Sunday 4 January 2015

කුමාර් ගේ පිහිටට විමල් විමල්ගේ පිහිටට කුමාර්?

පන්ති අරගලයේ කොටසක් ජය ගෙන තිබේ. ඒ 2015 ජනවාරි 1 වනදා සිටය. සමහර පිට රටවල සිටින ලංකාවේ ඉපදී ඇති වැසියන්ට දැන් ද්විත්ව පුරවැසි භාවය ලබා ගත හැකිය. එක්සත් රාජධානියේ සිටින අයට එය තවම ලැබී නැත. ඒ නිසා අරගලය තව දුරටත් ඉදිරියට ගෙන යා  යුතුය.

මාක්ස්වාදය පොතේ ගුරුවාදයක් වන්නේ කෙසේදැයි අප දැන ගත්තේ පොල්පොට් ගෙන්ය. නිෂ්පාදනය ගැන හැඳින්වීමේදී ගෝත්‍රික සමාජය දියුණුවී primitive communism හෙවත් ආදිකල්පික කොමියුනිස්ට් ප්‍රජාවක් බිහිවූ බව මාක්ස් පෙන්වා දුනි.  පුද්ගලික දේපල ක්‍රමය බිහිවුයේ මින් පසුවය. වඳුරාට දැලි පිහිය ලැබුවාක්  මෙන් පොල්පොට් කලේ අති  ශුද්ධ කොමියුනිස්ට් සමාජයක් පිහිටුවීමට කම්පුචියානුවන් මිලියන් ගණනක් මරා දමමින් ගම් වලට දක්කා ප්‍රාග් ඓතිහාසික කොමියුනිස්ට් සමාජයක් පසුගාමී කම්පුචියාවේ පිහිටුවීමට තැත්  කිරීමයි. ඒ පොතේගුරුවාදයට ගිය මාක්ස්වාදී භාවිතාවයි.
දුමින්ද නාගමුව දිල්කා සමන්මලී සමග කළ සාකච්චාවේ යොමුව (link එක) බුකිය පුරා  පැතිරී තිබුණි. දිල්කාගේ ප්‍රශ්න වලට දේශපාලකයන් ගල් වන අයුරු අප දැක
ඇතත් නාගමුව නාගත්තේ නැත. දෙදෙනා අතර කෙමිස්ට්‍රිය කොපමණද යත් සාකච්චාව අවසානයේ ඔවුන් එවෙලේම ලාස්  වේගාස්  ගොස් විවාහ වෙයිද කියාත්  සිතුනි. සාක්ෂියට මහින්ද හෝ රනිල් කැඳවා ගත හැකිව තිබුණි. (කැසිනෝ අග නගරය වන ඇමෙරිකා  එක්සත් ජනපදයේ වේගාස්  හි ඔබට එවෙලේම කසාද බැඳීමට හැකිය. අවශ්‍ය සාක්ෂි දෙකක් පමණය.)  එහෙත් සන්නද්ධ අරගලයක් නැවත  කරන්නේද යන ප්‍රශ්නයට ඔහු හරි පිළිතුරක් දුන්නේ නැත. මර්දනය එනවිට එසේ විය හැකිය යන්න
ඔහුගේ පිළිතුර විය. මාක්ස්වාදීන් විශ්වාස කරන්නේ මහජන අරගලය බව ඔහු පැවසුවේ නැත. මහජන අරගලයකදී වන්නේ ජනතාව සමග අවිගත් හමුදාවන්ද එක පෙලට සිට ගැනීමයි. ඔක්තෝබර විප්ලවයේ සිට කියුබානු විප්ලවය  දක්වා සිදුවුයේ එයයි. එසේ නොමැතිව  ජනතා විමුක්ති පෙරමුණ විසින්  මර්දනයට එරෙහිව කියා කල නරෝද්නික්වාදී අවි ගැනීම නොවේ. නරෝද්නික්වාදයෙන් සිදුවන්නේ මර්දනයෙන් සමුල ඝාතනයකට ලක්වීමයි. ලෙනින් සාර් විසින් එල්ලා මරා දැමූ තම සහෝදරයා වන ඇලෙක්සැන්ඩර් උල්යානොව් ගත්  මග ගත්තේ නැත........... 1917
පෙබරවාරිහිදී  සාර් පාලනය පෙරලා දැමු  ධනපති විප්ලවයට එරෙහිව නොගිය ලෙනින් එම අවුරුද්දේ ඔක්තෝබරය (නව කැලැන්ඩරයේ නොවැම්බරය) වන විට පක්ෂ ගණනක එකතුවෙන් කැඳහැලියක්ව තිබු  කෙරෙන්ස්කි ආණ්ඩුව පෙරලා සාර්ථක ලෙස මහජන අරගලය මෙහෙයවා බලය ලබා ගත්තේය. ඒ මාක්ස්වාදය ටූල් එකක් නැත්නම් තමාගේ ගමනට අවශ්‍ය උපකරණයක් ලෙස සාර්ථකව භාවිතා කිරීමෙනි.
ඇලෙක්සැන්ඩර් උල්යනොව් 

දුමින්ද නාගමුවගේ ප්‍රධාන තර්කය වුනේ උනුත් එකයි මුනුත් එකයි යන්නය. මේ නිසා ධනවාදය පරදවා අර බුකියේ එවන පින්තුරවල ඇති පරිද්දෙන් කොම්පියුටරයක් මගින් ක්‍රමය වැරදියි හරි ක්‍රමයක් ස්ථාපිත  කරන්න කියා ක්ලික් කල යුතුය. "අද දෙරණ" නාලිකාවේ චතුර සමග සංවාදයකට එක වෙමින් කුමාර් ගුණරත්නම් පවසා  සිටියේත් එයයි. නමුත් සත්‍ය තත්වය එයද? තිබෙන ධනවාදී ක්‍රමය දෙපක්ෂයම ඉදිරියට ගෙන යන බව පෙනෙන්නේ මතුපිටින් අත ගා  බැලූ විටය.
1970-1977 සිරිමා ආණ්ඩුවට තිබු ප්‍රධාන චෝදනාව මතකද? සිසිර කුමාර මානික්ක ආරච්චිගේ හත් අවුරුදු සාපය  පොත මතකද? එහි තිබුනේ පවුල් ගසක් ගැනයි. ධනවාදී ප්‍රගතිය වලකන වැඩවසම් හා රාජ්‍ය ඒකාධිකාරී මිශ්‍ර ආර්ථික ක්‍රමයක් 1977 වාමාංශික ආණ්ඩුවක් නාමයෙන් ඒ වනවිට ලංකාවේ පැවතුනි. එයට ධනවාදී  ප්‍රතිසංස්කරණ ගෙන ඒමට ජේ ආර්ට රැල්ලක් ඇති විය. ජේ ආර් ට එය හොඳින් සාක්ෂාත් කර ගැනීමට නොහැකි වුනේ ඔහු පාදඩ ධනපති පන්තියකට ඉඩ  දුන් බැවිනි.
කුමාර් ගුණරත්නම් ගේ නොනිල නායකත්වයෙන් හා සෝමවංශගේ නිල නායකත්වයෙන්, විරවංශ ගේ ප්‍රචාරයෙන් යුත් ජවිපෙ හා චම්පක රණවක ප්‍රමුඛ හෙළ උරුමයේ උදව්වෙන් බලයට පැමිණි මහින්ද රාජපක්ෂ රාජ රාජ චෝලයන්ගේ අලුත් අවතාරය වන මිස්ටර් ප්‍රභාකරන් ගේ තර්ජනය මැඩ පවත්වා  රට එක් සේසත් කර ජනාධිපති පදවියෙන් රාජ්‍යත්වයට පත් වුනි. ඉන්පසු ගෙවී ගිය අවුරුදු දහය සමන්විත වුයේ පවුලේ රාජ්‍ය බලය බලවත් කිරීමටය. මෙහිදී ප්‍රාදේශීය රජවරුන් බොහොමයක් හා ජනතාව පෙලන ඔවුන්ගේ පුත් කුමාරවරුන් බොහොමයක් බිහි වුනි. පොළොන්නරු යුව රාජ  සිරිසේන හා ඔහුගේ සහෝදර පිරිසද හොඳට උපයා ගත්හ. නිතිය ක්‍රියාත්මක වන්නේ රජුගේ වචනයට හෝ ප්‍රාදේශීය රජවරුන්ගේ වචනයටය. පොලිසිය හා නීතිය වැඩ කරන්නේ පිළිගත් සම්මත නීතිමය රාමුවෙන් ඔබ්බට වී අපරාධකරුවන් තමන්ම ගඟට පැන  දිවි නසා ගන්නා රාමුවකය.

දැන් පොතේ ගුරු මාක්ස්වාදීන්ට අනුව වැඩවසම් පාලනයන් පෙරලා ධනවාදය ඇතිවී බොහෝ කල්ය. නමුත් මාක්ස් කිවේ මේ හැම අවධියකම ලක්ෂණ ඊළඟ පරිණාමික අවධියේ ඇති බවයි. උදාහරණයක් ලෙස පකිස්ථානයේ කරච්චිය ධනවාදී රජයක් යටතේ පාලනය වුවත් බලුකිස්තානය හා එපිට පාලනය වන්නේ ගෝත්‍රික නායකයන්ගේ ඕනෑ එපාකම් අනුවය. එයට අන්තවාදී දක්ෂිණාංශික මුස්ලිම්  ආගමේ සහයද ලැබේ. මෙයට විරුද්ධව ඇතිවිය යුත්තේ ප්‍රජාතන්ත්‍රවාදී  ලෞකික (secular)  ධනවාදී හෝ සමාජවාදී අරගලයකි. බොහෝවිට ධනවාදී එකකි. ලෙනින් පින්ලන්තයේ  ස්‌වය තීරණය අයිතියට ගරු කිරීමේදී අවධාරණ කල එක් කරුණක් වුයේ පින්ලන්තයේ ධනවාදී සමාජ ක්‍රමය  ළදරු සෝවියට් රාජ්‍යයට වඩා ඉහලින් පැවතීමයි. එහි උදව් පසුව ලබා ගැනීම සඳහා පින්ලන්තය ආක්‍රමණය කිරීම නොකලේය.
පොතේගුරු මාක්ස්වාදයට අනුව උනුත්  එකය මුනුත් එකය (කරච්චි ආණ්ඩුව හා ගෝත්‍රික පාලනයන්). ලංකාවේ තත්වය කුමාර් ගුනරත්නම්ට අනුව නම්  තේරුම් ගැනීමට ලොකු මාක්ස්වාදී දේවල් ඉගෙන ගන්නට අවශ්‍යද  නැත. (එහෙනම් අවුරුදු දෙකක සංවාද කරන්නට අවශ්‍යද නැත...........) අවුරුදු 66ක ශේෂ පත්‍රය බැලුවිට ඉබේ පැහැදිලිවේ.

පොතේගුරු  මාක්ස්වාදයට පිටින් බැලුවිට,  මාක්ස්වාදී උපකරණයෙන් විග්‍රහ කල විට අපට පෙනී යන්නේ වෙනත් දෙයකි. වැඩවසම්  පාලනයකට යාමට යත්න දරන පාලනයකට විරුද්ධව දයලෙක්තිකව ධනවාදී රැල්ලක් ගොඩ නැගී තිබේ. මෙය 1994 පැවති  මර්දනයට විරුද්ධව පැන නැගුනු රැල්ලම නොවේ.  ධනවාදය තමන්ගේ දියුණුවට තහංචි වැටුණු වහාම එයින් මිදීමට මං සොයයි. බුෂ් ජන අප්‍රිය වනවිට ඔබාමා නම් මිශ්‍ර සම්භවයකින් යුත් කළු ජාතිකයා ගේන්නේ එබැවිනි. නියම මාක්ස්වාදියාගේ කර්තව්‍යය මෙය හොඳින් හඳුනා ගැනීමයි.
භාගයක් බාහුගේ පක්ෂයෙන්, භාගයක් ජවිපෙන්, අනිත් පක්ෂවල අරික්කාල් වලින් ගොඩ නැගු භාග වමේ පෙරමුණෙන් දැන් සිදුවන්නේ එය නොවේ. ඉංග්‍රීසියෙන් කියන
විධිහට Scores settle (ලකුණු සම කිරීම) කිරීමකි. කුමාර් හා දිමුතු ඉස්සුවේ හා කුමාර් රටින් පිටිවහල් කිරීමට හේතුවුයේ යම් ජවිපෙ නායකයන් පිරිසකගේ පාවාදීමක් නිසා යයි රාවයක් පැවතුනි. දැන් වෙන්නේ රුපවාහිනී නාලිකාවල සිට නාගමුව හා ගුණරත්නම් ඔවුන්ට කොකා පෙන්නීමයි. පන්ති අරගලය ඇත්තේ තමන් හිටපු පක්ෂය වන ජනතා විමුක්ති පෙරමුණ සමගය. මුළු බුකිය පුරාවට සිදුවන්නේත් එයයි.
චන්ද්‍රිකා හොඳ  පාලිකාවක් හෝ නරක පාලිකාවක් වුනේ නැත. ඇය උදාසීන පලිකාවකි. රාජිත  ප්‍රා එකට නායකත්වය දුන්නේය. රනිල්ට බටලන්ද ගැන චෝදනා තිබේ. ෆොන්සේකා කර්නල් සමයේ කුමාර් මහත්තයා  ඔහු යටතේ සිරකර  සිටියේය. ඒ නිසා මෛත්‍රි පිලට පෞද්ගලිකව සාධාරණ විවේචනයක් හා scores settle කිරීමක් කුමාර් ගුනරත්නම්ගේ පැත්තෙන් තිබේ. හැබැයි මේ පන්ති අරගලය නොවේ. පතිරනලාගේ ස්වාධින ශිෂ්‍ය සංගමයේ සිට රණවක දක්වා විරුද්ධත්වයද අපට හඳුනා ගත හැකිය. නමුත්  ත්‍රිමා විතානට ඇන ගැසූ අය හා විශ්ව විද්‍යාල සිසුන්ට පහර දුන් අය සිටින්නේ රජය පැත්තේය. ඒ නිසා අනියම්ව හෝ ඔවුන්ට සහයක් වීමද කල නොහැක්කකි.  කුමාර්ට පතුරු යන්න විවේචනය කළ  මහා සෙනෙවි විරවංශ මැතිඳු ගේ අඩවියේ අද ඔහුට පක්ෂව ලියවේ. රණවක පතුරු ගැසූ සඳරුවන්ගේ ප්‍රතිපත්ති විරහිත දේශපාලනය දැන් ඔහුට පක්ෂව ලියවෙන්නාක් මෙන් , බෙදුම්වාදයට එරෙහිව ජාතිවාදින්වූ  රණවක හා රතන හිමි දැන් බෙදුම් වාදීන් කරන ප්‍රතිපත්ති විරහිත දේශපානය මෙන්,
 මෛත්‍රි - ජවිපෙ ගිවිසුම හරහාද  කුමාර් මහත්තයා ප්‍රතිපත්ති විරහිත දේශපානයක් එලියට දමා තිබේ. චන්දය දෙන මිනිසුන්ට මෛත්‍රි - ජවිපෙ ගිවිසුමක් හෝ මහින්ද - කුමාර් ගිවිසුමක් අදාල නොවන බව ඔවුන්ට වැටහී නැත.  මේ යන්නේ හතරබීරි දේශපාලනයකි.

මැකියාවෙලි අධ්‍යනය කර හෝ නොකර ජේ ආර් ගෙන් පසු ලංකාවේ බිහිවූ හොඳම දක්ෂිණාංශික නායකයා  මහින්ද රාජපක්ෂය විය යුතුය. ඔහු විසින් එතරම් දක්ෂයයි බොහෝ දෙනා සැලකු ත්‍රස්තවාදී නායක මිස්ටර් ප්‍රභාකරන්වත් ඇන්දුවේය. රට වැඩවසම් පාලනයකට ගෙන නොයා, අන්ත දූෂණයට ඉඩ නොදී, ධනවාදී ප්‍රජාතන්ත්‍රවාදී නිදහස සහිතව නව ලිබරල්වාදී ප්‍රතිසංස්කරණ හරියට කලේනම් ඔහු හොලවනු බොරුය. ඔහුට විරුද්ධව නව ධනවාදී රැල්ලක් පන නැගී ඇත්තේ එහෙයිනි. ලෙනින් කලේ මාක්ස්වාදය හරියට කියවා  තමාගේ වාරයට සුදානම් වීමය.

අන්තරයේ නජිත් ඉන්දික හා අනිකුත් මල්ලිලාට කිවයුතු දෙයක් තිබේ. නජිත් ඉන්දික තමන් ඉගෙනීම අතහැර පුර්ණ කාලින දේශපාලනයේ (පෙසප දේශපාලනයේ) යෙදෙන බව කියයි. උල්යානොව් සහෝදරයා මර දැමු පසුත් ලෙනින් ගෞරව සහිතව තම ජිම්නාසියම (රුසියාවේ එවකට පැවත උසස්  විදුහල්) අවසන් කළේය. දේශපාලනයට බැස්සේ ඉන් පසුවය. රෝහණ විජේවීරගේ වෛද්‍ය අධ්‍යාපනය අවසන් වූයේ අවස්ථාවාදී බලලෝභී දේශපාලනයේ යෙදුනු ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂ නිලධාරීන් නිසාය. එසේ වතුදු දක්ෂයකු වූ ඔහු පක්ෂයක් ගොඩ නැගුවේය. ඔහුට ඉගෙනීමට ඉඩ දුන්නා නම් ඉගෙනීම අවසන් කර පැමිණ ඔහුට  වඩාත් හොඳ  පක්ෂයක් ගොඩ නැංවීමට ඉඩ තිබුණි. දෙමල හා සිංහල ඩයස්පෝරාවේ එංගලන්තයේ ඕස්ට්‍රේලියාවේ ඔබට සහය දෙන බොහෝ දෙනාගේ දරුවන් ඉගෙනීම ලබන්නේ ශිෂ්‍යත්ව විභාග සමත් වී හොඳම විදුහල් වලය. ඒ දරුවන් පසුව හොඳ රස්සාවලට යනු ඇත. මට නම් එහි කිසිම වැරැද්දක් නොපෙනේ.
රාජකීය විද්‍යාලයේ අපට ඉහල පන්තිවල සිටි වෙනුරගේ හෝ ටයිටස් ගේ මව අද කොතැනදැයි  ඔබ දන්නවාද? ත්‍රිමා විතානගේ දෙමාපියන් කොහිදැයි ඔබ දන්නවාද? ඉගෙන ගන්නා ගමන් තමන්ගේ ඉඩ ඇති වෙලාවට දේශපාලනයේ යෙදෙන්න. කියවන්න ඉගෙන ගන්න. නැත්නම් ඔබලාටත් සිදු වන්නේ  සිගිරි නොගිය හේතුවෙන් උණු කඳුළු හෙලමින් දක්ෂිණාංශික දේශපාලකයෙකුගේ තුරුල්ලට පැන ආත්මය වනසා  ගන්නටය.

වරුණ දීප්ත යල්පැනගිය අධිරාජ්‍ය විරෝධයක් ගැන කතා කරනවිට අලුත් බෝතලයක පරණ වතුර දමා ඇතිබව මම ලීවෙමි. පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ තවම ඇත්තේ පරණ වතුර බව නැවතත් සිතේ. වැරදී ඇත්තේ මටය.

වරුණ දීප්ත  රාජපක්ෂට ජය වේවා!
මහින්ද රාජපක්ෂ රජ තුමාට ජය වේවා !
මෛත්‍රි යුව රජ තුමාට ජය වේවා!
පන්ති අරගලයට ජය වේවා!

ඉහත කි සියල්ල එකවර සිදුවන දේවල් නොවන නිසා තව දුරටත් එංගලන්තයේ නිර්දේශපාලිනිකව සිටීමට තීරණය  කෙළෙමි.


ප.ලි. ලංකාදීප 31/12/2014
http://www.lankadeepa.lk/index.php/articles/286827?utm_medium=facebook&utm_source=twitterfeed
//තාවකාලිකව නතර කර තිබූ ද්විත්ව පුරවැසි භාවය ලබා දීම නව ක්‍රමයක් යටතේ අද (31) සිට යළි ඇරැඹූ බව ආරක්ෂක අමාත්‍යංශයේ සිවිල් ආරක්ෂක හා සංවර්ධන අතිරේක ලේකම් දමයන්ති ජයරත්න මහත්මිය කීවාය.
නව ක්‍රමයෙන් ශ්‍රී ලාංකිකයන්ට සෘජුවම ද්විත්ව පුරවැසි බව ලබා ගත හැකි බව ද ඇය පැවසුවාය.//

59 comments:

  1. මම ඊයේ දැක්කා (අහුවේ නෑ.. මට දැක්ක්ම හිනා ගියා...) බන්දු සමරසිංහයා ටයි කෝට් ඇඳගෙන රූපවාහිනියේ ඉන්ටවීව් එකක් කරනවා. ඔය බන්දුට වඩා ජෝකර්ලා සෙට් එකකුත් මේ දවස්වල ඉන්ටවීව් වලට එනවා. එකේ නව පරපුර හා ඕල්ඩ් හිටිස් කියලා කොටස් දෙකක් තියෙනවා. ඕල්ඩ් හිට්ස් තමයි, තීස්ස, ඩීව්, වාසු. නිව් හිට්ස් තමයි, විමල්, කුමාර් හා පෙරටුගාමින්. සමාවෙයන් අජිත්, මට ඕකුන් දැක්කමත් හිනා යනවා. අර කව්ද කිව්වා වගේ ලංකාවේ වමක් නෑ.. තියෙන්නේ..

    වම....නේ....

    ReplyDelete
    Replies
    1. සමාවෙන්න දෙයක් නැහැ. කණගාටුවක් නම් තියෙනෙව.

      Delete
  2. මාක්ස්වාදය සහ කොමියුනිස්ට් ක්‍රමය පැතිරීමට එවකට අධිරාජ්යවාදී ධනපති සාර් රුසියාව අසාර්ථක රාජ්යයක් වීම එක හේතුවක්.
    අනික මාක්ස්වාදයේ පියා ආදීන්ට නිදහසේ එය රෝස පාටින් ඔවුන් එවකට වාසය කල ඉන්ගලන්තයේ පතුරමින් , තද රතු පැහයෙන් රුසියාවට අපනයනය කිරීමට හැකි ලිබරල් දේශපාලන වාතාවරණයක් අධිරාජ්යවාදී ධනපති ප්‍රජාතන්ත්‍රවාදී බ්‍රිතාන්යයේ තිබුන නිසා නේද?
    එක් ධනපති රටක නරක හා තවකෙක හොඳ නිසා?

    (මෙය රයිගම්ගේ පෝස්ට් එකකට මා කල කමෙන්ට් එකක් අජිත්ගේද අදහස් දැනගැනීමට මෙහි පේස්ට්කිරීමකි)

    ReplyDelete
    Replies
    1. රුසියාව අසාර්ථක රාජ්‍යයක් වීමට වඩා එහි තිබුනේ වැඩ වසම් පාලන ක්‍රමයක්. යුරෝපයේ අනිත් රටවල් ධනවාදයෙන් සීග්‍ර දියුණුවක් ලබද්දී රුසියව පසුගාමී වුණා. අධිරාජ්යවාදී ධනපති ප්‍රජාතන්ත්‍රවාදී බ්‍රිතාන්‍යය පසුගාමී රුසියාවට වඩා හොඳයි. මම පින්ලන්තය ගැන ඉහත ලිපියට ඇඩ් කලේ ඒකයි.

      Delete
  3. නාගමුව කියන්නේ ලොකු හැකියාවක් තියෙන මිනිහෙක්... අැත්දැකීමෙන් ම ඒක අපි දන්නවා.. අපි කැම්පස් හිටපු කාලේ අන්තරේ හිටපු කැදවුම්කරු... නාගමුව ඉන්න පැත්ත ගැන අපිට ගැටලුවකුත් නැහැ.. නාගමුව වගේ මිනිස්සු සහ ඔය දැනට තියෙන වම තව ටිකක් දියුණු වෙලා රටේ තිබුණානම් තවත් හොදයි කියලා අපි විශ්වාස කරනවා.... ඒක විවිධත්වය වැඩි කරන අතර ම අන්තවාදයට බලපෑම් කරනවා.... ඒත් කරුමෙට අපිට ඒහෙම වමක් දැන් නැහැ...

    ReplyDelete
    Replies
    1. සම්පුර්ණයෙන් එකඟයි. නාගමුව හෝ කුමාරගේ හැකියාවන් ගැන අවුලක් නැහැ.

      Delete
  4. දුමින්ද නාගමුව අරගලයට සක්‍රියව දායක වූ තරම ගැන විවෙචයක් තිබේ, අන්තර් විශ්විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම් කරු හැටියට චමීර කොස්වත්ත සහ උදුල ප්‍රේමරත්න මීට වඩා සටන්කාමී වූ බව මගේ හැගීමයි . නමුත් කුමාර් ගුණරත්නම් ජවිපෙන් බැහැර වීම ප්‍රයෝගික තලයේ කෙතරම් සාර්ථක වේදැයි කියන්නට අවැසි නැත. මගේ හැගීම නම් එය සම්පුර්ණයෙන්ම අසාර්ථක බවයි .

    මේ පිරිස බිහිකළේ තවත් න්‍යායික දේශපාලන පක්ෂයක් පමණක් බව පෙනෙන්නට තිබේ. ප්‍රයෝගික තලයේදී ජවිපෙ වඩාත් ශක්තිමත් වනු ඇත.ඇත්තෙන්ම ජවිපෙන් කැඩී පෙරටුගාමින්ට බිහි වීම සාධාරණීකරණය කිරීමට හැකියාවක් මට නොපෙනේ

    ඇත්තෙන්ම සැබෑ වම කියා අපේ වමේ නායකයින් බලාපොරොත්තු වෙන්නේ කුමක්ද?

    ReplyDelete
    Replies
    1. //ඇත්තෙන්ම සැබෑ වම කියා අපේ වමේ නායකයින් බලාපොරොත්තු වෙන්නේ කුමක්ද?// මට තව ලිපියක් ලිවීමට මාතෘකාවක් සැපයීම ගැන ස්තුතියි. හා හා
      ඔබේ අදහස සැහෙන්න බොන්න ඕනෑ ප්‍රශ්නයකි. //මේ පිරිස බිහිකළේ තවත් න්‍යායික දේශපාලන පක්ෂයක් පමණක් බව පෙනෙන්නට තිබේ. // මෙයට මා එකඟ නැත.න්‍යාය නැවතත් වරද්දවාගත් පක්ෂයක් හැටියටයි මට පේන්නේ.

      Delete
  5. විදේශ බලවේග සමග කඩේ යන්න ගියාම එම ඒවා නමුතක නොකරන සාමාජිකයන් ඉන්න වමේ පක්ෂ වලට වෙන්නේ බිඳ වැටෙන්න. JVP වල වත්මන් තත්වය තමයි හොඳම උදාහරණය. කැඩෙන අය එක්කෝ වම බාදා ගන්නවා, නැත්නම් රට බාදා ගන්නවා.

    ReplyDelete
    Replies
    1. ලංකාවේ දේශපාලනයේ දෙපැත්තම සිටින්නේ විදේශ බලවේග සමගය. මහින්ද කණ්ඩායම චීනය සමගත් මෛත්‍රී කණ්ඩායම ඉන්දියාව සමගත් අනුගතවී ඇති බව පෙනේ.

      Delete
  6. මම සමාජවාදියෙක්.එසේම මාක්ස්වාදයට විරුද්ධ කෙනෙක්.ඊට හේතුව මාක්ස්වාදය තුලින් පිරමිඩාකාර බල ව්‍යුහයක් නිර්මාණය වීම.ඒක අපි අත්දුටුවනෙ.
    කෙසේ වෙතත් මාක්ස්වාදී ඇසකින් බලනවනම් කුමාරි ගෙ ආස්ථානය තමා නිවැරදි.ජවිපෙ මෙහිදි වක්‍රාකාරව සිරිසේනට සහාය දෙනව.එහෙම නොවෙයි වෙනම ජවිපෙ කෙනෙක් ඉල්ලන්න ඕන.මාක්ස්වාදී වුනත් කමක් නෑ මේ රටේ වමේ ව්‍යාපාරය නම් ශක්තිමත් වෙන්නම ඕන.කුමාරිට ඒක කරන්න පුළුවන් නම් හොඳයි.
    මුලින්ම කළ යුත්තේ පන්ති අරගලය නොවේ.අද වන විට උදාසීන වී ඇති වම යළි ගොඩ නැගීමයි.පෙරටුගාමීන්ට එහිලා යම් කාර්යභාරයක් කළ හැකි බව දුමින්ද නාගමුවගේ කථා ඇසීමෙන් මට සිතිනි.එසේ නැත්නම් අපට බලන්නට සිදුවන්නේ වාසුදේව වර්ගයේ නාඩගම් පමණි.

    ReplyDelete
    Replies
    1. //ම සමාජවාදියෙක්.එසේම මාක්ස්වාදයට විරුද්ධ කෙනෙක්.// මාක්ස්වාදයට විරුද්ධ වී සමාජවාදියෙක් විඅම හතරබීරි කතාවකි. //ඊට හේතුව මාක්ස්වාදය තුලින් පිරමිඩාකාර බල ව්‍යුහයක් නිර්මාණය වීම.ඒක අපි අත්දුටුවනෙ.// මේ ස්ටලින්වදයයි. මාක්ස්වාදය නොවේ. මාක්ස් කිවේ රාජ්‍යය අහෝසිවී යාමක් ගැනයි. මාක්ස් හොඳින් කියවන්න.
      //කෙසේ වෙතත් මාක්ස්වාදී ඇසකින් බලනවනම් කුමාරි ගෙ ආස්ථානය තමා නිවැරදි.ජවිපෙ මෙහිදි වක්‍රාකාරව සිරිසේනට සහාය දෙනව.එහෙම නොවෙයි වෙනම ජවිපෙ කෙනෙක් ඉල්ලන්න ඕන.මාක්ස්වාදී වුනත් කමක් නෑ මේ රටේ වමේ ව්‍යාපාරය නම් ශක්තිමත් වෙන්නම ඕන.කුමාරිට ඒක කරන්න පුළුවන් නම් හොඳයි.
      මුලින්ම කළ යුත්තේ පන්ති අරගලය නොවේ.අද වන විට උදාසීන වී ඇති වම යළි ගොඩ නැගීමයි.පෙරටුගාමීන්ට එහිලා යම් කාර්යභාරයක් කළ හැකි බව දුමින්ද නාගමුවගේ කථා ඇසීමෙන් මට සිතිනි.එසේ නැත්නම් අපට බලන්නට සිදුවන්නේ වාසුදේව වර්ගයේ නාඩගම් පමණි.// මමත් මෙයට එකනගයි. ඒ නිසා මාත් ඔවුන්ට සහයෝගය දුනිමි. නමුත් දැන් වෙන්නේ වෙනත් දෙයකි.

      Delete
    2. මාක්ස්වාදී නොවන සමාජවාදී ආදර්ශ පැවතියා.ප්‍රංශයේ එවැනි කිහිපයක්ම පැවතියා.සමාජවාදය මාක්ස්වාදයට කලින් ඇතිවූවක්.දුරට යනවානම් පුරාන ස්පාටාවේ පවා සමාජවාදී ආදර්ශ පැවතියා.ඔබ සමාජවාදය අර්ථ දක්වන ක්‍රමය වෙනස් ඇති.
      මාක්ස්වාදය ජයග්‍රාහී වූ සියලුම තැන්වල ඔය පිරමිඩාකාර බල ව්‍යුහය ඇති වුනා.මාක්ස් රාජ්‍ය අහෝසි වෙනවා කීවත් එය නිකම් කියමනක් පමණි.සමාජවාදය අභාවයට ගොස් කොමියුනිස්ට් තත්වය ඇති වන බව මාක්ස් කීවත් එය කිසි සේත්ම ඇතිවිය නොහැකියි.මන්ද ප්‍රායෝගිකව නිර්මාණය වන ඊනියා නිර්ධන පන්තික රාජ්ය අභාවයට නොයන නිසයි.
      අනාගතයේ ඇතිවන්නේ යැයි මාක්ස් කී කොඉයුනිස්ට් සමාජය මතු නොව ඔහු කී ප්‍රාග් කොමියුනිස්ට් සමාජයද කිසිදා පැවතී නැහැ.
      සමාජවාදය ගොඩ නැංවිය යුත්තේ වැරදි එළඹුම් වලින් නොවෙයි.
      මාක්ස් මහතාගේ න්‍යායන් තුලින් මෙන්ම ඔහුගේ භාවිතාවන් තුලින්ද මානව සමාජයට සැළසුනේ මහ මෙහෙයක්.ඒත් මාක්ස් සර්ව සම්පූර්ණ නැහැ.ඔහු වැරදියි කියනවා නොවෙයි .ඇතැම් තැන්වල ඔහු හරි.නමුත් සර්ව සම්පූර්ණ නැහැ. අපට ලොව දකින්නට වෙනත් එළඹුම්ද අවශ්‍යයි මිත්‍රයා

      Delete
    3. සමාජවාදී අර්ථ ක්‍රමය කියන්නේ නිෂ්පාදන සම්බන්ධත පොදු අයිතියට ඇති බව කියන එකයි. එසේ තිබුනේ ප්‍රාග් ඓතිහාසික යුගයේ පමණයි. ස්පර්ටව සමාජවාදයට වඩා දරුණු රාජ්‍ය පාලනයක් පවතී එකක්. මාක්ස් රාජ්‍ය අහෝසි වෙන්ව කීම නිකම් ම්කියමංක වන්නේ කොහොමද කියා ඔප්පු කරන්න. --- දැන් ෆේස් බුක් හෝ ට්විටර් එහම් නැත්නම් අන්තර්ජාල පෙත්සම් වලින් එංගලන්තයේ නීති වෙනස්වේ. යුරෝපයේ ද එසේය. බ්ලොග්කරණය පුරවැසි නව මාධ්‍යයි. රජයේ බලය එන්න එන්නම එංගලන්තයේ අඩුවී මිනිසුන් පිහිටුවන සංවිධාන වලට බලය විමධ්‍යගතවී යයි. සබැ සමාජවාදී රාජ්‍යයක පාලනය කරන්නේ මිනිසුන් මිස රජයක් නොවේ. ප්‍රාග් කොමියුනිස්ට් සමාජය පවතී නැහැයි කියන්නේ මොන පදනමෙන්ද? අඩුම ගැනේ විකියවත් බලන්න. මාක්ස් සර්ව සම්පුර්ණ යයි කවුරුත් කියා නැත. මේ ලිපියේ හරයේ ඇත්තෙත් මාක්ස්වාදය ටූල් එකක් වශයෙන් භාවිත කරනන් කියායි.

      Delete
    4. https://www.stormfront.org/forum/t274372/

      Delete
    5. ප්‍රා ජේ ඩිගස් ල ගැන ලියල තිබෙනවා. ඒ නිසා ඔබේ අදහසත් හරි වෙන්න පුළුවන්. මම සමාජවාදය කියල කිවේ දැනට ජනප්‍රියව තියෙන එකට. මේ අයුරින් සමහරවිට මටහ්වාදයක් ගොඩ නගන්න පුළුවන්. නමුත් රුසියානු ගොවිජන ව්‍යය්පරයේ සිට මෙවැනි සියල්ල අසාර්ථක වුන බවයි මම නම් දන්නේ.

      Delete
  7. මේ අදහස බන්දුල කුමාරප්පෙරුම ගෙනි . http://sinhala.lankanewsweb.net/news/15172-2015-01-04-11-36-32

    ReplyDelete
  8. ඒ දවස්වල අපේ අම්ම කීවේ : හොදට ඉගෙනගෙන, උපාධි ගහල, කාර් බාර් අරගෙන, කසාද බැදල, වතුර බීල, හොදට නාල, පොලේ ගිහිල්ල වෙලාව තිබ්බොත් දේශපාලනය කරන්න කියල.
    මේ දවස්වල මගේ බිරිද කියන්නේ: ගෙයක් හදල, සල්ලි හොයල, ස්විස් බැංකුවක දාල, බඩ පිරෙන්න කාල, කොන්ඩේ කපල, වඩේ කාල, ජෝගින් කරල වෙලාව තිබුනොත් දේශපාලනය, කලාව වගේ අනම් මනම් කරන්න කියල
    අජිත් උදුල්ටයි විජේවිරටයි කියන්නේ: ඉගෙනගෙන ඉවරවෙලා , දෙයියන්ට පඩුරක් ගැටගහල, කාලගුණය බලල, හොදට අව්ව තියෙන දවසක, මල් පිපෙනකම් ඉදල දේශපාලනය කරන්න කියල.

    materialism මාරයි නේද !

    ReplyDelete
    Replies
    1. හරියට කියවන්න - ඉගෙන ගන්න ගමන් කියලයි කියල තියෙන්නේ. //ඉගෙන ගන්නා ගමන් තමන්ගේ ඉඩ ඇති වෙලාවට දේශපාලනයේ යෙදෙන්න. කියවන්න ඉගෙන ගන්න. //. ඉගෙනීම අත හරින්න නෙමේ. ඔයාගේ පුතාවත් ග්‍රමර් ඉස්කොලකට දානවද ? උදුල්ට මම ම්කිසි දෙයක් කියල නැහැ. ඔය හරියට කියවල නැහැ කියල තේරෙනවා. මම දැන් සිටින කනදවුම් කරු නජිත් ඉන්දිකට කියන්නේ. මම ඉගෙන ගන්න ගමන් දේශපාලනය කරපු එකෙක්. රස්සාව කරන ගමන් ළමයින්ට කන්න දෙන ගමන් දේශපාලනය කරන කෙනෙක්.අවස්ථාවාදී දේශපාලනය පිළිකුල් කරන කෙනෙක්. එකට සිටින යහළුවන් මියගිය කෙනෙක්. මට මටිරියලිස්ම් ගැන කියන්න ඔයා කවද? මම හම්බ කරලා තියෙන්නේ සූරා කාල නෙමේ. මගේ දැනුමෙන්.

      Delete
    2. 1971 මියගිය විසි දාහත් 88-89 මියගිය හැට දාහත් සිටියානම් අද ලංකාව බල්ලන්ගේ පාරාදීසයක් වන්නේ නැත. කැමති නම් මලක් ගහල දේශපාලනය කරන්න.

      Delete
    3. Are you saying what you, Najith, and Kumar doing the same thing? While you are doing everything, they just do only politics without completing their Medical and engineering degrees

      Delete
    4. This comment has been removed by the author.

      Delete
    5. I finished my studies. I do my job. What I am saying to Najith is to study and finish his degree if he can. Same time do his politics as he sees fit. Not to stop it and come to politics and regret that later. I have seen that with some full timers as well. It is good to do full time politics if you have backers. Like Kumar Gunarathnam or Deepthi Kumara Gunarathna. Difference with Deepthi is he is reading well and he is well educated. (without a degree) not everyone can do that. As much as possible you have to study and use the resources this society provides. Get a job if you can. Then you can support more to your cause. We have to change the tactics we have used for last 20-30 years. I am not fully against FLSP. I like them and help them whenever I can. I help other parties as well.We are writing these because it hurts to see this self destructing mode.

      Delete
  9. මේ ලිපිය සම්බන්ධව නම් කිසි අදහසක් පළ කරන්න මම දැනුමින් සන්නද්ද නැහැ. මම මේ ලිපියෙන් දේවල් ගොඩක් අධ්‍යයනය කරන්න යොමු උනා. ඔබට ස්තුතියි.ජය වේවා!!!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි. මෙය ද්වේශ සහගතව ලියුවක් නොවේ.

      Delete
  10. ajith
    Have u read abt the Levellers in England in 1600s and the even more advanced Diggers?
    Also the quite radical Ranters?

    ReplyDelete
  11. I knew about diggers. There was a similar Russian Peasant movement. I did not know about ranters. Just read it in wiki. I think this is perhaps what madhyastha mathadhariya says. How can we take this as socialism. Socialist Idea may have taken root from these movements. But current socialism has a different meaning related to production. but there is something in it perhaps we can develop.

    ReplyDelete
  12. ලෝකයේ තියෙන 2000 වෙනි rating විශ්ව විද්‍යාලයෙන් උපාධියක් ගත්තම බුර්ෂුවා image එකට මිසක් දැනුමට හෝ සමාජවාදී ජිවිතයකට වෙන සේවයක් නෑ කියල තමයි මට හිතෙන්නේ. හැබැයි වමේ මිතුරන් තව ටිකක් ධනවාදය ගැන හැදෑරුවනම් විප්ලවය කරන face එක වෙනස් කරයි. නජිත් සහ උදුල් පැටලවීම PRINTING mistake . MATERILISM කිව්වම materiyalistic අදහස් ද අයිති වෙනවා.

    ප . ලි : තද වෙන්නේ නැතිව විවාද කිරීමත් අධ්‍යාපනයේම කෑල්ලක්

    ReplyDelete
  13. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. සරද තද වෙන්න නම් අපි මේවා ලියන්නේ නැහැ. සමහරවිට ඊමේල් වලදී කොමෙන්ටු වලදී ඔය තත්වය මතු වෙනවා. වැල් වටාරම් නැතුව කෙලින්ම උත්තර දුන්නහම. ලෝකයේ තියෙන 2000 වන rating විශ්ව විද්‍යාලයක් වන කොළඹ විශ්ව විද්‍යාලය හෝ මොරටුවේ ඉගෙන ලෝකය ජයගත් නුවනැත්තන් බොහොමයක් ම දන්නවා. ඒවා වල ඉගෙන තවමත් දේශපාලනය කරන උසස් රැකියාවල් කරන බොහොමයක් ඉන්නවා. අපේ සෝවියට් උපාධියටත් ඕවගේ නිගරු කිරීම් තිබ්බ. හැබැයි අපි වෙන විශ්ව විද්‍යාලවලත් උපාධි ගන්න කොට ලංකාවේ වැඩ කරන කොට ඒ කටවල් වැහුන. නජිත්ට ඉගන ගන්න ගමන් දේශපාලනය කරන්න කීම materialistic වෙන්නේ කොහොමොද?
      materialism මාරයි නේද -- කියා ඔය කියන්නේ මම materialistic කියල. socialism කියන්නේ marxism කියන්නේ බුද්ධාගම නොවේ. එය materialistic. සමාජවාදයේ මේන් පිලාර් දෙක Dialectical materialism හා Historical materialism.
      ඔබ සමහරවිට බුන්දියට ලිපි ලියන මා මිතුරකු හා සලකන කෙනෙක්. ඉන් එහාට මා ඔබ ගැන දන්නේ නැහැ. මම පහුගිය දශකයට වැඩි කාලයක් වාමාංශික පක්ෂවලට නාමිකව හා නිර්නාමිකව ආධාර කල කෙනෙක්. දැනුත් එසේයි. වෙනත් දේ ගැන කිව නොහැකියි. 2004 සිට shareandcare.org.uk කියා චැරිටියක් හදා ලංකාවේ සුනාමි එකෙන් අඅනාථ වූ දරුවන්ට උදව් කරන කෙනෙක්. ඒ නිසා මා දේවල් පස්සේ හඹා යන්නෙක් හැටියට මම නම් හිතන්නේ නැහැ. එහම අදහසක් ඔබට ලැබුණානම් කණගාටුයි. පක්ෂ වලට වැඩ කල බොහෝ අය ඉන්පසු ඉවර වුන තැනමා අත්දැකීමෙන්ම දන්නා අයෙක්. අඩුම ගානේ මම එවන් පාවාදීම් නම් කර නැහැ.

      Delete
    2. Charity, Donations??? These things are not related to Socialism. They are pure capitalist concept s, specially the psychology behind them.
      Anyway you can't have both capilalist and socialist lifestyles together. Capitalism is a system where spread out all over the society ; culture, education, language, norms, communication. Even if read Das Capital there is no point if you don't practice it

      Delete
    3. Charities are nothing to do with socialism concept. People do charities for different reasons. The point is a person who is running for materialistic gains do not have to do charities. On the other hand people who run for socialist concept in Sri Lanka does charity work by helping others. I am not sure if you are practising socialist life style while in England. That's a myth.

      Delete
    4. Most of you make other people to die for you. And you don't give a damn about the people left behind as far as you can have a poster with an image. At least do a single charity helping somebody and love somebody love another human being. Then you will know. What is it a socialism without loving other people. Polpotism.

      Delete
    5. And I do charity until your type of socialism comes and saves them.

      Delete
    6. I was thinking what this Ano says about charities last night. May be it is right. I just wanted to show that I am not someone running after material stuff always. But yeah we don't need to do charities and help these kids. I am wasting my time. They can grow up in poverty and get some chance in this capitalist society or join a socialist party and fight to save everyone like them. There is no point me or someone else helping few of them. I am going to seriously think and perhaps close down the charity altogether and use my time to do more valuable things.

      Delete
  14. දේශපාලනය කරන්න ගිහින් ඉගැනීම කඩාකප්පල් කර ගන්න එකනම් හරිම අපරාදයක්. මොරටුවේ අපේ බැචෙක් හිටිය, හරිම හිතහොඳ කොල්ල. දුප්පත් පවුලකින් ආපු කොල්ල දේශපාලනේ නිසා ඩිග්රි එක ගත්තෙ අපි හැමෝටම වඩා අවුරුදු තුන හතරකට පස්සේ. ජේවීපී එකේ එක්ස් කණ්ඩායමේ පෙරටුගාමී සෙට් එකේ හැමතැනම පරමාදර්ශී දේශපාලනයක් හොයන් ගිහිල්ල මොනම හෝ හේතුවක් නිසා කොල්ල සියදිවි නසාගත්ත. අසරණ දරුවෙකුයි කෙල්ලෙකුයි අම්මකෙනෙකුයි අනාථ උනා. ඌව දේශපාලනේට ඇදල ගත්තු උන්ගෙන් කොටසකට අද දේශපාලනේ මතකත් නෑ. චපාන් එකේ ජීවිතේ ගෙවනව.

    ReplyDelete
    Replies
    1. මාත් දන්නා එහෙම කෙනෙක් ඉන්නවා. මට මතක නැත්තේ කොලඹද මොරටුවේද කියල. මට සුළු ධනශ්වරය කියල කොචෝක් කරපු එක්තරා නායකයෙක් අද ලේකම් කෙනෙක්.

      Delete
  15. පුද්ගලික විශ්ව විද්‍යාල විරෝධී අරගලයේදී පාලකයන් ගේ දරුණු මර්ධනය විසින් පද්මසිරි ත‍්‍රීමා විතාන, වෙනුර එදිරිසිංහ, අතුල සේනාරත්න, සරත් කොල්ලූරේ යන සිසුන් මරා දැමූහ​. අද දිනයේ මෙලෙස අවාසනාවන්ත ලෙස මිය ගිය මේ සිසුන් සිසු විරුවන් ද නැතහොත් අවස්ථාවාදී රැඩිකල් දේශපාලනයේ බිලි බෝයිස්ලා වීද යන්න පිලිබඳව බරපතල කුකුසක් මතුවේ. මෙම පුද්ගලික විශ්ව විද්‍යාල විරෝධී අරගල සහ උද්ඝෝෂන පසුපස සිටි නායකයන් ගේ වර්තමාන ක්‍රියා කලාපය පිලිබඳව සලකා බලන විට මේ සැකය මතුවීම සාධාරණය. පුද්ගලික විශ්ව විද්‍යාල විරෝධී අරගලයේදී වර්තමාන ජවිපේ නායක සෝමවන්ස අමරසිංහ විශාල වැඩ කොටසක් කලේය​. පුද්ගලික විශ්ව විද්‍යාල විරෝධී සෝමවන්ස අමරසිංහගේ පුතා අද දිනයේ ඉගෙනුම ලබන්නේ එංගලන්තයේ පුද්ගලික විශ්ව විද්‍යාලයකය​. සරසවි සිසුන් පාරට බස්සවා සන්නද්ධ වියාපාරයකට ඔවුන්ව යොමු කල කුමාර් ගුනරත්නම් එවකට කර්නල්වරයෙකු වූ සරත් ෆොන්සේකාට සියල්ල වමාරා ඕස්ට්‍රේලියාවට පලා ගියේය​. ඔහුගේ දරුවන් දෙදෙනා තව නොබෝ කාලයකින් ඕස්ට්‍රේලියාවේ විශ්ව විද්‍යාලයක ඉගෙනුම ආරම්භ කරනු ඇත​. ඒ කාලයේ මේ විරෝධාතා වලට තිරය යට සිට සහය දුන් එස්. බී දිසානායක ඔහුගේ පුතුන් දෙදෙනා උසස් අධ්‍යාපනය සඳහා යැව්වේ ඕස්ට්‍රේලියාවේ මොනෑශ් විශ්ව විද්‍යාලයටය​. මෙවැනි අරගල වීදි සටන් වලට සැමදා ආවඩන හිටපු ක්‍රම විරෝධියෙකු මෙන්ම අධිරාජ්‍යවාදී විරොධීයෙකු වූ වාසු තමගේ පුතා අධ්‍යපනය සඳහා යොමු කලේ ඇමරිකාවේ පුද්ගලික විශ්ව විද්‍යාලයකටය​. පද්මසිරි ත‍්‍රීමා විතාන, වෙනුර එදිරිසිංහ, අතුල සේනාරත්න, සරත් කොල්ලූරේ යන සිසුන් ෆෝම් කරවා ඔවුන්ව මර්ධනකාරී වෘකයන් වෙත ගොදුරු පිණිස දැමූ දේශපාලකයන් හා සිසු නායකයන් අද දිනයේ ක්‍රම සහ විධි වලින් යහමින් මුදල් උපයන බඩ තඩි මුදලාලිලා බවට පත් වී තිබේ. ස්වයංවරදකාරී බවින් මිදීමට මොවුන් බොරුවට වසරකට වරක් මේ බිලි බෝයිස්ලා අනුස්මරණයට ඉටිපන්දමක් දල්වා ලේ රත් වන කතාවක් කොට විසිර ගොස් යලි ලබන වසරේ අනුස්මරණ දිනයක් එන තෙක් හුරු පුරුදු ජාවරම් වල යෙදී සිටිති. සිසු නායකයන් ගොඩ ගියේය​. අවසාන විග්‍රහයේදී වැරදුනේ කාටද ? මේ බිලි බෝයිස්ලා සහ ඔවුන් ගේ දෙමාපිය සහෝදරයන්ට පමණි.

    ReplyDelete
    Replies
    1. //අවසාන විග්‍රහයේදී වැරදුනේ කාටද ? මේ බිලි බෝයිස්ලා සහ ඔවුන් ගේ දෙමාපිය සහෝදරයන්ට පමණි.// ඕක තමා වුනේ අන්තිමට.

      Delete
    2. This comment has been removed by the author.

      Delete
    3. http://sinhala.lankanewsweb.net/news/15172-2015-01-04-11-36-32

      Delete
    4. පවුර මේ ලිපිය කියවයි මේ ලිපිය ලිව්වේ. ඔබත් දන්නවා මම පෙසපට දුන් සහයෝගය.
      1.//ළගට එන අවලාදය ද්විත්ව පුරවැසිබව සම්බන්ධ නීතියේ සිදුවූ වෙනස් වීම් සහෝදරයා ඉලක්කකොට සිදුවූවක් යන්නය. මූලික කාරණය ද්විත්ව පුරවැසිභාවය සම්බන්ධව කිසිම කටයුක්තක් කුමාර් සහෝදරයා සම්බන්ධයෙන් සිදු කොට නොමැති නිසා එය අදාල නොවන්නකි. සහෝදරයා ලංකාවේ පුරවැසියෙකි. කුමාර් ගුණරත්නම් නමින් ඔ්ස්ටේ‍්‍රලියාවේ පුරවැසියෙකු නොමැති අතර කුමාර් සහෝදරයා රටින් පිටවූයේ නොයෙල් මුදලිගේ අන්වර්ථ නාමයෙනි.ඔහු ද්විත්ව පුරවැසි භාවය ලබා ගන්නවානම් එක්කෝ නොයෙල් මුදලිගේ නමින් ලංකාවේ පුරවැසිභාවය ගතයුතුය නැතිනම් කුමාර් ගුණරත්නම් නමින් ඔ්ස්ට්‍්‍රලියාවේ පුරවැසිභාවය ලබාගත යුතුය. එවැනි උත්සහයක් දරා නැති අතර ද්විත්ව පුරවැසි භාවයක් අවශ්‍යය මහින්දගේ කාගේ කවුරුන්ටදැයි සැවොම දනී// මේ කතාව බොරුවකි. ලංකාවේ ආගමන විගමන නීතියට අනුව ඔබ වෙන නමකින් හෝ වෙන රටක පුරවැසි භාවය ලබන්නෙක් නම් ඔබේ ශ්‍රී ලංකා පුරවැසි භාවය අහෝසි වේ. ඉන්පසු ලංකාවට එන්නේ නම් ඔබ සංචාරකයෙකු ලෙස ආ යුතුය. නැත්නම් නැත්නම් ද්විත්ව පුරවැසි භාවය ලබා ගත යුතුය.
      2. 31 රැයේ ද්විත්ව පුරවැසි භාවය ලබා දීමට නීති එලෙඉයත දැම්මේ ආණ්ඩුවයි. එදා රෑම ගුණරත්නම් සහෝදරය ලංකාවට ආ බව අයෙකු මට පැවසූ පසු පත්තර බලද්දී එය සතයක් බව පැහැදිලි විය. ද්විත්ව පුරවැසි භාවය ලබා දුන් රටවලට ඔස්ට්‍රේලියාව හා නොර්වේ අයත්ය. ඒ ඇයිදැයි ඔබ දනන්වද? නොර්වේ කණ්ඩායම්ක් සමග ගැසූ ගිවිසුමක් නිසාය. එයට පෙසපෙට සම්බන්ධ දෙමල ජාතිකයකුද ඇතුලත් බව ආරංචිය. පුලුවන්නම් ප්‍රතික්ෂේප කරන්න. එනගලන්තයේ අයට තවම ද්විත්ව පුරවැසි භාවය ගැනීමට නොහැක.

      Delete
  16. මම අර දවසක් අරූ ගේ පෝස්ට් එකට දාපු එකම තමයි මේකෙදිත් කියන්න හිතෙන්නේ .. තමුන් ආර්ථිකව , සමාජීයව ස්ථාවර නැති තැන් වල ඉඳගෙන කරන්න හදන සමාජ විප්ලව වලින් කෙරෙන්නේ තමුනුත් නැති වෙලා තව පවුලක් දෙකක් අසරණ වෙන එක විතරයි .. මම දකින විප්ලව නම් මේ කොම්පියුටර් හොයා ගත්තු , ඉනටර්නෙට් , ඊමේල් හොයා ගත්ත මිනිස්සු පහුගිය අවුරුදු 50ක් විතර ඇතුලත කරපු තාක්ෂණික විප්ලව ... අවසානයේ දෙගොල්ලොම දිනන, මිනිසුන්ට සැබෑ සේවයක් වෙන විප්ලව ... රසකතා කිය කිය කටින් ගහන විප්ලව තව දුරටත් වලංගු වෙනවද කියල මට නම් සැකයි .. (සමහර විට මේ දේශපාලනේ ගැන මට තියෙන අඩු දැනුම නිසා හිතෙනවා වෙන්න පුළුවන් )



    ReplyDelete
    Replies
    1. මට මෙහෙම හිතිලා හුඟක් කල්. ඒත් අර සමාජවාදයට තියෙන කැමැත්තට කට හරි උදව් කරන්න හිතෙනවා. හැබැයි ඊට පස්සේ තේරෙනවා රයිඩ් එකට අරන් කියල.

      Delete
  17. සාපේක්ෂව තුලනාත්මකයි. කාලීනව... අනේ මන්දා.

    ReplyDelete
  18. කාලීනව නම් මම ඇනගෙන තියෙන්නේ. යාළුවොත් තරහවෙයි. දිනන එකත් තරහයි. පරදින එකත් තරහයි. ඒ වුනත් මට පාඩු වුනත් මට හිතෙන ඇත්ත කියල දානවා. හැමදාම එහෙමයි. අමුවෙන් නැති වෙච්ච දේකුත් නැහැ. ලැබුන දේකුත් නැහැ.

    ReplyDelete
  19. වමේ දේශපාලනය පමණක් නොවේ පොදුවේ ලංකාවේ වර්ථමාන දේශපාලනේ ගැන මගේ හැඟීම ඔබම බොහොම අපූරුවට ලියලා තියෙනවා.
    \\මේ යන්නේ හතරබීරි දේශපාලනයකි.\\\
    වම දකුණ වෙනසක් නෑ අද තියෙන්නේ අවස්ථාවාදී දේශපාලනයක්. මමත් පොදුවේ ඉන්න පිළිගන්න මතයක් තමයි අපේ රටේ සාම්ප්‍රදායික අනිත් වමේ පක්ශ වගේ නොවෙයි ජවිපේ හා ඉන් බිඳී ගිය කණ්ඩායම් (විමල් වීරවංශගේ කණ්ඩායම හැරුණුවිට ) එලෙස වෙන්වීම අපරාධයක්. ඊටත් හේතුවත් සැබවින්ම මේ අවස්ථාවදී දේශපාලනය..
    අජිත් අයියා.. මං ලොකු දේශපාලන දැනුමක් ඇත්තෙක් නෙවෙයි.. හැබැයි ඔබේ මේ ලිපි වලින් ලොකු දැනුමක් උකහා ගන්නවා.. බොහෝම ස්තූතියි.

    ReplyDelete
  20. බොහොම ස්තුතියි කලණ මල්ලි. මේක හුඟක් හිතේ වේදනාවෙන් ලියපු එකක්. යාලුවන්ගේ හිත් රිද්දන එක අමාරුයි. නමුත් සමහර වෙලාවට අපට තිබෙන්නේ සීමිත අවස්ථාවක්. ඒ පක්ෂ වෙන් නොවී තිබුනානම් හොඳයි. ඔය වෙන්වීම ගැනත් ලියන්න ඕනේ ඇත්තටම.

    ReplyDelete
  21. බුක් මාර්ක් කරගෙන සිටි ඔබේ බ්ලොගය ලැයිස්තුවෙන් මකා දෑමුවෙමි.

    ස්තුතියි !

    ReplyDelete
  22. ඒකට කමක් නැත. තමන්ගේ අදහසට විවේචන ගෙන එන සෑම අයෙක්ම කපා දමන්න. ඉන්පසු ඉතිරිවී සිටින අය සමග දේශපාලනය කරන්න. ගොඩක් දුර යාවි.

    ReplyDelete
  23. ලංකාවිව්ස් හි පලවූ උත්තරයක්:
    http://www.lankaviews.com/sn/index.php?option=com_content&view=article&id=22444:2015-01-03-20-37-46&catid=69:2009-08-07-09-41-10&Itemid=130

    ReplyDelete
  24. Sudath Kumarasinghe5 January 2015 at 23:33

    හොඳ ලිපියක්. මමත් 100% ක් එකඟයි.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි සුදත්. උඹේ පලවෙනි කොමෙන්ට් එක මට දාපු. අගය කරනවා වොඩ්ක කාලක් ගෙන රුසියාවේ හිම ගොඩවල් වලට පයින් ගහමින් කරපු දේශපාලන කථා මතක නිසා. . :)

      Delete
  25. ආරම්භයේදීම පොඩි සුලුධනේශ්වර කෝචෝක් එකක් හරහා අරබන අජිත් මහතාගේ ලිපිය අවසාන වන්නේ ඉතාම ප්‍රතිගාමී මතයකින් නිසාම යම් අදහසක් එකතු කල යුතුයයි සිතුනි. එමන්දයත්, සවිඥානිකව හෝ අවිඥානිකව සිදුකරන ඔහුගේ පුරාජේරුව සහ පොඩි "පොර වීමට" තැත් කිරීමට අමතරව, ඔහු විසින් ලියන ලිපිය අවසාන වන්නේ ඉතාමත් කුහක සහ සුලුධනේශ්වර මතවාදයකින් සහ ලෝක සමාජවාදී විප්ලවයේ දැවැන්තයන් ගේ කර්තව්‍යයන් අවමානයකට හෝ අඩු තක්සේරුවකට ලකරමින් වන නිසාය (සමහර විට මාක්ස්, ලෙනින් සහ අනෙකුත් කිහිපදෙනෙකුගේ අද්යාපන පසුබිම හැර අනෙක් විප්ලවාදීන් පිළිබඳව ඔහුගේ නොදැනුවත්කම නිසා වන්නට පිළිවන).

    එසේම, ලෙනින්ගේ සහෝදරයා (උල්යනොව්), මාක්ස්, ලෙනින්, Materialism, නරෝද්නික්වරු ගැන වැල්වටාරම් ලියන ඔහු, අවසානයේ නජිත් සහෝදරයට අවවාද කරන්නේ අද්‍යාපනය නිමකොට තමන්ට ගලපෙනවානම් ඉඩ ඇති කල්හි "හොබියකට" දේශපාලනය කරන ලෙසය. එනයින් පිළිබිඹු වන්නේ සමාජ විප්ලවය පිලිබඳ ඔබගේ විශ්වාසයේ දිග පළලය. දෙවනුව ගම්‍යවන්නේ, විප්ලවවාදීන් විවිධ දේශපාලන ධරාවන්වතුල පෝෂණය වෙමින් සහ තම මතවාදයන් දියුනුකරමින් සහ හදාරමින්, සමාජවාදය නිර්මාණය කිරීම වෙනුවෙන් වූ අභ්‍යාස පසෙකලා, ධනපති රාමුව තුල තම දරුපවුල රැකීමට අජිත් මහතා සේ "වැඩ පෙන්වීමට" උත්සාහ කරන ලෙසත්, වුර්තිය විප්ලවාදින්විමෙන් ප්‍රතිපල රහිත බවත්ය. තෙවැනි හාස්‍යජනක කරුණ නම්, තාරක විද්‍යාව පිලිබඳ ලියන ඔබට, සපෙක්ෂතවාදයේ පියා වන ඇල්බර්ට් අයින්ස්ටයින්ටවත් ඔබ නදිතට සම්පුර්ණ කරන්නටයි කියන නිල අද්යාපන රටාව තුල මුල්කාලයේ තැනක් නොතිබූන බව අමතක වීමය.

    ඔබ නොකියන හෝ නොදකින එක දෙයක් කිව යුතුය, ඉතාහාසය පුරාවට සමාජ විප්ලවය වෙනුවෙන් තම ජීවිතය පරදුවට තබා , ඉතිහාසයක් නිර්මාණය කල ඒ උදාර මිනිසුන් සහ ගැහැනුන් ධනපති රාජ්‍යයේ අද්යාපන රාමුව කෙරෙහි ඔබතරම් විශ්වාසයක් තැබුවේ නැත. එමන්දයත්, ධනපති අද්යාපන රාමුව නිර්මාණය කරන්නේ වඩා හොඳ "කම්කරුවන්" වීමත්, "බුද්ධිය" සහ "දැනුම" අතර වන වෙනස ඔවුන් වටහාගෙන තිබීමත් නිසාය. ඉදින් , නජිත් ඉන්දික සහෝදරයට උපදෙස් දෙන්නට ඔබවැනි සුලුධනේශ්වර විප්ලවවාදි මහතෙකුට අපහසු එබැවිනි.

    අවසාන ලෙස කිවයුත්තේ, ඔබගේ මතවාදී අපගමනයට හෙතුවලෙස දකින්නේ මාක්ස්වාදී විශ්ලේෂනාත්මක ක්‍රමවේදය (Marxist Epistemology ) වටහා ගැනීමේ ගැටලුක් මත වල්මත් වීම මිස, ඔබ ප්‍රතිගාමියෙක් නොවන බව මාගේ හැගීමය බවයි.

    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      Delete
    2. කිර්ති විජයබහුලාත් කොමෙන්ට් වලට පැමිනිමම ජයග්‍රහණයකි. මට ප්‍රශ්නය වන්නේ 87-88
      දේජාවියේ අනසක මෙහෙයවූ සමන් පියසිරිගේ අනුවර්ත නාමය ගැනීම මගින් මට තර්ජනයක් කරන්නේද යන්නයි. මොකද විවේචනයට ආ නන්දන මාරසිංහ සහෝදරයාට සිදුවූ දේ මා දන්නා බැවිනි. කිර්ති විජේබාහු ආරුඪ නාමය ගෙන කරන්නේ තර්ජනයක් නම් අලුත් බෝතලයේ ඇත්තේ පරණ වතුරමය යන්න මා කල නිගමනය එතැනින්ම සනාථවී ඇති හෙයිනි.
      මෙහිදී ඔබට මතක් කල යුතු පළමු කරුණ වන්නේ මා බ්ලොග් ලියන්නේ හා කතා කරන්නේ මගේ නමින් බවයි. බොහෝ විවේචන කල ඒ කාලයේ අයද එසේ කලේ සැඟව නොවේ.
      ඔබගේ නොදනුමේ තරම හෙළිවන්නේ මෙහිය. //ඔහු විසින් ලියන ලිපිය අවසාන වන්නේ ඉතාමත් කුහක සහ සුලුධනේශ්වර මතවාදයකින් සහ ලෝක සමාජවාදී විප්ලවයේ දැවැන්තයන් ගේ කර්තව්‍යයන් අවමානයකට හෝ අඩු තක්සේරුවකට ලකරමින් වන නිසාය// කුහක සුළු ධනෂ්වර මතවාදය කුමක්ද? වරුනට, මහින්දට, සිරිසේනට, පෙසැප පන්නයේ පන්ති අරගලයට ජයවේවා කියා ඇත්තේ ඔලොක්කුවට බවවත් වටහා ගැනීමට නොහැකිවීම ඔබේ අවාසනාවකි. මගේ නොවේ.
      ඊළඟ කාරණය යමක් හරියට කියවා උත්තර දෙන ලෙසය. මා හඳුනන සරද මහතා ඉහත කොමෙන්ටුවක කල වැරදීමම ඔබත් කර තිබේ. //, අවසානයේ නජිත් සහෝදරයට අවවාද කරන්නේ අද්‍යාපනය නිමකොට තමන්ට ගලපෙනවානම් ඉඩ ඇති කල්හි "හොබියකට" දේශපාලනය කරන ලෙසය.// මිස්‌ටර් විජෙබාහු මා ලියා ඇත්තේ මෙයයි.
      **** ඉගෙන ගන්නා ගමන් තමන්ගේ ඉඩ ඇති වෙලාවට දේශපාලනයේ යෙදෙන්න. කියවන්න ඉගෙන ගන්න. නැත්නම් ඔබලාටත් සිදු වන්නේ සිගිරි නොගිය හේතුවෙන් උණු කඳුළු හෙලමින් දක්ෂිණාංශික දේශපාලකයෙකුගේ තුරුල්ලට පැන ආත්මය වනසා ගන්නටය.***********මෙහි සඳහන් දක්ෂිණාංශික දේශපාලකයා කවුද යන්නත් පාන්නේ කවුද යන්නත් ඔබ දන්නවා ඇත. ඔහු ඔබටත් වඩා හොඳට භාවිතාවක් තිබුවකු වන්නට ඇත. මා මෙහිදී අදහස් කරන්නේ අන්තරය හා පෙසප ක්‍රියාමාර්ගය වෙනස් කළ යුතු බවයි. 2000 ට පහල rating තිබ්බ ධනපති විශ්ව විද්‍යාල වේවා ඒවා හට තරඟයක් දී තේරුණ පසු ඒවා වල උපාධිය අවසන් කල යුතු බවටත්, ඒවායේ උපාධිය අවසන් කිරීමට අනිත් සිසුන්ට උදව් කල යුතු බවටත් ඒ අතර වාරයේ දේශපාලනයේ, නිදහස් සංවාදයේ, කියවීමේ සහ අරගලයේ යෙදිය යුතු බවටත්ය. එයට හේතුව ශිෂ්‍ය දේශපාලනය අරගලයක පෙර ගමන් කරුවෙකු හෝ මුලිකත්වය ගන්නකු වුවත් එය එහි ගාමක බලවේගය නොවන නිසාය. පෙසපයේ ශෝචනීය තත්වය අන්තරේ නයුවකු වූ නාගමුව ජනාධිපතිවරණ අපේක්ෂකයකු ලෙස ගැනීමෙන්ම පෙනේ. උනුත් එකයි මුනුත් එකයි කියා කතා කර වැඩ කරන ජනතාවක් නොමැතිව අන්තරේ සිසුන් කීප දෙනෙකු අල්ලාගෙන කරන අරගලය නැවතත් ඛේදවාචයකින් කෙළවර වීම වැළැක්වීමට ඇතුලෙන් කතා කල නොහැකි තැන එලියට පැමිණ කතා කිරීමකි මෙය. මෙය තවම ඉවර නැත. ඊළඟට //දෙවනුව ගම්‍යවන්නේ, විප්ලවවාදීන් විවිධ දේශපාලන ධරාවන්වතුල පෝෂණය වෙමින් සහ තම මතවාදයන් දියුනුකරමින් සහ හදාරමින්, සමාජවාදය නිර්මාණය කිරීම වෙනුවෙන් වූ අභ්‍යාස පසෙකලා,// සමාජවාදය ගැන මම කරන අභ්‍යාස ඔබ දන්නේ කොහොමොද? එසේම මෙය //විප්ලවවාදීන් විවිධ දේශපාලන ධරාවන්වතුල පෝෂණය වෙමින් සහ තම මතවාදයන් දියුනුකරමින් සහ හදාරමින්// වැඩ හොඳට කරන්නේ මට පෙනෙන විධිහට සමාජවාදී සමානතා පක්ෂය හා ශ්‍රී ලංකා පෙරටුගාමී පක්ෂය වැනි ඒවායි. මෙය අවුරුදු එකහමාරක නිරීක්ෂණයකින් කියන දෙයකි.. ඔබලා හෝ ජවිපෙ එහෙය්යන් රැලක් බිහි කරනු මිස එවැන්නක් කරනු මට නම් නොපෙනේ. //ධනපති රාමුව තුල තම දරුපවුල රැකීමට අජිත් මහතා සේ "වැඩ පෙන්වීමට" උත්සාහ කරන ලෙසත්// මෙය මගේ වැඩ පෙන්වීමක් වන්නේ කෙසේද යන්න මම නොදනිමි. නමුත් ඔහෙලා හදන සමාජවාදී සමාජයේ දරු පවුල් නැත්ද? එසේ දරු පවුල් නැති එකෙක් හැදු සමාජවදයෙක් මම දනිමි. ඒ පොල්පොට්‍ ය. පොල්පොට්ගේ පක්ෂය දරුවන්ට කිවේ අම්මත් තාත්තාත් පක්ෂය බවයි. ඉන්පසු ළමයි තමන්ගේ දෙමාපියන් පවා පාන් කෑල්ලට පාවා දුන්හ. ඒ දෙමාපියන් පොල්පොට් භාවිතාවෙන් උසස් නිර්ධන පන්ති විප්ලවාදින් අතින් මැරුම් කෑහ.
      අනික මෙහෙම කතාවක් මගේ බ්ලොග් ලිපියේ ලියා නැත. //වුර්තිය විප්ලවාදින්විමෙන් ප්‍රතිපල රහිත බවත්ය// මා කොමෙන්ටුවක් කියා ඇත්තේ මා රැකියාව කරන ගමන් උදව් කරන බවකි. රැකියාවක් සොයා ගන්නේ නම් වඩාත් හොඳින් උදව් කල හැකි බවකි. පක්ෂයක කිසියම් ප්‍රමානයක් වෘත්තීය විප්ලවවාදීන් සිටින බව මම දනිමි. ඒ අයට උදව් කරන්නේ රැකියාව කරන අපිය. නැත්නම් පක්ෂයක් වැඩ කර මුදල් උපාය ගනී. ඒ ධනපති සමාජයේම ධනපති ක්‍රමයම උපයෝගී කර ගනිමිනි යාලුවා. ඒ නිසා නජිත ලා මෝඩ ආදර්ශ සිසුන්ට දීමටත්, සිසු දෙමාපියන් හා ජනතාවන් අන්තරයෙන් ඈත් කරන කතාත් නොකර සිටින්නේ නම් වඩාත් හොඳය. තමන්ගේ කුඩා දරුවෙකු සිටින ගමන් , අමාරුවෙන් රෑ දවල් වැඩ කරන ගමන් හැකි තරම් පක්ෂයකට සේවය කරන එංගලන්තයේ සිටින අයෙකු මම දනී. මට පාවෙල් කොර්චගින්ලා යනු ඔවුන්ය. ඔවුන් වැරදි දේශපාලනයකට දහදිය පුද කිරීම ඉවසුම් දෙන කරුණක් නොවේ.

      Delete
    3. //තෙවැනි හාස්‍යජනක කරුණ නම්, තාරක විද්‍යාව පිලිබඳ ලියන ඔබට, සපෙක්ෂතවාදයේ පියා වන ඇල්බර්ට් අයින්ස්ටයින්ටවත් ඔබ නදිතට සම්පුර්ණ කරන්නටයි කියන නිල අද්යාපන රටාව තුල මුල්කාලයේ තැනක් නොතිබූන බව අමතක වීමය.// මෙහි හාස්‍ය ජනක කාරණය අයින්ස්ටයින් ප්‍රශ්න කලේ තද නීති රීති වලින් යුත් Luitpold Gymnasium නමැති ඔහුගේ ප්‍රථමික හා ද්විතියික අධ්‍යාපන ක්‍රමය බවට ඔබේ ඇති නොදැනීමයි . ඔහු ස්විස් පොලිටෙක්නික් එකේ ඇතුළු වීමේ විභාගයෙන් අසමත් විය. නමුත් ඔහුගේ භෞතික විද්යාව හා ගණිතය හොඳ නිසා එහි විදුහල්පති ඔහුව අර්ගොවියන් විදුහලට යොමු කල අතර ඔහු එය අවසන් කළේය. ඉන්පසු නැවත සුරික් පොලිටෙක්නික් එකට ඇතුල්වී එය අවසන් කළේය. භෞතික විද්යාව හා ගණිතයඉගෙනීම ඔහුගේ තෝරා ගැනීමයි .මහත්මයා තව ටිකක් කියවා පැමිණෙන්න. http://en.wikipedia.org/wiki/Albert_Einstein
      http://www.einstein-website.de/z_biography/biography.html

      අවසන් වශයෙන් මාක්ස්වාදී විශ්ලේෂනාත්මක ක්‍රමවේදය (Marxist Epistemology ) මා නොදන්නේ නම් මට කියා දෙන්න. මා හැම වෙලේම නොදන්නා දේ නිහතමානිව ඉගෙන ගන්නා අයෙකි. කිසිම දවසක සෑම දෙයක්ම දන්නා බවක් අඟවා නැත.

      Delete
    4. This comment has been removed by the author.

      Delete
  26. // ඉතාහාසය පුරාවට සමාජ විප්ලවය වෙනුවෙන් තම ජීවිතය පරදුවට තබා , ඉතිහාසයක් නිර්මාණය කල ඒ උදාර මිනිසුන් සහ ගැහැනුන් ධනපති රාජ්‍යයේ අද්යාපන රාමුව කෙරෙහි ඔබතරම් විශ්වාසයක් තැබුවේ නැත. එමන්දයත්, ධනපති අද්යාපන රාමුව නිර්මාණය කරන්නේ වඩා හොඳ "කම්කරුවන්" වීමත්, "බුද්ධිය" සහ "දැනුම" අතර වන වෙනස ඔවුන් වටහාගෙන තිබීමත් නිසාය. // මාත් හොඳ කම්කරුවෙකි. රැකියාව කර පඩියක් ගන්නෙකි. මා වැඩ කරන්නේ ධනපති රටක ධනපති කොම්පැනියකට බවට මට අවබෝධයක් ඇත. මහත්මය ලියන්න කියන්න ඔබ ඉගෙන ගත්තේ සමාජවාදී රටකද? නැත්නම් ශ්‍රී ලංකාවෙදිද? ඔබ ඔය කියන ජිවිත පරදුවට තැබූ හැම එකාම එකීම ඉගෙන ගත්තේ ධනපති ක්‍රමය තුලයි. චේ තමන්ගේ ඉගෙනීම ඉවතට දමා මුලින්ම ගියේ ලෝකය බලන්නටය. ඉන් දුටු දෙයින් පසුවයි ඔහු ව්‍යාපාරයට බැඳුනේ.
    /ඉදින් , නජිත් ඉන්දික සහෝදරයට උපදෙස් දෙන්නට ඔබවැනි සුලුධනේශ්වර විප්ලවවාදි මහතෙකුට අපහසු එබැවිනි.// මට මිට කලින් මේ කතාව මේ විධිහටම තව එකෙක් කියා තිබේ. ඒ 1987 කොළඹ විශ්ව විද්‍යාලයේ කැන්ටිමේදිය. 87 ජවිපෙ ක්‍රියා මාර්ගය විවේචනය කරන විටදී මේ නායකයා මට මේ වදන් මෙලෙසම කිවේය. සුළු ධනෙෂ්වර මතවාදී උඹට මට උගන්වන්න බැහැ. ඉන්පසු නොනිල නායක කුමාර් හා තවත් අයෙකුගේ පිහිටෙන් මේ ප්‍රබල විප්ලවවාදියා චන්ද්‍රිකා රජයේ ඇමතිකම් තිබු තැනක ලේකම් රස්සාවක් කර දැන් ඊටත් වඩා හොඳ තැනක පවුලත් බලාගෙන වැජඹෙමින් සිටි. ඔහුගේ නම අවශ්‍ය නම් පෞද්ගලිකව දැන්විය හැකිය. (ඔප්පු කරන්නට) . නජිත් ඉන්දික වැනි පුංචි මල්ලියෙකුට උපදෙස් දෙන්නට මට ඕනෑ තරම් අත්දැකීම් තිබේ. මොකද නජිත්ලට සන්ජිවලාට හා තවත් අයට මර්දනය එනවිට කෑ ගහන්නට ඉතුරු වෙන්නෙත් අප විතරක් බැවිනි.
    තව ලිපියක් මේ සම්බන්ධව ලියන නිසා මෙතනින් නවතිමි. පැමිණියාට හා කොමෙන්ටුවට ස්තුතියි.

    ReplyDelete

සියලු හිමිකම් අජිත් ධර්මකීර්ති (Ajith Dharmakeerthi) සතුය. කොළඹ ගමයා බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ අජිත් ධර්මකීර්ති යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ.
මෙහි පලවන ලිපි සහ දේශපාලන අදහස් මගේ පෞද්ගලික අදහස් පමණි.
ඔබේ ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. නමුත් වෙනත් කෙනෙකුට සාධාරණ හේතුවක් නැතුව පහර ගසන අශිලාචාර අන්දමේ ප්‍රතිචාර පමණක් පල නොකෙරේ. බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ස්තූතියි .