Friday, 17 April 2026

හැට එකේ මෙලන්කොලිය





හැට එකේ මෙලන්කොලිය ********************
මම අද (අප්‍රේල් 15) ටිකක් පොඩි මෙලන්කොලියකින් හිටියේ . ෆේස්බුක් එකේ සාමාන්‍යයෙන් අවුරුද්දට දාන පින්තූර දාන්න අදහසක් තිබ්බෙත් නැහැ. නමුත් පවුලේ අය වට්සැප් මෙසේජ් එවනකොට, යාළුවොත් ප්‍රයිවෙට් මැසේජ් එවන්න ගත්තම පෝස්ට් එක ඉබේට දැමුනා වගේ උනා . අද මට හැට එකක් (අප්‍රේල් 15). මගේ පියා මිය යන කොටත් හැට එකයි. ඉස්සර හිතුන ඔහු අඩු වයසින් මිය ගියා කියල . හැබැයි එතකොටත් අපේ අපේ තිස් ගණන් වල. දැන් දැනෙනවා කොපමණ අඩු වයසින්ද ඔහු ගියේ කියල . අවුරුදු විසි අටකට කලින් දුක තිබුනත් මේ වයසට ආවහමයි හිතුන අම්මට එතකොට පනස් ගණනක් නේද කියල (පියාගේ දිනය කියල කවියක් ලීව කලකට කලින්).
තාත්තා මිය ගියේ අක්මාවේ ප්‍රශ්නයකට .

ඒ දවස් වල මුලදී හෘදයාබාධයක් වෙන්න ඇති කියල මහා රෝහලේ හිටිය . පස්සේ තමා අක්මාවේ ප්‍රශ්නයක් කියල හොයා ගත්තේ. රුධිර පරීක්ෂණයක් කරලා හෙපටයිටස් සී වලට බෙහෙත් දුන්න. පස්සේ දැන ගත්ත ඒකත් නෙමේ කියල. අක්මාවේ සිරෝසිස් කියන ලෙඩේ හැදිලා කියල කීවේ පසු පරීක්ෂණ වලින්. ඔන්න ප්‍රශ්න එන්න ගත්තේ එතකොට. ආරෝග්‍යශාලා වල සේවය කරන හෙද සහ අනිකුත් සේවයේ අය බනිනවලු , "බීල බීල වැඩිවෙලා එනව මෙතන අපට කරදර කරන්න" වගේ දේ කියනවලු . ඊට වඩා අහන් ඉන්න අපහසු දේත් අම්මට කියනවලු .


සිරෝසිස් හැදෙන්නේ බීල වැඩි වුනහම නැත්නම් හෙපටටිටිස් නිසා කියලා තමා සාමාන්‍ය මතය. ඒකෙ ඇත්තක් තිබෙනවා. අක්මාවේ සෛල මැරිලා ස්කාර් ටිෂු හෙවත් කැළැල් පටක හැදෙනවා. ඒ නිසා අක්මාව එන්න එන්නම දුර්වල වෙනවා. සාමාන්‍ය 'පිරිසිදු කිරීමේ ' වැඩ කරන්න එයාට බැහැ. දැඩි මහන්සිය , බර අඩු වීම , කෑම අප්පිරියාව, වමනය , බඩේ රුදාව වගේ තමා රෝග ලක්ෂණ හැටියට මුලින් එන්නේ .
අන්තිමට බැරිම තැන මල්ලි යුරෝපයේ ඉඳල ගියා තාත්ත බලාගන්න . අම්මට තනියම , අනුන්ගෙන් බැනුනුත් අහගෙන තාත්තාව හොස්පිටල් ගෙනියන්න බැරි නිසා.



ඔන්න ඔය වෙලාවේ තමා "නියම වෙදැදුරු " කෙනෙක් පිහිට වුනේ . ජෙනරල් හොස්පිටල් එකට ගෙනිච්ච වෙලේ ආපහු ටෙස්ට් කරලා ඒ හොඳ දොස්තර මහත්මයා හොයා ගත්ත ලෙඩේ. හෙමක්‍රොමටසිස්. එය සුවකරන්න සම්පුර්ණයෙන් බැරි බවත් ඒ වෙනුවට රුධිරය ඉවත් කරලා (venesection ), රුධිර ප්ලාස්මා ලේ වලට ඉන්ජෙක්ට් කලහම හොඳයි කියලත් කීව . හැබැයි මහා රෝහලේ ඒක කරන්න බැහැ . ගෙවල අරන් එන්න ඕනේ පිටින් . ඒ දවස් වල රුපියල් 5000ක් (පවුම් 100-120 විතර) . ඒ කියන්නේ උද්ධමනය ගණන් අරගෙන බැලුවහම දැන් කාලේ මුදලින් ශ්‍රී ලංකා රුපියල් 50,000-60,000 අතර). හැබැයි දැන් වුනත් ඔය ලෙඩේට මෙහෙ NHS එකෙන් කරන්නෙත් ඒක . තාත්තට සැහෙන්න සනීපයි කිව්වා . ඇවිදින්න උනත් පුළුවන් . හොඳ දොස්තර කිව්ව තාත්තගේ ලේ වල අයන් (යකඩ ) වැඩි නිසා ඇති වුනු ප්‍රශ්නයක් කියල ඒ දවස් වල අන්තර්ජාලය දැන් වගේ නැහැනේ . මම ඇහුව මෙහෙ (එංගලන්තේ ) ඩොකෙක් ගෙන්.එයා කිව්වා ඕක වැඩිපුර තියෙන්නේ ටිබෙට් , නේපාල වගේ රටවල අයට කියල. දැන් අන්තර්ජාලය තියෙන නිසා ඕනේ කෙනෙකුට හොයන්න පුළුවන්. මේක සංජානනීය තත්වයක් (පරම්පරාවෙන් එන ජානමය තත්වයක් ). ටිබෙට් වල වගේ උඩ කඳු වල ජිවත් වෙන මිනිසුන්ට ඔක්සිජන් වැඩියෙන් අවශ්‍යයි සෛල තුල දහනය සඳහා. මේ නිසා ඔවුන්ගේ පෙනහළු විශාලයි වඩා වාතය අවශෝෂණය කර ගන්න . ඒවා ගෙනියන්න රතු රුධිර සෛල හෙවත් හිමොග්ලොබින් අවශ්‍යයි. හිමොග්ලොබින් කියන්නේ අයන් තියන ප්‍රෝටීනයක් . ඔක්සිජන් පෙනහළු වල සිට සෛල වලට ගෙනයාම, කාබන් ඩයොක්සයිඩ් අරන් ඒම , ශක්තිය නිපදවීම් , ප්‍රතිශක්තිය ඔය ඔක්කොටම අදාලයි. වැඩි අයන් කතාව එන්නේ ඔතැනට. අරහෙම අයට අයන් වැඩි ප්‍රමාණයක් තියනවා . පරිණාමවාදය . වැඩේ කියන්නේ එහෙම තත්වයක් තියෙන කෙනෙක් අවුරුදු ගානක් තිස්සේ පහතරටක ජිවත් වුනහම වැඩි යකඩ අක්මාවේ තැන්පත් වෙනවා . කාලයක් යද්දී අක්මාවේ වැඩ වලට මේක කරදරයක් වෙනවා වගේම අක්මා සෛල අර ඉහත තියෙන කැළැල් පටක බවට පත් වෙනවා . බොන්නම ඕනේ නැහැ සිරෝසිස් හැදෙන්න .
(අමතර කතාවක් . එංගලන්තේ ජාතික සෞඛ්‍ය සේවයට පින් සිද්ධ වෙන්න එයාල හැම අවුරුද්දෙම මගේ රුධිර පරීක්ෂනයක් කරනවා අයන් ප්‍රමාණය බලන්න )

ඔන්න වෛද්‍ය සංගම් සහ මාරුවීම් ප්‍රශ්නෙකට අර 'හොඳ දොස්තර ' කළකිරිලා රජයේ සේවයෙන් ඉවත් වෙනවා. එයා ඊට පස්සේ පිටරට යනවා. දැන් 'නරක දොස්තර 1' එන්ටර් වෙනවා. එයා අපහු ටෙස්ට් කරනවා , තාත්තයි, අම්මයි මල්ලියි තුන්දෙනාම නොයෙක් විධිහට අර අලුත් දොස්තරට බැගෑපත් වෙනවා ප්ලාස්මා ට්‍රාන්ස්ෆියුෂන් එක කරන්න . ඒකෙන් හොඳයි කියල . මෙයා බැහැ කියනව . හුඟක් උඩඟු කෙනෙක්ලු . අනිත් දොස්තරලා කරපුව කරන්න බැහැලු. දැන් තාත්තගේ තත්වය එන්න එන්නම හොඳ නැහැ . මේ උගුඩුවා හෙපටයිටිස් සී වලට දුන්න බෙහෙතම ලියල දෙනවලු .

මමත් දැන් හොයනවා අර ප්ලාස්මා ටට්‍රාන්ස්ෆියුෂන් තාත්තාට කරගන්න විදහක් . ලන්ඩන් වල යහළුවෙක් ලංකවේ මේ වට ඉන්න හොඳම විශේෂන්ඥ වෛද්‍යවරයෙක් කියල කෙනෙක්ව හඳුන්වා දුන්නා. ඇත්තටම එයා ෆේමස් කෙනෙක් . ඒ දවස් වල රත්නම් කියල පෞද්ගලික රෝහලක් තිබ්බ . දැන් තියෙනවද දන්නේ නැහැ . ඒකෙ ලෙඩාව ඇඩ්මිට් කරන්න ඕනේ එයාව හමුවෙන්න . එතැනදී එයා නැවතත් ටෙස්ට් වගයක් නියම කළා . ඊට පස්සේ එයාගේ රජයේ වාට්ටුව වන රාගම රෝහලක නතර කරන්න කිව්වා. දැන් ආපහු මුල් ඉඳන් අර තාත්තට කරපු ටෙස්ට් ඔක්කොම එකක් නෑර කරගන යනව. ප්‍රයිවෙට් හැබැයි. අම්මල කීවට අර හොඳ දොස්තර ගේ ප්‍රතිකාර ක්‍රමයෙන් තාත්තා නැගිටලා ඉන්නව කීවට, මෙයා අහන්නෙත් නැහැ . අනික මහාචාර්ය කෙනෙක්නේ. එයා දොස්තරලට උගන්වන කෙනෙක් වගේ දේවල් කියල තිබ්බ. ඒවා ඇත්ත . ඒවා මට කීවට පස්සේ අර ඇඳුනුම් කමත් මතක් කරලා මම කෝල් කළා ලන්ඩන් ඉඳන්. තාත්තට දැන් ආයෙත් අමාරු වේගන නේ එන්නේ . මෙයා මට කිව්වා . "කිසි ප්‍රශ්නයක් නැහැ ලන්ඩන් එවන්නන් අක්මාව බද්ධ කරන්න. ඔයාට තියෙන්නේ ලැහැස්ති වෙන්න. මම දන්න තැනකුත් සෙට් කරලා දෙන්නම් වගේ දේ කිව්වා ". අපිත් ඉක්මනට පොඩි එක බෙඩ් රූම් එකක් සහ නමුත් ඉඩ තියෙන , තාත්තට පහසුවෙන් ඇවිදින්න පුළුවන් වෙන්න බිම් මහලේ අපාට්මන්ට් එකකුත් මෝගේජ් කළා . මම ඒත් ඇහුවා අර "ට්‍රාන්ස්ෆියුෂන් එකෙන් හොඳයි නේ. එයාට ඒක දැනට කරන්න බැරිද" කියල .

"නැහැ ඕනේ නැහැ. මම මේ බෙහෙත් වගයක් ගැන පරීක්ෂණ කරන් යනව . ඒ වලින් හරි යයි . බය වෙන්න එපා . තාත්තා ව එවනව ඔහෙට" කියල.
මම විශ්වාස කළා . විශ්වාසය විතරනේ තියෙන්නේ .
ඒත් ඉතින් ලංකාවෙන් අම්මල කියන තොරතුරු හොඳ නැහැ . එන්න එන්නම අමාරුයි . මෙයාල අර ටෙස්ට් , මේ ටෙස්ට් කරනවා. වරකදී මෙඩිකල් ස්ටුඩන්ට් ල කට්ටියක් එක්ක ඇවිත් තාත්තගේ ඇඳ ගාවට ආවහම මෙයා කියල තියනව "බේර ගන්න බැහැ මෙයාව . වැඩි කාලයක් ඉන්න එකක් නැහැ " කියල තාත්තා ඒක අහගෙන ඉඳල . අම්මට කියල දුකෙන්. දැන් මට අවුල් . මොකද කරන්නේ කියල . ඒ අතරේ සෙම් ප්‍රතිශ්‍යා, නියුමෝනියා හැදිලා තිබුන ලෙඩෙක් තාත්තා ඉන්න ඇඳට අල්ලපු ඇඳට ඇඩ්මිට් කරලා තිබුන.

දැන් , මතක තියාගන්න අක්මාව දුර්වලයි කියන්නේ පිළිකා රෝගියෙක් වගේ තමා . ප්‍රතිශක්තිය හොඳටම දුර්වලයි . ඕන ලෙඩක් ටක් ගාල හැදෙනවා . අම්මා , මල්ලි තාත්ත ව හොඳට පරිස්සම් කළා. හොස්පිටල් එකෙන් කෙළියා. තාත්තා මැරුනේ නියුමෝනියාව හැදිලා. වයස හැට එකේදී . අපි හැමෝම මැරෙනවා තමයි . නමුත් අපි හදන්නේ හැකි තාක් කල් ඇදගෙන යන්නනේ . හැමෝම එහෙමයි . තාත්තා මැරුනේ මගේ දැන් වයසේදී. පපුව මිරිකගෙන එන වේදනාවක් තියනව. වළක්වා ගන්න බැරි, පලා යන්න බැරි. මට තව මොනවාද කරන්න තිබ්බේ කියන අදහස හැම වෙලේම එනවා.

අර මහාචාර්ය වෙදැදුරු ට මම කතා කරලා ඇහුවා ඇයි මෙහෙම කලේ කියල. එයාට කරන්න දෙයක් නැතිලු. වාට්ටුවේ උන් කරපු වැඩක් ලු . එයා බැන්නලු. මම කිව්වා" ඔයා ට්‍රස්න්ෆියුෂන් කළා නම් අපි ගෙදර තියා ගන්නවනේ කියල" . ප්‍රයිවෙට් හොස්පිටල් තියා ගන්න තිබ්බලු . ඉතින් එයාමනේ කීවේ එයාගේ වාට්ටුවට ගෙනියන්න කියල . මම නඩුවක් දාන්න හිතුව . වාට්ටුවේ අනිත් වෛද්‍යවරු සහ දන්න කෙනෙක් කීව "තේරුමක් නැහැ " කවුරුත් සාක්කි දෙන්නවත් එන්නේ නැහැ . ලංකාවේ ඕව වෙන්නේ නැහැ .
අපට හොඳට කරුණාවෙන් සළකපු හෙද නිලධාරීන් හිටිය . නිර්මලී මදුරාවල කියන දැන් එංගලන්තයේ NHS හි රැකියාව කරන කරුණාවන්ත හෙද නිලධාරිනියක් හුඟක් උදව් කළා කියල අපට මතකයි තවම .
ඒ විශේෂන්ඥ වෛද්‍යවරයාව හඳුන්වා දුන්න යහළුවට මම වරදක් කීවේ නැහැ . නමුත් වුන දේ කීව. එයා දැන්මා සමග කතා බහක් නැහැ .එයාගේ වරදක් නැහැ. මමනේ උදව්ව ඉල්ලුවේ . ඔය කතාව දැන ගත්ත වෙනත් විශේෂන්ඥ වෛද්‍යවරියක් කීව දුවල පුතාල පිටරට ඉගෙන ගන්න යවනව . ඒවාට වියදම් අවශ්‍යයි . ඒ නිසා ගොඩක් අය ඕවගේ දේවල් කරනවා කියල . (අනවශ්‍ය ටෙස්ට් රිපීට් කරන එක ) . පෞද්ගලික විශ්ව විද්‍යාල තිබ්බනම් එයාලට ළමයි පිටරට යවන්න ඕනේ වෙන්නේ නැහැ නේද කියල හිතුන ඒ වෙලාවේ.

මගේ තව යාළුවෙක් ඉන්නව විශේෂන්ඥ වෛද්‍යවරයෙක් . එයා එක්ක කතාවකදී එයා ඇහුවා "අජිත්ට මතකද දිස්ත්‍රික් බේසිස් එක මත අඩු ලකුණු වලින් ගම්වල ඉන්න අය මෙඩිකල් ෆැකල්ටි ගන්නවා . (හැමෝම වගේ ප්‍රධාන නගර වලට ටියුෂන් ඇවිත් ඊට පස්සේ හොරෙන් ඈත දුෂ්කර පළාත්වල ලියා පදිංචි වෙලා විභාග පාස් වෙලා අඩු ලකුණු වලින් විශ්ව විද්‍යාල එන ක්‍රමය ) . ඒ ඇරෙන්න ඇත්තටම දුෂ්කර පළාත්වල ඉඳල අපු අයත් ඇති . එහෙම ඒ දවස් වල දුන්නේ ඊට අමතරව ඒ වෛද්‍යවරු තමන්ගේ ගම් පළාත්වලට ගිහින් සේවය කරයි කියල හිතලලු. එහෙමෙ දේවල් වෙන්නේ නැහැලු . ඇත්තට වෙන්නේ වෛද්‍ය සංගමයේ ලිස්ට් එකකින් තමයි මාරුවීම් හෙම දෙන්නේ . එයා දන්න එක වෛද්‍යවරයෙක් (ගමකින් ආපු කෙනෙක් ) පටන ගත්ත දවසේ ඉඳලම කොළඹලු . ලන්ඩන් ගිහින් ඇවිත් නුත් ආපහු එතනම දුන්නලු . සංගමේ තදයෙක්. එයාල වගේ පිටරටවල ඉගෙන ගත් අයව (මෙයා සෝවියට් දේශයේ ) කෙලින්ම එක්කෝ යුද්ධය තියන නගරවල , නැත්නම් අනුරාධපුරයටත් එහා, වන්නියේ හෝ දකුණේ පොඩි දුෂ්කරතා තියන රෝහල් වලටලු දාන්නේ. තවත් දෙයක් කිව්වා මේ සමහර 'දුෂ්කර" කියන සමහාර රෝහල් හදල තියෙන්නේ සුද්දගේ කාලයේ ලු. ගම්වල ජනතාව සඳහා ඒ කාලේ ඉඳන්ම. හැබැයි 1870 පිහිටවපු කොළඹ මෙඩිකල් කොලේජ් එකෙන් පිට වුනු වෛද්‍ය වරු ගිහින් තියනව සේවය කරන්න ඒ කාලයේ . මෙයාලට (යාළුවට සහ ඒ වගේ පිටරටින් ආපු අයට) සෑහෙන අසාධාරණ වුනාලු.

අක්මාව බේරා ගන්න එක හරි වැදගත් . මගේ යහළුවෙකුගේ තරුණ දරුවෙක් අකාලයේ දෙමාපියන් හැර ගියා මෑතකදී. ඔහුට තිබුනෙත් ලෝකයේ ප්‍රධාන නගරයක ගෙවන හදිසි ජීවිතය තුල අක්මාව දුර්වල වීම පිලිබඳ ප්‍රශ්නයක් .

රතු මස් වැඩිපුර කන්න හොඳ නැහැ (හරක් මස් , බැටළු මස් , එළු මස් ) විශේෂයෙන් ෆැටි ලිවර් කියන තත්වය තියනවනම්. අපි සැහෙන්න මස් කන පවුලක් . හේතුව බිරින්දෑ ගේ ජර්මන් සම්භවය . නමුත් දැන් අඩු කරගෙන යනවා . හරක් මස් කන එක සෑහෙන්න අඩුයි . ලංකාවේ සමහරු කියනවලු පලතුරු කන්න එපා කියල . සම්පුර්ණයෙන්ම වැරදියි . ඇන්ටි ඔක්සිඩන්ට් (ප්‍රති ඔක්සිකාරක ) ආහාර කියල කියන පලතුරු හොඳයි අක්මාවට . ගස්ලබු, ඇපල් , අනෝදා, නෙල්ලි , ක්රැන්බේරී වගේ මාදන් වර්ග , කොමඩු මේවා හුඟක් හොඳයි කන්න . දෙහි සහ දොඩම් වතුරත් හොඳයි . අලිගැට පේරත් ඉතා හොඳ පළතුරක් මතක් තියා ගන්න . ලංකාවේ කවුද ඩොකෙක් අලිගැටපේර වලින් කොලෙස්ටෙරෝල් එනවා කියල කන්න එපා කීවලු. ඒක වැරදියි . අලිගැට පේර වල ඕලියෙක් ඇසිඩ් කියල එකක් තියනවා . ඒකෙන් නරක කොලෙස්ටෙරෝල් අඩු කරලා හොඳ කොලෙස්ටෙරෝල් වැඩි කරනවා . අනික ග්ලූටතයෝන් Glutathione කියල අක්මාවට හානිකර විෂ ද්‍රව්‍ය පෙරීමට අවශ්‍ය දෙයක් නිපදවන්න ඒක හොඳලු . අක්මාව දුර්වල නම් හෝ රෝගයක් හැදිලා නම් පමණක් කෙසෙල් සහ අඹ එපමණ සුදුසු නැහැ කියා කියනවා . (සීනි වැඩිනම් ඒත් හොඳ නැහැනේ ඒවා වැඩිය කන්න)

සාමාන්‍යයෙන් කෙනෙක් වතුර ලීටරයකට වැඩිය දවසකට බොන්න ඕනේ . විෂ ඉවත් කිරීමට පමණක් නෙමේ, ශරීරයේ උෂ්ණත්වය පාලනයට , ශරීරය තුල පෝෂක ආහාර බෙදා හැරීම , වකුගඩු හොඳින් වැඩ කරන්න තව දාහක් දේට වතුර ඕනේ . කොකා කෝලා , ෆැන්ටා බීවට වතුර බිවහම ලැබෙන ගුණය ලැබෙන්නේ නැහැ .

අක්මාව අපේ සිරුරේ ප්‍රධානතම රසායනික කර්මාන්තශාලාව ලෙස හැඳින්විය හැකියි. රුධිරයේ ඇති විෂ ද්‍රව්‍ය සහ අනවශ්‍ය රසායනික ද්‍රව්‍ය පෙරා ඉවත් කර ශරීරය පිරිසිදු කරනව, අපි ලබාගන්නා ආහාරවල ඇති පෝෂ්‍ය පදාර්ථ (කාබෝහයිඩ්‍රේට්, ප්‍රෝටීන් සහ මේදය) ශරීරයට අවශ්‍ය ශක්තිය බවට පත් කරනව. මේදය ජීර්ණය කිරීම සඳහා අත්‍යවශ්‍ය වන පිත් යුෂ (Bile) නිපදවනව.ශරීරයට අවශ්‍ය විටෙක ප්‍රයෝජනයට ගැනීම සඳහා විටමින්, ඛනිජ ලවණ සහ ග්ලුකෝස් (ග්ලයිකොජන් ලෙස) ගබඩා කර තබා ගන්නවා.

අපි අපේ ළමයින්ට කොකා කෝලා වගේ බිම වර්ග දීල නැහැ . පොඩි කාලේ මැක්ඩොනල්ඩ් එක්කන් ගියහම මුලිනම් කෙල්ලෝ දෙන්නම ඉල්ලුවේ කැරට් පැකට් . බර්ගර් අඳුනන්නේ නැහැ . පස්සේ පාසල් යනකොට පුරුදු වුනා . දැන් දෙන්නම අත ඇරලා ෆාස්ට් ෆුඩ්. කිසිම ෆිසි ඩ්‍රින්ක් එක්ක ගෙදරට ගේන්නේ නැහැ. බීවට කමක් නැහැ . පාලනය කරගෙන . දුවල ලංකාවට ගිහින් එනකොට කොත්තුමි (නුඩ්ල්ස් ) පිස්සුවක් හදාගෙන ආව. ඒවත් දැන්නම් නතර වෙලා . දැන්නම් මැක්ඩොනල්ඩ් ගිය කාලයක් මතක නැහැ . ඈතක ඩ්‍රයිවින් කරනකොට විතරක් කලාතුරකින් යන තැනක් . අපි දීයුණු නගරවල ජීවත් වුනාට , මේ ඉක්මන් ජිවිතයට හරියන්න ගන්න මේ ඉක්මන් ආහාර සුදුසු නැහැ . පරිස්සම් වෙන්න . කියන්න තියෙන්නේ එච්චරයි .

මම වෛද්ය වෘත්තියට හෝ වෛද්‍ය වරුන්ට විරුද්ධ නැහැ . රැකියාව හොඳින් කරන යහළුවෝ ගොඩක් ඉන්නව . එංගලන්තයේ නම් දැන් වෛද්‍යවරු දන්නවා අපි ලෙඩ ගැන කියන්න කලින් හොඳින් හොයල බලල, ගුගල් බලල ජෙමිනි ගෙන් හරි චැට් ජිපිටි ගෙන් හරි අහල එන්නේ කියල.

රෝගීන් ගොඩක් බලනකොට වෛද්‍යවරයෙකුට ඒ තවත් එක රෝගියෙක් විතරයිනේ කියන එක මට තේරෙනවා. අපි හැම ක්ලයන්ට් කෙනෙකුටම එකම විධිහට සලකන්නේ නැහැනේ. ලන්ඩන් වල ප්‍රයිවෙට් ගියහම විශේසන්ඥ වෛද්‍ය්වරයෙකුට රක්ෂණයෙන් පවුම් 250 ගෙවනවා පැයකට . ඉතින් ළඟටම ඇවිත් නම කියල කතා කරගෙන යන්නේ . NHS එකෙත් එහෙමම තමයි. රෝගියාට සැලකීම උසස්. ඒ පැත්තෙන් නම් වරදක් කියන්නම බැහැ . NHS බුදු වේවා තමා . ඒත් අපේ පැත්තෙන් බැලුවොත් තව අවුරුදු තුනක් හිටියනම් අඩුම ගානේ ලොකු දුවව හරි දකිනවනේ කියල අපට හිතෙනව. ඊටත් වැඩිය අපි ඒ වයසට එනකොට , අපටම තේරෙනව. එයා ගියා කලින් වැඩියි .
******************************************* 
15/04/2026 - අජිත් ධර්මකීර්ති  
            



42 comments:

  1. This comment has been removed by a blog administrator.

    ReplyDelete
    Replies
    1. ජගත් පතිරණ මේ කමෙන්ට් එකේ මහින්ද මහින්ද හිටපු ජනාධිපතිවරයා හෙම අමතල තියනවා හරි නැහැ . මගේ බ්ලොගේ හෝ කොමෙන්ට්එකක්වත් මම එහෙම ලියන්නේ නැහැ .ජාජබ, සජබ ට සපෝර්ට් අය හෝ යූඇන් පී සපෝටර් ස අලියනවා ඇති . නමුත් මම කැමති නැහැ . ඒක නිසා මේක අයින් කරනවා . ඒ කොටස් නැතිව අවශ්‍ය නම් දාන්න . නැත්නම් නාකි , බලු කතා නොලිය සංයම ලෙස දාන්න . එහම් අපහාස කරන්න එපා

      Delete
    2. Jagath Pathirana21 April 2026 at 03:33

      අනේ මම නම් නෙමෙයි. කලු ආරච්චියානන් වෙන්නඇති.
      වෙනස්කරලා හරි දාන්න.

      Delete
  2. හිත පාරන
    මෙහෙව් මතක
    මෙහෙම ලියා
    තබන විටෙක
    දැනෙයි සුවය!

    තාත්තෙකුගෙ අගය සුවඳ
    වැඩිය මතක් කරනා සඳ
    යුතුකම් කළ දරුවන් ලෙද
    සැනසෙනු මැන සතුටින් අද

    ReplyDelete
    Replies
    1. නිදි මගේ අනිත් කවි පෙළ කියෙව්වද ලින්ක් එකේ

      ඔබේ සුවඳට හුරුව නිදා ගත්තෙමි
      රෑ බෝවී ඔබ නිවෙසට ඒ නම්
      තාත්තාගේ ගේ කොට්ටය තුරුළු කර ගමි
      ඒ ජීවන සුවඳ ම'තින් ගිලිහුණි

      Delete
  3. මේ කතාව ආයෙ, ආයෙ කියන්න වටින කතාවක්. ලංකාවෙ සෞඛ්‍ය සේවය කොච්චර දූෂිතද කියලා හිතෙනවා. මුන්ට යන්න වෙනම අපායක් හදන්න ඕනෙ.

    ඇහුවම කියනව, හැමෝම එහෙම නැහැ, හොඳ දොස්තරල ඉන්නව කියලා. මම කියන්නෙ 98% ලේ මාපිල්ලු. සිස්ටම් එක GMO එක හැදිලා තියෙන්නෙ ඒ විදිහට. හොඳ එවුන්ටවත් වචනයක් කියන්න බැරි වෙන්න.බලවත් රාජ්‍ය මැදිහත් වීමක්, සිස්ටම් චේන්ජ් එකක් අත්‍යාවශ්‍ය ඒකයි. ඉස්සර ඉඳන්ම ඔය වෛද්‍ය මාෆියාව තිබ්බා, ඒත් මම හිතුවා මේ ආණ්ඩුවෙන්වත් යම් ටැංජිබල් වෙනසක් වේවි කියලා. ඒවත් දැන් හීන විතරයි. "සිස්ටම් චේන්ජ්" එකත් දැන් "විප්ලවය" වගේම පුස්සක් තමයි.

    ReplyDelete
    Replies
    1. මේගොල්ලෝ විප්ලව කරන්නේ කියල නෙමේනේ ආවේ . ඒ හින්ද මට ඒකෙ එපමණ අවුලක් නැහැ . නමුත් ටිකක් වෙන්න පරඬල් ආණ්ඩුවක් කියන කතාවේ ඇත්තක් තියනවා . අර රෙගු ප්‍රශ්නේ පේන්නේ නැත්ද ? තමන්ගේ ප්‍රතිපත්තිවලට අනුකූල නැත්නම් රාජ්‍ය ආයතනයකට නිදහස තිබ්බට රජයට මැදිහත් වෙන්න පුළුවන්නේ .

      Delete
    2. අපේ ඔක්කොම ප්‍රශ්ණ වලට හේතුව ධනපති, නිර්ධන පංති සූරාකෑම කියලනෙ විප්ලවේ මාකට් කරන්නෙ? අන්තිමට වෙන්නෙ "පුස් ඌරො" වගේ ආරපු පාලක පන්තියක් බිහි වෙන එක. මෙයාල විප්ලවේ වෙනුවට මාකට් කලේ "සිස්ටම් චේන්ජ්. දෙකම පුස් වෙඩි.

      නිර්ධන පන්ති "සිටුවරු" සහිත "පුස් ඌරු" පාලක පන්තිය බිහි වෙමින් පවතිනවා. මම තාමත් ආණ්ඩුවට කැමති විකල්පයක් නැති නිසයි. හැබැයි "වෙනසක්" කරයි කියන බලා පොරොත්තුව නං බිඳ වැටෙමින් පවතිනවා.

      Delete
    3. බස්සා ලඟදි ලංකාවට හෙමේ ගියාද ? මට නම් ලැබෙන ආරංචි අනුව වෙනස් කම් සිද්ධ වෙනා . පොඩි පොඩි දෙචාල් පත්තර වල නොගියට . මම දෙක තුනක් ගිය සේ දැම්ම . මේ සැරේ ආවහම තව ලියන ඕනේ . සිස්ටම් චේන්ජ් කියන එකවට් අවරදවා වටහා ගන්න එපා විප්ලව චේන්ජ් එකක් ගැන නෙමේ කිව්වේ . හැබැයි ඒ කිව්ව්ව දේ වෙනවා හෙමින් හෙමින් හරි . ඒකයි මගේ ආබෝධය

      Delete
    4. අනික ර ලාල් කාන්ත කතා - ඒවා ඉතින් මම දන්නේ නැහැ හැමෝම හිතන් ඉඳල ටිතියනව ජවිපේ , ජාජබ පට්ට දුප්පත්තු ඉන්නේ කියල . අනේ මන්ද උන් වෙනස් වුනේ චන්ද්‍රිකා ගේ කාලේ ඇමතිකම් ගන්නකොට . දෙවෙනි කාරනේ තමා පක්ෂයේ සල්ලි වුනත් ආයෝජන කරන්න දුන්නේ පක්ෂේ අයගේ නම් වලට . ඒවා ඔක්කොටම බදු ගෙවල නිත්‍යානුකුලව පවත්වාගෙන යන්නේ . පක්ෂේ අය දන්නා නිසා මුකුත් කියන්නේ නැහැ .

      Delete
    5. මම මේ ඩෝබි වැඩේ නෙමේ කරන්නේ . මම දන්නා දේ කියන්නේ හොඳද 😀. අකුරු වැරදීම් වලට සමාවෙන්න

      Delete
    6. මම හිතනවා සිස්ටම් චේන්ජ් කියන්නේ එක පාර මහා දේවල් කරනවට වඩා කරන්න පුළුවන් දේවල් ටික ටික කරගෙන යන එක කියල . උදාහරණ 1. පහත බස් ගෙනල්ල ආබාධිත අයට යන්න පහසු වෙන්න . හැමෝටම කරපු වැඩක් නෙමෙයි . නමුත් වීල් චෙයාර් යන අයට වැදගත් . බහුතරය නෙමෙයි . වතු කම්කරුවන්ට පඩිය හදල දුන්න එක. රජයේ ආයතන වල උඩුමහල් වලට යන ලිෆ්ට් වල ඇමති වෙනම යන පොදු ජනතාව ගුලි වෙලා වෙනම යන එක ඉවරයි . මගේ මල්ලි දවසක් කීව ප්‍රාදේශීය සභාවේ වැඩකට ගිය වෙලේ විනාඩි දහයෙන් කරල දුන්න කියල . නොම්මරයක් අරගෙන . වෙනදට පැයකට වඩා රස්තියාදු වෙන්න ඕනෙලු . ඔන්න ඕව . මිනිසුන්ගේ එදිනෙද ජිවිතේ පහසු කරන එක . ඕව වැදගත් . මගේ ලිපියේ වුනත් මම කියන්නේ වෛද්‍යවරුන්ට, රෝහල් වලට වෙනස් වෙන්න කියල. කළුතර මහා රෝහල හෙම ඇත්තටම හොඳයි . .

      Delete
    7. //සිස්ටම් චේන්ජ් කියන්නේ එක පාර මහා දේවල් කරනවට වඩා කරන්න පුළුවන් දේවල් ටික ටික කරගෙන යන එක//
      මම නොහිතපු දෙයක්. එකඟයි. වෙන විකල්පයකුත් නැති එකේ, ඔන්න ඔහේ කරන්න දීලා තව ටිකක් බලාගෙන ඉමු නේද?

      Delete
    8. සිස්ටම් චේන්ජ් බලෙන් කරන්න ගිය තැන්වල ඒවාට අකමැති අයව මැරුව එකනේ කලේ . ඒකනේ ලෝක ඉතිහාසය . දැන් ඔය පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ඉඳන් දීපචෙල්වන් ගේ පොත් නිදහස කතා කරන අය දක්වා ඉල්ලන්නේ ඒක. ලංකාවට ඒවගේ ෂොක් තව දුරත් අවශ්‍ය නැහැ කියලයි මම හිතන්නේ . පුළුවන් තැන් වලින් වෙනස් කරන් යන්න ඕනේ . ප්‍රයිවෙට් බස් කාරයෝ වගයක් ලංගමට ගහන්න යනවා දැක්ක , මිනිස්සු ඔක්කොම ලංගම බස්වල යන්න පටන් අරන් . ඒ කියන්නේ ප්‍රයිවෙට් බස් හැදෙන්න ඕනේ කියන එකයි . එයල් දැන ගන්න ඕනේ ඊට වැඩිය කස්ටමර් සර්විස් එකක් දෙන්න

      Delete
  4. AI අනාගතය මගේ ඒ හැටිම පැහැදීමක් නැති වුනත්, එහෙම හරි ඔය මාපිල්ලු සැට් එක මකබෑවිලා , හැඳි ගෑවිලාම යන්න ඕනෙ. ලංකාවෙ වෛද්‍ය සේවය "යුනිවර්සල්" නෙමෙයි. ප්‍රයිවෙට් හොස්පිටල් හරහා, ලෙඩ්ඩුව මරාගෙන කන්න ඉඩදෙන "ටූ ටියර්" සිස්ටම් එකක්. ඇමරිකාවෙත් ඔය වැඩේම වෙනවා. එහෙ ඔය ගිජුලිහිණි සැට් එකට හෙල්ත් ඉන්ෂුවරස් කාරයොත් ඉන්නවා.

    ReplyDelete
    Replies
    1. AI ගැන ලියන්න ගොඩක් දේවල් තියනවා . අර ඉයන් කීව වගේ භායනක් පැත්තකුත් තියනවා . රැකියා නැති වෙනවා . දොස්තර රැකියාව AI එකට හොඳටම කරන්න පුළුවන් . සර්ජන් ලා තමා අමාරු . ඒත් සමර කොටස් රොබෝ ලා වඩා හොඳට කරනවා . එංගලන්ත නර්ස් ට ස්ටේතස්කොප් එක දීල තියෙන්න . එයාල AI ප්‍රොම්ප්ට් එකට රෝග ලක්ෂණ එන්ටර් කරල්ටැබ් එකකින් අවශ්‍ය උපදෙස් ගන්නවා . ඒ අනුව තමං දොස්තර ගාවට දානවා නම් දාන්නේ . අඩු නිසා ඒ . හැබැයි ඒක වැඩි දියුණු කරලා ගත්තම හරි

      Delete
  5. ඉතා කණගාටුයි ඔබතුමාගේ අත්දැකීම ගැන. අපි හැමෝටම මේ වගේ අත්දැකීම් තියනවා. දැන් නම් ටිකක් විතර ලෝකයේම සෞඛ්‍ය සේවකයා දියුණුයි.
    ලංකාවේ සෞඛ්‍ය සේවය භෞතික සම්පත් වගේම මානව සම්පතත් දෙකෙන්ම පොහොසත්. අමතක කරන්න එපා ලංකාවේ රජයේ සෞඛ්‍ය සේවය සම්පුර්ණයෙන්ම නොමිලේ. උපතේ ඉදන් අඩු මරණ අනුපාතිකයක් එක්ක පටන් ගන්නේ ප්‍රතිශක්තිකරණය ඉතා ඉහලයි අපි විවිධ රෝග අයින් කරලම දැම්ම. මීට අවුරුදු කීපයකට ඉස්සර මැලේරියාව තුරන් කරා.
    මානව සම්පත පුහුණුව වෛද්‍ය හෙදි සම්පුරනයේනම නොමිලේ ඉතින් කව්රු හරි කියනවනම් හොර කාපු බදු මුදල් කෝ කියලා අපි හැමෝගෙම ඇඟේ දුවන ප්‍රතිශක්තියේ පටන් තියෙන්නේ ඒවා තමයි. සම්පුර්ණයෙන්ම නොමිලේ ඉතා අඩු බදු ක්‍රමයක් තිබ්බ රටක මේ ආකාරයේ පහසුකම් තිබීම ගැන නම් මම ආඩම්බරයි.
    හැබයි මේ තියන සම්පත් වලින්ම තවත් ඉහල ගුණාත්මක සෞඛ්‍ය සේවාවක් දෙන්න පුළුවන්. ඒකට එකඟයි. මේවා හදන්න බැරි නැහැ. ලංකාවේ medical council එක මේ ගැන හරිම ඇල්මැරුණ ස්වාභාවයක් දක්වන්නේ. SLMA අනිත් එක. මෙලෝ රහක් නැහැ. GMOA කියන්නේ trade union එකක් නේ. එකෙන් මේ වගේ දේවල් වලට පිළිතුරු නැහැ. රජයේ රෝහල් වල දුෂණය සහ නාස්තිය අති මහත්. බෙහෙත් පෙත්තේ ඉඳලා ගොඩක් හොර පාරේ යනවා ඒවගේම අහුරු පිටින් නාස්ති වෙනවා.
    quantity එක හොඳ වුනාට quality එක අන්තිමයි.උදධච්ච කම අංක එක. ඔය කියන සේවකයෝම වෙන රටක වැඩ කරකරනකොට බොහොම තැන්පත්.කොළඹ වෛද්‍ය පිටයේ වෙනම stream එකක් තියනවා behavioral sciences stream කියලා. එකෙන් ඔය communication ගැන වුනත් උගන්නනවා.
    පෞද්ගලික වෛද්‍ය සේවාව නියාමනය ඉතා වැදගත්. සෞඛ්‍ය රක්ෂණය ක්‍රමයක් ගෙනාවොත් රජයේ රෝහල් වලට එන බර අඩුවෙනවා. බස්සා මහත්මයා කියන්න වගේ පරිසස්මින්. නැත්නම් තවත් ගිජුලිහින්යෝ ටිකක් එකතුවෙනවා.කරන්න වැඩ කෝටියයි.කාර්යක්‍ෂම ඇමතිවරයකුට හොඳ ප්‍රථිපල ගන්න පුළුවන් තියන budget එකෙන්ම.

    ReplyDelete
    Replies
    1. නිහඬ පාල තුමා කියන ඔක්කොටම වගේ එකඟයි . මට එකතු කරන්න දෙයක් නැහැ

      Delete
  6. ෆැටී ලිවර් හරිම කරදර ලෙඩක් දැන් ලංකාවෙ හුඟක් අයට

    ReplyDelete
    Replies
    1. ඒකත් ආරන්චියි . අපේ පවුලේත් ඉන්නව . ව්‍යායාමයක් ඇත්තෙම නැහැ , කරෝල බැදලා කන්නේ , මෞ බලා කන්නේ , බිත්තර බැදලා, බටර් පිටින් කාලා ඉතින් ඔහොම තමා . වතුර අබෝන්නෙත් නැහැනේ

      Delete
  7. අඩේ! උපන්දිනේ 15ද. නිදුක් නිරෝගී සුබ උපන්දිනක් වේවා. ජය 🎉🙌

    ReplyDelete
    Replies
    1. ස්තූතියි නමී තුමා

      Delete
  8. //ලංකාවේ කවුද ඩොකෙක් අලිගැටපේර වලින් කොලෙස්ටෙරෝල් එනවා // එක එක දොස්තරවරු එක එක කතා කියනව අනෙ. කව්රු හරිද මන්ද..

    ඔය බෝරින් මූඩ් එක ගැන ඩොක්ටර් කෙනෙක් කතාවෙනව අහම්බෙන් වගෙ අද අහන්න හම්බුනා. ඕක වර්තමාන සමාජේ හැමෝටම පාහෙ අඩුවැඩිව තියෙන එකක් කියලයි මට හිතෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. අලිගරපෙර කොලෙස්ටරෝල් වලට හොඳයි කියන එක ඇත්ත . හොඳ නැහැ කියන එක බොරු . https://www.healthline.com/health/high-cholesterol/avocado-and-cholesterol#other-ways-to-lower-cholesterol

      Delete
    2. පොඩි විෂාදියක් වගේ එකක් . සංකාවක් , තෝන්තුව ගතිය - ඕව තමා

      Delete
  9. අජියෝ, මේ ඔක්කොම දුක්බර මතක අතරම ඔබගේ 61 වැනි උපන්දිනයට සුභ පැතුම්..

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි කෞශල්‍ය තුමා . අනේ මන්ද , අද නන්දනගේ පුතා බිනූ ගේ වමගුලට සහභාගී වෙලා ආවේ

      Delete
  10. අපේ තාත්ත මරුනෙත් ඔය වගේ කේස් එකකින් .. හරියට හොයා ගන්න බැරි උණා . තාත්ත නැතිවෙනකොට 55යි . දැන් හිතෙනවා කොච්චර අපරාදයක් ද කියල .

    ලංකාවේ ඉන්න දොස්තරලා ගැන තියෙන්නේ මධ්‍යස්ත මතයක් මට . කාලකන්ණි ඉන්නවා .. ඒ වගේම ඉතා දක්ෂ විදියට ලෙඩේ මුල හොයා ගන්න අයත් ඉන්නවා .

    මම නම් AI වලට ඉහලින්ම කැමතියි මගේ ජොබ් එකට කෙල වෙලා යන්නත් සෑහෙන ඉඩක් තිබ්බත්

    ReplyDelete
    Replies
    1. ඔයාගේ තාත්ත ගැනත් දුකයි. නමුත් මේ ලෝකයේ හැම දෙයක්ම සිදු වන්නේ දෙවියන් වහන්සේගේ කැමැත්ත අනුව නිසා ඒක උන්වහන්සේගේ තීරණය, ඒක තමයි වීමට තිබුණ හොඳම දෙය, ඒ නිසාම හිත හදාගන්න උත්සාහ කරමු.

      යොහන් 3:36 (John 3:36) - පුත්‍රයාණන් කෙරෙහි අදහන්නාට සදාකාල ජීවනය ඇත; නුමුත් පුත්‍රයාණන්ට කීකරු නොවන්නා ජීවනය නොදක්නේය, දෙවියන්වහන්සේගේ උදහස ඔහු කෙරෙහි පවතියි.

      Delete
    2. ඒක තමා පැතුම් පනස් පහ කියන්නේ දැන් වයසක්ද ? හොඳ දොස්තරලා අනිවාර්යයෙන් ඉන්නව . හොඳ නර්ස් ලා ඉන්නව . සමස්තයක් වශයෙන් නිහඬපාල මහත් කියන එක අහරි . අපේ සෞඛ්‍ය සේවය එන්න එන්න හොඳයි කියල හිතනන් මම කැමතියි . ඒත් තවම බෙහෙත් පන්නන එක තියනවා . මිනිසුන්ව එලවන එක තියනවා . කස්ටමර් සර්විස් එක අන්තිම සවුත්තු තැන් තියනව

      Delete
    3. ස්තූතියි ඇනෝ

      Delete
  11. අජිත්ට සුබ , නිරෝගීමත් උපන් දිනයක් . මේ වගේ තොරතුරු විස්තරාත්මකව ඉදිරිපත් කරන එක වටිනවා. සමහර දේවල් අපි ගණන් ගන්නෙ නැහැ . හැබැයි දැනුවත් වෙලා හිටියනම් කලින්ම ඒවා ගැන දැනගෙන පරිස්සම් වෙන්න පුළුවන්.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි . මගේ දැනුවත්වීම නම් වැඩිවුනා . ඊයේ පෙරේද සිදුවුණු මරණයත් නිසා . රුධිරයේ අයන් චෙක් කරන එක, වතුර ලීටර් එකහමාරකට වැඩියෙන් බොන එක , හම ලෙඩක් ගනම් හොයන එක AI එකෙන්

      Delete
  12. පහුවෙලා නිසා සුබ උපන් දිනයක් නොකියා සුබ අනාගතයක් ප්‍රාරථනා කරනවා.
    ලංකාවේ ලෙඩ රොග අදුරා ගෙන ප්‍රතිකාර කරන එක රසායනනාගාර වලටම බාරදිලා. ලගදි වම් අත උස්සන්නවත් බැරිවුනා. බ්රේන් එකේ ඉදන්ම පරීක්‍ෂණ. මාස දෙකක්ම වේදනා නාශක විතරයි. පරීක්‍ෂණ කලත් ලෙඩේ අදුනා ගත්තේ නෑහැ . ප්‍රතිකාර කල වෛද්‍යවරුන්ගේ උපාධි නම් බොහොමයි.
    අන්තිමේ ආයුර්වේද ප්‍රතිකාරවලට යොමු වුනා සති දෙකෙන් සනීපයි. එතනදී තමයි හදුනා ගත්තේ මගේ උරහිසේ කැල්සියම් බැදිලා බව.
    පරීක්‍ෂණ නැහැ.ප්‍රතිකාාර පමනයි. ඔන්න ඔහොමයි අපේ රටේ බටහිර වෛද්‍ය කර්ම.

    ReplyDelete
    Replies
    1. හප්පා ? මෙහෙ එංගලන්තයේ නම් බෙහෙතක් දෙනවා . ඒක හරිගියේ නැත්නම් ඉන්ජෙක්ෂන් එකක් ගහල අදිනවා . calcific tendinitis කියල කියන්නේ ඕකට . හැබැයි NHS එකේ කරගන්න හෙන පෝලිමක් . ප්‍රයිවෙට් හෙල්ත් එකක් දාල තියන එක ඔය වගේ ලෙඩ වලට හොඳයි වයසට යන කොට එන දෙයක් කියල කියන්නේ . ගොඩක් උරහිස් වේදනාවන් එන්න හේතුවක් . .

      Delete
    2. This comment has been removed by the author.

      Delete
    3. මම මේ කියවන විට ලිවිම කරන්න ගිහින් වැරදි ඒවමයි ලියවෙන්නේ . මම කිව්වේ ආයුර්වේද ක්‍රමයෙන් ඒක සුව අකරන්න් පුලුව කියල දැන ගත්ත . ස්තූතියි

      Delete
    4. අජිත්ගේ 61 වන උපන් දිනය දිනය නිමිත්තෙන් අපගේද සුභාසිංශණය පිරිනමමි .
      ඒ සමගම පියාගේ අසනීපය ඔස්සේ ශ්‍රී ලංකාවේ වෛද්‍ය ක්ෂේත්‍රයේ අඳුරු පැත්ත ගැන විග්‍රහයක් කර, එය බටහිර ලෝකයේ පවතින ක්‍රමවේද සමග සංසන්දනයක් කිරීමත්, හරිහැටි කරුණු වටහා ගැනීම සඳහා ඉතා වැදගත් පිවිසුමක් .

      Delete
    5. ස්තූතියි දයාරත්න මහත්මයා. අපේ නිදහස් සෞඛ්‍ය ආඩම්බරයට කරුණක් වුනත් ප්‍රශ්න බොහොමයක් තියනවා .

      Delete
  13. මගේ මිත්‍රයෙකුගේ තාත්තටත් ඔයිට සමාන සිද්ධියක් උනා. මිත්‍රයා ආපසු ලංකාවෙ පදිංචියට එන්න හිටියේ. ඊට පස්සෙ ඒ අදහස අත්හැරලා ගිය රටේම පදිංචි උනා.

    ReplyDelete
    Replies
    1. මට හිතා ගත්ත හැකි . මගේ ජිවිත කාලය තුල කිහිප වතාවක් ලංකාවේ පදිංචියට එන් සූදානම් වුනා . ඒ හැම පාරම ළඟම ඥාතීන් සහ යහළුවෝ එන්න එපා කිව්වා . වතාවන් දෙහෙක අම්මගේ ඇස පිලිබඳ ප්‍රශ්නයක් සහ (මේ බ්ලොගයේ ලියා තිබෙනවා මම හිතන්නේ ) හා ඇයට විශේසන්ග්න වෛද්‍යවරයෙකු දුන් බෙහෙතක් නිසා හෙම ඒ අදහස සම්පුර්ණයෙන් අත ඇරියා

      Delete
    2. මේ තිබෙන්නේ ඒ ලිපිය . මම ආචාර්ය නලින්ද සිල්වා මහතා ඇයි බටහිර බෙහෙත්වලට බනින්නේ කියා ලියා තිබෙනවා . ලංකාවේ වෛද්‍යවරු ඉතාමත් අනවශ්‍ය බෙහෙත් රාශියක් නියම කරනවා . ඔවුන් කියන්නේ එහෙම දුන්නේ නැතිනම් ලංකාවේ මිනිස්සු බෙහත් ගන්න නොඑන බවයි . ඒකත් ඇත්ත තමා . මේ ලිපිය බොහෝ දෙනෙක් කියවා තිබුනා . https://kolambagamaya.blogspot.com/2021/07/blog-post.html

      Delete

සියලු හිමිකම් අජිත් ධර්මකීර්ති (Ajith Dharmakeerthi) සතුය. කොළඹ ගමයා බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ අජිත් ධර්මකීර්ති යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ.
මෙහි පලවන ලිපි සහ දේශපාලන අදහස් මගේ පෞද්ගලික අදහස් පමණි.
ඔබේ ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. නමුත් වෙනත් කෙනෙකුට සාධාරණ හේතුවක් නැතුව පහර ගසන අශිලාචාර අන්දමේ ප්‍රතිචාර පමණක් පල නොකෙරේ. බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ස්තූතියි .