Saturday 18 December 2021

දේශපාලන තේරීම





දේශපාලනය ගැන කතා කිරීමට හෝ ලියන්නට නොයන්නෙමියි අවුරුද්දකට පමණ පෙර තීරණයක් ගතිමි. නමුත් ඒ තීරණයට අනුව ක්‍රියා කිරීම ඉතා අපහසු බව සීඝ්‍රයෙන් වැටහෙමින් තිබේ. සමාජ මාධ්‍ය ජාලා දෙස බැලූ විට බොහෝ අය පසුගිය ශ්‍රී ලංකා චන්දයේ ගෝඨා රජය දිනවන්නට චන්දය දුන් හැට නම ලක්ෂයක් ජනතාවට දෙස් දෙවොල් තබනු පෙනේ. මගේ අදහස නම් ලංකාවේ චන්දදායකයා චන්දය දුන්නේ ඒ කාලයේ තිබූ ඔවුන්ට චන්දය දෙන්නට තිබූ තේරීම අනුව හොඳම තේරීම හෝ නරක අය අතුරින් හොඳම තේරීම  යයි ඔවුන් සිතා  සිටි අපේක්ෂකයාට බවයි. ඒ නිසා තව දුරටත්  ඔවුන්ට දෙස් දෙවොල් තැබීමේ පලක් නැත. 

ඒ අතර මගේ මිතුරකු වන සරෝජ් පතිරණ නව ව්‍යවස්ථාවක් රජය මගින් රහසේ ගෙන එන බවට දැන ගන්නට ඇති නිසා  ඒ ගැන කතිකාවක් කිරීමට  එකඟ වන්නේ දැයි විමසා සිටියේය.  කතිකාවට සහභාගී වීමට මිස කාටවත් කඩේ යාමට නම් සූදානම් නැති බව මම ඔහුට පැවසුවෙමි. එම කතිකා කණ්ඩායමට එම කොන්දේසිය මත ඇතුලත් වුනෙමි. බොහෝ විට නව රජයක් පිහිටවූ පසු මෙවන් කණ්ඩායම් වල නයුවන්ට රාජ්‍ය පදවි ලැබී ඔවුන් වාෂ්ප වී යන නිසා මෙයත් එවන් එකක්දැයි තවමත් නොදනිමි.

දැනට ශ්‍රී  ලංකාව පත්ව ඇති තත්වය අනුව ඉදිරි ජනාධිපති මැතිවරණය තීරණාත්මක එකක් වනු ඇතැයි සිතමි. අපේක්ෂයකන් ගණනකින් හොඳ කෙනෙකු  තෝරා ගැනීමට නම් ඔහුගේ හෝ ඇයගේ අපට මතුපිටින් පෙනෙන හොඳ නරක ලියා  බැලීමට සිතුවෙමි. තවත් අදහස් ඇත්නම් ප්‍රතිචාර ලෙස දමන්න. 

මම පිටරටක ජීවත් වන නිසා මේ අයගෙන් කවුරු දිනුවත් මට ප්‍රශ්නයක් නැත. ලංකාවේ සිටින ළඟ නෑදෑ හිතමිතුරන්ට නම් එය  එසේ නොවේ. එනිසා පිටරට සිටින නිසා වැඩක් බලාගෙන සිටින්නැයි මා  හට  කීමෙන් ද පලක් නැත. හේතුව නම් මා  කවදාවත් කදමලු බැඳගෙන චන්දය දෙන්නට. බෝඩ් ඔසවාගෙන ලංකාවට ජාතියේ අයෙකු නොවන හෙයිනි. එසේම අප වෙසෙන රටවල ඇති මානව නිදහස, රැකියාවක් කිරීමේ නිදහස, දේශපාලන බලපෑමකින් තොරව ජිවත් වීමේ නිදහස, දියුණු සමාජ තත්වය ලංකාවේද තිබිය යුතු යයි විශ්වාස කරන්නෙක්මි. 
පළමුවෙන්ම විපක්ෂ නායකයා ගෙන් පටන් ගනිමු. 


සජිත් ප්‍රේමදාස - මා  ඔහු හැබැහින් දැක තිබුනේ රාජකීය විද්‍යාලයේ උගත් අවධියේය.  යහළුවන් සමග කඩලේ හිටි පෙදෙසේ ඔහු සැරි  සරනු  දැක තිබේ. ඒ දිනවල ඔහු රටේ අග්‍රාමාත්‍යවරයා ගේ  පුතාය.   ඔහු හොඳ  ගිටාර් වාදකයෙකු  බවද තැනින් තැන  දුටිමි. එසේම සතා සීපාවට ගහට කොළට ආදරය කරන අයෙකු බවටද ඇතැම් යහළුවන් පවසා  තිබේ. 
හිටපු  ජනාධිපති අපේක්ෂකයා හැටියට මෙතුමා බැලුවේ අනිත් එවැන්නන් සේම  තම හිටපු ජනපති පියාගේ පහණින් එළිය  බලන්නට බව මට සිතේ. ලංකාවේ දේශපාලනයේ  අනිත් හැමෝම (නාමල් රාජපක්ෂ ද ඇතුළුව ) වාගේ එහෙව් අය  නිසා අපට  එහි වරදක් දැකීමට එක වරම නොහැකිය. නමුත් එය වැරදිය.  පුතණ්ඩියාලාට  තමාගේ පහනකින් එලිය බලන්න බැරිනම් මිලියන 20 කට ඔවුන් එළිය  දෙන්නේ කොහොමද?

ඔහු ගැන ඇති මගේ  ඊලඟ ප්‍රශ්නය නම් බලයට පැමිණි පසු රට කරවන්නේ ආර්යාවන් දෙදෙනාමද යන්නය? එය ඇත්තටම බරපතල ප්‍රශ්නයක් මෙන්ම  ඔහු විසින් පිළිතුරු දිය යුතු එකකි. ඔහුට විරුද්ධ බොහෝ අය නගන චෝදනාවක්  වන්නේද එයයි. ඊලඟ ප්‍රශ්නය නම් ඔහු  පාක්ෂිකයන්ට රක්ෂා දෙන හැටි පෙන්වන වීඩියෝවක් ගැනය. එතන රැකියා දෙන අන්දමේ තේරීම කෙසේ වුවත් ඔහුගේ උද්දච්ච විලාසය අමතක කිරීමට නොහැකිය. එසේම ඔහුට පක්ෂය තුල ඇති බලය ගැනද මට විචිකිච්චාවක් තිබේ. තවත් අවාසියක් නම් ඔහු ගෝඨාභය ජනතිපති තුමා ආරක්ෂක ලේකම් සමයේ ඔහුගෙන් ලබාගෙන ඇති  බවට (ඔහුගේ සොහොයුරියට උදව්  ගැන  කතාවක් සමාජ මාධ්‍ය හා පාක්ෂික නොවන අය අතරේ සැරි සරයි. ඔහුගේ ආර්ථික පිළිවෙත ගැනද  මට දැන ගන්නට දෙයක් නැත. ඔහු නිවාස  ඇමතිව සිටි සමයේ කළේ මොනවාද යන්නද සෙවීමට අමරුය. මා දන්නේ ඔහු පන්සල් වලට මුදල් බෙදා ගෙන ගිය වගක් හෝ දහම් පාසැල් ගොඩනැගිලි පිහිටුවීමට මුදල් දෙන බවකි. එසේම තමන් අනුර බණ්ඩාරනායක මෙන් ඔටුන්න හිමි කුමරෙකු බවට ඔහු සිතන බවක්ද කියුම් කෙරුම් වලින් මට හැඟේ.

ඔහුගේ පියා  කළ හොඳ  දේවල් අතර ගාමන්ට් කර්මාන්ත ශාලා පිහිටුවීම,  ඒවා ගැන සක්‍රිය ලෙස  සොයා බැලීම, ගම් උදාව තුලින් නිවාස  ප්‍රශ්නයට පිළිතුරු සෙවීම ආදියද ඇතුළත්ය. ආර් ප්‍රේමදාස ජනාධිපතිවරයාට  ජේ ආර් භාර දුන්නේ දෙකොණ පත්තු වුනු ගිනි හුලක් බඳු රටකි. පත්තු වීගෙන පැමිණ මැද සිටි ඔහුත් දවාගෙන ගිනිහුල නිවී ගියේ දරුණු ප්‍රශ්න රාශියක් හා කැඩී බිඳී ගිය ලංකික සමාජයක් ඉතිරි කරමිනි.  ප්‍රේමදාස මහතා  කොටි සංවිධානයට ආයුධ දුන්නේ  උපක්‍රමශීලි ලෙස යයි සිතමි. නමුත් එයද ආපස්සට පත්තු වුනි. සජිත් ට     ජනාධිපතිවරණය ජය ගන්නට නම් පියාගේ කාලයේ කළ හොඳ ඉස්මතු කරන ගමන් ඒ කාලයේ ඇති කළ ප්‍රශ්න වලටද ඔහුගේ අදහස් පැහැදිලි කළ යුතු යයි සිතමි. පියාගේ අඩි පාරේ යාමට සපත කරන්නේ නම් ඔහු කල හොඳ ගැන  කියන ගමන්ම   කළ වැරදි වලට සමාව ඉල්ලීමේ කාලයද මෙය විය හැකිය.  එසේ නමුත් ඔහුට ජය ගන්නට නම්  මේ ආණ්ඩුව මීට  වඩා ජනතාවට එපා විය යුතුය.




චම්පික රණවක - චම්පික රණවක හා ඔහුගේ හතලිස් තුන්වන  සේනාංකය දැනට සිටින්නේ සජබ සමගය. චම්පික ඇමතිවරයෙකුව සිටියදී ඔහුගේ වැඩ ගැන මෙන්ම ඔහුගේ නගර සංවර්ධන  සැලසුම් ගැනද මට තිබුනේ  සාධනීය හැඟීමකි.  නමුත් කාලයකට ඉහත ඔහු සමග කටයුතු කළ බොහෝ මිතුරන් කියන්නේ ඔහු විශ්වාසයට ගත නොහැකි තමන්ගේ වාසිය ලැබුණු වහාම යහළුවන් සියල්ලෝමත්,   තමන්  එතෙක් කල කී දෑ සියල්ලමත් හැර දමා යන අයෙකු  බවයි.  (නමුත් අසිරිමත් සිරි ලංකාවේ බොහොමයක් දේශපාලකයන් කරන්නෙත් එයම නොවේද?)  මේ  කියන අය බොහෝවිට ඔහුත්  සමග ජාතිවාදී පිලේ සිටි අය විය යුතුය.  ගම්මන්පිල දරන්නේද එබඳු අදහසක් විය හැකිය. රටේ නායකයා වීමට ඉලක්කයක් තිබිම වැරැද්දක් නොවේ. නමුත් එක්නැළිගොඩ ලිව්වා යයි කියන ලිපියක් ගැන රටේ ප්‍රසිද්ධ කතාවක් ඇත. ඔහු ප්‍රතික්ෂේප කර ඇතැයිද යන්න  මා නොදන්නා  එම ලිපිය ගැනද බොහෝ අය නිතර සිහිපත් කරති. අනික නම් ප්‍රසිද්ධ නිළියක් ඔහුගේ වාහනයේ සිටි නිසා කෙනෙකු පිටුපසින් පැමිණ ඔහුගේ රථයේ වැදුනද තම රියදුරා පටලවා  ඔහු පලා ගිය බවයි. රිය අනතුරට තමන්ගේ අතේ වරදක් නොවුනත් ඔහු එසේ හැසිරීමෙන් පෙනෙන්නේ ඔහුද අනිකුත් දේශපාලකයන් මෙන්ම දූෂිත පැත්තට බර අයෙකු බව බොහෝ අය තර්ක කරති. චම්පික රණවක ගේ ජනාධිපති සිහිනයට ඔහුගේ අතීතය ඉමහත් බාධාවක් වී ඇතැයි මට සිතේ.


නමුත් ඔහු සිටින අපේක්ෂකයන් අතරින් වඩාත් සුදුසු අධ්‍යාපන මට්ටමක් ඇති, වඩා තාර්කික ලෙස සිතන සහ ප්‍රමාණවත් ලෙස රටක් සංවර්ධනය කිරීම පිලිබඳ තමන් ගේම අදහස් ඇති අයෙකු ලෙස මට පෙනේ. 
ඔහුට ජනාධිපතිවරණය ජය ගැනීමට නගින්නට තිබෙන කන්ද අපහසු එකකි. යහපාලනයට  සහය දුන් සිවිල් සංවිධාන, කුඩා පක්ෂ (රනිලේ ගේ කුඩා එජාපය ඇතුළුව )  එකතු කර ගැනීම අනිවාර්යය. සමහරවිට පරණ මිතුරා  ගම්මන්පිලද රාජපක්ෂ පිලෙන් හැලීගෙන යන වෙසක් මවා පාන විරවංශ සහෝදරයාද එක්කර  ගත හැකිය. අනුර  කුමාර දිසානායක සමග ගිවිසුමකට එළැඹීමද වැදගත්ය. එසේ විය යුත්තේ  ජවිපෙන් ඔහුගේ අපේක්ෂකත්වයට  දැඩි තර්ජනයක් එල්ල වනු  නිසැක  බැවිනි.   නමුත් සජිත් ප්‍රේමදස සිටියදී ඔහුගේ අපේක්ෂකත්වයක් ගැන සිතීම අපහසුය. 



 නාමල් රාජපක්ෂ - කලින් දෙදෙනා තරම් පළපුරුදු දේශපාලකයෙක් නොවූවද නාමල් රාජපක්ෂ දේශපාලන තලයේ ඉක්මන් ගමනක් යන්නෙකි. වෙන රටක් සමග නොව තම රටේ පිරිසක් සමග අභ්‍යන්තර යුද්ධයක් කොට වෙන රටක් සමග  යුධයක් කොට දිනූ ලෙස සමරන යුද්ධය නිමකළ දේශපාලන නායකත්වය ඔහුගේ පියා ගේය. හමුදා නායකත්වය බාප්පා ගේය. හම්බන්තොට ප්‍රදේශයේ ප්‍රබල දේශපාලන පවුලකින් පැවතෙන ඔහුට රාජ්‍යයේ භාරකාරත්වය දක්ෂිණ ආසියානු පසුගාමී චන්ද දායකයන් සිටින රටක නිතැතින්ම හිමිවිය හැකි ඔටුන්න හිමි කුමරා ඔහුය. ඔහු ඒ සඳහා  දැන්ම සිටම සූදානම් වෙයි. ඔහු පැරදීමට නම් සජිත්ට මෙන්ම ගෝඨාභය ආණ්ඩුව මීට වඩා තවත් අදක්ෂ එකක්   විය යුතුය. නාමල් රාජපක්ෂ තම පියා මෙන් හොඳට හෝ නරකට ජනතාව අතරට යන්නෙකි.   ඔහු පෙන්වන "නිරහංකාර " කමට මිනිසුන් කැමතිය. ගෙවල් වල තීන්ත ගෑමේ සිට මළ ගෙදරක හැමෝම සමගම අයියා , මල්ලි , මාමේ , නැන්දේ ලෙස අමතා කතා කරන බව මා අසා ඇත. ඔහුට ඇති  ලොකුම අවාසිය නම් රාජපක්ෂ  පවුලට අයත් වීමේ වාසියම සමහර විට  අවාසියක් විය හැකි වීමය. මේ ආණ්ඩුව තවත් චොර වුවොත් නාමල් රාජපක්ෂට ලෙහෙසි නැත. නැතහොත් හොඳ දේශපාලන දැක්මක් ඇති යයි නොපෙනුනද සජිත් ප්‍රේමදාස ට හොඳ  සටනක් දී දිනීමේ හැකියාවක් නාමල් රාජපක්ෂට ඇත. මගේ අවසන් ප්‍රශ්නය නම් නාමල් රාජපක්ෂ වැන්නෙකුගේ දේශපාලන දෘෂ්ටිය කුමක් විය හැකිද යන්නය. එය තවමත් ඔහු විසින් එළි දක්වා නම් නැත. පියාට මෙන් දිනා පෙන්වන්නට යුද්ධයක් නැති තැන සමහර විට යුද්ධයක් මවා ගැනීමට ඉඩක් ඇත්ද යන්න නොදනිමි. 



අනුර කුමාර දිසානායක -  අනුර කුමාර දිසානායකට තර්ජන එල්ල වන්නේ ප්‍රධාන වශයෙන්  පොහොට්ටුවේ ආධාරකරුවන් ගෙන්   හා ජවිපෙන් කැඩී ගිය පෙරටුගාමී සමාජවාදීන් ගෙන්ය. ඔහුගේ දක්ෂ කතා විලාසයත් , කියන කරුණු වල තාර්කික සත්‍ය භාවයත් නිසා මේ සියල්ලෝම සජිත්ට වඩා ඔහුව සතුරෙකු ලෙස  සලකන බව පෙනේ.  ඔහුගේ පුංචි අම්මා ගැන කියන කතා  සහ දරුවා හොඳ පාසැලකට  යැවීමේ සිට රැකියාවක් අරන් දීමේ කතාවේ මඩ ප්‍රහාර හැටියට සලකමි. නමුත් ලංකාවේ චන්ද දායකයා  යනු එවැනි කතා වලින් ඉක්මණින් සැලෙන්නකි. ඔහුට අයත්  අයර්ලන්තයේ ඇති නිවසක් ගැන  ප්‍රශ්නයක් ද තිබේ. මට නම් එය ප්‍රශ්නයක් නොවුනද ලංකාවේ චන්දදායකයා සිතන්නේ සමාජවාදීන් ට තිබිය යුත්තේ නිවෙස් නොව පැල්පත් කියාය. එනිසා පිටරටක නිවසක් තිබීම පාපයක් විය හැකිය.
ඔය පැල්පත් කතාවේ මූලය ද ජවිපෙ බයියන්ගෙන් ම එන දෙයකි. ඔවුන්ගේ ස්වර්ග රාජ්‍යය කියුබාවය. කියුබාව ගැන මගේ ලිපියක් මෙහි ඇත. මගේ කියුබන් මිතුරන් කියන අන්දමට ඔවුන් 1991 සෝවියට් දේශය බිඳ වැටුණු පසු ගත කළේ අභාග්‍ය සම්පන්න කාලයකි. ඔවුන් යන්තම් ජාම බේරා ගත්තේ ඇමරිකන් සම්බාධක නොතකා යුරෝපා සංගමය සංචාරකයන්ට යාමට ඉඩ දීමෙන් හා සීමිත වෙළඳ කටයුතු ආරම්භ කිරීමෙනි. එසේම වෙනිසියුලාවද තෙල් දීමෙන් උදව් කළේය.  කස්ත්‍රෝ සහෝදරයන් විසින් කියුබානුවන් ට වෙනත් රටවල රැකියා කර මුදල් එවීමට සැලසුවේ මින් පසුවය. . ශ්‍රී ලංකාව එය කරන්නට පටන් ගත්තේ කස්ත්‍රෝ ලාට කලින්ය. සමාජවාදය යනු නිර්ධනීන්  වැඩි කිරීමක්  නොව ඔවුන්ට හොඳ ජිවනෝපාය මාර්ග සැලසීමක්  බව කෙසේ හෝ කට්ටියට අමතක වී ඇත.

මගේ රාජකීය විදුහලේ මිතුරකු යොමුවක් එවීම නිසා දැනගත  මහාචාර්ය චන්දිම ගෝමෙස් ගේ බ්ලොගයේ ජවිපෙට ඊළඟට රට භාර දිය යුතු යයි පවසා  ඇත. මේ යොමුවෙන් ගොස් බලන්න.  එහි ප්‍රතිචාර තීරුවේ නීතිඥ වරියක හොඳ ප්‍රශ්න වගයක් නගා තිබේ.

මට හිතෙන්නේ අනුර/ලාල් කාන්ත/ටිල්වින් කණ්ඩායමට ඇති ප්‍රධානම ප්‍රශ්නය ඔවුන්ගේම ජවිපෙ බයියන් බවයි. ජවිපෙ සාමාජිකයන්යන් ගෙන් බොහොමයක්  තවමත් කියුබාවට අමතරව  පොල්පොට් හා ස්ටාලින් වන්දනා කරන්නවුන්ය. පොල්පොට් ට වඩා ස්ටාලින් හොඳ වුවත් ස්ටාලින් ගේ අන්දමේ පාලනයක් අද දවසේ  ගෙනයාමට නොහැකිය. එවැනි පාලනයක් දැන් ඇත්තේ උතුරු කොරියාවේ පමණකි. ජවිපෙන් තවත් කොටසක් විජේවීර/සෝමවංශ කාලයේ මෙන් ජාතිවාදින්ය. ශ්‍රී ලංකාවට ඇති දේශ ප්‍රේමය කිසියම් ආකාරයක  ජාතිවාදයක් බවට හැරෙව්වේ විජේවීරය. එය වැඩිදුර ගෙනියමින් තම පක්ෂයට 88-89 කාලයේ දරුණු දඬුවම් දුන් හමුදාවට පසු කලෙක සහය දුන්නේ සෝමවංශ ය. ඒ කාලයේ කුමාර් ගුණරත්නම් හා අනුර කුමාර දෙදෙනාම සිටියේද ඔය ජවිපයේමය.


වර්තමාන ජවිපෙ නායකයන් එම දර්ශනයෙන් සෑහෙන ඈතකින් සිටිනා  බව පෙනුනත්  සාමාජිකත්වය තවම සිටින්නේ අතනය.එනිසා ඔවුන් තීරණාත්මක මොහොතක හැරෙන්නේ  විමල් විරවංශ ගේ පැත්තටය.  ජවිපෙ  හැමදාම චන්දයක දී සීයට තුනේ සිටින්නේ මේ නිසාය.

මගේ අදහස නම් අනුරකුමාරලා සඳළු තලයෙන් බැස ආ යුතු බවය. ලෙනින් වගේ වෙන්නට නම් ඔහු වගේ ක්‍රියා කල යුතුය. වෙනස්කම් තබාගෙන කොමිටි වල  එළිවෙනකන් වාද කරගෙන වුවද ලෙනින්ට ට්‍රොට්ස්කි වැනි අය සමග එකට වැඩ කිරීමට මෙන්ම ඔවුන්ගෙන් වැඩ ගැනීමේද  හැකියාව තිබුණි. විජේවීර මෙහිදී කලේ තමන්ට වඩා ජනප්‍රිය වේ යයි සලකන අය හිමින් සීරුවේ ඉවත් කිරීමයි. එසේම විජේවීර විවේචන ප්‍රිය කලේ නැත. තනියම දේශපාලනය කරමින්  බලය ඇල්ලීම ඔහුගේ අදහස් වූ අතර ඉවත්ව ගිය පරණ සාමාජිකයන්ට හා ඔහුව විවේචනය කල අයට විජේවීර සමාව දුන්නේ නැත.  මේ දිනවල රන්ජිත්  හෙන්නායක ආරච්චි හෙවත් බර්ටි සහෝදරයා ලියූ බක්මහ කඳුළු පොත කියවමින් සිටිමි.  මේ ගැන ඉතා හොඳ විස්තරයක් එහි තිබේ.

අනුරගේ පක්ෂය කල යුත්තේ හැකිනම් පරණ කොමියුනිස්ට් පක්ෂය හා සමසමාජය සමගද සාකච්චා කිරීමය. මෙතෙක් කල් ඔවුන් පෙරමුණු කියා හැදුවේ තමන්ගේම සංවිධාන  කිහිපයක් අටවා ගත බොරු පෙරමුණුය .
සමහර විට කුමාර් පෙරටුගාමී සමාජවාදීන්  හා දීප්ති ගේ සමභුමිපක්ෂයද (ජාතික ප්‍රශ්නය නිසා ඒ පක්ෂ දෙක එකතු නොවීමේ ඉඩක්  ඇති වුවද) , සමාජවාදී සමානතා පක්ෂය හා නසසපයෙන්  කැඩී ගිය කණ්ඩායම්ද  එකතු කරගෙන පුළුල්  ජන බලවේගයක් සෑදිය යුතුය. චීන ක්‍රමයට මුල් කාලයේ කටයුතු කිරිමේද වරදක්  මට පෙනෙන්නේ නැත. (ආයෝජකයන් ගෙන්වීම හා රට තුල ව්‍යාපාරිකයන්ට ඉඩ දීම)   

මේවා බොහෝවිට වෙන දේවල් නෙමේ. ජවිපෙ මෙන්ම අනික් වාමාංශික පක්ෂ වලටද තමන්ගේ කුණු කන්දල් හා පාටිසාන් න්‍යායන් රටට වඩා වැදගත්ය. ඔවුන් (හැම වමේ පක්ෂයක්ම) රට ඉදිරියේ තබනවා කියන කතාව  පට්ටපල්  බොරුවකි.  තමන්ගේ පක්ෂයේ තැන හා පක්ෂ න්‍යාය, පක්ෂයේ මුදල් පොට්ටනිය හා තනතුරු ආරක්ෂා කිර්මව ඔවුන්ට ඊට වඩා වැදගත්ය. රට ඉදිරියට තබා දේශපාලනය  කලේ ලෙනින්, මාඕ,  කැස්ත්‍රෝ හා   චේ ලාය . මේ ලෝකල් චේලා ඒ  අහලකවත් දැනට නැත.


කෙසේ වුවද අද ඇති  තත්වය යටතේ අනුර කුමාර දිසානායකට, සජිත් ප්‍රේමදාසට හා නාමල් රාජපක්ෂ ට තියුණු  තරඟයක් දිය හැකිය.
චම්පික රණවකට දිනන්නට නම් ඔහුට ජවිපෙ සහය අත්‍යවශ්‍යම වේ. ඔය දෙදෙනා හැර වෙන හොඳ ජනාධිපතිවරණ  අපේක්ෂයකයෙක් ගැන මට සිතා ගැනීමට නොහැකිය.

(බනින්නට අවශ්‍ය අයට ප්‍රතිචාර විවෘත කර ඇත) 




 
 

39 comments:

  1. රෙදි තෝරති අඳිති දැන් හිට තරගයට
    මොනවා වේද අපි දැන් හිට තේරුවට
    කවුරුන් එතත් දැන් තියෙනා තත්ත්වයට
    ලේසි වෙන එකක් නෑ ජනපති වෙන්ට

    ReplyDelete
    Replies
    1. ඔය කීවට නිදි නංගි
      ලංකාවට මතක ඇත්තේ
      දෙසතියයිලු

      Delete
    2. අපේ උන් ගැන දන්න ප්‍රබාකොරනුත් දෙසුව ඔකනෙ

      Delete
  2. හ්ම්... සෑහෙන සාධාරණ විග්‍රහයක් කියල හිතුනා.🤔👌

    ReplyDelete
    Replies
    1. සාධාරණ වෙන්න සෑහෙන ගත්ත. ස්තූතියි

      Delete
    2. උත්සාහ ගත්ත. (වචනේ වැදිලා නැහැනේ. 😄)

      Delete
  3. හැමෝටම අමතක වෙන දෙයක් තමයි 69 ලක්සෙ කියලා වෙනම සත්ත්ව පරම්පරාවක් නෑ කියන එක. ඒ අපි අපිම තමයි. රට ගැන හැඟීමක තියනව නම් මේ හැමෝම මීට වැඩිය අවංක වෙන්න ඕනෑ. කලකට පෙර රාවය පුවත්පතේ විමසීමකට ටිල්වින් සහෝදරයා දුන්න පිළිතුරක් තමයි ඔවුන් අතින් මනුෂ්‍ය ඝාතන සිදුුඋනා කියලා චෝදනා කරන්නෙ 60000ක් අතුරුදන් කරපු අය සහ ඊට සහය දුන් අය කියලා. ඔවුන් සටන් කළේ ඉන්දියන් ආක්‍රමණයට විරුද්ධව පමණයිලු! එහෙම දෙයක් ගැනවත් අවංකව බලන්න සූදානම් නැති අයගෙන් මීට වඩා හොඳ දෙයක් බලාපොරොත්තු වෙන්නෙ කොහොමද?

    ReplyDelete
    Replies
    1. මම හැට නම ලස්සේට අයිති වුනේ නැහැ. නමුත් පිටරට ඉඳගෙන කෑ ගහපු ගොඩක් අය ෆේස්බුක් එකේ ෆ්‍රෙන්ඩ් ලිස්ට් එකේ ඉන්නවා. සමහරු හිමීට විවේචන කරන තත්වෙට පැනල. නිල අරගත්ත අය සහ මාතලන් පමණක් දැන් ඒ පැත්තේ වගේ පෙන්නේ. ටිල්වින් කීවද නැත්ද දන්නේ නැහැ. කීව නම් ඒක අවංක ප්‍රකාශයක් නෙමේ තමා. හැබැයි අකුදී ලන්ඩන් ආපු වෙලේ බිබිසි එකේදී සමාවෙන්න වැරදි වුනා කියල කීව.

      Delete
    2. මමත් නෑ කියලා සතුටින් කියන්න පුළුවන්. මම කිව්වෙ පොදුවෙ සමාජය දිහා බලලා. ටිල්වින්ගෙ ප්‍රකාශයේ පේපර් කටිං එකේ පින්තූරය මෙතෙන්ට කට් ඇන්ඩ් පේස්ට් කරන්න හැදුවා හරි ගියේ නෑ.

      Delete
    3. ස්තූතියි ලින්ක් එක දාන්න බැරිද , ඉන්දියන් ආක්‍රමණයට විරුද්ධව සටන් කරන්න පටන් ගත්තේ බස් ගිනි තියලානේ . මම රුසියාවෙන් නිවාඩුවට ඇවිත් 1987 ජූලි හරියටම ඕක වෙන දවසේ හිටිය පිටකොටුවේ

      Delete
  4. අනේ මංදා, දැන් තියන තුරුම්පු ඔක්කොම ගහලා ඉවරයි නේද?? ඊළඟ චන්දෙදිත්, මේ රට බේරා ගැනීමේ අවසාන අවස්ථාවයි කියලා කාව හරි තෝරාගෙන, ටික දවසක් යනකොට "ගෝඨාභයත් මීට වඩා හොඳයි" කියලා කියයි.

    ReplyDelete
    Replies
    1. 98% සම්භාවිතාවයක් ඇත.🤔

      Delete
    2. එහෙම වෙන්න සම්භාවිතාවයක් තියෙනෙව තමයි. පොල්පොට් වගේ කෙනෙක් ආවොත්. ඒ කියන්නේ සජිත් හරි අනුර හරි චම්පික හරි පොල්පොට් වුනොත්. නාමල් එතන නම් නැහැ කියල හිතන්නේ. හැබැයි රට නිකන් අර චන්ද්‍රිකා ගේ කාලේ වගේ වෙයි.

      Delete
  5. අජිත් මෙහි දීප්ති ගැන ලියා නැත්තේ දීප්තිට බය නිසාද? මම නං හිතන්නේ දීප්ති කුමාරට ලොකු ඉඩක් තියෙනවා ඊලග ජනාධිපතිවරණයේ සැහෙන්න ඉදිරියට එන්න.

    ReplyDelete
    Replies
    1. දීප්ති ට මොකටද බය වෙන්නේ ? ගෝනි බිල්ලෙක්ද ? මම මෙතන ලියල තියෙන්නේ ජනාධිපතිවරනෙට ඇවිත් දිනන්න සම්භ්වෛතයක් තියනවයි කියා හිතන අය. ඉදිරියට එන්න ඉඩ තියනවා කියන එක දිනනවා කියන එක නෙමෙයි. මම කුමාර් ගුණරත්නම්/නාගමුව ගැන ලිවේත් නැහැ .

      Delete
  6. අවංකකම කියල එකක් අපිට තියනවද?

    "අපි අතිනුත් වැරදි වුනා තමයි. ඒත් අපිව මිනී මරණ තැනට තල්ලු කලා" . මේ තමයි සහෝදරවරුංගේ "සාපේක්ෂ" අවංකකම. බොරුව, වංචාව , කොලේ හංගලා ගැහිල්ල නැති සමාජවාදයක් ලෝකෙ කොහේ හරි තිබුනද?

    අද තත්ත්වයත් "දෙකොණ පත්තුවූ විලක්කුවක්ම" තමයි. කවුරු හරි පත්වේවි. ඒත්, පත්වෙන කෙනාටත් "වැල යන පැත්තට මැස්ස ගහන එක" කරන්න වෙන නිසා, වෙනසක් වෙන එකක් නෑ.

    මේකට 100% දේසපාලුවොංගෙම වැරැද්දම නෙමෙයි. රටක්/ සමාජයක් විදිහට, පොදු ජනතාව කියන්නේ "අපිට ණය වෙලා හරි ගිතෙල් ගෙනත් දීපල්ලා" කියලා නෙමේද? නොදුන්නොත්, ආඞි හත්දෙනාගෙ කැඳහැලි ක්‍රමවේදයට, අනිත් උන්ට බණිනවා. "මේ සමාජෙ මකවලා තමයි හදන්න ඕනෙ" සංකල්ප අනුව "හිට්ලර්ව" ගෙනාවෙ ඕකට නේද? දැන් පේන විදිහට මැකෙන්න යන්නෙ හිට්ලර් පාටයි.

    මේ විශම චක්‍රයෙන් ගොඩ යෑමක් ගැන හිතන්න අමාරුයි. "ණය වෙලා හරි , ගිතෙල් තමා වළඳන්න ඕනෙ", ඒ නිසා සුපුරුදු පරිදිම "එදාවේල ටුවර්ස්" දුවාවි නේද?

    ReplyDelete
    Replies
    1. මට පරණ, ඇත්ත කතාවක් මතක් වුනා, කවුරුහරි බිම දාගෙන නෙලන්න කලින් ඒකත් කියන්නම්. තමන්ගෙ දේශපාලන විස්වාස වලට විරුද්ධ මත බවුන්ඩේසමට වදින මිසයිල වගෙයි. බවුන්ඩේසම දෙදරන කොට අපිට කේන්ති යනවා.

      ඉස්සර අපේ ගම් පැත්තෙ, බස් නැවතුම්පලකදී දෙන්නෙක් අතර දේශපාලන විවාදයක් ඇති වෙලා. එකෙක් පැරදීගෙන එනකොට, පැන්න ගමන් හැපුවලු අනිකගෙ ඇඟිල්ල.😂

      Delete
    2. දෙවන කොටස මරු. මම දැන් යහළුවෝ එක්ක දේශපාලන විවාද යනවා අඩුයි. දාන්නම දෙතුන් දෙනක් එක්ක කතා කරනවා උන්ට තරහ යන්නේ නැහැ කියල දන්නා නිසා. ලංකාවේ වම අවංක වුනා නම්, රට අද වෙන තැනක්. ඒ කතාව ඇත්ත.

      Delete
  7. එසේම අප වෙසෙන රටවල ඇති මානව නිදහස, රැකියාවක් කිරීමේ නිදහස, දේශපාලන බලපෑමකින් තොරව ජිවත් වීමේ නිදහස, දියුණු සමාජ තත්වය ලංකාවේද තිබිය යුතු යයි විශ්වාස කරන්නෙක්මි.


    මටනම් තව දෙයක් ඕනේ, ජර්මනියේ ජර්මන් බාශාවට, සෝවියට් සංගමයේ රුසියන් බාශාවට, එංගලන්තේ ඉංග්‍රීසි බාශාවට ඇති තැන ලංකාවේ සිංහල බාශාවටත් ලැබිය යුතුයි.

    ReplyDelete
    Replies
    1. ජගත් - ජර්මනියේ භාෂාව ජර්මන් විතරයි හැම තැනම. තුර්කි සහ අනෙකුත් දයලෙක්ට් කතා කරන අය ඉන්නවා. සෝවියට් දේශයේ රට රට වල භාෂා වලට ප්‍රමුඛස්ථානය දුන්න. මැරුණ ඒවා පවා අරගෙන විශ්ව විද්‍යාල වල ඉගැන්වුවා. සිංහල දෙපාර්තමේන්තුවක් පවා තිබුන. රුසියන් භාෂාව ඉගෙන ගත්තේ නැත්නම් සෝවියට් දේශය තුඅල තම රටේ හැර වෙන රටකට ගිහින් වැඩ කරන්න බැරි කමක් තිබුන නිසා රුසියානු භාෂාව මුළුසෝවියට් සංගමය තුලම ඉගැන්වුවා. ඒක ප්‍රායෝගිකයි. එංගලන්තේ ඕනෑම කුඩා භාෂාවකට ට්‍රාන්ස්ලෙටර්ස් ල ඉන්නවා. සිංහලට පවා. පොලිසියට, නඩුවකට, කවුන්සිල් වැඩකට ගියහම භාෂා 25 කට විතර උද තියනවා. වේල්සයේ වෙල්ෂ් සහ ස්කොට්ලන්තයේ ස්කොටිෂ් ප්‍රධාන භාෂා.

      Delete
    2. ලංකාවේ සිංහල තමා රාජ්‍ය භාෂාව. තව මොනවාද ඔයාට ඕනේ . අනිත් භාෂා තහනම් කරන්නද ?

      Delete
    3. සෝවියට් සංගමය තුල රුසියන් බසට ලැබුන තැන සිංහලයට අවශ්‍යයි.

      අද ලංකාවේ රාජ්‍ය බාශා ප්‍රතිපත්තිය හරියට මහදැනමුත්තා එළුවගේ බෙල්ලත් කපලා මුට්ටියත් බින්දා වගේ දෙයක්.

      සිංහල කියන්නේ නිකම්ම බාශාවක් නෙමෙයි. එය ශ්‍රී ලාංකීය ජාතික උරුමයක්.
      ඉන්දීය බසකට හෝ යුරෝපීය බසකට නැති රාජ්‍ය අනුග්‍රහයක් එයට තිබිය යුතුයි.

      ලංකාව තුල දොස්තර කෙනෙක් වෙන්න, ඉංජිනේරුවෙක් වෙන්න, නීතීඥයෙක් වෙන්න
      අඩුගානේ ආණ්ඩුවේ ඉස්කෝලෙක බටහිර සංගිතය ඉගෙන ගන්නත් ඉංග්‍රීසි අවශ්‍යයි.
      ඉංග්‍රීසි එපා කියනවා නෙමෙයි.
      සිංහල හෝ ඉංග්‍රීසි බාශා දෙකින් එකක් තෝරාගෙන රට තුල අධ්‍යාපනයට අවස්ථාව තිබිය යුතුයි.

      Delete
    4. //සිංහල හෝ ඉංග්‍රීසි බාශා දෙකින් එකක් තෝරාගෙන රට තුල අධ්‍යාපනයට අවස්ථාව තිබිය යුතු// ඉතින් ඒක දැනටත් තියෙනවා නේද? මම ගිය පාසලේ 1980 දශකයේ ඉඳන් භාෂා තුනෙන්ම ඉගෙන ගන්න පුළුවන්. දැන් ඔය ඕන තරම් ඉන්ටනැෂනල් ඒවා තියෙන්නේ ඉංගිරිසයෙන් ඉගෙන ගන්න.

      Delete
  8. රජය හාස්‍යට ලක් කිරීමත් පුද්ගලික මට්ටමෙන් පහර ගැසීමත් සිදුවනු දකින්නට ලැබේ.
    සිංහල බ්ලොග් අවකාශයේ ත්‍රස්තවාදය

    ReplyDelete
    Replies
    1. මම අහපු කතා ලියල තියෙන්නේ. ඒවා ඇත්තද බොරුද කියල නෙමේ. අපේක්ෂකයෙකුට ඉඩ තියනවා ඇවිල්ල ප්‍රතික්ෂේප කරන්න. රජයවල් හාස්‍යට ලක් කිරීමට ලියන්නෙකුට කියන්නෙකුට අවකාශය තිබිය යුතුයි. හිට්ලර් , ස්ටාලින් කෙනෙක් නෙමේනේ ඉන්නේ නේද

      Delete
  9. ෂික්. මගේ නම නෑනේ.. - රනිල්

    ReplyDelete
    Replies
    1. ෂික් අමතක වුනා නොවැ

      Delete
  10. ඕන දීපංකර වාසියෙක්ට අදහස් පළ කිරීමේ අයිතියක් තියෙනවා. මධ්‍යස්ථව අදහස් පළ කිරීම නම් අගෙයි.
    නාමල්ටනම් පොහොට්ටුව ඇතුළු ඔය කුඩා පක්ස ටික එකතු කරගන්ට එකනම් ටිකක් අමාරු උනත් බැරි කොමක් නැති හැඩයි. පාඨලී නම් හාමුදුරුවරුටත් නයා පෙන්නපු හිවල් තඩිය. අනුරල තාම ලංකාවට ඔබින වාමාංශික සෑම්පලේ හොයන නැහැ. සජිත්ගෙත් පෙනෙන්නට නැති දැක්මක් නැති කම හින්ද ප්‍රධාන වැඩි බර නාමල්ට තිබ්බත් මේ යන සාන්තැසියට එයාටත් බෑ තමයි. මගේ අනුමානේ නම් අපේ ග්‍රාමසේවක තුමා වගේ වෙන කෙනෙක් වෙත කිරුල යයි කියල තමා හිතෙන්නෙ.
    තේරුම් අරන් කස්ත්‍රෝ, ලෙනින්, මාඕ ගෙනිච්චේ පොතේ තිබිච්ච සමාසමාජවාදයක් නෙමේ. එක නිසා ගොඩ ගියා.

    ReplyDelete
    Replies
    1. / මගේ අනුමානේ නම් අපේ ග්‍රාමසේවක තුමා වගේ වෙන කෙනෙක් වෙත කිරුල යයි කියල තමා හිතෙන්නෙ.// ඕක වෙන්නත් ගොඩක් ඉඩ තියෙනවා. හැබැයි එහෙමෙ වෙන්නේ වෙන රටක් (ගිය පාර වගේ) බර දැම්මොත් තමයි

      Delete
  11. වඩා අවශ්‍ය වෙනවා ඇත්තේ, කාට ද දිනන්න පුලුවන්, දිනන්න මොනවද කරන්න ඔ්නෙ, කියල හොයනවට වඩා, වඩාත් ම හොඳ පාලනයක් රටේ ඇති කරන්න කාටගෙන් ද අපේක්ෂා කරන්න උවමනා කියලා හොයන එක කියල මට හිතෙනව.

    ReplyDelete
    Replies
    1. හොඳ අදහස. ලියල බලන්න. වඩාත් ම හොඳ පාලනයක් රටේ ඇති කරන්න කියල ඔය එක්කෙනෙක් වත් කටයුතු කරන්නේ නැති තත්වයක ඉතිරි වෙලා තියෙන්නේ මොකක්ද?

      Delete
  12. නාග ලෝකයට අරාධනා කරලා කාව හරි ගෙන්න ගන්න බැරිවෙයිද. කොහොමත් ලංකාවෙ මිනිසුන්ට හරියන්නෙ අද්භූත ස්වබාවය සහිත, කොහෙ හරි තියෙන (ජන)ප්‍රවාදයකට සම්බන්ධ, බුද්ධාගමටත් කොහෙන් හරි ගාවන්න පුලුවන් එතනින් ගියාම 'ගැම්ම' තියෙන රැවුල..සොරි කෙනෙක්නෙ.

    තමන්ගෙ අයිතිවාසිකම්, යුතුකම් ගැන අවබෝදයක් නැති, සිස්ටම් චේන්ජ් කරන්න කතා කලත් සිස්ටම් එක මොකක්ද කියලා දන්නෙ නැති, තමන්ට ප්‍රශ්ණයක් ආවොත් නීතියට, සිස්ටම් එකට පිටින් ගිහිල්ල විසඳුමක් හොයාගන්න උපරිමයෙන් උත්සාහ කරන මිනිස්සුන්ට ඔය කවුරු ආවත් ලොකු වෙනසක් වෙන්නෙ නෑ.

    ReplyDelete
    Replies
    1. //නාග ලෝකයට අරාධනා කරලා කාව හරි ගෙන්න ගන්න බැරිවෙයිද//ඒක ඉතින් ලංකාවේ තිබ්බ ගෝත්‍රයක් නේ. හොයල බලන්න ඕනේ DNA ටෙස්ට් එක්ක තමයි හරි යන්නේ. //කොහොමත් ලංකාවෙ මිනිසුන්ට හරියන්නෙ අද්භූත ස්වබාවය සහිත, කොහෙ හරි තියෙන (ජන)ප්‍රවාදයකට සම්බන්ධ, බුද්ධාගමටත් කොහෙන් හරි ගාවන්න පුලුවන් එතනින් ගියාම 'ගැම්ම' තියෙන රැවුල..සොරි කෙනෙක්නෙ.// විජේවීර හැම වෙලේම රහසිගතව ඉන්න හැදුවෙත් ඒකලු.

      Delete
  13. අපේ වත්මන් මතිනිගෙ (චන්ද්‍රිකා) පුතත් තරංගබිමට එන්ට සුදානමක් තියෙනවා කියනව නෙ, මොන අලිබබා ආවත් එකම හොරු ටික ගුහාව ඇතුලෙ

    ReplyDelete
    Replies
    1. මම හිතන්නේ නැහැ ඒ කතාව ඇත්තක් කියල. එයා ආවත් අර "ඇමතිලා " ගොල්ලම ගන්න වෙනවා කියන එක වෙන්නේ ඕනේ ඔයා කියන්නේ.

      Delete
  14. නාගානන්දට තැනක් ඇත්තෙම නැද්ද?

    ReplyDelete
    Replies
    1. නාගානන්ද පිළිබඳව මගේ එපමණ පොසිටිව් අදහසක් නැහැ. එයා එකතු කරපු සල්ලි වලට මොකද වුනේ.

      Delete

සියලු හිමිකම් අජිත් ධර්මකීර්ති (Ajith Dharmakeerthi) සතුය. කොළඹ ගමයා බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ අජිත් ධර්මකීර්ති යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ.
මෙහි පලවන ලිපි සහ දේශපාලන අදහස් මගේ පෞද්ගලික අදහස් පමණි.
ඔබේ ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. නමුත් වෙනත් කෙනෙකුට සාධාරණ හේතුවක් නැතුව පහර ගසන අශිලාචාර අන්දමේ ප්‍රතිචාර පමණක් පල නොකෙරේ. බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ස්තූතියි .