Wednesday 16 August 2017

හැම හොඳ දෙයකම අවසානය එළඹෙන දවසක් ද ඇත

"All good things must come to an end " හෙවත් "හැම හොඳ දෙයකම අවසානය එළඹෙන දවසකුත් එනවා" කියල කතාවක් තියෙනවනේ. මටත්  එහෙම දවසක් ඇවිත්.

 මේ තමයි නෙළුම් යාය 2014 ප්‍රථම බ්ලොග් සම්මාන උළෙල ගැන කියල දාපු ලිපිය. එහිදී කළ හැඳින්වීමේ කතාව තමා මෙතන තියෙන්නේ. වසර 2014 ලියූ බ්ලොග් වලට  සම්මාන දෙන බ්ලොග් සම්මාන උළෙල පැවැත්වුනේ 2015 මාර්තු වල . හැබැයි  එතකොට ලංකාවේ අලුත් ආණ්ඩුවක් පත්වෙලා.  අලුත් මාධ්‍ය ඇමති කෙනෙක් ඇවිල්ල.
පළමු උළෙලේ ගීතයක් ගයමින් -මනෝජ්, දිලිනි 

අපි තුන්දෙනෙක් කතා වුනාට දෙදෙනයි වැඩේ කරන්න ඉතුරු වුනේ. එක මහත්මයෙක් දැන් වෙන්වෙලා විරුද්ධ පාර්ශවයක හිටියත් අවවාද අනුසාශන, බ්ලොග් තේරීම් වලට එහෙම උදව් දුන්න ඒ දිනවල.   සමරු සඟරාවේ හැඳින්වීමේ ලිපියට මාතලන් ඇතුළු කිහිප දෙනක් දාපු ප්‍රතිචාර තමා මේ:


පොඩි පොඩි අඩු පාඩු තිබුනට, මෙතක් තිබූ කිසිම උළෙලකින් නොලැබුන තරමේ ප්‍රතිචාරයක් මේ මඟින් ලැබුනා.. වැඩේ අල කරන්න දඟලපු පිරිස අද හොල්මන් වෙලා ඉන්නේ. උන් බයිලා ගැහුවට අද වෙනකන් බ්ලොග් වලට කරපු මෙළෝ දෙයක් නෑ. මීළඟ එක මීට වඩා උත්කර්ෂවත් ලෙස පැවැත්වීමට සියළු ධෛර්යය ශක්තිය ලැබේවා...!!!

බන්ධුල නානායක්කාරවසම් වගේ සාම්ප්‍රදායික පොරකට, මාතලන් කියන නම මතක තිබුන එකත් ළොකු දෙයක්. අනික පොර බ්ලොග් වලට හොඳ රැකොමන්ඩේසොන් එකක් දුන්නා. පොර පුදුම උනා මේකේ උන්ගේ ටැලන්ට් ගැන. විශේෂයෙන් බ්ලොග් කවි ගැන. මම දැක්කා සම හරක් කියලා තිබුනා සයිබර් එකේ තියෙන්නේ කවි නෙමෙයි වෙන මොනවද කියලා. එහෙම උන්ගේ කනට ගහපු එකයි බන්ධුල කළේ. එහෙම දෙයක් මීට කලින් කවදාවත් වෙලා නෑ.
මේ කල්‍යාණ මිත්‍රගේ ප්‍රතිචාරය;
අජිත් අයියා.. මට හිතෙන විදියටනම් මේක ආරම්භයක් විදියට පට්ට සාර්ථකයි.. ඔක්කොම අඳුරට බැන බැන හිටියට එකෙකුටවත් බැරි උනා මෙච්චරකල් එක පහනක්වත් පත්තු කරන්න. ඔයා ලංකාවෙත් නොයිද මේ කරපු හරිය හොඳටම ඇති.. වැඩේ කරගෙන යද්දි වෙච්චි සමහර දේවල් ඔයාට කන්ට්‍රෝල් කරන්න බෑ.

මේ බස්සිගේ ප්‍රතිචාරය:
මම වගේ බ්ලොග් ලියන්න අරන් අවුරුදු දෙකක්වත් නැති කෙනෙක්ටනම් ඒ උත්සවයේ උත්කර්ෂය ඉහටත් උඩින්. ඇත්තටම වැඩේ හොඳටම කෙරුනා. අනික තමයි දේශපාලනය ගෑවිලා තිබුනා කියකියා දොස් කියන අයට කියන්න ඕනෙ, ලංකාවේ කිසිම දෙයක් දේශපාලනයෙන් ස්වායත්ත වෙන්නේ නැහැ. ඒත් පවත්නා රජයන්වල වැරදි අඩුපාඩු පෙන්නලා දෙන ලංකා නිවුස් වෙබ් එකෙන් කරපු උත්සවයකට මෙතරම් අනුග්‍රහයක් ලැබීමම මොනතරම් වටිනවද?
සමා වෙන්න අනිත් අයගේ අදහස්  දැම්මේ නැහැ. මේ තුන තෝරා ගත්තේ බ්ලොග් ලෝකයේ ප්‍රබලයන්ගේ කතා ගැන කියන්න.
බදුල්ලේ පොත් බෙදන්න ගිය සුමිත් කලණ සිරි 

ඉතින් ඊට  පස්සේ මම කාලයක් අයින් වෙලා හිටිය කිසියම් ප්‍රශ්න වගයක් මතු වුනු නිසා. අපේ අදහස වුනේ  බ්ලොග් සංසදයක් පිහිටුවන්න. ඉන් පස්සේ බ්ලොග් කරුවන් අතරින්ම කට්ටිය තෝරලා ඔවුන් සංවිධායකයන කරගෙන දෙවෙනි සම්මාන උළෙල පවත් වන්න. බ්ලොග් සංසදය පිහිටවීමේ වැඩ කටයුතු ඉතා හෙමින් තමා සිද්ද වුනේ.
සම්මාන ලැබූ අයගේ බ්ලොග් ලේඛන සඳහා බ්ලොග්පවර් කියල මමත් සින්ඩියක් හැදුව. මාතලන්  තමා අපි පාවිච්චි කළේ. තව කිහිපයක් අළුත් සින්ඩිත් බිහි වුණා. ඇත්තටම බ්ලොග් කියවීම හොඳ විනෝදාංශයක්. ඒ වගේම නොදන්නා දේ දැන ගන්නත් හොඳ මාර්ගයක්. එසේම  පිස්සුවෙන් වගේ බ්ලොග් කියවපු කාලයකුත් තිබුන.  මගේ අදහස වුනේ දෙවන බ්ලොග් සම්මාන උළෙලින් පසු විශ්‍රාමයක් ගන්න බ්ලොග් වැඩ වලින්. මොකද මම කාලයක් තිස්සේ සැලසුම් කරපු පෞද්ගලික කාර්යයන් කිහිපයක් අතපසු වෙවී තිබෙන නිසා.

පළමු සම්මාන උළෙලේ දේශපාලනඥයෝ දෙදෙනෙක් සහභාගී වුණා. කරු පරණවිතාන මහතා  තමා ශාලාව ලබා දුන්නේ. මේ සහභාගී වීම තුල සම්මාන උළෙලට කිසියම් දේශපාලනික භාවයක් ලැබුණ කියල හිතෙනවා. නමුත් අපේ  අවංක අදහස වුනේ සම්මාන උළෙල රජයේ උත්සවයක් කරන්න පුලුවන්ද කියල බලන්න. එනිසා එම සහභාගිවීම සතුටින් භාර ගත්ත. කථානායක තුමා සහභාගී වෙන එක හොඳ දෙයක් කියලයි මම සැළකුවේ.  නමුත් මේ සම්මාන උළෙලවල් දෙකම පැවැත්වුනේ රජයේ අනුග්‍රයෙන් නොවෙයි. ශාලාව ලැබීම පමණයි වුනේ. ඒකත්  මාධ්‍ය අංශයට වැටෙන වැඩක් නිසා.  බ්ලොග් තේරීමට ඔය කිසිම දේශපාලනඥයෙක් අත දැම්මේ නැහැ.

 පළමු උළෙලේ සංවිධාන කටයුතු රාශියක් මමත් ලංකා නිව්ස්වෙබ් අඩවියේ ප්‍රධාන විධායක චන්දිමත්, හිමාශි කරුණාරත්නත්, උපුල් නිශාන්තත්  තමයි කළේ. හුඟක් වියදම් දරුවෙ අපේ අතින්. ඒ මේක සාර්ථක වෙනවා දකින්න ඕනේ නිසා. සමරු පොතේ ලැබුන දැන්වීම් වලට මුදල් නොලැබුනත් අපි පාඩුව විඳ ගත්තේ සම්මාන උළෙල පැවැත්වීමේ  සතුට නිසා.
දෙවන උළෙලේ නාට්‍යයෙන් 

දෙවන උළෙලේ සංවිධාන කටයුතු බොහොමයක් කළේ බ්ලොග්කරුවන් 20-30 ක් සමග සාකච්ඡා කරලා. මාස  ගණනක් තිස්සේ ඇදුනු සාකච්චාවේ ඊමේල් පණිවිඩ 200 කට වැඩිය හුවමාරු වෙලා තිබුන. නාට්‍යයකුත් සංවිධානය වුණා තරුරසී ගේ උදව්වෙන්. ඒ ගැන ලිපියක් මෙතැන් තිබෙනවා.

මේ ඒ ලිපියට ලැබුණු ප්‍රතිචාර කිහිපයක්.

පොස්ට් හතරම එක හුස්මට් කියෙව්වා.
බොහොම ප්‍රශංසා කරනවා මේ වගේ උවමනාවෙන්ම කට්ටක් හොයාගෙන ඒ කට්ට කාගෙන මේ වගේ වැඩක් සාර්ථකව කිරීම සම්බන්ධයෙන්.
මේ වගේ වැඩක තියෙන සංවිධාන කිරීමේ බර මම බොහොම හොඳින් දන්නවා.
චෝදනා කරන යට චෝදනා කර කර ඉන්න කියන්න. ඔබේ වැඩේ ඔබ ඔහොම්මම කරගෙන යන්න.අපිත් ඉන්නවා ඕනෑම වෙලාවක සපෝර්ට් එකට.
ජය වේවා!!!
නෙළුම්යාය හොඳ ස්ථාවරයකට පැමිණ තිබෙන බව මේ ලිපි පෙළෙන් පැහැදිළි වුනා. දැන් මෙය අපි ඔක්කොම බඩ බැඳගෙන ඉටු කලයුතු වගකීමක්/යුතුකමක්/සේවයක්/ බව පෙනෙනවා. මා හිතන්නේ මෙතැන් සිට බොහොමයක් බ්ලොග්කරුවන් නෙලුම්යායේ සුවඳ විඳගනු ඇති.
වැරදි කියන්න ගොඩක් අය ඉදි එත් වැඩ කරන්න ඉන්නේ ටික දෙනයි ඒ නිසා ඒවා ගන්න ගන්න එපා
සහයෝගය දුන්නු හැම කෙනෙකුටම ඉස්තුති මොකද මම බ්ලොග් වලට ආදරය කරන එකෙක් නිසා
සුන්දර මතක පෙළක් තමා අජිත් අයියා. අපි ඒ වෙලාවේ අපිට හැකි සහයෝගයක් දුන්නා. ඉදිරියටත් හැකි සෑම සහයෝගයක් ම දෙනවා. අපිට අවශ්‍ය බ්ලොග් කෙරුවාවට හොද අනාගතයක් හැදීම පමණයි.

හැබැයි මෙහෙම දෙයක් තියෙනවා අජිත් අයියා. මේ වැඩකට බින්දුවකවත් සහයක් නොදී ප්‍රශ්ණ කරන අයට උත්තර දෙන්න හෝ ඔවුන්ගේ කතාවලට අනුව වැඩ කරන්න හෝ යෑම හොද දෙයක් නෙමෙයි. ඔවුන් අවශ්‍ය අපිව සීමා කිරීමටම තමා. ඒ නිසා ඒවා පැත්තකින් තබා අපි අපේ ගමන යායුතු බවයි අපිනං විශ්වාසකරන්නේ. නැත්තං වෙන්නේ අපි ඔවුන්ව තෘප්ත කරකර සිටීමක් පමණයි. මේ දෙවැනි අවුරුද්ද. අපි දෙවැනි අවුරුද්දෙදි අතිශය සාර්ථකයි. දැන් අපි තුන්වැනි අවුරුද්දට ලෑස්ති වෙනවා. ඊළගට ඉදිරි අවුරුදු වලට ලෑස්ති වෙනවා. අඩුපාඩු හදාගන්නවා සහ හොද ක්‍රමවේදයන් ගොඩනගා ගන්නවා. එහෙම නැතුව දෙවැනි අවුරුද්දේ සම්මාන නොලැබුණ හෝ හිතේ අමාරු හැදුණ අයගේ ගැටලු වලට උත්තර බැද බැද ඉන්නවා නෙමෙයි.

අජිත්ගේ බ්ලොග් මිතුරකු මෙන්ම, පෞද්ගලික මිතුරකුද වන මම මේ පෞද්ගලිකව අජිත්ට කරන මඩ ගැසීම ගැන කනගාටුවෙමි. මට නෙලුම්යාය හෝ අන් ආයතනයකට සම්බන්ද්යක් නැති මුත්, අජිත් පෞද්ගලිකවම බ්ලොග්ස් වෙනුවෙන් කරන කැපකිරීම මම දැක ඇත්තෙමි. අජිත්ට පඩිපත හම්බවෙන ලන්ඩනයෙ ඔහුගේ සේවාස්ථානයට නම් මම වරක් ගොඩවී ඇත්තෙමි. නෙලුම් බැරිනම් හබරල යායක් දාගත්තාත් මට නම් කමක් නැත. නමුත් පෞද්ගලික මිතුරකුසේ අජිත් වෙනුවෙන් පෙනී සිටීම මගේ යුතුකමයි. එසේ පෙනී සිටින්නේ නෙලුම් හිටවන්න හදන කාලේ පටන් මා දන්නා නිසාය. Aru.

මේ කටයුත්ත පිටුපස මොන තරම් ශ්‍රමයක්, කැපකිරීමක් තියෙනවද කියල හරිම පැහැදිලියි. ලබන සැරේ වැඩේට මීට වඩා උදව්වක් දෙන්න උත්සාහ කරන්නම්. ස්තුතියි අජිත් අයියා, කළණෙ, ඉයන්, ඉවාන් ඇතුළු ඒ හැමදෙනාටම.

බ්ලොග් කියවන්න කාලය ලැබෙන්නෙ අඩුවෙන් නිසා නිර්දේශ කිරීම්වලට සාධාරණයක් ඉෂ්ට කරන්න අමාරු වේවි. ඒ වැඩේ බාරනොගත්තෙ ඒ නිසා. නමුත් මගේ ඇහැ ගැටෙන මට දැනෙන ලිපි ගැන දැනුවත් කරන්නම්.
දෙවන උළෙලින් පස්සේ බ්ලොග් තේරීමට සෑහෙන උනන්දුවක් කිහිප දෙනෙකුට   තිබුන. අප අතරින් නික්ම ගිය විචාරක මහතා මෙන්ම අටම්පහුර ප්‍රධානව තවත්  කිහිප දෙනෙක් බ්ලොග් පොස්ට් එකතු කරන්න ගත්ත වෙනම අඩවියක. ඒ තරඟ විනිශ්චය සඳහා.

දෙවන සම්මාන උළෙලට කල්‍යාණ මිතරට අමතරව ඉවාන්,  මනෝජ්, දිලිනි, ඉයන් ඇතුළු බ්ලොග්  කරුවන් රාශියක් සහයෝගය දුන්න.  අජිත් පැරකුම් සහ නාලක වෙනද වගේම සහභාගී වුණා.  ප්‍රථම වරට බ්ලොග් වලට සහ සමාජ ජාල වලට කළ සේවය සඳහා විශේෂ සම්මානයකුත් හැදුව. මුල් වරට නම් කලේ නාලක හා රසිකලොජි ව.

සම්මාන උළෙලවල් දෙක අතරතුර ප්‍රජා  සත්කාර කිහිපයක්ම කෙරුණා. බ්ලොග්කරුවන්ගෙන් මුදල් එකතු කරලා සහ නෙලුම් යාය ඉතිරි මුදල් පියවල. කඳුකරයේ  පාසල් දෙකකට පොත්පත් බෙදා දීම, වතුර ලබා දීම, රත්නපුරයේ පාසලකට විදුලිය ලබා දීම සඳහා  දායක වීම  වගේ දේ. සමහර බ්ලොග්කරුවන් තමන්ට ලැබුණු මුදල් ත්‍යාග මේ ප්‍රජ සත්කාර වැඩ වලට නැවත ප්‍රදානය කලා.

එසේම මාසිකව හොඳම බ්ලොගයට මුදල් ත්‍යාගයක් දීමටත් යෝජනා කෙරිලා ටික කාලයක් පවත්වාගෙන ගියා. එසේ කලේ නිර්මාණ සහ බ්ලොග් තවත් ජනප්‍රිය කරවන්න. එයට ලැබුණු විරෝධය නිසා පසුව ඒ වැඩ සටහන අත් හැරලා දැම්ම. 
තෙවන උළෙලේ නොබැලූ නාට්‍යය 

 තුන්වන නෙළුම්  යාය උත්සවයට මට සහභාගී වෙන්න අවශ්‍යතාවයක් තිබුනේ නැහැ. වැඩ අධික වීම නිසා. උදව් කරන්න පොරොන්දු  වෙලා හිටියේ. නමුත් කිසියම්  අසත්‍ය ප්‍රචාර සමූහයක් නිසා 2016 අග භාගය වනවිට තත්වය උණුසුම් වුණා කීවොත්  නිවැරදියි. අපි බ්ලොග්කරුවන් හා කතා කරගෙන තෙවෙනි වරත් සංවිධානය කරන්න යත්න දැරුවත්  එය සාර්ථකව ඉටු වුනේ නැහැ. මොකද යෝජනා ආවත් ඉදිරියට එන පිරිස අඩුයි. කල්‍යාණ මිත්‍රත්,  අටමත් තවත් දෙතුන් දෙනෙකුත් ඇරෙන්න වෙන සහයෝගයක් ලැබුනේ නැහැ.  එනිසාම  උළෙල සංවිධානය  කිරීමේ කටයුත්ත ලංකානිව්ස්වෙබ් අඩවිය භාර ගත්ත. එසේම  චන්දිම විතාන ආරච්චි විසින් උළෙල සංවිධානයත් ඒ සඳහාම කැපවුණු පිරිසකට භාර දී තිබුන. පවත්වන තැන ගැන මම දැන  ගත්තෙත් ටිකක් පමා වෙලා.

සම්මාන වලට නිර්දේශි වූවන් මේ ලිපියේ. අජිත් පැරකුම් ට සම්මානයක් නිර්දේශ වී තිබුනත් ඔහු එය ප්‍රතික්ෂේප කළා නෙළුම් යාය  ප්‍රවෘත්ති සාකච්ඡාවකට සහභාගී වෙලා උන්නු නිසා.  එසේම  කිසිම සම්මාන  තේරීමකට කාගේවත් දේශපාලනයක්  නම් හරස් වුනේ නැති බව පැහැදිලිව කියන්න ඕනේ. කරු පරණවිතාන මහතාට මෙවර ආරාධනා කර  තිබුනේ නැති අතර ආරාධනා කර තිබූ දේශපාලනඥයකු වන රාජිත සේනාරත්නට දැඩි විරෝධයක් බොහෝ අය මතු කරලා තිබුන. ඔහු පැති  මාරු කළ නිසා ආව පැත්තේ අයත් භීෂණ සමයට සම්බන්ධයි කියා වාමාංශික කොටසකුත් මේ විරෝධය පළ කලා. ඒ ගැන මේ ලිපියේ  වඩාත් සවිස්තරාත්මකව ලියල තියනවා.  මට ලංකාවේ දේශපාලනය තේරුණු අයුරින් තමා මේක ලියුවේ.

හැබැයි මෙහෙම ප්‍රශ්නයක්  නැගුවොත් මේ දෙගොල්ලටම තරහ යනවා. ඔය කියන දේශපාලකයා තමන් ගේ පැත්තේ ඉන්න කොට ප්‍රශ්න  තිබුනේ නැත්ද කියන කාරණයත් ඒ දේශපාලකයා  හිටි ආණ්ඩුව මගින් යුද්ධය මෙහෙයවද්දී  එයට  සහය දුන් ප්‍රධාන වාමාංශික පක්ෂයට අර කිව්ව "භිෂණය " මතක් වුනේ නැත්ද යන්නත්.  (ඒවා අහන කොට පුද්ගලික මඩ ප්‍රහාර නම් ලැබෙනවා). නමුත් මුලික වශයෙන් දේශපාලනඥයන් ගෙන්වනවද  නැත්ද කියන එක සංවිධායකයන් අත  තියෙන්නේ. බොහෝවිට එහෙම  කෙරුවම භේද ඇතිවෙනවා තමයි. ඒකට  හේතුව යුරෝපයේ හෝ බටහිර වෙනත් රටවල වගේ දේශපාලනය හා දේශපාලකයන් එතරම් ගණන් නොගන්නා ජනතාවක් ලංකාවේ නැති එක.   යුරෝපයේ ඉඳන් ලංකාවේ දෙයක් සංවිධානය කරනකොට  එන ප්‍රශ්න තමයි ඒවා. මිමි දෙකක් තියාගෙන කටයුතු  කරන්න අමාරුයි. 

මේ ඒ ලිපියට ලැබුණු  ප්‍රතිචාරයන් .
අජිත්, ඕනෑම තැනක ප්‍රශ්න තියනවා. තමන්ගේ උවමනාව සමග ඒ අනිත් දේවල් කොච්චර ගැටෙනවද, තමන්ගේ මූලික උවමනාවට ඒවායින් කොච්චර බලපෑමක් වෙනවාද යන දේවල් කල්පනා කර තමන්ට තීරණයකට එළඹිය හැකියි. යම් යම් ප්‍රශ්නකාරී දේවල් තිබ්බත්, මම නම් අජිත්, සුමිත්, අටම් ඇතුළු පිරිස කරපු මේ වැඩේ ගැන බොහොම සතුටු වන කෙනෙක්. සමහර දේවල් වල ආරම්භය මෙහෙම තමයි. ඔය කියන හැමෝගෙම විවේචන එක්ක තමයි ටිකෙන් ටික වේවා හැදෙන්නේ. නමුත් අර ආරම්භක තල්ලුව දෙන්න තමයි අමාරු. කාලයත් සමගම සම්මාන උළෙල මීට වඩා වෙනස් ස්වරූපයක් ගනීවි. නමුත් පුළුවන් කාලයක් ඔබගේ දායකත්වය ඊට ලබාදෙන්න පුළුවන් නම් හොඳයි.

මොකා මොන බයිලා ගැසුවද නෙළුම් යාය සම්මාණ උළෙල ඉදිරියටම යා යුතුය. මෙවර සම්මාණ උළෙල බොහෝ අයගේ ගර්හාවට හා කතා බහට ලක් වන්නේ එහි ඇති සාර්ථකත්වය නිසාමය.

මඩ කාගෙන මේ වෙනුවෙන් කැපවූ සියල්ලන්ටම මාතලන්ගේ ප්‍රණාමය....
නෙළුම් යාය ඉදිරියට යා යුතුයි. බ්ලොගර්ලා සම්මාන උලෙලකට මේ තරම් බය ඇයිදැයි නම් නොතේරේ. බොරු සුචරිතයක් පෙන්වමින් විරුද්ධ වෙන්නන්ට විරුද්ධ වෙන්නටත්, සහභාගී වන්නන්ට සහභාගී වන්නටත් හැක. 

සම්මාන උළෙලවල් ගැන කතා කරන කොට අමතක කරන්න බැරි බොක්කෙන්ම බැහැල  වැඩ කරපු කෙනෙක් ඉන්නවා. ඒ සුමිත් යාපා හෙවත් කල්‍යාණ මිත්‍ර. ඉන්දික , ඉයන් සහ නෙළුම් යායෙත්, තවත් බ්ලොග්කරුවන්/කාරියන්  ගේ ධන පරිත්‍යාගයෙන් කළ සමාජ සත්කාර වලදී මුලිකත්වය ගෙන වැඩ කල කෙනෙක්. දෙවන හා තෙවන සම්මාන  උළෙල දෙකේදීම නිදි මරාගෙන,  නිර්දේශිත  බ්ලොග් කියවමින්, වේදිකාවේ කියවීමට අවශ්‍ය හැඳින්වීම් ලියමින්, තමන් ගේ  පුංචි දුවා දරුවන් බලන්න යන වෙලාව කැප කරමින් ඔහු කටයුතු කලේ. ඔහුගේ කාලය මෙන්ම ගමන් වියදම් පවා වැය කරගෙනයි ඒ උදව් කළේ.  කිසිම  බ්ලොග්කරුවෙක් ඔහුට ස්තූති කළාද කියන්න දන්නේ නැහැ. මම නම් ඒ ස්තුතිය කරනවා හැමෝම වෙනුවෙන්.

එසේම ඉවාන් පවලුශා හා  අටම්පහුර අමතක කරන්නත් බැහැ. මුල් උළෙලේ ගීත ගයපු දිලිනි සහ මනෝජ් , නාට්‍ය ගෙන්වන්න  උදව් කරපු තරංගනී මෙන්ම සම්මාන  සඳහා මුදල් පරිත්‍යාග කල බ්ලොග් කරුත් අමතක කරන්න බැහැ. පළමු හා දෙවන සම්මාන උළෙලේදී ලංකානිව්ස්වෙබ් හි උපුල් නිශාන්ත, සංජිව සහ ජයම්පතිත්  සෑහෙන්න මහන්සි වුණා. උපුල් නිදි මරාගෙන කුසගින්නේ තැවී ගෙන,  අර සමහරු ලී කෑලි කියල කියන සම්මාන හදාගෙන එන්න වෙහෙසි  වුණා . ඒ මහන්සිය දැක්ක නම් එහෙම කියයිද දන්නෙත් නැහැ.  සම්මාන උළෙලවල් තුනේම සංවිධානය සඳහා මුලිකව මහන්සි වුනේ ප්‍රධාන විධායක චන්දිම විතාන ආරච්චි සහ ලංකානිව්ස්වෙබ් ආයතනය. ඔවුන්ගේ සංවිධනාත්මක සහය නැතිනම් මෙය කරන්න ලැබෙන්නේ නැහැ. ඒ සංවිධානය කිරීම උදෙසා ඔවුන් කිසියම් වියදමක් දැරූ බවත් මම දන්නවා.

තෙවන සම්මාන උළෙලේ දී එක අයෙකු ඉවත් වුනාට පස්සේ බ්ලොග් නිර්දේශ කිරීම කළේ මමයි කල්‍යාණයි. ඒ වගේම සම්මාන තුනටම කිසිදු වියදමක් අපෙන් ලබා නොගෙන නොමිලේ සහභාගී වුන දෙදෙනෙක් හිටිය. ඒ නාලක ගුණවර්ධන සහ අජිත් පැරකුම් ජයසිංහ. කවුරු මොන චෝදනා  ඉදිරිපත් කලත් ඔවුන් උත්සව තුනටම ආලෝකයක් සැපයුවා.  නාලක ගුණවර්ධන, සරෝජ පතිරණ,  චන්දිම, කල්‍යාණ මිත්‍ර තමයි විනිශ්චය මණ්ඩලයේ හිටියේ. ඔවුන්ගේ ස්වාධින තීරණ වලටත් ඒ සඳහා වැය  කල කාලයත් අමතක කරන්න බැහැ.

බ්ලොග් සම්මාන ගැන මුලින්ම දන්නා මහත්මයෙක් මෙහම   කතාවක් කිව්වා මට. "අජිය ඕක උඹ නැත්නම්  කෙරෙන්නේ නැහැ. උඹ ඔතන ඉන්න ඕනේ" කියල. මම ඒ කතාවත් සෑහෙන්න විශ්වාස කළා. හැබැයි මම හිතනවා මම නැතිව මේ සම්මාන උළෙල කරගෙන යන්න පුළුවන් කියල. අපි පුද්ගලවාදී වෙන්න ඕනේ නැහැ. බ්ලොග්කරුවන්ට ඒ සඳහා ඕන කමක් තියනවා නම් ලංකානිව්ස්වෙබ් ආයතනයට ඕනෑකම තියනවා නම් කරන්න  පුළුවන්. පදනම දාල තියෙන්නේ.

අවසන් වශයෙන් කියන්න තියෙන්නේ මේ අභියෝගය අපිම නිර්මාණය කරගෙන අපිම සාර්ථකව ඉදිරිපත් කළා කියල. ප්‍රශ්න සහ වරදවා වටහා ගැනීම් තිබ්බ තමයි. ඒත්  මම හොඳින් නිරීක්ෂණය කළ දෙයක් තමයි බොහොමයක් සම්මාන ලබා ගත්ත සහ උත්සවයට සහභාගී වුන බ්ලොග්කරුවන් එය ප්‍රීතියෙන් සැමරූ බව. බොහෝ අය ආඩම්බරයෙන්  එම සම්මාන ලබා ගත් බව හා තම තමන් ගේ බ්ලොග් වල එය ප්‍රදර්ශනය කළ බව.  බ්ලොග් දැන් ආපහු ජනප්‍රියත්වයෙන් හීන වීගෙන යනවනම් ඒ කියන්නේ නිර්මාණ හිඟ වීමක් හෝ සමහර කාල වල බ්ලොග්කරුවන් ගේ ඉවත්ව යාමක් වෙන්න පුළුවන්. එසේම එහෙම නැති වී යනවනම් ඒකට කරන්න දේකුත් නැහැ. ඒක තමයි ලෝකයේ නෙමේ මේ විශ්වයේත් ස්වභාවය. අලුත් දේවල් එනවා පරණ දේවල් නැති වෙලා යනවා. සනාතන  ධර්මයක්. බ්ලොග් වලට වුනත් එහෙම වෙන්න පුළුවන්.

ඉතින් අවසන් වශයෙන් කියන්න තියෙන්නේ මම ඉතා සතුටක් ලැබුවා නෙළුම් යාය තුලින් කල වැඩ කොටස සහ බ්ලොග් සම්මාන උළෙල ගැන. නමුත් තව දුරටත් කාලය ඒ සඳහා ඉඩ ලබා දෙන්නේ නැහැ.

ඉතින් ආයුබෝවන් නෙළුම් යාය ගරු.

ප.ලි. - ලියන්න අමතක වුනු දෙයක්. සමාවෙන්න. මට ආදරණිය යහළුවෝ  සැහෙන ප්‍රමාණයක් හඳුනාගන්න ලැබුණා බ්ලොග් ලිවිල්ලෙන් මෙන්ම නෙළුම් යාය සම්මාන උළෙල නිසා.
යොමු:

ප්‍රථම සම්මාන උළෙල 

ප්‍රථම උළෙලේ හැඳින්වීමේ කථාව 

Thursday 10 August 2017

මඩකරියන් ගේ ගොහොරු වලේ රැඳෙමුද වැඩක් බලා ගනිමුද

මඩ වලට ප්‍රතිචාර දක්වන්නේ වත් මොනවත් කියන්න යන්නේවත් නැහැ කියල හිතා ගත්තේ මාස කිහිපයකට කර. මඩකරියන් තමනුත්  මඩ නාගෙන අනුන්ට මඩ ගහන්නේ ඇයි  කියන එකට විශාරද යහළුවෝ වගේම,  ඒ පැත්ත හෝ මේ  පැත්ත දෙකටම හිතවත් අය නොයෙකුත්  හේතු කියා පෑව. අන්තිමට මේක ලියන්න හිතුවේ අර පැත්තක හිටිය  ඉයන් ටත් හිත රිදිලා කියල මේ ලිපියෙන් දැක්කම.

මඩ ප්‍රහාර වලට එක හේතුවක් තමා   මම ලංකානිව්ස්වෙබ් එක්ක පටන් ගත්ත නෙලුම් යාය යුඇන්පී ආණ්ඩුවක් දිනවන්න කරපු දෙයක් කියන චෝදනාව.  ඒ වගේ දේවල් විවේචනය කලාට ප්‍රශ්නයක් නැහැ. ඒවා දේශපාලිනිකයි නේ. ඒ චෝදනා වලට උත්තර දීල තියෙනවා. නෙළුම් යාය පටන්ගන්න කොට තිබුනේ රාජපක්ෂ ආණ්ඩුවක් බව කොපමන කීවත් පිලි ගන්නෙත් නැති නිසා ඒවාට උත්තර දීමත් නිෂ්ඵලයි.

නෙලුම් යායේ උත්සව වල බජට් ඉල්ලන එකටත් කිහිප තැනකම පිළිතුරු දීල තියනවා. උත්සව සංවිධානය කරපු ලංකානිව්ස්වෙබ් (මුල් අවුරුදු දෙක) හා නෙළුම් යාය පදනම (තෙවැනි උත්සවය) කියන්නේ කාටවත් බජට් දෙන්න ඒගොල්ලෝ බැඳිලා නැහැ කියල.  මම කලේ බ්ලොග් සම්මාන දීමේ යෝජනාව ගෙනාපු එක සහ ඒ සම්බන්ධයෙන් වෙහෙසුනු එක. මම අදත් හිතනවා සම්මාන දීම සාර්ථකයි කියල.

පළමුවැනි  උත්සවයේ අපි  දෙතුන් දෙනෙක් අතින් වියදම් කලා කියල මම ලියල තියනවා. ඕන කෙනෙකුට මාව පෞද්ගලිකව හමුවෙලා ඒ විස්තර ගන්න පුළුවන්. හංගන්න දෙයක් නැහැ. දෙවැන්නේදී සමරු පොත ට ලැබුණු දැන්වීම් නිසා යන්තම් ගොඩ දාගත්ත බව තමා ලංකා නිව්ස්වෙබ් කට්ටිය කිව්වේ.  ඒකත් හුඟක් නෙමේ කියල එයාලමයි කිව්වේ. මම අහන්න ගියේ නැහැ මොකද ඊට  පස්සේ කරපු ප්‍රජා සත්කාරක වැඩ වලටත් ඔවුන් මුදල් වියදම් කරපු නිසා.

තෙවැන්නේ සංවිධායක කටයුතු වලට මුල් දෙක තරම්මවත් මම සම්බන්ධ වුනේ නැහැ. ඒකට හේතුව සම්මාන උළෙල දෙකකට වඩා කරන්න මම බල පොරොත්තු වෙන්නේ නැහැ කියල කලින්ම දන්වල තිබ්බ නිසා. මගෙත් පෞද්ගලික වැඩ තිබෙන නිසා. ඉතින් ඒක සෑහෙන ජයට සංවිධානය කරල තිබ්බ බව හැමෝම කිව්වා වගේම මමත් දැක්කා. ඒකෙ  වියදම් පියවා ගත්ත හැටි අහන්න වෙන්නෙත් ලංකානිව්ස්වෙබ් එකේ මහත්ම මහත්මීන් ගෙන්ම තමයි.

අර දෙක හා තුන උළෙල දෙකේම  සම්මාන මුදල් ප්‍රදානය කරපු බ්ලොග්කරුවට ඒ ගැන අහන්න අයිතියක් තියනවා. එසේම ඒ මහත්මයා  හෝ මහත්මිය ලංකානිව්ස්වෙබ්   කට්ටියව අඳුරන නිසා පෞද්ගලිකව උනත් එයාට අහන්න පුළුවන්.

එයාටවත් නැති උනන්දුව තියෙන්නේ  මේ කියන බ්ලොග්කරුට සහ ඔහුගේ ඇනෝ හමුදාවට.

මම ඕකට උත්තර දෙන්න නොගියේ යුඇන්පී ඇමතිලා දෙන්නෙක්ම සංවිධායකවරු ගෙන්නපු නිසා. මේ බ්ලොග්කරුවා  යුඇන්පී රජයට විරුද්ධයි කියල මම දන්නවා. ඒ විරුද්ධ කම් මත කරන විවේචන දේශපාලනික ස්වරුපයක් ගන්න නිසාත් සංවිධායකයන් ඇමැතින් ගෙන්වීම විවේචනය කරන්නට ඔහුට  සාධාරණ අයිතියක් තිබේ යයි සිතූ නිසාත් තමා එහෙම කලේ.

නමුත් ප්‍රශ්නය මගේ නමට මෙතරම් විරෝධයක් එල්ල කිරීම  සහ මුදල් ගත්  බවට හැම තැනම කියා පෑම. චෝදනා කරන අය ගේ අතේ තමා  චෝදනා ඔප්පු කිරීමේ වගකීමත් තියෙන්නේ. මම කොතරම් ප්‍රතික්ෂේප කළත් එම චෝදනාව නැවත නැවත  එල්ල කරන්නේ "අපේ එවුන් හොරකම් කලා. ඒ වගේම අනිත් එවුනුත් කාගෙන් හරි හොරකම් කරන්න ඇති " යන මතයෙන් වෙන්න ඇති. මෙතැන මම හොරකම් කරන්නේ හෝ කළේ කාගෙන්ද කියන ප්‍රශ්නය තමා අහන්න වෙන්නේ?  කවුරු හරි එහෙම  ඔය ඇනෝ හමුදාවට හෝ එම බ්ලොග්කරුට කියා තිබෙනවානම් එම තැනැත්තා මුණ ගැසෙන්න ඕන වෙලාවක කැමතියි.  මොකද මගේ නම් ගාවල කවුරු හරි  ගානක් කඩා ගත්තද කවුද  දන්නේ.


මේ අතරවාරයේ තමා ඔය බ්ලොග්කරුට විරුද්ධව මඩ ගහපු නොයෙකුත්  ඊමේල්  එන්න ගත්තේ. මම කිසිවක් පළ කලේ නැහැ. පහත  පින්තුරය  දැන් පල කරන්නේ වෙනත් ප්‍රසිද්ධ වෙබ් අඩවියක පළ කළ නිසා සහ ඒ බව ඔප්පු කරන්න.   නැතුව මේ තැනැත්තට පහර ගහන්න නෙවෙයි. එහෙම අවශ්‍යතාවයක් මට නැහැ.

මෙය මට ලැබුනේ ජූනි මාසයේ 

 මම මේ ගැන තව බ්ලොග්කරුවන් දෙතුන් දෙනෙකුගෙනුත් විමසුවා. ඒ අය දන්නවා ඒ ගැන. අපේ සාමූහික අදහස වුනේ මේ මඩ ප්‍රහාරයට කිසිම ප්‍රසිද්ධියක් නොදෙන්න. මේ බ්ලොග්කරු අපට අපහාස කළත් අප එවැනි තත්වයට පත්විය යුතු නැති බවයි අපි හිතුවේ. අඩුම ගණනේ ඇනෝ කොමෙන්ට් එකක් වශයෙන්වත් අපි මේවා පාවිච්චි කළේ නැහැ. මම පෞද්ගලිකව එවැනි දේට කොහොමත්  විරුද්ධයි.
එවන ලද පින්තුරය 

එනිසා  මම  හොඳින්ම දන්නවා  ඉයන් එවැන්නක් නොකළ බව. මා මේ ස්ක්‍රීන් ෂොට් එක පල කරන්නේ මට මේ විස්තර කියා එව්වේ ජුනි මාසයේ බවට පෙන්වන්න . මෙම බ්ලොග්කරුගේ තවත් පෞද්ගලික ක්‍රියා ඇතුලත් වෙනත් විස්තර සමග මගේ බ්ලොගයේ පළ කර පිළිතුරු දෙන්න  කීවත් මම එසේ කලේ නැහැ. ඒ වගේ පහත් තැනකට වැටීමට ඇති අකමැත්ත නිසා.

මම නැවතත් සියලු බ්ලොග්කරුවනට  කියන්නේ මේ බ්ලොග්කරු ගේ  හෝ වෙනත් කිසිම බ්ලොග්කරුවෙකුගේ අඩවියක මම ඇනෝ ප්‍රතිචාර දමා නැහැ. එසේම ඔහු විසින් පවසන මවිසින් මුදල් වංචා කළ බවට කරන චෝදනා  සියල්ල සිතින් මවා ගත් අමූලික බොරු. ඒවා බොහොමයක් විසුළු සහගතයි.   ඔහුටත් එසේ කියන අනිත් අයටත්  හැකිනම් එම චෝදනා ඔප්පු කරන ලෙස මා පවසා ඇති නිසා මම ඒ ගැන තව දුරටත් කරදර වෙන්නෙත් නැහැ.

Thursday 27 July 2017

සෝවියට් ජිවිතයෙන් බිඳක් 2

සෝවියට් ජිවිතයෙන් බිඳක් 1
අපේ කාමරය 
සෝවියට් දේශයට ඒමට කලින් හමුවුණු මිතුරෙකු වූයේ විතානගේ ය. ඔහු ගැන මේ ලිපියේ ලියා ඇත. ඔහු තරම් දේශපාලනය නොකළ මිතුරෙකු වුයේ කිත්සිරි පෙරේරා හෙවත් කිතාය. කිතාත්, විතානත් තවත් නම අමතක යහළුවෙකුත්, මමත්  සෝවියට් සංස්කෘතික මන්දිරය හා මහජන පුස්තකාලය පැත්තේ ගැවසුනෙමු. ඔහු මට වැඩිය වසරක් කලින් ආනන්දයේ අපොස උසස් පෙළ  කර තිබුණි. ඔහුටද මට මෙන්ම කොළඹ විශ්ව විද්‍යාලයේ භෞතික  විද්‍යා පීඨයට (physical science) ඇතුළු වීමට ලිපිය ලැබී තිබුණි. නමුත් ඔහුගේ සිහිනය වූයේ ගුවන් යානා කාර්මික ඉංජිනේරුවකු වීමටය. කිතා ටද  සෝවියට් දේශයට යාමට ලැබීම මට ඉමහත් ප්‍රීතියට කරුණක්  විය. ඔහු උගත්තේ උක්රයිනයේ  කීව් නගරයේය.

පසුගියදා ඔහු සමග කතා බහ කෙළෙමි. ඔහු ශ්‍රී ලංකාවේ ගුවන් හමුදාවට බැඳී එයාක්‍රෆ්ට් ඉංජිනේරුවකු ලෙස වසර කිහිපයක් සේවය කර තිබුණි.  ඉන්පසු මැලේසියාව ආදී රටවල සේවය කර දැන් උක්රයිනයේ කීව් මධ්‍යස්ථානය  කර ගෙන මැද පෙරදිග රටවලට හෙලිකොප්ටර පිළිබඳ සේවා සපයන ආයතනයක උපදේශකයෙකි. 
ලුද්මිලා සහ න්ගුඑන් 
ඉහත මුල්  පින්තුරයේ ඇත්තේ  මොස්කව් විදුලිබල හා බලශක්ති විශ්ව විද්‍යාලයේ   පළමු වසරේ සිට මාත් අජිත්  පියරත්නත් සිටි කාමරයයි. මගේ පළමු වසර කාණ්ඩයේ කිහිප දෙනෙක් ඡායාරූපයේ සිටී. මගේ දකුණු  පලස්තීනයේ අලි ඉසා (ඔහුට මා නම දැමුවේ අලි ඉස්සා කියාය), ඉරානයේ තොර්කමන්  පූරි ඵරීඩා,   සුඩානයේ ඩෆ් එල්ලා එල්නුර්  සිටී. මගේ දකුණු පසින් සිටින්නේ කාම්බෝජයේ එන්ග් වෙන් න්ගුඑන්, පේරු හි මරියා ඉසබෙල් රමිරෙස් හා සෝවියට් රුසියන් ශිෂ්‍යාවන්  දෙදෙනෙකු වන ඇලෙක්සන්ද්‍රා (කෙටියෙන් සාෂා) සහ ලුද්මිලා ය. (කෙටියෙන් ලූදා).

අපි බොහෝවිට පන්ති අවසානයේදී මගේ කාමරයේ හෝ ඉසා ගේ කාමරයේ  රැස්  වී  කේක් වැනි කෑමට යමක්  මිලදී ගෙන තේ හෝ වයින් බිබී  දොඩමළු වුනෙමු. ලුදා බොහෝ විට ගිටාරය රැගෙන රුසියානු ගීත ගායනා කලාය. මට ගිටාරය වැයීමට තරමක් පුහුණු කළේද ඇයයි.
ලූදා හා ගිටාරය 


වෙනත් දවසක ස්වේතා, ඵරීඩා හා සාෂා 
මේ මයකොව්ස්කයා උමං දුම්රිය පළේදී ගත් ඡායාරූපයකි 1988 
අපේ පන්ති කණ්ඩායමේ කියුබන්වරු  රොත්තක් සිටි අතර ඔවුන් ගෙන් සමහරුන්  පමණක් අපත් සමග ලඟින් ඇයි හොඳයි කම් පැවැත්වූහ. අපේ මුළු කණ්ඩායමම   උගත්තේ තාප විදුලි බලාගාර ඉංජිනේරුවන් වීමටය.  මා  දන්නා පරිදි ඵරීඩා කොමෙයිනි  ගේ ඉරාන රජය යටතේ ජිවත් වීමට අකමැති වූවාය . පළමු වෛද්‍ය විද්‍යාලයේ  උගත් ඇගේ පෙම්වතා සමග ඇය ස්විට්සර්ලන්තය බලා ගියාය. සාෂා පෞද්ගලික ආයතනයක සේවය කරයි. ස්වේතා ගැන ආරංචියක් නැත.

මේ පින්තුර ටික බේරා ගත්තේ බොහෝ අමාරුවෙනි.  මා නැවත  ශ්‍රී ලංකාවට නොඑන බව දැනගත් පසු මගේ දෙමාපියන් සේප්පුවකට දමා වසා තිබී සොයුරා ගේ නිවසේදී සොයා ගන්නා විට ඒවා හොඳ  තත්වයේ තිබුනේ නැත. පින්තූර ගත්තේ මගේ සෙනිත් කැමරා වෙනි.

තවත් දවසක 1987
ඉහත පින්තූරයේ උඩම සිටින්නේ රුසියානු ශිෂ්‍යයෙකු වන මැක්සිම් හා සුඩාන  ජාතික ඩෆඅල්ලාය.  මේ දෙවැනි පින්තුරයේ මා සමග සිටින්නේ කෙටි කළක් මා  සමග සමීපත්වයක් තිබුණු පේරු ශිෂ්‍යාවක වන ඉසබෙල් රමිරස් ය. මට පිටු පසින් අපේ පන්තියේ ස්තාරස්තා (වැඩි මහලු යන අරුතින්) නමින් හැඳින්වුණු ශිෂ්‍යාවයි. ඇය විදුලි ඉංජිනේරුවරියක ලෙස තාප විදුලි බලාගාරයක රැකියාව කරන්නීය. කාමරයේ පැත්තක ඇත්තේ රුසියානු ශිතකරණයකි.
මැක්සිම් දැන් මොස්කව් ඉකෙයා  (IKEA) වෙළඳ සංකීර්ණයේ පරිගණක කළමණාකරු ලෙස සේවය කරයි.
මට ඔහු ගිය අගෝස්තුවේ මොස්කව් හිදී මුණ ගැසුණි.
දකුණු කෙලවරේ මැක්සිම් 2016
ඔහු අප නැවතී සිටි ලැගුම් හලට පැමිණියේය. පින්තුරයේ සිටින අනිත් දෙදෙනා සමන් ජයමහ සහ සම්පත් නාගසිංහ යි. සෝවියට් දේශයේ අධ්‍යාපනයෙන් පසු එහිම නතර වී ව්‍යාපාර ඇරඹු  ඔවුන් දැන්  සාර්ථක ව්‍යාපාරිකයන් දෙදෙනෙකි.

පොඩි පාටියක් ලූදා , ස්වේතා , නතාෂා , ඩෆ් සහ ඉන්ගා  1987
එන්ග් මගේ හොඳම මිතුරෙකු වූ අතර තවමත් අපි දෙදෙනා ෆේස්බුක් හරහා  එකිනෙකා ගේ විස්තර දැන  ගන්නෙමු. එන්ග් ගේ දෙමාපියන් පොල්පොට් ගේ කාලයේ සිර කඳවුරක  දරුණු වධ වින්දහ.
රුසියාවේ සිටියදී එන්ග් හිටි ගමන් නින්දෙන් බයවී ඇහැරෙයි. ඔහු නිතරම විදුලි පන්දමක් අතේ තබාගෙන නිදා ගනී. ඒ පොල්පොට් කාලයේ භීෂණයට මුහුණු දී ලැබුණු අත්දැකීම් නිසා බව ඔහු මට පවසා තිබේ.

ලූදාත්, එන්ග් හා මමත් ඉතා හොඳ යහළුවන් වුනෙමු. ලුදා ගේ දෙමාපියන් ගුරුවරුන් වූ අතර ඔවුනට මොස්කව් වලින් පිට දාචා නමින් හැඳින්වෙන,  ගිම්හාන යේ ඔවුන් නිතර නැවතී සිටින කාමර කිහිපයකින් යුතු ගෘහයක්  විය. අපි එහි ගිම්හාන  සමයේ නිතර ගියෙමු.  දැන් පික්නික් ලෙස හැඳින්විය හැකි සංචාර කිරීම අපගේ විනෝදාංශයක් විය. මේ කාලයේදී සෝවියට් ජන ජීවිතය පිලිබඳ බොහෝ දේ ලූදා ගෙන් දැන ගතිමි.

මා ලන්ඩනයට පැමිණි පසු මට ලූදා හා ඇගේ සැමියා පිකඩිලී  වලදී හමුවිය. මම ඔවුන් දෙදෙනාට බියර බිමට ආරාධනා කර පබ් එකකට රැගෙන ගියෙමි. ලූදා ගේ සැමියා උජාරුවෙන් ඔහුගේ අතේ පැළඳි රෝලෙක්ස් ඔරලෝසුව මට පෙන්වූ අතර තමන්ට ඕනෑම රටකට අප මෙන්ම දැන් යා  හැකි බවද හොඳ රැකියාවක් කරන අතර හොඳින් ජිවත් වන බව ද කීවේය. "ඉස්සර උඹල ඇවිත් අපට බටහිර  දේ පෙන්වනවා. දැන් අපටම බලන්න පුළුවන්" . සෝවියට් දේශය බිඳී යාම ඔහු සැළකුවේ හොඳ දෙයක් ලෙසටය. 

 ඔහු මහත්වරුන් ගේ කාමරයට ගිය අතරේ ජීවිතය හොඳ දැයි ලූදා ගෙන් ඇසුවෙමි.

"රෝමා (ඇගේ සැමියා) ට ළමයි දෙන්නා  එංගලන්තේ පෞද්ගලික විදුහලකට දාන්න ඕනෙයි කියල බලන්න ආවේ. මම නම් කැමති නැහැ. අපි රටවල් බලන්න යනවා. රෝම ගාව සල්ලි තියනවා. එයා තුවක්කු අරගෙන දඩයමේ යනවා  පරණ රුසියන් කුලවතුන් (රදළයන්) වගේ.  පාටි දානවා. ගොන් පාට් නුත් දානවා " ලූදා එක හුස්මට කීවාය. ඇගේ වදන් වල කිසියම්  සමච්චලයක් රැඳී තිබේ යයි  මට හැඟුනි.

"මට තේරුණා. ඔයා හොඳින් ජිවත් වෙනවා නම් එච්චරයි."   කීවෙමි.

"ඒත් මගේ ජිවිතේ හොඳම කාලේ අර අපි සැහැල්ලුවෙන් හිටි ලස්සන කාලේ. " ඇගේ  නිල් පැහැ  නෙත් මදක් තෙත්වී තිබෙනු දුටුවෙමි. රෝමා පැමිණි පසු ඔවුන් දෙදෙනා සමුගෙන නික්‌ම ගියහ. මට නැවත ඔවුන් මුණ ගැසුනේ නැත.

සෝවියට් දේශයේ ගත කල ජිවිතයෙන් අප ලද අත්දැකීම් අප කිසිවකුට  කිසිදා අමතක වන්නේ නැත.

- දකුණු අයර්ලන්තයේ සුමාන දෙකක පමණ නිවාඩුවක් ගත  කිරීමට  යන බැවින් බ්ලොගය ලියවෙන්නේ වත් ප්‍රතිචාර වලට පිළිතුරු දීමක් සිදුවන්නේත් නැත. ඒ ගැන සමාවන්න.  






Monday 24 July 2017

නැවත හමුවෙමු ප්‍රසන්න

ප්‍රසන්න රත්නායක සමග මම කතාකරලා තියෙන්නේ දුරකතනයෙන් පමණයි. ඔහු වාර්තා චිත්‍රපට අධ්‍යක්ෂක වරයෙක්  ලෙස  ජාත්‍යන්තර ක්ෂමා ආයතනය සමග සේවය කළා. එසේම ජාතින් අතර  සහයෝගිතා ආයතනය (Institute of Race Relations ) වෙනුවෙන් වාර්තා චිත්‍රපට නිෂ්පාදනය කලා. ඔහු  තමන් විසින් සංවිධානය කරන තරඟ හා වෙනත් දේ ගැන මේලයක් මට එවල ඉන් පස්සේ කෝල් කරලා විස්තර පවසන්න ඔහු පුරුදු  වෙලා හිටිය. වෙලාවක අපි හමුවෙමු කියලත්  දෙන්නම කතා වුණා. නමුත් ලන්ඩනයේ ඉඳලත් ඒ වෙලාව  ආවේ නැහැ. හුඟක් කණගාටුයි ඒ ගැන.

 ප්‍රසන්න අවුරදු 16 දී 88-89 ශ්‍රී ලංකාවේ භීෂණ තත්වයට මැදි වෙලා හිටිය කියල දන්නවා. ජවිපෙ සාමාජිකයන් සොයන කිසියම් පැරා මිලිටරි කණ්ඩායමක් විසින් ඔහුව පැහැර ගෙන ගිහින් දරුණු වධ දීල තිබ්බ. ඒ ජවිපෙ සාමාජිකයෙක් නොවුනත් හිතවත් අයෙක් කියල කවුරු හරි ඔත්තුවක් දීල. තරහට වෙන්නත් පුළුවන්.   අවුරුදු  16 කියන්නේ හිරිමල් වියේ යොවුන් දරුවෙක්. වධ බන්ධනයකට යොමු වෙන්න කෙනෙක් නෙමේ.  හමුදා නායකයෙකු ගේ දියණියක්  ඔහුව හදිසියේ හඳුනාගත් නිසා බේරුන අයෙක්.  ඔහුගේ හදිසි මරණය අදහා  ගත නොහැකි වුණා. 

පහත සටහන ඔහුගේ හොඳම යහළුවෙක් වන සරෝජ් පතිරණ ගෙන්.


ප්‍රසන්න රත්නායක 
කෝල් එකක් දීපන් යකෝ ... ඔය ෆෝන් එක ගනින් යකෝ ...

ෆෝන් එකේ උඹ තියපු මැසේජ් තවමත් දෝංකාර දෙනව.

උඹේ කටහඬ ඇහිලා කෝල් එකක් දුන්නම උඹ නෑ. 

“මේ ... පුතා ආයෙත් රස්තියාදුවක ගිහිල්ල,” හිත තරහෙන් කෑගහනවා.

“කවදාවත් ඕන වෙලාවකට අල්ල ගන්න බෑ.”

උඹත් ඒ විදියටම මට බනින බව මම දන්නවා. උඹ වගේම මමත් සැරින් සැරේ අතුරුදහන් වෙනව.
සමහර වෙලාවට උඹ ඇත්තටම කොහේදෝ ගිහින්. සමහර වෙලාවට උඹ හිතලම ෆෝන් එක ගන්නේ නෑ. වෙලාවට වැඩ කරන හැටි ගැන අපිට පාඩමක් කියල දෙන්න.

මචන් ප්‍රසන්න,
මාගරට් කිවුව වගේම උඹට හොඳ ඉවක් තිබුණ. මූ මොකාද කියල දැකපු ගමන් උඹට තේරුණා. උඹ කෙනෙකුට සමීප වුනේ බොක්කෙන්ම. හැබැයි ඌව එපා වුනා නම් සද්දයක් නැතිව ඈත්වුනා.
වැල් වටාරම් වගේ කියාගන්න බැරි දාහක් දේවල් හිතේ කැරකෙනවා. හිත රට වටේ යනවා. එකක් පසුපස එකක් මතක සටහන් හිතේ සක්මන් කරනව.

ප්‍රියත් කිවුව වගේ යොලන්ඩ කිවුව වගේ උඹ එනිග්මාවක්. උඹ හිටපු තැනකුත් නෑ නොහිටපු තැනකුත් නෑ. හැබැයි නොදන්නා කෙනෙකුත් නෑ. නොදන්නා දෙයකුත් නෑ. කරපු දේකුත් නෑ. නොකරපු දේකුත් නෑ.
බර්නාඩ් කියපු විදියට උඹේ යාලුවෝ එකාට එකා දන්නේ නෑ. උඹට යාලුවෝ එක්ක වෙන වෙන විදියේ ගෘප් තිබුණ. ඒත් ඕනේ වුනා නම් උන්ව අඳුන්වල දෙන්න උඹ පැකිලුනේත් නෑ. බුද්ධාගම ගැන බීබීසී් යට ඉංග්‍රීසියෙන් දිග documentary එකක් කරන්න උඹ රන්ජිත් සෙට් කරලා දුන්නේ ඒ වැඩේට ගැලපෙනම කෙනා රන්ජිත් බව උඹ දන්නා නිසා. අවාසනාවකට අපිට ඒක කරගන්න බැරි වුනා.

උඹව අඳුන්වල දීල සුනෙත්ට මම කීවේ “ඕක ලෝකේ වටේම ගියා කියල බොරු කියනවා සැරින් සැරේ. හැබැයි ඉතින් ඒකෙන් අපි කාටවත් කරදරයක් නෑ,” කියල. 
අනික තමයි උඹට මා දන්නා කෙල්ලෙක් අඳුන්වල දෙන්න කලින් මම දෙපාරක් හිතුව. උඹ හොඳටම දන්නවා ඇයි ඒ කියල. කෙල්ලෝ උඹට මේතරම් වහ වැටෙන්නේ ඇයි කියල අද වෙනකල්ම මට හරියටම තේරුනේ නෑ.

උඹ අන්තිමටම කරපු ව්‍යාපෘතිය - ඇම්නෙස්ටි එකේ අතුරුදහන් වුන අය ගැන කවි තරගය - උඹේම අදහසක්. නිර්මාණයක්. ඒකට උඹ මහන්සි වුන හැටි මම දැක්ක. හැබැයි කුසල් පෙරේරා කීව වගේ උඹ හොඳ කලාකරුවෙක් මිසක් හොඳ සංවිධායකයෙක් නෙවෙයි.

හැබැයි අතුරුදහන් වෙච්ච මිනිස්සු ගැන, ඒ මිනිසුන්ගේ පවුල් ගැන, වධ විඳපු මිනිස්සු ගැන උඹේ තිබුණ දයාව අපි හැමෝම දැක්ක. උඹත් ඒ මිනිසසු වගේම වධ විඳපු කෙනෙක් කියල අද මාගරට් කියන කල් මම දැනගෙන හිටියේ නෑ. උඹේ හදවතින්ම මතුවෙන හිනාවෙ එහෙම වේදනාවක් කවදාවත් පේන්න තිබුණේ නෑ.
සිවරාම් (තරාකි) පැහැරගෙන යන්න මොහොතකට කලින් ඌත් එක්ක අන්තිම අඩියට උඹත් සෙට් වෙලා හිටපු බවත් ගොඩක් දෙනා දන්නේ නෑ.

උඹේ රහස් මම දන්නේ නෑ අදත්. ඒ වෙනුවට උඹ මගේ හැම රහසක්ම දැනගෙන හිටිය. ඒ හැමදේටම මට දෙන්න උඹට උපදෙසක් තිබුණ.

බර්නාඩ් එක්ක එකතු වෙලා උඹ බේරලා දීපු මිනිස් ජීවිත, උඹ දන්නා කලාකරුවෝ ගෙනල්ල සංදේශයේ වැඩසටහන්වලට හයියක් වුන හැටි, ඕන වෙලාවක නොදන්නා දෙයක් කියා දුන්න හැටි, අපි කරපු නිර්මාණ බොක්කෙන්ම අගය කරපු හැටි, වැරදි හදපු හැටි, වාද කළ හැටි, සිංහල විතරක් නෙවෙයි ඉංග්‍රීසියෙනුත්ි වැඩ කරපන්, ඉංග්‍රීසි documentary අහපන්, දිගටම ලියපන් කියල බල කරපු හැටි, කරගන්න බැරි වුනත් පොත් ගානක් ට්රාන්ස්ලේට් කරන්න මාව රෙකමන්ඩ් කරපු හැටි ... ඒ සේරම මැරුණත් හිතේ තියෙනව මචන්.
උඹ කියපු කතන්දර මතක කරලා, අදවත් මේ පැත්තේ ඒවි කියල උපාලිත් බලාගෙන හිටිය.
ආයෙත් බොරුවට රස්තියාදු ගහන්නේ නැතිව එකපාරක් හරි අපිව බලල යන්න වරෙන් ප්‍රසන්න උඹේ හිනාවත් අරගෙන.

උඹ දීපු පොත translate කළේ නෑ කියල තරහෙන් ඉන්න බව දන්නවා. මම ඒකත් ආයේ පටන් ගන්නම්.
විකාර කරන්නේ නැතිව එනකොට පුරුදු විදියටම බ්‍රැන්ඩි දාපු චොක්ලට් ටිකකුත් අරගෙන වරෙන් මචන්.
සුනෙත්, උපාලි, ප්‍රියත් වගේම, බර්නාඩ්, රන්ජිත් වගේ ලෝකේ පුරාම ඉන්න උඹේ අනිත් යාලුවෝ වගේම, උඹත් එක්ක ආයෙත් අඩියක් ගහන්න මමත් බලාගෙන ඉන්නවා.
දැනට පොඩ්ඩක් නිදාගනින් නිදහසේ. ඉක්මනට නැගිටලා ඇවිත් පලයන් ආයෙත් අතුරුදහන් නොවී.
(මා මිතුරු ප්‍රසන්න රත්නායක වෙනුවෙන්)
-සරෝජ් පතිරණ 

-මා මිත්‍ර සරෝජ් පතිරණ ගේ ෆේස්බුක් පිටුවෙන් උපුටා ගන්නා ලදී.

From Institute of Race Relations: PRASANNA RATNAYAKE 1972−2017
සරෝජ් පතිරණ 
නැවත හමුවෙමු මිත්‍රයා 


Sunday 23 July 2017

සෝවියට් ජිවිතයෙන් බිඳක් 1

 සෝවියට් දේශය පොත ශ්‍රී ලංකාවේ වාමාංශික අදහස් ඇත්තන් පමණක් නොව වෙනත් රටවල් පිලිබඳ දැන ගැනීමට ආශා කරන්නන් ද කියවූ සඟරාවකි. මට මතක විධිහට එය එව්වේ සෝවියට් සංස්කෘතික මන්දිරය මගින් නොමිලයේය. පසුගිය ලිපියට වැටුණු ප්‍රතිචාරයක තිබුනේ සෝවියට් දේශය පොත ප්‍රචාරණය සඳහා නිමවූවක් පමණක් බවයි.  එහි සත්‍ය තොරතුරු අඩංගුව තිබුනේ නැතිමද යන්න මගේ අත්දැකීමක් තුලින්ම විමසීම මෙම ලිපියේ අරමුණයි.

1983 දී උසස් පෙළ විභාගයට පෙනී සිටි  සෝවියට් දේශයේ ඉගෙනීම සඳහා ගියේ 1984 වසරේය. එම වසරේ මූලික අවුරුද්ද පද් යනුවෙන් (preparatory faculty පද්ගතවිතේල්නි ඵකුල්ටියේත් ) හැඳින්වුණි. රුසියානු භාෂාවට අමතරව අපොස උසස් පෙළ හා විශ්ව විද්‍යාල පළමු වසරට උගන්වන රසායන විද්‍යාව, භෞතික විද්‍යාව, ගණිතය, ජ්‍යාමිතික සැලසුම් නිර්මාණය ආදී විෂයන්ද රුසියානු භාෂාවෙන්ම ඉගැන්වුනි. පළමු වසරේ  අප උගත්තේ මාදි නමින් හඳුන්වන මොස්කව් රථ වාහන හා මාර්ග සංවර්ධන විශ්ව විද්‍යාලයේය. (MOSCOW AUTOMOBILE AND ROAD CONSTRUCTION STATE TECHNICAL UNIVERSITY(MADI))

මෑතකදී මම  එංගලන්තයේ සේවය කරන,  මොස්කව් රාජ්‍ය විශ්ව විද්‍යාල පළමු වෛද්‍ය පිඨයේ (1st medical) උගත්,  මගේ මිතුරෙක් වන වෛද්‍ය සුදත් කුමාරසිංහ හමුවීමට ගියෙමි. (කණගාටුදායක ලෙස ඔහු දැන් අප අතර නැත-2020) ඔහු  පසුගිය මස (මේ කියන්නේ 2017 වසරේ)  ශ්‍රී ලංකාවට ගිය අවස්ථාවේ ඔහුගේ නිවසේ තිබු සෝවියට් සඟරාවක් රැගෙන පැමිණියේය.  එහි තිබුනේ 1985 අවුරුද්දේ සෝවියට් දේශය සඟරාවේ  අප ගැන පලවී තිබු ලිපියකි. එය හඳුන්වා තිබුනේ "ශ්‍රී ලංකාවට විශේෂඥ කණ්ඩායමක් " යනුවෙනි.
මේ තිබෙන්නේ එම ලිපියයි.
මේ ලිපියේ ඇති පින්තුරයේ වම් පස කෙළවර සිටින්නේ මමයි. මුළු කන්ඩායමේ ම ලාබාළතමයා  වූයේද මමයි. මගේ වම් පස සිටින්නේ ආචාර්ය ජානක ලියනගම මහතායි. රාජකීය විදුහලේ මෙන්ම මාදි හිද දීප්තිමත් සිසුවකු වූ ඔහු පසුව ශ්‍රී ලංකා විවෘත විශ්ව විද්‍යාලයේ නියෝජ්‍ය උපකුලපති (2009) ලෙස කටයුතු කරන බව දැන  ගතිමි.  දැන් ඔහු රැකියාව කරන්නේ පෞද්ගලික විශ්ව විද්‍යාලයක උප කුලපති ලෙස බව මිතුරෙකු පැවසීය.
අපි කට්ට්ටිය 1985 MADI 
ඔහුගේ වම් පසින් සිටින්නේ ප්‍රභා ගුණවර්ධනයි. ඇය ඇමෙරිකා  එක්සත් ජනපදයේ ඉංජිනේරුවරියක ලෙස සේවය කරන්නීය. ඇය ඉදිරිපසින් මැද සිටින්නේ  ආචාර්ය වඩුගේ(Phd) ය.  ඔහු රුසියානු තරුණියක සමග විවාහ වී සිටින අතර මොස්කව් හි ව්‍යාපාර  කිහිපයක හිමි කරුවෙකි. ඔහු ගේ වම් පසින් පිටුපස සිටින්නේ කොළඹ ආනන්ද විද්‍යාලයේ උගත්, චතුර ලෙස සිංහල කතා කරන ආචාර්ය සිවලිංගම් සෙල්ව කුමාර් ය. සෙල්ව කුමාර් මහතා යාන්ත්‍රික ඉංජිනේරුවකු ලෙස කටයුතු කරන ඕස්ට්‍රේලියාවේ හා ශ්‍රී ලංකාවේ  ව්‍යාපාර හිමි කරුවෙකි. ඔහු ලඟින් වමේ සිටින්නේ ආනන්දයේ ම උගත් අජිත් පියරත්නය. ඔහු ඕස්ට්‍රේලියාවේ ජ්‍යෙෂ්ඨ විදුලි ඉංජිනේරුවරයෙකු ලෙස සේවය කරයි. ඔහු අසල කෙළවරේම දකුණේ සිටින්නේ කල්‍යාණ ඔබේසේකරයි.  යාන්ත්‍රික ඉංජිනේරුවෙකු ලෙස ශ්‍රී ලංකන් ගුවන් සේවයේ නියුතුව සිටි ඔහු දැන් ජිවත් වන්නේ එංගලන්තයේ ස්ටන්ස්ටෙඩ් පෙදෙසේය. ඔහු සතුව අහස්යානා සැලසුම් පිලිබඳ තමන්ගේම ව්‍යාපාරයක් ඇති අතර එහි මුලස්ථානය ස්ටන්ස්ටෙඩ් ගුවන් තොටුපලේ පිහිටා ඇත.  සියල්ලන්ම විශිෂ්ට ලෙස සෝවියට් දේශයේ අධ්‍යාපනය අවසන් කළහ.

(සෙල්ව කුමාර් මහතාගේ ගේ සමකාලින විධායක සිවිල් ඉංජිනේරු උපාලි හේවගේ මහතා මෙම පින්තුරයේ නැත) 
මේ සියල්ලන්ම අපොස උසස් පෙළ සමත් දිස්ත්‍රික් ක්‍රමය නිසා ඒ ඒ විශ්ව විද්‍යාල වලට යාමට නොහැකි වුනු සරසවි වලට ඇතුලත් වීමට සුදුසුකම් තිබූ හෝ සරසවී  සඳහා ප්‍රවේශයන් ලැබූ අයයි. සෝවියට් දේශයේ ජනතාව  අපට ඉගැන්වූවා ට අප ඔවුන්ට අදත් ණය ගැතිය. රුසියානුවෙක් හමුවෙන ඕනෑම මොහොතක මම ඔවුන්ට එය පවසමි.
පරීක්ෂණාගරයක 
මේ පින්තූරය තරමක් ගැටළු සහගත වන්නේ මේ පරීක්ෂණාගාරය අප සියල්ලම උගන්නා තැනක් නොව එහි සිටි යාන්ත්‍රික ඉංජිනේරු ශිෂ්‍යන්ට පමණක් වීමයි. මෙය ප්‍රචාරණය සඳහා යයි යමෙකුට චෝදනා කළ හැකිය. නමුත් පර්යේෂණාගාරය එතැන තිබුණු අතර එය බොරුවක්  නොවේ. මාධ්‍යවේදියා අපටද එතැනට එන්නට කියා සියල්ලන්ගේම පින්තූරයක් ගත්තේය. 
පහළ පින්තූරය හොඳින් බලන්න. මේ විශ්ව විද්‍යාලය හිඟන රටක තිබිය නොහැකිය.
මාදි 1985
පහත පින්තූරයේ සිටින්නේ මමයි. මොස්කව් විදුලිබල හා බලශක්ති විශ්ව විද්‍යාලයේ රිලේ සම්බන්ධ කරන එලෙක්ට්‍රොනික පුවරුවක් ක්‍රියාත්මක කරමින් සිටියදී මිතුරු සිසුවකු ගත් ඡායා රූපයකි. මා මෙය පළ කරන්නේ සෝවියට් දේශය සඟරාවේ පල කරන ලිපි වල ඡායාරුප හා සැබෑ තත්වය එතරම් වෙනස් නොවන බව කියන්නටය.

1986 MEI 

පහත පින්තුරය මා අසල  සිටින්නේ බංග්ලාදේශ සිසුවෙකි. ඔහු ගේ වම් පසින් අපේ පළමු වසරේ රුසියානු භාෂාව ඉගැන්වූ නීනා ෆෙදරෝව්නා ගුරුතුමියයි. ඉතා කරුණාවන්ත ගුරුතුමියක් වූ ඇය මම අදත් ඉතා ආදරයෙන් සිහි  කරමි. ඇය අසල සිටින්නේ ඉන්දියානු සිසුවකු වන අරුන්ය.
පළමු අවුරුද්දේ කෞතුකාගාර සවාරියකදී  1984-85
නීනා ෆෙදරෝව්නා අපව නිතර කෞතුකාගාර , චිත්‍ර ප්‍රදර්ශන නරඹන්නට මෙන්ම  පුෂ්කින්, ශේස්තොකොවිච් වැනි ලේඛකයන්ගේ, සංගීතඥයන් ගේ නිවෙස් වලට රැගෙන ගියාය. සමහර ඒවා විශ්ව විද්‍යාලයෙන් පවසා කරන ලද ඒවා වුවත් බොහොමයක් ඇගේ කැමැත්තෙන් ම අප රැගෙන ගිය ඒවා විය. මට උණ හැදී අසනීප වූ විට නේවාසිකාගාරයටම  පැමිණ දුක සැප බලා ගියාය. දෙමව්පියන්ගෙන් ඈත්ව දුරු රටක උගන්නා  ඇය අපට මවක් වූවාය.

- මතු සම්බන්ධයි

Thursday 20 July 2017

සෝවියට් ඇනෝ ගේ සමාජවාදය


සෝවියට් මත්පැන් බෝතල් බ්රෙශ්නෙව් ගේ පින්තුරය යට (අන්තර්ජාලයෙන්)
ගිය වර ලිපියේ මෙන්න මෙහම ප්‍රශ්නයක් අහල තිබුන ඇනෝ කෙනෙක්. 
"මහත්මයා මුලික උපාධිය ලබාගත්තේ සෝවියට් රුසියාවේ කාරුණික අනුග්‍රහය නිසා නේද? ඒ කියන්නේ ගොවියා,ධීවරයා, කම්කරුවාගේ දාඩිය මහන්සියෙන්.
ඒත් ඇයි දැන් මේ අන්ත දක්ෂිණාංශික ධනපති ආණ්ඩු වලට ලැදියාව දක්වන්නේ? ඔබතුමා සමාජවාදය යටතේ අධ්‍යාපනය ලබා, දැන් අධ්‍යාපනය විකිනීමට පක්ෂපාතිත්වය දක්වනවා. මෙය යුක්ති සහගත වන්නේ කෙසේද?"

මම දුන්න කෙටි පිළිතුර එම ලිපියේ කෙළවර තිබෙනවා. දැන් දෙන්න හදන්නේ දිග පිළිතුරක්. මොකද මේ ප්‍රශ්නය අධ්‍යාපනය  ගැන කතා කරන හැම වෙලේම වගේ දමල ගහන නිසා. 

මගේ එම ලිපි මාලාවේ  සඳහන් වෙන්නේ අධ්‍යාපනය විකිනීමට සහය දැක්වීමක්ද? එහෙම නැත්නම් නැති වෙලා තියෙන නිදහස් අධ්‍යාපනය සයිටම් එක තිබ්බත් නැතත් නැති වෙලා කියන සත්‍යය  අවධාරණය කිරීමද? මට නම්  සයිටම් එක කියන්නේ ජනතා විමුක්ති පෙරමුණේ සහ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දේශපාලන ගේම් එකක් විතරයි.  බැලූ  බැල්මට ධනපතියෙක්ගේ විද්‍යාලයක් ලාභය ගන්න  අධ්‍යාපනය විකුණනවා. ඒකට විරුද්ධ වෙමු වෛද්‍ය සංගමය සමග. හරිම සරලයි තේරුම් ගන්න.

නමුත් ඒ ගොල්ලෝ සඟවන්නේ මොකක්ද? අවම වශයෙන් අවුරුදු 20 කට කලින් තිබ්බ නිදහස් අධ්‍යාපනයක් වත් දැන් නැහැ. පාසල් වල උගැන්වීම් සෑහෙන්න කඩන්  වැටිලා. ඒ අතරේ හොඳ ගුරුවරු දහස් සංඛ්‍යාත ප්‍රමාණයක් ඉන්න බව අමතක කරන්නත් හොඳ නැහැ. නමුත් හතර පන්තියේ ඉඳලා  ළමයි ටියුෂන් පන්ති යවන රටක තමයි මේ නිදහස් අධ්‍යාපනය ගැන කතා කරන්නේ.

සම්පුර්ණ නිදහස් අධ්‍යාපනයක් දෙන්න නම් එක්කෝ ජර්මනිය, ඩෙන්මාර්කය, ෆින්ලන්තය වගේ දියුණු රටක් වෙන්නේ ඕනේ. නැතිනම් තනි රටක සමාජවාදයක් පිහිටුවීමේ න්‍යාය යටතේ සමාජවාදී රටක් පිහිටුවන්න ඕනේ. (කියුබාව , උතුරු කොරියාව වගේ )
ඔය දෙක අතර මැද තියෙන්නේ සිරිමාගේ ආණ්ඩු කාලය. සල්ලි දුන්නත් ලංකාවේ මිනිස්සු ඒකට නම්මා ගන්න  එකනම් බොරු. ඒ නිසා " සයිටම් වහපියව්" කියන එක මත තමා පැවැත්ම තියෙන්නේ. ඒක වැහුවොත් ඊට පස්සේ තව මොකක් හරි එයි.  අඩුම ගානේ තමන්ටවත් අවංක වෙලා කිව්වා නම් මිනිසුන්ට අපි මේ හදන්න උත්සාහ කරන්නේ  සමාජවාදය. ඒකෙදි නිදහස් අධ්‍යාපනය සම්පුර්ණයෙන්ම දෙනවා කියල. මිනිස්සු කැමති නම් චන්දෙ දෙයි.

දැන් යමු සෝවියට් දේශය ගැන කතා කරන්න. සෝවියට් දේශය හිඟන රටක්ය. මිනිස්සු හිඟන්නෝ වගේ හිටියේ කියල කතා අහල තියෙනවා නේද? ඒවා වැඩිමනත් බොරු. ඒ දවස් වල තිබුණු ජේ ආර් ගේ ශ්‍රී ලංකාවේ බහුතරයක් සාමාන්‍ය සෝවියට් වැසියාට වඩා  ධනවත් කියල කියන්න බැහැ.  ලංකාවෙන්  ගිය යුඇන්පී සිරි ලංකා මැති ඇමැතින් ගේ පුත්තුන්ට හෙම දුප්පත් වගේ පේන්න  ඇති.

1917 දී සෝවියට් දේශය පිහිටුවන කොට ඒක යුරෝපයේ කලබල වැඩිම තිබ්බ, යුද්ධයකට මැදිවී තිබ්බ රටක්. නමුත් දුප්පත්ම රට නෙමෙයි. දැන් වුනත් රුසියාව කියන්නේ ලෝකයේ විශාලතම රට. මොකා මොන සම්බාධක දැම්මත් ඕනෑම අමුද්‍රව්‍යයක් තියෙන, වගා කල හැකි ඉඩම් තියෙන ඛනිජ තෙල් නිධි, දියමන්ති අදටත් ඉතිරි වෙලා තියෙන රටක්. ධනවත් රටක්.  යුද්ධය නිසාත් ලෙනින් සමාජවාදය පිහිටවපු නිසාත් රට මුලින් වැටුනත් ලෙනින් ලා මුළු රටටම විදුලිය ලබා දුන්නට පස්සේ එය දියුණු වුනා. ස්ටාලින් ගේ ඒකාධිපතිවාදී  දරුණු පාලනය නිසාම 1939 වනවිට   යුරෝපයේ අනිත් රටවල තත්වයටම සෝවියට් දේශයත් භෞතික වශයෙන් දියුණුවක් ලැබුවා.

දෙවන ලෝක යුද්ධෙන් වැඩියෙන්ම බැට කෑ රටක් තමා සෝවියට් දේශය. මිලියන් ගාණක් මැරිලා රටෙන් භාගයක්ම විනාශ වුණා. ඒ වගේ විනාශ වුන අනිත් රට තමා යුද්ධය පටන් ගත්  ජර්මනිය. දැන් ඔය රටවල් දෙකෙන් ජර්මනියට මාෂල් ක්‍රමය යටතේ අති විශාල මුදල් ප්‍රමාණයක් සහ වෙනත් ද්‍රව්‍යමය ආධාර ඇමෙරිකා  එක්සත් ජනපදයෙන් ලැබුන. එනිසා ඔවුන් සෑහෙන්න දියුණු වුණා. සෝවියට් දේශයටත් 41-45 කාලයේ ඇමෙරිකන් ආධාර ලැබුණා. ඔවුන් ඒවා ගෙවා දැමුවා පසුව.
තරුණ පුරෝගාමීන් රතු චතුරශ්‍රයේ 

"තරුණ කොමියුනිස්ට් සංවිධානය දිනේවා"-ස්ටාලින් 

ඇමෙරිකා  එක්සත් ජනපදයේ ධනවාදය දියුණු වුනේ අවුරුදු 300 තිස්සේ  (1776). මහා බ්‍රිතාන්‍යය සහ යුරෝපිය රටවල් අධිරාජ්‍ය ගොඩ නගාගෙන තිබුන මේ වෙනකොට. කාර්මික විප්ලවයෙන්  පසු අවුරුදු දෙසිය ගානක් ගියා ඔවුන්ට දියුණු වෙන්න. මුලින්ම ධනවාදය අවසන් වෙයි කියල මාක්ස් හිතුවෙත් මේ ධනවාදී රටවල , බ්‍රිතාන්‍යය හෝ ජර්මනියේ.  සෝවියට් දේශයට ඇත්තටම තිබුනේ යුද්ධයෙන් පස්සේ ගතුවුනු අවුරුදු 35-40 පමණයි දියුණු වෙන්න.

ඉතින් 1984 මම සෝවියට් දේශයට යන කොටත් ඒක  ලංකාවට වඩා සෑහෙන  දියුණු රටක්. මුල්ම චන්ද්‍රිකාව උඩු ගුවනට යවල, මුල්ම මිනිසා උඩු ගුවනට යවල, අමෙරිකාවත් පහු කරගෙන ඒ පැත්තෙන් (අජටකාශය ජය ගැනීම) ඉහලට ගිය රටක්.  න්‍යෂ්ටික ආයුධ වලින් සන්නද්ධ රටක්. හිඟන රටක් නම් නෙමේ කොහොමටවත්.    නමුත් ඒ රට ගොඩ නැගුවේ ඒකාධිපති වාදී  ක්‍රමයකින්.  1945 - 1985 කාලය දක්වා ගත්තොත්  උමං දුම්රිය පද්ධතිය, මාර්ග පද්ධතිය, නිදහස් සෞඛ්‍ය සේවය, අධ්‍යාපන ක්‍රමය, විදුලි බල පද්ධතිය මේ හැම දෙයක්ම බ්‍රිතාන්‍යය හා හුඟක් යුරෝපීය රටවල් තරම්ම දියුණුයි. ඒ රටවල සංචාරය කරපු නිසා මේක අත්දැකීමෙන්ම දන්නවා.

තට්ටු නිවාසයක් (ෆ්ලැට්) එකක් ඕන නාගරිකයෙකුට තිබ්බ හෝ විශාල ෆ්ලැට් එකක්  පවුල් කිහිපයක් විසින් බෙදා ගැනීම (ෂෙයාර් ) වගේ දෙයක් මිනිස්සු කලා. නගරයෙන් පිටතත් දාච කියන ග්‍රීෂ්ම සෘතුවේ නිවාසත් මොස්කව් වල හුඟක් අයට තිබුන.  මේ තට්ටු නිවාස  වුනත් එංගලන්තේ කවුන්සිල් ගෙවල් වගේ ලොකු ඒවා. ගිහින් තියන නිසාම  මම දන්නවා.

නමුත් සෝවියට් වැසියන්ට  බටහිර  තරම් සුඛෝපභෝගී ජිවන රටාවක් තිබ්බේ නැහැ. ඕනෑ කරන කාරෙකක් ගන්න, සපත්තු කුට්ටමක් ගන්න, ඩෙනිමක්  ගන්න, හොඳ විස්කි බෝතලයක්, බ්‍රැන්ඩි එකක් ගන්න  තිබ්බේ නැහැ.  ශීතකරණ සෝවියට් දේශයේ නිෂ්පාදනය කරපු ඒවා. ඒවා නරකම නැහැ. අපේ කාමරවලත් තිබ්බේ ඒවා. සින්දු අහන සෙට් හරි නැහැ ජපන් ඒවා තරම්. විදේශික ශිෂ්‍යයෝ තමයි හොඳ ඒවා විකුණුවේ.

එතකොට  සෝවියට් දේශය ඇයි නිදහස් අධ්‍යාපනය දුන්නේ විශාල සංඛ්‍යාවක් දියුණු වෙමින් පවතින රටවල සිසුන්ට වගේම බටහිර රටවල සිසුන්ට (ඉතා අඩු සංඛ්‍යාවක්). ඔවුන්ගේ දෘෂ්ටිවාදය - කොමියුනිස්ට්වාදය පතුරුවන්න. ඒකයි හේතුව. ධනවාදී රටවල එක දෘෂ්ටිවාදයක් කියල එකක් නැහැ. එක එක කාලෙට තමන්ට අවශ්‍ය දේ හදා ගන්නවා. කතෝලික පාසල් වල කතෝලික ආගම, බෞද්ධ පාසල් වල බුද්ධාගම, මුස්ලිම් පාසල් වල මුස්ලිම් ආගම උගන්වනවා වගේම  රජයේ පාසල් වල ඔය ඔක්කොම හා ධනවාදී අර්ථ ක්‍රමය අවශ්‍ය නම් උගන්වනවා. ධනවාදී රටවල දෘෂ්ටිවාදය පතුරුවන්නේ මාධ්‍ය හා පොත්පත් මගින්. මුස්ලිම් ආගම බහුතරයක් අදහන මධ්‍යම ආසියාවේ සෝවියට් සමුහාණ්ඩු හුඟක් ලෞකික වුනෙත් ඔන්න ඔය  නිදහස් අධ්‍යාපනය නිසා.

හැබැයි  ඔය ශිෂ්‍යත්ව දීලා කොමියුනිස්ට්වාදය පතුරුවන්න හදපු එක මහා මෝඩ වැඩක්.  හුඟක් සිසුන්ව ඒකට  අනුගත  කර ගන්න බැරිවුනා.තම රටේ  ඉඳන්ම කොමියුනිස්ට්වාදය ගැන දැනගෙන හිටි කොමියුනිස්ට් පක්ෂය සමග සම්බන්ධ කම් තියෙන අය සමහරක් ( අර මම ලිව්ව ජැප්පා වගේ උන් ඇරෙන්න) පසුකාලීනවත් ඒ භක්තිය තියන් හිටිය තමයි . ඉතින් කවුරු  හරි කියන කොට අපි මුලික උපාධිය ගත්තේ ඔන්න ඔය බදු සල්ලි වලින් කියල හිතට එන ප්‍රශ්න ගොඩයි.

සෝවියට් දේශය හුඟක් රටවලට නොමිලේ උදව් කලා. තුල්හිරිය පෙහෙ කම්හල, ඔරුවල වානේ  කම්හල , මිසරයේ අස්වාන් වේල්ල ඕවගේ නොයෙකුත් රටවල නොයෙකුත් දේ හැදුව. මේවා ඇත්තටම මෝඩ වැඩ. ඕව කලේ කොමියුනිස්ට් පක්ෂේ අයගේ මාන්නෙ රැක ගන්න. කොමියුනිස්ට් වාදය කෙසේ වෙතත් නිලධාරිවාදය  ව්‍යාප්ත කරනවට එරෙහිව ඔරුවල බන්දු  ගේ "සෝවියට් සිර මැදිරියේ සිට " වගේ පොත් බිහි වීම තමයි වුනේ. (වානේ පොතට  පස්සේ) ඊට අමතරව අති විශාල මුදලක් වියදමක් දරමින් පිටරටවල (ලංකාවේ  වගේ) කොමියුනිස්ට් පක්ෂයි ඒවායේ හිටි නිලධාරින්වයි නඩත්තු කළා. ලෝකෙට පරකාසේ ගෙදරට මරගාතේ වුණා.

 සෝවියට් දේශයට ඇත්තටම කරන්න තිබ්බේ මොකක්ද? අර තමන්ගේ මිනිස්සු ගැන බලන එක. උන්ගේ ජිවන තත්වය බටහිර රටවලට වඩා උසස් කරන එක.  ඒක කරන්න  ඕන තරම් සල්ලි සෝවියට් දේශයට තිබ්බ. දැන් රුසියානුවන්ට තෙල් වලින් කොපමණ මුදල් ලැබෙනවද? ඒ කාලේ තෙල් දුන්නේ හුඟක් මිල අඩුවට. කියුබාව ගෙනියන්න. නිකරගුවාව රඳවා ගන්න. අප්‍රිකාවේ ඉන්දියාවේ ලංකාවේ මිනිසුන්ට කම්හල් පුදන එක. ඒවා පස්සේ යකඩ කෑලි වලට විකුණයි කියන එක තේරෙන්න තිබ්බ. දෙන ආධාර මුදල් ඇමෙරිකාව,  ජපානය හෝ යුරෝපය කරනවා වගේ පොළියක්ති යාගෙන දෙන්න තිබ්බේ. මහජන චීනය දැන් කරන්නේ මොකක්ද? නිකන් කිසි ආධාරයක් දෙන්නේ නැහැ. කොන්දේසි ගොඩයි. ණය මුදලට ගහන පොළිය වැඩියි. සෝවියට් වැසියන් බටහිරට වඩා හොඳින් හිටිය නම් බටහිර මිනිස්සුම බලනවා කොහොමද ඒක  වුනේ කියල. ලංකාව, කියුබාව, ඇන්ගෝලාව වගේ රටවල මිනිස්සු විතරක් නෙමේ. ඒ ක්‍රමය වඩා හොඳයි කියල නිකම්ම ඔප්පු වෙනවා.

සෝවියට් දේශයේ තිබ්බ අනිත් ප්‍රශ්නය තමයි හැමෝම කතා කරන නිලධාරිවාදය හා කොමියුනිස්ට් පක්ෂයේ  ඉතා පක්ෂග්‍රාහී පාලනය.  දැන් කලශ්නිකොව් බටහිර රටක හිටියනම් මිලියනර් කෙනෙක්ය , සෝවියට් දේශයේදී පදක්කමයි, තත්වයයි ඉන්න හිටින්න  නිවසක් පමණයි තිබුනේ කියල කවුරුත් දන්නවා  නොවැ.නමුත් නොදන්නා  දේ තමයි හුඟක් දක්ෂ මිනිසුන් ගේ දක්ෂකම් අකාලයේ වියැකිලා යන්න දුන්න  කියල. නිර්මාණාත්මකමිනිසුන්ගේ  නිර්මාණ, විද්‍යාඥයන්ගේ, වෛද්‍යවරුන් ගේ  නව සොයා ගැනීම් එක්කෝ බටහිරට හොරෙන් විකුණුව. නැත්නම් ඉරිසියාවට ඉවත දැම්ම. ඒ මිනිසුන්ව නැති කරලා දැම්ම. මොකද ඔය පක්ෂ සහ නිලධාරී තන්ත්‍රයේ හිටියේ පොතක් පතක් කියවන උන් නෙමේ.

මෙතැනදී මතක් වෙන්නේ   වාමාංශික පක්ෂවල   පොරවල්  ඉන්නව "ඔය පොත් කියවල පැරණි  දේ ගැන අත්දැකීම් ලියල කාටද  හරි  ගියේ" කියල අහන අය. අපි වගේ භාවිතාවෙන් දැන ගත්තම ඇති. අපි දන්නා දේ ඕකුන් දන්නවද වගේ කතාත් කියනවා. සිගරැට් පනහක් විතර දවසට පුච්ච පුච්ච සිගරට් කොම්පැනි පොහිසත් කරමින්. ඔව් ඔව්  ඇත්ත, අත්දැකීම් වලින් තමා දෙයක් ගැන ඉගෙන ගන්නේ පුර්ණ වශයෙන්. නමුත් අත්දැකීම් හා රැකියාවේ පුහුණුවෙන් ඉගෙන ගන්න නම් ඒ ගැන දැනගෙන  කියවල බලල ඉන්නත් ඕනේ. නැත්නම් වැරදි බොත්තම තමයි හැමදාම ඔබන්නේ.

මේ වෙලාවේදී මතක් වෙන්නේ අයින් රෑන්ඩ් ව, දක්ෂිණාංශික උන්ගේ අත්පොතක් වුනත් අර "ඇට්ලස් හැකිළුවා "(Atlas Shrugged) කියන පොත කියවල තියනවා නම් දැනගන්න පුළුවන් මේ නිලධාරිවාදයේ හැසිරීම හරියටම විස්තර කරලා තියනව කියල. අයින් රෑන්ඩ් හෙවත් ඇලිසා සිනොවියෙව්නා රෝසේන්බෞම් ඉපදුනේ 1905 දී ශාන්ත පිතර්බුර්ගයේ යුදෙව් ධනවත් පවුලක. විප්ලවේ කාලේ රුසියාවේ ඉඳල පස්සේ ඇමෙරිකාවට ගිහින් රෑන්ඩ් උනා . මුල් කාලේ සෝවියට් දේශයේ තිබ්බ යුද කොමියුනිස්ට් වාදය ගැන හොඳ වැටහීමක් තිබිල තියෙනවා කියල තේරෙනවා මේ පොත කියවනකොට. හැබැයි මේ ප්‍රබන්ධයක් වගේ පොතේ ලියල තියෙන හැම දෙයක්ම මම අනුමත  කරන්නේ නැහැ. බොහොම  අන්තවාදී ප්‍රකාශත් තිබෙනවා.

ඒත් සමහර දේවල් කියෙව්වම හිතෙනවා හරි මෙහෙම   තමයි උනේ කියල. එක තැනක මෙහෙම තියනවා.
"After all, it does not make any difference to the poor whether their livelihood is at the mercy of an industrialist or of a bureaucrat" පි.542
"දුප්පතාට, තමන්ට කෙළවෙන්නේ කම්හල්  හිමිය අතින්ද නිලධාරියා අතින්ද කියන එකේ වෙනසක් නැහැ "
සෝවියට් දේශයට ගිය  මුල් අවුරුදු වල නැවුම් ගතිය ගිහින්, අපි මිනිසුන්ව අඳුර ගෙන ඒ ගෙවල් වලට යන්න ගත්තට පස්සේ, පෙම් සබඳතා, යාළු මිත්‍රකම් පටන් ගත්තම අපි වඩා ඇත්ත දැන  ගන්නවා. අන්න එතැනදී අපිට සෝවියට් දේශය එපා වෙන්න පටන් ගන්නවා.

මට මතකයි 1980 ගණන් වල ආචාර්ය නලින්ද සිල්වා දිවයින ට ලියන ලිපි පෙළක "සමාජවාදී පන්තිය" කියල වදනක් නිර්මාණය කරනවා. (හරි කොහෙන් හරි අහුලා ගෙන පරිවර්තනය කරන්නත් ඇති) මේක මම මෙතැනත්  කියල තියනවා.  ඔය කතාව මට හරියටම තේරුනේ 1989, 1990 කාලේ උපාධි පාඨමාලාව අවසන් වෙන කොට වගේ.  සමාජවාදී පන්තියට අනුව තමයි සෝවියට් මිනිහෙකුගේ ඉරණම තීරණය වුනේ. තීරණය කළේ. කොටින්ම සමහර  විදේශික ශිෂ්‍යයන් අති  විශාල ධනවතුන් කළේ , සමහරුන්ව නැත්තටම  නැති කළේ ඔය සමාජවාදී පන්තියේ සමහරු. ඒ ගොල්ලන්ට ගෑ වෙන්න ඉන්නේ නැතිව ශේප් එකේ උපාධිය අරගෙන ලිස්සල යන එක තමයි හොඳම කියල තේරුම් අරගෙන තමයි හුඟක් ශිෂ්‍යයෝ වැඩ කළේ. හැබැයි ඉතින් "සමාජවාදී පන්තිය" එක්ක හොඳට හිටියම රටවල් වල තානාපතිල ඇමතිලා වෙන්න තරම් ඒ සම්බන්ධතා බලවත් වෙනවා.

ආ නලින් ද සිල්වා ගැන කියන කොට තවත් දක්ෂිණාංශික වීඩියෝවක යොමුවක්  ඒ ලිපියෙම ප්‍රභාත් කියන මහත්මය දමල තිබුන. ආචාර්ය නලින් ද සිල්වගේ දිග සාකච්චාවක්. අර ජාතිවාදී කියල හිතන කතා ටික අත හැරියොත් ලංකාවේ "නිදහස් අධ්‍යාපනය " ඇති වෙච්ච හැටි ගැන හෙම වැදගත් කරුණු රැසක් දැන ගන්න පුළුවන්. අයින් රෑන්ඩ් ගේ  පොත් මෙන්ම මේවල වුනත් හැම දෙයක්ම කියවලඅහල  සහතික ඇත්ත හැටියට ගන්න ඕනේ නැහැ. මෙහෙම දේවල් වුණා හෝ වෙලා තියෙනවා කියල ලබන අවබෝධය වැදගත්.

ආ එතකොට අර ගියපාර ලිපියේ ලියල තිබුන වගේ ජවිපෙ, පෙසප, පෙරටුගාමී උදවියගේ ළමයි පෞද්ගලික විදුහල් වල ඉගෙනීම, ටියුෂන් යැවීම වගේ දේවල් ගණන් ගන්න හොඳ නැහැ. එංගලන්තේ, ඕස්ට්‍රේලියාවේ හෝ වෙන කොහේ හරි ජොබක් කරගෙන ළමයින්ට උගන්න ගෙන ශේප් වෙලා ජිවත් වෙන්නේ නැතිව අමාරුවෙන් හරි විරෝධතාවයක්  කරන එකත් හොඳයිනේ. ඒවා අගය කරන්න ඕනේ. ආත්මාර්ථකාමී අපි වගේ උන් යන්නෙත් නැති එකේ. පුංචි හරි සාකච්ඡාවකින්, භාවිතාවකින් විප්ලවයක් තවමත් කර ගන්න බැරී  වුණානේ කියල හිතට එන  සාංකාව (nostalgia) මග හැර ගන්න වුනත් පුළුවන්. භාවිතාව  වැදගත්.

වෛද්‍ය වෘත්තීය රැක  ගන්න සටන් කරලා සමාජවාදයට යන්න බැහැ කියල කවුරුත් කියල නැහැ.

"සාදු කියන්න පින්වතුනි"


ප.ලි. -ශිෂ්‍යයන්ව  නිදහස් කරන්න. මොකද ඔයිට  වඩා වැරදි කරලා  හිරේ යන්න නියමිත අය ආණ්ඩුවේත් ඉන්න නිසා. සුදු වෑන් කටහ්වක් ආයිත් යනවා. ඇත්ත හරියට දන්නේ නැහැ. ඕව නම් මරි ඩ වැඩ. කරන්න හිතනවා නම්. හැබැයි ඉතින් ආණ්ඩුවටත් පෙසපෙටත් අවශ්‍යම දේ තමයි වෙන්නේ කියලත් හිතෙනවා.






Thursday 13 July 2017

දානේ ගෙදර කතාබහ - සයිටම් සයිටම්

සයිටම් විරෝධතාවය - ලන්ඩන් 
ආයෙත් සයිටමේ ගැන ලියන්න වුණා. මේකේ මේ දානේ ගෙදරකදී වෙච්ච කතා බහක්.  පාත්‍ර වර්ගයා - මම, සුවා , රොහා හා ටෙකා කියල  හිතමු.  මම ඇරෙන්න අනිත් නම් ගම් මනඃකල්පිතයි.

කතාව පටන් ගත්තේ මෙහෙම.

නිමිත්ත: සයිටම් එකට විරුද්ධ මාපියන් හා ශිෂ්‍යයන්ගේ සංවිධානයේ ලන්ඩන් ශාඛාව කියල එකක්  විරෝධතාවයක්  පැවැත්වුවා  ලන්ඩන් වල ශ්‍රී ලන්කන් හයි කොමිෂන් එක ඉදිරිපිට  ගිය සිකුරාද. අපිට නම් වැඩ. නිවාඩු දාල යන්න  තරම් වැඩි  ඇම්මකුත් නැහැ. ඉතින් එතැන හිටිය (දානේ ගෙදර)  අය කවුරුත්  ගිහිල්ලත් නැහැ. දානේ ගෙදර හිටිය මේ මම ඇතුලු හැමෝම නිදහස් අධ්‍යපනයෙන් ප්‍රථිපල ගත් අය. (සෝවියට් දේශයේ නොමිලේ උගෙන අවසන් කළ ඉංජිනේරු උපාධියද  ඇතුළුව) . මම ඊට පස්සේ ගත් උපාධි නම් ගෙවල කරපුව.

විරෝධතාවයේ  හිටිය සමහර අයගේ දුවා  දරුවෝ  ටියුෂන් ගොස් අමාරුවෙන් හතේ පන්තියට තියන තරඟ  විභාගයක් (11 ප්ලස්) පාස් කරලා හොඳ ග්‍රමර් පාසැල්  වලට යන අය. සමහරුන් ගේ ළමයි ඉතින් මෙහෙ තියන මුදල් දෙන විශ්ව විද්‍යාල වලට යන අය. ඔය දෙකේම වරදක් නැහැ.

මම කිව්වා තමන්ගේ ළමයි ඔහොම අමාරුවෙන් ඒ වගේ හොඳ පාසැලකට දානවා නම් සයිටම් වගේ විශ්ව විද්‍යාලයකට සල්ලි දීල දාන එකේ වැරැද්ද මොකක්ද කියල? හැම දෙමාපියෙකුටම ඕනේ තමන්ගේ දරුවට උගන්වන්න. සමහර විට අර තමන්ට යන්න  බැරිවුන ඉහල මධ්‍යම  පන්තියට ඇතුලත් වෙන්න, නැත්නම් ඉන්ටෙලිජෙන්සිය එකට ඇතුලත් වෙන්න. නැත්නම් තමන්ගේ තත්වය, ධනය එහෙමම තියා  ගන්න (විශේෂන්ඥ වෛද්‍යවරු , ඇමතිලා වගේ) .  ඉතින් පෙරටුගාමී  සමාජවාදී පක්ෂයට සම්බන්ධ හා ජවිපෙට සම්බන්ධ අය ඔය ගෙනියන විරෝධය සාධාරණද?

"ටෙකා " කියනවා ග්‍රමර් ස්කූල් (මේවා රෝයල් ආනන්ද විශාඛා වගේ පාසල්) රජයේ ඒවා. ඒවා පෞද්ගලික නොවේ. එනිසා ඒවාට ගියාට කමක් නැහැ. එයා තමන්ගේ  ළමයින්ට ටියුෂන් නොදී තමන් උගන්වල තමයි එයාලා විභාගේ සමත් වුනේ කියල.  අගමැතිනි "තෙරේසා  මේ" කියනව වගේ ග්‍රමර් විදුහල්  තව අරින්න ඕනේ කියල. නමුත් එයාට (තෙරේසට)  දැන් ඒක කරන්න කොහොමත් විධිහක් නැහැ. එයා අ ප්‍රතිපත්තිය අත හැරලා.  මගේ සහ "සුවා" ගේ තර්කය උනේ "නැහැ අර ලේබර් පක්ෂයේ කෝබින් කියනවා වගේ රජයේ අනිකුත් පාසල් වලට ආධාර (funding) වැඩි කරලා ගුරුවරු වැඩි කරලා ඔය හොඳ  ළමයි විතරක් තෝරලා ගන්න පසු ගාමී අධිරාජ්‍යවාදී ක්‍රමය නැත්තටම නැති කරන්න  ඕනේ කියල. එතැනදී "සුවා" මා  සමග එකඟයි.

මම කිව්වේ නමුත් ඔයා නැති වුනත් අනිත් අය ටියුෂන් යවනවා කියල. අනවශ්‍ය තරඟයක් ඇති කරලා තියෙනවා මේ රටේ, ලංකාවේ , ඉන්දියාවේ චීනේ වගේ. විශේෂයෙන්ම කළු ජාතික ළමයි වැඩිපුර ඉන්න රජයේ විදුහල් වලට තමන්ගේ ළමයි යවන්න කවුරුත් කැමති නැහැ. ඉගෙනීම බාලයි කියල.

මම කිව්වා ඔය ප්‍රශ්නයේ විරෝධතා කරන වාමාංශික සහෝදරයෙක් ගෙන් ඇහුව මෙහෙම කියල. "ලහිරු වීරසේකර ගේ අක්කා ස්ලිට් එකට යන එක සාධාරණද මල්ලි පෞද්ගලික අධ්‍යපන ක්‍රමයට එරෙහිව සටන් කරන කොට " එයාගේ පිළිතුර වුනේ ගෙදර අය කරන දේ ගැන ලහිරු  ට වගකීමක් පවරන එක අසාධාරණයි කියල. ලහිරු  ප්‍රතිපත්තියකට සටන් කරන්නේ කියල. නිදහස් අධ්‍යාපනය බේරා ගන්න.

හරි අපි ඒක  මොහොතකට පිලි ගමු.  නමුත් එයා නායකත්වය දෙන්නේ වෙනත් කොටසක් , සල්ලි තිබෙන දෙමාපියන් කොටසක් තමන්ගේ ළමයි පෞද්ගලික විශ්ව විද්‍යාලයකට යවනවට? එතනත් පෞද්ගලික පවුල් සම්බන්ධකම් නැතිද? එතකොට ඒ ගොල්ල සටන් කරන්නේ ඒ අයිතිය බේරා ගන්න නෙමෙයිද. අනුර කුමාර දිසානායක මහත්මයාගේ ඥාතියෙක් ගැනත් ඒ වගේම තර්කයක් දැක්ක පසුගිය දවස් වල. එතකොට අර සයිටම් එකේ ඉන්නේ ඇමැතිලාගේ දුවල , ගැමුණු ගේ පුතාලා කියන කොට - තම තමන්ගේ ළමයි, සහෝදරියොත් ඒ වගේ ඉගෙන ගන්නවා කියන එක ඔළුවට එන්නේ නැතිද?

සුවා  කිව්ව  මෙහෙම කතාවක්.  ශ්‍රී ලංකා ජනතාවට නිදහස් අධ්‍යාපනය හා නිදහස් සෞඛ්‍ය  සේවය එක්ක ලොකු බැඳීමක් තියෙනවා. ඒ බැඳීම නැති කරන්න ලෙහෙසියෙන් බැහැ.  ජේ ආර් ටත් බැරි වුණා. ප්‍රේමදාස අන්තිමට දණ නැමුව. කාටවත් ඒකට අත ගහන්න මිනිස්සු දෙන්නේ නැහැ.

මගේ ප්‍රශ්නය: ඒක හරි. සාධාරණයි . කන්නන්ගර මහත්මයා  හඳුන්වා දුන් නිදහස් අධ්‍යාපනයෙන් අපි හැමෝම පල ප්‍රයෝජන ගත්ත. නමුත් මෙතන ප්‍රශ්න කිහිපයක් මතු වෙනවා. නිදහස් අධ්‍යාපනය තිබ්බට විශ්ව විද්‍යාලය දක්වා යන ඒ ගමන බොහෝ දෙනෙක්  පෞද්ගලික ටියුෂන් මත, ශිෂ්‍යත්ව විභාග, සමහරුන්ගේ ජාත්‍යන්තර පාසැල් වල ඉගෙනීම හරහා තමා  වෙන්නේ. එතකොට වෛද්‍ය වෘත්තීය හැරෙන්න අනිකුත් වෘත්තීන් වලට යොමු වීම සඳහා උගන්වන්න පෞද්ගලික විශ්ව විද්‍යාල සහ නොයෙකුත් පෞද්ගලික ආයතන තිබෙනවා. එතකොට ඇයි වෛද්‍ය විද්‍යාලයක් පිහිටුවිමෙන් පමණක් නිදහස් අධ්‍යාපනය නැති වෙනවයි කියන්නේ?

සු ගේ පිළිතුර වුනේ මේක. අපි පරිගණක ඉංජිනේරුවෝ වශයෙන් අපේ අතින් වැරැද්දක් වුනොත් අපිට කෝඩ් එක හදන්න පුළුවන්. පරිගණක හදන ඉංජිනේරුවෝ අතින් වරදක් වුනොත් පරිගණකය  කැඩිලා යයි ආයි හදන්න පුළුවන්, අනිත් වෘත්තීන් වුනත් එහෙමයි. නමුත් වෙදැදුරු කෙනෙක් වරදක් කලොත් නැති වෙන්නේ ජිවිතයක්. ඒ නිසා වෛද්‍ය වෘත්තීය හැමෝටම කරන්න බැහැ. හොඳ ලකුණු තියන, ප්‍රමිතියක් ඇති මුදලට නොවිකිණෙන තැනකින් වෛද්‍ය උපාධිය දෙන්න ඕනේ.

බැලූ බැල්මට ඒ තර්කයත් හරි.  නමුත් දුර්වල තර්කයක්. සිවිල් ඉංජිනේරුවෙක් බිල්ඩිමක් හෝ පාලමක් වරදවා හැදුවොත් මැරෙන්නේ සිය ගණනින්. යාන්ත්‍රික ඉන්ජිනේරුවෙක් වරදක් ඇති මෝටරයක් නිරීක්ෂණය නොකළොත් සේවකයෝ කි දෙනෙක් මැරෙයිද? විදුලි  ඉංජිනේරුවෝ අතින් වැරැද්දක් වෙලා  විදුලිය නැති වුනොත් ඒකත බරපතල  ප්‍රශ්නයක්නේ. එහෙම බැලුවොත් මිනිසුන් 200-300 අරන් යන ගුවන් නියමුවන් ව පෞද්ගලික ආයතන වලින් පුරුදු කරලා හරියන්නේ නැහැ දැන් තියනවා වගේ. ආණ්ඩුවෙන් ඉහල ලකුණු මට්ටමකට බඳවා ගෙන පුහුණු කරන්න වෙනවා.

හැම රස්සාවකම  වැදගත් කමක් තියනව. කුණු ගෙනියන නාගරික කම්කරුවාගේ පවා.

වඩා හොඳ ලකුණු  තර්කය ගැන කතා කළොත්  - එහම නම්  දිස්ත්‍රික් පදනම ඇතිව අඩු ලකුණු වලින් විශ්ව විද්‍යාල වලට එන ළමයින්ට ඔය කියන උසස් ලකුණු නැහැ නේද? ඒ අයත් කොළඹ වෛද්‍ය විද්‍යාලයට ඒ කාලෙත් ආව . දැන් රටේ තියන අනිකුත් වෛද්‍ය විද්‍යාල වලට එහෙම ඇතුලත් වෙනවා. කොළඹ, යාපනය, නුවර වගේ පැති  වල සිසුන්  තමයි ඉහල ලකුණු වලින් එන්නේ. එතකොට අර ලකුණු අඩු ළමයි නිසා ප්‍රමිතිය අඩු වෙන්නේ නැත්ද? සත්‍යය නම් උසස් පෙළ සමත් නම් බොහෝ අයට වෛද්‍ය විද්‍යාව හදාරන්න බාධකයක් නැහැ. ඒ දැනුම ඇති විශ්ව විද්‍යාලය ක වෛද්‍ය විද්‍යාව හදාරන්න. ජර්මනිය වගේ රටවල ලකුණු සීමාව වැඩි කරලා තියෙන්නේ ස්ථාන වලට ඇති ඉල්ලුම වැඩි නිසා.

දෙවෙනි කාරණය  ඔය කියන විද්‍යාලයේ ප්‍රමිතිය අඩු නම් ඒක ලෙහෙසියෙන්ම විසඳිය හැකි ප්‍රශ්නයක්. එතැන ඉන්න අයට ඒක කරන්න බැරි නම් වෛද්‍ය සංගමයට පුළුවන් බල කරලා ප්‍රමිතිය හදා ගන්න.

හැබැයි ලාභ ලබන කතාවට නම් කියන්න තියෙන්නේ ව්‍යාපාරිකයෙක් එවැනි දෙයක් කරන්නෙම ඉන් කිසියම් ලාභයක් උපාය ගැනීමේ අරමුණින්. එතකොට අධ්‍යාපනය විකුණන එක හරිද? වැරදියි කියල හිතමු. මොකද බලපෑමක් එන්න පුළුවන් ප්‍රතිපල වලට. (විභාග)  බ්‍රිතාන්‍යය  වගේ රටවල වුනත් ලාභ ලබන විශ්ව විද්‍යාලයක්  නීතිය හැදෑරීම සඳහා ඇති කලේ 2012 දී වගේ මෑතකදී.  අනිත් හුඟක් පෞද්ගලික විශ්ව විද්‍යාල ලාභ ලබන ආයතන නොව චැරිටි (පුණ්‍යායතන)  ආයතන.

හරි එහෙම නම් ජනතා මුදලින් නිදහස් අධ්‍යාපනය  ලබන වෛද්‍යවරුන් පෞද්ගලික රෝහල් වල ට තම සේවය විකිණීම හරිද? පෞද්ගලික රෝහල් කියන්නෙම ලාභ ලබන ආයතන? එතකොට ජනතා මුදලින් ඉගෙන ගෙන ලාභ ලබන ආයතනයකට සේවය විකිණීමේදී  එතිකල් (ethical)  ප්‍රශ්නයක් නැත්ද? ඒ එක්කම කියන්න ඕනේ හැම වෛද්‍යවරයෙක්ම පෞද්ගලික සේවයේ යෙදෙන්නේ නැති බවත්. නොකරන අයත් හුගක් ඉන්නවා.

පහුගිය මාස කිහිපය තුල මගේ ළඟම  ඥාතීන් දෙතුන් දෙනෙකුම අසනීප වුණා. එක අයෙකුව  මුලදී පෞද්ගලික රෝහලට ගෙන ගියත් අන්තිමේදී ශල්‍යකර්මය කළේ රජයේ රෝහලක. ලැබුණු අවධානය ඉතා හොඳයි. හැබැයි හඳුනන කරුණාවන්ත වෛද්‍යවරුන් දෙතුන් දෙනෙකුත් ලොකු උදව් දෙක තුනක් කලා.  දෙවෙනි අවස්ථාවේ පෞද්ගලික වෛද්‍ය ආයතනය වැරදියට එක්ස් රේ එක කියවල වැරදියට ඩයග්නොස් කරල රෝගියා ට හොඳටම අමාරු වුණා . අන්තිමේදී ළඟම  තියෙන රජයේ රෝහලකටත් ඉන්පසු ඒ සඳහා විශේෂිත රජයේ රෝහලකටත් අරන් ගිහින් පසුව ශල්‍ය කර්මයකුත් කලා. නැවතත් රජයේ වෛද්‍යවරුන් හා හෙදියන් ඉතා හොඳට සැළකුවා. ඒවා අගය කරන්න එපැයි. ඒ කියන්නේ නිදහස් සෞඛ්‍ය සේවය තිබිය යුතු අවශ්‍යම දෙයක්.

ඔය අතරේ තවත් ඥාතියෙකුටත් හදිසි අසනීපයක් වෙලා. ඉන්නේ කොළඹින් පැය දෙකක දෙකහමාරක විතර දුර (රථයකින් යනවා නම්).  හදිසි වෙලා ඇමතුවම ඇවිත් තියෙන්නේ හැමෝම බැනපු ඉන්දියාවෙන් ගෙන්නපු හදිසි අනතුරු සේවා රථයක්. ඔය මගේ ඥාතියා ඕවට පලු යන්න බැනපු කෙනෙක්. ඉන්දියාවෙන් කසි කබල් ගෙන්නනවා. ඕව බොරු. ගෙවන්න ඕනේ වගේ දේ. සත පහක් ගන්නේ නැතිව ළඟම තිබෙන රජයේ  රෝහලට ගෙනිහින් දාල. මේ දවස් වල සනීප වෙලා ගෙදරත් ඇවිත්. මම නිකමට ඇහුව ඒ ඉන්දියන් හදිසි අනතුරු වාහන හොඳද කියල. ඔව් කිව්වා.

ඉතින් ආපහු  දානේ  ගෙදර යමුකෝ.

"රොහා"  නම් වැඩිය මුකුත් කිව්වේ නැහැ. "අනේ මම නම් සයිටමයට විරුද්ධයි. අපට  නිදහස් අධ්‍යාපනේ  ඕනේ " කියල. ඊට පස්සේ එයා ආපහු නිදි කිරන්න ගත්ත.

හැබැයි මට හොඳටම තේරුණ දෙයක් තමයි ටෙකා හිතනවා කියල  මම ළමයි ග්‍රමර් විදුහල් වලට දානවට විරුද්ධයි, ටියුෂන් යවනවට විරුද්ධයි කියල.  මොකද මම සු වා ට කිව්වා. මචන් ඕක හරි දෙබිඩි වැඩක් නේ. තමන් ගේ ළමයිව ටියුෂන් යවන ගමන්, හොඳ ඉස්කෝල හොයන ගමන් සයිටමයට විරුද්ධ වෙන්නේ කියල.

එතකොට සුවා  කියනවා " මට ඕකට අදහසක් නැහැ. දෙපැත්තටම කතා කරන්න බැහැ කියල."
මම කිව්වා, ඉතින් මමත් කියන්නේ ඕකම තමයි. මම විරුද්ධ නැහැ ඔයාල කවුරුවත් ළමයි ටියුෂන් යවනවට , ග්‍රමර් විදුහල් වලට දානවට, පෞද්ගලික විදුහල් වලට යවනවට. මොකද මටත් අවශ්‍ය වුනොත් එහෙම කරන්න  ඕනේ නිසා. මම කල්පනා කරන්නේ මගේ දරුවන් ගේ සුභ සිද්ධිය ගැන නිසා.

එතකොට සුවා  කියනවා,  ඔයා  කෝබින්  ගේ විශ්ව විද්‍යාල ටියුෂන් ෆීස් නැති කරනවයි කියන ප්‍රතිපත්තියට  සහයෝගය දෙනවනේ. ඒ කියන්නේ ඒකත් දෙබිඩි කමක් නේ කියල.

ඔන්න ඔතන තමයි ප්‍රශ්නය. ඕක  ගැන ඉතා  සවිස්තරාත්මකව මෙතන ලියල තිබෙනවා. ඒ වගේම මේ ඉංග්‍රීසි ලිපියෙත් තිබෙනවා.  කෝපරේෂන් ටැක්ස් හෙවත් විශාල සමාගම් සඳහා අය කරන බද්ද අඩුම රටක් තමයි බ්‍රිතාන්‍යය. ඇමෙරිකාවේ  හා ප්‍රංශයේ මේ බද්ද වැඩිම.  මින් ජර්මනියේ හා ස්වීඩනයේ අධ්‍යාපනය නොමිලයේ දෙන්නේ (පෞද්ගලික විශ්ව විද්‍යාල කිහිපයක් තිබේ). දැනට තිබෙන බද්ද 26% දක්වා වැඩි කිරීමන් බ්‍රිතාන්‍යයේ ආර්ථිකයට දැඩි  හානියක් වෙන්න නැහැ කියල තමයි මේ ලිපි දෙකේම කියන්නේ.  එනිසා කෝබින්ට විශ්ව විද්‍යාල වල ටියුෂන් ගාස්තුව නැති කළ හැකියි ආර්ථිකයට හානි නොවන විදහට.
 මේ පින්තුරය ගත්තේ ෆිනන්ෂල් ටයිම්ස් පුවත් පතේ ලිපියකින්.

තවත් දෙයක් තමයි පහුගිය කාලවල සිසු ණය  වලින් ඉගෙන ගෙන ගෙවන්න තියන ණය පවුම් බිලියන් සීයක් විතර. ඉගෙන ගෙන ණය නොගෙවපු නිසා බොල් වෙච්චි ණය  හුඟක් තියනවා. බැංකු අමාරුවේ වැටිලා. ඒවා බේරා  ගන්න ගෙවන්නෙත් ආණ්ඩුව.

කෝබින් මේ ණයත් අහෝසි කරනවලු. ඒකෙන් වෙන්නේ අර මිලියනයකට වැඩි සිසු ණය ගෙවන රැකියා සහිත උපාධිධාරීන්ට අතට මුදලක් ඉතිරි වෙනවා  ණය නොගෙවන නිසා. ඔවුන් ඒ මුදල නැවත යොදන්නේ , වියදම් කරන්නේ, භාණ්ඩ හා සේවා ලබා ගැනීමට නම් එමගින් ආර්ථිකයට තව තල්ලුවක් එනවා.  ඒ කියන්නේ එයත් ආර්ථිකයට හොඳ බවයි .

තව ටිකක් ඒ ගැන පැහැදිලි කෙරුවොත් මෙන්න මෙහමයි. මම ආත්මාර්ථකාමියි. මගේ දරුවෝ ගැන තමයි හිතන්නේ. ඒ නිසා ටියුෂන් ෆීස් නැති කෙරුවොත් උන් විශ්ව විද්‍යාලේ යන දවසක ණය නොවී ඉගෙන ගනියි. සාධාරණයි නේ. නමුත් මම විරුද්ධ වෙන්නේ නැහැ මෙහෙ කාගේවත් ළමයි පෞද්ගලික විද්‍යාල වලට යවනවට වත් (කම්කරු පක්ෂයේ ඩයන් ඇබට් වගේ), පෞද්ගලික විශ්ව විද්‍යාල තියෙනවට වත්.  මොකද මගේ ළමයින්ව අවශ්‍ය නම් එහෙම ටෝයිෂන් යවන්න  මම ලෑස්ති නිසා. සයිටම් වහපන්, නිදහස් අධ්‍යාපනේ බේරා  ගනිව් කියල කියන ගමන් තමන්ගේ ළමයි ට සලකන්නේ වෙනස් විධිහක ට නම්  ඕක හරි වන්නේ කොහොමද/ අපිද ආත්මාර්ථකාමී, පෙරටුගාමී සමාජවාදීන්  ලා ලහිරු ලාද? ඔය ලන්ඩන් උද්ඝෝෂණයට ගිය අපේ හිතවතුන්ද?

ලන්ඩන් නගරයේ පමණක් ආර්ථිකය ශ්‍රී ලංකාවේ ආර්ථිකයට වඩා කිහිප ගුණයක් විශාලයි.  බ්‍රිතාන්‍ය ආර්ථිකය ගැන සිත ගත හැකිනේ එතකොට. සිසු ණය අහෝසි කිරීම හා විශ්ව විද්‍යාලය දක්වා නොමිලයේ අධ්‍යාපනය ලබා දීම ඔවුන්ට කරන්න පුළුවන්. නමුත් විශ්ව විද්‍යාල සේවා සඳහා පවුම් 1000 වගේ මුදලක් ය කරනවා නම් නම් හොඳයි කියලයි මම හිතන්නේ. දැන් වගේ පවුම් 9000 ට ඉහලින් යන ගණනක් නම් අසාධාරණයි.

ආ දානේ ගෙදර හිටියා ශ්‍රී ලංකාවේ උගත්, පුහුණුව ලැබූ වෛද්‍යවරියකුත්. එයා කිව්ව දෙයක් තමයි "ලංකාවේ ඉඳන් ළමයි එනවනේ පවුම් 40000 වසරකට ගෙවල (දැන් තියෙන පවුමට රුපියල් 198 රේට් එකට කූල් ලක්ෂ 79ක් - 79,35813) විතර ) ඉම්පීරියල්, කේම්බ්‍රිජ් වගේ විශ්ව විද්‍යාල ඉගෙන ගන්න. එහෙම පොහොසතුන් තමා ලංකාවේ  ඉන්නේ කියල."
ධනයෙන්  අඩු පොහොසතුන් (මධ්‍යම පන්තිකයන්)  සහ කීර්තිමත් වාමාංශිකයන්, වැඩි ප්‍රසිද්ධියක් නැති සයිටම් විරුද්ධ වාදී  වාමාංශිකයන් ගේ ළමයි (පෞද්ගලිකව දනිමි) එහම චීනය, චෙක්, රුසියාව, ජෝර්ජියාව, ලැට්වියාව , ලිතුවේනියාව , මැලේසියාව, ඉන්දියාව වගේ රටවල ඊට වැඩ අඩු ගණන් වලට වෛද්‍යවරු වන්න ඉගෙන ගන්නවා. ඔය හැම  එකේම ප්‍රමිතිය තියනවද කියල නම් මම දන්නේ නැහැ.

 ශ්‍රී ලංකා  වේ රජයකට පුලුවන්ද අලුත් විශ්ව විද්‍යාල හදන්න. තියෙන විශ්ව විද්‍යාල වලටත් ප්‍රාථමික හා ද්විතීයික අධ්‍යාපනයටත්, කාර්මික විදුහල් වලටත් සමස්තයක් වශයෙන්  වියදම් කරන්නේ ඉතා අඩුවෙන්. ලක්ෂයකට වැඩියෙන් අපොස උසස් පෙළ සමත් සිසුන් සඳහා වැඩ පිළිවෙලක් තිබිය යුතුයි. ඉංජිනේරු හා ගණකාධිකාරී වෘත්තීන් සඳහා පෞද්ගලික  ආයතන තියනවා නම් වෛද්‍ය විද්‍යාව සඳහා එසේ ආයතන පිහිටුවීම වරදක් නෙමෙයි කියලයි මට හිතෙන්නේ. ඒකෙන්  නිදහස් අධ්‍යානය නැති වෙනවා  කියන්නේ අසත්‍යයක්.  ලංකවේ ඔය කියන නිදහස් අධ්‍යාපනය නැති කරන්න අමාරුයි. මිනිස්සු තමයි බලෙන් ළමයින්ට ටියුෂන් දීල උගන්වන්න යන්නේ.

රාගම පිඑම්සී එක හදපු කාලේ අපි හැමෝම ඒකට විරුද්ධ වුනානේ නිදහස් අධ්‍යාපනේ නැති කරනවා කියල. නමුත් විජේවීර මහතාගේ හා ජවිපෙ අදහස වුනේ එම අරගලය වඩාත් තීව්‍ර කරලා,  ඒ අරගලය රජය පෙරලීමේ අරගලයක් දක්වා ව්‍යාප්ත කරන්න. නමුත් වුනේ වෙන දෙයක්. තහනම් දේශපාළන  පක්ෂයක් අවි අතට ගත්තේ මර්දනයට විරුද්ධව කියල. ඇත්ත, දරුණු  මර්දනයක් තිබ්බා.  ඒක ප්‍රතික්ෂේප කරන්න බැහැ. නමුත් පෞද්ගලික විශ්ව විද්‍යාලයට විරුද්ධ අරගලය රජය පෙරලීමක් දක්වා ගෙනියන්න ජනතාවක්  හිටියේ නැහැ. ඒ අරගලයට එකතු වුනේ ඉන්දියන් විරෝධී අරගලය විතරයි.  ඒ වගේ පටු ඉල්ලීමක් දෙකක් කවදාවත් පළල්  විරෝධත්වයක් වෙන්නේ නැහැ. ආණ්ඩුව කලේ පින්සර් ඇටෑක්  එකකදී  වගේ ඉස්සෙල්ල කඩාගෙන මැදින් එන්න දීලා ඊට පස්සේ දෙපැත්තකින් තුන් පැත්තකින් වට කරලා ගහපු එක.  කී දෙනෙක් මැරුනද දෙපැත්තේම ?
සයිටම් විරෝධී සටන තවත් එහාට?

පෙරටුගාමී සමාජවාදීන් අවුරුදු 28 කට 29 කට පස්සේ ආපහු  එහෙම කරන්න පුළුවන් කියල හිතනවා වෙන්න පුළුවන්.   නමුත්  දැන් එකට ඉන්න අය තව ඉස්සරහදි කැඩී වෙන්වීමේ අවදානම වැඩි. මේක ලංකාවනේ. . වෛද්‍ය සංගමය ආණ්ඩුව පෙරළීමේ ව්‍යාපෘතියකට  එන එකක් නැහැ. පළල් ජනතා  සහභාගිත්වයක් නැති වුනොත් එවැනි අරගලයකට ආණ්ඩුව මුළු වැර  යොදා පහර දෙයි.සිසුන්ට පහරදීම් මගින් ඔවුන් මර්දනයකට පොළඹවා ගන්න එක ලේසියි. දයලෙක්තිකව අනුව වෙන වැඩක් නේ.

අනිත් පැත්තෙන් තම දරුවන් එම විද්‍යාල වලට දාගෙන ගිය ආණ්ඩුවෙනුත් ආධාර අරගෙන සයිටමේ පැත්තේ ඉන්න ඇමැති ලගේ පැත්ත ගන්නත් බැහැ. එස් බී, රාජිත වැනි නම් කිහිපයක් මතකයට එනවා. ඒ අය පිලිබඳ නොයෙකුත් අපවාද , චෝදනා තියනවා. හුඟක් අයට පෙන්නන්න බැහැ වගේ. නමුත් ප්‍රශ්නේ කියන්නේ මේ ගොල්ල ඔය හැම ආණ්ඩුවේම ඉන්න එකනේ. ඔපමණ  අප්‍රියජනක, අපකීර්තිමත් අයනම් හැම ආණ්ඩුවකම ඇමතිකම්  දරන්නේ කොහොමද?  පුදුම ආණ්ඩුව සහ පුදුම ජනතාවක්.

ඇත්තටම  කියනවා නම් දානේ ගෙදරින් එලියට බහින කොට මට හිතුනේ සුවා වගේම  මටත් පැත්තක් ගන්න බැහැ  නේද කියල. "ගෙදර ගියොත් අඹු නහී. මග හිටියොත් තෝ නහී" වගේ වැඩක්.

ජනමත විචාරණයක් තිබ්බොත් නරකද?

1. ඔබ සයිටම් ආයතනය ප්‍රමිතියකින් යුතුව පවත්වා ගෙන යන්න කැමතිද?
2. සයිටම්  ආයතනය හා තවත් එවැනි ආයතන පිහිටුවීමෙන් නිදහස් අධ්‍යාපනය නැතිවේද?
3. නිදහස් අධ්‍යාපන නැති නොකරන් බවට රජය ගිවිසුමකට එළඹිය  යුතුද?

වගේ ප්‍රශ්න ටිකක් දාල?

ජනතා පරමාධිපත්‍යය කියල ජනතව දෙන තීරණය හැමෝටම පිළි  ගන්න බැරිද?

මේ ගැන ලියූ අනිකුත් ලිපි:

1. අන්තරේට කඳුළු ගෑස් ගහන්න කිවූ යහපාලන පිස්සු හුටං කවුද?


3. නිදහස් අධ්‍යාපනය හා පෞද්ගලික විශ්ව විද්‍යාල - 1 - වැස්සට තෙමෙන උන්
4. නිදහස් අධ්‍යාපනය හා පෞද්ගලික විශ්ව විද්‍යාල - 2 - සයිටම් යනු රෝග ලක්ෂණයකි.
5. නිදහස් අධ්‍යාපනය හා පෞද්ගලික විශ්ව විද්‍යාල - 3 කෝබින් සහ යුරෝපය
6. පෞද්ගලික අධ්‍යාපනය
7. වජිර යාපා ගේ කොමෙන්ටුවට "මං තුමා" ඇවිස්සෙයි
8. සෝවියට් ශිෂ්‍යත්ව ගැන තව දුරටත්
9. සයිටම් පිලිබඳ මධස්ථ සිතින්
10. නිර්මාල් එන්න ෆොන්සේකා සමග මල් නෙලන්න

කෙළින්ම සම්බන්ධයක්  නැති ලිපි:

විජේවීර නුදුටු ජැප්පා දුටු සෝවියට් දේශය


මුලාශ්‍ර:

1.The party's over - how tuition fees ruined university life 
2. The 11 plus 
3. ග්‍රමර් පාසැල්
4. Britain's first profit making university 
5. ජෙරෙමි කෝබින් මාක්ස්වාදියෙක්ද? සමාජ ප්‍රජාතන්ත්‍රවාදියෙක් ද?
6. Why Corbyn is right to increase corporation tax
7. UK student loan debt soars to more than £100bn