Thursday 9 June 2016

එට්කා ව එළවමු. ඉන්දියානුවන් පන්නමු

මට හදිසියේම ජන මාධ්‍යවේදියෙකු ලෙස රැකියාවක් ලැබුණි. මේ දිනවල ලංකාව  පුරාමත් සිරි ලාංකිකයන් ජිවත් වන ලෝකයේ සෑම රටකමත් පැන නගින අසාමාන්‍ය ආකාරයේ මහා උද්ඝෝෂණ පිළිබඳව වාර්තා කිරීමට  මගේ පුවත් පත් ආයතනය මා යැවීය.

ඔස්ට්‍රේලියාවේ වාසය කරන ශ්‍රී ලාංකිකයන් දිගින් දිගටම පෙළපාලි යමින් ඕස්ට්‍රේලියානු රජයෙන් ඉල්ලා  සිටින්නේ  ඔවුන් සියල්ලන්ම ශ්‍රී ලංකාවට යවන ලෙසයි. ශ්‍රී ලංකාවෙන් ගුවන් යානා හා බෝට්ටු වලට බලයෙන් පටවා  ගෙන ඔස්ට්‍රේලියාවට ගෙන ඒම හා රැකියා අවස්ථා ලබාදීමෙන් ඕස්ට්‍රේලියානු ජාතිකයන්ට කළ අසාධාරණයට එරෙහිවය ඒ.  විශේෂයෙන්ම ආදිවාසී අබෝරිජින් වරුන්ට වෙන අසාධාරණය ගැන හැඬු කඳුලින් මට පැහැදිලි කල පෙළපාලි කරුවෝ තමන්ව ලංකාවට යවන තුරුම  දිගින් දිගටම උද්ඝෝෂණවල හා උපවාසයේ යෙදෙන බව පැවසූහ.

ඕස්ට්‍රේලියාවේ සිටින ජවිපෙ හා පෙසප නියෝජිතයන් දෙදෙනෙකුද යුඇන්පී හා සිරි ලංකා වරුන් අතර සිටිනු දුටු මම ඔවුන්ට කිට්ටු කලෙමි.
"කට්ටිය දැන් එකට වැඩද?"
"ඒකනේ. අපි සම්පුර්ණයෙන් එකඟයි. හැමෝම ලංකාවට යන්න. අපි ඕස්ට්‍රේලියන් කම්කරුවන්ගේ අයිතීන් සුරකින්න ඕනේ. මෙහේ වැඩ කරන එක සම්පුර්ණයෙන්ම වැරදියි. ඕස්ට්‍රේලියන් කම්කරු රස්සා අපි පැහැර ගන්න එක හොඳ නැහැ. අඩු පඩියට අපිව සූරා කන්න දෙන ගමන් උන්ගේ  රස්සාත් නැති කරන එක කොච්චර වැරදිද? "
"ඒක ඇත්ත. ඒක ඇත්ත"
ඔවුන්ට සුභ පතා අල්ලපු වත්තේ නවසීලන්තයට ගියෙමි. වෙලිංටන් පැත්තේ ලංකාවට එන්න බලන ප්රෝෆෙසනල්ලා හෝ ගාලාය. දොස්තර මල්ලි කෙනෙකුට කතා කෙරුවෙමි.
"දොස්තර මහත්මයා , මොකද ආපහු යන්න හදන්නේ "
"හරි නෑනේ,  අජිත්. අපි නිදහස් අධ්‍යාපනෙන් ඉගෙන ගෙන මෙහෙ ආවහම එහෙ දොස්තරලා අඩු වෙනවනේ. ඔය අයිටම් බයිටම් කියල හොර ඒවා දාන්නෙත් දොස්තරලා අඩු නිසානේ. අපි ගියහම ඒවත් වැහෙනවා. දොස්තරලා වැඩි වෙනවනී"
"හොඳයි හොඳයි. මට නම් අදහන්නත් බැහැ "
"මොකද බැරි. බලන්න කොපමණ හොඳ වැඩක්ද? මෙහේ හකා නටන මල්ලිලා නංගිලා ඊට පස්සේ ඉගෙන ගනීනේ. අපි ඇවිත් මේ රස්සා ගත්තම හරි යනවද"
"හොඳයි මල්ලි නියමයි."
 ඔහු සමග සෙල්ෆියක් ගසා  බුකියට දැම්මෙමි.

එතනින් කෙලින්ම ගුවන් යානයකින් පැරිසියට පැමිණියෙමි. චාල්ස් ඩි ගෝල්  ගුවන් තොටුපලේ එකම කලබලයකි.කට්ටිය ලංකාවේ වගේ. සිරි ලංකා කාරයෙක් වගේ පෙනුණු  අයෙකුට  ලං වුනෙමි.
" මේ මොකෝ හදිසියේ ඔක්කොම ලංකාවට යන්න වගේ "
"ඔව්, ඔව් මේ ඉන්දියන් හැතිකරෙන් ලංකාව  බේරා ගන්න අපි  යනවා. අනික ප්‍රංශයේ දැන් හරියට රිෆුයුජි ලා. ඒ ගොල්ලන්ට රස්සා දෙන්නවත් රස්සා නැහැ. ඇයි එතකොට ප්‍රංශේ  මිනිස්සු. අපි  වැඩි පඩියට වැඩ නොකරන නිසා අපි ගියහම උන්ට ටිකක්  වැඩි ගානට මේ රස්සාම කරන්න  පුළුවන්. "

එතැනින්ම ආපසු හැරුන මා කෙලින්ම ඉතාලියට  ගියේ එහිද මේ කලබලය ඇත්දැයි බලන්නය.
වෙරෝනාවේ තිස් දහසක් වන ශ්‍රී ලාංකිකයෝ නගර මධ්‍යයේ බස් හා දුම්රිය වලට පොර කති.  පෙසපේ සගයෙක් ජනතාව හසුරුවයි.
"මොකෝ මේ. ඔක්කොම පෙසපෙට හැරිලද? "
"නැහැ සහෝදරයා. අපට වැටහුනේ දැනුයි. අපි ඉතාලි නිර්ධන පන්ති ජනතාවගේ,  කම්කරුවන්ගේ  රස්සා අඩු පඩියට රැගෙන ඉතාලියානු නිර්ධන පන්ති විප්ලවයටත් ලොකු හානියක් නේ කරන්නේ. මේ ජනතාව තමන්ගේ කාර්යභාරය තේරුම් ගෙන යුගයේ සුවිශේෂී වූ ස්ව යුතුකම් ඉටු කිරීම සඳහා මාතෘභූමිය වෙතට පිටත් වෙනවා. අපි එහි පෙරගමන්කරුවෙකු පමණයි. "
"හරි හරි අර ජවිපෙ කට්ටියත් ඉන්නේ."
"ඒ සහෝදරවරුත් යුගයේ අවශ්‍යතාවය සාධනීය ලෙස ඉටු කිරීමට අප සමග  එකතු වී සිටිනවා."
එතැනින් මිදුණු මම රෝමයට ආවේ ගුවන් යානයක ලන්ඩන් ඒමටය. කොහෙද? ඒවා පිරි ඉතිරි ගොස්ය. සිරි ලංකා කාරයන්, ඒකාබද්ධ  විපස්ස කාරයන් එකට එකතු වී කෝපි බොති.
"රස්සාවල් දාල යනවා වගේ "
"ඔව්, ඔව් ඉපදුනු මාතෘභූමිය බේරා  ගැනීමේ ශ්‍රේෂ්ඨ කර්තව්‍යය කරන්න  මෙහෙ ඉඳල පුලුවනෑ "
බොහොම අමාරුවෙන් හිත්රෝ වලට පැමිණියෙමි.
අමෙරිකාවෙන් ලංකාවට යන අයගෙන් ට්‍රාන්සිට් කෑල්ල පිරි ඉතිරි ගොසිනි. අහලා වැඩක් නැත. සියල්ලෝම ලංකාවට යන්නේ ලංකාවේ  සියලුම රස්සා වලටද? අයිටී  රස්සා වලට  විතරද කියා හිතා ගන්නට වත් බැරිය.

හිත්‍රොව් වල යුඇන්පී කාරයන් ද පිරි  සිටිති.
"දැන් ඕගොල්ලෝ සපෝර්ට් කරන්නේ නැත්ද එට්කා  එකට? "
"පිස්සු කතා කරනවද? මේ යහපාලනේ අනා ගෙනනේ තියෙන්නේ. දැන් බලන්න. චීන්නුන්ගෙන් සල්ලි ගත්ත. වරාය  හැදුව, පාරවල් හැදුව. ඔක්කොම වැඩ කලේ වැඩිපුරම චීන්නු. කවුරුත් වචනයක් වත් කීවද? ගිවිසුම් ගහල කරනවද ඕව. ඔය හොරෙන් සල්ලි ටික අරගෙන අපටත් කියක් හරි හොයාගන්න දීල ඉන්දියන් කාරයන්ට සංචාරක වීස වලින් වැඩ කරන්න කිව්වා නම් ඉවරනේ."

"ඉතින් ඔයාල ලංකාවට  යන්නේ"
"අපිටත්  ගානක් හොයා ගන්න දෙන්නේ නැත්ද කියල අහන්න "
"අනික බලන්නකෝ අර ගිය ආණ්ඩුවේත් මාටියා ගහපු ජම්පින් ඇමතිලට දීලා තියන කිරි ටොයිය කාර්  ටික. අපට තමයි මුකුත් නැත්තේ "  තව කොළ සහෝදරයෙක් මැදින් පැන කීවේය. කට්ටිය සමග සෙල්ෆියක් ගසා යන්තම් එලියට පැන්නෙමි.

පෙසපේ පොරක් ජවිපේ  පොරක් සමග අත්වැල් අල්ලා ගෙන කඩයක් දමාගෙනය. මම හෙමිහිට කිට්ටු කලෙමි.
"අහන්න දෙයක් නැහැ. ඉතාලියේදී දැන ගත්තා . එංගලන්තේ විප්ලවෙට එකතු වෙලා සහයෝගය දෙන්න නේද හදන්නේ." මම කීවෙමි.
"එංගලන්තේ විප්ලවේ කරන්න නෙමේ.  අපි ලංකාවට යනව එංගලන්තේ කම්කරුවන්ට සහ රැකියා නැති වැසියන්ට රැකියා අවස්ථා ටික නැවත ලබා දෙන්න. " පෙසපේ සහෝ කීවේය.

"දැන් අජී  බලන්න.  වැඩ කරන ජනතාව අතරේ ජාත්‍යන්තර සහයෝගයක් තියෙන්න ඕන නේ. මේ යුරෝපිය වැසියනුත් ඇවිල්ල මෙහෙ මිනිස්සුන්ගේ රැකියා කොල්ල කාල නේද. අපි ඒවා කරන්න  හොඳ  නැහැ. අපි ලංකාවට ගිහිල්ල ඔය ඉන්දීය ආක්‍රමණය වහාම නවත්වන්න ඕනේ. අපේ රස්සා අපිට." ජවිපෙ ලොකු අයියා කිවේය.
"ඉතින් ඔයාට මෙහෙ පුරවැසි භාවය නේ තියෙන්නේ " මම ඇසුවෙමි.
"මේ සහෝදරයා. නිර්ධන පන්ති ජාත්‍යන්තරය රැස්වී සිටින මේ තීරණාත්මක මොහොතේ කඩාකප්පල් කාරී කතා කියන්න එපා. ඕව ප්‍රතිගාමී වැඩ"
"අම්මට හුඩු " මට ඉබේටම කියැවුණි. ඒ නිව් සෝෂලිස්ට් එකේ ට්‍රොට්ස්කිවාදියෙකි.

හීන් සීරුවේ එතනින් ෂේප් වී හිත්රෝවේ ටර්මිනල් එකෙන් පහතට එනවිට මුණ ගැසුනේ රට ජාතිය බේරා ගැනීමට පෙළපාලි යමින්, අන්තර්ජාල සටන් කරමින් කටයුතු කල ලන්ඩනයේ  සිංහල වීර ගැන්සියේ චේතිකා ය.
"ආ චෙතිකා නංගි මේ පාරනම් ලංකාවට ඇත්තටම යන්නම වගේ නේද "
"ඔයා මට ඔලොක්කුවටමයි අනී කතාව  අයියා.  මම මේ යන අයට උදව් සංවිධානය කරනවා"
"ඔයා යන්නේ නැත්ද?"
"මම ගියොත් කවුද මේව කරන්නේ. ඕනෙම වුනොත් යනවා. අනික ඔය ඉන්දියන් කාරයන්ට විරුද්ධව උද්ඝෝෂණයක් කරලා මෙහෙනුත් එළවන්න  ඕනේ. බලන්න අර හින්දුජා ලා හෙම කොච්චර සල්ලිද මෙහෙන් හූර කන්නේ "
"මම නම් හිතුවේ උන් ඉන්දියාව හූර කනවා කියල මෙහෙට ජොබ් ටික දීලා"
"ඔයා අනී පත්තරයක් වත් කියවනවයි. ඔය බ්ලොග් හුචක්කු කියවල මොනවාද දැන ගන්න පුළුවන්. අර ෆේස් බුක් එකටවත් ගියානම් ඔයාට ඇත්ත දැන ගන්න පුළුවන් අනේ." චේතිකා පොඩි කොමලයක් දැම්මාය.
අපි නම් අහුවෙයි ඕවට.
"ඒක තමයි. ඔයා කීව  හින්ද ඇස් පෑදුන . මාත් යනවා ලංකාවට."

චේතිකා ගෙන් වැඩි ගානට එවෙලේම  මිලදී ගත්  ටිකට් පතකින් යන්තම් සිරි ලන්කන් යානයක පුට්බෝඩයේ එල්ලි කටුනායකට පැමිණියෙමි.
එතනත් කලබලය. හෙන පෝලින්ය. එන එන දේශප්‍රේමී හැමෝම අඩුම කස්ටම් පරීක්ෂාවකින් වීසා බලන්නේ වත් නැතුව ඇතුලට යවති.

වදෙන් පොරෙන් එලියට එනවිට දන්නා අඳුනන පරිගණක ක්ෂේත්‍රයේ මල්ලිලා නංගිලා ටිකක් ඇතුලට එන්න පෝලිමේය.
  "හා අයි ටී මල්ලිලා මොකෝ මේ. අපිව පිලිගන්නද?"
"පිස්සුද අයියා, මමයි කෙල්ලයි මේ ලන්ඩන් යන්න කියල. මේ යාලුවෝ ඇමෙරිකාවට. මෙයා  ඔසී වලට. අර කට්ටිය  අරහෙට .... අර ගොල්ලෝ "
"ඒ කියන්නේ ඔයාල මෙහෙන් යනවා " මම හරස් කැපුවෙමි.

"අයියා මේ චාන්ස් එක අත අරින්න පුලුවන්ද? ජොබ් ගොඩක් ඕපන් වෙලානේ ලන්ඩන් වල, ඇමෙරිකාවේ වගේ රටවල. කියක් හරි හොයා ගන්න පුළුවන්නේ. අපේ ගේත් බාගෙට හදල තියෙන්නේ  "
"මල්ලි මම හිතුවේ ඔයාලට මාර හොඳයි කියලනේ මෙහෙ. ජොබ් වලත් හොඳට  ගෙවනවා නේද? අනික් ඔය එන්න ඉන්න ඉන්දියන් කාරයන්ට එන්න නොදී ඔය ජොබ් වලම ඉන්න එපැයි"
"ඔය කිව්වට අයියේ  ඉතින් හොඳම නැහැ. ගූගල් එකේ වගේ ජොබක් සෙට් වුනොත් කොහොමද? අය්යා සිලිකන් වැලි එහෙම යන්න කාටද ආස නැත්තේ "
"මල්ලි ඉතින් ඒවායේ ගොඩක් කොම්පැනි වල චිෆ් ලා සීඊඕ ලා ඉන්දියන් කාරයෝ නේ. අප්සෙට් නැත්ද උන් යටතේ වැඩ කරන්න."
"පඩි ගෙවනවා නම් මොකක්ද අයියා ප්‍රශ්නේ. අනික මෙහෙ ජොබ් වලට දැන් ඔය පිටරට අත හැරල එන කට්ටියට යන්න පුළුවන්නේ. " මල්ලියා කිවේය.

"අනී  අය්යා අපේ ගෙදර වැඩ කාරියෙක් වත් නෑ අයියෝ. අම්මිට හරී අමාරුයි. වැඩට ගන්න කට්ටිය ඔක්කොමල්ල ඩුබායි ගිහින් නේ . ඉන්දියන් ගෑණු ටිකක් ආවොත් අපේ අම්මිටත් අඩු පඩියට කෙනෙක් ගන්න පුළුවන්." අයිටී මල්ලිගේ   අතේ එල්ලී සිටි අයිටී නංගී තොඳෙලෙට කීවාය.
"අපේ ගේ හදන්න  බාස්ල වත් නෑ අයියා. අර මිහිඳු හාමුදුරුවෝ ඉන්දියාවෙන් ගෙන්නුවා  වගේ ශිල්ප ටිකක් දන්න බාස් ල ටිකක් ගෙන්වන්න කියන්න. මගේ ගේ වැඩ ගොඩක් ඉතුරු වෙලා" ඇමෙරිකාවට  යන්න  බලන් ඉන්න මල්ලියා කිවේය.

"හරි මල්ලි" ඔහුට අත වනාගෙන වහා ආපසු හැරුනෙමි. මගේ ඔළුව ඇඳ  විට්ටමේ දඩාස් ගා වැදිණි. ඒ සමගම මොබයිලේ එලාමය මහා හඬින්  වැදුනේය. දුවගෙන නාන  කාමරයට ගොස් මුහුණ සෝදා හැඳ පැළඳ ගෙන උදෑසන අහර ගැනීමට කෑම මේසයේ හිඳ  ගතිමි.

බිරිඳ රූපවාහිනිය ක්‍රියාත්මක කලාය.
යුරෝපා සංගමයෙන්  ඉවත්ව යාමට සහය දෙන කණ්ඩායම තිරය මත පෙනී සිටියහ.

නාසි වාදීන් රොත්තක්ද, බොරිස්  ජොන්සන්ද, අන්ත ජාති වාදී ඉංග්‍රීසි ලීගයේ එවුන්ද ,  නාසි පෙගිඩා එවුන්ද,  බංගලි දේශ කරි හවුස් සංවිධානයද, ඉන්දියන් කාරයින්ද , ඉන්දියන් මන්තිරි ලා ද යුරෝපා සංගමයෙන් ඉවත්ව යාමේ ව්‍යාපාරයට සහය දීමට එක වේදිකාවේ ය .
" එංගලන්තයේ රස්සා බේරා  ගනු. සෞඛ්‍ය සේවය බේරා  ගනු.  සංක්‍රමණිකයන් නවත්වනු.  " ඉන්දියන් කාරයෙක් කෑ ගැසුවේය.

මම හරියටම ඇහැරිලා දායි දැන ගැනීමට කිහිප වරක් මේසයට ඔළුව  ගැසුවෙමි. බිරිඳ ඇම්බියුලන්ස් එකට අමතනවා   හීනෙන් මෙන් ඇසුනි.

36 comments:

  1. හීතල කාලටෙ පෙනෙන හීනයක් වෙන්න බෑ, දැං එංගලන්තෙට ගිම්හානය නේ!

    ReplyDelete
    Replies
    1. හි හි "ගිම්හානයේ සිහිනය " අලුත්ම නවකතාව

      Delete
  2. සැබෑ නොවන හීනයක්....

    ReplyDelete
    Replies
    1. හීන සැබෑ වෙන්නේ කවද්ද මලේ

      Delete
  3. මඩකලපුවේ එක රෙස්ටුරන්ට් එකක වැඩකරන අයගෙන් 90%ක්ම නේපාලි සහ බන්ග්ලාද්ශයෙන් ආපු කොල්ලො. මැනේජරුත් බන්ග්ලා.

    ReplyDelete
    Replies
    1. වැල්ලවත්තෙත් එහෙමයි.

      Delete
  4. චිකේ.................හොඳ හීනයක් බල බලා සැපට නිදාගෙන ඉන්නකොට කවුද එකෙක් රෙද්ද ගලවාගෙන ගිහින් නේ. පව් අප්පා.

    ReplyDelete
    Replies
    1. රෙදි ඇඳගෙන බුදියගන්නවා කියල කවුද කීවේ

      Delete
  5. අජිත් අයිය මේක නං පට්ටපටපට... ටොප්කියන්නෙ ටොපේ ටොප් අප්පා...

    ReplyDelete
    Replies
    1. මල්ලිට සැට නම් මටත් සැට.

      Delete
  6. මාර වැඩක් වෙන්න යන්නේ.... ඉල ඇදෙන්න ලියලා තියෙනවා...

    ReplyDelete
    Replies
    1. ඉල ඇදෙන්න කොහොම වෙතත් අන්න අද උදේම මාව බුකියේ සමාජවාදී ගෘප් එකකින් එළවලා. විහිළුවක් වත් තේරෙන්නේ නැහැනේ මේ ගොල්ලට.

      Delete
  7. he he he. excellent.

    ReplyDelete
  8. This comment has been removed by the author.

    ReplyDelete
  9. අජිත් අයිය ලංකාවට එන්ටෝ.....මෙහෙ මානසික රෝහල් වල නොමිලේ ප්‍රතිකාර කරනව....හැක් හැක්....

    ReplyDelete
    Replies
    1. හපෝ මෙහෙ හොඳයි. ඕවයේ තවම් කරන්ට් අල්ලනවලු.

      Delete
    2. //To put an end to inter-racial relations on the part of his men ie to stop them screwing black women, he puts into practice a theory he learned from the over-zealous and oversexed lady psychiatrist at the Piemburg prison, Dr von Blimenstein, viz. he has cohorts of policemen put in strait-jackets, their penises wired up to electrodes and shown slides of naked black women projected on the wall. Each new slide prompts a horrific electric shock. (Sharpe’s fiction is not subtle and not for the faint-hearted.) Grotesque as this sounds, the outcome is even more gruesome for the several hundred constables turn out to be put off not just black women, but all women, and become camp homosexuals – big South African rugby-playing cops reporting for duty wearing loud lipstick and garish wigs!//

      https://astrofella.wordpress.com/2015/07/27/indecent-exposure-tom-sharpe/
      මං කියවල තියන හොඳම හාස්‍යජනක පොතක්.
      මිස්ටර් ඒ. පෙරේරාට කියන්න කියවන්න කියල

      Delete
    3. I should buy it. Thanks for the clue.

      Delete
    4. Read Sharpe's other books too. Especially about British Universities

      Delete
  10. ෂැහ්, රාවණාවත් නැගිට්ටනම් ඉන්දියානු ආක්‍රමණයට විරුද්ධව සටන් කරන්න. ම්ම්ම්ම් එයත් ඉන්දියාවෙන් ගෑණියෙක් ගෙනාව නේද?

    ReplyDelete
    Replies
    1. උස්ස ගෙන ආවේ බලෙන්. ගෙනාවේ නැහැ. ඕකනේ කියන්නේ. ඉතිහාසය කියවලා නැහැ. රාවණා බලය කෝ?

      Delete
  11. අපරාදේ ඇයි ඇහැරුණේ ...

    ReplyDelete
    Replies
    1. ඇහැරිලද කියල තවමත් ෂුවර් නැහැ.

      Delete
  12. මෙයට සම්මානයක් අත්‍යාවශ්‍යයද ? අවශයද ? නම්කෙරේද ? ලැබෙයිද ?

    ReplyDelete
    Replies
    1. නැචුව නැචුව, මටම කියල සම්මාන කියක් දීගත්තද දැන්

      Delete
  13. ........අමෙරිකාවෙන් ලංකාවට යන අයගෙන් ට්‍රාන්සිට් කෑල්ල පිරි ඉතිරි ගොසිනි. අහලා වැඩක් නැත........ ආපහු යන්ඩ පොරකකා හිටපු මං කිව්ව දේවල් ලියල තියනවද කියල අකුරක් නෑර බැලුව ම්හු..නෑ නෙව.

    ReplyDelete
    Replies
    1. ආහ් ගුණසිංහ මහත්ම ලඟදි ඇමෙරිකාවේ ඉඳන් නේද ආවේ. ඒ ටික අමතා වුනානේ ලියන්න. කොහොමද ඇමෙරිකාව හෙම?

      Delete
  14. හීන හතක මැද විමනක් තනන්න ගිහින් තමයි බැලුවේ.. බෙහෙතකට බාස් ගෝලයෙක් හොයා ගන්න නෑ..

    ReplyDelete
    Replies
    1. සිරියාවෙන් ගෙන්න ගන්න බැරිද?

      Delete
  15. aiye danne nathi hinda ahnne dan apith givisumak gahala pawl pitin ganna balagena inna ratawl tiynawada ? mama ahanne me rajaya haraha.

    ReplyDelete
    Replies
    1. ඒ කියන්නේ මේ ආණ්ඩුවෙන් ගිවිසුමක් ගහන්න යන්නේ ඉන්දියාවෙන් පවුල් පිටින් ගෙනල්ල ලංකාවේ පදිංචි කරවන්නද? මම නම් දන්නේ නැහැ. හැබැයි ඕස්ට්‍රේලියාවේ යනවා නම් ලංකාවේ අය මුලින් හස්බන්ඩ් ගිහින් නැත්නම් වයිෆ් ගිහින් පස්සේ පව්ලම ගෙන්න ගන්නවා . එංගලන්තේ කැනඩාව වගේ අනිත් හැම රටවලමත් එහෙමයි නේද? මං කියන්නේ ලංකාවේ සිංහල දෙමල හැමෝම කරන වැඩේ.
      එතකොට ඉන්දියන්කාරය ලංකාවට වැඩ කරන්න එන්න ගිසුම් ගහනවය කියමු. මේ එංගලන්තේ ඉන්න ඉන්දියන් කාරය මොකද කරන්නේ.
      //" එංගලන්තයේ රස්සා බේරා ගනු. සෞඛ්‍ය සේවය බේරා ගනු. සංක්‍රමණිකයන් නවත්වනු. " ඉන්දියන් කාරයෙක් කෑ ගැසුවේය.//
      යුරෝපයේ සංක්‍රමණිකය නවත්වන්න හදනවා. ඉතින් මල්ලි මේක අපබ්‍රංශයක් හා කුහක කමක නෙමේද? ලෝකය පටන් ගත්ත ද පටන් ජාතින් අතර සංක්‍රමණය තිබ්බා.ඉංග්‍රීසින් කියනන් සක්සොනියාවේ සිට පැමිණි ජර්මන් වරු හා ප්‍රංශ නොර්මන් වූ අතර සංකලනයක්.
      මුක්කර හටන යුද්ධය අහල තියනවද? 7000 ක් දකුණු ඉන්දියාවෙන් සොල්දාදුවන් කෞරවයන් ගෙනල්ල 6 වන පරාක්‍රමබාහු පුත්තලම අල්ල ගත්ත හැටි. ඒ කොටසක් අම්බලන්ගොඩ පදින්ස්හි වුනය කියල. කොටසක් නුවර පදිංචි වුනාය කියල.

      Delete
  16. පේනවැයි කියල මෙහෙමත් හීන පේනවද අප්පා..

    ReplyDelete

සියලු හිමිකම් අජිත් ධර්මකීර්ති (Ajith Dharmakeerthi) සතුය. කොළඹ ගමයා බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ අජිත් ධර්මකීර්ති යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ.
මෙහි පලවන ලිපි සහ දේශපාලන අදහස් මගේ පෞද්ගලික අදහස් පමණි.
ඔබේ ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. නමුත් වෙනත් කෙනෙකුට සාධාරණ හේතුවක් නැතුව පහර ගසන අශිලාචාර අන්දමේ ප්‍රතිචාර පමණක් පල නොකෙරේ. බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ස්තූතියි .