපාලන සංස්කෘතිය තුළ සැබෑ ලෙස නිදහස් නොවන බව සංවාදයට ගැනීමයි මෙහි මූලික අරමුණ වුණේ.
"මේ වගේ කාලෙක ඝාතනය කරපු මිනිසුන්ගේ ගණන් හිලව් කවදාවත් හදන්න බැහැ....
ෆර්ඩිනස්ලා... විප්ලවවාදීන් ..මානව හිමිකම්වේදීන්... මාධ්‍යවේදීන්... මේ අය අතින් සදාකාලයටම විනාශ වන ජීවිත ගැන හොයන්න කවුද කොමිසම් පත් පත් කරන්නේ...
බාගෙට මැරුණු අයව ගණන් ගන්නේ ජීවත් වෙන අය හැටියටයි. ඔව් මැරෙන්න පණ අදින අයත්.. ඒත් මං දන්නේ නැහැ මගේ ජීවිතය.... ඇත්තටම මගේ ජීවිතය කොහෙද... මං දැන් ඒක හොයනවා"
බොහොමත් ස්තූතියි අජිත්.. විවේකී විටක ආදරණිය දෙවියන්වහන්සේ සහ අන්ධකාර රාත්‍රිය යළි කියවන්න කියා අවසන ඉල්ලනවා.
අජිත් මගේ ලිවීම තුළ ඉතාම දැඩිව නිර්දයව විප්ලවවාදියා මානව හිමිකම්වේදියා..නීතිවේදියා සහ මාධ්‍යවේදීන් ඇතුලු මේ ගැහැනුන් ලිංගිකව සූරා කන්නට සියුම් ප්‍රශ්න කිරීමක් කරනවා..උපහාසයට ලක් කරනවා..නමුත් ඔබේ කියවීමට එය ග්‍රහණය නොවෙන නිසා ඔබෙ කියවීමයි ඔබ ලියන්නෙ..එයට මං මක් කරන්නද...මේ අවසානය ඉතාම ගැඹුරු දේශපාලන සංවාදයක් ඉස්මතු කරනවා.සමස්ත ක්‍රමය ප්‍රශ්න කරනවා.මාරියා නීතිවේදියා ඉදිරිපිට ඇග සොලවමින් සිනාසෙනවා..ගැහැනියකට නිකම් හිනාවෙන්න ජාත්‍යන්තර ප්‍රඥප්තිය හමුවේ ඉඩක් නැද්ද අහනවා.එය දරුණු සෝපාහාසයක්..
Deleteමෙය කියවූ ලේඛිකා පරිවර්තිකා හා සාහිත්‍ය කතිකාචාර්‍යවරියක වන අනූෂා සිවලිංගම් සහෝදරිය කියා සිටියා ලංකාවෙ මෙසේ ලියන ලේඛිකාවක සිටීම ගැන සතුටු වෙනවා කියා..
සිනමාවේදී ඉනෝකා සත්‍යංගනී කියා සිටියා ගැහැනියගේ පීඩනය සමකාලීන දේශපාලනය තුළ මා මනා වියමනක් කර ඇති බව..සුමනා විජේසිංහ මෙය කියවා මෙය විශිෂ්ටයි.සිනමා පටයක් වගේ කීවා.මෙය ලංකාවෙ සංවාදයට ලක් නොවුනෙ ඇයි කියන කාරණය ඇය ඇසුවා.එයට බල පෑ හේතුවක් කියූ පසු ඇයගේ ප්‍රතිචාරය වෙනස් වුණා.ඇගෙ සංස්කෘතික ගැහැනිය යටපත් වුණා..
මා සදහන් කළේ මෙය ගැහනුමය කියවීම් ප්‍රතිචාර කිහිපයක්..
පිරිමි කියවීම වෙනස්..මට එය විවිධාකාර ප්‍රතිචාර දනවනවා..ඒ අත්දැකීම දේශපාලනිකයි..
මෙහි සංක්ෂිප්ත භාවය ගැටලුව නිසා ඇතැම් අවස්ථාවන්හි ලේඛනයෙහි යම් දෝෂ තිබිය හැකියි..
මගේ පිළිතුර : ඔයාට එහෙම හිතුනට පොතේ මේවා ඉතාම අපැහැදිලියි . පොතේ වඩා ඉස්මතුව පේන්නේ මාරියා කැමැත්තෙන් ලිංගික සූරා කෑමකට ලක්වීමක්. කැමැත්තෙන් දෙන්නෙක් එකතු වෙනවනම් එතන ප්‍රශ්නයක් නැහැ . මුදලට එකතු වෙන එකෙත් ප්‍රශ්නයක් නැහැ බලහත්කාරකමක් නැත්නම් . මගේ තර්කය එහෙම නොවුනා කියන එකයි .
Deleteඅපිත් මා"ස්"ක් වාදීන් වුනා කොරෝනා කාලේ
ReplyDeleteඔයා හොර මාස්ක්වාදියෙක්
Deleteඔය වගේ සිද්දි ඇයි බරපතල විදියට ගණන් ගන්නේ .. දුප්පත් පොහොසත් කම එක්ක sex ගාවල අමුතුම තර්ක ගොඩ නගන එක තේරුමක් නෑ කියල මට නම් හිතෙන්නේ ..
ReplyDeleteමේ කතාවේ ඔබ දාල තියෙන ටිකෙන් නම් මට අපරාදයක් /අසාධාරණයක් වෙලා කියල හිතෙන්නේ නැහැ .. කතාවේ තියෙන අනෙකුත් සිද්දි වගේම සිද්දියක් විතරයි ..
කතුවරිය එහෙම හිතන්නේ නැහැ . මෙතැන් අසාධාරණයක් වෙලා තියනව කියල ඔයාට හිතෙන්නේ හෝ පේන්නේ නැත්නම් ඒකම තමා ප්‍රශ්නයත් . ඕක තමං ලංකාවේ ලොකුම ප්‍රශ්නය . ඊයේ මම දැක්ක නිව්ස් එකක් -https://www.gossiplankanews.com/2026/03/blog-post_355.htmlකොස්ලන්ද පොලිස් වසමට අයත් නාඋල ප්‍රදේශයෙන් අතිශය කම්පන සහගත පුවතක් වාර්තා වන අතර, තම 14 හැවිරිදි බාල දියණියට බරපතළ ලිංගික අපයෝජනයක් සිදු කළ බව කියන පියෙකු පසුගිය 17 වැනිදා පොලිස් අත්අඩංගුවට පත්ව තිබේ.
Deleteපොලිස් විමර්ශන මගින් අනාවරණය වී ඇති පරිදි මෙම සැකකරු මීට පෙර සිය වැඩිමහල් දියණියව ද ලිංගික අපයෝජනයට ලක් කර ඇති අතර, එහි ප්‍රතිඵලයක් ලෙස ඇයට දරුවෙකු ද ඉපිද ඇත. එම දරුවාගේ සැබෑ පියා මෙම සැකකරුම බවට ඩීඑන්ඒ පරීක්ෂණ වාර්තා ඔස්සේ මේ වන විටත් තහවුරු වී අවසන්ය.
වැඩිමහල් දියණියට කළ එම අපරාධය සම්බන්ධයෙන් මහා අධිකරණය හමුවේ නඩුවක් ද විභාග වෙමින් පවතින පසුබිමක, සැකකාර පියා විසින් මෙලෙස සිය බිරිඳ නිවසේ නොසිටි අවස්ථාවක් ප්‍රයෝජනයට ගනිමින් 14 හැවිරිදි දෙවන දියණියට ද බරපතළ ලෙස ලිංගික අතවර සිදු කර ඇත.
මෙතැන් සිද්ධි කිහිපයක් - 1- මව පියා අතින් වධ හිංසා වලට ලක්වීම හා අපයෝජනය වීම (හුඟක් අය කසාද බැඳලා නම් කමක් නැහැ කියල හිතනවා )
Delete2. මේක දෙදෙනාගේ කැමැත්තෙන් වුනා නම් ප්‍රශ්නයක් නැහැ . නමුත් ලංකාවේ ඉපදුනු (අනූ ගණන්වල එයාට අවුරුදු 20 කියමු ) ගැහැණු ළමයෙක් අර වගේ අතීතයක් තියාගෙන් එහෙම යිඩ් අකමරයට ?
3. අත හැරල ගියාට පස්සේ ඇයි මේ පුද්ගලයා එයාව අතින් අත යැව්වේ
4. අවසාන එක තමා - මෙවැනි අය තමං සදාචාර කතා උඩට ගෙනත් අනිත් මිනිසුන්ගේ ජීවිතවල ප්‍රශ්න ඇති කරන්නේ .
මම කිව්වේ [දුප්පත් පොහොසත් කම එක්ක sex ගාවල අමුතුම තර්ක ගොඩ නගන එක තේරුමක් නෑ කියල මට නම් හිතෙන්නේ. මේ කතාවේ ඔබ දාල තියෙන ටිකෙන් නම් මට අපරාදයක් /අසාධාරණයක් වෙලා කියල හිතෙන්නේ නැහැ ] එහෙම නැතුව ඔය ළමා අපරාද හෝ අනෙකුත් ස්ත්‍රී දුෂණ ගැන නෙමේ .. වැඩිහිටි දෙන්නෙක් අතර ඇතිවෙන සෙක්ස් සිදුවීම් වෙන වෙන දේශපාලනික හෝ සමාජ උස් මිටි කම් වලට ගෑවීම ගැන .. ඒවා තුලින් දේශාපාලනය මතු කරන්න හදන එක මට නම් හිතෙන්නේ හෙන ෆේල් දෙයක් කියල .. ඔය මට හිතෙන දේ ඉතින් .. වැඩි වාද කරන්න කම්මැලියි
Delete//මම කිව්වේ දුප්පත් පොහොසත් කම එක්ක sex ගාවල අමුතුම තර්ක ගොඩ නගන එක තේරුමක් නෑ කියල මට නම් හිතෙන්නේ// කොහෙද එහෙම තර්කයක් ගොඩ නැගල තියෙන්නේ - පෙන්වන්න? වැඩි වාද කරන්න කම්මැලි කියල, එහෙම කතවක් කියල පැනල යන්න දෙන්න බැහැ ? දුප්පත් හෝ පොහොසත් වුනත් දෙදෙනෙක් සෙක්ස් කරනවානම් කැමැත්තෙන් එතන අවුලක් නැහැ.
Deleteමෙතැන මම නැවත කියන්නේ - පවුලේ අපයෝජන (මව පිය විසින් දුෂණය කිරීම පහර දීම) ආදිය අත් විඳපු දැරියක් කන්යරමයකට යනවා. ඊට පස්සේ අපට කියනවා ඒ කාන්තාව කැමත්තෙන් අර පුද්ගලයාගේ කාමරයට ගියා කියා. ඒක ප්‍රශ්න සහගතයි. මේක ඇත්ත කටහ්වක් බව මට දැන ගන්න ලැබුන. ඒ අනුව මට තවත් විශ්වාසයි එහෙම නෙමේ උනේ කියල.
දෙවෙනි කරණය: ඔයා බලවත් තැනක ඉඳගෙන තව කෙනෙක් අපයෝජන කරන එක, මේවා කරන්නේ ෆෙමිනිස්ට් කියල හිතන බිරිඳක් ඉන්දෙද්දී ? ඊට පස්සේ කෙල්ලව් අතින් අත මාරු කිරීම - යහළුවන් විසින්- ඒක වැරදි නැත්ද? මම හුඟක් ලිබරල් මනුස්සයෙක් මං හිතන්නේ. වදිහී දෙදෙනෙක් අතරේ මුදලට හොඅ එහෙම නැතිව හෝ තමන්ගේ කැමැත්තෙන් වෙන දෙකට කවදාවත් විරුද්ධ වෙන කෙනෙක් නෙමේ.
මම තව ඇත්ත කතාවක් ලියන්නම්. මම දන්නා සිසුවෙක් ගේ (ඉගෙන ගත්තේ රාජකීය විදුහලේ) - පියා උසස් නිලධාරියෙක්. ගැහැණු ළමයෙක් ඈත ගමකින් ගේනවා ගෙදර වැඩට. ටිකක් මෝඩ පහේ වගේ පෙනුමක් තිබ්බේ ගමෙන් ආපු නිසා කියල. කොළඹ අආවහම එහෙම වෙනවනේ. මේ කොල්ල කොහොම හරි නිදියන්න ගත්තා ඒ කෙල්ල එක්ක. ගෙදර වැඩකාරි ඒ දවස් වල . නැනී නෙමේ. මගේ යාලුව හිටියේ ඊට අල්ලපු ගෙදරක. මම දවල් යනකොට මුන් ඒ කෙල්ලව ගරාජ් එකකට ගෙනත් එතන පේලියක් තිබෙනවා. රෝයල් ආනන්ද නාලන්ද, සෙන්ට් තෝමස් සෙට් එකක් එතන හිටිය. අරූ (කෙල්ල වැඩ කාරණා ගෙදර එකා) කියනවා මට ඇහෙනවා - මම ඇහැව්වා උඹ **** බේබිට දුන්නද , අර බේබිට දුන්නද , අනේ බෑ බේබි කියාගෙන ආව , ඇඳුම් ටික දැම්ම එලියට. කරපන් නැත්නම් දෙන්නේ නැහැ කීව . මුන් ඔක්කොම හෙන හයියෙන් එහෙට මෙහෙට ඇවිද ඇවිද හිනා වෙනවා.
Deleteමම යාලුවට කතා කරා. ඌ කිව්වා වෙච්චි දේ. එතනින් එහාට ඒ යාළුකම ඉවර වුනා. පස්සේ ආරංචි වුනා ඕක දිගටම වෙලා උගේ අම්මට අහුවෙලා. අර කෙල්ලගේ තාත්තා ගෙන්වලා ගෙදර යැව්වා. ඒ තාත්තා දුවට ගැහුවලු එතැනම. අර අම්ම කියල තියනව - මේවත් යාලුවෝ තමා කිව්වේ. (කොල්ලට නංගි කෙනෙක් ඉන්නව) - උඹ නංගි ගැන හිතුවද කොල්ලෝ ගෙනල්ල ජවුසන් නටන්නේ. උඹ සද්ද නැතිව ඕන මගුලක් කරන් ඉන්නේ නැතිව කියල.
ඒ කියන්නේ ඒ අම්මට ගානක් වත් නැහැ.
කොල්ල පස්සේ ආමි එකට ගියා. රණ විරුවෙක්. දැන් බටහිර රටක ඉන්නේ.
- දැන් එතැන වුනේ තමන්ට තිබ්බ බලය අනිසි ලෙස භාවිතා කිරීමක්. මුල් අවධියේකෙල්ල අකැමැති වෙලා නැහැ.
අර නාලන්දා පිරිමි ළමය සහ ගුරුවරියන් අතර සිද්ධිය? අපිගැටවර ලස්සන කාන්තා ටීචර් ලා ගැන හිතුවා තමයි. මම දැක ෆේස්බුක් එකේ ගුරුවරියන් ගේ පුතාල කිහිප දෙනෙක් ගුරු වෘත්තීය ගැන කියල ඒ කොල්ලට් බැනල ලියල තියනව. ඒ කොල්ලා තවම ඉගෙන ගන්නවා නම් - අර ගුරුවරියන් තමන්ගේ බලය භාවිතා කරලා තියෙන්නේ. මොකද නිල වශයෙන් එයාල උසස් තැනක ඉන්නේ. කොල්ල කැමැත්තෙන් කරා උනත් එංගලන්තයේ නම් ගුරු වෘත්තියෙන් අයින් කරනවා.
වටිනා කියවීම් අයියේ.
ReplyDeleteහොඳයි . ඔයාට අනුව මෙතැන වරදක් වෙලාද නැත්ද ?
Deleteඅයියා මම පොත තාම කියෙව්වේ නැහැ.කියවලම අදහස කියන්නද? ඔයාගේ ලිවිම පොත කියවන්න පෙළඹෙව්වා
Deleteහුම්, හුම්. සමහරුන්ගේ විවිධ මානසික තත්වයන්, ජීවිතේ ව්‍යාකූලබව... වගේ දේවලුත් ඉතින් ඔය කියනාකාරයේ ඒවාට හේතුභූත වෙන්ට පුලුහං නෙ.
ReplyDeleteඅපයෝජනයයද නැහ්නං robotic mood මූඩ් එහෙක හිරිවැටිලා වගේ ඒ සාමය ගෙව්වද කියලා ඉතින් දෙයියො තමයි දන්නෙ