මේ ලඟදි නෑදෑයින් දෙපළක ගේ විවාහ සංවත්සරයකට ගියා ජර්මනියට. ඒ ගොල්ලෝ උත්සවය සැමරුවේ ඒ කාලයේ නැගෙනහිර ජර්මනිය හෙවත් ජර්මන් ප්‍රජාතන්ත්‍රවාදී ජනරජය ලෙස හැඳින්වූ රටේ (දැන් ජර්මන් සමුහාණ්ඩුවේ ) හෝටලයක. වල්ඩ්හොටෙල් බෙර්ගොෆ් කියන එකේ. ඒක තේරුම කඳු මුදුනේ කැලෑවේ(වල්ඩ්) හෝටලය කියන එක. තුරින්ගියා වනය අසල ලුයිසේන්තාල් නගරයේ අක්කර ගණනක් පුරා විහිදී ඇති හෝටලයක්.
මම මීට කලිනුත් නැගෙනහිර ජර්මනිය ගැන ලිපි පේලියක්ම ලිව්වා. ඒවා පහල ඇති. සෝවියට් දේශයේ ජීවත්වුණු ශිෂ්‍යයෝ හුඟක් අය දන්නේ තමන් දුම්රියෙන් පහුකරගෙන ගිය පෙදෙසයි නැගෙනහිර බර්ලිනයයි ගැන විතරයි. මොකද බටහිරට යන්න නැගෙනහිර බර්ලිනයේදී දුම්රියෙන් බහින්න වෙන නිසා. ඉතින් හුඟක් වෙලාවට මේ රට ගැන තීරණය කරලා ලියන්න ඇත්තේ ඒ දැකපු දේ අනුව වෙන්න පුළුවන්.
අපේ නෑදෑයින් දෙපල අන්ද්‍රියාස් සහ ඔහුගේ බිරිඳ ගීසේලා ගේ 20 වන විවාහ සංවත්සරය මේ හෝටලයේ තමයි ගත්තේ. සාමාන්‍යයෙන් අපි ඔක්කොම එදා අළුයම වෙනකන්ම මේ උත්සවය සමරන නිසා නතර වුනෙත් හෝටලයේමයි.
විශේෂත්වය මේකයි. මම නිකමට අන්ද්‍රියාස් ගෙන් ඇහුව මේ හෝටලේ අලුතෙන් හදපු එකක්ද කියල. මොකද මම උදේම සෞනා එකට ගියා ගිනි තපින්න. (ඇඟට හොඳයි). පිහිනුම් තටාකයේ පීනුවා, උදේ කෑම එකත් නියමයි බුෆේ ක්‍රමයට. එයා කීව නෑ මේ පරණ හෝටලයක් අළුත් අයිතිකාරයෝ කියල.
කුතුහලය නිසා මම පොඩ්ඩක් හොයල බැලුව. කතාව ඇත්ත. නැගෙනහිර ජර්මන් රට බටහිරට එකතු වුනු මුල් අවුරුදු කිහිපයේ නැගෙනහිර ජර්මන් රජයට අයත්ව තිබූ මේ හෝටලය වසා දැමුනා. ජරා ජීර්ණ වෙමින් තිබුණු හෝටලය සමාගමක් විසින් මිලදීගෙන පරණ තුබුණු අන්දමටම ගොඩ නැගුවා.
මෙහි භුමියේ නොයෙකුත් විනෝදාත්මක ක්‍රියාකාරකම් තිබෙනවා එන අයට කරන්න. ඒ කියන්නේ කඳු නැගීම, බෝට්ටු පැදීම් වැනි දේ.
ඒ කියන්නේ මේ නැවත ප්‍රතිසංස්කරණය කරලා තියෙන්නේ පරණ හෝටලයමයි. නැගෙනහිර ජර්මනියේ මේ වගේ හොඳ හෝටල් තිබුණා කියන එක තමයි දැන් නිගමනය. බලන කොට එහෙම ඒවා කිහිපයක්ම තිබිල තියෙනවා. එතකොට කවුද ඒවාට ගියේ. මම හිතුවේ කොමියුනිස්ට් පක්ෂයේ , ස්ටාසි එකේ උසස් නිලධරයන් වෙන්න ඇති කියල. එහෙමනේ සාමන්‍යයෙන් වෙන්නේ.
නැහැ මේ හෝටලේට නම් එවල තියෙන්නේ තමන් වැඩ කරන තැන්වල වැඩිම තරු ගාන හම්බ වෙච්ච අය හෙවත් හොඳම වැඩ කරුවා හෝ ඊළඟට ඉන්න කෙනා. හොඳම ඉන්ජිනේරුව, හොඳම කම්කරුවා ඔන්න ඔය වගේ. (ඒ ගොල්ලෝ කොහොමද තේරුවේ කියන එක දන්නේ නැහැ දැනට. පස්සේ හොයල කියන්නම්)
එතකොට තමන්ගේ පවුල පිටින්ම මේවාට එන්න දුන්නලු. කෑම බීම ඔක්කොම නොමිලේ. එතකොට මේ ගිනි තපින සෞනා එක, පිහිනුම් තටාකය, මසාජ් කරන තැන් අනිත් එළි මහන් ක්‍රීඩා ඔක්කොමත් ඇතුළුව. ඒ ඔක්කොම නොමිලේ.
අම්මට සිරි, ඉතින් මම කිව්වා මගේ බිරිඳගේ නෑදෑයට ,
"ඉතින් කොච්චර හොඳද? එහෙමෙ තියෙද්දිනෙ ඔයාල මේ තිබ්බ සමාජවාදෙට බනින්නේ , ස්ටාසි එකෙන් විතරනේ ප්‍රශ්නෙ තිබ්බේ කියල "
මිනිහ කියපි:
"ඔව් ඉතින්, නොමිලේ නම් තමයි, ඒත් මේ හෝටලේට එන්න අවුරුදු හතක් පෝලිමේ ඉන්න ඕනේනේ "
ඉතින් සමාජවාදේට කෙළවුණ එක අහන්නත් දෙයක්ද?
දැන් ජර්මනියේ නැගෙනහිර පැත්තේ සමාජවාදේ ඉවරවෙලා අවුරුදු 20 කටත් වැඩියි. හෝටලේ තවම තියනවා. සල්ලි දීල බුක් කරලා ඕන කෙනකුට ඇවිල්ල විනෝද වෙලා යන්න පුළුවන්.
සමානාත්මතාවය සල්ලි වලට ගන්න පුලුවන්ද?
ඔය වෙලාවේදී තමයි මට කල්පනා වුනේ සමාජවාදී රටවල හිටපු ගොඩක් අය ඒ කියන්නේ රුසියානුවෝ, නැගනහිර ජර්මන් ජාතිකයෝ, යුක්රේනියන් වරු සහ මෙකී නොකී ජාතින් නිවාඩු යනකොට එළිමහනේ ඉන්න තමයි වඩා කැමති. කැලෑවක් හෝ වෙරළක් අයිනේ කුඩාරමක් ගහගෙන කඳු නගින්න, ගිනි තපින්න වගේ මුදල් අඩුවෙන්ම වියදම් වෙන ක්‍රම වලින් නිවාඩුව ගත කරන්න තමා හදන්නේ. සමහරවිට ඕව පුරුදු වෙන්න ඇත්තේ අර වගේ පෝලිමේ ඉන්න ඕන නිසා වෙන්නැති නොමිලේ දෙන එකට .
හෝටලය ඉදිරිපස |
හෝටලයේ පිළිගැනීමේ කාර්යාලය |
ඇතුලේ පිහිනුම් තටාකය
මේ පින්තුරය මම ගත්තේ |
සෞනා එක (උණුසුම් කාමරය) |