Friday 7 August 2020

චන්දය සහ දිනන පැත්තට සුභ පැතීම

බ්‍රිතාන්‍යයේ පැවති යුරෝපීය සංගමයෙන් වෙන්වීම සඳහා පැවති ජනමත විචාරණයේදී  මා චන්දය දුන්නේ බ්‍රිතාන්‍යය යුරෝපීය සංගමය තුල සිටිය යුතුය යන මතයටය.  මගේ බිරිඳ ජර්මානු නිසාත් අප බොහෝ දුරට වසරකට දෙවතාවක් වත් ජර්මනියට යන නිසාත් ඒ පැත්තට වැඩි නැඹුරුවක් තිබුණි.   මා සමාජ ජාලා අඩවි වලද පෙනී සිටියේ එම මතයට පක්ෂයවය. ඒ මතය වැඩි චන්දයෙන් පැරදුණි.

කාර්යාලයේ බොහොමයක් ඉංග්‍රීසි ජාතිකයන් හා ආසියාතිකයන් චන්දය දුන්නේ බ්‍රිතාන්‍යය යුරෝපීය සංගමයෙන් ඉවත් විය යුතුය  යන මතයටය. මම පහුවදා ඔවුන්ට ජයග්‍රහණයට සුභ පැතුවෙමි. බොහෝ අය නිහතමානිව එය පිළිගත් අතර උඩපැන උදම්  අනන  කිසිවෙකු  නොසිටියහ. පැරදුනු පැත්තේ සිටීම ගැන සමහර මට පොඩි විහිළුවක් කලද එය එතනින් නිම විය.

මේ දිනවල ජර්මනිය කෝවිඩ් 19 වසංගතය වඩා හොඳින් කළමනාකරණය කරන බව මින් සමහරෙක් නිරීක්ෂණය කර තිබුණි. ඒ අතර බ්‍රිතාන්‍යය යුරෝපයෙන් ඉවත්විය යුතුය යන මතයේ දැඩිව එල්බ සිටි ඉංග්‍රීසි ජාතිකයෙකු මා අමතා කීවේ "අප යුරෝපා සංගමයේ සිටිය යුතු බවට" ඔහු දැන් විශ්වාස කරන බවයි. ඔහු අදහස වෙනස් කරගෙන තිබේ. මේ චන්දවල හැටි එහෙමය.

පසුගිය වසරේ පැවති බ්‍රිතාන්‍ය මහා මැතිවරණයේදී මා සහයෝගය දුන්නේ ජෙරෙමි කෝබින් නායකත්වයෙන් සිටි බ්‍රිතාන්‍ය කම්කරු පක්ෂයටය. ඔහුගේ සමාජවාදී ප්‍රතිපත්ති වලට තිබුණු කැමැත්ත නිසා විය හැකිය. අසාධාරණ ලෙස අධික ලාභ ලබන එහෙත් පහසුකම් අඩු බ්‍රිතාන්‍ය දුම්රිය  කොම්පැනි ජනසතු කිරීමට යෝජනා කිරීම , එසේම අධික ලාභ ලබන ගෑස් කම්පැනි ජනසතු කිරීමට සහ විශ්ව විවිද්‍යාල ගාස්තු ඉවත් කිරීමට යෝජනා කරන  ප්‍රතිපත්ති වලට ඇති කැමැත්තද විය හැක. 

අපේ කාර්යාලයේ  ඉන්දියානු සම්භවයක් ඇත්තෙකු මා සමග නිතර වාද කළේ කෝබින්ට බිලියන් ගණනක් වියදම් වන මෙම ප්‍රතිසංස්කරණ  වලට මුදල් නොමැති බවටත් ඔහු අපෙන්  බදු වැඩියෙන් අය කරනු ඇති බවත්ය.  බ්‍රිතාන්‍යය පොහොසත් රටක් බවත් එසේම ස්වීඩනයේ මෙන් බදු වැඩි කර ජනතාවට වඩා හොඳ ලාභ ප්‍රවාහන  පද්ධතියක් සහ අනිකුත් සහන ලැබෙන්නේ නම් එය හොඳ බවත් ඔහුට පැවසුවෙමි.

නමුත් කෝබින්ට මම ෆේස්බුක් වැනි සමාජ ජාලා ආදියේ සහය දුන්නේ නැත. හේතුව විරුද්ධ මතවාදී මිතුරන් බොහොමයක් ඒවායේ  සිටින අතරම ඔහුගේ යුදෙව්වන් සම්බන්ධ ප්‍රතිපත්තියත් අගතිගාමී යයි සිතුනු බැවිනි. මා කොහොමත්  ඊශ්‍රායලයරටක් වශයෙන් පැවතිය යුතු යයි සිතන අයෙක්මි.  
කෝබින් ගේ පක්ෂය පරාජය වුනු අතර මම බොරිස් ජොන්සන් ට සහය දුන කාර්යාලයේ මිතුරන්ට  සහ අසල්වාසීන් ට සුභ පැතුවෙමි.

කවුරු චන්දයෙන් දිනුවත් මම පබ් එකට බියරයක් බොන්නට යන්නේ, දහවල් කෑම වේලේ කතා කරන්නේ මේ සගයන් සමගය. බාබෙකිව් දාන්නේ අසල්වාසින් සමගය. මම පසු දිනයේද සාමයෙන් විහිළුවෙන් ජිවත් වන්නේ ඔවුන් සමගය. ඔවුන් මෝඩ යයි කියා අපහාස  කිරීමට හෝ  ජීවිතය නැති වුනාක් මෙන් දැඟලීමට නොයමි. චන්ද වලින් සිස්ටම් වෙනස් කල නොහැකියි කියා ආයුධ ගැනීමටද නොයමි. ඒ කාලය ලෝකයෙන් තුරන් වී හමාරය.  දැන් ලෝකය වෙනස් ය. මිනිසුන්ට දැනුම දීම වඩා වැදගත්ය. හොඳ මිනිසුන් කොයි කණ්ඩායමේ ත් සිටී . නරක මිනිසුන්ද එසේමය.

ශ්‍රී ලංකාවේ ඊයේ හා පෙරේදා පවතී  මැතිවරණයෙන් පොදු පෙරමුණ ජයග්‍රහණය කිරීම ගැන මා සුභ පැතුවේ එනිසාය. මගේ මිතුරු ලයිස්තුවේ පොදු පෙරමුණට සහයෝගය දුන් බොහෝ අය සිටිති. යුඇන්පී අයද සිටිති. ජවිපෙ හා පෙරටුගාමී සමාජවාදීන් ද සිටිති. මේ පරාජය නිසා ඔවුන්ට දුක හා කණගාටුව ඇතිවිය හැකිය. නමුත් පරාජයේදී නිහතමානීව ජයග්‍රාහකයන්ට සුභ පතන්න. අදත් හෙටත් ඔබ  ජිවත් විය යුත්තේ ඔවුන් සමගය. මොන පක්ෂයකින් හෝ උපන් රටට හොඳක් වෙන්නේ නම් එය හොඳ දෙයකි.

අනික මගේ සුභ පැතීම තුල දින අයගෙන් කිසියම් දෙයක් ගැනීමේ බලාපොරොත්තුවක් ඇත්තේද නැත. බ්‍රිතාන්‍යයේ ජිවත්වන  මට එහෙම දෙයක්  අවශ්‍යද නැත. මේ චන්දයේදී චන්දය ඉල්ලන ලංකාවේ කිසිම දේශපලන පක්ෂකට සමජා ජාලා තුල සහයෝගයක් ප්‍රසිද්දියේ හෝ අප්‍රසිද්දියේ නොදුන්නෙමි. 

පැරදුනාට බොරිස් ජොන්සන්ගේ රජයට විවේචනය කිරීම මම හැර දමා නැත. එහෙත් ඔවුන් කොවිඩ් 19 වසංගතයේදී රැකියා වලින් අයින්වුවන්ට හිඟ වැටුප්  ගෙවීම වැනි  හොඳ වැඩද කළහ. රිෂි සුනාක් චාන්සලර් 9මුදල් ඇමැති ) ගේ ඇතැම් මහජනතාවට සෙත සලසන වැඩ ද අගය කළ හැකිය. ඔහු පවුම් බිලියන් ගණනක් බ්‍රිතාන්‍ය ජාතිකයන්ට සහන සැලසීමට වෙන් කර තිබේ.

අර ඉන්දියානු සම්භවයක් ඇති සගයා පසුගිය සතියේ ඔහු කෝබින් බිලියන් ගණන් හොයන්නේ කෙසේදැයි ඇසීම ගැන කණගාටුව පල කළේය. රිෂි සුනාක් දැන් ඊට වඩා පවුම් බිලියන් ගණනක සහන සැලසීමට වියදම් කරන  බව ඔහ දැනගත් නිසා හා අපට බදු වැඩියෙන් ගෙවන්නට වන බවද ඔහු දැනගත් නිසාය. චන්දවල හැටි එහෙමය. මම අර සගයා සමග අමනාපයෙන් සිටියේ නම් ඔහු කතා කර කෝබින් ගේ එම ප්‍රතිපත්ති වලට මුදල් සෙවීම ගැන ඔහුගේ වැරදි වැටහීම ගැන  කියන්නේ නැත.

එසේම ශ්‍රී ලංකා චන්දයේ මගේ සිතගත් එක ප්‍රතිඵලයක් සඳහන්  කිරීමට කැමැත්තෙමි. ඒ අන්ගජන් රාමනාදන් ගැනය . 1975 දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ  අල්ෆ්රෙඩ් දුරේ අප්පා ඝාතනය විය. "ඊලාම් වාදීන් " පසුව එය කලබව පිළිගත්හ.  1982 අපකීර්තිමත් ලාම්පු කළගෙඩි ජනාධිපතිවරණයේ දී ශ්‍රී ලනිපයේ හෙක්ටර් කොබ්බෑකඩුව මහතාට වැඩිම චන්ද ලැබුනේද යාපනය දිස්ත්‍රික්කයෙනි.

මේ මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අන්ගජන් රාමනාදන් මහතාට වැඩිම මනාප ප්‍රමාණයක් ලැබී ඇත. යාපනය ජනතාවට  ප්‍රණාමය පිරි නමන  අතරම අන්ගජන් මහතාට සුභ පතමි.


 


 

10 comments:

  1. ලංකාවේ හැම විටම තීබුනේත්, දැන් තියෙන්නේත් පුද්ගලයන් හා බද්ධ උන, එහෙමත් නැතිනම් පක්ෂ හා බද්ධ උන දේශපාලනයක්. ඒකට චන්දදායකයන්ටම දොස් කියන්නත් බැහැ. ප්‍රතිපත්තිමය දේශපාලනයක් කරන්න නම් දේශපාලකයින්ට හා පක්ෂ වලට ප්‍රතිපත්තියක් තිබිය යුතුයි. ඉතින් ප්‍රතිපත්තියක් නැති දේශපාලකයින්ට හෝ පක්ෂ වලට චන්දය දෙන්නේ, ඒ ඒ පක්ෂයට හෝ පුද්ගලයාට ඇති බැඳීම නිසා හෝ තමන්ගේ මඩිය තර කර ගැනීමට අවස්ථාවක් ලබා ගැනීමේ අපේක්ෂාවෙන් මිසක් ඒ ඒ දේශපාලකයාගේ හෝ පක්ෂයේ ප්‍රතිපත්ති සලකලා නොවෙයි. ලංකාවේ "පාවෙන චන්ද" ලෙස කියැවෙන, සෑම මැතිවරණයක වැදගත්ම පිරිස, හැඳින් විය යුත්තේ "එපාවෙන චන්ද" ලෙසටයි. ඒ කියන්නේ තමන් මෙතෙක් සහයෝගය දැක්වූ පක්ෂය හෝ දේශපාලකයා එපා වීම මිසක් ඔවුන්ගේ "ප්‍රතිපත්ති" වලින් බැහැර වීම නිසා නොවෙයි.
    අජිත් වසන එංගලන්තය වැනි රටවල, ප්‍රතිපත්තිමය නොගැලපීමක් හැර විරුද්ධ පාක්ෂිකයන්ගේ වෙනත් අඩුපාඩුවක් නොදකින නිසා එකිනෙකා අතර තියන මිත්‍රත්වය හෝ සුහදත්වයට දේශපාලනයෙන් හානියක් වෙන්නේ නැහැ. මේ නිසා දිනන කෙනෙකුට සුභ පැතීම, එහෙම නැතිනම් පැරදුන කෙනෙකුට කණගාටුව පල කිරීම සාමාන්‍ය සිදුවීමක් උනාට ලංකාවේ එහෙම වෙන්නේ කලාතුරකින්.
    ඒ හැර තමන් ගරු කරන ප්‍රතිපත්ති වෙනුවෙන් චන්දය දීමේදී, පක්ෂය හෝ පුද්ගලයා අදාළ නොවීම ගැන උදාහරණයක් කියන්න පුළුවනි. ඕස්ට්‍රේලියාවේ ෆෙඩරල් රජයේ අගමැති ජෝන් හොවාර්ඩ් ගේ පාලන කාලය 1996-2007 අතරයි. ලිබරල් පක්ෂය නියෝජනය කල ජෝන් හොවාර්ඩ් ගේ පාලන කාලයේ ප්‍රාන්ත ආණ්ඩු සියල්ලේම බලය ලේබර් පක්ෂයට හිමිවූ අවස්ථා තිබුනා. චන්දය ප්‍රකාශ කිරීම අනිවාර්යය වූ ඕස්ට්‍රේලියාවේ, එකම චන්දදායකයින් පිරිසක්, ෆෙඩරල් මැතිවරණයේදී එක පක්ෂයකටත්, ප්‍රාන්ත මැතිවරණයේදී ඊට විරුද්ධ පක්ෂයටත් චන්දය දෙනවා. මේ ලියන අද දිනයේදී උනත් මහ ආණ්ඩුව ලිබරල් වෙද්දී ප්‍රාන්ත ආණ්ඩු අටෙන් පහක්ම ලේබර්. ඒක හරියට ලංකා පාර්ලිමේන්තුවේ බලය එජාපයට තිබියදී, පළාත් සභා සියල්ලම ශ්‍රීලනිපය ජයගන්නවා වගේ වැඩක් . එවැනි දෙයක් අපේ ජීවිත කාලයේදී නම් දකින්න ලැබෙන්නේ නැති බව විශ්වාසයි.

    ReplyDelete
    Replies
    1. අපේ රටේ මිනිස්සු හුඟක් හැඟීම් බරයි. අනික කළ ගුණ සලකන්නැ ඕනේ කියන හැඟීමත් තියනවා. ඔය දෙකම එකතු වුනහම චන්දෙ පිලිබ්නද තීරණ හරි ඉක්මනින් වෙනස් වෙනවා. හැබැයි ආණ්ඩු කරන්න ඇවිත් පොරොන්දු ඉස්ට නොකරන මින්සුන්ට පාඩම් උගන්වන් අපේ මිනිස්සු දක්ෂයි. ඔය ඉගැන්නුවෙත් පාඩමක් මටනම් පෙන විධිහට

      Delete
  2. අපේ සිංහල එවුන් වගේ නෙමෙයි

    අංගජන් රාමනාදන් යනු
    මත්පැන්පානය නොකරන
    බොරු නොකියන
    කාමයේ වරදවා නොහැසිරෙන
    ජාතිවාදය ගෑවිලාවත් නැති

    සර්ව සම්පූර්ණ පුද්ගලයෙක් (හරියට හූල් වගේ)

    ReplyDelete
    Replies
    1. ඒවානම් දන්නේ නැහැ. ජාතිවාදය එපා කියන මිනිස්සු හැම පැත්තේම .ඉන්නවා

      Delete
  3. ඔව් අජිත්, මටත් එහෙමයි. මගේ මිතුරන් අතරේ හැම පක්ෂයකම අය ඉන්නවා. මතවාදීව ගැටෙනවා මිස අපි පුද්ගලවාදීව ගැටෙන්නේ නැහැ.

    ReplyDelete
    Replies
    1. අන්නේකයි. මිනිස්සු ඔය විධිහට චන්දෙ දෙන්න හේතු තියනවා. සිරිමාවෝ ආණ්ඩුවේ පෝලිම් හා හාල් පොලු නිසා 1977. යහපාලනේ කියල ඇවිල්ල ගව පාලනයක් කරපු හැතිකරේ 2020

      Delete
  4. මම මේ සැරේ ඡන්දේ දුන්නේ නෑ. ඒ මම නියෝජනය කරන ගාල්ල දිස්ත්‍රික්කයේ කිසිම පක්ෂේකින් මගේ 'ඡන්දය' දිනා ගත හැකි අපේක්ෂකයෙක් ඉදිරිපත් කරලා හිටියේ නැති නිසා. ඒක නිසා දුකක්වත් සතුටක්වත් නෑ. (ඡන්දේ දීල දින්නත් පැරදුනත් එහෙම එකකුත් නෑ) ඊයෙත් අධි සාන්ද්‍ර බයියෙක් එක්ක බියර් එකක් බිව්වා.. හැබැයි ඡන්දේ ගැන කතාවක්වත් උනේ නැද්ද කොහෙද.. :)))

    ReplyDelete
    Replies
    1. අතිශයින් සාධාරණ තීරණයක් ලක්ෂ 8 විතර එහෙම හිතල තිබෙනවා

      Delete
    2. සෞඛ්‍යාරක්ෂිත චන්ද විමසීම කොහොමද බලන්න චන්දෙ දාන්න යනවද කියල හිතමින් ඉන්නකොට වහින්න ආවා. හෙම්බිරිස්සාවක් හැදුනොත් කෝවිඩ් 19 බලන්න වෙයි කියලා හිතුන නිසා ඉලෙක්ශන් '20 මිස් කලා.

      Delete
    3. වෙන මොනවා කරන්නද

      Delete

සියලු හිමිකම් අජිත් ධර්මකීර්ති (Ajith Dharmakeerthi) සතුය. කොළඹ ගමයා බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ අජිත් ධර්මකීර්ති යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ.
මෙහි පලවන ලිපි සහ දේශපාලන අදහස් මගේ පෞද්ගලික අදහස් පමණි.
ඔබේ ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. නමුත් වෙනත් කෙනෙකුට සාධාරණ හේතුවක් නැතුව පහර ගසන අශිලාචාර අන්දමේ ප්‍රතිචාර පමණක් පල නොකෙරේ. බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ස්තූතියි .