Friday 3 April 2015

නෙළුම් යාය සම්මාන උළෙලේදී කළ හැඳින්වීම

ආයුබෝවන්,  අපගේ ආරාධනය පිළිගෙන අද දින මෙහි සපැමිණි ආරාධිතයන්  ඇතුළු මෙහි පැමිණි ඔබ සැමගෙන් අවසරයි , නෙලුම් යාය සහෘද සමුහය වෙනුවෙන් අපි ඔබ සැවොම සාදරයෙන් පිලිගන්නවා.
සම්මාන උළෙල
පුරවැසි ජනමාධ්‍ය භාවිතාව  ප්‍රචලිත කිරීමටත් , බ්ලොග් කරුවන් සමාජයේ දැනුම් නිම්තෙර පුළුල් කිරීම උදෙසා කරන සේවය ඇගයීමටත් බ්ලොග් ලෝකයේ නුදුටු මානයන් හඳුන්වා දීමට  නෙලුම් යාය සහෘද සමුහය සංවිධානය කරන බ්ලොග් උළෙල තමා මේ. 

අද දින ආරාධිතයෙකු ලෙස මෙහි පැමිණෙන යහපාලන අමාත්‍ය කරු ජයසුරිය මහතා දැන් දෙවරක්ම  වගේ තොරතුරු දැන  ගැනීමේ පනත පාර්ලිමේන්තුවට ගෙනාව . එය දෙවරක් ප්‍රතික්ෂේප වුණා  . අපි හිතනවා මේ රජය යටතේ එතුමාට මෙය සම්මත කර  ඉදිරියට ගෙනයාමට හැකි වේවි කියල. තොරතුරු දැන  ගැනීමේ පනත,  මාධ්‍ය නිදහස සුරැකීම හා පුරවැසි මාධ්‍යකරණය යටතේ ඉතා වැදගත් වෙන පනතක්.

 බ්ලොග් ගැන
 අප දන්නවා ඉංග්‍රීසි බ්ලොග් නම් සැහෙන කලක සිට ජනප්‍රියයි. සමහර ඉංග්‍රීසි බ්ලෝග වලින් මිලියන ගණන් මුදල් හම්බ කරන අයත් සිටිනවා. ඒ වගේම ජනතාවට අධ්‍යාපනය ලබා දෙන්න , තම මතය නිදහසේ පල කරන්නත්  මේ බ්ලොග් භාවිතා වෙනව. සිංහල බ්ලොග් පටන් ගත්තේ මන් හිතන්නේ 2004 වගේ කාලෙක. බොහොමයක් බ්ලොග් පටන් ගත්තේ රටේ පැවති  දේශපාලනය විමර්ශනය කරන ඒවා හැටියට. නමුත්  ඒවා වැඩිකල් දිව්වේ නැහැ. නොයෙකුත් තර්ජන ආව නිසා ගොඩක් ඒවා වැහුන. ටික දෙනෙක් වෙනත් රටවල සිට ආරූඪ නම් වලින් මේවා රැගෙන ගියා. 2010 වෙනකොට හැබැයි වැඩි දෙනෙක් සිංහල බ්ලොග් කරණයට යොමු වෙන්න පටන් ගත්ත. දැනට සිංහල බ්ලොග් 200 කට වඩා තිබෙනවා. (දේශකයාට අනුව 300කට වඩා).

විවිධ  මාතෘකා යටතේ දේශපාලනය, කෙටි  කතා , කවි, සංචාරක සටහන්. හමුදා කතා, නේවි  කතා, විහිළු කතා, පෞද්ගලික අත්දැකීම් මේ හැම දෙයක්ම බ්ලොග් වල පලවෙනවා. නොයෙකුත් මාධ්‍ය වලින් විටින් විට කිසියම් ප්‍රසිද්ධියක් ලබා දුන්නා කියලත් අපට අදහසක් තිබෙනවා. නමුත් මේක මෙතනින් එහාට මේ පුරවැසි මාධ්‍යකරණය සිටින  සිමිත පාඨක  පිරිසෙන් එහාට පුළුල් කිරීමේ සුදානමක් පෙනෙන්න
තිබුනේ නැහැ. ඉතාමත් නිර්මාණශීලි බ්ලොග් කරුවන් සිටියත් චානුක වත්තේගම, නාලක ගුණවර්ධන වැන්නන්  පෞද්ගලිකව  උදව් කලත්  ප්‍රධාන පෙලේ ජනමාධ්‍ය තුලින් ඉඩ දුන්නේ  පිලි ගැනීමක් ඇති  මාධ්‍යකරුවන්ට පමණයි. ඔවුන් ලියුවෙත් තිබෙන සම්ප්‍රදායික පුවත්පත් (වෙබ් හා වෙබ් නොවන )  හා රුපවාහිනියට වැඩ සටහන් ඉදිරිපත් කිරීමත් පමණයි.  නමුත් කිසියම් ධනවතුන් ප්‍රමාණයක් මේ මාධ්‍ය මිලදී ගැනීමත් සමග ඒවායේ නිදහස අහිමි වී යාමක්  දැඩි ලෙස පෙනුනා.

තර්ජන
අප  දන්නවා මිට අවුරුදු කීපයකට ඉහතදී 2011 වගේ කලෙක ලෝකයේ ප්‍රබලතම  සමාජ ජාලය වන facebook හරහා උතුරේ වැලි ගොඩ දැමීම් ගැන සටහනක් තියපු උතුරේ සමාජජාලා පුරවැසි මාධ්‍යකරුවෙක් එදිනම රාත්‍රියේ  හිසට  වෙඩි තබා ඝාතනය කල බව.
මෙතන දි අපට පෙනෙන්නේ තොරතුරු දැන ගැනීමේ අයිතිය සමාජයට ලැබෙනවාට බය වෙන්නේ , තැති ගන්නේ හොරු  සහ දුෂකයෝ බව.  පුවත්පතක පලකරනවට වඩා ලෝකය පුරා සමාජ ජාල තුලින් ප්‍රවෘත්තිය සැනෙකින් පැතිර යනවා. හොරු සහ දුෂකයන් ඊටත් වඩා බය ඒකට.

සංවාදයකදී සමහරවිට ආගමික නායකයෙකුට අපහාස කලාය  වරදවා වටහගෙන කියල තර්ජන කරන්න  එන අය  ඉන්නවා. මට එහෙම අවස්ථාවල් කිහිපයක් පසුගියදාත් ඇති වුණා. අපි දන්නවා යම් බ්ලොග් කරුවන්ට තර්ජන එල්ල වෙලා බ්ලොග් ලිවිම නැවැත්වූ බව පවා. මෙහිදී ක්‍රම  තිබෙනවා නාඳුනන (anonymous) විධිහට ආවත් ආපු ලිපිනය හොයා ගන්න.
බොහෝ රටවල මරණ තර්ජන කර තිබෙනවානම් පොලිසියට දන්වා එම විස්තරය සමග ගුගල් හෝ අන්තර් ජාල සැපයුම් කරුට  (ip provider) යැවු පසු ඔවුන් බැඳී සිටිනවා  තර්ජනය කල අයගේ විස්තර සපයන්න. ඉන්පසු නීතිමය ක්‍රියා මාර්ග ගන්න පුළුවන්. එහෙම නීති නැත්නම් අපි ඉල්ලා සිටිනවා ශ්‍රී  ලංකාවේ එය ක්‍රියාත්මක කල යුතුයි කියල.

බට්ටි
උප්පැන්න සහතිකයක් නැති හැඳුනුම්පතක් නැති සහ සමාජයේ අවමන් සහගත චරිත සහතිකයක් ඇති ලෝකයේ පැරණිම වෘත්තියේ යෙදුන යයි කියන රත්න පුරේ බට්ටි (ඩබ්ලිව් ඒ කාන්ති ) නමැති කාන්තාවට වූ අසාධාරණයේදී නීතියේ මුදුන්මල්කඩ වන ශේෂ්ඨාධිකරණය වෙත  යුක්තිය පසිඳලීම සඳහා  රැගෙන ගියේ පුරවැසි  ජන මාධ්‍ය. එය පුරවැසි මාධ්‍යකරුවෙකු විසින් සමාජ ජාල ගත කලා. දහස් ගණනක් ඉතා සුළු කාලයකදී එය නැරඹුවා.  සමාජ ජාල හා පුරවැසි මාධ්‍ය වල ප්‍රබලත්වය මින් පැහැදිලි වෙනවා.
එය සංකේතවත් කරන්න බට්ටි ගැන ලියු කවියකට අපි අද සම්මානයක් දෙනවා.

නෙලුම් යාය
නෙලුම් යායේ මුලදී පල කලේ සුනිලා අබේසේකරගේ  හා තවත් දෙතුන් දෙනෙකුගේ ලිපි කවි සංකල්පනා පමණයි. බ්ලොග් වලට ඇවිත්  බලන්නේ අහම්බෙන්. එහෙම  නැත්නම් අපි ලින්ක්-යොමුව  යවන යහළුවන් පමණයි.නමුත් බ්ලොග් කියවගෙන යද්දී අපට වැටහුනා නෙළුම්  යායේ පල කරන බ්ලොග් ලිපි වලට සැහෙන ප්‍රතිචාරයක් ලැබෙන බව.  ඉතින් අපි  පටන් ගත්ත තවත් බ්ලොග්  පල කරන්න. නමුත් බ්ලොග් වල නිර්මාණාත්මක ලිපි , කෙටි කතා , කවි ආදිය  පලවෙන ප්‍රමාණයට බ්ලොග් 3ක ඉඩ ප්‍රමාණයක් මදි වුණා. දැන් 15ක් දානවා. ඒත්  අපට අවකාශය මදි.
ඉතා සතුටුයි කියන්න අද සිට  වඩා ඉඩ ප්‍රමාණයකට යනවා. www.nelumyaya.com තමයි ඒ.
එසේම ඉතා සතුටුයි කියන්න නෙළුම් යායේ සුපිපුණ නෙළුමක් තමා "රෑ ඉර පාන " අඩවිය. එහි බන්දුල නානායක්කාරවසම් අද මෙහි අපේ ආරාධනයෙන් පැමිණ සිටිනවා. 

http://www.rairapaana.com/

පහත සඳහන් වර්ගීකරණයෙන්. මේ හැම කැටගරියටම, වර්ගීකරණයටම ඉදිරියේදී සම්මාන දෙනවා.
දේශපාලන 
සංවාද (කාලීන) හෝ කාලීන සංවාද 
 කවි / නිසඳැස් 
 හයිකු 
 කෙටි කථා 
18 ප්ලස් 
 විද්‍යා ප්‍රබන්ධ 
 තාක්ෂණ 
  ඡායාරූප
නිවස 

සම්මාන 
අපි කල්පනා කලා මේ බ්ලොග් කරුවන්ට දිරි ගන්වන්න අපි සම්මානයක් පොත් වවුචර් ටිකක් වගේ මොනවා හරි දෙන්න ඕනේ.  හොඳ ලිපියක් කවියක් තෝරන්න ඕනේ කියල. අපෙන් බ්ලොග් කරුවෝ කවුරුවත් ඇහුවේ නැහැ ඉල්ලුවේ  නැහැ එහෙම දෙයක්. මෙතන තියෙන විශේෂත්වයත් එකයි. අපෙන් බල පෑමක් නැතුව තරඟයකට කියල ඉදිරිපත් නොකර අපි කියවන, කියවල සංවාද කරන බ්ලොග් වලට දෙන  සම්මානයක් මේක. 
අපිට  ඇත්තටම මෙතන මොකක්ද තියෙන ලාභය. අපට තියෙන ලාභය තමා මානව සම්පත. ලාභය තමා  පරිසරය. මේ දෙක තමා රැක ගන්න  ඕනේ. අපි හැකිතාක් උත්සාහ  කරනවා අපේ මානව සම්පත රටක මානව සම්පත දැනුවත් කරන්නේ කොහොමද කියන එක ගැන හොයන්න.  අපි කරන්නේ අවකාශය හදල දෙන එක විතරයි. 
අපිට ඕනේ අනිකුන්ගේ මතය ඉවසන, සංයමයෙන් සාකච්චා කරන , සාධනීය විවේචන   ඉදිරිපත් කරන අපහාසය හා උපහාසය අතර වෙනස හඳුනන බ්ලොග් ලෝකයක් නිර්මාණය කරන්න.
සමහරවිට මරණ තර්ජන ආවොත් අවිජිත් රෝය්ට වගේ රයිෆ්  බධාවී ට  වගේ කරු ජයසුරිය මහත්මයට  මේ දත්ත ඉදිරිපත් කිරිමේ  පනත වගේම අන්තර්ජාල නියාමනය සඳහා අවශ්‍ය කටයුතු කරන්න කියල ඉල්ලා සිටිනවා.

මොබයිල් 
මේ රටේ මොබයිල් ලක්ෂ ගාණක් තිබෙනවා. භාගෙකටත් වඩා  ඉන්ටෙනෙට්  පහසුකම් තිබෙනවා. ඊට අමතරව  ලැප්ටොප් භාවිතය  වැඩි වෙමින් යනව. facebook  වගේම බ්ලොග් නුත් දැන් ජනප්‍රිය වෙනවා. බසයක දුම්රියක  යන ගමන් පොඩි බ්ලොග් ලිපියක් මොබයිල් එකේ කියවල දාන්න  පුළුවන්. බ්ලොග් වලින් අපට ප්‍රවෘත්ති  දෙන්න පුළුවන්.

මේ ඉවාන් පව්ලුෂ "ත්‍රි වීල් " ගැන ලිපියක් ලියල තිබෙනවා. අපි දන්නේ නැහැ මේ උප සංස්කෘතිය කොපමණ නියෝජනය වෙනවද කියල. අපට ඕනේ ඔවුන් ඒවා කියවල විතරක් නෙමේ ත්‍රිවිල් බ්ලොග් නුත් පටන් ගන්න. ඔවුන්ට ඕන තරම් රසවත් කතා තියෙන්න පුළුවන්.  ජුකී මැෂින් මේ රටේ කොපමණ තිබෙනවද. ඒවා ගැන බ්ලොග් ලියන්නෙක් ඉන්නවා අටම්පහුර කියල. ඒ තවත් උප සංස්කෘතියක්. මේ තමා පුරවැසි මාධ්‍යකරණය පුරවැසියන් සඳහා වෙන් වුන. 

ශ්‍රී ලංකා  බ්ලොග් කරුවන්ගේ සංසදය
අපි කල්පනා කලා ශ්‍රී ලංකා  බ්ලොග් කරුවන්ගේ සංසදයක් හදන්න නෙලුම් යාය මුලික වෙලා. (ඊට පස්සේ හැම දිස්ත්‍රික්කයටම නියෝජනයක් දාල බ්ලොග් කරුවෝ දිස්ත්‍රික් මට්ටමින් එකතු කරලා ඔක්කොටම හමුදා පුහුනුවක්  දීල ආයුධ  දීල කර්නල් වරු පත් කරල රට හදන්න ) --මේ   විහිළුවක් කලේ  පරණවිතාන  මහත්මය භය වෙන්න  එපා. එහෙම දේවලුත් කරනවනේ. මෙන්න අපේ ප්‍රධාන ආයුධ  දෙක.  කීබෝර්ඩ් එක සහනිදහස් අත් දෙකක්. විලංගු දාල නැති අත් දෙකක්. 

මෙන්න අපේ කෑම්ප් එක හෙවත් පුංචි කාමරේ තියන බර අවි.

මේ බ්ලොග් කරුවන් දැනුම අරන් යයි මහා ජනතාවට. අපි මේ විප්ලවය පටන් ගමු. මේ නිදහස ඉදිරියට ගෙනියමු. 


ස්තූතිය 
 කරුණාරත්න  පරණවිතාන මහත්මයට මුලින්ම ස්තුති කරන්න ඕනේ අපට මේ තැන වෙලාව ලබා දීල අපිව දිරිමත් කලාට, මාධ්‍ය ලේකම්   මධුෂංක අබේගුණවර්ධන මහතාට. 
විශේෂයෙන්ම සඳහන් කලයුතු කරුණක් වන්නේ නෙලුම්යාය සංකල්පයක් හැටියට හදා වඩා පෝෂණය කර ඊට ඇවැසි අවකාශය , මුල්‍ය ශක්තිය ලබා දුන් ලංකානිව්ස්වෙබ් අඩවියේ කර්තෘ මණ්ඩල ප්‍රධානි නීතිඥ චන්දීම විතාන ආරච්චිට, තාක්ෂණ පහසුකම් සපයා දුන් ප්‍රවීන පරිගණක ඉංජිනේරුවන්  වන හර්ෂ ගෝමෙස් සහ රසික උඩුගමට, එතකොට අප සමග උරෙන් උර ගැටී , අපි කියන වැඩි පුරම චන්දිම  කියන බයිලා ඉවසා දර ගනිමින්   උදව් කරපු ලංකා ඩේලි  සුභාෂ් , හිමාෂි, උපුල්  හා සහ ලංකා මිරර් හි කැලුම් ශානිකා තුෂාරි ජූඩ් ප්‍රමුඛ වෙබ් මාධ්‍යවේදීන්ට.
මුදල් ත්‍යාග ලබා දීමෙන් අනුග්‍රහය දැක්වූ නෙෂන්වයිඩ්  බිල්ඩින් සොසයිටි එකට,  දේශනයෙන් සහභාගී වෙන නාලක ගුණවර්ධන මහතාට හා අජිත් පැරකුම් ජයසිංහට  හා ඉතාමත් සන්තොෂයි කියන්න මම තමන්ගේ  මතවාදයේ වී හෝ නොවී ඒ ගැන තැකීමක් නොකර  මට මෙන්ම තවත් බොහෝ අයටත් නැවත බ්ලොග් ලියන්න දිරි දුන් අපේ ආරාධනයෙන් සහභාගී වෙන දීප්ති කුමාර ගුණරත්න මහතාට,  විශේෂයෙන්ම 
මේ සියලුම බ්ලොග් කරුවන්ට, සම්මාන ලැබූ නොලැබූ ඔබ සියල්ලන්ටම සහ සහභාගිවන ආදරණිය ඔබ සැමට ස්තුතියි. 


So many of our dreams at first seems impossible, then they seem improbable, and then, when we summon the will, they soon become inevitable ~Christopher Reeve~

29 comments:

  1. නියමයි.
    මේකේ විඩියෝ එකක් යුටියුබයේ තිබුනට ඒකේ නෝ ඕඩියෝ. නිකං චාලි චැප්ලින් මුල් කාලේ මූවි එකක් වගෙයි!
    ස්තුතියි අජිත්!

    ReplyDelete
    Replies
    1. මේ වීඩියෝ එකේ සද්දේ තියෙනවා
      https://www.youtube.com/watch?v=2-BWzujxRUo

      Delete
    2. ස්තුතියි දෙන්නටම. අපු කට්ටිය හැමෝම වගේ පිටි පස්සේ ඉඳ ගත්තයින් මෙතන කවුරුත් නැති විධිහටයි පෙනෙන්නේ.

      Delete
  2. බ්ලොග් ලියන පිරිස විශාල වශයෙන් වැඩි වුනොත් එතන සමාජ ප්‍රශ්න ගැන සංවාද ඇතිවෙනව. මැතිවරන ප්‍රතිපල පවා වෙනස් වෙනව. දැන් ජනමතය තීරණය කරන්නෙ මැරයො. කොඩි වැල් එල්ලන්නෙ , පෝස්ටර් ගහන්නෙ පලාතෙ ඉන්න මැරය. සයිබරය හරහා ක්‍රියාන්විතයක් සිදුවෙනව කියන්නෙ සමාජය ශිෂ්ට වෙනව.සයිබර් සංවාද තුලින් සමාජය ඉදිරියට යනව.


    හැබැයි මෙතන තව ප්‍රධාන දෙයක් තියනව. දේශපාලන බ්ලොග්කරුවන්ගෙ ආරක්ෂාව පිළිබදව. ඕනම මතයක් දරන්න අයිතිය තියෙනව ඒව ගැන වාද විවාද යනව. නමුත් රජයක් ඒ සීමාව ඉක්මවල මර්ධනය කරන්න ගියොත් එතනදි මුළු සයිබරයම ඒ බ්ලොග්කරුව වෙනුවෙන් පෙනී සිටින්න ඕන. බ්ලොග්කරුවන්ගෙ ආරක්ෂාව ගැනත් යම් වැඩපිළිවෙලක් හැදෙනවනම් හොඳයි. නයිජීරියාවෙ ඉරානයෙ මේ වගෙ අත්දැකීම් තියනව.

    ReplyDelete
    Replies
    1. ඔව් ඒක තමා වෙන් ඕනේ. මැරයින් නොව සංවාද කල හැකි උගත්, නුවණැති (උපාධි ගත් අයම නොවේ) මිනිසුන් දේශපාලනයට හා සමාජ ව්‍යාපාර වලට ආ යුතුයි.

      Delete
  3. අලුතින් යමක් ආරම්භ කලාම

    මුලින්ම කරන්නේ අවඥාවට ලක් කිරීම
    දෙවනුව ගැරහීම
    තුන්වනුව කඩාකප්පල් කිරීමට උත්සාහ කිරීම.
    අවසානයේ ඒ සියල්ල වැරදුනාම ප්‍රශංසා කිරීම

    එතනට එනකන් බලන් ඉමු

    හතරරියන් , දෙරියන් , නෙලුම් සහ නියඟලා

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි. දැක්කේ නැහැ.

      Delete
  4. ලෙක්චර්ස් සෑහෙන්න වැඩි දවසක් නිසා එදා එන්න බැරි වුණ එක ගැන බොහොමත්ම කණගාටුයි. ඒත් වැඩේ අතිශයින්ම සාර්ථක වුණා කියල දකින්න ලැබීම ලොකු සතුටක්. උණුසුම් සුභ පැතුම්! ඊළඟ වතාවෙ නම් මොන වැඩේ තිබුණත් කොහොමහරි එනව.

    අජිත් අයියෙ, www.nelumyaya.com ලිපියෙ ලියැවිලා තියෙන්නෙ වැරදියට.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මල්ලි. ඒක හදන්නම්. දැන් තාක්ෂණ විද්‍යා කියල වෙනම එකක් දානවා .

      Delete
    2. මම උඩ කියපු කතාව මටත් දැන් අපැහැදිලියි වගේ. O.o :D මේ ලිපියෙ www.nelumyaya.com කියන ලින්ක් එක පළ වෙලා තියෙන්නෙ වැරදියට. (nalumyaya)

      බොහොම සතුටුයි. වෙබ් අඩවියත් බොහොම ලස්සනට නිර්මාණය කරල තියෙනවා. ඔහොම යමු.

      Delete
    3. හරි ඒක හැදුවා . ස්තුතියි.

      Delete
  5. අජිත් අයිය අපි මෙච්චරකල් දැකල තිබ්බේ කියවල තිබ්බේ ආරුඪ නම් වලින් ලියන අදහස් පළ කරන බ්ලොග් කරුවන් විතරයි. සමහරුන්ගේ බිරිඳ දෙමව්පියෝ වගේ ලඟම අයවත් ඔවුන් මෙවැනි ක්‍රියාන්විතයක යෙදෙන බව දැනන් හිටියේ නෑ. ඒ උනත් මේ ක්‍රියාදාමය හරහා ඒ හැමෝම සමාජයට නිරාවරණය වෙනවා. උදාහරණයක් විදියට දැන් මුළු ලංකාවම වගේ දන්නව මාතලන් ලියන්නේ කවුද බස්සීගේ නවාතැන ලියන්නේ කවුද ඉවාන් පවුලූශා නමින් ඉන්නේ කවුද කියල.. නොදන්න කෙනෙක් ඉන්නවනම් පහුගිය ටිකේ වෙබ් පිටු පෙරලල බලා ගන්න පුළුවන්. ඉතින් මේ හරහා ඔවුන්ගේ අනන්‍යතාවය හා ආරක්ශාව ගැන ගැටළුවක් පැන නගිනව නේද? මට හිතෙන්නේ ඒ සම්භන්දයෙනුත් එකමුතුවක් හැටියට අපි යම්කිසි ඉක්මන් ක්‍රියාමාර්ගයක් ගත යුතුයි.

    ReplyDelete
    Replies
    1. මටත් සිරාවටම මාතලන් බොස් ගැන ඕක හිතුනා. සැහෙන්න හිතන්න ඕන කාරණයක් ඒකනම්.

      Delete
    2. ඇත්ත. මේ දකුණු පැත්තේ එල්ලෙන ස්ටැට් කවුන්ටරෙන් ip ලිපින දන ගත්ත හැකි. මරණ තර්ජන කලොත් එවලින් හොයන්න නීතිමය වශයෙන් පුළුවන්. ශි ලංකා බ්ලොග් සංසදය හැදුවේ අනිත් ප්‍රශ්න වලට උත්තර දෙන්න. ආරක්ෂාව වගේ. එකමුතුව ඉන්නේ. නීතිඥ සහය තිබෙනව.

      Delete
  6. බ්ලොග් ලියන අයට තමන්ගේ අදහස් ඉදිරිපත් කරන්න ඕන තරම් නිදහස තියෙනව. ඉතින් ඒ නිදහස නිසා තමන් දකින ඕනෑම දෙයක් ගැන තමන්ගේ අදහස ඉදිරිපත් කරන්න මැලිවුනේ නැහැ. ඒ අදහස් අතර විශේෂයෙන්ම දේශපාලන මත කියන එක ගොඩක් විශේෂයි. ඉතිං ඒවාට තියෙන කැමැත්ත අකමැත්ත, එකඟවීම සහ නොවීම කියන දේවල් හොඳට පේනවා ලැබෙන කමෙන්ට්ස් වලින් (උදාහරණයකට මාතලන්ගෙ දේශපාලන පොස්ටුවක් දක්වන්න පුළුවන්). ගොඩ දෙනෙක් විරුද්ධතාවය ප්‍රකාශ කරල තියෙන්නෙ ඇනෝල විදිහට.

    නමුත් අපි දැන් නෙළුම් යාය හරහා බ්ලොග් ලියන ගොඩ දෙනෙක් හඳුන ගත්තා වගේම කතා කළා. ඔතන අපි නොදැනුවත්ව ඔය පිරිස කවුද යන්න හොයාගන්නම ආව කීප දෙනෙක් සිටින්නත් පුළුවන් නේද? ඒ මත පළකරනවට විරුද්ධ අය. විශේෂයෙන්ම "මාතලන් යනු කවුරුන්ද?" වගේ. එතකොට දේශපාලන අදහස් ලියන බ්ලොග් කරුවන්ගේ අදහස් පළ කිරීමේ නිදහස සහ පරාසය ඇහිරීමක් වෙන්න පුළුවන්.

    මේ දේවල් කීවේ අජිත් අයියල කරනදේට සහ ඒ උත්සාහයට අකුල් හෙළන්න නෙමේ :D. මට කියන්න ඕන වුණෙත් ඉහළින් දාල තියෙන කමෙන්ට්ස් වලින් කිව වගේම ඒ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහසට ඇති වෙන බාධාව නැති කරන්න සහ විශේෂයෙන්ම දේශපාලනික අදහස් පළ කරන බ්ලොග් කරුවන්ගේ ආරක්ෂාව තහවුරු කරන මොකක් හරි ක්‍රියාමාර්ගයක් සාකච්ඡා කරල ක්‍රියාවට ගන්න එක හොඳයි කියන එක දැනුම් දෙන්නයි.

    අජිත් අයියලගෙ උත්සාහයට අපි උපරිම සහයෝගය දෙන්න කැමතියි. ජය වේවා!!!

    ReplyDelete
    Replies
    1. බ්ලොග් සඳහාය පිහිටෙව්වේ ඒ සඳහා මත් තමා. එතන කතා කරමු.

      Delete
  7. පහත සඳහන් වර්ගීකරණයෙන්. මේ හැම කැටගරියටම, වර්ගීකරණයටම ඉදිරියේදී සම්මාන දෙනවා.

    දේශපාලන

    සංවාද (කාලීන) හෝ කාලීන සංවාද

    කවි / නිසඳැස්

    හයිකු

    කෙටි කථා

    18 ප්ලස්

    විද්‍යා ප්‍රබන්ධ

    තාක්ෂණ

    ඡායාරූප

    නිවස

    //

    මම ලියන "මඩ" කියන කැටගරිය ඇතුලත් කරන්න බැරිද මෙයා...?

    ReplyDelete
    Replies
    1. කාලින සංවාද කියන්නේ ඒකටනේ.

      Delete
  8. //දැනට සිංහල බ්ලොග් 200 කට වඩා තිබෙනවා.// 201 යි කියලා ලියාගන්න.
    18+ කවි කියලා කැටගරියකුත් දාන්නකො සීයෙ.
    ඔයටික ඔහොම්මම කිව්වනම් එළ තමා.

    ReplyDelete
    Replies
    1. අනේ අම්මපා , ඇයි බෝල අවලං මදාවියෝ ,ඔය 18+ කියලා කැටගරියක් තියෙන්නේ , ඒක මදිද උඹට තව එකක් දාන්න කියන්නේ :P

      Delete
    2. 18+ එකට ඔයාගේ කවිත් ඇතුලත්.

      Delete
    3. අජිත්. ඇත්තටම සිංහල බ්ලොග් නම් 5000 ක් වත් ඇති මයේ හිතේ. ඒ අතරින් සක්‍රිය බ්ලොග් පන්සියයකට වඩා තියෙන්න පුලුවන්.. (මම කියන්නේ ඉද හිට හෝ අප්ඩේට් වන) මම තුන්සියයක් කිව්වේ මට ඇඩ් කරගන්න පුලුවන් උපරිම ප්‍රමාණය නිසා. ඊටත් වඩා බරපතල ප්‍රමාණයක් මම බ්ලොග් එකට ගිහින්ම ෆලෝ කරනවා. මේ ගැන හරි අදහසක් ගන්න පුලුවන් එකෙක් තමා අටංපහුර... ස්තුතියි.

      Delete
  9. නෙළුම් යාය ක්‍රියාන්විතයට ලොකු සුභපැතීමක් එක් කරනවා ....ආධුනිකයෙක් විදියට ඒ උළෙලට සහභාගී උනු මට එක ලොකු අත්දැකීම උනා.. ඇත්තටම ඒ උත්සවය හරිම ඉහලින් අගය කරනවා. ඉදිරියටත් මේ දේ මීටත් වඩා ඉහලින් කරගෙන යන්න සුභපතනවා... ජය...

    ReplyDelete
    Replies
    1. ස්තුතියි සජ්ජා . හමු වුන එක සතුටක්.

      Delete
  10. දැනට දාල තියෙන වීඩියෝ වලට අමතරව ටිකක් හොඳ තත්වයේ වීඩියෝ නැද්ද ? රසිකොලොජිස්ට් කිව්වා වගේ එකක සද්දේ නෑ .. අනිත් එකත් එතරම් පැහැදිලි නෑ ... පවත්වපු කතා ටික වගේ වෙනම තියෙනවා නම් වටිනවා .

    ReplyDelete
    Replies
    1. ඒකට තමා උත්සහ කලේ. ගෙවල කරපු වීඩියෝ sound නැතුව කරලා තියෙන්නේ. මගේ කැමරාව ගෙනත් දැම්ම නම් ඔයිට වඩා හොඳයි.

      Delete
  11. අජිත්.. සොරි වෙන්න ඕන.. මට එන්න ලැබුනේ නැහැ.. ඒත් ඉතිං කවදාවත් අජිත් අයියල කරන වැඩේකට උදව් නොදී නං ඉන්නේ නැහැ. ඕනය කිව්ව දෙවල් වලත් ගත යුත්තක් තියෙනවා.. බැහැර කළ යුතු දේත් තියෙනවා..

    මරු කතාවක් කරල තියෙන්නේ හොදේ.. සුභ පැතුම්... ඔබට ස්ත්තුයි මේ කරනා මෙහෙයට

    ReplyDelete
  12. ඇත්තෙන්ම, ගොඩක්ම ස්තූතියි. සහභාගි වීමට නොහැකිවූ අඩුව දැන් පිරෙනවා. අංග සම්පූර්ණ විස්තරයක්.

    ReplyDelete
  13. නියමයි. පැරාගෙ සහ නාලකගෙ කතාත් පුළුවන් නම් දාන්න. වැඩක් කරන්න අමාරුයි. කියන්න ලෙහෙසියි. ඒ නිසා විවේචන වලින් නොසැලී ඉදිරියට යන්න සුභපතනව.

    ReplyDelete

සියලු හිමිකම් අජිත් ධර්මකීර්ති (Ajith Dharmakeerthi) සතුය. කොළඹ ගමයා බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ අජිත් ධර්මකීර්ති යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ.
මෙහි පලවන ලිපි සහ දේශපාලන අදහස් මගේ පෞද්ගලික අදහස් පමණි.
ඔබේ ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. නමුත් වෙනත් කෙනෙකුට සාධාරණ හේතුවක් නැතුව පහර ගසන අශිලාචාර අන්දමේ ප්‍රතිචාර පමණක් පල නොකෙරේ. බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ස්තූතියි .