|
සී ඩබ් ඩබ් කන්නන්ගර |
බ්ලොග් ලියන්නට
අළුතින්ම පැමිණි "කහසල්ලි" ලියන සරදට තමන් එසේ පැමිණියේ නෙළුම් යාය විසින් ඇති කළ "පිබිදීම" බව පිලි ගන්නට දිව පැටලෙන බව පෙනේ. ඒ වෙනුවට බොහෝ වාමාංශික "සහෝදරවරු" පුරුද්දට (habitually) කරන්නාක් මෙන් "විවේචනයක්" ඉදිරිපත් කරයි.
ඔහුගේ පළමු විවේචනය දේශපාලකයන් ට බ්ලොග් සම්මාන දීමට ආරාධනා කිරීම ගැනයි. කරු පරණවිතාන සම්බන්ධ කර ගැනීම ගැන
"නොකී කතා"ද දෝෂාරෝපණය කල අතර ඒ ගැන පිළිතරු දී ඇති නිසා නැවත ලියන්නට නොයමි.
සරද මෙහිදී අමුතු කතාවක් කියයි. ඔහුගේ අන්වීක්ෂ පරීක්ෂාවෙන් පසු ඔහුට පෙනෙන්නේ අප කරු ජයසුරිය ගෙන්වන්නේ පිරිසුදු ජාතිවාදී නොවන දේශපාලකයෙකු නිසා බවයි. හැබැයි අප කොහේවත් එසේ කියා නැති බව ද ඔහු පිළිගනී. මට නම් පෙනෙන්නේ සරද වැන්නවුන් අනිත් පාර්ශවයේ ලිපි නොකියවා අනුමාන කර ලියන බවයි. ඉන්පසු ඔහු කියන්නේ "හුදෙකලා හොඳ මිනිසුන්ට හුදකලා වීම හැර සමාජයේ තීරණාත්මකව කල හැකි දෙයක් නැත" යන්නය. දැන් අපි මේ කතාව මදක් විශ්ලේෂණය කර බලමු.
දීප්ති කුමාර ගුණරත්න වරක් සඳහන් කල පරිදි අපේ යුගයේ දේශපාලන විපරිත භාවය කුමක් ද කියා හදුනා ගැනීම වැදගත්ය. මම මේ ගැන බොහෝ දුරට කල්පනා කලෙමි. මට සිතෙන්නේ මෙසේය.
පේරාදෙණි ගිය කිසියම් බ්ලොග් කරුවෙකු කි පරිදි රාජකීය විදුහලෙන් එන නවකයන්ට නවක වද දෙන සීනියර් උත්තමයන් හඳුන්වන්නේ "කුණු කන්නන්ගරෙන් " එන එවුන් කියාය. කුණු කන්නගරේට යන එවුන් ගෙන් භාගයක්ම ශිෂ්‍යත්ව විභාගය සමත් වී රාජකීය විදුහලට එන බවද ඔවුන් හොඳින්ම දනී. නමුත් අර ඉරිසියාව එලෙසමය. කන්නගර කියන්නේ කවුද?
ක්‍රිස්ටෝපර් විලියම් විජේකෝන් කන්නන්ගර ලංකාවේ බ්‍රිතන්‍ය පාලනයට එරෙහිව නැගුනු නිදහස් ව්‍යාපාරයේ සිටි පුද්ගලයෙකි. ඔහු ගැන සරදට අනතර්ජාලයේ කියවා ගත හැකිය. ලංකාවේ පළමු පාර්ලිමේන්තුවේ අධ්‍යාපන ඇමතිය. එස් ඒ වික්‍රමසිංහ ආදීන් ගේ සහයද ඇතිව නිදහස් අධ්‍යාපනය ඇති කලේ ඔහුය. ආදී කාලීන එජාපයේ ඩි ඇස් සේනානායක විරුද්ධ වෙද්දී ජේ ආර්, ඩඩ්ලි, (ඔව් ජේ ආර්) , ඔලිවර් ගුණතිලක, ඇන් ඇම් පෙරේරා, මලලසේකර ආදීන්ගේ සහයෙන් ඔහු අධ්‍යාපන පනත සම්මත කර ගත්තේය. සරද වැනි අය උගත් බණ්ඩාරවෙල මැදි මහා විදුහල වැනි මධ්‍ය මහා විද්‍යාල රාජකීය විදුහලේ ඌරුවට ඇති කලේත් ඔහුය. පේරාදෙණිය ද ඇතුලත් ලංකා විශ්ව විද්‍යාලය පිහිටෙව්වේද පිරිවෙන් අධ්‍යාපනයට තැනක් දුන්නේද ඔහුගේ අවුරුදු දහසයක අධ්‍යාපන ඇමති ලෙස කටයුතු කල කාලය තුලය.
අසුව දශකයේ අග භාගයේ පෞද්ගලික වෛද්‍ය විදුහල පිහිටුවද්දී එයට එරෙහිව නිදහස් අධ්‍යාපනයේ නාමයෙන් ජනතාව පෙළ ගැස්වූයේ ජනතා විමුක්ති පෙරමුණ ප්රමුඛ වාමාංශික පක්ෂයන්ය. "කුණු කන්නන්ගරය " කියා පේරාදෙණි ගියවුන් අපහාස කරන්නේ ද තමන්ට නිදහස් අධ්‍යාපනය ලැබීමට තම පක්ෂයේම නායකයන්ගේ විරුද්ධතා මැද කටයුතු කල යුඇන්පී කාරයෙකුටය. විපරීත භාවය ඇත්තේ මෙතනය. නිදහස අධ්‍යාපනයට අද විරුද්ධ වන්නේ යුඇන්පී සහ සමහර ශ්‍රීලංකා කාරයන්ය.
සාමාන්‍යයෙන් වාමාන්ශිකයන් අනිත් අයගේ ලිපි කියවන්නේ නැත. (දීප්ති වැනි කීප දෙනෙකු හැර ) තමන්ගේ ලිපි හෝ තමන්ට අනුබද්ධිත වෙබ් අඩවියක පත්තරයක මිස අනිකුත් දේවල් නොකියවිමේ සිරිතක් ඔවුන් තුල පවතී. එනිසා කරු ජයසුරියට 2015 ප්‍රථම සම්මාන උළෙලට ආරාධනා කළේ ඇයිද යන්නේ මෙහි ලියා ඇති බව කියමි.
සරද මෙතන කියවන්න. යාපනයේදී අනවසර වැලි ගොඩ දැමීමක් කිරීම ගැන ලියු සමාජ ජාල ක්‍රියාකරුවෙකු මරා දමා තිබුණි. තොරතුරු දැන ගැනීමේ අයිතිය තහවුරු කෙරෙන පනතක් ශ්‍රී ලංකාවේ නැති නිසා ඒ ගැන තොරතුරු දැන ගන්නට ක්‍රමයක් නැත.
මේ ලිපියේ තිබෙන්නේ අප ඔහුට ආරාධනා කළ හේතුවයි. අපි 2015 නෙළුම් යාය උළෙලේදී කරු ජයසුරිය මහතාට තොරතුරු දැන ගැනීමේ නිදහස තහවුරු කිරීමේ පනත සම්මත කිරීමට ඔහු ගෙනයන සටන ගැන විස්තර කිරීමට ඉල්ලීමක් කළෙමු. කරු ජයසුරිය මහතා දෙවරක්ම තොරතුරු දැන ගැනීමේ අයිතිය පිලිබඳ පනත ඉදිරියට ගෙන ආවත් එය දෙවරක්ම පාර්ලිමේන්තුවේ දී ප්‍රතික්ෂේප වුණි. බ්‍රිතාන්‍යයේ සමහර මන්ත්‍රීවරු මේ
Freedom of Information Act පනතට බියය. සමහර රජයේ ආයතන ද බිවෙති.
පසුගිය අවුරුද්දේ පමණක් 30,000 පමණ දෙන තොරතුරු පනතට අදාලව රජයේ ආයතන හා මන්තිවරුන් ගේ විස්තර ඉල්ලා තිබුණි . මේ පනත ඉදිරිපත් කලේ බ්‍රිතාන්‍ය කම්කරු පක්ෂ ආණ්ඩුවක් මගින් වසර 2000 දී පමණය.
රාජ්‍ය දුෂණ අවම රටක් වන ස්වීඩනයේ මේ තොරතුරු දැන ගැනීමේ අයිතිය 1766 සිට පවතී. එක්සත් ජනපදයේ ලින්ඩන් ජොන්සන් එය අනුමත කලේ 1966 දීය.
ලංකාවේ දේශපාලකයන් මේ පනත ගැන බියවීම අහන්නත් දෙයක්ද? 2016 මාර්තු 24 දා කරු ජයසූරිය මහතා කථානායක ධුරය හොබවන ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ එය සම්මත කෙරුනි. ඔහු වෙනුවෙන් පනත සභාවට ඉදිරිපත් කලේ ජන මාධ්‍ය අමාත්‍ය
ගයන්ත කරුණාතිලකය. නෙළුම් යාය උළෙලේට පැමිණි කරු ජයසුරිය මහතා පනත පැය 72ට කලින් සම්මත වූ බව සාඩම්බරයෙන් ප්‍රකාශ කළේය.
|
2016 නෙළුම් යාය සම්මාන උළෙලේ නිමේශයක් |
මෙවර නෙළුම් යාය සම්මාන දෙන අතරතුර කථානායක තුමා පනත සම්මත වීම ගැන මගේ අදහස විමසීය. "ජනතාව මේ ගැන වැඩිය දන්නේ නැහැ නේද " යන්න ඔහුගේ ප්රශ්නය විය. මම ඒ මහතාට පැවසුවේ, මේ පනත මගින් ඔහු ඉතිහාසයට එක්වන බවයි. ජනතාවට පනතේ වටිනාකම වැටහෙන්නේ පසුව බවයි.
ශ්‍රී ලංකාවේ පවතින විපරිත ඩීල් දේශපාලනය අනුව තවත් අවුරුද දහයකින් පමණ සමහර විට ලංකාවේ බලයට පත් වන්නේ එක්කෝ දහම් සිරිසේනය. නැත්නම් නාමල් රාජපක්ෂය. නැත්නම් සජිත් ප්‍රේමදාසය. දහම් හෝ සජිත් ජවිපෙ අනුර කුමාර හෝ වෙනයම් නායකයකු සමග ඩීල් දමනු ඇත. පෙසපේ ගුණරත්නම් නාමල් හෝ තවත් අයෙකු සමග ඩීල් දමනු ඇත. ඉන්පසු උනුත් එකයි මුනුත් එකයි කියා ආණ්ඩුවට එක් නොවනු ඇත. අර පත්ව එන නායකයාට සහය ගැනීමට සිටිනා මන්ත්‍රීවරු මෙන්ම රජයේ නිලධාරින් බේරා ගැනීමට නම් උන් පිලිබඳ සත්‍ය තොරතුරු හෙළි දරව් වීම අවාසිදායක වනු ඇත. මාතලන් වැනි හැම කුණු මුල්ලකටම හොට දමන නසරාණි බ්ලොග් කරුවන්, සමාජ ජාලා ක්‍රියාකාරීන් පනත ආධාරයෙන් තොරතුරු සොයනු ඇත. ඒ නායකයන් එවිට මේ පනත අවහිර කිරීමට කටයුතු කරනු ඇත.
අන්න ඒ දිනට කරු ජයසුරිය ඉතිහාසගතවනු ඇත. ඔහුගේ මේ පනත වෙනුවෙන්, අනාගතයේ එවන් දිනක පෙළපාලි යනු ඇත්තේ ජවිපෙ හෝ පෙසප වැනි වාමාංශික දේශපාලන පක්ෂයක් හා එවකට තිබෙන විපක්ෂය වනු ඇත. එදිනට සරදට මාවද නෙළුම් යායද මතක් වනු ඇත.
පරණම යුඇන්පී (formerly ceylon national congress ) කාරයෙක් ඉදිරිපත් කල නිදහස් අධ්‍යාපන පනතෙන් පිහිටවූ අධ්‍යාපන ක්‍රමය රැක ගැනීමට ගුණරත්නම් මහතාද සිටි ජවිපෙ බොහෝ කැපකිරීම් කළේය. සරද ද දැන් මගෙන් කරු ජයසුරිය ගැන ප්‍රශ්න කළාට අනාගතයේදී අප සමග මේ පනත රැක ගැනීමට සටන් කරනු ඇත. මේ සරදට නොපෙනන දීප්ති වැන්නවුන්ට පෙනෙන දෙයයි.
මා දිප්තිව අදාල කර ගත්තේ මෙවැනිම චෝදනාවක් චමීර කොස්වත්ත විසින් දීප්තිට විරුද්ධව එල්ල කල හෙයිනි. දීප්ති යුඇන්පී එකට වැඩ කරන බවත් සමහර විට රජයට පවා එක්විය හැකි බවත් ඔහු කිවේය.
ඉන්පසු සරද විසින් "පිරිසිදු කරූ පවා මේ රජයේ දැති රෝදයක්" බව කියමින් ලොකු කතාවක් කියයි. එය අවසන් වන්නේ මෙසේය. "අවසාන විග්රහයේදී රාජ්‍ය හිටගන්නේ දැනුමට අනික් පැත්තේ."
සරද අඩුම ගනනේ මගේ කතාව හෝ කියෙව්වා නම්. මෙන්න මේ කොටස "පුරවැසි ජනමාධ්‍ය භාවිතාව ප්‍රචලිත කිරීමටත්, බ්ලොග් කරුවන් සමාජයේ දැනුම් නිම්තෙර පුළුල් කිරීම උදෙසා කරන සේවය ඇගයීමටත් මේ සම්මාන උළෙල කරන්නෙමු. එසේම අප
කල්පනා කරන්නේ දැනුම ලබන ජනතාව රැවටිය නොහැකි බවය. " මගේ පිළි ගැනීමේ කතාවේදී මා ඒ බව කෙලින්ම කියා සිටියෙමි.
රාජ්‍යය සිට ගන්නේ දැනුමට අනිත් පැත්තේ විය හැකිය. එහෙත් අපේ අදහස දැනුම ලබන ජනතාව රැවටිය නොහැකි බවත් ඒ නිසා බ්ලොග් හා අනෙකුත් සියලුම මාධ්‍යයන් භාවිතා කර අප ජනතාවට දැනුම ගෙන යන බවත්ය. රජයක් එයට විරුද්ධ වන අවස්ථාවක අප සිට ගන්නේ රජයට විරුද්ධ පැත්තේය. එතැනදී එය මොන දේශපාලන පක්ෂයක් නියෝජනය කරන්නේද යන්න අපට අදාල නැත. අප නිවැරදි බව බ්ලොග් ලියන්නට මෙන්ම කියවන්නට එකතුවන ජනකායෙන් පෙනේ. දැන් සරද ද ඒ අතර සිටීම අපේ සතුටට කරුණකි.
කරුණාරත්න පරණවිතාන යටතේ සිටින නිලධාරීන් නෙලුම් යායට කුඩම්මාගේ සැලකිලි දැක්වීම හා ඔවුන් ගෝඨා ගේ මිනිසුන් බව අර්ථ දැක්වීම සරදගේ කියවීමක් පමණකි. මේ තියෙන්නේ හයිබ්‍රිඩ් ආණ්ඩුවකි. ලංකා දේශපාලන ඉතිහාසයේ ප්‍රථම වතාවට, අලුතින් පැමිණි ආණ්ඩුවේ දේශපාලකයන් විසින් පරණ ආණ්ඩුවේ රැකියා කරන නිලධාරීන් එළවා කරන දේශපාලන පලි ගැනීම් කිරීමට ඉඩක් නැති විය. අමරබන්දු ගැන ලියු අරුණ පෙරේරා ගෙන් ඇසුවා නම් ඔහු මේ අතීත දේශපාලන පලිගැනීම් ගැන හා ඉන් සිදුවුන ජිවිත විනාශ සරදට කියනු ඇත. නිලධාරීන් ගුරුවරුන්ට කරන හිංසා ගැන
මනොෂ් හා
හෙන්රි වැනි බ්ලොග් කරුවන් ලියූ දේ සරද කියෙව්වා ද? අප විරුද්ධ මේ නිලධාරිවාදයට මිස ගෝඨා කතාවකට නොවේ.
බොහෝවිට ගෝඨාභය තමන්ගේ නම මේ නිලධාරීන් භාවිතා කරන බව දන්නේ හෝ ඒවා අනුමැත කරන්නේ වත් නැතිවිය හැකිය. ඔහු කතා කරන්නේ පවා ඊට වඩා බරපතල දේවල් ගැනය. අප පෙන්වා දුන්නේ මිනිසුන්ගේ බදු මුදල් වලින් ක්‍රියාත්මක වෙන රජයේ ආයතනයක් ගැනය. එවන් ආයතනයක නිලධාරීන් ගැන ප්‍රශ්න කිරීමට ජනතාව ගෙන් කොටසකට අයිතියක් ඇත. අප කළේද එයයි. නැතිව රජය සමග ගැටී අප සසල වූවා යයි කීම සරද ගේ හිතළුවක් පමණි.
විශ්ව විද්‍යාල සිසුන් සම්බන්ධවද එය එසේමය සරද. ජනතාවගේ බදු මුදලින් පවත්වා ගෙන යන නිදහස් විශ්ව විද්‍යාල වල උගන්නා සිසුන් ගේ නවකවද හෝ වෙනයම්ම කටයුතු ගැන විමසීමට මොන උප සංස්කෘති තිබුනද, එම රටේ ජනතාවට අයිතියක් තිබේ. මුලින් නවක වදය කර ජනතාව එයට එරෙහි වූ පසු රජය නීතිය අතට ගත්තේය. රජය නවකවදය මුවාවෙන් සිසුන් මර්දනය කරනවා කීම දැන් විහිළුවකි. රජය කලේ රැල්ල යන පැත්තට අමුඩය ගැසීම පමණි. විශ්ව විද්‍යාල සිසුන්ට තිබුනේ අපත් මේ නවක වදයට විරුද්ධයි. මේ සිසුන් නිදහස් කරන්න. අපි ඔවුනට නවක ශිෂ්‍යාව ගෙන් සමාව ඉල්විමට පවසන්නෙමු කියා වැඩේ ගොඩින් බේරා ගැනීමට ය. ඔවුන්ට අවශ්‍ය එය නොව සිසුන් අතරේ වීරයන් වීමය. දැන් පෙළපාලි යාමට තවත් නිමිත්තක් හදිසියේ ලැබී තිබේ. මෙන්න මගෙන් අත්පුඩි.
රාජ්‍ය නම් විශාල ඝනකම් පර්වතයේ පුංචි විය සිදුරක් හමුවීම නිසා සමස්ථය සසලවී ඇත්තේ අපට නම් නොවේ. රජය යනු කුමක් දැයි අප හොඳින් හදාරා ඇති බැවිනි.
පරණවිතාන ගේ උදව් ගැන කිවේ ඔහු නෙළුම් යායට බලපෑමක් නොකළ බව පැහැදිලි කිරීමටය. සරද තනිකරම රාජ්‍යයේ සහභාගිත්වය ප්‍රශ්න කරන්නේ ඔහු පවතින රජයට විරුද්ධ පක්ෂයක අයෙක් නිසා වීම පමණකි. නොකී කතා විරුද්ධ වන්නේද ඒ අනුවය. නමුත් එසේ නොමැති බව වටහා ගත් මොහොතේදීම නොකී කතා නොහොත් හෙන්රි වර්ණකුලසුරිය මහතා වේදිකාවට අවතීරණ වීමට පැකිලුනේ නැත . ඒ තීරණය ගැන ඔහුට ස්තූතිවන්ත වෙමි.
සමහර විට අප පුබුදු ජයගොඩ මහතා ටත් ආරාධනා කළා නම් සරද මෙසේ නොලියන්නට ඉඩ තිබේ. එසේම සමහර විට වාමාංශික රජයක් යටතේ එහි ඇමතිවරයෙකුට කතා කලා නම් ද ඔහු විරුද්ධ නොවනු ඇත. මෙය පුහු යුඇන්පී විරෝධයක් පමණි. අපට එවැන්නක් නැත.
සිංහල බ්ලොග් ඉතිහාසය අවුරුදු දහයකට එහා දිවෙන්නෙකි. ඒ අතරතුර බොහෝ සින්ඩි බිහිවිය. ඈත කාලයක එක පේලියට බ්ලොග් ලිපින ඇති වෙබ් පිටුවකින් බ්ලොග් කියෙව්වා මතකය.ඒ ලංකා බ්ලොග් කියවනය හෝ වෙන එකක්ද යන්න මට මතක නැත.
මේ බ්ලොග් ලෝකය ට වෙනත් විධිහකට ඉදිරිපත් වන්නට අදහසක් ඇති වුනේ ඇයිද යන්න හා එයට ලංකානිව්ස්වෙබ් අඩවියේ නෙළුම් යාය අංශය එක් වුයේ කෙලෙසද යන්නත් දහ දොළොස් පාරක් ලියා ඇති නිසා ඒවා නැවත ලියන්නේ නැත.
සරදට අවශ්‍ය නම් මගේ බ්ලොගයේ ඒවා කියවා ගත හැකිය.
ඒ කිසි තැනක නොලියු දෙයක් දැන් ලියමි.
මින් වසර දෙකකට පමණ පෙර නෙලුම් යාය සම්මාන උළෙලක් පටන් ගැනීමට පෙර ඒ සඳහා සාකච්චාවට මගේ නිවසට පැමිණීමට මා ඇරියුම් කළේ හතර දෙනකුටය. අගෝරාවේ සිටින දැන් කහ සල්ලි බ්ලොගය පටන් ගත් සරද සමරසිංහ, සංඛ රණධිර විතාන, අරූගෙ අඩවිය ලියන අරුණ පෙරේරා හා ලංකානිව්ස්වෙබ් හි එවකට ප්‍රධාන කර්තෘ චන්දිම විතනාරච්චිටය. මුලින් කි දෙදෙනා සරද්ද හා සංඛ කිසියම් හේතුවක් දක්වා නොපැමිණියහ. බ්ලොග් සම්බන්ධව ඔවුන්ගේ තිබුනේ මේවා වැඩක් නැති දේ වැනි හැඟීමක් බව මට සිතුනි. සංඛ කිවේ ඔහු බූන්දියට ලියන බවයි. එසේ නැතහොත් ප්‍රතිචාර දමන බවයි. බුන්දියට දමන ප්‍රතිචාර වලින් වැඩක් නැත්තේ කිසිවකු ඒවාට පිළිතුරු සපයන්නේ වත් සංවාදයට එන්නේ වත් නැති හෙයිනි. සරද ගේ ලිපි කිහිපයක්ම බුන්දියෙන් මට හමුවී තිබේ. මා දන්නා පරිදි බූන්දියේ පල වෙන්නේ කිසියම් "ප්රගතිශීලි" ලේබලයක ට වැටුණු ඒවා පමණි. එයිනුත් රුවන් ජයතුංග හැර අනිත් ලේඛකයන් කිසියම් කණ්ඩායමකට අයත් විය යුතුය යන හැඟීමක් මට තිබේ. මා වැරදි වෙන්නට පුළුවන. ඔවුන්ගේ වෙබ් අඩවියට යොමුව නෙළුම් යායේ තිබේ.
සාකච්චාවට පැමිණි දෙදෙනා ගෙන් අරූ එයට මුලදී කැමති වුනත් බෝතලයක සහයෝගයකින් පසු සියල්ල අවුල් වන බව මට පැහැදිලි විය. මගේ ඉංග්‍රීසි බ්ලොගයේ කිසියම් ලිපියක් ලිවූ පසු මට හදිසියේ මට ලැබුණු ඊමේලයක් ගැන සාකච්චාවේදී සඳහන් කලෙමි. සිංහල බ්ලොග් පවා අවශ්‍ය නම් කිසියම් ආයතනයක හෝ කණ්ඩායමක නිරීක්ෂණයකට ලක් කල හැකි බවටත් ඒවා සම්පුර්ණයෙන් ම නිදහස් යයි සිතීම මිත්‍යාවක් බවටත් ඇතිවූ කතා බහේදී අරූ ද සම්බන්ධ වීම ප්‍රතික්ෂේප කළේය. මා ඔහුට කිවේ සත්‍යයකි.
නමුත් ඉන් අවුරුද්දකට පසු දෙල්කඳ හන්දිය නමින් ලංකානිව්ස්වෙබ් අඩවියට කොලමක් ලිවීමට නම් අරූ එකඟ විය. ඒ අනුව පෙනී ගියේ මෙතන තිබුනේ වෙනත් ප්‍රශ්නයක් බවයි. මා ප්‍රදීප් ජයතුංග නමැති සුප්‍රසිද්ධ බ්ලොග් ප්‍රතිචාර දමන්නා සමග අරූ හමුවීමට ගිය විට ඔහු එය කිවේ මෙලෙසය. "උඹ නිකන් ගරිල්ලා කාරයෙක් වගේ නේ මෙතනට කඩා වැදුනේ. එක පාරටම ඇවිත් මෙතන එක එක දේවල් කරන්න ආවා. නිදහස්ව තිබබ් අවකාශය නැති කලා. " යනුවෙනි. මා ඔහුට මුලින්ම ආරාධනා කල බව අමතක විද? නෙළුම් යාය මුල්ම සංස්කාරක පදවිය ඔහුට දීමට යෝජනා කල බව ඔහුට අමතක වීද?
මා අදත් කියන්නේ කාගේවත් නිදහස් අවකාශයක් අප බදු නොගත් බවයි. ලියන අයට මොනවා ලියන්නදැයි අප කියන්නේ නැත. දැන් නැවත අරූ ද එක්තරා ප්‍රමාණයකට බ්ලොග් නිර්දේශ කිරීමට නැවත එකඟ වී තිබේ.
සරද ගේ අනිත් අදහස නම් මදක් විහිළු සහගතය. බ්ලොග් ලිවීමෙන් විප්ලව කල නොහැකි බවයි. බ්ලොග් වලින් විප්ලව කරන්නට අප කවදාවත්, මම පෞද්ගලිකවත් පොරොන්දු වී නොමැත.
හැබැයි විප්ලව කරන්නට යන පක්ෂ වලට නම්, වෙබ් අඩවි, පත්තර , පුවත්පත් ගණනාවක් තිබේ. ඒ පක්ෂ වලට අදාල අය බ්ලොග්ද කරති. ඔබ ඒ ප්රශ්නය ඔවුන්ගෙන් ඇසුවාද? ඔවුන් විමුක්තිය දෙන්නට යන්නේ තමන්ගේ වෙබ් අඩවි හා පත්තර කියවන
සුළුතර පාඨක සංඛ්‍යාවකට පමණක් වන නිසා හා වඩා පළල් අවකාශයක වැඩ කිරීමට ඔවුන්ට ඇති නොහැකියාව මා දැක ඇති නිසා ඔවුන්ගේ විප්ලව ගැන මගේ විශ්වාසයක් ද නැත.
බ්ලොග් වලින් හා නෙළුම් යායෙන් කරන්නට යන්නේ ජනතාවට දැනුම ලබාදීම, කලාව සහ සාහිත්‍ය පිලිබඳ සංවාදයන් දියුණු කිරීම හා ඒවා කරන අය ඇගයීම පමණකි.
මට අද තවත් සතුටුදායක ආරංචියක් ලැබුණි. කේම්බ්‍රිජ් සරසවියේ Narratology පිලිබඳ පර්යේෂණ නිබන්ධනයක් ලියන ආචාර්යවරියක් නෙළුම් යාය සහ සිංහල බ්ලොග් කරුවන්ගේ සංවාද පිලිබඳ පරිච්ඡේදයක් ඇගේ නිබන්ධනයට ඇතුලත් කර ඇති බවයි. ඉදිරියේදී ඒ ගැන ලියමි.
සරද ලා දැන් බ්ලොග් අවකාශයට එන්නේ දෙවන බ්ලොග් සම්මාන උළෙලෙන් දැනුනු දැඩි ඌශ්ණය නිසාය. සාදරයෙන් පිළිගනිමු.