Thursday, 28 September 2023

නොනිමි අරගලයක මතක ගිනි පුපුරු - වාමාංශික නෂ්ටකාමයට අතීතයෙන් ඩෝස් එකක්ද

නොනිමි අරගලයක



නොනිමි අරගලයක මතක ගිනි පුපුරු -    වාමාංශික නෂ්ටකාමයට අතීතයෙන් ඩෝස් එකක්ද 
**********************************************
නිර්පාක්ෂිකයන් කියා අරගලයට සහභාගී වූවන් පසුව කිසියම් පක්ෂ වල සාමාජිකයන් හෝ ආධාරකරුවන් බව පසුගිය කාලයේ කෙරුණු චෝදනාවකි. ලන්ඩන් කම්කරු පක්ෂයේ සාමාජිකයකුව සිට ඉන් ඉවත්වූ නිසා මා මෙහිදී නම් නිර්පාක්ෂිකය. ගාමිණී මුතුකුමාරණ සහෝදරයා විසින් රචිත "නොනිමි අරගලයක මතක ගිනි පුපුරු" ග්‍රන්ථය ලන්ඩනයේ එළි දක්වන දා  සභාව මෙහෙයවන්නට ඔහුගෙන් ලැබුණු ආරාධනාව මට විමතිය දනවන්නක් විය. මා ඔහුගෙන් මේ පිළිබඳව දෙවරක්ම ඇසුවේ ඒ නිසාය. ඔහු පැවැසුවේ  මා නිර්පාක්ෂික එනම් කිසිදු  පාර්ශ්වයකට නොබැඳී අදහස් දැක්වීමට හැකි අයෙකු බව ඔහු දන්නා බවය. මා සිතන්නේ ඔහු අදහස් කලේ ජනතා විමුක්ති පෙරමුණේ හෝ පෙසපය ට සම්බන්ධ නොවීම පමණක් බවයි.  එසේම පෞද්ගලිකව එලි දක්වන මේ ග්‍රන්ථය කිසිදු පක්ෂයක් හෝ කණ්ඩායමක් හරහා කිරීමට ඔහුට අවශ්‍ය නොවන බවද පැවසිය. ඔහු විසින් වීඩියෝ කතා කිහිපයක් සුදානම් කර තිබූ අතර ඒ නාමාවලිය බැලීමෙන් ඔහු විසින් කිසියම් අන්දමකට තම අතීතය සමග සාමදාන වී ඇති බවක් මට පෙනුනි. 

ජනතා විමුක්ති පෙරමුණේ දෙවන කැරැල්ල, එනම් 1984 සිට 1990 දක්වා කාලය පිළිබඳව ග්‍රන්ථ කිහිපයක් ලියැවී තිබේ. 'ජවිපෙ දෙවන කැරැල්ල නමින් ධර්මන් වික්‍රමරත්න මහතා ලියන ලද ග්‍රන්ථය ඉන් ප්‍රධාන තැනක් ගනී.  ඔහු එය ලියා ඇත්තේ ගවේෂණශීලි ජන මාධ්‍ය වේදියෙකුගේ භූමිකාවෙන්  බව පෙනී යයි. එහෙත් එසේම ධර්මන් වික්‍රමරත්න මහතා ගේ එජාප විරෝධී ස්ථාවරයක්ද  එම පොතින් ගම්‍ය වේ. ඔහු ලියා ඇත්තේ  අසා දැනගත් සහ සොයා දැනගත් තොරතුරුය. අතරින් පතර ඔහු ඇසූ දුටු දේද තිබේ. "එළියකන්ද වධ කඳවුර" නමැති පොත රෝහිත මුණසිංහ මහතා විසින් ලියා  ඇති අතර එම පොත එළියකන්ද කඳවුර හා එහි සිටි  සිරකරුවන් භාජනය කළ අමානුෂික දෙතිස් වධය ප්‍රධාන කොට ගෙන ලියා ඇත. රෝ. මුණසිංහ  පැරණි ජවිපෙ ස්ථාවරයට බරව අදහස් පල කරමින්  ඔවුන් විසින් ජනතාව ධනවාදයෙන්  බේරා  ගන්නට කළ කැරැල්ලෙන්  ලද අනිසි ප්‍රථිපලයක් වශයෙන් එළියකන්ද සිර දඬුවම  නිශ්චිත කරයි. එම පොත බොහෝ සෙයින් පාක්ෂිකවාදී ස්වරූපයක් දරයි. අජිත් පැරකුම් ජයසිංහ මහතා ගේ 'කේ පොයින්ට්' පොතද  එළියකන්ද කඳවුරේ ඔහු  ලද අත්දැකිම් විස්තර කරන්නකි. ඒ ගැන මා මෙහි ලියා ඇත. (කාම්බෝජ සංචාරය 3 - සිර කඳවුර අංක 21 -  කේ පොයින්ට් සහ එළියකන්ද. එම පොත වර්තමානයේ  අජිත් පැරකුම් ගේ ලිබරල් මතවාදී සහ ජවිපෙ විරෝධී මතයට සාපේක්ෂ ලෙස ලියා ඇත. මේ පොත් දෙක පිළිබඳව ඉහත  ලිපියේ සහ පසුව ලියූ විජේවීර සහෝදරයා ගේ ජිවිත කතාව ඇතුළත් චිත්‍රපටිය ගැන ලියූ ලිපියකද මවිසින් සඳහන් කර  ඇත. ( සදා සමරමු සොහොයුරෝ - ගිනිගත් දෙරණක සීතලක් කොයින්ද)

ගාමිණී මුතුකුමාරණ  සහෝදරයා මම අවුරුදු තිහක පමණ කාලයක සිට දැන සිටි අයෙකි. එසේම  ඔහු ජවිපෙ හි  පැරණි  ක්‍රියාකාරිකයෙක් ලෙසද දැන සිටියෙමි. ඔහු සමග මම වාද දෙකකට පැටලුනේ අගෝරා කණ්ඩායමේ රැස්වීමක දෙකකදීය. ඉහත ලිපි වල ඒ ගැනද  ලියා ඇත. වරෙක ඔහු තමන් සහ ජවිපෙ ජාතිවාදී නොවන බව පුන පුනා කීවේය. ඔහු ජාතිවාදියෙකු නොවන බව මම දනිමි. තව වතාවකදී  නන්දන මාරසිංහ ඝාතනය ඔහු සාධාරණිකරණය කිරීමට මම එරෙහි වුනෙමි.  ඔහු මේ ග්‍රන්ථයේ  ඒ ගැන සවිස්තරව නැවතත් ලියා ඇත. එතැනට අපි පසුව යමු. 

මා නොදැන සිටි කරුණ වූයේ ඔහු, අකාලයේ ඝාතනය නොවුනා නම් දිනෙක  රාජ්‍ය නායකයා විය හැකිව තිබූ  කෙනෙකු  ගේ  කැලෑවේදී කෝකියා ව සිටි බවය. රෝහණ නන්දසිරි විජේවීර සහෝදරයාට  හාල්මැස්සන් කිරට උයා දී තිබෙන්නේද, ඉන් පසුව කිහිප විටක්ම ඔහුගේ බත් පත සකසා දී තිබෙන්නේද  ගාමිණීය. මේ අනුව කතුවරයා  ජවිපෙ පක්ෂ නායකත්වය සමග ඉතා  සංවේදී  හා  සමීප  සම්බන්ධයක් තිබූ තැනැත්තෙකි. මේ පොත ඉහත කී හැම පොතකටම වඩා වැදගත් වන පළමු කරුණ  මෙතැනය. දෙවැන්න නම් ගාමිණී මුතුකුමාරණ, නායක  රෝහණ විජේවීර සමග සැඟවී සිටීම පමණක්ම  නොව දෙවරක්ම හිරගෙදර අසුවී සිටියදී  පලා ගිය අයෙක් වීමය.  තෙවනුව ඔහුගේ සහෝදරයන් දෙදෙනා රාජා මුතුකුමාරණ සහ මෙත්සිරි මුතුකුමාරණ පොලිස් අත් අඩංගුවේ දී අසාධාරණ ලෙස ඝාතනය වීමය.  හතරවෙනුව ඔහු තෙවෙනි පෙළ නායකයෙකු වීමට ඉතා සමීපව සිටි බවට පෙනී යාමය. ඔහු නායකයෙකු නොවුනේ තවමත් ඔහු තුල පවතින ගැමිකම නිසා විය හැකිය. පොත කියවා  අවසන් වූ පසු පාඨකයා ගේ හදවත බර වීමද  හැඟීම් බර වීමද නොවැළක්විය හැකිය.   එසේ නොවන අය වෙනත් පක්ෂ වල සිටිය හැකි බවද පවසමි.

එනිසා මම මේ ග්‍රන්ථය මිට අවුරුදු තිහකට පමණ පෙර කියවූ නිකොලායි ඔස්ත්රෝව්ස්කි ගේ "වානේ පන්නරය ලැබූ හැටි" නවකතාවේ සිංහල ඡායානුවාදයක් ලෙස දකිමි. නමුත් ගාමිණී කොර්චාගින් නොවේ. ඔහු විජේවීර හමුවන විට කොලු ගැටයෙකි. ඔහු වාහන වැඩ පලක රැකියාව කර ඇත. ගාමිණී ජර්මනුන් සමග සටන් කලේ නැත. නමුත් ඔහු ශ්‍රී ලංකාවේ 87-91 වසර වල සිවිල් යුද්ධයට සහභාගී වූවෙකි.   ඒ සිවිල් යුද්ධයේ  අනිත් පාර්ශ්වය ජයග්‍රහණය කළා නම් මෙවැනි පොතක් ලබන්නේ "වානේ පන්නරය ..." පොත ලැබූ තැනකි. මා අදහස් කරන්නේ එයයි.  ඔහු වානේ මෙන් තද බවක් ලබා ඇත්තේද ජීවිතය දකින්නේද ඔස්ත්රෝව්ස්කි මෙන් සියල්ල අවසන් වූ තැනක සිටය. ඔස්ත්රෝව්ස්කි ගේ සටන ජයෙන් අවසන් වී ඔහු ආබාධිතයෙකු වීමෙන් අවසන් විය. ගාමිණී මුතුකුමාරණ ගේ සටන පරාජයෙන් අවසන් වුවද ඔහු ආබාධිත හදවතක් සහ මනසක් සමග  ජීවත් වෙයි. එයින් ගැලවී සුවපත් වීමට නම් ඔහු මේ පොත ලිවිය යුතුමය. 

පොතක් ගැන හොඳක් කීම එය විවේචනයට ලක් කිරීමෙන් බැහැරව යාමක් නොවේ.  පෙරටුගාමී සමාජවාදී පක්ෂය නියෝජනය කරමින් කතා කල අප මිතුරු සුදත් සහෝදරයා අප එම රැස්වීමේදී පොතේ වටිනාකම ගැන කතා කළද එහි ඇති සාවද්‍ය හා විවේචනයට භාජනය විය හැකි දේ ගැන කතා  නොකරන බවට චෝදනාවක් කළ බවක් මට හැඟුනි. ඇත්ත වශයෙන් කියනවා නම්  මටද එකඟ විය නොහැකි තැන් කිහිපයක් මෙහි අන්තර්ගතය. එයේ එසේ වුවද ඉන් පොතේ වටිනාකම අඩු වන්නේ නැත. ඒ බව වඩා හොඳින් පොත  දොරට වැඩුමේ දී  පැහැදිලි කලේ කොළඹ විශ්ව විද්‍යාලයේ ඉතිහාස අංශයේ මහාචාර්ය නිර්මාල් රන්ජිත් දේවසිරිය. ඔහුගේ පටිගත කළ කතාව මෙහි ඇත. නිර්මාල් දේවසිරි මහතා යනු ස්වාධින ශිෂ්‍ය සංගමයේ හිටපු සාමාජිකයෙකි. ඔහු ගාමිණී සඳහන් කරන ඔප්ස් කොම්බයින් හෙවත් ඒකාබද්ධ හමුදා මුලස්ථානයට ඔත්තු සැපයූවෙක් ද නැත්ද යන්න මම නොදනිමි. 

"සෝවියට් සාහිත්‍යය හා ලංකාවේ වම 4 - කොර්චාගින්,  බ්‍රෙෂ්ට් හා සාක්කිය" මැයෙන් මම 2017 දී ලියූ ලිපියක  දයා  පතිරණ ඝාතනය ගැන සඳහන්  කළෙමි. ඔහුගේ ඝාතනය දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය හෝ ජවිපෙ කල බරපතල වරදක් බවත් ඉන් ඔවුන් අමතර සතුරන් ප්‍රමාණයක් සාදා ගැනීමට අමතරව පක්ෂය තවත් ජාතිවාදී පසෙකට නැඹුරු වීමේ අඩිතාලමක් දැමුණු බවත් මගේ ද අදහසය. ගාමිණී සහෝදරයා බොහෝ දුරට ඒ ගැන එකඟ වන බව  නිර්මාල් දේවසිරි ට ආරාධනා කල හේතුවෙන් පැහැදිලි වේ.

එදින දොරට වැඩුමේ දී ප්‍රවීණ සාහිත්‍යවේදියෙකු හා ප්‍රකට ග්‍රන්ථ පරිවර්තක  චූලානන්ද සමරනායක සහෝදරයා වීඩියෝ පණිවිඩයේ කතා කලේ  බොහෝ හැඟීම් බරවය.  චූලානන්ද පවසන්නේ හැත්තෑ එකේ අරගලය එක නිශ්චිත අවස්ථාවක ඇරඹි ප්‍රහාර මාලාවකින් පසුව ආණ්ඩු බලය හමුවේ පරාජය කරන ලද අතර ඉන්පසුව පැවති  දීර්ඝ කාලීන අධිකරණමය පටිපාටියක් හරහා පක්ෂයේ විශාල පිරිසකට දඬුවම් පැමිණවීමකින් සහ පුනරුත්ථාපන  ක්‍රියාවලියකින් අවසන් වූ බවය.  එහෙත් ඒ වාසිය අසූනවයේ මර්දනයට මුහුණ දුන් පරම්පරාවට හිමි වූයේ නැත.  හැත්තෑ හතේ නිදහස ලැබීමෙන් පසුව යලි ක්‍රියාකාරී දේශපාලනයට බට විජේවීර ඇතුළු සියලු සගයන්ගේ ධෛර්යයෙන් පණගන්වන ලද ජවිපෙ දෙවන වරට මර්දනයට ලක් කිරීම හැත්තෑ එකේදී පැවති  තත්වය ඉක්මවා ගිය අතිශය සාහසික  සහ තිරශ්චින  ස්වභාවයක් ගත්  අතර ඉන් පක්ෂයට සිදු වූ විනාශය  මිනිය නොහැකි තරම් බරපතලය. (චූලානන්ද සමරනායක -උපුටා ගැනීමකි.)  

ජවිපෙ විසින් දෙවන අරගලයක් ඇති කිරීමට හේතු සාධක බොහොමයක් කතුවරයා විසින් ඉදිරිපත් කරයි.  ජවිපෙ දෙවැනි අරගලයේ නරෝද්නික්වාදී ස්වභාවය පිළිබඳව අපට බරපතල විවේචනයක් තිබුනත් ඒ ක්‍රියාමාර්ග වලට ඔවුන් තල්ලු කරන ලද එවකට පැවති ජේ ආර් ජයවර්ධන රජයේ ඇතැම් ක්‍රියාදාමයන් ගැන එවැනිම බරපතල විවේචනයක් සහ  ඒ ක්‍රියාදාමයන් ගැන විමතියක් ද මට තිබේ.  ප්‍රජාතන්ත්‍රවාදී චන්ද ක්‍රමයට 1977 සිටම අවතීර්ණ වුනු පක්ෂයක් 1982 ජනමත විචාරණයෙන් පසු රජයට එරෙහිව නඩුවක් දැමූ පලියට හෝ වෙනත් කිසියම් හේතුවක් නිසා එම පක්ෂයේ හිමිකම් උල්ලංඝනය කරමින්  යටිබිම් ගත දේශපාලනයට යොමු කිරීමේ අනීතික වරද බරපතල එකකි. ප්‍රින්ස් ගුණසේකර ගේ පශ්චාත්තාපය කොටසේ කතුවරයා එය පැහැදිලි කරන්නේ මෙසේය. මා එයට එකඟය. 

"ජනමත විචාරණ  නඩුව නිසා රෝහණගේ ජවිතය නැති වුනා. ජවිපෙ විනාශ වුනා. මේ නඩුව මම පැවරුවා නිසා මේ විනාශය වුනා කියලා කල්පනා වුණාම ඒකෙන් මිදෙන්න අමාරුයි." (පි. 116) 
"තවත් දින කිහිපයකින් ලංකා ඉතිහාසයේ ක්‍රියාත්මක දේශපාලන නඩුව ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනු කෙරුණි. ගරු අධිකරණය  ආණ්ඩුව විභාග කිරීමට අණ  දුන්නේය. මේ 1983 මැයි මාසයයි. කළු ජූලියක ගිනි පුලිඟුවක් වත් තිබුනේ නැත. ඊලම්  සන්නද්ධ අරගලයකට සේනා රැස්ව තිබුනේ නැත. ජවිපෙ සාමාජිකයෝ තුවක්කු තබා පිහි කොටයක් වත් අතට ගෙන නොතිබුනහ. ජයවර්ධන  මහතා දණ්ඩකින් පහර කෑ සර්පයෙක් මෙන් කිපුනේය." 
(පි 119).

1983 ජූලි කලබල වලින් පසු ජයවර්ධන රජය වාමාංශික පක්ෂ තුනක් තහනම් කළේය. ඒවා තහනම් කලේ වරද කාට  හෝ පැටවීමට බව මුලින් පෙනෙන්නට තිබුනද කොමියුනිස්ට් පක්ෂය සහ නව සමසමාජ පක්ෂයේ  තහනම  සුළු කාලෙයකින් ඉවත් විය. ඒ ඔවුන්ගේ නායකයින් රජයට භාර වීමත් සමගය.ඒ දිනවල (1983) නසසප නායකයන් (වාසුදේව සහ වික්‍රමබාහු) කොම්පඤඤ විදියේ අමරදිසි හෝටලයේදී මා දුටු නිසා ඒ තහනම විහිළුවක් බව එදා සිටම දැන සිටියෙමි.  

ද්‍රවිඩ ත්‍රස්තවාදීන් විසින් රජයේ හමුදාවල් දහතුන් දෙනෙකු බිම් බෝම්බ වලින් ඝාතනය කල පසු දෙමළ ජනයා  මරා  දමමින් හා  දේපල වලට පහර දෙමින් ඇතිවුණු කලබල වලට ජාතිවාදී  එජාප කොටස් වල සහය තිබුණු අතර තැනින් තැන කුඩා ප්‍රමාණයෙන් ශ්‍රීලනිප  හා ජවිපෙ පිරිස්ද සහභාගී වුනු බව සැබෑය. නමුත් ඒවා සංවිධානය  වුනේ ජයවර්ධන රජයේ මුල් දින දෙකේ පැවති  අක්‍රිය ස්වභාවය නිසා එම පක්ෂයේ ප්‍රාදේශීය බලවතුන්ගේ ද සහයෙනි.   එම විනාශයෙන් පසු ඇමෙරිකන් හිතවාදී ජේ ආර්පා ලනයට විරුද්ධව ඉන්දියාව එලිපිටම ද්‍රවිඩ සටන්කාමී සංවිධාන වලට  සහය දුනි. රටින් පලාගිය දෙමළ ජාතිකයන් ගෙන් විදේශීය ඩයස්පෝරාවක් ශ්‍රී ලංකාවට එරෙහිව නිර්මාණය වන්නට විය. තහනම් වූ ජවිපෙ විශ්වවිද්‍යාල ශිෂ්‍ය සංගම් හරහා මෙන්ම ග්‍රාමීය තරුණ කොටස් අතරද රහසිගත ලෙස සංවිධානය වන්නට විය. 
    
 මේ සිදුවීම් වලට පසු, පසුකාලීනව  ලෝකයේ ජනප්‍රිය බවට පත්  වූ විවෘත ආර්ථික ප්‍රතිපත්තියක් මුලින්ම දියත් කල ජේ ආර් ජයවර්ධන  රජයට වැරදුනි.  අනිකුත් දේශපාලන පක්ෂ වලටද වැරදුනි. ජවිපෙට වැරදුනි. මුළු මහත් ශ්‍රී   ලංකාවටම වැරදුනි. ඒ සෝචනීය කතාවේ වැදගත්ම පරිච්ඡේදයක් මේ පොතේ ගාමිණී මුතුකුමාරණ සහෝදරයා අතින් ලියැවී ඇත.

 සෝවියට් ඔපෙරා හා බැලේ  ප්‍රසංග නිර්මාණ පිලිබඳ උණුසුම් මතකයක් විජේවීරට තිබුන බවක් කතුවරයා 160 වන පිටුවේ සඳහන්  කරයි.  "ඔහු බෝල්ශෝයි රඟහලේ රැඟුම් ගැන කියද්දී අපි මහත් රුචියෙන් අසා  සිටියෙමු. 1917 ඔක්තෝබ විප්ලවයෙන් පසු කම්කරුවන්ටද බොල්ෂෝයි රඟහලේ රැඟුම් නැරඹීමට හැකිවන පරිදි ප්‍රවේශ පත්‍ර  මිල අඩු කිරීම හා ඔහු නරඹා තිබු "හංස විලක්" බැලේ රැඟුම ගැන පවසන විට මමද ඒවා මනසින් නැරඹුවෙමි. "

ගාමිණී අවංකව ලියන බව හැඟෙන මේ ප්‍රකාශයන් තුල ජවිපෙ නායකයා හා අනිකුත් සැඟවුණු ක්‍රියාකාරීන් සමග ඔහු වනාන්තරයේ ගත කල දිවිය පිලිබඳ විස්තර ගැබ් වේ. සෝවියට් දේශයේ උගත්තකු වශයෙන් සෝවියට් ජනයාට මේ කියන සංස්කෘතික ජීවිතය තිබූ බව මම දනිමි. 
"මෙකල රෝහණ ආදරය, ප්‍රේමය, අනුරාගය ගැන අප කණ්ඩායම සමග නිදහසේ අදහස් හුවමාරු කර ගැනීමට පුරුදුව සිටියේය. ඔහු කොහොමත් අවිවාහක සගයන්ට පෙම්වතියන් ජෝඩු කළේය" පි 161. මේ අපට විමතියක් ඇති කරන කියුමකි. අපි දැන  සිටියේ එදා ජවිපෙ සාමාජිකයන් අතර පෙම් සබඳකම් තහනම් කළ බවකි. ගාමිණී ප්‍රකාශ කරන්නේ එයට වෙනස් අදහසකි. 

පොත දොරට වඩින  දිනයේ "සති පූජා දර සෑයේ" ගීතය වාදනය කිරීමට මම ගාමිණී ගෙන් ඉල්ලා සිටියෙමි. විමුක්ති ගීතයක් ලෙස මා දැන  සිටි ඒ ගීතයට මගේ කැමැත්තක් තිබුණු අතර  ඒ ගීතය ලියුවේ නන්දතිලක අමදෝරු යන අය බව මා දැන  ගත්තේ මේ පොතිනි. (පි. 179) අමදෝරු සිවිල් සර්වන්ට් විභාගය සමත් වුවද රැකියාව ලබා ගැනීමේ සම්මුඛ පරික්ෂණයට ගොස් නැත. කතුවරයාගේ දේශපාලන ගුරුවරයා වූ ඔහු අවසානයේ දිවි පිදුවේය.  

ඔහු සිර දඬුවම් විඳින විට පැන යම් සඳහා ද්‍රවිඩ සිරකරුවන්ගේ උපදෙස් පතයි. ඔවුන් සිංහල දේශපාන සිරකරුවන් සමග කතා නොකිරීම ගාමිණීට ප්‍රශ්නයකි.  දෙගොල්ලන්ම ඉන්දීය ආක්‍රමණය ටද  ජයවර්ධන රජයටද විරුද්ධය. "ඇයි උඹලා  අපට කතා නොකරන්නේ". (පි. 237 කියවන්න) මේ ගාමිණී සහෝදරයාම පසු තැනෙක නන්දන වීරරත්න, සිරිමල් විජේසිංහ හා ලමාහේවා සංවිධානය කල නිර්මාණ සංවාද කුලකයට නන්දන විසින්  මහාචාර්ය සුචරිත ගම්ලත්, පියසීලි විජේ ගුණසිංහ, කිර්ති බාලසුරිය වැන්නවුන් ගෙන්වීම ගැනද  පසුව නන්දන  විකොසට එක්වීම ගැනද කණගාටුව පල කරයි. නිර්මාණ සංවාද කුලකයට සහභාගී වූවෙකු මෙන්ම පසුව සුචරිත ගම්ලත් ගේ දේශනා වලටද සහභාගී වූවෙකු ලෙස මටනම් මෙහි කණගාටුවක් නැත. අප විසින් ජාතිවාදී  දේශපාලනය ඒ කාලයේ සිටම ප්‍රතික්ෂේප කිරීමේ හේතුවක් ද මෙහි ඇත.  මේ ගැන හොඳ  විශ්ලේෂණයක්  විදර්ශන කන්නන්ගර සහෝදරයා විසින් ඔහුගේ වීඩියෝ පණිවිඩයේ දී  ඉදිරිපත් කරයි. 

පෙසපය මෙහිදී විවේචනයක් එක් කළද සෝමවංශ -විරවංශ ජාතිවාදී සභාගයට එවකට ජවිපෙ අභ්‍යන්තර බෝල්ෂෙවික් පක්ෂයේ නායකයකු වූ කුමාර් ගුණරත්නම් මහතා ද සිටීම ගැන ඔවුන් විස්තර කරන්නේ කෙසේද? 

ප්‍රථම වතාවට ජවිපෙ හිටපු ක්‍රියාකාරිකයෙකු ජවිපෙ අභ්‍යන්තර බෝල්ෂෙවික් පක්ෂය හා එහි සංයුතිය ගැනද ලියවෙන්නේ මෙහිය. ඒ ගැන අපි ගාමිණී මුතුකුමාරණ  සහෝදරයාට ස්තුති වන්ත වෙමු.

ජනතා විමුක්ති පෙරමුණ වෙනුවෙන් එක්සත් රාජධානියේ ජවිපෙ ප්‍රධාන සංවිධායක දර්ශන හෙට්ටිආරච්චි  මහතාද කතා කළේය.  ඔහු කතුවරයාට තම හෘදයංගම සුභාශිංසන පිරි නැමුවේ මේ පොත අනාගත පරම්පරාවට අතට පත් කල යුතු මහඟු ග්‍රන්ථයක් හැටියටය. .

ජවිපෙ හිටපු ක්‍රියාකාරිකයෙකු වූ සෑම් හෙට්ටිආරච්චි  මහතා ගීතයකින් සභාව පිනවීය.   

පෙරටුගාමී සමාජවාදී පක්ෂය වෙනුවෙන් දැක්වූ විවේචන වලට නන්දන වීරරත්න සහෝදරයා මෙන්ම ගාමිණී මුතුකුමාරණ සහෝදරයාද අදහස් දක්වන ලදී.

සබරගමු විශ්ව විද්‍යාලයේ මහාචාර්ය  හිනිදුම සුනිල්  සෙනෙවි මහතා වීඩියෝ පණිවිඩයක් එවා තිබූ  අතර ඔහු විසින්  කතුවරයා නිබයව තම මතය හා අත්දැකීම් හෙළි කිරීම අගය කළේය. ඔහු ගාමිණී සහෝදරයාට මෙවැනි පොතක් පල කිරීමේ වටිනාකම පිළිබඳව මුල සිටම දිරිමත් කල බැවින් ඒ ගැන ඉතා සතුටු වන බවද පැවසිය.  

ගාමිණී සහෝදරයගේ මිතුරෙකු වන මහින්ද රූබසිංහ ග්‍රන්ථයේ ඇතැම් පිටු ඇසුරින් වැදගත් මතකයන් රැසක් එලි දැක්වුවේය. සුගත් සෙනෙවිරත්න මහතා ඉංග්‍රීසි  භාෂාවෙන් කල  කතාවේදී මේ පොත අප ඉදිරියේදී සාකච්ඡා කල යුතු බවට සනිටුහන් කළේය.  
 
ජවිපෙ හෝ දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය නරෝද්නික්වාදයක් ක්‍රියාත්මක කළා නොව එළඹුණු මර්දනයට පිළිතුරු දුන් බව කතුවරයා සඳහන්  කරයි. එම අප තව දුරටත් සාකච්චා කල යුතු මාතෘකාවකි. ඔහු දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය  මගින් ඝාතනය කල එජාප සහ වාමාංශික දේශපාලකයන් ගැන කතා කර නැත.   නෙල්සන් මැන්ඩෙලා සහ දකුණු අප්‍රිකානු නිදහස් ව්‍යපාරය සුදු පාලකයන් විසින්  දැඩි ලෙස මර්දනය කරන ලදී. නමුත් ඔවුන් විසින් මහා ජනයා පෙලනු වෙනුවට තෝරා ගත්තේ මිශ්‍ර  මගකි. ගාමිණී මුතුකුමාරණ ඉතා නිවැරදි ලෙස එම අදහසම ඉදිරිපත් කරයි. සාමාන්‍ය ජනයා  පෙලීම සහ රාජ්‍ය දේපල විනාශය නොකළ යුතුව තිබු දෙයක් ලෙස ඔහු සඳහන් කරයි.

අවසන් වශයෙන්  බෝල්ෂෙවික් පක්ෂයේ ලේකම්   සුමිත් අතුකෝරාල චේ වැනි කෙනෙකු ලෙස කතුවරයා පහදයි. ගාමිණී මුතුකුමාරණ පුර්ණකාලීන  සාමාජිකයා බෝල්ෂෙවික් පක්ෂයට එකතු වන්නේ සුමිත් සමග සම්මුඛ සාකච්ඡාවෙන් පසුවය.  අර්නෙස්ටෝ චේ ගෙවාරා ගරිල්ලා යුද්ධ පිලිබඳ පොතක් 1969 දී ලියා තිබේ. විජේවීරට හෝ සුමිත් ට එය ඇස ගැටෙන්නට නැත. මේ එහි ලිය තිබෙන දෙයකි.

Guerrilla warfare is used by the side which is supported by a majority but which possesses a much smaller number of arms for use in defense against oppression. The guerrilla fighter needs full help from the people of the area. This is an indispensable condition.  ගරිල්ලා යුද්දයක් භාවිතා කරන්නේ බහුතර ජනතාවක් ගේ  සහය ලබන  නමුත් ඉතා සුළු ප්‍රමාණයක් පමණක් මර්දනයට එරෙහිව ආරක්ෂාව සඳහා ආයුධ ගත් කණ්ඩායමකි. ගරිල්ලා භටයාට පළාතේ ජනතාවගේ සහය අත්‍යවශ්‍යම වේ. මෙය බිඳ හෙළිය නොහැකි අවශ්‍යතාවයකි.  
 
It is important to emphasize that guerrilla warfare is a war of the masses, a war of the people. The guerrilla band is an armed nucleus, the fighting vanguard of the people. It draws its great force from the mass of the people themselves. ඉතා වැදගත් වන්නේ ගරිල්ලා යුද්ධයක් යනු බහුතරයකගේ, ජනතාවක ගේ යුද්ධයකි.  ගරිල්ලා කණ්ඩායම සන්නද්ධ න්‍යෂ්ටියයි. ජනතාවගේ පෙරටුගාමී සටන්කාමී කොටසයි. එයට තමන්ගේ ඇති මහත් බලය උකහා ගන්නේ ජනතාවගෙනි.  

සුමිත් අතුකෝරාල සහෝදරයා හෝ ජවිපෙ නායකත්වය මේ ගැන සිතුවාද යන්න අපට ප්‍රශ්නයකි.

මම සභාවේ මුලදීම ගාමිණී මුතුකුමාරණ සහෝදරයා වෙනුවෙන් ගීයක් ඉදිරිපත් කලෙමි. ඒ ග්වන්තන මෙරා නමැති ස්පාඤ්ඤ ගීතයයි. සියෙරා මයෙස්ට්‍රා කඳුකරයේ නිතර වැයුන  ගීතයකි. එය මට කියා දුන්නේ සෝවියට් දේශයේ මා  සමග උගත් ලතින් ඇමෙරිකානු සිසුන්ය. එය අහන්න. 

මා එය තෝරා ගත්තේ ගීතයේ පළමු කොටසේ ඇති මේ වදන් නිසාය.
I plant a snowy rose in January and July,
මම හිම රෝස ගසක් ජනවාරියේ සහ ජූලියේ සිටවූයෙමි 
For the open-hearted friend who puts a helping hand in mine
විවෘත හදවතක් ඇති මිතුරෙකු මට දිගු කළ මිත්‍රත්වයේ දෑත නිසාය 
I am a truthful man; I come from where the palm tree grows,
මම සත්‍යවාදීයෙකු  වෙමි, මම පැමිණියේ තල්  ගස් (හෝ පොල් ගස්) වැවෙන පෙදෙසක සිටය    
I am a truehearted man, who comes from where the palm trees grow,
මම සත්‍ය හදවතක් ඇත්තෙකි පැමිණියේ තල වැවෙන පෙදෙසක  සිට 
Before I lay down my life, I long to coin the verses of my soul
 මගේ ජීවිතය හමාර වන්නට කලින් මම මගේ ආත්ම ගීතය ලියමි 

ගාමිණී මුතුකුමාරණ  සහෝදරයා ඔහුගේ ආත්ම කථනය, ඔහුගේ අතිමහත් ජිවිත අත්දැකීම ඔහුට දැනෙන ආකාරයට ලියා තිබේ. එය විටෙක බියකරුය. විටෙක සුන්දරය. විටෙක ත්‍රාසජනකය. විටෙක වීර කාව්‍යයක් මෙනි. විටෙක  ස්වයං පාපොච්චාරණ වලින් පිරිලාය. මා  එය කියවුයේ විවෘත මනසකිනි.

මම ඔබටද එය කියවීමට අරාධනා කරමි.

මේ ලිපිය මෙතනින් අවසන් නැත.
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
අජිත් ධර්මකීර්ති - 28/09/2023

මුලාශ්‍ර - Guerrilla Warfare - Ernesto (Che) Guevera 

ආචාර්ය නිර්මාල් රන්ජිත් දේවසිරිගේ පටිගත කළ කතාව


 



Wednesday, 13 September 2023

යාපනේ සුරුට්ටුව



යාපනේ සුරුට්ටුව 
------------------
යාපනයට ගියෙමි මම 

ඒ ප්‍රසිද්ධ සුරුට්ටුව 

ඔතනා   හැටි බලන්නට


ඔහු සිටියේ කටේ ගසාගෙන 

හැකි හැම පැයකම ඒ සුරුට්ටුව

හන්දියේ යාපනේ කඩෙන් අරගෙන  

පස්සෙ  දවසක ගිනිදැලින්  වෙලී ගිය 


ඉරිමා  උදයේ දිවයින පත 

අතින් ගෙන, දෙකකුල් උඩ දමාගෙන 

කියවන්නේ සුරුට්ටුව හපාගෙන


 යාපනෙන් ගෙනා සුරුට්ටුව 

දැල්වූවා ලන්ඩන් ගෙවුයනේදී 

දැනුනා ඒ සුපුරුදු සුවඳ 

හිත කොනේ  නැගුනු සතුටට 

හිනාවක් ආවා මගේ මුවගට 

තේ කෝප්පයෙන්,

සිලෝන් ටී වලින් හැදූ 

උගුරක් දමා ගත්තා මුවගට 

සුරුට්ටු දුමකුත් සමගම
 
- ajith dharmakeerthi 13/09/2023

මේ අවස්ථාව සැලසුවාට යාපනයේ යෝගරාජා ප්‍රසන්න සොයුරාට ස්තූතියි   







Tuesday, 12 September 2023

කකුළු කරිය

ත්‍රිකුණාමලයේ හිමිදිරිය
'මේ ත්‍රිකුණාමලයේ හිමිදිරිය ඡායාරුපය ගත්තේ මාය'

ලංකාවේ ගත කල කාලය ගැන හොඳ  කතා ටිකක් තිබුනත් ඒවා ලියන්නට වෙන්නේ පසුවය.  මේ පින්තූර පළ කිරීමේ උවමනාවක් නොතිබුණද අපේ  හිතවතිය ධම්මිකා චාන්දනී වැට පැන තිබූ නිසා ලිපියක්ම ලියමි. මම වැඩිය කකුළු ව්‍යංජනය  බුදින  පුද්ගලයෙකු නොවූවත් මගේ දියණියන් දෙදෙනා හා බිරින්දෑද එයට කැමතිය. ත්‍රීකුණාමලයේ සිටිද්දී ඒ සඳහා එක අවස්ථාවක් ලැබුණි.

යාපනයේ සිටි දින දෙක තුන තුල ඒ සඳහා අවස්ථාවක් නොලැබුණි. පළමු දවසේ රයිස් සහ කරි සොයා ඇවිද ගොස්  නැති තැන වෙජිටේරියන් රෙස්ටුරන්ට් එකකට ගොස් තෝසේ සහ දෝසයි කෑවෙමු. ඒක පට්ටය.නැවති සිටි  හෝටලයේ (අප සිටි හැම තැනම  මෙය මෙසේ විය ) දෙන්නේ රයිස් හෝ නූඩ්ල්ස් පමණය. මේ රයිස් කියන්නේ  ෆ්‍රයිඩ් රයිස් වලටය.නමේ  ලොජික් එක මම නොදනිමි. මට ඒවාට වැඩි කැමැත්තක් නැත. මම කන්නේ රයිස් ඇන්ඩ් කරි ය. ලංකාවට ඇවිත් ලංකාවේ කෑම මිස චීන හෝ වෙනත් රටක කෑම ගැනීමට අපේ පිරියක් නැත. 

අපි රයිස් සහ කරි කෑමට කැමති බව දැන ගෙන  යාපනයේ  සිටිද්දී අප මිතුරු ප්‍රසන්න යෝගරාජා වෑන් රථයේ රියදුරු මහතාට අපව 'තල් සෙවණට' රැගෙන යන ලෙස උපදෙස්  දුනි. තල්  සෙවනේදී ඇසුනේ සුපුරුදු සින්දුවමය. 'අඥේ ඒවා ඉවරනේ. කලින් එන්න තිබුනේ. දැන් තියෙන්නේ නූඩ්ල්ස් නුයි, මියා ගොරන් විතරයි." අපි එහි යනවිට දවල් දෙකට පමණ ඇත. ඔබලාගේ කකුළු කරිය හා බත් පොඩ්ඩක් පමණක අප දෙදෙනාට  සෑහෙන බව කීවෙමු. අනිත් අය නුඩ්ල්ස් කන්නට කැමතිය. වේටර් මහතා කීවේ  කකුළු කරිය නම්  කොහොමටවත් නැති බවත් බත් පොඩ්ඩක් දෙන්නට විධිහක් නැති බවත්ය.

ඉන්පසු ප්‍රසන්න හෝ තවත් අයෙකු අපව චුන්නාකම්  තින්නයි කාබනික වගා පොළ Thinnai Organic Farmනමැති  තැනට රැගෙන ගියේය. අහෝ ඛේදයකි. ක්‍රැබ් කරි තියා මොනම කරියක් වත් නැත.  කාබනික වගා කතාව සංචාරකයන් ඇද ගන්නට දැමූ නමකි.  අපි මෙනු එකේ තිබු පලතුරු යුෂ වර්ග ඉල්ලුවෙමු. නැත. සලාද වර්ග ඉල්ලුවෙමු. නැත. අන්තිමේදී පොඩි දුව බැදපු චිකන් කෑ අතර (ලන්ඩනයේදී මම නිතර හදන දෙයක් නිසා)  මම කටේ තියන්නට බැරි මාළු සුප් එක්ක යන්තන් බීවෙමි. එහි මාළු තිබුණාද  නැත්ද යන්න නොදනිමි. සොහොයුරා සහ ඔහුගේ  ළමයින් ගත්තේ නාසි ගොරෙන්ය Nasi goreng. මම එය මැලේසියානු ආපන ශාලා  වලින් භෝජනය කර ඇති බැවින් අපට දුන් එක කිසි සේත්ම නාසි ගොරෙන්  නොවන බව දුටුවෙමි.බෙරි  වුනු  සුදු බත් වලට   රතු පාටක් කලවන් කර  බදින ලද මාළු කැබලි හා ඉස්සන්  කිහිපයක් දමා හැදූ තවත් 'රයිස් ' එකකි. යාපනයේදී මලයාන් ආපන ශාලාවෙන් කෑ වෙජිටේරියන් මීල් එක නම් නියමය. 
  


අපිට  ලන්ඩන් එන්නට  තිබුනේ ඉරිදා උදේ පාන්දරය. සෙනසුරාදා (09) ප්‍රා ජේ , ඔහුගේ පිය බිරිඳ චුලානි ද  දියණියද  අප බැලීමට පැමිණියහ. ඔවුන් සමග  පශු වෛද්‍ය  මිතුරියක් වන අතිගරු දම්මිකා චාන්දනී මැතිතුමියද පැමිණියාය. 

ඔයිට කලින් ප්‍රා ජේ මා නතර වී සිටින තැන ඔහුගේ රහස් ඔත්තු සේවයට ඇතුලත් කර ගන්නට තැත් කළද මම කවදාවත් එන්නට කියා කීවේ නැත. ඔහුට ඈත වැඩි නිසා අනුකම්පාවෙන් ය.  අන්තිමේදී මොකද්දෝ පොත් තුනක් දෙන්නට කියා හේතුවක් හදා ගෙනපැමිණියේය.

 ඔන්නොහේ  ආගිය දේවල් බොරුවට කතා කරමින් සිටියදී දියණියට  කකුළු කරිය එක වරක් පමණක් ලැබුණු බවත් ඉන්පසු සොයා ගැනීමට නොහැකි වුනු බවත්  කියැවුණි.  මිනිස්ට්‍රි ඔෆ් ක්‍රැබ් යන්නට යෝජනා වත් පැමිණියත් . කොළඹ යන්නට මගේ එතරම් කැමැත්තක් නැත. දුර වැඩිය. අනික ඔය වැඩි ගණන් පොෂ් තැන්  වලට ගොස් ඉරා ගන්නට ලොකු අවශ්‍ය තාවයක් ද නැත. ප්‍රාජේ කීවේ පානදුර ඒ පැත්තට ළඟ නිසා ඒ පැත්තේ බලන්නටය. චුලානි ආපන ශාලාවක්ද සොයා ගත්තාය. ප්‍රා යෝජනා කලේ 'ඇයි අජිත් ඔයාගේ යාලුව ඉන්නෙත් එහෙනේ කතා කරලා අහන්න " කියාය.
යාළුවා දීප්තිය. හම්බ වෙන්න සිටි නමුත් හැකි වුනේ නැත. දීප්තිට කෝල් එකක් ගත්තෙමි. දීප්ති කීවේ "ඇයි අජිත් අපි ගිය පාර  චිකන් රයිස් කෑව තැන ක්‍රැබ් තියනවනේ" කියාය. දීප්ති ගේ නිවස ආසන්නයේ නව්රෝ කියා සී ෆුඩ්  ආපනශාලාවක් තිබේ. එහි චිකන් රයිස් එක නම්ර හය. එහෙනම් අපි එනවා කියා දීප්තිට කීවෙමි.














ප්‍රා ජේ ගේ විශාල ලිමොසින් රථයේ නැගී   අපි පස් දෙනාම කෙසේ හෝ  එතැනට ගියෙමු.  යන්තන් අපේ වාසනාවට කරිය නැතත් ක්‍රැබ් තිබුණි. බිත්තර හා ගම්මිරිස් දැමූ ක්‍රැබ් සුප් එක නියමය. කෙලින්ම රෙකමන්ඩ් කරමි. ඉන්පසු ක්‍රැබ් හා වෙනත් සී ෆුඩ්  සහිත ග්‍රිල් තුනක්ද ඇණවුම් කළෙමු. ඒවා ද පට්ටය. එකෙන්ම රෙකමන්ඩ් කරමි. 

 ඒ ඇරෙන්නට කිසිම දේශපාලන කතාවක් නොකෙරුණු බව සහතික කර කියමි. දීප්ති වෘත්තිකයන්ට  බදු ගැහීම  ගැන විරුද්ධ බවක් නොපෙනෙන  නමුත් මම විරුද්ධය. මගේ අදහස ගහනවානම් හැමෝටම බදු ගැසිය යුතු බව ය. හැමදාම බදු බරින් පීඩා විදින වෘත්තිකයන් ගේ බදු වැඩි කිරීමට මම විරුද්ධ වන්නේ ගන්නට ලෙහෙසි තැන නිසා ආණ්ඩුව එය කරන හෙයිනි.   දීප්ති කියන්නේ ශ්‍රී ලංකාවේ ජනතාව ගෙන්    60%  පවර්ටි ලයින් එකෙන් යට බවත් ඔවුන් වක්‍රව බොහොමයක් බදු ගෙවන බවත්ය. (දිළිඳු කම පිලිබඳ රේඛාවට යටින්) -The poverty line is the minimum amount of money a person needs to fulfill the basic necessities of life, like shelter and food. When families are below the poverty line, they qualify for help from the government. ඒ කියන්නේ ජනතාව ගෙන් සියට හැටක් නිවස හා ආහාර හරිහැටි  නොලැබී දුක් විඳින බවය. මම මේ ගිය චාරිකාවේ වැඩි පුරම දැක්කේ කන බොන එවුන්ය. ඒ අතරේ දිළිඳු අය සිටි බවද  ඔවුන්ගෙන් සමහරුන්ට මුදල ආධාරද කල බවද සඳහන් කරමි. පොළොන්නරුවේ හමුවූ වයසක අම්මා කෙනෙකුට ඒ දිනවල විෂන් කෙයාර් එකෙන් ගත් උපැස්  යුවලක්ද  පරිත්‍යාග කළෙමු. ලංකාවේ අය  සෑහෙන්න දැන් ලෝකල් චාරිකා යති. මේ ගිය අවන්හලද කටටම පිරිලාය. ඒ නිසා  මේ කතාව ඇත්තද කියා  අහන්න වෙන්නේ අපේ මිතුරු එකොනොමැට්ස් ගෙන්ය.
 
දීප්ති තමන් මේ සීයට හැට වෙනුවෙන් පෙනී සිටින  බව කියයි. එතකොට මම ඇහැව්වේ ඉරාජ් ල හෙම ගෙනාවේ ඒක  අහන්නද?  වැඩේ ටිකක් කොන්ට්‍රොවර්ෂල් නේද?" කියාය.   "ආ එයාලා ගෙනාවේ කොන්ට්‍රොවර්ෂල් වුනහම අපේ එවුන් බලන නිසා " කියා දීප්ති කින්ඩි හිනාවක් දැම්මේය. ඒකත් ඉතින් ඇත්තය. හොඳ මාකටින් නරක මාකටින් කියා දෙයක් නැත. 

අපව නැවත ගම් තුලානට  ගෙනත් බැස්සවීම ගැන ප්‍රා ජේ ටද ලිමොසින් එකටද ස්තුති වන්ත වෙමි.