Saturday, 28 November 2015

ප්‍රථම ප්‍රේමය ඔබ නොවේ (1) - ප්‍රථම හමුව




"ඉතින් මචං මොකක්ද තත්වේ" ගිහාන් සිය මිතුරාගෙන් විමසීය. "නැහැ මචං වුන දේ නිකන් හීනයක් වගේ. උඹට වෙච්ච් දේ හොඳයි කියල මට කියන්න බැහැ. නමුත් මට මෙහෙ වෙයි කියල හිතුනේ නැහැ. ."
නිලන්ත පැවසීය. ගිහාන් ට තම මිතුරා ගැන දුකක් ද සිතුණි. ඔහු අතීතයේදී කි කතාවක් ගිහාන්ට මතක් විනි.
"මචං ඔය සුද්දියෝ පස්සේ යන්නේ මොකද බන්. හොඳ පිරිසිදු ලස්ස්සන කුලවත් සිංහල කන්‍යාවියක් බැඳ ගනිං. උඹ දන්නේ නැහැ. හරිම සුන්දරයි. ආදරේ කරගෙන ලස්සනට ජිවත් වෙන්න පුළුවන්."
"උඹ මොනවාද බන් සුන්දරත්වය ගැන දන්නේ" එදා එසේ කියා ගිහාන් නිලන්තට දිග දේශනාවක් කළේය.

නිලන්ත නාවික ඉංජිනේරුවෙකි. තම නිවසේ මාස තුනේ සිට හයක් පමණ සිටින ඔහු ඉතිරි කාලයේ තම රැකියාවේ නිරත වෙයි. ඔහු රැකියාව කළේ නැවක ප්‍රථම නාවික ඉංජිනේරු වශයෙනි. දෙවන ඉංජිනේරු වශයෙන් සැහෙන කලක් සේවය කර ඔහු උසස්වීමක් ලැබීය. වරක් නිලන්ත රැකියාව කරන නැව ඔඩෙස්සා වරායට පැමිණියේය. නිලන්ත ඒ බව ගිහාන්ට දන්වා තිබුණි. එකල ගිහාන් සිටියේ සෝවියට් දේශයේ ඉංජිනේරු උපාධියකට ඉගෙන ගනිමිනි. තමන්ගේ භාග උක්රයින භාග රුසියානු පෙම්වතිය සමග ඔහු බලන්නට ගිය සැටි ගිහාන්ට සිහි විනි. ඕනෑම නැව් නතර කරන ස්ථානයක අභිසරු ලියන්, නොයෙකුත් බ්ලැක් මාර්කට් භාණ්ඩ විකුණන්නන් ගැවසීම සාමාන්‍ය දෙයකි.නැව් නැංගුරම් ලෑ පසු එලියට එන අයට මුලින්ම මුණ ගැසෙන්නේ ඔවුන්ය. මේ නැවේ සිටි ඉංජිනේරුවන්ගෙන් දෙදෙනෙක් ශ්‍රී ලාංකිකයන් වන නිලන්ත හා උදයන්තය. නිලන්ත හා අනිත් ඉන්ජිනේරුවා තම පෙම්වතිය දෙස බැලුවේ තද ඊර්ෂ්‍යාවකින් බව ගිහාන්ට සහතිකය. ගිහාන් දුටු සැනින් නිලන්ත කිවේ ඔඩෙස්සා වල ලස්සන අභිසරු ලියක් සොයා දෙන ලෙසය. ඔහුගේ නැව අප්‍රිකාව හරහා පැමිණි එකකි. "කළු දෑවවල් දැන් එපා වෙලා බන්. "
 අනිත් ඉන්ජිනේරුවා උදයන්ත එසේ කී පසු නැව නවතන වරායවල ඔවුන්ගේ ප්‍රථම කාර්යය කුමක්ද යන්න ගිහාන් ට පසක් විය.

"මචං මේ රටේ හොඳ ගැහැණු ළමයි ඉන්නවා. මේ අභිසරු ළියන් පස්සේ ගිහින් ලෙඩ හදා ගන්න ඕනේ නැහැ."
ගිහාන් පැවසිය.
"උන් දෙන්නේ නැහැනේ බං"
පිළිතුරු දෙමින් නිලන්ත සහ අනිත් ඉන්ජිනේරුවා වන උදයන්ත හඬ නගා සිනාසුනි.
එහිදී තමන් ඔවුන් දෙදෙනා රැගෙන කලින් පිළියෙළ කල පරිදි ඔඩෙස්සා විශ්ව විද්‍යාලයේ ඉගෙනුම ලබන තම මිතුරන් හමුවට ගෙන ගිය සැටිත් එහිදී හොඳ බතක් හා මසක් දමා වොඩ්කා සහ අනිකුත් කෑම බීම පිළියෙළ කර තිබු ඔහුගේ මිතුරන් තම තමන්ගේ ගේ උක්රයින යෙහෙළියන්ට තවත් රූමත් යෙහෙලියන් කිහිප දෙනෙකු සමග පැමිනෙන ලෙස ආරාධනා කල බවත් ඔහුට සිහි විය. කමින් බොමින් නටමින් පසුව නාවික ඉංජිනේරුවන් දෙදෙනා ඉන් රූමත් කෙල්ලන් දෙදෙනෙකු සමග යහළු වී කාමර වලට ගිය හැටිත් ඔහුට මතකය. පහුවදා ගැහැණු ළමුන් ටැක්සි වල පටවා නිවෙස් වලට යැවු පසු නිලන්තත් යහළුවාත් ඔවුන් ගේ ජිවිතයේ හොඳම රැයක් ගත කල බව කියමින් ගිහානුත් යහළුවනුත් බදාගෙන ස්තුති කලහ.පසුදින ඔවුන් නැවට ගෙන යද්දී දොඩමළු වූ උදයන්ත තමන් වටිනා පෑනක් ඔහු සමග රැය පහන් කළ කෙල්ලට දුන් බවත් ඇය මුදල් දුන් විට ප්‍රතික්ෂේප කල බවත් පැවසූ විට, තමන් දැඩි කෝපයට පත්වී මුදල් දීම ගැන ඔහුට එවෙලේම තදින් බැන වැදුණු සැටි සිතන විට ගිහාන්ට දැඩි සිනහවක් පහල විය.

"මොකද යකෝ පිස්සෙක් වගේ තනියම හිනා වෙන්නේ. මම මේ පුක  ගීනි අරන් දඟලනවා. ගෑණි මාව ගෙදරින් එලවල. මූ  හෙන ජොලියේ"
නිලන්තගේ කෑ ගැසිල්ලට ගිහාන් මතක ලෝකයෙන් ඇද වැටුණි.
"නැහැ මචන්. මට මතක් වුණා ඔඩෙස්ස වල අර උක්රයින කෙල්ලක් එක්ක ඉඳල උදයන්තය සල්ලි දෙන්න හැදුවයි කියල මම ඌට බැන්න හැටි."
 "ඉතින් ඒ වුනාට උඹ මට බැන්නෙ නැහැනේ. මමත් සල්ලි දෙන්න හැදුව. පස්සෙනේ අර උඹට දෙන්න ගෙනාපු තේ කොළ ටිකයි වෙස් මුහුණ කුයි තව මොනවදයි දුන්නේ මාත් එක්ක හිටපු කෙල්ලට. පුදුමයි උන් ඒවාට නිදා ගත්ත එක."
"ඉතින් බලාපිය තෝ තවමත් ඒ බලු කතාවම කියන හැටි"
ගිහාන් විහිළුවට මෙන් නිලන්තට ගහන්නට පැන්නේය.
"සොරි සොරි බන්. මම උඹව අවුස්සන්න කිව්වේ. ඇත්තටම උන් හොඳ කෙල්ලෝ බන්. මට තවම මතකයි. හප්පේ සොමිය. එක්කෝ ඒ එකියක් වත් බැන්ද නම්"
"උඹ එදා කිවේ නම් ඕක නෙමෙයි. කන්‍යාවියක් බැඳලා හොඳ විවාහ ජිවිතයක් ගත කරපන් කියල. උඹල දෙන්නම අර කෙල්ලෝ දෙන්නට සැලකුවේ වේ*** දෙන්නෙකුට වගේ මුලදී"
"හරි හරි උඹේ දීර්ඝ දේසනාවට පස්සේ අපි වරද පිලි ගත්තනේ. " නිලන්ත පැවසීය. ගිහාන් නැවත අතීතයට ගියේය.

"උන් උඹෙන් සල්ලි ඉල්ලුවද "
ඔහු කෝපයෙන් උදයන්ත ගෙන් විමසූ හැටිත්,
"නැහැ" කියූ උදයන්තගේ කනට කර
 "ඔව් එතකොට උන් අපේ පාටියේ ඉඳල, කාල බීල උඹල දෙන්න එක්ක කාමරේට ගියේ ඇයි. සල්ලි ඉල්ලන්නද යකෝ. උඹ කොරිඩෝර් එකේ බදාගෙන ඉම්බේ. ප්‍රංශ කිස් ඉඳන් දුන්නේ" යි කෑ ගැසූ හැටිත් මතකයට නගා ගත්තේය.
 "නැහැ මචන් උන් දෙන්නම අපි දෙන්න එක්ක එක්ක කාමරේට ආවේ ඇයි කියල හිතුන."
"වෙන කාමර නැහැනේ යකෝ. හොස්ටල් එකේම ලංකාවේ කොල්ලෝ හතර දෙනයි ඉන්නේ. අපිත් ඔහේ තැන් තැන් වල ඇලවුණේ උඹලට කාමරේ දීල අනිත් එවුන්ගේ කාමර වල. අනික ඒ කාමරේ තිරයක් දාල එක ඇඳක් වෙන් කරලා අනික නොපෙනෙන  කොනේ තිබුනේ. ශිෂ්‍යයෝ හැටියට තියෙන හොඳම තැන තොපිට පිළියෙළ කලේ. ඒකයි උඹලව ඒකට යැව්වේ."
"හරි බන්. ඊට පස්සේ කෙල්ලෝ දෙන්න අපි දෙන්නව මාරු කර ගත්ත උඹ දන්නවද? හපොයි එහෙම සොමියක්. මට උඹල ගැන ඉරිසියයි. බලපන්කො උඹේ අතේ එල්ලිලා ඉන්න කෑල්ල දිහා. මුන්ට කසාද බඳින්න බැරිවෙයි මෙහම ගියොත් තොපි එක්ක ඉඳලා. "
"හරි උඹලගේ ඉරිසියාව පැත්තකට දාපන්. උන්ට අරුන් බොරු කියලා උඹල අලුතෙන් ඉගෙන ගන්න ආපු එවුන් කියල. මෙතන කෙල්ලෝ දෙන්න ගැන වරදවා හිතන්න එපා. උඹලා  ගිය කියල දැන ගත්තම උන් බැනල ආවෙත් නැහැ ඊට පස්සේ.  ඒක උන්ගේ සංස්කෘතිය. කවුරුත් මෙහෙ ඒවා හොයන්නේ නැහැ. අනික තාන්යාව බඳින්නේ මමනේ උඹ නෙමේනේ"

 එතෙක් සිංහල නොතේරෙන නිසා නිහඬව සිටි තානිච්කා තම නම ඇසී  ලතාවකට හිස ඇලකොට ගිහාන් දෙස බැලුවාය. නිලන්තයා ලංකාවට පැමිණ කන්‍යාවියක් බැඳ ගනින් යයි අවවාද කළේ එවිටය.
ගිහාන් සෝවියට් දේශයේ ඔවුන් නොදන්නා පැත්තක් ගැන නිලන්තට හා උදයන්තට පහදා දුන්නේය. දියණිය හෝ පුත්‍රයා අවුරුදු පහලව දහසය වන විට යහළුවකු හෝ යෙහෙළියක නැත්නම්, ඔවුන් අවුරුදු 18 පසුවිත් කන්‍යාවියන් නම් දෙමාපියන් තම තරුණ දු පුතුන් වෛද්‍ය ප්‍රතිකාර වලට හෝ මානසික සායනයන්ට යවති. බොහෝ තරුණියන් සිතෙන හමුවන සැම එකා සමගම නින්දට නොයති. එලෙස හැසිරෙන තරුණ තරුණියන් ලොව ඕනෑම රටක සිටිය හැකිය. තමන්ටම මුලදී තේරුම් ගැනීමට අපහසු වුනු සෝවියට් ජීවිතය හා ලිංගික චර්යාවන් ගිහාන් මිතුරන්ට පැහැදිලි කළේ එලෙසය.

ගැහැණු ළමුන්ට දෑවැද්ද දීමක් කියා දෙයක් නැත. එයින් ඔවුන් නිදහස්ය. කුලය බැලීමට අවශ්‍යද නැත. මෙතන ඇත්තේ නිදහස් ආදරයකි. තරුණයා හෝ තරුණිය බොහෝ විට තමන් කැමති කෙනෙකු සමග පෙම් සබඳතා පටන් ගනිති. මේවා සමහර විට කෙලින්ම ලිංගික සම්බන්ධයෙන්ම ඇරඹෙති. එසේ නොවී මාස ගණන් දිගට යන සබඳතා ද තිබේ. විවාහ වලින් කෙළවර වන්නේ බොහෝ විට දරුවෙකු ඉපදෙන විටය. සෝවියට් නීතියට අනුව දරුවකු ලැබෙන්නේ නම් විවාහ විය යුතු අතර පිරිමියා දරුවා භාර ගත යුතුය. බොහෝ තරුණ තරුණියන් විශ්ව විද්‍යාල නේවාසිකාගාරවල එකට ජිවත් වීම සුලභය. මෙය විශ්ව විද්‍යාලයෙන් එළියේ කර්මාන්තශාලා වල නේවාසිකාගාර වලද දැකිය හැකිය. කසාද නොබැඳ එකට ජීවත්වීම සාමාන්‍ය දෙයකි. එසේ නොමැති තරුණයෙකුට හෝ තරුණියකට සබඳතා කිහිපයක් එකවර පැවතීමද සාමාන්‍ය දෙයකි. එනම් නිත්‍ය පෙම්වතෙකු හෝ පෙම්වතියක නැත්නම් නිදහස් ලිංගික සබඳතාවයන් ගෙනයාම ගැන දෙමාපියන් වත් වෙන කවුරුන් වත් කිසිවක් කියන්නේ නැත.

නමුත් වෙනත් රටවල මෙන් රැකියාවේ ප්‍රබල කම හා සමාජයේ සිටින ස්ථානය අනුව තීරණය වන සබඳතා හා විවාහ ද තිබේ. මේවා එළිපිට නොකීවද කොමියුනිස්ට් පක්ෂයේ හෝ හමුදාවේ ඉහල ජෙනරාල් කෙනෙකුගේ දියණියක විදේශිකයකු හා පැටලුනොත් නොයෙකුත් ප්‍රශ්නය. මෙයින් සමහරු තමන්ගේ රැකියාවේ තත්වය මත සබඳතා තෝරාගන්න ට දරුවන්ට කියති.

ගිහාන් ට තම මිතුරා ගැන දුක හිතුනද ඔහුගේ නරුම කම් වලට සමාව දීමට නොහැකිය.කුලයෙන් ඉහල කන්‍යාවියක් කියා ඔහු සිංහල තරුණියක් බැඳගත්තද නිලන්ත තමන්ට එම නීතියම සාධාරණ යයි නොසිතුවේය.
"මචන් මම යනවා හෙට නැවේ. මාස ගාණක ජොබක්. හැබැයි එතැනින්ම ඔස්ට්‍රේලියාවට යනවා "
 නිලන්ත ගහෙන් ගෙඩි එන්නාක් මෙන් පැවසීය.
"ඒ මොකද? උඹ මෙතන විශාඛා ගේ වැඩේ ට මොකද කරන්නේ ළමයත් එක්ක ඒකි තනියමනෙ." ගිහාන් විමසිය.
"මොනවා කරන්නද. ඒක ඉවරයි. ගෙයත් ඒකිගේ නමට තියෙන්නේ. ඒකි දෑවැද්දට ගෙනාපු එකනේ. පරට්ටි මට කිව්වා කතාව උඹ දන්නවද? මම හිතන් හිටියේ බඳින කොට මේකි පත්තිනි අම්ම කියලනේ"

නිලන්ත කෝපයෙන් මිට මොළවා මේසයට පහරක් ගැසීය. ගිහාන් විමතියට පත් මුහුණින් තම යහළුවා දෙස බැලීය.
"මේකි මට කිව්වා එක කොල්ලෙක් නෙමෙයි. දෙන්නෙක්ම හිටියලු. ගලේවෙල ගියාලූ. ලොලිපොප් කෑවලු.තොට පෙට්ටිය ලොකු වුනාට මගේ කොල්ලෝ ලෙව කාපුව තමා තොට හම්බ වුනේ කියල කිව්වා. දුන්නා බැ** ගේ මූණ ඉදිමෙන්න.දතකුත් කැඩුනද දන්නේ නැහැ. ලේත් ආව. පරට්ටි. තව මූණ සමතලා වෙන්න දෙන්න තිබ්බේ" කෝපයෙන් පිපිරෙමින් නිලන්ත මොර දුනි.

 "උඹට පිස්සුද බන් ඒ අහිංසක ගෑණිට ගහන්න. ළමයත් බලා ගෙනද හිටියේ?"
"නැහැ ළමය අම්මලා ගාව. මම යනවා උදයන්තය එක්ක බෝතලේකට සෙට් වෙන්න. ඕන නම් වරෙන්. අද අන්තිම දවස මාස ගාණකට මම යනවා. අර වේ* ගැන අනුකම්පා කතා කියන්න එපා මට. "
එසේ කියා ගෙයින් එලියට ගිය නිලන්ත කාරය පණ ගන්වනු ගිහාන් ට ඇසිනි.

ගිහාන් නැවතත් තම අතීත මතක ලොවට පිවිසුණේය. සිකුරාදා සවස මොස්කව් පළමු වෛද්‍ය විද්‍යාලයේ ඉගෙනුම ලබන තම මිතුරා සමුවීමට ගිය ගිහාන් වොඩ්කා බෝතල් භාගයකට වඩා වග කියා මිතුරා පිළියෙළ කල කුකුල් මස් කරියක් සමග බතක් ගිල දමා සිංහල සින්දු අසමින් දේශපාලනය ගැන කතා කරමින් සිටියේය. රෑ බෝවී නිදාගත් ඔවුන් පසුවදා තරමක් දහවල්වී ඇහැරුණු පසු උදය ආහාරය සඳහා ළඟ තිබු පිල්මෙනි අවන්හලට ගියහ.
පිල්මේනි යනු ගිහාන්ගේ ප්‍රියතම රුසියානු කෑමකි. ඉන් පසු කිරි කෝපි එකක් බි මිතුරාට සමු දුන් ගිහාන් වෛද්‍ය විද්‍යාලය අසල පිහිටි ක්‍රපොතින්ස්කයා උමන් දුම්රිය පොලට පැමිණියේය. දුම්රිය පාක් කුල්තුරි හෙවත් සංස්කෘතික උද්‍යානය නමැති උමන් දුම්රිය පලට පැමිණි විට ඔහුට එයින් බැස තවම දවස ඉතුරුව ඇති හෙයින් ගෝර්කි හෙවත් සංස්කෘතිය හා විවේකය සඳහා වන මධ්‍යම උද්‍යානය (central park of culture and leisure) ට ගොස් ඇවිදීමට සිත් විනි.

~~~~~~මතු සම්බන්ධයි.~~~~~~~~~~~

මේ ප්‍රබන්ධයේ විස්තර වන  කාල පරාසය 1980 දශකයේ අග භාගය වන අතර කතාවට පාදක වන්නේ  බිඳී විසුරුණු සෝවියට් දේශය නමැති රාජ්‍යයේ විශ්ව විද්‍යාල සිසුන්ය.

Tuesday, 17 November 2015

පොහොසත් ඉන්දියාව හා දුප්පත් ඉන්දියාව


බඩු කර තියන්නා 

තරාතිරම්වාදය ගැන ලිවූ කතාවක මගේ ඉන්දියානු වන්දනා ගමන ගැන සඳහන් කලෙමි. මගේ මව සමග යාමට පවුලේ වෙනත් අයට නොහැකි වීම නිසා ගිය ගමනකි මෙය. මම කෙලින්ම ලන්ඩනයේ සිට කටුනායක හරහා (ට්‍රාන්සිට්) චෙන්නායි නගරයට ගියෙමි. බ්‍රිතාන්‍යයේ සිටින බොහෝ ඉන්දියානුවන් ව්‍යාපාර කරන පොහොසත් අය වෙති. නැත්නම් වෛද්‍ය, ඉංජිනේරු, ඖෂධවේදී, හෙදි වැනි රැකියා කරන වෘත්තිකයන්ය. මගේද මිතුරන් කිහිප දෙනෙකු සිටින අතර ඉන්දියාව මධ්‍යම පන්තියේ දුප්පතුන්ද සෑහෙන ප්‍රමාණයක් සිටින ලංකාව වැනිම රටක් ලෙස සිතා සිටියෙමි. ලේය්ලන්ඩ් බස් සමාගම්, බැංකු, තෙල් කොම්පැනි හිමි ඉන්දීය ජාතික හින්දුජා වැනි සහෝදරවරු එංගලන්තයේ ධනවත්ම ව්‍යාපාරිකයන්ය. මම බොහෝ හින්දුන් අතර නිරීක්ෂණය කළ දෙයක් නම් මිනිසුන් දුප්පත් හෝ පොහොසත් වන්නේ, ආබාධිත වන්නේ පෙර කරුමයන්ට අනුව යයි දැඩි විශ්වාසයක් ඔවුන් අතර පවතින බවයි. මෙය හින්දුන් අතර පමණක් නොව පුදුම සහගත ලෙස ඉන්දීය මුස්ලිම් වරුන් අතරද තරමක් දුරට පවතින අදහසකි. දිළිඳු ජනතාව කෙරෙහි එතරම් අනුකම්පාවක් මා අඳුනන කිසිවෙකු කෙරෙන් නොදිටීමි. ඔවුන් සෑහෙන ලෙස සශ්‍රීක නිසා මෙසේ අනුකම්පා විරහිත ස්ථාවරයක් ගන්නා බව සිතුවෙමි.

 ඉදින් මම අත් බෑගයක් සහ කිලෝ 20ට අඩු පහසුවෙන් ඇදගෙන යා හැකි මධ්‍යම ප්‍රමාණයේ පොඩි ගමන් මල්ලක් (සුට්කේසයක්) ද රැගෙන ගියෙමි. එහි තිබුනේ ඇඳුම් සහ කැමරා ආම්පන්න පමණි. දින විස්සක පමණ චාරිකාවක් නිසා හැකි පමණ බර අඩු කරගෙන අතවශ්‍යම ඇඳුම් හා අඩුම කුඩුම පමණක් ගැනීම මිට හේතුවයි. ආගමන විගමන දොරටුවෙන් පැමිණ ගුවන් තොටුපළෙන් එලියට යමින් මම ටැක්සි නැවතුම සෙව්වෙමි. සුට්කේස් එක රැගෙන යාමට බඩු ඔසවන්නන් කීප දෙනෙකු ඇසුවද මම ඒ විමසීම් නොතකා ඉදිරියට අදුනෙමි. කටුනායක ගුවන් තොටුපලේ මෙවැන්නන් ට මම පවුමක් දෙකක් දීමට මාරු කාසි රැගෙන යාමට පුරුදුව සිටියෙමි. සමහර වෙලාවට එය කරදරයක් ලෙසද සැලකුවෙමි. ඒ අප සූට්කේස් ගන්නේ තනිවම ඇද ගෙන යාමට හැකි වන පරිද්දෙන් නිසාය. දැන් කටුනායක ගුවන් තොටුපලේ මෙම සේවාව නතර කර ඇත. 

අවුරුදු 14-15 වියැති පිරිමි ළමයෙකු මගේ පස්සෙන්ම ගමන් මල්ල කුලී රථයක් වෙත රැගෙන ගොස් දෙන්නට පෙරැත්ත කරමින් පැමිණියේය. අනිත් ගමන් මළු කර ගසන්නන් නතර වුවත් ඔහු නතර වූවේ නැත. ඔහු මට කරදරයක් වන තැන මම සැර කලෙමි. එවර ඔහු කලේ බිම දිගාවී ගෙන මෙන් දණ ගසමින් සූට්කේස් එක රැගෙන යාමට ඉල්ලීමයි. කිසිම මිනිසෙකු තවෙකෙකුට දණ ගැසීම හෝ බිම වැටී අයැදීම නොකළ යුතු යයි දැඩි සේ අදහන මම මෙතැනදී ඉමහත් අපහසුවට පත් වීමි. අහල පහල මිනිසුන්ට මෙය ගානක් නැත්තේ ඔවුන්ට මෙවැනි දර්ශන දැක පුරුදු නිසා විය යුතුය.

"මේ ගමන් මල්ල ඉතාම සැහැල්ලුයි. මට ගෙන යන්න පුළුවන්" යයි පැවසූ මම පැකිලෙමින් ම ඔහුට සූට්කේස් එක භාර දුන්නෙමි. මහත් ප්‍රීතියෙන් එය රැගෙන යන ඔහු මගෙන් කැඩුණු ඉංග්‍රීසියෙන් කොහේ සිට පැමිණෙන්නේද ආදිය විමසා කුලී රථ නවතන තැනට මා ගෙන ගියේය. පෝලිමේ තිබූ රථයක් නවතා ඔහු එහි මගේ ගමන් මලු දැමු පසු මම ඔහුට රුපියල් 60 ක් පමණ දුනිමි. එය පැන්ස 50 පමණය. මට පවුමක් දෙන්නට නොසිතුනේ මගේ බෑගය කොහෙත්ම බර එකක්ද නොවූ බැවිනි. ඔහු නැවතත් බිම පෙරලී ස්තූති කොට එතනින් ඉගිල ගියේය.

කුලී රථය හතර අතට කරකැවී කරකැවී ගොස් වටරවුමක නතර විය. රථ වාහන අධික වෙලාවක් වූ නිසා සැහෙන වෙලාවක් ඒ අසල රැඳුනු රථය ඉදිරියට ඇදුනි. එහි ඇති වට රවුමේ පාර මාරු වන පාලමක් වැනි කොටසක් විය. මහා පාරේ දෙපැත්තේ බලමින් සිටි මට පෙනුනේ අර සූට්කේස් එක රැගෙන ආ යව්වන ළමයාය. ඔහු පදික වේදිකාවේ පෙට්ටි ගොඩක් එකතු කර සෑදු තැනක වාඩිවී පුංචි ගැහැණු දරුවකුට රොටියක් කඩා කවමින් සිටියේය. ඔහු අසල ඇණ තියාගත් වැඩි වයසක් නැති ගැහැණියකුත් තවත් ළමයෙකුත් සිටියහ. මා බලන දෙස නිරීක්ෂණය කළ කුලී රථ රියැදුරා මදෙසට නොහැරීම "ඔහුගේ පවුල (his family)" කීවේය. "ඒ පොඩි කොල්ලා විවාහ වෙන්න විධිහක් නැහැ". මම කීවෙමි. "නැහැ නැහැ ඔහුගේ මව සහ සහෝදර සහෝදරියෝ" රියදුරා පිළිතුරු දුනි. කොල්ලා රොටී කවමින් සිටියේ පුංචි ගැහැණු ළමයෙකුට වන අතර ඔහු ගේ මව යයි සිතිය හැකි කත පුංචි පිරිමි ළමයා සමග රොටී කෑලි කිසියම් ව්‍යංජනයකට ඔබමින් රොටී කෑවාය. මා පසු තැනක දුටු පරිදි ඒ පරිප්පුය.

බොහෝ දිළින්දන්ගේ දෛනික ආහාරය පරිප්පු සහ නාන් රොටිය බව පසුව දැනගතිමි. හදිසියේම මේ පිරිමි ළමයා බිම වැතිරෙමින් සූට්කේසය ගෙන යාමට ඉල්ලුවේ ඇයි දැයි මට වැටහිණි. එදා දවසම මුකුත් නොලබා සිටි ඔහුට මා එවෙලේ ගමන් මල්ල ගෙන යාමට දී සුළු මුදල නුදුන්නා නම්, ඔහුගේ මවත් කුඩා නැඟනිය හා මළණුවන් ද එදා දවස බොහෝ විට කුස ගින්නේ ගත කරනු ඇත. සිත කිසියම් සියුම් වේදනාවකින් කීරි ගැසී ගියේ ඒ වේලාවේය. ඉන්පසු ලැබුන අවස්ථා දෙක තුනකදීම මම හැම විටම සූට්කේසය ගෙන යාමට කාට හෝ ඉඩ දී කිසියම් සුළු මුදලක් අත තැබීමි.

 දුම්රියේ ළමයා 

 අප චෙන්නායි සිට දුම්රියෙන් වෙනත් නගරයකට යමින් සිටියෙමු. දුම්රියේ තිබෙන වැසිකිලිය සෑම ප්‍රධාන දුමරියපළකදීම සෝදා පිරිසිදු කරන ලබයි. ඊළඟ ප්‍රධාන දුම්රියපල සැහෙන දුරක නම් වැසිකිලිය පිරිසිදු වන්නේ නැත. එක්තර වයසක මවක් (උපාසක අම්මා කෙනෙක්) වැසිකිලියට බැරි මරගාතේ ගියාය. දුම්රිය ඇදෙන්නේ වේගයෙනි. අර කාන්තාව වැසිකිලියේ හිඳ ගැනීම වෙනුවට එහි උඩ ඇන තියා ගන්නට තැත් කරන්නට ඇත. එහි ඇද වැටුණු ඇය භයවී දොර ඇරියාය. එලියට පැමිණ උදව්වක් ඉල්ලීමට කලින් ඇය ඇඳ සිටි ඇඳුමේම තෙත් කර ගත්තාය. ඇය සමග පැමිණි අය හැඬුම් මුහුණින් සිටි වයසක කත පිරිසිදු කර වෙනත් ඇඳුමක් ඇඳ ගැනීමට උදව් වීමට ඊළඟ මැදිරියේ වැසිකිලියකට රැගෙන ගියහ. මේ අල්ල පනල්ලේ මගේ මවටද වැසිකිලි යාමට අවශ්‍ය විනි. නමුත් කොරිඩෝරයේ හා වැසිකිලියේ හැම තැනම මූත්‍රා ය. කොරිඩෝරයේ අඩිය තබා එහාට යාමටද නොහැක. මොනවදෝ ලාභ සෙල්ලම් බඩුවක් වැනි දෙයක් විකුණන වයස දහයක පමණ ළමයෙක් පැමිණියේ මේ අතරය. ඔහු පසුපසින් තේ විකුණන වැඩිහිටියෙක්ද පැමිණියේය. මෙවැනි යමක් විකුණන මෙන්ම හිඟමනේද යන ළමුන් මේ දුම්රිය වල දැකිය හැකිය. තේ විකුණන තැනැත්තාගෙන් බාල්දියක් සොයා ගෙන එතන වතුර දමා සේදිය හැකි ක්‍රමයක් ගැන විමසුවෙමි. මදක් කල්පනා කර ඔහු ළමයාට යමක් කීය. ළමය හිස වැනුවේය. කියක් හෝ දෙන්නේ නම් ළමයා එතන ශුද්ධ කර දෙන බව කි තේ විකුණන්නා නික්ම ගියේය. මම ළමයාට මුදල් දෙන බව හා බාල්දියකින් බිම සේදීම හා මෝප් කරීම හැකි අයුරින් හස්ත මුද්‍රාවෙන් පෙන්වා දුනිමි. ඉන්පසු සිදුවූයේ අනපේක්ෂිත දෙයකි. තමන් හැඳගෙන සිටි කමිසය ගැලවූ ළමයා වැසිකිලියේ සින්ක් එකෙන් වතුර ගනිමින් බිම දමමින් තමන්ගේ කමිසයෙන් අර පොළොව සේදීමට පටන් ගත්තේය.

මේ අනපෙක්ෂිත සිදුවීමෙන් මා මෙන්ම මගේ මව හා එතැන සිටි කාන්තාවන් කීප දෙනෙකුද සසල වූ අතර කොලු පැටියා ට අනුකම්පාවෙන් ඔවුන් කතාබහ කරන්නට විය. මට මෙය නතර කරන්නට විධියක් නොවූ අතර නිහඬවම විනාඩි දහයක් පහලවක් පමණ බිම හා වැසිකිලිය පිරිසිදු කිරීමේ යෙදුනු ළමයා ඉන්පසු කමිසය සෝදා දොරටුවේ වනා එතන නිහඬව හිඳ ගත්තේය. මම ඔහුට පවුමක දෙකක වටිනාකමට ඉන්දියානු මුදලක් දුනිමි. ඔහුගේ දෑස ප්‍රීතියෙන් පිනා ගියේය. තේ කරුවා ආපසු එන විටත් ඔහු එතනම හිඳ සිටියා මිස තමන්ගේ අර පොඩි සෙල්ලම් බඩුව විකුන්නන්නට ගියේ නැත. "මිනිහට ස්වීප් එකක් ඇදිලා වගේ. ඊළඟ නැවතුමෙන් දැන් ගෙදර යනවලු. දවස් පහකට හරියන්න හම්බ කරලා." තේ කරුවා ඉරිසියාවෙන් මෙන් කිවේය.

 දරු දෙදෙනා 

දිනක දුම්රියේ ගමනකින් පසු අප ගියේ බස් රථ වලය. සුප්‍රසිද්ධ තැනක අප නටබුන් බැලීමට ගමන් කරන මාර්ගයේ සුපුරුදු ලෙස යාචකයන් මග දෙපස රැඳී සිටියහ. මේ දරු දෙදෙනාද සිටියේ එතනය. මා මුලින් සිතුවේ ඔවුන් ඉදිරියෙන් ම සිටි ගැහැනියගේ දරුවන් කියාය. අපේ නඩයේ සැදැහැති වන්දනාකරුවන් බොහෝ යාචකයන්ට නොයෙකුත් දෑ දුන්හ. එතනට අසල සිටින ඉන්දියානුන් ද පැමිණ බලා සිටියහ. ළමයි දෙදෙනාට බිස්කට් දුන්නත් කොලු පැටියා මුදල්ම ඉල්ලුවේය. "ළමයා හවසට ගෙදර ගෙනියන්න කීයක් හරි ඉල්ලන්නේ" මම කියුවෙමි. එතැන් සිටි ඉන්දියානු ජාතිකයා මා කීදේ වැටහුනාක් මෙන් "ළමයට සල්ලි ඕනේ " යයි ඉංග්‍රීසියෙන් කීවේය. මේ ගමනේදී යන්තමින් හෝ සිංහල කතා කරන ඉන්දියානුන් කීප විටක්ම අපට හමු වුනි. අඩුම ගනනේ සිද්ධාලේප, සබන් සබන් කියා ඉල්ලීමට ඔවුහු දැන සිටියහ. බොහෝ අය ඉංග්‍රීසියෙන් කතා කරති.

"ගෙදර මව් පියෝ සල්ලි අරන් එන්න කියනවා ඇති " මම කීවෙමි. "නැහැ මේ ළමයි ජිවත් වෙන්නේ අතන. " ඉන්දියානුවා අතහැර දමන ලද විශාල කොන්ක්‍රීට් කාණු හා බංකර වගයක් පෙන්වමින් කිවේය. එතැන් තවත් ළමයින් සිටින බව පෙනුනි. එතැන් සිට මා දැනගත් කතාව මෙසේය. මේ පුංචි ළඳරුවන් දෙදෙනා ගේ දෙමාපියන් ජිවත් වන්නේ හැතැප්ම 500 පමණ ඈතය. රාත්‍රියට නිවසට යාමක් නැත. තමන්ට ඔවුන්ට කෑම ඇඳීම දීමට නොහැකි යයි පවසමින්, රැකියාවක් කර දිවි රැක ගන්න යැයි කියා පියා විසින් දරුවන් ගෙදරින් එළවා ඇත. අයියාට නංගිව රැක ගැනීම භාර දී, පියා පොඩි වුන් දෙදෙනාම අනුකම්පා විරහිත දෙස දුම්රියකට නංවා ඇත. අනිත් අනාත වූ දුම්රිය දරුවන් විසින් මොවුන් දෙදෙනා මෙතනට ගෙනවිත් තිබේ. ඔවුන් සියල්ලෝම ජිවත් වන්නේ අත හැර දමා ඇති අර ලොකු සිමෙන්ති පයිප්ප අස්සේ බංකර වැනි කොන්ක්‍රීට් තාප්ප ඇති තැනකය.

ඔවුන් රැයේ නිදා ගන්නේ මවගේ පියාගේ උණුසුමේ තුරුළු වී නොවේ. ඔවුන්ට අනිත් වැඩිහිටි මිනිසුන් ගෙන් ප්‍රශ්න, අපයෝජන ආදිය නොවෙන්නේ දැයි මම ඇසුවෙමි. මේ ගැන මට ඉන්දියන් ජාතිකයා කිවේ අපූරු කතාවකි. ඔවුන් අතර සිටින වැඩිහිටි ළමුන් ආරක්ෂකයන් ලෙස ක්‍රියා කරති. ඒත් අමුතුම විධිහටය. ඔවුන්ට ළමුන් ගෙවල් වල වැඩට පැහැරගෙන යාම්, අපයෝජන ආදිය සම්පුර්ණයෙන් වැළැක්විය නොහැකි නිසා (පොලිස් ආරක්ෂාවක් කියා දෙයක් නැත) වැඩිහිටි ළමුන් සිය කැමැත්තෙන් ඒවාට යටත් වේ. ඒ වෙනුවට පොඩි ළමුන් හම්බ කරන මුදල් හා කෑම වලින් කොටසක් ඔවුන් වැඩිහිටි ළමුන්ට දෙති. මේ අප නිතර නොදකින නොලියැවෙන ඉන්දියාවයි.

ඉන්දියාවෙන් එන්නට සිටි අවසන් දවස් දෙකේ මා නැවතී සිටි හෝටලයෙන් එපිට තිබුනේ නගරයේ මහ පාරයි. මෙහි පදික වේදිකාවේ ඇතැම් තැන්වල නොයෙකුත් දිළිඳු නිවාස නැති පවුල් දැකිය හැකිය. එවන් එක පවුලක් පාර අයිනේ යන්තම් අටවා ගත් ඉටි රෙදි කඩමලු යට ජිවත් වෙනු දුටිමි. ඒවායේ දොරක් කියා දෙයක් නැත. යන්තමට අව්වට වැස්සට හසු නොවී සිටින්නට අටවා ගත්තකි. මහා වැස්සක දී වුව මෙවන් අයට කඩ පිලකට වත් එන්නට කඩ හිමියන් ඉඩ දෙන්නේ නැත. පුංචි දුවෙකුත් පුතෙකුත් සිටි ඔවුන් ගේ මේ පුංචි "පැල්පත" පිටිපස කුණු වතුර ගලන කාණුවකි. උදේ නැගිට ජනේලයෙන් බලන විට මා දුටුවේ පාර අයිනේ ගලා යන වැසි වතුරෙන් දුවගේ මුහුණ සෝදන මවයි. වැස්ස තුරල් වූ පසු දරුවන් දෙදෙනා වැරහැලි අන්දවා පාරේ සෙල්ලම් කිරීමට යොමු කල මව ඉටි රෙදි වැසූ පැල්පතට වී සිටියාය. ටික වෙලාවකින් කොහෙන්දෝ සොයාගත් කෑම ටිකක් ගත් පියා එතනට පැමිණියේය. හතර දෙනාම පැල්පතේ ගුලිවී උදේ ආහාරය ගත්හ. දෙමව්පියන්ට ගුලිවී පුංචි උන් දෙන්නා කෑම ගන්න ආකාරය බලා සිටියෙමි. දිළිඳු වුවත් නැතත් දරුවන්ට මවු පියන්ගේ උණුසුම තිබේනම් කොපමණ අගෙයිද?

මේවා ලිව්වේ මගේ දානපති කමක් ගැන කීමට නොවේ. අප යන සංචාර වල බොහෝ දෙනා නොදකින පැත්තක් ගැන ලියන්නටය. ඉන්දියාව සුන්දර රටකි. බොහෝ පියකරු දර්ශන හා බෞද්ධ නටබුන් දුටිමි. ඒ අතර බිහාරයේ දරුණු දුප්පත්කම ඉස්මතු වී පෙනෙයි. චීනය හා සසඳන කල ඈත පෙදෙස් වල ඉන්දියානු ගම තවමත් දුප්පත්ය. බුද්ධ ගයාවේ සිදුහත් කුමරු විශාඛාව ගෙන් පිඬු සිඟා වැඩි ගමේ ඇතැම් පවුල් තවමත් ප්‍රවේනි දාස ක්‍රමයේය. මේ පින්තුරයේ සිටින ගැටවරයා එවැනි ප්‍රවේනි දාස පවුලක අයෙකි. වන්දනා ගමනේ යෙදෙනෙ බොහෝ ලාංකිකයන් බෙහෙත්, බිස්කට් මෙන්ම මුදල් ද මේ ළමයින්ට ත්‍යාග කරනු දුටිමි. එසේම ගමන අවසානය ලංවන විට මේ සැදැහැතියන් බුදු බැතිය පසෙක දමා නොයෙකුත් බඩු බාහිරාදිය පිස්සුවෙන් මෙන් මිලදී ගනු දුටිමි. මේ බස් තුනක පමණ සෙනග එක කුඩා ගමක සපත්තු කඩය හා තවත් මොනවදෝ කඩයක තිබු සියලු දේ මිලදී ගත්හ. චෙන්නායි වලද මෙය දුටිමි. මේ බෞද්ධ සිද්ධස්ථාන අසල ඇති බොහෝ ගම්වල ආර්ථිකයට වන්දනා කරුවන් ගේ පැමිණීම සහනයකි.

සිඝ්‍රයෙන් දියුණු වනවා යයි කියන ඉන්දියාවේ තවමත් අන්ත දරිද්‍රතාවය ලංකාව මෙන් කීප ගුණයකි යයි මට සිතේ. මේ ලබන දියුණුවේ පල ඉන්දීය වැසියන් සියල්ලන්ටම ලැබෙන්නට තව දශක ගණනක් ගත වෙනු ඇත.

Sunday, 15 November 2015

අගෝරා සැ ඳෑවේ "යුධ පිටියක සවාරිය "

"නාට්‍යානුසාරයෙන් ඉදිරිපත් කරන බියකරු සිහිනයන්...මගේ ඇතුලාන්තයෙහි පිළිඹිබුව මගේ සිහිනයන් වලින් හෙළිදරව් කිරීමක් ....සිහිනය තමයි මගේ ඇරඹුම". විසිවන ශතවර්ෂයේ අධිතාත්වික කලා සම්ප්‍රදායේ (surrealism) පෙර ගමන් කරුවෙකු වන ෆර්නැන්ඩෝ ඇරබෙල් තමන්ගේ නාට්‍ය ගැන කීවේ එලෙසය. ඔහුගේ "යුධ පිටියට විනෝද චාරිකාවක් " Piquenique no Front නම් වූ නාට්‍යය අපට යුද්ධයේ නිරර්ථක බව අධිතාත්වික වූ  සිදුවීම් පෙළක් එකිනෙකට පතිත කරමින්  (juxtaposed) තියුණු ලෙස පහදයි.

"මාධ්‍යයන් මගින් උත්කර්ශණය කරන යුද්ධය මගින් අපේ සදාචාරය, අනිකා කෙරෙහි අපේ ඇති කරුණාව, දයාව, අනෙකා ආරක්ෂා කිරීම වැනි ගුණාංග ඉවත ලෑමට බල කරමින් අනිකාගේ ජීවිතය මෙන්ම දේපල ද විනාශ කිරීම සඳහා අපව  නිසඟයෙන් අනුබල දීමට පොළඹවන හැටි නිර්දය ලෙස "යුද චාරිකාවේ" පෙන්වයි. " (උපුටා ගත්තකි) යුදයක් නැති කාලයේදී සාමකාමී මිනිසුන් ලෙස රංගනය කරන අප යුද කාලයේදී මේ දේපල හා ජිවිත විනාශයට සහය දෙන්නේ කෙසේද? ඇරබෙල් පෙන්වන්නේ අප එකිනෙකා වටහා ගන්නා විට, හඳුනා ගන්නා විට ඉන් අපේ සමාජීය බැඳීම හා සහයෝගය ඇතිවී, එකිනෙකා කෙරෙහි අවිශ්වාසය, සැකය වෙනුවට ගෞරවයක් හා භක්තියක් ඇති වෙමින් යුදපිටිය විනෝද චාරිකාවක් බවට රූපාන්තරණය වන බවයි.

 ෆර්නැන්ඩෝ ඇරබල් ටෙරාන් ඉපදුනේ 1932 ස්පාඤඤ යේ මෙලිලා හිදීය. ඔහුගේ පියා ජනරාල් ෆ්රන්කෝ ගේ හමුදාව එරෙහිව සටන් වැදුණු රිපබ්ලිකන් වාදීන්ගේ හමුදාව සමග සිටි භටයෙකි. පසුව අත්අඩංගුවට පත්වී මරණ දණ්ඩනය නියම වන ඔහුගේ පියා උමතු රෝගියෙකු මෙන් රඟපා, උමතු රෝගීන්ගේ රෝහලකට තමන්ව යවා ගැනීමට සමත් වෙයි. එම රෝහලින් දැඩි ශීත සමයක දී පැන යන ඔහුව නැවත කිසිවෙකුට මුණ නොගැසෙයි.

මව සමග තනිවන ඇරබෙල් පසුව ප්‍රංශයට පදිංචියට යයි. ඔහු ගේ පියා ජනරාල් ෆ්රන්කෝ ගේ  හමුදා සමග සමූහාණ්ඩුව වෙනුවෙන් සටන් කල යුද්ධය සිවිල් යුද්ධයක් (හෙවත් අභ්‍යන්තර යුද්ධයක්) ලෙස මාධ්‍ය හා දේශපාලකයින් නම් කලත් ඇරබල් එය හැඳින් වූයේ "uncivil" අශිලාචාර යුද්ධයක් යනුවෙනි.

නාට්‍ය නිෂ්පාදකයෙක්, චිත්‍රපට තිර කතා රචකයෙක්, චිත්‍රපට අධ්‍යක්ෂක වරයෙක්, ග්‍රන්ථ කතුවරයෙක් මෙන්ම කවියෙක් ද වන ෆර්නැන්ඩෝ ඇරබල් 1962 දී අලිහන්ද්රෝ ජරදොව්ස්කි සමග පැනික් ව්‍යාපාරය නමින් අධිතාත්වික (surrealism) කලා සම්ප්‍රදාය නැංවීමට සංවිධානයක් ගොඩ නගයි.

පසුගිය සෙනසුරාදා ලන්ඩනයේ අගෝරා කලා කවය විසින් සංවිධානය කරන ලද සංස්කෘතික සැඳාවේ දී ප්‍රවීන නාට්‍යවේදී විජිත ගුණරත්නයන් නිමැවූ "යුධ පිටියේ සවාරිය" වේදිකාගත කරන ලදී. විජිත ගුණරත්න "සාක්කි" නමින් නාට්‍යයක් අසූ ගණන් වල ශ්‍රී ලංකාවේදී නිෂ්පාදනය කර වේදිකා ගත කරන ලදුව, දේශපාලන තර්ජන ලැබ පසු කලෙක ස්වීඩනයේ පදිංචියට ගියේය. ඔහු විසින් ස්වීඩන් භාෂාවෙන් පළවූ ග්‍රන්ථ බොහොමයක් සිංහලට පරිවර්තනය කර ඇත. ඇරබල් මෙන්ම විජිතද ප්‍රතිභාපුර්ණ නාට්‍යකරුවෙකු පමණක් නොව ග්‍රන්ථ කතුවරයෙකු හා චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙකු ද, තිර රචකයෙකු ද වෙයි.පියා තුලින් ස්පාඤඤ සිවිල් යුදයට පිවිසුණු ඇරබල් මෙන් විජිතද ශ්‍රී ලංකාවේ අශිලාචාර යුද දෙකක් අත් දුටුවෙකි.

විජිත උපන් ශ්‍රී ලංකාවේ දකුණේ අත්විඳි එක යුදයක එක ම විශ්ව විද්‍යාල වල එක බත් පත බෙදන් කෑ එක දේශනාගාරයේ දේශනා ඇසූ සිසු සහෝදරවරු එකිනෙකා මරා ගත්හ. එලෙසම එකම පන්තියේ උන් දෙපැත්තට බෙදී එකිනෙකා මරා දැමුහ. එක රටේ ජාතීන්  දෙකක් එකම අලුත් අවුරුදු උළෙලක් එකම මාසයක  සමරමින් අවුරුදු තිහක් මුළුල්ලේ එකිනෙකා මරා ගත්හ.


යුද බිමේ හුදකලාව සිටින සපෝ නමැති යුද භටයා තමන් ගේ කම්මැලි කම යවා ගැන්මට කවුරුන් හෝ එවන මෙන් කපිතාන් ගෙයි යදියි. සෙබලෙක් නැත්නම් "කාන්තාවක " වුවත් කම් නැත. සටන් නැති යුද බිමක් අප ඉදිරියේ මැවෙයි. සොල්දාදුවෝ ඉන්නේ නිකම්ය. කම්මැලි කමේය. මේ අධිතාත්වික වූ  දර්ශනයෙන් පටන් ගන්නා නාට්‍යයේ - යුද බිමේ සිටින තමන්ගේ පුතා බැලීමට, සපෝ ගේ දෙමාපියන් යන්නේ විනෝද චාරිකාවකට ඇවැසි කෑම බීම, අකුලන පුටු, බිමට එළන ඇතිරිලි, කැමරා ආම්පන්න ආදිය  රැගෙනය. යුද බිම යනු විනෝද චාරිකාවකට  සුදුසු තැනක්ය යන්න හඟවන විරුද්ධාභ්‍යසය තුලින් අපට ඊළඟ ජවනිකාවක සපෝ ගේ මව තම සොල්දාදු පුතා මුහුණ සෝදා දත් මැද ඇත්දැයි සොයා බලයි. මාධ්‍ය මගින් උත්කර්ෂණයට නංවන යුද බිම අපට පෙන්නුම් කරන්නේ ගාම්භීර මහා වැදගත් යුද සිහිනයක හැසිරෙන සැපෝ ගේ දෙමාපියන් මගිනි.

සපෝ අනිත් පැත්තේ භටයෙකු යුද සිරකරුවෙකු ලෙස අල්ලා ගනී. අල්ලා අත් පා බැඳ සිරයට ගෙන පසුව නිරුවත් කොට නීති විරෝධිව මරා දමනු ලබා වැතිර සිටින යුධ සිරකරුවන් සිරකාරියන් ගේ දසුනක් වෙනුව, මුලින් බිස්කට් කකා සිටින සිරභාරයට  ගත් ළමයෙකු පසුව මැරී සිටිනු පෙන්වන රූපවාහිනී  යථාර්තයක් වෙනුවට අපේ සොඳුරු සොල්දාදුවා සපෝ, තමන් ගේ හිරකරුට කුමක් කරන්නදැයි පියා ගෙන් විමසයි. කොමඩි ජවනිකාවක් මෙන් දිග හැරෙන ඊළඟ කොටසේ උපහාසාත්මක වදන් මේ අප සැබවින් සිහින දකින යුද්ධය දැයි අපෙන් විමසයි. අති සාර්ථක රංගනයක යෙදෙන "අම්මා " සිරකරුට පික්නික් මේසයට ආරාධනා කරන්නීය. මේ "සොඳුරු " යුද විනෝද චාරිකාවේ "හිරකරු " සමග සපෝ යෙදෙන සංවාදයේදී භටයන් දෙදෙනාම එක සමාන අදහස් ඇත්තවුන් මෙන්ම ඔවුන් ගේ ගේ ජෙනරාල් වරු දෙදෙනාටම කියා ඇත්තේ එකම දෙයක් බවත් දෙදෙනාම වටහා ගනී. දෙදෙනා දෙපැත්තේ සිට කරන්නේ හේතු විරහිත යුදයක් බව, සමාජයේ සාමාන්‍ය මිනිසුන් දෙදෙනෙකු වන එක සමාන සරල බලා පොරොත්තු තිබුණු මේ තරුණයන් දෙදෙනාත් දෙමාපිය යුවලත් වටහා ගනිති. මේ වැටහීම මත පරණ අශ්වාරෝහක භටයෙකු ද වන සපෝ ගේ පියා සාමයකට යෝජනා කරයි.

මේ අතර වාරයක ගුවන් යානා මගින් බෝම්බ හෙලයි. අපේ යුද භටයා හා හිරකාර යුද භටයා බංකරයේ සැඟවෙන අතරේ "ජනතාව" - සපෝ ගේ මව හා පියා වැටෙන බෝම්බ වලින් බේරීමට කුඩයක් ඉහළාගෙන අවට ඇවිමින් අතිශයින් අධිතාත්වික වූ රූප රාමු මවයි. ජනතාවට බෝම්බ වැස්ස යනු "භයංකර" දෙයක් නෙමේ. ඒවා වලින් මිනිසුන් "මැරෙන්නේ" නැත. රෝහල් වලට දැමු විට වහලවල් නිසා මුකුත් වෙන්නේ නැත. ඉනික්බිති රතු කුරුස භටයන් එන්නේ තුවාල කරුවන් හා  මරණයට පත් වූවන් සොයා ය. මේ සොඳුරු යුද්ධයේ මැරුණු අය නැත. අනිත් අයට බොහෝ උදව් කරන සාමකාමී ජනයා (සපෝ ගේ පියා හා මව ) මැරුණු අය හෝ තුවාල කරුවන් දුටුවොත් සොයා කතා කිරීමට කරුණාවෙන් පොරොන්දු වෙති. මියගිය හෝ තුවාල කරුවන් සොයා ගත නොහැකිව රතු කුරුස කරුවන් දුකින් නික්ම යති. රතු කුරුස ව්‍යාපාරයට යුරෝපයේ මුදල් ලැබෙන්නේ යුද්ධයක මැරෙන තරමට අනුව යයි ඔබ දන්නවාද?

උපහාසාත්මක අධිතාත්වික යුද්ධයක් පිලිබඳ මේ රංගනයේ අවසානය, සැබෑ යුද්ධයේ බියකරු යථාර්තය අපේ හිස මතට අනුකම්පා විරහිතව මුදා හරියි. ගුවනින් හෙලන ඊළඟ බෝම්බ වර්ෂාවෙන් හා වෙඩි පහරින් සියල්ලෝම මිය යති.


අද දවසේ ඉස්ලාම් අන්තවාදීන් සිරියාවේ කරන දරුණු ක්‍රියා වැළැක්වීමට ඇමෙරිකානු හමුදා බෝම්බ දමයි. මාධ්‍ය වලට අනුව "ඉතා නිවැරදිව හෙලන "precision bombs" වන මේවා වලින් මිය යන්නේ ත්‍රස්තවාදීන් පමණකි. ත්‍රස්තවාදීන් හැදුවේ ද තවත් ජනාධිපතිවරයෙකු ඉවත් කරන්නය. එම ජනාධිපතිවරයා ආරක්ෂා කරන සිරියානු සෙබළුන් මෙන්ම ඔවුන්ට විරුද්ධව සටන් කරන කැරලි කරුවන් ද සිරියානුන්ය. රුසියාවේ පූටින් ද යුද්ධයට එළඹී තිබේ. ඔහුගේ ගුවන් යානා වලින් හෙලන බෝම්බ වලින් මිය යන්නේ ද ඉස්ලාමික අන්තවාදීන් පමණකි. ඉඳහිට ඇමෙරිකාව විසින් පූටින් ගේ හමුදා සිරියානු රෝහලකට ප්‍රහාරයක් එල්ල කල බවට චෝදනා කරයි.. ඒ අතරේ ඇමෙරිකානු හමුදා ඇෆ්ගනිස්ථානයේ රෝහලකට ප්‍රහාරයක් එල්ල කරති.


අපට මාධ්‍ය වලින් දෙන්නේ ඔවුන්ට අවශ්‍ය යුද්ධය පමණකි. යුද්ධයේ සැබෑ ස්වරුපය වෙනුවට පෙන්වන යුද්ධය අරාබෙල් හා විජිත විසින් උත්ප්‍රාසාත්මකව පෙන්වන අතාත්වික යුද්ධයයි. එක පැත්තක් දී සිටින්නේ ආගම වෙනුවෙන් ශුද්ධවූ යුද්ධයකය. ඒ පැත්තේ ජනයා දකින්නේ ආගමය. අනිත් පැත්තෙන් ශිෂ්ටාචාරය බේරා ගැනීමට හා ප්‍රජාතන්ත්‍රවාදය අපනයනනය කිරීමට සටන් වදිති. ඒ පැත්තේ ජනයා දකින්නේ ප්‍රජාතන්තවාදය හා නිදහස වෙනුවෙන් සටන් වදින්නන්ය. අප නරඹන්නෝ වෙමු.


ශ්‍රී ලංකාවේ සිදුවූ යුද්ධයේ වාර්තාකරුවන් හැසුරුනේ විනෝද චාරිකාවක් වාර්තා කරන අය මෙන් නොවේද? බෝම්බ වරුසාවක් හෙලද්දී එක පැත්තක් ඒවා වීඩියෝ කර තමන් ගේ වාර්තා පමණක් බලන බටහිර වෙසෙන ජනතාවට පෙන්වුහ. ඒ තමන්ගේ යුද භාණ්ඩාගාරය (war chest) වැඩි කර ගැනීමටය. බෝම්බයෙන් මියෙන අයගේ සිරුරු යෙදවුනේ ලැබෙන චැරිටි මුදල වැඩි කර ගැනීමටය. ඇතැම් අය මුදල් සඳහා පොත් ලිවූහ. අනිත් පැත්තේ වාර්තාකරණය මුළු ජනතාවක් ඇසපිය නොහෙලා රූපවාහිනයට නෙත් යොමු කරගෙන කඩල කමින්. චොකලට් කමින් නරඹන සෝප් ඔපෙරාවක් විය. සැබෑ යුද්ධයේ දෙපැත්තේම සොල්දාදුවන් ගේ කුඩු වුනු බංකර හා වැසියන්ගේ තැන තැන විසිරුණු  මළ  සිරුරු හා ශරීර  කැබලි වල වාර්තා ලැබුනේ පසුවය.

අද දවසේ යුද්ධය යනු රුපවාහිනිය හා අන්තර්ජාලයේත් රඟ දැක්වෙන "රියැලිටි ෂෝ "එකකි.

විජිත ගුණරත්න  යුධ පිටියේ සවාරියක් නාට්‍යයේ රඟ දැක්වීමට තෝරා ගෙන තිබුනේ ඉතාලියේ ජිවත් වන රැකියා කරන ශ්‍රී ලංකික සහෘදයන් පිරිසකි. ප්‍රවීන වේදකා නළුවන් නොවුනත් ඔවුන් ප්‍රශංසනීය රංගනයක යෙදෙයි. විජිතගේ නාට්‍ය හැකියාවන් මනාව පිළිඹිබු කෙරුනේ ජනතාව අතරින් තෝරාගත් කිහිප දෙනෙකුට සම්මානනීය නාට්‍යයක් සාර්ථකව රඟ දක්වන්නට පුරුදු පුහුණු කිරීම තුලිනි.
හෙමිංවේ සහ ගෙල්හොර්න් යනු ස්පාඤඤ යුධ වාර්තාකරණයේ යෙදුනු සුප්‍රසිද්ධ ගත් කතුවර අර්නස්ට් හෙමිංවේ හා වාර්තාකාරිනියක වන ගෙල්හොර්න් අතර සම්බන්ධය ගැන කියන චිත්‍රපටියකි. ගෙල්හොර්න්" බෝම්බ වැටීමේ බියකරු බව විසිත්ත කාමරයේ සිටින්නන් නොදනී" යනුවෙන් ලියන මොහොතේ ෆ්රන්කෝ ගේ ගුවන් යානා මැඩ්රිඩ් නගරයට බෝම්බ හෙලයි. හෙමිංවේ හා ගෙල්හොර්න් බෝම්බ වැටෙද්දී ජිවිත බේරා ගැනීම පසෙක ලා රමණයේ යෙදෙති. මේ අතිශයෝක්තියෙන් ඔප වැටුණු අධිතාත්වික රංගනය ම  අරබෙල්
ගේ  "යුද සවාරිය" තුලින් මතු කරන යථාර්තයම වෙයි.

ජනතාවනි ජිවත්වන්න.
+++++++++++++++++++++++++++++++++++++++++++++++++
මා කැමරාකරුවන්ට කැමති අතර මමද බොහෝ විට කැමරාවක් රැගෙන උත්සව වල පින්තුර රැගෙන තිබේ. ඒ බොහෝ විට පැත්තක සිට කාහටවත් අපහසුවක් නොවන පරිදිය. අප අත්දකින අශ්ශීල යුද වාර්තාකරණය සිහි ගන්වන යමක් මේ නාට්‍යය රඟ දක්වන අතර සිදුවිණ. මෙය ඕනෑ කමින් සිදු කෙරුවක් නොවුනද අනිත් අය නාට්‍යයක් නරඹද්දී තමාගේ පස්ස පෙන්වමින් දඟලමින් පින්තුර ගැනීමේ වැදගත් කම කුමක්දයි මට නොතේරේ. "Flash photography " තිබෙනවා යයි සමහර ප්‍රවෘත්ති වාර්තා ඉදිරිපත් කරද්දී යුරෝපීය මාධ්‍ය අනතුරු හඟවයි. ඒ ඇස ගිනිකන්වැටීමේ ගතිය ඇසට එතරම් හොඳ නැති නිසාය. අඳුරු කරන ශාලාවක නම් ෆ්ලෑෂ් එකකින් එන ආතතිය වැඩිය. මේ එවැනි "යුද වාර්තාකරණයේ " එදා යෙදුන අයෙකි. ඔහු මෙය විවාහ මංගල්‍යයක් යයි සිතුවා ද මම නොදනිමි. කැමරාකරුවනි නරඹන ජනතාව ගැනත් සිතන්න.


Wednesday, 11 November 2015

වප් මස බ්ලොග් සම්මානය

පසුගිය වප් මස බ්ලොග් සම්මානය සඳහා බ්ලොගයක් තෝරා ගැනීම ඉතාම අපහසු කාර්යයක් වුණා. හුඟක් බ්ලොග හොඳ ලිපි කෙටි කතා ආදිය පල කරල තිබ්බ. මේ මස සඳහා අප තෝරා ගත්තේ හමුදාවේ සිටියදී ලත් අත්දැකීම් ගැන ලියන බ්ලොගයක්. මේ බ්ලොගය හමුදාව ගැන විතරක් නෙමේ, තමන් කළ සංචාරයන් ගැනත් වෙනත් සමාජයේ එදිනෙදා ඇතිවන ප්‍රශ්න ගැනත් කතා කරන, සංවාදයන් ඇති කරන බ්ලොගයක්.

අප තෝරා ගත්තේ වප් මස (ඔක්තෝබරයේ පලවූ) මේ ලිපියයි. ඒ තවත් කොන්ඩයෙක් බිහි නොවන්නට නම් , නමැති ලිපියයි. ඔහු හමුදාව ගැන ලිවීමට අමතරව බොහෝ ප්‍රශ්නකාරී මාතෘකා ගැනත් ලියනවා. පන්සලක් ගැන ලියු එකක් මේ. මේවට මල් වගේම ගලුත් ලැබුනත් ඉන් කලබල නොවී තමන්ගේ බ්ලොගය කරගෙන යනව. වරක් එක්තරා ගායකයකු ගැන ලියු ලිපියක් දැක එම ගායක මහතා නෙලුම් යායට චෝදනාවකුත් කලා. නමුත් අප පසුව ඔහුට තේරුම් කර දුන්න බ්ලොග් ලිපිය ලියා ඇත්තේ ඔහුට එදිරිව නොවන බව. ඒ මේ බ්ලොග් කරුගේ දක්ෂතාවය. මේ බ්ලොගය ලියන්නේ විචාරක මහතා. බ්ලොගයේ නම අසමි දකිමි සොයමි. ඔහුට නෙළුම් යාය සහෘදයන් ගේ සුබ පැතුම්.

http://nelumyaya.com/?p=4573

 මෙම බ්ලොග් සම්මාන පිළිබඳව මගේ බ්ලොගයේ දමන්නේ ප්‍රචාරය පිණිස පමණි.

Monday, 9 November 2015

නීතිය කැඩූ කුමාර් ගුණරත්නම්, නීතියට අභියෝගයක් වූ වෛද්‍ය සමරසිංහ හා අතරමං වූ යහපාලිනිස්ටලා

"අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ සභාපති වෛද්‍ය නිලංග සමරසිංහට අමතරව එම ධුරය සඳහා හිටපු නියෝජ්‍ය පොලිස්පති සිරිසේන හේරත් මහතා පත්කර තිබේ." යයි ලංකාදීපයේ පළවූ පුවතක් කියවුයෙමි. වෛද්‍ය නිලංග සමරසිංහ මහතාට පසුගිය කාලයේ තිබු මරණ තර්ජන ආදිය සලකා බලන කල රජයේ ක්‍රියාව හොඳ දෙයක් ලෙස පෙනී යා හැකිය. ඒ එවැනි අන්තරායදායක රැකියාවක් සඳහා හිටපු නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු පත් කිරීමෙනි. නමුත් ඇත්තටම සිදු වන්නේ වෙනත් දෙයක් විය හැකිය. එනම් හොර ඖෂධ කාරයන් බේරා ගැනීම සඳහා වෛද්‍ය නිලංග සමරසිංහ ඉවත් කිරීම අත්‍යවශ්‍ය දෙයක් ලෙස ඔවුන්ගෙන් යැපෙන්නවුන් කල්පනා කරනවා විය හැකිය. ඒ නිසා යහපාලනයට චන්දය යහපාලිනිස්ටලාට දැන් වී ඇත්තේ යහපාලනයට වැද ඇති හොරුන්ගෙන් එය රැකගැනීම සඳහා සටන් කිරීමටය. රජය නිසි හේතු දැක්වීමක් නොකරන්නේ නම් වෛද්‍ය නිලංග සමරසිංහ ඉවත් කිරීම වැළැක්වීම සඳහා යහපාලනිස්ට ලා විරෝධයක් පටන් ගත යුතුය. නැත්නම් රජයේ සමහර ඇත්තන් ගිය ආණ්ඩුවේ ක්‍රියා පටිපාටියම අනුගමනය කිරීමට සැරසෙන සැරසිල්ල මුලිනුපුටා දැමීමට වෙන විධිහක් නැත.

 කුමාර් ගුණරත්නම් මහතා මට කීප විටක්ම මුණ ගැසී තිබේ. ඔහුගේ දේශනද කීප විටක්ම අසා තිබේ. සමාජවාදී පක්ෂයක නායකයකු වශයෙන් ඔහු අමුතු දෙයක් කියන්නේ නැත. එසේම සමාජවාදී රටක උගෙනුම ලබා පැමිණි මට පරණ පන්නයේ සමාජවාදය කොහොමත් දිරවන්නේද නැත.සමාජවාදයක් ඇති වෙනවා නම් ඇතිවන්නේ මිනිසුන් වඩාත් දැනුවත් වී ඇති ධනවාදයේ ඉහල අවධියකට පිවිස ඇති නිදහස් මිනිසුන් වෙසෙන රටවල මිස විකෘති ධනවාදයක් ක්‍රියාත්මක වන පසුගාමී රටවල නොවන බවට නිගමනයකට මා එළඹුණේ බොහෝ කලකට පෙරය.

 ඒ නිසා මම ධනවාදී රටක ජිවත් වෙන ගමන් අරගල කර පොලිස් පහරදීම් වලින් මිය යන්නට හෝ ඉගෙනීම් කඩා කප්පල් කරගන්නට හෝ රැකියාව නැති කරගෙන දු දරුවන්ගේ ජිවිත අඳුරේ හෙලන්නට කිසිවෙකුට දේශනා කරන්නට යන්නේ නැත. (දේශනා කරද නැත). ඒ මහතා සේ කරනවා යයි යෝජනා කරන්නේද නැත. ඔහු ඉල්ලා සිටින්නේ ධනවාදී රටක සිට නොව තමන් උපන් රටේම ජිවත්වි දේශපාලනය කරන්නටය.

 කුමාර් ගුණරත්නම් මහතා සැබවින් ම නීතිය කඩ කර තිබේ. ඒ ඕස්ට්‍රේලියානු ගමන් බලපත්‍රයකින් ශ්‍රී ලංකාවට පැමිණ වීසා අවසන් වූ පසුත් නතරවී සිටීමෙනි. මා වැනි සාමාන්‍ය පුරවැසියෙකු වීසා අවසන් වූ පසු නැවත එංගලන්තයට පැමිණිය යුතුය. එනමුත් මට එසේ නැවත නොපැමිණ, සිංහලත් දන්නා නිසා සැඟවී රැකියාවක් කිරීමට හා නිසොල්මනේ ජිවත් වීමද කළ හැකිය. ඒ කවුරුන් හෝ මගේ තරහකාරයෙක් දැන්වුවොත් මිස, ශ්‍රී ලංකාවේ පොලිසිය හෝ ආගමන විගමන නිලධාරීන් මා සොයා නොපැමිණෙන හෙයිනි. එවැනි සැඟවී ජිවත් වන අය ශ්‍රී ලංකාවේ බොහෝ සිටිති. ඒ නීති විරෝධිව වුවත් කවුරුත් ඒ ගැන දන්නේ වත් සොයන්නේ වත් නැත. එසේ වූ පලියට මම එසේ කරන්නට යන්නේද නැත.

 මා රැකියා කරන ආයතනයේ එක් ඉංග්‍රීසි ජාතික අධ්‍යක්ෂක වරයෙකුගේ මව කැනේඩියානු කාන්තාවකි. ඔහු ඉපදී ඇත්තේ එංගලන්තයේය. මව ගේ මුතුන්මිත්තන් කැනඩාවට සංක්‍රමණය වූ ඉංග්‍රීසින්ය. ඔහුගේ පියා ඉංග්‍රීසි ජාතිකයෙකි. කැනඩාවට නිවාඩුවකට යාමට ප්‍රථම ඔහු (අධ්‍යක්ෂකවරයා) කැනඩා ගමන් බලපත්‍රයක් ඉල්ලා සිටි අවස්ථාවේ එය නිකම්ම ලැබිණි. ඒ පුරවැසි භාවයද සහිතවය. ඔහුට දැන් බ්‍රිතාන්‍ය හා කැනඩා ද්විත්ව පුරවැසි භාවය තිබේ. ඔහු කැනඩාවේ ඉපදී නැතිව මව පමණක් කැනේඩියානු වීම සෑහේ. අපේ ආයතනයේ පරිගණක ඉංජිනේරුවකුට රුපියල් ලක්ෂ දෙකක් ගෙවා ශ්‍රී ලංකාවේ ද්විත්ව පුරවැසි භාවය ගැනීමට සිදුවූ බව ඇසූ ඔහු ඉමහත් පුදුමයට පත් විය. ඔබ රටට මුදල් යවන, ඒ රටේ මව්පියන්, නෑදෑයන් වෙසෙන, ඒ රටේ ඉපදී ඇති අයෙකු වශයෙන් ශ්‍රී ලංකාව විසින් නොමිලයේම පුරවැසි භාවය නොදෙන්නේ මන්ද යයි ඔහු මගෙන් විමසීය. මා පැවසුවේ ධනවත් රටක් නොවන ශ්‍රී ලංකාව හැකි සෑම අයුරකින්ම මුදල් සොයන නිසා මේ ගාස්තුව නියම කර ඇති බවත් එය තරමක අසාධාරණ ගණනක් බවත්ය. ඒ මදිවාට පසුගිය කාලයේ ආරක්ෂක අමාත්‍යංශයේ අවසර ගැනීමට නොයෙක් දෙනා පසුපස සිඟා කෑමටද සිදුවින. දැන්නම් ඒ ප්‍රශ්නය නැතත් නැවත පුරවැසි භාවය ගැනීමට ලක්ෂ දෙකක මුදලක් දෙන්නට සිදුව ඇති අතර ඒ සඳහා කොන්දෙසිද නහුතයක් ද ඇත.

 කුමාර් ගුණරත්නම් මහතා ප්‍රමුඛ ඔහුගේ පක්ෂයට සහය දෙන අයගේ තර්කය නම් ඔහු වෙනත් නමකින් ඕස්ට්‍රේලියානු පුරවැසි කම ගත්තත් ඔහු ලංකාවේ උපන් ලංකාවේ පුරවැසියකු බවයි. එය සත්‍යයකි. රටක ඉපදී ඇති කෙනෙකු ගෙන් ඒ අයිතිය පැහැර ගන්නට නොහැකිය. හරියට තමන් උත්පත්තියෙන් ලැබූ මව හෝ පියා වෙනස් කළ නොහැකි ලෙසටමය. කැනඩාව වැනි රටවල ප්‍රතිපත්තිය මේ අනුව නිවැරදිය. මේ නිසා මට සිතෙන්නේ කුමාර් ගුණරත්නම් මහතා නිදහස් කරන ලෙසත්, ඔහුගේ පුරවැසි භාවය ලබා දෙන ලෙසත් කරන ඉල්ලීමට සහය දීමටය. ඔහුට ඇප නොදී සිර ගෙට යවන්නේ ශිෂ්‍ය උද්ඝෝෂණය නිසා විය හැකිය. ශිෂ්‍යයන්ට පහර දීමෙන් පොලිසියත් රජයත් මහත් අපකීර්තියක් ලැබූ අතර ශිෂ්‍ය ඉල්ලීමද ඉන් පසුව ඉටු කිරීමට සිදු වුනි. එය සාධාරණ ඉල්ලීමක් නම් මෙපමණ දුර දිග යන්නට නොදී රජයට එය ගොඩින් බේරා ගන්නට ඉඩ තිබුණි. දැන් පෙනෙන පරිදි මේ ලැබුන "පරාජයේ" වාඩුව ගන්නේ කුමාර් ගුණරත්නම් ගෙන් බව හැඟේ. මේ අත් අඩංගුවට ගැනීමට නීතිමය පදනමක් තිබුනත් ඔහු ඇප නොදී ඇතුලට දැමීමෙන් හා, පසුගිය රජයේ වඩා පොහොසත් බලපුළුවන්කාරකම් සහිතව සිටි අය ඇප මත එලියට දැමීමෙනුත් පෙනී යන්නේ වරප්‍රසාද අඩු අයට නීතිය වෙනත් ආකාරයකට ක්‍රියාත්මක වන බවයි.

 දේශපාලන පක්ෂ නායකයෙකුට තම දේශපාලනය නිදහසේ කර ගෙන යාමට ඉඩ දීම ප්‍රජාතන්ත්‍රවාදී ලක්ෂණයකි. බ්‍රිතාන්‍යය , ජර්මනිය වැනි රටවල අති දක්ෂිණාංශික හා අති වාමාංශික පක්ෂවලට පවා යම් තාක් දුරට නිදහසේ දේශපාලනය කිරීමට ඉඩ දී තිබේ. (උදා : BNP, English Defence League, National Democratic Party of Germany ). මෙහිදී අගමැති රනිල් වික්‍රමසිංහ මහතා හිටපු ජනපති ජේ ආර් ජයවර්ධන මහතා අනුගමනය නොකරනු ඇතැයි සිතමි. දෙමළ ජනතාවට එරෙහිව පැවති 1983 කෝලාහල වලින් පසු වමේ පක්ෂ තුනක් තහනම් කෙරුණු අතර ජවිපෙ තහනම ඉන් පසුව හෝ ඉවත් කෙරුනේ නැත. ඉන් සිදුවුයේ එම පක්ෂය රහසිගත ක්‍රියාකාරිත්වයකට යාමත් රැකියා විරහිත තරුණ පෙළ ඊට ආකර්ෂණය වීමත්ය. උතුරේ යුද්ධයට අමතරව දකුණේත් සිවිල් යුද්ධයකින් ශ්‍රී ලංකාව බැට කෑවේ ඉන් පසුවය. කුමාර් මහතා ලංකාවට පැමිණිවිට මා ලියු බ්ලොග් ලිපිය වුයේ "විමලේගේ පිහිටට කුමාර් කුමාර් ගේ පිහිටට විමලේ "යනුවෙනි.

මේ රජය පත් වී වසරක් ගත වීමට ප්‍රථම විමල් විරවංශ මහතාට පාස්පෝර්ට් චෝදනාවන් කිහිපයක් ම එල්ල වී තිබේ. ඒ නිසාම දෝ ඔහු උපක්‍රමශීලිව කුමාර් ගේ පැත්ත ගන්නා ලෙසක් පෙනී යයි. එනමුදු මා මගේ මුල් ලිපියේ සඳහන් කල පරිදි කුමාර් ගුණරත්නම් විමල් වීරවංශ ගේ පැත්තට ගියේ නැත. ඔහු ගෙන යන්නේ ඔහුටම අනන්‍යවූ දේශපාලනයකි. විමල් මහතාට එකතු වී ඇත්තේ බංකලොත් සෝමවංශය. කුමාර් ගුණරත්නම් ට දේශපාලනය ශ්‍රී ලංකාවේ කරන්නට ඉඩ දිය යුතුව ඇත්තේ, කොටස් තුනකට බෙදුණු එළිපිට රඟන ජවිපෙ/පෙසපේ /ජනිපෙ දේශපාලනය ලංකාවට වඩා හිතකර නිසාය.

 කොටින්ම දැන් ශ්‍රී ලංකාවේ සැඟවුණු ආරක්ෂක ඇමති කෙනකු සිටියාදැයි සිතෙන තරමට තත්වය ව්‍යාකූලය. ගෝඨාභය රාජපක්ෂ මහතා කියන්නේ ඔහු අනුර කුමාර මහතාගේ කීමට කුමාර් ගුණරත්නම් ඇල්ලු බවය. වෙබ් පුවත්පත් කීපයක් පසු ගියදා ප්‍රකාශ කලේ යහපාලන රජය අනුර කුමාරගේ කීමට කුමාර් ගුණරත්නම් ඇල්ලු බවකි. ඒ කියන්නේ අනුර කුමාර දිසානායක මහතා එතරම්ම බලවත්ය. ඔහු බලවත් ව ඇත්තේ ගිය ආණ්ඩුව මෙන්ම මේ ආණ්ඩුවද නිර්දයව විවේචනය කරන නිසාද නැත්නම් මෙවැනි රහස් ගනුදෙනුවක් පවතින නිසාද? එසේ ආණ්ඩු විවේචනය කල/කරන අයෙක් ඔය කියන අන්දමේ ගනුදෙනුවක් පවත්වා ගනීවිද?

මට නම් පෙනෙන්නේ ආණ්ඩු දෙකම අනවශ්‍ය භයක් ඇති කරගෙන තිබෙන බවකි. සැබෑ යකා කියන තරම් කළු නැත. (pun not intended). යහපාලින්ස්ටලා කුමාර් ගේ ප්‍රශ්නයේදී ආණ්ඩුවට සහය දැක්වුවත් සිසුන්ට පහර දීමේදී විරෝධය දැක්වුහ. යහපාලින්ස්ටලා මේ රජයට අන්ධානුකරණයෙන් වඳින්නට සුදනම් නැති බව පැහැදිලිය. මාරපන මහතාට ඇතිවූ විරෝධයේදී පෙරමුණ ගත්තේද යහපාලින්ස්ටාලාය. අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ සභාපති වෛද්‍ය නිලංග සමරසිංහ මහතා වෙනුවෙන්ද ඔවුන් ඉදිරිපත් විය යුතුය. අතරමන් වෙන්නට කලින් යහපාලින්ස්ටාලා දැන් කල යුතුව ඇත්තේ නැවත සංවිධානය වී නැග එන දුෂණයට හා ඥාති සංග්‍රහයට විරෝධය පාමින් ලැබූ ප්‍රජාතන්ත්‍රවාදී නිදහස රැක ගැනීමය. සෝභිත හිමියන් වෙනුවෙන් උපහාර කල යුතුව ඇත්තේද එලෙසමයි.



Wednesday, 4 November 2015

අන්තරේ ගැටේට හිරවුණු පොලිසියේ කිරිපල්ල හා මහමගේ හිරවුණු කිරි ඇල්ල

මහාමාර්ග ඇමති කිරිඇල්ලට යහපාලන ආණ්ඩුවේ විද්වත් මණ්ඩලයක් මගින් උසස් අධ්‍යාපන ඇමති පදවියත් ලබාදීමේ බුද්ධිමත් තීරණය ඇස් පනාපිට ඔප්පුවී ගියේය. දැන් ඒ සිදුවීම් පෙල විග්‍රහ කරමින් බ්ලොග්වල, මුණු පොතේ සහ පත්තර වල මෙන්ම ගොසිප් වෙබ් අඩවි වලද කතාව තවම නැවතී නැත. මට දැන් ප්‍රශ්න කීපයක් මතුවී තිබේ. ගුරුවරුන් ළමුන්ට පහරදීම කිසිදා අනුමත නොකළ අයෙකු ලෙස, ගැහීමෙන් ළමයි හැදිය නොහැකි බව පිළිගන්නා අයෙකු ලෙස පොලිසිය තියා මොකා වුනත් සිසුන්ට පහරදීම අනුමත කිරීමට හැකියාවක් නැත. එනිසා අපි එයට විරෝධය පළ කරමු.

 මා එසේ කීවද පොලිසිය ගැනද අනුකම්පාවක් ද තිබේ. ඒ සුළු පොලිස් නිලධාරීන් ගැනය. අපි රතුපස්වල ගනිමු. උද්ඝෝෂණයේදී හමුදාව කැඳවූ අතර ඔවුන් පුහුණුව ලැබූ දෙය වන වෙඩි තැබීමක් සිදුවී විරෝධතා කරුවෙක් මිය ගියේය.

උද්ඝෝෂණයකදී එක එල්ලේ වෙඩි තැබීම නීති විරෝධීය. පොලිසියට උගන්වා තිබෙන පිළිවෙල නම්, ජනතාවට අවහිර වන අවස්ථාවක, උද්ඝෝෂණ වලක්වාලීම සඳහා මුලින් ශබ්ද විකාශන මගින් විසිර යන ලෙස දැන්විය යුතුය. උද්ඝෝෂකයන් එම අණ පිළිපදින්නේ නැත්නම් වතුර විදීම වැනි ක්‍රමයක් හා ඉන් පලක් නැත්නම් කඳුළු ගෑස් ගැසීම කල යුතුය. ඉනුත් පලක් නැත්නම් කුළුපොලු හමුදාව ඉදිරියට ගෙනවිත් එක පෙලට උද්ඝෝෂණකරුවන් තල්ලු කරමින් ඉදිරියට යමින් ඔවුන් විසිරුවා හැරීමට කටයුතු කල යුතුය. උද්ඝෝෂකයන්ට අවම බලයක් යොදා පහර දීමටද අවසර තිබේ. බ්‍රිතාන්‍යයේ මෙන්ම බොහෝ රටවල උද්ඝෝෂකයන්ට විසිර යන්නේ නැත්නම් පහර දීම කරනු ලබයි. ඉහත සිද්ධියේදී පොලිසිය මූලිකව තම නීති පොත අනුගමනය කල බවක් පෙනී යයි. (අවසන් පහරදීම් සිද්ධීන් වලට කලින්) පොලිසිය මගින් වෙඩි තැබීමක් සිදු වුයේද නැත. එහෙත් පොලිසිය විරෝධතාවය මැඩීමට ගත් ක්‍රියාමාර්ග අතර අවශ්‍ය කාල පරතරය තිබුනේද යන්න ප්‍රශ්නයකි. කෙසේ වුවද තිරශ්චීන ලෙස එලව එලවා කල පහරදීමට එරෙහිව දැඩි විරෝධයක් මතුව තිබේ.


උදාහරණයක් ලෙස සසිනි සන්දීපනී ශිෂ්‍යාවට කල පහරදීම කිසි සේත්ම අනුමත කල නොහැකිය. ඇය ඒ අවස්ථාවේ පොලිසියට තර්ජනයක් කරන්නේ නැත. ඉවත්ව යාමට තතනන සිසුවියකට පහර දීම වීර ක්‍රියාවක් ලෙස ඒ පොලිස් නිලධාරියා සිතනවා නම් ඔහුව මානසික රෝහලකට යැවිය යුතුය. එසේම ප්‍රථම වතාවට මේ පහරදීම ගැන විමසන්නට උසස් පොලිස් නිලධාරීන් මානව හිමිකම් කොමිසමට කැඳවා තිබේ. මෙය පැසසිය යුත්තකි. ඔවුන්ට බලතල ඇත්නම් එතනින් නතර නොවී නීතිය කඩ කිරීමක් සිදුව ඇත්නම් දඬුවම් දීමද කල යුතුය.

දැන් අපි ඩිප්ලෝමා ගැන කතා කරමු. ප්‍රංශයේ අවුරුදු හතරක පාඨමාලා වලට ඩිප්ලෝම දෙන අතර ඒවා ඩිග්රි (උපාධි) වශයෙන් නම් කිරීමට නම් එහි අධ්‍යපාන අමාත්‍යංශයේ සහතිකය ගත යුතුය. රැකියා සඳහා එසේ සහතික කිරීම අනවශ්‍යය. ජර්මනියේද ඩිප්ලෝමා දෙන අතර අවුරුදු 4-5 දක්වා ඇති පාඨමාලා උපාධි හා සම තත්වයේ සැලකේ. ඇත්තේ නමේ වෙනස් වීමක් පමණි. ඩිග්රි හෙවත් උපාධි ඇත්තේ බොහෝ විට ඉංග්‍රීසි කතා කරන රටවල පමණි.ඒවායේ ඩිප්ලෝමා ප්‍රදානය කරන නමුත් ඩිප්ලෝමා උපාධි වලට වඩා අඩු තත්වයක ලා සැලකේ. නමුත් බොහෝවිට ඩිප්ලෝමාවට රැකියා ලැබෙන අතර උපාධියක් තිබීමම රැකියාවක් ලැබීමේ හේතුවක් නොවේ. මයික්‍රොසොෆ්ට්, සිස්කෝ වැනි ආයතන වල විභාග සමත් වී හා පරිගණක පාඨමාලා සම්පුර්න කර ඩිප්ලෝමා සහතික රැගත් ඉංජිනේරුවන් ඩිග්රි ඇති අය සමග සමව හෝ වඩා උසස් රැකියා කරනු මා දැක තිබේ.

ප්‍රංශය අනුව යමින් සාර් රුසියාවේ උසස් විද්‍යාල වල දුන්නේ ඩිප්ලෝමාය. සෝවියට් දේශයද එම ක්‍රමයම අනුගමනය කළේය. අපට ලැබුණු උපාධියේ රුසියානු භාෂාවෙන් හා (ප්‍රංශ බස කතා කරන අප්‍රිකානු සිසුන් හට එම ප්‍රංශ භාෂාවෙන්ද) උපාධි සහතිකය ඩිප්ලෝමා කියා නම් කෙරුණු අතර ඉංග්‍රීසියෙන් Master of Science degree කියා සඳහන් කර තිබුණි. මෙය ඉන්පසු ප්‍රංශයේ මෙන්ම සෝවියට් උසස් අධ්‍යාපන අමාත්‍යංශය හා විදේශ අමාත්‍යංශය මගින් උපාධියක් ලෙස සහතික කරන ලදී. ලංකාවේ උපාධි ලැබූ බහුතරයකින් සමන්විත වෛද්‍ය වරුන්ගේ සංගමය මෙන්ම ඉංජිනේරු සංගමයද මේ සෝවියට් උපාධි වලට විරුද්ධ වු. ඔවුන්ගේ මුලික තර්කයන් වුයේ උසස් පෙළ විභාග ප්‍රතිඵල අඩු අය මේ උපාධි ලබා පැමිණෙන බව හා මේවා ඩිප්ලෝමා බවයි. (කවුදෝ අර රුසියානු භාෂාවේ සඳහන් ඩිප්ලෝම වචනය අහුලාගෙන ඇත) ඒ දවස් වල අපේ සෝවියට් උපාධි ලැබුවෙක් "ලුමුම්බා උපාධිය කුරුම්බා කඩන්නද" යන මැයින් දිවයින් පුවත් පතට ලියු ලිපියක්ද දුටුවෙමි. මෙහිදී සෝවියට් උපාධිධාරීන් රජයට පැහැදිලි කලේ ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාල වලට යාමට සුදුසුකම් ලබා නමුත් ඉඩ නැතිවීම, දිස්ත්‍රික් ක්‍රමය නිසා අත්වුණු අසාධාරණය නිසාද සිසුන් නැගෙනහිර යුරෝපිය රටවලට හා චීනයට ගිය බවයි.

මා වැනි තවත් ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාල වලට ඇතුළුවීමට සුදුසුකම් ලබා (ලිපිත් නිවසට පැමිණ පසු) ඉගෙනීමට සෝවියට් දේශයට ගිය අයද බොහෝ විය. රුසියන් භාෂාවෙන් ඩිප්ලෝමා කියා කීවද එය ඩිග්රියක් බව ඔප්පු කරන්නට අපේ මුල් උපාධිධාරීන් විෂය නිර්දේශ ගෙනවිත් පෙන්වූහ. එසේම අපේ සෑම උපාධියක්ම Master of Science degree ලෙස නම් කර සෝවියට් උසස් අධ්‍යාපන අමාත්‍යංශයෙන් වෙන් වෙන්ව සහතික කර තිබුණි. මම සමස්ත සෝවියට් ශ්‍රී ලංකා ශිෂ්‍ය සංගමයේ ප්‍රධාන ලේකම් ලෙස පත් වී සිටියදී විදුලි ඉංජිනේරු හා වෙනත් පාඨමාලා වල විෂය නිර්දේශ ඉංජිනේරු සංගමයට මෙන්ම අදාල අමාත්‍යවරයා ටද භාර දුනිමි. විෂය නිර්දේශ සන්සන්දනය කිරීමේදී සෝවියට් දේශයේ බොහෝ උපාධි පාඨමාලා ශ්‍රී ලංකාවේ පාඨමාලා වලට වඩා වැඩියෙන් විෂයයන් උගන්වන බව මෙන්ම වඩා ගැඹුරට උගන්වන බවද පැහැදිලි විය. පුහුණුව අතින්ද සෝවියට් ක්‍රමයේ උසස් කම් දැකිය හැකි විය. මා උගත් මොස්කව් බලශක්ති විශ්ව විද්‍යාලයේ තමන්ගේම තාප විදුලි බලාගාරයක් තිබුණි. අප මුලික පුහුණුව ලැබුවේ එහිය. එවන් තමන්ගේම විදුලි බලාගාර තිබු විශ්ව විද්‍යාල ලෝකයේම ඇත්තේ අතලොස්සකි. සිවිල් ඉංජිනේරු, යාන්ත්‍රික ඉංජිනේරු වැනි අනිත් පාඨමාලාද උසස් තත්වයේ විය. මා මේ කියන්නේ ශ්‍රී ලංකා වේ උපාධි පහතට දැමීමට නොවේ. ඒවායේ හොඳින් උගන්වන අතර සිසුන් මහන්සිවී ඉගෙන ගන්නා බවද පිලිගනිමි.කෙසේ හෝ සෝවියට් උපාධිධාරීන්ගේ පැහැදිලි කිරීම් හේතුවෙන් ශ්‍රී ලංකා රජය විසින් එම උපාධි සම තත්වයේ ලා සලකන ලදී.


 සෝවියට් දේශයේ නමය පන්තියෙන් පාසල් හැර ගිය සිසුන් හා විශ්ව විද්‍යාලයකට යාමට සුදුසුකම් අඩුවූ සිසුන් සඳහා හෙද විදුහල්, කාර්මික විද්‍යාල ආදිය පිහිටුවා තිබුණි. නමුත් කාර්මික විද්‍යාලයක අවසන් කල කෙනෙක් කාර්මික නිලධාරියෙක් ලෙස විනා ඉංජිනේරුවකු ලෙස හඳුන්වනු නොලබයි. ඒවායේද ඩිප්ලෝමා දෙන නමුත් එහි තත්වය පහලය. ඒවායේ අවුරුදු හතර අවසන් කර රැකියාවකට යාමට හෝ අවශ්‍ය නම් විශ්ව විද්‍යාලයකට ඇතුලු වී තව අවුරුදු තුනක් හෝ දෙකක් (පාඨමාලාවට අනුව) උගෙන උපාධිය ලබා ගත හැකිය. 

ලංකාවේ කාර්මික විද්‍යාල හා වෙනත් පාඨමාලා බොහොමයක අපොස උසස් පෙළ සමතුන් උගනිති. ඔවුන්ගෙන් සමහරු විශ්ව විද්‍යාල වලට යාමට සුදුසුකම් ලබා නොගිය අයය. මේ පාඨමාලා වලට උපාධියක සම තත්වය දීමට නම් ඉගැන්වීමේ තත්වය, ලැබෙන රැකියාවට අදාල පුහුණුව ආදී නිර්ණායකයන් සොයා බලා, විෂයට අදාල වෘත්තිකයන් හා අධාපන වේදීන්ට තීරණයක් ගැනීමට ඉඩ හල හැකිය. සිසුන් පෙළපාලි ගොස් බල කල පලියට රජයකට එය කල නොහැක. එයින් බාල්දු වන්නේ එම රටේම අධ්‍යාපන ක්‍රමයයි. මොරටු විශ්ව විද්‍යාලයේ NDT නම් පාඨමාලාවක් තිබේ. මා දන්නා විධිහට එහි විදුලි අධිකාරී පාඨමාලාව හදාරා විදුලි අධිකාරී විය හැකිය. අවුරුදු 15 රැකියා කර ඉංජිනේරුවරයෙකු හා සම තත්වයට පත් විය හැකිය. එසේ නැතුව ඔවුන්ට ඉංජිනේරු උපාධියම දෙන්න යයි එම සිසුන් ඉල්ලීම් කරනවා දැයි මම නොදනිමි. එසේ ඉල්ලීමක් තිබේ නම් කල යුත්තේ එම වසර තුන හොඳින් අවසාන කල අයට අන්තිම අවුරුද්ද හෝ දෙක ඉංජිනේරු පාඨමාලාව කරන්නට අවසර දී උපාධිය ලබා දීමය. එච් එන් ඩි සිසුන් සඳහා වුවද එවැනි ක්‍රියා මාර්ගයක් ගත හැකිය.


 පොලිසියට ගල් ගැසීමෙන් එවැනි තත්වයක් ලබා ගත හැකිවේ යයි සිතීම මිත්‍යාවකි. මේ තිබෙන්නේ ත්‍රිමා විතාන වැනි සිසුන් පුද්ගලික විද්‍යා විද්‍යාල වලට එරෙහි උද්ඝෝෂණ පෙලේ සිටියදී මරා දැමුණු පසු ඒවාට චෝදනා ලැබුවන් පසුව රජයන් කීපයකම අමාත්‍ය වරුන් වූ රටකය. එම චෝදනා පවා ඔප්පු කර ගැනීමට නොහැකිවී ඇත. විශ්ව විද්‍යාල යාමට නොහැකි වුනු සිසුන් බොහෝමයක අධ්‍යාපන තත්වය උසස්ය. ඔවුන්ට හැදෑරීමට කාර්මික විසුහල් හෙද විදුහල් පමණක් නොව පරිගණක පාඨමාලා ගණකාධිකරණ පාඨමාලා ආදියද තිබේ. මම පෞද්ගලිකව මුදල් අය කරන විශ්ව විද්‍යාල වලට කැමති නැත. මම බ්‍රිතානයේ කම්කරු පක්ෂයේ ජෙරෙමි කෝබින් ට සහ දෙන එක හේතුවක් නම් ඔහු විශ්ව විද්‍යාල වලින් මුදල් අයකිරීම අහෝසි කර නිදහස් අධ්‍යාපනයක් ලබා දීමට පොරොන්දු වීමයි. එසේ වතුදු බ්‍රිතාන්‍යයේ පෞද්ගලික පාසල් හා පෞද්ගලික විශ්ව විද්‍යාල වලට මගේ නම් විරුද්ධත්වයක් නැත. සමාජවාදී ක්‍රමයක එවැනි විද්‍යාල රජයට පවරා ගත හැකි වුවත් දැනට ඇති යථාර්තය හමුවේ එවැන්නකට විරෝධය පෑමෙන් වෙන්නේ තවත් අතිරේක සිසුන් ප්‍රමාණයක් අතරමං කිරීමක් පමණකි. අප සටන් කල යුත්තේ මුළු මහත් ශිෂ්‍ය ප්‍රජාව වෙනුවෙන් මිස "සල්ලි තියෙන එස් තුනක් ගත්තවුන් " ගැන වෛරයකින් නොවේ. අඩු ලකුණු ගත් සිසුන් නොයෙකුත් ක්‍රම හරහා සෝවියට් දේශයටද පැමිණියහ. එය ශ්‍රී ලංකාවේ සමාජයේ වැරැද්ද මිස සිසුන්ගේ නොවේ. අනික වරක් එස් තුනක් ගත්තා කියා මේ කට පාඩම් කර පාස් වෙන විභාග වලින් දෙවනුව හෝ තෙවැනිව හොදින් සමත් වෙන අයද සිටිති.

 කියුබාව වැනි රටවල දොස්තරවරුන්ට හොඳ පඩි ලැබෙන්නේ නැත. එවන් එක දොස්තර කෙනෙක් ගොඩනැගිලි ද්‍රව්‍ය විකුණන කඩයක් පවත්වා ගෙන යන බව රූපවාහිනී වාර්තාවක දුටුවෙමි. අවශ්‍යතාවයට වැඩියෙන් දොස්තර වරු හා ඉංජිනේරුවන් සිටින රටකි කියුබාව. කියුබාවේ ඒ තත්වය ළඟදීම වෙනස් වනු ඇත. කියුබාවේ හෝ වෙනිසියුලාවේ ඇති පරිදි සමාජවාදී රජයක් අද හෙටම නොඑළඹෙන නිසා අන්තරයට පවතින නීතියට යටත්ව දැනට කටයුතු කිරීමට සිදුවනු නොවැලැක්විය හැකිය. අන්තරේ ඉහත සිද්ධියේදී පොලිසියේ කිරිපල්ල අතගාන්නට සිසුන්ට පවරා තමන්ට හොඳ ප්‍රසිද්ධියක් ලබා ගත් බව මගේ හැඟීමයි. සිසුහුද ඒ වෙනවට පොලිසියෙන් හොඳටම ගුටි කෑවෝය. පොලිසිය සුපුරුදු පරිදි හොඳටම අනා ගත්තේය. අවුරුදු ගණනක සිටම මෙලස හැසිරෙන ලංකාවේ පොලිසිය යහපාලන ආණ්ඩුවක් ඇවිත් මාස කීපයකින් වෙනත් විධිහකට හැසිරෙන්නේ යැයි බලා පොරොත්තු වීමම බොළඳ කමකි. ස්වාධින කොමිසම් ආවේ යන්තම් මාසයකට කලින්ය. මිට වඩා මර්දනකාරී ආණ්ඩුවක් පලවා හැරි යහපාලන ලැදි ජනතාවට කුමාරසිංහලා, රණතුන්ගලා දැන්මම තියා කොකා පෙන්වමින් සිටිති. සිසුන්ට පහර දීමට විරෝධය පාමින් ලිපියක් නිකුත් කළ මංගල සමරවීර මහතා මෙන්ම, කරුණාරත්න පරණවිතාන මහතාද යහපාලනයට සහය දුන් බොහෝ අයද ඉදිරියට පැමිණ පොලිස් පහරදීම හෙලා දැක ඇත. ඔවුන් විසින් මේ ප්‍රශ්නය සාකච්චාවෙන් විසඳා ගන්නා මෙන් දෙපාර්ශ්වයටම බල කල යුතුය. යහපාලන ලැද්දන්ට තවත් මර්දනකාරී ආණ්ඩුවක් අවශ්‍ය නැත.

Thursday, 29 October 2015

පහේ පන්තියේදී

මම ලුණුගල සුන්දර පරිසරයක තුබුණු මාධ්‍ය මහා විද්‍යාලයක ඉගෙන ගත් අවධියේ  ගුරුවරයෙක් විසින් අහිංසක ළමයෙකුට දැඩි ලෙස වේවැල් පහර දුන් ආකාරය පැවසුවේ මේ බ්ලොග් ලිපියෙනි. (ලිපිය) අපේ පන්ති භාර ගුරුතුමියයි තුනේ පන්තියේදී අනුරාධපුරය ගැන මා ලියූ රචනාවක් ඉතාමත් අගය කර  පන්තියටම ඇසෙන්නට කියවන ලෙස කීවාය. මා පටන් ගත්තේ "අපේ පෞරාණික ශ්‍රී විභූතිය විදහා පෙන්වන " වැනි වචන පෙළකිනි. ගුරුතුමිය "ඔය වචන ටික හොයා ගත්තේ කොහෙන්ද?" යයි පසුව විමසුවාය. අප නිතර ගිය එක්තරා නිවසක නවයුගය, ශ්‍රී සඟරාව වැනි පත්තර සඟරා බොහොමයක් තිබුණි.මට මතක විධිහට අති විශාල වත්තක් මැද ගොඩ නැගු සුවිසල් සුන්දර එම නිවාසය වටේ පැෂන් වගාවක් සහිත වතු යායක්ද තිබුණි. මෙම වත්තේ ම එක කෙළවරක නෑමට හැකි ශීතල ජලයෙන් පිරි දිය පිහිල්ලකි. ඒ නිවසේ තිබු පත්තර සඟරා හැකි විට කියවූ මා වචන සොරා ගත්තේ ඒවායිනි. ඒ මම ඩීමන් ආනන්දගේ පොත් වගයක් ලැබී කියවූ කාලයද විය.

ඉතින් නවයුගය මිහිර  වැනි පත්තර  වලට අමතරව ලන්දේසි කතාව, සඳ කුමරිය, විදියේ බණ්ඩාර ආදී  චිත්‍ර කතා මෙන්ම "නොගැලපෙන රෝදේ" වැනි සෝවියට් ළමා කතාද බහුලව කියවූ කාලයකි මෙය. පාසැල අවසන් වූ පසු මගේ හිත මිතුරු මිතුරු සෝමේ  සමග පරණ ටයර් සුදු වැලි පාරේ කන්ද උඩ සිට පහල දොළට  යවන, පොඩි කැලෑවල් තුලට වැදී හිඹුටු, මාදන්, ජම්බු ආදිය රස විඳින, පහළ කුඹුක්කන් ඔයේ පැන නාන සුන්දර අතීතයක් විය එය. (මේ කියන සෝමේ හෙවත්  සෝමතිලක  සිටියේ කුඹුරු යායට දකුණු පැත්තට වෙන්නට තිබූ නිවසකය. ඔහුත් ඉහත ගුරුවරයා බැට  දුන් ජනතාපුර විසූ දරුවාත් එක අයෙකු නොව  දෙදෙනෙකි.)

මේ සියල්ල අවසන් වුයේ සොයුරිය ශිෂ්‍යත්වයෙන් කොළඹ විශාඛා විද්‍යාලයට තේරුණු පසුවය.  අපි සියල්ල පදිංචියට කොළඹ පැමිණියෙමු.කොළඹ පැමිණි අලුතම එක දිනෙක නිල් සහ කහ පැහැති ටී ෂර්ට් දෙකක් ඇඳගත් මමත් මල්ලීත් පිටියේ සෙල්ලම් කළෙමු. එතැනට පැමිණි සම වයසේ පිරිමි ළමුන් කීප දෙනෙකු අපෙන් ඇසුවේ "ඕගොල්ලෝ රෝයල් ද" කියාය. මට එය තේරුනේ නැත.  අපට උපහාසයට මෙන් සිනාසුනු ඔවුන් වෙනත් ළමුන් දෙදෙනෙකු පෙන්වා "මේ ගොල්ලෝ රෝයල් ඒ ගොල්ලන්ට තමා නිල් කහ අඳින්න පුළුවන්" යයි පැවසීය. එසේ කියූ එකා යන්නේ මහානාමෙ ට බවද උජාරුවෙන් පැවසීය. වහා නිවසට පැමිණි අපි මේ ටී ෂර්ට් මෙහෙ අඳින්න තහනම් කියා මව පුදුමයෙන් බලා සිටිද්දීම ගලවා වීසි කෙරුවෙමු.

කොළඹ දී ළමයෙකුට විදුහලක් සෙවීම ඉතා අමාරුයි දෙයකි. බැරිම තැන පියා විසින් මාත් මල්ලීත් දැමුවේ කොල්ලුපිටියේ විදුහලකටය. එය පහේ පන්තිය දක්වා පමණක් වූ ප්‍රාථමිකයක් විය.මේ විදුහල අතීතයේදී පාලනය වූයේ ඒ ළඟම තිබු පල්ලියෙනි. එයට යාබදව එහිම කාන්තා විදුහලත් තිබුණි.  මේ පල්ලිය 1887 පිහිටවූ ඇන්ග්ලිකන් දේවස්ථානයකි. පෞරාණික වූ එය ගලින් නෙලා බදාම කළ අගනා  නිර්මාණයක් බව පෙනුනි. මේ දේවස්ථානය එහි දේවගැති තැන මිනීමැරුමකට අසුවූ නිසා පසු කලෙක කුප්‍රසිද්ධ වුවකි.

රසික, ඉකොනයා සහ රවී පෙන්වා දුන් පරිදි 1961 සි සිරිමා ආණ්ඩුව විසින් කන්‍යාරාම හා පල්ලි වලින් මෙහෙයවුණු විදුහල් සියල්ල "නිදහස්" අධ්‍යාපනයේ නාමයෙන් රජයට පවරා ලදී. ඇය උගත් සෙන්ට් බ්‍රිජට් හා සමහර පල්ලි වලින් පාලනය වුන කොළඹ උසස් යයි සැලකෙන විදුහල් කීපයක් හැරෙන්නට රජයට පවරා ගත් අනිකුත් විදුහල් වල පරිපාලනය හා අධ්‍යාපනය මූල්‍ය ප්‍රතිපාදන නොමැති කමින් ඉතා පහලට වැටුණි. මේ විදුහල් දෙකටද සිදු වුනේ එයමය.මේ විදුහල් වලට ආවේ ඒ ළඟ බේරේ වැව අසල පැල්පත් වල ජිවත් වූ ළමයි සහ කොල්ලුපිටියේ ඩුප්ලිකේෂන් පාරත් පොලිසියත් අතර වැඩි වත්කම් නැති නිවෙස් වල ළමයින්ය. මේ කාලයේ බේරේ  වැවේ පැල්පත් පිහිටි ප්‍රදේශය කොරියාව ලෙස හැඳින්විණි.

මේ විදුහලට ගිය අළුත "ඇයි අනේ ඔය කොරියාවේ ඉස්කෝලේ නැතුව වෙන ඒවා තිබුනේ නැත්ද" යයි කඳුළු පිරි නෙතින් මව පියා ගෙන් විමසුවා මට මතකය. පියා පැවසුවේ "ඕක තමා ලැබෙන්න පුළුවන් හොඳම එක කාගෙවත් පස්සේ යන්නේ නැතුව. (අධ්‍යපන කාර්යාලයේ දන්නා අයෙකු සිටියත්). ඉගෙන ගත්තොත් හොඳ ඉස්කෝලයක් ලැබෙයි." යන්න පමණි.

 පහේ පන්තියට ගිය අළුත මා සමග කතාවට වැටී මුලින්ම යහළු වුයේ උදය නමැති සිසුවෙකි. පන්ති භාර ගුරුතුමිය ගුරුතුමිය පමණක් මුළු දවසටම සිංහල හා තවත් කුමක් දෝ ඉගැන්වූ පසු ඔහේ කතා කර කර ඉඳීම හෝ දැඟලීම මිස වෙන කල යුතු යමක් නැත. මෙහෙම වෙලාවක උදය හා මා අතරවූ කතාබසක් මෙසේය.
"ඔයා දන්නවද මම ඉන්නේ මේ ළඟ"
 "හා"
 "ඔයාට කෙල්ලෙක් ඉන්නවද"
 "නැහැ"
"අයියෝ මට නම් ඉන්නවා. රෝසි. ජම්බේ වගේ. මම ඊයෙත්  අහවල් දේ කළා"
යයි පැවසීය. ලුණුගල මධ්‍ය මහා විද්‍යාලයෙන් පැමිණි මට මේ කිසිවක් නොතේරේ.
 "උඹට තේරෙන්නේ නෑ නේද මැට්ට" ඔයා යනුවෙන් ඇමතීම ඉවරය. ඌ අනිත් එවුන්ටත් කියා මට හිනාවෙයි. ගුණසේන කියා එකෙක් මා ළඟ පැමිණ ඉඳ ගනී.
"ඔයා ගණන් එන්න එපා. ඔය උදය මහා එපා කරපු එකෙක්. ඌ හොරෙන් ගන්ජත් බොනවලු රෝසි එක්ක. රෝසි ට අවුරුදු දාසයයි. ඒකි මහා අම්මන්ඩියක්."
මේ දරුවන් අකාලයේ වැඩි විය පැමිණියවුන් බව මට තේරුනේ පසු කාලයකය. ඔවුන්ට පහේ පන්තියෙන් එහාට යාමට පාසලක් සෙවීම අමාරුය. බොහෝ අය අවුරුදු දෙක තුන අසමත් වෙමින් පහේ පන්තියේම ලැග සිටිති. උදය මේ අනුව අවුරුදු 13 පමණද ගුණසේන අවුරුදු දාහතරක පමණද වූ මට වඩා වැඩිවියේ වූ ළමයින් විය. මගේ වයසේ ළමුන් සිටියේ තවත් කීප දෙනෙකි. නමුත් ඔවුන් ද මට වඩා ඇට්ටර වුනු අයයි.

දින දෙකකට පමණ පසු ගණිත ගුරුතුමා පන්තියට පැමිණියේය. ඔහු පළල් උරහිස් සහිත කැරලි ගැසුණු විශාල කොණ්ඩයක් ඇති උස මහත පෙනුමින් බියකරු අයෙකි. මහත වේවැලක් සමග ඔහු එන විටම දැඩි නිහඬතාවයක් පන්ති සියල්ල පුරාම පැතිර ගියේය. තට්ටු හතරක ගොඩ නැගිල්ලක් වූ මෙහි උඩම තට්ටුවේ පන්ති දෙක තුනක් තිබුණි. අපේ පන්තිය කවදත් හසුරුවා ගැනීමට නොහැකි පන්ති භාර ගුරුතුමිය ගේ මුහුණේ අපුරු උපහාසාත්මක සිනාවක් රැඳෙනු මම යන්තම් දුටුවෙමි. සිනාවට හේතුව සැනෙකින්ම පසක් වූයේ පිට රත් කරමින් වැදුන පහරකිනි. ගණිත ගුරුතුමා මුළු පන්තියටම පිට හරහා ගහගෙන ගහගෙන ගියේය. පහරට අත ඉස්සු අයට දෙකක් වැදුනි. ගුණසේන, උදය වැන්නවුන්ට තුන හතර වැදුනි. මුළු පන්තියම අල්පෙනෙත්තක් වැටුනත් ඇසෙන තරමට නිහඬය. ඔහු ඉන්පසු ඉතිරි ගුරුවරුන් හා කතාවට නික්ම ගියේය. ඔහු විදුහලේ සිටින බව මුළු විදුහලම දන්නා සෙයකි. මුළු විදුහලම නිහඬය. ගුරුතුමියන් ඔහුගේ පැමිණීම ප්‍රිය කරන සෙයක් දැනුනි. ඔහුගේ පහර දීම් වලින් තමන්ගේ කීම් අසන්නේ නැති සිසුන් පීඬා විදින බව දැනීමෙන් ඇතිවූ සතුටකි එය. ජර්මන් බසින් මෙයට ශඩෙන්ෆ්රෞද (schadenfreude) කියා හඳුන්වනු ලැබේ.

 උදය නැවත මගේ උදව්වට පැමිණියේය.
"ඕක තමයි ගණන්, ඉතිහාසේ හෙම උගන්වන්නේ. ආපු ගමන් ගහනවා. යනකොට හිතුනොත් ආයි ගහනවා.
" "පොඩි පන්ති වලටත් ගහනවද? "
"හතරේ එවුන්ටත් ගහනවා.මූ මහෙස්ත්‍රාත් කෙනෙක්. අපේ ඉස්කෝලෙට එන්නේ සමහර දවස් වලට විතරයි. මහේස්ත්‍රාත් වැඩේ බාගෙට. මේක භාගෙට. ටීචර් ලා නැති නිසා එන්නේ."

සෑහෙන වෙලාවක් කඩේ දමාගෙන සිටි ගණිත ගුරුවරයා නැවත පැමිණියේය. මම පිට හරි බරි ගසා ගෙන සුදානම් වුනෙමි. මට දැන් මොහු එපාවී හමාරය. අර ලුණුගල විදුහලේ සිදුවීමෙන් පසු මට ගහන ගුරුවරුන් එපාවී තිබුණි. ඒ වෙලේ ඔහු ගණන් කීපයක් බෝඩ් ලෑල්ලේ ලියා ඒවා හදන්නට නියම කර නැවතත් කොහේදෝ ගියේය. ඒ ඔහුගේ ගජ මිතුරකු වන විදුහල්පති සමග කතා කරන්නට බවත් ඔහු පැය භාගෙකින් නැවත එන බවත් උදය ගාම්භීර පුර්වකව දැනුම් දුන්නේය. මේවා හැමදාම වෙන දේවල් විය යුතුය. කජු කනවාක් මෙන් ඉතා පහසුවෙන් ගණන් ටික සාදා නිම කර මම බලා සිටියෙමි. මා ගණන් සෑදූ බව දැනගත් උදය මගෙන් ඒවා කොපි කර ගත්තේය. සැනෙකින් මුළු පන්තිය  වටාම  මගේ රූල් පොතත් මගෙන් කොපි කර ගත් අනිත් ගණන් පොතුත් ගියේය. මා  දැන් සිටියේ හොඳටම භය වෙලාය. අම්බානක ගුටි කන්නට නියමිතය. ගුරුවරයා පන්තියට පැමිණියේය. කළු ලෑල්ලේ ගණන් ටික සාදා පෙන්වන්නට සැරසුණු ඔහු මගේ පොත දිග හැර තිබෙනු දුටුවේය. බියෙන් සලිත වී සිටි මා අසලට පැමිණි ඔහු ගණන් ටික බලා ලොකු හරියක් දැම්මේය. ඉන්පසු ඊළඟ පොත් ටික බලාගෙන ගිය ඔහු පළමුවන පේළියේ "සියල්ලෝම" ගණන් ටික සාදා තිබෙනු පසක් කර ගත්තේය. ඉන්පසු මට ගණන් ටික හදන හැටි පන්තියට පෙන්වන ලෙස නියම කල ඔහු ඊළඟ පන්තියේ සිටි පන්ති භාර ගුරුතුමිය අසලට ගියේය. මා පෙන්වමින් ඔවුන් මොනවාදෝ කතා කරනු දුටිමි.

 දෙවන දිනයේද පැමිණි ඔහු ගණන් ටිකක් දී මට ඒවා පන්තියට හදන හැටි කියා දෙන ලෙස නියම කර සුපුරුදු සතුටු සාමීචියට ගියේය. සුපුරුදු ලෙස ගුටි කන්නට බලා සිටි ළමුන් විමතියෙන් මා දෙස බැලුවා මිස කිසිවෙක් කිසිවක් කිවේ නැත. ගුණසේන පමණක් පැමිණ මගේ පිටට තට්ටුවක් දැම්මේය. ටික දිනකට පසු ගණිත ගුරුවරයා නැවත පාසලට පැමිණියේය. මෙදින ඔහු අත ප්‍රශ්න පත්තර බණ්ඩලයක් තිබිණි. ඔහු ඒවා මට දී වෙනත් හිස් පන්තියක මා වාඩි කරවා ඒවා කරන්නට මට අණ කළේය.
"ඕවා කරලා ශිෂ්‍යත්වෙන් පාස්වෙන්න බලන්න. ඔයා ට මෙතන අනාගතයක් නැහැ." ඔහු කීවේය. එයින් පසු නිතර මට කරන්නට ප්‍රශ්න පත්‍ර ගෙනවිත් දුන් ඔහු නැවත ළමයින්ට ගැසුවේ නැත. ගැසුවා නම් එසේ කළේ අපට නොපෙනෙන්නට විදුහල්පති තුමා ගේ කාමරයේදී ඉතා අකීකරු ශිෂ්‍යයෙකුට හෝ අනිත් ගුරුවරුන් ගේ කීමට පමණි. විදුහල්පතිවරයා ළමුන්ට වැඩිය පහර නොදෙන ළමුන්ට කෑ ගසන්නට ඉඩ දී සිටි නිහඬ අයෙකු වීමද මෙයට එක හේතුවක් වන්නට ඇත.

ශිෂ්‍යත්ව විභාගයේ පළමු කොටසින් මුළු පාසලෙන් ම සමත් වී තිබුනේ මා පමණි. මේ වන විට ගණිත ගුරුවරයා ගේ ගැහිල්ල නතර කළ ශිෂ්‍යයා ලෙස මට සෑහෙන පිළි ගැනීමක් තිබුණි. විදුහලේ ත්‍රිපෝෂ බිස්කට් හයක් දෙන අතර එය බෙදීමට භාර දී තිබුනේද මටය. මම ගුණසේන හා තව කීප දෙනෙකුත් සමග එය කලෙමි. බඩගින්නේ වැඩිපුර සිටින මේ ළමයින් බිස්කට් ටික එනතුරු බලා සිටින බව මට පසුව අවබෝධ විනි.

මේ පාසලේ අඹරල්ලා ගෙඩි එකට ගසා වඩා හොඳින් එය කුඩු කල තැනැත්තාට ගෙඩි දෙකම අයිති වන ලෙස කරන සෙල්ලමක් තිබිණි. මේ දඩබ්බර ළමයි "අඹරැල්ල සෙල්ලමේ " විනිශ්චය කරු ලෙස යොදා ගත්තේද කොට පුංචි එකෙකු වූ මාවය. ඒ වන විට ඔවුන්ගේ මතයට අනුව මම එයට සුදුස්සෙකු වී සිටියෙමි. ඒ සෙල්ලමේ නිතරම දිනුවේ ඈෂ්ලිය. ඈෂ්ලි නිතරම කිව්වේ ඔහු පියා පැමිණි පසු ඔස්ට්‍රේලියාවට යන බවය. බර්ගර් ළමයෙකු වූ ඔහුගේ සුදු පැහැපත් මව තව දරුවෙකුද සමග පැමිණ ඔහු පාසල අවසන් වූ පසු රැගෙන යනු මම කීප වරක් දුටිමි.

උදයගේ ප්‍රවෘත්තිය ඉක්මනින් ලැබුණි. ඈෂ්ලි ගේ පියා ඔස්ට්‍රේලියාවට ගියේ ඔහුගේ මව අතහැර නියම "කෑල්ලක්" සමග බවත් ඔහු නැවත කිසිදා නොඑන බවත් උදය පැවසීය. ඈෂ්ලි අඹරල්ලා සෙල්ලම නිතර දිනන්නේ ඔහුට දවල් කෑම නොලැබෙන නිසා බවද ඔහු කීය. සමහර විට ඈෂ්ලි දිනු අඹරැල්ල බිස්කට් වලට මාරු කරනු මා දැක තිබේ. ඒ මව සමග එන නංගීට දෙන්නය. බොහෝ සිසුන් බිස්කට් වලට ඔට්ටු අල්ලනු සහ බිස්කට් සීට්ටු දමනු මා දැක තිබේ. ඒ ගෙදර ගොස් පාසල් නොඑන නංගිලා මල්ලිලාට දී ඔවුන්ගේ කුස ගිනි නිවීමටය.

ශිෂ්‍යත්ව විභාගයේ දෙවන කොටසින් මා සමත් වූ බව දැන ගන්නා විට ගණිත ගුරුතුමා පාසලෙන් නික්ම ගොස් තිබුණි. ඔහු නැවත ගුරු වෘත්තියට නොපැමිණ මහේස්ත්‍රාත් වරයෙකු ලෙස කටයුතු කරන බව පමණක් පන්ති භාර ගුරුතුමිය කීවාය. මට ඔහුට ස්තුති කිරීමට පවා නොහැකි විණි. එම විදුහලේ පසුගිය අවුරුදු ගණනටම  ශිෂ්‍යත්වයෙන් සමත්ව සිටියේ මා පමණක් බව විදුහල්පති මගේ පියා සමග පැවසීය.

 මට ශිෂ්‍යත්ව විභාගයෙන් සමත් වීමෙන් පසු ලැබී තිබුනේ ආනන්දයයි. ඒ වන විට ආනන්දයේ 6 වසර ඇතුලත් වීමේ විභාගයෙන් ද සමත්ව මම ආනන්දයට ඇතුලත් වී සිටියෙමි. ඒ දිනවල එහි පිහිනුම් තටාකය සාදන කාලය නිසා අලුත් සිසුන්ගෙන් ඒ සඳහාද මුදලක් අය කරන ලද බව මට මතකය. රාජකීය විද්‍යාලයේ ඇතුල් වීමේ විභාගයෙන් ද මා සමත් බවට ලිපියක් ලැබුණි. එක්තරා හිතවත් පිරිසක ගේ තදබල කීමට මගේ පියා මා ආනන්දයෙන් අස් කර රාජකීය විදුහලට ඇතුලත් කළේය. ආනන්දය මරදානේ තිබීම, බස් දෙකකින් යාමට තිබීම ආදී නොයෙක් හේතු ඔහු කි නමුදු මම ඒ ගැන දුක් වුනේ කර්නල් ඕල්කොට් මුලික වී ආරම්භ කල විදුහල් ගැන මා ඒ වන විට කියවා තිබු බැවිනි.

 රාජකීය විද්‍යාලයේ මුල් දින අවුලක් නැතිව ගෙවී ගියේය. මම ක්‍රිකට් පුහුණුවට යාමට පටන් ගතිමි. පසුව ප්‍රසිද්ධ වූ ක්‍රීඩකයන් කිහිපයක් ම කනිෂ්ඨ කණඩායමේ සිටියහ. අපි බෝල අහුලන්නට පුරුදු වුන කණ්ඩායමේ සිටියෙමු. එක දිනක් කටයා නමින් හඳුන්වන නියෝජ්‍ය විදුහල්පති තුමා එතනට පැමිණියේය. ඔහු ක්‍රිකට් පුහුණු වන තැන පිටියට නිතර පැමිණෙන බව සිසුන් කීවත් ඒ මා ඔහු දුටු පළමු දිනයයි. ඔහු මාවත් තවත් සිසුන් දෙදෙනෙකුත් ලඟට කැඳවීය. කිසිවක් නොකියාම තුන් දෙනාගේම කම්මුලට තද පාරවල් තුනක් එල්ල විය. ඉන්පසු තවත් කීප දෙනෙකුට කතා කල ඔහු නික්ම ගියේය. මගේ ක්‍රිකට් පුහුණුව එතැනින්ම නිම විය. ඉන් අවුරුදු ගණනක් යන තුරු එනම් නමය පන්තිය වන තුරු මම පාසලින් පසු නතර වීමට සිදුවන කිසිම බාහිර ක්‍රියාකාර කමකට නොගියෙමි.

 ගුරුවරු හෝ දෙමාපියන් ඉතාමත්ම තීරණාත්මක මොහොතක හේතුවකට මිස ළමුන්ට පහරක් නොගැසිය යුතුය යන ස්ථාවරයේ මම අදත් සිටිමි. ඔවුන් ගැසූ නිසාම තමන් හරි වැරැද්ද ඉගෙන දියුණු වුණා යයි කියන සහෝදර සිසුන් එසේ පැවසීමෙන් ම තම දෙමාපියන්ට කරන්නේ නිගරුවක් බව මගේ හැඟීමයි. නැවත සිසුන්ට පහර නොදී රැකියාවෙන් ඉවත්ව ගිය ගණිත ගුරුතුමා අදත් දැඩි ගෞරවාදරයකින් යුතුව සිහි කරමි.


Sunday, 18 October 2015

චන්ද්‍රසේඛර් ගේ සීමාව

චන්ද්‍රසේඛර් ගේ සීමාව කියල කියන්නේ මම හුඟක් කැමති "සීමාවක්". ඒකෙ  තියෙන ගණිතය ටිකක් තේරුම් ගන්න අමාරු විය හැකි නිසා (භෞතික විද්‍යාව කරලා නැත්නම්) ගණිතමය  කොටස් අත හැරලා කතාව කියන්න බලමු. සුබ්‍රමානියම් චන්ද්‍රසේඛර්  ඉපදුනේ 1910 ඔක්තෝබර් 19 දා බ්‍රිතාන්‍ය ඉන්දියාවේ ලාහෝර් නගරයේ. 

ඔහුට සහෝදරියන් තිදෙනෙක් සහ සහෝදරයන් හය දෙනෙක් සිටියා. ඔහුගේ සීයා ශ්‍රීමත්  (බ්‍රිතාන්‍ය  නයිට් ධූරයක් )  චන්ද්‍රසේඛර රාමන්. රාමන් ඉන්දියානු භෞතික විද්‍යාඥයෙක්. ඔහුට නොබෙල් ත්‍යාගය ලැබුණා 1930 දී. ආලෝක තරංග විනිවිද පෙනෙන ද්‍රව්‍යයක් අතරින් ගමන් කරද්දී  (traverse) ඉන් වෙනතට (deflect -අපගමනය වන )  විහිදී යන ආලෝක තරංග වල තරංග ආයාමය  (wavelength) වෙනස් අගයක් ගන්නා  බව සොයා ගත්තේ ඔහුයි.  එයට කියන්නේ රාමන් ස්කැටරින් කියායි. ඔහුගේ පියා  එහෙම නැත්නම් අපේ චන්ද්‍රසේඛර් ගේ මුත්තා (සීයා ගේ පියා) භෞතික විද්‍යාව  හා ගණිතය ඉගැන්වූ විශ්ව විද්‍යාල ආචාර්යවරයෙක්. ඉතින් අපේ චන්ද්‍රසේඛර් නුත් ඒ පැත්තටම හැරුන. 

ඔවුන් ද්‍රවිඩ පවුලක්. මව ඔහුට දෙමළ  භාෂාව ඉගැන්වූ අතර පියා ගණිතය සහ ඉංග්‍රීසි භාෂාව ඉගැන්වූවා. ඒ කියන්නේ මුල් කාලයේ ඉගෙනුම කලේ නිවසේදී. පසුව පුද්ගලික ගුරුවරයෙකු ගෙන් ඉගෙන ගෙන 1921 දී  ට්‍රිප්ලිකන්  හින්දු උසස් විදුහලට ඇතුල් වුණා. එය අවසන් කල ඔහු  මදුරාසි විශ්ව විද්‍යාලයේ ප්‍රසිඩන්සි කොලේජ් නමැති උසස් අධ්‍යාපන පීඨයේ උසස් අධ්‍යාපනය නිම කලා . ඔහු හැදෑරුවේ ගණිතය, භෞතික විද්‍යාව , රසායන විද්‍යාව හා සංස්කෘත භාෂාව. ඔහු එහි විවාද කණ්ඩායමේ ද සාමාජිකයෙක් වූවා. එම විද්‍යාලයේදී ඔහු "කොම්ප්ටන් ස්කැටරින් හා නව ගණිතමය දත්ත" නමින් විද්‍යාත්මක පර්යේෂණ ලිපියක් පළ කලා. 

කොම්ප්ටන් ස්කැටරින් කියන්නේ ආරෝපිත අංශුවක්  මගින් අනම්‍ය ෆෝටෝනයක මග වෙනස් කිරීම නැත්නම් විසිරුවා හැරීම. සොයා ගත්තේ ආතර් හොලි කොම්ප්ටන් විසින්  (1927 නොබෙල් ත්‍යාගය). ඉතින් ඒ කාලයේම කල සොයා ගැනීමක් ගැන පර්යේෂණාත්මක ලිපියක් ලිවිමෙන්ම ඔහු පෙන්නුම් කලා භෞතික විද්‍යාව හා ගණිතය පිලිබඳ ඔහුගේ දැනුම.

ඔහු මැවිසුරුපති උපාධිය ගත්තේ 1930 දී. ඉන්පසු ඉන්දීය රජයේ ශිෂ්‍යත්වකින් එංගලන්තයට පැමිණි චන්ද්‍රසේඛර් කේම්බ්‍රිජ් විශ්ව විද්‍යාලයේ ට්‍රිනිටි කොලේජ්හි ඉගෙනුම ලැබුවා. ශිෂ්‍යත්වය සඳහා නැවේ  පැමිණෙත්දී ඔහු තාරකා  පරිණාමය ගැන හදාරමින් සහ ඒ පිළිබඳව සිතමින් පැමිණියා.  ගැඹුරු මුහුදේ සිට තාරකා  නිරීක්ෂණය කරමින් පැමිණි ඔහු,  සමහර තාරකා  වල ඉරණම දරුණු බවත් ඇතැම් තාරකා ගුරුත්වාකර්ෂණය බිඳවැටීම (gravitational collapse ) නිසා පිපිරී මිය යන බව හා කළු කුහර වැනි දෙය බිහි වෙන බවත් තමන් යොදාගත් ගණිතමය ක්‍රම වලින් නිගමනය කළා. 

 සුදු වාමන තාරකාවක (white dwarf star) උපරිම ස්කන්ධය කෙතෙක්ද යන්න මුලින්ම පර්යේෂණ පත්‍රිකාවක සඳහන් කලේ විල්හෙල්ම් ඇන්ඩර්සන් හා ඊ  සී  ස්ටෝනර් විසින්  වුවත් එය මුලින්ම ඔවුන්ගෙන් ස්වාධීනව ගණිතමය වශයෙන් සොයා ගත්තේ සුබ්‍රමනියම් චන්ද්‍රසේඛර්.  එවකට සිටි තාරක විද්‍යාඥයන් එය පිළිගත්තේ නැහැ. එයට හේතුව එවැනි උපරිමයක් තිබීමට නම් කළු කුහර (black holes ) තිබීම අනිවාර්ය හෙයින්. එවැන්නක් තිබේ යයි එදා විශ්වාස කලේත් නැහැ .

එදවස රාජකීය තාරකා  විද්‍යා සංගමයේ එවකට සභාපතිව විසු සර් ආතර් එඩින්ටන් සුබ්‍රමනියම් චන්ද්‍රසේඛර් ව සත පහකට මායිම් නොකළා  පමණක් නොව සුබ්‍රමනියම් බොරු කාරයෙකු බවටද චෝදනා කළා. සුබ්‍රමනියම් එඩින්ටන් ඔහුට විරුද්ධව ක්‍රියා කරන්නේ සුදු හමේ අහංකාරය නිසා බවට විශ්වාස කළා මෙන්ම  සුබ්‍රමනියම් ඉන්දියානුවෙකු වීමද එඩින්ටන්  ට ප්‍රශ්නයක් විනි යයි ඔහු විශ්වාස  කළා.  එඩින්ටන් 1935 දී සුබ්‍රමනියම් චන්ද්‍රසේඛර් ව ප්‍රසිද්ධියේ පහත් කර දරුණු විවේචනයක් කළා . ඔවුන් අතර විරසකය  කෙතරම් දැඩි වීද යත් සුබ්‍රමනියම් චන්ද්‍රසේඛර් ඇමෙරිකා  එක්සත් ජනපදය බලා  ගියේ මේ නිසා යයි පැවසෙනවා. එඩින්ටන් කළු කුහර පිලිබඳ විශ්වාස කලේ නැති අතර භෞතික විද්‍යාවේ  සොයා ගැනීමට ඇති සියල්ල සොයා ගෙන ඇති යයි ප්‍රසිද්ධියේ කියා සිටි අහංකාර පරවශ පුද්ගලයෙකු ලෙසද ඔහුගේ සමකාලීනයන් හඳුන්වාදී තිබෙනවා.

 කෙසේ වුවද අයින්ස්ටයින් ගේ සාපේක්ෂතාවාදය 1919 සුර්යග්‍රහණය පැවති  අවස්ථාවේදී ඔප්පු කිරීම පිලිබඳව එඩින්ටන් ඉතා ප්‍රසිද්ධ වුණා. එඩින්ටන් පසුව රාජකීය තාරකා  විද්‍යාඥයා වශයෙන් ද සේවය කළා. මේ නිසා එඩින්ටන් ට විරුද්ධව සුබ්‍රමනියම් ගේ පැත්ත  ගැනීමට කිසිවෙක් සිටියේ නැහැ. මේ හේතුව නිසාම සාපේක්ෂතා වාදය හා ක්වන්ටම් භෞතිකය  ගැන ඉගෙනීම තව වසර දහයක් වත් පස්සට ගියා  කියලත් කියන්න පුළුවන්.

ආතර්  මිලර් විසින් ලියු සුබ්‍රමනියම් චන්ද්‍රසේඛර් ගේ චරිතාපදානයේ "Empire of the Stars: Obsession, Friendship, and Betrayal in the Quest for Black Holes" මේ පිළිබඳව ඉතාමත් සිත් ගන්නා  ලෙසින් විස්තර කර තිබෙනවා. හැකිනම් කියවන්න.

අයින්ස්ටයින් ගේ සාපේක්ෂතා  වාදය හා ක්වන්ටම් භෞතිකය ඇසුරෙන් සුබ්‍රමනියම් චන්ද්‍රසේඛර් පෙන්නුම් කළා මෙහෙම දෙයක්.  ඉලෙක්ට්‍රොන වියෝජනය (ඩිජෙනරේට්) වීමෙන් ඇතිවන වායුව නිසා නොනැසී පවතින  සුදු වාමන  තාරකාවක  ස්කන්ධය අපගේ හිරුගේ ස්කන්ධය වගේ 1.44 ක ප්‍රමාණයට වඩා වැඩි නම් එය ස්ථායී ව තිබෙන්නේ නැති බව. හැබැයි එහි තාප-න්‍යෂ්ටික ඉන්ධන සම්පුර්ණයෙන් නිම වී නැත්නම් මේ උපරිම ස්කන්ධය මීට වඩා ටිකක් වැඩි වෙන්න පුළුවන්. සැබවින්ම පවතින  සුදු වාමන  තාරකා වල ස්කන්ධය ගණනය කිරීමේදී ඒවා චන්ද්‍රසේඛර් සීමාවට වඩා අඩු බව සොයා ගෙන තිබෙනවා. තමන්ගේ න්‍යෂ්ටික ඉන්ධන දැවී ගොස්  ජිවිත කාලය අවසන් වීමේදී තාරකා වල ස්කන්ධය චන්ද්‍රසේඛර් සීමාවට වඩා වැඩි නම් ඒවා නියුට්‍රෝන් තාරකා  හෝ කළු කුහර බවට පත් වෙන බවත් සාක්ෂි සහිතව සොයා ගෙන තිබෙනවා.  අපගේ ඉර සාමාන්‍ය  සුලභව පවතින තාරකාවක්. නමුත් මුළු මහත් විශ්වයේ අපේ ඉර වගේ 1.44 ක බරක් තිබ්බොත් සුදු වාමන  තාරකාවක් වෙනවා යයි සොයා ගැනීමම මටනම්  විශ්මය දනවන්නක්.

ජර්මනියේ ගොටින්ගන්හි  න්‍යායික භෞතික විද්‍යා සරසවියේ මැක්ස්  බොර්න්  සමග වැඩ කල චන්ද්‍රසේඛර් සති හතරක කාලයකට 1937 දී රුසියාවට පැමිණුනා.  ලෙව්  දවිදවිච් ලන්දෞ නමැති ප්‍රසිද්ධ ක්වන්ටම් භෞතික විද්‍යාඥයකු සමගද වැඩ කටයුතු කල ඔහු 1937 දී ලලිතා  දොරේසාමි සමග විවාහ වුනා.  මෝර්ටන් ඩි හල්  සම්භාවනීය අභ්‍යවකාශ හා භෞතික විද්‍යාව මහාචාර්ය වරයෙකු ලෙස චිකාගෝ සරසවියේ කටයුතු කල චන්ද්‍රසේඛර් අස්ට්‍රෝපිසිකල් ජර්නල් හි ප්‍රධාන කර්තෘ බවටද පත් වුණා .

ඔහු විශ්‍රාම ගියේ 1980 වසරේදී. දිගටම අධ්‍යනය කරමින් 1983 දී කළු කුහර පිලිබඳ ගණිතමය ප්‍රමේයයන් නමින් පර්යේෂණයක් පල කල ඔහු 1983 දී නොබෙල් ත්‍යාගයෙන් පිදුම් ලැබුවා. ඔහු 1995 අගෝස්තු 21 දා මිය ගියා.  එඩින්ටන් ගේ ඉරිසියාවට යට නොවුණු මේ මහා ප්‍රාඥයා ලැබුණු රිදුම් හමුවේ පරාජය භාර  ගත්තේ නැහැ.  අවසාන සිනහව අයත් වුයේ ඔහුටයි.

මූලාශ්‍ර :

තාරක පරිණාමය ගැන කියවන්න -මන්දකිනියෙන් ඔබ්බට බ්ලොගය   : http://beyond-the-galaxy.blogspot.co.uk/2015/02/StellarEvolution.html
මැවිසුරුපති - රසික සුරියආරච්චි ගෙන් උපුටා ගත් වචනයකි
Stellar Evolution and Nucleosynthesis Sean G Ryan and Andrew J Norton http://www.notablebiographies.com/knowledge/C__V__Raman.html





Wednesday, 14 October 2015

නෙළුම් යාය බිනර මස ත්‍යාගය

බිනර (සැප්තැම්බර්) මස ත්‍යාගය තෝරා ගැනීමට ඉතාමත් අපහසු කරුණක් වුන බව කිව යුතුයි. දේශකයා  විසින් අම්මා  කියා ලස්සන කවි පෙළක් නිර්මාණය කරලා තිබුන. උපේක්ෂා  ගේ බ්ලොගයේ ඉතාම සුන්දර කෙටි කතාවක්  (කවදාද ඒ වැහි වහින්නේ නොදනිමි) මාස දෙකක් තිස්සේ ඇදී යනවා. ඒක  නම්  තවම ඉවර නැහැ.  නිදහස් සිතුවිලි බ්ලොගයේ පටන් ගත්තොත් දිගටම නොනවත්වා කියවන්න හිතෙන පරිවර්තනයක් යනවා.  වෙලාවක් තියෙනවා නම් ගිහින් බලන්න. අනිකුත් බ්ලොග් වලත් ඉතාමත් හොඳ නිර්මාණ රාශියක් පලවෙන බව කිව යුතුයි.


අපි හිතුව පසුගිය මාසය සඳහා මේ කවි පෙළ  තෝරා ගන්නට.  එම කවි පෙළ තිබෙන්නේ මෙතන.
http://madhumadhavi135.blogspot.co.uk/2015/09/blog-post_8.html

අපි කවුරුත් දන්නා මධු මාධවී රස සරණියේ. අපි හැමෝම කියවෙලා හිනා වෙන උපහාසාත්මක කොමෙන්ටු  පල කරමින් හොඳ සුහදතාවයකින් වඩා බර නැති සාකච්චා යන මේ බ්ලොගයේ මෙවැනි සවේදී කවි පෙලකුත් පල වුනා. අවස්ථා දෙකක් සංසන්දනය කරමින් විවාදයට තුඩු දෙන මාතෘකාවක් සාකච්චා කරන කවි පෙළක්. පටන් ගන්නේ මෙහෙමයි.


එදා...

අපිනම් හැඬුවෙමු....
මුළු හදවතින්ම
තෙත් නොවූවත් දෑස
තෙත් බැවින් හදවත


ඒ සිඟිති සිරුරට
දැනුන කිසිදා නොදැනුණු
ගිනියම් ඊයමක රිදුමන්
අපේ සිතටත් දැණුනි

ඒ වගේම මේ බ්ලොගයේ තව දුරටත් උපහාසය සහ විනෝදය පිරි කවි පෙළවල් ලියවෙනවා. මධු මාධවී තවත් බ්ලොගයකුත් පටන් ගෙන තිබෙනවා. මට පෙනෙන හැටි  කියා පළවෙන්නේ එම බ්ලොගයේ යන ජීවන් අත්දැකීම් ටිකක්. ඉතින් අපි  හිතනවා  නෙළුම්  යායේ  බිනර මස ත්‍යාගය හිමි වන්නේ එම අඩවියට කියා.

එසේම කෙටි දැන්වීමකුත් කරන්න කැමතියි. වැඩ අධික කම නිසා මාතලන් සහ කල්‍යාණ මිත්‍ර (සුමිත්) බ්ලොග් සංසදයේ ඉදිරි වැඩ කටයුතු සඳහා සහභාගී වෙන්නේ නැහැ. ලබන අවුරුද්දේ මැදින්  මස  පැවැත් වෙන  සම්මාන  උලෙළ සංවිධානය කිරීමට උදව් කරන බව දන්වා  තිබෙනවා. මේ සඳහා  බ්ලොග් සංසදයේ සභාපති හා ලේකම් මෙන්ම කාරක සභාවක් ලෙස කටයුතු කිරීමට කැමති බ්ලොග් කරුවන්ට ආරාධනා කරන්න කැමතියි. මේවා වැටුපක් ලැබෙන තනතුරු නම් නොවේ. එකතුවී සම්මාන උළෙල සංවිධානය කිරිමට මෙන්ම අනෙකුත් වැඩ කීපයක් සඳහා කිසියම් සංවිධානයක් අවශ්‍ය වීම නිසා තමා  මේ ආයාචනය කරන්නේ. කැමති අය මේ ලිපිනයට දන්වන්න.

editor@nelumyaya.com
editor@lankanewsweb.con

ඉහත නම් සඳහන් කල බ්ලොග් සහ මධු මාධවී බ්ලොගය 2016 සම්මාන උළෙල සඳහා නිර්දේශ කර තිබෙන බවද දන්වමු. 

Friday, 9 October 2015

කුලී හමුදාව, මිනීමරු හමුදාව , සුදු හමුදාව හා රතු හමුදාව

යුදෙව් සිර කඳවුරක් මුදා ගනිද්දී 
මිට අවුරුදු 33 කට පමණ පෙර මා දන්නා දෙමළ/සිංහල   ජාතික ධිවරයන් දෙදෙනෙකු  මන්නාරමේ සිටියහ. මා  එසේ කීවේ ඔවුන් මිශ්‍ර විවාහ වලින් උපන් අය නිසාය.  රාජුගේ පියා දෙමළ ජාතිකයෙකු වූ අතර මව සිංහල/දෙමළ මිශ්‍ර විවාහයකින් උපන් තැනැත්තියක වූවාය. ඔහුට  දෙමළ භාෂාව චතුර ලෙසද  සිංහල තරමක් දුරටද කතා කළ හැකි විය. ඔහුගේ යහළුවා වන විජේට සිංහල හා දෙමල හොඳින් කතා කල හැකි වූ අතර ඔහුගේ පියා  සිංහලද මව දෙමළද විය. ඔවුන් මෙන්ම තවත් ඇතැම් මන්නාරමේ  ධීවරයන්ද ඩයිනමයිට් දමා ඈත මුහුදේ මාළු මැරුණු පසු ඒවා දුම්රියේ පටවා  කොළඹ ගෙනවිත් විකුණා හොඳ ආදායමක් ලැබුහ.  මට මතක විධිහට මා ඩයිනමයිට් දමා මාළු ඇල්ලීමේ ආදීනව කියා දුන්නද ඔවුන් ට එය එතරම් තේරුනේ නැත. ජිවත් වීමට වෙන විධිහක් ඔවුන් නොදත්හ.  මේ දිනවල යාපනයේ යන්තම් කලබල පැවතියත් මන්නාරම සාමකාමී ප්‍රදේශයක් විය.

කොළඹ පැමිණෙන ඔවුහු ලැබුණු මුදල් වියදම් වනතුරු දෙමළ, හින්දි හා ඉංග්‍රීසි චිත්‍රපට නැරඹීම මෙන්ම හොඳ ආපනශාලා වලින් ආහාර ගැනීමද  කළහ. හොඳ නිවසක් සාදා ගැනීම, නිවසකට බඩු  භාණ්ඩ ගැනීම හෝ පොතක් පතක් කියවීම වැනි දේ ගැන කිසිම උනන්දුවක් නොදැක් වූ ඔවුන් කොළඹ  පැමිණි විට බොක්සින් තරඟ හා ෆපාපන්දු තරංග නැරඹීම විනෝදාංශයක් කර ගත්හ. ඔවුහු උද්යෝගිමත්ව දිරි දුන්නේ ශ්‍රී ලංකා යුද හමුදා කණ්ඩායම් වලටය. මේවා බලන්නට දෙමටගොඩ, කොම්පඤඤ විදිය ආදී පෙදෙස් වලින් පැමිණි දෙමල හා  මුස්ලිම් ක්‍රීඩා ලෝලීන් ද වඩා  සහය දුන්නේ ශ්‍රී ලංකා යුද හමුදා කණ්ඩායමටය. ඔවුන්ට මේ සිංහල භට කණ්ඩායමක් කියා හැඟීමක් නොතිබුණි. ඒ ශ්‍රී ලංකා යුද හමුදා කණ්ඩායමක්ම විය. මේ හමුදාව සිංහල යුද හමුදාව ලෙස දෙමළ මාධ්‍ය නම් කලේ පසු කලෙකය.

රාජු මෙන්ම විජේද අකමැති හමුදාවක් එකල තිබිණි. ඒ පොලිස් හමුදාවයි. එයට හේතු ලෙස ඔවුන්  කිවේ මෙවැනි කතාවකි. ඔවුන්ගේ ගමේ (මන්නාරම) පාරේ එනවිට කුලීනයන් එත් නම් අයින්වී ඉඩ දිය යුතුය. පොලිසිය එන්නේ නම් නගරයේ කාණුවට බැසිය යුතුය. ගමේ නම් පාරෙන් සම්පුර්ණයෙන්ම ඉවත් විය යුතුය. එසේ නොකරන විට ඊළඟ  දිනයේ  ඩයිනමයිට් තිබීමේ වරදට අල්ලා  ගෙන ජීප් රථයේ දමා  පහර දී එලියට දමති. නමුත් ඩයිනමයිට්  දමා අල්ලා ගන්නා මාළු වලින් කොටසක් හෝ ඉන් ලබන ආදායමින් කොටසක් නියමිත පොලිස් නිලධරයන්ට, ග්‍රාම සේවකට සහ තවත් වැදගත් අයටද දිය යුතුය.  රාජු මෙහිදී වඩාත් බැට කෑ අයෙකි. එක රාජන් (ඔහු සාජන් ට කිවේ රාජන් කියායි) මහත්තයෙක් ඔහු දුටු  තැනදී කම්මුලට ගසයි. ඔහු එයට හේතුව නොදනී.

පසු කලෙක යුද්ධය දරුණු වෙත්දී රැකියා විරහිත වුනු (ඩයිනමයිට් දමා මසුන් ඇල්ලීමට  නොහැකිය. නාවික හමුදාව මුර යොදා තිබුණි) ඔවුන් ගෙන්, රාජු දෙමල සටන් කාමී කණ්ඩායමකට බැඳෙද්දී විජේ සිංහල තරුණියක විවාහ කරගෙන කුරුණෑගල පැත්තේ පදිංචි විය. රාජු  හමුදාවේ හෝ වෙනත් සටන්කාමී කණ්ඩායමක වෙඩි පහරකට ගොදුරුවී මිය ගිය බව විජේ මගේ සොයුරාට හමුවුණු විටෙකදී  කියා තිබිණි. විජේ දෙමළ පෙදෙසකින් ආ  නිසා කුරුණෑගල දී කිසියම් හිංසාවන් වගයකට ද ගොදුරු වී තිබුණි.

හමුදාව පිළිබඳව දෙමල ජනතාව අප්‍රසාදය මුලින්ම  පල කලේ බ්‍රිගේඩියර් වීරතුංග මහතා ගේ සමයේ බව රාජු හා විජේ මෙන්ම තවත් කීප දෙනෙක්ම මට පැවසුහ. එක හේතුවක් නම් දෙමල සංවිධාන වල බැඳී සිටියයි හරියටම නොදැන වුවත්  දෙමළ තරුණයන් පිරිස් වශයෙන් ගෙන මුහුදු වෙරළේදී  වෙඩි තබා මරා දමන ලද නිසා යයි කියති. මට මෙය ඔප්පු කරන්නට සාධක නැත.

කුලී හමුදාව ?

කුලී හමුදාවක් කියා ලංකාවේ ඇතැම් අය  නම් කරන්නේ පඩියට රැකියාව කරන සොල්දාදුවන් සහිත හමුදාවකටය. එසේ බලන විට ශ්‍රී ලංකාවේ, ඇමෙරිකාවේ, එංගලන්තයේ, ජපානයේ, ඉන්දියාවේ හා වෙනත් යුරෝපීය රටවල සෑම හමුදාවක්ම  (යුද හමුදා, නාවික, ගුවන් හා පොලිස්) කුලී හමුදාවන් ය. ඔවුන් සියල්ලෝම රැකියාවක් ලෙස හමුදා සේවයට බැඳී ඇති බැවිනි.

මා  දන්නා පරිදි බහුතරයක් බ්‍රිතාන්‍යයන්  කුලී හමුදාවක් කියා බ්‍රිතාන්‍ය හමුදාවට අපහාස කරන්නේ නැත. ඒ වෙනුවට දකුණේ මෙන්ම වමේ නායකයන්ද ඔවුහු රට වෙනුවෙන් පළමුවන සහ දෙවන ලෝක යුද්ධ වලදී දිවි පිදූ බව සිහිපත් කරති. ඉන්දියාව, ඇමෙරිකා එක්සත් ජනපදය වැනි රටවලද එය එසේය. ඇමෙරිකානු හමුදාවට බොහෝ චෝදනා තිබේ. ඒ ඇමෙරිකානු විදේශ හා දේශපාලන ප්‍රතිපත්තීන් නිසාය . බොහෝ වාමාංශික කොටස් ඔවුන්ගේ කටයුතු ගැන  චෝදනා කරති. නමුත් පඩියට රැකියාව කරන හමුදාවක් වුවද ඔවුන් ජීවිතය පුජා කරන්නේ තමන්ගේ රටේ දේශපාලන හා හර පද්ධතීන් වෙනුවෙනි. ඇමෙරිකානුවන් ගෙන් බොහොමයක් රජයට විනා  හමුදා භටයන්ට චෝදනා කරන්නේ නැත.

රුසියාවේ හමුදාවට අනිවාර්ය සේවය ඇතුලත්ය. එනම් සෑම වැසියෙක්ම අවම වශයෙන් අවුරුදු දෙකක් හමුදා සේවයේ යෙදීම අනිවාර්යය.  ඒ නිසා ඒ අය  කුලී හමුදා භටයන් නොවේ. (අර තර්කයට අනුව) නමුත් පුර්ණ කාලීන  හමුදා සේවයේ යෙදී සිටින සොල්දාදුවන් හා නිලධරයන් ගෙවීමක් ලබති. නැත්නම් ඔවුන් අඹුදරුවන් රක්ෂා කරමින් ජිවත් වන්නේ කෙසේද? පඩි ලබා සේවය කරන සොල්දාදුවන් කුලී හේවායන් ලෙස සලකා  නිග්‍රහ කරන රුසියානුවෙක් නැත.

 රුසියානු හමුදා චෙචේනියාවේ වැසියන්ගේ මානව හිමිකම් උල්ලංඝණය කල බවට චෝදනා තිබේ. මෙයට වැරැද්ද පැටවිය යුත්තේ ඔවුන් චෙචේනියාවේ යුද්ධයට මෙහෙයවූ පූටින්ට  සහ රුසියානු රජයටයි. සොල්දාදුවා වැරදි කරුවෙකු වන්නේ තමන් ගේ අණට එපිටින් ක්‍රියා කරමින් අහිංසක චෙචේන්  වැසියන් විනෝදයට වධ හිංසා පමුණුවා හෝ නිරපරාදේ ඝාතනය කලොත් පමණි. එවැනි කීප දෙනෙකු රුසියානු රජය අත් අඩංගුවට ගත්  බවට වාර්තා තිබේ.

කියුබානු හා ජර්මානු නීතිය අනුව අනිවාර්ය යුධ සේවයක් තිබේ. ඉන්පසු සිවිල්  රැකියාවකට ගිය හැකිය. කියුබාවේ පුර්ණකාලීන (විප්ලවකාරී ) හමුදාවට පඩි ගෙවනු ලැබේ. නමුත් ඔවුන් ඒ කාර්යය කරන්නේ රට වෙනුවෙන් බව කියුබානුවන්ගේ පිලි ගැනීමයි.

මිනීමරු හමුදාව 

ශ්‍රී ලංකා හමුදාවන්ට මිනීමරු හමුදාවක්  ලෙස නම් කරමින්  "අලුත් පරපුර" නමැති කණ්ඩායමක් අගෞරව කරන බව යහළුවෙක්  කණගාටුවෙන් මෙන් පැවසීය. සොයා බැලීමේදී මා දන්නා හඳුනන අයද  මේ "පරපුරේ" සිටින බව දැන  ගතිමි.  මා  සිතන විධිහට ඔවුන් මේ නාමය භාවිතා කරන්නේ වාර්ගික යුද්ධයේ අවසන් සමයේ සිදුවූ සිවිල් වැසියන් ගේ ඝාතන  සැළකිල්ලට ගෙන  මෙන්ම 87-89 කාලයේ සිදුවූ මිනීමැරීම් ගැන අවධාරණය යොමු කරමින් බව දැන  ගතිමි.

ජවිපෙ කැරැල්ල සමයේ ඝාතනය කිරීම් බොහොමයක් සිදු කලේ දේශප්‍රේමී ජනතා ව්‍යාපාරයට සම්බන්ධ අවිගත් කණ්ඩායම්,  ස්වාධින ශිෂ්‍ය සංගමයට හා ඇතැම් වාමාංශික පක්ෂ වලට සම්බන්ධ අවි ගත් කණ්ඩායම්, පොලිසියේ හා හමුදාවේ  තෝරාගත් කණ්ඩායම් විසිනි. ඒ ජවිපෙ, වාමාංශික පක්ෂ හා රජයේ දේශපාලන බලපෑමෙනි. ත්‍රිවිධ හමුදාවේ මේ හා සම්බන්ධ කණ්ඩායම් වලට චෝදනා  කරනු විනා මුළු හමුදා  තුනටම චෝදනා එල්ල කිරීම තේරුමක් නැති දෙයකි.

පළමුවෙන් ම විමසිය යුත්තේ හමුදාවකට ආයුධ  නිකුත් කරන්නේ කුමකටද යන්නය. ආයුධ දී  තිබෙන්න උඩ පැන පැන  සෙල්ලම් කිරීමට හෝ උත්තමාචාර වල ගෙන යාමට නොවේ. මිනිසුන් මැරීමටය.  එසේ ආයුධ  සපයා තිබෙන්නේ නිත්‍යානුකූලව ය.  ඒ  බාහිර තර්ජනයකින් රටක් රැකීමට හෝ රජයක් විසින් අවශ්‍ය යයි සිතන අවස්ථාවල කැරලි මැඩ පැවැත්වීමට මෙන්ම නීතිය පවත්වා ගෙන යාමටය. නිලධාරී නියෝගයකින් එම ආයුධ වලින් කරන වෙඩි තැබීමක් මිනීමැරීමක් වන්නේ එම නියෝගයට  නිත්‍යානුකුල භාවයක් නොමැති නම් පමණකි.  නිලධාරීන් නියෝගයක් දෙන්නේ තමන්ට ඉහල නිලධාරියෙක් හෝ ජෙනරාල්වරයෙක්  (ලංකාවේ මේජර්  ජෙනරල් හා බ්‍රිගේඩියර් නිලයන් ) කරන නියෝගයකට අනුවය. එසේ අවසරයක් නොමැති තැන ඔවුන් සිවිල් වැසියන් මරා දමත් නම් එය මිනි මැරීමකි. ජෙනරාල් වරුන්ට (ලංකාවේ මේජර්  ජෙනරල් හා බ්‍රිගේඩියර් නිලයන් ) හා අනිකුත් උසස් නිලයන්ට අවශ්‍ය නියෝගය ලබා දෙන්නේ දේශපාලන නායකත්වයයි. එනම් රාජ්‍ය නායකයා, පාර්ලිමේන්තුව සහ ආරක්ෂාවට අදාළ අමාත්‍යවරුන්ය. ඉතින් සිවිල් වැසියන් මරා දැමීමක් සිදු වුනි නම් මිනීමරු නාමය රජය විසින් භාර ගත යුතුය. ඒ සඳහා පවත්වන ඕනෑම අධිකරණ කටයුත්තකදී තමන් ගේ නියෝගය සාධාරණිකරනය කරන්නට වන්නේ රාජ්‍ය නායකත්වයටය.

හමුදානායකයන් හෝ භටයන්  වරදකරුවන් වන්නේ ඔවුන් එම නියෝගයන්ට එපිටින් ගොස් මිනි මැරුවොත් පමණය. වාර්ගික යුද්ධයේදී එසේ සිදුවුවා  නම් එසේ අණ  ඉක්මවා කටයුතු කල නිලධාරීන්ට දඬුවම් කිරීම සාධාරණය. නමුත් යුද්ධයට සම්බන්ධ වූ සියලුම හමුදාවන්ට මිනීමරු ලේබලයක් ඇලවීම මුග්ධ කමකි. හේතුව මුළු හමුදාවක් පිහිටුවා ඇත්තේත් ඔවුන්ට ආයුධ ලබාදී ඇත්තේත් ජනතාව චන්දය දී පත් කල රජයක් රැකීම වෙනුවෙන් නිසාය.

ද්‍රවිඩ ඊලාම් විමුක්ති කොටි සංවිධානය ආයුධ ගත්තේ තමන් නියෝජනය කල ජනතාවට වූ අසාධාරණ වලට සටන් වදින්නටය. එය දේශපාලන හේතුවක් මත කල දෙයක් නිසා හමුදාවන් සමග සටන් කල ඔවුන්ට මිනීමරු හමුදාවක් කියා නම් කල නොහැකිය. නමුත් ඔවුන් නීතිය (පවතින)  ඉක්මවා යමින් දෙමළ සහ සිංහල සිවිල් වැසියන් ඝාතනය කළහ.  එතැනදී ඔවුන් ආයුධ  භාවිතා කලේ නීතිය ඉක්මවා මිනී  මරන්නටය. එයට ඔවුන්ගේ නායකයන් වගකිව යුතු වේ. රජයේ දේශපාලන නායකයන් මෙන්ම කොටි  සංවිධානයේ නායකයන්ද මෙවැනි චෝදනාවන්ට පිළිතුරු දිය යුතුවේ.

පොලිසියේ නිලධාරියෙකු විසින් වරක් මට පැවසුයේ  තම අසල්වැසියෙක් සුළු හොරකමකට පොලිසියට අසුවුව හොත් බොහෝ අය පොලිසියට පැමිණ "රාළහාමි දෙකක් අනින්න " යනුවෙන් පවසන බවයි. හොරකමට ලක්වූ තැනැත්තා කඩ හිමියෙක් හෝටල් හිමියෙක් වැනි අයෙක් නම්, අල්ලා ගත්  එකාට  "දෙකක් ඇනීම " සඳහා පොලිස් නිලධාරීන්ට අරක්කු, හොඳ ආපනශාලා වකින් ආහාර රැගෙන දීම , වෙනත්  තෑගී ලබා  දීම වැනි දේ කිරීමට පවා ඔවුන් පෙළඹේ. ඔහුගේ මතයට අනුව  ජනතාව ගෙන් කොටසක්ද පොලිසියේ වැරදි හැසිරීමට අනුබල දෙති. පොලිසියේ මේ හැසිරීම් වලට වග කිව යුතු අනිත් කොටස නම් දේශපාලකයන්ය.  ඔවුන්ද නීති විරෝධී ලෙස හැසිරීමට පොලිසියට බල කරන බැවිනි.

සුදු හමුදාව සහ රතු හමුදාව

මිට කලින් ලිවූ බ්ලොග් ලිපියක ට්‍රොට්ස්කි යටතේ සෝවියට්  රතු හමුදා ජෙනරාල් ඇන්ටන් ඩෙනිකින් ගේ සුදු හමුදා (white army - දක්ෂිණ රුසියානු හමුදාව ) උක්රයිනයේ දී පරාජය කළ  බව ලීවෙමි.  අද්මිරාල් කොල්චාක් ගේ හමුදාව සයිබිරියාවේදී සෝවියට් රතු හමුදාව අතින් පරාජය විය. ඇමෙරිකන්, බ්‍රිතාන්‍ය, ප්‍රංශ, ඉතාලි, ජපන්, පෝලන්ත  ආධාර ලැබූ සුදු හමුදාවන් රතු හමුදාවට පක්ෂ ගොවින් සහ සාමාන්‍ය  වැසියන් මරා  දැමු අතර රතු හමුදාවන් ඔවුන්ට එරෙහි වූ සාමාන්‍ය  වැසියන් මරා දැමුහ. මේ යුද්ධයෙන් මියගිය ගණන  මිලියන් 7 - 12 අතර වේ. ඉන් වැඩි ප්‍රමාණයක් සාමාන්‍ය සිවිල් වැසියන්ය. සෝවියට් රතු හමුදාව හා සුදු හමුදාව මිනීමරු හමුදා විය යුතුය. මේ දෙපාර්ශවයම තම හමුදාවන්ට  එසේ කියා ගත් තැනක් නැත.

දෙවන ලෝක යුද්ධය 

දෙවන ලෝක යුද්ධයේ දී ජර්මානු නාසි එස්එස් භටයන් කරන ලද දරුණු ක්‍රියා ඉතා ප්‍රසිද්ධය. ඔවුන් නැගෙනහිර යුරෝපයේ හා රුසියාවේදී දරුණු ලෙස සිවිල් වැසියන් ඝාතනය කල අතර ස්ත්‍රී දුෂණය අවියක් ලෙස භාවිතා කළහ.  නාසි පක්ෂයේ හා එස්එස් හමුදාවේ බලපෑමෙන් වූ යුදෙව්වන්ටද දුන් වධ බන්ධන සහ  ඝාතන බොහෝ ඉතිහාසඥයන් විසින් ලියා පල කර තිබේ. ජර්මානු යුධ නිලධාරීන්ට දෙවන ලෝක යුද්ධය මෙහෙයවීම පිළිබඳ නියුරම්බර්ග් යුධ අධිකරණයේ නඩු පැවරුණි. බොහොමයක් ඒවා යුද්ධය  මෙහෙයවීම හා යුදෙව් ඝාතන පිලිබඳ චෝදනා වූ අතර සෝවියට් දේශයේ හා සමහර නැගෙනහිර යුරෝපිය රටවල සිදුවූ ඝාතන හා ස්ත්‍රී දුෂණයන් සැලකිල්ලට නොගැනිණි.  ජපාන හමුදා ද මෙයට නොදෙවැනි ලෙස සිර කරුවන් ඝාතන, ස්ත්‍රී දුෂණ කළහ.

දෙවන ලෝක යුද්ධය නිම වන අවධියේ දචෞ (Dachau) වධ කඳවුරේ හි යුදෙව් සිරකරුවන් හා මිනී  දැක කෝපයට පත්  ඇමෙරිකානු හමුදා  යටත් වූ ජර්මන් සොල්දාදුවන් සියල්ල ඝාතනය කරන ලදී. මෙය යුද අපරාධයක්  ලෙස සැලකුනද ඇමෙරිකානු සොල්දාදුවන් ට දඬුවම් නොකරන ලදී. ඇමෙරිකන් හමුදා ජෙනරාල් ජෝජ් පැටන් සොල්දාදුවන්ට සමාව දී ඇමෙරිකාව බලා යැවීය.

අවුරුදු පහක් තිස්සේ දරුණු යුදයක සිර වී සිටි සෝවියට් රතු හමුදා ස්ටාලින්ග්‍රාඩ් ජයග්‍රහණයෙන් පසු ජර්මනිය දක්වා ගමන් කල ජයග්‍රාහී ගමන පිලිබඳ ඉතිහාස කතාවේ සඳහන් නොකරන කරුණක් නම් රතු හමුදා අතින් දුෂණය වූ මිලියන් එකක් පමණ කාන්තාවන් ගැනය. ඒ ගමනේදී ඔවුන් හංගේරියාව, බල්ගේරියාව, පෝලන්තය ආදී රටවල් පසු කර පැමිණි අතර ඒ හැම තැනදීමත් හා ජර්මනියේ දීත් ඔවුන් විසින් ස්ත්‍රීන් බොහෝ ගණනක් දුෂණය කරන ලදී. මරා දැමුණු සංඛ්‍යාවක් ද තිබුණු අතර  එසේ මිනි මැරුමක් වූ විටදී පමණක් අදාල සොල්දාදුවා සිරගත කරන ලදී. ස්ත්‍රී දුෂණ යුදයකදී සිදුවන සාමාන්‍ය දෙයක් ලෙස සෝවියට් ජෙනරාල්වරු සිතූ  බව පෙනේ.

හමුදා සම්බන්ධ ඉතිහාසවේදියෙකු වන ස්ටාලින්ග්‍රාරඩ් , බර්ලින් නමැති කෘති වල කර්තෘ ඇන්තනි බිවර් මෙසේ කීය.
"අතීතයේ මා යන්තමින් මෙන් ඇදහූ අදහසක් වූයේ සෑම පිරිමියෙක්ම යම්තාක් දුරට දුෂකයෙක් (ස්ත්‍රී) වන්නේය යන්නයි. මගේ අවසන් නිගමනය වන්නේ හමුදා විනයක්  නැත්නම්, හැම පිරිමියෙක් අතම ආයුධයක් ඇත්නම්, අවුරුදු දෙක තුනක දීර්ඝ යුද්ධයකින් ඔවුන් අමානුෂික වී ඇත්නම් එවැනි සෑම පිරිමියෙක්ම ස්ත්‍රී දුෂකයෙක් වන්නට අවකාශ ඇත යන්නයි."

ඔහු මෙසේ කිවේ දහස් ගණනක් යුද්ධය සම්බන්ධ  සෝවියට් ලිපි ලේඛන  හැදෑරීමෙන් පසුවයි. ඇමෙරිකානු හා බ්‍රිතාන්‍ය හමුදා තමන් මුදා ගත්  පෙදෙස් වල එසේ ස්ත්‍රී දුෂණ කල බවට සාක්ෂි නැත.  එසේම කිව යුත්තේ ජර්මානු හමුදා හෝ එස් එස් භටයන් ඇමෙරිකානුවන්ට හෝ බ්‍රිතාන්‍ය ජාතිකයන්ට විරුද්ධව සෝවියට් වැසියන්ට තරම් අමානුෂික ලෙස සැලකුවේද නැත යන්නය.

මිනීමරු හමුදා නොවේ නම් යුධ අපරාධ අධිකරණයක් අවශ්‍යද? 

හමුදාවකට ආයුධ සපයන්නේ මිනි මැරීමට මිස සෙල්ලම් කිරීමට නොවන බව මම කලින් පැවසුවෙමි. එසේ කියන්නන් (අලුත් පරපුර වැනි ) තමන් ගේ රජයක් පත් කර ගත්විට ඔවුන්ගේ එම රජයේ ආරක්ෂාව සඳහාද හමුදාවක් පිහිටුවීම අත්‍යාවශ්‍ය  වනු ඇත. එසේ පිහිටුවන රජයකට ආයුධ සැපයීමද අත්‍යවශ්‍ය වනු ඇත. සතුරු ආක්‍රමණයකදී ඒවා භාවිතා වනු ඇත . එනම් සතුරා මරා  දැමීමට සිදු වනු ඇත.

සෝවියට් දේශයේ සිටියදී කියවූ පොතක හෝ ලිපියක තිබුනේ හමුදාවක්  යනු මනෝ මූලික ප්‍රපංචයක් වන අතර එය නිෂ්පාදන සබඳතා මත රඳා පවතින ශ්‍රමිකයන් කණ්ඩායමක් නොවන බවයි.  ඓතිහාසික භෞතිකවාදයේදී සමාජ පරිණාමය දයලෙක්තික භෞතිකවාදය ආශ්‍රිතව විග්‍රහ කරන විට හමුදාවක පරිණාමයක් ගැන නොකියවේ. හමුදාවක් ඇති කර ගැනීමට,  ඒ සඳහා අවශ්‍ය ධනය හා ද්‍රව්‍ය (ආයුධ, රථ වාහන, භුමිය සහ මිනිසුන්) ඇත්නම් ඕනෑම බලවත් කෙනෙකුට කල හැකිය. වැඩවසම් සමයේ ප්‍රාදේශීය හමුදා පැවතියේ මේ අනුවය. මේ අනුව බලන විට  හමුදාවක කාර්යභාරය නිර්ණය කරන්නේ එය පිහිටුවා ගත් බලවත් තැනැත්තා හෝ රාජ්‍යයයි.
ශ්‍රී ලංකා හමුදාවේ උදව්වෙන් ...


යුධ අපරාධ අධිකරණයක් අවශ්‍ය වන්නේ හමුදාවක් තම නියෝග පැහැර  හරිමින් ස්වාධීනව ක්‍රියා කරන්නේ නම්ය. හමුදාවක් සාමාන්‍ය නීතියට එරෙහිව නියෝග පිළිපැද්දා  නම් එවිට නියෝගය දුන් අධිකාරිත්වයට එරෙහිව සිවිල් නීතිය ක්‍රියාත්මක කල යුතුය. යුද තත්වයකදී සාමාන්‍ය නීතිය වෙනස් කම් සහිතව ක්‍රියාත්මක වේ. (ත්‍රස්ත විරෝධී මර්දන පනත්, වෙනත් යුද නීති  වැනි) . යුධ අපරාධ අධිකරණයක දී එවන් තත්වයන් සලකා බලනු ලැබේ.

පහත සඳහන් වීඩියෝ දෙක බලන්න. මේවායේ  එල්ල කරන චෝදනා විභාග කල යුත්තේ ඇයිදැයි ඔබට වැටහෙනු ඇත. මුළු හමුදාවක් ම  අපහාසයට පත් නොකර ශ්‍රී ලංකාවට එය කල හැකිය.

https://vimeo.com/138026018



මෙහිදී මින් සමහර සාක්ෂි කරුවන් ශ්‍රී ලංකාවට පැමිණීමට දක්වන බිය සාධාරණ විය හැකිය. ඔවුන්ට අවශ්‍ය රැකවරණය දීමට නොහැකි නම් ඔවුන් සිටින රටේ සිට සාක්ෂි ගත හැකිය. නීතිය ඉක්මවා කටයුතු කල හෝ ස්ත්‍රී දුෂණ කල හමුදා නිලධාරීන්ට දඬුවම් පැමිණවීම තුලින් බොහෝවිට විනයගරුක හමුදාවල විනය හා නම රැක  ගත හැකිය.
ජිනීවා සමුළුවෙන් එම අවස්ථාව  ශ්‍රී ලංකාවට ලබා දී තිබේ. ශ්‍රී ලංකාවේ  සැබෑ සංහිදියාවක් ඇති කිරීමට අවශ්‍ය නම් 1980 සිට සිදුවූ සියලුම රජයේ හා සන්නද්ධ කණ්ඩායම් වල ත්‍රස්තවාදී ක්‍රියා සම්බන්ධ විමර්ශනයක් කර වරදකරුවන්ට දඬුවම් ලබා දිය යුතුය. එසේම වින්දිතයන් හා වරදකරුවන් මුණ ගස්වා සන්හිදියාවකට මුල පිරිය හැකිය. දකුණු අප්‍රිකාවේ හා රුවන්ඩාවේ මෙය සාර්ථක ලෙස අත්හදා  බලා ඇත.


මුලාශ්‍ර:
1. http://www.telegraph.co.uk/news/worldnews/europe/russia/1382565/Red-Army-troops-raped-even-Russian-women-as-they-freed-them-from-camps.html

2. http://www.dailymail.co.uk/news/article-3067988/Let-s-Nazi-dogs-Enraged-horrors-Dachau-concentration-camp-arriving-liberate-WWII-prisoners-American-soldiers-executed-50-Germans-cold-blood-reveals-new-book.html

3. https://vimeo.com/138026018