Friday, 12 June 2026

බ්ලොග් පියවර වෙනුවට රවී ගේ අභාවය - සුභ ගමන් රවියෝ


මම කොළඹ ගමයා  බ්ලොගය  ලිවුම  අරඹන ලද්දේ වසර 2013 ජනවාරි නම වනදාය.  දැනට අවුරුදු  දහතුනකි. ඇත්තටම මම ඊයේ ම ලියන්න පටන් ගත්තේ වෙනම කතාවකි .  ඒ මගේ බ්ලොග් එක ගැනය . ගිය සතියේ  බ්ලොග් එකට පැමිණි සංඛ්‍යාව දසලක්ෂය ඉක්මවා ගොස් තිබුණි.  මම ලියන්නට හිතුවේ  බ්ලොග් ලෝකයේ පතාක යෝධයන් ලෙස සිටි අය බ්ලොග් ලිවීම් හැරදා ගිය බව ගැනය. ඔවුන් බුකියේ හා යූ බටයේ  දැහැමෙන්  සෙමෙන් වැඩ වාසය කරති .  බොහෝ අය මෙන් රවියාද බ්ලොගය හැරපියා ෆේස්බුක් බිත්තිය ඔහුගේ නිවහන කර ගත්තේය. 
 ඒ ගැන මෙන්ම  මෙවර පසුගිය මාසයේ ලංකාවේ සිටියදී වූ සිදුවීම් කිහිපයක්ද ලියන්නට සිතා සිටියෙමි . 

නමුත් අද උදයේ ඉවාන් පව්ලුෂා එවූ පණිවිඩයකින් මගේ සිත ගැස්සුනි . ඒ රවී වීරසිංහ අකාලයේ අප සමුගත් බවට ඔහුගේම බිත්තියේ  තිබූ දැන්වීමයි .  මම කෙලින්ම ප්‍රා ජේ ට හා දම්මිකා චාන්දනී ට  කතා කළෙමි. ඔවුන් දෙදෙනා දැන සිටියේ නැත. ඉන්පසු රවීගේ නොම්මරයට කෝල් එකක් ගත්තෙමි .  පණිවුඩයක් යැව්වෙමි .  පිළිතුරක් නැත.
මට එවර මතක් වුනේ රන්දිකා නංගිය. රවියා 'නිදහස් සිතුවිලි '  බ්ලොගය බෙදා හදා ගත්තේ රන්දිකා සමගය .  එනිසා මම රන්දිකා ට  කතා කලෙමි.  රන්දිකා දැන  සිටියේද  නැත .  නමුත් ඇය රවී ගේ නිවසට කතා කර මට පණිවුඩය එව්වාය. ඔහු හදිසියේම යන්නට ගොසිනි . 

රවීගේ බ්ලොගය අපේ ඇස නිතර ගැටුණු එකක් විය .රන්දිකා හෝ  රවී අප ඒ දිනවල හඳුනන්නේ නැත.  සුමිත් යාපා බණ්ඩාර  හා මම ඔහුගේ බ්ලොගය සම්මාන උළෙල  සඳහා තෝරා ගත්තෙමු ඒ අප නිතර කියවන සතුට විඳි බ්ලොගයක් නිසාය .   මට මතක විධිහට ඒ 2014 දීය. සම්මාන  උළෙල පැවැත්වුනේ 2015 දීය. රවියා ඔහුගේ ඉතිහාසාත්මක ප්‍රබන්ධය 'නිල්  කටරොළු මල්' ලියන කාලයේය .  එයට හොඳම බ්ලොග් පෝස්ටුව සඳහා දෙවන ස්ථානය ලැබී තිබුණි .  ඒ බ්ලොග් ලිපිය මෙතැනින් කියවිය හැකිය . 
දෙවන බ්ලොග් සම්මාන උළෙලේදී හොඳම බ්ලොගයට හිමි සම්මානය  2016 දී  දිනා ගත්තේ රවී සහ රන්දිකා ගේ 'නිදහස් සිතුවිලිය.'

රවී ඇත්තට ම හැබැහින් හමුවුනේ බොහෝ කලකට පසු 2021 අප්‍රේල් වලය . අප හමුවීමට ඔහු නුවර සිටම පැමිණ සිටියේය. නිකවැරටියේදී අපි , සුමිත්, ප්‍රා ජේ, ඉවාන් සහ රවී සමග පොඩි සප්පායමක් ගත්තෙමු. ධම්මිකා ද එදා පැමිණ සිටියාය .  පුටුවත් උස්සාගෙන බොන්නට තැනක් හොයාගෙන යන්නේ රවියාය.ඊට පස්සේ තමන් අරන්ගිය පුටුවේ හොඳින් සැදී පැහැදී ඉන්නේද ඔහුය. කෝච්චිය වගේ සිගරට් බීවේ ද රවී ය. මට මේ දවස හොඳින් මතක කවුරුත් විශ්ව නොකරන ඉවාන් පවුලුෂා 'හොඳට දැම්ම' පින්තුරය ගත්තේ රවියා වීමය. හැම වෙලේම අප අතර හොඳටම ජොලියෙන් ද සුදියෙන් ද සොමියෙන්ද සැනසීමෙන් ද හිටියේ  රවීය.  . ඇත්තට ම ඒ ගැන අපි උඹට ස්තූතිවන්ත විය යුතුය .    




  ඉන්පසු මට ඔහු හමුවුනේ පේරාදෙණි ගිය විටෙක තේකක්  බොන්නට ගොඩ වැදී  ඔහුගේ නිවසේදීය . 

රවී ඊට පසු හමුවන්නේ මැරීන් ඩ්‍රයිව් එකේ බැරකුඩා හෝ එවැනි තැනක පාටියක දීය . එදා "දම්පාට දේදුන්න"ලියූ  ජිවන ප්‍රනාන්දු සහ තට්ටයා ගේ කොලම ලියන  මන්ජුලද පැමිණ සිටියේය . ඒ 2023 අගෝස්තු වලය.

 . 

 මට අවසන් වරට රවී හමුවුනේ පේරාදෙණිය හංදියේ  දුම්රිය නැවතුම් පලේදීය. හදිසියේ නුවර යන්නට සිදුවූ මා හමුවන්නට ඔහු පැමිණ සිටියේය .  ඔහු සමග තේකක් බී කයියක් දාගෙන යන්නට හිටි මුත් නුවර සිටි තවත් යහළුවෙකු ලිෆ්ට් එකක් දුන් නිසා ඔහුත් සමග ගියෙමි. නැවත දෙතුන් පාරක් ඒ අසලින්ම ගිය මුත් මට වෙලාවක් තිබුනේ නැත .  මේ මැයි මාසයේ මම රවී සහ පංච තන්ත්‍රය ලියන නිදි හමුවෙනවා යයි සිතා  සිටියෙමි .  නමුත් මෙවරද මිස් විය . 
යාළුවන් අපි වෙලාව හදා  ගන්න තුරු සිටින්නේ නැත. වෙලාව ආ විට අපි හැමෝම යා යුතුය .  රවියා මා දන්නා කාලයේ සිටම සතුටින් සිනාවෙන් සිටි සුහද මානව හිතවාදියෙකි. සොඳුරු මිනිසෙකි .  අපුරු ලියන්නෙකි .  මේ අපුරු ලියන්නාට  කවදාවත් පොතක් ලියන්නට සිතුනේ නැත . ඒ ගැන ඇසූ විට ඔහු මගෙන්  ඇහුවේ 'මොකටද'  කියා පමණකි. ඒ රවී ගේ හැටිය.     ඔහුට කතා ගොඩක් තිබුනේය .  බ්ලොග් එකේ අවසන් නොකළ කතා බොහොමයකි .  ඔහුගේ අපමණක් යහළුවන් ගැන, ලංකාවේ බොහෝ තැන්වල ඔහුගේ චමරි ගැන අප දැනගත්තේ ඒ කතා වලිනි .  ඒ කතා නිම නොකරම ඔහු ගිහින්ය . ඔහු සොඳුරු මිනිසෙකි .   ඔහු ඒ සතුට පිරි හදින්ම  නික්ම යන්නට ඇති බව මගේ විශ්වාසයයි . 

සුභ ගමන් රවී 
-කොළඹ ගමයා     



57 comments:

  1. මමත් අද උදේ FB එකෙන් දැක්කේ. සුභ ගමන් රවී!
    ඉලන්දාරියා, විචාරක, ඔබ්සර්වර්, මගේ ලෝකය, අතරට නිදහස් සිතුවිලි ත් එකතු උනා.

    ReplyDelete
    Replies
    1. ඔව් නේද? //"ඔහුගේ තීරණය අනිවාර්යය. එය ලෝකයේ ජරා මරණය සේ වෙනස් නොවෙන නියත ධර්මයක් සේ විය... ලොවැ ඇත්තේ යාම ඊමය. නෑවිත් යන්ට බැරිය. නොගොස් එන්ට බැරිය."// සරච්චන්ද්‍ර ගේ මළවුන්ගේ අවුරුදු දා

      Delete
  2. ස්තූතියි අජිත්. 👌
    සුභ ගමන් රවී!💐

    ReplyDelete
  3. රවීව අන්තිම වතාවට මට මුණ ගැහුණේ 2025 නොවැම්බරයේ දිත්වා කුණාටුව ඇරඹුණු දවසේ. අපි ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා අත්අඩංගුවට පත් වුණු තැනයි, නාරම්පනාවේ විමලරත්න කුමාරගම මහතාගේ සොහොනයි බලන්න ගිය දවසේ. ඒ ගැන post එකක් ලියන්න හරි-බරි ගැහිලා හිටියෙ. ඒකට අවශ්‍ය තොරතුරු ටිකක් සති තුනකට කලින් රවීගෙන් ඉල්ලා ගත්තත් එක්ක.
    ඒත් ඒ post එක ලියන කලින් රවී නික්ම ගිහින්!
    රවී, ඔයාගේ හිනා කතන්දර කියලා සුරලොව ඇත්තන්වත් හොඳටම හිනස්සන්න!

    ReplyDelete
    Replies
    1. ඔව් නිදි . එහෙම හිතමු . "ජීවිතය, වියා හමාර කළ නොහැකිව, එතැනින් මෙතැනින් එල්ලෙන පන් ඉරුවලින් හැඩි වූ මුල්ලකට දමා තිබෙන පැදුරු කෑල්ලකට සමාන ය. මිනිසුන් මරණය පතන විගසින්, ඔවුන් වෙත මරණය නොපැමිණේ. මරණය ස්වාභාවිකව පැමිණෙන තෙක් බලා සිටීම මැරි මැරී ඉපදීමකි." රවියා හිනාවෙලා ජිවත් වුනා මම දැක්ක විධිහට

      Delete
  4. නොදැන සිටියත් සොඳුරු මතක තබා ගිය සොඳුරු මිනිසෙක් බව පෙනෙයි. සුබ ගමන්!

    ReplyDelete
  5. //යාළුවන් අපි වෙලාව හදා ගන්න තුරු සිටින්නේ නැත. වෙලාව ආ විට අපි හැමෝම යා යුතුය//

    සහතික ඇත්ත.

    ReplyDelete
  6. රවි අයියා. ඔයාගේ මැරීන් ඩ්‍රයිව් එකේ තිබුන හමුවට ඇවිල්ලා රෑ නතර වුනේ අපේ ගල්කිස්සේ ගෙදර . පසුදා උදේ රවි අයියාව ස්ටේශන් එකට ඇරලා මම රැකියාවට ගියා. ඒ තමයි අපේ අන්තිම හමුවීම. දින කිහිපයකට ඉස්සර කෝල් එකක් දෙන්නත් හිටියත් එය මග ඇරී ගියා.. කෙසේ වෙතත් සොදුරු හිතවෙතෙක් අපුරු ලියන්නෙක් නැතිවීම ගැන අතිශයින්ම දුක්වෙනවා. සුබ ගමන් රවි අයියේ..

    ReplyDelete
    Replies
    1. ඒක තමා අද දැන ගත්තේ ඒකත් . මට මතක නැහැ එහෙම කීවද කියල . අපි බිබී හිටියනේ

      Delete
  7. යකෝ... විස්වාස කරන්නත් බෑ.
    සුබ ගමන් රවි අයියා.

    ReplyDelete
    Replies
    1. හිතා ගන්න බැරි වුනා

      Delete


  8. සුබ ගමන් රවී මහත්තයෝ…මං හිතන්නේ තව ලියන්න කතා අටෝ රාසියක් තියෙන්න ඇති…ස්තුතියි අජිත් මේ සටහනට…

    ReplyDelete
    Replies
    1. ලියන්න දේවල් දහසකුත් එකක් තියෙන්න ඇති ඒ හිතේ

      Delete
  9. රවි ව දෙතුන් වතාවක් හමුවීමට මටත් වාසනාව තිබුණා. බ්ලොග් ලෝකයට පිරවිය නොහැකි පාඩුවක්. සුභ ගමන් යාළුවා.

    ReplyDelete
    Replies
    1. ඉඳහිට බ්ලොග් වලට ආව ගියා . ඒත් බුකියේ නැංගුරම දාගෙන හිටියේ . හොඳ හිතවතෙක්

      Delete
    2. හෙහ්, හෙහ් බුකියේ නැංගුරම දාගෙන හිටියේ. 🤣
      මමත් ගියා නැව බලන්න බුකියට. කලින් දවසෙත් පෝස්ට් කරලා තිබුනා.🤔

      Delete
  10. බොසා අර "යාන් හෑල්ල" ලියපු මහත්තය මතකද?. සුරංග මට මතක විදියට. මං blog කියවීමට පෙලඹුවෙ ඔහුගේ එ් ඉතාම ලස්සනට ලියපු "යාන් හෑල්ල"
    එතුමා දැන් බ්ලොගයේ පෙන්න නෑ කාලෙක ඉඳං.
    දන්නවද ඔහු ගැන තොරතුරු?

    ReplyDelete
    Replies
    1. සුරංග මලයා ඉන්නවා බුකියේ නම් . මගේ ෆ්‍රෙන්ඩ් ලිස්ට් එකෙත් ඉන්නව . මම ඔහුගේ කොමෙන්ට් කියවනවා ඉඳහිට

      Delete
  11. සුබ ගමන් රවි , මම සිංහල බ්ලොග්ගල ලියපු ලලිත්.....

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ලලිත් .

      Delete
  12. "යාළුවන් අපි වෙලාව හදා ගන්න තුරු සිටින්නේ නැත. වෙලාව ආ විට අපි හැමෝම යා යුතුය" රවී ගේ මතක සටහන වටිනවා.
    ස්තූතියි අජිත්. රවී ට සුබ ගමන් පතනවා.

    ReplyDelete
    Replies
    1. ස්තුති අනුරුද්ධ

      Delete
  13. අපේ සිංහල බ්ලොග් සංගමය, සාමාජිකයින් එක්කම වයසට ගිහිල්ලා. සමහරු නො එන ගමන් ගිහින්. වැඩි දෙනෙක් ලියන එක නැවැත්තුවා. මට මතක් වෙන්නෙ "සුදු හාමිනේ" සින්දුව.

    අපිත් ඉස්තෝප්පුවෙ පුටුවට වෙලා, අජිත් සහ නිදි වගේ නිතර ලියන අයගෙ පෝස්ට් වැටෙනතුරු බලාගෙන ඉන්නවා.

    ReplyDelete
    Replies
    1. ඒකත් හෙන අවුලක්

      Delete
    2. අවුලක් නේන්නං. ලියන එක නවත්තපු අය කොහේ ඉන්නවද? මොනව කරනවද? හොඳින් ඉන්නවද? චුත වෙලාද? කියලවත් අපි දන්නෙ නෑ. දැනගත්තයි කියල ආයෙ කරන්න පුළුවන් දේකුත් නෑ. ඒත් කුහකකමක් නැතුව වචනෙකින් හරි සපෝට් කරන්න කැමතියි.

      එකාතකට මේකයි ලෝක ධර්මය කියලා හිත හදාගන්න එක හොඳයි කියලත් හිතෙනවා. මේ නොදැක්ක, පෞද්ගලිකව නොදන්න, ඇජෙන්ඩා නැති වර්චුවල් යාළුකමේත් එකතරා සුන්දරත්වයක් තියනවා කියල හිතෙන්නෙ නැත්ද?

      Delete
    3. ඔව් එහෙම එකකුත් තියනව , වර්චුවල් තරහ වෙනවත් එක්කනේ . ඇත්තටම බසු හමුවෙලා කතා කරන්න තියනවනම් හොඳයි. මගේ neurodivergent -මයිල්ඩ් ඕටිස්ම් තත්වය සහ ADHD තත්වය නිසා මට හැම කෙනෙක් එක්කම ගනුදෙනු කරන්න අමාරුයි. තේරුම් ගත් කිහිප දෙනයි ඉන්නේ, මම හිතනවා බස්සත් එක්කෙනෙක් කියල.රවියත් තරමක් දුරට වටහාගෙන හිටිය . ඌ ඕක මට කියල තියනව හීනියට වගේ . ප්‍රා තව කෙනෙක්, ඉවාන් . . මම අවුරුදු 25 එකම කම්පැනි එකක වැඩ කලෙත් ඔය හේතුව නිසා ., වැඩි පඩියට එන්න කිවත් ගියේ නැහැ . මම බ්ලොග් ලියන්නේ නැත්නම් (බ්ලොග් 3ක් තියනව ) , හරිමග කියන වෙබ් අඩවියක් කරනවා , නැත්නම් තරු බලනව . නැත්නම් තව මගුල් දෙක තුනක්ම කරනව . ඒ ඔලුව යකාගේ කම්මල වගේනේ වෙලාවකට . මෙහෙ වැඩ කරන එක්තරා වාමාංශික දේශපාලන පක්ෂයක් මං ගැන මෙහෙම අර්ථ දක්වලා තිබුන . "ඔය අජියා ඔහොම හැම මගුලම කරන්න හදන්නේ උගේ ජර්මන් වයිෆ් ගෙදර වැඩ ඔක්කොම කරලා ඌ ට ඕන දෙක කරන්න වෙලාව දීල තියෙන්නේ . අපිට ඒ වගේ නෙමේ දහසකුත් එකක් වැඩ තියනවා . . එනිසා අපි නිර්ධන පන්තියේ , අජිය සුළු ධනේශ්වර ධනපතියෙක්. " මුන්ගේ න්‍යාය . මම උන්ට කියලත් තිබ්බ මට ඕක තියනව . පරිස්සමින් කතා කරපල්ල කියල . මම ගෙදර උයනවත් එක්ක හිතුනහම .

      Delete
    4. මුංගෙ ආච්චිලගෙ නිර්ධන පන්තිය. සමාජවාදෙට හෙන ගැහැව්වෙ ඔහොම කුහකයො නිසා තමයි.
      ඔබගේ "කුකුල් කේන්තිය" ගැන මා දැනන් හිටියා. ඒත් පිටින් පේනවට වඩා ඔබ හොඳ කෙනෙක් බව මට හැඟීමක් තිබ්බා. කඩෙන් කලා, අනුන්ගෙ හරක් බැලීමක් නිසා "ලෝටස් අජ්ජා" කියල නම්බු නාමයක් ලබාගත්ත බවත් මා දැනන් හිටියා. නොදැන හිටියේ ඔබේ මෙඩිකල් හිස්ට්‍රි එක විතරයි. ඒත් දැන් ඉන්නෙ ඉස්සර අජිත් නෙමෙයි, ඊට වඩා හුඟක් නිවුනු කෙනෙක්.

      ඔබට ලැබිලා තියෙන්නෙ, ඔබ උපයාගත් දේවල්. ඔය වටේ ඉන්න හෝතම්බුවො කියන දේ ගැන වද වෙන්න එපා. කෝටුවෙ ගිය ඉබ්බා වගේ අයින හපාගෙන හිටපන් පුතී.😋

      ඉස්සර අපේ ගම්වල තිබ්බ "අපේ කම" එක්කම ආපු නරක දේත් තිබ්බා. ඕප-දූප, අනුන්ගෙ සීනී කිරීම, කුහකකම සහ ඉඩම් වලට තිබ්බ අධික තන්හාව. මම හිතුවා අලුත් පරපුරේ ඒ නරක ගති අඩුවෙලා ඇති කියල. මොන? බ්ලොග් වලින් ඉගෙන ගත්තා. තාම කොටියගෙ පුල්ලි මාරු වෙලා නෑ කියලා.

      මම සමාජ ආශ්‍රයට ඒ හැටි මනාපයක් නැති, ඉන්ට්‍රොවර්ට් බස්සෙක්. මට ඒක පාලනය කරගන්න අමාරුයි. ෂොපින් යන්නෙත් සෙනඟ අඩු වෙලාවක් බලලයි. අල්ලපු ගෙවල්වල අයියලා, මල්ලිලා සහ බාප්පලා නැති මේ සමාජෙ මට හොඳට ගැලපෙනවා.

      Delete
    5. ඒකනම් සහතික ඇත්ත . // කඩෙන් කලා, අනුන්ගෙ හරක් බැලීමක් නිසා "ලෝටස් අජ්ජා" කියල නම්බු නාමයක් ලබාගත්ත බවත් // හඃ හඃ හා . ඒකත් ඇත්ත . ඔය වයසට යන්න යන්න වෙන දෙයක් වෙන්න ඕනේ . මමත් ඉන්ට්‍රොවර්ට් තමා . හැබැයි ලැබුණු කවුන්සලින් වලින් තමා ෆේස්බුක් , ගියේ , සමාජ මාධ්‍ය ගියේ . උන් කිව්වා ටෙන්ෂන් එක අඩු කරන්න ඔය ගොඩක් දේවල් කරන්න කියල . මම ගේම් ගහන ගොඩ දන්නේ මම විතරයි . බලෙන් එextrovert වෙලා ඉන්න සීන් එකක් තියෙන්නේ . කාලයක් මම නැති වෙලා හිටිය අනූ ගණන් වල දන්නා අය ගෙන් ඈත් වෙලා . දැනුත් හිටපු ගමන් හිතෙනවා එහෙම කරන්න . යකෝ ඇත්තටම ට්‍රයි කරල බලන්න ඕනේ . ඒකෙත් එකතරා විධිහක නිවනක් තියනව .
      //ෂොපින් යන්නෙත් සෙනඟ අඩු වෙලාවක් බලලයි. අල්ලපු ගෙවල්වල අයියලා, මල්ලිලා සහ බාප්පලා නැති මේ සමාජෙ මට හොඳට ගැලපෙනවා./ මම වගේමනේ ඒකනම් . මම ලිඩ්ල් හෙම යන්න 9.30. දහයට වහන නිසා . සෙන්ස්බරි ටෙස්කෝ යන්නේ එක්කෝ උදේම නැත්නම් රෑ වෙලා .

      Delete
    6. //ෂොපින් යන්නෙත් සෙනඟ අඩු වෙලාවක් බලලයි. අල්ලපු ගෙවල්වල අයියලා, මල්ලිලා සහ බාප්පලා නැති මේ සමාජෙ මට හොඳට ගැලපෙනවා.//

      Likewise, Lord Bastian, Likewise !

      Delete
    7. @ Pra Jay
      ඉරානෙ යුද්ධෙත් ඉවරයි කියන්නෙ. ඒත් අපි කවදාවත් ආපහු හිටපු තැනට යන එකක් නෑ. කෝවිඩ් වලින් වුනෙත් ඒකමයි. මම කල්පනා කලේ, මේ උන්න විදිහටම පැදුරෙම ඉන්න කියලයි. ඔය උඩින් ඉන්න ගිහින් වැටුනොත් රිදෙනව අපෙ හාංදුන්නේ!

      Delete
    8. අපේ මන්ක්ස් ලා 4x 4 එකක් අරන් දානෙට වැඩලා පන්සලට ගිහින් පොඩි එකෙක්ව තලලා ඊට පසේ උත්සව තියනව . කොච්චර වැරදිලාද

      Delete
    9. හෙහ් හෙහ් මාත් ඔය ජාතිය තමා .. මෙහෙ ඉන්න යාලුවෝ නෑදෑයෝ මේ වෙන කොට ආසාර්ථක උත්සාහ සෑහෙන ප්‍රමාණයකින් පස්සේ මම කියල එකෙක් නැති විදියට තමා ජිවත් වෙන්නේ ... එයාල එහෙම එන්න එක ගැන මට තියෙන්නෙත් අප්‍රමාණ සතුටක් ! හෙහ් හෙහ් .. ඕක තේරෙන අය බ්ලොග් වල තමා ගොඩක් ඉන්නේ ..

      Delete
    10. මම සම්පුර්ණයෙන් ඈත් වෙලා නැහැ සමාජයෙන් මෙහෙ . නමුට් හෙන ලිමිට් එකක් තියනව . කලින් හිටි සෙට් එකෙකින් ඈත් වුනා දෙපිටකාට්ටු වැඩ කරන්නේ කියල දැන ගත්තට පස්සේ .

      Delete
  14. රේන්බෝ බ්‍රිජ් එකෙන් එගොඩ වෙච්ච දවසකට අපි කස්ටියම එකතුවෙලා පට්ට සාජ්ජයක් දාමුද?

    ReplyDelete
    Replies
    1. අන්න වැඩේ මතක තියාගමු .

      Delete
  15. පෞද්ගලිකව දැන නොසිටියත් වර්චුවල් හොඳට දන්න කියන රවියාගේ නිකම යෑම කණගාටුවක්. සුභ ගමන් රවියෝ.
    කණගාටුදායක වුවත් තොරතුර බෙදාගත් අජියාටත් ස්තූතියි.

    ReplyDelete
  16. නිවන් සුව ලැබේවා රවී අයියා !!!!
    ඔබගේ ජීවන අත්දැකීම් බෙදාගනිමින් අප අමන්දානන්දයට පත් කලාට ස්තුතී.

    ReplyDelete
    Replies
    1. ඒක තමා වැදගත් නේ

      Delete
  17. මැරීන් ඩ්‍රයිව් එකේ හමුව මිස් වීම ගැන සැමදා දුක්වෙමි. එදින අපේ ඉදිකෙරෙමින් පැවති නිවසේ ස්ලැබ් එකක් කොන්ක්‍රීට් කරන්න යොදා තිබුණු දවස විය. කඩිමුඩියේ එහෙට මෙහෙට දුවන්න කාලය ගලපා ගන්න නොහැකි විය. ඒ තැනූ නිවසේ සාදයක් සංවිධානය කරන්න පමා වීම විශාල කනස්සල්ලකි. රවී මගේ බ්ලොග් සගයා පමණක් නොව ඔහු හා මා කලින් එක ම ආයතනයක සේවය කෙරුවෙමු. ඒ ආයතනයේ සේවය කළ අපත්, හිමිකරුවනුත් විසිර ගොසිනි. ඒ අය එකතු පහදු කරගෙන සාද කතාවක අවශ්‍යතාව කලෙක සිට පැවතුණත් මේ ආකාර වියෝවක් සිදුවේ යැයි කාට නම් හිතේ ද? මට ඔහු අවසාන වශයෙන් හමු වුණේ කොළඹ තිබුණු පොත් හමුවක දී ය.

    මට අද හිතුණේ සිංහල බ්ලොග් අවකාශයේ වැඩිම බ්ලොග් ලිපි ප්‍රමාණයක් ලියූ කෙනා රවී විය යුතුය. මං දැන් ඔයාගේ ලිස්ට් එකත් එකතු කරලා බැලුවා. ඊට වඩා රවීගේ එකතුව වැඩියි. ලිපි හත්සිය ගණනක්!

    ඔහු අසනීප ගති පෙන්වා බොහොම සුලු කාලයකින් නික්ම ගිහින් තිබුණා. සතුටින් වේදනාවක් වැඩිය නොදැනි යන්න ඇති. ඒ හිනාව, කතාව, ලියමන, හිතවත්කම අහිමිවීම දරාගන්න අපහසු වේදනාවක්.

    ReplyDelete
    Replies
    1. ඔඅව් මට මතකයි නංගි . ඔයාලගේ ගේ හදන දවස් වල නේද ? මම 695 ලියල තියනව . පබ්ලිෂ් නොකරපුව 140 විතර තියනව . ඒකෙන් ඉතින් එපමණ වැඩක් නැහැ . මම ලක්ෂ දහයක් පිරුවා කියල ලියන කොට තමයි ආරංචිය ආවේ . ඊට පස්සේ ඒවා නිකන් වැඩකට නැති දේවල් වෙනවා නේද ? මේ පර ළඟටම ගිහිල්ලත් මම කෝල් එකක් දුන්නේ නැති එකට මටම තරහයි . කරන්න දෙයක් නැහැ . සුබ ගමන් , පැතූ නිවනක් ලැබේව කියනවා ඇරෙන්න

      Delete
  18. නිවන් සුව ලැබේවා රවී අයියා

    ReplyDelete
  19. මම දන්න කෙනෙක් නෙමෙයි. එත් මමත් ඔහුට සුබ ගමන් පතන්න එක් වෙන්නම්.
    "හමුවේ දිනෙක ඒ ලස්සන ලොවෙහි අප"
    සුබ ගමන් රවී අයියා.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි රවී වෙනුවෙන්

      Delete
  20. රවියාට නිවත් සුව පතනවා අර දැන් ඉතින් මොනවා කරන්නද .. මම වරක් හෝ හමුවෙලා තියෙන්නේ රන්දිකා , කලණ , ප්‍රාජේ (අපි හමු උනා වගේ මතකයි ) , සරත් ලංකාප්‍රිය , ඉස්සර හිටපු මාරයා , මගේ මරණය , WAP නිශාන්ත ඇතුළු කිහිප දෙනෙකුත් හමු උනා මතකයි..
    2013 ලංකාවෙන් පිට වෙන්න කලින් බ්ලොග් හමුවීම් වලට ගියා .. තිස්ස අයියා , ධනික මල්ලි , තව නම් අමතක ගොඩක් දෙනෙක්

    අජිත් අයියා , බස්සා , නිදී , ලෝටස් , අපේ කොකා සභාපති තුමා කොලොම්පුරේ , නිහඩපාල, තට්ටයාගේ කොලම , බෝදිනී දොස්තර නෝනා ඇතුළු දැනටත් මේක ඇදගෙන යන අයව හමුවෙන්න ලොකු ආසාවක් තියෙනවා .. නමුත් ඉතින් කවදා කොහොම වෙයිද කියල හිතා ගන්න බැහැ ..

    අපි cyber shot එකක් දාල virtual හමුවීමක් වත් කරමුද ?

    ReplyDelete
    Replies
    1. ඕනනම් දාමු . සූම් එකක් වගේ . පොඩි ගේට්ටුවක් කරගන්න පුළුවන් . ඔය මම ඉවාන් හම්බ වෙනවා වගේ

      Delete
  21. පිරැවිය නොහැකි හිස් තැන්!

    https://wehimandarama.blogspot.com/2026/06/149-bidding-adieu-to-stardust-soul.html

    ReplyDelete
  22. රවී හරියටම මිනිහා පටන් අරගෙන ඉවර නොකරපු බ්ලොග් පෝස්ට් එකක් වගේ.. කියවලා කතා කරලා ඉවර කරගන්න බැරි තරම් රසවත්.. මිනිහා මළ බව මම තාම හිතන්නේ නෑ..

    ReplyDelete
    Replies
    1. ඉවර නොකරපු පොතක් වගේ. අපි මරණ ගෙදර ගියානම් හිත වෙනස් වෙන්න තිබ්බ . සමහර වෙලාවට

      Delete

සියලු හිමිකම් අජිත් ධර්මකීර්ති (Ajith Dharmakeerthi) සතුය. කොළඹ ගමයා බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ අජිත් ධර්මකීර්ති යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ.
මෙහි පලවන ලිපි සහ දේශපාලන අදහස් මගේ පෞද්ගලික අදහස් පමණි.
ඔබේ ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. නමුත් වෙනත් කෙනෙකුට සාධාරණ හේතුවක් නැතුව පහර ගසන අශිලාචාර අන්දමේ ප්‍රතිචාර පමණක් පල නොකෙරේ. බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ස්තූතියි .