මේ ලිපිය කියවන මගේ මිතුරු මිතුරියන් බොහෝ දෙනෙකු මා හැරයන්නට හේතුවනු ඇත. නමුත් සත්‍යය අමිහිරි යයි ඔබ අසා නැත්ද?.
රනිල් වික්‍රමසිංහට නිල වශයෙන් "රාජපක්ෂ" රකින්නා නම්බු නාමය ලැබී තිබේ. මම මෑතක් වනතුරුම සිතා සිටියේ ඩලස් අලහප්පෙරුම යන හොඳ රාජපක්ෂ කුක්කෙකු කියාය. දැන් පෙනෙනා අන්දමට අරගලකරුවන්ගෙන් "නිර්පාක්ෂික" යයි හඟවා ගෙන සිටි පිරිසක් සජිත්ට සහය දෙන අතර තව පිරිසක් ඩලස් ට සහය දෙති. ඒ අනුව සජිත් පිල සහය දුන්නේ "රාජපක්ෂ විරෝධී" ටිකට් එක වන ඩලස් ටය. ඉතිරි අරගල කරවන අන්තරය/පෙසප හා ජවිපෙ/වෘත්තීය සමිති අතරට බෙදීයයි. අරගල කරුවන්ගෙන් යම් ප්‍රමාණයක් රනිල් වික්‍රමසිංහ ට සහය දී ඇති බවක්ද පෙනී යයි.
සජිත් තම සොහොයුරිය ගේ මුදල් සම්බන්ධ ප්‍රශ්නයක් සඳහා ගෝඨාභය රාජපක්ෂ ගේ උදව් ගෙන ඇති බවට රාවයක් තිබූ අතර, සජිත් ගේ ඇතැම් මුදල් ගනුදෙනු සම්බන්ධ ක්‍රියා සඳහා මහින්ද රජය අහක බලා තිබීමේ චෝදනාවක් ද ඇති නිසා සජිත්, රාජපක්ෂ විරෝධියෙක් වන්නේ කෙසේද යන්න මට නොතේරේ. බැදුම්කරය සම්බන්ධව රනිල්ටද එම චෝදනාවම තිබේ.
අපි මදක් ඉතිහාසයට යමු. තීරණාත්මක මැතිවරණයක් වූ 2005 ජනාධිපතිවරණයේ දී මහින්ද රාජපක්ෂ ට සෝමවංශ /වීරවංශ ඩබලේ නායකත්වයෙන් ජවිපෙද පාඨලී ගේ නායකත්වයෙන් හෙළ උරුමයද සහය දුන්හ. තනි අලියා රනිල්, යූඇන්පී අපේක්ෂකයා විය. රනිල් චන්ද 48.3% ලබාගත් අතර මහින්ද ගත්තේ චන්ද 50.48%. වෙනස 1.86% කි. මුළු රටේම ජනයා 73.74 ක් ඡන්දය දුන් අතර යාපනයේ චන්දය දුන් සංඛ්‍යාව 1.1% කි. ඉනුත් රනිල් 70.2% ද මහින්ද 25.% ක්‌ද ලබා ගත්හ . වන්නියේ ඡන්දය දුන් මුළු සංඛ්‍යාව 34.3% වෙද්දී රනිල්ට ඉන් 77.39% ද මහින්දට 2.86% ද ලැබුණි. රනිල්ට රට බෙදන කොටියා ලෙසින් නමක් වැටුණු අතර රටේ දෙමළ , මුස්ලිම්, කතෝලික සුළුතරයේ, බහුතර චන්දය වැටුනේ රනිල්ටය.
එල්ටිටිඊ නායක වේළුපිල්ලේ ප්‍රභාකරන් ඡන්දය වර්ජනය කරන ලෙස අණක් නිකුත් කළේය. ඡන්දය දෙන්නට පැමිණි වන්නි වැසියෙකුගේ අතක් කපා දැමුණි. 1999 ජනාධිපතිවරණ ඡන්දයේදී යාපනයේ මුළු ඡන්ද සංඛ්‍යාව 612270 වෙද්දී රනිල් 43% ද වඩා ජනප්‍රිය චන්ද්‍රිකා 45% ලබාගෙන තිබුණි. 2005 දී යාපනය වැසියන් චන්දය දුන්නේ 7000 ක පමණ ගණනකි. වන්නියේ රනිල්ට 59.9% (මුළු චන්ද 205,541න් ) ලැබී තිබුණි. මේ අනුව ප්‍රභාකරන් චන්දය ප්‍රචණ්ඩත්වයෙන් වර්ජනය නොකලා නම් 1.86% වෙනස් අභිබවා රනිල් ජය ගන්නට වැඩි ඉඩක් තිබුණි.
ඒ දිනවල පැතිරුණු කතාව වූයේ එක්තරා අලසයෙකු හරහා ප්‍රභාකරන් ට විශාල මුදල් ප්‍රමාණයක් ලබා දී ඡන්ද වර්ජනය කිරීමට සැලැස්වූ බවයි. ඒ පිලිබඳ සාක්ෂි හිමිව තිබු ශ්‍රී පතියෙකු හදිසි රිය අනතුරකින් මිය ගියේය. ප්‍රභාකරන් ඒ වර්ජනය ක්‍රියාත්මක කළේ නෝර්වේ, ඉන්දියා, ඇමෙරිකා සහය තිබූ රනිල් , එල්ටීටිය දෙකඩ කර කරුණා කොළඹට ගෙනා රනිල්, වඩා අනතුරුදායක ලෙස සැළකු හෙයිනි. කෙටියෙන් කිවහොත් රනිල් දිනන්නට තිබූ ජනාධිපති මැතිවරණය හොරා ගත්තේ මහින්දය.
ඉන්පසු යුධ ජයග්‍රහණයත් සමග මහින්ද රාජපක්ෂ නියම ලෙසින් මැතිවරණය දිනුවේ 2010 සරත් ෆොන්සේකා ට එරෙහිවය.
ඊයේ සිදුවූයේ, කර්මානුකූලව තමන් සොරාගත් ජනාධිපති පදවිය තමන්ගේ චන්දයෙන් ම රනිල්ට භාර දීමට මහින්ද ඈතුලු පිරිසට සිදු වීමය. සෝමවංශ අමරසිංහ අද ජිවතුන් අතර නැත. පාඨලී චම්පික ජාතිවාදී දේශපාලනයෙන් මිදී ඇති බවක් යහපාලන කාලයේ පෙන්වූයේය. ඒ පාහර ජාතිවාදී දේශපාලනයේ යලි යලිත් යෙදෙමින් ගෝඨාභය රාජපක්ෂ බලයට පත් කරන්නට වෙහෙස වුනු විමල් විරවංශ , ගම්මන්පිල ආදීන් ට පැහැදිලි පරාජයක් අත්වී තිබේ.
සජිත් ප්‍රේමදාස ද යම් ප්‍රමාණයකට සජබ මෙහෙයවන්නේ ජාතිවාදී පදනමකිනි. ඔහුගේ පියාගේ අවාසනාවන්ත මරණයද එයට හේතුවක් විය හැක. නමුත් රනිල් ජාතිවාදී පදනමක සිට කිසිදිනක කටයුතු කර නැත. රට බෙදන චෝදනාවක් හා කොටි ලේබලය ඔහුට වැදුනේද ඒ නිසාය.
කලකට ඉහත මම 2015 දී වාමාංශයේ දක්ෂිණාංශය, දක්ෂිණාංශයේ වාමාංශය හා මාක්ස්වාදී සෝමවංශ මැයින් ලිපියක් ලීවෙමි. මගේ තර්කය වූයේ රනිල් වික්‍රමසිංහ ගේ එජාපය ට වඩා මහින්ද රාජපක්ෂ ගේ පොදු පෙරමුණු රජය දක්ෂිණාංශික බවයි. රනිල් අති දක්ෂිණාංශිකයෙකු වුයේ ජේ ආර් හා ප්‍රේමදාස ගේ දක්ෂිණාංශික පාලන සමයන් හිදීය. බටලන්ද වධකාගාරය පිළිබඳ ඔහුට චෝදනා එන්නේද මේ සමයේ කටයුතු කළ ආකාරය නිසාය. කොටින්ම රනිල් කටුස්සෙකු පාට වෙනස් කරන්නාක් මෙන් ස්ථාවරයන් වෙනස් කරන්නෙකි.
මදක් කල්පනා කර බලන්න. රටේ ජනාධිපති වූයේ සමනළයෙකු යයි අපහාසයට පත්වූ, සුළු ජන කොටස් සමග වඩා හිතැතිව සිටින පුද්ගලයෙකි.
අරගලකරුවන් දෙස බලන්න. ඔවුන් මුල සිටම ජාතිවාදය ප්‍රතික්ෂේප කල රටේ සෑම ජන කොටසක්ම පිළිඹිබු කළ කොටසකි. සැබෑ බලය මෑතක් වන තුරුම තිබුනේ ඔවුන් අතය. රටේ ජනාධිපති කරන්නට පොහොට්ටු ජාතිවාදීන් ට චන්දය දෙන්නට සිදු වූයේ ඔවුන් අපහාස කළ එක පාර්ලිමේන්තු පුටුවක් හිමි පුද්ගලයෙකුටය. ඉන් ප්‍රතිවිරුද්ධ පක්ෂයේ සිටි ජාතිවාදීන්ට උරුම වූයේ පරාජයකි.
සෝමවංශ හා විරවංශ ගෙන් මිදුනු ජවිපෙය තවදුරටත් ජාතිවාදය කර පින්නා ගෙන යන පක්ෂයක් නොවේ. පෙරටුගාමී සමාජවාදී පක්ෂය කොහොමත් ඒ ස්ථාවරයෙන් මිදී බොහෝ කල්ය .
මගේ මවට ඊයේ මා දුරකතනයෙන් කතා කල අවස්ථාවේ ඇය පැවසුවේ දිසානායක කොලුවාට චන්දය දෙන බවය. ඇය අදහස කලේ කුමක්ද යන්න මට එකවරටම වැටහුනේ නැත. මොන දිසානායක කොළුවා ද කියා කල්පනා කෙරුවෙමි. පිටි පස්සෙන් "අන්ර කුමාර, අන්ර කුමාර" යනුවෙන්කෑ ගසනු ඇසුනි. මම මවට කීවේ අනුර දිනන්නේ නැති බවය. නමුත් මහා ඡන්දයක් පැමිණියොත් ඔවුන්ට වඩා බලයක් මේ අවස්ථාවේ ලැබෙන බවත්ය.
මව කිවේ ද පාර්ලිමේන්තු ඡන්දය නොව මහා මැතිවරණයක් පැවතිය හොත් ඇය ඔවුන්ට ඡන්දය දෙන බවය . මහින්ද මහතා 2015 පැරදුනු වෙලේ දුකින් පිරී ඔහුගේ මැද මූලන නිවසට බැහැ දැකීමට යන ජනකාය සමග පවා ගිය ඇය අංශක 180කින් හැරී අනුර කුමාරට ඡන්දය දෙන්නට සිතන්නේ නම් බොහෝ පැරණි පොහොට්ටු ඡන්ද දායකයන්ද එලෙසම සිතනු ඇති බව මට හැඟුනි.
ජවිපෙ සම්බන්ධව මට ඇති ප්‍රධානම ප්‍රශ්නය නම් ඔවුන්ගේ වැඩ පිළිවෙල කුමක්ද යන්නය. ඔවුන් සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයක් ලෙස සිතා සිටියත් මෑතකදී එලි දැක්වුණු ඔවුන්ගේ අරගල ගීතයක පෙනුනේ දැඩි සමාජවාදී නැඹුරුවකි. සුන්දර සමන්මලී ගේ තියුණු කටහඬින් ගැයෙන ඒ ගීතය මට මතක් කළේ චේ වෙනුවෙන් නතාලි කර්දොනේ ගයන හස්තා සිම්පරේ ගීතයයි. ජවිපෙ ගීතය පුරාම තිබුනේ චේ හා කියුබානු විප්ලවයේ පින්තූරය. සමහර ආධාරකරුවන් ප්‍රසිද්ධියේ කියුබාවේ ක්‍රමය පසසති. ඒ අතරේ ඇතැම් නායකයන් පොල්පොට් ද පසසනු ඇසුනි.
මා සමග සෝවියට් දේශයේ උගත් කියුබානුවන් තිස් දෙනෙකු ගෙන් අද කියුබාවේ ජිවත් වන්නේ හතර දෙනෙකු පමණි. අනිත් සියල්ලෝම පිටරටවල වැඩ කරමින් තමන්ගේ පවුලේ සංරක්ෂණය සඳහා මුදල් එවති. ලබන අවුරුද්දේ කියුබාවට සංචාරයකට යන නිසා වැඩි විස්තර ලිවිය හැකිය. ඇමෙරිකානු සම්බාධක මෙන්ම අසාර්ථක ආර්ථික පිළිවෙත් නිසා කියුබානු ආර්ථිකයේ ලොකු වර්ධනයක් නැත. ඔවුන් වැඩිපුරම යැපෙන්නේ සංචාරක ව්‍යපෘති වලින්, පිටරටවල වැඩ කරන කියුබානුවන් එවන මුදල් වලින්, දුම්කොළ වලින් හා ඖෂධ නිෂ්පදනයෙනි.
ජවිපෙ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී ස්ථාවරයක් ගෙන ඩෙන්මාර්ක් , ෆින්ලන්ත, ස්කන්ඩිනේවියානු ක්‍රමයක් අනුගමනය කරන්නේ නම් වඩා හොඳ යයි මට සිතේ. එසේ නොමැතිනම් චීන ක්‍රමයේ ද වරදක් නොමැත. මා කියන්නේ ඩෙන් ෂියා ඕ පින් චීනය වෙනස් කළ ආර්ථික ක්‍රමය ගැනය. චීනයේ විදේශ ප්‍රතිපත්තිය සමග සමගාමී වීමේ අවශ්‍යතාවයක් පැන නගින්නේ නැත. චීනය අද චීන කොමියුනිස්ට් පක්ෂය යටතේ ලබා ඇති දියුණුව විශිෂ්ඨ එකකි. (ඔබ සොයන්නේ එවැනි භෞතික දියුණුවක් නම්)
පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ස්ථාවරය ගැනද මෙවැනිම ප්‍රශ්න මට තිබේ. ඔවුන්ගේ සමහර ආධාරකරුවන් ද උතුරු කොරියාව සහ කියුබානු ක්‍රමය ගැන පසසමින් කතා කරති. මේ පක්ෂ දෙකම අරගලයෙන් පසු බලය ලබා ගැනීමක් ගැන කතා කරන්නේ නම් තමන් ක්‍රියාත්මක කරන්නට අදහස් කරණ පාලන ක්‍රමය ගැනද ප්‍රකාශයන් කළ යුතු බව හඟිමි.
මා ගියවර ලියූ ලිපිය කියවා ජවිපෙ ආධාරකරුවෙකු කීවේ මෙවැන්නකි. "අජිත් මෙහෙම යුද්ධෙ මෙහෙයවපු ෆොන්සේකාට සහය දෙයි කියල මම හිතුවේ නැහැ. දෙමළ මිනිස්සු මොනවා කියයිද? " කිඹුලා කනවා ඉවසිය හැකි වුවත් කොහිල කටු ඇනෙනවා ඉවසිය නොහැකි යයි කියුමක් තිබේ. ඒ ප්‍රකාශය රෝහිත භාෂණ, මංජුල වෙඩිවර්ධන, දීප්ති ගුණරත්න , උදය තෙන්නකෝන් වැන්නෙකු කීවා නම් සාධාරණ කමක් ඇත. ඔවුන් දිගින් දිගටම යුද්ධයට විරුද්ධව අදහස් දැක් වූවන්ය.
අද ඇත්තේ ශ්‍රී ලංකාවේ ජාතිවාදී දේශපාලනය තීරණාත්මක ලෙස පරාජය වී ඇති මොහොතකි. අරගල කරුවන්ට ජාති භේද, කුල භේද, ලිංග භේද වලින් තොරව සහය ලැබුණු යුගයකි.
එසේම රනිල් වික්‍රමසිංහ ශ්‍රී ලංකාවේ නව ලිබරල් දේශපාලන ව්‍යාපෘතියේ අවසාන පුරුකය. රනිල් බොහෝවිට අටවන්නෙකි. ඇටවීම සාර්ථක වුවහොත් ඉතිරි අවුරුදු දෙක පාලනය කර ඔහු නික්ම යනු ඇත. ජනාධිපති රනිල් වික්‍රමසිංහ අසාර්ථක වන තැන අරගල කරුවන්ට වේදිකාව හිමි වනු ඇත. මටනම් මේ තත්වය ඉතා සුභවාදී එකකි.
--අජිත් ධර්මකීර්ති
ප. ලි. - "අටවන ජන්සන්" උපුටා ගත්තේ ප්‍රවීණ බ්ලොග් රචක ද.ග.ම. බසු තුමාගේ යෙදුමකිනි.