Saturday 14 April 2018

බ්ලොග් ගැන පොඩි කතාවක් සහ සුභ නව වසරක් ඔබ සැමට

හුඟක් දවසකින් බ්ලොගය පැත්තේ එන්න බැරි වුණා. ඒ තරමට වැඩ අධිකයි. ඒ අතරේ මම ෆේස්බුක් එකේ මගේ දත්ත කොපමණ තියනවද කියල බැලුවා. දැන් ඒක සකර්බර්ග් කාරය බාගත කරන්න  දෙන නිසා. වැඩි අවුලක් නැහැ.  යහළුවෝ මැසෙන්ජරය හරහා එවපු පණිවුඩ, කළ කතාබහ ඔක්කොම තියනවා. ඩිලීට් කරපුව නැහැ. එයාලා එවපු ඡායාරූප, වීඩියෝ වගේම මම යවපු ඒවත් තියනවා. මගේ මොබයිල් එකේ තිබ්බ හැම යහළුවෙක්ගේම දුරකථන අංකත් සකර්බර්ග් කාරයා පරිස්සමට අරන් තියල.

වෙන එකක් තබා මගේ පින්තූර හැම එකක්ම වගේ පිළිවෙලට තියනවා. අනිත් ඒවා බැලුවේ නැහැ කම්මැලියි. මම දන්නවනේ මම මොනවාද පෝස්ට් කළේ කියල. ඇත්තටම බැලුවොත්  මගේ අතේනේ පාලනය තියෙන්නේ, මම මොනවාද බුකියට දාන්නේ කියන එක. වැරදියට පාවිච්චි කළානම් ඉතින් මගෙනේ වැරැද්ද.

බ්ලොග් ලිපියක් කියෙව්වා සුජීව කොකාවල ලියපු. "ටෙක්නොක්රසිය සහ අතත්‍ය වටිනාකම්" කියල. ඔය ඉන්ස්ටග්‍රෑම් , යුටියුබ් තාරකාවෝ තාරකාවියෝ ගැන හොඳ ලිපියක් . ඒක කියවනකොට හිතුන මේක ලියන්න ඕනේ කියල.

ඇමෙරිකාව (බටහිර) සහ රුසියාව අතර සිරියාව සම්බන්ධවත්, බ්‍රිතාන්‍යය හා රුසියාව අතර අර රුසියානු ඒජන්තයාට විස දීම  පිළිබඳවත් ප්‍රශ්න ඇතිවෙලා තියන  අපහසු කාලයක් මේක. එනිසා අදාලයි ටිකක්.

 දැනට අවුරුදු හතරකට කලින් මම බ්ලොග් ලියන කෙනෙක්ට යමක් කිව්වා. මගේ ඉංග්‍රීසි බ්ලොගය ගැන. ඒකෙ මම රුසියානු දේශනයක් අහල පරිවර්තනය කරගෙන (රුසියානු භාෂාව පුළුවන් නිසා) කිසියම්  ලිපියක් ලීවා. ශෙයාර් කළේ ගූගල් ප්ලස් එකේ විතරයි. සුමානෙකට විතර පස්සේ ලියුමක් ආවා ඇනලිස්ට් රස්සාවකට එන්න කැමතිද කියල අහල. ඇත්තටම මගේ රැකියාවට අනුව මම බිස්නස් ඉන්ටෙලිජන්ස් ඇනලිස්ට් (SQL  රිපෝර්ට්ස්  ) සහ වර්ක්ෆ්ලෝ ප්‍රොග්‍රමින්ග්  කරන කෙනෙක්. ඉතින් මම හිතුවේ ඒ පැත්තෙන් කියල.

හැබැයි එවල තියෙන ඒජන්සිය මම ලියා පදිංචි එකක් නෙමේ නිසා බැලුව ටිකක් . යටම ලියල තිබුන මේකට සම්මුඛ පරීක්ෂණයට එනවනම් බිරිඳට විතරයි කියන්න  පුලුවන් කියල. පස්සේ මම දන්නා  කෙනෙකුට ඉංග්‍රීසි ජාතියෙකුට) ලියුම පෙන්නුවා. එයා ඒකෙ වෝටර් මාක් එක බලල කිව්වා සැබෑවටම ඒ ආයතනයෙන් තමයි කියල. මිනිහ නම් කිව්වේ වහාම යන්න කියල සම්මුඛ පරීක්ෂණයට රස්සාව හොඳයි කියල. මම ගියේ නැහැ. නමුත් මට දැන ගන්නට ලැබුන ඔවුන් මගේ බ්ලොග් ලිපිය කියවල කියල. (මේලය මම තියන් ඉන්නව තවම)

අර යාය දාන්න කරපු සාකච්ඡාවකදී (ඉහත  කිව්වා වගේ) ඔය කතාව  මම අර අවුල් වෙන සහෝදරයට කියල ඒ මහත්මය හොඳටම අවුල් වුන වග මතකයි. බ්ලොගයත් දින කිහිපයකට නැවැත්තුවද කොහෙද? යාය දාල කරන්න  හදන්නෙත් ඒ වගේ දෙයක් කියල ඒ මහත්මයට හිතෙන්න ඇති. නමුත් මගේ අදහස වුනේ නම් ඒක නෙමෙයි. බ්ලොග් වඩා ජනප්‍රිය කරන එක. ආරක්ෂාව තියෙන්නෙත් එතනම තමයි.කොහොමත් දැන් ගිය දේ ගියා.

ඉතින් මම ඔය සිංහල බ්ලොගයේ උනත් සිරියාව  ගැන එහෙම ලියනවා. කාලයක් නොලිය ඉඳල ඉංග්‍රීසි බ්ලොගයේ මම තවත් ලිපියක් ලීව පහු දවසක. මට කුර්දිස්ථාන් යහළුවෝ කිහිප දෙනෙක්  ඉන්නවා. සමහර අය ඔය මානව හිමිකම් පැත්තේ හෙම සෑහෙන ක්‍රියාකාරියි. තුර්කියේ එර්ඩොගන් අයියට විරුද්ධව හෙම.

මට කෙනෙක් කතා කලා. කොහොමද නොම්මරේ හොයා ගත්තේ කියල අදත් මම දන්නේ නැහැ. එයාගේ බ්ලොග් එකක් තියනව බලන්න  කියල. මැද පෙරදිග ගැන ලිපි හුඟක් තියනවා . හුඟක්  ලිපි ෆෝල්ස් ෆ්ලෑග් මෙහෙයුම් ගැන. කොමෙන්ටුවක් දෙකකුත් දැම්ම. මිනිහ ඊට පස්සේ අහනවා මම අර ලිපිය ලියන්න හේතුව මොකක්ද ? අර නගරය වැටුනොත් මොකක්ද වෙන ප්‍රශ්නය? කුර්දි මිනිස්සු මොනවාද කියන්නේ ඒ ගැන, වගේ දේ.

මම එයාට කිව්වා විස්තර හොයා ගන්න පුළුවන් තැන්  කිහිපයක්. (ලන්ඩන් වල) කතා බහ කරලා ටිකක් අඳුන ගත්තට පස්සේ කිව්වා එයා  ස්පෙෂල් ෆෝසස් වල හිටියේ. කිසියම් දෙයක් වෙලා දැන් අවුට්. බ්ලොග් ලියනවලු. ඒක තමයි රස්සාව. ඇනලිස්ට්. මගේ එක බලල ඒකෙ ලියල තියෙන කරුණු කොහොමද ලිව්වේ කියන එක මිනිහට ප්‍රශ්නයක් වුණා කියල. මම දන්නේ කොහොමද කියන එකලු එයාගේ ප්‍රශ්නේ.

අර නගරය වැටුනේ නැහැ. ඒ කිව්වේ අයිසිස් කාරයෝ ඒක ඇල්ලුවේ නැහැ. ලොකු රටකින් ආධාර (ගොඩක්) සටන් වැදී හිටි කුර්දි සේනාංක වලට ලැබිලත් තියනවා.

මේ සාකච්ඡා  වලදී හොයා ගත්ත තවත් දෙයක් තමයි ගුගල් එකෙන් හෝ වෙනත් මෘදුකාංගයකින් දවසට හිට්ස්  පනහකට සියකට  වඩා එන  ලිපි මාක් වෙනව කියන එක. ඒක අපි හැමෝම දන්නා දෙයක්නේ. නමුත් "වෙන අයත්" මේ දේම කරනවා. ඉංග්‍රීසි ඇර ඇරබික් හෝ රුසියානු හෝ වෙනත් භාෂාවල බ්ලොගයක් වුනත් ඒවා මාක් කර ගන්නවා. ඒ අතර කිසියම් ට්‍රිගර් වචන කිහිපයක් තිබෙනවා නම් ඒවා යවනවා විශ්ලේෂකයෝ (ඇනලිස්ට් ලා)  ගාවට, ඒගොල්ලෝ ළඟ ඔය ගුගල් ට්‍රාන්ස්ලේට් එකට වැඩිය දියුණු මෘදුකාංග තියනවා. ඇත්තම කියනවා නම් ඔය ජාතියේ හුඟක් මෘදුකාංග වුනත් එලියට ආවේ මුලින් ආරක්ෂක සංවිධානවල භාවිතා වුනාට පස්සෙනේ.

හැබැයි මම දන්නේ නැහැ ඒ ගොල්ලෝ සිංහල ඒවාට (බ්ලොග් හා වෙනත්)  එහෙම කරනවාද කියල. දැනට නම් හිතන්නෙත් නැහැ.

හැබැයි ඒකෙන් පස්සේ නම් මමත් අවුල් වුණා. ඉංග්‍රීසි බ්ලොගය නම් තවම නැවත  ලියන්න පටන් අරන් නැහැ. ලියන්න  හිතන් ඉන්නවා. සම්පුර්ණයෙන්ම   වෙනස් මාතෘකාවල් ගැන.

ඉතින් හොඳම වැඩේ අන්තවාදී මොනවහරි ලියන එක. හුඟක් සමාජවාදී/කොමියුනිස්ට්වාදී අන්තයට ගිය ඒවා ලියන කොට ඒ ගොල්ලන්ගේ වැඩි අවධානයක් නැහැ. ඒගොල්ලෝ  මේ  නට් කේස් කියල නිකන් ඉන්නවා. මොකද ඒවගේ  අදහස් තියන පක්ෂ ඇතුලේ ඕන තරම් කට්ටිය ඉන්නවා ඒ ගොල්ලොන්ට.  අන්ත දක්ෂිනාංශික බ්ලොග් ආදිය ගැන වුනත් එහෙමයි. ඇතුලට දාල තියෙන්නේ අවශ්‍ය වෙලාවට පාවිච්චියට ගන්න. මතකද මන්ද එංගලන්තේ නාසි වගේ සංවිධානයක නායකයා වෙලා හිටියේ රට තුල රාජ්‍ය රහස් සංවිධානයක නිලධාරියෙක්. එංගලන්තේ තැනකට බෝම්බ ගහල මිනිස්සු මරන්න  නියෝගයක් දෙන්න සංවිධානේ අනුමත  වුණාම මිනිහ ඉල්ලා අස් වුණා . හෙළි දරව් වුනේ එහෙම. සංවිධානෙත් දෙකට කැඩුනද  කොහෙද?

ඉස්සර සෝවියට් කාලේ සහ  දැන් පුටින් ගේ කාලේ වුනත් රුසියානු හෝ වෙනත් ළඟ රටවල කාන්තාවෝ හරි පිරිමි හරි බටහිර රටක පදිංචි  වෙලා,  කාට හරි කෙනෙකුට ආදරේ කරලා කසාද බැඳලා අවුරුදු  ගණන් ඉන්නවා. හදිසියේ මැරිලා යන්නත් පුළුවන්. ඒ වගේම හදිසියේම අණක්  ආවොත් දැන් ක්‍රියාත්මක වෙන්න ඕනේ කියල, ඒ අණ අනුව ක්‍රියාත්මක වෙන්නත්   ඕනේ. අණ පිළිපැද්දේ නැත්නම්  ඉතින් මැරුණා වගේ තමයි ඉතින්. හැංගිලා ඉන්න වෙන්නේ.

ඔන්න ඔහොමයි තත්වේ.

ඉතින් ඒ වුනාට මේ අවුරුද්දේ බ්ලොග් ලිපි කිහිපයක්ම ලියන්න  හිතේ තියනවා. ඔය කෙහෙල්මල් කවුද ගණන් ගන්නේ. අපේ අතේ නේ යතුර තියෙන්නේ.   ඒ දවස් වල ජෝර්ජ් ඕවෙල් ගේ "1984" කියවල හෙම හිතුවේ ඒ පොතේ කියන්නේ සෝවියට් දේශය ගැන කියල. සෝවියට් ඔත්තු සේවා මොනවාද කියල හිතෙනවා දැන් තියෙන ඒවා බැලුවම. වෙලාවකට හිතෙනවා ඕවේල් ලිව්වේ වර්තමාන 2018 සමාජය ගැනද කියලවත්.  එකම වෙනස සෝවියට් දේශය බලෙන් කෙරුවට දැන්  අපේ දේශපාලන අදහස් සහ අපේ දත්ත අපි විසින්ම  කැමැත්තෙන් දෙන්නේ. ඕන කෙනෙකුට කැමති විධිහට බලා ගන්න. එකතු කර ගන්න.  විශ්ලේෂණය කරන්න.

මම කවදාවත් නැකත් බලපු එකෙක් නෙමෙයි. ජීවිතේටම. නමුත් සිංහල අවුරුද්දට (නත්තලට වගේම) කෑම මේසයක් හදල ළමයින්ට කන්න දීලා කොහේ හරි ඇවිදින්න යනවා. හාමුදුරු කෙනෙක් ඉන්නවා ළඟ පන්සලක . එයාවත් බලල එනවා ගිහින්. හුඟක් විට යහළුවෙක් වගේ තමා එතුමාව ආශ්‍රය කරන්නේ. හාමුදුරුවෝ දන්නවා මම ඔය දෙවියෝ  විශ්වාස කරන්නේ නැති, නැකත් විශ්වාස කරන්නේ නැති, පුනරුත්පත්තිය වුනත් ප්‍රශ්න කරන තාලෙ කෙනෙක් කියල. හාමුදුරුවන්ට ඒක ප්‍රශ්නයක් නෙමෙයි.
අපෙ චාම්  අවුරුදු කෑම මේසය 

සිංහල අවුරුද්දට කෑම මේසේ  පිළියෙළ කරන්නේ  සංස්කෘතික අංගයක් වශයෙන්.මගේ අදහස නම් ඒවා රැක ගන්න එක වටිනවා කියල. කිරිබත  සහ රුලන් කේක් හදන්නේ බිරිඳ . අනිත් කැවිලි කඩෙන් ගන්නේ හදන්න දන්නේ නැති නිසා.   මගෙන් පස්සේ දුරු දෙන්න නම් කරන එකක් නැහැ.  ඒත් කියන්න  බැහැ . ලොකු දුව දැනටමත් සිංහල/ඉන්දියන්  කෑම වලට පුදුම ආසයි.

සුබ පතන්න කලින් මේකත් කියල දාන්නම්. මම දන්නවා සිරියාවට  බෝම්බ ගහනවා. අප්‍රිකාවේ දිළිඳු දුවා  පුතාල කන්න නැතිව ඉන්නවා. දුප්පත් මිනිස්සු තමයි රතිඤ්ඤා හදන්නේ. යුරෝපයේ අනාථයෝ පිරිලා. ලංකාවේ දුප්පත්තු හුඟකට අවුරුද කන්න  මුදල් නැතිය කියල. (බුකිය බැලුවහම නම් එහෙම හිතෙන්නේ නැහැ) අපි ඉතින් පුළු පුළුවන් විධිහට උදව් කරනවනේ.  උත්තරය ඒ වුනාට එතන නෙමේ තියෙන්නේ.
සීතලේ ගැහෙමින් වාදනය මෙහෙයවන ශෙස්තකොවිච් 

දෙවෙනි ලෝක යුද්ධය සමයේ  ලෙනින්ග්‍රාද් නගරය නාසි හමුදා තුන් පැත්තකින් වට කරගෙන සිටියදී, මිනිසුන් හාමතේ පාරේ මිය යද්දී තමයි ශේස්තොකොවිච් එයාගේ හත්වෙනි සිම්ෆනි එක ලියල වාදනය කලේ. කවුරුත් බැන්නේ  නැහැ මිනිස්සු මැරෙද්දි එයා ඒක ලියල වාදනය කලා කියල. මොකද මිනිස්සු තේරුම් ගත්ත. ජීවිතය ඉදිරියට යා යුතුයි කියල.

  ඒ අතරේම දැන ගන්න ලැබුන අපේ මාතලන් මහත්මයා  අලුත් වෙබ් අඩවියක් හදල කියල. මාතලන්ගේ පත්තරේ මෙතන  තියෙන්නේ. ගිහින් බලන්න.

මගේ බ්ලොගය කියවන්න   ආපු ප්‍රතිචාර  දමපු හැමෝටම , මගේ බ්ලොග් රසික රසිකාවියන්ට, සියලුම ඇනෝ වරුන්ට සාමය, සතුට, සෞභාග්‍යය පිරි සුබම සුබ  සිංහල සහ හින්දු නව වසරක් උදා වේවා. අපට  තව තවත් හොඳ සාරවත් ලිපි  කතා කවි නිසඳැස්  කියවීමට ලැබේවා.




30 comments:

  1. අපොයී මේ මනුස්සයට හොඳටම පිස්සු කෝ අර මැන්ටල් ඩොකා මොනවාහරි කරන්න පුළුවන් දෙයක් ලියලා දානවා

    ReplyDelete
    Replies
    1. හේ හේ ඇනෝ ඕකට කියන්නේ පැරනොයිඩ් ස්කිසොප්‍රෙනියා ද කොහෙද , බ්ලොගා භාෂාවෙන් අවුල් වෙනවා කියන්නෙත් ඕකටමයි

      Delete
  2. Replies
    1. Really. Did not expect from you. I was expecting big challenging criticism from everybody. he he

      Delete
  3. අජිත් ධර්මගේ බොහෝ ලිපි වලට මුදල් ලැබෙන්නේ එජාපයෙන්. එජාප මාධ්‍ය බලකාය සහ මංගල සමරවීර ඇමතිවරයාගේ ලේකම්, වෙබ් ගෝඩ්ෆාදර් රුවන් ෆර්ඩ්නැන්ඩස් තමයි මේ කටයුත් මෙහෙය වන්නේ.

    අජිත් මේ ලිපියේ ලියලා තියෙන ඇතැම් දේවල් වලිනුත් එය පැහැදිලි වෙනවා.

    ඒ වගේම ගෝඨාභය රාජපක්ෂට මාරාන්තික විරෝධයක් මෙහි ලිපි මගින් දක්වන්නේ බැසිල් රාජපක්ෂගේ මුදලුත් ලැබෙන නිසාද කියා සැකයකුත් තියෙනවා.

    ReplyDelete
    Replies
    1. //අජිත් ධර්මගේ බොහෝ ලිපි වලට මුදල් ලැබෙන්නේ එජාපයෙන්. එජාප මාධ්‍ය බලකාය සහ මංගල සමරවීර ඇමතිවරයාගේ ලේකම්, වෙබ් ගෝඩ්ෆාදර් රුවන් ෆර්ඩ්නැන්ඩස් තමයි මේ කටයුත් මෙහෙය වන්නේ.//
      ඈ බං ඇනෝ මේ ලිපියෙන් කොහොමද ඔය වගේ තොරතුරක් දැන ගත්තේ , ඔය වෙබ් ගෝඩ්ෆාදර් කියන්නේ රුවන්ට ෆර්ඩිනන්ඩ්ස් ට ද? මම හිතුවේ සඳ රුවන් ට කියල. මම වරක් දෙවරක් නම් හම්බ වෙලත් තියනවා? අම්මප පොරට එච්චර සල්ලි තියනවද පිට රටවල ඉන් එවුන්ට ගෙවන්න තරම්? නැතනම් ඔය හිතන් ඉන්නවද අපි මේ තුට්ටුවට දෙකට ලිපි ලියනව කියල. මම දන්නා විදිහට ඔය ගෝඩ්ෆාදර් ගේ වෙබ් මාධ්‍ය වේදීන්ට ගෙවන්නෙත් තුට්ටු දෙකලු. උන් කනවා නොකනවා වගේලු බං ජිවත් වෙන්නේ. එහෙම එවුන්ට යන සල්ලි අපි ගන්න එක හොඳ නැහැනේ බං. අනිත් එක උඹ නිකන් මාව සත පහට දාලනේ මේ කවුරු හරි මෙහෙයවනවා කියල ඈ

      //අජිත් මේ ලිපියේ ලියලා තියෙන ඇතැම් දේවල් වලිනුත් එය පැහැදිලි වෙනවා.// - ආච්චිගේ සෙද්ද තමයි

      //ඒ වගේම ගෝඨාභය රාජපක්ෂට මාරාන්තික විරෝධයක් මෙහි ලිපි මගින් දක්වන්නේ බැසිල් රාජපක්ෂගේ මුදලුත් ලැබෙන නිසාද කියා සැකයකුත් තියෙනවා.// ඇනෝ විශ්ලේෂණයක් ලියන කොට කාගෙවත් පැත්තක් ගැන ලියන්නේ නැහැ. තමන්ට පෙන විධිහ ගැන තමන් දකින සාධක අනුව තමයි ලියන්නේ. මම ලිපියක ලියල තියනවා අනුර කුමාර දිසානායක , කුමාර් ගුණරත්නම් , දීප්ති වගේ කට්ටිය පෙරමුණකට එන්න ඕනේ කියල. එතකොට එක වැටෙන්නේ කොතනටද? ගෝඨා මහතා බැසිල් මහතාට වඩා අවංක ඇති . නමුත් ඒ මහතාට එන චන්ද ප්‍රමාණයේ ප්‍රශ්නයක් තියනවා. බැසිල මහතාට එක නැහැ. මම කිවේ මට පෙන විධිහ විතරයි. ඔය දෙන්නම එකයි. හැබැයි උඹලගේ ප්‍රශ්නේ හැම රෙද්දටම හිතනවා සල්ලි ලැබෙන නිසා ලියනවා කියනව කියල. සමහර වෙලාවට ලංකාවේ එහෙම වෙන්න ඇති. නමුත් අපි වගේ උන් දිහා ඔය වගේ මිනිස්සු බලන්නේ නැහැ. ඒ දේශපලනය තියෙන්නේ වෙන තැනක. මේ ලිපි වලින් පැහැදිලි කරන්නේ ඒ කොහෙද කියල.,

      Delete
    2. අනිත් එක උඹ නිකන් මාව සත පහට දාලනේ මේ කවුරු හරි මෙහෙයවනවා කියල ඈ
      එහෙමද හිතා ගෙන ඉන්නේ. ඔයි! සතේට වැටිලා බව පෙන්නේ

      Delete
    3. මචෝ බිම හිටියම කොහේටවත් වැටෙන්නේ නැහැ. අපි බිම ඉන්න එවුන් හේ හේ.

      Delete
  4. LARICH කිතුල්පැ පැණි කිව්වට, අමු සීනි අප්පා. හොඳ මේපල් සිරප් එකකට මොලෑසස් කලවම් කරලා කිතුල් පැණි රස ගන්න පුළුවන්.

    සුභ අළුත් අවුරුද්දක් වේවා!!!

    ReplyDelete
    Replies
    1. මම සාමාන්‍යයෙන් ගන්නේ මාක්ෆෙඩ් එක. මේක අරන් ඇවිත් තියන්නේ බිරින්දෑ. මොලසස් හොලන්ඩ් ඇන්ඩ් බැරට් එකේ තියෙනවා අරගෙන බලන්නම්.
      සුබ නව වසරක්

      Delete
  5. සුභ අළුත් අවුරුද්දක් වේවා!

    ReplyDelete
    Replies
    1. එසේම නොව වෙනස් විධිකට හෝ වේවා

      Delete
    2. අළුත් නෙවෙයි අලුත්... නැත්නම් අළු වෙයි අලුත් අවුරුද්ද...

      Delete
  6. Replies
    1. නිර්භීත ප්‍රතිචාරයට ස්තුතියි

      Delete
  7. අඬන ඇනෝ : මට අදාල නැති නිසා එම පොස්ටුව නොදමන බව කරුණාවෙන් සලකන්න. නොකළ දේවල් ගැන වගකීම් භාර ගැනීමේ සිටිතාක් මට නැත.

    ReplyDelete
    Replies
    1. අදාලද නැද්ද කියන එක පාඨකයන් තීරණය කරයි. අජිත්ට හැකියාවක් තියෙනවා නම් ඒ කොමෙන්ටුව පබ්ලිෂ් කරන්න.

      Delete
    2. ඇනෝ මට කවුරු හරි බ්ලොග් ලියන්න සල්ලි දෙනවනම් මම හැමදාම ලියනවනේ. මේ ටික හරි ලියා ගන්නේ අමරුඑන්. අනික ඇනෝ ඔය ප්‍රතිචාරයේ තියෙනේ අභූත චෝදනා ඔය නම් සඳහන් කළ මනුස්සයාගේ බ්ලොගේ ගිය ඒවානේ. එයා හරි එයාගේ චක් ගෝලයෝ හරි මම ලියනවා වගේ ඒවාට තමන්ම උත්තර දීගෙන තිබුනේ. මම ඒ බ්ලොගේට යාම නතර කල නිසා අනිත් අය එවන් ගත්ත මට. මම ඒකත් එපා කිව්වා. මට විරුද්ධව ලියන මෝඩ ගොන් පජාත බොරු මම මගේම බ්ලොගේ පල කරන්නේ මොකටද? ඔය ඕන තරම බ්ලොග් තියෙන්නේ ඒවාට ගිහිල්ල දානවකෝ. මට විරුද්ධව ලියන ඕනෑම බොරුවක් ඒවල දානවනේ. අනික ඔය කියන බ්ලොග් කාරයත් සුදනෙක් නෙවිනේ. අනිත් බ්ලොග් කාරයන්ටත් මහා ජරා විධිහට කුණුහරුප ලියපු මඩ ගහපු කෙනෙක්නෙ. අන්තිමට ඒ කියපු කෙනෙක්ම මොනවහරි ලියල තමන්ට වැදුනම දැන් අඬනවා. මට නම් ඕව අජූතයි . අප්පිරියයි. මට මගේ වැඩ තියනවා. තමුසෙලගෙ කුණු කන්දල් ඕන බ්ලොගේක දාගන්නවා. මට ප්‍රශ්නයක් නැහැ. මම කිසිම බ්ලොගයක් නවත්වන්න ගිහිල්ල නැහැ. මට එහම බලයකුත් නැහැ

      Delete
  8. සමහර විට සෝෂල් මීඩියා හරාහා දත්ත එකතු කරගෙන ඕනම රටක් පාලනය කරන්න පුළුවන් වෙයි ඉස්සරහට...ලිපියෙ අනෙක් කොටස ගැන කිව්වොත්...නැකත් සම්බන්ධව කිසිම විශ්වාසයක් නැතත්. මමත් හැකි මට්ටමින් අවුරුදු සිරිත් විරිත් හෙම කරනවා. මොකද සංස්කෘතිය ලස්සන කරන්නෙ...මිනිස්සුන්ගේ එකාකාරී ජීවිතේ නැති කරන්නෙ ඒ වගේ අංග.... කට්ටිය කියනවා දැන් අවුරුදු නෑලු අරකලු මේකලු.මටනම් එහෙම නෑ ඉස්සර වගේම තාමත් අවුරුද්ද එනකම් ඉන්නෙ ගොඩක් ආසවෙන්. දරුවෙක් මල්ලෙක් හිටියොත් උන්ටත් මන් මේවා අනිවාර්යෙන්ම පුරුදු කරනවා.....සුභ අලූත් අවුරුද්දක් වේවා එහෙනම්...

    ReplyDelete
    Replies
    1. //සමහර විට සෝෂල් මීඩියා හරාහා දත්ත එකතු කරගෙන ඕනම රටක් පාලනය කරන්න පුළුවන් වෙයි ඉස්සරහට//
      හරියට හරි. මතේ පෙන්නේ දැන්මම වෙනවා.

      //නැකත් සම්බන්ධව කිසිම විශ්වාසයක් නැතත්. මමත් හැකි මට්ටමින් අවුරුදු සිරිත් විරිත් හෙම කරනවා. මොකද සංස්කෘතිය ලස්සන කරන්නෙ...මිනිස්සුන්ගේ එකාකාරී ජීවිතේ නැති කරන්නෙ ඒ වගේ අංග.... කට්ටිය කියනවා දැන් අවුරුදු නෑලු අරකලු මේකලු.මටනම් එහෙම නෑ ඉස්සර වගේම තාමත් අවුරුද්ද එනකම් ඉන්නෙ ගොඩක් ආසවෙන්. දරුවෙක් මල්ලෙක් හිටියොත් උන්ටත් මන් මේවා අනිවාර්යෙන්ම පුරුදු කරනවා//
      එකෙන්ම. මම බුකියේ පින්තුරයක් දැම්ම මොකද මට එපාවෙලා මිනිසු කියනකොට අනේ ඉතින් ඔයාට කවද කිරිබතක් කන්නද , කැවුමක් කොකිසක් කන්නද? ව්‍යංගයෙන් කියන්නේවිදේශීය කාන්තාවක් බැඳලා ඉන්න නිසා කියල. මම ඕන කමින් ලිව්වා මගේ බිරිඳ කිරිබත් හැදුවේ. රුලන් අලුව හැදුවේ කියල්. ඇත්තටම එයා තමයි හදන්නේ. කැවිලි ගේන්නේ.

      .....සුභ අලූත් අවුරුද්දක් වේවා එහෙනම්...- ස්තුතියි. එසේම වේවා

      Delete
  9. බොහොම ස්තූතියි පබ්ලිසිටියට... පත්තරේ ගැන... ඒක නැගලම යනවා... මේ ටිකේ අවුරුදු නිසා අප්ඩේට් උනේ නෑ.... අර කිරි ඉතිරේවා නව වසරේ සුබ පැතුමත් නැගලම ගියා... ජයෙන ජයම වේවා...!!!

    ReplyDelete
    Replies
    1. සුභ පැතුම් මාතේ , වැඩේ නැගල යනවා. - මෙගත් අදහසක් තිබ්බ නමුත් ඕවට වෙලවක් නැහැ. වැඩ කෝටියයි. කරන්න පුළුවන් උඹල ඒවා කරන එක ලොකු දෙයක්.

      Delete
  10. සුබ අලුත් අවුරුද්දක් වේවා අජිත් අයියේ!!!
    //මගේ අතේනේ පාලනය තියෙන්නේ, මම මොනවාද බුකියට දාන්නේ කියන එක. වැරදියට පාවිච්චි කළානම් ඉතින් මගෙනේ වැරැද්ද.//
    මෙන්න මේකට මං 100% එකඟයි. තමංගෙ මුලු පෞද්ගලිකත්වයම Facebook විතරක් නෙවෙයි වෙනින් ඕනි Social Network එකක දාන එක අමු ගොන් කමක් විදිහටයි මම දකින්නෙ. එතකොට අන්සතු කරන්න තරම් දෙයක් නෑනේ...
    //ඩිලීට් කරපුව නැහැ//
    අපිට නොපෙන්නුවට එව්වත් තියාගෙන ඉන්නවා වෙන්න පුළුවන්... හැක්!

    ReplyDelete
    Replies
    1. ඒකනේ. ඇල්ගොරිත්ම් එකේ ඩිලීට් ඒවා එකතු කරන්නේ නැතිනම් එකතු වෙන්නේ නැහැ. නමුත් මෙහෙමයි දැන් අපි මොනවහරි ඩිලීට් කලත් ඒවා අපහු ගන්න පුළුවන් මෘදුකාංග තියනවනේ. ෆේස්බුක් සර්වර් හාඩ් ඩිස්ක් විනාශ කරන්නේ නැතිනම් ඉතින් ඒවා තියෙයි.

      Delete
  11. https://gadyanohothkavi.blogspot.com/2018/04/blog-post_31.html

    ReplyDelete
    Replies
    1. තැන්කියු මාතේ . ගිහින් බැලුව. මම මේ කල්පනා කලේ අවුරුද හතරකට විතර කලින් මම උඹේ ලිපි අරන් නෙළුම් යායේ දාල ලින්ක් එක එව්වා. දැන් ඔන්න උඹත් වැඩේ කරනවා. ඕකනේ දියුණුව කියන්නේ හසන්ත මහත්තයෝ. බොහොම සතුටුයි වැඩේට. ජයෙන් ජයම වේවා

      Delete
  12. හම්මේා මේ ලෝකය හරි භයානකයිනේ...

    පවුලෙ අය එක්ක අවුරුද්ද සමරපු එක සතුටක්... මමත් හරිම කැමතියි මේ වගේ සංස්කෘතික කාරණාවලට. අවුරුද්දට සැරයක් හරි මිනිස්සු එකතු වෙනවා. සතුටු වෙනවා. ජීවිතේට වෙනසක්... ඒක හොඳ දෙයක්... අයියටත්, බිරින්දෑට සහ දරු දෙන්නටත් සුබ අලුත් අවුරුද්දක් වේවා!!!

    ReplyDelete
    Replies
    1. //හම්මේා මේ ලෝකය හරි භයානකයිනේ... //මට වෙලවකට හිතෙනවා අපි අපිමයි මේක භයානක කර ගන්නේ කියල නංගි

      // අවුරුද්දට සැරයක් හරි මිනිස්සු එකතු වෙනවා. සතුටු වෙනවා. ජීවිතේට වෙනසක්... ඒක හොඳ දෙයක්..// මමත් එකඟයි .
      සුභ නව වසරක්.

      Delete
  13. සුභ අළුත් අවුරුද්දක් වේවා!

    ReplyDelete
  14. සුභ අලුත් අවුරුද්දක්!!! මාතලන්ගේ පත්තරේ කතාව අද දන්නේ.. :)

    ReplyDelete

සියලු හිමිකම් අජිත් ධර්මකීර්ති (Ajith Dharmakeerthi) සතුය. කොළඹ ගමයා බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ අජිත් ධර්මකීර්ති යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ.
මෙහි පලවන ලිපි සහ දේශපාලන අදහස් මගේ පෞද්ගලික අදහස් පමණි.
ඔබේ ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. නමුත් වෙනත් කෙනෙකුට සාධාරණ හේතුවක් නැතුව පහර ගසන අශිලාචාර අන්දමේ ප්‍රතිචාර පමණක් පල නොකෙරේ. බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ස්තූතියි .