තාත්තා මිය ගියේ අක්මාවේ ප්‍රශ්නයකට .
ඒ දවස් වල මුලදී හෘදයාබාධයක් වෙන්න ඇති කියල මහා රෝහලේ හිටිය . පස්සේ තමා අක්මාවේ ප්‍රශ්නයක් කියල හොයා ගත්තේ. රුධිර පරීක්ෂණයක් කරලා හෙපටයිටස් සී වලට බෙහෙත් දුන්න. පස්සේ දැන ගත්ත ඒකත් නෙමේ කියල. අක්මාවේ සිරෝසිස් කියන ලෙඩේ හැදිලා කියල කීවේ පසු පරීක්ෂණ වලින්. ඔන්න ප්‍රශ්න එන්න ගත්තේ එතකොට. ආරෝග්‍යශාලා වල සේවය කරන හෙද සහ අනිකුත් සේවයේ අය බනිනවලු , "බීල බීල වැඩිවෙලා එනව මෙතන අපට කරදර කරන්න" වගේ දේ කියනවලු . ඊට වඩා අහන් ඉන්න අපහසු දේත් අම්මට කියනවලු .
සිරෝසිස් හැදෙන්නේ බීල වැඩි වුනහම නැත්නම් හෙපටටිටිස් නිසා කියලා තමා සාමාන්‍ය මතය. ඒකෙ ඇත්තක් තිබෙනවා. අක්මාවේ සෛල මැරිලා ස්කාර් ටිෂු හෙවත් කැළැල් පටක හැදෙනවා. ඒ නිසා අක්මාව එන්න එන්නම දුර්වල වෙනවා. සාමාන්‍ය 'පිරිසිදු කිරීමේ ' වැඩ කරන්න එයාට බැහැ. දැඩි මහන්සිය , බර අඩු වීම , කෑම අප්පිරියාව, වමනය , බඩේ රුදාව වගේ තමා රෝග ලක්ෂණ හැටියට මුලින් එන්නේ .
අන්තිමට බැරිම තැන මල්ලි යුරෝපයේ ඉඳල ගියා තාත්ත බලාගන්න . අම්මට තනියම , අනුන්ගෙන් බැනුනුත් අහගෙන තාත්තාව හොස්පිටල් ගෙනියන්න බැරි නිසා.
ඔන්න ඔය වෙලාවේ තමා "නියම වෙදැදුරු " කෙනෙක් පිහිට වුනේ . ජෙනරල් හොස්පිටල් එකට ගෙනිච්ච වෙලේ ආපහු ටෙස්ට් කරලා ඒ හොඳ දොස්තර මහත්මයා හොයා ගත්ත ලෙඩේ. හෙමක්‍රොමටසිස්. එය සුවකරන්න සම්පුර්ණයෙන් බැරි බවත් ඒ වෙනුවට රුධිරය ඉවත් කරලා (venesection ), රුධිර ප්ලාස්මා ලේ වලට ඉන්ජෙක්ට් කලහම හොඳයි කියලත් කීව . හැබැයි මහා රෝහලේ ඒක කරන්න බැහැ . ගෙවල අරන් එන්න ඕනේ පිටින් . ඒ දවස් වල රුපියල් 5000ක් (පවුම් 100-120 විතර) . ඒ කියන්නේ උද්ධමනය ගණන් අරගෙන බැලුවහම දැන් කාලේ මුදලින් ශ්‍රී ලංකා රුපියල් 50,000-60,000 අතර). හැබැයි දැන් වුනත් ඔය ලෙඩේට මෙහෙ NHS එකෙන් කරන්නෙත් ඒක . තාත්තට සැහෙන්න සනීපයි කිව්වා . ඇවිදින්න උනත් පුළුවන් . හොඳ දොස්තර කිව්ව තාත්තගේ ලේ වල අයන් (යකඩ ) වැඩි නිසා ඇති වුනු ප්‍රශ්නයක් කියල ඒ දවස් වල අන්තර්ජාලය දැන් වගේ නැහැනේ . මම ඇහුව මෙහෙ (එංගලන්තේ ) ඩොකෙක් ගෙන්.එයා කිව්වා ඕක වැඩිපුර තියෙන්නේ ටිබෙට් , නේපාල වගේ රටවල අයට කියල. දැන් අන්තර්ජාලය තියෙන නිසා ඕනේ කෙනෙකුට හොයන්න් පුළුවන්.මේක සංජානනීය තත්වයක් (පරම්පරාවෙන් එන ජානමය තත්වයක් ). ටිබෙට් වල වගේ උඩ කඳු වල ජිවත් වෙන මිනිසුන්ට ඔක්සිජන් වැඩියෙන් අවශ්‍යයි සෛල තුල දහනය සඳහා. මේ නිසා ඔවුන්ගේ පෙනහළු විශාලයි වඩා වාතය අවශෝෂණය කර ගන්න . ඒවා ගෙනියන්න රතු රුධිර සෛල හෙවත් හිමොග්ලොබින් අවශ්‍යයි. හිමොග්ලොබින් කියන්නේ අයන් තියන ප්‍රෝටීනයක් . ඔක්සිජන් පෙනහළු වල සිට සෛල වලට ගෙනයාම, කාබන් ඩයොක්සයිඩ් අරන් එම, ශක්තිය නිපදවීම් , ප්‍රතිශක්තිය ඔය ඔක්කොටම අදාලයි. වැඩි අයන් කතාව එන්නේ ඔතැනට. අරහෙම අයට අයන් වැඩි ප්‍රමාණයක් තියනවා . පරිණාමවාදය . වැඩේ කියන්නේ එහෙම තත්වයක් තියෙන කෙනෙක් අවුරුදු ගානක් තිස්සේ පහතරටක ජිවත් වුනහම වැඩි යකඩ අක්මාවේ තැන්පත් වෙනවා . කාලයක් යද්දී අක්මාවේ වැඩ වලට මේක කරදරයක් වෙනවා වගේම ඒවා අර ඉහත තියෙන කැළැල් පටක බවට පත් වෙනවා . බොන්නම ඕනේ නැහැ සිරෝසිස් හැදෙන්න .
(අමතර කතාවක් . එංගලන්තේ ජාතික සෞඛ්‍ය සේවයට පින් සිද්ධ වෙන් එයාල හැම අවුරුද්දෙම මගේ රුධිර පරීක්ෂනයක් කරනවා අයන් ප්‍රමාණය බලන්න )
ඔන්න වෛද්‍ය සංගම් සහ මාරුවීම් ප්‍රශ්නෙකට අර 'හොඳ දොස්තර ' කළකිරිලා රජයේ සේවයෙන් ඉවත් වෙනවා. එයා ඊට පස්සේ පිටරට යනවා. දැන් 'නරක දොස්තර 1' එන්ටර් වෙනවා. එයා අපහු ටෙස්ට් කරනවා , තාත්තයි, අම්මයි මල්ලියි තුන්දෙනාම නොයෙක් විධිහට අර අලුත් දොස්තරට බැගෑපත් වෙනවා ප්ලාස්මා ට්‍රාන්ස්ෆියුෂන් එක කරන්න . ඒකෙන් හොඳයි කියල . මෙයා බැහැ කියනව . හුඟක් උඩඟු කෙනෙක්ලු . අනිත් දොස්තරලා කරපුව කරන්න බැහැලු. දැන් තාත්තගේ තත්වය එන්න එන්නම හොඳ නැහැ . මේ උගුඩුවා හෙපටයිටිස් සී වලට දුන්න බෙහෙතම ලියල දෙනවලු .
මමත් දැන් හොයනවා අර ප්ලාස්මා ටට්‍රාන්ස්ෆියුෂන් තාත්තාට කරගන්න විදහක් . ලන්ඩන් වල යහළුවෙක් ලංකවේ මේ වට ඉන්න හොඳම විශේෂන්ඥ වෛද්‍යවරයෙක් කියල කෙනෙක්ව හඳුන්වා දුන්නා. ඇත්තටම එයා ෆේමස් කෙනෙක් . ඒ දවස් වල රත්නම් කියල පෞද්ගලික රෝහලක් තිබ්බ . දැන් තියෙනවද දන්නේ නැහැ . ඒකෙ ලෙඩාව ඇඩ්මිට් කරන්න ඕනේ එයාව හමුවෙන්න . එතැනදී එයා නැවතත් ටෙස්ට් වගයක් නියම කළා . ඊට පස්සේ එයාගේ රජයේ වාට්ටුව වන රාගම රෝහලක නතර කරන්න කිව්වා. දැන් ආපහු මුල් ඉඳන් අර තාත්තට කරපු ටෙස්ට් ඔක්කොම එකක් නෑර කරගන යනව. ප්‍රයිවෙට් හැබැයි. අම්මල කීවට අර හොඳ දොස්තර ගේ ප්‍රතිකාර ක්‍රමයෙන් තාත්තා නැගිටලා ඉන්නව කීවට, මෙයා අහන්නෙත් නැහැ . අනික මහාචාර්ය කෙනෙක්නේ. එයා දොස්තරලට උගන්වන කෙනෙක් වගේ දේවල් කියල තිබ්බ. ඒවා ඇත්ත . ඒවා මට කීවට පස්සේ අර ඇඳුනුම් කමත් මතක් කරලා මම කතා කළා . තාත්තට දැන් ආයෙත් අමාරු වේගන නේ එන්නේ . මෙයා මට කිව්වා . "කිසි ප්‍රශ්නයක් නැහැ ලන්ඩන් එවන්නන් අක්මාව බද්ධ කරන්න. ඔයාට තියෙන්නේ ලැහැස්ති වෙන්න. මම දන්න තැනකුත් සෙට් කරලා දෙන්නම් වගේ දේ කිව්වා ". අපිත් ඉක්මනට පොඩි එක බෙඩ් රූම් එකක් සහ නමුත් ඉඩ තියෙන , ඇවිදින්න පුළුවන් වෙන්න බිම් මහලේ අපාට්මන්ට් එකකුත් මෝගේජ් කළා . මම ඒත් ඇහුවා අර "ට්‍රාන්ස්ෆියුෂන් එකෙන් හොඳයි නේ. එයාට ඒක දැනට කරන්න බැරිද" කියල .
"නැහැ ඕනේ නැහැ. මම මේ බෙහෙත් වගයක් ගැන පරීක්ෂණ කරන් යනව . ඒ වලින් හරි යයි . බය වෙන්න එපා . තාත්තා ව එවනව ඔහෙට" කියල.
මම විශ්වාස කළා . විශ්වාසය විතරනේ තියෙන්නේ .
ඒත් ඉතින් ලංකාවෙන් අම්මල කියන තොරතුරු හොඳ නැහැ . එන්න එන්නම අමාරුයි . මෙයාල අර ටෙස්ට් , මේ ටෙස්ට් කරනවා. වරකදී මෙඩිකල් ස්ටුඩන්ට් ල කට්ටියක් එක්ක ඇවිත් තාත්තගේ ඇඳ ගාවට ආවහම මෙයා කියල තියනව "බේර ගන්න බැහැ මෙයාව . වැඩි කාලයක් ඉන්න එකක් නැහැ " කියල තාත්තා ඒක අහගෙන ඉඳල . අම්මට කියල දුකෙන්. දැන් මට අවුල් . මොකද කරන්නේ කියල . ඒ අතරේ සෙම් ප්‍රතිශ්‍යා, නියුමෝනියා හැදිලා තිබුන ලෙඩෙක් තාත්තා ඉන්න ඇඳට අල්ලපු ඇඳට ඇඩ්මිට් කරලා තිබුන.
දැන් , මතක තියාගන්න අක්මාව දුර්වලයි කියන්නේ පිළිකා රෝගියෙක් වගේ තමා . ප්‍රතිශක්තිය හොඳටම දුර්වලයි . ඕන ලෙඩක් ටක් ගාල හැදෙනවා . අම්මා , මල්ලි තාත්ත ව හොඳට පරිස්සම් කළා. හොස්පිටල් එකෙන් කෙළියා. තාත්තා මැරුනේ නියුමෝනියාව හැදිලා. වයස හැට එකේදී . අපි හැමෝම මැරෙනවා තමයි . නමුත් අපි හදන්නේ හැකි තාක් කල් ඇදගෙන යන්නනේ . හැමෝම එහෙමයි . තාත්තා මැරුනේ මගේ දැන් වයසේදී. පපුව මිරිකගෙන එන වේදනාවක් තියනව. වළක්වා ගන්න බැරි, පලා යන්න බැරි. මට තව මොනවාද කරන්න තිබ්බේ කියන අදහස හැම වෙලේම එනවා.
අර මහාචාර්ය වෙදැදුරු ට මම කතා කරලා ඇහුවා ඇයි මෙහෙම කලේ කියල . එයාට කරන්න දෙයක් නැතිලු. වාට්ටුවේ උන් කරපු වැඩක් ලු . එයා බැන්නලු. මම කිව්වා" ඔයා ට්‍රස්න්ෆියුෂන් කළා නම් අපි ගෙදර තියා ගන්නවනේ කියල" . ප්‍රයිවෙට් හොස්පිටල් තියා ගන්න තිබ්බලු . ඉතින් එයාමනේ කීවේ එයාගේ වාට්ටුවට ගෙනියන්න කියල . මම නඩුවක් දාන්න හිතුව . වාට්ටුවේ අනිත් වෛද්‍යවරු සහ දන්න කෙනෙක් කීව "තේරුමක් නැහැ " කවුරුත් සාක්කි දෙන්නවත් එන්නේ නැහැ . ලංකාවේ ඕව වෙන්නේ නැහැ .
අපට හොඳට කරුණාවෙන් සළකපු හෙද නිලධාරීන් හිටිය . මධු කියා දැන් මෙහෙ NHS වැඩ කරන කරුණාවන්ත හෙද නිලධාරිනියක් හුඟක් උදව් කළා .
ඒ විශේෂන්ඥ වෛද්‍යවරයාව හඳුන්වා දුන්න යහළුවට මම වරදක් කීවේ නැහැ . නමුත් වුන දේ කීව. එයා දැන්මා සමග කතා බහක් නැහැ .එයාගේ වරදක් නැහැ . මමනේ උදව්ව ඉල්ලුවේ . ඔය කතාව දැන ගත්ත වෙනත් විශේෂන්ඥ වෛද්‍යවරියක් කීව දුවල පුතාල පිටරට ඉගෙන ගන්න යවනව . ඒවාට වියදම් අවශ්‍යයි . ඒ නිසා ගොඩක් අය ඕවගේ දේවල් කරනවා කියල . (අනවශ්‍ය ටෙස්ට් රිපීට් කරන එක ) . පෞද්ගලික් විශ්ව විද්‍යාල තිබ්බනම් එයාලට ළමයි පිටරට යවන්න ඕනේ වෙන්නේ නැහැ නේද කියල හිතුන ඒ වෙලාවේ.
මගේ තව යාළුවෙක් ඉන්නව විශේෂන්ඥ වෛද්‍යවරයෙක් . එයා එක්ක කතාවකදී එයා ඇහුවා "අජිත්ට මතකද දිස්ත්‍රික් බේසිස් එක මත අඩු ලකුණු වලින් ගම්වල ඉන්න ය මෙඩිකල් ෆැකල්ටි ගන්නවා . (හැමෝම වගේ ප්‍රධාන නගර වලට ටියුෂන් ඇවිත් ඊට පස්සේ හොරෙන් ඈත දුෂ්කර පළාත්වල ලියා පදිංචි වෙලා විභාග පාස් වෙලා අඩු ලකුණු වලින් විශ්ව විද්‍යාල එන ක්‍රමය ) . ඒ ඇරෙන්න ඇත්තටම දුෂ්කර පළාත්වල ඉඳල අපු අයත් ඇති . එහෙම ඒ දවස් වල දුන්නේ ඊට අමතරව ඒ වෛද්‍යවරු තමන්ගේ ගම් පළාත්වලට ගිහින් සේවය කරයි කියල හිතලලු. එහෙමෙ දේවල් වෙන්නේ නැහැලු . ඇත්තට වෙන්නේ වෛද්‍ය සංගමයේ ලිස්ට් එකකින් තමයි මාරුවීම් හෙමේ දෙන්නේ . එයා දන්න එක වෛද්‍යවරයෙක් (ගමකින් ආපු කෙනෙක් ) පටන ගත්ත දවසේ ඉඳලම කොළඹලු . ලන්ඩන් ගිහින් ඇවිත් නුත් ආපහු එතනම් දුන්නලු . එයාල වගේ පිටරටවල ඉගෙන ගත් අයව (මෙයා සෝවියට් දේශයේ ) කෙලින්ම එක්කෝ යුද්ධය තියන නගරවල , නැත්නම් අනුරාධපුරයටත් එහා , වන්නියේ හෝ දකුණේ පොඩි දුෂ්කරතා තියන රෝහල් වලටලු දාන්නේ. තවත් දෙයක් කිව්වා මේ සමහර 'දුෂ්කර" කියන සමර රෝහල් හදල තියෙන්නේ සුද්දගේ කාලයේ ලු . ඒ කාලේ ඉඳන්ම හැබැයි 1870 පිහිටවපු කොළඹ මෙඩිකල් කොලේජ් එකෙන් පිට වුනු වෛද්‍ය වරු ගිහින් තියනව සේවය කරන්න . මෙයාලට සෑහෙන අසාධාරණ වුනාලු.
අක්මාව බේරා ගන්න එක හරි වැදගත් . මගේ යහළුවෙකුගේ තරුණ දරුවෙක් අකාලයේ දෙමාපියන් හැර ගියා මෑතකදී. ඔහුට තිබුනෙත් ලෝකයේ ප්‍රධාන නගරයක ගෙවන හදිසි ජීවිතය තුල අක්මාව දුර්වල වීම පිලිබඳ ප්‍රශ්නයක් .
රතු මස් වැඩිපුර කන්න හොඳ නැහැ (හරක් මස් , බැටළු මස් , එළු මස් ) විශේෂයෙන් ෆැටි ලිවර් කියන තත්වය තියනවනම්. අපි සැහෙන්න මස් කන පවුලක් . හේතුව බිරින්දෑ ගේ ජර්මන් සම්භවය . නමුත් දැන් අඩු කරගෙන යනවා . හරක් මස් කන එක සෑහෙන්න අඩුයි . ලංකාවේ සමහරු කියනවලු පලතුරු කන්න එපා කියල . සම්පුර්ණයෙන්ම වැරදියි . ඇන්ටි ඔක්සිඩන්ට් (ප්‍රති ඔක්සිකාරක ) ආහාර කියල කියන පලතුරු හොඳයි අක්මාවට . ගස්ලබු, ඇපල් , අනෝදා, නෙල්ලි , ක්රැන්බේරී වගේ මාදන් වර්ග , කොමඩු මේවා හුඟක් හොඳයි කන්න . දෙහි සහ දොඩම් වතුරත් හොඳයි . අලිගැට පේරත් ඉතා හොඳ පළතුරක් මතක් තියා ගන්න . ලංකාවේ කවුද ඩොකෙක් අලිගැටපේර වලින් කොලෙස්ටෙරෝල් එනවා කියල කන්න එපා කීවලු. ඒක වැරදියි . අලිගැට පේර වල ඕලියෙක් ඇසිඩ් කියල එකක් තියනවා . ඒකෙන් නරක කොලෙස්ටෙරෝල් අඩු කරලා හොඳ කොලෙස්ටෙරෝල් වැඩි කරනවා . අනික ග්ලූටතයෝන් Glutathione කියල අක්මාවට හානිකර විෂ ද්‍රව්‍ය පෙරීමට අවශ්‍ය දෙයක් නිපදවන්න ඒක හොඳලු . අක්මාව දුර්වල නම් හෝ රෝගයක් හැදිලා නම් පමණක් කෙසෙල් සහ අඹ එපමණ සුදුසු නැහැ කියා කියනවා . (සීනි වැඩිනම් ඒත් හොඳ නැහැනේ ඒවා වැඩිය කන්න)
සාමාන්‍යයෙන් කෙනෙක් වතුර ලීටරයකට වැඩිය දවසකට බොන්න ඕනේ . විෂ ඉවත් කිරීමට පමණක් නෙමේ, ශරීරයේ උස්ත්නත්වය පාලනයට , ශරීරය තුල පෝෂක ආහාර බෙදා හැරීම , වකුගඩු හොඳින් වැඩ කරන්න තව දාහක් දේට වතුර ඕනේ . කොකා කෝලා , ෆැන්ටා බීවට වතුර බිවහම ලැබෙන ගුණය ලැබෙන්නේ නැහැ .
අක්මාව අපේ සිරුරේ ප්‍රධානතම රසායනික කර්මාන්තශාලාව ලෙස හැඳින්විය හැකියි. රුධිරයේ ඇති විෂ ද්‍රව්‍ය සහ අනවශ්‍ය රසායනික ද්‍රව්‍ය පෙරා ඉවත් කර ශරීරය පිරිසිදු කරනව, අපි ලබාගන්නා ආහාරවල ඇති පෝෂ්‍ය පදාර්ථ (කාබෝහයිඩ්‍රේට්, ප්‍රෝටීන් සහ මේදය) ශරීරයට අවශ්‍ය ශක්තිය බවට පත් කරනව. මේදය ජීර්ණය කිරීම සඳහා අත්‍යවශ්‍ය වන පිත් යුෂ (Bile) නිපදවනව.ශරීරයට අවශ්‍ය විටෙක ප්‍රයෝජනයට ගැනීම සඳහා විටමින්, ඛනිජ ලවණ සහ ග්ලුකෝස් (ග්ලයිකොජන් ලෙස) ගබඩා කර තබා ගන්නවා.
අපි අපේ ළමයින්ට කොකා කෝලා වගේ බිම වර්ග දීල නැහැ . පොඩි කාලේ මැක්ඩොනල්ඩ් එක්කන් ගියහම මුලිනම් කෙල්ලෝ දෙන්නම ඉල්ලුවේ කැරට් පැකට් . බර්ගර් අඳුනන්නේ නැහැ . පස්සේ පාසල් යනකොට පුරුදු වුනා . දැන් දෙන්නම්අත ඇරලා ෆස්ට් ෆුඩ්. කිසිම ෆිසි ඩ්‍රින්ක් එක්ක ගෙදරට ගේන්නේ නැහැ. බිවට කමක් නැහැ . පාලනය කරගෙන . දුවල ලංකාවට ගිහින් එනකොට කොත්තුමි (නුඩ්ල්ස් ) පිස්සුවක් හදාගෙන ආව. ඒවත් දැන්නම් නතර වෙලා . දැන්නම් මැක්ඩොනල්ඩ් නම් ගිය කාලයක් මතක නැහැ . ඈතක ඩ්‍රයිවින් කරනකොට විතරක් කලාතුරකින් යන තැනක් . අපි දීයුණු නගරවල ජීවත් වුනාට , මේ ඉක්මන් ජිවිතයට හරියන්න ගන්න මේ ඉක්මන් ආහාර සුදුසු නැහැ . පරිස්සම් වෙන්න . කියන්න තියෙන්නේ එච්චරයි .
මම වෛද්ය වෘත්තියට හෝ වෛද්‍ය වරුන්ට විරුද්ධ නැහැ . රැකියාව හොඳින් කරන යහළුවෝ ගොඩක් ඉන්නව . එංගලන්තයේ නම් දැන් වෛද්‍යවරු දන්නවා අපි ලෙඩ ගැන කියන්න කලින් හොඳින් හොයල බලල, ගුගල් බලල ජෙමිනි ගෙන් හරි චැට් ජිපිටි ගෙන් හරි අහල එන්නේ කියල.
රෝගීන් ගොඩක් බලනකොට වෛද්‍යවරයෙකුට ඒ තවත් එක රෝගියෙක් විතරයිනේ කියන එක මට තේරෙනවා. අපි හැම ක්ලයන්ට් කෙනෙකුටම එකම විධිහට සලකන්නේ නැහැනේ. ලන්ඩන් වල ප්‍රයිවෙට් ගියහම විශේසන්ඥ වෛද්‍ය්වරයෙකුට රක්ෂණයෙන් පවුම් 250 ගෙවනවා පැයකට . ඉතින් ළඟටම ඇවිත් නම කියල කතා කරගෙන යන්නේ . NHS එකෙත් එහෙමම තමයි. රෝගියාට සැලකීම උසස්. ඒ පැත්තෙන් නම් වරදක කියන්නම බැහැ . NHS බුදු වේවා තමා . ඒත් අපේ පැත්තෙන් බැලුවොත් තව අවුරුදු තුනක් හිටියනම් අඩුම ගානේ ලොකු දුවව හරි දකිනවනේ කියල අපට හිතෙනව. ඊටත් වැඩිය අපි ඒ වයසට එනකොට , අපටම තේරෙනව. එයා ගියා කලින් වැඩියි .
*******************************************
.jpg)


No comments:
Post a Comment
සියලු හිමිකම් අජිත් ධර්මකීර්ති (Ajith Dharmakeerthi) සතුය. කොළඹ ගමයා බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ අජිත් ධර්මකීර්ති යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ.
මෙහි පලවන ලිපි සහ දේශපාලන අදහස් මගේ පෞද්ගලික අදහස් පමණි.
ඔබේ ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. නමුත් වෙනත් කෙනෙකුට සාධාරණ හේතුවක් නැතුව පහර ගසන අශිලාචාර අන්දමේ ප්‍රතිචාර පමණක් පල නොකෙරේ. බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ස්තූතියි .