Wednesday 11 November 2020

ෆේස්බුක් පන්දාහ හා යාළු නොයාළු


මම ලඟදි දැක්ක යහළුවෝ කිහිප දෙනෙක්ම පන්දාහ සමරනවා, පෞද්ගලික දේවල් දමන්නේ නැතිව හුදී ජනයා කෙරෙහි අනුකම්පාවෙන්  ලියන කියන දේවල් විතරක් දානවා නම් පන්දාහේ  අවුලක් නැති බවයි මගේ හැඟීම. මොකද පන්දහ තියන කොට අනිත් අය පෝස්ට් කරන ඒවා පේනවා බොහොම  අඩුයි.  තමන් පෝස්ට් කරන එක විතරයි  වැඩිපුරම පේන්නේ. හරියට දේශපාලන කණ්ඩායම් වලට තමන්ගේ පක්ෂේ අය දාන පෝස්ට් විතරක් පේනවා වගේ.

මේ ඊයේ පෙරේද   උන දෙයක් තමයි ෆේස්බුක් එක අලුත් කරපු එක. ක්ලැසික් එක අයින් වුනහම මම follow කරපු යාලුවෝ ඔක්කොම ඉබේම unfollow වෙලා. (පස්සෙන් ගිය අය කියල ලියන්න බැරි නිසා ඉංග්‍රීසි වචනේ දානවා 😀- අනුගමනය කරන කියලත් කියත හැකි ඉතින්. නමුත් හරි තේරුම එන්නේ නැහැ. .)  ඉතින් දැන් හම්බ  වෙන වෙලාවට ආයි එයාලව follow කරගෙන යනවා.

  මම ෆේස්බුක් ආපු කාලේ ඒ කියන්නේ 2006 විතර දිගට හරහට යාළුවන්ට ෆ්‍රෙන්ඩ් රික්වෙස්ට් යැව්ව. අවුරුද්දකට පස්සේ වැඩේ නැවැත්වුවා. මොකද මට තේරුණා අනිත් අය මට එවන නිසා මම යවන්න ඕනේ නැහැ කියල.

පස්සේ කාලෙක තේරුණා මට ඕන දේශපාලන අදහස් හෙම ලියන්න බැහැ  ඔෆිස් එකේ  බුවාලා ටික ඉන්න කොට කියල. ඒ ගමන ඔෆිස් එකේ එවුන්ව නොයාළු (unfriend) කරලා දැම්ම. සන්නස්ගලගේ තැප්‍රෝබේන් ගිහින් ගත්ත මහැදුරු ගම්ලත් ගේ ශබ්ද කෝෂයේ තියෙන්නේ පසමිතුරු, අමිතුරා කියල ඕකට. ඉතින් මම කල්පනා කළා "නොයාළු " කියන වචනේ හොඳයි කියල. සමහර ඔෆිස් එකේ එවුන් තවමත් මට නෝක්කාඩු  කියනවා ඩ්‍රින්ක් එකක් දාන්න ගිය වෙලාවට . 
"උඹ මාව නොයාළු කළා නේද අජිත් " කියල. මම උන්ට කියන්නේ මම ෆේස්බුක් එකේ නොයාළු කල නිසා තමයි මම තවම  මෙතැන වැඩ කරන්නේ. උඹල තවම මගේ එක්ක වැඩ කරන්නේ කියල.

ඔහොම ඉන්න කොට යාළුවෝ ප්‍රමාණය දෙදහකට  වඩා  වැඩි වුනා. ඊට පස්සේ නිවාඩු කාලෙක කළේ එක්දාස් පන්සියක් විතර නොයාළු කරල දැමීම.
 
අර සම්මාන උළෙල කරන කාලේ එක එක ඒවා පල කරන්න ගිය වෙලේ ආයි වැඩි වුනා. ඒ පාර තුන්දාහක් විතර. ඊට පස්සේ ආයි දාහක් විතර නොයාළු කළා. තරහකට නෙමේ. මට යාළුවන්ගේ නෑදෑයන්ගේ පෝස්ට් පේන්නේ නැතිව ගිය නිසා. ඊට පස්සේ පොත් ලිවිම හෙම කරන්න පටන් ගත්තට පස්සේ ආයේ වැඩි වෙන්න ගත්ත යාළු ඉල්ලීම් . දැන් ඉල්ලීමක් කලහම නොපිළිගෙනත් බැහැනේ .ආඩම්බරේට කියල හිතයි අනුමත කළේ නැත්නම්.  පස්සේ මම හැදුව ගෘප් . ගොඩක් පෞද්ගලික දේවල්  ළඟම යාලුවෝ සහ නෑදෑ ගෘප් එකට. අනිත් ඒවා ඉතින්  ඔක්කොටම බලන්න හරි පේන්න හරි. සිංහල ගෘප් එක සිංහල කතා කරන අයට විතරයි. බ්ලොග් ගෘප් එක බ්ලොග් ලියන අයට විතරයි. ඉංග්‍රීසි පෝස්ට් එකක් නම්  ඔක්කොටම පේන්න දානවා. එනිසා මම දාන පොස්ට් ෂෙයාර් කරන්න බැහැ. පබ්ලික් දාන්නේ නැති නිසා.

මේ අතරේ මතක් වෙන සිද්ධි දෙක තුනක් තියනවා. මේවා මේ ඇරියස් කවර කරන්න ලියන ඒවා නෙමයි ඔන්න. යාලුවෝ දෙන්නෙක් හිටිය. ඩ්‍රින්ක් එකක්  දාගෙන ඉඳියප්පයක් කාගෙන විහිළුවක් කරගෙන ඉන්න පුළුවන් දෙන්නෙක් විධිහට දැනන් හිටියේ. සෝවියට් රුසියාවේ ඉගෙන ගත්ත අර ෂැම්පේන් සමාජවාදී තාලේ දෙන්නෙක් හැබැයි. වමේ වගේ ඒත් වමේ නොවේ ඉන්න. මම ඉතින් ෆේස්බුක් දාන හුඟක් දේශපාලන  විහිළු පෝස්ට් වලට  හිනා වෙන එකෙක් නේ. සමර වෙලාවට ඕකට යන්නෙත් හිනා වෙන්න. පොඩි වලියක් ඇදගෙන ඉතින් ආයි හිනාවෙන්න.  එතකොට ඒකට යාවජීව රනිල්ද, 'ස' ද, පුතානෝද විමල්ද කියන එක අදාළ නැහැ.   මම  එකපාරක් මොකක් හරි ලිව්ව අපේ විමල් වීරවංශ ඇමති තුමා ගැන. එයා අර එයාගේ ළමයි අදාල කරගෙන දාපු පොලිටිකල් සීන් එකක් ගැන. අර යාලුවෝ දෙන්නට තද වුනා මාත් එක්ක. විමල්ට හිනා වුනා කියල. මේ දෙන්නම තද රාජපක්ෂ වාදීන් කියලත් මට තේරිලා තිබ්බේ. අවුලක් නැහැ නොව. දෙන්නම මෙසේජ් එව්වා.  අපි ඔයාව නොයාළු කරනවා. "සෝවියට් දේශයේ ඉඳලත් මේ වගේ හැසිරෙන එක ගැන අපට කණගාටුයි." මට ඔය කොනෙක්ෂන් එක තේරුනෙම නැහැ. විමල් නුයි සෝවියට් දේශයයි. ජවිපෙ හිටි නිසාද? තවම දන්නේ නැහැ. මම ඉතින් හා කිව්වා. යකෝ මම මේ දාහ දෙදාහ නොයාළු කරන  මිනිහට  ඕක මොකක්ද?
 
අවුරුදු  ගාණකට පස්සේ, මට ඒ දෙන්නව හදිසියේ මතක් වුනා. මට දැන් කල්පනා වෙනවා විමල් ඇමති තුමා වැඩි සද්දයක් නැහැනේ ඉතින්. විස්සට සපෝර්ට්. ද්විත්වෙට සපෝර්ට්. මාත් සපෝර්ට් විමල්  වගේම.  පොම්පියෝ ඇවිත් ගියා. MCC එකට මොනවා වෙනවද දන්නේ නැහැ. මෙයා ල දෙන්න  රාජපක්ෂ මහත්වරුන්ව නොයාලු කරලද දන්නේ නෑ  නේද . විමල් මැතිඳු තියාගෙන.  

හැබැයි ඒ දෙන්න වගේම දේශපාලන අදහස් තියෙන අය ගොඩක් මගේ ෆ්‍රෙන්ඩ් ලිස්ට් එකේ ඉන්නවා. මම හිතන්නේ ඒ අය අවබෝධයෙන් ඉන්නේ දේශපාලන අදහස් වෙනස් වෙච්ච  පලියට මම යාළුවන්ට වෙනස් කම් කරන්නේ නැහැ කියල. 

ඔන්න තව කෙනෙක් හිටිය. ඒ පැත්තෙන්ම තමයි. වෙදැදුරෙක්. මම පොස්ට් එකක් දැම්ම මේ මේ,  මුස්ලිම් ජනයා ගැන. අන්තවාදීන්ට විරුද්ධ වෙන්න. මුස්ලිම් ජනතාවට හිරිහැර නොකරන්න තාලයේ එකක්. මෙයාට මාත් එක්ක දැන් මල පැනලා . බැනගෙන බැන  ගෙන ගියා මට. අර ඒ කාලේ ජනප්‍රිය වුන  ජනගහන කතාවත් දාල. ඒවා ඇත්ත වෙන්නත් පුළුවන්. හුඟක් වෙලාවට එහෙම ජනගහනය වැඩි වෙන්නෙත් නැහැ හැබැයි. 

නමුත් මට ඉතින් හැම  ජාතියේම යාලුවෝ ඉන්නව. මුස්ලිම් කියල වෙනසක් කරන්න මම ලෑස්ති නැහැ. මෙයත් රාජපක්ෂවාදී තමයි. නමුත් මට හිතෙන්නේ එයා ඒ මහත්වරුන් ව හරියට අඳුන ගෙන නැහැ. රාජපක්ෂලා කියන්නේ ජාතිවාදීන් නෙමෙයි, ආගම්වාදීනුත් නෙමෙයි. පවුලේ සංයුතියෙන්ම ඒක තේරෙනවා.  ඒක  ඒ දවස්වලම මට වැටහිච්ච  දෙයක්. හැබැයි ජාතිවාදය වාසියට භාවිතා කරන එක නම් එයාල කරනවා. ජේ ආර් සහ  ප්‍රේමදාසත් කරානේ. මට ඒ පාරනම් පොඩ්ඩක් තරහ ගිහින් මෑන් ව නොයාළු කරලා දැම්ම.

අනේ ඉතින් මේ දවස් වල මට හිතෙනවා අර නොයාළු කරල දාපු යාළුවා ගැන. මුස්ලිම් මන්ත්‍රී ල ගෙඩි පිටින් හතක්ම ආණ්ඩුවට චන්දෙ දීල 20 ගොඩ දාගන්න. ඒ මදිවට අලි සබ්රි කියල මුස්ලිම් මහත්මයෙක් නේ  අධිකරණ ඇමති. තව දිගට ලිස්ට් එක ගෙනිච්ච හැකියි. ඒත් ඉතින් මම ජාතිවාදී නැති නිසා ඕවා අදින්න කැමති නැහැ. නමුත් අර නොයාළු කරපු යාළුවා ගැන පව් දෙයියනේ කියල හිතෙනවා. මට බැනපු බැනුන් මුස්ලිම් මිනිසුන්ට කත් අදිනවා කියල. එයා මොනවා කරනවා ඇත්ද? ෆේස්බුක් වහල ගෙදර ඉඳන් අඬනවද, කලිසම නැතිව වැඩට යනවද දන්නේ නැහැ කියල හිතෙන කොට පපුව වාවන්නේ නැහැ.  දේශපාලනේ නැත්නම් හොඳ මනුස්සයෙක්. ඒකෙ දෙකක් නැහැ.

ආ, තව ටිකෙන් අමතක වෙනවා. මම අර කොරෝනා හැදිලා කන්දකාඩු  යවපු  ඉතාලි කට්ටියට අනුකම්පා කරලා  දාපු කොමෙන්ට් එකකට හිත රිදුනු බ්ලොග් නංගියෙක්  සහ යාළුවෙක් ඒක තමන්ගේ වෝල් වල දාගෙන නැටුවනේ.  ඔන්නොහෙ එයාල දෙන්නවත්  නොයාළු කරලා දැම්ම. මොන මිත්තණියගේ රෙද්දද කියල. මට දැන් වාවන්නේ නැහැ. කොරෝනා පැතිරෙන  ලැයිස්තුව දැකල. ඒ දෙන්න මොනවා කරනවා ඇත්ද?  

ඉතින් ඔන්න ඔහොමයි. ඇත්තටම ජීවිතේටම දන්නෙවත් නැති අය  යාලුවෙක් යෙහෙලියක් කර ගන්න එකයි  නොයාළු කරන එකයි කියන දෙක අතරේ ලොකු වෙනසක් නැහැ. එයාලට ප්‍රශ්නෙකුත් නෙමෙයි. මට ප්‍රශ්නෙකුත් නෙමෙයි.


ඉතින්  ඊයේ පෙරේද හාරදහ පිරුන වෙලේ දෙසීයක් විතර නොයාළු කරල දැම්ම. කිසි හේතුවක් නෑ මට මාරාන්තික බයක් තියෙන්නේ පන්දාහට යන්න. 

ඒත් දැන් ආයෙත් යාළු ඉල්ලීම් (friend request ) එනව. පෙරේද බලනකොට හතලිස් දෙකක්ද කොහෙද? ඇක්සෙප්ට් නොකලොත් කවදාවත් නොදන්න නොදැකපු මේ අය තරහ වෙයිද? මම ආඩම්බරකාරයෙක් කියල හිතයි ද? හිතුවත් මොකෝ ඉතින් . මම දන්න කෙනෙක්ය? ඒත් ඉතින් අනිත් පැත්තට හිතනවා කොච්චර උනත් අඳුරන්නේ නැතිව හරි ෆ්‍රෙන්ඩ් රික්වෙස්ට් එකක් එව්වනේ කියල. 

මුදල් ආධාර සහ , කටින් පින්කම් වලට දායක  වෙන්න එවන ඒවත් තියනව. මම දන්නා කෙනෙකුට ඇරෙන්න එහෙම  උදව් කරන්නේ නැති නිසා ඒවා වලට නම් කණගාටුවෙන් වුනත් කරන්න දෙයක් නැහැ. 
   
දැන් මම මේ කල්පනා කර කර ඉන්නේ  හදනව තව ගෘප් දෙකක් කියල.

 අඳුනන්නේ නැති යාළුවෝ ගෘප් එක. නොයාළු කිරීමට ඉඩ තිබේ ගෘප් එක.
  පන්දාහට නම් මේ කපේට යන්නේ නැහැ කියල හිත හදා ගෙන ඉන්නේ. ඊළඟ නිවාඩුවට තුන්දාහක් විතර නොයාළු කරන්න තමා බලන්නේ. වැරදිලා හරි නොයාළු වුනොත් තරහ වෙන්න එපා ඔන්න. ඔයාව හරි එයාව හරි දන්නේ නැහැ කියල හිතල කරන දෙයක් මිසක් අමනාපයකට නෙමෙයි.  



21 comments:

  1. ෆේස්බුක් මට සීරියස් දෙයක් හෝ මූලික විනෝදාංශයක් නොවන නිසා අජිත් කියන දේවල් ගැන මතයක් දැරීමට දැනුමක් නැහැ.
    ඉස්සර බ්ලොග් ඇක්ටිව් කාලෙ ඒවා කියවීම හා කමෙන්ට් මගින් ඉන්ටරැක්ට්කිරීමේ තිබුන තරම් විනෝදයක් ෆේස්බුක් ඉන්න එකෙන් මට නම් ලැබෙන්නෙ නෑ

    ReplyDelete
    Replies
    1. ඔය කියන්නේ , මම කැමතියි ශේප් වෙලා ඉන්න කියන එක. තොත්ත බබා පාට් එක හේ හේ
      ෆේස්බුක් එක අවුල් ජාලයක් තමයි. ඒකට එකඟයි ඒත් හිනා වෙන්න පුළුවන් ඒවා තියනවා.

      Delete
    2. ෆේස්බුක් මෙසෙන්ජර් නම් ප්‍රයෝජනවත්.

      Delete
    3. //ඉස්සර බ්ලොග් ඇක්ටිව් කාලෙ//
      මේවා දකිනකොට දුකත් හිතෙනවා... 😥

      Delete
    4. දැන් රිඇක්ටිව් ද ?

      Delete
  2. මගෙ පොඩි යාලූ - නෙළමුද ඕලූ.....

    ReplyDelete
    Replies
    1. දැන් දැන් මාළු
      දරුණුයි යාළු

      Delete
  3. මට නම් ඔය යාළු, නොයාළු පුරස්න ඇත්තෙම නෑ.. අදුනන්නෑති යාළුවො හරි දෙතුන් දාහක් ඉන්නවා කියන්නෙ පොරක් තමා..

    ReplyDelete
    Replies
    1. සිරියස්ලි , මට හත්දාහක් විතර හදා ගන්න තිබ්බ නොයාලු කළා නම්. ඒත් සකබුර්ගයා දෙන්නේ පන්දාහයි , ඒත් මම මේ නොයාලු කර කර ඉන්නේ. මොකද හිටියට දන්නේ නැහැනේ කවුද කියල. ඇති වැඩේ මොකක්ද?

      Delete
  4. You dont have to unfriend someone, just unfollow. Follow only those whose posts you want to see. You can nominate 25 as "see first" as well.

    That way, you dont see posts from people you dont know unless you go into their timelines/wall and scroll down but you will see those who are close to you only.

    Other thing you can do is to create a family group and cyber group etc and restrict what you post (things such as photos with your children etc) only to appropriate subsets.

    ReplyDelete
    Replies
    1. The new facebook interface , when you applies it unfollowed everyone by default. Therefore, I did not see them. For example, very recently i realised Marcus Priyantha Fernando was unfollowed. I didn't do it. So, I followed him again. I usually read his posts. That's why I noticed it. I did not see any option to nominate first 25. And I don't really want to limit it either.

      Delete
    2. /Other thing you can do is to create a family group and cyber group etc and restrict what you post (things such as photos with your children etc) only to appropriate subsets.// I mentioned in my post I have groups. I have done it for few years now. I have family group, Blogger Group, Closed Friend group etc.

      Delete
  5. පහුගිය කාලෙ සාෆි ගැන පෝස්ට්එකක් ෂෙයා කරල, මට හිටපු හෘදයංගම ම බ්ලොග් යාළුවො කීපදෙනෙක් මාත් එක්ක හිත නොහොඳ වුණා. මං නොයාළු කළේ නං නෑ. ඊටපස්සෙ ෆේස්බුක් එක දේශපාලන අදහස්වලින් තොරව පරිශීලනය කරන්න පටන් ගත්ත. මොනව කරන්නද ඉතිං?

    ReplyDelete
    Replies
    1. දේශපාලනය කියන එක හැම තැනම තියෙන දෙයක්නේ. හරිම අපහසුයි ඈත් වෙලා ඉන්න. මම දේශපාලනය නිසා නොයාලු කරලා නැහැ. පෞද්ගලික ඇටෑක් අවහම් එහෙම කරන්නේ ඒක ලෙහෙසියි. අමතක කරලා දාන්න පුළුවන්. නැත්නම් මේවලින් ඔලුව අවුල් වෙච්ඡ මිනිස්සුත් ඉන්නවා

      Delete
  6. මම මගේ ෆෙස්බුක් එකේ කිසිම දේශපාලනයක් ගැන කතා කරන්නේ නෑ. පොදුවේ දේශපාලුවන්ට බැන්නොත් මිසක් කිසිම පක්ෂයක් හා පුද්ගලයෙක් ගැන අදහස් දක්වන්නේ නෑ. මාව කිසිම දේශපාලන පොස්ට් වලට ටැග් කරන්නත් එපා කියලා කියනවා. මගේ දේශපාලනය මගේ හිතේ පමණක් තියාගෙන ඡන්දයකදි පමණක් යොදාගන්නවා. අනික එක රැකියා ස්ථානයේ කිසිදා වචනයක් කතා නොකරපු වගේම කිසිදා හමුනොවු අයත් මගේ ෆෙස්බුක් යාලුවො වෙලා ඉන්නවා.

    ReplyDelete
    Replies
    1. මාත් දැකල තියනවා ඒකනම්. මට නම් ඒක ටිකක් අමාරුයි. හිතුනොත් එයක් ලියන්නේ නැතිව බැහැ. ලෝකේ හැමෝම යාලු කරන ජීවත් වෙන්නත් බැහැනේ

      Delete
  7. මමත් යාළු රික්වෙස්ට් එකක් එවල බලන්න ඕනේ...

    ReplyDelete
    Replies
    1. මට මතක විධිහට පාර දිගේ වගේ රික්වෙස්ට් එකක් තිබ්බ හුඟක් ඉස්සර්. මම ඇක්සෙප්ට් කලේ නැහැ මුකුත් විස්තර තිබ්බේ නැති නිසා දැනුත් මම about එකට ගිහින් මොන පැත්තේද වගේ විස්තර බලනවා. ඒවා නැත්නම් කොහොමත් ඇක්සෙප්ට් කරන්නේ නැහැ.

      Delete
    2. හහ් හහ් හා, නෑ අජිත්, මම තවම එකක් එව්වේ නැහැ. අනික මට පාරදිගේ කියල ප්රෝෆයිලයක් මුණු පොතේ නැහැ. මම එවනකොට මගේ බ්ලොග් ප්‍රෝෆයිලය ගැනත් සඳහන් කරමින්ම ගේ නියම නමින් එවන්නම්...

      Delete

සියලු හිමිකම් අජිත් ධර්මකීර්ති (Ajith Dharmakeerthi) සතුය. කොළඹ ගමයා බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ අජිත් ධර්මකීර්ති යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ.
මෙහි පලවන ලිපි සහ දේශපාලන අදහස් මගේ පෞද්ගලික අදහස් පමණි.
ඔබේ ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. නමුත් වෙනත් කෙනෙකුට සාධාරණ හේතුවක් නැතුව පහර ගසන අශිලාචාර අන්දමේ ප්‍රතිචාර පමණක් පල නොකෙරේ. බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ස්තූතියි .