මේ සිද්ධිය සිදු වූයේ වසර 19 කට පෙර ලංකාවට විවාහ උත්සවය ගන්නට ගිය කාලයේය.
දඹුල්ලේ වන්දනා කරන්නට යනවිට මගේ බිරිඳගේ දෙමාපියන්ද , සොයුරියද අප සමග පැමිණියහ. එතන සෙරෙප්පු සපත්තු භාර ගන්නා ස්ථානයේ සිටින තරුණයන් කතා කරන දේ මට ඇසිනි.
"අන්න මචන් සුද්දෝ කට්ටියක්. 2000 ට අඩුව කියන්න එපා. "
මම නිහඬව මගේ බිරිඳගේ පවුලේ අය හා මගේ පවුලේ අයගේ ද, (මගේ මව , ඇගේ සොයුරිය, මගේ සොහොයුරා , ඔහුගේ බිරිය)ද ඇතුළු සියල්ලන්ගේම පාවහන් එකතු කොට දුනිමි. එතන පාවහන් යුගලකට රුපියල් 20කි. එහි සිටි තරුණයන් "සුද්දන්ගේ" හෙවත් මගේ බිරිඳ හා අගේ පවුලේ උදවියගේ පාවහන් ගැනීම ප්‍රතික්ෂේප කළහ. සුද්දන් ගේ පාවහන් වටින ඒවා නිසා වෙනත් තැනක ආරක්ෂා සහිතව තබන බවත් දෙදෙනෙකුට රුපියල් 2000 ගන්නා බවත් ඔවුහු කීහ. ඒ එක යුවලකටය. එතැන හතර දෙනෙක් නිසා ගණන රුපියල් 4000 කි. මම කීවේ බිරිඳ හා ඇගේ සොයුරිය ද අඳින්නේ මා රැගෙන දුන් DSI පාවහන් බවත් පියාගේ පාවහන් යුගලය සැන්ඩ්ල් බවත් ඒවා එතරම් වටින්නේ නැති අතර අපේ ගොඩේම ඒවා තැබිය යුතු බවත්ය. මම ඉල්ලූ මුදල එක හෙළාම ප්‍රතික්ෂේප කලෙමි.
මේ වාදය එලෙස ඇදී ගිය අතර ඒ අතර එතැන සිටි දඹුල්ලේ ආරක්ෂක නිලධාරීන් දෙදෙනා එතනට පැමිණි ප්‍රශ්නය් විසඳන්නට තැත් කළහ.
එක තරුණයෙකු මා ඉදිරියේම "මේ ගයිඩ් බල්ලා අපි කීයක් හරි හොයා ගන්නවාට විරුද්ධ බව" ආරක්ෂක නිලධාරියාට පැවසිය. ආරක්ෂක නිලධාරීන් මුලදී ගත්තේ අරුන් ගේ පැත්තය. ඔවුනොවුන් හඳුනන බව මට වැටහිණි. මට මළ පැන්නේ මෙතනදීය.
ඔවුන් කියු දෙය හෙවත් "සුද්දන්ගෙන් වැඩිපුර ගන්නට කතා කරගත් අයුරු " මට ඇසුන බවත් මා ගෙවන්නේ මගේ පොකට්ටුවෙන් බවත් මේ සිටින්නේ මගේ බිරිඳ හා පවුලේ අය බවත් ආරක්ෂක නිලධරයන්ට පැවසූ මා, ඒ අසල වෙසෙන නෑදෑයන්ට කතා කරන බවත් (එවැන්නෙක් සිටියේය) ඉන්පසු පොලිසි යන බවත්, කොළඹදී සංචාරක පොලිසියට පැමිණිලි කරන බවත් කීවෙමි.
ආරක්ෂක නිලධාරීන් ට දෙපැත්ත බේරා කතා කිරීමට සිදුවුනේ ඉන් පසුවය. මගේ බිරිඳ ගේ හා සොයුරියගේ DSI පාවහන් ද ඇතුළුව ඔවුන්ගේ පාවහන් සඳහා එක කුට්ටමට රුපියල් 200 ගණනේත් (හතරට 800) හා අපේ පාවහන් සඳහා රුපියල් 20 ගණනේත් කතා කරගෙන දඹුල්ල වඳින්නට ගියෙමු.
ආපසු පැමිණි මම මුදල් දීමට යද්දී ඔවුහු මුදල් ගැනීම ප්‍රතික්ෂේප කළහහ. බලෙන් දීමට හැදුවත් ගත්තේ නැත. නමුත් එතනින් ඉවතට යද්දී එකෙක් ඇසෙන නෑසෙන අන්දමට "මහත්තය, අපේ කමට වත් පොඩ්ඩක් සලකන්න මිට පස්සේ වත්" කියනු ඇසුනි. මා යමක් කියන්නට තැත් කළමුත් මගේ මව එය වැළකුවාය.
"ඔන්නොහෝ යමු පුතේ. අපි දැන් වැන්දනේ "
අපේ කමට කියා එවැනි මුදලක් මා ගෙවිය යුතුද? සමහර විට ළමයෙකුට අමාරුවක්, මුදල් හිඟයක් කීවා නම් එම මුදල මට දිය හැකිව තිබුණි. නමුත් සපත්තු කුට්ටමක් බලා ගන්නට රුපියල් 1000 ක් ඉල්ලීම මට සාධාරණිකරණය කල නොහැක. මේ වසර 2000 දීය.
|
සීගිරි යේ වැසිකිලි වල කැඩුණු සින්ක් |
සීගිරියට ගියවිට ඒ දිනවල එක අයෙකුට රුපියල් 2000 හෝ 3000 ගෙවා ටිකට් පත් ගන්නට සිදුවිය. මේ පවුම රුපියල් සීයට පමණව තිබූ කාලයයි. රට යුද්ධයක නිරතව සිටින නිසා මේ ගණන් සාධාරණ යයි සිතුවෙමි. නමුත් අසාධාරණ බව වැටහෙන්නේ දේශීය ටිකට් පත රුපියල් 30 පමණ වන විටය. එනිසා රුපියල් 1000-1500 සාධාරණ මුදලක් යයි සිතමි.
|
ටිෂූ කොළ නැත |
ගිය වසරේ දී සීගිරි ගිය විට පවුලේ හතර දෙනාගෙන් එක අයෙකුට රුපියල් 5000 ගණනේ ගෙවීමට සිදුවිය. පිටරට සිටින සිංහල මිතුරෙකු ඔහුගේ පවුලටම මගේ දියණියන් දෙදෙනාද (ඔවුන් බ්‍රිතාන්‍ය වුවත් සිංහල බැවින් රුපියල් 50 ටිකට් ගත හැකි විය. එහි වරදක් නොදකිමි) එක් කරගත් බැවින් 5000 ගණනේ ගෙවන්නට වූයේ අප දෙදෙනාටත් අපේ කණ්ඩායමේ අනික් විදේශිකයන් පස් දෙනාටත් පමණි.
|
අපිරිසිදු වැසිකිලි |
ඒ මුදල් ගත්තාට සමහර ෆැසිලිටි එතරම් හොඳ තත්වයේ තිබුනේ නැත
සීගිරියෙන් පසු අපි අලි බලන්නට ගියෙමු. එහිදී අප දෙතුන් වරක් ඇසුවේ අලි සිටින්නේද කියාය. අලි සිටින බවට ඔවුන් අපට සහතික කොට කීහ.
ජීප් රථයේ මුදල රුපියල් 5000 ලෙස පොරොන්දු වී ජීප් රථවල ගියෙමු. අතරමගදී පැට්‍රල් ගසන්නට කියා රියදුරු මහතා රුපියල් දාහක් ඉල්ලා ගත්තේය.
එම වනෝද්‍යානයට ඇතුළු වීමට නැවතත් රුපියල් 5000 ගණනේ ටිකට් හතරක් ගැනීමට සිදුවිය . (මගේ පවුල සඳහා පමණක් රුපියල් 20,000 කි). ලෝකල් ගණන රුපියල් 30 ක් හෝ පනහකි.
හිටිය අලියෙක් නැත.
එන ගමනේදී රියදුරු මහතා පැවසුවේ,"මේ වැසි කාලයේ අලි නැති බවය. වැස්ස වහින විට අලි එන්නේ නැති බවත් ඔවුන්ගෙන් ඇසුවානම් ඒ බව කියන බවත් ය. අපට ජීප් රථ සංවිධානය කළ තැනැත්තන් හා අපේ කණ්ඩායමේ ටුවර් ගයිඩ් වශයෙන් සිටි තැනැත්තා ද යහළුවන්ය. අලි සිටිනවා යයි සහතික කලේ ඔවුන්ය.
ප්‍රශ්නයක් නැත. අලි අපට ඕනෑ වෙලාවට එන්නේ නැත. අපි සුන්දර ශ්‍රී ලංකාවේ සොබා දහමේ සෞන්දර්යය නැරඹුවෙමු.
ආපසු පැමිණ අප ආ වාහන වලට නගිද්දී ජීප් වල ගණන් බේරුවෙමු. රියදුරු මහතාට ටිප් දෙන්නට වත් මාරු කරගත් මුදල් වලින් වැඩි මුදලක් අතේ ඉතිරිව තිබුනේ නැත. එනිසා අතේ ඉතිරිව තිබූ රුපියල් 200 දුන්නෙමි. අපේ ජීප් රථයේ සිටි අනිත් විදේශිකයන් දෙදෙනා කිවේ ඔවුන් මාරුකරගත් මුදල් අවසන් හෙයින් මට හෝටලයේදී ගෙවන්නම් කියාය. ඔවුන්ටත් ගෙව්වේ මමය.
එනිසා ලොකු ටිප් එකක් දීමට අතේ මුදල් නැති බව එතැන කෙනෙකුට කීවෙමි.
මා ඉතා අඩු ටිප් එකක් දුන්නා යයි රියදුරු චෝදනා කර තිබුණි. ශ්‍රී ලාංකික කණ්ඩායම් ඔවුන්ගේ රියදුරන්ට රුපියල් දාහේ හෝ පන්සීයේ ටිප් දී තිබුණි . නමුත් ඔවුන් ඇතුළුවීමට ගෙව්වේ රුපියල් 30 වැනි කුඩා මුදලකි.
මට බැණ වැදුණු තාවකාලික ගයිඩ් තුමා ඔහුගේ අතින් රුපියල් 500ක් රියදුරු ට දුන්නේය. "මේ පෙරේතයෝ නම් යයි. අපි මේවට එන්න එපාය ආයෙත් " ඔහු කීවේ එලෙසය . එවිට මට මතක් වූයේ පැට්‍රල් ගසන්නට රියදුරු තැන ඉල්ලලා ගත් රුපියල් 1000 ය. එයට කුමක් වූයේ දැයි රියදුරු මහතා කීවේ නැත. අපි මාරු කර තිබූ මුදල් අවසන් වී තිබූ බව ඔහු (තාවකාලික ගයිඩ් මහතා) ගණන් ගත්තේ නැත. "අයියේ , මම දැනට දෙන්නම් 500, ඔයා හෝටලේට ගිහින් සල්ලි දෙන්න" යයි කීවා නම් පසුවදා මුදල් රැගෙන එම පවුම් 2.50 ඔහුට දිය හැකිව තිබුණි. (අතර මගදී කෑම ගැනීමටද එවැනිම වියදමක් ගිය බැවින්) එම කබානා සහිත හෝටලයෙන් යන තුරුම මම ඔහුට නැවතත් කතා නොකලෙමි.
අප සමග ගිය අනිකුත් විදේශිකයන් ශ්‍රී ලංකාවේ සුන්දරත්වය අගය කළහ. කෑම අගය කළහ. "අලි බොරුව " ගමන නොගියා නම් වඩා හොඳ බව කීහ.ගන්නා මුදලට සරිලන සේවයක් ලබා දෙන්නේ නම් තත්වය වඩාත් හොඳ විය හැකිය.
සංචාරක සේවයේ යෙදෙන මහත්ම මහත්මීන් ට මේ සඳහා පෙරමුණ ගත හැක.