Sunday, 22 March 2026

යුද්ධයේ සැබෑ තත්වය

created by google gemini
ගුගල් ජෙමිනි විසින් නිපදවන ලද අනාගත අධිරාජ්‍ය වල සිහිනයකි . 

යුද්ධයේ සැබෑ තත්වය  ********************************************************************මා මෙහිදී උත්සාහ කරන්නේ හැකි අයුරින් මධ්‍යස්ථ වීමටය .  ඕනෑම යුද්ධයක මුල්ම කැෂුවල්ටිය (හෙවත් තුවාලකරු) සත්‍යය යයි කියනු ලැබේ. බොහෝ වෙබ් අඩවි ,  ෆේස්බුක් ප්‍රෝෆයිල ,  රුසියානු යුක්‍රේන යුද්ධයේ මෙන්ම ඇමෙරිකා +ඊශ්‍රායල - ඉරාන යුද්ධයේ ද තම තමන් සහය දෙන රටට  පාර්ශ්වීය ලෙස තොරතුරු ලියා දක්වනු පෙනේ.

රුසියානු යුක්‍රේන යුද්ධය ගැන ලියද්දි  කෙනෙකු ලියා  තිබුනේ රුසියාව හිතූ පරිදි දින දෙක තුනකින් දිනුවේ නැති අතර යුක්‍රේන  ජනතාව වීර ලෙස රුසියාවට  එරෙහිව සටන් කරන බවය .  රුසියාවේ මියගිය ප්‍රමාණය අනුව පූටින් දරුණු පරාජයකට මුහුණ පා ඇති බවය .  මේ අදහසේ  මුල් කොටස නිවැරදිය .  නමුත් දෙවන කොටස ගැන එකඟ විය හැකිද ?  දෙවන යුක්රේන යුද්ධය ඇරඹෙන විට රුසියාව ක්‍රිමියා ව අයත් කරගෙන තිබුණි.  නමුත් ක්‍රිමියා අර්ධද්වීපයට ජල සැපයුමක් තිබුනේ  යුක්‍රේනයේ සිට එන උතුරු ක්‍රිමියන් ඇලෙනි. යුක්‍රේනය එය වසා දැමූ පසු ළිං කැපීම හා නැව් වලින් සැපයීම හැරෙන්නට එහි ජනතාවට ජලය සපයා ගැනීමේ  ප්‍රශ්නයක්ද පැන නැගුණි.  එසේම යුක්‍රේනය  වරින් වර තෙල් සහ ගෑස් සැපයුමට බාධා කරන්නටද  විය.  

රුසියාව යුක්‍රේනය ආක්‍රමණය කිරීමෙන්  පසු යුක්‍රේනය තනිව සටන් කලේ නැත ,  මුළු නේටෝ සංවිධානයේ රටවල් සියල්ලම පාහේ (හංගේරියා සහ ස්ලොවැකියා හැර )  ඔවුන්ට සහය දුනි .  මිසයිල,  ද්‍රෝන, යුධ ටැංකි සහ ආයුධ  සහ මුදල් ලෙසින් ඒ සහය ලැබුණි.  මෙය හරියට සෝවියට් දේශය 1976 දී ඇෆ්ඝනිස්තානය ආක්‍රමණය කල විට ඇමෙරිකාව ප්‍රමුඛ බටහිර රටවල් මුජහදීන් ගරිල්ලා ව්‍යාපාරයට  සහය දුන් ලෙසිනි . 
ඒ නිසා රුසියාව සමග යුක්‍රේන  යුද්ධය චෙස් ක්‍රීඩාවේ  ස්ටේල්මේට්  (ජය පරාජයක් නැති )  හෙවත් එකතැන නතරවී තිබෙන  බවක් පෙනේ.

නමුත් . ......වර්ග කිලෝමීටර් පනස් තුන්දාහක් වන දොන්බාස් ප්‍රදේශයේ සියයට අසූ අටක (88%) ප්‍රමාණයක් රුසියාව  විසින් අල්ලාගෙන ඇත .  ඒ ශ්‍රී ලංකාවේ භූමි  ප්‍රමාණයට වඩා  වර්ග කිලෝමීටර විසිදහකට අඩු ප්‍රමාණයකි .   එනම් ලංකාවේ ප්‍රමාණයෙන් 70% ප්‍රමානයක් රුසියාව විසින්  අල්ලාගෙන ඇත .  ක්‍රිමියාවට ජලය අර ඉහත කී ඇලෙන් කරදරයක් නැතිව දැන් ලැබේ.  රුසියාව හා නේටෝව අතර බෆර් සෝන් එකක් හෙවත් බාධකයක් ද නිර්මාණය  කර ඇත .  රුසියාව පැරදී ඇතැයි කවුරු හරි කියනවාද? පුටින් මේ සැලසුම් ඇති කරගත්තේ පසුගිය වසර තුල යයි කවුරුන් හෝ සිතනවාද?

පැරදී  ඇත්තේ "බලහත්කාරයෙන් තවත් රටක්  ආක්‍රමණය කර අල්ලා ගැනීමට නොහැකිය" යන අන්තර්ජාතික නීතියයි. මේ ශතවර්ෂය නැවතත් අධිරාජ්‍ය බිහි කරයිද ?  ඉරාන යුද්ධයට පෙර මම  ඒ ප්‍රශ්නය -  සියලු තොරතුරු ඉදිරිපත් කර කෘතීම බුද්ධි ඒජන්ට් කෙනෙකු ගෙන් (මෘදුකාංග)  ඇසුවෙමි .  මගේ ඉංග්‍රීසි බ්ලොගයේ ඒ ලිපිය තිබේ.මට ලැබුණු පිළිතුර වූයේ ඇමෙරිකානු අධිරාජ්‍යය ,රුසියානු  අධිරාජ්‍යය, චීන අධිරාජ්‍ය හා ඉන්දියානු අධිරාජ්‍යය  ඒ අනුව නිර්මාණය වනු  ඇතැයි කියාය .  එය තව දුරටත් එසේ නොවන බව මට පෙනේ. බ්‍රිතාන්‍යය හා යුරෝපා සංගමය දියවී යනු ඇත . 
 
ලෝකයේ බලහත්කාරයෙන් රටවල් අල්ලා   ගැනීම දහනව වැනි ශතවර්ෂයෙන්  පසු විසිවන සිය වසේ අවසන් වුනැයි අපි සිතුවෙමු .  එහෙත් අමෙරිකානුන් වෙනිසියුලාවේ ජනාධිපති (ඔහු කෙතරම්කුප්‍රසිද්ධ අයෙකු වුවත්  )  බලයෙන් අල්ලා ගැනීම හරහා යුධ බලයෙන් සන්නද්ධ බලවත් රටවල් තමන්ගේ අසල්වැසි රටවල් හෙවත් අල්ලා ගැනීම සාධාරණිකරණය වීමක් සිදුවුණි .      . 

ඉරාන යුද්ධයෙන් දැනට ඇමෙරිකා  එක්සත් ජනපදය හා ඊශ්‍රායලය මිසයිල ප්‍රහාර මගින්  ඉරාන  ප්‍රධාන නායකයන් ඝාතනය කරන ලදී .  මෙය හඳුන්වන්නේ decapitating strike හෙවත් ගෙල සිඳීම කියාය.  මේ රටවල් දෙක ගුවනින් බෝම්බ දැමීම හා  මිසයිල ආක්‍රමණයක් මිස පූර්ණ හමුදා මැදිහත්වීමක් තවම සිදු කර නොමැත .  ඔවුන් ඉරානයේ  අට දහසකට වැඩි ප්‍රධාන ස්ථාන සංඛ්‍යාවකට බෝම්බ දමා  හෝ මිසයිල මගින් පහර දී ඇත .  ඉරාන ජාතිකයන් 2300 පමණ හා  ඇමෙරිකන්  භටයින් 13 දෙනෙකුත් දැනට මිය ගොස් ඇත.  ඉරානය විසින් මැද පෙරදිග ඇමෙරිකානු කඳවුරු 14 කට පහර දී තිබේ .  එසේම  ඉන්දියානු සාගරයේ දියෝගෝ ගාෂියා කඳවුරට නුදුරින් මිසයිල් දෙකක් පතිත වී ඇත. එය ඇත්තටම ඉරානය විසින් ගැසුවාද, නැතහොත්,  බ්‍රිතාන්‍යය යුද්ධයට ඈඳා ගැනීමට කරන ලද ව්‍යාජ්‍ය මෙහෙයුමකද  (FFO) යන්න පැහැදිලි නැත. මා දන්නා තරමින් ඉරානයට එතරම් දුර යන මිසයිල නැත.  ඇමෙරිකාව කියන්නේ ඉරානය චන්ද්‍රිකා යවන රොකට්ටුවකට වෝ හෙඩ් එක්ක සවිකර යවන්නට ඇති කියාය.  හොරාගේ අම්මාගෙන් පේන අහන්නාක් වැනිය 
      
යුද්ධයක් සාමාන්‍යයෙන් සුමානයකින් හෝ දෙකකීන් අවසන් අවන්නේ නැත .  එක පාර්ශ්වයක අරමුණු සාර්ථක වනතුරු සාමන්‍යයෙන් යුද්ධ දිග්ගැස්සේ. මේ අනුව තවම ඉරානය ජයගෙන නැත .  ඇමරිකා ඊශ්‍රායල සන්ධානය ජය ගෙනද  නැත .  නමුත් දැනට වැඩි වාසිය ඇමෙරිකා -  ඊශ්‍රායල සන්ධානයට  බව පෙනේ .  ඉරාන අහස ඔවුන් නතු කරගෙන ඇත. ඉරානය නිර්භීත ලෙස  ඔවුනට් එරෙහිව සටන් කරයි.  

නමුත් මේ ඊශ්‍රායල සැලසුම දෙස බලන්න .  ඔවුන්ට තර්ජනයක් එල්ල කල හෝ කරන අයට පහරදී අඩපන කිරීමේ උපාය මාර්ගයක්   ඔවුන් රට නිර්මාණය වූ කාලයේ සිටම සියොන් වාදී සංවිධාන විසින්  අනුගමනය කරන  ලදී. ඊශ්‍රායලයට මැද පෙරදිග අවනත කර ගන්නට අවුරුදු 40කට එහා ගිය සැලසුමක් තිබේ යයි කියති .  අද වන විට ඒ සැලසුම් සාර්ථක වී  විරුද්ධත්වයක්  එල්ල කල හැකි සියලු රටවල් විනාශ කර  රූකඩ පාලන බිහි  කර තිබේ.

ඇමෙරිකාව, බ්‍රිතාන්‍යය ප්‍රමුඛ  බටහිර සන්ධානය ඉරාකයට පහරදී ඒ රජය විනාශ කරන ලදී ,  දැන් තිබෙන්නේ දුබල රජයකි .  ලිබියාවටද  ලෙසම සිදු වුනි .  අවසානයේ මේ දීර්ඝ කාලින සැලසුමට අනුව පරාජය වූයේ සිරියාවේ අසාද් ය. සිරියාව  බිඳ වැටුනු පසු  බොහෝ අය සිතු හෝ,  බොරු ලිවූ පරිදි  පරිදි රුසියාවට  අලාබයක් සිදු වූයේ නැත . තවමත් ටාටුස් වරාය හා ගුවන් හා පාබල හමුදා කඳවුරක් රුසියාව සතුව පවතී.  ඒව නැතිවී නැත.  නව සිරියන් ජනාධිපති අමෙරිකාවේ ආශීර්වාදය ඇතුව රුසියන් ජනාධිපති හමුවන්නට නොබෝදා ගියේය.  
වත්මන් ඊශ්‍රායලයේ තුනෙන් එකකට වඩා ජනතාවක් රුසියාවෙන් එහි සංක්‍රමණය වූ සෝවියට් යුදෙව්වන්ය .  ඔවුන් බොහෝ විට රුසියන් බස වහරති. සත්‍යය ඔබ සිතනවාට වඩා වෙනස්ය .     
 
මේ අනුව ඉරානය  සම්පුර්ණයෙන්  යටත් කර ගන්නට අමෙරිකවට  හෝ ඊශ්‍රායලය ට අවශ්‍ය නොවන බව ඔබට පෙනෙනු ඇත .  ඒ වෙනුවට ඊශ්‍රායල- ඇමෙරිකානු අධිරාජ්‍යය ට යටත් වීමට සිදුවනු ඇත .  ඇමෙරිකානු බලය මැද පෙරදිග ක්‍රියාත්මක වීම ඊශ්‍රායල අධිරාජ්‍යයයෙන් සිදුවනු ඇත .  ට්‍රම්ප් පිස්සෙකු ලෙස කටයුතු කරන්නේ යයි බොහෝ අය පවසති . නෙතන්යාහු බල උන්මාදයෙන් පෙලෙන අයෙකු යයි බොහෝ අය පවසති .  
වර්ෂ 2000 දී පමණ ට්‍රම්ප් ජනධති වන බවට 'අනාවැකියක් '  සිම්ප්සන්  නමැති විහිළු රුපවාහිනී සීරිස් එකේ පෙන්වන ලදී .ජනතාවට දෙන  මේ මානසික පණිවිඩ ඉබේ හැදුනු ඒවාද ? (මගේ කලාව මගින් අනාගතය ප්‍රකාශ කිරීම: සිනමාව ඇසුරින්' ලිපිය බලන්න ). ට්‍රම්ප් ගේ හැසිරීම හා නෙතන්යාහු හැසිරීම පෙන්වන්නේ දීර්ඝ සැලසුමක ක්‍රියාකාරී නියෝජිතයන් දෙදෙනෙකුගේ ස්වභාවයයි .  

එනිසා ප්‍රබල ඉරාන ප්‍රතිවිරෝධය හමුව උවද ඇමෙරිකන් ඊශ්‍රායල හවුල කිසියම් ජයග්‍රහණයක් දැනටමත්  ලබා ඇත. නමුත් මේ සම්පුර්ණ ජයග්‍රහණයකට හරස් වන්නේ රුසියානු යුක්‍රේන යුද්ධයේ නේටෝ කරන උදව් මෙන් ඉරාන යුද්ධයේදී චීනය සහ  රුසියාව  ඉරානයට නොයෙකුත් අන්දමේ උපකාර කරණ හෙයිනි. මේ බොහෝ උපකාර බුද්ධි තොරතුරු  හුවමාරු කර ගැනීමක් පමණක් වුවද ඉදිරියේදී එය වෙනස් විය හැකිය. 

රුසියාව සහ තවත් රටවල් කිහිපයක් බ්‍රික්ස් සංවිධානය පිහිටුවා ගැනීමට එක හේතුවක් නම් පෙට්‍රො ඩොලරයේ ආධිපත්‍යය සීමා කිරීමයි .  හොමුස් සමුද්‍ර සන්දිය හරහා යන නෞකා වලට  යුවාන් වලින්  ගෙවන්නට යයි ඉරානය පවසන විට ඒ වෙන්නේ කුමක්ද  යන්න වැටහිය යුතුය .  මෑතකදී ශ්‍රී ලංකාවේ  රුසියානු තානාපති යුවාන් වලින් රුසියනු තෙල් වලින්  ගෙවන්න යයි  ශ්‍රී ලංකාවට පවසා ඇත.

සිනොපෙක්  සමාගම හරහා බ්‍රෙන්ට් ඔයිල් හෙවත් දැවි තෙල් පිරිපහදුවක්   ශ්‍රී  ලංකාවේ  ස්ථාපිත කිරීමට යෝජනාවක් පැමිණියත් එයට  ඉන්දියාව විරුද්ධය .  ඒ ආරක්ෂක හේතුන් මත යයි කියමිනි. එසේම  ලංකාවේ වරායවල්  වෙනත් රටක යුධ නෞකා වලට ඉඩ දීම ඉන්දියා ව තර්ජනයක් ලෙස සලකයි. ආයුධ රහිත ප්‍රදර්ශනයකට ආ යුධ නැවකට, අන්තර්ජාතික සාගර නීතියට එරෙහිව ටෝපිඩෝවකින් පහර දීම අනතුරු හැඟවීමකි.        

රුසියාවේ පුටීන් තමන්ගේ රටට ආසන්න රටවල් තමන්ට තර්ජනයක් ලෙස සලකා ආක්‍රමණය කිරීම  බලය පෙන්වීමකි.  ට්‍රම්ප් දකුණු ඇමෙරිකාවේ වෙනිසියුවෙලා හා කියුබා  යන රටවල් වලට තර්ජනය කරන්නේද ඒ අනුවමය. එසේම ඔවුන් විසින්   ඉරානයට පහර දීම අන්තර් ජාතික නීතියට වලංගු නැත.  මේ අනුව චීනය තම රට අසල ඇති තායිවානය ආරක්ෂාවට තර්ජනයක් යයි සලකා  පහර දුන්නොත් කුමක් වේද ?  අපට චීනය විවෙච්නය කල  හැකිද ?  ඉන්දියාව 1987දී මෙන් නැවත එසේ කළහොත් එක්සත් ජාතීන්ගේ සංවිධානයට ට කළහැකි යමක් තිබේද?  පිළිතුරැ නැත  යන්නය.

නේටෝ රටවල් ඇමෙරිකානු -ඊශ්‍රායල හවුලට සහය දෙන්නෙන් නැත .  එසේම ට්‍රම්ප් ග්‍රීන්ලන්තය ආක්‍රමණය කළහොත් නේටෝ සංවිධානය සම්පුර්ණයෙන් බිඳ වැටෙනු  ඇත .  එවැනි අවස්ථාවක  බෝල්ටික් රටවල් ( එස්ටෝනියා ,  ලිතුවේනියා ,  ලැටිවියා )  හා මොල්දෝවා වැනි රටවල් රුසියානු ග්‍රහණයට නතු වීම වැළැක්විය නොහැකිය . 
මුළු දකුණු අමෙරිකාවම  ඇමෙරිකාවේ  ග්‍රහණයට වැළැක්වීම ද නතර  කල නොහැකිය . 
 
  නතර කල හැකි එක ක්‍රමයක් තිබේ ,  ඒ තුන්වන ලෝක යුද්ධයකට යාමය.    ඉන් බලවත් රටවල් දෙක තුනක් විනාශ වී යාමෙන් සමහර  විට සාමය එළඹිය හැකිය . නමුත් එය ඉතා දරුණු තත්වයකි . 

තවත් ප්‍රශ්නයක් තබේ .  ඊයේ  ඉරානය ඊශ්‍රායලයේ න්‍යෂ්ටික බලාගාරයකට ආසන්න තැනකට මිසයිල ප්‍රහාර එල්ල කළේය .  දෙසීයක් පමණ තුවාල  වූ බවද සඳහන්ය. එවැනි න්‍යෂ්ටික බලාගාරයකට ප්‍රහාරයක් එල්ල  වුවහොත්   ඊශ්‍රායලය වැනි ජාත්‍යන්තර නිතිය තඹ  සතේකට නොසකලන චන්ඩි රටක් න්‍යෂ්ටික අවි වලින්  ඉරානයට පහර දුන්නොත් ඇතිවන්නේ න්‍යෂ්ටික  යුද්ධයකි .  මැද පෙරදිග සම්පුර්ණයෙන්ම විනාශ වී ලෝකය දරුණු  අගාධයකට ඇද වැටෙනු ඇත .  අපට ඇති බිහිසුනම තර්ජනය එයයි .  මේ විනාශකාරී සැලසුම පරාජය  කල යුත්තේ එබැවිනි . 

පින්තුරය නිමවා ඇත්තේ ගුගල් ජෙමිනි වලින් මා ඇසූ ප්‍රශ්නයකට පිළිතුරක් ලෙසය  .  ලෝක යුද්ධයකින් අධිරාජ්‍ය පහක්  බිහි වුවහොත් ලෝක සිතියම් පෙන්වන්න කියා ඉල්ලීමක් කළෙමි.  

අජිත් ධර්මකීර්ති 22/03./2026

 
   
      
   

No comments:

Post a Comment

සියලු හිමිකම් අජිත් ධර්මකීර්ති (Ajith Dharmakeerthi) සතුය. කොළඹ ගමයා බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ අජිත් ධර්මකීර්ති යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ.
මෙහි පලවන ලිපි සහ දේශපාලන අදහස් මගේ පෞද්ගලික අදහස් පමණි.
ඔබේ ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. නමුත් වෙනත් කෙනෙකුට සාධාරණ හේතුවක් නැතුව පහර ගසන අශිලාචාර අන්දමේ ප්‍රතිචාර පමණක් පල නොකෙරේ. බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ස්තූතියි .