Tuesday 3 November 2020

බ්‍රිතාන්‍ය කෞතුකාගාරයේ රැයක් වෙනුවට මාසයක්


දැන් ඔයාලා කවුරුත් අර නයිට් ඇට් ද  මියුසියම් චිත්‍රපටය බලල තියනවනේ.  මටත් ඔහොම වැඩක් වුනා. අර කට්ටකාඩුව බ්ලොග් එක ලියන කට්ටේ ළමයා  මට වැඩක් පැවරුවනේ. අපේ බිරින්දෑ ගේ සහ පවුලේ ළමයින්ගේ බලවත් විරෝධය නොතකා කට්ටකාඩු උන්නැහේට අවශ්‍ය දේ සොයා ගන්න මම බ්‍රිටිෂ් මියුසියම් එකට ගියා.  ඒ ගොල්ලෝ විරෝධය පල කලේ මේ  කෝවිඩ් ප්‍රශ්නය නිසා, පොදු ප්‍රවාහන  සේවයේ ගිහින්  මට අසනීපය වැළඳෙයි කියන බයට. 

(හැබෑට වුනේ වෙන දෙයක්. ඒ විස්තර පසුව දැන  ගන්න ලැබේවි. දැනට ගියා කියල හිතන්නකෝ.)

ඉතින් ඒ ගියේ බිරින්දෑ වැඩට ගියාට පස්සේ හොරෙන්ම ගිහිල්ල එයා ගෙදර එන්න කලින් එනවයි කියල හිතාගෙන. නමුත් වැඩේ බරපතල කම කියන්නේ මට වෙලාව යනවා දැනුනේ නැහැ. කෞතුකාගාරය ඇතුලේ ඉන්දෙද්දීම ආවා කෝල් එකක්.

"ඔයා කොහේද ඉන්නේ  ඇවිදින්න  ගියාද "
සාමාන්‍යයෙන් මම හවසට ඇවිදින්න යන නිසා බිරිඳ අහනවා.  

බොරුවක් වත් කියන්න ඕනේ කියල හිතන කොට අනවුන්ස්මන්ට් එකක්  එනවා. අන්තිම  පැය භාගය තමයි මේ . කොරන දෙයක් කොරාගෙන පිට වෙන්න තියෙන්නේ කියල.  

"ඔයා ගියා නේද එපා කියද්දී  මියුසියම් එකට. එන්න එපා ගෙදර ලෙඩ වෙලා කියාගෙන. ගියානම් ඔහෙම ඉන්නවා.  " බිරින්දෑ තිබ්බ ෆෝන් එක. 

දැන් මොකද කරන්නේ වැඩේ බකල්. කියව කියව හිටිය ලංකා ඉතිහාසය, රාජාවලිය, අති විශේෂ මන්ත්‍ර  ගැන පුස්කොල පොත් කන්දරාව ආපහු දාන්නත් වෙලා යනවා. හොයා ගන්න ගිය වෙලාව නිසා දාලා යන්නත් මොකද්ද වගේ. ආයි හෙට එන්න කියලද? 

හිමින්ම  බෑග් එක ඇරලා බැලුව.  

හරි සැන්ඩ්විච් එකක් තියනවා තවම ඇතුලේ කෙහෙල් ගෙඩියකුත් එක්ක. වතුර බෝතලෙත් ඉතුරුයි.

මෙහෙමම  අද රෑ හොරෙන් ඉඳල හෙට යනවා.  මේ වැඩේ ඉවර කරලා . එහෙම හිතාගෙන මේස වලින් පිටි පස්සේ කෞතුක වස්තු තියෙන කොටසේ ප්‍රතිමාවකට එහායින් හැන්ගුනා. පහට හරියට කෞතුකාගාරය වහලා කට්ටිය එලියට යනව.  ඔය අතරේ මියුසියම් එක හෙට උදේට අරින වෙලාව බලන්න මම ෆෝන් එකෙන් වෙබ් සයිට් එක චෙක් කළා. 

මළ ම කෙලියයි. මෙන්න ලොක් ඩවුන් නිසා මියුසියම් එක මාසයක් වහනවලු.. 
දැන් මට  මේක ඇතුලේ  මාසයක් හිර වෙන්න වෙනවා.  කන්නේ බොන්නේ කොහොමද? වීදුරුවක් කඩාගෙන පනින්නත් බැහැ . මම ඉන්නේ උඩම තට්ටුවේ   ආසියානු කෞතුක වස්තු, ලංකාවෙන් සුද්ද හොරෙන් අරන් ගියය කියන  පුස්කොල පොත් තියෙන පැත්තේ. පහල  බිම් මට්ටමේ  කවුරුවත් පේන්න නැහැ. ඔක්කොම ගිහින්.

මම ඔළුවේ අත ගහගෙන බිම වාඩී වුනා. ඔලුවේ කැක්කුමත් වගේ දැන්.

ඒ අතරේ ලොකු කහ පාට එළියක් එක පැත්තකින් තියෙන විදුරු ජනේලයක් තුළන් ප්‍රාදුර්භූත වුනා. එළිය ටික ටික ලොකු වෙනවා. 
ඒ මොකක්ද යකෝ - මටම කියවුනා.
එළිය ටිකින් ටික බිමට පාත් වෙලා ආයි උඩට යන්න ගත්ත. නැහැ මේ මැවෙන්නේ රූපයක් . මල කෙලියයි යේක යෙකෙක්ද කොහෙද? අත් දහයක් විතර, මගේ අම්මෝ ඔළු ගොඩයි.
මගේ ඔලුව කැරකෙන්න ගත්ත. ඒ ළඟම තිබ්බ කෞතුක වස්තුන් තියෙන මේසයක්. වීදුරුව කඩල ඒකෙ තිබ්බ කිනිස්සකුයි කඩුවකුයි ඉස්සුවා. හාහ් වර බලන්න .
මමත් අරින්නේ නැහැ.

"පුත බිය නොවන්න. ඔබ පැමිණියේ කට්ටකාඩුව සෙනෙවි තුමාගේ කාර්යභාරයකට නොවේද ? තමන්ට වෙන කරදරය  නොතකා අධිෂ්ඨාන ශීලීව මෙසේ නැවතී ඉතිහාසය ගොඩ නැංවීමේ ඒ කාර්යභාරයට  ඔබ ඉදිරිපත් වීමම  විශිෂ්ඨයි. මා පැමිණියේ ඔබට උදව් කර මේ තැනින් සුවසේ නිවසට පිටත් කිරීමටයි. "

යන්තන් ඇඟට ලේ ටිකක් ඉනුවා. මේ යකා මාව මරාන   කන්න නෙමේ ඇවිල්ල තියෙන්නේ.

"ඔබතුමා කවුද, අනික අර කට්ටකාඩුවා වේ ලොකු මලයාට  සෙනෙවිතුමා කිව්වේ මොකද  " කිනිස්ස අතේ තදින් අල්ල ගනිමින්ම මම ඇහුවා.

"ඔබ මා කවුද කියා අඳුනන්නේ නැතිද? ඉතාමත් කණගාටුයි. මා තමයි ශ්‍රී ලංකා අධිරාජ්‍යය හා ඉන්දියාව පාලනය කල රාවණා නරේන්ද්‍රයානන්. මා  දැන් සිටින්නේ වෙනත් විශ්වයක. කට්ට කාඩුවා යනු එදවස මා යටතේ සිටි ශූර වීර සෙනෙවියෙක්. එතුමාට මා පිලිබඳ මතකය ඇති නිසා තමා ඔබව තෝරා ගත්තේ මෙහි එවීමට.   මා පැමිණියේ මා පිළිබඳවත්,  ශ්‍රී ලංකාවේ බුදුන් උපන් දේශය බවටත් ප්‍රාමාණික  විද්වතුන් ගෙනියන ඝෝෂාව සනාථ කිරීමට ඔබට උදව් කරන්නටයි "   

"මාර වැඩේ ලංකාවට වුනේ - නෙමයි මට වුනේ " මම මටම කියා ගත්ත. මං ආවේ වෙන වැඩකට. මදැයි දැන් මොකද කරන්නේ . බොරුවක් වත් කියල ශේප් වෙනවා. සමහරවිට මේ රාවණා ට දොර ඇරලා දෙන්න පුළුවන් වුනොත්.

"එහෙමයි එහමයි දේවයන් වහන්ස. ඒ පුස්කොල පොත් බලා මට මෙතැනින් යහතින් යා හැකිද?"

"එසේය පුතා. අවශ්‍ය කාලයක් මෙහි රැඳි සිටින්න. ඔබට අවශ්‍ය කෑම බිම පමණක් නොව අප විශ්වයේ  රාවනා මන්දිරයේ සේවයේ නියුතු අති සුරූපී රාවණා ලඳුන් කිහිප දෙනෙකුන් ද තව ස්වල්ප වෙලාවකින් ඔබගේ ආවතේව කිරීමට මෙහි ගෙන්වමි. ඔබට නිදා ගැනීමට රාවණා ෂටල්  නව යානයේ කොටසක්ද වෙන් කරමි.  ඉතින් අපේ මනරම් දිවයිනේ තතු කෙසේද"
 
අම්මට සිරි. රාවණා ළඳුනුත් එනවනම් ඉතින් කොහේ යන්නද? කෑම බිමත්  ගේනවලුනේ. යක්කු කන කෑම වුනත් මොකද?

"දේවයන් වහන්ස , අපේ දේශයේ මෙන්ම  මුළු මහත් ලෝක තලයේම මහා රෝ බියක් පැතිර යනවා. ඇත්තෙන්ම වසංගතයක්. නමුත් දේවයන් වහන්ස, අපට බිය වීමට කාරියක් නැහැ "

"මගේ සිත ඉතා දුකට පත්වුණා දරුවා. නමුත් ඇයි බිය වීමට කාරියක් නැත්තේ . අපට ඔබලා  වෙනුවෙන් යම් උපකාරයක් කළ හැකිද?"

"අපෝ අවශ්‍ය  නැහැ දේවයාණන් වහන්ස. අපට රාවණා  පරපුරෙන් පැවත එන නෑ   යකුන් බොහෝයි . ඒ අතරින් පවිත්‍රා දේවියන් වැනි සේනාධිනයිකාවන් සිටිති. සුදු එලියා වැනි සේනාධිනායකයන් සිටිති. ඔවුන් රාවණා මහිමයෙන් විශ්ව ශක්තීන් උපදවා රට රකිති. රාවණාවබෝධයෙන් යුත් රහතුන් දඬු මොනරකොප්ටරයෙන් ගොස් රට පුරා රාවණා ජලය ඉස ආශීර්වාද කරති.   රට වැසියෝ මොන ප්‍රශ්න පැමිණියත් නොබියවම ඉතා සතුටින්  කල් ගෙවති. "  එහෙම කියල යන්තම් ශේප් එකක් දැම්ම.

"එසේ නම් අපි පුස්කොල පොත් සොයා ඒවා කියවා  ගනිමු. මම ඔබට එකල අපේ ඉතිහාසයේ  වූ ශ්‍රී විභූතිය අපේ විශ්වයේ ඇති මේ ඔබලාගේ රුපවාහිණියක්  වැනි  කාලමාන යන්ත්‍රයෙන් පණ පොවා පෙන්වමි. ඔබට අවශ්‍ය නම් අතීතයටම ගොස් නැරඹිය හැකිය."

~~~මතු සම්බන්ධයි 

***********************************************************
 දැන් මෙතැනින්  තමයි කතාව  පටන් ගන්නේ. දැන් ඕගොල්ලන්ට තියෙන්නේ මට මාසයක් රාවනා එක්ක බ්‍රිතාන්‍ය කෞතුකාගාරය ඇතුලේ ලොක් ඩවුන් ඉවර වෙනකන් ඉන්න උදව් කරන්න.

 ඒ කියන්නේ රාවණා මොන කල වකවානුවට ගිහිල්ල මොන කතාවද පෙන්වන්නේ කියල ලියන්න.
අපහාස නෙමේ. උපහාස සහ හිනාව පමණයි.

බ්ලොග් නැති කට්ටියගේ කතාව මගේ බ්ලොග් එකේ පල කරනව.
මේ අදහස මගේ ඔළුවට ආවේ  කට්ටකඩුවේ ලොකු මලයා කියපු දෙයක් නිසා.   
කතාව 1, 2, 3, කියල ගෙන යන්න පුළුවන්. 

...................

38 comments:

  1. එළ එළ!!! මාත් ලියනවා කොටසක්....මාසයක් කියන්නෙ ලොකු කාලයක් නෙ....අපොයි ඕන තරං පොත් තියනවා කියවන්ඩ.....ඉන්ඩ බලන්ඩ....!!!

    ReplyDelete
    Replies
    1. ලොක් ඩවුන් කාලෙටනේ . කෙනකුට දෙක තුනක් වුනත් ලියන්න පුළුවන්.

      Delete

  2. අති සුරූපී ළඳුන් එක්ක මෙයා කියවයි පුස්කොළපොත්. හැක්..

    මොනව උනත් මේ වැඩෙත් නරකම නෑ.

    ReplyDelete
    Replies
    1. ඒක මමනේ කොරන්නේ , මේ නම් ඉරිසියාව තනිකරම

      Delete
  3. ඔයාගේ පෝස්ටුව දැක්ක ගමන් ඉහේ මල් පිපුණා වගෙයි දැනුණේ!

    මාසයක් නෙවෙයි අවුරුද්දක්ම ඔය කෞතුකාගාරේ ඇතුලේ ඉන්න බැරිවය රාජකීය සැලකිලි ලබමින්. ඒවා මොනවාවත් නැතිව අපි මේ ගෙවල් අස්සෙම හිර වෙලා ඉන්නේ. අපේ වියදමෙන්, සර්ලගෙ පිහිටෙන්.

    අජිත් මහත්තයෝ, කටුගේ අස්සේ ඉන්න කියන්නේ මටත් වැඩක් කරවා ගන්නයි.

    මතකයිනේ Pra Jay මහත්තයයි, සිරිබිරිස් උන්නැහෙයි, රවී මහත්තයයි එක්ක හඟුරන්කෙතත් ගියා ගල් බරුවක් හොයන්න. අවුරුදු 25-30කට ඉස්සෙල්ලා මම එහෙදී දැක්ක එකක්. ඒක පාවිච්චි කළාය කියන්නේ බිසෝවරු වැවේ ගිල්වලා මරන්න. ඔය ඉසව්වේ තමා දස්කොන්-ප්‍රමිලා පෙම් කතාව සිද්ධ වුණේ.

    තහනම් පෙම අහුවෙලා ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජ්ජුරුවෝ දස්කොන් අධිකාරමව හිරේ දැම්මා හිස ගහලා දානකල්. කියවෙන විදිහට දස්කොන් උන්නැහේ වැටුනේ බොරු වළකයි.

    තමුන් නිදොස් බව කියමින් දස්කොන් හිර කුටියේ ඉඳගෙන, රජතුමාට ඔප්පු කරන්න ලිව්වාලු කවි පොතක්. නමුත් ඒක රජතුමා අතට යන එක වැලක්කුවාලු කුමන්ත්‍රණකාරයෝ. දැන් ඒ කවි පොත 'නෝක්කාඩු මාලය' තියෙන්නේ එංගලන්ත කටු ගෙදරලු! පුස්කොල පොතක් නිසා පිටපත් තියෙන එකක්යැ? බැරිද ඒ ගැනත් හොයලා බලන්න.... ඒ විතරක් නෙවෙයි, ඒ ගැන ලියන්නත්.

    හැබැයි පරෙස්සමෙන්. නයිට් ඇට් ද මියුසියම් එකේ වගේ බලංගොඩ මානවයා හෙමත් ආයෙම පණ ගහලා ආවොත්?

    ReplyDelete
    Replies
    1. ඔය ප්‍රෑ ජේ ලා කියන ඒවත් විස්වාස අක්රන්වද මම අහන්නේ

      Delete

    2. මිස්ටර් බලන්ගොඩ මෙහෙ නැහැ නේද

      Delete
    3. නිමල්,

      අඩේ බං ඒ ගමන ගිහිල්ල අවුරුද්දකුත් වෙන්ට ආවා නෙවද? ඔන්න බලමු ඒ ගැන ලියන්ට පටන් ගත්තු පෝස්ට් එක තවම පබිලිස් කරන්ට බැරිවුනු හැටියක්...:(

      Delete
    4. පබිලිස් ලා එක්ක වැඩ අක්රනන් ගියහම ඔහොම තමයි. දැන් මට වැඩ දෙකක් පැවරෙන්න යන්නේ

      Delete
    5. //දැන් ඒ කවි පොත 'නෝක්කාඩු මාලය' තියෙන්නේ එංගලන්ත කටු ගෙදරලු! පුස්කොල පොතක් නිසා පිටපත් තියෙන එකක්යැ? බැරිද ඒ ගැනත් හොයලා බලන්න.... ඒ විතරක් නෙවෙයි, ඒ ගැන ලියන්නත්.//

      @ නිමල්, National Digital Library of Sri Lanka බැලුවද?

      Delete
    6. රවියා දැන්වත් දැම්මොත් හොඳ නැත්ද අපටත් බල ගන්න එක්ක.

      Delete
    7. ස්තුතියි Pra Jay, බැලුවා. දැනට නම් හමුවුනේ නෑ.

      Delete
  4. අජිත් ධර්ම මහතාට කෝවිඩ් නිසා මානසික ව්‍යාධියක් වැළඳී ඇති බව සිතේ.

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් , අපහාස නෙමේ. උපහාස සහ හිනාව පමණයි

      Delete
  5. මං ලියන කොටස මගෙ බ්ලොග් එකේ දාන්ඩද, මේකට ලිංක් එකක් දාලා, එහෙම නැත්තං ඔයාට ඊමේල් කරන්ඩද?

    ReplyDelete
    Replies
    1. ඔයාගේ එකේ දාන්න , මගේ ලින්ක් එක එක්ක. මමත් දාන්නම් මගේ එකේ ලින්ක් එකේ.

      Delete
    2. නියමායි , කියෙව්වා ෆේස්බුක් ලින්ක් එකෙන්

      Delete
  6. මාත් ලියන්නම්

    ReplyDelete
    Replies
    1. අන්න හොඳයි. හැමෝටම තමයි සුහද ආරාධනය

      Delete
  7. තෑග්ගට ඇති සුරූපී ලියක් එවන්න බැරිද? අපිත් ලොක් ඩවුන් වෙලා ඉන්න නිසා ලියන්න පුළුවන් වෙයි. ජයවේවා!

    ReplyDelete
    Replies
    1. රාවණා එකෙන්ම කැමති වුණා. රාවනා නාවික බලකායේ හිටපු සෙනෙවි තුමෙක් කීවම. හෙටානිද්දම හම්බ වෙයි. ලියාව ලියවන්න නම් එපා ඉතින්.

      Delete
  8. මාසේ අන්තිමට හොඳම ලියවිල්ලට ත්‍යාගයක් දෙමු කැමතිනම්. (සම්මාන ඉල්ලා ගෙන එන්න එපා ඔන්න) ....//
    ගොනා හැරෙන්නෙ මොන පැත්තටද....ලමායී.

    ඈ. ... ආයි පටන් ගන්නවගෙ යන්නෙ කීයක් හරි ගානක් හොයාගෙන යටිමඩි ගහගන්න

    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      Delete
    2. මේක ලිව්ව එක හුඟක් හොඳයි. නැවතත් ඒ අමිහිරි අතීතය මතකයට ගේන්න නේ ලියන්නේ. මේවා ලියන්නේ මූණ බලාගෙන කතා කරන අයම බව දන්නා නිසා පිළිතුරක් දෙනන් වෙනවා.
      මම ඕක ලිව්වේ කරුණු 3 කට.
      1. පැතුම් හේරත් ගේ බිත්තිය බ්ලොග් එකේ දෙතුන් වරකුත්, ඩ්රකි (ප්‍රභාත්) , කොලොම් පුරේ (අසංග) වැනි අය දැන් කිහිප වතාවක්ම ගෙට්ටුගෙදර් එකක් කරමු කියල කියපු නිසා. මටත් ආසාවක් ආව. මම සංස්කෘතික ජීවියෙක්. මම කැමතියි මිනිස්සු එක්ක, යාලුවෝ එක්ක එකතු වෙලා වැඩ කරන්න.
      2.රාවණා කතාව ගැන යන නොයෙකුත් මත නිසා උපහාස කතා පෙළක් ලිව්වොත් මරු කියල හිතුන නිසා.
      3.මට දිගටම ෆේස්බුක් එකේ මෙසේන්ජර් එකෙන් කිහිප දෙනෙක්ම ආධාර ඉල්ලන නිසා. දෙතුන් දෙනෙකුට දුන්න. දිගටම එනවා ඉල්ලීම්. එනිසා තේරුනා හුඟක් මිනිස්සු අමාරුවෙන් ඉන්නේ කියල.
      මම කවදාවත් සල්ලි යටිමඩි ගැහුවේ නැහැ. ගහලත් නැහැ. මට හොඳ තරමේ රැකියාවක් තියෙන කෙනෙක්. එහෙම කරන්න අවශ්යතාවයකුත් නැහැ. මම මල්ලේ පොල් බ්ලොගයේත් (ඒ චෝදනාව මුලින්ම ආපු වෙලේ ) නිතරම කියපු දෙයක්. ඔප්පු කරන්න. චෝදනා කර කර ඉන්නේ නැතිව. වෙන අය ගැන මට කියන්න බැහැ. මම ගැන මම කියන්නේ.
      නමුත් මේක හුඟක් සංවේදී දෙයක් මට. එනිසා ඒ කොටසම අයින් කරල් දැම්මා.
      මම හැදුවේ මගේ අතින් සල්ලි දෙන්න ආධාර වශයෙන්. කොහොමත් දෙන එකේ. (ඉස්සර වුනෙත් ඒකම තමයි). මගේ පඩියෙන් මම හැම වෙලෙම් කිසියම් ප්‍රමානයක් වෙන් කරලා තියනවා අමාරු යට දෙන්න. මගේ නෑදෑයන් ඇතුළුව.
      ඒ කොහොම වෙතත් අවශ්‍ය නැහැ කියල හිතුන. ඒ නිසා නැවත වරක් ඕක මතක් කරලා දුන්නට ස්තූතියි . ඒ අමිහිරි කම සහ ඒ අභූත චෝදනාව.

      Delete
  9. ඔන්න ලිව්වා...හදාගන්ඩ තියෙන අඩුපාඩු කිව්වොත් පිං!!

    http://kattakaduwa.blogspot.com/2020/11/blog-post_8.html

    ReplyDelete
    Replies
    1. මේක මල් හතයිකට්ටේ කාඩුවේ ලොකු මල්ලි. මේක මම ෆේස්බුක් එකේ පේජ් එකට දාන්නද

      Delete
    2. කිසිම ප්‍රශ්නයක් නෑ...කියවන්ඩනෙ ලිව්වෙ.....ශ්‍රී රාවණ සිද්ධම්!!!

      Delete
  10. අජිත් මේක ලියන්න මට ආසයි. මාව මතක් වෙලා කියපු එකට ස්තුතියි. හැබැයි ඉතින් මගේ ලිවිම විස්වාස නැහැ. හරිම උදාසීන සහ වැඩ අධික කමක් තියෙන්නේ. පොඩි දෙයක් හරි ලියන්න බලන්නම්. හොඳ අදහසක් ඒක.

    සම්මාන උළෙලවල්, තෑගී ගැන වැඩිපුර හිතන්න එපා අජිත්. අපි කිව්වට වැඩේ කරන ඔබ වැනි අයට මුහුණ දෙන්න වෙන තේරුමක් නැති ප්‍රශ්න හින්ද ඒවා ගැන එච්චර කරදර වෙන්න එපා. අපි මේ වගේ වැඩ කරන්න බලමු. ලියන හැමෝම ආසාවටනේ ලියන්නේ.

    අපිට පුළුවන්නෙ Zoom එකෙන් දවසක සෙට් වෙන්න.

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත . ෆන් එකට කරන වැඩක් ෆන් එකේ තියාගමු. සූම් එකෙන් සෙට් වෙන එකට මමත් කැමැතියි. දිනයක් දවසක් දාගෙන සෙට් වෙමු.

      Delete
  11. මාසයක් ඔතන ඉන්න නිසා නරකද පුස්කොල පොතක් අරගෙන අපේ රටේ අර කියපු ජාතියේ සුදු වයිට්ලා ,ප්‍රවිත්රලා,ප්‍රසන්නලා ගොම්මන්පිලලා කොවිඩ් පාලනය කරපු හැටි බ්‍රිතාන්‍ය කෞතුකාගාරයේ ලියල තිබ්බොත් .මොකද එතකොට අනාගත සුදු පරම්පරාව දැනගනීවි ලංකාවේ එවුන් අනිත් රටවලට වැඩිය කෝවිඩ් පාලනයට කොයිතරම් තීක්‍ෂණ විදිහට කටයුතු කරල තිබුනද කියල .

    ReplyDelete
    Replies
    1. හොඳ අඳහසක් , හිස් තල්කොළ හරි වගේ ජාතියක් තියනවද ලියන්න පටන් ගන්න

      Delete
  12. //
    "ඔයා ගියා නේද එපා කියද්දී මියුසියම් එකට. එන්න එපා ගෙදර ලෙඩ වෙලා කියාගෙන. ගියානම් ඔහෙම ඉන්නවා//

    අනේ ඉතිං තමන් අසනීපවුණු සන්දියේ, ගේ දොර අස්පරස් කරලා, පස්පංගුව තම්බලා දුන්නු මනුස්සයා නේ ද කියලාවත් හිතුව ද! නේ ද? 😄

    ReplyDelete
    Replies
    1. අන්න සීදේවි ළමයෙක්. හොඳට තේරිලා. මමත් ඇහුවේ ඒක තමයි. එය කියන්නේ කසාද බඳිනකොට කොන්ට්‍රක්ට් එක ගැහුවනම් දැන් අඬන්න එපාලු.
      අනේ ඉතින් කාට කියන්නද මේවා බ්ලොග් එකට ඇර

      Delete
    2. 😅😅😅

      ගෑනු ගෑනු ම තමයි අප්පා! (ඉන්ක්ලූඩින් මී අප්පා!)

      Delete
    3. හප්පේ තේරුණ එකත් ලොකු දෙයක්

      Delete

සියලු හිමිකම් අජිත් ධර්මකීර්ති (Ajith Dharmakeerthi) සතුය. කොළඹ ගමයා බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ අජිත් ධර්මකීර්ති යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ.
මෙහි පලවන ලිපි සහ දේශපාලන අදහස් මගේ පෞද්ගලික අදහස් පමණි.
ඔබේ ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. නමුත් වෙනත් කෙනෙකුට සාධාරණ හේතුවක් නැතුව පහර ගසන අශිලාචාර අන්දමේ ප්‍රතිචාර පමණක් පල නොකෙරේ. බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ස්තූතියි .