Friday 23 May 2014

සංසරණ මාධ්‍යය - ප්‍රාග්ධනය - අංක 7


සංසරණ මාධ්‍යය 
භාණ්ඩ වල රූපාන්තරණය (වෙනස්වීම /  පරිණාමය)

හුවමාරුව සම්පුර්ණ වන්නේ එකිනෙකට ප්‍රතිවිරුද්ධ  රුපාන්තරණයන් දෙකක්  වන භාණ්ඩ හා  මුදල් එකිනෙකට  පරිවර්තනය වීමය නිසයි. මේ දෙක එකින් පූර්ණත්වයට පත් කරනවා කියල මාක්ස් කියනවා. එතකොට කරන කාර්යය අවස්ථා දෙකකින් සිද්ධ වෙනවා.   රෙදි මහන්නා  එය විකිණීම - එහෙම නැත්නම් භාණ්ඩය මුදල් නමැති භාණ්ඩයට මාරු කිරීම - අනිත් පැත්තෙන් මිලදී ගැනීම - එනම් මුදල් නමැති භාණ්ඩය රෙදි නමැති භාණ්ඩයට හුවමාරු කර ගැනීම. ඇත්තටම මේ දෙකම එකක්.
මේක මාක්ස් ලිව්වේ මෙහෙම.
භාණ්ඩ - Commodity - මුදල්-  Money
Commodity – Money – Commodity. C–––––– M ––––––C.
භාණ්ඩ - මුදල් - භාණ්ඩ : භා - මු - භා , ඉදිරියේදී ලේසියට මේක ඉංග්‍රීසි අකුරෙන්ම ගමු. 
C–––––– M ––––––C. - (අංක 1)

කල්පනා කරලා බලන්න මේක අතරට තව මොනවහරි දාන්න  පුලුවන්ද කියල? 


එතකොට මෙතැන  භාණ්ඩය හැටියට ශ්‍රමය අරගන්න.  එහෙම අරගත්තොත් ශ්‍රමයට තියෙන්නෙත් හුවමාරු වටිනාකමක්. මේක කම්කරුවෙකුගේ වෙන්නම ඕනේ නැහැ. ඕන කෙනෙකුගේ ඉන්ජිනේරුවෙකුගේ, දොස්තර කෙනෙකුගේ , ගුරුවරියකගේ හෝ ගොවියෙකුගේ, කම්කරුවෙකුගේ (මෙහිදී  අත පය  වෙහෙසා  වැඩ කරන යන අරුතින්)
එතකොට අර ඉහල අංක 1 නමැති සමීකරණය මෙහමත් ලියන්න පුලුවන්.
L - M -..................? මෙතන කම්කරුවා තමන්ගේ ශ්‍රමය විකුනුවට පස්සේ ඒ මුදල නැවත භාණ්ඩ වලට හැරෙන්නේ නැහැ නේද? ඒ කියන්නේ මුදල විශ්වීය හුවමාරු අගයක් (හෝ ලෝකය පුරාම කියමුකෝ) ගත්තට ශ්‍රමයට ඒක එන්නේ නැහැ නේද?
මෙන්න මේක තම මාක්ස් කියන්නේ. ශ්‍රමය අපි විකුනුවට එකට අර මුදලට තියෙන පොදු (විශ්වීය ?) අගය නැහැ කියල. 

ඊළඟට මේ පෙනුමට තිබෙන තනි ක්‍රියාවලිය ඇත්තටම දෙකක් බව මාක්ස් කියනවා. එනම් භාණ්ඩය අයිතිකාර තැනැත්තා ගේ පැත්තෙන් ඒක  විකිණීමක්  sale , මුදල් අයිතිකාර  තැනැත්තාගේ පැත්තෙන් ඒක  මිලදී ගැනීමක්. හැබැයි විකිණීම තමා  මිලදි ගැනීමත්.   C–M is also M–C.
ඊළඟට මේ C–––––– M ––––––C. එක වෘත්තාකාර හැඩයක් ගන්නවා කියල මාක්ස් කියනවා. "The two phases, each inverse to the other, that make up the metamorphosis of a commodity constitute together a circular movement, a circuit: commodity-form, stripping off of this form, and return to the commodity-form."
භාණ්ඩමය ආකාරය - මුදල්මය ආකාරය හා නැවත භාණ්ඩමය ආකාරය - නැවත එය විකිණීමෙන් මුදල් බවට හැරීම  ඒ වගේ.   අනික මෙහිදී මුදල් කාගේ  හරි අතේ හැම වෙලාවෙම තියෙනෙව. නමුත් භාණ්ඩය  මේ වෘත්තයෙන් ගැලවී යන්න පුළුවන්. මහන්නා  රෙද්දක් විකුණලා සල්ලි ගන්නවා. ඒ සල්ලි වලින් පොතක්  ගන්නවා කියා හිතමු.  ඔහු/ඇය පොත නොවිකුනුවා  කියා හිතමු. නමුත් පොතට ගෙවූ මුදල සංසරණයේ තව දුරත් පවතිනවා. පොත අයින් වෙනවා. 
අපි හිතමු යකාගම කියන ටිකක් ආදිවාසී ගමක කම්මල් කරුවෙක් ඉන්නවා කියල. ඔහු යකඩ තලා හදන භාණ්ඩ ගොවියෙකුගේ කිරි හෝ හාල් වලට හුවමාරු කර ගත්තොත් වෙන්නේ C -C වගේ ක්‍රියාවක්. (commodity -commodity ) . හැබැයි ඔහුට අර භාණ්ඩ අවශ්‍ය නැත්නම් ඔහු මුදල් (රන් කාසියක් වගේ) ගන්නවා කියා හිතමු. ඔහු ඒ මුදල පාවිච්චි කරලා වඩුවා  ගෙන් පුටුවක් ගත්ත කියා හිතමු. මෙහිදී සුරකෑමක් සිදු වෙන්නේ නැහැ. වෙන්නේ C–––––– M ––––––C එක. එතකොට කම්මල් කරුවාගේ හෝ වඩුවාගේ පුද්ගලික ව්‍යාපාර යකාගමේ මිනිසුන්ගේ ආධිපත්‍යට ගන්න ඕනේ නැහැ. ගොවියාගේ කුඹුර හෝ ඉඩම් ගන්න ඕනෙත් නැහැ. ඔවුන් සුරාකෑමක් කරන්නේ නැහැ. (අවාසනාවකට වගේ මාඕගේ චීනයේ හා සෝවියට් රුසියාවේ ඈත  පළාත්වල ඕනෑවට වඩා උද්යෝගී කොමියුනිස්ට් පක්ෂ සාමාජිකයන් මේ වගේ වැඩත්  කලා. සපත්තු කාරයාගේ කම්මල් කාරයාගේ පුංචි ව්‍යාපාරත් ජනසතුයි කියල ආණ්ඩුවට අරන් රාජ්‍ය ඒකාධිකාරයක් හදන්න. නොදැන කරපු ඒ වැඩ වලින් කලේ ලොකු හානියක් ) 
ඊළඟ ලිපිවලින් සුරාකෑම  හා ප්‍රාග්ධනය ගැන කතා කරන්න බලා  පොරොතු වෙනවා. 



No comments:

Post a Comment

සියලු හිමිකම් අජිත් ධර්මකීර්ති (Ajith Dharmakeerthi) සතුය. කොළඹ ගමයා බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ අජිත් ධර්මකීර්ති යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ.
මෙහි පලවන ලිපි සහ දේශපාලන අදහස් මගේ පෞද්ගලික අදහස් පමණි.
ඔබේ ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. නමුත් වෙනත් කෙනෙකුට සාධාරණ හේතුවක් නැතුව පහර ගසන අශිලාචාර අන්දමේ ප්‍රතිචාර පමණක් පල නොකෙරේ. බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ස්තූතියි .