Tuesday 12 March 2019

ද ස්විදානියා මචං -до свидания

උඹට  තිබුනේ හොඳ හදවතක්
හිතවතුන් කිව්වේ එහෙම 
රැකියාවේදී උන් උඹට ආදරය කලා 
උඹේ  නිහතමානී කමට, 
හිතවත් කමට, 
කරුණාවට, 
ඒත් 
හොඳ මිනිසුන් නික්ම යනවා ඉක්මනින්ම, 
උඹ අසනීප වුණු  වෙලේ  උන්  කීවේ එහෙම 

"උඹ ඒක ඔප්පු කරන්න එපා මචං
ෆයිට් කරපං
පැරදෙන්න පුළුවන්
ෆයිට් කරලා පැරදියන්
උඹ අපිත් එක්ක  ක්‍රිකට් ගැහුවා වගේ !
මම කීව එහෙම

ඒත්, මමත්  නුඹත් දැනන් හිටියා 
ඒක නවත්වන්න බැරි බව 
රෝගය දරුණු බව 
එය නුඹ හමා එන බව 

"උඹ දුක්වුණේ එකම දෝණි ගැන 
මගේ පොඩි එකී තනි වෙනවා මචං
මම කොහොමද එයා දාල යන්නේ"
උඹ ඇඬුවේ එහෙම

උඹ බිරිඳ ගැන දුක්වුණා හැමදාම
එයා කොහොමද තනියම කරන්නේ
එයත් ඉන්නේ අමාරුවෙන්
දෝණිවත් බලාගෙන

එයා  කවදාවත් දැනන් හිටියද දන්නේ නැහැ
උඹ  දුක්වෙන බව
දෝණි දැනන් හිටියද දන්නේ නැහැ
උඹ හිතින්  අඬන  බව

මොකද උඹ ඒවා පෙන්නුවේ නැහැ
කාටවත් පෙන්නුවේ නැහැ
ඒවා දැනන්  හිටියේ අපි විතරයි
අපි නොකිය ඉන්න බව උඹ දන්නා නිසා

විශ්ව  විද්‍යාලේ ප්‍රශ්න  උඹ ඒව දරා ගත්ත
ආදරයක් බිඳුනම උඹ ඒකත් දරා ගත්ත
විභාග ප්‍රශ්න වලදි  උඹ ඒකත් දරා ගත්ත
රැකියාවේදී ඇනුණු කටු ඒවත් උඹ  දරා ගත්ත

හැබැයි නොමිනිස් රැලක්  ගැහුවම
උඹට හැමදේම එපා වුනා
උඹ ආයිත් යාළුවො හොයාන ආව
ජිවිතේ සාමකාමී වෙයි කියල
ලෝකෙ තවත් කොනකට

ඒත් ඒක එහෙම වුනේ නැහැ
ප්‍රශ්න ආව එක පිට
උඹ  ආයිත් දරා ගත්ත
ඒ හැම දෙයක්ම

මම උඹට කවි වගයක් ලීවා
උඹ පස්සේ ආපු යුවතියක් ගැන
විශ්ව විද්‍යාලෙදි
කාලෙකට ඉහතදී,
මතකද මන්ද
උඹ මගේ ඔල්මොරොන්දන් කවි වලට හිනා වුණා
ඒත්  ඒකිට අනුකම්පා කරා,
හිනාවුනේ නැහැ
උඹ එහෙමයි
ඒක මට ආයෙත් හම්බ වුණා
පරණ කොල අස්සේ තිබිල

මට තේරුම් ගන්න  බැරිවුනා
ඒ දවස් වල
මිනිහෙක් මෙච්චර
දරා ගන්නේ කොහොමද කියල

උඹ අසනීප වුනහම
මට වෙලාවක  හිතුන
දරා ගත්තට  දේවල් හිතින්
ගතට දරා ගන්න  බැරි වෙනවද කියල

උඹ සින්දු අපට ලියන දෙනකොට
අපට සින්දු හොයල දෙනකොට
සින්දු වලින් ජීවත්වෙන එකෙක් කියල
අපි උඹට විහිලුත් කලා

ඒත් දැන් උඹ ගිහින්
උඹේ එකම දරුවා අඬනව උඹ නැතුව
උඹේ බිරිඳ අඬනවා උඹ නැතුව
උඹ හැමදේම දරා ගත්ත වගේ
උන්ටත්  ඒක කියල දුන්න නම් මචං
උඹට අමතක උනාද බං
ඒක විතරක්

අපිත් දවසක එනවනේ බං
මම ස්තලිච්නයා එකක් ගේන්නම්
උඹ පිල්මේනියා ටිකක් ගනිං
බයිට් එකට
එදා වගේම

ද ස්විදානියා මචෝ ~~~~~~~~~~~~~~~~~~~~~







    

18 comments:

  1. Replies
    1. ජිවිතේ මල්ලි සමාදානෙන් නිවී හැනහිල්ලේ ඉන්නවා තරම් සැපක් නැහැ

      Delete
  2. හොඳයි. ඒත් තවත් හොඳට රසවිඳින්න තිබ්බා රුසියන් වචන වල තේරුම පහතින් දැම්මා නං අදාල පිංතූරත් එක්ක

    ReplyDelete
    Replies
    1. මේක එහෙම ලිපියක් නෙමේ. අවශ්‍ය නම් කියවන්න ලියපු එකක්.
      до свидания ද ස්විදනියා - ගුඩ්බයි - නැත්නම් නැවත හමුවෙමු
      ස්තලිච්නයා - රුසියාවේ වොඩ්ක වර්ගයක්
      පිල්මෙනිය - කෑම ජාතියක් pelmeni කියල ගූගල් කරල බලන්න

      Delete
  3. ඇත්තටම යාලුවෙකුට ලියපු එකක් නෙවෙයි කියල ප්‍රාර්ථනය කරනවා.........

    ReplyDelete
    Replies
    1. ප්‍රාර්ථනා කරන හැම දෙයක්ම ඉෂ්ට වෙනවා කියල ප්‍රමේයක් නැහැනේ

      Delete
  4. හ්ම්,සැරටම දැනෙනවා.මේක කියවන කොට මට හිතුනේ මටත් මෙහෙම වුනොත් තනි වෙන්නේ දුවයි ,බිරිඳයි නේද කියලා.

    ReplyDelete
  5. Thanks and well done Ajith, All to the point, reminds me of the things we did together. He was a great guy, I had few opportunities to meet him and once even travel to Leningrad. It is sad to see a true gentleman leaving early. May he attain the ultimate bliss of Nibbana.

    ReplyDelete
  6. ඔබේ සහෘදයාට පැතූ බෝධියකින් නිවන අත් වේවා!
    හදවතටම දැනුණා!!

    ReplyDelete
  7. We all loved him dearly and he left us fondest memories. I will think about those memories with silent tears. He will be missed beyond measures.

    Remember Ajith aiya, when I asked you what to buy for him, you suggested a song book. So I bought that and he was happy.

    So, when you meet him with STHOLICHNAYA and PILMENI.... I will come with a song book.

    Till we meet again, I too say
    Do-cvidania!

    ReplyDelete

සියලු හිමිකම් අජිත් ධර්මකීර්ති (Ajith Dharmakeerthi) සතුය. කොළඹ ගමයා බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ අජිත් ධර්මකීර්ති යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ.
මෙහි පලවන ලිපි සහ දේශපාලන අදහස් මගේ පෞද්ගලික අදහස් පමණි.
ඔබේ ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. නමුත් වෙනත් කෙනෙකුට සාධාරණ හේතුවක් නැතුව පහර ගසන අශිලාචාර අන්දමේ ප්‍රතිචාර පමණක් පල නොකෙරේ. බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ස්තූතියි .