Friday 2 May 2014

දෑකැත්තයි මිටියයි හලන්න කල් හරිද? රතු කටුස්සෙක් පින්තුරේට දාමුද?

මේක ලියන්නේ 2014 මැයි 1 වෙනිදා. ලංකාවේ හා ලෝකයේ රටවල පෙළපාලි යන වෙලාවක. කොළ අයත් නිල්  අයත් කොටින්ම රජයේ හමුදාවක ඉහලම නිලයක් දැරූ යුද්ධයක් මෙහෙයවූ අයෙකුත් මැයි රැළියක් කරන නිසා (එහෙම කරන්න බැහැ  කියනවා නෙමේ. ඕන කෙනෙකුට වෙනස් වෙන්න අයිතියක් තිබෙන බව මම පිලි ගන්නවා.) මේ මැයි  පෙළපාලි දිනය  සුවිශේෂයි. අවාසනාවකට  වගේ ඊයේ වැඩ අධික නිසා මේ ලිපිය ඉවර කර ගන්න බැරිවුනා. අද දෙවෙනිදා. අනික් සුවිශේෂ කාරණය තම පෙරටුගාමී සමාජවාදී පක්ෂයෙන් සම්මන්ත්‍රණ මාලාවක් පැවැත්වීම. නොයෙකුත් සමගාමී පක්ෂවල නායකයන් කතා කලා  මේ හමුවීම් වල. ශ්‍රී ලංකා පෙරටුගාමී පක්ෂයේ දීප්ති කුමාර ගුණරත්න සම්ප්‍රදායෙන් එලියට ගිය "හොඳ" කතාවක් කරලා තිබුන. මේ කතාවට නොයෙකුත් විවේචන තියෙනවා. ඒවාට උත්තර ඒ ගොල්ලෝ දෙයි. නමුත් ඒක  හොඳ කතාවක්. අනික් කතාව චමීර කොස්වත්තගේ කතාව තුල පන්තිය සංවිධානය කරන්න ඕනේ කියන එක තමයි අවධාරණය කලේ.  සාධාරණ කතාවක්. නමුත් මේ හැම දේම හොඳ වුනත් ඇත්තටම අපි මැයි රැලි වලට යන්න ඕනෙද කියන ප්‍රශ්නය මතු වෙනවා.

අප සෝවියට් දේශයේ මැයි රැලි දැක්කා . සමාජවාදී ජයග්‍රහණ සංකේතවත් කරන රැලි හැටියට තම ඒවා දැක්කේ. මුලින් ම අභ්‍යවකාශයට ගිය යානය අරන් ගිය , යුරි ගගාරින් වගේ අය ගිය. ඒවා හොඳයි කියමු. නමුත් ලෙනින් ගෙන් පස්සේ බොහොමයක් මැයි  රැලි වලට යාම අනිවාර්ය කරලා තිබුන. කොමියුනිස්ට් පක්ෂ සාමාජිකයන් හා කමිටු අනිවාර්යයෙන් සහභාගී විය යුතුමයි.  සහභාගී වුනේ නැත්නම් ජොබ් එකටත් කෙල වෙනවා. ප්‍රොමෝෂන් එකක ලැබෙන්න තිබ්බ නම් ඒකත්  නැති වෙනවා.
බ්‍රෙශ්නෙව් (සෝවියට් ජනාධිපති හා කොමියුනිස්ට් පක්ෂ ලේකම් ලියොනිඩ් බ්‍රෙශ්නෙව්) ගේ කාලේ  අර සමුහ ගොවි පොලේ අස්වැන්න අර කර්මාන්ත ශාලාවේ නිෂ්පාදන අතිරික්තය , ඔන්න ඔය වගේ බොරු දත්ත දාපු බොරු ප්‍රදර්ශන රථ අරන් ගියා . මේවා කරපු නිලධාරීන් බ්‍රෙශ්නෙව්ව අම්බානක ඇන්දුවා. මුළු මධ්‍යම කාරක සභාවම වගේ රැවට්ටුව. ඕවට අහුවුනේ නැත්තේ මධ්‍යම කාරක සභාවේ දෙන්නයි. එක අයෙක්  යුරි අන්ද්රෝපොව්. මෑන් ආපු  ගමන් අර හොර නිලධාරි  කීප දෙනෙකුට  දීගෙන දීගෙන ගියා , නමුත් මිනිහ හදිසියේ මැරුණා. ඊට පස්සේ ආවේ (චෙර්නේන්කෝ ගෙන් පස්සේ) ගොර්බචෙව්. මිනිහ මුළු සෝවියට් දේශයම විසිරුවල දැම්ම.
නැගෙනහිර ජර්මනියේ සමාජවාදය තිබ්බ කාලේ  හිටපු කාට  හරි මැයි  පෙළපාලියට එනවද කියල ඇහුවොත්  දුවයි. එහෙම නැත්නම් පිස්සුද කියල අහයි. මැයි පෙළපාලියට ගියේ නැත්නම්  (අඬ  ගහල) ස්ටාසි (ජර්මන් රහස් පොලිසිය ) පිටිපස්සෙන්. අනික ඉතින් නැති දේවල් මවා  පෑමක් තමා  කෙරුනේ.

ඉතින් මැයි රැලියකට තම කැමැත්තෙන් යන්නේ නැතුව , යන්න කියා කියා කියනවනම් එතන පුංචි පහේ නිලධාරිවාදයක් තිබෙනවා කියල හිතෙනවා. ඉතින් මේ මැයි  රැලි වලට වනාගෙන තම කැමැත්තෙන් යන්නේ කවුද? නිල්පාට කොලපාට ඒවා වල නම් ලොක්කගේ හිත දිනා  ගන්න , තමන් තමයි වැඩි පුරාම සෙනග ඇද්දේ කියා ගන්න කරන වැඩක් නිසා ඒවා ගැන කතා කරලත් වැඩක් නැහැ. වචන නාස්ති කරන්න ඕනේ නැහැ පොලු සෙල්ලම් කෙලි සෙල්ලම් වලට.
ඉතින් මැයි  දිනයෙන් නම් ඊළඟ විප්ලවය තීරණය වෙන්නේ හරි, තම සංවිධාන ශක්තිය පෙන්වන්නේ හරි නම් , හොඳම පෙළපාලිය හා රැලිය වමේ පැත්තෙන් කලේ ජවිපෙ. ඒකෙ ගිය කතා නම් මම වැඩිය ඇහුවේ නැහැ. නමුත් මෙන්න මෙහෙම දෙයක් නිරීක්ෂණය වුණා. දැන් මේ පහල පින්තුරේ ලස්සනට ඇඳ  ගත්ත නාගරික තරුණ තරුණියෝ ටිකක් නේද ඉන්නේ. ටිකක් අලුත් රුසියාව වගේ. නැහැ . අලුත් චිනේ වගේ. ඒත් .... නැහැ.  මේකන් ගම්‍ය වෙනවද ජවිපෙ දැන් අලුත් මාවතක යන්නේ කියල.
 
එංගලන්තේ කම්කරු පක්ෂය පරදින කොට නීල්  කිනොක් ඉවත් කරලා ටෝනි බ්ලෙයාර් ආවහම  මේ වගේ වෙනසක් වුණා . ටෝනි ඇවිල්ල පින්ක්  (රෝස පාට ) වාමන්ශිකයෙක් රත්තෙක් නෙමේ කියල තම පිලි ගැනීම . ඇත්තටම මධ්‍යස්ත දක්ෂිනන්ශිකයෙක් කම්කරු පක්ෂෙන් ආපු .
 මේ දෙවන පින්තුරේ ජවිපෙ පෙළපාලිය. මේක  දැක්කම ගොඩක් ආඩම්බරයි හා. නමුත් මේක නිකම් මේ පෙබරවාරි 4 නිදහස දවසේ යන මාච්  එකක්  වගේ නැද්ද? එහෙම නැත්නම්  කිම් ජෝන් උන් ගේ උතුරු කොරියාවේ හෝ චීනයේ මැයි  පෙළපාලි වගේ නැත්ද? ශ්‍රී ලංකාවට අභිමානයෙන් ගෙන එන ඊළඟ මනස්කාන්ත නිලධාරිවාදී රාජ්‍යයේ පෙර ගමන් පෙළපාලිය නේද ? ඔය පෙළ පාලියේ යන හැමෝටම අණක්  දීල  ඇති සහභාගී වෙන්න. ඕකේ  ගීය අයට  හරියටම  පවරලා  ඇති වැඩේ . හා ඔයා  චේගේ ප්‍රදර්ශන  කෑල්ලේ  බර අදින්න. ඔයා  මොටෝ බයිසිකලේ ඉන්න ඔය වගේ. අර ඒ කාලේ නිදහසේ වරප්‍රසාද ඉල්ලා පෙළපාලි ගිය කම්කරුවට ශ්‍රමිකයට මොකද වුනේ.  ජවිපෙ නාගරික පන්තිය හරහා චන්දෙ ඉල්ලන බලා  පොරොත්තුවක් තියෙනවා කියල තමා  පෙනෙන්නේ. එතනින් බලය ගන්න පුළුවන් නම් හොඳයි. ඊට පස්සේ ?
ඊළඟට බලමු පෙරටුගාමී සමාජවාදී පක්ෂේ පින්තුරයක් දිහා. 
 දැකත්ත මිටිය ගත්ත සම්ප්‍රදායික දෙන්නෙක් ඉන්නවා. ගොවි ගැහැණිය. ගමේ කම්මල් කරු . ක්ලැසික් පින්තුරේ. හැබැයි මන් ඔට්ටුවක් අල්ලනවා ඔය දෙන්නම එදා මැයි  රැලියේ හිටියේ නැහැ කියල. ගමේ ගොවි ගැහැණිය දැන් ඉන්නේ මැද  පෙරදිග. ගමේ කම්මල් කාරය ගෑනිව මැද  පෙරදිග යවලා කොහේ හරි කට ගොන්නක් බිල හොර ගෑණි  ගාව  හරි ගෙදර හරි නිදි.  ඉතින් මට නම් හිතෙන්නේ මිටිය වෙනුවට ඉස්ක්රුප්පු නියනක්, ව්රෙන්ච් එකක් (පින්තුරය බලන්න) 
 නැත්නම් වතුර බාල්දියක් හා මොප් කරන බුරුසුවක්  තිබ්බ නම් හරි කියලා . එහෙම නැත්නම අර අව්වේ ටයි පොල්ලක් ගහගෙන කඩවල් ගානේ  යන සේල්ස් රෙපාල  මතක් වෙන්න ටයි පොල්ලක් හරි අඩුම ගානේ . දැන් කතා කරන්න ඕනේ දුක් විදින්නේ ගාර්මන්ට් වල වැඩ කරන කාන්තාවෝ නේද? ඊළඟට තේ කඩන කට්ටිය. හැබැයි පෙසපේ එක පින්තුරයක පොඩි උත්සහයක් ගන්නවා හැමෝම ඇතුළු කර ගන්න. . මෙන්න ඒක.
. චමීර කොස්වත්තගේ කතාව ඉවර වෙනකම් අහන්න බැරි වුණා. මොකද හඬ පටය එතනින් ඉවරයි. පුබුදු ජයගොඩගේ කතාවේ යන්තමට මතක් කරනවා මෙහෙම. "අපනයනය කරන ශ‍්‍රමිකයන් වැඩි කරනව කියන්නේ ඇණ ගහගෙන ලංකාවට එන ප‍්‍රමාණය වැඩි වෙනව කියන එක. ඇගලූම් කර්මාන්තයට වැඩියෙන් බර තියෙනව කියන්නෙ සූරාකෑම තවත් වැඩි කරනව කියන එක" 

ලාල්  කාන්තගේ කතාවත් හොඳයි. ඇත්තටම ප්‍රශ්න ගැන කතා කරනවා. නමුත් දන්නවද දන්නේ නැහැ ස්වීඩනය මේ දවස් වල පයිලට් ප්‍රෝග්‍රෑම් එකක් කරනවා පැය  7 හා පැය  හයේ වැඩ මුරයකට. හැබැයි ඵලදායිතාවය වැඩි කරන්න. මෙන්න යොමුව.  http://www.allvoices.com/contributed-news/16850616-sweden-to-try-6-hour-workweek-is-america-next . 

හුටා තමයි. සමාජවාදය එනකන් ඉන්න ඕනේ නෑනේ  එතකොට. 

 මේ ලිපියේදී පින්තුර ටික බා ගත්තේ http://www.lankatruth.com/ එකෙන් හා 
http://www.lankaviews.com/ එකෙන්. එකට ස්තුතියි.




8 comments:

  1. දැනට මේ යන ක්‍රමයට කවදාවත් සම සාධාරණ සමාජයක් ගොඩ නගන්න බැහැ. මිනිස්සු හිතන විදිය අධ්‍යනය කළ යුතුයි.ඒ කියන්නෙ සුවිශේෂ තත්වයක් අධ්‍යනය කරල කියල ජාතිවාදී ආගම්වාදී වැඩවසම් උතුරු කොරියන් පන්නෙ සමාජවාදයක් ගොඩ නැගීම නොවෙයි.මිනිස්සුන්ට උගන්වන්න ඕන හැමෝම සමානයි කියල .කෙටි කාලීන හා දිගු කාලීන පුහුණු ලැබූවන් අතර වෙනස විතරයි දැනට තිබෙන්නෙ.අනික් වෙනස්කම් ජීවමාන වුනත් ඒව මිත්‍යාවන් බව ඔප්පු වෙලා ඉවරයි.

    ඔක්කොම සමාන වුනාට පස්සෙ ඔබ මහන්සි වෙලා අවුරුද්දකට හොයන මුදලට වඩා අසවලා ගෙ ශර්ට් එක සාරිය මිළ අධිකයි.අසවලා එක කෑම වේලකට වියදම් කරනව ඔයා මාස කීපයක පඩිය. ඊට පස්සෙ හිතන්න ඕන අහවලා ඔයාට වඩා මහන්සි වෙනවද කියන එක . බලපුවම ඔයා තරම්වත් මහන්සි වෙන්නෙ නෑ.ඉරිසියා කරන්න ඕන .වෛර කරන්න ඕන.ඉරිසියාව හා වෛරය නරක දේවල් ලෙස අපට උගන්වනව.ඊලඟට උගන්වන්නෙ අහවලා සැප විදින්නෙ පෙර කල කුසල් නිසාලු.
    ගම්වල මිනිස්සු දන්නෙ නැහැ ධනපතියො විදින සැප ගැන. ගම්වල අපි කවදත් ශ්‍රීලංකා අපි කවදත් යූ ඇන් පී කියල කියපු එවුන් නගරයට ආවම තරාතිරම් ගැන වැටහීම ආවම සමාජවාදී වෙනව. තිස් හතලිස් ගනන්වල කම්කරු ව්‍යාපාරය ඇතිවුනේ එහෙම.ගම්වල එවුන් ආන්ඩුවෙ කන්තෝරුවල පියන් කම් ලැබුනම උන් ජේවීපී වෙනව.උන් දැනගන්නව උන් පහලයි කියල.
    ගමේ ඉන්නකම් ලිදේ ඉන්න ගෙම්බො වගෙ මොකුත්ම දන්නෙ නෑ.

    සම සාධාරනය ගොඩ නගන්න නම් කරුණු කීපයක් ඉෂ්ට කරන්න ඕන.
    ධනාත්මක මිත්යාව ප්‍රතික්ෂේප කරන්න ඕන.කවදහරි දියුණු වෙන්න පුළුවන්ය අහවලා සතෙන් දෙකෙන් පටන් අරන් දියුණු වුනාය කියන මිත්‍යාවන් හෙළි කරන්න ඕන. එහෙම දියුණු වෙන්න බෑ කාටවත් එතන ඊට වඩා වෙන කතන්දරතියනව.

    ඒ වගේම කුසල් අකුසල් දේව කැමැත්ත කියල හොරුන්ට ආවරනයක් දෙන මතවාද ප්‍රතික්ෂේප කරන්න ඕන

    මනස සකස් කරල ජනතාව සුරංගනා ලෝක වල රදවන ධනපති මාධ්‍ය වලටත් එරෙහි වෙන්න ඕන

    ReplyDelete
    Replies
    1. වෙන කතා කියල කියන්නේ කොහේ හරි හොර වැඩක් කරලා තියෙනවා. හුඟක් වෙලාවට tax ගෙවන්නේ නැතුව ඉඳල. එහෙම නැත්නම් අනිත් competitors ල රවට්ටලා microsoft වගේ .

      Delete
  2. ඉහත මම කීවෙ කම්කරුවෙකු දැනුවත් කරන හැටි ගැන.කම්කරුවට න්‍යායන්ගෙන් වැඩක් නැහැ.මම නිකම් විනෝදෙට වගේ නූගත් කම්කරුවො ධනපතියන් ගැන වෛරෙන් රත් කරල තිබෙනව.මම කියන්නෙ ධනපති ක්‍රමයට නොවෙයි ධනපතියටයි වෛර කරන්න ඕන කියල.මෙතන මතු කරන මූලික අදහස කම්කරුව දුක් විදින්නෙ ධනපතිය නිසාය කියන එක.ධනපතියො නැතිව ගියාම කම්කරුවන් අතරින් පිරිසක් ධනපතියො වෙන්නෙ නැහැ.ක්‍රමය අභාවයට යනව.
    සමාජවාදය අසාර්ථක වුනේ මෙය තේරුම් නොගැනීම නිසයි.අචේතනික ක්‍රමයකට නොවෙයි සචේතනික ධනපතියාටයි වෛර කළ යුත්තෙ.

    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      Delete
    2. මම නම් මේකට එකඟ වෙන්න අමාරුයි. ඔබ ධනපතිය කියන්නේ කාටද? ඇයි අපි මිනිසෙකුට වයිර කරන්නේ ? වයිර කල යුත්තේ ක්‍රමයට මිසක් තැනැත්තෙකුට නෙමේ. ප්‍රාග්ධනය හිමි , කම්හල් හිමි ධනපතියා එක අයෙක්. තමන්ගේ මහන්සියෙන් වැඩ කරලා මුදල් උපයාගත් අය තව කොටසක්. මේක සරදියෙල් හරි රොබින් හුඩ් හරි කරපු විදියේ වැඩක් නෙමේ. ඒක බොළඳයි. ධනපතියට වයිර කරන්න කියල කිවොත් ඊට පස්සේ කම්කරුවා හරි ශිෂ්‍යය හරි හිතයි තුවක්කුවක් අරන් ගිහින් ධනපතිය නැති කලොත් ඔක්කොම හරි කියලා. ඒක එහෙම නෙමෙයිනේ. ක්‍රමය හදන එක මිසක් පුද්ගලයාගේ වරද හදන එක නෙමේ අපේ බලාපොරොත්තුව.

      Delete
  3. න්‍යාය හැදෑරීම අවශ්‍යයි.ඒත් භාවිතයට න්‍යායට වඩා වැදගත් දේ තිබෙනවා.මෙහෙම කියල තුවක්කු උස්සන් ගිහින් ධනපතියන් මරන එක නොවෙයි කරන්න ඕන. ධනපතියන්ට වෛර කරන ධනපතියන්ට ඉරිසියා කරන මානසිකත්වයක් ගොඩ නගන්න පුළුවන් වුනොත් ඒ ප්‍රතිවිරෝධය එක්කයි ධනපතියන්ට වැඩකරන්න වෙන්නෙ. ඇත්තටම අචේතනික ධනවාදයට වඩා සචේතනික ධනපතියන්ට එරෙහි වෙනවානම් මීට වඩා ජනතාව සංවිධානය කළ හැකියි. සෝවියට් හා චීන කියුබා විප්ලවත් ඇතිවුනේ ඒ විදියට. හැබැයි ඒව ඓතිහාසික අත්වැරදි . තනි රටේ සමාජවාදය මුත්‍යාවක්. අපි ලංකාවෙ මොනව කළත් විදේශීය ප්‍රාග්ධනයත් එක්ක හැප්පෙන්න බෑ. කළ යුත්තේ ලෝක විප්ලවයක්. ලෝක කම්කරු ජනයා පොදුවේ ධනපතියන්ට එරෙහි වීම. එහෙම කරන්න පුළුවන් වුනොත් ධනපතියො නිකම්ම යටත් වෙනව. ඔවුන් පරාජය කිරීම ලේ නොසොල්වන විප්ලවයක් විය හැකියි.ඕන නම් අත් අඩංගුවේදී සියළු ධනපතියන්ට පොදු සමාවක් දෙන්න පුළුවන්.ඒ ලෝක විප්ලවයෙන් පස්සෙ. අපට කළ හැක්කේ අපේ මට්ටමින් ලංකාවෙ ධනපති විරෝධය ගොඩ නැංවීම.
    මෙහෙම ධනපති විරෝධයකින් පසු ධනපතියන් ඉවත් වූ පසු ඒ රික්තය ගන්න කම්කරුවන් ඉදිරිපත් වෙන්නෙ නෑ. ඔවුන් සිටින්නෙත් ප්‍රතිවිරෝධය තුලම නිසා.
    කෙසේ වෙතත් ඔබ කරන ලෙසම සරලව න්‍යාය පැහැදිලිකිරීම ඉතාම වැදගත්. න්‍යාය හා භාවිතය ගොඩනගමු.

    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      Delete
  4. සමහරවිට බුද්ධාගමෙන් ලැබුන ආභාෂය නිසා වෙන්න ඇති මට කාට හරි වයිර කරන්න කියන එක දිරවා ගන්න ටිකක් අමාරුයි. සචේතනික ධනපතියට වයිර කිරීම ගැන මාර්කස් ලියපු දෙයක් ගැන ඊළඟ ලිපියෙන් සාකච්චා කරන්න කැමතියි ඔබ මේ ගැන කතා කල නිසා. එයට සහභාගී වන්න. තනි රටේ සමාජවාදය මිත්‍යාවක් වෙන්න පුලුවන් . නමුත් තනි රටක විප්ලවයක් මිත්‍යාවක් නෙමේ. ලෝකයේ හැම තැනකම එකපාර විප්ලව කරන්න බැහැ. ලෝක විප්ලවයකට සහයෝගය දිය යුතු අනිවාර්ය දෙයක් බව මාත් පිලි ගන්නවා.

    ReplyDelete

සියලු හිමිකම් අජිත් ධර්මකීර්ති (Ajith Dharmakeerthi) සතුය. කොළඹ ගමයා බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ අජිත් ධර්මකීර්ති යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ.
මෙහි පලවන ලිපි සහ දේශපාලන අදහස් මගේ පෞද්ගලික අදහස් පමණි.
ඔබේ ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. නමුත් වෙනත් කෙනෙකුට සාධාරණ හේතුවක් නැතුව පහර ගසන අශිලාචාර අන්දමේ ප්‍රතිචාර පමණක් පල නොකෙරේ. බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ස්තූතියි .