Friday 16 January 2015

තාරකා නිරීක්ෂණය - දෙනෙති (Binoculars) සහ මෘදුකාංග තෝරා ගනිමු

තාරකා නිරීක්ෂණය - දෙනෙති  (Binoculars) සහ මෘදුකාංග තෝරා ගනිමු 

තාරකා නිරීක්ෂණය (star  gazing)  කියන්නේ හොඳ විනෝදයක් සපයනවා  වගේම තමන්ගේ දැනුම දියුණු කරගන්නත් පුළුවන් වන විනෝදාංශයකි.  පටන්ගැන්මේදී පළපුරුදු අය ආධුනික තාරකා විද්‍යාඥයකුට  / නිරික්ෂකයකුට උපදෙස් දෙන්නේ මිල අධික දුරේක්ෂයක් වෙනත් විධිහකට පවසනවානම් ටෙලස්කෝපයක් ගන්නට  කලින් දෙනෙතියක්  (හෙවත් බයිනොක්යුලර් -Binocular) මිලදී ගන්නා  ලෙසයි. මෙයට හේතුව එසේ  දුරේක්ෂයක් එක්වරම මිලදී ගෙන එංගලන්තය වැනි  රටක නම් සීතලේ වෙව්ල වෙව්ලා  තරු සොයනවාට  වඩා තරු පිරි අහස ගැන හොඳ අවබෝධයක් මුලින් ලබාගෙන ටෙලස්කෝපයක් භාවිතා කරන එක සුදුසු නිසාය. උදාහරණයක් වශයෙන් ප්ලේයඩිස්  pleiades හෙවත් හත්දින්නත් තරු (සෙවන් සිස්ටර්ස් ලෙසත් හැඳින් වේ) ගොන්න ලෙහෙසියෙන්ම බයිනොක්යුලර් මගින් සොයා ගත හැකිය. අනික ඒ හතට අමතරව තියෙන අනිකුත් තාරකාත් නිරීක්ෂණය කල හැකිය.
හත් දින්නත් තරු 

මේ සඳහා හොඳ  බයිනොක්යුලර් කීපයක් නම් කල හැක. එංගලන්තයේ හෝ ජර්මනියේ ජිවත් වනවානම් ලිඩ්ල් නමැති සුපර්මාර්කට් මගින් විකුණන බ්‍රෙසර් එක හොඳ එකකි. එය ස්ටර්ලින් පවුම් 15-20 වන අතර හොඳම  ඒවා පවුම් 80-90 ට හෝ මිලදී ගත හැකිය. ඔබෙර්වර්ක් මයිනර් (8 x  40) නමැති ජර්මන් වර්ගයත් බොහෝ අය කැමති එකකි.  මේවායේ  සූම් (zoom) එක 8 හෝ දහය  සහ කාචය මිලිමීටර 50 හෝ 56 විය හැකියි. මෙවැනි (8 x  56), (10 x 50) (7 x 35), (7 x50) වර්ග කීපයක් තිබේ. 7, 8 10 ට යනු magnification (විශාල කිරීම) හෙවත් බයිනොක්යුලර් එකේ  power එක නමින් හැඳින්වේ. අනික් නොම්මරය  කාචයේ විශාලත්වයයි. දෙනෙති (බයිනොක්යුලර්) වලින් අහස බැලීමේදී එය තදින් සෙලෙවෙන්නේ නැතුව අල්ලා  ගැනීම
වැදගත්ය. අවශ්‍ය නම් ට්‍රිපොඩ් tripod එකකට බැඳ හෝ වෙනත් ලීයකට බැඳ පොළොවේ හිටුවා හෝ බිත්තියක, ගහකට හේත්තුවී හෝ බැලිය යුතුය. මෙමගින් තාරකා ලක්ෂයකට වැඩි ප්‍රමාණයක් නිරීක්ෂණය කල  හැකි වන අතර මෙහි මූලික අභිප්‍රාය වන්නේ ඒ ඒ තාරක මණ්ඩල අහසේ නියමිත කාලයේ නියමිත වෙලාවට  කොතැනක තිබෙන්නේද වශයෙන් දළ අදහසක්  ලබා ගැනීමයි.  ටෙලස්කෝපයක් ගත යුත්තේ මෙසේ රාත්‍රී අහස ගැන හොඳ අවබෝධයක් ලබා ගැනීමෙන්ය.
දෙනෙති (බයිනොක්යුලර්) ගැන වැඩි දුරටත් පහත ලින්ක් එකෙන් බලන්න.

http://www.space.com/26021-best-binoculars.html

මෘදුකාංග (Software):
මම වඩාත්ම ප්‍රියකරන මෘදුකාංගය ස්ටෙලාරියම් ය. එය open  source හෙවත් නිදහස පරිගණක පද්ධතියට අනුව  ලියන ලද ඕනෑම කෙනෙකුට නොමිලයේ ලබා ගත හැකි එකකි. එය ලබා ගත හැක්කේ මෙතැනිනි.
http://www.stellarium.org/en_GB/

මේ මෘදුකාංගයේ වැදගත්කම නම් ඔබට තමන් සිටින ස්ථානය අක්ෂාංශ දේශාංශ අනුව සටහන් කල පසු තමන් සිටින තැන අහසේ සම්පුර්ණ තාරක පද්ධතියම පෙන්වීමයි. මේ ඉහත පින්තුරයේ පෙන්වන්නේ අද(16-01-2015) රාත්‍රියේ එංගලන්ත වේලාවෙන් 7.48 ට පමණ දකුණු දිග අහසයි. ඔබට ඉදිරි ඕනෑම දිනයක අහස ද දිනය වෙනස් කිරීමෙන් ලබා ගත හැක. ඕනෑම චක්‍රාවාටයක්, අපේ සෞර  ග්‍රහ මණ්ඩලය සහ සමහර ග්‍රහලෝකත් , නොමෑඩ් නමැති තාරකා  කැටලෝගයේ ඇති  විශාල ගණනක් තාරකාත් (99%) මෙහි ඇතුලත් කර ඇත.  මෙය පරිගණකයේ  දමා  ගත් පසු සෙට් අප්  කිරීමට මේ යොමුවට යන්න.
http://www.stellarium.org/wiki/index.php/Configuration
අනිත් වැදගත් කම නම් ස්ටේලාරියම්  අයිෆෝන් (iphone) හා ඇන්ඩ්‍රෝයිඩ් වලට පහසුවෙන් බාගත හැකි වීමයි. තවත් හොඳ මොබයිල් මෘදුකාංග නම් ස්කයි වීව් හා ස්ටාර්ස් (skyview, stars) ය. මේවාද  ඔබ සිටින  තැන අනුව තාරකා හඳුනා ගැනීමට සමත්ය.

මා  කැමති තවත් මෘදුකාංග දෙකක් නම් world wide telescope හා celestia යන දෙකයි. සෙලෙස්ටියා එකෙන් අස්ටෙරොයිඩ්ස් (උල්කාපාත) , ධූම කේතු හා චන්ද්‍රිකා ආදිය තිබෙන තැන පෙන් වයි.

මෘදුකාංග සඳහා හොඳම  යොමුව මෙයයි.
http://www.techsupportalert.com/best-free-astronomy-software.htm

අවසන් වශයෙන් තාරකා  විද්‍යාව හා තාරකා  නිරිකෂනය දැන් ඉතා ජනප්‍රිය වන අතර පුරවැසි  විද්‍යාඥයන් පිරිසක් දැන් බිහි වෙමින් තිබේ. වෙබ් ලෝකයේ පුරවැසි මාධ්‍යකරුවන් මෙන්ම මේ පුරවැසි  විද්‍යාඥයන්ද මහත් සේවයක් කරති. එනම් හොඳ ටෙලස්කෝපයක් ඇත්නම් පෘථිවියට එන හදිසි උල්කාපාතයක් හඳුනා ගැනීමට, මන්දාකිණි වර්ග කිරීමට, හිරුගේ හදිසි වෙනස් වීම මැනීමට , සුපර්නෝවා හඳුනා ගැනීමට ඔවුන්ගේ සේවය භාවිතා  වේ. ඔබට ඔබගේ නිවසේ පරිගණකය අසල සිටම මේ මෙහෙය කිරීමට වෙබ් අඩවියක් දැන් අවුරුදු තුනක හතරක සිට ක්‍රියාත්මක වේ. මෙයට කියන්නේ සුනිවර්ස් (Zooniverse) කියයි. මෙහි බලාපොරොත්තුව  පුරවැසි විද්‍යාව (citizen science) දියුණු කිරීමයි.  මෙහි යොමුව https://www.zooniverse.org/. මෙහි සාමාජිකත්වය ලබා ගැනීමෙන් පසුව ඔබට පුරවැසි  විද්‍යාඥයකු වශයෙන් මන්දාකිනි වර්ග කිරීමෙන් හා හිරුගේ රශ්මිය අධ්‍යයනය කිරීමෙන් තාරකා විද්‍යාඥයන්ට උදව් කල හැකිය.

ඊළඟ ලිපි වලින් අපි ටෙලස්කෝප හෙවත් දුරේක්ෂ තෝරා ගැනීම ගැන කතා කරමු.
මුලාශ්‍ර:http://ww4rf.net/m45-large.html

- අජිත් ධර්මකීර්ති
Fellow of Royal Astronomical Society  

32 comments:

  1. ඉතාම ආශ්වාදජනක විනෝදාංශයක්. ලංකාවෙදි කෝමෙයි ඔව්ව ගන්නෙ ඉතිං?

    ReplyDelete
    Replies
    1. ඊ බේ එකෙන් ගෙන්න ගත්තොත් තමයි මාධවියේ. ඒත් ඉතින් අපිට ක්‍රෙඩිට් කාඩ් තියෙන එකක්යෑ..

      Delete
    2. දැන් මහේ ගාන 15-20 කියන්න ලනකාවේ මුදලින් 3000-4000 වගේනේ. එකට තව කස්ටම් ටැක්ස් නුයි යවන්න යන සුළු වියදමයි දෙනවනම් මට එවන්න පුළුවන්. 7-8000ක් වත් වෙයි ලංකාවට එනකොට නේද?

      Delete
  2. ඉතාම වටිනා ලිපියක්. විශේෂයෙන් මට. කලක් මං තාරකා විද්‍යාව ගැන පුදුම උනන්දුවක් දැක්වූයේ. නැවතත් ඔබ මා ඊට යොමු කරනවා. ඒ වගේම තාරකා නිරීක්ෂණ කටයුතු වලට නොවුනත් පොදු විනෝදාස්වාදය සඳහා මම පහුගිය දවස් ටිකේම දෙනෙතියක් මිලට ගන්න උත්සාහ කලා. මට හම්බුන සාර්ථකම කියල හිතුන දෙනෙතියේ ඊ බේ ලින්ක් එක තමයි මේ. ඔබ මෙය බලල මේ ගැන අදහසක් දෙනවද? මහඟු උපකාරයක්.

    http://www.ebay.com/itm/New-80x120-Spotting-LED-Scope-Binoculars-Telescope-Optical-Zoom-5m-10000M-Gold-/400806130246?pt=AU_Cameras_Telescopes_Binoculars&hash=item5d51e83246

    ReplyDelete
    Replies
    1. දෙනෙතිය කියන වචනේ කියල දුන්නට ස්තුතියි. මේක නම් පොඩි වැඩියි. 8 X 12 වගේ පේන්නේ. මේක හොඳ නාට්‍ය සර්කස් බලන්න වගේ.

      Delete
    2. මට කියන්න, සාමාන්‍යෙන් කිලෝමීටර් 3,4ක් ඈත දර්ශනයක් බොහෝම පැහැදිලිව බලාගන්න පුලුවන් මොනවගේ දෙනෙතියකින්ද.

      Delete
    3. සාමන්‍යයෙන් නම් මගේ ඔය 8 x 50 එකෙන් කිලෝ මීටර 4 ක විතර ඈත මුහුදේ නැව් බලල තිබෙනවා. ඒ අංකයට යටින් "field of view " කියල තිබෙනවා. එකෙන් වපසරිය බැලුව හැකි. ඉස්සරහ තිබෙන අංකය වැඩි වෙන්න වැඩි වෙන්න හොඳයි. හැබැයි ගාන වැඩි වෙනවා. celestron 20 x 120 තිබෙනවා.

      Delete
    4. මේක කොහොමද?

      http://ikman.lk/en/binoculars-telescope-for-sale-ampara-1

      Delete
    5. සොරි දැක්කේ නැහැ. මේක හන්ටින් සෙට් එකක්. සමහර වෙලාවට කාචය වැටෙනවා. නැත්නම් ඩබල් විෂන් එනවලු. එංගලන්තයේ රුපියල් 4000 විතර තමා වෙන්නේ. (අලුත් එකක්) නරකම නැහැ. හොඳට බලලා ගන්න. හරියට focus වෙනේවද? (කාච දෙකම එක එල්ලයට වගේ ) : http://www.amazon.co.uk/Panda-Binoculars-Telescope-Outdoor-Binocular/dp/B009THM3JQ/ref=cm_cr_pr_product_top

      Delete
  3. දැන් ඉතින් තරු බල බල ඉන්න තමයි වෙන්නේ. ගන්න ඕන ලොකු දුරදක්නයක්.

    ReplyDelete
    Replies
    1. හරිය ට සාස්තරයක් වත් කියන්න.

      Delete
  4. බොහොම වටිනා ලිපියක් :). තාරකා නිරීක්ෂණය කිරීමට ආයෙත් අසාවක් ඇතිවුනා. softwares ටික ගන්න ලිනක්ස් ටික සහ සුනිවර්ස් (Zooniverse) ගැන මේ ලිපියට ඇතුලත් කරපු එක ගොඩක් වටිනව. ජය වේවා!!!

    ReplyDelete
    Replies
    1. වැරදුනා. ලිනක්ස් නෙමේ ලින්ක්ස් වෙන්න ඕනේ :D

      Delete
    2. ස්තුතියි මනා.

      Delete
  5. ඉස්කෝලේ 8 වසර විද්‍යා පාඩමේදී බෝ කරපු පිස්සුවක්.අද වෙනකම් අඩු වැඩි වෙවී ඔය උණ මටත් තියනවා,අජිත් අයියා තරම් මහා පරිමාණ විදිහට නැතත්.ඒකට හරියන තැනක නවාතැනුත් හම්බුනා අළුත් රස්සාවෙදි.අනුරාධපුර නගර සීමාවේ තියන උසම තැන.අජිත් අයියා වගේ ටිකක් පිළිවෙලට පටන් ගන්න ඕන කියන හැඟීම අද ඇතිවුනා .

    ReplyDelete
    Replies
    1. මම මහා පරිමාණ විධිහට කරන්නේ නැහැ. ඊයේ පින්තුරයක් ගත්ත බ්‍රහස්පති ග්‍රහය හා සඳවල් 4ක් එක්ක, ඊළඟ ලිපියේ දානව. පිළිවෙලකට පටන් ගන්න. හොඳ හොබියක්.

      Delete
  6. සුපිරි ලිපියක්.. විනෝදාංශයක් ලෙස ප්‍රගුණ කිරීමටත් දැනුම වැඩි දියුණු කිරීමටත් අගේ ඇති වටිනා උපදෙස් ටිකක්.. සත්‍ය ලෙසම මේ පිළිබඳව ඉගෙන ගැනීමෙන් අප රවටා ගෙන සිටින බොහෝ මිත්‍යා විශ්වාසයන්ගෙනුත් මිදිය හැකි බවයි මට හිතෙන්නේ. ස්තූතියි වටිනා යොමුවන් හා දැනුම ලබා දුන්නට.. ජය ශ්‍රී!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තිතියි කල්‍යාණ මිත්‍ර.

      Delete
  7. මාත් ඔය විශයට හරි ආසයි.ඒත් විනෝදාංශයක් විදියට කරන්න නම් අදහසක් නෑ.අහම්බෙන් බ්ලොග් අවකාශයට ඇවිත් දැන් වෙලා තියෙන එක පේනවනෙ.තව එකකට මාට්ටු වුනොත් විනාසයි.

    ReplyDelete
    Replies
    1. මුකුත් වෙලා නැහැනේ ඔය හොඳට ඉන්නේ.

      Delete
  8. විනෝදෙත් නරකම නෑ වගේ..

    ReplyDelete
    Replies
    1. ස්තුතියිද දේශකයා මහතා මේ පැත්තට ගොඩ වැදුනට .

      Delete
  9. ඔන්න අර ඉස්කෝලේ 8,9 පන්තිවල තිබ්බ පිස්සුව ආපහු හැදෙන්න වවාගෙ යන්නේ මේක කියෙව්වට පස්සේ , ඒ කාලේ ඔය ගැන තිබ්බ උනන්දුව කොච්චරද කිව්වනම් අන්තිමට අම්ම කිව්වේ මේකා පිස්සෙක් වෙයිද දන්නේ නෑ කියලා . අප්පේ ස්තුතියි අජිතයියා

    ReplyDelete
    Replies
    1. කටුසුත් මතක් කරල තිබ්බ. තාරකා විද්‍යාව ගැන පාඩමක් අට වසරේ තිබෙනවද? අපේ කාලේ තිබ්බේ නැහැනේ. පටන් ගන්න. අපි බ්ලොග් තාරක සංගමයක් පිහිටවමු.

      Delete
  10. මම මේ ලිපිය දානකම් බලන් හිටියේ .. මේ වගේ දෙනෙතියකින් අඟහරු , බ්‍රහස්පති, සෙනසුරු වගේ ග්‍රහයෝ බලන්න පුළුවන් ද ? මෙච්චර ගානක් දීල බයිනොක්යුලර් එකක් ගන්න එකේ ටිකක් හොඳ ටෙලෙස්කොප් එකක් ගන්න එක හොඳ නැද්ද ? අනිත් එක නාගරික පරිසරයක මේ තරු බැලිල්ල කරන්න අමාරුයි නේ මට දැන් තියෙන එක ප්‍රශ්නයක් ඒක . මොකද රෑට රෑට දුර බැහැර යන්න විදියක් නෑ මේ රටේ ඉන්නකම් ... හෙහ් හෙහ්



    ReplyDelete
    Replies
    1. ඔව් බලන්න පුළුවන්. ගොඩක් ලොකුවට නෙමේ. තිබෙන තැන වගේ. ටෙලස්කෝප් එකක් මේ වගේ තුන් ගුණයක් වත් වෙනවා අඩුම වශයෙන්. මේකෙන් කියන්නේ තාරක සිතියම ඉස්සෙල්ල අධ්‍යයනය කරන්න කියල. මම ඉන්නේ නාගරික පරිසරයක. නමුත් මම රෑට ලයිට් නිමල ගාඩ්න් එකේ ඉඳන් බලනවා. ඊළඟ ලිපි දෙක එනකම් ඉන්න.

      Delete
  11. තාරුකා පෙලින් එහා .... රෑට අහස දිහා බලා ඉන්න එක මගෙත් ඒ කාලේ විනෝදාංශයක් වෙලා තිබුනා .දැන් නම් අපිට තරු පෙනිලානේ තියෙන්නේ හැම වෙලාවේම .ගොඩක් ස්තුතියි මේ තොරතුරු වලට ...

    තරු අරුන්දතී නෙතු පහන් නිවා
    දුර නිසොල්මනේ හිඳිනා
    මඟ වනස්පති ලිය ලදල්ලකින්
    පිණි පොදක් සෙමෙන් සලනා

    ඔබ සැමරුම් රැඳි කවුළුව මානේ
    කඳුලක පැල්ලම් ඉරි ඇඳුනා
    අළුත් මලින් පිරි වනෝද්‍යානේ
    සැඳෑ ‍බොල් හුළ‍ඟේ
    මට තනියක් දැනුණා

    වැලපෙන මා හද කැටපත් පවුරේ
    හංස ගීතය ලියැවෙන දා
    පළමු අරුණු රන් රේඛාවක් සේ
    ප්‍රාර්ථනා සුව‍ඳේ ඔබ එතැයි සිතුණා

    පිපි මලින් මලේ රොන් සුනු විසිරී
    හද දිදී සුසුම් රඟනා
    ඔබ කවුළු පියන් හැර පාන්දරින්
    කොයි ගියේද මට සිතුණා

    කොයි ගියේද මට සිතුණා//

    ගායනය : ඩබ්ලිව්. ඩී. අමරදේව
    පද රචනය : ආචාර්ය අජන්තා රණසිංහ

    ReplyDelete
    Replies
    1. තරු පෙනිලා පෙනිලා පුරුදු වුණාම හරියනවා. ස්ථුථියුඉ සින්දුවට.

      Delete
  12. වැඩ වැඩි නිසා මේ ටිකේ බ්ලොග් පැත්තේ වැඩිය එන්න බැරි වුණා. මේ ලිපිය කලින් දවසක කියෙව්වත් කමෙන්ට් කරන්නෙ අද.

    අවංකවම හරිම වැදගත් ලිපියක් මොකද දෙනෙති, දුරදක්න ගැන මට තියෙන්නෙත් බොහොම පුංචි, සීමිත දැනුමක්..

    මමත් world wide telescope එක පාවිච්චි කරනවා, ඒ ඇරෙන්න S&T Group එකෙන් (ලංකාවේ තියෙන එකම තාරකා විද්‍යා ප්‍රකාශන ආයතනය) මෑතකාලෙක කාඩ්බෝඩ් තරු සිතියමකුයි, මෘදුකාංගයකුයි එළිදැක්වුවා ඒ දෙකත් සෑහෙන හොඳ මට්ටමක තියෙනවා..

    ReplyDelete
  13. එහෙනම් හොඳයි. ලංකාවේ සැහෙන්න ජනප්‍රියයි වගේ වැඩේ.

    ReplyDelete
  14. Hi all, please check out my website:
    https://astrophotographylk.wordpress.com

    ReplyDelete

සියලු හිමිකම් අජිත් ධර්මකීර්ති (Ajith Dharmakeerthi) සතුය. කොළඹ ගමයා බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ අජිත් ධර්මකීර්ති යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ.
මෙහි පලවන ලිපි සහ දේශපාලන අදහස් මගේ පෞද්ගලික අදහස් පමණි.
ඔබේ ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. නමුත් වෙනත් කෙනෙකුට සාධාරණ හේතුවක් නැතුව පහර ගසන අශිලාචාර අන්දමේ ප්‍රතිචාර පමණක් පල නොකෙරේ. බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ස්තූතියි .