Wednesday 1 January 2020

බ්ලොග් ලෝකයේ අලුත්ම අඩවිය - වසන්ති

වසන්තිව මට හම්බ වුනේ පද්මිණි මාතරගේ නිසා. පද්මිණී මුණ ගැහුනේ සියාමා පොත පල කරන්න යද්දී දැනට අවුරුදු දෙක තුනකට කලින් ලන්ඩන් වල ඉන්න  විපුලි පලිහක්කාර  නිසා.  පද්මිණි "සියාමා" පොත ගැන හැඳින්වීමක් දුන්නා එයා  වැඩ කළ පුවත් පතේ. "සියාමා " පොත ගැන කතා කරන්න වසන්ති එන්න කිව්වා එයාගේ "ටෝකින් බුක්ස් " වැඩ සටහනට. මම ගියේ නැහැ. මම හිතන්නේ ඇය වැඩ කල රූපවාහිනී ආයතනයට යන්න එපා යයි ලැබුණු අවවාද අරව මේවා නිසා වැඩියෙන්මත් . හැබැයි මම පස්සේ දැන ගත්ත සුපුරුදු ලංකාවේ විධිහටම ඒ අවවාද දෙන අයත් එතනට ගිහිල්ල ඒ වැඩ සටහනේ හිටිය කියා.

පද්මිණි   යි වසන්තියි දෙන්න ටිකක් සුවිශේෂියි. දැන් මගේ බ්ලොග් මිතුරු කැලේ ඉන්නවා සැහෙන පිරිසක් මගේ පොත් එලි දැක්වීම වලට එන. ජීවන, තරුරසී, ඉයන්, ප්‍රා ජේ, සුමිත්, බුද්ධිකා,  ඉවාන්, බෝධිනී, තරිඳු, ධම්මිකා, කොලොම් පුරේ, නිදි, නලින් ඇතුළු නම කිවූ නොකිවූ පිරිසක් හිතේ කහටක් නැතිව සුභ පතන්න එන අය. ඔවුන් එන්නේ හිතවත්කමට. මම දැන  ගත්තේ  පද්මිණි සහ වසන්තිත් ඒ වගේ කියල. ඔවුන් මගේ පොත් ගැන කතා කරන්න එන්න කීවෙත් එහෙමයි.

දෙවන වර ලංකාවට ගියහම ගිය අවුරුද්දේ අපි වඩාත් හොඳින් හඳුනාගෙන හිටියේ. ඒ හැඳිනීම මත මගේ "ප්‍රථම ප්‍රේමය ඔබ නොවේ " පොත ගැන කතා කරන්න මම පද්මිවයි වසන්තිවයි හමු වෙන්න ගියා. ඊට පස්සේ සරුවත් කතා, වෙල් මාළු කතා අතරේ  මම
" ටෝකින්ග් බුක්ස් " වැඩ සටහනටත් සහභාගී වුනා.

මම පස්සේ ඒ දෙන්න සමග නැගුනු හිතවත්කම අනුව තේරුණා අපේ දේශපාලන අදහස්  ප්‍රති විරෝධී විය හැකි වුනත් හෝ අපේ වෙනත් අදහස්  කෙසේ වුවත් ඔවුන් නිරහංකාර අය බව.  අපට සංවාද කරන්න පුළුවන් බව. මට තේරුණා අනිත් අයගේ පොත් ගැන කතා කරන්න එන්න කීවත් වසන්තිටත් ගොඩක් දේ තමන්ගේම දේ කියන්න ආසාවක් තිබෙන බව. එනිසා මම වසන්තිට ආරාධනා කළා බ්ලොග් එකක් පටන් ගන්න කියල.

හුඟක් බ්ලොග් ලියන්නෝ දැන් ඉන්නේ ෆේස්බුක් එකේ. ෆේස්බුක් එකට වැය වන කාලය ඇත්තටම මැනවින් කළමණාකර ගත යුතු දෙයක්. නැතනම් ඇබ්බැහි වුනොත් ගොඩක් දේවල් මග හැරෙන්න  පුළුවන්.  මම වසන්තිට බ්ලොග් ලියන්න එන්න කීව එක හේතුවක් ඒක .

සමහර විට එයා රැකියාව කරණ ආයතනයේ "ටෝකින්ග් බුක්ස් " වලට අමතරව "ටෝකින්ග් බ්ලොග්ස් "  වැඩ සටහනක් ගේන්න පුලුවන්නම් හොඳයි. බ්ලොග් ලිපි, කවි , නිසඳැස් , කතා , හඳුන්වා දෙන්න පුළුවන්.

ඒ මොනවා නැතත් සංවාදයක් නැවත අරඹන්න  පුළුවන් වීම විශේෂයි .

අපි 2020 අලුත් ගමනක් යමු. බ්ලොග් ලෝකයට සාදරයෙන් පිළි ගන්නවා, ඔයාව. ඔන්න මගේ බ්ලොග් වැලේත් එල්ලුව ඔයාගේ නවතම බ්ලොග් එක.

**********************************************

වසන්ති ගේ හඳුන්වා දීම 

මට හිතුණා බ්ලොග් සටහන් පෙළක් අරඹන්න. කාලෙකට කලින් මම එහෙම සටහන් පෙළක් ලියන්න පටන් ගත්තා, බ්ලොග් එකක. ඒත් අතර මග නැවතුණා. ආයෙමත් ඒ ආසාව ඇතිවුණේ අජිත් නිසා.

අජිත් හෙවත් "කොළඹ ගමයා" පහුගිය දවසක ලංකාවට ආවම මුහුණු පොතට මම ලියන සටහන් දැකලා කිව්වා "බ්ලොග් එකක් හදාගෙන ලියන එක දිගටම කළොත් නරකද?" කියලා.

අජිත් ධර්ම ගේ "කොළඹ ගමයා" ප්‍රකට බ්ලොග් එකක්. ඒත් ඒකේ සටහන්වෙන හැම කාරණාවකටම මම එකඟ නැහැ. ඒක වෙනම කතාවක්.

කොහොම වුණත් අජිත් සහ මම බ්ලොග් එක ගැන දීර්ඝව කතා කළා.

අපිට ලිවීම තුළ දවසින් දවස අළුත් නිර්මාණවලට හිත ඇදී යනවා. හිතේ ඇති සිතුවිලි නිදහසේ මුදාහරින්නට අවස්ථාව ලැබෙනවා. ඇතැම් විට අපි ලියන දේ කියවන පිරිසට අපේ අත්දැකීම් බෙදා හදා ගන්නටත්, එකිනෙකාගේ අදහස් හුවමාරු කර කරගන්නටත් අවස්ථාව හිමිවෙනවා.

"මට ඕනේ මහා බරපතල කාරණා ගැන මේ සටහන්වල සාකච්ඡා කරන්න නෙමෙයි." අජිත්ගේ බ්ලොග් යෝජනාවේදී මම කිව්වා. “ඉතින්" අජිත් ඇහුවා.
"මට ඕනේ මගේ අත්දැකීම්, මගේ සිතුවිලි එකිනෙකා අතරෙ හුවමාරු කරගන්න විතරයි“.
“ඉතින්" ඔන්න අජිත් ආයෙම අහනවා.
"මට ඕනේ හොඳ මිත්‍ර සමාගමක් හදාගන්න“ මම ආයෙම කිව්වා.

“මගේ ලෝකේ හරිම පොඩියි. ඒ පොඩි ලෝකේ ඇතුළේ මගේ අදහස් කියා ගන්න විතරයි මට ඕනේ" සාකච්ඡාව අවසානේ මම කිව්වා.
“ඉතින් ඒකට බ්ලොග් එක හදා ගන්න. ඔයාට උත්තර දෙන්න කැමති අය උත්තර දෙයි. අදහස් හුවමාරු කර ගන්න අය එහෙම කරයි. මිතුදම් ඇති කර ගන්න අය මිතුරු සමාගම් ඇති කර ගනියි.මේ මොකකටවත් කැමති නැති අය නිකන් ඉඳියි“. අන්තිමට අජිත් කිව්වා.

ඉතින් අවසානයේ මම තීරණය කළා අළුත් බ්ලොග් එකක් නිර්මාණය කරන්න.

මගේ පුංචි ලෝකේ ඇතුළේ ඉඳන් "මට හිතෙන හැටි" ලියන්න, මගේ "සංචාර සටහන්" ලියන්න, "පුංචි කාලේ මං" මගේ ජීවිතේ ගැන ලියන්න මට පුළුවන්.

පුලින්ද මල්ලී මගේ තාක්ෂණික ප්‍රධානියා. මම නොදන්න සියලු පරිඝනක වැඩ නිහතමානීව ඉටු කර දෙන්නේ ඔහු. වැරැද්දකදී මගෙන් පලු යන්න බැනුම් ඇහුවත් මීක් සද්ද නැතුව ඉන්නවා. පුලින්ද ට මගේ අදහස කිව්වම හෙමින් හෙමින්, ටිකෙන් ටික මගේ බිලොග් එක හැදුවා. පුලින්ද මල්ලී ඔයාට ගොඩාක් ස්තුතියි.

මගේ වැඩවලදී උපදෙස් දෙමින් අඩු වැඩිය හදමින් දුකට සැපට ළඟ ඉන්න, හිත කඩා වැටෙන හැම මොහො⁣තෙම හයිය දෙන මිතුරිය පද්මිත්, සම්පත්, චංචලා නංගී ඇතුළු හැමෝගෙම අදහසුත් මේ බ්ලොග් එකට අයිතියි. ඔබ සියලු දෙනාටත් ස්තුතියි.

ආදරණීය අජිත්, ඔබ නිසයි මේ බ්ලොග් එක පරිස්සමින් ප්‍රතිනිර්මාණය වු‍ණේ. ලන්ඩනයේ හිටියත් මගේ නිර්මාණවලට අදහස් එක් කරන ඔබටත් ස්තුතියි.

ඉතින් අද පළවෙනිදා. 2020 අලුත් වසරක්. අද ඉඳන් ඔයාලා හැමෝටම මගේ බ්ලොග් එකෙන් මම ලියන දේවල් කියවන්න පුළුවන්. ඔබේ අදහස්, යෝජනා විතරක් නෙවෙයි චෝදනා වලටත් මේ බ්ලොග් එක විවෘතයි.

ඒ වගේම මුහුණු පොතේ කලක් තිස්සේ මා සමඟ සිටි මගේ මිත්‍රයිටත් අදහස් හුවමාරු කර ගැනීමට මේ බ්ලොග් එක හරහා මා ආරාධනා කරනවා.

ඒ සියල්ල සඳහා මෙන්න මගේ බ්ලොග් ලිපිනය: වසන්ති නානායක්කාර 


5 comments:

  1. WordPress jaravak ni. Aparade eyage time eka. Apeth time eka aparade me post eka kiyavapu

    ReplyDelete
  2. සාදරයෙන් පිළිගනිමු! ඊයේ මුහුණු පොතෙනුත් දැක්කා!

    ReplyDelete
  3. Put the blog on your list here.

    ReplyDelete

සියලු හිමිකම් අජිත් ධර්මකීර්ති (Ajith Dharmakeerthi) සතුය. කොළඹ ගමයා බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ අජිත් ධර්මකීර්ති යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ.
මෙහි පලවන ලිපි සහ දේශපාලන අදහස් මගේ පෞද්ගලික අදහස් පමණි.
ඔබේ ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. නමුත් වෙනත් කෙනෙකුට සාධාරණ හේතුවක් නැතුව පහර ගසන අශිලාචාර අන්දමේ ප්‍රතිචාර පමණක් පල නොකෙරේ. බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ස්තූතියි .