මම "පොල්කට්ටෙන් එපිටට" පොතේ අගටම ඇති ලිපියේ ලිවූ අදහසක් වූයේ කිසියම් අහඹු සිද්ධියකින් මුළු ජීවිතයේම ගමන්මග වෙනස් විය හැකි බවය. එය එක වරක් නොව කිහිප වතාවක්ම සිදු විය හැක්කේ අපේ ජිවිත, කොතරම් අපට අවශ්‍ය ආකාරයට රේඛීය දිශානතියකට ගෙනයාමට තැත් කළත් සැමවිටම එය එසේ වීම අනිවාර්ය නොවන නිසාය. හැබැයි ඒවා එසේ සිදුවන්නේ කිසියම් අමුතු බලවේගයක් නිසා නොව අපගේ අතපසුවීමක් නිසාවෙන් හෝ අපට පාලනය කළ නොහැකි නීති රීති හෝ සිද්ධි සමුදායන් නිසාය.
මගේ එකිබස්තුස් ගමන ගැන දැනට සිටින යහළුවන් හෝ සෝවියට් දේශයේ සිටි යහළුවන් කිසිවෙකුත් දන්නේ නැත. මා කීවේ මගේ පියාට පමණි. ඒ හා සම්බන්ධ රැකියාව ලැබේද නැත්ද යන්න පිළිබඳව හරි ඇගයුමක් නොතිබීම නිසා විය හැක.
සෝවියට් දේශය 1991 අවසානයේ බිඳ වැටුණු පසු සමුහාණ්ඩු පහලවම නිදහස ලබා වෙන්ව ගියහ. ඊට අනුරූපව යටපත් කර තිබූ මේ රටවල ජාතිවාදය ඉස්මුදුන් වලටම ගලා ආයේය. බහුතරයක් මුස්ලිම්වරුන් වෙසෙන කසාක්ස්තානය (බොහෝ අය වැරදියට හඳුන්වන කසකස්ථානය ) ටද එයින් මිදෙන්නට නොහැකි විය. ස්ටාලින් ගේ කාලයේ පිටුවහල් කරන ලද බොහෝ ජර්මන් වරු එහි සිටියහ. මින් සමහරෙක් දෙවන ලෝක යුද්ධය නිසා හසුවූ යුධ සිරකරුවන්ය. මොවුන් හැඳින්වුනේ සෝවියට් ජර්මන්වරු ලෙසය. කසාකයන් මුලින්ම රටින් එළවා දැමුවේ ඔවුන්වය. ජර්මන් රජය මේ සියල්ලන්ම භාර ගැනීමට කැමති විය. ඊළඟට පැමිණියේ සෝවියට් කාලයේ පදිංචි කරනලද රුසියානුවන් හා අනිකුත් ජාතීන් ගේ වාරයයි. මෙසේ රුසියාවට ආපසු පිටමන් කරන ලද රුසියානුන්ට හරි හමන් ඉන්නට හිටින්නට තැනක් තිබුනේද නැත. බොහෝ අය තම තමන්ගේ නෑදෑයන් ගේ යහළුවන් ගේ ගෙවල අමාරුවෙන් ජීවත් වූහ.
මෙසේ එළවන ලද අය බොහොමයක් වෘත්තිකයන් විය. එනම් ඉංජිනේරු, වෛද්‍ය, කාර්මික ශිල්පින් , ගුරු වෘත්තියේ යෙදුනවුන් හෝ කිසියම් ශිල්පයක් උගත් අය විය. කසාක් වරු හිතුවේ ඔවුන්ට ඇති ශ්‍රම ශක්තිය ප්‍රමාණවත් යැයි කියාය. නමුත් එසේ වූයේ නැත.
ඒ දිනවල අයැදුම්පත් දැමූ රැකියා දෙකක් මට මතකය. එකක්
රදර්ෆර්ඩ් ඇපල්ටන් පර්යේෂණාගාරයේ කනිෂ්ඨ ඉංජිනේරු තනතුරකි. මේ අර එර්නස්ට් රද්ර්ෆර්ඩ් ගේ සිසුන් දෙදෙනෙකු වන ගෛගර් හා මාර්ස්ඩන් පරමාණුක න්‍යෂ්ටිය සොයාගත් රන් වළල්ලට ඇල්ෆා අංශුන් යැවූ පරීක්ෂණය කල තැනමය. මට ඒ රැකියාව ලැබුනේ නැත. සම්මුඛ පරීක්ෂණයේදී මගේ ඉංග්‍රීසි හොඳ නැති බව මටම වැටහුණි. මට දැනුත් සිතෙන්නේ මා ඒ තැනට ගියේ එහි නමට ඇති ගෞරවය හා ස්ථානය දැක ගැනීමට මිස රැකියාවක් ලැබේ යයි බලාපොරොත්තුවෙන් නොවන බවය. එකල මම රෝයල් ඊගල් නමැති හෝටලයක මොස්කව් ස්ටේට් යුනියේ ලොමොනොසව් මණ්ඩපයේ උගත් බුද්ධි හිත්තැටිය සමග කළමනාකාර තනතුරක් දැරුවෙමි. සම්මුඛ පරීක්ෂණ මඩුල්ල මට ආපසු එම රැකියාවටම යන්නට කීහ.
ඇමෙරිකානු AES ආයතනයට කෙන්ට් වල මෙඩ්වේ හි තාප (ගෑස්) විදුලිබලාගාරය අයත්ව තිබුණි. පුවත්පත් දැන්වීමක ඔවුන් කසාක්ස්තාන් එකිබස්තුස් බලාගාරයේ සේවයට ඉන්ජිනේරුවන් කැඳවන බව දැක අයදුම්පතක් දැමුවෙමි. ඔවුන් එයට ඒ වනවිට ආයෝජනය කර නොතිබූ අතර දත්ත සෙවීමේ චාරිකාවක් සංවිධානය කර තිබුණි. (fact finding mission). මෙඩ්වේ බලාගාරයේ ප්‍රධාන විධායක ඉංජිනේරුවරුන් දෙදෙනා සහ අයර්ලන්ත අධි වෝල්ටීයතා ඉන්ජිනේරුවෙකුද ඊශ්‍රායල සම්භවයක් ඇති AES ආයතනයේ අධ්‍යක්ෂකවරයෙකු ගෙන්ද සමන්විතවූ ගමනට මා බඳවා ගනු ලැබුවේ තාක්ෂණික පරිවර්තකයෙකු ලෙසිනි. (technical translator). නමුත් ඔවුන්ට ඇත්තටම අවශ්‍ය වූයේ කසාක්ස්වරුන් ප්‍රධාන සාකච්ඡා වලදී සඟවන දේ ඔවුන් සමග කතාබස් කොට දැනගැනීමයි. ඇමෙරිකානු සමාගමට බලාගාරයේ ඇත්ත වටිනාකම දැනගැනීමට අවශ්‍යව තිබුණි. අධ්‍යක්ෂවරුන් හා වෙළඳ නියෝජිතයන් ගිය මුල් සංචාර වලදී කසාක්ස්වරුන් බොහෝ දේ සඟවන බව ඔවුන්ට වැටහී තිබුණි. ඉංජිනේරුවන් යැව්වේ ඒ නිසාය.
මේ ගමනේදී මට පැහැදිලිවූ එක දෙයක් විය. ශ්‍රී ලංකාවෙන් ඇමෙරිකා එක්සත් ජනපදය වැනි රටවල රැකියාවන්ට ගිය සමහරු සෝවියට් අධ්‍යාපනය හා තාක්ෂණික, විද්‍යාත්මක ක්ෂේත්‍රයන් හි ජයග්‍රහණ බොහෝ විට අවතක්සේරු කරනු මම දිටිමි. ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලද ඇතැමුන් අතරද මේ අදහස් ම තිබෙනු මා දැක තිබේ. නමුත් අපේ කණ්ඩායමේ ඇමෙරිකන් ප්‍රධාන ඉංජිනේරුවන් හෝ බ්‍රිතාන්‍ය ඉංජිනේරුවා සෝවියට් තාක්ෂණික හපන්කම් ගැන කතා කළේ ප්‍රශංසා මුඛයෙනි. සෝවියට් ඉංජිනේරුවන්ට බටහිර තරම් පහසුකම් තිබුනේ වඩාත් දියුණු දේ නිපදවීමට හැකියාවක් තිබු බව ඔවුහු පිළිගත්හ.
ඒ දිනවල ලෝකයේ උසම චිම්නි දෙක (මීටර 330) සහිත ගල් අඟුරු වලින් ක්‍රියා කරන තාප විදුලි බලාගාරය තිබුනේ එකිබස්තුස් වලය. මෙගාවොට් 500 ටර්බයින් හතරක් තිබූ එහි මුළු ධාරිතාවය මෙගාවොට් 4000කි. සෝවියට් වරු එය සාදා නිම කලේ 1980 දීය. සෝවියට් දේශයේ අභාවයෙන් පසු කසාක්ස්වරුන් අතට ගිය විදුලි බලාගාරයේ නිසි අලුත්වැඩියා කිරීම් පැහැර හැර තිබුණි. අලුත්වැඩියා කිරීමට ද්‍රව්‍ය, උපකරණ හා පුහුණු ශ්‍රමයද ඔවුන්ට නොතිබුණි. ඔවුන් ඉහත කි පරිදි රුසියානු සහ ජර්මන් පුහුණු ශ්‍රමිකයන් රටින් එලවිමද තත්වය තවත් අල වීමට හේතුවක් විය. මේ කාලයේදී එක මෙගාවොට් පන්සීයක ටර්බයිනයක් පුපුරා ගොස් ටර්බයිනයේ කෑල්ලක් උස වහලය පසාරු කරගෙන ගොස් තිබුණි. එනිසා අප එහි යනවිට ඉතිරිව තිබුනේ ටර්බයින් තුනක් පමණි. බලාගාරයේ ධාරිතාවය මෙගාවොට් 650 කට පමණ අඩුවී තිබුණි. (මේ විනාශවුණු කොටස ඡායාරූප ගත කරන්නට ඔවුන් මට අවසර දුන්නේ නැත). ඔවුන් බලාගාරයේ මුළු ධාරිතාවය පිලිබඳව කලින් ලබාදුන් දත්ත වැරදි බව මේ ගමනේදී සොයා ගැනුනි.
බලාගාරය
අප එකිබස්තුස් වලට ගමන් කලේ සැහැල්ලු ගුවන් යානයකිනි. එහිදී නැවතී සිටියේ අල්මාති නගරයේ රකත් මාළිගය නමින් හඳුන්වන විශාලතම හෝටලයේය. හෝටලයේ එක්සත් ජාතීන්ගේ සංවිධානයට අයත් පිරිස් මෙන්ම බටහිර සමාගම් වල සේවකයන් බොහොමයක්ද රැඳී සිටියහ. සෝවියට් දේශයෙන් වෙන්වූ පසු මේ රටවල බටහිරයන්ගේ ආගමනය හා ආයෝජනය ගලා ඒම ප්‍රබලව සිදුවුණි. එකිබස්තුවලදී මට හමුවුණු පිරිස අතරේ නූර් නම් භාෂා පරිවර්තිකාවද වූවාය. කසාක්ස් නියෝජිතනයන් හා බලාගාරයේ අධ්‍යක්ෂක වරුන් අපට ඉතා හොඳින් සැලකූහ.
රකත් පැලස් හෝටලය
පැලස් හෝටලය ඉදිරිපස
අපේ කණ්ඩායම
එකිබස්තුස් හි කුඩා ගුවන් තොටුපල
එකිබස්තුස් පිලිබඳ කතා කරන විට මතකයට එන තවත් වැදගත් කාරනා දෙකක් තිබේ. එකක් නම් ඇලෙක්සැන්ඩර් සොල්ෂෙනිට්සින් නමැති මහා ලේඛකයා පිටුවහල් කෙරුණේද මේ නගරයට වීමයි. එසේ නම් එයට සම්බන්ධ දෙවන කරුණ කුප්‍රකට ගුලාග් නමැති කම්කරු කඳවුරද තිබුනේ මෙහි වීමයි. සොල්ෂෙනිට්සින් "ඉවාන් දෙනිසෝවිච් ගේ දවසක් පොත" ලියන්නේ ද මේ ගුලාගය ගැනය.
මේ ගමනේදී මට අමුතුම සිදුවීමකට මුහුණ පෑමට සිදුවුණි. අපගේ ගුවන් ටිකට් පත තිබුනේ ලන්ඩනයෙන් ජර්මනියේ ෆ්‍රෑන්ක්ෆට් වලටත් (ට්‍රාන්සිට්) එතනින් අල්මාති (අල්මා අටා ) නගරයටත්ය. ජර්මනියේ ෆ්‍රෑන්ක්ෆට් ගුවන් තොටුපළේදී යානයට පැමිණි ජර්මන් පොලිසිය මට ඔවුන් සමග එන්න යැයි කියා මුළු ට්‍රාන්සිට් කාලය පුරාවට මා ඔවුන් සමග තබා ගත්තේය. ඉන්පසු දෙවන යානයට ඇරලවද්දී කණ්ඩායමේ අනිකුත් හතර දෙනා කලබලයට පත්ව සිටියහ. මා පසුව දැනගත් පරිදි හේතුව වූයේ මගේ ශ්‍රී ලංකා ගුවන් ගමන් බලපත්‍රයයි. මොස්කව් හා කසාක්ස්තාන්වල සිට වෙනත් රටකට ගුවන් ගමන් බලපත්‍ර ගෙන පැමිණෙන ශ්‍රී ලාංකිකයන් ෆ්‍රෑන්ක්ෆට් හි නතර වී දේශපාලන රැකවරණ ඉල්ලන නිසා ඔවුන් ශ්‍රී ලාංකික ගමන් බලපත්‍ර හිමි ට්‍රාන්සිට් මගීන් මෙලෙස තබා ගන්නා බව ඊශ්‍රායල සාමාජිකයා දැන ගත්තේය. (ඔහුට හොඳින් ජර්මන් බස කතා කිරීමට හැකි අයෙකි ) ජර්මන් රජය මෙය පසුව ඉවත් කරගත්තේ ලන්ඩන් හා මොස්කව් වල නිලධාරීන් රඳවා තැබීමෙනි.
කෙසේ හෝ මේ සිද්ධිය නිසා මට කසාක්ස්ථානයේ බලාපොරොත්තු වූ ඉංජිනේරු රැකියාව නොලැබුණි. සමහරවිට ඔවුන්ට අවශ්‍යව තිබුනේ රටවල් දෙක තුනක් අතර පහසුවෙන් සංචාරය කළ හැකි අයෙක් බව පසුව ප්‍රධාන විධායක ඉංජිනේරුවා හා කතා කිරීමේදී පැහැදිලි විය. ඔවුන් වසර දෙකකට පසු එම බලාගාරය මිලදී ගත් අතර (ආයෝජනය කළ අතර) දැන් නැවතත් එය කසාක්ස්තාන සමාගමකට භාර දී ඇත.
පරිගණක ක්ෂේත්‍රය ඉදිරියේදී වඩා දියුණුවන බවට ප්‍රධාන ඉංජිනේරුවා මා රැකියාවට ගැනීම සඳහා කළ මූලික සම්මුඛ පරීක්ෂණයේදී පැහැදිලි කළේය . ඔහු මා විසින් මොස්කව් වීදුලි බල හා බලශක්ති විශ්ව විද්‍යාලයේදී උගත් ෆොර්ට්‍රන් නමැති පරිගණක භාෂාව පිලිබඳ ප්‍රශ්න කිහිපයක්ම ඇසීය. මා ළඟ මමත් මගේ පාඨමාලාවේම සිටි යහලු එන්ග් වෙන් සමග එකතුව (නාඋච්න ඉස්ලෙදවතෙල්ස්කය රබෝතා හෙවත්) විද්‍යා පර්යේෂණ නමැති විෂයට ඉදිරිපත් කල ප්‍රෝග්‍රෑම් එකද තිබුණි. එහි පිටපත මා රුසියාවෙන් එද්දී රැගෙන ආ එකකි.
මේ අනූවේ දශකයයි. ඒ දිනවල මා ළඟ තිබුනේ ඉන්ටෙල් 80486 හා අම්ස්ට්‍රාඩ් නමැති පරණ පරිගණක දෙකකි.
නමුත්ඒ ඉංජිනේරුවා කී අදහස බලපැවැත්වූ නිසා පරිගණක විෂයයන් හැදෑරීම සඳහා එංගලන්තයේ සවුත්බෑන්ක් විශ්ව විද්‍යාලයට ඇතුලත් වුනෙමි.
ඒ දිනවල සෝවියට් දේශයේ සිට පැමිණ ලන්ඩනයේ ජීවත්වූ න්‍යෂ්ටික බලය පිලිබඳ විද්‍යාඥයෙකු ගෙන් වින්ඩෝව්ස් 95 තිබෙන කොම්පියුටරයක් මිලදී ගතිමි. ඔහු මට කොම්පියුටරය විකිණුවේ නැගෙනහිර ලන්ඩනයේ උද්‍යානයකය. ඔහු එහි කීබෝඩ් එකට රුසියන් භාෂාවේ අකුරු අමුණා තිබුණු බව මට මතකය. ඒ දිනවල සෝවියට් දේශයේ හිටි න්‍යෂ්ටික බලය සම්බන්ධ විද්‍යාඥයන් බොහෝමයකට අමෙරිකාවේ, බ්‍රිතාන්‍යයේ , ජර්මනියේ ජිවත්වීමට අවසර සලසා තිබුණි. මෙසේ කර ඇත්තේ එම රහස් වෙනත් ත්‍රස්තවාදී සංවිධානයකට හෝ ඉරානය වැනි රටකට ලැබේ යයි සිතාය . ඔවුන්ට නිවසක්ද පඩියක්ද ලබා දී තිබු අතර ඔහුගේ දියණියටද බ්‍රිතාන්‍යයට පැමිණීමට වරම් දී තිබුණි. ඔහු මට පරිගණකය උද්‍යානය ට පැමිණ විකුණුවේ නිවස නිරීක්ෂණයට භාජනය වී තිබෙන නිසා යයි මට කිවේය. ඔහු ලන්ඩනයේ සිටියේ අකමැත්තෙන් වන අතර නැවත රුසියාවට යන්නට ඇතැයි සිතමි.
සවුත්බෑන්ක් හි උපාධි පාඨමාලාව අවසානයේ උපාධි නිබන්ධනය සුපර්වයිස් කල ලරිසා ෆ්රද්කින් මහාචාර්යවරිය සෝවියට් දේශයේ ලෙනින්ග්‍රාද් නගරයේ පොලිටෙක්නික් විශ්ව විද්‍යාලයේ උගත් අයෙකි. ඇගේ සැමියාද කේම්බ්‍රිජ් විශ්ව විද්‍යාලයේ රුසියානු මහාචාර්යවරයෙකි. දෙදෙනාම දැනටත් කේම්බ්‍රිජ් වලට ආසන්න නගරයක ජීවත්වෙයි. මගේ ලින්ක්ඩ්ඉන් ජාලයේ සිටින ඇය, මිට වසර කිහිපයකට පෙර ඒ හරහා මගේ විස්තර විමසුවාය. අපට ඒ දිනවල සිටි සෝවියට් ගුරුවරුන් සේම ඇයද තමන්ගේ සිසුන් ගැන ඉඳහිට හෝ සොයා බලන බව වටහා ගතිමි.
මේ කතාවේ ඉතිරිය මේ බ්ලොගයේ බොහෝවිට කියා ඇති නිසා කතාව මෙතනින් නවත්වමි.