දමිත චන්ද්‍රසිරි
ක්‍රිස් මැක්කැන්ඩ්ල්ස්
සමහර කතා අපට දැන ගන්න ලැබෙන්නේ හුඟක් පරක්කු වෙලා. මේ එහෙම කතාවක්. පසුබිම කියන්න කලින් ලියන්න ඕනේ මෙහෙම. මමත් කාලයක් වහන් වෙලා හිටිය ලෝකෙන්. අනූ ගණන් වල මුල භාගයේ. හරියටම මොකද්ද කරන්නේ කියල දන්නේ නැතිව. ජිවිතයේ එල්ලයක් නැති වෙලා ගිය මොහොතක. ඊට පස්සේ පසු කලෙක මගේ බිරිඳ වුන ඇය මුණ ගැසුන. මම ලෝකෙන් වහන් වෙලා හිටි කාලේ අවසන් වුනා.අපි තවමත් යනව නිවාඩු, හිටපු ගමන් වේල්ස් පැත්තේ ගම්මාන වලට. කඳු වලින් වටවෙච්චි පහත් තැනිතලා බිම්වල. ඉන්ටනෙට් නැහැ. මොබයිල් දුරකථන වැඩ කරන්නේ නැහැ. ෆේස්බුක්, වට්ස්ඇප් මුකුත් නැහැ. සුමානයක් දෙකක් ලෝකෙන් අයින් වෙලා ඉන්න. ජිවිතේට සමහර වෙලාවට ඒ නිදහස ඕනේ. ඒ සැනසීම ඕනේ.
හැබැයි සම්පුර්ණයෙන්ම හැමදේම එපා වෙලා යන්න හිතුනොත්. අපි ඒකට අභිනිෂ්ක්‍රමණය කියල නම් කරනවා. එහෙම ගිය එක්කෙනෙක් පසු කලෙක බුද්ධත්වයටත් පත් වුනා.
මේ ටික මතක් වුනේ පහුගිය දිනෙක හමුවුණු තුමිඳු දොඩන්තැන්න කියපු කතාවක් නිසා. තුමිඳු රඟපෑව, බොහොමයක් අපි ඉතා කැමත්තෙන් නරඹපු කුඹියෝ ටෙලි නාට්‍යය ලියපු දෙන්න තමයි ලක්මාල් ධර්මරත්න සහ දමිත චන්ද්‍රසිරි. ඒ ගොල්ලෝ මාස ගාණක් පුරාවට ස්ක්‍රිප්ට් එක ලීවට පස්සේ තුමිඳු ට කතා කරල කියල, මෙහම කතාවක් තියනවා කියල.. තුමිඳු එවන්න කීවම එදා රෑම ෆයිල් කිහිපයක් හැටියට මෙසෙන්ජර් එකෙන් එවල තියෙන්නේ. තුමිඳු ඒක කියවල රඟපාන්න කැමති වෙලත් ඕස්ට්‍රේලියාවේ යන්න තියෙන නිසා ඒ වෙලාවේ කියලා තියෙනවා වෙන කෙනක් ගන්න කියල. . නමුත් දමිත සහ ලක්මාල් දෙන්නම තුමිඳු ඕස්ට්‍රේලියාවේ ඉඳන් එනකන් ඉන්න කැමති වෙලා තියනවා. මොකද ඒ දෙන්නගෙම අදහස් වෙලා තියෙන්නේ ජෙහාන් ගේ චරිතයට ගැලපෙන්නෙම තුමිඳු බව. දමිත කියල තියෙනව තුමිඳු හිතේ තියාගෙනමයි කතාව ලීවෙ කියලත්. පෞද්ගලික මොහොතක් වුනත් මම ඉහත පින්තූරය දැම්මේ තුමිඳු ඒ කතාව අපට කී දවස නිසා. හැබැයි එතකොට වෙනත් නිෂ්පාදකයෙක් ඉඳල තියෙන්නේ.
තුමිඳු ඕස්ට්‍රේලියාවේ ඉන්න කාලේ ඒ නිෂ්පාදකයා නාට්‍යය ව්‍යාපෘතියෙන් අයින් වෙලා. ඒ අවස්ථාවේ තමයි තුමිඳු ගේ අයියා කතාව කියවල කැමැති වෙලා තියෙන්නේ. ඉතිරි හරිය හැමෝම දන්නවා.
ඊට පස්සේ මම නොදන්නා කතාව තමයි (ලංකාවේ හිටිය අය නිව්ස් වලින් දකින්න ඇති මේක) දමිත චන්ද්‍රසිරි අතුරුදහන් වුනු බව. අනුරාධපුරේ ඈත ගමකින් කොළඹ ආපු දමිත නැවතිලා හිටියේ නාවල. තුමිඳු කියන විධිහට තමන්ගේ නවාතැනේ බිල් ඔක්කොම ගෙවල, බැංකු කාඩ් පත් ආදිය ඉවත් කරගෙන, ලැප්ටොප් එක මේස උඩ තියල කාමරයත් අස් කරල දමිත් ගිහින්.. හරිම ලස්සන හිතක් තිබුණු සංවේදී වගේම අසාමාන්‍ය චරිතයක්.
මුලදී හැමෝම දමිත හොයල තියනවා. නමුත් පස්සේ ලක්මාල් කියල තියෙනව දමිත නිතර බලපු චිත්‍රපටයක් තියෙනව. ඒකෙ විධිහට නම් දමිත ට අවශ්‍ය නැහැ අපි එයාව හොයා ගන්නවට කියල. තුමිඳු, ලක්මාල්, අසංග ඇතුළු යහළුවෝ ඒ චිත්‍රපටය බලල ඉතාමත් දුකින් වුනත් දමිත ගැන සෙවීම අතහැර දාල තිබෙනවා. ඒත් තුමිඳු ඉතාමත් සංවේගයෙන් අදත් කියන්නේ "දමිත ආපහු එනවනම් හොඳයි අයිය" කියල.
තුමිඳු මේ විස්තරය කීව දාට පහුවදාම මම ඒ චිත්‍රපටය බැලුව. "ඉන් ටුද වයිල්ඩ්" - වනයට අභිනිෂ්ක්‍රමණයක් කියල පරිවර්තනය කළ හැකි ඒ නම. මට චිත්‍රපටය බලන්න හිතුනේ මට මතක් වුනා හර්මන් හෙස ලියපු "සිද්ධාර්ථ" නමැති කතාව. සිද්ධාර්තත් කිසියම් සත්‍යයක් සොයාගෙන යනවා හැමදේම අත හැරලා. ඒ යන ගමනේ ගෝවින්ද කියල යහළුවෙක් හම්බ වෙනව. ඉන්පසු ගෞතම බුදුන් වහන්සේ මුණ ගැසෙනවා දෙන්නටම, ගෝවින්ද බුදුන් සරණ යද්දී සිද්ධාර්ථ තමන්ගේ විමුක්තිය තමන්ම හොයා ගන්න ඕනේ කියල යනවා. ඒ කතාව තවත් දුරට යනවා.
මේ වනයට අභිනිෂ්ක්‍රමණය කරන ඇමෙරිකානු තරුණයා, ක්‍රිස්ටෝපර් විශ්ව විද්‍යාල අධ්‍යාපනය හොඳින් අවසන් කළ, ක්‍රීඩා වලට දක්ෂ කොටින්ම ඉදිරි ජිවිතය "සාර්ථක වීම" සඳහා සම්ප්‍රදායානුකුල අර්ථයෙන් ගත්තොත් සුදුසුකම් සම්පූර්ණ කළ අයෙක්. මව සහ පියා ඔහුට හොඳ කාරයක් අරන් දෙන්න උත්සාහ කරනවා. පළමුවෙනි ගැටුම පෙනෙන්නේ එතනින්. ක්‍රිස් අහනවා "ඇයි මගේ පරණ හොන්ඩා කාරෙකේ වැරැද්ද මොකක්ද?" කියල. කාරෙක යනවනම් පාරේ, අවශ්‍ය ප්‍රධාන දේ කෙරෙනවා නම් අලුත් එකක් ගන්න අවශ්‍ය නැහැ.
නමුත් අපට සමාජයෙන් හොඳ කාරයක්, ගෙයක් දොරක් හෙම තියනවා නම් එන තත්වයක් තියෙනවනේ. මවගේ සහ පියාගේ අදහස වුනේ ඒ තත්වය රැක ගන්න එක.
අපට ඒ දවස්වල තිබුන හොඳ හුරු බුහුටි ෆෝඩ් ෆියෙස්ටා කාරෙකක්. ජර්මනියෙන් ගෙනාපු නිසා වමෙන් පදවන්නේ. ඒකෙ සර්විස් මට තනියම කරන්න පුළුවන් විධියට හරි සරලයි. මේ වන්ඩියට අපි කොච්චර කැමති වුනත් යන යන තැන යාළුවෝ කියන්න ගත්ත "අජිත් මොකද්ද බං , හොඳ කාරෙකක් ගනින්කෝ , ලැජ්ජා නැත්ද ඕකේ යන්න" මේ සුපිරියට යන වාහනේ. අන්තිමට ඔෆිස් එකේ උනුත් කියන්න ගත්ත වමෙන් යන කාර් එකකින් යන්නේ ඇයි වගේ කතා. අන්තිමට බොහොම අකමැත්තෙන් ඒක දෙන්න වුන. සමාජයේ ජිවත් වෙනවා නම් කිසියම් පීඩනයක් , තෙරපුමක් එනවා කිසියම් හට පද්ධතියක් යටතේ ජිවත් වෙන්න. ඒකෙන් ගැලවෙන්න ටිකක් අමාරුයි.
ක්‍රිස් ගේ සොයුරිය පවසාගෙන යන කතාවේ ඉක්මවා පෙන්වන තව දෙයක් තමා ලෝකයට පෙන්වන ඔවුන්ගේ දෙමව්පියන් ගේ විවාහ ජීවිතය ඇත්තටම බොරුවක් බව. පියාට තිබ්බ වෙනත් අනියම් බඳතාවකින් තව පුතෙක් සිටිනවා. ක්‍රිස් මෙය දැනගත්තත් සොයුරිය ගෙන් ඉල්ලා සිටිනවා ඔවුන් ඒ රහස දන්නා බව හෙළි නොකරන ලෙසට. මව හා පියා කරන ව්‍යාපාර වලදී එකමුතුව සිටියත් නිවසේදී දැඩි ලෙස වාද කළා, රණ්ඩු කළා. ආඩම්බරකාර පියා කෝපාවිෂ්ට ලෙස මවට තර්ජනය කරනවා වගේම පහරදීමත් කර තිබුන.
ක්‍රිස් අභිනිෂ්ක්‍රමණය කරන්න තීරණය කරන්නේ මේ වටාපිටාව තුල. තමනට තමන්ව හොයා ගන්න නැත්නම් සියළුම බැඳීම් වලින් මිදිලා වනගත දිවියකට යන්න. ඒ ගමන යන්නේ තාවකාලිකාවද නැත්ද කියන එක එයාම දන්නේ නැහැ. තමන්ගේ විශ්ව විද්‍යාල අධ්‍යාපනය ට ලද මුදල් ඩොලර් විසි පන්දාහක් ඔහු පුණ්‍ය කටයුතු වලට බැර කරනවා. තමන්ගේ හැඳුනුම් පත, ගමන් බලපත්‍රය , ක්‍රෙඩිට් කාඩ් ඔක්කොම විනාශ කරල දානවා. දාලා ඔහු බටහිර පැත්තට යනවා. ඒ යන ගමනේදී බොහෝ දෙනා මුණ ගැහෙනවා. අළුත් සබඳතා හදා ගන්නවා. නමුත් ඔහු කිසි තැනෙක රැඳෙන්නේ නැහැ. මෙක්සිකෝවට යන ඔහු නැවැත ඇමෙරිකාවට පැමිණ හැඳුනුම් පතක් ගන්න යනවා අනාථයන් පිලි ගන්න තැනකට. එතනදී තමන්ගේ නම දෙන්න ඇලෙක්සැන්ඩර් සුපර්ට්‍රෑම්ප් කියල. "සුපිරි හිඟන්නා" කියන වාසගම සහිතව.
හිපි යුවලක් වන රෙයිනි සහ ජෑන් ඔහුට මගදී මුණ ගැහෙනවා. ඔවුන්ටත් පුතෙක් ඉඳල වෙන්වෙලා ගිහින්. ඔවුන් ක්‍රිස් ට ආදරය කරනවා වගේම නවතින්නත් ආරාධනා කරනවා. හිපි දිවියේ නිදහස ගැන කියල. එසේම ගොවියකු වන වෙයින් ඔහුට උදව් කරනවා, මුදල් සොයන්න. ගොවිපළවල වැඩ කරන්න. ඒ කිසිම තැනක ක්‍රිස් බැඳී හිටින්නේ නැහැ. ඒ හැම තැනම නිදහස තිබුනත් ඔහුගේ අවසාන බලාපොරොත්තුව උනේ ඇලස්කාවට යාම නිසා.
පසු කලෙක ට්වයිලයිට් චිත්‍රපට මාලාවේ රඟපාන කර්ස්ටන් ස්ටුවර්ට් ආරම්භක නිලියක් වශයෙන් මේ චිත්‍රපටයේ ළාබාල හිපි තරුණියක් ලෙස රඟ පානවා. සුන්දර ප්‍රථම ප්‍රේමයක් ලෙස ඈ සමග නවතින්න පුළුවන් වුනත් වරෙක ඈ සමග එකතුව ගිටාරය වයමින් ගීතයක් ගැයූවත්, ඔහු ඇයත් හැරදා යනව.
එසේම ඔහුට හමුවන තවත් චරිතයක් තමයි හදිසි අනතුරකින් තමන්ගේ බිරිඳ සහ පුතා මියගිය පසු තනිව ජීවත් වෙන රොන්. රොන් ට අවශ්‍ය වෙනවා ක්‍රිස් ව තමන්ගේ මුණුපුරා ලෙස තබා ගන්න. රොන්ව කන්දක් මුදුනට රැගෙන යන ක්‍රිස් ඔහුගේ ගමනාන්තය ඇලස්කාව බව පවසන ගමන්, ලොව සියල්ල දැක තිබුනා කියා හිතාගෙන සිටින රොන් වැරදි බවත් නිදහස සොයා ක්ෂිතිජයේ ඉමට යන ගමන මනරම් බවත් පහදා දෙනවා. රොන් පිලි ගන්නව ඔහුට ඒ කන්ද නගින්න අමාරු වගේම එවැනි ගමනක් යන්නත් අමාරු බව. තමන්ගේ හිම සපත්තු හා තුවක්කුව ක්‍රිස් ට දෙන රොන් ඔහුව ඇලස්කාව ට හැරලනව. එසේ කරන්නේ නැවත ඔහු සමග ජීවත් වන්නට එන ලෙසට ඉල්ලීමක් කරමින්.
හිම වලින් පිරිණු සුන්දර ඇලස්කාව ක්‍රිස් ව මන්මත් කළත් එය ඉතා අසීරු ජිවිතයක් බව ඔහු ජර්නලයක නිති පතා සටහන් කරනවා. ඔහු සිටින්නේ සතුටින්. නමුත් බාධක බොහොමයක් හමුවෙනවා. දඩයම් කිරීම ලෙහෙසි නැහැ, වෙඩි තබා මැරූ ගෝනා ගේ මස් කල් තබා ගන්න ඔහුට අපහසු වෙනවා. කෑම හොයන්න බොහෝ දුර ඇවිදින්න වෙනවා.
මේ අතරවාරයේ ක්‍රිස් නැතිව දැඩිව සොවින් තැවෙන දෙමාපියන් ඔහුව සොයනවා. අවසානයේදී ක්‍රිස් ගේ නික්ම යාම තුල දෙමාපියන් තමන් කල වැරදි වටහා ගන්නවා.
ක්‍රිස් අත් හැර දැමූ පරණ බසයක් හොයාගෙන එහි ජිවත් වන්නට උත්සාහ කරනවා. . ඔහුට ඉතා හොඳ මිනිසුන් ගෙන උදව් මුලදී ලැබුනත්, මිතුරන්ගේ සොයුරිය ගේ උදව් ලැබුනත්, ඇලස්කාවේ ඔහුගේ තනිවීම තුල, ඔහු ජීවිතය නැවත ආවර්ජනය කරන්නේ අප හැමට යහළුවන් සහ පවුල සමහර විට අවශ්‍ය වෙනවා නොවේද යන්න පසක් කරමින්. අපි කෙතරම් ආත්මීය ලෙස, මේ ලෝකය මායාවෙන් පිරුනක් ලෙස හැර යන්නට උත්සාහ කලත් එය හැම විටම සාර්ථක වන්නේ නැහැ . ඒ තරමට මේ සාමාන්‍ය යයි අප සලකන ලෝකය අපට හුරු පුරුදුයි.
තරුණ තරුණියන් කැරලි ගසන්නේද , අරගල කරන්නේද තමන් ජිවත් වන සමාජයේ දෙබිඩි බව දකින විට. එහි දුකින් හෝ කෝප ගැනීමකින් තොර ජීවිතයක් ගෙවීමට නම් පවතින ක්‍රමයට අනුගතව රොබෝවක් මෙන් ජිවත් වන්නට සිදුවන බව වැටහෙන විට. සමහරු කැරලි හා අරගල අතහැර තම නිදහස හා විමුක්තිය සොයා යනව. හැත්තෑ එකේ කැරැල්ලෙන් පස්සේ ජී අයි ඩි ධර්මසේකර හා තවත් එවැනි අය සමාජය අතහැර වනගතව ජීවත් වූ බව මම අසා තිබෙනවා.
ක්‍රිස් ට මිය යාමට කිසි සේත් අවශ්‍ය වන්නේ නැහැ, ඒ වෙනුවට ඔහු ජිවත් වීමට දරන වෙහෙස අප්‍රමාණයි. දඩයමක් කර ගැනීමට නොහැකිව, ගෙනා සහල් අවසන් වුනු පසු ගඩා ගෙඩි හා පැළෑටි අනුභව කරන්න ඔහු පෙළඹෙනවා. නිවැරදිව තම පොතේ සඳහන් වුවත් විෂ බව හනුනා නොගෙන පැළෑටිය ක ගෙඩි සහ කොළ අනුභව කිරීමෙන් ඔහු ලෙඩ වෙනවා. නැවත පොත බැලීමේදී ඔහු දැන ගන්නවා තමන් අනුභව කලේ විෂ සහිත ශාකයක් සහ එහි ඵල බව. ක්‍රිස් අවාසනාවන්ත ලෙස, වේදනාකාරී ලෙස ජිවිතයෙන් සමු ගන්නවා.
පසුව දඩයක්කරුවෙකුට ක්‍රිස් ගේ සිරුර බසයක් තුලදී හමුවෙනවා. ඔහුගේ සොහොයුරියට ක්‍රිස් ගේ බෑගය සහ දිනපොත හමුවීම තුලින් ක්‍රිස් ගතකල කාලය පිළිබඳව ලෝකයා දැන ගන්නවා. නමුත් ඒ වනවිට ඔහුගේ පවුලටත් මිතුරු මිතුරියන් ටත් ක්‍රිස් අහිමි වී හමාරයි.
මටත් වෙලාවකට හිතෙනව සමාජ ජාලා වල ගිණුම් අකර්මන්‍ය කරලා බ්ලොග් ලිවිල්ලත් නවත්වල AWOL හෝ MIA වෙන්න. ෆේස්බුක් එක යහළු වන ප්‍රමාණය නම් සීග්‍රයෙන් අඩු කරමින් ඉන්නේ. ඒත් ක්‍රිස් වගේ සම්පුර්ණයෙන්ම සමාජයෙන් අහක් වෙන්න බැරි තරමේ බැඳීම් හුඟක් අපි හැමෝටම තියනවා. ඉතින් ඒක කරන්න අමාරුයි. නමුත් බැඳියාවන් අඩු වෙනකොට නිදහස වැඩි වෙන එකනම් සත්‍යයක්.
තුමිඳුලා හිතන් ඉන්නවා දමිත කවද හරි ආයේ එයි කියල. ඔහුගේ කැමතිම චිත්‍රපටය නරඹල තියෙන නිසා ඔවුන් නැවත ඔහුව හොයන්නේ නැහැ. නමුත් මට හිතෙන්නේ මේ අප ගත කරන්නේ ඔහු වැන්නන් අවශ්‍යම කාලයක් බව. නැවත පැමිණ ඔහුගේ අත්දැකිම් තුලින් සාර්ථක නිර්මාණයක්, සාමාන්‍ය එකක් නොව ලොවට වෙනස් යමක් පහදා දෙන නිර්මාණයක් කරන්නට හැකිනම් අගෙයි. ක්‍රිස් අභිනිෂ්ක්‍රමණය කළේ ජිවිතය එපාවී නොවෙයි ජිවිතයට ආදරය කළ නිසා.
හැම දිනකම නොනැවතී වෙනස් වෙන ක්ෂිතිජයක්ද නව සහ වෙනස් සුර්යයා ද දැකීම තරම් වෙනත් සතුටක් නැත. - ක්‍රිස් මැක්කැන්ඩ්ල්