Saturday 25 July 2015

කියුබාව සමාජවාදීද 1?

ෆිදෙල් කැස්ත්‍රෝ කියුවා  යයි කිවූ දෙයක් මේ දිනවල අන්තර්ජාලයේ සැරි සරයි. ඒ ඇමෙරිකා එක්සත් ජනපදය කියුබාව සමග තානාපති සම්බන්ධතා පටන් ගන්නේ ලතින් ඇමෙරිකානු පාප් තුමෙකු හා කළු ඇමෙරිකන් ජනාධිපතිවරයෙකු යටතේ බවට ඔහු අනාවැකියක් පළ  කල බවයි. මෙය ප්‍රචලිත වන්නේ ෆේස්බුක් හි  සංසරණය වන පින්තුරයක් ආධාරයෙනි. මේ මහා අනාවැකිය කියා ඇත්තේ 1973 දීලු.   බිබීසී ලෝක සේවයේ අපේ මිතුරු සරෝජ් පතිරණ මේ පින්තුරයට ඇලුණු තවත් මාධ්‍යවේදියෙකි. ඔහු විසින් උත්පත්තියෙන්  සමාජවාදී, ලතින් ඇමෙරිකානු ගරිල්ලා සටන් වල ප්‍රධාන න්‍යායාචාර්ය  තමන් සේ කාලයක් සැලකූ ආචාර්ය දයාන් ජයතිලක මහතා ගෙන් මේ බව විමසා තිබුණි. ඒ ලිපියේ යොමුව මෙයයි. ප්‍රශ්නය වන්නේ ෆේස්බුක් පින්තූරයක් මුලාශ්‍ර කරගෙන ඔවුන් කතා කරන්නේ එය සැබෑවක්ද කියා පැහැදිලි නොකරය. කස්ත්‍රෝ කල මෙවැනි කතාවක  මූලාශ්‍රයක් කොහේවත් නැත. දෙදෙනාගෙන් කාට හරි එය සොයා පල කල හැකිද?
අසූව  දශකයේ අග භාගයේ, කොළඹ විශ්ව විද්‍යාලයේ සේවය කල, විප්ලවකාරී මොඩ්  කැප් තොප්පියක් පැළඳ ලතින් ඇමෙරිකානු ගරිල්ලා ව්‍යාපාරය ගැන ගර්ල් ගයිඩ් මුලස්ථානයේ හා වෙනත් තැන්  වල දයාන් කල දේශනා ඇසීමට ගියෙමි. මට මතක විධිහට ඔහුගේ පියා පල කල ගාර්ඩියන් සඟරාවේ ද එවැනි ලිපි පළවුණි. ජවිපෙ පුර්ණ කාලින ක්‍රියාකාරිකයෙකු වූ කැමිලස් මට කීවේ  මාර්ග ආයතනයටද සම්බන්ධ දයාන් සිඅයිඒ ඔත්තු කරුවකු බවයි. ජේඩීඑස් සංවිධානයේ අතුල සහෝදරයා කිවේ කැමිලස් පසුව දයාන් ගේ කුමක් දෝ සංවිධානයකට සම්බන්ධ වූ බවයි. මා සිතුවේ කැමිලස් 88 කාලයේ අතුරුදහන් වූවා කියායි.  කෙසේ හෝ ලතින් ඇමෙරිකානු පන්නයේ ගරිල්ලා ව්‍යාපාර කිරීමට ගිය දෙතුන් ගොල්ලක්ම ඇණ  ගත්හ.
ආචාර්ය දයාන් ජයතිලක ඉන්පසු බිබීසියට කියන්නේ මේ අනාවැකිය  නිවැරදි වුන බවත් ඇමෙරිකාවට පුංචි කියුබාව ඉදිරිපිට යථාර්තය පිළිගැනීමට සිදුවූ බවත්ය. ඒ කියන්නේ "කියුබාවේ සමාජවාදය " ඇමෙරිකාව පිලි ගත්තා කියාද? මේ සාවද්‍ය කතාවට අමතරව දයාන් තවත් සාවද්‍ය කතාවක්  කියයි. එනම් "නමුත් ෆිදෙල් කැස්ත්‍රෝට පුළුවන් වුනා, ධනවාදය කරා නොගිහින් එහෙත් ප්‍රායෝගික ආර්ථික ප්‍රතිසංස්කරණ කරමින් කියුබාවේ සමාජවාදී විප්ලවය සුරකිමින් ඒ ඉතාම භයානක අවස්ථාවෙන් කියුබාව බේර ගන්න" - (උපුටා ගැනීම මගෙනි) 

මේ තවත් බොරුවකි. ආර්ථික ප්‍රතිපත්ති වෙනස් කලේ රාවුල් කස්ත්‍රෝ විසිනි. රාවුල් විසින් පසුගියදා තමන් ජිවත්වන  රජයේ නිවාස මිලදී ගැනීමට (තැචර් වාදය?) හා විකිණීමට  කියුබානුවන්ට ඉඩ දුන් අතර ඊට කලින් සුළු පරිමාණ ව්‍යාපාර ආරම්භ කිරීමටද ඉඩ දෙන ලදී. (ලෙනින් ගේ නෙප් ක්‍රියාවලිය ?)
ෆිදෙල් කලේ ජනතාවට පටි තද කර ගන්න කියා කීමයි. සෝවියට් දේශය බිඳ වැටුන පසු කියුබාවට බොහෝ විට උදව් කලේ යුරෝපියන් සංගමයයි. අනිත් පැත්තෙන් යුරෝපීයන් ප්‍රමුඛ වුනු සංචාරක කර්මාන්තයෙන් ඔවුනට සැලකිය යුතු ආදායමක් ලැබුණි. කියුබානු දොස්තරවරුන් බොහෝ රටවලට යවා ලබාගත් ඩොලර් ආදායමයද ඉතාමත්  අඩු මිලට වෙනිසියුලාව විසින් සැපයූ තෙල් නිසාද කියුබාව පණ  ගැට ගසා ගත්තාය. මේවා නැත්නම් කැස්ත්‍රෝ ට කියුබාවේ ආර්ථිකය හැසිරවීම ඔහුගේ රාජ්‍ය ධනවාදී ස්ටාලින්වාදී ක්‍රමය යටතේ ඉතාමත් අපහසු කාර්යයක් වී තිබුණි.
අනික ඇමෙරිකාවට යථාර්තය පිලි ගැනීමට සිදුවූ බව හෙවත් කියුබාව සමග
සම්බන්ධතා ඇති කර ගැනීමට තිබු හේතු අතර බලවත්ම හේතුව පූටින් මිස දයාන් කියන පරිදි කියුබාවේ ඊනියා සමාජවාදී ජයග්‍රහණයක් නම් නොවේ.
එම පළමුවන හේතුව ඇත්තේ මෙතනය.  සෝවියට් දේශය පැවති  කාලයේ සෝවියට් හමුදා වල හා ඔත්තු සේවයේ 3000 පිරිසක් යොදා පවත්වාගෙන රහස් ඔත්තු මධ්‍යස්ථානයක් (listening post ) හවානාහි ලුර්දු නමැති පෙදෙසේ තිබුණි. මෙය ඇමෙරිකාවේ වැඩිහරියක් සන්නවේදනයන් නිරික්ෂනය කරමින් ඔත්තු බැලූ අතර නැටෝ සබ්මැරීන හා නැව් ස්ථානගත වන දත්ත ද මොස්කව් වලට සපයන ලදී. සෝවියට් දේශය බිඳ වැටුණ පසු රුසියාව මෙය අත් හැර දමා තිබුණි. 2014 ජුලි මාසයේ රාවුල් කස්ත්‍රෝ හමුවූ පුටින් මෙම මධස්ථානය නැවත ක්‍රියාත්මක කරවීමට කැමැත්ත පල කළේය. රාවුල්ට මෙයට විරුද්ධ වීමට හේතුවක් නැත්තේ මින් රැකියා හා විශාල මුදල් ප්‍රමාණයක් ද කුලිය වශයෙන් ලැබෙන නිසාය.
මේ තත්වය ඇමෙරිකාවට අනතරු ඇඟවීමක් ලෙස ඇමෙරිකන් ආරක්ෂක අංශ සැලකුහ. රුසියාවට ආසන්න ජෝර්ජියාව දෙකඩ කිරීම, ක්‍රිමියා ව පවරා  ගැනීම, උක්රයිනයේ බෙදුම්වාදයට සහයෝගය දීම වැනි හේතුන් නිසා පුටින් ට එරෙහි වී සිටින ඇමෙරිකාවට පුටින් කියුබාවට පා තැබීම ඔරොත්තු දුන්නේ නැත. බොලිවියාව, වෙනිසියුලාව හා ආර්ජන්ටිනාවද පුටින් ගේ රුසියාව සමග හොඳ සම්බන්ධතා පවත්වා ගෙන යයි.
දෙවැනි හේතුව නම් කියුබාව පරණ සෝවියට් දේශයට හා රුසියාවට තිබු මුළු ණය ප්‍රමාණයෙන් ඩොලර් බිලියන 32 ක් පුටින් කපා හැරීමය. දැන් කියුබාවට ඉතිරිව ඇත්තේ ඩොලර්  බිලියන් 3.2 ක ණයක්  පමණි.  එයද අවුරුදු දහයකට සහනදායි ලෙස ගෙවන්නට පුටින් ඉඩ දී තිබේ. මේ හේතුවෙන් කියුබාවේ හා ලතින් ඇමෙරිකාවේ පුටින් වඩාත් ජනප්‍රියය.
තව දුරටත් සම්බාධක තබාගෙන කියුබාවට දඬුවම් දීමෙන් තමන්ටම  පාඩු සිදුවන බව ඇමෙරිකන් ආරක්ෂක අංශ වටහා ගත්හ. මියාමි වල කියුබානු ඇමෙරිකානුවන් කුමක් කීවත්,  ජනාධිපතිට චන්දය නුදුන්නත්,  කියුබාව සමග සම්බන්ධතා ඇති කර ගෙන සම්බාධක ක්‍රමයෙන් අත හැරීම හැර ඇමෙරිකාවට වෙනත් මගක් ඇත්තේ නැත.

දයාන්  කල එකම නිවැරදි නිරීක්ෂණය වඩාත්ම වැදගත් සම්බන්ධීකරණ පුරුක වුනේ ෆ්‍රැන්සිස් ශුද්ධෝත්තම පියතුමා බව කීම පමණි. නමුත් මෙහිදීද  මේ ක්‍රියාවලියට අඩිතාලම දැම්මේ කලින් සිටි පාප් තුමෙකු වූ පෝලන්ත ජාතික ජෝන් පාවුළු II ය. දැන් සිටින පාප් තුමා නොවේ. ඉතා විශාල කතෝලික ජනගහණයක් ඇති කියුබාව මුලිකවම අදේවවාදී රාජ්‍යයක් වුවද එහි කතෝලික ආගම බලවත්ය. 1998 ජෝන් පාවුළු පාප් තුමා ගේ සංචාරයට ප්‍රථම කියුබාව 1992 දී කස්ත්‍රෝ යටතේ ව්‍යවස්ථාව සංශෝධනය කර  අදේවවාදය අත් හරින ලදී. ඉන්පසු දින පහක ක්‍රිස්මස් නිවාඩුවක් ද 1998 දී ලබා දුනි.

මේ අනුව ඇමෙරිකාව හෝ වතිකානය නිකම් සිටියේ නැත. වතිකානය සිතුවේ වතිකානයේ සහයෝගයෙන්  පෝලන්තය රජය ලේක් වවෙන්සා  හරහා බිඳ දැමු ආකාරයට බිඳ දැමීමට වුවත් කියුබානු ජනතාව එයට සහයෝගය දෙන්නේ නැති  බව ඉතා ඉක්මනින් වටහා ගත්හ. (මෙයට හේතුව ඊළඟ ලිපියෙන් පැහැදිලි කරමි. ) මේ නිසා ඉන්පසු වතිකානය  කළේ  යුරෝපා සංගමයේ හොඳ හිත හරහා කියුබානු නායකත්වයට සමීප වීමයි. කොටින්ම වතිකානය  ඇමෙරිකාව විරුද්ධ වෙද්දී පවා කියුබාව සමග
වෙළඳම්  කිරීමට යුරෝපියානු ප්‍රජාවට සහයෝගය දුනි. අන්තිමේදී ඇමෙරිකාවට පසුගිය අවුරුදු කීපයේ තමන්ගේ සම්බාධක ගෙනයාමට කියුබානු සබඳතා ඇති යුරෝපියානු සමාගම් වලට තර්ජනය කිරීමට පවා සිදු වුනි. මේ සියල්ල හදිසියේ අත්  හැර දැමුවේ පුටින්ගේ ආගමනයත් සමගයි.
එනිසා මේ කළු ඇමෙරිකන් ජනාධිපති හා ලතින් ඇමෙරිකානු පාප්  තුමාගේ කතාව නිකන් ෆේස්බුක්  හිතලුවක් පමණි.
මගේ ඊලඟ  ලිපියෙන් වතිකානය කියුබානු ජනතාව පෝලන්තයේ මෙන් කස්ත්‍රෝට එරෙහිව හැරවිය නොහැකි බව තේරුම් ගැනීමට මා  දන්නා හේතුව මගේ ම අත්දැකීමක් ඇසුරෙන් පැහැදිලි කරමි. ඒ කස්තීයෝ හා එචෙවරියා ආදී මගේ කියුබානු මිතුරු සිසුන් කී දේ ඇසුරුණි. කණගාටුවකට මෙන් මේ ලිපිය පල කිරීමට වෙන්නේ තවත් දින දහයකට  පසුවයි. ඉතාලිය හරහා ජර්මනියට නිවාඩුවකට යන බැවින් හා මෙවර දුම්රියෙන් යන නිසා ලැප්ටොප් එකද නිවසේ තබා යන බැවින් බ්ලොගය ට නව ලිපියක් එකතු කිරීමට නොහැකිය. සියලුම කොමෙන්ට් මම ඊළඟට හමුවන වයිෆයි කලාපයේදී පල කරමි.

මුලාශ්‍ර:
1.http://www.telegraph.co.uk/news/worldnews/centralamericaandthecaribbean/cuba/10971737/Russia-to-reopen-Cold-War-spy-post-on-Cuba-in-Americas-backyard.html
2.http://www.rt.com/business/172020-russia-cuba-debt-writeoff/
3.http://news.bbc.co.uk/onthisday/hi/dates/stories/january/25/newsid_4041000/4041643.stm
4.http://kolambagamaya.blogspot.co.uk/2015/07/1.html

25 comments:

  1. අජිත් අයියා.......... වටිනා ලිපියක්.... අකුරක් නෑර කියෙව්වා... මොනවා වුණත් පිදෙල් කියන්නේ මගේ ලෝකේ වීරයා..... මගේ පුංචි කාලේ වීරයා චේ........... ඒ නිසාම චේ ගැන හුගක් දේවල් හෙව්වා.... ඒත් ඒ හෙවිල්ලේ අන්තිමට මං හොයාගත්තා කියුබන් සටන අැතුලේ චේට වඩා පිදෙල් මහා මිනිහෙක් කියලා..... චේ විප්ලවයත් ඒක්ක ගමනක් ගියා... ඒත් පිදෙල් තුළ සංවිධානාත්මක බව, ඉලක්කය, සම්බන්ධීකරණය සහ ක්‍රියාත්මකවීම කියන හැම ගුණාංගයක්ම මනාවට තිබුණා...... මේ සමහර කරුණු වලට තර්ක තියෙනවා.... ඒත් මං කැමතියි මේ ලිපි ටිකම කියවන්න.... ජයවේවා

    ReplyDelete
    Replies
    1. For lot of people Fidel is a hero. Yes he is. To an extent he did not have a choice but to carry on. Next article I will write about it.

      Delete
  2. ඇත්තෙන්ම ඔබ කදිම දේශපාලන විචාරක මාධ්‍යවේදියෙක්. ලිපිය ගොඩක් වටිනවා.

    ReplyDelete
    Replies
    1. Thanks Malli . Sorry I am replying on English. Using mobile. At the moment in stansted airport .

      Delete
  3. මොන යකෙක් එක්ක හරි කමක් නෑ මේ රටවල් දෙක අතර සබඳතා වර්ධනය වෙලා, අනාගතයේදී ග්වන්තනමෝ කඳවුර වැහිලා, කියුබාවේ මිනිස්සුන්ට සතුටින් ජීවත් වෙන්න අවස්ථාවක් ලැබෙනවානම් හොඳයි.

    ReplyDelete
  4. හොඳ විචාරයක්! ඔබ මීළඟ කොටස ලියා ඇත්නම් එය outo-post වීමට දමා යන්න.

    ReplyDelete
    Replies
    1. I can't type in Sinhala at. The moment. Thanks for the comment.

      Delete
  5. ෆිඩෙල් චේ ට ගොඩක් දේ දුන්නා විප්ලවයෙන් පස්සෙ. ඒත් ඒ සේරම අතෑරලා චේ තවත් රටවලට සමාජවාදය ගේන්න ආයෙමත් ගරිල්ලාවෙක් වුනා. චේ ගෙ අත හැරීමේ ගුණයට මම කැමතියි.

    ReplyDelete
    Replies
    1. That's what I am going to talk in my next post.

      Delete
  6. හ්ම් ඊළග ලිපිය ත් කියවල ම ඉන්න ඕන... කැස්ත්‍රෝ කියන්නෙත් පොරක් මට අනුම. මොකද මොන යකා මොන ගොං පාට් දාගෙන ආවත් කොන්ද කෙලින් තියං ඉන්න පුලුවං වුණා... මනුස්සය එක් අතකට ඒකාධිපතියෙක් තමයි ඒත් එහෙම නොවී අර විදියට ඉන්න බෑ...

    දුරකතනය ඇපල් හෝ ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතියෙන් බල ගැන්වෙන්නක් නම් ඇප් ස්ටෝර් හෝ ප්ලේ ස්ටෝර් වෙතින් හෙළකුරු සිංහල යතුරු ලියනය බාගත කරගන්න විජේසේකර සහ සිංග්ලිෂ් යන දෙවර්ගයටම සහය දක්වයි...

    ටඩාං....

    ReplyDelete
  7. චීනෙ නැද්ද පුටිං ලා...?

    ReplyDelete
  8. දයාන් ජයතිලක කියන්නෙ සමාජවාදය නොව ඕනෑම වාදයක් බඩගෝස්තරවාදය කරගන්න දක්ෂයෙක් කියලයි මට හිතෙනෙ.

    ReplyDelete
  9. Don't you think that if not for the implacable hostility of US towards Castro's regime he might not have been able to retain power in Cuba for such a long time?

    External enemies are so useful for dictators to have in order to keep the support of their countrymen.

    ReplyDelete
  10. baiscope.lk වෙබ් අඩවියේ යනවා under the dome කියලා ටෙලි නාට්‍යයක් ඒකෙ තියෙනවා සමාජවාදය ඇතිකරන අධිතාක්ධණික පිටසක්වල ක්‍රමයක්.

    ReplyDelete
  11. දුක යනු තවමත් Dr.දයාන් ගෙන් මෙවැනි දේ මාධ්‍යවේදින් විසින් full seriously විමසා සිටීමයි.

    ReplyDelete
  12. අපූරු විග්‍රහයක්.. නොදන්නා දේවල් දානවට පින්...

    ReplyDelete
  13. යහළුවෙකු එවූ කොමෙන්ටුවක්.
    //හිතවත් අජිත්,

    සමාජවාදය යනු කියුබාව කියන ‍දේ ‍හෝ පි‍දෙල් කියන ‍දේ ‍හෝ විය යුතු යයි ‍නොසිතමි. මා සමාජවාදය ‍හෝ ධනවාදය ගැන ‍නො‍වෙ‍හෙ‍සෙන්‍‍නේ ‍මේ නිසාය. ‍රෝදය ‍සොයාගත්තාක් ‍මෙන් මිනිසා අලුත් වාදයන් ඉදිරි‍යේදී ‍සොයාගනු ඇත. මා පුද්ගල නිදහස ගැන විශ්වාස කරමි. ඒ මා නිදහසට කැමති නිසාය. ආණ්ඩුවක් පවත්වා‍ගෙන යාම පිණිස පුද්ගල නිදහස යම් තරමකට සීමා කිරීමට සිදු වන අතර, එය අවම විය යුතු බව මා‍ගේ විශ්වාසයයි. න්‍යායයක් සනාථ කිරීම ‍හෝ අනාථ කිරීම ඊට අවශ්‍ය ‍නො‍වේ.

    ඔබ විසින් දක්වා තිබූ ‍තොරැතුරුවලට ස්තූතියි. ඔබ‍ගේ නවකථාවද වැදගත් වනු‍යේද ඒ නිසායි. ඒ ‍තොරතුරු කථා රසයට අමතරව අලුත් දැනුම ලබා ‍දෙන බැවිනි. ඔබ‍ගේ අත්දැකීම් මටද ම‍‍ගේ අත්දැකීම් ඔබටද ලබා ගත ‍නොහැකි ය. ඔබ කැම්ලස් නැමැත්තකු ගැන ලියා ති‍බේ. ඒ කවුරුදැයි දැන ගැනීමට කැමැති ‍වෙමි. ඔහු ඉ‍ගෙන ගත්තේ ආනන්ද‍යේද?

    ඔබට වි‍නෝදජනක යහපත් චාරිකාවක් පතමි (සහ ඔබ‍ගේ පවුලටද). දුම්රි‍යේ යන බැවින් ඔබ‍ගේ උකුලු පරිගණකය ‍ගෙන ‍නොයාම ‍හරිය. සිය ළමා කාල‍යේ දින‍පොත්වල සටහන් සංස්කරණය ‍‍කොට ඉදිරිපත් කළ The Boy Who Saw True නැමැති කථා‍වේ කතුවරයා හට සිය දින‍පොත් කීපයක්ම ඉතාලි‍යේ දුම්රියක ගමන් ගන්නා අතර අමතක වීම නිසා අහිමි වීම මට මහත් සං‍වේගයක් දැනවීය. ඒ ඒවා‍‍යේ අඩංගු දෑ කියවීමට අවස්ථාවක් ‍නොලැබීම නිසා‍වෙනි. ඔබට ‍හෝ ඔබ‍ගේ නඩ‍යේ ‍කෙ‍නකුට එවන් විපතක් ‍නො‍වේවා කියා පතමි.

    ‍කෙ‍සේ ‍වෙතත් ඇමරිකාව පැත්තකට ‍වෙනවාට වඩා මැදිහත් වීමට කැමතිය. ඒ ඔවුන් සතු තාක්ෂණ‍යේ සුපිරි බව නිසා ඉන් ඔවුනට වැඩි වාසියක් ලබා ගත හැකි බැවිනි. ඒ ‍තොරතුරු ලබාගැනිම අතිනි. බ්‍රිතාන්‍යයන්ද සැමවිටම සිය ආක්‍රමණික හමුදාවන් ‍දේශපාලන නිලධාරියකු යට‍තේ යවනු ලැබු‍වේ ද ‍මේ නිසා වන්නට ඇත. ඇමරිකාව මුස්ලිම් අන්තවාදී ත්‍රස්තයන් හරහා සිය ඕනෑ එපාකම් ඉටු කරගන්නා ආකාරය දකින විට හිනා යයි. ‍මේ බහුතරයක් ත්‍රස්තයන්ට ඇමරිකාව තරම් සතුරකු නැතද ඔවුන් ඉටුකරනු‍යේ ඇමරිකාවට අවශ්‍ය ‍දේ බව වටහා ගැනීමට ශක්තියක් නැත. ආසියාව පුරා පැතිර ඇති ප්‍රධාන ආගම් ‍දෙක හප්පා තැබී‍මෙන්, ‍බෙදා ‍වෙන්කර පාලනය කිරී‍මේ න්‍යායය ඇසුරින් ඔවුනට ආසියා‍වේ රටවල්වලට ඇතුලු විය හැකි බව ඔවුන් දනී.

    අනතර් ජාලය පවත්වා‍ගෙන යාම ඔත්තු ‍සේවයක් පවත්වා‍ගෙන යාමට වඩා ලාභදායකය, ‍ලැ‍බෙන ‍තොරතුරුවල විශ්වාසනීයත්වය වැඩිය. ඒ ‍තොරතුරු ඇමරිකා‍වේ දැනගැනිම පිණිස යවන ඒවා ‍නොවන නිසා ය.

    ඡන්ද අ‍පේක්ෂකයන් වැඩි ‍දෙනකුට ශ්‍රී ලංකාව යනු තමන් ජීවත් වන තමන්ගේ රට බව අමතකය. සරසවි පිවිසුමට ජාතික ලයිස්තුව වැන්නක් නැත්තේ මන්ද කියා ‍කෙ‍නෙක් අසා තිබු‍ණේය. සරත් නන්ද සිල්වා ද දැන් ‍වේදිකාවල කථා කරයි. ඒ ‍රෙදි ඇදගෙනය. සිල්වලා ඔක්කොම එකය. දුමින්ද, මර්වින් නැති එක හොදය. (මේ සංඤ්කය ලිවීමට නොදැනීම මට ප්‍රශ්නයකි. හැකි නම් උදව් කරන්න).

    මෛත්‍රීගේ කථා නම් නියමය. ඒත් එයා ඡන්දයට නැතිය. මහිනදගේ කථාවලට පිළිතුරු දෙන්නට යන කෙනෙක් දකින්නට නැති වීම නම් අඩුවකි. ඒ තැන ගෙන ඇත්තේ කාටූන් ශිල්පීන්ය.

    එ.ජා.ප. යට භාගයකට වැඩියෙන් නොලැබෙනු ඇත. අලුත් ආණ්ඩුව සභාගයක් වනු ඇත. මේ දැන් තත්ත්වයයි.

    ජවිපෙට 10කට වැඩිය ලැබෙනු ඇත.

    උතුර බෙදිලාය.

    පසුව තව ලියමි.
    // උපුල්

    ReplyDelete

සියලු හිමිකම් අජිත් ධර්මකීර්ති (Ajith Dharmakeerthi) සතුය. කොළඹ ගමයා බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ අජිත් ධර්මකීර්ති යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ.
මෙහි පලවන ලිපි සහ දේශපාලන අදහස් මගේ පෞද්ගලික අදහස් පමණි.
ඔබේ ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. නමුත් වෙනත් කෙනෙකුට සාධාරණ හේතුවක් නැතුව පහර ගසන අශිලාචාර අන්දමේ ප්‍රතිචාර පමණක් පල නොකෙරේ. බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ස්තූතියි .