Tuesday 1 November 2016

භෞතිකවාදියෙකු (Materialist), අධි මානසික විද්‍යාවන් හා (paranormal) මරණයෙන් පසු ජීවිතය ගැන සෙවූ හැටි - දහවන කොටස

නමවන කොටසට යන්න 
නාලන්දාව 

"සොෆීගේ ලෝකය " නමැති දර්ශනවාදය ගැන ලිහිල්ව ලියන ලද පොතක් තිබේ. මෙය දර්ශනවාදය ගැන උනන්දුවක් දක්වන්නන් බොහෝ විට කියවන පොතකි. පොතේ අවසන් කොටසේ ජ්‍යෝතිෂය, මළවුන් සමග කථා කිරීම, දෙවියන්ගේ නැවත පැමිණීම ආදිය ගැන සංවාදයක් ඇත.  (Spiritism, New Age, Alternative Life-Style, Mysticism, telepathy, Clairvoyance, Psychokinetics මෙන්ම මා මුලින් සඳහන්  කල EVP ).
(පරිවර්තනය)
"බොහොමයක් මේ දේවල් සත්‍ය විය නොහැකිය. (සත්‍ය දේවල් තිබිය හැකිය) මේවා  විකිණෙන්නේ හරියට අසභ්‍ය චිත්‍රපට (pornography )  ලෙසය.  බොහොමයක් ඉහත සඳහන් මාතෘකා ඇත්තෙන්ම බ්ලූ චිත්‍රපට හෙවත් කාමාශක්ත චිත්‍රපට වැනිය. තරුණ ජනයා පැමිණ මේ අදහස් මිලදී ගෙන ඒවායින් වශී වෙති. නමුත් සැබෑ දර්ශනවාදය හා මෙවැනි පොත්පත් (හෝ අදහස්)  අතර වෙනස හරියට සැබෑ ආදරය (ප්‍රේමය) හා අසභ්‍ය චිත්‍රපට අතර වෙනස මෙනි."

"මේ හැම විෂයක්ම වැරදියි, නරකයි කියන්නට අප‍ට නොහැකිය. නමුත් මේ හැම විෂයක්ම වාගේ  කිසියම් අද්භූත භූමි ප්‍රදේශයක හොඳ විස්තර සහිත සිතියමක්  අඳිනු ලැබේ. නමුත් ඒ භුමි ප්‍රදේශය  සැබෑව තුළ ඇත්තේ නැත. (does not exist in reality).
(පිටුව 466 - Sophie's world)

ෆ්රිටෝෆ් කප්‍රා (Fritjof Capra ) ගේ පොතේ (The Tao of Physics ) පිටු 108-110 දක්වා කොටසේ කිසියම් අනුවර්තනයක් ඉදිරිපත් කරමි. මා  අනුවර්තනය කර ඇත්තේ මට අවශ්‍ය කොටස්  පමණය. 
(අනුවර්තනය)
"පළමු ධර්ම සංගායනාව පවත්වන ලද්දේ සිදුහත් ගෞතමයන්ගේ පිරිනිවිමෙන් වසර පන්සියයකට පමණ පසුය. සංඝයා විසින් මතකයෙන් ගෙනා සුත්‍ර හා දේශනා සම්පුර්ණයෙන්ම  බුදුන් විසින් දේශනා කළ බවට කිසිදු සාක්ෂියක් නැත. ඇත්තේ එසේ යයි පිළි ගැනීමක් පමණි. භික්ෂුවගෙන්  භික්ෂුවට කට පාඩමින් පරම්පරගතව  ගෙන එන ලද දැනුම පාලි භාෂාවෙන් ග්‍රන්ථාණුරුඪ  කරන ලද අතර එය හැඳින්වෙන්නේ හීනයාන නමිනි.

මහායානය සමන්විත වන්නේ ඉතා විශාල සුත්‍ර සංඛ්‍යාවකිනි. ඒවා ලියා  ඇත්තේ සංස්කෘත භාෂාවෙන් වන අතර ලියා  ඇත්තේ බුදුන් ගේ පිරිනිවීමෙන්  වසර සියයකට දෙසීයකට පසුය.  මේ නිසා බුද්ධ ධර්මය ඉතාමත් සවිස්තරව ඒ ලෙසින්ම වාගේ ලියා ඇත්තේ මහායාන ග්‍රන්ථවල බව පැහැදිලිය. හීනයානයේ නොවේ.

මහායානය තමන්ව හඳුන්වා ගන්නේ බුද්ධ දර්ශනය ඉදිරියට ගෙනයන මහා වාහනය ලෙසිනි. ඒ මහායානය විසින් බුද්ධත්වය ලබා ගැනීම සඳහා නොයෙකුත් දක්ෂ ක්‍රම සහ විධි සපයන බැවිනි. ඇතැම් සුත්‍ර දේශනාවල පෙන්වන  බුදුන් වහන්සේ  ගේ ධර්ම ය කෙරෙහි දැඩි විශ්වාසයේ සිට  නවීන විද්‍යාත්මක චින්තනයට ඉතා ලඟින් යන දියුණු දර්ශනවාදී සංකල්පයන් මහායානයේ දක්නට ඇත. මින් ඉතා ප්‍රධාන සහ වැදගත්ම චින්තකයා වන්නේ අශ්වඝෝෂය. ඔහු ජිවත් වුයේ ක්‍රි.පූ පළමුවන සියවසේය.  බුදු දහමේ එන තථාත ගුණය (suchness) පිළිබඳව ඔහු "ශ්‍රද්ධාව අවදි කරගන්නේ කෙසේද " යනුවෙන් කුඩා ග්‍රන්ථයක්ද පළ කළේය.  මහායාන සම්ප්‍රදායේ මුලිකම පොතක් බවට එය පත්විය.

වඩාත් නුවණැති මහායාන දාර්ශනිකයා  වන නාගර්ජුන ගේ අදහස් වලට ප්‍රබලම බලපෑමක් කළේ අශ්වඝෝෂය.  නාගර්ජුන දයලෙක්තික තර්කනයන් මගින් යථාව (reality) පිලිබඳ එදවස ඇති සංකල්ප වල සීමා සහිත බව පෙන්වා දුන්නේය. (දයලෙක්තිකය නමින් හැඳින්වෙන්නේ පරික්ෂණාත්මක ලෙස හෝ සංවාද මගින් අදහසක සත්‍යභාවය සෙවීමේ ක්‍රමයටයි) එදවස තිබූ  පාරභෞතික අදහස් වලට  (Metaphysics) දැඩි ලෙස තාර්කික පිළිතුරු දෙමින් යථ  හෝ යථාර්ථය සංකල්ප හෝ සිතුවිලි මගින් එළඹෙන නිගමන වලින් වටහා ගත නොහැකි බව හේ පෙන්වා දුන්නේය.

අශ්වඝෝෂ ගේ තථාත (හෙවත් suchness ) යන්නට නාගර්ජුනයන්  නව අරුතක් ගෙනාවේය. ඒ ශුන්යාත (sunyata - void / emptiness - හිස් බව - කිසිවක් නැති ) යන වචනයයි. එහි තේරුම නම් සියලුම සංකල්පයන්ගේ නිෂ්ඵල භවය තේරුම් ගත්  පසු යථ (reality) ලෙස අපට ගෝචර වන්නේ පිරිසිදු තථාතය  (Tathātā  - suchness)  බවයි. යථාර්ථය යනු හිස් බවකියි කීමෙන් නාගර්ජුන  මේ නැත්තක් (nihilism) ගැන කතා කරනවා නොවේ.  ඔහු කියන්නේ මිනිස් සිතේ "යථ" (හෙවත් පැවැත්ම ) පිලිබඳ හට ගන්නා යලු සංකල්ප අවසානයේදී නිශේධනය වන බවක් හෙවත්  හිස් බවක් ඇති වන බවයි. නමුත් මේ හිස් බව යනු සියළු  ජීවයන්ගේ සහ සියළු වර්ගයන්ගේ මුලාශ්‍රය වේ. (source) . "
(මගේ අදහස) 
දැන් මෙය භෞතික විද්‍යාඥයන් එළි  දක්වා ඇති විශ්වයේ උපත  (බිග්බැන් වලින් පසු) පිළිබඳ  මොඩලය (standard model) ගැන සසඳන්න. එම "හිස් බවේ" (nothingness) සිට  හිග්ස් බෝසෝන් වැනි මුලික අංශුන් හා ඉන් බිහිවූ විශ්වය (පදාර්ථ වල පරිණාමය හා ජිවය) ගැනද  සිතන්න. (මේ මා බිග්බැන් ගැන කලින් ලියුවක්. සහ තවත් ලිපියක්) ) නාගර්ජුන සිටියේ කොතනද යන්න වැටහෙන්නට එය ප්‍රමාණවත්ය. 

(අනුවර්තනය)"දෙයක ස්වභාවය ගැන මහායානයේ ඇත්තේ  හිස් බව, තථාත ගුණය වැනි වියුක්ත පාරභෞතික (metaphysics) අදහස් ම නොවේ.  මෙහිදී metaphysics යනු යථාර්තය පිළිබඳව ඉගෙනීම හෝ ඇත්තෙන්ම පවතින්නේ (exist) කුමක්ද යන්න ගැන  ඉගෙනීමයි.  (මා පාරභෞතිකවාදය යන නම යොදා ගත්තද එය නිවැරදිද යන්න නොදනිමි. )  මහායානයේ "ධර්මකාය " යන්නක්ද හඳුන්වා දෙයි. ධර්මකාය යනු දෙයක පැවැත්ම සතු කයයි. (body of being). මේ "ධර්මකාය " යනු බෞද්ධ විඥානය ට හසුවන යථාර්තයයි (යථ). හින්දුන් බ්‍රහ්මන් කියන්නෙත් මේ හා සමාන දෙයකටය.  විශ්වයේ සෑම භෞතික පදාර්ථයක් පුරාවටම විහිද යන ධර්මකාය මිනිස් මනසේ පතිත වන්නේ "බෝධි" හෙවත් සියල්ල අවබෝධ කරගත් අරහත් වශයෙනි." 
(උපුටා ගැනීම අවසන්)

ථෙරවාද බෞද්ධ  සම්ප්‍රදායේ සිදුහත් ගෞතමයන් විසින් වදාරන ලද්දේ පදාර්ථයක අවස්ථා දෙකක් එනම් දෙයක පැවැත්ම හා නොපැවැත්ම (existence and non-existence)  ගැනය. මෙයින් පැවත්මෙහි (existence) තවත් ලක්ෂණ තුනක් ඇත. වෙනස් වන සුළු බව හෙවත් අනිත්‍යය  (impermanence) , තමන් නොවන හෙවත් අනත්ත (insubstantiality or no - self ) සහ දුක(suffering) ය. 

  අනත්ත යන ලක්ෂණය යටතේ ආත්මයක්(අත්ත හෝ අත්මන්) නොමැති බව හඳුන්වා දෙයි. මෙහිදී හින්දු  ආගමේ සඳහන් ආත්මය -  ආත්මයෙන් ආත්මයට ගමන් කිරීමේ පුනර්භවය (reincarnation) ප්‍රතික්ෂේප  කෙරේ.  ඒ වෙනුවට rebirth හෙවත් පුනරුත්පත්තියක් ඇත. පුනරුත්පත්තිය ලබන්නේ no -self හෙවත් තමන් නොවේ. ඒ වෙනුවට ඇත්තේ ක්‍රියාවලියකි. මේ අනත්ත යටතේ තමන් නොවන ක්‍රියාවලිය ගැන සඳහන් කිරීමේදී එය විස්තර කිරීමට පංචස්කන්ධය යොදා ගනු ලැබේ. බෞද්ධ අදහසේ විඥානය වැටෙන්නේ  මේ පංචස්කන්ධයෙන් එකක් ලෙසය. එහිදී විශ්වයේ සියලු පදාර්ථ (matter) රූප යනුවෙන් හැඳින්වේ.
පොත මිලදී ගත් බුද්ධගයා පන්සල 
මේ ලිපියේ බුද්ධ ගයාවේ පන්සලේ ඇති පොත් හලින් පොතක් මිලදී ගත්  බව කීවෙමි.
ඒ  සංස්කෘත භාෂාවෙන් ලියැවුණු  පොතේ ඉංග්‍රීසි පරිවර්තනය වන පී ගෝකාල් (P. P. Gokhale ) විසින් ලියන ලද "හේතුබින්දු" හෙවත් "ප්‍රොබන්  වල තර්කය" (A Point of proban) නමැති පොතයි. ප්‍රෝබන් යනු සංස්කෘත හෝ හින්දි වලින් "හේතු" යන තේරුම දෙයි.  එනම් සාධනය කිරීම, ඔප්පු කිරීම වැනි අරුතකි.

මේ පොතේ 91, 92, 93 පිටුවල පැවැත්ම ගැන සාකච්චා වෙයි. පිටු කිහිපය පරිවර්තනය කළහොත් මේ ලිපිය දිග වැඩිවන නිසා අවශ්‍ය කොටස පමණක් ලියමි. (අවශ්‍ය අයට කියවීමට පින්තුර පහළ දක්වා ඇත.)

දන්නා (knowable) දෙයක පැවැත්ම ඇත්තේ ඒ ගැන (ඇති) දැනුමේ පැවැත්ම මතය.  අප දන්නේ මේ මොහොත ගැන පමණි. යථාර්තය හෙවත් යථ යනු මේ මොහොතය. ඊට කලින් (පූර්ව ) හෝ ඊට පසු (අනාගත) නොවේ.  මේ මොහොතට කලින් ඇත්තේ යථාර්ථය  නොව ඒ පිළිබඳ  දැනුම හෝ මතකය පමණය.

මේ පොතේ නාගර්ජුනයන්ගේ ශුන්යාතය පිලිබඳ අදහස ඉදිරියට ගෙනයමින් පැවැත්ම පිලිබඳ සාකච්චා  කෙරෙන්නේ දම්මකිත්ති  ගේ ස්වලක්ෂණ (ඔන්ටෝලොජි) නම් අදහස තුලය. එහි ඔන්ටෝලොජිය හා එපිස්ටමලොජිය ගැන සාකච්චාවක්  ඇත.  ඔහුට අනුව යථාර්තවාදී ලෝකය සමන්විත වන්නේ මේ මුලික "ස්වලක්ෂන" වලිනි. (self- characterised ) මේ හැම ස්වලක්ෂනයකම  තමන්ගේම "ස්වභාවයක්" ඇත.  ඔන්ටෝලොජිය හා එපිස්ටමලොජිය යනු දර්ශනවාදී දැනුමේ මුලික අංග දෙකකි. ඉතාම සරල ලෙස කිවහොත් ඔන්ටෝලොජිය යනු "දේ යනු කුමක්ද" යන්නය (what things are). එපිස්ටමලොජිය යනු අපි දේවල් ගැන දන්නා ආකාරයයි. (the way we know things.
ඉහත ලිවූ සියල්ල මළවුන් හා කෙරෙන කතාබහට සම්බන්ධ වන්නේ අපි පැවැත්මක් නැති (non - existent ), අපට ගෝචර නොවන   ලෝකයක් ගැන සඳහන් කරන හෙයිනි. එවැන්නක් තිබේ නම් ඒ කෙසේද යන්න සොයා ගැනීම යනු ඒ පිලිබඳ දැනුම ලබා ගැනීමයි. එනම් නාගර්ජුන හා දම්මකිත්තිට අනුව එය සැබෑව හෙවත් පැවැත්ම හා සම්බන්ධ කිරීමට හැක්කේ දැනුම ලබා ගැනීම තුලින් පමණක් බවයි.


~ මතු සම්බන්ධයි.

ෆ්රිටෝෆ් කප්‍රා (Fritjof Capra ) ගේ වෙබ් අඩවිය http://www.fritjofcapra.net/
බිග් බැන් BigBang හෙවත් මහා පිපිරුමට නම ලැබුන හැටි 
බිග් බැන් (Big Bang ) තහවුරු කල CMB
Tathātā - https://en.wikipedia.org/wiki/Tath%C4%81t%C4%81
https://kolambagamaya.blogspot.co.uk/2016/09/materialist-paranormal_29.html

44 comments:

  1. අජිත්.... බොහෝ විට උඹ මිථුන ලග්න කාරයෙක් වෙන්න ඕනා. උඹේ බුද ප්‍රබලයි නමුත් ඉන්නෙ කුජගේ පාප දෘෂ්ටියට ලක්වෙන තැනක. නමුත් උඹේ කුජත් බලවත්. නමුත් ඔය තැන් දෙකම ගුරු ගේ ප්‍රබල දෘෂ්ටියකට ලක්වෙන්නේ නෑ.

    ඒ වගේම උඹ බොහෝ විට කාලසර්ප යෝගයෙන් යන්තම් මිදුණු කෙනෙක් වෙන්න පුළුවන්. සමහර විට අහුවෙලා තියෙන්නත් පුළුවන්. ඒ වගේම උඹට රාහු සහ කේතු නරකට බලපානව විශේෂයෙන් රාහු. ඒ වගේම උඹේ ලග්නස්ථානය බොහෝ විට සෙනසුරුගේ පාප දෘෂ්ටියට අහුවෙන නිසා බොහොම හොඳ දේවල් ලැබෙන්නේ පහුවෙලා. නමුත් රවීගේ බලපෑම නිසා කවදාවත් ඒ දේවල් නොලැබෙන්නේ නැහැ.

    කාන්තාරෙක අතරමං කළත් උඹ ආපහු එනවාමයි. අතේ සතේ නැතුව අද රෑ සිගරට් එක්ක බොන්න සල්ලි නැති උනත් උඹට හෙට උදේට කොහෙන් හරි ගානක් එනවාමයි. ප්‍රබල හඳහනක් . දුර්වලකම් අඳුනාගෙන ටිකක් අමාරුවෙන් 2019 අග වෙනකම් ඇදපන්. 2020 දී උඹ ඉන්න තැන උඹ හීනෙන්වත් හිතල නෑ.

    ReplyDelete
    Replies
    1. ඔයා මේක මාතලන්ටත් දාල තිබ්බ නේද? හේ හේ මේ විධිහටම. මම කේන්දර විශ්වාස කරන්නේ නැත. පසුව සොයා බලමි.

      Delete
    2. මගේ එකෙත් කීප සැරයක් දාලා මම කැපුවා...

      පස්සෙ ආතල් එකක් දෙන්නත් එක්ක ඌව ෆෝම් කලා... මෙයා මෙමේ ලේක් හවුස් එකේ ඉන්න කෙනෙක්..

      පව් නේ ඉතින් කාගේ හරි දරුවෙක් නේ...

      Delete
    3. හැබයි පොර හඳහන් ගැන දැනුමක් තියෙන එකෙක්... මෙහෙම උන් නිසා තමයි බ්ලොග් යන්නේ... බෝතලේ ඇනෝ, බෙබේ ඇනෝ එහෙම මතකයි නේ

      Delete
    4. දැං ඉතිං බලහං උඹ ඔව්වා කියල මිනිස්සු හිතයි නලියා කියල

      Delete
    5. ඌ බ්ලොග් තියා බුකියෙත් හොයා ගන්න නෑ නේ බං.....

      Delete
    6. පොරට බ්ලොග් ලියන ඔක්කොම මිථුන වගේලු පේන්නේ.

      Delete
    7. රසිකගේ එකෙත් දාල නේද? ඔය රවී ගේ බලපෑම කියනෙන් - අපේ නිදහස් සිතුවිලි ලියන රවියා ගැන වෙන්න ඇති.

      Delete
    8. එයා තමයි රවී වීරසිංහ ගෙන් මටත් අපලයි හෙහ් හෙහ්

      Delete
    9. රවියාව අල්ලලා බැඳලා දාමු . ඔය එහෙ මෙහේ ග්‍රහ ලෝක වල යන්නේ නැතිව අර අනන්‍යා ගේ කතාව ලියන්න කියල එක තැනක ඉඳගෙන.

      Delete
    10. nayane sithuwili2 November 2016 at 16:13

      he is talking about the other ravi...
      who is making the budget

      Delete
    11. ආ මේ වැට් රවියා සිගරට් වලට කෙළියා
      රවී

      Delete
  2. මේ ළිපිය කියවන එකට වඩා ග්‍රීක් පොතක් බලන එක හොඳයි කියලා හිතා ගත්තා. ඒත් ඉතින් උඹ ලියන්නේ උඹේ ඕඩියන්ස් එකට නේ..

    ReplyDelete
    Replies
    1. මගේ ඕඩියන්ස් එක ඉතින් නයනේ සහ මධ්‍යස්ථයා වෙන්න ඕනේ. එහෙම එකක් නැහැ. මම හිතාගෙන හිටිය විධිහට ලියන්නේ. කවුරු කියෙව්වත්. මචන් මෙතන මොන කොටසද ග්‍රීක් කියපන්. ආපහු ලියන්න බලන්න.

      Delete
    2. ජීවත්වන්නන්ට වඩා වඩා මලවුන් සංඛ්‍යාව වැඩියයි උපකල්පනය කල හැක. එයින් කීදෙනෙක් කතා කරන්නේද, කතා කිරීමට අදහස් කරගෙන සිටින්නේද, කීදෙනෙක් ස්පීච් රයිටර්ස්ලා හොයමින් සිටින්නේද යන්න කිව නොහැකි නමුත් මෙයට ඇති ඕඩියන්ස් එක ලොකුබව සිතිය හැක

      Delete
    3. ඕඩියන්ස් එකක් නැහැ බන් මේවට. වෙන මොනව හරි වල්පල් ටිකක් වත් ලියන්න ඕනේ. ආපහු ඇදල ගන්න. හේ එහ

      Delete
    4. මල කෙලියයි, මමත් ඕඩියන්ස් එක වෙලානේ...!

      Delete
    5. සමාවෙන්න සමවෙනන් ඔබතුම පාටිසිපන්ට් කෙනෙක්නෙ.

      Delete
    6. nayane sithuwili3 November 2016 at 14:19

      oh no...
      it was just a joke

      Delete
  3. //අප දන්නේ මේ මොහොත ගැන පමණි. යථාර්තය හෙවත් යථ යනු මේ මොහොතය. ඊට කලින් (පූර්ව ) හෝ ඊට පසු (අනාගත) නොවේ. මේ මොහොතට කලින් ඇත්තේ යථාර්ථය නොව ඒ පිළිබඳ දැනුම හෝ මතකය පමණය.//

    මේ ටික කියවලා හිත හදාගත්තා. :P

    ReplyDelete
    Replies
    1. හිත හැදුනානම් හොඳයි. :)

      Delete
  4. හම්මේ ඇති යන්තං, වෙන්ට පුළුහං යමක් ලියල. මහායානේ කියන්නේ පිස්සුවක් කියලයි හිතාන හිටියේ, එහෙමනේ බුද්ධාගම ඉගැන්වු හාමුදුරුවෝ කිව්වේ, ලංකාවේ මහායාන දහම නැත්තේ කිතුල් රා කලයක් නිසා වෙන්ට පුළුහං කියලා ඉලංකෝන්ගේ විවරණයේ ලියල තිබ්බ,තිබ්බනම් අපූරුයි.

    ReplyDelete
    Replies
    1. වෙන්ට පුළුවන් මොකක්ද කියල කල්පනා කළේ? මහායානේ එහම පිස්සුවක් නෙමෙයි. අශ්වඝෝෂ , නාගර්ජුන හෙම කියන්නේ ඇරිස්ටෝටල් , හේගල් , මාක්ස්, හියුම්ස් තරමටම ප්‍රබල දර්ශනකිකයන්. ඔය ලනක්වේ හරියට කියවන්නේ නැතුව කියන විකාර කථා . තමන් විතරක් හරිය කියලනේ හැම වෙලේම හිතන්නේ.

      Delete
  5. මුල ඉඳන්ම කියවන් ආවා.මේකත් කියව ගත්තා.ශාස්ත්‍රීය සාකච්ඡාවක වගේ නිසා පැත්තකින් ඉඳගත්තා... ලොකු අයගෙ කතා මැද්දට පනින්නැතුව කටවල් දිහා බලන් ඉන්න එක හොඳයි වගේ.
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. ජයවේවා. ඔයා පොඩි අයෙක් කියල හිතුනේ ඇයි? තර්නුකාකුලව හිතන දේ ලිව්වම ඉවරයි. මෙතන ලොකු පොඩි භේදයක් නැහැ.

      Delete
    2. ප්‍රමාණාත්මක හැදෑරීමක් නැතුව අදාල කරුණු ගැන කතාකරන්න පුළුවන් සීමාවෙන් එහාට ලිපිය ගිහිල්ලා වගේ හැඟුනා.
      පීලි පනින්නැතුව පෝස්ට් එක ඉස්සරහට යන එක වටින නිසා පොඩ්ඩක් සයිඩ් උනා.සිම්පල්...

      Delete
  6. අතරින් පතරවත් වෙන මොනව හරිත් ලියන්න , හෙහ්

    ReplyDelete
    Replies
    1. එහෙමවත් බලමු නේහ්.

      Delete
  7. අජිත් මේ ලෙපිය තුල ඔබ කරන සාකච්චාවේ ථේරවාදය ගැන බොහෝ වැරදි උපකල්පන මත ඔබ පිහිටනවා. මා කියන්නේ නැහැ මහා යානය හෙ ථේරවාදය වඩා උසස් බවක් ඒ දෙකම දෙවිදියකට බුදුන්ගේ ධර්මය සාකච්චා කරනවා.
    ඔබ මහා යානයෙහි කරන උපුටා දැක්වීම් ථේරවාදය තුලත් අප සාකක්ච්චා කරන කාරනාම බව ඉතා පැහැදිලියි.
    එහෙත් ථේරවාදයෙහි සම්ප්‍රදාය වඩා වෙනස්. එහිදී ඔබ මෙවන් බොහෝ දේ වටහා ගත යුත්තේ ඔබ තුලින්මයි එවිට එය අවබෝධය බවට පත් වනවා. ඒත් මෙවන් කරුනු ගැඹුරින් විග්‍රහ කිරීමේදී කෙනෙකු ඒ විග්‍රහ කරන දාර්ශනිකයාගේ දැක්ම දෘශ්ටි වශයෙන් ග්‍රහනය කරගන්නවා. එය අවබෝධයට බාධාවක්.
    නාගර්ජුන විසින් හිස් බවක් ගැන කථා කරනවා කීමෙන් නැත්තක් අදහස් නොවේයැයි මෙහි කියැවෙනවා. ඉතින් මේ ථේර වාදයෙහි කියන සංකල්පමනේද?
    ථේර වාදයෙහි කොතැන ද බුදු හිමියන් විසින් පදාර්තයක් ඇති බව හා නැති බව ගැන කීවායැයි සඳහන් වන්නේ. ථේරවාදයෙහි ඇති බවත් නැති බවත් ඇති නැති බවත් නැති ඇති බවත් ප්‍රථික්ශේප වන බවයි මම නම් දන්නේ.
    එසේම ථේර වාදය විශ්වයෙහි ඇති සියළු දේ සම්බන්ධයෙන්ම සම්මුති ධර්ම වශයෙනුත් පරමාර්ථ ධර්ම වශයෙනුත් සාකච්චා කෙරෙනවා. මෙය වටහා ගත යුත්තක්.
    එසේම අනිත්‍ය දුක්ඛ අනාත්ම ට්‍රිලක්ෂණය ගැන ඔබ දක්වන මතය බොහෝ ව්‍යාකූලයි.
    එහි අනත්ත කීමෙහි ආත්මන් ගැන කිසිදු සඳහනක් ඇත්තේ නැහැ. එනම් එයින් කියැවෙන්නේ ආත්ම වශයෙන් ස්ථාවර වූ දෙයක් වශයෙන් ගත හැකි කිසිවක් නැති බවයි. අත්ත යන්න තුල ආත්මන් හෝ ආත්මය යන සංකල්පය ගැබ් වන්නේ නැහැ.
    එසේම අනත්ත යනු තමන් නොවන බව ලෙසත් අනිච්ච යනු තමන්ගේ කැමැත්තට අනුව නොපැවතීම ලෙසත් විග්‍රහ කරන්නේ වෙති ඒ ගැන සමස්ථ ථේරවාදී දහම වගකීම දැරිය යුතු නැත.
    ථේරවාදය ඔබ කියන ලෙස පුණර් භවය ප්‍රථික්ශේප කොට පුනරුත්පත්තියක් කථා කරන්නේ නැත එහි අනෙක් පස විය යුතුය. භවයක් ගැන දෙසන් බුදු දහම පුණර් භවයක් ගැනද කතා කරයි.

    "එවැන්නක් තිබේ නම් ඒ කෙසේද යන්න සොයා ගැනීම යනු ඒ පිලිබඳ දැනුම ලබා ගැනීමයි. එනම් නාගර්ජුන හා දම්මකිත්තිට අනුව එය සැබෑව හෙවත් පැවැත්ම හා සම්බන්ධ කිරීමට හැක්කේ දැනුම ලබා ගැනීම තුලින් පමණක් බවයි."
    මේ කොටස ථේර වාදයට වඩා වෙනස් වන්නේ මෙහි දැනුම ගැන කරන කථාව ථේරවාදයෙහි අවබෝධය ලෙසින් කැථා කිරීම පමණි. එහෙත් මේ සංස්කෘතයෙන් ඉංග්‍රීසියටත් ඉංග්‍රීසියෙන් සිංහලටත් කෙරුනු පරි වර්ථනයක් නිසා මහා යානයෙහිද මෙය අවබෝදයම විය හැකිය. මන්ද මේ සියල්ල බුදු දහමේ පෝශනයෙන් ලියැවුනු දේ බැවිනි.

    ReplyDelete
    Replies
    1. //අජිත් මේ ලෙපිය තුල ඔබ කරන සාකච්චාවේ ථේරවාදය ගැන බොහෝ වැරදි උපකල්පන මත ඔබ පිහිටනවා. මා කියන්නේ නැහැ මහා යානය හෙ ථේරවාදය වඩා උසස් බවක් ඒ දෙකම දෙවිදියකට බුදුන්ගේ ධර්මය සාකච්චා කරනවා.// ඔය නිල් පාටින් තියෙන්නේ මගේ මතය නෙමෙයි. කැප්‍රා පොතේ කියන දේ. තර්කය පැහැදිලියිනෙ. අවුරුදු 500 විතර පස්සේ කටින් කට ඇවිත් සංගායනා කරල ලියපු එකේද අවුරුදු 100 කට 200 කට පස්සේ සංස්කෘත වලින් ලියපු එකේද වඩා නිවැරදි ලෙස බුදුන්න්ගේ දේශනා දක්වන්නේ කියල කැප්‍රා අහන්නේ.

      Delete
    2. //නාගර්ජුන විසින් හිස් බවක් ගැන කථා කරනවා කීමෙන් නැත්තක් අදහස් නොවේයැයි මෙහි කියැවෙනවා. ඉතින් මේ ථේර වාදයෙහි කියන සංකල්පමනේද? // නාගර්ජුන කියන්න බෞද්ධ දාර්ශනිකයෙක්. ඉතින් ඔහු කියන්නේ බුදුන් කිවූ දේ තමා.

      Delete
    3. //ථේර වාදයෙහි කොතැන ද බුදු හිමියන් විසින් පදාර්තයක් ඇති බව හා නැති බව ගැන කීවායැයි සඳහන් වන්නේ.// ඒක තියනවා. මිලින්ද ප්‍රශ්නය කියන එක ප්‍රසිධ්දයි. අභිධර්මයේ මුල පටන්ම තියනවා.
      //ථේරවාදයෙහි ඇති බවත් නැති බවත් ඇති නැති බවත් නැති ඇති බවත් ප්‍රථික්ශේප වන බවයි මම නම් දන්නේ// කොහෙද මෙහෙම තියෙන්නේ කියන්න බලන්න. එහම තියනවා නම් ඒක හරිද?
      ඔතන් පදාර්ථය කියන නම මම දැම්මේ. දේශනා වල රූපයන හෝ එහම් නැත්නම් "දේ " හෝ "දෙයක් " ගැන කියවෙන්නේ.

      Delete
    4. //එහි අනත්ත කීමෙහි ආත්මන් ගැන කිසිදු සඳහනක් ඇත්තේ නැහැ. එනම් එයින් කියැවෙන්නේ ආත්ම වශයෙන් ස්ථාවර වූ දෙයක් වශයෙන් ගත හැකි කිසිවක් නැති බවයි. අත්ත යන්න තුල ආත්මන් හෝ ආත්මය යන සංකල්පය ගැබ් වන්නේ නැහැ.// මේ ඔබ තේරුම් ගත් හැටියි. බුදුන් අනත්ත කියන එක දේශනා කලේ හින්දු ආගමේ ආත්මය කියන සංකල්පයට විරුද්ධව.

      Delete
    5. //මේ කොටස ථේර වාදයට වඩා වෙනස් වන්නේ මෙහි දැනුම ගැන කරන කථාව ථේරවාදයෙහි අවබෝධය ලෙසින් කැථා කිරීම පමණි. එහෙත් මේ සංස්කෘතයෙන් ඉංග්‍රීසියටත් ඉංග්‍රීසියෙන් සිංහලටත් කෙරුනු පරි වර්ථනයක් නිසා මහා යානයෙහිද මෙය අවබෝදයම විය හැකිය. මන්ද මේ සියල්ල බුදු දහමේ පෝශනයෙන් ලියැවුනු දේ බැවිනි.// එකඟයි

      Delete
    6. //ථේරවාදය ඔබ කියන ලෙස පුණර් භවය ප්‍රථික්ශේප කොට පුනරුත්පත්තියක් කථා කරන්නේ නැත එහි අනෙක් පස විය යුතුය. භවයක් ගැන දෙසන් බුදු දහම පුණර් භවයක් ගැනද කතා කරයි. // ඉංග්‍රීසි වචනය දැම්මේ ඒකයි. හින්දු හෝ ජයින ආගමේ reincarnation කියන සංකල්පය බුදු දහමේ ඒ ලෙසින්ම නැහැ. ආත්මන් හෙවත් soul එකක් දිගටම භාවයෙන් භාවයට යන එකම soul එකක් තියනවා කියල බුදු දහමේ නැහැ. ඔයමත් ඒක කිව්වනේ.

      Delete
    7. මේ ඔයා ලියපු දෙයක්.
      //නයනේ - සිතුවිළි8 October 2016 at 14:26
      අජිත්, අටිච්ච සමුප්පාදය වඩා තර්කානුකූලයි කියා ඔබ කියන නිසා මට මේ ටිකත් මෙතැනදීම කියන්න හිතුනා.
      පටිච්ච සමුප්පාදයේ මෙහෙම කියැවෙනවා (මට අවශ්‍ය කොටස පමණයි මම මෙතැනදී ගන්නේ)
      විඥ්ඥානය හේතු කොට නාම රූප හටගනී
      නාම රූප හේතු කොටගෙන ආයතන සය හට ගනී
      ආයතන සය හේතු කොටගෙන ස්පර්ශය හටගනී
      ස්පර්ශය හේතු කොටගෙන වේදනාව හට ගනී
      වේදනාව හෙතු කොටගෙන තණ්හාව හටගනී
      තන්හාව හේතු කොටගෙන සංස්ඛාර හටගනී
      සංස්ඛාර හේතු කොටගෙන භවය (පැවැත්ම ) හට ගනී
      භවය හේතු කොටගේන ජාතිය (උපත හෝ සත්ත්වයා ) හට ගනී
      ආදී ලෙස කියැවෙනවා

      එතකොට මේ හේතූන් හා ඵලයන් දෙස බැලීමේදී පෙනී යනවා සත්ත්වයා කියන සංකල්පය තුල එකක් පසු පස එකක් වශයෙන් වූ හේතූන් හා ඵලයන්ගේ පැවැත්මක් වන බව. ඉතින් මේ හේතූන් හා ඵලයන් නැති තැනකදී සත්ත්වයෙකු හෝ සත්ත්වයා ඇසුරින් කිසියම්ම වූ කොටසක් පැවැත්වීම අභව්‍ය වෙනවා. ( ආත්මයක් වැනි වූ පවතින සංකල්පයක් )
      ඒක එහෙමනම්, මරණින් මතු සියළු නාම රූප ධර්මයන් බිඳී විසිරී ගිය විට පැවතිය හැකි වූ ගන්ධබ්බයා කවරෙක් විය යුතුද? එවැන්නෙකු පැවතීම පටිච්ච සමුප්පාදයට අනුව අභව්‍ය නොවන්නේද?
      එසේ යම් කිසි විඥ්ඥානයක් හේතු කොටගෙන සත්ත්වයෙකු පවතිනවානම් (භවය ) එය ජාතිය (උපත ) හට ගැනීමක් විය යුතුයි. එසේනම් යමෙකු ගන්ධබ්බයෙකු ලෙස දකින සත්ත්වයා වෙනත් අපිට ග්‍රහනය නොවන භවයක සිටින නැවතත් පංචස්කන්ධයක් උසුලන සත්ත්වයෙකු විය යුතුයි.
      //

      Delete
    8. අනත්ත කියන කොටස යටතේ තමා ඔය රූප වේදනා සංඥා විඥාන ඔය ටික එන්නේ. ආපහු බලන්න.

      Delete
  8. මේ පෝස්ට් එකේ තියෙන දේවල් ගැන වෙනම පෝස්ට් එකක් ලිව්වා නම් හරි.

    ReplyDelete
    Replies
    1. එහෙමත් හිතෙනවා දැන්

      Delete
  9. කතා කරන්න දේවල් බොහොමයි. නමුත් දීර්ඝ සංවාද වල යෙදෙන්න මට මෙය වෙලාව නොවෙයි.
    යම්තාක් ඉස්පාසුවක් ලද විගස සාකච්ඡාවට සම්බන්ධ වෙන්නම්.මමත් වෙනම පෝස්ට් එකක් දමන්නම්. කියන්න දාර්ශනික කරුනු බොහොමයි.

    ReplyDelete
    Replies
    1. හොඳයි. ඔබේ ලිවිම තුල තවත් අලුත් කරුණු මතුවිය හැකියි.

      Delete
  10. පොස්ට් දෙකක් විතර මිස් උනා 🙄.

    ඩැරන් බ්‍රවුන් ගැන කියල තිබ්බ ටිකනම් ගොඩක් මදි අයිය.

    මේ පොස්ට් එකේ 75% විතර තේරෙන්නෙ නෑ 😳

    ආයෙත් කියවල බලන්ට ඕනි ටොප් ටු බොටම්. 👍🏽

    ReplyDelete
    Replies
    1. ඩැරන් බ්‍රවුන් ගැන වේනම් ලිව්වොත් ගොඩක් ලියන්න වෙනවා. මම මුලික අදහස ලෙස ගත්තේ ඩැරන් පෙන්වල දුන්න සමහර මීඩියම් ලා කරන දේ එයටත් කරනන් පුළුවන් කියල. ජෙනරලි කතා කරලා විමසිල්ලෙන් ඉඳල මෙන්න මේ මළගිය තැනැත්තා ආව දැන් වගේ ඒවා කියන්න. ඔය රුපවාහිනී යේ ඒවා බොහොමයක් විහිළු වෙලා තියෙන්නේ ඒ නිසා.

      Delete

සියලු හිමිකම් අජිත් ධර්මකීර්ති (Ajith Dharmakeerthi) සතුය. කොළඹ ගමයා බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ අජිත් ධර්මකීර්ති යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ.
මෙහි පලවන ලිපි සහ දේශපාලන අදහස් මගේ පෞද්ගලික අදහස් පමණි.
ඔබේ ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. නමුත් වෙනත් කෙනෙකුට සාධාරණ හේතුවක් නැතුව පහර ගසන අශිලාචාර අන්දමේ ප්‍රතිචාර පමණක් පල නොකෙරේ. බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ස්තූතියි .