Sunday 26 February 2023

ටිල්වින් සිල්වා සහෝදරයාට චිත්‍රපටයක්



මා ජවිපෙ යාවජිව ලේකම් ටිල්වින් සහෝදරයා සමග කල සාකච්ඡාවේදී යම් චිත්‍රපටයක්  ගැන සඳහනක් කළෙමි. සාකච්චාවේ  යූ ටියුබ් වීඩියෝවට මේ යොමුවෙන් යන්න. පසුව ජාතික ජන බලවේගයේ ලනඩනයේ පැවති සමුළුවට සහභාගිවී ෂාරුක් ඛාන් ජයතිස්ස මැයෙන්  ලිපියක්ද ලීවෙමි. එම ලිපියේ ඇතැම් කරුණු ගැන සමහර මිත්‍රශීලි අදහස් එතරම් නිවැරදි නොවන බව මගේ හැඟීමයි. උදාහරණයක් වශයෙන්  "ෂාරුක් ඛාන් ජයතිස්ස"  කියා ලියුවේ ඒ මහතා ෂා රුක් ඛාන් වැනියයි කීමට නොවේ. (එසේ කියා නලින්ද මහතා අපහසුතාවයකට ලක් කිරීමටද නොවේ) . ජාතික ජන බලවේගය කිසියම් ප්‍රමාණයක ජනප්‍රියවාදී වාම දේශපාලනයකට හසු වී  ( left-wing  populism ) ඇති බව කීමටය. 

 එසේම ජයතිස්ස මහතා සෙල්ෆි කරුවන් සමග වමට, දකුණට , ඉහළට පහළට යාමක් කෙසේ වෙතත් ඔහු එම අයගෙන් මෑත් වී ඇවිදගොස් අනිකුත් අයට කතා කිරීමට ගත් උත්සාහය මම දුටුවෙමි.  කිසියම් පාක්ෂිකයන් පිරිසක් සමහ සුහද කතා බහකට සැරසුණු වහාම ඔහු නැවත නැවතත් සෙල්ෆි කරුවන්ගේ ග්‍රහණයට හසු වෙමින් වටේ යයි. එය ලිවීමෙන් මා අදහස් කලේ වර්තමාන ජවිපෙ ප්‍රමුඛ ජාතික ජන බලවේගයේ තත්වයයි. ඔවුන් ගේ පාක්ෂිකයන් සහ ආධාරකරුවන් විසින් එම බලවේගය නොයෙකුත් දිශානති  වලට වමට, වඩා වමට , දකුණට, ප්‍රතිසංස්කරණ පැත්තට  ඇදගෙන යාමක් පෙන්නුම් කරන්නේ නැතිද? ඉතා ඉක්මනින් ඔවුන්ට එය තමන්ට අවශ්‍ය දිශානතියට හසුරුවා ගැනීම නොවැළක්විය හැකි වනු ඇත.  

ටිල්වින් සහෝදරයා සමග වීඩියෝවට ප්‍රථම කළ කතාබහේදී 1960 ගණන්වල අග භාගයේ සිට හැත්තෑවේ දශකයේ අග දක්වා කාලයේ සෝවියට් දේශයේ ස්වර්ණමය යුගය ලෙස ඔවුන් සලකන බව මට පැවසීය. සමරවිට ජවිපෙ නායක රෝහණ විජේවීර ඒ කාලයේ වසරක් දෙකක් සෝවියට් දේශයේ ගත කළ නිසාද යන්න නොදනිමි.  කෙසේ වෙතත්  ඒ කාලය ගැන නිවැරදිව  පෙන්වන චිත්‍රපටයක්  මම තෝරා ගතිමි. ඒ "මොස්කව් කඳුළු මත විශ්වාසය තබන්නේ නැත "  යන චිත්‍රපටයයි  (රුසියන් වලින් මොස්ක්වා  ස්ල්යෝසම් න්යේ  වේරිත් "Moscow Does Not Believe in Tears")


එය පිටවූයේ 1979 දී  වන අතර අධ්‍යක්ෂක වරයා වුයේ ප්‍රසිද්ධියක් ඉසිලූ  ව්ලැඩිමීර් මෙන්ශෝව්ය. තිර රචනය එලසේම  ප්‍රසිද්ධ වැලන්ටින් චෙර්නික් ගේය.  මේ චිත්‍රපටය ට 1981 දී අමෙරිකාවේ හොඳම විදේශ භාෂා චිත්‍රපටයට හිමි ඇකඩමි අවෝඩ් සම්මානය ද ලැබුණි. 

මුල් කොටසේ කතාව පටන් ගන්නේ 1958 වසරේ ජීවත් වූ කම්කරු කෙල්ලන් තිදෙනෙක් වටාය. ගාමන්ට් කෙල්ලන් ගැන කතා කිහිපයක්ම මම ලියා තිබේ. රුසියාවේ පෙබරවාරි විප්ලවයට මුල් වූයේද ඔවුන්ගේ පෙළපාලියක් වුවත් ඉතිහාසය විසින් එය වසා දමා තිබේ. කැතරිනා හෙවත් කේට්, ලුද්මිලා හෙවත් ලූදා සහ ඇන්තොනිනා ජිවත් වන්නේ කම්හලක රැකියාව කරමින් කම්හල විසින් සපයන ලද නේවාසිකාගාරයකය. මෙවැනි රබෝචි දොම් හෙවත් ශ්‍රම දායකයන් සඳහා නේවාසිකාගාර අප උගත් කාලයේද තිබුණි. ඒ කියන්නේ ලංකාවේ  මෙන් අඩු පහසුකම් සහිත ගෙවල් හිමියන්ට අධික මුදල් දෙමින් හුන්ඩු වැනි කාමර වල තෙරපෙමින්  බැනුම් අසමින් සිටින තැන් නොවේ. ඇත්තටම මේ කාමර පොඩි ඒවා නොවේ. ඔවුන්ට පොදුවේ භාවිතා කරණ කුස්සිද, නාන කාමර ද තිබුණි. චිත්‍රපටයේ පෙන්වන්නේ එවැනි සැබෑ තැනකි. 

අධ්‍යක්ෂකවරයා සූක්ෂම ලෙස කපන කතුරෙන් මිදී සැබෑ තත්වය පෙන්වන තැන කිහිපයක් තිබේ. අසූ ගණන්වල එදවස වාමාංශික ට්‍රොස්ට්කි වාදියෙකු වූ ආචාර්ය නලින්ද  සිල්වා මහතා "දිවයිනේ" පළ කල  ලිපි පෙලකදී සෝවියට් දේශයේ "සමාජවාදී පංතියක්" ගැන ලීවා ටිල්වින් සහෝදරයාට මතක ඇතැයි සිතමි.  මේ කෙල්ලන් තමන් සිටිනා කම්කරු නිවස්නය ගැන කියන්නට කැමැත්තක් දක්වන්නේ නැත.  දෙතුන් වතාවක් ම ලුදා තමන් ගේ අත පතා එන පිරිමින්ට කියන්නේ ඇය වැදගත් පවුලක කෙල්ලක් බවත් ඔවුන් සිටින්නේ ලස්සන නිවසක බවත් පවුලේ අය සමග ආහාර ගන්නා බවත් ආදී වශයෙනි. නමුත් නේවාසිකාගාර යේ පිළිගැනීමේ තැන රැකවලේ සිටින මහලු කාන්තාවට එය සැම විටම වැරදෙයි.

ඔය අතරේදී කැතරිනා ගේ මාමා කෙනෙකුට කළු මුහුදේ නිවාඩුවකට යාමට ලැබේ. (මමද  කළු  මුහුදේ නිවාඩුවකට  ගිය අතර එය කලේ විශ්ව විද්‍යාලයට හොරෙනි.) රජයේ වියදමින් කළු මුහුදේ නිවාඩු යාමට වරම් ලැබෙන්නේ පක්ෂයේ නිලධාරීන්ට, ඉහල රජයේ සේවකයන්ට, ප්‍රසිද්ධ නළු නිළියන්ට , අඅධ්‍යක්ෂක වරුන්ට ගත් කතුවරුන් සහ පිටරට වලින් පැමිණෙන මොස්කව් වලට හිතවත් රාජ්‍ය තාන්ත්‍රිකයන්හටය.  ඉතින් නලින් ද සිල්වා ගේ අර "සමාජවාදී පන්තියේ" මාමා නිවසේ යතුර කැතරිනා ට භාර දී යන්නේ සුරතල් බල්ලාද බලා ගන්නට දීමෙනි. ලුද්මිලා සහ කැතරිනා මේ අවස්ථාව යොදා ගන්නේ  තමන්ට හොඳ ඉහල  "සමාජවාදී  පන්තියේ " පිරිමියෙකු හොයා ගන්නටය. ඔවුන් ආරාධනා කරන අය අතර විශ්ව විද්‍යාල මහාචාර්ය වරු, කථිකාචාර්යවරයෙක්, කතු වරයෙක්,  ,උසස් රජයේ නිලධාරියෙක්, රුපවාහිනී කැමරාකරුවෙකු වන රුඩොල්ෆ් හා    නිෂ්පාදකයෙක් හා පදක්කම් දිනූ  සෝවියට් හොකි ක්‍රීඩකයෙක් වන සෙර්ගේයි  ආදීන් සිටිති. 

චිත්‍රපටය නරඹනවිට  රජයේ නිලධාරියා පෝලිම් වල නොයිඳ පන්නාගෙන  එන කෑම බෑගයෙන් එලියට ගන්නා අයුරු නිරීක්ෂණය කරන්න. ඉතින් මේ පාටියේ දී වංචාකාරී ලෙස කතා කරන රුපවාහිනී කැමරාකරු රුඩොල්ෆ්  ට රැවටෙන කැතරිනා ඔහු සමග සංවාසයේ යෙදෙයි.  රුඩොල්ෆ් කැතරිනාට  තම නිවසට ආරාධනා කරන අතර "ඉහල සමාජ  තත්වයක්"  ඇති කැතරිනාට ඔහුගේ මවද කැමති වෙයි.  ඒ අතරේ කැතරිනා වැඩ කරන කම්හලට එන රුඩොල්ෆ් දකින්නේ තමන් "ඉහල සමාජවාදී පන්තියේ " යයි මවා පෑමක් කළ කැතරිනා සැබැවින්ම  කම්කරු කාන්තාවක බවයි.  ඒ අතරේ  කැතරිනා ගේ යෙහෙළිය ලූදා ද ප්‍රසිද්ධ හොකි ක්‍රීඩකයා සමග යහළු වෙයි. 

අවාසනාවකට මෙන් කැතරිනා රුඩොල්ෆ් නිසා ගැබ්බර වෙයි.  ඒ දිනවල කාන්තාව විසින්  පියා නම් කරන්නේ නම් ඔහු තමන් ගැබ් කළ කාන්තාව විවාහ කර ගත්ත යුතුය. කැතරිනා සොයා එන රුඩොල්ෆ් ගේ මව කැතරිනා ට බැන වදින්නේ තම නිවසේ තවත් දෙදෙනෙකුට ඉඩ නැති බවද තමන් ඇති තරම් කාලයක් කොමියුනාල්ක වල ජීවත්වූ බවද පවසමිනි. 

සාර් රජ කාලයේ  තිබූ ධනවතුන්ගේ විශාල නිවාස, මාලිගා, ධනපතියන් ගේ කම්හල් , සාප්පු  ආදිය විප්ලවයෙන් පසු ජනසතු කරන ලදී. මේවා  සාමාන්‍ය ජනතාවට ලබාදීම මගින් දිළින්දන් ගේ නිවාස  ප්‍රශ්නය මදක් දුරට විසඳන ලදී. ඒවායේ කාමරයක්  හෝ දෙකක්  පවුලේ විශාලත්වය අනුව ලැබේ. වැසිකිලි, නාන කාමර සහ කුස්සිය තවත් පවුල් හතරක් පහක්  සමග පොදුවේ භාවිතා කළ යුතුය. කොමුනාල්ක කියන්නේ ඒවාටය. ඒවායේ ජිවත් වීමට බොහෝ මොස්කව් වාසීන් අකැමතිය. තමන්ගේම නිවසක් මහල් නිවාස  පද්ධතියකින් ලබා  ගැනීමට පෝලිමේ සිටිය යුතුය. ඒ අතරේ පක්ෂ හැඳුනුම් කමක් හෝ වෙනත් ක්‍රමයකින් මහල්  නිවසක් කලින් ලබා ගත හැකිය. පක්ෂයේ වැඩ කරන අයට සහ සයිබීරියාවේ පතල් වල වැඩ කරන කම්කරුවන්ට නිවෙස් ඉක්මනින් ලැබේ.  රුඩොල්ෆ්  කැතරිනා සමග විවාහ  වන්නට අකමැති වන්නේ ඔහුට  අනාගතය ගැන වෙනත් සිහින තිබෙන බව කියමිනි.    

මේ තිදෙනා අතරින් අන්තොනිනා යහළු වී සිටින්නේ සෙර්ගෙයි සමගය. සෙර්ගෙයි මහන්සි වී වැඩ කරන අයෙකි. ඔහු ගේ දෙමාපියන්ට මොස්කව් වලින් පිටත ප්‍රදේශයක දාචාවක් තිබේ. දාචා යනුවෙන් ග්‍රීෂ්ම සමය ගත කරන නිවෙස් බොහෝ මොස්කව් වාසීන්ට තිබේ. ඒවායේ ඔවුන් නොයෙකුත් වගාවන් කරති. සීත කාලයට අවශ්‍ය අර්තාපල්, තක්කාලි වෙනත් එළවලු ආදිය  වගාකර ගබඩා කර ගනිති. ඒවායින් අඩුපාඩුවක් නැති බව චිත්‍රපටයේ පෙන්වයි. අප සිටි කාලයේදී ද මේ තත්වය එලෙසේමය. ඔවුන් සති අන්තය ගත කරන්නට තෝරා ගන්නේ මෙවැනි  දාචා නිවෙස්ය, සමහර විට ඒවායේ නළ ජලය නැති අතර ජලය අසල ළිඳකින් සපයා ගත යුතුය. 

කැතරිනා ට කම්කරු ජිවිතයේ දිගටම සිටින්නට අදහසක් නැත. එනිසා ඇය  රසායනික විද්‍යාව පිලිබඳ උපාධියක් කිරීමට අදහස් කරගෙන සිටියාය. එසේ වුවත් ඇය තම දරුවා තනියම හදා වඩා ගැනීමට තීරණය කරයි. බොහෝ  අපහසුතා මධ්‍යයේ ඇය මහන්සිවී ඉගෙන ගනී.

කතාවේ දෙවන කොටස අවුරුදු විස්සකට පසු සෝවියට් දේශයේ හැත්තෑවේ කාලය නිරූපණය කරයි. කැතරිනා ගේ දියණිය  ඇලෙක්සන්ද්‍රා පියකරු යොවුන් වියේ පසුවන්නීය.කැතරිනා  දැන් එම  කම්හලේම අධ්‍යක්ෂක වරියයි.  ඇයට තමන්ගේම විශාල මහල් නිවසක් තිබේ. ඇයට නැත්තේ ආදරයක් පමණි. මහන්සිවී ඉගෙන ගත්තොත් සෝවියට් රජයේ ඉහල තැනකට පැමිණිය හැකි බවට පෙන්වන සෝවියට් පරමාදර්ශයක් වන්නේ කැතරිනාය.  අන්තෝනිනා තමන්ගේ සරල පැවතුම්  ඇති සෙර්ගෙයි සමග විවාහ වී දරුවන් සමග සතුටින් ජිවත් වෙයි. එයද සෝවියට් පරමාදර්ශයට සමගාමී වේ. ඔවුන්ගේ මොස්කව වලින් එපිට දාචාවද   එලෙසම තිබේ. සති අන්තයට යෙහෙලියන් තිදෙනා එහි ප්‍රීතියෙන් සහ අතිතානුස්මරණයෙන් ගත  කරති.  

ප්‍රසිද්ධිය සහිත සැමියෙක් හඹා ගිය ලුදා ප්‍රසිද්ධ හොකී ක්‍රීඩකයා  විවාහ කර ගනී. නමුත් ඔහු මත්පැන් ලෝලියෙකි. ඔවුන් දික්කසාද වී ඇත. සෝවියට් දේශයේ පිරිමින්  ගේ මධ්‍යසාර භාවිතය ඉහල මට්ටමක  තිබු අතර වොඩ්කා මිල අඩු නිසා  මත්පැන් ලෝලීන් ද වැඩිය. ඒ ප්‍රශ්නය පසුව ගොර්බචෝව් ටද  හිසරදයක් විය.  

දාචා නිවසට  ආපසු එනා කැතරිනා ට දුම්රියේදී  ගෝෂා හමුවේ. විශ්වවිද්‍යාල පර්යේෂණාගරයක උපකරණ නිපදවන නුවණැති අයෙකු වූ ගෝෂා  සමග කැතරිනා පෙමින් බැඳේ. ඔය අතරේ එම කම්හලේ  අධ්‍යක්ෂකවරිය සමහ සම්මුඛ සාකච්චාවක් කිරිමට එන රුපවාහිනී කණ්ඩායමේ රුඩොල්ෆ් තමන්  අත්හැර දැමු පෙම්වතිය දැන් අධ්‍යක්ෂිකාවක් බවද ඔහුට දියණියක් සිටින බවද දැන ගනී. කැතරිනා  ප්‍රතික්ෂේප කරයි,  දියණිය අලෙක්සන්ද්‍රා ගේ පෙම් හබයකට මැදිහත් වන ගෝෂා සමග කැතරිනා  විරසක වෙයි. නමුත් ඇය පසුව වටහා ගන්නේ තමන්ට සුදුසු තැනැත්තා නිහතමානී මිනිසකු වන ගෝෂා බවය. 

මම මේ සිනමා පටය දෙතුන් වරක් නරඹා තිබේ. ඒ හැම වතාවකම කලින් හරියට නුදුටු දේ නිරීක්ෂණය වේ. සෝවියට් දේශයේ  විද්‍යාඥයන් , අජටාකාශගාමින් මහාචාර්ය, ආචාර්ය  වරුන්, කතුවරුන්, ඇතැම් කලාකරුවන්, සංගීත වේදීන්  පක්ෂ බලධාරීන්  ආදීන් ඉන්ටෙලිජෙන්සියාව  ලෙස  හැඳින්වුනි. ඔවුන්ට කිසියම්  වරප්‍රසාද සහිත ජිවිතයක් තිබුණි. කැතරිනා ගෝෂා හමුවීමට කලින්  අනියම් සම්බන්ධයක් පවත්වා ගෙන ගියේද එවැනි විවාහකයෙකු සමගය. එවැනි සම්බන්ධතා බොහොමයක් සෝවියට් දේශයේ තිබුණි. කාන්තාවන් බොහෝ විට පිරිමින් තරම්ම නිදහස් නිසා විය හැකිය.    

චිත්‍රපටයේ ඉතා සියුම් ලෙස පක්ෂ නිලධාරීන්, ඉන්ටෙලිජෙන්සියාව සහ සාමාන්‍ය මිනිසුන් අතර පෙන්වයි. නමුත් චිත්‍රපටය සෝවියට් දේශයේ එදවස තිබූ තත්වයේ සොඳුරු බවක්ද පෙන්වයි. "සෝවියට් සිර මැදිරියේ සිට" නවකතාව  ලියූ ඔරුවල බන්දු  සිටියේද මේ කාලයේමය.    එය සිර මැදිරියක් වූයේ මිනිසුන්ට වෙනත් රටවලට යාමට නිදහස නොතිබූ නිසාද නැතිනම් බන්දුට ආචාර්ය උපාධිය  කිරීමට ඉඩ නොදීම නිසාද යන්න පැහැදිලි නැත.

නැගෙනහිර ජර්මනියේ උපත ලද මගේ බිරිඳද මේ චිත්‍රපටය මා සමග නැරඹුවාය. ඇය කියන්නේ සෝවියට් දේශයේ තිබූ තරම් නිදහසක් නැගෙනහිර ජර්මනියේ නොතිබූ බවය. ඇගේ දෙමාපියන් ඇයව පල්ලියේ  භෞතිස්ම කළ නිසා  ඇයට විශ්ව විද්‍යාලයට ඇතුලත් වීමට අවසර නොදුන් බව ඇය කීවාය. ඇයට ඉගෙනීමට ලැබුනේ දෙමාපියන් දියණියන් සමග බටහිරට ආ පසුවය.  මා උගත් විශ්ව විද්‍යාලයට පිට ගම් හා නගර වලින් පැමිණි බොහෝ සිසුන් කොම්සොමෝල් සාමාජිකයන්ය. 

ජවිපෙ  ගැන කියනවානම් මට හැඟෙන්නේ  කලින් ජාතිවාදී, ජාතිවාදී විරෝධී හා මධ්‍යස්ථ ඔලු තුනේ මකරෙකු සිටි  එය තුනට කැඩුනේ විරවංශ ජාතිවාදී පැත්තට ගොස්  කුමාර් ගේ පැත්ත ජාතිවාදී විරෝධි හා අනුරගේ පැත්ත මධ්‍යස්ථ ප්‍රතිසංස්කරණවාදී   ලෙස බෙදිමෙන්ය.    ඔවුන් පිහිටුවන රජයක් වඩා ලිබරල්වාදී එකක්  වේවිද නැත්නම් සමාජවාදී එකක් වේවිද යන්න කීම තවම අපහසුය.  බොහෝ විට සමාජවාදයට වඩා බර ප්‍රතිසංස්කරණ වාදී රජයක් වීමට බොහෝවිට අවකාශයක් තිබේ. 

-අජිත් ධර්මකීර්ති 26/02/2023

චිත්‍රපටය:



29 comments:

  1. තමන් විහින් සාදාගත් හිර ගේක
    එහෙමත් නොමැති නම් හොඳටම පටු ලොවක
    හිරවී ඉන්න රිසි මිනිසුන් වැඩි තැනක
    අරුත හොයමු 'මනුසතාගෙ පැවැත්ම'ක

    ReplyDelete
    Replies
    1. නිදි ගේ කාව්‍යමය හැකියාවන් එන්න එන්නාම දියුණු වෙනවා කියලයි පෙනෙන්නේ

      Delete
  2. රෝහණ ගලප්පත්ති27 February 2023 at 01:22

    අජිත් ධර්ම කීර්ති හදන්නේ ජෙවිපේ දෙකඩ කිරීමේ රනිල් හාමුගේ කොන්ත්‍රාත් එක ඉටු කිරීමක්.

    ජනතා විමුක්ති පෙරමුණට ආදරය දක්වන සියල්ලනි. අජිත් ධර්ම කීර්ති ගෙන් පරිස්සම් වන්න.

    ReplyDelete
    Replies
    1. 😄මම හිතන්නේ නැහැ ටිල්වින් සහෝදරයා වත් මෙහෙම මෝඩ කතා කියයි කියල ඒ මහත්මය බොහොම සන්සුන්ව පිළිතුරු දෙන්නේ ප්‍රශ්නයක් ඇහුවමත්. ඔය ජවිපෙට සපෝර්ට් කියල පෙන්වාගෙන අන්තර්ජාලයේ සැරි සරණ පිස්සන්ගෙන් තමයි ඒ පක්ෂයට වැඩිම පාඩුව එන්නේ. දැන් විමල් විරවංශ සහ කුමාර් ගුණරත්නම් කඩාගෙන ගියේ (ඒකෙන් පක්ෂ සාමාජිකත්වය පවා බෙදුන ) රනිලා නිසාද නැත්නම් පක්ෂ අභ්‍යන්තරයේ ඇතිවුණු සාකච්ඡා විසඳ ගන්න බැරුවද? මම ලියනෙන් පිටින් බලන නිරීක්ෂකයෙකුට පෙනෙන දේ, ඊක එහෙම නෙමෙයි නම් ටිල්වින් සහෝදරයට හෝ අනුරට ඒක ගැන කීව හැකි. අනික් පක්ෂය කොයි මවතටද යන්නේ කියන එක ගැන ඕනෑම වාමාංශික පක්ෂයක අභ්‍යන්තර මතවාද තියෙනවා. තියෙන්න පුළුවන්. ඒක හොඳක් මිසක් වැරැද්දක් නෙමෙයි. අර x කණ්ඩායමේ වගේ කතා විධිහට කඩාගෙන යන්නේ නැත්නම් ඒක හොඳයි. අපට පෙනෙන්න තියෙන දේ අපි ලියන්නේ එක එක රනිල් ගෙයි අරූ ගෙයි මුගේයි උවමනාවට නෙමේ. එහෙම කරන්නඅවශ්‍යතාවයකුත් නැහැ. මොකද රනිල්ට කියල අපි ජොබ් ගන්නැය.

      Delete
  3. අන්රයිය බොක්කෙන්ම වැඩේට බැහැල... කඳුළු ගෑශ් කාල හෙම ඉන්නෙ. වසන්තයට පුලුහංනම් මට බැරි මොකැයි කියන්නා වාගේ

    ReplyDelete
    Replies
    1. ඉතින් ඒක හොඳයිනේ. ජනතාව වෙනුවෙන් , චන්ද අයිතිය වෙනුවෙන් පාරට බැසීම හොඳ දෙයක් කියල මම හිතන්නේ

      Delete
    2. මං ඒක විහිලුවට වාගේ කිව්වට... අනිවාර්යයෙන්, මේ වෙලාවේ ආණ්ඩුවට කොයි කොයි පැතිවලිනුත් විරුද්ධ නැගීහිටීම් එන්ට උමනයි

      Delete
    3. මං ඒක විහිලුවට වාගේ කිව්වට... අනිවාර්යයෙන්, මේ වෙලාවේ ආණ්ඩුවට කොයි කොයි පැතිවලිනුත් විරුද්ධ නැගීහිටීම් එන්ට උමනායි

      Delete
    4. This comment has been removed by the author.

      Delete
    5. අවුලක් නැහැ. ඔයාට ඕන දෙයක් ලියන්න අයිතිය තියනවා පෞද්ගලික අපහාස සහ , මඩ නොගහ. කොමෙන්ට් මොඩරේෂන් දාන්න වුනා ආයෙත් පිස්සෝ නිසා 😄

      Delete
    6. (ලංකා ඊ නිව්ස් -2023.පෙබ.28, ප.ව.11.30) ශ්‍රී ලංකාවේ බලධාරීන් බලය භාවිතා කිරීමේදී සංයමයකින් කටයුතු කළ යුතු අතර සාමකාමීව රැස්වීමට ඇති අයිතියට පහසුකම් සැලසිය යුතු යැයි ඊයේ ජාජබ සාමකාමී උද්ඝෝෂනයට පොලිසිය එල්ල කළ ප්‍රහාරය පිලිබඳව අද(28) සවස ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් සංවිධානය නිවේදනයක් නිකුත් කරමින් පවසයි. ඉංග්‍රීසි බසින් ඇති එම නිවේදනයේ සිංහල අනුවර්තනය පහත පරිදි ය.

      ශ්‍රී ලංකාවේ කොළඹදී පොලීසිය විසින් නීති විරෝධී ලෙස ජල ප්‍රහාර සහ කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කිරීම හේතුවෙන් එක් විරෝධතාකරුවෙකු මිය ගොස් දුසිම් ගණනක් තුවාල ලබා ඇති බවට පළ වූ පුවතට ප්‍රතිචාර දක්වමින් ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් හි විරෝධතා දැක්වීමේ අයිතිය පිළිබඳ කලාපීය පර්යේෂක හරින්ද්‍රිනී කොරියා මෙසේ කීය.

      “රටේ මාස ගණනාවක් පුරා පැතිර ගිය විරෝධතාවලින් පසුව වුවද, සාමකාමීව රැස්වීමේ නිදහසට පහසුකම් සැලසීමේ සහ එක්රැස්වීම්වලදී බලය යෙදවීමේදී සංයමයකින් කටයුතු කිරීමේ ඔවුන්ගේ යුතුකම ශ්‍රී ලංකා පොලිසියට නිරන්තරයෙන් මතක් කර දීමට සිදුවීම කනස්සල්ලට කරුණකි. පසුගිය මාස කිහිපය තුළ පොලිසියේ ක්‍රියාවන් නිසා අද තවත් මරණයක් ඇතුළු බොහෝ සාමකාමී විරෝධතාකරුවන්ගේ ජීවිත අහිමි විය.

      “සාමකාමී රැස්වීමක් අතරතුර පුලුල් ප්‍රචණ්ඩත්වයක් නොමැති අවස්ථාවක, පුද්ගලයන්ට එරෙහිව අඩු මාරාන්තික ආයුධ එනම් විනාශකාරී බලපෑම් ඇති කෙරෙන සහ හානි කිරීමට ඉහළ විභවයක් ඇති ආයුධ භාවිතා නොකළ යුතුය. විරෝධතාකරුවන් විසුරුවා හැරීමේදී ඔවුනට පලා යාමට හැකියාවක් නොමැතිව සීමිත අවකාශයක සිටියදී, ජාත්‍යන්තර මානව හිමිකම් නීතියට හා බලය භාවිතා කිරීමේ ප්‍රමිතීන්ට පටහැනිව පොලිසිය ජල ප්‍රහාර සහ කඳුළු ගෑස් භාවිතා කළ බවත් ඊයේ වීඩියෝ පටවලින් පෙන්නුම් කරයි."

      "විරෝධතා සන්දර්භය තුළ වාර්තා වූ මරණ ඇතුළුව, මානව හිමිකම් උල්ලංඝනය කිරීම් පිළිබඳ සියලු චෝදනා සම්බන්ධයෙන් ස්වාධීන හා අපක්ෂපාතී පරීක්ෂණ කඩිනමින් දියත් කළ යුතු අතර, සාධාරණ නඩු විභාගවලදී වගකිව යුතු සියලු දෙනා නීතිය හමුවට පමුණුවනු ලැබිය යුතුය."

      පසුබිම:

      පළාත් පාලන මැතිවරණය කල් දැමීමට එරෙහිව 2023 පෙබරවාරි 26 ඉරිදා ජාතික ජන බලවේගය විසින් කොළඹදී විරෝධතාවක් පවත්වන ලදී.

      ශ්‍රී ලංකා පොලිසිය ප්‍රතිචාර දැක්වූයේ සාමකාමී විරෝධතාවලට අධික ලෙස ජල ප්‍රහාර සහ කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කිරීමෙන් එක් පුද්ගලයෙකු මිය ගිය අතර දුසිම් දෙකකට වැඩි පිරිසක් තුවාල ලබා රෝහල් ගත කර ඇත.

      -ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්

      Delete
    7. 👍.........

      යූ බටේන්... ෆිලුම බාගතවෙන්ට දැව. බල්ල මක්ක හරි කියඤන්!

      Delete
  4. ඉතාමත් ආසාවෙන් කියෙව්වා. අර චිත්‍රපටිය ගැන විචාරය මසුරං ඈ? ඒකෙ අධ්‍යක්ෂක වගේ වගේ සුන්දර කලාකාරයො, චීනෙත් ඉන්නව නං කියල හිතුනා. මට දේශපාලනය ගැන ඒ හැටි ලොකු දැණුමක් නෑ. ඒත් ඇස් පනාපිට පේන දේ කියන්න, අයිතිය අපටත් තියෙන්නෙ ඕනෙ නෙව?

    දැන් අන්‍රයියාගෙ සමාජවාදී ලංකාවෙ, දොං සේතංට ලැබෙන්නෙත් රබෝචි දොම්ද, දාචාද, කොමියුනාල්කද? ඔය ඉහල මධ්‍යම පන්තිය හුරතල් කරන එකට, පක්ෂයේ අය අතර "තොරොම්බල් කරනවා" නමක් තියනව කියල පැරා කිව්වා. ඒ වචනෙම තියනවා, සම්පූර්ණ තොරණෙ විස්තරේ.

    ReplyDelete
    Replies
    1. පැරා දැන් රනිල්ට කඩේ යන එකනේ කරන්නේ. ඒක එයාගේ අයිතිය. මේ චිත්‍රපටි බොහොම සියුම්ව කරලා තියෙන්නේ. ඒකයි ඒවා අදත් බලන්න පුළුවන්. ඉංග්‍රීසි උප සිරැසි තියෙන නිසා බස්සට බලන්න පුළුවන් වෙයි. තියෙන වරණ මග හැර ගනිමින් එහෙම කරන එකම දක්ෂතාවයක් . මේ චිත්‍රපටය සෝවියට් විරෝධී එකක් නෙමෙයි.

      Delete
    2. මම හිතන්නේ අනුරගේ පැත්තෙන් සමාජවාදී රටකට වඩා සමාජ ප්‍රජතන්තරාදී රටක් එන්නේ කියල. මා සමග කල සාකච්චාවේදී ටිල්වින් සහෝදරයා අපට ලේබල් අවශ්‍ය නැහැ කියන කීමෙන් අදහස් කලේ ඒක කියලයි මම හිතන්නේ. ඒක යූ ටියුබ් එකේ තියනවා.

      Delete
  5. මාත් comedy film එකක් කරන්න ඉන්නෙ ලංකාවෙ campus එකකට select නොවී වැලේ වැල් නැතුව ඉන්දැද්දී පෙර පිනකට සෝවියට් රුසියාවට ගිහින් පිනට ඉගනගෙන නෑ මං ඒ කාලෙ එහෙ ගියෙ අර සෝවියට් යුගයෙ පොත් වල තිබුනු කාරණා දැන ගන්න කියල දැන් කයිවාරු ගහන ජෝකරයෙක් ගැන.

    ReplyDelete
    Replies
    1. "කාරණා ඇත්තද කියල දැනගන්න"ලෙස නිවැරදි විය යුතුය

      Delete
    2. මම පෙර පින් විශ්වාස කරන එකෙන්ක් නෙමේ ඇනෝ. මම හිතන්නේ මගේ ගෙදර තවම තියන ව මට කොළඹ විශ්ව විද්‍යාලයට සහ ඊට පස්සේ මොරටුවට යන්න ආපු ලියුම්. ගණකාධිකාරිවරයෙක් වෙන්න තොර ගත්ත එකත් තියනවා මහිතේ. ඒ දිනවල් පන්තියේ හිටි සමාජවාදී පැත්තට බර තුන් දෙනාගෙන් කෙනෙක් මම. ඔන් පන්තියේ නමත් දාල තියනවා. ඒ කාලේ කෙනෙක් ගෙන් අහන්න. ඇනෝ ට ඕක ඔපමනම වදයක් නම් මම ලංකාවේදී හම්බ වෙලාම පෙන්වන්නම් දවසක් දාගමු
      https://kolambagamaya.blogspot.com/2017/01/blog-post_5.html

      Delete
    3. අජිත් ඔබ ඉහත ඇනෝගේ උගුලට අසුවී ඇත.

      Delete
    4. එහෙමත් නැහැ සෙකන්ඩ් ඇනෝ . ඔය කොමෙන්ට් එක දාන ඇනෝ අවුරුදු ගානක ඉඳන් ඔය කොමෙන්ට් එකම දාන කෙනෙක්. එනිසා දැන් කොමෙන්ට් මිතුරෙක් වෙලා. ඉතින් ඔය උත්තරේ තමයි මම හැමදාමත් දෙන්නේ.

      Delete
  6. This comment has been removed by a blog administrator.

    ReplyDelete
    Replies
    1. This comment has been removed by a blog administrator.

      Delete
  7. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  8. ජවිපෙ සාමාජිකයන් ගෙන් 99% සමන්විත වුනේ ග්‍රාමීය බොදු ඒක භාශික - සිංහල පමනක් දන්නා බාහිර ලෝකය දැක නැති සංස්කෘතික වශයෙන් පසුගාමී වූ බටහිර සංස්කෘතියට ආගන්තුක වූ පිරිසක ගෙන් . මේ නිසා ඉහල මධ්‍යම පන්තිකයන් ගෙන් ඔවුන් කොන් උනා. විජේවීර මේක දැක්කා ඒ නිසා ඉහල මධ්‍යම පන්තික බටහිර ලෝකයට විවෘත වූ ඉංග්‍රීසි භාෂනයේ හැකියාව තියන සුසිල් සිරිවර්ධන , විරාජ් ප්‍රනාන්දු සුනිලා අබේසේකර වගේ පිරිසකුත් පක්‍ෂයට ලං කර ගත්තා. නමුත් මේ අයව යොදාගත්තේ ආකර්ශනීය බවක් ඇති කරන්න සහ උපකරණ සේ භාවිතා කරන්න. භාවිතා කල පසු මේ අයට සී අයි ඒ කියා කාඩ් එක ගසා අයින් කලා. වර්තමානයේ හරිනි අරබයා ජවිපෙ කරන්නෙත් මේකයි. මහාචාර්‍ය නලීන් සිල්වා කියන්නේ හරිනි අමරසූරිය කරාව කුලයේ අයෙකු වීම නිසාත් ඇයව ජවිපෙ විසින් තෝරා ගත්තා කියලා. නමුත් ඉදිරි කාලයේ හරිනි අමරසූරිය ගෙන් අවශ්‍ය ය වැඩ ගත් පසු ඇයටද සී අයි ඒ කියා කාඩ් එක ගසා අයින් කිරීමේ සම්භාවිතාවක් තියනවා.

    ReplyDelete
  9. දින වකවානු නිශ්චිතව මතකයේ නැතැත්, ඒ මීට වර්ෂ දහයකට දොලහකට පමණ පෙර එක්තරා සොඳුරු දවසක්, යැයි මට කිසියම් මතකයක් ඇත.
    මා එය සොඳුරු මතකයක්, ආදරණීය මතකයක් යැයි පවසන්නේ ,මනුස්සකම් පිරී ඉතිරුනු මිනිසෙකු, වැඩිමහල් සොහොයුරෙකු, මිතුරෙකු මා එඳින හැඳින ගත් නිසා ය.
    මාධ්‍යවේදිනියක ලෙස ප්‍රධාන ධාරාවේ දේශපාලන පක්ෂයක ප්‍රධාන ලේකම්වරයෙක් මට පළමුව හමුවුණේ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා ය. ටිල්වින් අයියා ය.
    දේශපාලන භූමිය එම කාල වකවානුව තුළ තිබුණේ අතිශය උණුසුම් වටාපිටාවක ය. තැනක ශිෂ්‍ය අරගලය. තැනක කම්කරු අරගලය. තැනක උද්ඝෝෂණය .තැනක වර්ජනය. තැනක සත්‍යග්‍රහ ය.
    මේ කියන දින උදෑසන මම ලක්බිම පත්තර කන්තෝරුවට පැමිණියේ ලිප්ටන් වටරවුමට, කොටුව ඉස්ටේෂමට, මරදාන ටෙක්නිකල් හංදියට හෝ කොහේ කොතැනක හෝ අරගල භූමියකට යන්නට සූදානම්වය. සියලු පක්ෂ වලට අයත් සහ ස්වාධීන විවිධ වෘත්තිය සමිති මාධ්‍ය ආවරණය පත්තර රස්සාවේ මගේ කොටසක් නිසා ඕනෑම මොහොතක මම ඊට සූදානම් ය.
    ලක්බිම පත්තර කන්තෝරුවේ පඩිපෙළ නැග උඩට ආවා පමණි. ප්‍රධාන කර්තෘ ජටිල අයියා (ජටිල වැල්ලබඩ) මා එනතුරු බලා සිටියාක් මෙනි. "නංගි මේ දැන්ම ඔයා ජේවීපි එකේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා කන්ටෑක්ට් කරගෙන ඉන්ටර්විව් එකක් කරල අදම ගන්න. මේක අර්ජන්ට්. දැන්ම වාහනයකුත් දාගෙන යන්න".
    "අයියේ....මේ... ?'' මා කතා කරන්න හැදුවා පමණ ය.
    "නංගි, මේ කතා කරන්න වෙලාවක් නෑ .දැන්ම යන්න.. " ඔහුගෙ සොඳුරු අණ හැමදාමත් එසේ ය.
    ජටිල අයියාට කතා කර පලක් නැත. දැන් ඇත්තේ දුන් වැඩය කිරීම පමණ ය.
    බොහෝ පක්ෂ විපක්ෂ විවිධ දේශපාලන චරිත, මැති ඇමැතිවරුන්, අමාත්‍යාංශ ලේකම්වරුන්, වෛද්‍යවරුන්, වෘත්තීය සමිති නායකයින්... මේ ආදී බොහෝ පිරිස් ඉන්ටර්විව් කර තිබුණද ජටිල අයියා මේ කියූ පුද්ගලයා ඉන්ටර්විව් කිරීමට මා තුළ කිසිදු කැමැත්තක් තිබුණේ නැත. ඔහු ගැන පහන් හැඟීමක් නොතිබුණා පමණක් නොව මෙය මඟ හරින්නේ කෙසේද කියා මගෙ සිතත් සමඟ කළ තර්ක විතර්ක සැලසුම් ද බොහෝ විය.
    පක්ෂ විපක්ෂ බොහෝ මැති ඇමැතිවරුන් සමඟ අතිශය සුහදව මාධ්‍ය කටයුතු කර තිබූ මට, මෙම සැර පරුෂ යැයි මා සිතා සිටි පුද්ගලයා හමුවීමට ගියේ අදාළ සාකච්ඡාව නොකර සිටීමට ගත් සියලු උත්සහයන් ව්‍යර්ථ වීමෙන් පසුව ය.
    පැලවත්ත ජවිපෙ පක්ෂ මූලස්ථාන කාර්යාලයේ ඔහුත් මාත් අතර තිබූ ටීපෝව මත මගෙ කුඩා රෙකෝඩරය තබා අප සාකච්ඡව ආරම්භ කරන්නට විමූ. මෙහිදී ඔහු ඉතා කාරුණිකවත් සුහදශීලී ලෙසත් කියා සිටියේ තමන් සාකච්ඡාව අවසන් වූ වහාම යාපනය බලා පිටත් වෙන බැවින් පැය බාගයක් ඇතුලත එය අවසන් කරන්නට හැකිද කියා ය. මම එකඟ වීමි.
    සාකච්ඡව ඉතා අර්ථවත් ලෙස ගලා යයි. ඔහුගේ පිළිතුරු ඉතාම පැහැදිලි ය. නිරවුල් ය. විටින් විට අප සිටින තැනට පැමිණ යම් යම් කාරණා විමසන පක්ෂයේ සහෝදරවරුන්ට බොහෝ ලෙන්ගතුව, ගයිඩ්ලයින් දෙමින්, විටෙක මගෙන් සමාවද අයදමින් සාකච්ඡාව ද නිරවුල්ව පවත්වාගෙන මෙම අපූරු පුද්ගලයගේ දක්ෂතාවය විටෙක මා විශ්මයට පත් කළ බවද සැබෑ ය. ඔහු දහදෙනෙක් සමඟ කතා කළත්, කතාව නැවත්වූ තැනින් යලි ඉතාම පැහැදිලිව පටන් ගැනීම එයට හේතුව ය.
    සාකච්ඡාව අවසන් වූ වහාම මම ලක්බිම වාහනයටත්, ඔහු යාපනයේ යන්නට ඔහුගේ වාහනයටත් නැගුනෙ එකටම බව මට මතකය.
    පාර්ලිමේන්තු සීමාව පසුවුනා පමණ ය. මම රෙකෝඩරය ඔන් කර, හාෆ්ශීට් කොල ටිකද ලං කර ගත්තේ වාහනයේ සිටම වැදගත් කාරනා ටික සටහන් කරගන්නට ය.
    අවාසනාවකි...රෙකෝඩරයේ අපේ සංවාද කිසිවක් නැත. මා සටහන් ලියාගෙන තිබුණේ ද නැත.
    "

    ReplyDelete
    Replies
    1. නංගි මේක වැදගත් ඉන්ටර්විව් එකක්.හෙට පිටුවට ගන්නවා" ජටිල අයියාගෙ හඬ දෝංකාර දෙන්නාක් මෙනි. දෑසෙ උතුරන කඳුලට සියල්ල බොඳව ඇත. මම ඔහුගෙ දුරකථනයට ඇමතුමක් ගත්තේ කරන්නට අන් කිසිවක්ම නොවු තැනය.
      කතා කරනවා වෙනුවට මම හඩන්නට විමි. "නංගි කියන්න මොකක්ද ප්‍රශ්නේ. ඔහුගෙ හඩ දයාබර ය.
      "අයියේ ....ඉන්ටර්විව් එක රෙකෝඩ් වෙලා නෑ..මේක අදම ඕනේ අයියේ,,".
      පත්තර ලෝකයේ එවකට අත්දැකීම් සම්භාරයක් නොතිබූ මට මෙය දරාගැනීමට නොහැකි වීම නිසාම මා පත් වූ තත්ත්වය සැබවින්ම අසරණ ය.
      " නංගි ...ඔයා දැන් ඔයාගෙ ඔෆිස් එකට යන්න. අඬන්න එපා. ඔයා ගිහින් මට කතා කරන්න. ඔයාගෙ ඉන්ටර්විව් එක හෙට පත්තරේ යනවා..".
      ජටිල අයියාගේ මුහුණ සිනාවෙන් පිරී ඇත. "වැඩේ හරි නේ නංගි. ඕක ඉක්මනට ලියාගෙන එන්න".
      අහිංසක මට සිදුව ඇති අලකලංචි කිසිවක් ජටිල අයියා දන්නේ නැත.
      මම කාර්යාලයේ දුරකථනයෙන් ටිල්වින් අයියාට ඇමතුමක් ගත්තේ ඔහුගෙන් පිළිවෙලට මුලින් ඇසූ ප්‍රශ්න, එකිනෙක පටලගනිමිනි. මගේ ප්‍රශ්න මටත් වඩා ඔහුගෙ මතකයේ තිබිණ.
      "නංගි කලබල නැතුව ලියන්න. මම හිමිහිට කියන්නම්".
      රැස්වීම් වාර්තා කිරීමේ දී ඩිරෙක්ට් කොපිය ගහන්නට නොහැකි මම පත්තරකාරියක ලෙස ලියූ ප්‍රථම ඩිරෙක්ට් කොපිය ද එය විය.
      "ෂා..දක්ෂ කෙල්ලෙක් නේ.." යි හැමදාමත් අප කරන පුංචිම දේ හෝ මහ ඉහළින් අගයන ආදරණීය ජටිල අයියා අද ජීවත්ව සිටියා නම් ඒ දක්ෂ කෙල්ලට එදා විදින්නට සිදු වු දේ දැනගන්නවා ඇත.
      පහුවෙනිදා පිටුවක් පුරා පළවී තිබූ ඒ සම්මුඛ සාකච්ඡාව හොඳම සාකච්ඡාව යැයි ජටිල අයියා කියූ විට මම සිනා සුනෙමි. අදත් මම සිනාසෙමි. ඒ සිනහව, ඒ සතුට මට තිළිණ කළේ, ආදරය, කරුණාව, නිහතමානීකම මනුස්සකම පිරි ටිල්වින් අයියා ය.
      එදාමෙදා තුර මගෙ පත්තර රස්සාව තුළ මම ඔහු තුළින් දුටු මානවවාදී ගුණාංගයන් බොහෝ ය. ඔහු විශ්වාස කරන දේශපාලනය තුළ ඔහු ඒ වෙනුවෙන් දරන මහන්සිය, කැප කිරීම, පරිත්‍යාග ,විඳ දරාගැනීම මෙන්ම සතර අතින් විටෙක එල්ලවන අවලාදයන්ට මුහුණ දෙන ආකාරය මේ සියල්ල විශාල ය.
      ජවිපෙ සහෝදරවරුන්ට පමණක් නොව බොහෝ මාධ්‍යවේදීන්ට ඔහු වැඩිමහල් සහෝදරයෙකි. මගේ සහෝදර බොහෝ මාධ්‍යවේදීන්ට මෙන්ම ඔහු මටත් වැඩිමහල් සොහොයුරෙකි. මිතුරෙකි. එවන් මිතුරෙකුට , එවන් සොහොයුරෙකුට සුබ උපන්දිනයක් බොහෝ සෙනෙහසින් ප්‍රාර්ථනා කරන්නෙමි.
      පසුව ලියමි.. මෙම කතාවේ නිදාන කතාව නදීශා චන්ද්‍රසේන නංගිගෙ තොරතුරු අනුව ගත් විට මෙය අවුරුදු 17 - 18 කට පෙර සිදුවූවක් විය යුතුව තිබේ. 😍 -Padmini Matarage

      Delete

සියලු හිමිකම් අජිත් ධර්මකීර්ති (Ajith Dharmakeerthi) සතුය. කොළඹ ගමයා බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ අජිත් ධර්මකීර්ති යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ.
මෙහි පලවන ලිපි සහ දේශපාලන අදහස් මගේ පෞද්ගලික අදහස් පමණි.
ඔබේ ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. නමුත් වෙනත් කෙනෙකුට සාධාරණ හේතුවක් නැතුව පහර ගසන අශිලාචාර අන්දමේ ප්‍රතිචාර පමණක් පල නොකෙරේ. බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ස්තූතියි .