Thursday 22 January 2015

හඳ පෙන්නුවාම ඇඟිල්ල දකින මෝඩ අපි?

මේ කාටුන් එක  තිබුනේ ෆේස්බුක් එකේ. දාල  තිබුනේ දිමුතු  කියල මහත්මයෙක්.  මේ පින්තුරේ ඉන්නේ ජවිපෙ නායක අනුර කුමාර. කලින්ම පැහැදිලි කරන්න ඕනේ මම ජවිපෙ සාමාජිකයෙක්වත් සහයෝගය දෙන්නෙක්වත්, සහය දීල බ්ලොග් ලියපු කෙනෙක්වත් නෙමෙයි.
කාටුන් එක ගාව මෙහෙම හැඳින්වීමකුත් තිබුන.
(මේ කාටුන් එක දාල තියෙන්නේ ජෙප්පන්ට මඩයක් ගහන්න පෙරටුගාමී සමාජවාදී එකට සහයෝගය දෙන අයෙක් කියලයි මගේ හැඟීම)
"ජරාජීර්න ධනපති ක්රමය එසේම තිබියදී ඊට 'යහපත් නායකත්වයක්සහ 'වාම තල්ලුවක්ලබා දීමෙන් සොරකම් සහ දූෂන නවත්වා යහපාලනය ගොඩ නැගිය හැකි බව ජනතා විමුක්ති පෙරමුණෙහි අචල විශ්වාසයයිධනපතික්රමය වෙනුවෙන් සිතන මතන සහ මෙතරම් මහන්සි වන පිරිසක් ධනපතින්ට තම පංතියෙන්වත් නොලැබෙන බව සහතිකයි.
.වි.පෙසොයුරනි
විමසන්න.... 
නැවත නැවතත් විමසන්න‍."


ඉතින් මම මේකට කොමෙන්ටුවක් දැම්ම මෙහෙම. 
ඒ කියන්නේ හොරු අල්ලන එක වැරදිද? සමාජවාදය තුලත් කොච්චර හොරු ඉන්නවද?

සාන්ත කියල මහත්මයෙක් මෙහෙම උත්තරයක් දීල තිබුන මට .

"අපි හදට අැගිල්ල දිගු කරන විට ෙමාඩෙයා් අැගිල්ල ෙදස බලති " කතාව මතක් වුනා අජිත් ධර්ම කීර්ති ලියපු ඒක දැක්කම. ධනපති ක්‍රමය තුළ ඉන්න ෙහාරැ අල්ලලා දීම කියන්ෙන් ධකපති ක්‍රමය පිරිසිදු කර පවත්වා ගැනීමට උදවි කිරීම.උන්ම දකිනවා ෙමි දූෂණ, ෙහාරාකෑමි ක්‍රමෙය් පැවැත්මට මාර තර්ජනයක් කියලා. ඉතිං වම නමින් ෙපනී ඉන්න පිරිසක් අැවිත් ඒ්ක පිරිසිදු කරලා ෙදන ඒක උන්ට මාරම මාර උදවිවක් ෙනාවන්ෙන ෙකෙස්ද .. "

මම මෝඩයෙක් කියමු. ප්‍රශ්නයක් නැහැ. මෝඩයොත් ඉන්න එපයි නැත්නම් නුවණැත්තන් ව අඳුන ගන්නේ කොහොමද? මගේ ප්‍රශ්නේ එතකොට හොරුඅල්ලන්නත් සමාජවාදය එනකන් ඉන්න ඕනේ කියල අදහසක් නෙමෙයිද ඕකෙන් මතු වෙන්නේ. හොරු සම්පුර්නයෙන්ම තුරන් කරපු සමාජවාදයක් තමා හදන්න යන්නේ කියල තමා මේ කතාවෙන් මතු වෙන්නේ. හොරු අල්ලලා දුන්නයි කියල ධනපති ක්‍රමය වෙනස් වෙන්නේ නැහැ තමා.මේක සමාජය පිරිසිදු කිරීමේ ක්‍රියාවලියක් විතරයි.  ධනපති ක්‍රමය වෙනස් කිරීම කියන්නේ භෞතිකවාදී ක්‍රියාවලියක්. ඉතින් හොරු , දුෂණ වංචා කරපු අය ඉන්නවනම් ඒ අය හෙළි දරව් කරන එක සමාජයට සෙත සලසන ක්‍රියා දාමයක් මිසක් අර ක්‍රියාවලියට අයත් වෙන්නේ නැති දෙයක්. නමුත් ඒකෙන්  අදහස් වෙන්නේ නැහැ වාමාංශික පක්ෂයක් හෝ එවැන්නක් යයි තමන් කියා ගන්නා පක්ෂයක් හරි රාජ්‍ය මට්ටමින් හෝ නිලදාරී මට්ටමින් කරන දුෂණ කෙලි දරව්  නොකළ යුතුයි කියල.

සෝවියට් දේශයේ දැන් ඉන්දියාවේ තියෙනව වගේ නිලධාරිවාදී දුෂණ වැහි වැහැල  තිබ්බේ. සෝවියට් වැසියෝ විහිළුවට කිව්ව කතාවක් තමයි පුර්ණ කොමියුනිස්ට්වාදය ආවහම දුෂණය සම්පුර්නයෙන්ම අහෝසි වෙනව කියල. ඇයි  එහෙම කියන්නේ කියල ඇහුවාම  පිළිතුර වුනේ "පුර්ණ සමාජවාදයේදී රාජ්‍යය අහෝසි වෙනව කියල මාක්ස් ම කියල තියනවනේ"ඒකයි  කියල.  
(මේ උපහාසයේ අදහස තමා දුෂිත රාජ්‍යය අහෝසි වුණාම දුෂණය අහෝසි වෙනවයි කියන එක)
චීනයේ , කියුබාවේ කොමියුනිස්ට් පක්ෂ සාමාජිකන්ගෙන් වෙන දුෂණ දැන් දැන් අල්ලනවා. චීනයේ නම් මිනිස්සු ඉදිරියට එනවා අන්තර්ජාලයෙන් හෙම විරෝධය දක්වමින්. 
මම මොස්කව් ඉන්න කාලේ ගොර්බචෝව් යෙල්ට්සින් කියල දක්ෂයෙක් මොස්කව් පක්ෂ ලේකම් හැටියට පත් කලා . මිනිහ ආපු  ගමන් මොස්කව් වල ගොඩනැගිලි හදන අමාත්‍යංශයේ ගැහිලි නතර කලා. ඊට පස්සේ මිනිහ කිව්වා පක්ෂයේ අයට  වෙනම සුඛෝපභෝගී  භාණ්ඩ විකුණන වෙළඳ සල්  අවශ්‍ය නැහැ කියල ඒවා වහන්න හැදුව. මිනිහව පක්ෂය විසින් බලයෙන් පහ  කලා. සෝවියට් දේශය වැටිලා ආපු ඊළඟ ආණ්ඩුවේ ජනාධිපති වුනේ ඔහු. නමුත් මිනිහ ඒ රජයේ නම් සම්පුර්නයෙන්ම දුෂණයට ඉඩ දුන්න. 
සමහරවිට ඒ මනුස්සයට අර කල වැඩේ කරගෙන යන් ඉඩ දුන්නනම් කියලත් වෙලාවකට හිතෙනවා. 
දැන් එතකොට "ජනරළ " පත්තරෙත් සෑහෙන්න ලියනවා දුෂණ ගැන. මේ පාර එකෙත් "අලි හොරු හා වන ජිවියේ හොර අලි " ගැන දාල තිබුන ලිපියක්. මම දැනගෙන හිටියේ නැහැ පත්තරේ අනුරට සපෝර්ට් කියල. 

දැන් හඳ කියන්නේ සමාජවාදය නම් එතනට යන ගමන අරගල තුලින් යන එකක් වෙන්න ඕනෙනේ. හොරකම් සහ දුෂණ වලට විරුද්ධ වීම ඒකට අයිති නැත්ද? මේ අති වාමාංශයේ ළදරු වලිප්පුවද?


ප.ලි :  ජවිපෙ තක්කඩිකමක් ඇති ඒ පැත්තේ (පෙසපේ)  ඉඳන් බැලුවහම. නමුත් දුෂණ වලට විරුද්ධවිමෙන් අපි සමාජයට කරන්නේ යහපතක් නොවේද කියන ප්‍රශ්නය මතු කල යුතුයි. 

මාධව වීරසිංහ ගේ පිළිතුරත් මෙහි පල කරනවා:
  "සමාජයක් ප්‍රජාතාන්ත්‍රික පරිවර්තනයකට ලක් කිරීමේදී දූෂන සහ හොරකම් වැළැක්වීම අත්‍යවශ්‍ය කාරනයක්. නමුත් ගැටළුව තමයි ලංකාවේ අබල දුබල, පසුගාමී ධනේෂ්වරයට ඒ සදහා මැදිහත් විමට ඇති නොහැකියාව. 

පසුගිය අවුරුදු 66 දෙස බලන්න. 
කුමක්ද සිදුව ඇත්තේ?

දිනෙන් දින තත්වය වඩ වඩාත් අර්බුදකාරී වන බව දකින්න පුළුවන්. හැම දාම අපි ‍'හොරුන් ඇල්ලීම' සහ 'දූෂන වැළැක්වීම' ගැන බරසාර විදිහට කථා කරනවා. කවුද එවැනි දේ වැළැක්වීමට සක්‍රියව සහ අවංකව මැදිහත් වීමක් කර ඇත්තේ. ඒ වගේම අදාළ පුද්ගලයින්ට දඩුවම් කර ඇත්තේ. කිසිවෙක් නැහැ. තිත්ත ඇත්ත එයයි.

මේ ආන්ඩුව දිහාම බලන්න. රනිල්, මෛත්‍රි, රාජිත, රවි, සහ අනෙකුත් බොහෝ දෙනෙකුට තියෙන්නේ දූෂන සහ හොරකම්වලට සම්බන්ධ හෝ එවැනි දෑ ඉවසූ ඉතිහාසයක්. මීට වසර කිහිපයකට කලින් අපි දැක්කෙ මොකක්ද? එදා ජ.වි.පෙ. කථා කලේ ඉහත කී පුද්ගලයන්ගේ දූෂන සහ හොරකම් ගැනයි. උත්ප්‍රාසාත්මක ලෙස අද වෙන කොට ජ.වි.පෙ. ඒ අය සමග රාජපක්ෂලාගේ හොරකම් අල්ලන්න පෙළ ගැහිලා. 

මේක තමයි ජඩ කම!
මේක තමයි තක්කඩි කම! 

මේ අර්බුදය පවතින ජරාජීර්න සමාජ ක්‍රමයත් එක්කයි ගැට ගැහිලා තියෙන්නේ. විසදුම සම්බන්ධව ඇත්තේ එහි තිරනාත්මක වෙනසක් සමගයි. ඒකට සූදානම් නොවෙන තාක් හොරු ඇල්ලීමේ මෙවැනි සංදර්ශන සහ හොරකම් මෙන්ම දූෂනත් දිගටම පවතීවි. "-

40 comments:

  1. ජෙප්පන්ට ලැජ්ජාව කියලා දෙයක් නෑ. අපරාදේ කියන්නේ යුද්ධයට දේශපාළණ නායකත්වයක් දුන්නේ මහින්ද මහත්තයා. ඒත් යුද්දේ දින්නයින් පස්සේ, ජෙප්පෝ කියපු කතාව තමයි "අපියි මහින්දව යුද්දයට ගෙනිච්චේ නාවන්න ගෙනියන බල්ලා වගේ කියලා".

    ඊට පස්සේ මේ ඡන්දෙදි සම්පූර්ණයෙන්ම කර ඇරියා. ඒ කියන්නේ එයාලා හිතුවේ මේ පාරත් දිනන්නේ මහින්දම තමයි. ඒ නිසා ඉල්ලගෙන කන්න ඕන නෑ.. මක්කා කලත් මිනිහා ප්‍රගතිශීලී පොර, අඩු ගානේ බෝත් ඩේ එකට හරි විෂ් කරනවනේ කියලා. ලංකාවේ වමනේ කාරයෝන්ට අදටත් එජාපය ඇලජික්.

    ඒත් රනිල් මෛත්‍රී දින්නම දැන් ඇවිල්ලා ඒකට අයිතිවාසිකම් කියනවා. මාතලනුත් පොඩි බැකප් එකක් දෙනවා. බැකප් නෙමෙයි, පලා බබා එකේ ඡන්දෙත් දුන්නා. ඒ කියලා එයාලා මේ විප්ලවයට කරපු ලබ්බක් නෑ. අන්තිම දවස්වල පෝස්ටරයක් නම් ගැහුවා.

    දැන් එනවා ලැජ්ජා නැතිව ජයග්‍රහණයේ අයිති කාරයෝ වෙන්න. ජෙප්පොත් එකයි.. රාවය පත්තරෙත් එකයි..

    ReplyDelete
    Replies
    1. /* ඒත් යුද්දේ දින්නයින් පස්සේ, ජෙප්පෝ කියපු කතාව තමයි "අපියි මහින්දව යුද්දයට ගෙනිච්චේ නාවන්න ගෙනියන බල්ලා වගේ කියලා". */

      ඇයි චම්පිකත් කිව්වේ - යුද්ධ කරන්නේ ලබ්බෙන්ද යකෝ කියල ඇහුවාය කියලා!

      Delete
    2. මේ කාටුන් එක දාල තියෙන්නේ ජෙප්පන්ට මඩයක් ගහන්න පෙරටුගාමී සමාජවාදී එකට සහයෝගය දෙන අයෙක් කියලයි මගේ හැඟීම. මම මෙතනින් කියන්නේ අනුර හරි වෙන කවුරු හරි රාජ්‍ය දුෂණයට විරුද්ධව කතා කරනවා නම් කමක් නැහැ කියල. හැමෝටම විප්ලවය කරන්න ඕනේ නැතුව ඇතිනේ.

      Delete
    3. ඔවු අජිත් කවුරුහරි දූෂණ හොයන්නත් එපායැ.නැත්නම් හැමෝම විප්ලව කරල තනි පක්ෂ ආණ්ඩුවක් හදාගත්ත දවසට දූෂන ගැන කතා කරන්න විපක්ෂයකුත් නෑ.
      දූෂන ගැන කතා කරපු එකා ප්‍රතිවිප්ලවවාදියෙක් කියල හංවඩුවක් ගහල මරල දානවනෙ.

      Delete
    4. ඒක නම් වෙන්න පුළුවන්. ඉතිහාසයෙන් උදාහරණත් තිබෙනවා.

      Delete
    5. මෙතන මම කාරණා දෙකක් සාකච්චා කරන්නේ. එකක් ජවිපෙ දුෂණයට විරුද්ධව කතා කරන එක වැරදි නැහැ කියන්න. දෙක ඒවාට උත්තර දෙන අය මෝඩයන් හැටියට ආධාරකරුවන්ගේ තියෙන තක්සේරුව. මේක උදිත මිගහැතන්නත් කොහේ හරි කියල තිබ්බ මන් දැක්කා. කතා කරන්න ගියොත් අනිත් අයව මෝඩයන්ගේ ගණයට දාල තමන් මාර නුවණැති කියල හිතල අපහාසාත්මක ලීලාවෙන් සංවාද කිරීම. එතකොට පක්ෂයකට කෙනෙක් කැමති කරව ගන්නේ කොහොමොද.

      Delete
  2. ඇත්තමයි කියන්නෙ අජිත් මහත්මය
    මේ වගේ ලිපියකට කියන්න තරං දෙයක් නෑ මට...
    ඒත් ජයිපෙ කියන්නෙ වෙලාවකට ලංකාවෙ තියෙන අධම පක්ෂයක්(කරන කියන වැඩ අනුව) ඊට වඩා වෙනස් පක්ෂයක් අපිට බලංපොරොත්තු වෙන්න මාරුයි

    ReplyDelete
    Replies
    1. මේ කාටුන් එක දාල තියෙන්නේ ජෙප්පන්ට මඩයක් ගහන්න පෙරටුගාමී සමාජවාදී එකට සහයෝගය දෙන අයෙක් කියලයි මගේ හැඟීම. ජවිපෙ වැරදි ඇති ගොඩක් තැන්වල. නමුත් දුෂණයන්ට විරුද්ධව ඕන කෙනෙක් කතා කරනවට මම පක්ෂයි.

      Delete
  3. ධනපති ක්‍රමයේ වැරදි අඩු කළාම ඒ ක්‍රමයේ පැවැත්ම තවත් දිගු වෙනවා කියන එකනේ ඒ තර්කයේ මූලික හරය. එය න්‍යායාත්මකව නිවරැදියි!

    ReplyDelete
    Replies
    1. ඒක න්‍යායාත්මකව නිවරැදි වෙන්න එහෙම න්‍යායක් තියෙන්න එපැයි රසික. මාක්ස්ගේ ලෙනින්ගේ ට්‍රොට්ස්කිගේ පොත්වල එහෙම න්‍යායක් තියෙනවද? ධනපති ක්‍රමය කියන්නේ සර්ව සාධාරණ ක්‍රමයක් නොවන බව ඇත්ත. නමුත් ධනපති ක්‍රමය වැඩ වසම් රාජාණ්ඩු යුගයට වඩා ප්‍රගතිශිලියි. නමුත් ධනපති යුගයේ වැඩ වසම් ලක්ෂණ සම්පුරණයෙන් නැති වෙන්නේ නැහැ. ඒවාට විරුද්ධව අරගල යන්නේ එකයි. ඒවාට සහයෝගය දිය යුතුයි. ධනපති ක්‍රමයේ වැරදි දු කලාම එක තවත් දිගු වෙනවා කියන එකම දයලේක්තික ක්‍රියාවලිය නොදන්නා අයගේ බොළඳ කතාවක් පමණයි. මම මේ හිනා වෙන්නේ ඒකට.

      Delete
  4. අපි මෝඩයෝ.. හඳ පෙන්නනකොට ඇඟිල්ල හරි පේන්නේ අපි ඒ දිහා බලන්න උත්සාහ කරන නිසා.. ඒ වුනත් ගොඩාක් පන්ඩිතයෝ හඳ තියා ඇඟිල්ලවත් දකින්නේ නෑ. හැබැයි ඔය සමහර උගත් පණ්ඩිතයන්ගේ නම් සියලු පන්ඩිතකම් තියෙන්නේ දේශපාලන දොල පිදේනියක් ලැබෙනකම් විතරයි.

    ජවිපෙ ගැන එක් එක් සිදුවීම් හරහා නැතුව සමස්ථ ක්‍රියා පටිපාටියම (පොලිසි එක කිව්වත් වරදක් නෑ) දිහා බලනවනම් මාතලන් හිතනවට වඩා කොලිටි එකක් එතන තියෙනව කියල මටනම් හිතෙන්නේ. ජනාධිපතිවරණෙදි උනත් විකල්ප පක්ශයක් විදියට ඔවුන් හිටි ස්ථාවරය හරි.

    ReplyDelete
    Replies
    1. එක පැත්තකින් හරි.. නමුත් මේ සද්දේ ඒ කාළේ නොතිබුනේ ඇයි.. එතකොට මෙයාලත් මේ හොරකම් දූෂන වංචා ගැන දන්නේ දැන්ද? ඒ කාළෙත් ඔය දූෂන අල්විස් උන්නැහේගේ ඔෆීස් එක ඔතනම තිබුනා නේද? වෙන උන් පෙරලුවාම මෙයාලා ඇවිල්ලා බල්ටි ගහනවා.. ඒ මදිවට නියත් විවරණ දෙන්නත් යනවා...

      Delete
    2. කට්ටිය මෙතන සෑහෙන්න වරද්දගේනනේ. මේ කාටුන් එක දාල තියෙන්නේ ජෙප්පන්ට මඩයක් ගහන්න පෙරටුගාමී සමාජවාදී එකට සහයෝගය දෙන අයෙක් කියලයි මගේ හැඟීම. මන් දන්නා විධිහට ජවිපෙ නිහඬව හිටියේ පෙරටුගාමී පක්ෂ දෙකම කියනවා වගේ විකල්පය තව ධනවාදී රජයක් නොවේය කියන එකට වෙන්න ඇති. නමුත් දුෂණ වලට විරෝධිව කතා කරන එක මාක්ස්වාදී නොවේ , සමාජවාදය පිහිටුවීම ගැන හැම වෙලේම කතා කරලා එතනට යන්න කියන්නේ ටිකක් බොළඳ කතාවක්.

      Delete
  5. මෙහෙමයි...................

    ජවිපේ කියන්නේ ලංකාවේ හිටපු තුන්වැනි බලවේගය.. ප්‍රතිශතය අතින් පහළ වුණාට ඒක අැත්තක්... නමුත් මෑතක සිට ඡන්දයන් බලාගෙන හැදෙන හතු පිපෙන්නාහේ බලවේග තුන්වැනි තැනට අාවාට ලංකාවේ ස්ථීර තුන්වැනි බලවේගය තාමත් ජවිපෙ තමයි.... මේක ජවිපෙ විතරක් අරන් කතා කරනවාට වඩා හෙළ උරුමයත් ගන්න අැහැකි.. මේ පක්ෂ තමයි බහුතර සුළු පක්ෂ විදිහට ගන්න හැකි...

    දැන් බලන්න මහා බලයක් තිබුණ අාණ්ඩුවක් පෙරලුවේ මෙයාලා නෙමේද??? රතන හාමුදුරුවෝ අැතුළු පිරිසයි පළවෙනියට බැස්සේ... ඒක තමයි කලින් අාණ්ඩුවේ පරාජයේ මුල. මේකට තමයි කියන්නේ සුළුතර පක්ෂ රටේ බලය හසුරුවනවාය කියලා.... මේ වගේ ස්ථාවර තත්වයක් තුළත් ඔවුන් සක්‍රීය ව දේශපාලනය හසුරුවනවා.... ඒ වෙලාවේ ජවිපෙ ප්‍රවේශය අමුතුම ඒකක් වුණා.. ඒත් ඒක තාර්කිකයි... ඔවුන් මහින්දගෙන් කරගන්න බැරි දේ රනිල් ලවා කරගන්නවා... හැම දේම රනිල්ගෙන් කරගන්නත් බැහැ.. රනිල් ඒක්ක ඒකට වාඩි වෙලා ඉන්න බැරි බව අැත්ත.. ඒත් චම්පිකලා අදාල වැඩේ කරගත්තාට පසු මේකත් විවේචනය කරනවා.... ඔවුන්ට අවශ්‍ය වෙලාවට මේකත් පෙරළන්න බලනවා.. ඒක තමයි ජවිපෙ අැතුළු තුන්වැලි බලවේගයේ හැටි....

    තමන්ට කවදාවත් බලය ගන්න බැහැ. ඉතින් බලය පෙරළීමේ හැකියාව භාවිතා කරමින් දේශපාලනය කරනවා... මේක ඉතා වැදගත් වන්නේ ජනතාවට... මොකද මේ වෙලාවේ වැඩි වාසිය තියෙන්නේ ජනතාවට.. මේ වෙනස් වෙන හැමදෙයක් ම ජනතාවාදී දේවල්.... ඒකාධිපති දේවල් මේ ක්‍රමය තුළ කරන්න බැහැ....

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත. සුළු පක්ෂවල සාමාජිකයන්ගේ කැපවීම වැඩි නිසා ඔවුන් ඉදිරිපත් කරන මටහ්ය ප්‍රබලව පේනවා.

      Delete
  6. අපි ඉන්න ක්රඅමය ඇතුලෙ හැමදෙකම වගේ තියෙන්නේ දූෂණය හොරකම වංචාව, මේ ක්ර මය ඇතුලේ දූෂණය හොරකම වංචාව නැතිකරන්න බැහැ, මොකද හැමෝම දගලන්නේ තනියම බුදුවෙන්න. කොහොමහරි ක්රවමයකට ගොඩයන්න. අපි හැමොම හදාගත්ත සිහිනයක් පස්සේ දුවනව එක මිරිගුවක් කියල දැනුනත් game 1 අතහරින්නේ නැහැ. මේ ක්රසමය ඇතුලේ කොයිතරම් system හැදුවත් දූෂණය හොරකම වංචාව නැතිකරන්න බැහැ,
    අපි හිතන විදිහ වෙනස්කරල, මේ ක්රිමය වෙනස් කරන්න ඕන, මිනිස්සුන්ගේ ජිවිතවල ගැටලු තියෙන්නේ දූෂණය හොරකම වංචාව තියෙන නිසා නෙමෙයි, දූෂණය හොරකම වංචාව තියෙන්නේ මිනිස්සුන්ගේ ජිවිතවල ගැටලු තියෙන නිසා,
    දූෂණය හොරකම වංචාව අවම කරන්න අරගල කලයුතුයි එත් ඒක අංක 1 නෙමෙයි , අංක 3ට 4ට. මේ වෙලවෙ අංක 1ට මේ ප්රනශ්නය ගෙන 1න් සමාජයට ලැබෙන ජයග්රමහන අඩුයි ( නැහැ නෙමෙය)

    ReplyDelete
    Replies
    1. ඒක හරි. නමුත් මේ පෙරටුගාමී සමාජවාදී එකමනේ කියන්නේ ජවිපෙ දැන් සමාජ ප්‍රජාතන්ත්‍රවාදී සුළු ධනේශ්වර එකක් කියල. ඉතින් අනුර කෑ ගැහුවා දෙන දුෂණයට විරුධ්ද්ව පාර්ලිමේන්තුවේ. අජිත් කුමරාත් කරනවනේ ඒක. එක පෙන්නලා දෙනකොට අපට මෝඩයෝ කියන අය හරි නුවනක්කාරද? අනික මේක වෙනස් කරලා එන සමාජවාදය මාර හොඳ එකක් කියලද මෙයාල කියන්නේ. මනෝරාජික සමාජවාදීන් නේ මේ .

      Delete
    2. අනික අරගලය හැම පැත්තෙන්ම වැඩෙන එකක්. එකට 1, 2, 3 හතරක් නැහැ. සුමිත් චාමින්දගෙන් වත් අහන්න ලක්ලව් ගේ පාවෙන හැඟවුම් කාරක ගැන.

      Delete
  7. මං W3Lanka බ්ලොග් එකෙත් මේ වගේම කමෙන්ට් එකක් දැම්මා.
    ජනවාරි 8වැනිද වුනේ අන්ත දූෂිත ධනපති පාලකයා වෙනුවට ප්‍රජාතන්ත්‍රවාදී ධනපති පාලකයෙක් පත් කරගත්තු එකනෙ. ඉතින් මේක ගැන විවිධ විවේචන විවිධ අයට කරන්න පුළුවනි.
    ධනපති ප්‍රජාතන්ත්‍රවාදය කියන්නෙ කම්කරු පන්තියේ ප්‍රජාතන්ත්‍රවාදය වගේ ජනහිතකාමී පාලන ක්‍රමයක් නෙවෙයි. මම දකින දේශපාලන තත්වය මෙහෙමයි.

    රාජපක්ෂ පාලනය ප්‍රජාතන්ත්‍ර විරෝධී, ප්‍රතිගාමීී තන්ත්‍රයක්. ඒක පෙරළගන්න වුවමනා වුනා ධනේශ්වරයට. ඒක සත්‍යයක්. ඒකට තවත් ධනපතීන් නොවන අයත් උදව් කළා. සමහර පක්ෂ උදව් කළේ නැත්තෙ ධනපති පංතියේ අර්බුද ලිහල දෙන්න අපට අවශ්‍යතාවක් නැහැ කියන පදනමින්. ඒ වුනත්, රාජපක්ෂ පාලනයේ ප්‍රතිගාමිත්වය ගමන් කළේ, වේගයෙන් ගමන් කළේ වැඩවසම්වාදය හරහා ම්ලේච්ඡත්වය දක්වායි. ජනවාරි 8 කඩාවැටුනේ නැත්නම් ඒ ගමන යනවා. එතකොට සමාජවාදය ඇති කරන්නෙ කොහොමද? ම්ලේච්ඡ සමාජයක ග්‍රොත්‍රික සමාජයක සමාජවාදයක් බිහි කළ හැකිද?

    ReplyDelete
    Replies
    1. එකඟ වෙන්න පුළුවන්

      Delete
    2. හෙනහුරා ඒක හරි. මමත් ඒ මතයේ තමා ඉන්නේ. එකේම දේ දුෂණ ගැන කතා කරන්න එපා . ඉලනගට එන සමාජවාදී ක්‍රමය ගැන විතරක්ම කතා කරන්න කියන්නේ බොළඳ කමට. අරගලය හැම පැත්තෙන්ම වැඩෙන එකක්.

      Delete
  8. මේ අය මෙහෙම තර්ක කරන්නෙ ධනපති ක්‍රමය ඉන් පසු සමාජවාදය ඊටත් පස්සෙ කොමියුනිස්ට් ක්‍රමය කියන මාක්ස්ගෙ සමාජ ප්‍රගමනය ඒ විදියටම සිදුවෙනව කියල ඇදහිල්ලෙන් .නමුත් සැබෑ ලෝකෙ එහෙම දෙයක් සිදුවෙන්නෙ නෑ.ඒ සිහිනයෙ ඉදන් හිතන පෙරටුගාමී අයට ජවිපෙ ගැන ලොකු කළකිරීමක් ඇතිවෙන්නෙ.ඈ යකෝ මේ නිරන්තර ගැටුම් තුලින් කඩාවැටෙන්න යන ධනපති ක්‍රමයට ජවිපෙ මුක්කු ගහනවනෙ කියල ඒ අය හිතනව.

    ReplyDelete
    Replies
    1. මධ්‍යස්ත මතධාරිය හා හෙනහුරා තමා ලිපියේ තේරුම දැකල තියෙන්නේ. මාක්ස්ගේ ඒ කිව්වා විධිහට සමාජ ක්‍රමය වෙනස් වෙනවා කියල මමත් පිලි ගන්නවා විද්‍යානුකුලව ඒක හරි කියල මමත් හිතනවා. නමුත් පෙරටුගාමී සමාජවාදීන් හිතනවානම් අරගලය කියන්නේ කොමියුනිස්ට් ක්‍රමය පිහිටුවීම ගැන කථා කරන එක විතරයි කියල ඒක වැරදියි. ජවිපෙ මුක්කු ගහනවා ඇති. සභාග වලටත් යනව ඇති. ඒක ඒගොල්ලන්ගේ වැඩක්. නමුත් මොකා හරි මොන රජයක හරි දුෂණයට විරුද්ද වෙනවනම් ඒකට මම සහයෝගය දෙනවා. දුෂණ ගැන කතා කල කියල ධනපති ක්‍රමය හොඳ වෙලා ජනතාවට හොඳ වුනහම කොමියුනිස්ට් ක්‍රමයක් එන්නේ නැහැ කියල හිතන එක දේශපාලන කුහකත්වයක් වගේම බොළඳ කමක්.

      Delete
  9. මගේනම් අදහස දූෂණ ගැන සොයන්න හොඳම කට්ටිය තමා ජවිපෙ. ඒක හරිද නැද්ද මන්ද. ඒ මගේ දැක්ම. (සමාජවාදී න්‍යායනම් බරවැඩියි සීයෙ අපිට)

    ReplyDelete
    Replies
    1. ජවිපෙ කට්ටිය ගේත් අර කවුද මානගේ කියල පලා බබෙක්ගේ ළමයෙක් ඉස්කෝලෙකට දැම්මා කියල කතාවක් ගිය නේද? බර වැඩි දේවල් කියල හිතුවට ටිකක් කියෙව්වොත් තේරෙයි මහා ලොකු දෙයක් නැහැ කියල.

      Delete
  10. න්‍යාය භාවිතය කොහොම වුනත් ප්‍රායෝගිකත්වය ඕනෙකරන වෙලාවකදී ඒ දේ කවුරුකලත් එතන ගැටළුවක් නෑ කියල තමා මමනම් හිතන්නේ.මෙතන තියන ලොකුම ප්‍රශ්නේ තමා හැමෝම ජ.වි.පෙ.න් බලාපොරොත්තු වෙන්නේ 100% සුපිරිසිඳු දේශපාළනයක් වීම.ඒ හැමෝම ජ.වි.පෙ.එක කියන්නේත් දේශපාළන පක්ශයක් කියන එක අමතක කරනවා.අනික ඔවුන් තව දුරටත් සමාජවාදී පක්ශයක් නෙමෙයි.ඔවුන් ඒ පාරෙන් අයින්වෙලා ගොඩකල්.

    ReplyDelete
    Replies
    1. ඔව් ඒක එහෙම වෙන්න පුළුවන්. මෙතන මම කාරණා දෙකක් සාකච්චා කරන්නේ. එකක ජවිපෙ දුෂණයට විරුද්ධව කතා කරන එක වැරදි නැහැ කියන්න. දෙක ඒවාට උත්තර දෙන අය මෝඩයන් හැටියට ආධාරකරුවන්ගේ තියෙන තක්සේරුව.

      Delete
    2. මට රිප්ලයි නෑ... ඈ....ඈ...ඈ... (අදිනව රැවුලෙන් සීයගෙ)

      Delete
    3. අර දැම්මේ=. දැනුයි මේක දැක්කේ. අනේ ආච්චියෙ සොරි .

      Delete
  11. jvp එක පිළිගන්නේ සියලු ගැටලුවලට මුල ධනවාදය කියලා නේ. ඉතින් ඔවුන්ට අනුව හිතුවොත් ධනපති ක්‍රමයේ වැරදි හදලා එය දිගු කරන්නට යාම ඔවුන්ගේ චින්තනයට ප්‍රතිවිරුද්දයි. ඒක නිසා එම කාටුන් එකේ තර්කය හරි.
    නමුත් ඔබට මෙන්ම මාක්ස්වාද ලෙනින්වාද නොඅදහන අපට නම් වෙන්න ඕන පවතින ක්‍රමයේ වැරැද්දට විරුද්ධ වීම කියන මතය අනුව නම් jvp එකේ වත්මන් ක්‍රියාකාරීත්වය ගැටළුවක් නැහැ. මෙතැන ඔබ පිළිතුරු දුන්නේ එම රාමුවේ සිට නමුත් කාටුනය ඇඳලා තියෙන්නේ jvp එකේ රාමුවේ හෝ සාමජවාද ලෙනින් වාද මාක්ස්වාද අදහන රාමුවක සිට. එහිසිට බලන විට ඔබ දුන් පිළිතුර නිවැරදි නැහැ.

    ReplyDelete
    Replies
    1. මෙතන අදහස් පලකල කීප දෙනෙකුම වරදවා වටහා ගැනීමක් කරනවා.
      1. මෙතන ඔබ කියන කථාව කියන්නේ /යලු ගැටලුවලට මුල ධනවාදය කියලා නේ. ඉතින් ඔවුන්ට අනුව හිතුවොත් ධනපති ක්‍රමයේ වැරදි හදලා එය දිගු කරන්නට යාම ඔවුන්ගේ චින්තනයට ප්‍රතිවිරුද්දයි. ඒක නිසා එම කාටුන් එකේ තර්කය හරි. // පෙරටුගාමී සමාජවාදීන්. ඔවුන් අනුර කුමාරට හිනා වෙනවා ධනවාදය පරද්දන්න තියෙද්දී දුෂණ ගැන කතා කරනවා කියල. මම ඇහුවා ඇයි ඒක වැරදිද කියල? මක්ස්ලෙනින්වාදීන් දුෂණ ගැන නොව පන්ති අරගලය ඉදිරියේ තබන බව ඇත්ත. නමුත් මෙතන මම හොර අල්ලන්න එපාද කියල ඇහුවාම , උත්තරය ලැබුනේ මෝඩයා බලන්නේ ඇඟිල්ල දිහා බවයි. මෙතන ටිකක් දුර ප්‍රශ්නයක් තිබෙනවා. මිනිසුන්ට යම් සහනයක් ලැබෙනවනම් , රටකට සහනයක් ලැබෙනවා නම් දුෂණ මැඩ පැවැත්වීමෙන් මක්ස්ලෙනින්වාදීන් හැටියට කියල අප එයට විරුද්ධ විය යුතු නැහැ ? එකෙන් අදහස් වෙන්නේ එතකොට මක්ස්ලෙනින්වාදීන් දුෂණයට පක්ෂ බවද? දුෂණ හදල ධනවාදය හරි වුනොත් සමාජවාදය පරක්කු වෙනවා කියන්නේ ඒක හරියට ඉගෙන ගත්තේ නැති අය. එහෙමනම් ඉතින් අප්‍රිකාවේ තම පළමුවැනි සමාජවාදී විප්ලවය වෙන්න ඕනේ. මේවා පොල්පොට්වාදීන්ගේ කතා. මක්ස්ලෙනින්වාදියෙක් මුලිකවම මිනිසුන්ට ආදරෙයි. ඔවුන් කෙරෙහි ඇති ආදරය නිසා තමා සමාජවාදය අපේක්ෂා කරන්නේ. ධනවාදය හොඳ වුනොත් සමාජවාදය එන්නේ නැති නිසා දුෂණ ගැන කතා කරන්න එපා කියන එක තේරුමක් නැති කතාවක් වන්නේ ඒ නිසයි. ජවිපෙ දුෂණ වලට විරුද්ධ වෙන එක මට ප්‍රශ්නයක් නොවේ.

      Delete
    2. //උත්තරය ලැබුනේ මෝඩයා බලන්නේ ඇඟිල්ල දිහා බවයි. //
      අනිවාර්යෙන්ම ඔහු ඔබට දීපු පිළිතුර නම් වැරදියි. අපේ බොහොමයක් සමාජවාදීන්ට ඔවුන්ගේ මතයට විරුද්ධ ව තර්ක කරන අය පෙන්නේ ඔහොම තමයි.

      Delete
    3. ඒකයි මම උත්තර දෙකම දැම්මේ. දෙවෙනියට උත්තර දුන්න කෙනා බැලන්ස්ව උත්තරේ දීල තිබෙනවා. අපි මෙහෙම ප්‍රශ්න අහන්නේ සංවාදයකට ඇදගන්න කියල තේරුමක් නැතිකම. මේගොල්ලෝ එක්ක කොහොමද සමාජවාදය හදන්නේ.

      Delete
  12. භෞතික විද්‍යාවේ කියවෙන තාප ගතිකයේ දෙවන නියමයේ දාර්ශණික අදහස ගත්තොත් විශ්වය සැමවිටම වඩා අපිලිවෙල වීමට නැඹුරුවක් තිබෙනවා
    උදාහරනයක් හැටියට පුස්තකාලයක පොත් අවුල් කරන්න විශේෂ වැඩපිලිවෙලක් අවශ්‍ය නෑ නමුත් ඒ පොත් පිලිවෙලට පවත්වාගෙන යන්න විශේෂ කාර්යමණ්ඩලයක් අවශ්‍යයි.
    මේ තත්වය සමාජයකට ආදේශ කලහොත් ධනවාදී සමාජයක් සමාජවාදයට හැරවීමටත් එම තත්වයෙන්ම පවත්වා ගැනීමටත් විශේෂ ආයාසයක් අවශ්‍යයි.
    නමුත් සමාජ වාදී සමාජයක් ධනවාදයට හරවත්න විශේෂ වැඩපිලිවෙලක් අවශ්‍ය නැහැ

    ReplyDelete
    Replies
    1. සමාජවාදයේ පාලකයා තෝරාගැනීමේ වරමක් ජනතාවට නැති නිසා දුෂිත නිලධාරීන් සමාජ වාදය හරහා බිහිවුනාම සමාජවාදය බිඳින්න නම් ලේ අමාරුයි

      Delete
    2. එතන තමා සමාජවාදය කියා අප දැක්ක දේ වැරැද්ද. ඒකට කිව්වේ නිර්ධන පන්තියේ ආඥාදායකත්වය කියලනේ. ජගත් කියන එකත් හරි වගේ දාර්ශනිකව බැලුවොත්. නමුත් සමාජවාදය තුල පුරවැසි බලය ඒ ආකාරයට රැගෙන යා යුතු කියලයි මම හිතන්නේ. මෙහෙම ප්‍රශ්නෙකට දෙන උත්තරෙන් අනිත් අය පහල දමන අයට රාජ්‍ය බලය ලැබුනම පොල්පොට් ලට අන්ත වෙයි.

      Delete
  13. "පුර්ණ සමාජවාදයේදී රාජ්‍යය අහෝසි වෙනව කියල මාක්ස් ම කියල තියනවනේ"
    ඔය කිසිම වාදයක් පූර්ණ ලෙස කොහෙවත් තිබිල තියනවද?

    ReplyDelete
    Replies
    1. ඒක එතන ලියල තියෙන්නේ සෝවියට් වැසියන් ජෝක් එකකට කියපු දෙයක් හැටියට. පුර්ණ ධනවාදය කියල එකක් තියෙනවද?

      Delete
    2. කිසිම දෙයක් 100 % සර්වසම්පූර්ණ නෑනෙ. ආගම් අදහන්නනන් තම විශ්වාසයන් සර්ව සම්පූර්නයයි හිතනව ඇති. ඒ හැර වෙන කිසිවෙක් කිසිම දෙයක් ගැන එහෙම හිතන්නේ නෑ නේද?

      Delete
    3. බැහැ. මෙතන කියන්නේ මේකයි. පුර්ණ සමාජවාදයේදී හෙවත් කොමියුනිස්ට්වාදී සමාජයේදී රජය අහෝසි වී ය යුතුයි කියල මාක්ස් කියලා තියනවනේ. ඉතින් සෝවියට් රජය හා නිලධාරීන් හුඟක් දුෂිත නිසා , සෝවියට් වැසියෝ කියන්න ගත්ත කොමියුනිස්ට්වාදී සමාජයේදී රජය අහෝසි වී යන නිසා දුෂනයත් අහෝසි වෙනවා. එතකන් බලා ඉඳිමු කියල. (හැබැයි ඔබ කිව්වා වගේ ඒක කවදාවත් වෙනවා කියල ඔවුන් බලා පොරොත්තු වුනේ නැහැ. )

      Delete

සියලු හිමිකම් අජිත් ධර්මකීර්ති (Ajith Dharmakeerthi) සතුය. කොළඹ ගමයා බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ අජිත් ධර්මකීර්ති යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ.
මෙහි පලවන ලිපි සහ දේශපාලන අදහස් මගේ පෞද්ගලික අදහස් පමණි.
ඔබේ ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. නමුත් වෙනත් කෙනෙකුට සාධාරණ හේතුවක් නැතුව පහර ගසන අශිලාචාර අන්දමේ ප්‍රතිචාර පමණක් පල නොකෙරේ. බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ස්තූතියි .