ගමන් මාර්ගය මොස්කව් සිට බෙලෙරුසියාවේ මින්ස්ක්, බ්‍රෙස්ට්, පෝලන්තයේ වර්ෂාවා, පොස්නන්, ජර්මනියේ බර්ලින්, කොලෝන්, බෙල්ජියමේ බ්‍රසල්ස් හෝ ඕලන්දයේ ඇම්ස්ටඩෑම් හා හාර්විච් හෝ ඩෝවර් හරහා ලන්ඩන් |
තාන්යා රැගෙන යාමට කොල්ලන් එකඟවූ පසු ගිහාන් සතුටු සිතින් කීය.
"අනික නැත්නම් උඹට තාන්යා හම්බවෙන්නෙත් නැහැනේ " තෙන්නේ කීය.
"ඒක තමයි වැදගත්ම එක. නැත්ද මචං " සුහදය පිටට තට්ටුවක් දැම්මේය.
"අපි වුනත් බනින්නේ නැහැ මචන්. අපි මේ කතා කලේ ඇයි රුස්සෝ මේ වගේ උපහාසෙන් උන්ගේ රට ගැන කතා කරන්නේ කියල. අපට සලකන එක නෙමෙයි. ඔන්න උඹට ඕක ගැන හොඳ විවරණයක් අහ ගන්න පුළුවන් අර ....සන් එක්ක කතා කරානම්." ප්‍රියාන් පැවසුවේය.
"අපොයි පොර නේද අර උදේට තේ එකට වොඩ්කා බොන්නේ. දවල්ට කන්නේ නැතිව රෑට බත් එකට වොඩ්ක බෙදාගෙන කන්නේ කියල මුන් කාඩ් ගහන්නේ, හැබැයි හරි අහිංසක හොඳ බොහිමියන් බුවෙක්. හැබැයි දැක්ක වෙලේ මට භය හිතුන හුළඟට වැටෙයි කියල බං"
"ඒ ..සන් තමා. ...සන් කියන්නේ අර පක්ෂය ගහන පත්තරේ කර්තෘ ගේ පුතා නේද? ඒ කර්තෘ ත් නියම පොරක්. ඒ පත්තරේ විතරයි කියවන්න පුළුවන් දේශපාලනික පත්තරයකට තියෙන්නේ එයා නිසාම. කොමියුනිස්ට් පක්ෂයේ ගොඩක් අයට වඩා කෙලින් පොරක්." ගිහාන් කීය.
"ඒක ඇත්ත. ..සන්ට වෙලා තියෙන්නේ පොර ආවේ අර විප්ලවීය ජිව ගුණයද මොකක්ද කියන එක පිරුණ පරමාදර්ශී සෝවියට් රාජ්‍යයක් බලාගෙන. ආවහම දැක්කේ වෙන එකක්. මෑන් ඉන්නේ ඉච්ඡා භංගත්වයෙන් කියල උඹට හිතෙන්නේ නැත්ද?
"ඉච්ඡා භංගත්වේ කොහොම වෙතත් මාර ලස්සන රුස්සියෝ දෙන්නෙක් එක්ක නම් හිටියා මම එදා යද්දී. අර චිත්‍ර අඳින තේ... ගේ කාමරේ හිටියේ" තෙන්නේ කීය.
"පොර ඉන්න විධිහට කෙල්ලෝ කැමති ඇති. උන් ගැන්සිය ගිටාරයක් අරගෙන සින්දුවක් ගහගෙන ඉන්නවා. අර නියමෙට වයලීන් ගහන පොරකුත් ඉන්නවා ඒ සෙට් එකේ."
" ඔය බජාර් එක ගිය පාර අපේ වෙචේර් එකේ (වේචේර් යනු විවිධ ප්‍රසංගය යන අරුත දෙන්නකි. ශිෂ්‍ය සභාව විසින් මෙවැනි විවිධ ප්‍රසංග වසරකට වරක් සංවිධානය කරන ලදී) පොඩි අයිටම් එකක් දැම්මා. දන්නවනේ විප්ලවීය, වාමාංශික ලෙවල් එකට. ලංකාව නිදහස ගත්ත විධිහ පෙන්වන්න. අර විශ්ව විද්‍යාලයේ උප කුලපතිත් ඉන්න නිසාද කොහෙද? ඒකෙ කෙළවර මුන් බ්‍රිතාන්‍ය කොඩිය කඩලා ඉරල දානවා. මගෙන් අර හාර්කොෆ් ඉඳන් අපූ කොල්ලෙක් අහනවා දැන් අපට ලන්ඩන් යන්න දෙයිද දන්නේ නැහැ නේද සුද්ද කියල."
හැමෝම කොක් හඬලා සිනා සුනහ.
"අපොයි මෙහෙමත් එවුන්. මචන් වාමාංශික පක්ෂ වල ඇමතිලගේ පුත්තු, අධ්‍යාපන අමාත්‍යංශ යේ ලොකු එවුන්ගේ ළමයි හෙමත් ඔය සෙට් වල ඉන්නවා නේද? ප්‍රේමදාස ගේ මුස්ලිම් ඇමතිගේ ආධාරකාරයන්ගේ ළමයි සෙට් එකකුත් එවල අර මොස්කව් ළඟ සිටි එකට යවල කියල ආරංචියි. අපිව මුලදී යුනිවසිටි ග්‍රාන්ට් කොමිෂන් එකෙන් එව්වත් දැන් දැන් පේමයාගේ ආණ්ඩුවත් අත දානවා මේ ශිෂ්‍යත්ව වලට "
"ඇමැත්තා කියල තියනවලු මුස්ලිම් ළමයි ලංකාවේ මෙඩිසින් යනවා අඩුයි කියල."
"ඉතින් බං මෙහ එවල හරි යනවයි ඔය විධිහට. වෙන එකෙක්ගේ චාන්ස් එකක් නේ මුන් ගන්නේ "
"ඔන්න ඔතනනේ සෝවියට් නිලධාරිවාදයේ වරද එන්නේ මචන් ලා. සෝවියට් ආණ්ඩුව අර ජෝර්ජ් ඕවෙල් ගේ ඇනිමල් ෆාම් පොතේ වගේ තියෙන ඕන ගවන්මන්ට් එකක් එක්ක සෙට් වෙනවා. "
"විජේවීර මුන් ධනවාදයට යනව කියල හැට ගණන් වල චීන පිලට සෙට් වුනේ මෙහෙම වෙනවා කියල දන්නා නිසා වෙන්න ඇති"
"අනේ මොන පිස්සුද? පොරට ආපහු මෙහෙට එන්න වීසා දුන්නේ නැහැ. සෝවියට් ආණ්ඩුව විවේචනය කරනවා කියල අපේම එකෙක් කට්ට ගහල කියල කියන්නේ දන්නා එවුන්. එහෙම කරපු විවේචනයක් නැතිලු. එන්නේ දුන්නේ නැති වුනහම පොර ගිහින් චීන පිලට සෙට් වුණා. මොකෝ දැන් චීනේ කියල අමුතුය. කොහොමද ඩෙන් ෂියා ඕ පින් දෙන ගේම. කෙළින්ම ජේ ආර් ගේ මාකට් එකොනොමි එක වගේනේ. විජේවීර මොකක්ද ඒකට කියන්නේ "
"ඒකට මොනවා කියනවද දන්නේ නැහැ. ලංකාවේ විශ්ව විද්‍යාල නම් වහල. අර පිඑම්සී කේස් එකට. මොරටුවේ ඉන්න මගේ යාළුවෙක් ලියල එවල තියනවා අපි වාසනාවන්තයි මෙහෙට ආපු එකට දැන් උන්ට අවුරුද්දක් විතර පන්ති නැහැ. පෙළපාලි යනවා, වැඩිපුරම ඉන්නේ ගෙවල් වල කියල. තත්වේ හෙන අප්සෙට් ලු. ඒ මදිවට ඉන්දියන් කාරයෝ ඇඟිලි ගහලා උතුරේ. අනාතයි ලු බන්. "
"ඔය '71 තුවක්කු කෑලි වලින් පොලිසි වලට ගහපු විප්ලවේදී සෝවියට් දේශය උදව් කළේ සිරිමාටනේ බන්. විජේවීර ගැන අපට කොමියුනිස්ට් පක්ෂ ඉතිහාසය උගන්වන ටීචර් කිව්වේ අර ලෙනින්ගේ පොතේ කෑල්ලක් එක්ක, -අති වාමාංශික ළදරු වලිප්පුව තියෙන උන් කියල"
"ඔව් මුන් කැමති නැහැ දැන් විප්ලව වලට. මුන් නිකරගුවා වලට උදව් කරන්නෙත් ඇමෙරිකන් කාරයා එක්ක තියෙන ඔරොප්පුවට. මටත් හිතෙනවා බන් රටකට ඉස්සෙල්ලම ඔය එංගලන්තේ වගේ ධනවාදී දියුණුවක් එන්න ඕනේ කියල. සමාජවාදී ක්‍රමයක් හරියන්නේ එහෙම දියුණුවක් ආවහම කියල. මුන්ට වෙලා තියෙන්නේ දැන් එතනට ආපහු යන්න බැරි විධිහට දුරක් ඇවිල්ල. එනිසා මේකෙන්ම ගොඩ වෙන්නයි ඕනේ. "
"අඩෝ විජේවීර ලන්ඩන් ගියා නම්, සයිබීරියාවේ රේල් පාර හදන්න යන්නේ නැතිව '71 කීයටවත් වෙන්නේ නැහැ. ඒ කාලේ කොල්ලෝ කවුරුත් ගිහිල්ල නැහැ. නැත්නම් අර 60 ගණන්වල ලන්ඩන් පැත්තේ තිබ්බ නිදහස් වාතාවරණයට අහු වුණා නම් කොහොමද? "
ප්‍රියාන් අදහස් කලේ ස්වින්ගින් සික්ස්ටිස් යනුවෙන් ඉතිහාසඥයන් හඳුන්වන කාලයයි. බීට්ල්ස් සංගීත කණ්ඩායම ප්‍රසිද්ධව සිටි, හිපියන්ගෙන් සහ ලිංගික වශයෙන් මෙන්ම අදහස් අතින්ද නිදහස් තරුණ පරපුරක් එංගලන්තය, ප්‍රංශය , ජර්මනිය ආදී රටවල් සිසාරා පැතිර ගියේය. පැරණ කොන්සර්වටිව් සම්ප්‍රදායන් බිඳ දමමින් ඉදිරියට ආ එම තරුණ රැල්ලට බටහිර සමාජය දෙදරුම් කෑවේය.
"ඔන්න ඕව නවත්තපල්ලා බන්. ලන්ඩන් ගමනට සෙට් වෙමු. තෙන්නේ උඹ සීල් ගහනවා නේද. මගේ අන්තිම විභාගේ ලබන සතියේ ඉවරයි."
සුහද අදහස් කලේ තමොශ්නයා (රේගුව ) පසු කර එනවිට සිසුන් අතේ ඇති ඩොලර්, පවුම් ප්‍රමාණය සටහන් කර දෙන පෝරමය ගැනය. එහි සීල් එක තම්බපු බිත්තරයකට ගෙන එය අලුතින් දැමු මුදල් ගණන් ඇති අලුත් පෝරමයකට ගැහීමට තෙන්නේ දක්ෂයෙකි.
වීසා ගැනීමට මුලින්ම යා යුත්තේ බ්‍රිතාන්‍ය තානාපති කාර්යාලයටය. ඉන්පසු නැගෙනහිර ජර්මනිය, බටහිර ජර්මනිය හා නෙදර්ලන්ත වීසා ගහ ගත යුතුය. සෝවියට් රුසියාව පුරා සිටින සිසුන්වී සා ගැනීමට මොස්කව් පැමිණිය යුතුය. කිව්, ටිබ්ලිසි, දනියෙත්ස්ක්, හර්කෝෆ්, ඔඩෙස්සා, සඵරෝෂි, වොරනේෂ්, අල්මා අටා ආදී සතර කොනින් සිසුන් ඇදී එති. එනිසා මේ දිනවල තානාපති කාර්යාල වල දිග පෝලිම්ය.
විභාග අවසන් වූ පසු උදේ පාන්දරින්ම බ්‍රිතාන්‍ය තානාපති කාර්යාලයේ වීසා පෝලිමට යා යුතුය. එහි සිසුන්ම හදන නම් ලිස්ට් එකක් තිබේ. නම් ලිස්ට් එකට නම් දාගත් පසු කෙසේ හෝ ඇතුලට පැනගත හැකිය. බ්‍රිතාන්‍ය තානාපති කාර්යාලයට ලොකු මුදලක් පෙන්විය යුතුය. සිසුන් කරන්නේ කිහිප දෙනෙකුගේ මුදල් එකතු කර එම ප්‍රමාණය සාදා ගැනීමයි. ඉන්පසු හැමෝම එය වීසා කාර්යාලයට පෙන්වති.
වරක් ඉතා දිග පෝලිමක සිටි එක ලාංකික සිසුවෙකු ජර්මන් තානාපති කාර්යාලය අසලදී සිහි නැතිව වැටුණි. ජර්මානුන් ඔහු වහා ඇතුලට ගෙන ප්‍රතිකාර දී වීසා ද දුන්හ. ඉන්පසු අප්‍රිකානු සිසුන් කිහිප දෙනෙකු එම උපක්‍රමය උත්සාහ කලමුත් හරි ගියේ නැත.
මින් වසර කිහිපයකට කලින් නම් ලාංකිකයන්ට බ්‍රිතාන්‍ය වීසා කලින් ගැනීමට අවශ්‍ය වූයේ නැත. බ්‍රිතාන්‍ය දේශ සීමාවේදී මාස හයකට සියළුම ශ්‍රී ලාංකික, මාල දිවයින්, මොරිෂස් සිසුන්ට වීසා ගසනු ලැබිය. නමුත් 1983 වසරේ සිංහල දෙමළ කෝලාහල වලින් පසු බ්‍රිතාන්‍යයට එන දෙමළ ජාතිකයන්ගෙන් 90% පමණ දේශපාලන අනාතභාවයට අයදුම් කළහ. ඉන්පසු අගමැතිනී තැචර් විසින් එසේ තොටුපලේ වීසා දීම නවත්වන ලදී.
"මුන්ට මේක තේරෙන්නේ නැත්ද බන්. අපි හොර කරනවා කියල" ගිහාන් වරෙක සුහද ගෙන් ඇසීය. එතනම සිටි වැඩිහිටි සිසුවෙකු කිවේ සුද්දන් සිසුන් මෙය කරන බව හොඳින් දන්නා බවය.
"බලපං, උන්ට කොහොමත් සෙනග ඕනේ සමර් (ගිම්හාන කාලය) එකට වැඩ කරන්න. අඩු ගානට පඩි ගෙවල. සුද්දන්ට ජොබ් දෙන්න නම් ගොඩක් ගෙවන්න වෙනවා. ඊට වඩා ලේසියි සුද්දට සහනාධාරයක් දීල අපිටයි, දේශපාලන අනාථ භාවය ඉල්ලන එවුන්ටයි අඩු පඩියට ජොබ් දෙන එක. අපි ගෙවන ටැක්ස් එකත් උන්ට යන්නේ. අනිත් කේස් එක අපි ඒ සල්ලි වියදම් කරලා උන්ගේ බඩුත් අරන් මෙහෙ එනව. එක ගලෙන් කුරුල්ලෝ දෙන්නයි. ඉතින් මොකටද අපි බොරු කරනවද කියල හොයන්නේ"
"රුස්සත් දන්නවා ශිෂ්‍යයෝ මේක කරනවා කියල. උන්ටත් කිසියම් ප්‍රමාණයකට අපි ගේන දේවල් ඕනේ. එනිසා දෙගොල්ලම නොදැක්කා වගේ ඉන්නවා. මට නම් හිතෙන්නේ එහෙමයි." සුහද කීය.
විදේශික නොවන වැසියන් යන රුසියානු දුම්රිය මැදිරියක් (1984-85) |
ගිහාන් සියලුම වීසා සතියක් තුල ගමන් බලපත්‍රයේ ගසාගෙන තාන්යා සමග ගොස් ඇගේ ප්‍රවේශ පත්‍රයද ගත්තේය. තාන්යා සතුව තිබූ ස්වදේශික ගමන් බලපත්‍රයට කැබින් සහිත යුරෝපයට යන දුම්රිය කොටසේ ඉඩ ලැබෙන්නේ නැත. ඇයට බ්‍රෙස්ට් දක්වා යන රුසියානුවන්ගේ මැදිරියක ඉඩ ලැබිණි. මේවා නම් කර ඇත්තේ ප්ලස්කර්ත්නයා යනුවෙනි.
රුසියානු මගී මැදිරියක් (1986 පමණ ) |
මෙහි කැබින් එකක ඇඳන් හතරක් හෝ හයක් ඇති අතර කොරිඩෝරයේ ද ඇඳන් තිබේ. නැත්නම් සීට් දෙකකි. මිනිසුන් බොහෝ ප්‍රමාණයක් ගාල් වී යන නිසා සුඛෝපභෝගී බවින් අඩුය. නමුත් ප්‍රවේශ පත්‍රය ලාභය. තාන්යා ගේ මුහුණ ඇඹුල් වුවද ගිහාන් සමග දවසක් හෝ යන නිසා සතුටු වූවාය.
~ මතු සම්බන්ධයි
සියලු නම් ගම් මනඃකල්පිතය.