Saturday, 29 April 2023

අතුරු නැවතුමක් - stop gap

මේ දිනවල මගේ ෆේස්බුක් වෝලයේ ටැග් කර තිබුණු වීඩියෝ කිහිපයක් නැරඹුවෙමි. මේවා වලට නොයෙකුත් ප්‍රතිචාර ලැබී තිබුණු මුත් සාරවත් විවේචන නුදුටුවෙමි.

ඔබ ජවිපෙ, පෙරටුගාමී, සජබේ  හෝ පොහොට්ටුවේ වේවා මේ ප්‍රචාර වීඩියෝ මගින් අසන ප්‍රශ්න ගැන ඔබටත් සිතෙන්නට ඉඩ ඇත. ඒ ගැන සාධාරණ විවේචන එල්ල කරන්නේ නම් හොඳය. සංවාද ඇතිවන්නේ එවිටය. 

මේවා සියල්ල කාබන් ටීවී චැනලය නමින්  සමබිම පක්ෂයෙන් ප්‍රචාරය කරන ඒවාය.

අරගලයේ තිබූ අනන්‍යතා අර්බුදය - එහෙම එකක් තිබුන කියල මටත් හිතුන. 


A/L ප්‍රශ්න පත්‍ර විරෝධය මාක්ස්වාදීද? තේරුමක් නැති විරෝධයක් කියල මට හිතෙන්නේ. 


වෘත්තීය සමිති යනු නව ත්‍රස්තවාදයක්ද? දන්නේ නැහැ. ඒවා හුඟක් වෙලාවට අපට තියෙන අයිතීන් රකිනවා. එංගලන්තයේ නම් එහෙමයි. හුඟක් වෙලාවට පඩි වැඩිවීම හෙම ගන්න වෙන්නේ වෘත්තීය සමිති හරහා. අසාධාරණ ලෙස ඇස කලොත් උදව් කරන්නේ සමිති උපදේශකයෝ.


ජවිපෙ, පෙසප මෝඩ වම වෙනුවට අලුත් වමක්

(මෙතැනදී ඕන දක්ෂිණාංශිකක් කියන්න පුළුවන් අලුත් වමක් වුනත් මෝඩයි කියල) 


රාජකීය විද්‍යාලයේ නව අර්බුදය සහ ජවිපෙ නීතිය - මම ජනප්‍රිය පාසැල් තියරියට කොහොමත් විරුද්ධයි.


Saturday, 15 April 2023

විපුලි යන්නම ගිහින් අවුරුද්දක්


විපුලි ගැන මේ සටහන  ලියන්න හිතාගෙන හිටියේ ගිය අවුරුද්දේ. අන්තිමේදී අවුරුද්දක් ගත වුනේ තේරෙන්නේ නැතිවම වගේ. මම හිතන්නේ මටත් බිරින්දෑ වන ඉනෙස් ටත් විපුලිගේ නික්ම යාම තවම කම්පනය ඇති කරන සිදුවීමක්. 
ගිය මාසේ  අපේ තාත්තගේ උපන්දිනේ තිබ්බ.  පෙබරවාරි විසි පහ. මම තාත්තා ගැන ලියපු ලිපියක් මෙතැන තියනව. තාත්තා යන්න ගියේ තරුණ කාලේදීම,  හුඟක් කලින් කියලයි මට හැම වෙලේම හිතුනේ.  තාත්තා නැති  වෙනකොට හැට දෙකකට  යන්තම් ලඟා වෙලා. ඒ වුනාට විපුලි එයාගේ ළමයි දෙන්න  වන සෙත් සහ උමානි දාල ගියේ හතලිස් නමය ඉවර වෙද්දී.  එයා ඊටත් වැඩිය තරුණයි. මං හිතන්නේ අපි වඩාත් කම්පනය වුනු කරුණ ඒක වෙන්න ඕනේ. 

මම දවසක් 2009 විතර  මගේ දුවල දෙන්න, ශනායායි ශකීරයි අපේ ගෙවල් හරියේ ඇල්බේනි කියන පිහිනුම් තටාකයේ පිහිනන්න එක්කන් ගිහින් එලියට එනවා. එලියට එන තැනම වගේ හෝල් එකේ  දකුණු ආසියානු  පෙනුමක්  ගැහැණු කෙනෙක් කොළ වගයක් තියාගෙන ඉන්නවා. මම ඔලුව දාල බැලුව. කොණ්ඩේ ක්‍රේල් ජැමෙයිකන් පෙනුමක් තියෙන පිරිමි කෙනෙක්  ළමයි දෙතුන් දෙනෙකුට කරාටේ උගන්වනවා. තව ඉන්දියන් කාරයෙක් වගේ උස මහත තරුණයෙකුත් සුදු කරාටේ කිට් එකක් ඇඳන් ඉන්නව. 

ඉතින් පසුව දැනගත් පරිදි ජැමයිකන් කාරයා අර හිටිය ගැහැණු කෙනාගේ හස්බන්ඩ් දුෂාන්ත පෙරේරා . ඉන්දියන් කාරයා  මංජුල  සේනානායක. දෙන්නම ලංකාවෙන් ආපු  ටයෙක්වොන්දෝ මාස්ටර් ල.  ගැහැණු කෙනා විපුලි පලිහක්කාර. පොල්ගහවෙලින් ලන්ඩන් ආපු සිංහල ටීචර් කෙනෙක්.  දුෂාන්ත සහ මංජුල ඊට පස්සේ මටයි , ශානි ටයි,  ශකී  ටයි  ටයෙක්වොන්දෝ ඉගැන්වුවා.  දුවල, විපුලිගේ ළමයි වන  උමානි හා සෙත් එක්කත්, මංජුල ගේ  දුව ස්ටේඵනි එක්කත් යහළුකම් ඇති කර ගත්ත. ඉනෙස්, විපුලි සහ සමන්තා   එක්කත් සෙට් වුනා. එහෙම තමයි ඒ කට්ටිය එකිනෙකා අඳුන  ගත්තේ. මම රතු බෙල්ට් එක වෙනකන්  ඉගෙන  ගත්ත. දුවල දෙන්නම බ්ලැක් බෙල්ට් කරලා සෙකන්ඩ් ඩෑන් වෙනකන් කළා. අපි අඳුනගෙන අවුරුදු 14 කට වැඩියි . 

අපි එකට හොලිඩේ ගියා. එකට පාටි දැම්ම. ඇවිදින්න ගියා. දුෂාන්ත පාටි කිං . පාටි වලට කෑම උයන්නත්  හොඳට පුළුවන්. මගෙයි  විපුලිගෙයි හැම වෙලේම තිබ්බේ දේශපාලන වලි සහ  ආගම ගැන සංවාද.  එක දවසක් විපුලි කියනවා, "මේ  බං අපි දෙන්න මේ අපේ හාමුදුරුවරුන්ට බනිනවා. කරන වැඩ වලට තමයි. ඒත් මුන් දෙන්න  මුකුත් කියන්නේ නැහැනේ උන්ගේ ආගම් ගැන . නිරෝෂ් හෙම (දුෂාන්ත ගේ අනිත් නම) පල්ලිත් යනව. ඔයාගේ  ඉනෙස් නුත් නත්තලට පල්ලි යනවනේ" කියල.  
මමයි විපුලියි බුද්දාගමේ, ඉනෙස් ජර්මන්  ප්‍රොතෙස්තන්ත. දුෂාන්ත කතෝලික. ඒ ගමන මායි  විපුලියි කතා කරගත්ත,  අපිත්  මිට පස්සේ හාමුදුරුවරු  විවේචනය නොකර ඉමුයි  කියල. හැබැයි මම විපුලිට  කීව මට ලියන්න නම් පුළුවන් වෙන්න ඕනේ කියල. 
මම දුටුව දෙයක් තමයි මේ මික්ස් ආගම් විවාහයේදී දුශාන්ත වඩා භක්තිමත් බව. ඒ වගේම කතෝලික යහළුවෝ බණ කියන වෙලාවට හෝ දානයක් වෙලාවටත් සිංහල අය එක්ක සෙට් වෙන බව. 

විපුලි නැති වෙන්න ළඟම කාලේ මට ආරංචි වුනා  විපුලි නොයෙකුත් යැදීම්  සඳහා ළඟ  පන්සලකට යනව කියල. අපි දෙන්න ඒ දවස් වල විවේචනය කරපුව ගැන දන්නා නිසා මට ඒකනම් හිතා ගන්න බැරුව කියා. විපුලි ජෙප්පියක්. ඒ කියන්නේ ජවිපෙ ට තමා සහයෝගය තිබ්බේ. ඉතින් මාත් එක්ක දේශපාලනය ගැන වාද කරනවා හමුවෙන හැම වෙලේම හෝ ටෙලිෆෝන් එකෙන් කතා කරද්දී පවා .මට බනින්නේ දීප්තිගේ ඒවා විතරයි කියවන්නේ කියල. මම එයාට කියන්නේ , 
"නැහැ මම හැම දේම කියවනවා.  ජවිපෙත් දීප්ති ලියනවා  වගේ දේවල් ලියනවනම් මම ඒවත් කියවනවා කියල. ත්‍රිමාණ සඟරාව විතරක් නෙමේ, ඒ  වගේ ලියන තව වෙබ් අඩවි තියනව. පරණ හිරු කට්ටිය කරන විකල්ප අඩවිය, කතිකා, ගාඩියන්   වගේ  ඒවා. ඔයාලගේ අය ලියන්නේ නැති එකනේ  වැරැද්ද කියල. ජවිපෙ නායකයෝ ඉන්නෙත් යන්නෙත් නිකන්  උඩින් උඩින්  වගේනේද  කියල.  ඔය සංවාද  වලට අපි යන්න ඕනේ නැහැ . අපි ඊට වැඩිය බලවත් නේ කියලනේ ජවිපෙ  හිතන් ඉන්නේ. ලෙනිනුත් එහෙම හිටියනම් යකෝ විප්ලවේ වෙන්නෙත් නැහැ. එහෙම නැතිව අනිත් අයට වගේ වෛරයක් මගේ නැහැ " කියල.
 සැකෙවින්ඔ කීවොත් ඔන්න   ඔය ජාතියේ  වාද තමා යන්නේ.  
"එහෙනම්  ඒ ගැන කියල ජවිපෙ ගැනත් මොනවා හරි ලියන්නකෝ" කියල විපුලි කියනව. මම දවසක් ලිපියක් ලියල බ්ලොග් එකේ ලින්ක් එක යැව්වා. බැනුම් ගොඩයි. 
"ඔයා අපිට කිසිම හොඳක් කියල නැහැ. හොඳක් ලියනවා වගේ  ලියල තියෙන්නේ බැනල." 
මං කිව්වේ " උඹ කියවනකොට හරියට කියවපන් කියල. පෙරටුගාමීන් මට  බනින්නෙත් ඔය විධිහටම  තමයි කියල." 
"අනේ මට තේරෙන්නේ නැහැ අජිත්. ඔයා ලියන්නේ ප්‍රහේළිකා" කියල ආයි බනිනවා. 

විපුලිගේ එක ඉල්ලීමක් මට ඉටු කරන්න  වුනේ විපුලි මිය ගියාට පස්සේ. ඒ තමයි ටිල්වින් සහෝදරයා එක්ක කල සාකච්චාව බ්ලොගයේ පළ කිරීම  සහ ලන්ඩනයේ තිබ්බ මාලිමාවේ  රැස්වීමට සහභාගී වීම. 

 පෙරටුගාමී පක්ෂයේ ලන්ඩන් ඉන්න සෙට් එක සංවිධානය කරපු දේවල් හෝ , අගෝරා ගැන ලියපු වෙලාවට ආයි කෝල් කරලා අහනව.
 "ආ දැන් ඔයා පෙරටුගාමී ද කියල."  මාත් එතකොට  අරින්නේ නැහැ.
මම කියනව "මේ පෙරටුගාමීන් හොඳ වැඩවගයක් කරලා තියනවා. අගෝරා  එකෙන් හෙම කරන ඒවා හොඳයි. ඉතින් ලීවම වැරැද්ද මොකක්ද? මොකක් හරි ලීවම එහෙම ලේබල් ගහන එක වැරදියි"
  
මම පෙරටුගාමී රැස්වීම් වලට හෙම ගියේ සේනක නිසා. සේනක ගේ ආදරණිය බිරිඳ නිර්මලී(මධු)  අපේ තාත්ත හිටි රෝහලේ වාට්ටුවේ හිටි නර්ස් නංගි කෙනෙක්.  මල්ලිට හා අම්මට  හුඟක් උදව් කරලා තියෙනවා තාත්තා බලා ගන්න. ඔය කතාව විපුලිට කීවට පස්සේ පෙරටුගාමී වැඩ වලට යන එක ගැන විවේචනය නැවතුනා. ඊට පස්සේ නම් කීවේ - "අනේ මටත් ආසයි  ඕවට යන්න, මට එන්න විධිහක්  නැහැ. වැඩනේ. ජොබ් දෙක තුනක් කරනවා. "  විපුලි හා දුෂාන්ත ගේ විසා ටයිප් එකේ හැටියට මෙහෙ ඉන්න  ගොඩක් අයට නිකන් හම්බවෙන දේවල් ලැබුනේ නැතිවා වගේම වීසා වලටත්  ගෙවන්න ඕනේ වුනා වැඩිපුර. ඒ අසාධාරණ විසා ප්‍රශ්නය  ගොඩක් අයට තිබ්බ. ඒ වගේ රැකියා කරන්න, ගේ දොර ළමයි බලා ගන්න නැත්නම් අනිත් අය වගේම සංස්කෘතික ජිවිතයකට ඔයිට වැඩිය යොමු වෙනවා. 

විපුලි තමයි මට පද්මිණි මාතරගේ  අඳුන්වල දුන්නේ. මගේ "සියාමා" පොත ප්‍රකාශයට පත් කරන්න ගිය වෙලේ. වසන්ති නානායක්කාර  ගැන කීවෙත් විපුලි. පද්මි එක්ක කතා කරලා පොත ගැන ප්‍රචාරයක් දෙන්න. මේ යෙහෙළියෝ  දෙන්න ගොඩක් කල් ඉඳන් දන්නවා. ඒ දෙන්නම දේශපාලනය තමන්ගේ මිත්‍ර සබඳතා වලට බාධාවක් කර ගත්තේ නැති දෙන්නෙක්. 
  
 ඕක සාමාන්‍ය ජවිපෙ, පෙරටුගාමී සෙට් වලට  අදාල කරන්න බැහැනේ. ඒ ගොල්ලෝ හොයන්නේ බලන්නේ එයාලගේ අය ගැන විතරයි. පක්ෂයට යාලු  කෙනෙක් ලියල නම් බර වැඩියි. (හැබැයි අපි ඒවා  ගැන විවේචනය   කලොත් අපි  වැරදියි ඈ)  පක්ෂ  වල අයට විතරයි සෝෂල් මීඩියා සපෝර්ට් එක. එළියෙත් එහෙමයි. හැබැයි කතා කරන්නේ නම් ලංකාවේ ඉන්න ඔක්කොම උන් බේරගන්න. මායි විපුලියි අතරේ ප්‍රධාන වලියක්  යන්නේ ඕව ගැන. "මගේ ප්‍රශ්නය වුනේ , බොලා  දැන් හැසිරෙන්නේ  මෙහෙම නම් උඹල බලයට ගත්තට පස්සේ හොඳටම නෙපොටිස්ම් ප්‍රැක්ටිස් කරයිනේ කියන එක. එතකොට උඹල සහ  මේ ඉන්න එවුන් අතර  තියෙන වෙනස මොකක්ද?"  හැබැයි අපරාදේ කියන්න බැහැ විපුලි  නම් ඔය අපේ දර්ශනී නංගි  වගේ පොහොට්ටු ආධාරකාරයෝ එක්ක බුකියේ පට්ට විධිහට  ඇරගෙන පස්සේ එකට පාටිත්  දානව.  විපුලිගේ මම දුටු හොඳ ලක්ෂනයක් වුනේ තමන් ජේවීපී වගේ පක්ෂයකට ආධාර  කරන  එක ගැන වාද කලාට ඒක හිසට අරගෙන ජිවත් වුනේ නැහැ. හැම අදහසක්ම තියෙන යාලුවෝ විපුලිය හිටියේ. 

 අන්තිම කාලේදී නං පොඩ්ඩක් වැඩි  වුනා විපුලි ගෙන් එන විවේචන. 
"අජිත් ලියනගේ අමරකීර්ති ව ඇඩ් කර ගත්තද. අනේ අපේ කෙනෙක්. කියවන්න හොඳද එයා ලියන ඒවා."  මම අමරකීර්ති මහත්මයාගේ  පොතක් ගැන විචාරයකුත් ලියල ඒ කාලෙම ඇඩ් කරගෙන තියෙන්නේ කියල කීවේ නැහැ ඕන කමින්ම. 
" පිස්සුද බං ඕවට වෙලාවක් නැහැ" කීවම ආයි බනිනවා. ඔයාට දිප්තියි, පෙරටුගාමියි තමා ලොකු කියල. 

ඊළඟ දවසක කතා කරලා  කියනව - "මේ අර සන්නස්ගල ගේ වීඩියෝ එක දැක්කද? 
මමත් කියනවා විපුලිව අවුස්සන්න " මොන වීඩියෝ එකද, ඒ මනුස්සය  සුමානෙකට පන්සීයක් විතර දානවනේ. බ්ලොග් සම්මානෙට ඇවිල්ල රාජිතයට නක්කියක් දාල කට්ටිය අල්ලාගෙන අනුන්ගේ තෑග්ග තමන්ගේ වගේ  දීලා ගිය එක්කෙනානේ, උන් එක පක්ෂේ නේද හිටියේ එකිනෙකා කපා ගත්තට " 
 ඔන්න ආයි බනිනවා. " අනේ තමුසේ යනව යන්න  ඔය රාජිතය පරාජිතයව  මතක් කරන්න එපා.  මේ ඕයි  සන්නා ශෝක්  වීඩියෝ දානවා. පොඩ්ඩක් බලනවා , සිංහල හොඳට උගන්වනවා ළමයින්ට. ඔයාලට  ඕව  පොඩ්ඩක්  බැලුවහම මොකද වෙන්නේ , සිංහල හරි ඉගෙන ගන්න." එතකොට තමයි මට මීටර් වුනේ. විපුලි ලංකාවේදී දේශපාලනය සහ සිංහල ඉගැන්නුව  ටීච නේ. 





මොන ප්‍රශ්න තිබ්බත් විපුලි කට පුරා හිනා වෙලා හිටි  චරිතයක්. ඒ වගේම පාටියකදී  ඉස්සෙල්ලම අපිත් එක්ක සබකෝලයක් නැතිව ඩ්‍රින්ක්  එකක් දාගන්නෙත් , ඉස්සෙල්ලම ඉනෙස් සහ අපේ තවත් යෙහෙලියක් වන ක්‍රිෂාන්ති එක්කත් නටන්න පටන් ගන්නේත්  විපුලි. පාටි එකට ආව  කට්ටිය නටන්න අදින ජීවය තමා විපුලි. අකැමැත්තෙන් ඇඹරෙන ඩිලානිව, මාලිකාව අදිනවා නටන්න කියල. 

අපි කට්ටිය එකට ගොඩක් විනෝද ගමන් ගියා.  විපුලිලා වගේම අපිටත් මෙහෙ වෙන නෑදෑයෝ නැහැ. ඉනෙස් ගේ මුළු පවුලම ජර්මනියේ. මගේ ඔක්කොම ලංකාවේ. හදිසියකට ළමයි තියල යන්න මිත්තනියක්, මුත්තණුවෙක් නැහැ. නැන්දෙක් මාමෙ  ක් නැහැ.  ඉතින් අපේ මිත්‍රත්වය වැඩි වෙන එක අනිවාර්යයි. 




මේක ලියන කොට ඉනෙස් මතක් කළා තව දෙයක්. අපි සංචාරයකට ගියා වේල්සයට. ස්නොව්ඩොනියා කන්ද නගින්න ගියහම විපුලි බූට් දෙකක් අරන් ඇවිත් නැහැ. සැන්ඩ්ල් දෙකෙන් මුළු කන්දම නැග්ගා. 
විපුලිගේ එක දක්ෂතාවයක් තමයි හැමෝම එක්ක හොඳ සම්බන්ධතාවයක් තියා ගැනීම. දුෂන්තත් එක්ක එකතු වෙලා මොකක් හරි පාටියක්, පොඩි අවුරුදු ක්‍රීඩා තරඟ ටිකක්, පික්නික් එකක් සංවිධානය කරන කොට  විපුලි හා දුෂාන්තට ඉන්න  යහළුවන් පරාසය පේනවා.  

අන්තිම කාලේ විපුලි අරගලයට සම්බන්ධ කණ්ඩායම් වලට සෑහෙන සහයෝගයක් දුන්න කෙනෙක් . අමාරුවෙන් හරි මුදල් වලිනුත් සැහෙන්න සම්මාදම් වෙලා තියනවා. යන්න වෙලාවක් නැතිවුනා කියල කීවත් සමහර උද්ඝෝෂණ වලටත් ගිහින් තියනව. හැබැයි  දැන් හිටියනම් පලු යන්න බනියි, ඊට පස්සේ එක එක වේදිකා වලට නගපු උන් දැකල .😆

විපුලි හොඳ  යාලුවෙක් වෙන්නේ,  නැති තැන යාලුවෙකුට බනින්නේ නැති, යාළුවෙක්ව ආරක්ෂා කරන චරිතයක් නිසා. විපුලි මට වුනත්  වෙන කා ගැනවත් වැරැද්දක් කියල නැහැ. 

විපුලි හදිසි අනතුරකට මුහුණ දුන්නේ අප්‍රේල් 14 අවුරුදු දවසේ. මගේ උපන්දිනේ 15. මම ඇත්තටම ඊයේ පෙරේද   හිතුන "මම නැතිව එහෙම  උඹලට පාටි දාන්න දෙන්න පුලුවන්ද, පන්සලට දානයක් දීපන් " කියල විපුලි අර සරදම් හිනාව දාගෙන ඉන්නව ඇති  කියල ඉන්න තැනක.  මං දන්නා  විධිහට ටීචින් කෝස් එකකට යන්න ලැහැස්ති වෙලා හිටියේ.  ඒකට යන්නේ නැතිව මෙහෙ ටීචින් කරන්න බැහැ.
 විපුලි "ඇට මැස්සා" පොත ඉංග්‍රීසියෙන් කියවන්න පටන් අරන් තිබුන.   ඒකෙ පිටුවක ලියල තිබ්බ "එවිට මම වාසනාවන්ත මැස්සෙක්මි ජීවත් වුවද මිය ගියද " කියල එයාගේ අත් අකුරෙන්.. පහල තියෙන්නේ එයාගේ අකුරු. 



දුෂාන්ත, උමානි හා සෙත් එකතුව  බණක් කියල   දානෙකුයි දෙන්න ලැහැස්ති කරල තියෙන්නේ. විපුලි නිවන් පතාගෙන ගියාද නැත්ද  දන්නේ නැහැ. 

ඒත් බං විපුලි ,  ඔය වෙන කොහේ හරි ග්‍රහ ලෝකෙක ඉපදිලා කැමැති පරිදි සුළුවෙන්  විස්කි ඩිංගක්   දාගෙන නටාගෙන හිටපන් බං. ආයේ මේ ලෝකෙට එන්න එපා. 

-- අජිත් -06/04/2023

Thursday, 6 April 2023

අහෝ පැරකුම් නොදිටි මොක්පුර or is he really sees what Deepthi saw


අජිත් පැරකුම් ජයසිංහ හෙවත්  පැරා දීප්ති කුමාර   ගුණරත්න  එක්ක "පත්තරෙන් එහා" සාකච්චාවක් දාල තිබ්බ. යූ බටේ. ඊයේ තමා ඇහුවේ. පැරා මේ දවස්වල අම්බානක බැනුම් අහනව රනිල් ට රෙදි නැතිව කඩේ යනව හෝ ආණ්ඩුවට කඩේ යනව කියල. මම දන්නා විධිහට දීප්තිත්, පැරත් දෙන්නම් රාජපක්ෂ ක්ලෑන් එකට විරුද්ධයි. මේ දෙන්නම මම දන්නා කාලෙක ඉඳල දෙමළ ජාතියේ ස්වයං නිර්ණයට පක්ෂාපාති වෙච්ච, සිංහල දුටුගැමුණු,  කාලිංග මාඝ/එළාර  ප්‍රභාකරන්  යුද්ධයට ඒ කාලේ ඉඳන්ම රෝහිත භාෂණ , වෙඩ්ඩලා වගේම විරුද්ධ වුන දෙන්නෙක්. ඒ කාලේ ජවිපෙ (සහ වර්තමාන කුමාර්ගේ ගුණරත්නම් ගේ  පෙසපද  ඇතුළුව) යුද්දෙට සහ රාජපක්ෂල ට ෆුල් සප් එක දුන්න එන්ටිටි එකක්.   එතකොට දැන් ඒ කොටස් දෙක වර්මාන අරගලයේ කොටස් කරුවෝ වෙලා ත්‍රස්ත විරෝධී පනතට විරුද්ධ වෙලා යාපනේ මිතුරෝ වෙලා. වසන්ත මුදාලිගේ යාපනෙත් ගියා  අන්තරේ වෙනුවෙන්.  පට්ට අවුල් වගේ නේද? අපි උඹලට ගැහුවා ඉස්සෙල්ල. දැන් වරෙල්ල අපි සාමය කතා කරන කොට වගේ සීන් කෝන් එක්ක නේහ්. මම අර ටිල්වින් සහෝදරයා  එක්ක සාකච්චාවේදී ඇහුවෙත් ඒකයි. ඒ කාලේ රාජපක්ෂලා එක්ක  එකතුවෙලා යුද්දෙට සප් එක දුන්න එකට දැන් පසුතැවිලි වෙනවද  කියල. 
එතුමා නම් කෙලින්ම නැහැ කීව. ප්‍රභාකරන්  සෙත්තපෝච්චි වෙච්චි එකට සමහරක්  දෙමළ ජනතාවත්  දැන් මුකුත් කියන්නේ නැති එකේ වැඩේ ඇත්තටම සෙට්ල් කියල මතු පිටින් පේනවා.

හැබැයි අර දීප්ති පැරා  දෙන්න දැන් රාජපක්ෂ ල රකින රනිල්ට සපෝර්ට් ලු.  එකියන්නේ වක්‍රව රකින්නේ රාජපක්ෂලාව? ඒකද ඇත්ත? 

මට පැරා ව හමුවෙන්නේ අහම්බෙන්.   ඒ කාලේ තිබ්බ අරුණි ශපීරෝ කියල බ්ලොග් එකක්. ඒක තවම ලියනවද දන්නේ නැහැ.ලින්ක් එකක් නැහැ. අර මාලන් රොෂාන් ෆේස්බුක් එකේ රෑන්ඩ් ගැන ලියන කොට මට මතක් වුනේ. මම ඒ කාලේ  අයින් රෑන්ඩ් පොත් වලට  පට්ට කැමතියි.. අරුණි ඒ මතවාදය අනුසාරයෙන්  ලියනවා කියල දැනගෙන ගියා කියවන්න. මට පේනවා අරුණි සහ උදිත මීගහතැන්න කියල දෙන්නෙක් ගුරුවරයෙකුට කොමෙන්ට් වලින් නෙලනවා. ගුරා කියලමයි නෙලන්නේ. අපි සාමාන්‍යයෙන් උපතින්ම පිඩිතයගේ පැත්තෙනේ. අපට උගන්වල තියෙන්නේ එහෙමනේ. නෝ මැටර් වට් දුයිෂෙන් ගේ පැත්ත ගන්න .ඉතින් මම පැරා ගේ පැත්තට බැට් කරා. නමුත් පැරා මාව  සත පහකට ගණන් ගත්තේ නැහැ හැබැයි😀. "ශාස්තෘ" නේ. එයාගේ අනුගාමිකයෙක් කියල  හිතන්න ඇති. අරුණි ට මම පොරොන්දු වුනා "ප්‍රාග්ධනය" කියවල ඊට පස්සේ    Böhm-Bawerk   ගේ පොත් කියවල සාකච්චාවකට එන්නම්  කියල. හැබැයි ඒක වුනේ නැහැ. ප්‍රග්ධනයේ දෙවෙනි වෙළුම තවම කියවන්න බැරි වුනා, අනිත් ඒවාට වෙලාව  කොහෙද?  හැබැයි ඒ දිනවල  හිතිච්ච දෙයක් තමයි , ඇමෙරිකාවේ ඉඳන් ලියන අයටත් , ඇමෙරිකාවේ ගිහිල්ල ආපු අනිත් අයටත්  අර ඇමෙරිකන් අභිමානය තියනව කියල. කියන දේ අපි අහන්  ඉන්න ඕනේ මිසක් වැඩිය තර්ක දාන්න ගියොත්   ඒ අය අවුල් වෙනවා. තරහ යනවා. ඒ අය විවේචනය කරන වාමාංශිකයොයි මෙයලයි අතර වැඩි වෙනසක් නැහැ. බ්ලොග් වල කමෙන්ට් දාන්න ගිහින් බැනුම් අහන්න තියෙනේ ප්‍රවණතාවය වැඩියි. ඒ නිසා මම ඒවාට යනවා අඩුයි.(ඇමෙරිකාන්ස්කි සිරිලන්කිස්කි බ්ලොග් වලට )  මම මේ පීචන් අමෙරිකන්ලා කතාව  ලීවේ ඒ කාලේ ඕකට පිළිතුරක් විධිහට. උදිත මීගහතැන්න ෆේස්බුක්  පේජ් දෙක තුනක් කරණ ජනප්‍රිය චරිතයක් දැන්.   

ඊට පස්සේ මම දිගටම පැරා ගේ W3ලංකා බ්ලොග් අඩවියේ රෙගියුලර් කියවන්නෙක් වුනා. ත්‍රිමාණ එක  ඒ කාලේ ඉඳන්ම කියවනවා.  හැබැයි ඉතින් ඒ කාලේ අරුණි ලා උදිතල කියපු දේම ටිකක් වෙනස් විධිහකට දැන් පැරා කියනකොට මොකද හිතෙන්නේ? 😀

හරි දැන්  වසර දෙක තුනක්  ඉදිරියට එමු. අපි කරපු බ්ලොග් සම්මාන උළෙලේ, මම හිතන්නේ පැරා ගේ බ්ලොගය හැම වසරේම දිනුව හොඳම දේශපාලන බ්ලොගය හැටියට.  ඒ උළෙලවල්  වලදී  මට පැරාව මුණ ගැහුනා. දියත උයනේ තිබ්බ  අන්තිම බ්ලොග් සම්මාන උළෙලට කලින් අපට ස්වාධින රුපවාහිනියේ   වැඩ සටහනකට යන්න ලැබුන. මේ වැඩ සටහන   අපේ බ්ලොග් යෙහෙලියක් සමන් අතාවුදහෙට්ටි අයියට කියල අර  ගත්ත කියලයි මම දන්නේ. ඕකට අජිත් පැරකුම් ජයසිංහත් සහභාගී වුනා. එන්න හිටි සුමිත් කලණසිරි හා තවත් අයෙක් ආවේ නැහැ.  පැරා කැමතිවුනා එන්න. ඉතින් අපි සහභාගී වුනා.

ඔන්න  මට උදේ කෝල් එක්ක එනවා පැරා ගැන. පැරාට  තමයි ආයෙත් අර දේපාලන කැටගරියේ  හොඳම ලිපියට සම්මානය ලැබිල තියෙන්නේ.  ඒකට මුදලින් රුපියල් 15000 ක ත්‍යාගයකුත් තියනවා, ඒ වර්ෂයේ ඒ මුදල දැනට වඩා වටිනවා. (දැන් 35000 විතර) දැන් පැරා ට ඕක දුන්නොත් අපට අපේ අයටම තෑගී දෙනවා කියල චෝදනාවක් එයිලු. ඇත්තටම පැරා සංවිධායක මඩුල්ලේ හිටියෙත් නැහැ. බ්ලොග් විනිශ්චය කලෙත් නැහැ. අර රුපවාහිනී සංවාදයට අපි වෙනුවෙන් සහභාගී වුනා විතරයි. ඩේලි නිව්ස් එකේ ලිපියක පැරා සුමිත් ගාවම ඉඳන් ඉන්නවා. කිරි අප්පට බල්ලෝ පැනපි. අන්තිම අසාධාරණ වුනත් මම  පැරා ට කතා කරලා මම පත්වෙලා තියෙන අසීරු තැන පැහැදිලි කළා. පැරා කැමතිවුනා තෑග්ග හා සම්මානය  අත් හරින්න. ඒක  දෙවනියට දිනලා තිබ්බ  බ්ලොග් අඩවියට ගියා. උළෙලේදී පැරා ඉඳගෙන ඉන්නව දැක්ක. එනිසා තමා මම කවුරු   කීවත් පැරා සල්ලි වලට ලියනවා කියල, ආණ්ඩුවට සල්ලිවලට කඩේ යනව කියල විශ්වාස නොකරන්නේ. ඒ දවස්වල බ්ලොග් ලියු රමිඳු ලක්ඛිත ද කොහෙදත් එහෙම එකක් ෆේස්බුක් එකේ කියල තිබුන. පැරා සල්ලිවලට ලියනවානම් ඒක  කෙලින්ම කියන කෙනෙක් කියලයි මම හිතන්නේ. ශාස්තෘ ම තමයි.  පැරා හැම  වෙලේම ඒක කීව. සල්ලිවලට දුන්නොත් ලියනවා කියල. ඒකෙ වැරැද්දක් නැහැ, ලොකුවට ස්වාධීනයි කියන ගාඩියන් ලේඛකයොත් සල්ලිවලටනේ  ලියන්නේ.

අනික පැරා ගේ ශාස්තෘ පොතයි එළියකන්ද වධ කඳවුර  ගැන පොතයි දෙකම මම කියවල තියනව. පැරාට බනින සමහර අය ඒවා අහලකවත් හිටියේ නැති අය. ඒ වගේ අත්දැකීමක් තියෙන හැම කෙනෙක්ම ආයේ විප්ලවයකට කැප වෙන්න ඕනේ කියල නියමයක්  නැහැනේ. ඒ විඳපු දුක් වලින් පස්සේ සාමාන්‍ය  ජිවිතයක් ගත කරන්න අයිතියක් තියෙන්න ඕනේ. බනින අයගෙන් හුඟක් අය පිටරටවල් වල හොඳ ජොබ්  කරන හොඳට ජිවත් වෙන අය. 

දිප්තියි පැරයි ඒ දවස් වල හොඳ නැහැ, මම දීප්තිට පොත ගැන කතා කරන්න  එන්න කියනකොට හෝ බ්ලොග් සම්මානේ බලන්න එන්න කියන කොට පැරා සහ දීප්ති දෙන්නම ඕක කීව, මගේ තව යහළුවෝ දෙන්නෙකුත් කැමති වුනේ නැහැ දීප්ති ඉන්නවනම් එන්න. ඉතින් මට දීප්තිව එක පාරක් ඇත්තටම හලන්න වුනා එක උළෙලකදී . දීප්ති එක්ක ඉන්නව නම්  යාලුවෝ නැතිවෙන  සීන් එකක් තියෙන්නේ. මොකද දීප්ති හැමෝවම නම් වශයෙන්ම විවේචනය කරන  නිසා .  හැබයි දැන් පැරා කියන්නෙත් ටිකක් එහාට මෙහාට කරලා  දීප්ති කියන දේමයි. 
 ඔන්න දැන් දීප්ති පැරා ව ගෙන්නලා පහුගියදා  පත්තරෙන් එහා වැඩ සටහනට. ඒක මෙතනින් බලන්න පුළුවන්.

දැන් ප්‍රශ්නේ මේකයි. දීප්ති කියනව අනුර කුමාර දිසානායක සමාජ ප්‍රජාතන්ත්‍රවාදී රජයක් හදන්න යන්නේ කියල. මටනම් ඒකෙ වැරැද්දක් පේන්නේ නැහැ, ලංකාවේ දැනට තියෙන මගුලට වඩා නම් හොඳයි. හරි එතකොට ප්‍රශ්නේ තමා සමාජ ප්‍රජාතන්ත්‍ර වාදී රටවල බදු  ගහනව වැඩියි. ස්වීඩනය, ජර්මනිය හොඳ උදාහරණ. ජවිපෙ සහ වෘත්තීය සමිති  විරුද්ධයි. පෙසපෙත් (පෙරටුගාමී), සජබෙත් විරුද්ධයි.  😕

තව ප්‍රශ්නයක්.  ලෝඩ් ලෝව්සන් ඔෆ් බ්ලබි හෙවත් බ්‍රිතාන්‍ය අගමැතිනි මාග්‍රට්  තැචර් ගේ මුදල් ඇමති (චාන්සලර්) තමා බදු අඩු කරලා  ආර්ථිකය ගොඩ ගත්තේ. පස්සේ වෙනත් ප්‍රශ්නෙකට ආණ්ඩුවෙන් අයින් වුනේ. එතකොට ගෝඨාභය රාජපක්ෂ බදු අඩුකරපු එක වැරදිද. නැහැ. අඩුකරපු විධිහ වැරදියි. එයාලට චන්දෙන් දිනන්න උදවව්  කරපු අයට බදු සහන දීල රජයට   ලැබෙන ආදායම අඩු කරල වැඩේ පට්ට අවුල් කළා. ලෝව්සන් එහෙමෙ නෙමේ කලේ. ඉන්ඩිරෙක්ට් ටැක්ස් හෙවත් වක්‍රව බදු ගහල ආදායම ගත්ත.

බදු අඩු කලහම මිනිසුන්ට වැඩිපුර  සල්ලි ලැබෙනවා වියදම් කරන්න. ඒ ගොල්ල වියදම් කරනවා. ට්‍රික්ල් ඩවුන් එකොනොමි කියල කොන්සේප්ට් එකක් තියෙන්නේ. ආර්ථිකය දියුණු වෙනවා. ඕකනේ අපිඅටා කියල දුන්නේ. 

හරි, ප්‍රශ්නේ ඒක නෙමේ. බදු ගහන එක සමාජ ප්‍රජාතන්ත්‍ර වාදී හෝ සමාජවාදී රජයන් වලින් කරන දෙයක් රජයට අදායම වැඩි කරල පොදු සේවා (අධ්‍යාපනය, සෞඛ්‍යය , ගමනාගමනය) වලට යොදවන්න. දැන් ඒක කරන්නේ රනිල් ගේ රජය.  සමබිමේ දීප්ති සහ කඩේ යන  පැරකුම්  සහයෝගය දෙනවා. එතකොට බදු වලට විරුද්ධ? ජාතික ජන බලවේගය. පෙරටුගාමී සමාජවාදී පක්ෂය, එල්ලීගෙන යන අනිත් අය , අන්තරේ හා සජබේ. සජබේ ට ඇත්තටම ප්‍රතිපත්තියක් තියෙනවද  කියන එකත් සැක  සහිතයි.   එතකොට තැචර් ප්‍රතිපත්තියට සහයෝගය දෙන්නේ ලංකාවේ වාමාංශය.

මේ අපබ්‍රන්ශය තේරුම්  ගන්නේ කොහොමද? 

අනිත් පැත්තට තැචර් රාජ්‍ය සේවය අඩු කළා. ඒක තමා  රනිල් කරන්න යන්නේ. දීප්ති සහ පැරා ලා ඒකට සහය දෙනවා කියලා පේනවා . වාමාංශික පක්ෂ විරුද්ධයි. එතැනදී අරක ආයි මාරු වෙනවා. 
නව ලිබරල් ධනවාදයේ දී රාජ්‍යය මැදිහත්වීම අඩු කරලා පුද්ගලික අංශය වැඩි කරන්න ඕනේ. අතිරික්ත සේවකයන් අඩු කරන්න ඕනේ. රාජ්‍යයට අයිති ව්‍යාපාර පුද්ගලික අංශයට දෙන්න ඕනේ. සජබේ දැන් මොකද්ද කරන්න ඕනේ? පියාණෝ කලේ ඔය රනිල් කරන්න හදන ඒවානේ.

ලංකාවේ ජනතාව දැන් කියන්නෙත් වැඩිපුර රාජ්‍ය සේවකයෝ අයින් කරන්න   කියල. ජවිපෙ සහ පෙසපේ ඒකට විරුද්ධ වුනාට ඔය වැඩි හරියක්  රාජ්‍ය සේවකයෝ හැම තැනටම රිංගව්වේ  වාමාංශික පක්ෂ නෙමේනේ. ශ්‍රීලනිපය සහ එජාපය. චන්ද ගන්න.   ඒ ගොල්ලම ඒ අයව අයින් කරන එක හොඳ නැත්ද?

මටනම් මේ ඔක්කොම පට්ට අවුල්. 

- අජිත් ධර්මකීර්ති 06/04/2023