Thursday, 18 June 2020

බැබිලෝන් බර්ලින්

ලීසා ප්‍රයිස්
මාස දෙක තුනකට පෙර චමල් අකලංක පොල්වත්තගේ  විසින් හිට්ලර් ගේ නාසිවාදී රජය කරන ලද  මිනී මැරුම් හා යුදෙව් ජනතාව සමුලඝාතනය කිරීම ගැන   අගනා ලිපියක් ලියා තිබුණි. බ්ලොග් ලිපියක් නොවන නිසා එහි යොමුවක් දැමීමට  නොහැකිය. 
ඔහු ඒ ලියූ ලිපියේ කිසියම් වාක්‍යයක් මගේ නිරීක්ෂණයට ලක්වුණි. ඒ මෙයයි.

//ජර්මානු තරුණ තරුණියන් ලක්ෂ ගණනක්ද ම්ලේච්ඡ මිනීමරුවන් බවට පත් විය//
//කලවම් නොවූ ශුද්ධවූ ජාන සංකල්පය අසත්‍යයක් බව ඉගැන්වීමට නිවැරදි ගුරුවරුන් එදා ජර්මනියේ සිටියානම් මේ දෙපාර්ශවයම මේ ඡායාරූප වල නොසිටිනු ඇත.//  
මේ අදහසට  මම කරුණු හතකින් පිළිතුරු දුනිමි.

1. ජර්මනියේ එක් එක් වධ කඳවුරුවල වැඩ කිරීමට සිටියේ  100 කට අඩු සංඛාවකි, මිනීමරුවන් තෝරා ගත්තේ නාසි (ජාතික සමාජවාදී පක්ෂය) පක්ෂයෙනි. පෝලන්තය ආදී රටවල තිබූ කඳවුරු වල  පෝලන්ත, රුමේනියන්, යුක්රේනියන් ජාතිකයන්ද  සේවය කළහ. 

2.නාසි පක්ෂය  ආර්ය තියරිය විශ්වාස කල අතර එවැනි මතයක්   ( සිංහලයන් ආර්යයන් බව ) විශ්වාස කරණ ලක්ෂ ගනනක් ශ්‍රී ලංකාවේ අදත් ජිවත් වෙති.නාසි පක්ෂයේ සාමාජික සංඛාව මිලියන 8 .5 කි. ජර්මනියේ ජනගහනය මිලියන් 70කි. නාසි පක්ෂයේ  සාමාජික සංඛ්‍යාව මුළු ජර්මානු ජනගහනයෙන් 12% කි.

3. ලංකාවේ ජනගහනයෙන් සියට 3 ක  සාමාජිකත්වයක් ඇතැයි  කියන ජනතා විමුක්ති පෙරමුණ දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය හරහා ලංකාවේ  ජාතික සමාජවාදය පිහිටුවන්නට කල කැරලි ගැසීමෙන් ලංකාවේ තරුණ තරුණියන් 60,000ක් පමණ  මිය ගියහ.   රජයේ හා අතුරු හමුදා මගින් ක්‍රියාත්මක කළ  වධ කඳවුරු වල ගෑස් ගැහුවේ නැති වුවත්  ඒවායේ දුන් දරුණු  වධ බන්ධන ඔබ අසා තිබේද? . ඒ වධ දුන්  හමුදා හා පොලිස් නිලධරයන්  එසේ කලේ ඇයි ? ගුරුවරුන් උගන්වූයේ නැති නිසාද? අජිත් පැරකුම් ජයසිංහ ගේ කේ පොයින්ට් පොත හා තවත් එවැනි කැරැල්ල පිළිබඳ පොත් කියවීමෙන් ඒ ගැන දැනගත හැකිය. එසේම ජවිපෙ සාමාජිකයන් අතින්ද බොහෝ අය මිය ගිය අතර ඇතැම් තැන්වල වධ දී තිබුණි. 

4. බොහෝ ජර්මානුන් නාසි ව්‍යාපාරයට  බැඳුනේ ඔවුන්ට කළ තර්ජනය නිසාය. ගුරුවරුන් එය ඉගැන්වූයේ නැතිනම් ඔවුන්ට අනිත් විෂයයන් උගැන්වීමට ඇති බලපත්‍රය අහිමි වේ. ඔවුන්ට සිදුවන්නේ බඩගින්නේ මිය යාමටය. බොහෝ මිනිසුන් මේ අවස්ථාවේ රැකියාව තෝරා ගනී. ජර්මනුන් කලේද  එයමය. 

5. හිට්ලර් බලයට පැමිණියේ ජාතික සමාජවාදය කරපින්නාගෙන වුවත් ඔහු පැමිණියේ දේශපාලන කුමන්ත්‍රණයක්  හරහාය .

6.ජර්මන්  සොල්දාදුවන් ගෙන් වැඩි හරියක්  සටන් කලේ රැකියාව පිණිසය. ඔවුන් පිටුපස එස් එස්  හමුදාවේ දඩ බල්ලන් සිටියහ. SS යනු හමුදාවක්ඇතුලත තිබු හමුදාවකි. (කේජිබි හමුදාංක වැනි).

7. මා දැනගත් පරිදි බොහෝ ජර්මනුන්   තමන්ගේ නායකයා යුදෙව් ජනතාවට  කළ අපරාධය දැන  ගත්තේ යුද්ධයෙන්  පසුවය. නගරවල සිටි අය යුදෙව්වන් ගෙන යන්නේ කම්හල් වල වැඩ කිරීමට බවට රජයෙන් කල නිවේදන පිලි ගත්හ. 

ස්ටාලින් ගේ කාලයේ සෝවියට් දේශයේ රාජ්‍ය විරෝධීන් ලෙස නම් කල අය ගේ පැහැරගැනීම් මෙන්ම මේ පැහැර  ගැනීම් කලේ ද රාත්‍රියේය. ජර්මානුවෙක්  එලියට පැමිණියොත් ඔවුන්ට එතනම  වෙඩි තබන ලදී.  අසූ අට අසූ නමය කාලයේ ලංකාවේ අතුරු හමුදා වලින් පැහැර ගෙන යන අය බේරන්නට කවුරුවත් එලියට පැමිණියේද ? දේජව සාමාජිකයන් පැමිණ එලියට අඬ ගසද්දී අහල පහල අය බේරන්නට අදාළ තැනැත්තා ගියාද ? නැත්නම් ලයිට් නිවා දමා නිහඬව සිටියාද ? ජර්මනුන් කළේද එයමය.

මේ ප්‍රතිචාරයට ප්‍රතිචාරයක් එක් කරන තවත්  මහත්මයෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරක් දීම මේ ලිපියේ අරමුණයි. මෙහි අංක පහට මා ලියුවේ හිට්ලර් බලයට පැමිණියේ දේශපාලන කුමන්ත්‍රණයක් හරහාය යන්නය. හිට්ලර් ගේ පක්ෂය 1933 මැතිවරණයෙන් ජයග්‍රහණය කළ බව ඇත්තය. නමුත් නාසි පක්ෂය බලයට පැමිණීමට පාර කපා ගත්තේ එම මැතිවරණයෙන් නොවේ. හිට්ලර් ඒ වනවිටත් ජර්මනියේ චාන්සලර් වරයාය.  එම මැතිවරණය පවත්වන්නේ ජර්මන් පාර්ලිමේන්තුව රයිෂ්ටාග්  ගිනිගෙන  දැවී ගොස් නාසි ස්ටෝම්ට්රූපර් හෙවත් නාසි භටයන් මුළු රට පුරා  භිෂණය දියත් කර තිබියදීය. එම භිෂණය දියත් කරන ලද්දේ ජර්මන් කොමියුනිස්ට් පක්ෂය, වාමාංශිකයන්, වෘත්තීය සමිති ක්‍රියාධරයන් , සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පාක්ෂිකයන් සහ මධ්‍යස්ත පක්ෂ (Centre party ) සාමාජිකයන්ට එරෙහිවය. 

මේ භිෂණය දුඹුරු කමිස කාරයන් (brown shirts ) සහ එස් එස් භටයන් විසින් දියත් කරන ලද්දේ නාසි සංවිධාන මැතිවරණ නිරීක්ෂයන් බවට පත් කරගෙනය. එසේම තාවකාලික රජයේ තාවකාලික අභ්‍යන්තර කටයුතු පිළිබඳ  ආමති වරයා වූ  හර්මන් ගෝරින්ග් පෘසියාවේ  පනස්දහසකට  අධික  නාසි එස් එස් සාමාජිකයන් සහ ප්‍රහාරක කණ්ඩායම් මැතිවරණ කටයුතු සඳහා යෙදෙව්වේය. එසේ තිබියදීත් නාසින්ට ලැබුනේ 43.9%  පමණ චන්ද සංඛ්‍යාවකි. 
ඔවුන් ජර්මන්  පාර්ලිමේන්තුවේ බලය අල්ලා ගත්තේ කුඩා පක්ෂයක සහයෝගයෙනි.

හිට්ලර් චාන්සලර් වරයා වුයේ ඉන් වසර දෙකකට පමණ ප්‍රථම එවැනිම වූ ගිවිසුමකිනි. චන්දයකින් දිනා නොවේ. ඔහුට එතනට ඒමට පාර කැපුනේ ප්‍රථම ලෝක යුද්ධයෙන් පසුව රාජාණ්ඩුවාදීන් ජර්මන් සමාජ ප්‍රජතන්ත්‍රවාදී රජයට   එරෙහිව හොර රහසේ රජෙක් ගෙන ඒමට තැත් කිරීමෙනි.

1932 ජනාධිපතිවරයෙන් ජනාධිපති හින්ඩෙන්බර්ග් ට 53% ඡන්ද ප්‍රමාණයක් ලැබුණු අතර හිට්ලර් ට ලැබුනේ 36.8% කි. එම වසරේම  ජුලි මාසයේ මැතිවරණයෙන් නාසීන් පාර්ලිමේන්තුවේ විශාලතම පක්ෂය වුනද බලය ලැබුනේ නැත. නොවැම්බරයේ මැතිවරණයෙන්  නාසීන් ට තවත් ආසන 34 අහිමි විය. මේ වනවිට  නාසීන් වෙනත් පක්ෂ වලට රිංගමින් කලබල ඇති කරමින් තිබුණි. මාධ්‍යවේදීන් අතුරුදහන් වන්නට හෝ හදිසි අනතුරු වලින් මිය යන්නට විය. සමාජ  ප්‍රජාතන්ත්‍රවාදී   දේශපාලනඥයන්ට එම ඉරණමම අත්විය. සමහරුන්ට මහා දවාලේ බෝම්බ ගසන ලදී.  යුදෙව්වන් ජර්මනියේ සියලුම ආර්ථික ප්‍රශ්න  වලට හේතුව යයි හුවා  දැක්වුණි. 

මේ සියල්ල හොඳින් පහදන රූපවාහිනී නාට්‍ය දාමයක්  බැබිලෝන් බර්ලින් නමින් 2017 දී තිරගත විය. එහි දෙවන කතා මාලාව පසුගියදා අවසන් විය.

වෙයිමාර් සමුහාණ්ඩුව (weimar republic ) යනු ප්‍රථම ලෝක යුද්ධය අවසන් වූ පසු පැවති ජර්මන් රාජ්‍යයයි. ජර්මන් රජු කයිසර් විල්හෙල්ම් රජකමින් ඉවත් කිරීමෙන් පසු ජනාධිපති පදවියක් හා අගමැති පදවියට සමාන චාන්සලර් පදවියක් ඇති කෙරුණි. 

මේ කාලයේ ජර්මනියේ ඉමහත් සංස්කෘතික ප්‍රබෝධයක් පැන  නැගුනු අතර ආර්ථිකයද මදින් මද දියුණු වන්නට විය. ජර්මනිය ළඳරු  සෝවියට් දේශය සමගද තානාපති සබඳතා ඇති කරගත් අතර යුරෝපයේ අනිත් රටවල් සමග ද සුහද සම්බන්ධයක් පවත්වා ගති. ප්‍රංශය මේ අතරින් ප්‍රධානතම  රටක් විය.  ජනතාව  නැවතත්  නාට්‍ය ශාලා සහ සංගීතය සහ විනෝදය සපයන සමාජ ශාලා වලට එක් රොක් වන්නට විය. කැබරේ සහ ජෑස් සංගීතය වේගයෙන් පැතිරුණු අතර ජර්මන් එරෝටිකා සම්ප්‍රදාය පැන  නැගුනේද මේ කාලයේය. එසේම වඩා  විසිතුරු  හා ගෘහ නිර්මාණ ශිල්පයෙන් උසස් ගොඩ නැගිලි ද රට පුරා නිර්මාණය වන්නට විය.

මේ අතර දිළිඳු බවට පත් ජනතාවක් නගර ආශ්‍රිතව ජිවත් වූ බවද කම්හල් වල අඩු පඩියට  කම්කරුවන් ගොනු වෙමින් සිටි බව අමතක නොකළ ප්‍රබල ජර්මන් කොමියුනිස්ට් පක්ෂයක්ද විය.

බැබිලෝන් බර්ලින් යනු රහස්  පරීක්ෂක කතාවකි. කතාව දිව යන්නේ  රුසියාවේ දී ට්සාර් සතුව තිබු රත්රන් වලින් පිරුණු දුම්රිය පෙට්ටියක් හොර රහසේ බර්ලිනයට පැමිණීමේ සිද්ධියක් වටාය . ස්ටාලින් විසින් එවන ලද සෝවියට් රහස් ඔත්තු කරුවන් ට්‍රොට්ස්කිවාදී න් සමුහයක් මරා  දමා ඔවුන් පළකළ පුවත්පතක්ද විනාශ කරන්නේ කතාවේ   මුල් හරියේය.

වඩාත් වැදගත් වන්නේ නාසීන් විසින් කොමියුනිස්ට් පක්ෂය තුලට රිංගවන  ලද සාමාජිකයන් කරන මිනි මැරුම් වලින් රට අස්ථාවර කිරීමේ ජවනිකාය. . එසේම රට අස්ථාවර කරන්නට කටයුතු කරන ඔවුන් රජෙක් ගෙන්වීමේ සටනේ යෙදී සිටින හමුදා ජෙනරාල් වරුන්ටද උදව් කරයි.

නාසීන් බලයට එන දේශපාලන කුමන්ත්‍රණය ක්‍රියාත්මක වන්නේ එසේය.

බැබිලෝන්  බර්ලින් ඉතා පහසුවෙන් මේ ඉතිහාසය තම කතාවට  ඇතුලත් කර  ගනී.
 එහි අති සාර්ථක රංගනයක්  ඉදිරිපත් කල ලීසා ප්‍රයිස් (චාලට් රිටර් )  අද ප්‍රධාන පෙලේ නිළියකි.
.



Tuesday, 9 June 2020

'ස ' ගේ ආණ්ඩුවට ජය වේවා , ට්‍රම්පච්චිට ජය වේවා

පුදුම සතුටක් දැනුනේ අම්මප. 'ස' ගේ ආණ්ඩුව ට්‍රම්ප් ගේ ඇමරිකාවට ආදරෙයි . යකෝ මම හිතුවෙම අර ජාතියක් ජම්මයක් නැති යහපාලන උන් විතරයි ඇමරිකාවට ආදරේ කියල. 

වීරවංශ මාත්තිය කෑ ගහනකොට මම බයම වුනා ඇමෙරිකන් විරෝධී ධී, අධිරාජ්‍ය විරෝධී ආණ්ඩුවක් ඇවිල්ලා ලංකාවට කෙලවෙයි කියල. දන්නවනේ ඉතින් ඇමෙරිකාව තරහ කොර ගත්තොත් වෙන දේ. බලන කොට එහෙම නෑ . 'ස' ගේ ආණ්ඩුවත් ඇමෙරිකාවට ආදරෙයි. අර වීරවංස මාත්තියට වැරදිලාද කොහෙද? 

මේ සමාජවාදී පෙරේට්ටන්ට පිස්සුද මන්ද ගෝසා කරන්න. අර කොහෙවත් යන කල්ලෙක් වෙනුවෙන් කෑ ගහන්න.දැන් ඕකෙන් කොරෝනත් හදා ගන්නවා. තොණ්ඩමන් තුමා වගේ ජාති හිතෛෂියෙක් ගෙ මළ ගෙයක් නම් ඔන්න කමක් නැහැ, කියත හැකි, දුරින් දුර අඩි තියල යන එක විතරනේ. 

අනික අර තානාපති කාර්යාලේ ඇත්තිටත් නිරෝධායනේ නැතිව යන්න දුන්නනේ . කොච්චර දෙයක්ද?

 හප්පේ, යන්තන් සැනසුම් සුසුමක් හෙලත හැකි  දැන්. සිංදුවකුත් මතක් වුනා.😀

සැනසුම් සුසුමන් පාවීලා
ට්‍රම්පිගෙන් අපෙ රට බේරලා

-තණමල්විල පිස්සෙක්

Sunday, 31 May 2020

ශ්‍රී ලංකාවේ නොව එංගලන්තයේ ශ්‍රී ලාංකිකයන් මිය යන්නේ ඇයි -විටමින් D ප්‍රශ්නය



මේ ලිපිය ලිවීමට අදහස දුන්නේ මා සමග නිතරම කෝවිඩ්  19 පැතිරීම පිලිබඳ සාකච්ඡා කරන මිතුරෙකි.  ඒ අපි විටමින් D කොරෝනාව නවත්වන්නේ කෙසේද යන්න ගැන කතා කළ බැවිනි. මේ අදහස 
  ලිවීමට මත්තෙන්  මගේ පියා ගැන යමක් ලිවිය යුතු යයි සිතමි. 

අද දිනට ඔහු අප අතහැර ගොස් හරියටම වසර විසි දෙකකි. ඔහු අපෙන් වෙන්වීම ගැන කවියක් හෝ ගීතයක්  ලියා සැමරීම  මගේ ද සිරිතකි. ඉන් කිසියම් සහනයක් සිතට ලැබෙන්නේ යයි සිතමි. මට අද  සිතුනේ ඔහු ගේ අසනීපයට හේතුව ලිවීම  වඩා වැදගත් කියාය. කිසිදා නොබිව් අයෙකු වූ ඔහු මියගියේ බහුලව මත්පැන් බොන අයට වැළඳෙන සිරෝසිස් නමැති රෝගයෙන් සිරුරේ ප්‍රතිශක්තිය දුබලව සිටියදී , සෙම් ප්‍රතිශ්‍යාවෙන් නිවුමෝනියාට හැරුණු  රෝගියෙකු රෝහලේ ඊළඟ ඇඳට දැමීම නිසා එම රෝගය වැළඳීමෙනි. බොහෝ වෛද්‍යවරුන් ඔහු බීමත් කම නිසා  නිසා සිරෝසිස් සැදුනා යයි සිතුවත් පසුව ඔහුට තිබුනේ හිමොක්රෝමොටසිස්   (hemochromatosis) නමැති රෝගය බව  හඳුනා ගත්හ.

මෙම රෝගය පාරම්පරිකව ජාන විකෘතියක් මගින් සෑදෙන බවට කියුවත් සැබෑව සම්බන්ධවන්නේ පරිණාමවාදයටය.  අයන් හෙවත් යකඩ සිරුරේ වැඩිවීමෙන් ඒවා අක්මාව ඇතුළු වෙනත් ඉන්ද්‍රියයන් වල තැන්පත් වීමෙන් එම ඉන්ද්‍රියන් අක්‍රිය වී තරුණ කාලයේම හෘදයාබාදයක් වැනි ලෙඩකින් මියයෑමට මෙම රෝගය හේතු විය හැකිය. සිරුරේ වැඩිපුර යකඩ අවශෝෂණය කරගන්නේ ඇයි? අපට අවශ්‍ය ශක්තිය නිපදවීමට ආහාර සෛල තුල දහනය  වන බවත්  ඒ සඳහා ඔක්සිජන් අවශ්‍ය බවත් දහවෙනි ශ්‍රේණියේ සිට ඔබ දන්නවා ඇත .(respiration) මෙහිදී ඔක්සිජන් කාබන්ඩයොක්සයිඩ් වලට පරිවර්තනය  කෙරේ, මේ ඔක්සිජන් ගෙන යන්නේ රුධිරයේ රතු රුධිරානු වල ඇති හිමොග්ලොබින් වලින් බවද අපට උගන්වා තිබේ. මේ හිමොග්ලොබින් (hemoglobin mass (Hbmass))  නිපදවීමට යකඩ අවශ්‍යය.  


දැන් ටිබෙටය හෝ වෙනත් එවැනි කඳුකරයක ජිවත්වන කෙනෙකු ගැන සිතන්න. ඔවුන්ට වාතාශ්‍රයේ ඔක්සිජන් මද කම නිසා වඩා වැඩි ඔක්සිජන් ප්‍රමාණයක් සිරුර තුලට ආශ්වාස කිරීමට සිදුවේ.   එසේම එම වැඩි ඔක්සිජන් ප්‍රමාණය සෛල වලට ගෙනා යා යුතුවේ.  සොබා දහම පිලිතුරු දුන්නේ සිරුරට වැඩි අයන් ප්‍රමාණයක් අවශෝෂනය කර ගැනීමට ජානයක්  විකෘති කර දීමෙනි. මෙය වරදක් නෙමේ. සොබා දහම හැසිරෙන්නේ එලෙසය. 

දැන් මෙවැනි ජානයක් ඇති  තැනැත්තෙකු තම ජිවිතයේ පශ්චිත සමයේ වැඩි කාලය මුහුද අසබඩ හොඳින් වාතාශ්‍රය තිබෙන  තැනක ජිවත් වෙනවා යයි සිතන්න. අර අවශෝෂණය කර ගන්නා වැඩිපුර අයන් (යකඩ ප්‍රමාණ අනවශ්‍ය නිසා රුධිරය එම අයන් (residue ) ශරීරයේ නොයෙක් තැන්වල  ගබඩා කිරීමට තැත්  කරයි. නොබීවත් අක්මාවේ යකඩ තැන්පත්වී  සිරෝසිස් හැදෙන්නේ එහමය.

දැන් ශ්‍රී ලාංකිකයන්  27 ක් එංගලන්තයේ මියගොස් නමයක් පමණක් ලංකාවේ මිය ගියේ කෙසේද? බ්‍රිතාන්‍යයේ ආසියාතිකයන් වැඩි හරියක් මිය යන්නේ ඇයි ?

මීට  වසර දෙක තුනකට පමණ පෙර මට නිතරම වාගේ  සෙම් ප්‍රතිශ්‍යාව සෑදීම හා වෙනත් සුළු අමාරු තිබුණි. ශ්‍රී ලංකාවේ උපන් බ්‍රිතාන්‍ය ද්‍රවිඩ ජාතික අපේ  වෛද්‍යයවරයා වන ස්ටනිස්ලාවුස් මහතා   මට විටමින් ඩී  (vitamin D3) විශාල ප්‍රමාණයක් ගන්නට නියම කළේය. ඒ මගේ ප්‍රතිශක්තිය වැඩි කිරීමටය. ඔහු එය මට කරුණාවෙන් පැහැදිලි කර දුන්නේය.  (එසේම අවුරුදු දෙකකට වරක් ඔහු මගේ සිරුරේ අයන් ප්‍රමාණයද  පරික්ෂාවට ලක්කර එහි අගය වැඩිවී ඇත්දැයි සොයයි.)

විටමින් ඩී වලින් සිරුරේ ප්‍රතිශක්තිය වැඩි කිරීමේ ලා ඉමහත් කාර්යභාරයක් කරන බව ඔබට ඔබේ වෛද්‍යවරයාගෙන් දැනගත හැකිය. නැත්නම් ඒ පිළිබඳ අන්තර්ජාලයෙන් සොයා ගත හැකිය. මහාචාර්ය නිකොලා ලොව් ඇතුළු පිරිස 2017 දී ලියු මේ ලිපියේ බ්‍රිතාන්‍යයේ ආසියාතිකයන් ගේ  විටමින් D මදකමත් එනිසා ඔවුන්  ඉතා ඉක්මනින් රෝග වලට ගොදුරු වන ආකාරයත් ගැන පර්යේෂණයක් ගැන   විස්තර කර තිබේ.

අපේ ඇසේ කෝනියා  (cornea ) නම්ඉදිරි කොටසේ  එපිතෙලියම් ( corneal epithelium) නමැති පටකයක්  (tissue ) තිබේ. මේ කොටසට  (ඇසෙන් ) හිරුගේ අල්ට්‍රාවයලට් රශ්මි කදම්බයන්ගෙන් (UV -B ) විටමින් D3 සංශ්ලේෂණය කිරීමට හැකිය.  ශීත  කාලයේදී සිරුර වහගෙන  සිටින නිසා හිරුගෙන් ලැබෙන දුබල  රශ්මියෙන්  විටමිනය වැඩිපුර නිපදවෙන්නේ  ඇස මාර්ගයෙනි. එනිසා කොකේසියානු හා සුදු මිනිසුන්ගේ ඇස් ඒ  සඳහා පරිණාමය වී ඇත. (අර යකඩ ප්‍රශ්නයේදී මෙන් ) .

සමකය අසල ජීවත්වෙන ශ්‍රී ලාංකිකයන් ඇතුළු ආසියාතිකයන් ගේ  ඇස මගින් විටමින් D නිපදවීම අඩුය. ඒ එම රටවල අවුරුද්ද පුරා  හිරු රැස්  ඇති අතර ඒවායේ මිනිසුන් ට ලෝගු ඇඳගෙන සිටීමට අවශ්‍ය නැති නිසාය. එසේම සමේ මෙලනින් ප්‍රමාණය වැඩි නම් විටමින් D සන්ශ්ලේෂණයට හිරු රැස් උකහා ගැනීමද අඩු විය හැකිය. 

දැන් සුද්දන් එංගලන්තයේ යන්තම් හිරු පොදක් වැටෙන විට පාක් වලට, මුහුදු වෙරළට  දුවන්නේ ඇයිද කියා ඔබට වැටහිය යුතුය.  සෝවියට් කෙල්ලන් හා කාන්තාවන් යන්තම්  මැයි මාසයේදී හිරු එළිය හොඳින් වැටෙන්නට එන කාලයේ උඩ ඇඳුම ගලවා  බිකිනි පිටින් බැල්කනි වල සිටින්නේ ඇයිද යන්න ඔබට දැන් වැටහිය යුතුය. එසේම ජර්මනිය , ස්විඩනය  වැඩි වශයෙන්ද සෝවියට් දේශයේ අඩුවෙන් හෝ හොරෙන් හෝ නිත්‍යානුකුලව  නිරුවතින් , බිකිනි ඇඳ  හිරු රැස්  ස්නානයට යන්නේ ඇයිද යන්න වැටහිය යුතුය. ඒ නිරුවත පෙන්වීමට නොව ඊළඟ ශීත සමයට  පෙර ප්‍රතිශක්තිය වඩවා ගැනීමටය. (දැන් ඉන්න ගැහැනුන් දුඹුරු පාට වීමට)

මගේ දියණියද අවුරුද්දකට කලින් විටමින් D සප්ල්මන්ට් එකක් ගත්තේ ස්ටනිස්ලාවූ මහතා නියම කිරීමෙනි. මේ කොවිඩ් 19 උවදුර පටන් ගත් වහාම මම අනිකුත් විටමින් වර්ග කෙසේ වෙතත් විටමින් D3 සප්ල්මන්ට් එකක් දිනපතා ගත්තෙමි. (අනිකුත් ඒවාද ගත්තෙමි) මේ ගැන කිසිවෙකුට නොකීවේ බොහෝ අය මේ ගැන දන්නේ යයි සිතාය.

 එහෙත් මගේ යහළු චන්දිම ධීරසේකර පැවසුවේ ඔහුට ශ්‍රී ලංකාවේ මිතුරු වෛද්‍යවරයෙකු පෙරේදා පවසන තුරුම ඔහු එය නොදැන සිටි බවයි. ඇස ගැන වැඩිපුර දැන නොසිටියත් අපටත් එංගලන්තයේදී මෙම විටමිනය අවශ්‍ය බව වෛද්‍ය උපදෙසින් සෝවියට් දේශයේදීම මම දැන  සිටියෙමි. ආක්ටික් පෙදෙසේ ජිවත්වන මිනිසුන්ට සෝවියට් රජය විටමින් D දී තිබුණි . ඒ සම්ප්‍රදායික ආහාර නොගන්න රුසියානුවන්ටය . සම්ප්‍රදායික ආහාර ගන්නා  අයට එම ප්‍රශ්නය තිබුනේ නැත.

එනිසා විටමින් D ඇතුළු විටමින්  ගැනීම සෙම් ප්‍රතිශ්‍යාව වැනි රෝග වැළැක්වීමට  හොඳ විය හැකි අතර කෝවිඩ් 19 සැදීමට කලින් ප්‍රතිශක්තිය වඩවා ගැනීමේදී හොඳ විය හැකිය.

එනිසා මගේ අදහස නම් මේ විටමින් D ඌනතාවය නිසා ප්‍රතිශක්තිය අඩු වීමද මරණ වලට හේතුවක් විය හැකි බවයි.

(මට මේ ගැන කෙළින්ම කීමට නොහැක්කේ මා වෛද්‍යවරයෙකු නොවන බැවිනි )

මූලාශ්‍ර :






Sunday, 24 May 2020

රන් කෙන්දෙන් - මනස් පුතුන් සමග සටනක්

පසුගිය සැප්තැම්බරයේ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ පැවති පොත් ප්‍රදර්ශනයේදී  තවත් ග්‍රන්ථ කතුවරයකු මට  මුණ ගැසුණි. ඔහු පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ කථිකාචාර්ය වරයකු වන මහින්ද රත්නායකය. ඔහු ලිවූ ග්‍රන්ථයන් දෙකක් මම එතනදීම මිලදී ගතිමි. ඉන් එක පොතක් "රන් කෙන්දෙන්" නම් වෙයි.

පොත කියවන විට මුලදී මට එය මදක් නීරස විය.මා එය දුටුවේ  සුනිමල් නැමැත්තෙකු වෙනත් පවුලක් ගැන කරන හොඳ හා නරක සුනිමල් තමන්ගේ  පැත්තෙන් බලා කරන විවේචනයක් ලෙසය. එනම් සදාචාරය ගැන කරන ජනනායක වර්ගයේ  බණ දේශනාවක් ලෙසය. එහෙත් කුමක් දෝ හේතුවකට මම එය පසු ගිය දෙසැම්බරයේ කළ කාම්බෝජයේ සංචාරය  අතරතුර කියවීමට ගමන් බෑගයේ බහා ගතිමි.  මුලදී ගුවන් යානයේදී කොටසක් කියවා ඉතිරිය අවසන් කළේ ප්නොම්පෙන් නගරයේ දීය.

පොතේ අවසානය සමග මගේ මුල් තීරණය වැරදි බව පසක් විය. මා කැමති එවැනි පොත් වලටය. මගේ අදහස වෙනස් කරන , මට පොත ගැන සිතීමට  බල කරන ලියවිල්ලකටය.

මුලින්ම ඩැරියන් ලීඩර් විසින් ගාඩියන් පුවත්පතට ලියන ලද ෆ්‍රොයිඩ් ගේ මනෝ විශ්ලේෂණය පිලිබඳ "මහා නොදත් බව - The great unknown " නමැති ලිපිය කෙරෙහි අවධානය යොමු කලෙමි.

"අප ජිවිතය හසුරුවන රැහැන් අත තබාගෙන සිටින්නේ යයි සිතුවත්  අප එකම වරද දෙතුන් වර කරන්නෙමු. සමහරවිට අප  තෝරා ගන්නා රැකියාව අප කැමති එක නොවේ. අප යහළුවන් සමග සබඳතා බිඳ ගන්නෙමු, ආදරණියයන්ගෙන් අහේතුකව වෙන්වන්නෙමු. සමහර විට භයානක හීනයක් ලෙසට අපටම පෙනෙන  ජිවිතය අප විසින්  නොව වෙනත් බලවේග  වලින් හසුරුවන බවක්  හදිසියේ වැටහෙනු ඇත.    මේ අනුව ඩැරියන් පවසන ලෙසට ෆ්‍රොයිඩ් විශ්වාස කලේ අවිඥාණක මනස මගින් දේවල් මෙහෙයවන බවය."  එසේම  ප්‍රතිවිරෝධී සිතිවිලි වලින් මනසේ පීඩනයක් ඇති කරන අතරතුර ශාරීරික බලපෑමක්ද කරයි.

 අපට අප මුහුණ පාන දේවල්හි හි හේතුඵලය සෙවීම අපට ෆ්‍රොයිඩ් පවසයි. ෆ්‍රොයිඩ් ට අනුව අප සමහර විට යමෙකුට ආදරය කරන්නේ ඔහු හෝ ඇයගේ හොඳ ගතිගුණයකට කියා යයි සිතුවත් සමහරවිට ඒ මව හෝ පියා සම්බන්ධ හැසිරීමක් අපේ අවිඥාන යේ සටහන්ව ඇති නිසා විය හැකිය. අවිඥාණක මනස විසින් බොහෝ විට තමාගේ  ළඟම අයට ලිංගිකතත්වය සහ ප්‍රචණ්ඩත්වය එල්ල කරනු ඇත.

 ඩැරියන් ට අනුව මනෝ විශ්ලේෂණය මේ නිසාම අමුතු සංවාදයක් වී ඇත. මනෝ විශ්ලේෂණය ඔබගේ ප්‍රශ්නය සුව නොකරයි. එය ඔබගේ අවිඥානය නැමති දුම්රියට ප්‍රවේශ පතක් පමණි.

 අපි කාර්ල් යුංග් පවසන්නේ කුමක්දැයි බලමු. ඔහු මුලදී ෆ්‍රොයිඩ් ගේ අවිඥාණය පිළිබඳ  අදහසට එකඟ වුනි. නමුත් ඔහු පසුව ෆ්‍රොයිඩ් ගේ ඊඩිපස් සංකීරණය සහ ළඳරු ලිංගිකත්වය (infantile sexuality) පිලිබඳ  අදහස් වලට එරෙහි වුනි. ඔහු කෙනකුගේ අතීතය සහ ළමා කාලයේ හැසිරීම අනාගතයට බලපාන බවට විශ්වාස කලත් ඔහු අපගේ අනාගත බලාපොරොත්තුද අනාගතය තීරණය කරන බව පැවසීය.
 එසේම සිද්ධීන් වෙන වෙනම සාකච්ඡා කරනවාට වඩා ඒවා සාමූහික අවිඥාණය, පෞරුෂත්වයේ උප අංශ වලට වර්ධනය වීමක් බව පවසන යුන්ග් ඒවා පාරම්පරික මතකයන් හා ඡායාවන් හි නිදර්ශනයන් (archetypes) බවත් පවසයි.

යුන්ග් විශ්වීය නිදර්ශන කිහිපයක් දක්වන  අතර ඔහු පවසන්නේ අපට කිසිදා ඒවා සම්පුර්ණයෙන්ම උකහා ගත නොහැකි බවය. එනිසා ඔහු ජන කතා, මිත්‍යා ප්‍රබන්ධ, ආගම , සිහින හැදෑරීම උනන්දු කළ අතර ඔහුගේ සායනය  ආත්ම අවබෝධය පිලිබඳ ක්‍රියාවලියක් විය.

 ලැකාන් ගේ සමය වනවිට මනෝ විශ්ලේෂණය  ජනප්‍රිය සංස්කෘතියේ අංගයක් විය.  ලැකාන් අවධාරණය කලේ සංකේත පමණක් නොව ඒවායේ වියුක්තය ද වැදගත් බවයි. ඒ අනුව ඉහත කී යුන්ගේ විශ්වීය නිදර්ශනයන් ගේ වියුක්ත භාවය විසින් මානවයාගේ මැදිහත්වීම, නිර්මාණශිලිත්වය හා නියුරෝසියාව උත්පාදනය කරන බවයි.

සුනිමල් පිළීකා රෝගය වැළඳී ඇති බිරිඳගේ සියලු කුදු  මහත් කටයුතු ඉටු කරන ආදර්ශවත් සැමියෙකි. "ගුඩ් මෝනින් තාත්තා" කියාගෙන නිවසට එන ආදර්ශවත් දියණියක ගේ පියෙකි. එසේ නැත්නම් රත්නායක  අපට ඒ ලෙසට ඒත්තු ගන්වයි.

සුනිමල් කරන්නේ පර්යේෂණයකි. ඒ ඔහු හදා වඩාගත් දරුවෙකු ගැන විය හැකිය.
සුනිමල් ගේ සහයට සිටින්නේ  ඩැනී සෝමසිරිය. වත්ත පිටියේ වැඩට අමතරව සුනිමල්ගේ ඊනියා පර්යේෂණයේ මූලික දත්ත සොයන්නෙක් වන්නේද සෝමසිරිය. ප්‍රථම පුරුෂයෙන් ඇරඹෙන කතාව ඉන්පසු සුනිමල් ගැන කරන කතාවකට  හැරෙන්නේ දෙවන පරිච්ඡේදයේ මියගිය ධනුක හෙවත් පර්යේෂණ වස්තුව සුනිමල් සමග සංවාදයකට එළඹීමෙනි. කතාව පැහැදිලි වන්නේ මේ පරිඡේදය පසු කල විටය.

"උදේ ඉඳන් රෑට රෑ වෙනකල් ගිරිය පුප්පගන කෑ ගාන තාත්තෙග්ගෙයි කටකම සෙයියාවක් නැතිව පීකරේ ගස් බැඳගෙන ඕපාදුප කියා කියා ගම  වටේ ඇවිදින කට හැකර අම්මෙග්ගෙයි දරුවෙක්ට හොඳ ජන්මයක් තියෙන්ඩ බෑ. ඒත් ඒකටත් වඩා පුරුද්ද ලොකුයි"

මේ ඡේදයත් සමග රත්නායක විසින්  සුනිමල් පටලවන්නේ කොතනටද යන්න පැහැදිලි වන්නට පටන් ගනියි. දැන් අපට ඇත්තේ සුනිමල් විසින් වෙනත්  කෙනෙකු විශ්ලේෂණය කරතිද හෝ  අප (පාඨකයා ) විසින් සුනිමල් ව විශ්ලේෂණය කරනවාද යන පැනයයි.

"ඇත්තටම ඔය හැමදේටම වඩා පුරුද්ද තම වැදගත් ඔය ළමය හරියට නිස්කලංක පරිසරයක තියන වැදගත් විධිහට හැදුව නම් ළමය අනාගතේ අපුරු තරුණියක් " සුනිමල් ගේ පුරුෂමූලික සමාජයේ වැදගත් විධිහට හදන ගැහැණු ළමයෙකු පිලිබඳ සදාචාර විග්‍රහය ආරම්භ වන්නේ මෙතැනිනි.

සුනිමල් ගේ ආදරණිය ලොකු අම්මාද කතාවේ වැදගත් චරිතයකි. ඇය ඉතා කරුණාවන්තය. සුනිමල් ඇයට දණ ගසා වඳින්නේ වැඩිහිටියන්ට ගරු සරු කිරීමේ ආදීනව පහදා  දීමටත්ය. ඇය ඔහුට රත්නත්තරේ පිහිට ආරස්සාව පතන්නීය.

කතාව මුලදී සුන්දර ලොකු අම්මා  කතාව අගදී රූපාන්තරණය වන්නේ අමූලික බොරු කියන බුදු වදනේ පරිදි නොහැසිරී කේළාම් කියන ගැමි ගැහැණියක ලෙසටය.

පුෂ්පජිත් නිරෝෂන් ජයසිංහ විසින් "පරපෝෂිතයා " චිත්‍රපටය ගැන කරන ලද විචාරයේදී ආශාවේ වස්තුව  "object a " බවට පත්වන්නේ ගන්ධය  බව නිවැරදිව  හඳුනා ගනී. 

// ලැකානියානු මනෝවිශ්ලේෂණයට අනුව ‘objet a’ යනු නො පැමිණි යමකි. එය සැමවිට ම නැති වී ඇති දෙයකි, හිඩැසකි. නමුත් එහි විශේෂත්වය වන්නේ හඹායාමට උනන්දුවක් ඇති කරවන යමක් ලෙස ද එය අභිමුඛවීම ය. එම අභිමුඛවීම නිරූපණය කිරීම සඳහා සිනමාව තුළ එය මූර්තිමත් කරවන ආකෘතියක් එයට අවශ්‍ය ය. එය බැලූ බැල්මට එක්වර ම තමා තුළ මෙන් ම අනෙකා තුළ පවතින යමක් ලෙස ද තවත් විටෙක දෙදෙනාට ම අයත් නො වන යමක් ලෙස ද පැවතිය හැක. ‘Parasite’ චිත්‍රපටය තුළ ගන්ධය ‘objet a’ බවට පත් වන්නේ ඒ ආකාරයට ය. මෙම චිත්‍රපටයේ පාක් පවුල හා කිම් පවුල අතර සම්බන්ධතාවයට පාදක වන්නේ එම සාධකය ය. පවුල් දෙක තුළ ආශාව පිරුණු උණුසුම් මිනිස් සම්බන්ධතා වෙනුවට සීතල සම්බන්ධතා ඇති වන්නේ මේ නිසා ය.// පුෂ්පජිත්  නිරෝෂන ජයසිංහ 

"රන් කෙන්දෙන්" පොතේ සුනිමල් හා ඔහු විසින් ඊනියා පරීක්ෂණයට භාජනය කරන ළමයා / තරුණිය (සුපුනි)  අයත්  අසල්වැසි පවුල හා ඔහු අතර සීතල  සම්බන්ධතාවය ඇතිවීමට  හේතුව කුමක්ද යන්න වටහා ගැනීමට මම වෙහෙසුනෙමි.

සුනිමල් තම නිවස හැර ගියේ නැත. ඔහු ඒ වෙනුවට අර පවුලේ "කරදරය" විඳිමින් ම තම නිවසේම ජිවත් වෙයි. අර පවුලේ ඝෝෂාකාරී සංගීතය, ඒ පවුලේ බිරිඳගේ නොමනා  හැසිරීම  ආදී සියල්ල ඉවසයි. සුනිමල් ගේ "ගඳ" වන්නේ අර පවුල විසින් ඇති කරණ කරදරයයි .  එයින් පැන නගින ඔහුගේ නොසන්සුන් බව හා ව්‍යාකූල බව එම බිඳුණු විසිරුණු පවුල හා  තමන්ගේ   පවුල හා සංසන්දනය කිරීමෙන් ඔහු ලබා ගන්නා ආශ්වාදයයි. තම පවුල ඉහත කී  කරදරකාරී පවුලට වඩා සරුය. බිරිඳ හා දියණිය ඔහුට ආදරය කරයි. ඔහුට අනෙක් අයගේ ගරු බුහුමන් ලැබේ. ඔහුගේ ලෝකයේ වඩාත්ම වැදගත්ම තැනැත්තා ඔහුය. ඔහුගේ පවුල ඉතා සාර්ථක එකකි. ඒ ඔහුගේ මවාගත් යථාර්ථයයි. යථාර්තයක් මවා  ගන්නේ කෙසේද? මවා ගැනීම යනු යථාර්තයේ විරුද්ධභ්‍යාසය නොවන්නේද? එසේ නම් සුනිමල් ජිවත් වන්නේ ඔහුම සැබෑවක් යයි සිතා ගන්නා  මායාවක් තුලද? 

 "නෑ කෙල්ල අම්මට වෛර කරනවා  වගේම ඊටත් වඩා තාත්තට වෛර කරනවා අනාගතේ. ඇයි කෙල්ල හිතනවා තාත්ත පිරිමියෙක් වගේ  හරියට හිටියානම් තාත්තට වගේම තමන්ට ඔහොම වෙන්නේ නැහැනේ කියල. " පි. 46


"හ්ම් .. ඔව් නෝනේ, ඉවරයි මෙතනින් පස්සේ ඉවරයි, මං ඔය කිසි දේකට අත දාන්නේ නැහැ. මං උගත් නෑනේ කියන්නේ. එයාල උගත් . ඉතින් එයාලට විසඳ ගන්න දෙමු.  " පි.51 
මේ සුනිමල්ගේ විශාදය උත්සන්න වෙන අවස්ථාවක්ද? නැත්නම් ඔහුගේ උගත් බව අනිත් අය නොපිළිගන්නේ යයි සිතන හීනමානය වැනි දෙයක්ද?

කතාවේ අග හරියේදී හොඳ බෞද්ධ ලොකු අම්මා මුසාවාද පවසන, නැති තැන කේලාම් කියන තැනැත්තියක බව සුනිමල් වටහා ගනී.
 
සුපුනි නමැති තරුණියගේ හැදියාව විවේචනය කරන සුනිමල් අවසානයේ සත්‍යය පසක් වෙයි. ඒ ඔහුගේම දියණියගේ හැසිරීමෙනි.

සුපුනි ගේ සැමියාගේ මල ගෙදරට යාමට සුනිමල් පැවසූ විට දියණිය එය ප්‍රතික්ෂේප කරයි.
"න්හඃ අනේ මට බෑ  තාත්තේ , මට ගෙදර යන්ඩෝන. ළමයි දෙන්න ස්කූල් ඉවර වෙලා ඇවිත් බලාන ඇති..."

ඉතා හොඳට ආදරයෙන් හැදු තම දියණිය ආත්මාර්ථකාමයෙන් පෙලෙන අයෙක් වීයයි සිතා  සුනිමල් ළතවෙයි.

නමුත් ඔහුගේ ලෝකය කඩා වැටෙන්නේ දියණිය ඊළඟට පවසන දෙයින්ය.

ශිෂ්‍යත්වය සමත් වූ පසු ඔහුගේ නැන්දනියගේ නිවසට යවා ආදරයෙන් වියදම් කර ඉගැන්වූ දියණියට අසනීප මව අසල සිටීමට වෙලාවක් නැත.

මරණය සිදුවී ඇති  නෑදෑ සුපුනිගේ නිවසට නොයන දියණිය මෙසේද කියයි.
"මං මේ අම්ම ටිකක් බලල ආපහු දුවන්ඩයි  ආවේ. ඒක නොකර බෑනේ "

දියණිය මව බලන්නට එන්නේ එය නොකර බැරි නිසාය.

ගණිතය උගැන්වූ නිසා දියණිය තර්කානුකූලව සිතන්නේ යයි හිත හදා  ගැනීමට සුනිමල් සැරසෙයි.    එහෙත් ඔහුගේ සිත සැබෑ තත්වය වටහාගෙනය.
"කෙල්ල අපෙන් වෙන් කරල නැන්දලෑ දිහා නවත්තපු එකද වැරැද්ද?" පි . 119

ජිවිතයේ පරාජය පිලි ගන්න සුනිමල් සියල්ල කර්මයට භාර දෙයි.

මේ ප්‍රශ්නය මගේ පියා සම්බන්ධයෙන් මටත් තිබූ එකකි.  ඒනිසා මෙහිදී මට ඒ දියණිය විවේචනය කිරීම කළ නොහැකි දෙයකි.

මේ පොතේ අනපේක්ෂිත අවසානය දෙස බලන විට වර්තමාන මිනිස්  සමාජය දෙස කතුවරයා ඉතා උපහාසයෙන් බලන බවක් මට හැඟේ.

සුනිමල් ගේ චරිතය ගැන කියවීමේදී දීප්ති කුමාර ගුණරත්න ගේ විශ්ලේෂණයකින්  අවසන් කරන්නට සිතමි. මහේෂ් හපුගොඩ ගේ ජිජැක් අධ්‍යයනය පොතේ (ජයසිරි අලවත්ත සමග) හැඳින්වීමට දීප්ති  මෙසේ ලියයි.

"ආච්චි අම්මා  බැලීමට යන්නට පියකු තම දරුවාට යෝජනා කළ හැකි ක්‍රම දෙකක් පවතී.
01. හෙට උදේ ට ආච්චි බලන්න යන්න සූදානම් වෙනු, !
මෙය ඒකාධිපති පියෙකුගේ ලක්ෂණයකි, නමුත් සමස්තතාවාදී පියෙකු දරුවාට යෝජනා කරන්නේ මෙවැන්නකි.
02.හෙට උදේ දහයට ආච්චි මුණ ගැසීමට  යාමෙන් ඔබ  හොඳ දරුවෙකු බව ලෝකයට පෙන්නුම් කරාවි. සැබවින්ම දරුවාගේ ගෙල හිර කරන්නේ මෙම දෙවන යෝජනාව හරහාය.
  
දීප්ති මෙය ලියා ඇත්තේ පශ්චාත් නුතනවාදය දේශපාලනයට රිංගන්නේ දෙවන පියවරෙන් යයි කියන්නටය.  එනම් ජේ ආර් ජයවර්ධන ලංකාවට අලුත් පිය ආකෘතියක් හඳුන්වා දුන්  සර්වාධිකාරී පියෙකු ලෙස හැඳින්වීමටය.
  
මේ අදහස මෙය සුනිමල් වැනි පෞද්ගලික චරිතයක් සඳහා අදාල කර ගන්නේ කෙසේද? සුනිමල් ඒකාධිපති හෝ අධිකාරිවාදී පියෙකු නොවේ. එසේනම් ඒ දීප්තිට  මග හැරුණු  "නෝංජල් " පියා විය හැකිය.

 වර්තමාන සමාජයේ ලිබරල්වාදී  උගත් පියාට තම දරුවන් ට කෙලින් ම අවවාද දෙන්නට හෝ තර්ජනය කරන්නට  නොහැකිය. ඔහුට කළහැකි එකම දෙය දරුවන්ට අධ්‍යාපනය දී ඉන් නැවත කිසිවක්  බලාපොරොත්තු නොවීමය.

 සුනිමල් සමස්තතා වාදී පියෙකු ලෙස දියණියට හොඳ දෙයක් කිරීමට යෝජනා කරනමුත් දියණියට තව දුරටත් පියා වැදගත් චරිතයක් නොවේ.
පොත අවසන් වන්නේ අපට කාංසාවක් ඉතිරි කරමිනි.



මූලාශ්‍ර:
https://www.simplypsychology.org/carl-jung.html

Sunday, 17 May 2020

සෝවියට් රුසියාවේ නිරුවත හෙළි කරන ‘ප්‍රථම ප්‍රේමය ඔබ නොවේ" - ජයසිරි අලවත්ත




ප්‍රවීණ මාධ්‍යවේදියකු හා ගත් කතුවරයකු වන ජයසිරි අලවත්ත විසින් මවිසින් රචිත  "ප්‍රථම ප්‍රේමය ඔබ නොවේ " කෘතියට  විචාරයක් පල කර තිබේ. 

 ඒ  ගැන නොව පොතේ සදහන්  ගීත ගැන යමක් ලියමි. සෝවියට් දේශයේ සිටි කාලයේ ඒ ගීත බොහොමයක් ඇසුවේ රෙකොර්ඩ් ප්ලේයර් එකකිනි. විනිල් රෙකෝඩ් නමින් හඳුන්වන ගීත තැටි බොහොමයක් ඒ කාලයේ මා සතුව තිබුණි. මේ සියල්ල දැන් කෞතුක වස්තූන් මෙනි. මේවා මිලදී ගත්තේ  1988-1990 කාලය තුලදීය. සෝවියට් දේශය අද නැත. රෙකෝඩ් තැටි  රුසියානු භාෂාවෙන් හැඳින්වූයේ ප්ලස්තින්කි යනුවෙනි.   වසර තිහකට පමණ  පසු මේ ලොක් ඩවුන් සමයේ ඒවා සොල්දරයෙන් බිමට බා ගතිමි. 

වැලරි ලියෝන්තියෙව්, ලයිමා වයිකුල්යේ, ව්ලදිමීර් විසොට්ස්කි, සොෆියා රොතාරු හා  ඇමෙරිකන් ජන ගී ගායිකා ජෝන් බඑස්  ගේ ගීත තැටි ඒ අතර වේ. නිහඬව ඒවා ඇසීමට නැවතත් දැඩි ආශාවක් හිතේ පහල විය. පොතක් ලියනවා කියන්නේ හිතක් නිවෙනවා යයිද කීමට නොදනිමි.

ජයසිරි අලවත්ත ගේ ලිපිය පහල ඇත.



සෝවියට් රුසියාවේ නිරුවත හෙළි කරන ‘‘ප්‍රථම ප්‍රේමය ඔබ නොවේ’’

 

‘‘නිරුවත’’ කියූ සැණින් කාන්තාවකට නම් සිහිපත් වන්නේ පුරුෂ සිරුරේ නිරුවත යි. පුරුෂයකුට නම් සිහිපත් වන්නේ කාන්තා සිරුරේ නිරුවත යි. ඒ, අනෙකාගේ නිරුවත් සිරුර කෙරෙහි දක්වන ආසක්තභාවය හේතුවෙනි; එය ‘‘සුන්දර’’ යැයි සංකල්පයක් ගොඩනැගී ඇති බැවිනි. එහෙත් නිරුවත යනු කිසියම් පුද්ගලයකුගේ ශරිරයේ ආවරණය කර ඇති කොටස පමණක් ම නොව්. එකී නිරුවත යනු: රටක, ජාතියක, ආගමක, කුලයක, දේශපාලන පක්ෂයක හෝ පවුලක පවත්නා ලෝකයාට හෙළි නොකළ අභ්‍යන්තර තත්ත්ව ද විය හැකි ය. එකී නිරුවත යනු සුන්දර යැයි සංකල්ප ගතව තිබෙන මිනිස් සිරුරක නිරුවත තරම් සුන්දර නොවේ. එය: තිරස්චීන විය හැකකි ය; ම්ලේච්ඡ විය හැකි ය; අසුන්දර විය හැකි ය; විශ්වාස කළ නොහැකි තරමට ජගුප්සා ජනක විය හැකි ය. එසේ නම් අපි එකී නිරුවත අනාවරණය කර නොබැලිය යුතු ද...? නැත... සුන්දර යැයි සංකල්ප ගතකර ඇති මිනිස් සිරුරේ නිරුවත මෙන් ම යට කී වර්ගවලට අයත් නිරුවත ආවරණය කර බැලිය යුතු ය. එය තමන්ට ආවරණය කළ නොහැකි නම් ආවරණය කළ පුද්ගලයකුගේ නිර්මාණයක් තුළින් හෝ කියවා, විඳ දැක ගත යුතු ය.

 

එසේ කියවා, විඳ දැකගත හැකි නිරුවතක් ප්‍රදර්ශනය කෙරෙණ කෘතියක් කියවා අවසන් කළෙමි. ඒ, අජිත් ධර්ම විසින් රචිත ‘‘ප්‍රථම ප්‍රේමය ඔබ නොවේ’’ නමැති කෘතිය යි.

 

කෘතියේ නම දුටු සැණින් හෝ කියවූ සැණින් මෙම කෘතිය හුදු බොළඳ ආදර කතාවක් විය හැකියැයි සැක සිතේ. එය සාධාරණ ය. මන්ද පොතේ පිටකවරය නිර්මිත වී තිබෙන්නේ ද එය වඩ වඩාත් තහවුරු වන ආකාරයෙනි. එමෙන් ම මෙම කෘතිය තුළ උත්තරිතර යැයි සැලකෙන ආදර කතාවක් ද නැතවා නොවේ. එහෙත් මෙම කෘතිය තුළ මා කියවූයේ එකී උත්තරීතර ආදර කතාව අභිභවා යන ජුගුප්සා ජනක දේශපාලන කතාන්දරයකි; වෙසෙසින් ම එදා මෙදාතුර පැවති, (1917 වසරේ සිට 90 දශකයේ අවසන් භාගය දක්වා)  ලෝ ප්‍රකට සෝවියට් දේශය හෙවත් සෝවියට් සමුහ ආණ්ඩුව නමැති ලෝකයෙන් වසන් කළ, කුඩා පොද වැස්සකට වුව ද සේදි යා හැකි ලෙස සවු කඩදාසිවලින් ආවරණය කළ සැකිල්ල පිළිබඳ කතාවකි; එහි නිරුවත පිළිබඳ අනාවරණයකි.

 

මෙම කෘතියට අනුව එකී රාජ්‍යය තුළ සාධනිය යමක් පැවතියේ නම් ඒ තරුණ තරුණියන්ගේ ලිංගික නිදහස පමණි. එනම්. කිසියම් තරුණයකු හෝ තරුණියක නිත්‍යානුකුල විවාහයකට එළඹෙනවාද නැද්ද යන්න සහ එසේ නිත්‍යානුකූල විවාහයකට එළඹීමට පෙර එකට ජීවත් වනවාද නැද්ද යන්න තීරණය කිරීම එම යුවළ සතු ස්වයං තීරණයක් වීම පමණි. එමෙන් ම එසේ ජීවත්වන යුවළකගේ ලිංගික එක්වීම හේතුවෙන් යම් ආකාරයකින් තරුණිය ගැබ් ගත්තේ නම් ගැබ විනාශ කරනවා ද, යුවළ විවාහ වනවා ද එසේත් නැතිනම්  උපදින දරුවාගේ රැකවරණය ආණ්ඩුවට බාර කරනවාද නැද්ද යන්න තීරණය කිරීමේ අයිතිය ද එම යුවළ සතුවීම ය. ඒ හැර අන් බොහෝ දෑ රජවාසලට හකුරු නිෂ්පාදනය කළ පුද්ගලයාගේ ඇතුළාන්තය බඳු ය.

 

කතුවරයා මේ නිරුවත හෙළි කිරීම ආරම්භ කරන්නේ කෘතියේ පෙරවදනේ දී ම ය.

 

‘‘මිනිසුන්ට අවශ්‍ය ඇඳුම් පැළඳුම් බටහිර මෙන් විච්චූර්ණ නොවී ය. එවැනි ඇඳුම් අවශ්‍ය අය ඒවා මිලට ගත්තේ අප වැනි විදේශික ශිෂ්‍යයන්ගෙනි. එසේම සන්ගීත තැටි බටහිර සිනමා කෘති හා බටහිර කෑම බීම ද, බටහිර සංගීත උපකරණ ද, එසේ විදේශිකයන්ගෙන් මිලදී ගැනුණි. බොහෝ විට මේවා කෙරුනේ නේවාසිකාගාර තුළ, ටැක්සි තුළ, මහපාරේ අඳුරු මුළුවල ය.

පිටුව VIII

 

මෙසේ ආරම්භ කරන එරටේ කුණු වී ඔජස් ගලන සමාජ ස්ථරය පිළිබඳ අනාවරණය සමස්ත කෘතිය පුරාම විදාරණය කෙරේ. කතුවරයා ආරම්භයේ දී ම පවසන පරිදි ඔරුවල බන්දු විසින් රචිත ‘‘පස් අවුරුද්ද’’ කෘතියේ අන්තර්ගතය අභිභවන තරමේ හෙළිදරව්වක් මෙම කෘතියේ අන්තර්ගත ය. මගේ පුද්ගලික හැඟීම නම් පාඨක ප්‍රජාව ලෙස අප වැඩි අවධානය යොමු කළ යුත්තේ ද, වඩ වඩාත් හැදෑරිය යුත්තේ ද ගිහාන්ගේ සහ තාන්යා ගේ ආදර කතන්දරය නොව වර්ණ කඩතිරකින් මුවා කර තිබෙන සෝවිට් රුසියාවේ අදුරු, ජුගුප්සා ජනක දේශපාලන, සමාජ සහ ආර්ථික පසුබිම බව ය.

 

කෘතියේ ප්‍රධාන චරිතය වන ගිහාන් හරහා කතුවරයා කෘතියට අත පොවා ඇති ස්ථාන බහුල ය. එය සාමාන්‍ය තත්ත්වයක් වුව ද මෙම කෘතියේ එකී තත්ත්වය සීමාව ඉක්මවා ගොස් ඇතැයි මට හැඟේ. එනමුදු එතුළින් යට සඳහන් කළ ආකාරයට සෝවියට් රුසියාවේ ඍණාත්මක පාර්ශ්වය මෙන් ම ධනාත්මක පාර්ශ්වය ද ප්‍රකට කෙරෙන්නේ පාඨක ප්‍රජාව විස්මයට පත් කරමිනි.

 

‘‘ගැහැනු ළමුන්ට දෑවැද්ද දීමක් කියා දෙයක් නැත. එයින් ඔවුන් නිදහස්ය. කුලය බැලීම අවශ්‍යද නැත. මෙතන ඇත්තේ එක්තරා අන්දමකින් නිදහස් ආදරයකි. තරුණයා හෝ තරුණිය බොහෝ විට තමන් කැමති කෙනෙකු සමඟ පෙම් සබඳතා පටන් ගනිති. මේවා සමහර විට කෙළින්ම ලිංගික සම්බන්ධයෙන්ම අරඹති. එසේ නොවී මාස ගණන් දිගට යන සබඳතා ද තිබේ. විවාහවලින් කෙළවර වන්නේ බොහෝ විට දරුවකු ඉපදෙන විටය. සෝවියට් නීතියට අනුව දරුවකු ලැබෙන්නේ නම් විවාහ විය යුතු අතර පිරිමියා දරුවා තමන්ගේ නම් බාරගත යුතුය. බොහෝ තරුණ තරුණියන් විශ්ව විද්‍යාල නේවාසිකාගාරවල එකට ජීවත්වීම සාමාන්‍ය දෙයකි. එසේ නොමැති තරුණයකුට හෝ තරුණියකට සබඳතා කිහිපයක් එකවර පැවතීම ද සාමානය දෙයකි. එනම් නිත්‍ය පෙම්වතෙකු හෝ පෙම්වතියක නැත්නම් නිදහස් ලිංගික සබඳතාවයන් ගෙන යාම ගැන දෙමාපියන්වත් වෙන කවුරුන්වත් කිසිවක් කියන්නේ නැත. සමලිංගික සබඳතා සෝවියට් දේශයේ තහනම්ව තිබුණි. එනිසා ගිහාන් එවැනි දේ තිබේදැයි නොදත්තේ ය.’’

පිටුව 18

 

මෙබඳු ඉදිරිපත්කිරීම් තුළින් ගම්‍ය වන කරුණු දෙකක් සැලකිල්ලට ගත හැකි ය. එනම් කෘතියේ අන්තර්ගත කාලවකවානුවේ සෝවියට් රුසියාවේ පැවති සමාජ පසුබිම යි. අනෙක් පසින් ගිහාන් සහ තාන්යාගේ ආදරය අන්දරය තුළ ඉදිරිපත් කෙරෙන සිදුවීම් අභව්‍ය නොවන දෑ බව ඒත්තු ගැනීමට කතුවරයා ඉදිරිපත් කරන සාක්ෂි ය. එසේ නොවන්නට ‘‘මෙවැනි දෑ සිදුවිය හැකිද..?’’ යනුවෙන් ලාංකික පාඨක ප්‍රජාව ප්‍රශ්න කරනු නොඅනුමාන ය.

  

සෝවියට් රුසියාවේ පැවති ස්ත්‍රී පුරුෂ ලිංගික නිදහස පිළිබඳ කතුවරයා ඉදිරිපත් කරන තවත් නිදසුනක් වෙත අවධානය යොමු කරමු.

 

‘‘ලැට්ටා යනු ලතින් ඇමරිකානු සිසුවෙකි. ඔහුගේ විශේෂත්වය ඔහුට වඩා වයසින් වැඩි කාන්තාවන් නිතර ඇසුරු කිරීම ය. ඇසූ විට කියන්නේ ඔය බොළඳ කෙල්ලන්ට වඩා වැඩිමහලු කාන්තාවන් දෙන සැප වැඩි බවය. වරක් එකියක් ගිහාන්ගෙන් ඇගේ යෙහෙලියක් ගැන කියා හඳුනාගැනීමට කැමතිදැයි විමසුවාය. ඔහු එය කාරුණිකව ප්‍රතික්ෂේප කිරීම අනිත් සිසුන්ගේ උපහාසයට ලක්විණි. මේ අය දික්කසාද වුණු මැදිවියට එළඹෙන කාන්තාවන්ය ළමයි බලාගැනීම මෙන්ම රැකියාවට යාමද එක සේ කරන ඔවුන්ට ශිෂ්‍යයකු සමඟ යහළු වීම වඩා පහසුය. වැඩි බලපෑමක් නැතිවම තමන්ගේ ලිංගික අවශ්‍යතාවය ඉටු කරගෙන යා හැකිය. සමහර වඩිමහලු කාන්තාවන් ලැට්ටා බලන්න එන විට හතරපස් දෙනෙකුට සෑහෙන්න සුප්  හෝ වෙනත් කෑමද රැගෙන එති. එදාට හොඳ සුප් එකක් ලැට්ටාගේ ගානේ බිව්ව හැකිය නැතිනම් නිවසේ හදන ලද රස පිල්මේනි ටිකක් රහ බැලිය හැකිය.’’

පිටු 29, 30

 

මෙතුළින් සෝවියට් රුසියාවේ කාන්තාවන් කෙතරම් ලිංගික නිදහසක් බුක්ති විඳිනවාද යන්න සහ ශිෂ්‍යයන්ට තම ආශා සන්තර්පණය කරගැනීම සඳහා ගණිකාවන්ගේ පහස පතා යාමට වුමනා නොමැති බව ගම්‍ය කෙරේ.

 

මෙම කෘතියේ කතුවරයා ගිහාන් සහ තාන්යාගේ ආදර අන්දරය ගලා බස්නා දිය පහරට සෝවියට් රුසියාවේ දේශපාලන, ආර්ථික සහ සමාජ පසුබිමේ ඉතිහාසය සහ එවකට පැවති තත්ත්වය ද විසිකර දමන්නේ මෙලෙසිනි.

‘‘ගිහාන් පසුව ඉගෙනගත් පරිදි කේජීබී විදුහලේ නම් දෙර්ශින්ස්කි උසස් විද්‍යාතනයයි. ෆීලික්ස් දෙර්ශින්ස්කි යනු පසුව කොමියුනිස්ට්වාදියෙකු වූ පෝලන්තයේ උසස් පවුලක සිටුවරයෙකි. නොවැම්බර් හත් වැනිදා සිදු වූ එහෙත් රුසියානු කැලැන්ඩරයට අනුව ඔක්තෝබර් මාසයේ සිදු වූ විප්ලවයේ නායකයා වූ ලෙනින් විප්ලවය ආරක්ෂා කිරිම සඳහා ප්‍රති විප්ලවය එරෙහිව කටයුතු කිරීමට හදිසි කමිටුවක් නිර්මාණය කර එය බාර දුන්නේ ෆිලික්ස්ටය.’’

පිටුව 59

 

මෙවන් අවස්ථා මෙම කෘතියේ බහුලව අන්තර්ගත කර ඇත. මා යට සදහන් කළ පරිදි ‘‘ප්‍රථම ප්‍රේමය ඔබ නොවේ’’ කෘතිය හුදු ආදර කතාවක් නොවන්නේ මෙබඳු කරුණු හේතුවෙනි.

 

ලංකාවේ වමේ ව්‍යාපාරයේ ආරම්භකයෝ ද, ඉක්බිති බිහි වූ නව යැයි කියා ගන්නා වාමාංශිකයෝ ද සෝවියට් රුසියාවේ පැවති ලිංගික නිදහස සපුරා ම ආවරණය කළේ ය. නමුත් එරට පැවති ලිංගික නිදහස පිළිබඳ කතුවරයා මෙබඳු අනාවරණයක යෙදෙන්නේ ලාංකීය වම්මුන්ගේ ඊනියා සංස්කෘතික බැමි පුපුරුවා හරිමිනි.

‘‘... වනය අවසන් වන තැන වූ පයින් යායක් මැද්දෙන් ගමන් කළ ඔවුහු එළිමහන් වෙරළකට පිවිසුනහ. එහිදී දුටු දෙයින් ගිහාන්ගේ ඇස් උඩ ගියේ ය.

එහි මිනිස්සු සහ ගැහැනුන් සමුහයක් අව්ව තපිමින් සිටියේ ඇඟේ නූල් පටක් වත් නැතිවය. මෙවැනි තැන් තිබෙන බව ඔහු අසා තිබුණේ බටහිර යුරෝපයේ, එංගලන්තයේ හා ඇමරිකාවේ පමණය. සෝවියට් දේශයේ එවැනි ‘‘නිදහස්’’ මිනිස්සු සිටින බවක් ඔහු දැන සිටියේ නැත. සෝවියට් දේශය තද නීති ඇති කොමියුනිස්ට් රටක් බව සෑම විටකම සිසුන්ගේ සිත්වල තිබුණි.’’

පිටුව 90

 

මිනිසාගේ ප්‍රයෝජනය සඳහා හෝ ධනේශ්වරයේ අවශ්‍යතාව සඳහා තාක්ෂණික නව නිපැයුම් සොයාගැනේ. එබදු තාක්ෂණයට පවා වංචා කිරීමට අවශ්‍ය උපක්‍රම සොයාගන්නේ ද මිනිසා ම ය. එවන් විකල්ප ක්‍රමෝපා භාවිතා කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලාංකිකයෝ ද ප්‍රමුඛස්ථානයක් උසුලති. හැත්තෑව දශකයේ තිබූ ලංකා ගමනා ගමන මංඩලයට අයත් කොන්දොස්තරවරු අතට පත් කළ ප්‍රවේශපත් නිකුත් කරන යන්ත්‍රයෙන් වංචා කළ ලාංකීය පුද්ගලයකු ඇමරිකාවට රැගෙන ගිය බවට එකල පුවතක් පළවුණි. රුසියාවේ ශිෂ්‍යත්වයක් ලබා එහි ගොස් නොමිලේ ඉගෙනගන්නා ශ්‍රී ලාංකික ශිෂ්‍ය ප්‍රජාව ද ලන්ඩනයේ දී අපූරු තාක්ෂණික වංචාවක් කළ බව මෙම කෘතියේ අන්තර්ගත ය.

 

‘‘... ලංකාවට ‘නොමිලයේ’ කතා කරන ක්‍රමයක් ගිහාන්ට දැකගත හැකි විය. ලංකාවට කතා කිරීමට මිනිත්තුවකට පවුමක්වත් වැයවේ. එය තරමක මුදලකි. ලන්ඩනයේ පළමු සීමාවේ (Zone 01) මෙට්රෝ දුම්රිය සේවාව පවුම් පහකටත් අඩුය. එනිසා දුරකතනයෙන් කතා කිරීම සාපේක්ෂව වියදම් වැඩිය. ඔවුන් කරන්නේ එකවර පවුම් තුන හතරක් දුරකතන කුටියේ ඇති දුරකතනයට දැමීමයි. ඉන් පසු අනිත් පැත්තෙන් රිසිවරය ඔසවනවාත් සමඟම වානේ වැනි කූරකින් මුදල් දමන තැනනින් යට කුහරයට ඇන්න යුතුය. එවිට දැමූ මුදල් නැවත ලැබෙන අතර ඒවා නැවත නැවත දමමින් කතා කළ හැකිය.’’

පිටුව 143

 

කතුවරයා මේ සියල්ල පවසන්නේ ආදර අන්දරයක් පවසාගෙන යන අතරතුර ය. මා බොහෝ විට අහුලා ගත්තේ මෙවන් අවස්ථා ය. එය ඇතැම් පාඨකයකුට හෝ පාඨකාවකට නොවැදගත් විය හැකි ය. එවන් පාඨක ප්‍රජාවට කියවා රස විඳිය හැකි ආදරය අන්දරයෙන් මෙබඳු කොටස් වෙන් කරගන්නට මට අවැසි විය. මගේ විමසුමට බඳුන් වන්නේ ද එකී අනුභූති ය.

 

සෝවියට් දේශයට නොගිය ද බොහෝ ලාංකික පාඨක ප්‍ර ජාවෝ ‘‘දොන් නදිය ගලා බසී’’ කෘති මාලාව කියවා ඇති බව විශ්වාස ය. ඒ ‘‘දොන් නදිය’’ සියැසින් දුටු කතුවරයා එය මෙලෙස සඳහන් කරයි.

‘‘දොන් නදිය අසබඩ පිහිටා ඇති රොස්ටොව් නගරය මිලියනයක් පමණ මිනිසුන් සිටින විශාල නගරයකි. එය පහසුව සඳහා ප්‍රධාන ප්‍රදේශ අටකට බෙදා තිබේ. වරශිලොව්ස්කි, කිරෝව්ස්කි, ලෙනින්ස්කි, පෙදෙස් හඳුන්වා තිබෙන්නේ ඔක්තෝබර් විප්ලවයට සම්බන්ධ වූ නායකයන්ගේ නමිනි. පියේර්වමයිස්කි යනු මැයි පළමුවෙනිදා සමරන්නට යෙදුනු නමයි. සවියෙට්ස්කි නම සෝවියට් සභා ද, ඔක්ත්යාබර්ස්කි රතු ඔක්තෝබරය සිහිවන්නට ද යොදා තිබේ.’’

පිටුව 153

 

මෙම කොටස කියවු සැණින් මට සිහිපත් වූයේ අපේ රටේ මං මාවත් නම් කිරීමේ දි කෙතරම් සරල ලෙස එය කරනවා ද යන්න ය. එනම් අපේ රටේ මාවතකට තමන්ගේ නම ඇතුළත් කරගැනීමට නම්, මහා ගත් කතුවරයකු හෝ කතුවරියකු විය යුතු නැත. මහා විප්ලවවාදියකු හෝ විප්ලවවාදිනියක විය යුතු නැත. කළ යුතු ඉතා වැදගත් ම කටයුත්ත වන්නේ මහරජාණෝට ප්‍රශස්ති ගීයක් ගැයිම පමණි.

  

ගිහාන් ඇතුළු පිරිස නිවාඩු සමයේ ලන්ඩනය බලා පිටත් වන්නේ වැඩිපුර මුදලක් සොයාගැනීමේ අටියෙනි. නමුදු සමාජවාදී යැයි ලේබල් කරගත් සමාජ ක්‍රමයක් පැවති සෝවිට් රුසියාවේ මිනිස්සු සිය ජීවිකාව පවත්වාගෙන ගියේ කෙතරම් අසීරුවෙන් ද යන්න ගිහාන්ගේ පෙම්වතිය වන තාන්යා සිය නිවාඩු සමය ගත කළ ආකාරයෙන් මනාව පැහැදිලි වේ.

 

{‘‘මම ගියා කුබාන්වල අල ගලවන්න. කුස්නදාර් පැත්තේ. නැත්නම් මට සල්ලි කොහෙන්ද, මේ.’’} ඇය අවිහිංසක ලෙස පවසා දෑත පෙන්වූවාය.පෙර සුමුදුවට තිබූ ඒ දෑතේ නිය ගෙවී කැඩී තිබුණි. සමහර තැන් ලේ එනතුරු ඉරී ඇති බව පෙනුණි. ඇතැම් නිය කොනක කුබානයේ කළු පස තවමත් රැඳි තිබුණි.’’

පිටුව 156

 

තමන් විඳි කටුකත්වය තව දුරටත් පවසන තාන්යා...

 

‘‘මම ගියේ මගේ ඉස්කෝලේ යාළුවා තනාෂින්කා හා එයාගේ පෙම්වතා සිරියෝෂා එක්ක. මම කීව මට සල්ලි ටිකක් හොයාගන්න ඕනේ කියල. මගේ ශීත කාලෙට අඳින සපත්තු දෙක එයාලට විකුණන්න කියල ගියේ. එයාල කීව අල ගලවන්න යමු කියල. පරක්කු වෙල එහෙ ගිය නිසා අපට නිදාගන්න වුනේ ගොවිපළේ ඉස්කෝලෙ පංති කාමරයක. හැබැයි හැමදාම කිරි නම් ලැබුනා නොමිලේ බොන්න’’

පිටුව 158

 

කාන්තාවක් සහ පිරිමියකු අතර පවත්නා ලිංගික සබඳතා අතර නීතියෙන් ම තහනම් කර ඇති ලිංගික සබඳතා ද පවතී. නීතිමය පාර්ශ්වයෙන් මෙය හඳුන්වන්නේ ව්‍යභිචාරය  යනුවෙනි. නමුදු මෙබඳු ලිංගික සබඳතා පවත්වන කාන්තාවෝ සහ පිරිමි ලෝකය පුරා ම වෙසෙති. සෝවියට් රුසියාවට ද එය වෙනසක් නොමැති බව ‘‘ප්‍රථම ප්‍රේමය ඔබ නොවේ’’ කෘතියේ 188 සහ 189 පිටු කෙරෙහි අවධානය යොමු කළ විට දැකගත හැකි ය.

 

‘‘ප්‍රථම ප්‍රේමය ඔබ නොවේ’’ කෘතියේ එක් තැනෙක ‘‘රුසියන් ගැහැනු ලෙහෙසියෙන් අඬන්නේ නැහැ මල්ලි’’ යනුවෙන් සඳහන් වේ. එය වැඩිදුරටත් මෙසේ පැහැදිලි කරයි.

 

‘‘ඉතිහාසය පුරාම ඉස්සෙල්ලම ජෙන්ගිස්  ඛාන් ගේ හමුදාවෙන් බැටකාල, ඊට පස්සේ තවත් නොයෙකුත් ආක්‍රමණවලින් බැටකාල, රුසියන් අධිරාජ්‍ය පිහිටුවන්න පිරිමි යුද්ධෙට ගියහම ළමයි එක්ක ගම් බිම් බේරාගෙන ගොවි බිම්වල දාඩිය වගුරවල, විප්ලව කාලෙ බැට කාල ඉන්නේ උන්. පළමුවෙනි හා දෙවෙනි ලෝක යුද්ධ දෙකෙන්ම වැඩියේම බැට කෑවෙත් ඔය ගැහැනු. ඔය හැම කාලෙම කුසගින්නෙ ඉඳල, ඒ මුළු දුක් කන්දරාවම විඳගෙන දරාගෙන පන්නරය ගත්ත ගෑණු. මුන් ලේසියෙන් අඬන්නෙ නැහැ. මුන්ගේ හිත් හෙන තදයි.’’

පිටුව 192

 

මේ කොටස ලංකාවට ගළපා බලන්න.  අතීතයේ සිට පැවති විදේශ ආක්‍රමණවල සිට 1818 පැවති කැරැල්ල දක්වා ද, 71 වසරේ පැවති තරුණ නැගිටීමේ දී ද, 87-89 යුගයේ දී ද, තිස් වසරක් පුරා පැවති යුද්ධයේ දී ද මිය ගියේ පුරුෂයෝ නොවෙති ද...? ඔවුන්ගේ වියෝවෙන් වඩ වඩාත් අසරණ වූයේ එසේ මිය ගිය පුරුෂයන්ගේ යැපෙන්නෝ වූ කාන්තාවෝ නොවෙති ද...? ලොව කොතැනක කවදා යුද්ධයක් පැවතිය ද වඩ වඩාත් පීඩාවට පත්වන්නෝ කාන්තාවෝ ම නොවෙති ද...? සාහිත්‍ය කෘතියක් කියවීමේ දී එහි යටිළෙහි අන්තර්ගත මෙවන් ව්‍යසන කෙරෙහි අපි අවධානය යොමු කළ යුතු නොවන්නෙමුද...?

 

සමස්ත සෝවියට් රුසියාවේ සමාජ, දේශපාලන සහ ආර්ථික පසුබිමේ පැතිකඩක් විදාරණය කෙරෙන ‘‘ප්‍රථම ප්‍රේමය ඔබ නොවේ’’ කෘතිය අවසානයේ ගොර්බචව්ගේ ප්‍රතිසංස්කරණවාදයෙන් ඉක්බිති එරට මුහුණ පෑ ඛේදවාචකය ද මැනවින් ප්‍රකට කර ඇත. එබැවින් මගේ පුද්ගලික යෝජනාව වන්නේ ‘‘ප්‍රථම ප්‍රේමය ඔබ නොවේ’’ කෘතිය ආදර කතාවක් ලෙස කියවන අතර ම එහි යටි පෙළෙහි දක්නට ලැබෙන අ‍ඳුරු අගාධය දෙස ද අවධානය යොමු කරන ලෙස ය.

 

කෘතියේ නම සහ කවරය වෙනස් (සෝවියට් රුසියාවේ ඇතුළු වත ප්‍රදර්ශනය කෙරෙන) ආකාරයකින් නිමවූයේ නම් මෙම කෘතිය කෙරෙහි පාඨක ප්‍රජාවගේ අවධානය මීට වඩා යොමු කරගතහැකිව තිබුණා ය යන්න මගේ පුද්ගලික නිගමනය යි.

ජයසිරි අලවත්ත 

Jayasiri Alawatta

2020/05/16

 


Thursday, 14 May 2020

හපුගොඩ ගේ කතාවක්

පහළ තිබෙන සටහන  පළ කරල තිබුනේ මහේෂ් හපුගොඩ සහෝදරයාගේ වෝල් එකේ කියල ජයසිරි අලවත්ත මහත්මය සකර්බුර්ගයාගේ ඕපාදුප භාණ්ඩාගාරයේ ෂෙයාර් කරලා තිබුන. මමත් ඒකට යන්නේ ඔයවගේ ඕපදූප අහුලගන්නම තමයි.

හපුගොඩ සහෝදරයා  ලියල තියෙන්නේ මෙහෙම.

ඔබේ ඇස තුළ මම කවුද?

වසර සිය ගණනක් අපිව යටත් කරගෙන හිටියේ බ්‍රිතාන්‍ය කාරයෝ. ඊට කලින් පෘතුගීසි හරි ලන්දේසි කාරයෝ හරි හිටියට උන්ගෙන් අපට වෙච්ච මානසික බලපෑම අඩුයි. නමුත් බ්‍රිතාන්‍ය කාරයෝ කියන්නේ අපේ මානසික ලෝකය ගොඩක් ලොකුවට වෙනස් කරපු අය. කලින් දෙගොල්ල ඔය බිස්නස් එකක් කාරිය කරලා ගියාට බ්‍රිතාන්‍ය කාරයෝ අපිව මානසික වශයෙන් වෙනස් කලා. ඒක ටිකක් දිග්ගැස්සුන ව්‍යාපෘතියක්. ඔවුන්ගේ දේවල් අපිට දුන්නා විතරක් නෙවෙයි ඔවුන්ගේ දේවල් උසස් කියලත් අපිට කියල දුන්නා. දැන් අපිට ඕනි ඒ වගේ වෙන්න. නමුත් අපිට එහෙම වෙන්නත් බැහැ.

විශේෂයෙන් භාෂාව කියන තැනදී මේක ලොකුවට පේනවා. ඉංග්‍රීසි කියන්නේ අනෙක් භාෂාවල් වලට වඩා මොකක්දෝ ලොකු එකක් බවට කවුරුත් නොදැනීම පත්වුණා. ඉංග්‍රීසි කතා කරන කොට මොකක්දෝ 'ලොකු එකක්' හැමෝටම වෙනවා. උච්චාරණය උණත්. ඉන්න ඉරියව්ව උණත්. ඒක කතාකරන කෙනා අමුතු කෙනෙක් වෙනවා. පාරේ තොටේ මොනවා හරි ප්‍රශ්නයක් උනොත් කොන්දොස්තර කොල්ලට උනත් ඉංග්‍රීසියෙන් කතා කරනවා. කඩුව කියන්නේ ඒකයි. කපල දානවා. කඩ්ඩ පොඩ්ඩක් දාල කපල දාපන්. පැහැදිළිව පේන්න ඕනි මෙතන අනන්‍යතා ප්‍රශ්නයක් කැරකෙනවා තියල තමන් වටේ. මනසේ තියන මකුළු දැළක් වගේ. මොකක්දෝ තමන්ට වඩා වැඩි දෙයක් තමන්ට වෙනවා. වෙනත් විදේශ භාෂා වලදී මේ ප්‍රශ්නේ ඇති වෙන්නේ නැති තරම්.

අර ගුවන් තොටුපළේ නිරෝධායනය ගැන උපදෙස් දුන්න හමුදා නිලධාරියා ගේ ප්‍රශ්නේ (එසේ වී ඇත්නම්) තේරුම් ගන්න අපහසු දෙයක් නෙවෙයි. මම එන්නේ උඹලා යටත් කරගෙන හිටපු ස්වාමියා ගේ රටේ ඉඳලා. සුද්දා පිළිගන්න හැටියට ම මාව පිළිගනිල්ලා. ඔයාල නිකමට හිතන්න මේ කඩුව ම ඉල්ලා සිටින කෙනා ගේ වෙස් මුහුණ ඇතුළේ කොච්චර අසරණ ජීවියෙක් ඇත්ද කියල. එයාගේ අනන්‍යතාවය කොච්චර අවුල් වෙලා ඇත්ද? සුද්දන්ගෙන් බැණුම් අහල, කිච වෙලා, ඒ රටේ අනන්‍යතාවයක් නැතුව ඉඳල කොච්චර පීඩනයක් ඇත්ද ඒ වගේ කෙනෙකුට...මම දිහා ලොකුවට බලන්න කියන කෙනෙක් ඇතුලේ ගොඩක් වෙලාවට ඉන්නේ ඉන්නේ පොඩි මිනිහෙක්.

විජිතකරණ ව්‍යාපෘතියේ ප්‍රධාන ම අවුල හැටියට ෆ්‍රාන්ස් ෆැනොන් දකින්නේ ස්වාමියා ගේ අගතීන් වහලාට සම්ප්‍රේෂණය කිරීම සහ ඒ අගතීන් වලින් ගැලවෙන්න සාර්ථක මාවතක් වහලාට නොමැති වීම (බලන්න ක්වන්ටින් ටැරන්ටිනෝ ගේ Django Unchained ෆිල්ම් එකේ ස්ටීවන් ගේ චරිතය).

මේ ස්වාමියා දීලා ගියපු සමහර උද්දච්ච, අහංකාර, තමන් උසස් අනෙක් අය පහත් වගේ මෝඩ වටිනාකම් වලින් මිදෙන්න මාර්ගයක් අපි දන්නේ නැහැ. හැබැයි ඉංග්‍රීසි දන්නවා. සමහරු සුද්දාටත් වඩා හොඳට දන්නවා. සුද්දාටත් ඉංග්‍රීසි උගන්නපු කෙනෙක් කියලත් කියනවා.

කොච්චර හොඳට ඉංග්‍රීසි කතා කළත් අපේ අනන්‍යතාවය තුවාල සහිතයි. දැන් තියෙන එයාලගේ බ්‍රිතාන්‍ය සමාජයටවත් යටත් විජිත අත්දැකීමෙන් පස්සේ තියන අපේ සමාජයටවත් මේ තුවාල සුවපත් කරන්න ක්‍රමවේදයක් නැහැ. භින්නොන්මාදය, කාංසා තත්වය සහ 'යථාර්තය තුළ තමන් කවුද' යන ප්‍රශ්නයෙන් ඔවුන් සැමදා පෙළෙනවා. ඒක මේ ලියන මා තුළ පවා පශ්චාත් යටත්විජිත අවිඥාණයක් හැටියට ක්‍රියාත්මක වෙනවා.

ඉතිං යූ. කේ. වලින් ඇවිල්ලත් එයාල ගුවන් තොටුපළේ ඉඳල ම අහන්නේ එකම ප්‍රශ්නයක් තමයි. ඒ තමයි 'ඔයාගේ ඇස තුළ මම කවුද?' කියන එක (Who am I in the eye of the Other?). 'මම දන්නේ නැහැ මම කවුද කියල...ඔයාවත් දන්නවද මම කවුද කියල?' සංක්‍ෂිප්ත කළොත් ඕක තමයි ප්‍රශ්නේ. මේ ගැඹුරු ප්‍රශ්නයට උත්තරයක් නම් අර හමුදා සෙබළාට තියෙන්න නැතුව ඇති. ඇත්තටම කිව්වොත් එයාල ඒ සිංහල විතරක් කතා කරපු කොල්ලගෙන් කෑගහල ඉල්ලලා තියෙන්නේ වෙන දෙයක් නෙවෙයි. ආදරේ.

ආදරේ නැති කෙනා තමයි දන්නේ ඒකෙ අගේ. ඒ වගේම ආදරේ තියෙන ප්‍රශ්නේ තමයි ඉල්ලන කෙනා දන්නේ නැහැ ඉල්ලන්නේ මොකක් ද කියල. අහන කෙනා දන්නේ නැහැ ඇහෙන්නේ මොකක් ද කියල. ඒකෙ ප්‍රථිපලයක් හැටියට ඉතිං අවුල් වයිරල් වෙනවා.


//සුද්දන්ගෙන් බැණුම් අහල, කිච වෙලා, ඒ රටේ අනන්‍යතාවයක් නැතුව ඉඳල කොච්චර පීඩනයක් ඇත්ද ඒ වගේ කෙනෙකුට// මහේෂ් හපුගොඩ සහෝදරයා මේ කතාවෙන් සෑහෙන්න එංගලන්තේ ඉන්න එවුන් පහතට දාන වගක් පේනවා.  .නැත්නම් එයාට  "අර ගමෙන් ඇවිත් ලන්ඩන් වල ඉඳගෙන එහෙ වැඩ කරන්නේ නැතිව ලංකාවට  අත දාන්නේ මොකටද කියන කතාවම යලි මතක් වුනාද දන්නේ නැහැ. ඒක මෙතැන තියනවා. 
ඔහු ඒ පිලිබඳ සාධාරණ පැහැදිලි කිරීමක පසුව කළා මම හිතන්නේ. ඒ යොමුව මගේ ළඟ නැහැ. තමන්ගේ දේශපාලනයට  විරුද්ධයි කියල හිතුනම පොඩි විවේචනයක්  ආවත් බයියෝ, ටොයියෝ , ජෙප්පෝ, පෙරෙට්ටෝ කියා වෙනසක් නැතිව පිටරට සිටින මිනිහට කඩා පනින බව මම කලින් ලිපියක  කිව්වා. 

මේ සිද්ධියේදී මහේෂ් සහෝදරයාට එක්තරා ප්‍රමාණයට එම පරණ අවුල නැවත  ඉස්මතුව ඇති බවක් තමා පේන්නේ .


ඒ වගේම මට නැවතත් පොඩි විචිකිච්ඡාවක් ඇතිවුනා හපුගොඩ සහෝදරයා හා ජයසිරි අලවත්ත මහතා ගැන.  මේ රට මම දැන් අවුරුදු විස්සක්  විතර ජීවත්වෙන රටක්. මම දැක්ක විධිහට  සුද්දන්ට අණදෙන ඉන්දියන් කාරයෝ, කළු මිනිස්සු ඉන්නවා මේ රටේ. වානේ වලින් බිලියනපතියෙකු වුන ඉන්දීය ලක්ෂ්මි මිටල් ට තමා රැජිනට අයිති වෙලා තිබ්බ ලන්ඩන් හරි මැද හේමාක්ට් හරියේ මාලිගා දෙකක් අයිති. ඒ එකක් ඇතුලේ පුස්තකාලයක දත්ත ගබඩාවක් පිලිබඳ පරිගණක වැඩකට ගියේ වෙලේ  තමා මමත් දැන ගත්තේ. 

  බයියන් ලෙස හඳුන්වන ස' වෙනුවෙන් බුකියේ මරාගෙන මැරෙන අය   සිතා සිටියේ ඒ එංගලන්තයෙන් පැමිණි ටොයියන් සමූහයක් කියල. දූෂමාන ආරංචි, බොරු මේම් ආදිය බුකිය පුරා එකපාරටම සැරි  සරුවේ ඒකයි. පස්සේ හදිසියේම වැඩේ එලියට ආව . ආණ්ඩුවේ කට්ටියගේ ළමයිනුත් ඒකෙ. දොස්තරලාට අමතරව. කට්ටිය නිහඬ වුනා . ඔච්චරයි උනේ.

ඒ කියන්නේ ඉතින් මේ   තග දාල තියෙන්නේ දේශපාලන මඩ ගොහොරුවේම ඉන්න ළමයි බමයි හා නිලධාරී න්ගේ ළමයි නේ. මොකද මේ අයට  ලන්ඩන් වලදී ලංකාවේ වගේ ගරු සරු හම්බ වෙන්නේ නැහැ . මෙහේ කවුරුත් තමන් කාගෙවත් පුතාල දුවල කියල ගණන් ගන්නේ නැහැ . (එහෙම වුන් ඇති ) සුද්දෝ  ගණන් ගන්නේ නැහැ කොහොමත්. අනික අපි වැඩ කරන තැන්වල සුද්දෝ අපට අණ  දෙන්න එන්නේ නැහැ. අණ දෙන්නේ නැතිව වැඩ ගන්න ක්‍රමය සුද්දෝ හොඳට දන්නවා. මහේෂ් හපුගොඩ දන්නවද දන්නේ නැහැ? අපේ බොසාලට (මට ඉන්නේ දෙන්නයි) ලංකාවේ වගේ සර් කියන්න ඕනේ නැහැ. මුල් නම කියල කතා කරන්නේ. මෙතැන තියෙන්නේ වෙන කේස්  එකක්.

ඒ ගැන ලිපියක් දීප්තිම කාලෙකට කලින් ත්‍රිමාණ යේ දාල තිබුන. දැන් ධනවාදී රටවල ඉන්න බොස්ල පවුලේ ප්‍රශ්න ගැන වැඩ කරන අය එක්ක කතා කරනවා . ඉඳල හිටලා බොන්න යනවා කියල. මේ කතා දෙකම ඇත්ත. අපේ ඔෆිස් එක වැඩිය ලොකු  නොවුන  කාලේ සිකුරාදාට හැමෝම පබ් එකට බියර් බොන්න යනව. ගෙවන්නේ බොස්. හැබැයි අමතක කරන්න එපා පහුවදාට මොකක් හරි වැඩ  ගැන ප්‍රශ්නයකදී මේ බොස්ම තමයි ඔයාව අස් කරන්නෙත් කියල. 

මෙහෙ ඉන්නව කඩ්ඩ ටිකක් පුළුවන් වුනහම සිංහල අමතක කරන අය . හැබැයි ඔය ඇවිල්ල තියෙන අය ලංකාවේ කොහොමත් සෝබනේට  කඩ්ඩ භාවිතා කරන අය කියල මම හිතන්නේ. එකපාරක් මගේ මිත්‍ර දොස්තරලා ජෝඩුවක්  මෙහෙ ආව අර වෛද්‍ය පුහුණුවට. මෙහෙ ඉන්නත් හිතල යන්න ගියා. හේතුව මොකක්ද දන්නවද කීවේ ?
"මචන්  මේ රටේ දොස්තරලා ගණන් ගන්නේ නැහැ . අපේ රටේ එහෙම  නොවේ. අපේ රටේ මිනිස්සු ගරු කරනවා අපට .  දෙකට නැවිලා ඔලුව පහත්  කරලා කතා කරන්නේ කියල.! 

ඉතින් මට නම් පේන්නේ  ඕක එංගලන්තයේ ජීවත් වෙන  එවුන්ගේ ප්‍රශ්නයක්  නෙමේ. එංගලන්තෙට එන එකම ලොකු දෙයක් කියල හිතන් ඉන්න රැලක් ආපහු ලංකාවට ගියහම පෙන්නන රැස්පොට් එක.  ඒ කියන්නේ ඕක ලංකාවට ආවේණික වූ ප්‍රශ්නයක් කියල. 

මම ගිය අවුරුද්දේ "ප්‍රථම ප්‍රේමය ඔබ නොවේ " පොත පළ කරන්න ලංකාවට දීප්ති කුමාර සහෝදරයා පොත් දෙකක් එව්වා. 
ආ, ඊට කලින් දීප්ති "ජිජැක් අධ්‍යයනය " කිලය මාධ්‍යවේදී ජයසිරි අලවත්ත හපුගොඩ ගෙන් ප්‍රශ්න අහල හපුගොඩ ඒවාට සවිස්තරව පිළිතුරු දෙන මාදිලියේ පොතක් එවල තිබ්බ.
හපුගොඩ සහෝදරයා ඉතා දක්ෂ ලෙස  ජිජැක් ගේ මතවාදයන් ශ්‍රී  ලාංකික  සන්දර්භය තුල පැහැදිලි කරනවා.

දීප්ති ගුණරත්න මේ පොතට දිග හැඳින්වීමක්  ලියල තියනවා. ඒකෙ අන්තිමට දීප්ති මෙහෙම කියනවා.
"මේ තරම් පොත් කියවපු සංවිධානයකින් මෙච්චර  මැට්ටෝ බිහි වුනේ කොහොමද? දෙවියන් අපිට ලබා දුන් තෑග්ග වන මහේෂ් හපුගොඩ හරහා  එම ප්‍රශ්නයට පිළිතුරු ලැබී ඇත. ජීසස් ගේ කියමන  වූයේ "දෙවියනේ ඔබ කොහිද?" මැට්ටන්ගෙන් මගේ ව්‍යාපෘතිය වෙන් කිරීමට මේ ලෝකයට එවූ තෑග්ගට දෙවියන්ට ස්තුති වේවා. ප්‍රාතිහාර්ය බලාපොරොත්තු නොවන්නා යථාර්ථවාදියෙක් නොවේ. මාක්ස්වාදය අද දවසේ ඉල්ලන්නේ භෞතිකවාදයද නොවේ. එය ඉල්ලන්නේ "රැඩිකල් විඥානවාදය' ය."- (පුනර්ජීවනය  -ජිජැක් අධ්‍යයනය)

දැන් මේ රැඩිකල් විඥානවාදය රෝහණ විජේවීර ගෙනාපු ජාතිකවාදයට හෝ නලින්ද සිල්වා හා ගුණදාස අමරසේකර ගේ ජාතිකවාදයට වෙනස් වෙන්නේ කොහොමද?

මේ පොතේ ඇත්තම මහේෂ් හපුගොඩ ජිජැක් ගෙන් ගත්ත හුඟක් අදහස් හොඳට විවරණය කරලා තිබෙනවා. විවාදයක් නැහැ. මට  නිසඳසකුත් ලියවුනා මේ කොරෝනා අස්සේ. ඒක මෙතන "ලොක් ඩවුන් සුන්දරද මෙතරම්" , හපුගොඩ මෙහෙම කියනවා.
  
"ධනවාදයේ ඵලයක් ලෙස ඔබ, ඔබගේ ආශාව මරණය දෙසට යොමු කර තිබේනම් ධනවාදය  තවදුරත් ඔබෙන් ඉල්ලා සිටින්නේ "ඔබ මරණය දෙසටම ගමන් කරන්න " යනුවෙන්. ජංගම දුරකතනයක් තිබෙද්දී තවත් එකක් මිලදී ගන්න ධනවාදය අපට බල කරන අබව ඔහු කියනවා.  

මගේ අයි ෆෝන් 7 දියණියට දී අයි ෆෝන් xr එකක් මම ගත්තේ ඒකද ? මට ගෙවීමේ ක්‍රමයට ඒක ලැබෙන්නේ නිකන්. මම ඒ සමාගමට දිගින් දිගටම මාසයකට වරක් ගෙවන හොඳ පාරිභෝගිකයෙක් නිසා.

හපුගොඩ පිළිතුරු දුන්නේ මේ විධිහට. "එනම් අපි ගමන් කරන්නේ මරණය කරා නම් ඊට  ඇවැසි සෞන්දර්යය ඔවුන් විසින් සපයනු ලබනවා. මෙය ඉතාමත්ම අමානුෂික තත්වයක්. දැනට ධනවාදය විවේචනය කරන්නෝ වටහා නොගන්න සත්‍යය  මෙයයි. " (පි. 156-157)

ඉතින් මම සිංගල් මෝල්ට් (තනි මෝල්ට් එකෙන් හැදූ ) විස්කි වීදුරුවක් බොනවා සිගාර් එකකුත් එක්ක, චේත් ඒක කළා. මේ වෙලාවේ බොන එකයි, දුම් පානය කරන එකයි හොඳ නැහැ කියනව කොරෝනා වෛරසය නිසා. මම එහෙම කරන්නේ ඇයි? මට මරණය අවශ්‍ය නිසාද නැත්නම් කොහොමත් එන මරණයක් එක්ක මම ඒ මොහොත විඳින නිසාද?
මේ ධනවාදය ඔබට තේරීමක් දෙන්නේ නැත්ද? විස්කි නැත්නම් රාත් , මස් නැත්තම් මයියොක්කත් ඔබට  ගන්න පුළුවන්. ඒ මොහොතම  විඳින්න පුළුවන් නේද?

   මම හිතෙන්නේ මේ පොතේ ප්‍රශ්න හැදුවේ දීප්ති කියල. ජයසිරි අහනව විතරයි. 
 එතකොට ඉහත බ්‍රිතාන්‍යයෙන් ලංකාවට එන සීමාවාසික පුහුණුව ට ගිය වෛද්‍යවරු හා ලොකු ලොක්කන්ගේ ළමයි බව නොදැන එයට විවේචනයක් ගෙන එන නාමල් උඩතලමත්ත ඇතුලු  පොහොට්ටුවාදීන් පසුව නිහඬ වෙනවා. මොකද උන්ගේ මහා අනෙකා වන උන්ට නැති රසයක් විඳින බ්‍රිතාන්‍යයයේ  ජිවත්වෙන එවුන් එතන නැති නිසා. බ්‍රිතාන්‍යයේ ජිවත් වන ඒ ගොල්ල  (මමද ඇතුළුව) මරණය උපේක්ෂාවෙන් මේ ධනවාදය තුල මේ මොහොත රස විඳිනවා. 

දීප්ති මට තවත් පොත් දෙකක් දුන්නා. එකක නලින් ද සිල්වා මහතාගේ "කාලය". අනික එයට පිළිතුරු ලෙස ලියන ලද "මගේ ලෝකයෙන් පසු ලෝකය. "

රැඩිකල් විඥානවාදී කියල දීප්ති කියන  මහේෂ් හපුගොඩ ලියන්නේ මොනවද කියල දැනගන්නත් ශ්‍රී ලංකා  පෙරටුගාමී පක්ෂයේ ප්‍රධාන ප්‍රතිපත්ති වෙනසක් කරගෙන යනවද  කියල බලන්නත් එක්ක පොත් දෙකම කියෙව්වා. කොවිඩ් 19 නිසා ඇතිවුන තත්වයත් එයට පිටුවහලක් වුනා කිව්වොත් නිවැරදියි.

මගේ බ්ලොගයේ මේ ගැන ලියන ලිපි කිහිපයක් ඊළඟට පලවෙන්නට නියමිතයි.


Sunday, 10 May 2020

ලොක් ඩවුන් සුන්දරද මෙතරම්

අක්කා කතා කළා 
මල්ලි අනේ තිස්දහටත් වැඩියි  නේද 
බය නැත්ද ඔහේ ඉන්න 
අම්මත් මේ දැන් කතාකළා 
අපි හැමෝම බයෙන්
ඔයා ගැන 

අක්කේ තිස්දාහ තමයි  
අපිට  ඉතින් ප්‍රශ්නයක් 
ඇත්තෙත් නැහැ  
නැත්තෙත් නැහැ 
ජොන්සන් පරක්කු වැඩියි නේ 
එයාට  හදිස්සි වුනේ 
යුරෝපෙන් එලියට යන්න විතරයි 
අනිත් ඒවාට හරි හිමින් 
පේන්නේ නැත්ද කපටි ඉබ්බෙක් වගේ 
හාව  පරද්දපු 

අම්මට මම කතා කරන්නම් 
අම්මත් බයෙන් 
අනේ පුතේ එන්න 
අපේ ජනාධිපති ස',
එයා භාර ගන්නවලු 
එන ඕන කෙනෙක් ව  

පිස්සුද අම්මේ ඔයාට 
ළමයි දෙන්නයි අරයයි දාල 
කොහේ එන්නද 
එයාලා කොහොමත් එන්නේ නැහැ 
මම ආවත් 

අද අල්ලපු ගෙදර එක්ක බාබෙකිව් 
අම්ම තරහ නැහැනේ සුරුට්ටුවක් බිව්වට 
තාත්තා නම් බිව්වේ යාපනේ සුරුට්ටු 
හප්පේ සුවඳ  ඒත් තිබ්බනම්
කෝවිඩ්  19 සුවඳටම  මැරිලා යයි

ඕන දෙයක් කරගන්න 
කියන දෙයක් අහන ළමයෙක් යැ 
මම මේ පහන තියල දෙයියන්ට 
බුදුන්ට භාර වුනා ඔයාල රැක  දෙන්න 

මරණේ කියන එක එනවා 
ඕන වෙලාවක අම්මේ 
අද එන්නත් පුළුවන් 
හෙට එන්නත් පුළුවන් 
අවුරුදු දහයකින් එන්නත් පුළුවන් 
පුළුවන් වුනොත්  මාත් එන්නම් 
අගෝස්තුවේ වත් 
ඔයාව බලල යන්න

මේ ටික නම් අම්මට නෙමේ කිව්වේ 

ජිවිතේ තියෙන්නේ 
විඳින්න මිසක්
විඳවන්න නෙමෙයි 
බයෙන් ඉන්නවට වඩා 
ඉන්න මොහොතේ 
ඉඳහල්ල බන් සතුටෙන්
  
විස්කි වීදුරුවයි සිගාර් එකයි 
මස් කෑල්ලයි ඕනෙම නැහැ ඒකට  
පෙරාපු රා ටිකක්, යාපනේ  සුරුට්ටුවක්
ලුණු මිරිසක් එක්ක  මඤඤොක්ක 
කෑලි ටිකක් තිබ්බත් 
ඒකත් සැපක් තමයි 
තියෙන දේ විඳින එක 

ලොක් ඩවුන් සුන්දරද මෙතරම්